පලමු කොටස
මැටි. ඒවා වලින් තමා සියුස්ගේ මෙම නිර්මාණය සෑදිය යුත්තේ. මේ නිසා
හොද සාරවත් මැටි තිබෙන්නේ කොහේදැයි සොයමින් සිටින විට අගනා මැටි පසක් තිබෙන ස්ථානයක්
ප්‍රොමිතියස්ට සොයාගැනීමට හැකිවුනා. ඒ යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා ඉවුරු වලින්.
ඒවායේ පැහැය හා සංයුතිය මෙම වැඩය සදහා ඉතාමත් උචිතයි.
“මේ මැටි අපේ වැඩේට ගොඩක් හොදයි” ඔහු සියුස්ට පැවසුවා. “නෑ නෑ ඔයා
ඔතන ඉඳගන්න හදන්න එපා මට තනියම මේ නිර්මාණය කරන්න ඕන. මම කැමති නෑ මේකට මොනම විදිහකින්වත්
බාධාවක් ඇති වෙනවට. හැබැයි ඔයා යන්න කලින් මට ඔයාගෙ කෙළ පිඩක් ඕන.”
“ඒ මොකටද?”
“මේ මැටි අනුරූප ජීවය ලබන්න නම් ඔයාගෙන් කොටසකුත් එයාලට තියෙන්න ඕනෙ”
ප්‍රොමිතියස් මේ කියූ දේ සාධාරණ බව සියුස්ට වැටහුනා. සාර්ථක නිර්මාණයක්
සෑදෙන්න නම් නිස්කලංක පරිසරයක් තිබිය යුතුයි. ඔවුන්ට ජීවය ලැබීමට නම් තමාගේ කෙළ පිඩක්
තිබිය යුතුයි. මේ නිසා සියුස් කෙළ පිඩක් ගෙන ප්‍රොමිතියස්ට දුන්නා.
“මම මේ මැටි රූප හදලා හිරු රශ්මියෙන් වේළෙන්න තියන්න ඕනෙ” ප්‍රොමිතියස්
පැවසුවා. “ඒ නිසා ඔයා ඉර බැහැලා යනකොට එන්න. එතකොට ඔක්කොම ලස්සනට හදලා තියේවි”
මේ ක්‍රියාදාමය සිදුවන ආකාරය බලාසිටීමට සියුස් ඉතා ප්‍රියයි. නමුත්
ප්‍රොමිතියස් කියූ පරිදි මෙම නිර්මාණය සාර්ථක වීමට නම් කිසිදු ආකාරයේ බාධාවක් නොවිය
යුතුයි. මේ නිසා සියුස් තම මිතුරාව කලා නිර්මාණය කිරීමට ඉඩහැර එතැනින් ඉවත්ව ගියා.
ප්‍රොමිතියස් දැන් මහා ක්‍රියාදාමයේ වැඩ ආරම්භ කළා. ඔහු මැටි ගුලියක්
ගෙන රෝල් කර දිගටියට සාදාගත්තා. ඉන්පසු සියුස්ගේ කෙළ පිඩ සමග මිශ්‍ර වූ කුඩා මැටි ගුලියක්
ගෝලයක් ආකාරයට සාදාගෙන දිගටි මැටි රෝලේ මුදුනින් තැබුවා. ඒ හිස. එතැන් සිට කැපීම්,
කෙටීම්, ඉවත් කිරීම් ආදී නානාප්‍රකාර දෑ සිදුකරමින් කුඩා ප්‍රමාණයේ දෙවි කෙනෙක් පෑදෙනතුරු
ප්‍රොමිතියස් ඒ වෙනුවෙන් වෙහෙසුනා. අනුරුව ඔපමට්ටම් කිරීම වැඩිවෙත්ම ප්‍රොමිතියස්ගේ
ඒ වෙනුවෙන් වූ ආශාවත් වැඩිවුනා. ප්‍රොමිතියස්ගේ හැකියාවන් ගැන බලාපොරොත්තු තබා මේ භාරදූර
කාර්යය පැවරීම ගැන සියුස් සතුටු වනවා නිසැකයි. සියුස් මේ සඳහා තෝරාගෙන ඇත්තේ හොදම පුද්ගලයාව.
ප්‍රොමිතියස් මෙම කුඩා ජීවී අනුරූ වලට වර්ණ එකතු කර තවත් ඒවා හැඩගැන්වුවා.
පළමුවෙන් දෙවියන්ගේ සමේ පැහැයට හුරු වර්ණයක් එක් අනුරුවකට ලබා දුන්නා. ඉන්පසු අනෙක්වා
දිලිසෙන කළු, රෝස, ඇම්බර්, කහ, රතු, කොල, දම් පාට සහ තද නිල් පැහැයෙන් සෑදුවා. ඉතා
අලංකාරයි. ප්‍රොමිතියස්ට තමන්ගේ මෙම නිර්මාණය ගැන ඉතා සතුටුයි. ඔහු තරමක් වේලා එම අනුරූ
දෙස බලාසිටියා. ඉන්පසු ඔහු මෙහි අවසන් අදියර වූ සූර්ය රශ්මියට නිරාවරණය කිරීමේ කටයුත්තේ
නියැලුනා.
මොහොතකට පසු ඔහුට දෙවියන්ගෙත් රජු සියුස්ගේ හඬ ඈතින් ඇසෙන්න පටන් ගත්තා.
ඔහු සිටින්නේ තනිවම නොවේ. කාත් සමග හෝ කතා කරමින් පැමිණෙන්නේ. අනෙකා කාන්තාවක්. ඉතා
මෘදු, පහත් කටහඬක් තිබෙන්නේ. ඒ වෙන කවුරුත් නොව. සියුස්ගේ ප්‍රියතම දරුවා වූ ඇතීනා.
“එයා මේ ළඟ ඉන්නේ. ඔයාම බලන්නකො ගියාම.” ප්‍රොමිතියස්ට ඔවුන්ගේ කතාබහ
ඇසෙයි. “අපි එයාට කතාකරමු… ප්‍රොමිතියස්..!”
“මම මෙතන ඉන්නේ,” ප්‍රොමිතියස් ඔවුන්ට කතාකරා. “හැබැයි පරිස්සමෙන්
එන්න ඔතන…..”
ඔහුට කියා අවසන් කිරීමට හැකි වූයේ නැත. පරක්කු වැඩියි!
සියුස් ඉවසිලිමත් නොවූ නිසා ඔහු අඩිය තිබ්බේ මැටි අනුරූ පේලිය මතටයි.
ප්‍රොමිතියස් එවෙලේම එතැනට ගොස් අනුරූ වලින් විසිරී ගිය කැබලි අතට ගත්තා.
“අඥානයා…!” ප්‍රොමිතියස් කෑ ගැසුවා. “ඔයා මේවා විනාශ කරා. බලන්න…!”
මෙතෙක් මැවී ඇති කිසිදු සත්වයෙක්, ටයිටන්වරයෙක් පමණක් නොව දෙවි කෙනෙක්වත්
සියුස්ට මෙසේ ‘අඥානයා’ යනුවෙන් ආමන්ත්‍රණය කලහොත් ලේසියකින් ගැලවී යා නොහැකියි. නමුත්
මේ දෙස ඇතීනා පුදුමයෙන් බලා සිටියේ තම පියා සමාව ඉල්ලමින් ප්‍රොමිතියස්ට හිස නැමූ නිසයි.
ඇය මෙතෙක් එවන් දෙයක් දැක නැත. ඔලිම්පස් වලට ගොස් තම මිතුරියන් සමග මේවා කියුවත් ඔවුන්
විශ්වාස නොකරයි. ‘සියුස් කාටවත් හිස නමන්නේ නැහැ’ ඔවුන් නිසැකවම පවසයි. මෙම නිර්මාණ
තම පියාගේ ගෞරවයට වඩා වටිනා බව දැන් ඇය දනියි.
ප්‍රොමිතියස් සිතූ තරම් විනාශය දරුණු නැත. නැවත සෑදිය නොහැකි අයුරින්
විනාශ වී ඇත්තේ අනුරූ තුනක් පමණි. එයින් එකක් මඩෙන් එලියට ගත් විට සියුස්ගේ විශාල පා
සටහනක් ඒ හරහා තිබෙන අයුරු දැකගන්නට හැකි වුනා.
“ඇති යාන්තම්” සියුස් සතුටින් පැවසුවා. “අනික් හැම එකක්ම හොද තත්ත්වයේ
තියෙනවා, අපි වැඩේ ඉස්සරහට කරගෙන යමු නේද?”
“ඒත් බලන්න මේ දිහා” ප්‍රොමිතියස් කුඩු වී ගිය කැබලි කිහිපයක් අතට
ගෙන සියුස් දෙසට යොමු කරමින් පැවසුවා. “මේ කුඩා කොළ, දම්, නිල් ජීවීන් තමා මගේ ප්‍රියතම
ඒවා”
“ඒත් අපිට තවම තියෙනවනේ කළු, දුඹුරු, කහ, රතු පාට ඒවා. ඒ හොදටම ඇති.
බලන්නකො ඉතින් මේවත් ලස්සනයිනේ” සියුස් ප්‍රොමිතියස්ගේ සිත නම්මගන්න අයුරින් කියා සිටියා.
“ඒත් මම හරිම කැමතියි අර දිලිසෙන නිල් පාට එකට. ඒක තුනටියෙන්ම කැඩිලා
ගිහින්”
ඇතීනා බිම තිබෙන බේරුනු මැටි අනුරූ දෙස බලමින් “ප්‍රොමිතියස්, මේවා
හරිම ලස්සනයි” යැයි කියා සිටියා. ඔලිම්පස් වල අවධානය ගැනීමට කරන ගෙරවිලි හෝ මොනයම්
ඝෝෂාවකට වඩා ඇතීනාගේ මෙම සියුමැලි කටහඬ සමත්. මේ ඇසූ විගස ප්‍රොමිතියස් සතුටු වී ඇතීනාට
ස්තූති කරා.
“මම මගේ හදවතින්මයි මේ නිර්මාණ කළේ.”
සියුස් ඇතීනාව මෙහි ගෙනාවේ එක් හේතුවක් උඩ. එනම් ඇයගේ හුස්ම මෙම අනුරූ
වලට ලබාදීමටයි. එමගින් ඔවුන්ට ජීවය ලබාගත හැකියි. මේ නිසා ඇතීනා කුඩා අනුරූ අසලට ගොස්
නැවී එකින් එකට තමාගේ හුස්ම ලබාදුන්නා. ඉන්පසු ඇය ප්‍රොමිතියස් සහ සියුස් වෙතට ගොස්
ඊළඟට සිදුවන්නේ කුමක් දැයි නොඉවසිල්ලෙන් බලාගෙන සිටියා.
සියල්ල සිදුවූයේ ඉතා හෙමින්. එකින් එක හෙමිහිට සෙලවෙන්න පටන් ගත්තා.
ඉන්පසු දණහිස හා අත් ආධාරයෙන් කකුල් දෙකෙන් සිටගත්තා. ඇස් අරිමින් ඔවුන් අවට තිබෙන
දේ බැලීමට පටන් ගත්තා. ඔවුන් තම තමන්ගේ මුහුණ අතගාමින් එහි හැඩරුව හදුනාගැනීමට වෙහෙසුනා.
මේවා දකින සියුස්ට ඉතා සතුටුයි. ඔහු ප්‍රොමොතියස්ගේ අතින් අල්ලාගෙන,
“බලන්න..! එයාලා කොච්චර ලස්සනද” යැයි කියමින් කෑ ගසමින් උඩ පැන්නා.
ඇතීනා ඔවුන් දෙස බලා ඇගිල්ලක් ඇගේ මුවෙහි තබා “කෑ ගහන්න එපා එයාලව
ඔයා බය කරනවා”
“මම හිතන්නෙ අපි එයාලා ගාවට ගියොත් හොදයි. අපේ ශරීර ප්‍රමාණයත් එයාලගෙ
ප්‍රමාණයට පොඩි කරගමු. එතකොට බයවෙන එකක් නැහැ” යැයි ප්‍රොමිතියස් යෝජනා කරා. මේ නිසා
තිදෙනාම තම තමන්ගේ ශරීර ප්‍රමාණය කුඩා ජීවීන්ගේ ශරීර ප්‍රමාණයට වඩා අඩියක් පමණ උස වන
ආකාරයට කුඩා කරගෙන ඔවුන් අසලට පියමැන්නා.
“හොදයි එහෙනන් පොඩි ළමයිනේ, බයවෙන්න ඕන නැහැ” සියුස් ඔවුන් වෙතට පැමිණ
කියා සිටියා. සිනහවෙන් හා කාරුණික වදන් වලින් සියුස් ඔවුන්ව ආමන්ත්‍රණය කිරීම නිසා
ඔවුන්ගේ බිය දුරු විය. ඉන්පසු ඔවුන් සියලු දෙනා සියුස්ට, ඇතීනාට හා ප්‍රොමිතියස්ට වන්දනාකරා.
“මට වඳින්න ඕන නැහැ” එක් අයෙක් ප්‍රොමිතියස්ට වැඳීමට යන විට ඔහුගේ
දෑත් අල්ලා ගනිමින් ප්‍රොමිතියස් කියා සිටියා. ඔවුන් සියලුම දෙනාගෙ ඇස් ජීවයෙන් සහ
ශක්තියෙන් පිරී තිබුනා.
“මොකක්ද කිව්වේ…” සියුස් පැවසුවා. “ඒ හැම කෙනෙක්ම අපිට වඳින්න ඕනෙ.
අපි එයාලගෙ දෙවියෝ, එයාලට ඒක අමතක කරන්න බැහැ.”
“මම එයාලගෙ දෙවි කෙනෙක් නෙමේ” ප්‍රොමිතියස් පැවසුවා. “මම එයාලගේ මිත්‍රයෙක්.”
ප්‍රොමිතියස් ඔවුන්ට වඩා පහත් වීම සදහා දණ ගසාගත්තා. “මම මෙයාලට කියල දෙනවා වගා කරන
හැටි, කෑම හදන හැටි, ආයුධ හදන හැටි…”
“නැහැ!” ආයුධ ගැන ඇසූ සැනින්ම සියුස් කෑ ගසා සිටියා. සියුස්ගේ කේන්තිය
සංකේතවත් කරමින් අහසත් දැඩි අඳුරක් ගත්තා. “ඔයාට මෙයාලත් එක්ක කැමති විදිහට මිත්‍රකමක්
පවත්වන්න පුලුවන්, ඔලිම්පස් වල ඕනම දෙවි කෙනෙක්ට මේ අයත් එක්ක මිත්‍රකමක් පවත්වන්න
පුලුවන්. හැබැයි කවදාවත්ම මෙයාලට ‘ගින්දර’ අයිති වෙන්න බැහැ”
මෙය ඇසූ ප්‍රොමිතියස් පුදුමයෙන්, “ඒත්… ඇයි එහෙම?”
“ගින්දර ලැබුනොත් මෙයාලට පුලුවන් අපිට අභියෝග කරන්න. ගින්දරත් එක්ක
එයාලා හිතන්න පුලුවන් අපි එයාලත් එක්ක සමානයි කියලා. මට ඒක තේරෙනවා වගේම මම හොදටම දන්නවා.
ඒක ඒ විදිහටම සිද්දවෙයි. ඒ නිසා කවමදාකවත් මෙයාලට ගින්දර ලබාදෙන්න බැහැ.!”
සියුස්ගේ කේන්තියත් වැඩි වේලාවක් යාමට පෙර පහවී ගිය අතර ඒත් සමගම අහසේ
අදුරත් පහව ගියා.
දැන් සියුස් සිනාමුසු මුහුනින්, “ප්‍රොමිතියස් මගේ මිත්‍රයා, මෙයාලට
මේ ලෝකයේ අනිත් හැමදේම විඳින්න පුලුවන්, හැම කොනකටම යන්න පුලුවන්, හෙස්ටියාගෙන් නිවසක්
පාලනය කරන හැටි ඉගෙනගන්න පුලුවන්, ආටෙමිස්ගෙන් දඩයම් කරන හැටි, ඇෆ්රොඩයිට්ගෙන් ආදරය
කරන හැටි, ඇපලෝගෙන් සංගීතය ඉගෙන ගන්න පුලුවන්. අපේ මේ ඇතීනට පුලුවන් බුද්ධිමත් වෙන
විදිහ කියල දෙන්න. එයාලා නිදහසේ සතුටින් ඉඳීවි”
“අපි මෙයාලට මොකක් කියලද කතා කරන්නේ?” ඇතීනා විමසා සිටියා.
“අපි මෙයාලට කියමු ‘ඇන්ත්‍රොපෝස්’ කියලා” සියුස් යෝජනා කරා.
සියුස් අත්පුඩි ගසනවාත් සමගම මෙම ජීවීන් විශේෂය ගුණනය වී දහස් ගණන්
ඇතිවුනා. ඔවුන් සියලු දෙනා එහෙ මෙහෙ යමින් පොළොවේ ස්ථාපනය වීමට සූදානම් වුනා. නමුත්
කුමක් හෝ මගහැරුනු දෙයක් තිබෙනවා. කුමක් හෝ විශේෂ දෙයක්.