Thursday, June 29, 2017

කානුව


"ටිලිං ටිලිං ටිලිං ටිලිං..."

 වේලාව උදෑසන එකොලහ පසුවී මිනිත්තු දහයයි. ඒ පාසලේ දවසේ කටයුතු වල නිමාව හඟවන අප පුල පුලා බලාසිටි සීනුවේ නාදයයි.

 අද අපට විභාග දවසකි. ඒ හේතුවෙනුයි පාසල වේලාසනින් ඇරුනේ. පන්තියේ දොරෙන් පිටවෙනවාත් සමඟ සියලුම දෙනා පාහේ අද පැවති ප්‍රශ්න පත්‍රය ගැන මොනවදෝ කියමින් සිටියේය.

 "අඩෝ... කොහොමද මචං පේපරේ තත්වෙ?" උත්තුංග දේහධාරී සිරුරක් තිබූ පන්තියේ සිටිනවාට වඩා වැඩි වෙලාවක් පාසලේ ජිම් එකේ කාලය ගත කල සහෝදරයෙක් තම මිතුරන් දෙපලකගෙන් ඇසූහ.

"මචං පේපරේ නන් සුපිරි බං... ඒ කොලේ මාර ස්මූද්... ඒකෙන් ආපු සුවදට මට තේරුනේ මම හරියට දිව්‍යලෝකෙ ගියා වගේ... ඒ නිසයි බං මම මුලු වෙලාවෙම නිදාගෙන හිටියෙ..." යැයි කොට මහත බැරල් එකක් වැනි මිතුරෙක්ගේ පිලිතුර විය. මොහු මෙතරම් කොට වූයේ කෙසේදැයි මා බොහෝ කල් සිට කල්පනා කරත් එයට නිශ්චිත පිලිතුරක් මට තවමත් ලැබුනේ නැත. පොඩි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නා වාගේ මොහු සරීර ප්‍රමාණයෙන් කුඩා වුවත් සැමවිටම කතාකරන්නේ දහ දොලොස්දෙනෙක්ට වුවත් එකසැරේ නෙලන්න හැකි අයෙකු සේය.

 "අද පේපරේනන් කියලා වැඩක් නෑ... ඇස් යූෂුවල්... කෙලවිලාම ගියා බ්‍රෝ.." යැයි පිලිතුරු දුන්නේ හුඹහෙන් ඇද්දාක් මෙන් සිරුරක් තිබූ විටෙක අප ලෙතාජික් යැයිද බොහෝ අවස්ථාවල පඩාවතී ලෙසද හැදින්වූ මිතුරෙකි.

මොහුට පඩාවතී නම පටබැදුනේ මීට වසර හතර පහකට පමණ පෙරය. අප හත හෝ අට වසරේ සිටිනා විට ගණිත ගුරුවරයා ෂඩාස්‍රයක් කළු ලෑල්ලේ ඇඳ මේ කුමක්දැයි පන්තියේ සියලුම දෙනාගෙන් විමසුවේය. එකවර දිස්ටිය වැටුනාක් මෙන් ආවේස වූ අපගේ පෙර කී මිත්‍රයා "සර් ඔය පඩාශ්‍රය" යැයි පිලිතුරු දුනි. එදා පටන් සියලු දෙනා ඔහුට පඩාවතී ලෙස ආමන්ත්‍රණය කරන්නට විය.

 මේ සියලු දේ කන වැකුනු මා, මගේ ගමන නොනවත්වා ඉදිරියටම ඇදුනේය. මා ඉදිරියට ඇදෙන ගමන් කල්පනා කලේ අද තිබූ ප්‍රශ්න පත්‍රය පිලිබඳවය. ඒ ගණිතය ප්‍රශ්න පත්‍රයයි. ගණිතය යැයි කීවද එහි ඉලක්කම් මා හට දැකගත හැකි වූයේ ඉතාමත් කලාතුරකිනි. එම ප්‍රශ්න පත්‍රයේ වැඩිමනක් තිබුනේ අනුන්ගේ සීනි කිරන ගනයේ ප්‍රශ්න වැලකි.

'අනුලා රු.10000ක් 10%ක වාර්ෂික පොලී අනුපාතිකය යටතේ බැංකුවකින් මුදල් ණයට ගනියි. වර්ෂයක් තුල ඇය ගෙවන පොලී මුදල කීයද?' මේ එක් ප්‍රශ්නයකි.

 මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනුන්ගෙ සීනි කිරන ගනයේ පැනයකි. මෙවන් දෙයක් ප්‍රසිද්ධියේ පවසන විට අනුලාට ඇතිවන්නේ කුමන ආකාරයේ හැගීමක්ද? අනුන්ගෙ කුණු සොය සොයා ඇති පලේ කුමක්ද? ඇගේ පෞද්ගලිකත්වයට සිදු වන්නේ කුමක් ද? පාසලේ බලධාරීන් මේ පිලිබඳව කිසිවක් නොසිතා මේ තොරතුරු මුදා හැර තිබේ. පහුවදාට අනුලා බෙල්ලෙ වැල දමාගෙන මියගියහිත් එයට ඍජුවම පාසලේ බලධාරීන් වගකිවයුතු බව මතක් කර සිටීමට මම කැමැත්තෙමි.

විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තත්ත්වයත් මෙසේමය.

'නිශ්චලතාවයෙන් ගමන් අරඹන උත්තෝලකයක් [ලිෆ්ට් එකක්] තත්පර දහයක් තුල ගමන් කල පසු එහි ප්‍රවේගය සොයන්න. හදිස්සියේම උත්තෝලකයේ කම්බිය කැඩී ගියහොත් ගොඩනැගිල්ලේ පහලම ස්ථානයට පැමිණෙන විට එහි ප්‍රවේගය හා එයට ගතවන කාලය සොයන්න'

 උත්තෝලකයේ කම්බිය කැඩී ගිය පසු එය තුල සිටින මිනිසුන්ව බේරාගත හැක්කේ කෙසේදැයි සොයා බලනවා හැර අඩියට යද්දි ප්‍රවේගවල් කාලවල් සොයා මේ පුද්ගලයන් ලබන තුච්ච සතුට කුමක්ද? වර්තමාන සමාජයේ අධ්‍යාපනය තුල මනුෂ්‍යත්වය අලි දමා පාගා ඇති අවස්ථාවකට මෙය කදිම නිදසුනක්‍ ය.

 මේ සියල්ල සිතමින් මම පාර දිගේ ඉදිරියට ඇදුනෙමි. ප්‍රධාන මාර්ගයට යාමට පෙර අපට කුඩා මාර්ගයක් තුලින් යාමට සිදුවේ. එය දෙපස අඩියක් එකහමාරක් පමණ දහජරා වලින් පරිපූර්ණ කානු පද්ධතියක් විය.

 පාරේ ඇවිදගෙන යන විට මා හොද සිහියෙන් සිටි බවට මට හොදට මතකය. එම සිහිය කෙතරම්ද කිවහොත් එක් මොහොතකදී මා ඉදිරියට තැබූ පියවර තබා ඇත්තේ කානුව මතටය. එසැනින්ම ගස් පෙරලෙන්නාක් මෙන් මම කානුව තුලට වැටුනෙමි. මවිසින් පෙර කල පිනකටදෝ මට කිසිදු තුවාලයක් නම් සිදු වූයේ නැත.

 මේත් සමඟම වයසක කාන්තාවක් "අපොයි දෙයියනේ මොකෝ උනේ" යැයි කෑ මොර දෙමින් මා දෙසට දිව ආවාය. ඒ වන විට මා සිටියේ කානුව තුල වැතිරීගෙනය. සුදු පැහැති කලිසම හා කමිසය සම්පූර්ණයෙන්ම කුණු වලුන් ගහනව තිබුණි. මා 'තුහ් තුහ්..' යැයි කෙල ගැසුවේ පෙර මා අත් නොවිදපු රසයක් මගේ දිවට දැනුනු නිසාවෙනි.

 කානුව මගේ ශරීර ප්‍රමාණයෙන් බාගයක් පමණ උස වීය. පෙර කී කෑ මොර දෙමින් පැමිණි කාන්තාව දෙකට නැමී මා දෙසට අත දිගු කලේ මට උදව්වක් කිරීමේ අභිලාෂයෙනි. එනමුත් මා ඇගේ අතගෙන කානුවෙන් පිටතට එන්නට වෙර දරන විට ඇයත් කරුමෙට හෝ කානුව තුලට වැටුනහොත් මා මොන දෙයියන්ට කියන්නදැයි සිතුවිල්ලක් මා තුල හටගත්හ.

 කෙසේ නමුත් ඇයව කානුව තුලට ඇද නොදමා මා කානුවෙන් පිටතට පැමිණියේය. ඒත් සමඟ පාසලෙන් පිටතට පැමිණ සිටි සෙසු ලමුන් මා දෙස යොමුකලේ පිලී ගඳ ගහන කුණු මාළු කෑල්ලක් දෙස බලන ජුගුප්සාජනක බැල්මකි. මට මෙසේ ඉදිරියට ඇදී යා නොහැකි බැවින් නැවතත් බිම බලාගෙන පාසල තුලට ගියෙමි. මා එකවර දිව්වේ පාසල් නාන කාමරය දෙසටය.

 ඒ අසලට යනවාත් සමඟම මගේ හොදම යහළුවා මට අතරමගදී මුණ ගැසුනි. මා දෙස පුදුමයෙන් මෙන් බලාසිටි ඔහු මගෙන් විස්තර අසා මා අස්වසැසූහ. ඒ කෙසේද යත්;

 "මේ පැත්තෙ ගෙවල් වල කුණු සේරම එන්නෙ ඔය කානුවට බං... "

"උඹට ඔය ගද නන් මාසෙකටවත් යවන්න බැරුවෙයි..."

 ලෙස පිලිතුරු දෙමිනි. නාන කාමරය තුලට ගිය මම ඇදුම වතුරෙන් සේදුවේය. ඒ අතර එක් අවාසනාවන්ත දසුනක් මට දකින්නට සිදුවිය. එය නම් මා විසින් ඝාතනය කල අහිංසක ජීවිත තුනකගේ නොසෙල්වෙන මල කඳන් ය. මිය ගිය මකුළුවන් දෙදෙනාගේ අඬු හත් අට පොලකට කැඩී තිබුනි. අනෙකා වන කැරපොත්තා සිටියේ බුල්ඩෝසරයකට යට වූවාක් මෙනි. හීන් සූරුවේ මොවුන්ව අහක් කල මම ඇදුම් සෝදන්නට විය.

 සෝදා අවසන් වූ පසු තෙත ඇදුම්ම ඇඳගෙන අව්වට ගොස් අත පය දිගඇර සිටගෙන සිටියේ ඇදුම් වේලෙන තෙක් ය. ඇදුම් වේලුනු පසු ඉතාමත් ප්‍රවේසමෙන් පාරේ ගමන් කල මම අවසානයේ බස් රථයට නැග මට මේ කුමක් සිදුවූවාදැයි සිතන්නට ගත්තෙමි.

 බස් රථයේදී මා අසල සිටි උදවිය නහය අල්ලාගෙන ඉතා අපහසුවෙන් සිටිනු මා දුටුවේය. තත්වය ඉවසාගෙන සිටීමට නොහැකි වූ මහත්මයෙන් මා දෙස බලා "උඹ නගර සභාවෙද වැඩ කරන්නේ?" යැයි ඇසූහ.

    ප.ලි.
ඉයන්ගේ සම්බෝල කෙටි කතා ගැන දැනගත්තේ අද දවල්... ඒ නිසා ඒකට කෙටි කතා ලියන්න තරම්නන් වෙලාවක් ලැබුනේ නෑ... මොකද මේ ටිකේ විභාග නිසා... ඒත් අද බස් එකේ එනගමන් අවුරුද්දකට විතර කලින් මගේ පොඩි අත්දැකීමක් කෙටිකතාවක් විදිහට ලිව්වා... මේකෙ අඩුපාඩු අනන්තවත් ඇති... මොකද මේක තමා මම ලිව්ව පලවෙනි කෙටි කතාව... කියවලා හොද නරක කියන්න...









 






 

Wednesday, June 28, 2017

මගේ හූන් යාලුවා...


 පනින්න පෙර සිතා බලන්න කියලා කියමනකුත් තියෙනවනේ... ඉතින් මේක කියන්න කලින් මම සැරයක් දෙසැරයක් නෙමේ තුන් හතර පාරක්ම හිතුවා... මොකද මේක කියවලා සමහරු මාව පිස්සෙක් විදිහට ගනන් ගන්න පුලුවන් නිසා...

 අපේ ගෙදර සාම්ජිකයෝ හතර දෙනෙක් ඉන්නවා... අම්මා තාත්තා නංගි සහ මම... දැන් මාසෙකට විතර උඩදී අපේ ගෙදරට අලුත් සාමාජිකයෙක් එක්වුනා... එයාගේ අම්මයි තාත්තයි මැරිලා... [මම හිතන්නෙ එහෙම තමා... මොකද මම තාම ඒ දෙන්නව ඇහැකට දැක්කෙ නෑ...]

 මෙයා පැටියා කාලෙ ඉදන් හැමදාම ඉන්නේ මගෙ මේසෙ උඩ... සාලෙදි ස්ටූල් එක උඩ... ඔය තැන් දෙක තමා මෙයාගෙ වාසස්ථාන උනේ... මෙයා කවමදාකවත් බිත්ති වල බඩගානවා දැක්කෙම නෑ... මෙයාගෙ නෑදෑ වෙන කිහිප දෙනෙක් අපේ ගෙදර හිටියත් මෙයා ගාවට එනවා මම පහුගිය මාසෙ පුරාවටම දැක්කෙත් නෑ... මොනා කරන්නද ඉතින් පව් අහිංසකයා...

 සමහර දවස් වලට එයා මගේ කකුල ගාවට ඇවිල්ලා පොඩ්ඩක් ගෑවිලා ආයෙ ඈතට දූවගෙන යනවා... හරියට මාත් එක්ක සෙල්ලන් කරනවා වගේ...

 අපේ නංගිගෙයි සත්තුන්ගෙයි ඒ හැටි වෙනසක් නැති උනත් එයා සත්තුන්ට ප්‍රාණ බයක් තියෙන්නේ... මගෙ මේ යාලුවා කොයි වෙලෙත් අපේ ගෙදර අයත් එක්ක ඉන්න නිසාත් නංගි ගාවට මෙයා නිතරම එන නිසාත් නංගි පුදුම බයකින් හිටියේ... මේ හේතු නිසාම අපේ නංගි මෙයාව ඝාතනය් කරන්න සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කරා... ඒත් දෙයියන්ගෙ පිහිටෙන් ඒ එකක්වත් සාර්ථක උනේ නෑ... මේ සිද්ධිය දකිද්දි මට මතක් උනේ රස්පුටින්ව... මොකද එයාවත් මරන්න ලේසි උනේ නෑනේ... ඒ නිසා මම මගේ මේ යාලුවට රස්පුටින් කියලා නම දැම්මා...

  මම මෙයාට කන්න බත් ඇට දැම්මා... තාම පොඩි එකා හන්දා මැස්සො කන්න දන්නෙ නැද්ද කියලා කව්ද දන්නෙ... ඒත් මූ යස වැඩකාරයා... දැන් මට පේන්නමද කොහෙද මෙයා මගෙ ඉස්සරහම මැස්සො අල්ලන් කනවා...

  ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නෑ... මම මේ පෝස්ට් එක ලියද්දිත් මෙයා මගෙ ඉස්සරහා හිටියේ... සැපේදි ඉන්න දුකේදි උන්නද මලාද කියලවත් බලන්නෙ නැති යාලුවන්ට වඩා මගේ මේ හූන් යාලුවා දාහෙන් සම්පතක්... මොකද එයාව දකිද්දිත් හිතට සතුටක් දැනෙන නිසා...

මගෙ හූන් යාලුවට ජයවේවා... !!!



Tuesday, June 27, 2017

සංස්කෘතිය රැකෙන්නේ වෙනස් වීමෙන්


  සංස්කෘතිය යන වදනින් හැදින්වෙන්නේ වෙනස් නොවන ස්ථාවර දෙයක් යැයි බොහෝ දෙනා වරදවා වටහා ගනිති... එනමුත් වෙනස් නොවී, අනෙක් සංස්කෘති වලින් අංග ණයට නොගත්, නිර්මල සංස්කෘතියක් ලොව නැත...

 සංස්කෘතිය යන්නෙන් අදහස් කරන්නේ මනුෂ්‍ය වර්ගයකගේ චරිතය යැයි කිවහොත් වැරදි නැත... සිංහල සංස්කෘතිය ඈත අතීතයේ පටන් අද දක්වා පැමිණියේ වෙනස් වීමෙනි... සංස්කෘතියක් රැකෙන්නේ එය වෙනස් වීම මතය... ඉන්දියාවේ හා අනෙක් රටවල්වල සංස්කෘතීන් හා ගැටෙමින් සිංහල සංස්කෘතිය වෙනස් විය... මෙහිදී වෙනස්වීම ලෙස අදහස් කලේ එක් එක් රටවල්වල මිනිසුන් හා ගැටීම නිසා ඔවුන්ගේ සිතුම් පැතුම්, ඇබ්බැහිකම් හා උපකරණ ආදියෙහි වූ වෙනස්වීම් ය...

 අතීත ලාංකිකයන් ඉන්දියානු ජනතාව පමණක් නිව චීනය, බුරුමය, සියම හා ජාවා ආදී රටවල්වල ජනයා අඩු වැඩි වශයෙන් ආශ්‍රය කලහ... කුළුබඩු හා මුතු මැණික් සොයා ලංකාවට පැමිණි වෙළෙන්දන් නිසාද ඔවුන්ගේ සංස්කෘති අංග සිංහල සංස්කෘතියට ඇතුලු විය...

 අනෙක් සංස්කෘති වලින් අංග උකහා ගෙන සකස් නොවූ සංස්කෘතිය ලොව නැත... ලොව බොහෝ ජාතීන්ගේ සංස්කෘති වලින් ණයට ගත් අංග වලින් සමන්විත සංස්කෘතියක් ඉංග්‍රීසීන්ට සතුය...

 එක් සංස්කෘතියකින් ණයට ගත් දෙයක් තවත් සංස්කෘතියකට ඇතුලු වන්නේ එහි මූල ස්වරූපයෙන් නොවේ... අඩුව හෝ වැඩිව වෙනස් වීමෙනි... ණයට ගත් අංග ඒ ආකාරයෙන්ම තවත් සංස්කෘතියකට ඇතුලු නොවේ...

 සිංහල සංස්කෘතියෙහි ශිෂ්ට ජාතීන්ගෙන් හා මිලේච්ඡ ජාතීන්ගේ සංස්කෘති වලින් ලබාගන්නා ලද අංග බොහෝය... එම අංග සිංහල සංස්කෘතියට ඇතුලු වූයේ මූල ස්වරූපයෙන් නොවේ... සිංහල සංස්කෘතිය මේ දක්වා රැකුනේ එසේ වෙනස් වීම නිසාය... හින්දූන්ගෙන් ලබා ගත් ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර හා සිරිත් විරිත් සිංහල සංස්කෘතියට ඇතුලු වූයේ එහි මූල ස්වරූපයෙන් නොවේ...

 දකුණු ඉන්දියාවේ ඇතැම් ද්‍රවිඩයෝ සතුන්ගේ මසින් හා ලෙයින් ඊශ්වර දෙවියන් පුදති... එනමුත් සිංහලයන් ඊශ්වර දෙවියන් පුදන්නේ රිදී රූපයන්ගෙනි... තොවිල් පවිල් ආදී දේවල් ගත් කල කුකුලාගේ බෙල්ල කඩා ලෙයින් යකුන් පුදන සිරිත් අපේ සංස්කෘතියට එක්වූයේ වෙනස් වීමෙනි... සිංහල යකැදුරා විසින් කුකුලාගේ කරමල විද ලේ බිංදුවක් ගෙන එයින් යකුන් පුදයි... මෙම මිලේච්ඡ  සංස්කෘතික අංගය මෙසේ වෙනස් වූයේ බුදු සමය නිසාවෙනි...

 යම් සංස්කෘතියකින් ණයට ගත් අංගයක් එය ලබාගත් සංස්කෘතිය විසින් වැඩිදියුණු කරයි... කාලයත් සමඟ එම ණයට ගත් අංගය එම සංස්කෘතියෙහි අනන්‍යතාවයක් බවට පත් වේ... මෙම හේතු කාරණා නිසා අපි අපේ සංස්කෘතික අනෙක් සංස්කෘති වලට වඩා උසස් යැයි පැවසිය යුතු නැත... මන්ද ලොව සෑම සංස්කෘතියක්ම තවත් සංස්කෘතියක් හෝ කිහිපයක් මත යැපී සිට පෝෂණය වී ඇති බැවිනි... අපේ සංස්කෘතික අංග තවත් සංස්කෘති විසින් භාවිතා කලද එහි වරදක්ද නැත... මන්ද අපේ සංස්කෘතියට ඒ ඒ අංග ඇතුලු වූයේ තවත් සංස්කෘතියකින් වූ නිසාවෙනි...

ප.ලි. ඉහත සටහනට ඇතැම් කරුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය කෘතියෙන් ලබා ගත් අතර ඉතිරිය මගේ අදහස් බව සලකන්න.

Tuesday, June 20, 2017

පුරාණ ඊජිප්තුව සහ ඤාව්වෝ

 පුරාණ ඊජිප්තු වැසියන්ට සතුන් කෙරේ විශාල ගෞරවයක් තිබුණි. එනමුත් අන් සතුන්ට වඩා පූසන්ට මෙම ශිෂ්ටාචාරය තුල වැඩි ගෞරවයක් දක්නට ලැබුණි. ඊජිප්තු දෙවි දේවතාවුන් විශාල ප්‍රමාණයක් පූසන් හා සම්බන්ධව පවතියි.

 එකල ඊජිප්තුවේ සිටි මීයන් හා නයින් එහි ධාන්‍ය ගබඩා වලට විශාල හානියක් හෙන දුන්නේය. පූසන් මෙම සතුන් දඩයම් කරන බව පුරාණ ඊජිප්තු වැසියන් දැන සිටියේය. මේ හේතුවෙන් ඔවුන් සිදුකලේ ධාන්‍ය ගබඩා වල මාළු ඔලු වැනි ආහාර කොටස් තැන්පත් කිරීමයි. එමනිසා පූසන් නිරන්තරයෙන් ධාන්‍ය ගබඩා අසල ගැවසෙන නිසා මීයන්ගෙන් හා නයින්ගෙන් ධාන්‍ය ගබඩාවට හානියක් සිදු නොවන බව සිතුවේය. පූසන් පුරාණ ඊජිප්තු ජනතාවට සමීප වූයේ මේ ආකාරයෙනි. මෙම සම්බන්ධය ක්‍රමක්‍රමයෙන් දියුණුව පූසන්ව එහි ජනතාව තම නිවෙස් තුලටද පිලිගත්තේය.

 පූසන්ට ලබ දෙන ආහාර නිවෙස් හිමියාගේ තරාතිරම අනුව වෙනස් විය. පූසන් ඊජිප්තු වැසියන් සමඟ දඬයමටද ගිය බවට සාක්ෂි ඇත. පූසන්ට ගොදුරු අල්ලාගැනීමට තිබූ දක්ෂතාවයටද මිනිසුන් හා හොද සම්බන්ධයක් පවත්වාගත් නිසාවෙන්ද එකල වැසියන් පූසන්ට මහත් සේ ආදරය කලේය. පූසෙක්ව සිහිනයෙන් දුටුවහොත් තමන්ට හොද අස්වන්නක් ලැබෙන බව ඔවුන් සිතුවේය.

  පුරාණ ඊජිප්තු වැසියන් කැලෑ පූසන්ව හා ගෘහාශ්‍රිත පූසන්ව වෙන වෙනම හදුන්වා තිබුනේ නැත. සියලුම පූසන්ව හදුන්වා ඇත්තේ 'miu' [ හෝ 'miut' ] ලෙසයි. මෙම වදන කෙසේ පැමිණියාදැයි නිශ්චිතව කිව නොහැකි මුත් පූසන්ගේ ශබ්දය මේ ආකාර නිසා එම හේතුවෙන් මෙම වදන පැමිණියා යැයි සිතිය හැක. එක් එක් පූසන්ට වෙන වෙනම නම් නොදා සියලු දෙනාට පොදුවේ එක නමකින් එකල ආමන්ත්‍රණය කලේය. එනමුත් මෙම කරුණෙන් පිට පැන්න අවස්ථාද නැතුවා නොවේ. මෙය එතරම් නිශ්චිත නොවුනත් 'Nedjem' ['Sweetie'] හා 'Tai Miuwette' ['the little mewer'] යන නම් වලින් පූසන් දෙදෙනෙක් සිටි බව පවසයි. මෙම පූසන් දෙදෙනා තුන්වන අම්හොටෙප්ගේ වැඩිමහල් පුත්‍රයා වූ තුත්මෝස් කුමරු හා සම්බන්ධව පැවතුනි. එකල කුඩා ගැහැණු දරුවන්වද 'miut' ලෙස හදුන්වා ඇත.

 පුරාණ ඊජිප්තුවට ආවේණික පූසන් වර්ග දෙකක් තිබුණි. ඒ කැලෑ පූසා [Felis chaus] හා අප්‍රිකානු වල්පූසා [Felis silvestris lybica] ය. කාලයත් සමඟ වෙනස් වීමෙන් මෙම පූසන් දෙවර්ගයේ මිශ්‍රණය වර්තමාන ඊජිප්තු Mau පූසන්ට සමානකම් කියයි. මෙම පූසන් ගෘහාශ්‍රිතව ඇතිකිරීමට පටන් ගත් කල සිට පූසන් විවිධ විපර්යාස වලට භාජනය විය. පූසන් පෙරට වඩා වර්ණවත් වීම , ශරීර ප්‍රමාණය කුඩා වීම හා මොළය කුඩා වීම උදාහරණ් ලෙස දැක්විය හැක.

  ලොව සිටින්නාවූ බහුතර පූසන්ගේ මුතුන් මිත්තන් පුරාණ ඊජිප්තු පූසාට නෑකම් කියන බවට සාක්ෂි ඇත. පූසන් ඊජිප්තුවට හදුන්වා දුන්නේ පර්සියාවෙන් හෝ නුබියාවෙන් ක්‍රි.පූ. 2000 වැනි අවධියක බව සමහරුන් මත පල කරයි. එනමුත් මීට පෙර අවධි වලදී ඊජිප්තුවේ පූසන් සිටි බවටද සාක්ෂි නැත්තා නොවේ. පුරාවිද්‍යාඥයින් Asyut අවටදී වලදමා ඇති මිනිසෙකු සොයාගෙන ඇත. ඒ සමඟම පූසෙකුද වලදමා ඇත. මෙය වසර 6000ක් පමණ වයස බව ගණන් බලා ඇත. මේ කාලයේදී පූසන් ගෘහාශ්‍රිතව ඇති නොකරන්නට ඇත. ඊජිප්තුවේ පූසන් ගෘහාශ්‍රිතව ඇති කිරීමට පටන් ගත්තේ ක්‍රි.පූ. 2000 අවධියේදීය. බල්ලන් ගෘහාශ්‍රිතව ඇති කිරීනටපටන් ගත්තේ මීට වසර දහසකට පමණ පෙරය.
 
 සොහොන් වල තිබෙන පින්තූර වල පූසන් මිනිසුන් සමඟ දඩයමේ යන අවස්ථා දැකගත හැකිවේ. එමෙන්ම ඊජිප්තුවේ රැජිණියන් ඉදගෙන සිටින පුටුවට පැත්තෙන් පූසන් ඉඳගෙන ඉන්නා ආකාරයේ පින්තූර එමට දක්නට ලැබේ.

 පූසන් බොහෝ ඊජිප්තු දෙවියන් හා සම්බන්ධව පවතියි. පූසන් රා දෙවියන්ගේ ඇස හා Isis දේවතාවිය හා සම්බන්ධව පවතියි. Miuty නම් පූස් දෙවියෙක් පිලිබදව පුරාණ ඊජිප්තුව පිලිබඳ සොයා බැලීමේදී හමුවේ. මෙම දෙවියාගේ කාර්යභාරය වූයේ රා දෙවියාව ඔහුගේ සතුරන්ගෙන් ආරක්ෂා කිරීමයි.

   පුරාණ ඊජිප්තුව තුල බොහෝ සතුන් දෙවියන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිට ඇත. [උදා: කිඹුලා, උකුස්සා සහ හරකා] එනමුත් මෙම සතුන්ව දෙවියන් ලෙස හදුන්වා දී නැත. එහෙත් පූසන්ව අර්ධ දෙවියන් ලෙස එකල සැලකූ බව ඉතිහාසඥයන් මත පල කරයි. එකල පූසන්ට හිරිහැරයක් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් විය.

 මෙහි ප්‍රතිපලයක් ලෙස පූසන්ට හිරිහැර කිරීම නිසා බරපතල දඩුවම් ලැබූ අවස්ථා එමටයි. Bast හි පූසෙක් අත්වැරැද්දකින් මරණයට ලක් වුවත් එසේ කල පුද්ගලයාට මරණ දඩුවම හිමි විය. Diodorus Siculus ගේ සටහන් වල මෙසේ දැක්වේ ; "ඊජිප්තුව තුල පූසෙක් මැරීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි, ඔහු එම වරද උවමනාවන් කලා හෝ නොකලා දඩුවම වෙනස් නොවේ. රෝමන්වරයෙක් අතින් පූසෙකු මැරුණද ඔහුට හිමි දඩුවම වෙනස් නොවේ."

 පූසන්ව අසල්වැසි රටවල්වලට ගෙනයාම තහනම් විය. ඊජිප්තුවෙන් පැහැරගෙන වෙනත් රටවල්වලට ගෙනගිය පූසන්ව නැවත තමන්ගේ මව් රට වූ ඊජිප්තුවට ගෙන ඒමට හමුදා ඒ ඒ රටවල්වලට යැවූ බව පුරාණ ඊජිප්තු මූලාශ්‍ර සාක්ෂි සපයයි. නිවසක ගින්නක් ඇති වූ විට එම නිවසේ සිටින පූසන්ව ආරක්ෂා කර ගැනීමට විශේෂිත වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක වූ බව හෙරඩෝටස්ගේ වාර්තා සපයයි.

 ඊජිප්තු වැසියන්ට පූසන් කෙරෙහි තිබෙන ආදරය පර්සියානුවන් විසින් ඔවුන්ට විරුද්ධව යොදාගන්නා ලදි. පර්සියානුවන් යුද්ධයට පෙර පූසන් බොහෝ ප්‍රමාණයක් අල්ලාගෙන පෙලුසියම් ඉදිරිපිට පැවති ඊජිප්තුවන් හා පැවති සටනේදී යුධ පිටිය හරහා පුසන්ව යැව්වේය. බියට පත් පූසන් යුධ පිටිය හරහා දිවයනවා දුටු ඊජිප්තු වැසියන් තමන්ගේ මිතුරන්ට හානියක් වේ යැයි සිතා පර්සියානුවන්ට යටත් විය.

 පූසෙකු මියගිය විට ඒ පූසා අයිතිව සිටි පවුලේ උදවිය තමන්ගේ ඇහිබැමි කැපිය යුතු විය. ඉන්පසු පූසන්ව මමීකරණය කර මීයන් හා කිරි සමඟ භූමිදානය කරයි. බොහෝ අවස්ථා වලදී පූසන්ව භූමිදානය සදහා Bubastis වෙත රැගෙන එන ලදි. එනමුත් Giza, Abydos, Denderah සහ Beni Hasan යන ස්ථානවලද භූමිදානය කල පූසන්ගේ මමීකරණය කරන ලද සිරුරු සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස Beni Hassan හිදී පූසන්ගේ සිරුරු 80000ක් පමණ 1888දී සොයා ගැනීම දැක්විය හැක.

 ලිපිය පිලිබඳව කුඩා හෝ අදහසක් දක්වනවානම් ඉතා කෘතඥ වෙමි.

මූලාශ්‍ර:

1) http://www.catmuseumsf.org/egyptcats.html

2) https://en.m.wikipedia.org/wiki/Cats_in_ancient_Egypt

3) http://kids.nationalgeographic.com/explore/cats-rule-in-ancient-egypt/

4) http://www.ancientegyptonline.co.uk/cat.html

මෙවටත් උත්තර දුන්නනන්...

1)සූර්යයාගේ සිට පෘථිවියට හා චන්ද්‍රයාට ඇති දුරවල් අතර සැලකිය යුතු වෙනසක් නැත. එසේ වුවත් දහවල් කාලයේ දී පෘථිවියට වඩා චන්ද්‍රයා උණුසුම් වන්නේත්, රාත්‍රියේ දී චන්ද්‍රයා පෘථිවියට වඩා සීතල වන්නේත් ඇයි? 

2)පලතුරු ඉදීමේ වේගය අවම කිරීමට ඒවා ශීතකරණයක් තුල තබයි. එහෙත් කෙසෙත් ශීතකරණයේ තැබූ විට පොත්ත අවපැහැ ගැන්වෙන්නෙ ඇයි?

3)ඔටුවාගේ මොල්ලියේ තියෙන්න් මොනවාද?

Saturday, June 17, 2017

කුමාරදාස රජතුමා හා කාලිදාස කවියා


  මුගලන් රජුගේ පුත් කුමාරදාස රජතුමා හොද කවියෙක් විය. ඔහු ජානකීහරණයට අමතරව තවත් කාව්‍යයන් රචනා කර තිබේ. ඔහුට හොද මිත්‍රයෙක් ඉන්දියාවේ සිටියේය. ඔහුද හොද කවියෙකි. මෙම ප්‍රසිද්ධ කවියා සේවය කලේ ඉන්දියාවේ බොජා නම් රජුගේ රාජසභාවේය. කුමාරදාස රජතුමා තමන් විසින් ලියන ලද ජානකීහරණය නම් කාව්‍ය පුස්කොළ පොත ඉන්දියාවේ බොජා රජු වෙත යැව්වේය. මෙම රජතුමාද ඉතා හොද කාව්‍ය රසාස්වාදයක් තිබූ අයෙක් වීය.

  ඉන්දියාවේ එකල තිබූ සම්ප්‍රදායක් අනුව බොජා රජු විසින් කුමාරදාස රජුගේ ජානකීහරණය කාව්‍ය පුස්කොළ පොත තම මංගල හස්ති රාජයාගේ වලිගයේ ගැටගසා වීදි සංචාරයේ යැවීමට තීරණය කලේය.

 පෙරහැරේ යාමට නියමිතව තිබූ ජානකීහරණය පුස්කොළ පොත ගැන කාලිදාස කවියාට දැනගන්නට ලැබුණි. [ප්‍රථම සංදේශ කාව්‍ය කාලිදාසයන් විසින් රචනා කර ඇති අතර එය මේඝදූතය නම් වේ]  ඔහු මෙම කාව්‍ය ග්‍රන්ථයෙහි වැකි කිහිපයක් පමණක් කියවූ පමණින්ම මෙය අනර්ඝ ග්‍රන්ථයක් බව වටහා ගත්තේය. මේ නිසා මෙම ග්‍රන්ථය මංගල හස්ති රාජයාගේ වල්ගයේ එල්ලා වීදි සංචාරයේ යෙදවීම වෙනුවට තම හිස මත තබාගෙන වීදි සංචාරයේ යෙදීමට කාලිදාස කවියා ඉටා ගත්තේය.

 මුලු කාව්‍ය ග්‍රන්ථයම කියවීමෙන් පසු සිංහල රජතුමා සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගැනීමට කාලිදාසට උවමනා විය. මේ හේතුවෙන් ඔහු බොජා රජුගේ රාජ සභාවෙන් පිටත්ව ලංකාවට ආවේය. ලංකාවට පැමිණි ඔහු රජු සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගත්තේය. කාලිදාස ඉතා ඉක්මනින් සිංහල බස ඉගෙනගත් අතර ඔහු ඉන්දියානු පොත් ලිව්වා සේම සිංහලෙන්ද කාව්‍ය රචනා කිරීමට පටන් ගත්තේය.

   කුමාරදාස රජතුමා නිතරම මාතරට ගිය අයෙක් විය. එසේ ගිය අවස්ථාවක ඔහු ඉතා අලංකාර නිවසක ලැගුම් ගත්තේය. මෙහිදී ඔහු කවි පද දෙකක් ලිව්වේය. එම කවි පද දෙක සම්පූර්ණ කර කවියක් ලියන පුද්ගලයෙකුට ලොකු ත්‍යාගයක් දෙන බව ඊට පහලින් ලිව්වේය.

 කාලිදාස මහා කවියා මාතරට පැමිණි විටකදී මෙය දැක ඉතා උසස් අන්දමින් ඉතිරි කවි පද දෙක සම්පුර්ණ කලේය. මේ ගැන සිය මිතුරා වූ කුමාරදාස රජු සතුටට පත්ව සිය මිතුරාගේ කාව්‍යකරණය හඳුනාගනිතියි කාලිදාස සිතුවේය.

 එහෙත් කාලිදාස කවියාට රජුගෙන් තෑගිබෝග හෝ ප්‍රශංසාව ලැබුනේ නැත. මාතර පිහිටි මෙම නිවසේ සිටි කාන්තාවක් කාලිදාස කවියා මෙම කවි පද සම්පූර්ණ කරනවා දුටුවේය. රජුගෙන් තෑගිබෝග ලැබීමේ අපේක්ෂාව නිසා මෙම සම්පූර්ණ කල කවි පද වල අයිතිය තමන්ට ලබා ගැනීමට කාන්තාව සිතුවේය. මේ නිසා ඇය හොර රහසේම කාලිදාසයන්ව  මරා දැමූ බව කියවේ. ඉන්පසු මෙම කවි පද දෙක තමන් විසින් සම්පූර්ණ කල බව ප්‍රසිද්ධ කලේය. එනමුත් මෙම කවි පද දෙක මෙම කාන්තාව විසින් සම්පූර්ණ කල බව කිසිවෙක් විශ්වාස කලේ නැත. කුමාරදාස රජුද විශ්වාස කලේ මෙය අති විශිෂ්ට කවියෙකුගේ නිර්මාණයක් බවයි.

 මෙම ඉතිරි පද දෙක කාලිදාසයන් විසින් සම්පූර්ණ කරන්නට ඇති බව කුමාරදාස රජු දැනගත්තේ ඔහු කාලිදාසයන්ගේ කවීත්වය හොදින් හදුනාගෙන සිටි බැවිනි. මේ හේතුවෙන් රජතුමා කාලිදාසට ත්‍යාග පිරිනැමීම සඳහා සෙව්වේය. එනමුත් කිසිවෙක් කාලිදාසයන් ගැන තොරතුරු දැන සිටියේ නැත. වැඩිදුර සොයා බැලීම් වලදී කාලිදාසයන්ගේ මළ සිරුර සොයාගැනීමට හැකිවිය. තමන්ගේ හොදම මිතුරෙක් වූ කාලිදාසයන්ව මරා දමා ඇති බව දැනගත් කුමාරදාස රජු මහත් සංවේගයට පත්විය.

 කාලිදාස කවියා ආදාහනය කිරීමට විශාල චිතකයක් සාදා එය තමන් විසින්ම ගිනි දල්වන ලදි. කුමාරදාස රජුට තම ශෝකය දරාගත නොහැකිව සැවොම බලා සිටියදීම දැල්වෙන චිතකයට පැන මිය ගියේය.

 කුමාරදාස රජු මියයන විට ඔහුගේ පුත් කීර්තිසේන බාලවයස්කාරයෙක් විය. මීට මාස නමයකට පසු ඔහු සිය මාමා අතින් මැරුම් කෑවේය. මෙසේ සුවච මිතුරන් දෙදෙනෙකු වූ රජෙකුගේ හා කවියෙකුගේ කතාව මරණයෙන් කෙළවර විය.

මූලාශ්‍ර: Stories from the history of ceylon - Marie Musaeus Higgins

මේවටත් උත්තර දෙමු එහෙනන්...

1)අපි ඈනුමක් අරින විටදී බාහිර ශබ්ද ඇසීමට අපහසු වන්නේ ඇයි?

2)සීතල දැනෙනකොට අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නේ ඇයි?

3)චුයින්ගම් කට ඇතුලෙදි දත්වල හෝ දිවෙහි ඇලෙන්නේ නැහැ. හැබැයි කටින් එලියට ගත්තම ඇගිලිවල , කොණ්ඩෙ සපත්තු අඩි ආදියෙහි ඇලවෙනවා. මේකට හේතුව මොකක්ද?

Thursday, June 15, 2017

යාපනයට නම ලැබුනෙ කොහොමැයි


 මහාවංශ කතුවරයා විසින් අද යාපනය දිස්ත්‍රික්කය හැඳින්වූයේ නාගදීපය ලෙසිනි.[නාගදීපයට එම නම ලැබුනු ආකාරය වෙනම ලිපියකින් සාකච්ඡා කරන්නම්] මුලු යාපනය අර්ධද්වීපය ප්‍රදේශයත්, නයිනතිව් දිවයිනත් එක්වගත් විට එය නාගදීපය නම් විය. තඹකොළ පට්ටන [දඹකොළ පටුන] යාපන පට්ටාන, ජැෆ්නා පටම්, යාපනේ, ජැෆ්නා, යාල්පානම් යන නම්වලින් මෙම අර්ධද්වීපය හැදින්වේ. ලංකාවෙ පැරණි වාරායවල් හැදින්වූයේ පට්ටන, පටුන ආදී නම් වලිනි. යාපනයේ තිබුනු දඹකොළ පටුනද ඉන් එකකි.

 රජ දවස යාපනය ප්‍රාදේශීය පාලකයන් විසින් පාලනය කල බවට බොහෝ තැන්වල සදහන්ව ඇත. මුල් අවධියේදී එහි පාලකයා වූයේ යාපා නම් අමාත්‍යවරයෙකි. මේ හේතුවෙන් මෙම පෙදෙස යාපා පටුන ලෙස හදුන්වා ඇත. දකුණු පලාත පාලනයට සිටියේ මාපා නිසාවෙන් එම පෙදෙස මාපා පටුන ලෙස හදුන්වා ඇති බවට දැක්වේ.

 මහාවංශයේ සදහන් වන ආකාරයට හා විවිධ් විද්වතුන් සදහන් කරන ආකාරයට යාපනය යනු නියම සිංහල වදනකි. ජැෆ්නා යන පෘතුගීසි වහරට බිඳී ආවේ යාපනේ යන සිංහල වදනයි.

  ක්‍රි.ව. 1450 - 1465 අතර කාලයේ ලියැවුනු සැලලිහිණි, ගිරා හා කෝකිල සංදේශයන්ගේ සදහන් වන්නේ මෙම පෙදෙස් ආර්ය චක්‍රවර්තීන් විසින් පාලනය කල බවක්ය.  ක්‍රි.ව. 14 වන සියවසේදී රයිගම , ගම්පොල හා යාපා පටුන රාජධානියන්හි පිළිවෙලින් අලකේෂ්වර , තුන්වන බුවනෙකබාහු හා ආර්ය චක්‍රවර්තීන් රජ කල බව රාජාවලියෙහි සඳහන් වේ.

 යාල්පානම් යන්න පැරණි මිත්‍යා කතාවක් මත පදනම් වූවක් බව සමහරුන් විශ්වාස කරයි. ඉන්දියාවේ පන්නාර් පවුලට අයත් අන්ධ වීණා වාදකයෙක් බිරිඳගෙන් බේරීමට බැරිව රැකියාවක් සොයාගෙන ලංකාවට පැමිණියේය. යාල් යනු වීණාව හා සමාන වාද්‍ය භාණ්ඩයකි. ඔහුගේ දක්ෂ වාදනය අසා ඉමහත් සතුටට පත් රජු යාපනේ පෙදෙස ඔහුට තෑගි කලේය. මෙම කාලයේ යාපනය මිනිස් වාසයෙන් තොර ඝන කැලෑවක් යැයි පැවසේ. ආපසු දකුණු ඉන්දියාවට ගිය ඔහු එහෙන් මිනිසුන් ගෙනැවිත් කැලෑ එළිකර යාල් පානා නාඩු පිහිටුවා ගත් බව කියවේ. එය පසු කලක යාල්පානම් බවට පත් වීලු. කෙසේවෙතත් ඉතිහාසය පිලිබඳ බොහෝ විද්වතුන් මෙම කතාව විශ්වාස කරන්නේ නැත.

 බුදුරජාණන්වහන්සේ ලංකාවට පැමිණෙන විට මෙම භූමිය හෙළයන් විසින් සංවර්ධනය කල එකක් විය. වාර්තාගත ඉතිහාසයේ මෙම පෙදෙස කැලයකින් වැසී තිබුනු බව නොපැවසේ.

 ක්‍රි.පූ. 247 දී සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය ද වැඩම කරවාගෙන දඹකොළ පටුනට ගොඩබැස්ස බව කියවේ. එම පිරිස පිළිගනු ලැබුවේ දෙවන පෑතිස් රජු විසිනි. මෙම ස්ථානයේ එනම් දඹකොළ පටුනේ ජම්බුකොළ විහාර වැන් සිද්ධස්ථාන රාශියක් ඉදිකල බව පැවසේ. ඉතිහාසය පිලිබඳ මෙවන් පසුබිමක් තිබියදී ක්‍රි.ව. 101 දී දිවයිනට පැමිණියා යැයි කියන සංගීතකාරයාට මෙම භූමිය තෑගි ඔප්පුවකින් ලබා දුන් බව පිලිගත නොහැක.

 ආරම්භයේ පටන් මහාවංශයේ යාපනය ගැන සදහන් වන නමුත් 14 වන ශතවර්ෂය වන තුරු දෙමළ බසින් යාපනය ගැන කිසිවක් සඳහන්ව නොමැත. පෘතුගීසි ආගමනය සමඟ යාපනේ දෙමල ජනතාව බහුල විය. දෙමළ ඉහිහාසය ගැන ලිඛිත වාර්තාවක් නොවූයෙන් 1736 දී සිටි ඕලන්ද ආණ්ඩුකාරවරයා විසින් මයිලවාන ප්‍රලවර් නැමැති දෙමළ උගතා ලවා දෙමළ ඉතිහාසය ලියවනු ලැබීය. එය යාල්පාන වයිපාව මලෙයි නම් විය.

 පෘතුගීසි ලන්දේසිහා ඉංග්‍රීසීන් විසින් උතුරු නැගෙනහිර පලාත්වල දුම්කොළ වැවීම සදහා මලබාර් ජනතාව ලංකාවට ගෙනාවේය. 1824 සංගණය අනුව 4.5% පමණකි. 1881 දී පොන්නම්බලම් අරුනාචලම් විසින් ලංකාවෙ සිටින සියලු මලබාර් දෙමළුන් ලංකාදෙමළ ලෙආ නීතිගත කර ඔවුන්ට ලංකාවට අයිතියක් කියා පෑම තහවුරු කලේය. 1881 සිට ලංකා මලබාර් වැසියන්ව ලංකා දෙමළ ලෙස හැදින්වීමට පටන් ගත්තේය.

 බී හෝර්ස් බර්ග් ,ජේ පී ලෙවිස් යන බ්‍රිතාන්‍ය ජාතික උගතුන් දෙදෙනාත් ගරු ඤාන ප්‍රකාසම් පියතුමාත් ගරු එස්. ඩබ්ලිව්. කුමාරස්වාමි පියතුමාත් මූලාරම්භයේදී යාපනේ සිංහලයන් මගින් ජනාවාස වූන්බවත් පසුව ද්‍රවිඩයන් එහි පදිංචි වූවාට පසු සිංහල නම්ගම් දෙමළට බිඳී ගිය බවත් සාධක සහිතව ඔප්පු කර තිබේ.

මූලාශ්‍ර:

1)පුරාණ ලංකාවේ ගම්දොර විත්ති- ජී.ඇම්.සේනාරත්න

2)ලංකා ඉතිහාසය 1 කොටස - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව

3) http://www.divaina.com/2017/04/16/feature04.html


මේවටත් උත්තර දුන්නනන්...

1)ඩොලර් 10 ක් ඉල්ලලා ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑක්ලින් රූස්වෙල්ට් වෙත ලියුමක් යැවූ සුප්‍රකට පුද්ගලයා කව්ද?

2)අවශ්‍යතාව පරිදි ස්ත්‍රී පුර්ෂ භාවය වෙනස් කල හැකි සතෙක් නම් කරන්න.

3)බොහෝ මාළුවන්ගේ පිටත අඳුරු පැහැයක්ද යටි පැත්ත ලා පැහැයක්ද ගන්නේ ඇයි?

Wednesday, June 14, 2017

තල් කොළ අතල ජලයෙන් පිරවූ දඬුහපී


 උඩරට රාජධානිය පාලනය කල රාජාධිරාජසිංහ රජු බහුශ්‍රැත සාහිත්‍යධරයෙකු මෙන්ම අවි හරඹයේද දක්ෂයෙක් විය. දැහැමි පාලකයෙකු වූ මොහු අස්ගිරි මල්වතු මහා විහාරයන්හි වැඩ විසූ යටවත්තේ හා කොබ්බෑකඩුවේ යන නා හිමිවරුන් යටතේ අක්ෂර කලාව උගෙන ඇත.

  මෙකල තම හැකියා වලින් දක්ෂකම් පෑ යටත්වැසියන්ට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබුණි. බක් මස උදාවත් සමඟ උඩරට රාජධානියේ වාර්ෂික මහා සැණකෙලි දර්ෂණය නැරඹීමට මිනිසුන් සිටියේ මහත් උද්‍යෝගයකිනි. රට වටා සිටින මිනිසුන් මෙහිදී එකට එක්වන අතර  නැටුම් ගැයුම් හා ජනක්‍රීඩා වලට සහභාගි වෙමින් සතුට සමරති. සරඹ සන්දර්ෂන හා නව නිපැයුම් වලට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වැඩියෙන් ලැබුණි.

  රාජාධි රාජසිංහ රජු ඉදිරියේ තම දක්ෂතාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම කෙරෙහි මෙම දක්ෂයන් බොහෝ සතුටට පත්ව සිටින්නට ඇත. මෙම උත්සවයේ අවසාන අංගය වූයේ නව නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා වෙන්වූ අංගයයි. මේ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නව නිර්මාණකරුවන් රැසක් පැමිණ සිටියහ. 

 මේ අතරතුර ඉතාමත් දැකුම්කළු රූපකායක් තිබූ සාමාන්‍ය කාන්තාවකට වඩා උස් මහත් සිරුරකින් හෙබි පිරිපුන් කාන්තාවක් තම හිස මත පෙට්ටියක් තබා ගෙන ඒම කාගේත් අවධානයට ලක්විය. රටේ රජ්ජුරුවන් වූ රාජාධි රාජසිංහ රජු කිසි දිනක රට වැසියන්ගෙන් ත්‍යාග ලබා ගත්තේ නැත. උක්ත කාන්තාව හිස මත තබාගෙන එන්නේ තමන්ට ත්‍යාගයක් යැයි සිතූ නිසා රජු කෝපාවිශ්ඨ විය. මෙය තමන්ට කල අවනම්බුවක් යැයි සිතූ රජු ඇයව රාජ සභාව ඉදිරියට රැගෙන එන ලෙස රාජ පුර්ෂයන්ට අණ කලේය.

  මේ අසලට එක්වී සිටි සියලු දෙනා දැන් සිදුවීමට යන්නේ කුමක්දැයි කියා නොඉවසිල්ලෙන් බලා සිටියේය. රජතුමා අසල දණින් වැටුණු කාන්තාව බියෙන් රජුගෙන් කරුණාව උදක්ම ඉල්ලීය.

  සුදු රෙදි කඩකින් වසා තිබූ භාජනයේ රෙදි කඩ ඉවත් කල පසු එහි දක්නට ලැබුනේ පලාපෙති ලියවැල් අනුසාරයෙන් විචිත්‍රවත් රටා ඇතුලත් අතලයකි. අතල යනු කළයයි. මෙම අතල නිර්මාණය කර තිබුනේ පන් කොළ පමණක් භාවිතා කරමින් ය. හොදින් වසා තිබුනු අතලයේ මුහුණත මත තිබූ පියන විවෘත කර පසු දුටු දෙයින් සැවොම විස්මයට පත් විය. එනම් එහි කට මට්ටම දක්වා ජලයෙන් පිරී තිබුණි.

  මෙය දුටු රජතුමා ඇගේ හැකියාව පිලිබඳ පුදුමයට පත් විය. මෙම අතලේ පිටත ජලය කාන්දුවනවාදැයි සොයා බැලීමට රජතුමා තම ඇමතුවරයෙකුට නියෝග කලේය. අතල පරීක්ෂා කල ඇමතුවරයා පැවසුවේ මැටි කලයක පිටතට වඩා මෙහි පිටත වියළි බවයි.

  ඉන්පසු රජු මෙම කාන්තාවගේ තොරතුරු විමසුවේය. ඇගේ නම හපී වූ අතර ඇය සිටියේ උල්ලදුපිටිය ග්‍රාමයේය. ඓතිහාසික හාරිස්පත්තුවේ උල්ලදුපිටිය ග්‍රාමය රන්, රිදී, ලෝහ හා ලී කැටයම් ආදී කලාවන්ට ඉතා දක්ෂ පරපුරු සිටි ග්‍රාමයක් වීය. උපතින්ම ලද උස දේහය නිසාවෙන් හපී 'දඬුහපී' ලෙස ග්‍රාමයේ ප්‍රකට විය.

  වැටකෙයියා, තුන්හිරියා වැනි ශාකවල කොළ ආධාරයෙන් කරන ලද විශිෂ්ට ගනයේ රටා පැදුරු වට්ටි පෙට්ටි ආදිය එදා රජුට දැක බලා ගැනීමට හැකිවූ බව උඩරට ජන කතාවල කියැවේ.

 මහින්දාගමනයත් සමඟ මෙරටට පැමිණි අටලොස් කුල ශිල්ප වල ප්‍රවීණයන් නිසාවෙන් හා ඊට පෙර පැවති විවිධාකාර වූ කර්මාන්තයන් නිසාවෙන් ලංකාවේ සෞන්දර්යාත්මක කලාව කාලයත් සමඟ ඔපමට්ටම් විය. මෙම කලාව අද දක්වා තිබුනත් ක්‍රමක්‍රමයෙන් කලාවේ නියුතුවන්ගේ දක්ෂකම එකලට සාපේක්ෂව බහින කලාවෙන් යාම ඛේදනීය තත්වයකි.

මූලාශ්‍ර: උඩරට රාජධානියේ සැඟවුනු විරු චරිත - තිස්ස මාලගමුව

මේවටත් උත්තර දුන්නනන්...

1)මැග්සේසේ සම්මානය ලැබුනු ලාංකිකයන් කව්ද?

2)එම සම්මානය ප්‍රථික්ෂේප කල ලාංකිකයා කව්ද?

3)ඒ ඇයි?

Monday, June 12, 2017

අඹ ගහ යට අඹ අහුලන පැටික්කී


   උඩරට රාජධානිය වසර පනහකටත් අධික කාලයක් පාලනය කල නරපතියෙකි II වන රාජසිංහ. ගන්නෝරුව සටන, රන්දෙනිවල සටන ආදියෙන් ජය ලැබීමෙන් තම දක්ෂතාවය මැනවින් පිලිඹිබු කල නිසා මොහු "රාසිං දෙවියෝ" නමින්ද ප්‍රකට වීය.

  කවියට හා කලාවට පෙම් කල මොහු අනෙක් උඩරට රජවරුන් මෙන් ස්ත්‍රීන් හඹා ගිය සල්ලාල ගමන් පිලිබඳව ඇති ජනකතාද රාශියක් පවතියි. තම රාජධානිය තුල රටවැසියන් ගෙවන ජීවිතය අධ්‍යනය කිරීමට වෙස්වලාගෙන රාජධානිය තුල සක්මන් කිරීම සාමාන්‍යයෙන් රජතුමා අතින් සිදු කෙරුණි.

  උඩරට රාජධානියට ආරක්ෂාව සැපයූ ප්‍රධාන ක්‍රමයක් වූයේ එහි ස්වභාවික පිහිටීමයි. රාජධානියේ සිට පහතරට මුහුදුකර පළාතට යාමට තිබුනේ ගිරි දුර්ග අතරින් වැටුනු මාර්ග කිහිපයකිනි. රාජධානියේ සිට දිවයිනේ උතුරු ප්‍රදේශයට යාමට තිබුනේ බොක්කාවල ග්‍රාමය හරහා වැටී තිබුණු දුර්ග මාර්ගයයි. මේ හේතුව නිසාවෙන් බොක්කාවල කඩවතේ තිබූ මුර පොළ රාජධානියේ ආරක්ෂාව උදෙසා ඉතා වැදගත් විය. මෙම කඩවත හා බැඳුණු ජනකතා උඩරට වැසියන් පැරැන්ණන් අතර පවතියි.
රොබට් නොක්ස්ගේ An Historical Relation Of the island Ceylon ,1693 ග්‍රන්ථයේ දැක්වෙන දෙවන රාජසිංහ රජු.

 දිනක් රජතුමා  බොක්කාවල මුර පොළේ වැඩකටයුතු හරියාකාරව සිදුවන්වාද නැද්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා දිළින්දෙකු ලෙස වෙස්වලාගෙන ගියේය. මේ ගමන අතරතුර එක් ගමක අඹ ගසක් යට අඹ අහුලමින් සිටි සුරූපී කාන්තාවක්ව දුටු රජතුමාට ඈ කෙරෙහි සිත් වීය. ඇය හා දොඩමළු වී හාදකමක් පැවැත්වීමේ අටියෙන් රසකාරක දැමූ බුලත් විටක් ඇයට පිරිනැමීය. මෙවැන් විටක් එකල සාමාන්‍යයෙන් භාවිතයට ගත්තේ ප්‍රභූවරුන් පමණි.

 තමා අසලට හදිස්සියේම පැමිණ මෙසේ දොඩමළු වන පුද්ගලයා දෙස ඇය බැලුවේ පිළිකුල් සහගතවය. රජතුමා දුන් බුලත් විටත් ඈ ප්‍රතික්ෂේප කලේය. මෙයින් කුපිත වූ රජතුමා මෙසේ කියා ඇත.

 අඹ ගහ යට අඹ අහුලන    පැටික්කී
 අඹරුප්පට රජු ආවා         නොදන්නී
යතුරු බුලත් දුන්නට අත   නොගන්නී
තිත්ත දෙමට පොතු කාපිය   හිඟන්නී


 තමන් ඉදිරියට පැමිණ මෙසේ කෝපයෙක් කෑ ගසන නාදුනන්නා පැවසූ වදන් ඇයගේ කනෙහි වැටෙත්ම ඈ මෙසේ පැවසීය.

 තොපේ රටේ කී මීගොන් සේම     කතා
අපේ රටේ නොකියන් ඔය ඔමරි     කතා
පීරෙන් පීර ගෑවා වැනි අපේ           කතා
මිට සඟවන සවරමකින් දෙමිය       බැටා


 තම කීර්තිය උඩරට රාජධානිය තුල පැතිරවූ රාසිං දෙවියන්ට මෙම කාන්තාවගේ පිලිතුරු කවිය නිසා කීමට කිසිත් නොමැතුව නිහඬව තම ගමන ගොස් ඇත.

 මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ පූජාපිටිය ලේකම් බල ප්‍රදේශයේ බොක්කාවල නගරයට නුදුරින් පිහිටි "අඹරුප්ප" ග්‍රාමයට මෙම නම ලැබී ඇත්තේ මේ හේතුව නිසාවෙන් බව පවසයි.

මූලාශ්‍ර : උඩරට රාජධානියේ සැඟවුනු විරු චරිත - තිස්ස මාලගමුව

මේවටත් උත්තර දුන්නනන්...

1)පිරමීඩ සෑදීමේ කලාවේ ආරම්භක රජු කව්ද?

2)පත්තිරිප්පුව නිර්මාණයේ මහමොළකරු කව්ද?

3)නැපෝලියන්ගේ අවසන් වදන් මොනවාද?

Thursday, June 8, 2017

ඇමරිකාවට නිදහස ලබා ගැනීමට උදව් කල විදේශිකයෝ


 ඇමරිකානු නිදහස් සටන යනු ඇමරිකාවට පමණක් බලපෑ දෙයක් නොවේ. මෙයට ලොව පුරා සහභාගීත්වයක් දක්නට ලැබුණි. මෙම නිදහස් සටන ප්‍රංශ විප්ලවයටද මූල බීජ සැපයීය. එසේ මූල බීජ සැපයූයේ ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් සටන් කල ප්‍රංශ හමුදාව විසිනි. ලොව විවිධ ප්‍රදේශවලින් සොල්දාදුවන් මෙයට සහභාගි වූ අතර ඔවුන් සිටියේ නොමැතිනම් ඇමරිකාව තම නිදහස් සටන ජය නොගනු ඇත. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ ඇමරිකානු නිදහස් සටනට සහය වූ විදේශිකයන් පිලිබදවයි.


 ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් සටන්වැද මියැදුනු පලමු පුද්ගලයා Crispus Attucks නම් අයෙකි. ඔහු අප්‍රිකාවේ වහල් බවින් මිදී පලා ආ කෙනෙකි. ඔහුගේ හිස වෙනුවෙන් මිලක් නියම කර තිබියදී ඔහු නැවියෙක් ලෙස සේවය කලේය. මොහුගේ ස්වාමියා මොහුව නැවත වහල් සේවය සඳහා බාරදෙන අයෙකුට මුදල් ගෙවීමට සූදානමින් සිටියේය. කවුරුන් හෝ එසේ  Attucksව වහල් සේවය සඳහා නැවත බාරදුන්නානම් ඇමරිකානු විප්ලවය විටෙක සිදු නොවීමටද ඉඩ තිබුණි.

 Attucks තම නැව් සඟයන් සමග තානායමක සිටියදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු පැමිණියේය. මෙම සොල්දාදුවාගේ පැමිණීම ගැන Attucks එතරම් කැමැත්තකින් පසු නොවූ නිසා ඔහු සොල්දාදුවාට පහර දෙන ලදි. Attucksගේ යහලුවන් හත්දෙනෙකුද මෙයට එක්කාසු වූ නිසා තව සොල්දාදුවන් කිහිප දෙනෙකුද වහා දිවගෙන පැමිණ මෙම රණ්ඩුවට එකතු විය. තත්ත්වය දරුණු වේගෙන යනවිට බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු තම තුවක්කුවෙන් වෙඩි තැබීමට පටන් ගත්තේය. මෙයින් නොසැලුණු Attucks දිගටම පහර දෙන ලදි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් රණ්ඩුව අවසාන වූයේ Attucks ඇතුලු පස් දෙනෙකුට මරු කැඳවමිනි. ඉතිහාසඥයන්ගේ මතය අනුව Attucks යනු වීරයෙක් ද නැතහොත් බීමතින් කෝලහාල කල පුද්ගලයෙක්ද යන්න පිළිබද දෙගිඩියාවක් පවතියි. කෙසේවුවත් ඇමරිකානු නිදහස් සටනේ ආරම්භක ගිණි පුළිඟු මේ මගින් දැල්වෙන ලදි.

 ඇමරිකානු නිදහස් සටන සඳහා සටන් වැදුනු අය අතරින් බොහෝ අය පුහුණු සොල්දාදුවන් නොවේ. ප්‍රශියාවේ Friedrich Wilhelm von Steuben ඇමරිකාවට් පැමිණීමට පෙර එහි මිනිසුන් බයිනෙත්තු භාවිතා කලේ මිනිසුන් මැරීමට නොව සතුන් මැරීමටය.


Von Steuben සාගර තරණය කර ඇමරිකාවට පැමිණියේ ඇමරිකානුවන්ට සටන් කරන ආකාරය ඉගැන්වීමටය. ඉතාමත් අපහසුවෙන් ඉංග්‍රීසි වචනයක් කතා කල ඔහු ඇමරිකානු හමුදාවේ අණදෙන ජෙනරාල්වරයෙකු ලෙස සේවය කරමින් හමුදාව පුහුණු කලේය. Von Steuben ප්‍රශියානු භාෂාවෙන් හමුදාවට කෑමොර දෙන විට ඔහුගේ සගයෙක් එය ප්‍රංශ භාශාවට පරිවර්තනය කරයි. ඒත් සමඟම තවත් පුද්ගලයෙක් එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර හමුදාවට පවසයි. මෙය සංකීර්ණ වුවද මෙම ක්‍රමය සාර්ථක විය. Von Steuben හමුදාවට සටන් කරන ආකාරය හා බයිනෙත්තු භාවිතා කරන ආකාරය උගන්වන ලදි. මෙය යුද්ධයේ විශාල වෙනසක් සිදු කිරීමට සමත් විය.

 1779 දී ජෙනරාල් Wayne විසින්  Von Steubenගේ පාඩම් ස්ටෝනි බෲක් අල්ලා ගැනීමට යොදා ගන්නා ලදි. ඔහු ඇතුලු ඔහුගේ සගයන් මිනිසුන් 750කට ආසන්න ප්‍රමාණයක් රැකවලින් සිටි වරායක් කිසිදු වෙඩි තැබීමකින් තොරව බයිනෙත්තු පමණක් භාවිතා කර අල්ලා ගත්තේය.

  Tadeusz Kosciuszko යනු ඇමරිකානු හමුදාවේ සේවය කල ප්‍රධාන ඉංජිනේරුවෙකි. මොහු පෝලන්ත ජාතිකයෙක් විය. මොහු ඇමරිකානු යුද්ධයේදී ඇමරිකාව වෙනුවෙන් විශාල සේවයක් කල අයෙකි. මොහුගේ අවසාන බලාපොරොත්තුව වූයේ මොහුගේ සියලුම මුදල් අප්‍රිකානු වහලුන් මුදා ගැනීම සඳහා යෙදවීමයි. මේ අනුව Tadeusz Kosciuszko ඔහුගේ ලඟම හිතවතෙක් වූ තෝමස් ජෙෆර්සන් හට තමන් සතුව තිබූ සියලු මුදල් ලබා දී මියගිය පසු අවසාන බලාපොරොත්තුව ඉටුකරන්න යැයි පැවසුවේය. මේවන විට ජෙෆර්සන්ගේ වයස අවු. 75 ක් පමණ විය. එමනිසා ඔහු මෙම වගකීම තවෙකෙකුට පැවරීය. මේ ආකාරයෙන් මෙම වගකීම අතින් අතර ගොස් එක්තරා අවස්ථාවක ජෝර්ජ් බොම්ෆෝර්ඩ් අතට පත්වුනි. ඔහු මෙම මුදල් තම හිතුමතේට තමන්ගේ උවමනාවන් උදෙසා වියදම් කරන ලදි. අවසානයේ ජෝර්ජ් මියයන විට ඔහුට ලැබුනු $43,504 මුදලින් ඉතිරිව තිබුනේ  $5,680 ක් පමණි. මෙම මුදල අධිකරණයට ලබා දෙන ලදි. ඔවුන්ද මෙම මුදල් වහලුන් නිදහස් කිරීම සදහා නොයොදන ලදි. ඒ අනුව අවසානයේදී Tadeusz Kosciuszko ගේ අවසාන බලාපොරොත්තුව සුන් විය. ඔහුගේ මුදල් වලින් එකදු වහලෙකු මුදා ගැනීමට නොහැකි විය.

   Bernardo de Galvez යනු ලුයිසියානා හි ආණ්ඩුකාරවරයාය. මෙය එකල ස්පාඤ්ඤයේ යටත් විජිතයකි. මොහු ඇමරිකාවට අවශ්‍ය අවි ආයුධ හා ඖෂධ හොර රහසේම සපයන ලදි. 1779 දී ස්පාඤ්ඤයත් යුද්ධයට අවතීර්ණ වූයෙන් ඔහුට තවත් සැඟවී සිටීමේ අවශ්‍යතාවක් නොවීය. ඔහු වසරක් තුල ඇලබාමා වලින් බ්‍රිතාන්‍යයන් පලවා හරින ලදි. ඊට වසරකට පසු ෆ්ලොරිඩා වලින්ද බ්‍රිතාන්‍යයන් ඔහු පලවා හරින ලදි.

 මෙම යුද්ධය අතර කාලයේ කැනඩාව යනු බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. එමනිසා කැනඩාව තරමක් ඇමරිකාවේ හතුරන් ලෙස ක්‍රියා කරන ලදි. තත්ත්වය එසේ වුවත් කැනේඩියානුවන්ගෙන් සමහරෙක් ඇමරිකාව වෙනුවෙන් සටන් වැදුනේය. ඇමරිකානුවන් වරින් වර විවිධ පණිවිඩකරුවන් කැනඩාවට යවා එහි වැසියන්ව තමන්ගේ පැත්තට නම්මවාගැනීමට උත්සහ දරණ ලදි. මේ අනුව කැනේඩියානුවන්ගෙන් සමහරෙක් ඇමරිකානු හමුදාවට බැදුනේය.

 ඇමරිකානු හමුදාවේ කැනේඩියානු රෙජිමේන්තු දෙකක් පැවතුනි. ඉන් එක් රෙජිමේන්‍තුවක් Benedict Arnold විසින් මෙහෙයවූ අතර එය අසාර්ථක විය. කියුබෙක් අල්ලා ගැනීම අසාර්ථක වූ අතර ඔවුන් නිව් යෝර්ක් හි ස්ථානගත කර තබන ලදි. Moses Hazen විසින් මෙහෙයවන ලද අනික් කැනේඩියානු රෙජිමේන්තුව සාර්ථක විය. Hazen ද කැනේඩියානුවෙක්වීය. ඔහුගේ හමුදාව යෝර්ක්ටවුන් වැටලීමටත් සහභාගි විය. මෙය සටන යුද්ධයේ අවසානය සනිටුහන් කරන ලදි. යුද්ධය අවසාන වූ පසු Hazen ඇතුලු තමන් සමඟ සටන් කල අනෙක් කැනේඩියානු සඟයින් ඉතිරි කාලය ඇමරිකාවේ වාසය කරන ලදි.

 ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් ස්පාඤ්ඤය හා ප්‍රංශය ද සටන් වැදුනේය. මෙම යුද්ධයේදී විශාලතම හා දීර්ඝතම සටන පැවතියේ යුරෝපයේදීය. ඒ Gibraltar හි දීය. මෙය කුඩා දිවයිනක් විය. 1779 ජූනි 24 වන දින ප්‍රංශ හා ස්පාඤ්ඤය හමුදා නැව් මගින් පැමිණ මෙම දිවයින යටත් කරගන්න සැලසුනේය. එහෙත් එය ලේසි පහසු එකක් නොවීය. මෙම සටන වසර තුනක් තිස්සේ දිව ගියේය. ස්පාඤ්ඤය ජාතික Antonio Barcelo විසින් මෙම සටන මෙහෙයවන ලදි. මෙම වැටලීම සාම ගිවිසුමක් අත්සන් කරන තුරු නතර වූයේ නැත.  කෙසේ හෝ අවසානයේ මෙම සටන වෙනුවෙන් ස්පාඤ්ඤ ජාතිකයන් 3000කට ආසන්න පිරිසක් දිවි දුන්නේය.

 මුල් කාලයේදී ඇ.එ.ජ. තුල නෙදර්ලන්ත වැසියන් බොහෝ ප්‍රමාණයක් සිටියේය. ඔවුන් අනෙක් ඇමරිකානුවන්ගෙන් වෙන්ව වෙනමම සමාජය ගොඩනගා ගෙන සිටියහ. බ්‍රිතාන්‍යයන් විසින් නිව් ජර්සි අල්ලා ගත් පසු John Mauritius Goetschius නම් නෙදර්ලන්ත වැසියෙක් වගා කටයුතු වල යෙදෙන තම සඟයින් සමග ගරිල්ලා හමුදාවක් සාදා ගත්තේය. රාත්‍රී කාලයේදී ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට පහර දී උදය වන විට සාමාන්‍ය වගා කරුවන් ලෙස පෙනී සිටියහ. 1781 දී වොෂින්ටන් විසින් තම හමුදාව Lee වරාය ලෝයලිස්ට්වරුන්ගෙන් ලබා ගැනීමට යැව්වේය. එනමුත් එම හමුදාව වරායා වෙත යන විටත් John Mauritius Goetschius ඇතුලු නෙදර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් එම වරාය ලෝයලිස්ට්වරුන්ගෙන් ලබාගෙන තිබුනි.

  ඇමරිකානු නිදහස් සටනේ අවසන් සටන පැවතියේ ඇමරිකාව තුල නොවේ. ඒ ඉන්දියාව තුලය. 18 වන ශතවර්ෂය වන විට සන්නිවේදනය එතරම් සීග්‍රයෙන් සිදු වූයේ නැත. ලෝකයේ එක් කෙරවලක සටන් කරමින් සිටි මිනිසුන් යුද්ධය අවසන් වූ බව නොදැන දිගින් දිගටම සටන් කරමින් සිටියේය. 

 ඇමරිකානු නිදහස් සටනේ අවසන් වර්ෂ 5 තුල ඉන්දියාවද යුද්ධයට සහභාගි වීය. ප්‍රංශය එංගලන්තයට විරුද්ධව යුධ ප්‍රකාශ කල විට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ඔවුන්ගේ යටත් විජිත වලට් පහර දීමට පටන් ගත්තේය. Mysore හි සුල්තාන්වරයෙකු වූ හයිදර් අලි ප්‍රංශයේ හමුදා සමඟ එක්ව සටන් කලේය.

  1783 දී හයිදර් අලි මියගිය පසු බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ප්‍රංශයට ප්‍රභල ලෙස පහර දීමට පටන්ගත්තේය. ප්‍රංශ හමුදාව මයිසෝරියානු හමුදාව එක්ව බ්‍රිතාන්‍යට දිගින් දිගටම පහර දෙන ලදි. අවසානයේ 1783 ජූනි 29 වන දින ඉන්දියාව වෙත පණිවිඩයක් ආවේය. එහි සටහන් වූයේ මාස අටකට පෙර ඇමරිකානු නිදහස් සටන ජයගත් බවයි. මෙම පණිවිඩය ලැබුණු විට සටන්කරුවන් අවි බිම හෙලා තම තමන්ගේ මව් රටවල්වලට යන ලදි.

 මෙම ලිපිය පිලිබද ඔබගේ කුඩා හෝ අදහසක් ඉතා අගේකොට සලකමි.


මූලාශ්‍ර:

1) https://www.google.lk/amp/s/www.biography.com/.amp/people/crispus-attucks-9191864

2) http://www.history.com/this-day-in-history/friedrich-von-steuben-arrives-at-valley-forge

3) https://en.m.wikipedia.org/wiki/American_Revolutionary_War

4) https://www.google.lk/amp/s/www.amny.com/amp/news/tadeusz-kosciuszko-polish-engineer-was-hero-of-american-revolution-1.13530228

5) http://www.biographi.ca/en/bio/hazen_moses_5E.html

6) http://www.mapsofindia.com/who-is-who/history/hyder-ali.html

මේවටත් උත්තර දෙමු එහෙනන්...

1) මේ හිස්කබල් කොටස කාගේ ද?


2) මේ කව්ද?


3) මේ කව්ද? කොයි කාලෙද?


Thursday, June 1, 2017

මූගල් අධිරාජ්‍යයේ අවසාන පාලක කවියා "බහදූර් ෂා සෆාර්"


 Abu Zafar Sirajuddin Muhammad Bahadur Shah Zafar හා බහදූර් ෂා [ දෙවන බහදූර් ෂා ] ලෙසද හදුන්වනු ලබන්නේ මෝගල් අධිරාජ්‍යයේ අවසාන අධිරාජ්‍යයාය. එමෙන්ම ඔහු ටිමුරිඩ් රාජවංශයේ අවසාන පාලකයාය. මොහුගේ පියා දෙවන අක්බාර් ෂා වන අතර මව ලාල්බායි විය. දෙවන අක්බාර් ෂා 1838 දී සැප්තැම්බර් 28 දින මිගගිය පසු ඔහුගේ පුත් බහදූර් ෂා මූගල් අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා විය. එනමුත් සැබෑවටම එකල ඉන්දියාව පාලනය කලේ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසිනි. මේ හේතුවෙන් බහදූර් ෂා නාමික පාලකයෙක් විය.
බහදූර් ෂා 1858 දී. දිල්ලි හි නඩු විභාගයෙන් පසු බුරුමයේ රැන්ගූන් නුවරට පිටුවහල් කිරීමට මොහොතකට පෙර ගන්නා ලද ඡායාරූපයකි. මූගල් අධිරාජ්‍යයෙක්ගේ ලබා ගත් එකම ඡායාරූපය මෙය විය හැකියි.


  නීත්‍යානුකූලව බ්‍රිතාන්‍යයන් යනු අධිරාජ්‍යයා යටතේ සේවය කල නියෝජිතයන්ය. අධිරාජ්‍යයාට බලය තිබුනේ දිල්ලි නගරයට පමණි. බ්‍රිතාන්‍යයන් අධිරාජ්‍යයාව "දිල්ලියේ රජු" ලෙස අමතන්නට විය. 1857 දී ඉන්දියානු මහ කැරැල්ලට වරදකරු වී රාජ්‍යද්‍රෝහී චෝදනා නිසා ඔහුව රටින් පිටුවහල් කලේය. 

 බහදූර් ෂා ව සෆාර් ලෙසද හදුන්වයි. ඔහුට පාලකයෙකු වීමට වඩා අවශ්‍ය වූයේ කවියෙකු වීමටයි. එකල සිටි උර්දු කවීන් අතරින් ඉහලින්ම සිටි කවියෙක් ලෙස බහදූර් ෂා නොහොත් සෆාර් ප්‍රකටයි. සමහර විශාරදයන් පවසන අන්දමට එකල සිටි උර්දු කවීන් අතරින් විශිෂ්ටතමයා වන්නේද ඔහුයි.

  දෙවන අලම්ගීර්ගේ [Alamgir 11] සිට මූගල් අධිරාජ්‍යයෙක්ට තම සැබෑ බලය අත්දැකීමට හැකියාවක් ලැබුනේ නැත. දෙවන අලම්ගීර්ද ක්‍රියා කලේ ඇෆ්ගන් රජ කෙනෙක් වූ Ahmad Shah Durrani ගේ රූකඩයක් ලෙසයි. තම බලය සීමිත වුවද ආගම් අතර සහජීවනය නැංවීමට බහදූර් ෂා ක්‍රියා කලේය. ඔහු හින්දු හා මුස්ලිම් අය අතර සමගිය අගය කල අයෙක්. බ්‍රිතාන්‍යයන් තුල තිබූ 'බෙදා පාලනය කිරීම' ක්‍රමයට මෙය පටහැනි විය.

  බහදූර් ෂා අධිරාජ්‍යා වන විට ඔහුගේ වයස අවුරුදු 60 ඉක්මවා තිබුණි. ඔහුගේ බලය රතු බලකොටුවේ සිට කුඩා දුර ප්‍රමාණයක් දක්වා විහිදී තිබුණි. මේ වන විට මූගල් අධිරාජ්‍යයේ දේපලක් වූ ෂා ජහාන්ගේ මොණර ඔටුන්න සහ කොයිනූර් දියමන්තිය තම රටින් ගෙනයන ලදි.

 1857 දී ඉන්දියානු මහ කැරැල්ල ව්‍යාප්ත වූ විට ඔවුන් බහදූර් ෂා ව තම නායකයා ලෙස පත්කර ගත්තේය. ඔවුන් බහදූර් ෂා ව දුටුවේ හින්දු හා මුස්ලිම් ජන කොටස් ඇතුලු සිටලුම ඉන්දියානුවන් එකමුතු කල හැකි නායකයෙක් ලෙසය. එමෙන්ම රාජ්‍යත්වයට ඔහුට අයිතියක්ද තිබුණි. කෙසේ හෝ බහදූර් ෂා මෙම කැරැල්ලේ නායකත්වය සඳහා තම නම ලබාදීමට අවසර ලබා දුන්නේය.

 බහදූර් ෂා ගේ බිරිඳ Zeenat Mahal. [මොහුට බිරින්ඳෑවරු හතර දෙනෙක් සිට ඇත]

 ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ඇතිවූ අතර තමන්ගේ සැබෑ නායකයා දෙවන බහදූර් ෂා ලෙස ඔවුන් පවසන ලදි. වැඩිකල් යන්නට මත්තෙන් බහදූර් ෂාට දක්නට ලැබුනේ පෙර  සාමයෙන් තිබූ නගරයක් නොව ලේ වැගිරුණු නගරයක්ය. බ්‍රිතාන්‍යයන් මෙම කැරැල්ලෙන් ජය ගත් පසු බහදූර් ෂා දිල්ලි නගරයේම සැගවුණි. මේජර් හොඩ්සන් විසින් මෙහෙයවනු ලැබූ බ්‍රිතාන්‍ය හමුදාව බහ්දූර් ෂා ව වටලන ලැබූ පසු යටත් වීමට පවසන ලදි. පවුලේ බොහෝ පිරිමින් මෙහිදී ඝාතනය කල අතර පවුලේ ඉතිරි සියලු දෙනා හිරබාරයට ගෙන රටින් පිටුවහල් කරන ලදි. නඩු විභාගයේදී වරදකරු වූ සෆාර් බුරුමයේ රැන්ගූන් නුවරට පිටුවහල් කරන ලදි. ඔහුත් සමඟම 1858 දී ඔහුගේ බිරිඳ සහ පවුලේ ඉතිරිව සිටි කිහිපදෙනාවත් පිටුවහල් කරන ලදි.
බහදූර් ෂාගේ දරුවන් දෙදෙනෙක්. වමේ - Jawan Bakht. දකුණේ - Mirza Shah Abbas

  ඔහුගේ නඩු විභාගය සාධාරණ එකක් නොවීය. වසර තුන්සීයකට අධික ඉන්දියාවේ මූගල් පාලනයේ අවසානය මෙය වීය. බහදූර් ෂා 1862 නොවැම්බර් 7 වන දින මියයන ලදි. ඔහුව රැන්ගූන් නුවරදීම භූමිදාන කරන ලදි. තම මව්භූමියේදී භූමිදානයක්වත් ඔහුට නොලැබුණි. සෆාර්ගේ බිරිඳ Zinat Mahal 1886 දී මිය ගියේය. දෙවන බහදූර් ෂා නොහොත් සෆාර් දිල්ලියෙන් ඈතට ගිය පලමු අවස්ථාව ලෙස දැක්වෙන්නේ 1858 දී ඔහුව බුරුමයේ රැන්ගූන් නුවරට පිටුවහල් කල අවස්ථාවයි.

මූලාශ්‍ර:

1) http://www.newworldencyclopedia.org/entry/Bahadur_Shah_II#cite_note-0

2) https://en.m.wikipedia.org/wiki/Bahadur_Shah_II

3) http://asidisimaanaya.blogspot.com/2016/12/blog-post_17.html?m=1

මේවටත් උත්තර දුන්නනන්

1)ලොව කෙටිම ජාත්‍යන්තර  ගුවන් ගමනේ කාලය මිනිත්තු කීයද? කොහේ සිට කොහාටද?

2) මාලදිවයිනේ ජාතික ගීයේ තනුව නිර්මාණය කලේ කව් ද?

3)ලතා මංගේෂ්කර් ගැයූ සිංහල ගීතය කුමක් ද?

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...