Monday, May 18, 2020

කටපාඩම හා ඉගෙනීම

හෙට එනකොට ඔය කෙටි කතාවේ ප්‍රකාශ ටික කටපාඩම් කරගෙන එන්න ඕන. නැත්තන් දණගස්සල තියෙනවා”

“හෙට එනකොට ගුත්තිල කාව්‍යයේ මුල් කවි ටික පාඩම් කරල තියෙන්න ඕන. නැත්තන් විචාර ලියන්න බැහැ.”

පාසල් යන ළමයෙක් නම් මෙවැනි කියුම් නිතර කනට රාත්‍රියේ රැහැයියෙක් කෑ ගසනවා මෙන් ඇසෙයි. ඔවුන්ට උවමනාව තිබුනත් රැහැයියාගේ ශබ්දය නතර කළ නොහැකියි. රැහැයියාව මරන්නට සිතෙයි. එයත් කළ නොහැකියි. එක් රැහැයියෙක් මැරුවත් තව රැහැයියෙක් කෑ ගසයි. මේ පාසල් ගුරු රැහැයියන්ගේ ශබ්දයත් නැවැත්විය නොහැකියි. ඒ රැහැයි හඬ අසා නිවසට පැමිණි විටත් රැහැයි හඬ රැව් පිළිරැව් දෙයි. ඒ දෙමව්පියන්ගේ වේශයෙන්.

“කටපාඩම් කරපිය ඕක. නැත්තන් දෙන්නෙ කෝටු පාර”

කටපාඩම් කිරීම අපගේ පාසල් සංස්කෘතිය තුල කැපී පෙනෙන්නක්. පාසලේ බහුතර අධ්‍යාපනය මූලික වන්නේ මේ කියන කටපාඩම් කිරීම මතයි. සිංහල ගත්තත් කවි කෙටි කතා නවකතා කටපාඩම් කිරීමට කියයි. ගණිතය පන්තියට එනවිට චක්කරේ කටපාඩම් කිරීමට කියයි. විද්‍යාවට එන විට ආවර්තිතා වගුව කටපාඩම් කිරීමට කියයි. මේ සියලු දෙයින් නිදහසක් ශාන්තියක් බලාපොරොත්තුවෙන් ආගම පන්තියට යන ළමයාට දස පනත පංච ශීලය කට පාඩම් කිරීමට කියයි.

“මොන මගුලක් ද මේ.”

ඒ පාසල් ළමයෙක්ගේ සාමාන්‍ය සිතුවිල්ලක්. විටෙක මගුල යන වචනෙ වෙනස් වී තරමක් සැර වචන ද එක්වන අවස්ථා ඇත. මෙසේ කටපාඩම් කිරීම නැතහොත් සාම්ප්‍රදායික වදනෙන්ම ගතහොත් වණපොත් කිරීම අපගේ අධ්‍යාපනයේ අඩිතාලමක් වී හමාරයි. අතීතයේ ලේඛනය නොතිබූ අවධියේ දී ලාංකිකයා විසින් ත්‍රිපිටකය ගෙනාවේ වණපොත් කිරීමෙන්. තල්පතෙන් පුස්කොළ සෑදුනු විට පිටපත් කිරීමත් අපහසු වූ නිසාත් වණපොත් කිරීම දිගින් දිගටම පැවතුනි. මෙතරම් තාක්ෂණයක් දියුණු අවධියක දී කටපාඩම් කිරීම කෙතරම් ප්‍රායෝගිකද යන්න දැන්වත් සොයාබලා කටයුතු කළ යුතුයි. දසපනත පංච ශීලය ස්ලෝක කටපාඩම් කිරීම වෙනුවට එහි අඩංගු දෑ තේරෙන ලෙසට දන්න භාෂාවකින් කියා අර්ථය මනසට කාවැද්දිය යුතුයි.

කෙටි කතාවක් උදාහරණයට ගමු. මහාචාර්ය ඒ.වී. සුරවීර මහතාගේ ‘අපටත් දවසක ඉර පායාදෝ’ කෙටි කතාව. සිරියාවතී චිත්‍ර අඳින විට අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් නොඇඳ මාළු වෙළෙන්දියක් ඇදීම සිදුවීම ගමු. මෙය විචාරන විට එයට අදාළ උපුටනය කටපාඩම් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. විචාරනවා යනු කටපාඩම් කිරීම නොවේ. අවශ්‍ය වන්නේ අදාළ සිදුවීම යටි පෙළ නිවැරදිව කියවීමයි. දිළිදු ළමයෙක්ගේ සහ පොහොසත් ළමයෙක්ගේ ආශාව සතුට රැඳී ඇති තැන්, දිළිදු පවුල් අශාවට ප්‍රථම පණ නල රැක ගැනීමට දරණ වෙහෙස, සිරියාවතී මාළු වෙළෙන්දියක් ඇන්ද නමුත් අනෙක් අයගේ චිත්‍ර අවඥාවට ලක් නොකිරීම, ආදි කාරණා ළමයෙකුට විශ්ලේෂණය කල හැකිනම් කටපාඩමින් ඇති ඵලේ කුමක්ද? විචාරයට අවශ්‍ය සිතුවිලි දාමයේ ශක්තිය නැංවීමයි වැදගත් වන්නේ.

සාමාන්‍ය පෙළ සිංහල විචාරයක් ලියන විට කොහෙන් හෝ කටපාඩම් කරගත් හෑල්ලක් ලිවීමට බොහෝ ළමුන් හුරුව සිටියි. “එකම විචාරෙ දහසැරයක් විතර ලිව්වම හරි. ඕවම තමා එන්නෙ” දෙමව්පියන්ගෙනුත් මෙයට උදව්වක් ලැබෙන්නේ නැහැ. කෙතරම් කටපාඩම් විචාර ලියනවාද කිවහොත් කේ. ජයතිලක මහත්තයාගේ අපටත් වැසිකිළියක් අස්සේ ගුත්තිල මූසිල දෙපැත්තට වී සිටින අයුරු මම කියවා ඇත්තෙමි. විචාරන විටත් ගුණ වයන හොරණෑ මෙන්ම එම විචාර සමන්විත විය යුතු වීමත් මම දකින අඩුවක්. වරදක් අඩුපාඩුවක් ඇතොත් එය සෙවීමටත් නිදහස් මනසකින් සාහිත්‍යක් අධ්‍යනයටත් ළමයාට හැකියාවක් අත්කර දිය යුතුයි.

“ඇයි සර් මූසිලට ගොඩක් තැන් වල බනින්නේ. ගුත්තිල හොර කරලනෙ දින්නේ” හතර පැත්තෙන් සිතීමේ නිදහස කොටු වී ඇති අධ්‍යාපනයක් තුල මෙසේ ළමයෙක්ගෙන් අදහසක් පැමිණීම ගැන මට දැනුනේ සතුටක්. සම්මතය ලෙස මූසිලට නොබැන මූසිලගේ පැත්තෙනුත් කතාව කියවිය යුතුයි. එවිටයි නිවැරදි විචාරයක් වන්නේ.

“දැන් කොහොමද ඔයා ඉතිහාසය පාඩම් කරන්නේ”

“පිටුවෙ උඩ ඉදන් පල්ලෙහාට පස් සැරයක් කියෝනවා”

ඕං ඕකයි මෙවර සාමාන්‍ය පෙළ ලියන ළමයෙක්ගෙන් මම ඇසූ විට ලැබුනු පිළිතුර. යම්කිසි සිදුවීමක් මතක තබාගැනීමට අවශ්‍ය නම් එය රසවත් ආකාරයකට තම තමන්ගේ මනස වෙත සම්ප්‍රේෂණය කල යුතුයි. සාමාන්‍ය පෙළ අවධියේ දී සංගීතයට හැර (පියානෝව වාදනය ඉගෙනීමට) අනෙක් එකදු විෂයකට මම උපකාරක පන්ති වලට ගියේ නැත. ගියත් සතියකි. උපරිම දෙකකි. ඒ මා සහභාගි වූ එකදු උපකාරක පන්තියකින්වත් පාසලේ ඉගැන්වූ දේට එහා දෙයක් ඉගැන්වූයේ නැති නිසාවෙන්. ඇරත් කොළඹ සිට නිවසට ඒමට පැය ගණනක් යන නිසාවෙන් මහන්සි පිට පන්ති වලට ගාටන්න මට සිත් දුන්නේ නැහැ.

තනිවම ඉගෙන ගන්නා නිසා ඉගෙන ගැනීමට කටපාඩමෙන් තොර පිටු උඩ සිට පල්ලෙහාට කියවීමෙන් තොර ක්‍රමයක් මම අනුගමනය කලෙමි. ඒ ඉගැන්වීමයි. පලමුවෙන් පාඩම කියවා පොත දෙස බලාගෙනම සිතින් මවාගත්තෙකුට මම අදාළ පාඩම් ඉගැන්වීම පටන් ගනියි. ටිකකින් මම ඔහුගෙන් ප්‍රශ්න අසයි. ඉන්පසු ඔහුගේ පැත්තෙන් මම ම නැවත ඒවාට පිළිතුරු දෙන්නෙමි. ගුරුවරයෙක් කළු ලෑල්ලේ ලියනවා මෙන් මම කොළ කෑල්ලක ඉගැන්වීමට අදාළ සටහන් ලිවීමට ගනියි. දැන් ප්‍රශ්න පත්‍රයක් ලිවීමේ වේලාව. ප්‍රශ්න පත්‍රය සාදන්නෙත් මම. ලියන්නෙත් මම. ඒවා නිවැරදි ද කියා බලන්නෙත් මම. සාමාන්‍ය පෙළ අවසන් වූවාත් සමගම පටන් ගත් ළමුන්ට ඉගැන්වීමේ කටයුතු අද දක්වාත් කරගෙන යන්නේ ඒ පුහුණුව නිසා විය යුතුයි. මෙසේ ඉගැන්වීමට ළමයාට පුහුණු කළහොත් මේ කොරෝනා වසංගත කාලයේ දී අපහසුවකින් තොර අධ්‍යාපනයක් ළමයාට අත්කරගත හැකිවන බව මගේ විශ්වාසයයි.


21 comments:

  1. ඔබතුමා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඉහල පෙලේ නිලධාරීයෙක්ද?

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ මහත්තයා කලින් දවසකත් ඕක මගෙන් ඇහැව්වා නේද...

      Delete
  2. කටපාඩම් කිරීම ගැන ඉස්ලාමයේ සඳහන්වන්නේ මෙහෙමයි.

    අල්ලා දෙවියන් මිනිසා මවා ඇත්තේ කුරානය කට පාඩම් කල හැකි ලෙසයි.
    ඒ නිසා තමයි යුදෙව්, ක්‍රිස්තියානි ආගමිකයන් පොත් බලාගෙන දේව වචනය කියද්දී,
    මුස්ලිම්වරුන්ට අභිමානත්ලෙස කටපාඩමින් දේව වචනය කීමට හැකිවී ඇත්තේ.

    පොතක ලියා ඇතිදෙයක් මෙන් නොව කටපාඩමින් ඇති දෙය හදවතට දැනෙනබව ඉස්ලාමයේ සඳහන්.

    එසේම ලොකයේ අවසානය එලැඹෙද්දී පොත් බලාගෙන ආගම සිහිකරන්නන් වැඩිවනබවත් ඉස්ලාමයේ සඳහන්. බලන්න ඒ කතාව කොච්චර ඇත්තද?

    බුද්ධාගමේ ආනන්ද හාමුදුරුවන්ටත් ඉතා ඉහල මතක හැකියාවක් තිබුනා. හැබැයි ඒක ලෙඩක් විය යුතුයි. අමතකනොවීමේ රෝගය කියලා එකකුත් තියෙනවා.

    මටත් කටපාඩම් කිරීමේ හැකියාව ඉහලින් පිහිටලා තියෙනවා. ඉස්කෝලෙදි මම එකෙක් කියනදේ අහගෙන ඉඳලා ඉස්පිල්ලක් පාපිල්ලක් වරද්දන්නැතුව අනිකට කියලා තියෙනවා. ඒ නිසා මට දෙනගම සිරිවර්ධන වගේ නම්වලින් උපහාර ලැබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තත් කටපාඩම් කිරීම ඉගෙනීමට සාර්ථක ක්‍රමයක් කියල පිළිගන්නෙ නැහැ...

      Delete
  3. කවි, ගීත, යෙදුම් වගේ දේවල් නම් කටපාඩම් කරගන්න වෙනවනේ. ඒ ඇරුනාම ඇතැම් දේවල් දිහා විචාරාක්ෂියෙන් බලන්න හුරු කරවීමයි වැදගත්. අපේ රටේ ගොඩක් දෙනාට හිතලා බලන පුරුද්ද තමා අඩු. ඉතින් කොහෙද විග්‍රහයක් කරන්නේ- අලුතින් යමක් හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. කවි කටපාඩම් කිරීමද වෙන්න ඕන යටි පෙළ නිවැරදිව කියවාගන්න හැකියාව ඇති වීමද වෙන්න ඕන...පාසල් වල විතරක් නෙමේ විශ්වවිද්‍යාල මට්ටමිනුත් මම අඩුව දකිනවා...උපුටන කටපාඩම් කරන් යන්න ඕන විභාග ලියනකොට... ඒ කරන දෙයින් ඇති ඵලක් මම දකින්නෙ නැහැ...

      Delete
  4. මිතිල ශිෂ්‍යයාට ආධුනික ලේඛකයෙක් හැටියට ප්‍රයෝජනවත් යම්කිසි දැනමුතුකමක් දෙන්න කැමතියි. මේ වගේ ලිපි පලකරනකොට එහි මුල් රචකයාගේ නම සඳහන්කරන්න සැලකිලිමත් වන්න.

    ReplyDelete
  5. දැන් මේ විදියට ඉගෙනගෙන මිතිල ශිෂ්‍යයා මොරටුව හෝ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න තරම්වත් ඉහළින් උසස්පෙළ සමත් උනාද?

    ReplyDelete
    Replies
    1. මිතිල ශිෂ්‍යයාගේ උසස්පෙළ ප්‍රතිපල දැනගන්නට කැමතියි. අකමැත්තක් නැතිනම් ප්‍රකාශ කරනවද?

      Delete
    2. මම අහන අහන හැම පෞද්ගලික දේකටම නමක්වත් නැති කෙනෙක්ට කියන්න ගත්තොත් වඩාත් පෞද්ගලික දේවලුත් අහන්න ගන්න පුලුවන්. අදාල කරුණු ඔස්සේ සංවාදයට යන්නෙ නැතුව පෞද්ගලිකත්වය අරගෙන ඒකෙන් පහර දෙන්න හදන සංවාදය හරි නෑ නේද ඇනෝ මහත්තයෝ....

      Delete
  6. වණපොත් නෙවේ වනපොත් නේද ? වැරදි නම් එය නිවැරදි කරන්න. නැත්තං මේක පොඩිඋන් කියවලා වැරදි අක්ෂර භාවිතයට හුරු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම භාවිතයේ තියෙනවා...ඩික්ෂනරියෙන් බලන්න...

      Delete
  7. ජීවිතයේ සමහර දේවල් අපිට මතක තියාගන්න වෙනවා.සමහර ක්ෂේත්‍රවල වැඩකරන අයට යම් යම් කරුණු මතක තබා ගන්න වෙනවා. ඒ වගේම මතක තබා ගැනීමටත් පුහුණුවක් අවශ්‍යයි.මේ ලබා දෙන්නේ ඒ පුහුණුව වෙන්න පුළුවන්. නමුත් හැම දේම කටපාඩම් කිරීම කියන්නේ තේරුමක් නැති වැඩක්. ඒ වගේම දේවල් මතක තබා ගන්න උත්සාහ කිරීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩ් වෙනවා වගේම වයසට යද්දි සමහරුන්ට ඇතිවන ඩිමෙන්ශියා නම් රෝගය පවා අඩු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ පාඩමක් මතක තියාගන්න එක කරන්න ඕන. ඒකට විදිහක් තියෙනවා. කටපාඩම සාර්ථක ක්‍රමයක් නෙමේ.

      Delete
  8. සල්ලි හොයන්න ගිහින් බොරු බේගල් වලට රැවටුනාද, එහෙනම් එන්න අව්රුදු ගානක් එකදිගටම සල්ලිගෙවන මේ සයිට් එකට. ආපුගමන් නම් සල්ලි නිකන් දෙන්නෑ. ඒක කොයිකෙත් එහෙමයි. මේක දිගටම කරගෙන ගියොත් ටික ටික කරගෙන ගියහැකි. මම 2014 ඉදන් වැඩ. බොරු කාරයොන්ට අහුවෙන හින්දයි මේක දාන්නේ. මොකද මාත් ඉස්සර හොදට අහුවුණා, මෙන්න මගේ ඉමෝ නම්බරේ 0750990262 ඉමෝ විතරක් Chat කරන්න. හැමදේම මුල ඉදල කියල දෙනව. සල්ලිගත්ත proof පෙන්නනවා. මේ ලින්ක් එකෙන් ගිහින් Email දීල රෙජිස්ටර් වෙලා මාව Contact කරගන්න.පියවරෙන් පියවර හැමදේම මේකෙ තියනව. Link - https://americanblogreaders.blogspot.com/2020/05/online.html කරගන්න අමාරු නම් කියල දෙන්නම්. ජය වේවා !

    ReplyDelete
  9. මගේ මතය නම් හැම දෙයකම 50%ක් තිබිය යුතුයි කියල.මගේ විෂයන් තුල නම් කට පාඩම් කරන එක තේරුමක් නෑ නමුත් කලා විෂයක් කොහමද කියන්න නම් දන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. කලා විෂයන් පැත්තෙන් ගත්තොත් ගොඩක් විභාග හැදිලා තියෙන්නේ කටපාඩම මත. ඉතින් ළමයින්ට අකමැත්තෙන් උනත් කරන්න වෙනවා. නමුත් කටපාඩමෙන් විභාගයක් සමත් වුනත් අනාගතයට ප්‍රයෝජනයක් නෑ. එවෙලෙට විතරයි.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...