Tuesday, September 24, 2024

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය-වජිරා චිත්‍රසේන


ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුළ කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුණේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපටවල කාන්තාවන්ගේ චරිතවලට පණ පෙව්වේ පිරිමින් ය. නර්තන කලාව ගත විට කාන්තාවන් නර්තන කලාවට පිවිසෙන්නේ 1930 දශකය වන විට යි. නර්තන කලාවට මුලින්ම පා තැබූ කාන්තාවන් ලෙස මිරියම් පීරිස් සහ චන්ද්‍රලේඛා හඳුනාගත හැකියි. නමුත් මොවුන්ගේ නර්තන ජීවිතය දීර්ඝ කාලීනව පැවතුන එකක් නොවේ. හතළිහ දශකය මැද වන විට එක්තරා කාන්තාවක් නර්තනයට පිවිසෙනවා. ඇය එකල කාන්තාවන්ට ඉඩක් වෙන් නොවූ වේදිකාව මත කාන්තාවට ඉඩක් වෙන් කර ගනිමින් වේදිකාව මත දස්කම් පෙන්වන්නට පටන් ගත්තා. ලාංකික මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට මූලික අඩිතාලම් දමමින් දක්ෂ නාට්‍ය පරපුරක් ඇය බිහි කරා. මෙම පුරෝගාමී නර්තන ශිල්පිනිය නමින් ‘වජිරා චිත්‍රසේන’ යි.

නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා සහ ලිලියන් පෙරේරා හට නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා උපන්නේ 1932 වසරේ මාර්තු මස 15 වන දින යි. පියා කළුතර නගර සභාවේ සේවය කළ අතර මාව කළුතර මහා විද්‍යාලයේ ගුරුවරියකි. වජිරාගේ පවුලේ සහෝදරියන් පස්දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර වැඩිමහල් සොහොයුරියක් කුඩා කල දීම මියගියේ ඇදුම රෝගය උත්සන්න වීම හේතුවෙනි. මුලින්ම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයයෙන් වජිරා අධ්‍යාපනය ලත් අතර, ඉන්පසු කළුතර බාලිකාවට ගොස් අවසානයේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබුවා ය. ඇයව නැටුම් ශිල්පිනියක් කිරීමට ලොකුම ආශාව තිබුණේ ඇයට වඩා ඇගේ මවට යි.



වජිරාගේ ජීවිතය වෙනස් වන්නේ චිත්‍රසේනව හමුවීම තුළින්. වජිරා කුඩා අවධියේ දී තරුණ චිත්‍රසේන, කළුතර නගර සභාවේ නගර ශාලාවේ ‘විධුර’ නාටකය රඟ දැක්වීමට පැමිණ තිබෙනවා. වජිරාගේ පියා නගර සභාවේ සේවය කළ අයෙක් නිසා වජිරා ඇතුළු පවුලේ උදවිය නිතර මෙම නාට්‍යයන් බැලීමට පැමිණ ඇති අතර සමහර දවස්වලට එම නාට්‍යයන් රඟ දක්වන කණ්ඩායම් රාත්‍රී ආහාරයන් සදහා වජිරාගේ නිවසට ද පැමිණ තිබෙනවා. මෙසේ චිත්‍රසේනයන්ගේ නාට්‍ය කණ්ඩායම ද වජිරාගේ නිවසට පැමිණ තිබෙනවා. මෙකල වජිරා ඉතා කුඩා වූ අතර මේ ඇය චිත්‍රසේනයන්ව මුණ ගැසුණු මුල් අවධිය යි. එකල චිත්‍රසේනයන්ගේ සහායක ශිල්පිනිය ලෙස කටයුතු කළේ ඉහත දී සදහන් කළ චන්ද්‍රලේඛා ය. වජිරාගේ වැඩිමහල් සොහොයුරිය වෛද්‍ය විද්‍යාලයයට තේරීම නිසා පවුලේ උදවියට කොළඹට පැමිණීමට සිදුවෙනවා. වජිරා කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයයට යන්නේ මෙම අවධියේ සිට යි. ඔවුන් කොළඹ නතර වන්නේ චිත්‍රසේනයන්ගේ නිවසේයි. ඉන් කලක් ගිය පසු චිත්‍රසේන වජිරා සමග විවාහ වෙයි. එවිට ඇයට වයස අවු. 18 කි.

1943 දී ලංකාව පුරා විසිරී සිටි දක්ෂ නර්තන ශිල්පියන් සහ බෙර වාදකයන් එකතු කර ගනිමින් චිත්‍රසේන නාට්‍ය සංසදය ඇරඹුණි. 1944 දී මෙය තවත් දියුණු වූ අතර එහි ප්‍රතිපලය වුයේ කොල්ලුපිටිය චිත්‍රසේන කලායතනය බිහි වීම යි. මෙම කලායතනය තුළ නර්තන කලාව පමණක් නොව ඊට සම්බන්ධ අනෙකුත් කලාවන් සම්බන්ධයෙන් විද්වත් කතිකාවත් ගොඩනැගුණි. ඒ සදහා සම්බන්ධ වූ අය අතර සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල සහ සෝමබන්ධු විද්‍යාපති (චිත්‍රසේනයන්ගේ පළමු නැටුම් ශිෂ්‍යයා) ආදීන් විශේෂ වේ.



වජිරා, චිත්‍රසේනගේ නාට්‍යයකට පළමුව සම්බන්ධ වන්නේ ‘විධුර’ නාට්‍ය තුළිනි. ඇය එහි නාග කන්‍යාවකට රඟපා තිබේ. විධුර නාට්‍යය සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා වූ සාදිරිස් මාස්ටර් විසිනි. එකල ‘පැජන්ට් ඔෆ් ලංකා’ යන නමින් තිබූ සංදර්ශනයකට චිත්‍රසේනගේ පියා අංග දෙකක් ඉදිරිපත් කළේය. ඒ ‘විජය සහ කුවේණි’ සහ ‘රාවණා හා සීතා’ ය. ඇය රවණා හා සීතා නාට්‍යයේ මුවෙකුට පනපොවා තිබේ. වජිරා මුද්‍රා නාට්‍ය කලාවට අත්පොත් තබන්නේ ‘කුමුදුනි’ මුද්‍රා නාට්‍ය මඟිනි. එය නිර්මාණය වූයේ ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙනි. ඒ ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යය යි. ලාංකික මුද්‍රා නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බඳු වූ ‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ රංග වින්‍යාසය ඇය නිර්මාණය කරයි. ඉන්පසු ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කළ හපනා ,ගිනි හොරා, වන මල්, සහ ඇන්ටිගනි යන කලාකෘතිවලට නිර්මාණය කළ රංග වින්‍යාසයන් තුළින් ඇයගේ හැකියාව මොනවට පැහැදිලි වේ. ඇයගේ රංග ප්‍රතිභාව මනාව පෙන්වුනු තවත් මුද්‍රා නාට්‍ය කිහිපයක් ලෙස ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, ශිවරංග, බෙර හඬ යන මුද්‍රා නාට්‍ය දැක්විය හැකියි. චිත්‍රසේන කලායතනයෙන් ලත් දැනුම නිසා තවතවත් තම දස්කම් මුවහත් කරගත් වජිරා, තම නර්තන කණ්ඩායමත් සමග 1957 දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලීන් රංග පීඨයේ දී නිකිතා කෘෂ්ව් ඉදිරියේ රංගනයේ යෙදුනා ය. එයින් නොනැවතුණු ඔවුන් චෙකොස්ලොවැකියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, ප්‍රංශය, ඕලන්දය,ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව ඇතුළු රටවල්වලට ගොස් තම දක්ෂතා පෙන්වා රටේ අනන්‍යතාව අන්තර්ජාතිකව ඉහළින් තැබීමට කටයුතු කළෝ ය.

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වෙමින්, කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක, වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවේදිනියන්ට තම කුසලතා පෙන්වීමට මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි. ඇය තම දියණියන් වන උපේඛා හා අංජලිකා යන අය කලාවට හඳුන්වා දුන් අතර සිය ගණනක් කලා ගුරුන් හා ගුරුවරියන් බිහි කර හා බිහි කරමින් පවතියි. චිත්‍රසේන කලායතනය තුළින් නාට්‍ය කලාවේ සභ්‍යත්වය ආරක්ෂා කර ගනිමින් ලාංකික මුද්‍රා නාට්‍ය කලාවක් ලෝකය හමුවේ තැබමින් කළ සේවය ඉතා ප්‍රශංසනීය යි.  



ප.ලි. වජිරා චිත්‍රසේන මහත්මියගේ වියෝව කන වැකුණු නිසා ඇයගේ සේවය නැවත මතක් කරමින් වසර පහකට ඉහතදී ලියූවක් නැවත මෙසේ පල කරමි.

3 comments:

  1. මංජුල - කඩවතSeptember 24, 2024 at 8:19 AM

    ඉතාම වැදගත් තොරතුරු සහිත ලිපියක් මිතිල සහෝදරයා.

    ඇත්තටම මේ වෙලේ මෙවැනි ලිපි වගේම අතිගරු ජනාධිපති අනුර කුමාර සහෝදරයා ගැනත් ලිපියක් පල කරන්නට පුළුවන් නම් වටිනවා.

    ReplyDelete
  2. හොඳ ලිපියක් මිථිල,

    මෙවැනි කලාකරුවන් පිළිබඳව වැඩිදුර විස්තර සොයා බලා අලුත් සංස්කෘතික මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට අප මාළිමාවේ ජාතික විධායක කමිටුව එහි සභික ජගත් මනුවර්ණ සහෝදරයාගේ මූලිකත්වයෙන් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙන අතර ඔබටත් එයට සම්බන්ධ වී වැඩ කිරීමට ආරාධනා කරනවා, කෙසේ වුවද මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට එය යථාර්තයක් කර ගැනීමට නම් අපේ ජාතික ජන බලවේගය මාලිමාවට බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම අත්‍යවශ්‍ය බව පැහැදිලියි නේද?

    ඒ නිසාම මාලිමාවට අවලාද අපහාස නගන "කෝ කිව්ව විදිහට ඡන්ද කෝටියක් නෑ!, 50% නෑ !. සුළුතර ජනාධිපති !" වගේ පරාජයේ ශෝකාලාප කියෝන ගොබ්බ මීගවයන්ට පිළිතුර:

    මිනිස්සු කැත විදිහට පරද්දලා ගෙදර යවපු මහ බැංකුව කඩපු පල් හොරෙක් පාර්ලිමේන්තුවේ දූෂිත තක්කඩි දේසපාලුවන් 134 ගෙ ඡන්දෙන් අටවන ජනාධිපති වෙච්ච එක ව්‍යවස්තාවේ නාමයෙන් ඉවසගෙන හිටියනං මේක ඉවසගෙන ඉන්න එක සුලුදෙයක්. ඒ නිසා කිසිම ආකාරයක ජනවරමක් නැති අටවන ජනපති මිනීමරු සොම්බියා එලවා දමා 43.5% ක ජනවරමක් තියෙන දෙවෙනි මනාප එක්ක 50% පන්නලා ඡන්ද සංඛ්‍යාවක් ගත්ත අනුර කුමාර දිසානායක සහෝදරයාට රට බාරයි. මහමැතිවරණය කලාවැවේ සොරොව්ව ඇරියා වගේ අපි හතරෙන් තුනක්ම දිනනවා දිනනවාමයි. මේ ඇරඹුමක් පමණයි. අපි ලබන වතාවේ 2029 දිත් දිනනවා මීට වඩා අති විශාල දැවැන්ත ජනවරමක් එක්ක. අපි බලමු ඉතාම ඉක්මනින්ම රටටම පැහැබර අනාගතයක් උදාවන අයුරු...!

    ReplyDelete
  3. ලප කොටාට ඊයේ ඉදන් බඩ යනවලු හෝ ගාලා කරන්න තියෙන වැඩ මතක් වෙලා.

    PSD එකේ උන්ට වාහනේ හෝදලා එපා වෙලා.

    සුළුතර බොකපති කියලා උන් නමකුත් දාලා ලපයාට

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...