Thursday, May 14, 2020

සැවොම සොයන ඇට්ලැන්ටිස් ඇත්තක් ද?


ප්ලේටෝ යනු ග්‍රීසියේ සිටි අදටත් බොහෝ දෙනා නමින් හඳුනන ප්‍රකට දාර්ශනිකයෙක්. ප්ලේටෝ තමන්ගේ දර්ශනය තුල මිනිස් ජීවිතය පිළිබඳ බොහෝ අවස්ථාවලදී ‘ඇත්ත’ ප්‍රකාශ කළ නිසා සියවස් ගණනාවකට පසුත් ඔහුගේ නාමය නිතර කතාබහට ලක්වේ.

ඔහුගේ කතාන්දර අතරින් ඉතා ප්‍රකට වූයේ මිත්‍යාවක් වූ ඇට්ලැන්ටිස් නම් වූ ශිෂ්ටාචාරයේ කතාන්දරය. නමුත් ප්ලේටෝ මියගොස් වසර 2300කට පසුත් මෙම ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය පිළිබඳ කතාබහට ලක්වන්නේ ඇයි? මෙම සටහන එය සොයා බැලීමටයි.

“මේ කතාව මිනිසුන්ගේ පරිකල්පනය තදින් අල්ලාගන්නවා” යැයි මහාචාර්ය ජේම්ස් රොම් පවසයි. “මේක ප්‍රබල මිත්‍යා කතාවක්. මිනිස්සු ආදරය කරන හීනෙන් මවන බොහෝ අංග මේ කතාන්දරයේ තියෙනවා”

ප්ලේටෝ මෙම කතාව පවසන්නේ ක්‍රි.පූ. 360 දී. ආසන්න වශයෙන් අදින් වසර 2300කට පෙර. ඔහු පවසන ආකාරයට ඇට්ලැන්ටිස් හි නිර්මාපකයන් අර්ධ මිනිස් හා අර්ධ දේවත්වයෙන් යුතු පුද්ගලයින්. ඔවුන් මෙම යුටෝපියානු ශිෂ්ටාචාරය බිහිකර ශක්තිමත් නාවික බලයක් ද අත්කරගන්නවා. ප්‍රධාන දිවයිනකට මැදිව එය වටා පිහිටි දිවයින් කිහිපයකින් මෙම ශිෂ්ටාචාරය සමන්විත වනවා. වටේ පිහිටි දිවයින් රත්තරන්, රිදී ඇතුලු වටිනා ලෝහ රැසකින් සමන්විත වෙයි.

ඇට්ලැන්ටිස් තිබුනු ස්ථානය ගැන ඉතිහාසය පුරාවට මතවාද බොහොමයක් පවතියි මධ්‍යධරණී මුහුද, ස්පාඥ්ඥයේ වෙරළබඩ තීරය , ඇන්ටාක්ටිකාව ස්ථාන කිහිපයකි. “සිතියමෙන් ඕනම තැනක් තෝරගන්න, කවුරුහරි කෙනෙක් කියල තියෙනවා ඇට්ලැන්ටිස් තියෙන්නෙ එතන කියලා” යැයි නිව් යෝර්ක් ප්‍රාන්ත කෞතුකාගාරයේ චාර්ල්ස් ඕර්සර් පවසයි.

ප්ලේටෝ පැවසුවේ ඇට්ලැන්ටිස් තිබුනේ ඔහුගේ කාලයට වසර 9000කට පෙර බවයි. පසුව මෙම කතාන්දරය කවියන්, ලේඛකයින්, පූජකවරුන් විසින් වර්ධනය කරන්නේ තම තමන්ගේ හිතලු එකතු කරමින්. මෙය ඉතිහාසගත කතාන්දරයක් සාමාන්‍යයෙන් අද දක්වා පැමිණෙන ආකාරයයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මවක් තම ළමයින් “පලවෙනියෙන් ලෝකයට බිහිවුනේ කව් ද?” යැයි ඇසූ විට දුන් පිළිතුර වසර දහස් ගණනක් වර්ධනය වී අද බයිබලයේ උප්පත්ති පොතට පැමිණ තිබේ. උප්පත්ති බොහෝ බොහොමයක් කතාන්දර වල මූලය පැමිණෙන්නේ පෙර කියූ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන්. නෝවාගේ නැව, කතාකරන නයා, ඒදන් උයන, බාබෙල් කොත යන කතන්දර මෙසපොතේමියාවේ ළමයිනුත් උගෙන තිබේ.

“මේ ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වුනු කිසි කෙනෙක් ඇට්ලැන්ටිස් ඇත්තටම තිබුනා කියල නැහැ” යැයි පවසන්නේ සාගර ගවේෂක රොබර්ට් බැලර්ඩ් විසින්. 1985 දී ටයිටැනික් නැව මුහුදු පතුලේ සොයාගත්තේ ඔහුයි. ඔහු තවදුරටත් පවසන ආකාරයට ඇට්ලැන්ටික් පිළිබඳ කතාන්දර තර්කානුකූල දෙයක් බවයි. ඒ අති විශාල ගංවතුරවල්, ගිනිකඳු පිපිරීම් වැනි සාධක නිසයි. මෙයට යම් සමානත්වයක් දැක්විය හැකි සිදුවීමක් වන්නේ මීට වසර 3600 කට පමණ පෙර ගිනිකඳු පිපිරීමක් නිසා ග්‍රීසියේ ඒජියන් මුහුදේ සැන්ටෝරිනී දූපතේ තිබූ සියලු දෑ අතුරුදහන් වීම දැක්විය හැකියි. නමුත් මේ ඇට්ලැන්ටිස් බව බැලර්ඩ් පිළිගන්නේ නැහැ. ඒ ඇට්ලැන්ටිස් විනාශ වූ කාලය පිලිබඳ ප්ලේටෝ කියූ දෑ මෙම සිදුවීමත් සමඟ නොගැලපෙන නිසා.

ප්ලේටෝ මෙම ඇට්ලැන්ටික් කතාන්දරය තම දාර්ශනික මතවාද මිනිසුන්ට කීමට ගත් එක් ආකාරයක් ලෙසත් තවත් විද්වතුන් පවසා සිටිනවා. මිනිසුන්ගේ චරිතය, සියල්ලෙන් සපිරි සමාජයක්, මිනිසාගේ වැටීම් වලට හේතු වැනි කාරණා මිනිසා වෙත කීමට ඔහු යොදාගත් එක් ආකාරයක් ලෙස ඇට්ලැන්ටිස් කතාන්දරය ඔවුන් විස්තර කර සිටියි.

ඇට්ලැන්ටිස් පිලිබඳ කතාන්දරයෙන් කියැවෙන්නේ සදාචාර සම්පන්නව, ධාර්මිකව ඉතා ඉහළ දැනුමකින් හෙබි සමාජයක් ආත්මාර්තකාමීව, සාරධර්ම වලින් ගිලිහී ව ජීවත් වූ නිසා දෙවියන් කෝප වී ඔවුන්ට විරුද්ධව කටයුතු කරයි. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම වූයේ එක් රැයකින් ගින්දර හා භූමිකම්පා වලින් ඇට්ලැන්ටිස් නගරය විනාශ වී මුහුදුබත් කිරීමයි.

මිත්‍යා කතාවකින් වුව ද ඉගෙනගැනීමට දෙයක් ඇත්නම් එය විචාරා ජීවිතයට ඇතුලත් කරගත යුතු බව මගේ විශ්වාසයයි. ඉතිහාස කතාන්දර තුලින් මෙන්ම මිත්‍යා කතාන්දර තුල ද ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයක් ගැබ්ව පවතියි. ඉතිහාසය කියවන විට ඒ ඒ ශිෂ්ටාචාර හා අවධි වල මිත්‍යා කතා අධ්‍යනයට මම වැඩිපුර කැමැත්තක් දක්වන්නේ ඒ නිසාවෙන්.

‘ඇට්ලැන්ටිස් සොයාගැනීමට වෙහෙසුනාට කමක් නැත. නමුත් ඔවුන් මෙන් වීමට උත්සහ ගන්න එපා’


8 comments:

  1. අපි ජනප්‍රවාදයන් මිතයාවන් ලෙස එකවරම බැහැර කරන්න අමාරුයි. ලංකා ඉතිහාසයේත් බොහෝ ජනප්‍රවාදයන් තියනවා. ප්ලෛ්ටෝ වැනි දාරශනිකයන් මන:කල්පිතයන් ගොඩනැගුවාද යන්න ගැටළුව.ක් ඒ නිසා ඔබ කියන දෙයට මමත් එකඟයි.
    විචාරක දියණයි

    ReplyDelete
    Replies
    1. ජනප්‍රවාද වල හැංගිච්ච පොඩි හරි ඇත්තක් තියෙන්න පුලුවන්...

      Delete
  2. මගේ හිත තදින්ම ඇදගත් කතාවක්. මිත්‍යාවක් වෙනවාට තමා අකමැති.

    ReplyDelete
  3. මිතිල ශිෂ්‍යයාට කියවීමට අගනා පොත් කිහිපයක නම් දැම්මා මේ පොස්ට් වල. එව්වා අයින් කරේ ඇයි? සාන්ත තෝමස් කොලීජියට ගියාට ඉංග්‍රීසි බැයිද? ඇයි ඉගෙන ගත්තු පාසලට නවනින්ගිරා වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මම කෙනෙක් ලියන දෙයක් මකන්නෑ හේතුවක් නැතුව. කුණුහරප නම් වලින් බොරු පොත් වල නම් ලියල දාන කමෙන්ට් දෙසැරයක් හිතන්නෙ නෑ මම මකනවා. මොකද කාලෙක ඉදන් මගෙ බ්ලොග් එක කියවන්න හුරුවුනු පාසල් ළමයිනුත් ඉන්නවා.

      Delete
  4. බොරුපොත් වෙන්නේ කොහොමද? සර්ච් කරලා බැලුවනං පෙනෙයි එහෙම පොත් තියෙනවා කියලා. අනික පොඩි පාසල් සිසුවෙක්ගේ බ්ලොග් ඒකෙ බොරු,කුණුහරුප නම් ලියන්න අපිට පිස්සු ඇයි?

    ReplyDelete
    Replies
    1. හොදයි ඇනෝ එහෙනම් ඊළඟ වතාවෙ පොතක සබැදියක් එක්කම දාන්න...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...