Sunday, December 2, 2018

වරද කාගෙද?


ලංකාව රාජධානි අවධියේ දී ඒකීය රාජ්‍යයක් ලෙස පැවතියේ සුළු කාලයකි. රාජධානි අවධියේ දී ලංකාව උඩරට , පහත රට, මායා රට, පිහිටි රට ආදී නොයෙක් ආකාරයට කොටස් වලට බෙදී පැවතුනි. එක් එක් පාලකයන් මෙහි පාලන කටයුතු ගෙන ගිය අතර උතුරු ප්‍රදේශය ආර්ය චක්‍රවර්තී නැමැති දෙමළ පාලකයන් විසින් පාලනය ගෙන ගියා. එකල ජාතීන් කියා තිබුනේ ජන වර්ගයට නොව කුලයට යි. ජන වර්ග අතර බේදයක් තිබුනේ නැත.

අතීතයේ දී සිංහල හා දෙමළ මිනිසුන් අතර විවාහයන් බොහෝ සිද්ද වූවා. එයට කිසිදු බාධාවක් සිදු වූයේ නැහැ. උදාහරණයක් ලෙස රත්වත්ත පවුලේ විවාහයක් යාපනයේ වෙල්ලාල කුලයේ අයත් සමග වීම දැක්විය හැකියි. සැළලිහිණි සංදේශයේ එන උලකුඩය දේවිය විවාපත් වන්නේ ශන්මුගයාර් නැමැති දෙමළ කුමාරයෙක් සමග. ඒ අපේ පෙර සිංහල සාහිත්‍යයෙන් උදාහරණයක්. ලංකාවේ රජවරු බොහොමයක් දකුණු ඉන්දියාවේ කුමාරිකාවන් සමග විවාහ වනවා. මේ ආකාරයට සිංහල දෙමල දොගොල්ලො අතර විවාහ සම්බන්ධතා වලට කිසිදු බාධාවක් තිබුනේ නැහැ. අලගියවන්න මුඛවෙටි පඬිතුමා සහ ධර්මසේන හිමි වැනි ප්‍රාඥයින් කියා සිටියේ දෙමළ නොදන්නා අයෙක් සිටිනවා නම් ඒ මුග්ධයෙක් බව. එනම් එකල දෙමළ භාෂාව ඉගෙන ගැනීමත් බොහෝ උසස් දැනීමක් ලෙස පිලිගනු ලැබුවා.

මෙසේ කිසිදු බේද බින්නව නොතිබූ ජාතීන් අතර ගැටුන් හටගත්තේ කොතැනින් ද? ඉංග්‍රීසීන්ගේ පාලන කාලය ගත් විට, ඔවුන්ගේ පාලනයේ එක් විශේෂත්වයක් ලෙස ‘බෙදා වෙන්කර පාලනය’ දැක්විය හැකියි. කෝල්බෲක් ප්‍රථිසංස්කරණයෙන් ව්‍යවස්ථාදායක හා විධායක යන ආයතන දෙකක් හදුන්වා දෙනු ලැබූ අතර ව්‍යවස්ථාදායකයේ නිල නොලත් මන්ත්‍රීවරුන් තෝරා ගත්තේ ජාතීන් අනුවයි. වර්ගවාදී හැඟීම් ඇති කිරීමට මෙය මූලික අවධියේ හේතුවක් වුනා. ඒකීය රටක් ලෙස ලංකාව පත් කරන්නේ ඉංග්‍රීසීන්. රාජ්‍යයක් සෑදීම නිසා ජාතීන් අතර බෙදීම හට ගත් අතරම රට බෙදී තිබුන තාක් කල් ජාතීන් අතර සමගියක් තිබුනා.


නිදහස කිට්ටු වන විට මෙම ජාතිවාදී හැඟීම උත්සන්න කිරීමට හේතු කිහිපයක් තුඩු දුන්නා. ලංකාවට නිදහස ලබා ගැනීම සදහා හඬක් නැගූ ව්‍යාපාර ලෙස එකල තිබුනේ ව්‍යාපාර දෙකක් පමණි. ඒ ලංකා වාමාංශික ව්‍යාපාරය සහ යාපනය තරුණ සංගමය පමණි. ඩොනමෝර් කොමිසම නිර්දේශ ඉදිරිපත් කල විට අපි ජාතියේ පියවරු ලෙස හදුන්වා සිටින, මහත් ඉහළින් කතා කරන පුද්ගලයින් සිදු කලේ මෙම නිර්දේශ බාර ගැනීමයි. නමුත් වාමාංශික ව්‍යාපාරය සහ යාපනය තරුණ සංගමය මෙයට විරුද්ධ වී නිදහස උදෙසා අරගලයක නියැලුනා. යාපනයේ තරුණ සංගමයේ විරෝධතාව කෙතරම් උග්‍රව ගියා ද කිවහොත්, ඔවුන් තමන්ට හිමි වූ චන්දය භාවිතය වර්ජනය කරනු ලබනවා. තමන්ට චන්දය භාවිතා කිරීමට හැකි පලමු අවස්ථාවයි ඔවුන් මෙසේ වර්ජනය කරන්නේ. යාපනය තරුණ සංගමය පවසුවේ ‘අපිට ජාතික නිදහස මිසක් ප්‍රථිසංස්කරණ අවශ්‍ය නැහැ’ යනුවෙනුයි. මෙම විරෝධතාව හේතුවෙනුයි පසු කාලීනව අපට සර්වජන ඡන්ද බලය හිමි වන්නේ.

තව දුරටත් ඉදිරියට ගිය විට, සොල්බරි කොමිසමෙන් ගෙන එනු ලබනවා සුළු ජාතීන් සුළු ආගමිකයන් ආරක්ෂා කරගැනීමට වගන්තියක්. එනම් කිසිදු ජන කොටසකට විශේෂයක් කල නොහැකි බවයි එයින් පැවසුවේ. නමුත් එම ව්‍යවස්ථාව යටතේ දී පත්වූ ආණ්ඩුව (ඩී.එස්. සේනානායක ප්‍රමුඛ) පුරවැසි පනත හඳුන්වා දෙනු ලබනවා. එම පුරවැසි පනතෙන් සිදුකලේ කන්ද උඩරට සිටි ද්‍රවිඩ කම්කරු ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කිරීම. එම ද්‍රවිඩ කම්කරු ජනතාව වාමාංශිකයන්ට නැඹුරු වීමක් තිබූ අතර ආණ්ඩුවට අවශ්‍ය වූයේ මෙය නතර කිරීමටයි. එමනිසා පුරවැසි පනතෙන් උඩරට ද්‍රවිඩ කම්කරු ජනතාවගේ චන්ද බලය අහෝසි කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා.

1956 චන්දය කිට්ටු වේගෙන යන විට බෞද්ධ කොමිෂන් සභාව පිහිටුවනු ලබනවා. මෙමගින් බෞද්ධයන්ට හා සිංහලයන්ට සිදුවී තිබෙන අසාධාරණකම් සාකච්ඡාවට ලක් වනවා. මෙය මුල් කරගෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවත් බෞද්ධ රාජ්‍ය ආගම බවත් යන අදහස් මතු වනවා. මෙම අදහස් මුල් කරගෙන 56 චන්ද ව්‍යාපාර කෙරීගෙන යන අතර එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය භාෂා පනත රැගෙන එන බවට මැතිවරණ පොරොන්දුවක් ලබා දෙනවා. ඔවුන් සමග තරඟ කල  එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා පවසා සිටියේ ඔහු සිංහල භාෂාව පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව බවට පත් කරන බවයි. බණ්ඩාරණායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ 56 චන්දය ජය ගත්තත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීනේ මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමට කල් ගත වනවා. 



රාජ්‍ය භාෂා පනතෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයන් සිංහල භාෂාවේ ප්‍රවීණත්වය ලබාගත යුතු බව කියැවෙනවා. එම ප්‍රවීණත්වය වසර තුනක් ඇතුලත ලබා නොගතහොත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරයි. වරක් කොල්වින් ආර් ද සිල්වා පවසා සිටියේ ‘එක් භාෂාවක් නම් රටවල් දෙකක්. භාෂා දෙකක් නම් එක් රටක්’ බවයි.  මෙම පනත ගෙන ඒමත් සමග දෙමළ ජනතාව පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකරන අතර ආණ්ඩුව විසින් මැරයන් දමා එය නතර කරයි. මේ ආකාරයට දෙමළ ජනතාවගෙන් මෙම රාජ්‍ය භාෂා පනතට සහ ඒ හා සමගාමීව ගිය උසාවි භාෂා පනතට එරෙහිව නොයෙක් උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ පැවැත්වීමට පටන් ගන්නවා. මේ සියල්ල දරුණු ලෙස මර්ධනයක් එකල ආණ්ඩු විසින් සිදු කරයි. දෙමළ මිනිස්සුන්ගේ හදවතට කතා කල භාෂාව ප්‍රශ්නයට අමතරව  ඔවුන්ව තැලීමට ජනපදකරණයත් හේතු වනවා. උදාහරණයක් ලෙස ගල් ඔය ජනපදයෙන් ගම්මාන තිස් හයෙන් ගම්මාන හයක් පමණයි දෙමළ මිනිසුන් සදහා වෙන් කලේ. ගල් ඔය ජනපදය මුල් කරගෙනයි අම්පාර දිස්ත්‍රික්කය සාදනු ලබන්නේ. මෙසේ ක්‍රමානුකූලව සිංහල ගම්මාන සෑදීම සිදු කරනු ලබනවා. මේ සියල්ල නිසා දෙමළ මිනිසුන්ට තේරුම් යනවා මොවුන් මේ සිදු කරන්නේ අපගේ භාෂාව සංස්කෘතිය ආදිය දියාරු කිරීමේ වැඩපිලිවෙලක් බව. ඉතිහාසය දෙස බැලූ විට අපට එය පැහැදිලිවම දක්නට ලැබෙනවා.

මේ සියල්ල නිසා උතුරේ තරුණයන් අතර කතා බහකට ලක් වනවා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කල යුතුයි යන වග. ඒ අනුව වඩුක්කෝඩෙයි හිදී එම සන්නද්ධ ව්‍යාපාරය ආරම්භ වනවා. දෙමළ මිනිසුන්ට වෙනම රාජ්‍යයක් යන සංකල්පය මතු වන්නේ එතැනින්. එතැන් පටන් රටට වූ හානිය කියා නිම කල නොහැකියි. ජාතිවාදී ප්‍රශ්න ඇති කලේ කව්ද? වරද කාගෙද?

(අජිත් හැඩ්ලි මහතාගේ දේශනයක් ඇසුරෙන් සකස් කල ලිපියකි)

Sunday, November 25, 2018

ළමයෙක් මියයාමට නියමිතයි



ඊයේ දින (24) විවිධ මාධ්‍යයන් තුල බහුලව කතා බහකට ලක්වූ සිදුවීමක් වූයේ මාතර ප්‍රදේශයේ 16 වියැති සිසුවෙකු විසින් 19 උසස් පෙළ සිසුවෙකුව පිහියෙන් ඇන මරා දමන සිද්ධියකි. 

රූපවාහිනී නාළිකා තුලින් ද සුපුරුදු පරිදි මෙම සිදුවීම හුවා දක්වමින් මරණයට ලක් වූ දරුවාවත් ඔහුගේ පවුලවත් මැරූ දරුවාවත් පෙන්වමින් සිටියි. ඔවුන් මැරූ දරුවාගේ තොරතුරු ද එළි කරමින් ඔහුට දෝෂාරෝපණය ද කරමින් තම ප්‍රවෘත්ති කරනයේ යෙදී සිටියි. සමාජ ජාලා මාධ්‍ය ද මැරූ ළමයාගේ චරිත ඝාතනයක නියැලෙමින් පවතියි.

මොවුන් ඇතුලු මෙම මැරූ දරුවාගේ චරිත ඝාතනය කරන සියලුම දෙනාම අමතක කල එක් විශේෂ කරුණක් ඇත. එනම්, මොහු වැඩිහිටියෙක් නොව තවම ළමයෙක් බවයි. ඔහු සිදුකල දෙය සම්පූර්ණයෙන්ම වැරදියි. එහි කිසිදු තර්කයක් නැත. නමුත් මෙහි සැබෑ වැරදිකරුවා කව්ද යන වග අපි සොයාබලන්නේ නැත. කුඩා කල පටන් පවුලෙන් හෝ පාසලෙන් සැබෑවට ඉගැන්විය යුතු දේ එසේ සිදු නොවීම මීට මුලයි. තරඟකාරී අධ්‍යාපන ක්‍රමයකට මුහුණ දෙමින් සිටින වර්තමාන ළමුන් අධ්‍යාපනයේ යෙදීම ලෙස සිදු කරන්නේ අශ්ව රේස් පිට්ටනියක සිටීමයි. තරඟයට එහා දෙයක් ඔවුනට උවමනා නැත. පාසල් වලින් මෙන්ම පවුල් පරිසරයෙන් ද සමාජීය යහපත් ගුණාංග දරුවන්ට කියාදෙන්නේ නැත. තරුණ වයසේ ළමුන්ගේ ආවේගය වැඩි බව අප සැවොම දන්නා කරුණක්. නමුත් සමාජීය ගුණාංග කුඩා කල පටන් ඉගැන්වුවහොත් මෙකල ඇති වන ආවේගය මරණයක් දක්වා දුරදිග යන්නේ නැත. අපි සැමවිටම කරන්නේ රෝගයට උඩින් පල්ලෙන් බෙහෙත් දමනවා මිස රෝග නිධානය සොයා එයට ප්‍රථිකාර කරන්නට උත්සහ කිරීම නොවේ.

මෙම සිදුවීමේ චූදිතයා ව සිටින ළමයාව බොහෝ විට පරිවාසයට දමයි. පරිවාස කාලය අවසන් වන්නේ ඔහු තමන් කල වැරැද්ද තේරුම් ගෙන යහපත් සමාජීය ගුණාංග ඉගෙනගත් පසුවයි. පරිවාසයෙන් පසු ඔහු තවදුරටත් කලින් සිටි පුද්ගලයා නොවේ. ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. පරිවාසයෙන් පසු ඔහු සමාජයට යන විටත් මාධ්‍ය තුලින් ඔහුගේ නම විකෘති කර අවසන්ය. නිවසට, රැකියාවකට කොටින්ම පාරක තොටකට යන සෑම අවස්ථාවක දීම සමාජය මොහුව පිලිගන්නේ අපරාධකාරයෙක් ලෙසටයි. තමන් කෙතරම් හොද මිනිසෙක් වීමට උත්සහ කලත් සමාජය තමන්ව අපරාධකාරයෙක් ලෙස පිලිගන්නවානම් එයින් සිදු වන්නේ ඔහු මානසික රෝගියෙක් වීම හෝ සැබෑ අපරාධකාරයෙක් වීමයි. එයට හේතු වන්නේ දුර දිග නොබලා කටයුතු කල මාධ්‍යයයි. විස්තර වාර්ථාකරනයේ දී සිදු වූ සිදුවීම නියමිත අයුරින් නොපවසා චරිත ඝාතන දක්වා එම වාර්තාකරණය යෑමත් සමාජ ජාලා මාධ්‍යයන් තුල සැරිසරණ පුද්ගලයින් සිතට පැමිණෙන ඕනෑම දෙයක් දුර දිග නොබලා ප්‍රකාශ කිරීමට යාමත් නිසා උක්ත දරුවාගේ අනාගතය අඳුරු වීමට නියමිතයි. මෙය එක් දරුවෙක්ට පමණක් සීමා වූ කරුණක් නොවේ. මුලු සමාජයටම දැඩිව බලපාන කරුණක්.

සමාජය හරි දේ කියා නොදීම නිසා ළමයෙක් විසින් ඝාතනයක් සිදු විය. එයට පෙරලා සමාජය විසින් ළමයා ඝාතනය කලේය.



Monday, October 8, 2018

උපතේ පටන් වෙනස්කොට සැලකීම කාන්තා අයිතිවාසිකම් කඩ වීමේ මුල ද?



කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩ වීම අද ලංකාව පුරා බහුලව සිදු වන්නා වූ දෙයකි. මේවාට පිලියම් යෙදීමට උත්සහ කරත් ඒවා විසඳෙන බවක් නම් දක්නට නොලැබේ. මන්ද කාන්තාවන්ට දැනුවත් ව හෝ නොදැනුවත් ව සිදුවන හිරිහැර දිනෙන් දින වැඩි වනවා මිස අඩු වන බවක් දක්නට නොමැති නිසාවෙනි.

මෙසේ අයිතිවාසිකම් කඩ වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ සමාජය එක් රාමුවකට වී සිතීමට උත්සහ කිරීමයි. උපතේ දී පිරිමි ළමයෙකුට හා ගැහැණු ළමයෙකුට ජීව විද්‍යාත්මක වෙනසකට වඩා වැඩි වෙනසක් නැත. උපතේ දී පමණක් නොව ඊට පසු ද ඇත්තේ මෙම ජීව විද්‍යාත්මක වෙනස පමණි. නමුත් සමාජය දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම පාර්ෂවයන්ට වෙනස් කොට සැලකීම උපතේ පටන් සිදු කරයි. දැනටත් සමහර මිනිසුන් තම පවුලේ උපදින පලමු දරුවා ගැහැණු දරුවෙකු වීමට අකමැත්තක් දක්වයි. යම් පවුලකට දරුවෙකු ඉපදුන විට ඒ ගැගැණු දරුවෙකු නම් එම දරුවාට ලබා දෙන තෑගි සහ ඒ පිරිමි දරුවෙකු නම් ලබා දෙන තෑගි ගැන ඔබ මදකට සිතා බලන්න. වෙනස් කොට සැලකීම ආරම්භ වන්නේ මෙසේ උපතින්ම යි.

සමාජය විසින් ගැහැණුන් හා පිරිමින්ගෙන් බලාපොරොත්තු වන ගති ලක්ෂණ තිබේ. ගැහැණු කෙනෙක් නම් කීකරු, විනීත, වැරෙන් කතා බහ නොකරන චරිතයක් විය යුතු බව ද පිරිමින් ස්වභාවයෙන්ම කේන්ති ගන්නා, දැඩි, සැර පරුෂ චරිතයක් ඇති අය විය යුතු බව සමාජය සිතයි. කුඩා උදාහරණයක් ලෙස මෙය ගන්න ; පිරිමි පාසලක ළමුන් අතරේ ඇතිවන රණ්ඩුවක දී රණ්ඩුවට සහභාගි නොවන පුද්ගලයාට බොහෝ විට බනින්නේ “කෙල්ලෙක් වෙන්න එපා” කියා යි. රණ්ඩු කිරීම් හරි යැයි නොකියන නමුත් රණ්ඩු කරන්නේ පිරිමින් පමණ ද? මෙසේ කුඩා කල පටන් පිරිමින්ගෙන් හා කාන්තාවන්ගෙන් මෙම සමාජය බලාපොරොත්තු වන ගති ලක්ෂණ තිබේ. එම ගති ලක්ෂණ වලට පිටින් ගිය විට නිතැතින් ම පහර වැදෙයි. පිරිමියෙක් සිදු කරන දෙය කාන්තාවක් සිදු කරන්නට ගියහොත් ඇයට නිතැතින්ම පහර වැදෙන්නේ එය “ගැහැණු කමට නින්දාවක්” ලෙසයි. මේ කියන්නා වූ ගැහැණු කම සමාජය විසින් බලාපොරොත්තු වන දෙයක් මිස කාන්තාවකගේ තිබිය යුතු ලක්ෂණ නොවේ.

පිරිමියෙක් ගෙන් සමාජය ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ රස්සාවක් කර පවුලක් නඩත්තු කිරීමයි. නමුත් කාන්තාවකගෙන් එසේ බලාපොරොත්තු වන්නේ නැත. බිරිඳ රස්සාවකට ගොස් සැමියා විසින් නිවසේ සිට ළමුන් බලාකියාගෙන වැඩ කටයුතු කලහොත් එයට සමාජය විසින් පිරිමියාට බැණ වදියි. මන්ද සමාජය විසින් පිරිමියාගෙන් බලාපොරොත්තු වන දේ ඔහු විසින් සිදු නොකරන නිසාවෙනි. මෙම ක්‍රියාව පහර ගසන්නට තරම් දෙයක් දැයි සිතා බැලීම වටියි. මෙම සිතුවිලි මිනිසුන් තුලින් ඉවත් කිරීමට අපහසුයි. නමුත් ඉවත් කරගත් විට සමාජය තුල විශාල වෙනසක් අනිවාර්යයෙන්ම සිදු කල හැකියි.

මෑතක දී එක්තරා පාසලක විදුහල්පති වරයෙක් නියෝගයක් පනවා තිබුනේ පාසලේ සිටින ගුරුවරියන්ට අත් දිගට සිටින ලෙස සාරි ඇඳ පැමිණෙන ලෙසයි. මෙයට හේතු ලෙස ඔහු දක්වා තිබුනේ අත් කොට හැට්ට සහිත සාරි ඇඳ පැමිණෙන විට පාසලේ සිටින පිරිමි ළමයි ‘ඇවිස්සෙන’ බවයි. සමක් දුටු පමණින් පිරිමින් ‘ඇවිස්සෙනවා’ ද? එසේත් නැති නම් මෙය පිරිමින්ගේ ක්‍රියා කලාපයක් කියා සමාජය විසින් අපට උගන්වා ඇති දේ ද? මිනිසා ස්වභාවයෙන්ම අනෙක් සතුන්ගෙන් වෙන් වන්නේ තමන්ට තමන් කරනා දේ පාලනය කරගත හැකි වීම නිසාවෙනි. මෙසේ තමන් කරනා දේ පාලනය කරගත නොහැකි නම් තවදුරටත් ඔවුන්ට මිනිසුන් ලෙස හදුන්වාදීමේ ඇති ඵලය කුමක් ද? ඇරත් පිරිමියා තුල තිබෙන වරදකට (සමාජය කියනා පරිදි) කාන්තාවට දඬුවම් දෙන්නේ ඇයි? මෙසේ පිරිමියා ගැන සමාජය තුල සමාජය විසින්ම ඇති කර තිබෙන වැරදි ආකල්ප නිසාවෙන් දඬුවම් විදීමට සිදු වී ඇත්තේ ද කාන්තාවටම යි.

කාන්තාවන් විදින බොහෝ ගැහැට වලට ප්‍රධාන හේතුවක් වන්නේ මේ සමාජය විසින් එකිනෙකාගෙන් බලාපොරොත්තු වන ගති ලක්ෂණයි. මෙය මේ සමාජය විසින් අපට උගන්වන දෙයයි. නමුත් ඒ සෑම දෙයක් ම ඉගෙන ගත යුතු ද? එය ප්‍රශ්න කිරීමට කාලයකි මේ.


Wednesday, September 19, 2018

ඒජන්ට් ඔරේන්ජ්


යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගනියි. ඒ අතරින් සතුරාගේ ආහාර මූලාශ්‍ර වලට පහර දී හෝ ඒවා අඩපණ කර සතුරාව අඩාල කිරීම ලෝක ඉතිහාසය පුරාවට සිදුවී තිබේ. මේ සදහා රසායනික ද්‍රව්‍ය භාවිතා කල අවස්ථාවක් වියට්නාම යුද්ධය කාලයේ දී අපට හමුවේ.

ඉතා ප්‍රභල 2,4,5-T අම්ලය හා 2,4-D අම්ලය (2,4,5-ට්‍රයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය හා 2,4- ඩයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය) මිශ්‍ර කල විට දරුණු රසායනික මිශ්‍රණයක් සෑදෙන අතර මෙය ඇමරිකානු හමුදාව විසින් වියට්නාම යුද්ධයේ දී භාවිතා කලේය. මෙම රසායනික මිශ්‍රණය හැදින්වූයේ ‘ඒජන්ට් ඔරේන්ජ්’ නමිනි. එය නිපදවූයේ ‘මොන්සැන්ටෝ කෙමිකල්’ නැමැතු බහු ජාතික සමාගම විසිනි. මෙම මිශ්‍රණයෙන් ශාක හරනය කිරීමට හැකියාව තිබේ. එනම් ශාකවල පත්‍ර හැලී ඵල නොසෑදෙන තත්වයට පත් කල හැකියි.

ඒජන්ට් ඔරේන්ජ් පමණක් නොව විවිධ වර්ණ කිහිපයකින් ම යුත් නාම වලින් (නිල්, රෝස, කොළ, දම් සහ සුදු) මෙම රසායනික මිශ්‍රණය තිබුණි. නමුත් මෙයින් ශාක වල ඵල නිශේධනය කිරීමේ වැඩිම හැකියාවක් තිබුනේ තැඹිලි වර්ණයෙන් නම් කෙරූ මිශ්‍රණයටයි. එහිද ඒජන්ට් ඔරේන්ජ් 1, ඒජන්ට් ඔරේන්ජ් 2, ඒජන්ට් ඔරේන්ජ් 3 සහ සුපර් ඔරේන්ජ් ලෙස වර්ග කිජිපයක් තිබුණි. ඇමරිකානු හමුදා විසින් වියට්නාම යුද්ධ කාලයේදී විෂ රසායනික ගැලුම් මිලියන 20 ක් පමණ වියට්නාමයේ තෝරා ගත් කැලෑ ආදී ස්ථාන වලට අහස්යානා මගින් වැස්සවීමට සැලැස්වූයේ ය. එයින් ඒජන්ට් ඔරේන්ජ් රසායනික මිශ්‍රණය ගැලුම් මිලියන 13 කට අධික විය. මෙය ‘ඔපරේෂන් රෑන්ච් හෑන්ඩ්’ නමින් හැදින්වුනු අතර පුරා වසර නමයක් එනම් 1962 වසරේ සිට 1971 වසර දක්වා ක්‍රියාත්මක විය. මෙහි අරමුණ වූයේ වියට්කොං ගරිල්ලන්ගේ ආහාර මූලාශ්‍ර විනාශ කිරීම හා ඔවුන් සැඟවී සිටිකැලෑ එළි කර එම ස්ථාන සොයා ගැනීමයි. 1962 වසරේ ජනවාරි මස 09 වෙනි දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර එදින පටන් වසර නමයක් පුරාවට වියට්නාමය පුරා මෙම විෂ රසායනික මිශ්‍රණය වාර 6542 ක් මුදාහැර තිබේ. මෙමගින් වියට්නාමයේ වගාබිම් හා වනාන්තර ප්‍රදේශ වලින් 20% ක් [අක්කර මිලියන 4.5 කට අධික පෙදෙසක්] විනාශයට පත් කිරීමට ඇමරිකානු හමුදාවට හැකියාව ලැබුණි. වියට්නාමයට පමණක් නොව කාම්බෝජය සහ ලාඕසය යන රටවල්වල දේශසීමා අවට පෙඩ්ජෙස් වලට ද මෙම විෂ රසායනිකය ඉසින ලදි. මන්ද වියට්කොං ගරිල්ලන් දේශසීමා අවටද සැඟවී සිටි බැවිනි.

සතුරාගේ ආහාර මූලාශ්‍ර විනාශ කර සතුරාව මර්ධනය කිරීම ඉතා පැරණි යුධ ක්‍රමයකි. නමුත් ඒ සදහා රසායනික ද්‍රව්‍ය භාවිතා කලේ මෑත කාලීනවයි. දෙවන ලෝක යුද්ධ අවධියේ දී එංගලන්තය සහ ඇමරිකාව මේ ආකාර රසායනික මිශ්‍රණ සෑදුවත් ඔවුන් ඒවා භාවිතයට ගත්තේ නැත.
මෙසේ රසායනික ද්‍රව්‍ය මෙවන් කාරණා වලට යොදාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙන්නේ එක්දාස් නමසිය පනහා අවධියේ දී බ්‍රිතාන්‍යයන් විසින් මැලේසියාවට එරෙහිව යොදා ගැනීමයි. ඉන්පසුව හැටේ දශකයේදී ඇමරිකාව විසින් වියට්නාමයේ දී ඒජන්ට් ඔරේන්ජ් භාවිතා කලේය. අවාසනාවකට මෙම රසායනික ද්‍රව්‍යය භාවිතය නිසා දරුණු අතුරුඵල ඇතිවිය. එය වියට්නාම වැසියන්ට පමණක් නොව මෙයට නිරාවරණය වුණු ඇමරිකානු හමුදාවට ද අත්විඳීමට සිදුවිය.

ඒජන්ට් ඔරේන්ජ් හි ඉහත සදහන් රසායනික ද්‍රව්‍ය හැරුණු කොට දරුණු විෂ ‍රසායනික ද්‍රව්‍යයක් වන 2,3,7,8 -TCDD අඩංගු වේ. මෙය ඉතා දරුණු වන අතර කුඩා ප්‍රමාණයකට විශාල හානියක් සිදු කිරීමේ හැකියාව තිබේ. වියට්නාම යුද්ධයෙන් පසු නිවෙස් බලා පැමිණි ඇමරිකානු හමුදා භටයින් හට විවිධ රෝග සෑදීමට පටන් ගත්තේය. පිළිකා, චර්ම රෝග සහ දරු උපත් වලදී රෝග ආදිය සීග්‍රයෙන් වැඩි වීමට ගත්තේය. වියට්නාම යුද්ධය අවධියේ දී මිලියන දෙකයි දශම පහක ඇමරිකානු හමුදා භටයින් ඒජන්ට් ඔරේන්ජ් වලට නිරාවරණය වීම මීට හේතුව බව අනාවරණය විය.

වියට්නාම රජය පවසන පරිදි වියට්නාම ජනගහනයෙන් මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් මෙම රසායනික මිශ්‍රණයට නිරාවරණය වී තිබේ. එයින් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයකට රෝගාබාධ වැළඳී ඇති අතර වියට්නාමයේ රතු කුරුස සංවිධානය පවසන පරිදි මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ශරීර විකෘති වීම ඇතුලු දරුණු සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී තිබේ. ලක්ෂ හතරකට අධික ජනතාවක් මේ නිසා මරණයට පත්විය. ඒජන්ට් ඔරේන්ජ් හි ඇති රසායනික සංඝටක වලින් ජාන වලට හානි පැමිණවීමට හැකියාව තිබෙන නිසා මෙයට නිරාවරණය වූවන්ගෙන් සෑදෙන දරුවන්ට ද මෙහි ප්‍රථිපල විඳීමට සිදුවීම ඛේදනීය තත්වයකි.

මෙම මෙහෙයුම නිසාවෙන් වියට්නාමයෙන් මෙන්ම ඇමරිකාවෙන්ද විවිධ නඩු එයට විරුද්ධව ගොනු වී තිබේ. රටවල් දෙකෙන්ම මෙය නිපදවූ බහු ජාතික සමාගමට විරුද්ධව නඩු ගොනු කර තිබේ. 1979 වසරේ දී මෙම විෂ රසායනිකයට නිරාවරණය වී රෝගී බවට පත්වූ වියට්නාම යුද්ධයට සහභාගි වූ මිලියන 2.4 ක සොදාදුවන් පොදු නඩුවක් ගොනු කල අතර එහි ප්‍රථිපලය වූයේ එයට වන්දි ලෙස ඔවුන්ගේ පවුල් වලට ඩොලර් මිලියන එකසිය අසූවක මුදලක් බෙදා දීමට තීරණය වීමයි.

මිනිසුන්ට පමණක් නොව මිශ්‍රණය ඉසින ලද ප්‍රදේශ වල සිටි සතුන්ටද මෙහි ප්‍රථිපල විඳීමට සිදුවේ. යුද්ධයෙන් පසු මෙම පෙදෙස් වල නැවත ශාක සිටුවීමට උත්සහ කරත් එය ඉතා අපහසු වී ඇත. සරලව කිවහොත් මෙම ක්ෂණික කෘතිම පරිසර වෙනස්වීම නිසා එරටේ පාරිසරික සමතුලිතතාව වෙනස් වීමට ප්‍රබලව බලපා තිබේ. වියනාම යුද්ධය අවසන් වී දැනට දශක පහකට ආසන්න කාලයකි. එහෙත් එහි අඳුරු ප්‍රථිපල දැනටත් එහි මිනිසුන් භුක්ති විඳිති.

මූලාශ්‍ර:
1)History.com
2)military.com
3)publichealth.va.gov
4)https://youtu.be/uJaJbq9aRFI

සියලුම පින්තූර pinterest මගින් ලබා ගතිමි.

තවත් ලිපි කියවන්න මෙතනින්

Tuesday, July 3, 2018

දෙවියන්ගේ මිනිස්සු - ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

අපට කුඩා කල උගන්වා ඇත්තේ මිනිසෙකු උපතින් ගැහැණු හෝ පිරිමි වන බවයි. එහෙත් සමහර පිරිමි දරුවන් කලක් ගත වන විට ගැහැණු ලක්ෂණ ද සමහර ගැහැණු දරුවන් පිරිමි ලක්ෂණ ද පෙන්වයි. මේවා ස්වභාවිකව සිදුවේ. මෙය 'වැරැද්දක්' නොවේ. සමහරු ලිංගික අවයව සැත්කමකින් වෙනස් කර ගනියි. මොවුන් පොදුවේ සංක්‍රාන්ති ලිංගිකයන් වශයෙන් හදුන්වති.

ඉන්දියාවේ සියවස් ගණනාවක් පටන් පැවත ආ සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන් සමන්විත ජනකොටසක් සිටියි. නැටුම් ආශ්‍රිතව තමන්ටම කියා සංස්කෘතියකට හිමිකම් කියන මොවුන් නමින් හිජ්‍රා වේ. ගාන්ධි මොවුන්ව හැදින්වූයේ 'දෙවියන්ගේ මිනිසුන්' කියාය. එසේ කීවේ මොවුන්ගේ සමාජ තත්වය උසස් කරලීමටයි. පසුගිය සියවසේ ලංකාව තුල වර්ධනය වී වර්තමානය වන විට ශේෂව යන මෙවැනි සංස්කෘතියක් පවතියි. ඔවුන් 'නච්චි' ලෙස හදුන්වති. ලංකාවේ මොවුන්ගේ මූලය ගැන විවිධ මත පවතින අතර ඉන් ප්‍රධාන වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි නර්තන කණ්ඩායම් ඇසුරෙන් හා ලිංගික වෘත්තියන් ඇසුරෙන් 'නච්චි' ජන කණ්ඩායම් ආරම්භ වූ බවයි. මොවුන්ටම කියා යම් යම් දෑ හැදින්වීමට වචන දෙතුන්සීයක පමණ කුඩා වාග්මාලාවක් පවතින අතර වෙනමම උප සංස්කෘතියකට හිමිකම් කියයි. වර්තමානය වන විටදී ද නච්චි ජන කණ්ඩායමේ වැසියන් සුළු වශයෙන් සිටියි.

ඉන්දියාව සහ පකිස්තාන වැනි රටවල් වල සමහර සංක්‍රාන්ති ලිංගිකයන් ඔවුන් ඒ තත්වයට පත් වූ විට නිවෙස් වලින් පිටවී වෙනම ම කණ්ඩායම් ලෙස ජීවත් වේ. ලංකාවේ ද කොළඹ අවට මේ තත්වය ඉතා සුළුවට පවතියි. එය ඉන්දියාවේ හා පකිස්තානයේ තරම් සැලකිය යුතු අයුරින් විශාල ප්‍රමාණයක් නොවේ.

යමෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් බවට පත්වන්නේ ස්වභාවිකවයි. මෙය කිසි විටෙක වැරැද්දක් නොවේ. නමුත් අද සමාජයේ සිටින බොහෝ දෙනා මෙය වැරැද්දක් ලෙස දැක ඔවුන්ට දෝෂාරෝපණය කරයි. මෙය ඒ ඒ අයගේ පවුල් තුලින් ද පැන නැගේ. හොදක් කියන්න කෙනෙක් නැත. උදේ හවා මෙසේ විවිධ කෙනෙහිලිකම් වලට ඔවුන් මුහුණ දෙන නිසා බොහෝ අය සියදිවි හානි කරගන්නට උත්සහ ගනියි. දෝෂාරෝපණ පමණක් නොව මිනිසුන් ඉදිරියේ කොන් කිරීම, ලැජ්ජාවට පත් කිරීම හා ලිංගික අතවර මොවුන් එදිනෙදා මුහුණපාන ගැටලු වේ.

රැකියා අවස්ථා ගැන කතාකරන විට මොවුන්ට සමාජයේ ඉහළ යැයි සම්මත රැකියා වලට යාමට ඇති අවස්ථා ඉතාමත් විරලය. අධ්‍යාපනික සුදුසුකම් තිබුන ද තමන් සංක්‍රාන්ති ලිංගිකයෙක් ලෙස දැනගත් විට බොහෝ අය රැකියා අවස්ථාවක් ලබා දීමට මැලි වේ. එමනිසා කුඩා කුඩා රැකියා වලින් යැපීමට ඔවුනට සිදුවේ. ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ වෘත්තීන්ට සමහර සංක්‍රාන්ති ලිංගිකයන් යොමු කරවන්නේ ද මේ හේතුවමයි.

ආගමික වශයෙන් ගත් විට අතීතයේ දී මොවුන්ව පීඩනයකට ලක් නොකල අතර වර්තමානයේ දී යම් යම් අවස්ථාවන් හිදී හැර මොවුන්ව පීඩාවට ලක් කරයි. සමහරු මෙම සංක්‍රාන්ති ලිංගිකයන්ව පීඩාවට පත් කිරීමට විවිධ ආගමික කරුණු හුවා දක්වයි. නමුත් ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ පසු කාලීනව එම කරුණු ඒ ඒ ආගම් වලට එකතු වූ ඒවා බවයි.

සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධව නීතිමය කරුණු දැන් සොයා බලමු. මොවුන් සම්බන්ධව නීති කරුණු කිහිපයක් පවතියි. ඉන් ප්‍රධාන එකක් වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය යටතේ එන වෙනත් අයෙකු ලෙස පෙනී සිටීමයි. සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව මෙම නීතිය බොහෝ අවස්ථා වලදී වැරදි ලෙස භාවිතා වේ. මෙම නීතියේ අන් අයෙකු ලෙස පෙනී සිටීම හරිහැටි විස්තර කර නොමැති නිසා සංක්‍රාන්ති ලිංගිකයන් මේ නිසා දඬුවම් විඳියි. එම නිසා මෙම නීතිය වෙනස් කර යමෙක් අනන්‍යතාව සඟවන්නේ කුමන චේතනාවෙන් ද යන වග සොයා බලා දඩුවම් කිරීම සිදුකල යුතුයි.

මෙවැනි තවත් නීතියක් නම් අයාලේ යාමේ ආඥා පනතයි. මේ සදහා ඉතා කුඩා දඩයක් පමණක් හිමි වුවත් මෙය යොදාගෙන පාරේ සිටින සංක්‍රාන්ති ලිංගිකයන්ට පොලීසිය විසින් දඩුවම් කරනු ලැබූ අවස්ථා එමටයි. පොලීසියට ඔවුන්ව ගෙනැවිත් ඔවුන්ගෙන් විනෝද වූ අවස්ථා ද එලෙසම තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තියේ සදහන් අස්වාභාවික ලිංගික හැසිරීම් සම්බන්ධ නීතිය ද මොවුන්ට විරුද්ධව බොහෝ විට යොදා ගනියි. මෙම නීතියේ ද අස්වාභාවික ලිංගික හැසිරීම  හරිහැටි හදුන්වා නැති අතර මෙය බ්‍රිතාන්‍යයන් විසින් තම යටත්විජිත වලට හදුන්වා දුන් නීතියකි. 1995 වන තෙක් මෙම නීතිය යටතේ දඬුවම් දුන්නේ පිරිමි පිරිමි අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් සදහා පමණි. නමුත් එම නීතිය ඉවත් කිරීමට පසුව යෝජනා වූ අතර එහි ප්‍රථිපලය වූයේ ගැහැණු ගැහැණු අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් සදහා ද මේ යටතේ දඩුවම් දීමට හැකියාව ලැබීමයි. මෙම නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් වලට දඩුවම් ලබා දේ.

අනන්‍යතාව ගැන කතාකරන විට අප සියලු දෙනාටම හැදුනුම්පතක් හා උප්පැන්න සහතිකයක් තිබේ. මානව හිමිකම් කොමිසමට අනුව පසුගිය වසරේ දී ලාංකික සංක්‍රාන්ති ලිංගිකයන්ට හැදුනුම්පතක් හා උප්පැන්න සහතිකයක් දීමට කටයුතු කරනු ලබයි. මේ සදහා ඔවුන් මනෝ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ලබාගත යුතු වන අතර ඉන් වසර එකහමාරකට පමණ අධ්‍යන කාලයකට පසු හැදුනුම්පත හිමිවේ. ලංකාවේ මෙවැනි අනන්‍යතාවයක් ලබා ගැනීම උදෙසා සංක්‍රාන්ති ලිංගිකයන් උද්ඝෝෂණ හෝ ඉල්ලීම් කලේ නැත. මන්ද එවිට තම අනන්‍යතාව සගවාගෙන සිටින සමහර සංක්‍රාන්ති ලිංගිකයන් මේ නිසා සමාජයේ දැඩි පීඩනයකට ලක්වන නිසාය. කෙසේ නමුත් මෙය ඔවුන්ගේ අයිතියකි.

මේ විසිඑක්වන සියවසයි. සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ගැඹුරින් කතා කල යුතු හා ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා කතා කල යුතු කාලයකි මේ. නමුත් ඊට පෙර මොවුන් පිලිබද අද ලාංකික සමාජයේ ඇති ආකල්ප ශෝධනයකට ලක් කල යුතු වේ. එවිට සංක්‍රාන්ති ලිංගිකයින්ට මිනිසුන් ලෙස සලකන කාලයක් උදා වේවි.

ප.ලි. - විශේෂ ස්තූතිය - දමිත් චන්දිමාල් මහතාට සහ අරුණ ශාන්ත නෝනිස් මහතාට


Thursday, June 28, 2018

ලංකාවේ ප්‍රථම ලොතරැයි ටිකට්පතේ ජයග්‍රාහකයාගේ කතාව

ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේද? බහුතරයේ පිළිතුර 'ඔව්' යනු නිසැකයි. ලොතරැයියක් නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනෙන්. ජයමල්ල කෙසේවෙතත් රුපියල් විස්සක් වියදම් කර ලබාගන්නා ස්වීප් ටිකට්පතට රු. විස්සක මුලදක් ඇදුනත් අප සතුටින් ඉපිල යයි. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාමකි. කෙනෙකුට ජයමල්ල හිමි වූ විට ඔහු/ඇයගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේද? මේ නිසා ලංකාවේ පලමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන සොයා බලමු.

ලංකාවේ පලමු වරට ලොතරැයි ටිකට්පතක් එලිදැක්විය යුතුය යන අදහස ගෙන එන්නේ 1949 වසරේදී ය. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා විසිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට්පත ඇතිකර යුතු යැයි ඔහු යෝජනා කරයි. බණ්ඩාරණායක මහතාගේ මෙම යෝජනාව මල්පල ගැන්වුනේ 1955 වසරේ දී ය. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමති ව සිටි ඊ. ඒ. නුගවෙල මහතාගේ කාලයේදී ය. මේ අනුව 'ආණ්ඩුවේ ආරෝග්‍යශාලා ලොතරැයිය' 1955 වසරේ දී 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් එලිදක්වන ලදි.
කිරිඅප්පු මොරිස් 8 රිය සමග

මෙම පලමු ලොතරැයියේ ජයමල්ල හිමිවූයේ ගලිගමුවේ විසූ කිරිඅප්පු නයිදේ මහතාට යි. ඔහු මෙම ටිකට්පත මිලදී ගත්තේ තේ කඩයකිනි. එකල ටිකට්පතක මිල වූයේ ශත 50 කි. මෙම ටිකට්පත ජයග්‍රහණය කළහොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරිඅප්පු ශත පනහක් දී ස්වීප් ටිකට්පත මිලදී ගනියි. ඔහු එය මිලදී ගෙන නිවසට ගොස් ගෝන අං තට්‍යුව අස්සේ එය රඳවා තබයි.

කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසර වනතෙක් පමණි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යොමු වූයේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තුව උදෙසා මුදල් රැස් කිරීමට යි. ස්වීප් ටිකට්පත රැගෙන කලක් ගතවිය. කිරිඅප්පු ටිකට්පත මිලදී ගත් තේ කඩයේ සිටි කෙනෙක් පැවසුවේ ස්වීප්ටිකට් පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බවයි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබාගැනීමට ඉදිරිපත් වූයේ නැත.

තමා ද ටිකට්පතක් මිලදී ගත් නිසා කිරිඅප්පුගේ කුතුහලය තවතවත් වැඩි වන්නට විය. නමුත් අවාසනාවකට ඔහුට එම ටිකට්පත තැබූ තැන මේ වන විට අමතක වී තිබුණි. දිනක් මෙය මතක් කරමින් නින්දට ගිය විට මහ රෑ ඔහුට එකවරම ස්වීප් ටිකට්පත තිබූ තැන මතක් විය. ඔහු පසුදිනම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ජය අංක සසදා බැලූ විට ඔහු විශ්මයට පත් වූයේ තමන් ජයමල්ල දිනාගත් බැවිනි.

මෙය ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්විය. මෙම සිදුවීම එකල් ලංකාදීප පුවත්පතේ කිරිඅප්පු නයිදේ ගේ ඡායාරූපයක් සමග පලවූයේ මේ අයුරිනි.

"ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.

රුපියල් 97,343.50ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ."

අනූ හත්දහසක මුදලක් යනු එකල අතිවිශාල මුදලකි. කිරිඅප්පු මෙම මුදල නිකරුනේ නැති නාස්ති කලේ නැත. ඔහු බිසෝවෙලින් සහ ලොල්ලේගොඩින් කුඹුරු ඉඩම් මිලදී ගෙන එයින් වැඩිමනක් තම බාල සහෝදරයන්ට නොමිලයේ ම ලබා දුන්නේය. ලොල්ලේගොඩින් ඔහු අක්කර විස්සක ඉඩමක් මිලදී ගෙන කුඹුරු යායක් ද සමග ඔහු තමා සන්තකයේ තබා ගත්තේය. එමෙන්ම මොරිස් 8 කාර් එකක් ද මිලදී ගත්තේ ය.

මේ වන විට කිරිඅප්පු විවාහ වී සිටියේ නැත. දැන් ඔහුට අවශ්‍ය වූයේ විවාහ වීමට කාන්තාවකි. ස්වීප් ටිකට්පතට පින් සිද්දවෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුන නිසා කිරිඅප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවේ. ඒ අතරින් කිරිඅප්පුගේ හිත ගියේ පුංචිඑතනා රාජකරුණා වෙතයි. ඇය ඉහළට ම ඉගෙනගත් කාන්තාවක් වූ අතර කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසරට වනතෙක් පමණි. මේ නිසා ඇය කිරිඅප්පුව විවාහ කර ගැනීමට එතරම්ම කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපළ හා වතුපිටි තිබූ නිසා පුංචිඑතනාගේ දෙමව්පියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්තක් දැක්වීය. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ විය.

කිරිඅප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තෙන් නිවසක් තනා එහි පදිංචියට ගියේය. මේ සදහා රුපියල් පන්දහසක් පමණ වියදම් වූ බව පුංචිඑතනා පවසයි. මෙම වත්ත ප්‍රදේශයේ කා අතරත් ස්වීප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත් විය. කිරිඅප්පු ස්වීප් මුදලාලි ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධයට පත් විය. නමුත් සමහරු අතර මොහු සර්ප වෙද මහත්තයා ලෙසත් ප්‍රකට විය. මන්ද කිරිඅප්පුගේ පියා සර්ප වෙදෙකි. පියා තම පුතුට සර්ප වෙදකම ද උගන්වා තිබූ නිසා කිරිඅප්පු ඉදහිට සර්ප වෙදකම ද කලේය.

 පුංචි එතනාට පොලිස් දෙපාර්තුමේන්තුවේ රැකියාවක් ලැබුනත් කිරිඅප්පු ඇයව රැකියාවකට යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. කිරිඅප්පු කුඹුරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉදහිට තමා මිලදී ගත් වාහන වලින් හයර් එකක් ද කරගෙන සිටියේය.

කිරිඅප්පු තම දරුවන්ට හොදින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටියි. කිරි අප්පු අංශබාගය සෑදී 1973 වසරේ මියයන විට තම ඉඩම් වලින් වැඩි කොටසක් විකිණූ අතර ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරන ලදි. ඔහු එසේ ඉඩම් විකිණුවේ තමන්ට දරන්නට නොහැකි අයුරින් රජය විසින් ආදායම් බදු පැමිණවීම නිසාවෙනි.

ප්‍රථම ස්වීප් ටිකට්පතෙන් ප්‍රථම ජයග්‍රාහකයාගෙන් පසු තෙවන ස්වීප් ටිකට්පතෙන් දෙවන ජයග්‍රාහකයා ද තේරීපත් වූ නිසා මිනිසුන් අතර ස්වීප් ටිකට්පත් වලට තිබෙන ඉල්ලුම හා උණුසුම වැඩි වන්නට විය. එම් උණුසුම වර්තමානයේ ද පවතියි.

මූලාශ්‍ර : ලක්දිව නිව්ස් වෙබ් අඩවිය, ලංකාදීප පුවත්පත, මව්බිම පුවත්පත

ප.ලි. ඉස්සර බ්ලොග් එකේ පෝස්ට් එකක් දාද්දි ප්‍රශ්න තුනකුත් ඒ එක්කම මම දැම්මා. ආයෙත් ඒක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ඒ නිසා පල්ලෙහා ප්‍රශ්න වල උත්තර දන්නවනම් කියන්න.

1)1912 වර්ෂයේ රුවන්වැලි මහා සෑය ප්‍රථිසංස්කරණයට ලක්ෂ දෙකක් දුන් පුද්ගලයා කව් ද?

2)මුහුදු කොල්ලකරුවන් එක ඇහැක් වහගෙන ඉන්නවා ඔයාලා දැකලා ඇති. ඇයි එයාලා එක ඇහැක් වහගෙන ඉන්නේ?

3)පල්ලෙහා පින්තූරයේ තියෙන්නේ දැනට කෞතුගාරයක තියෙන එක්තරා පුද්ගලයෙක් ගේ ඇඟිල්ලක්. මේ ඇගිල්ල කාගෙ ද?

Sunday, June 24, 2018

ජාතික වස්තුවක් ලෙස මියගිය වීදි ගායිකාව - ඊඩිත් පියැෆ්

ලෝකයේ එතෙක් මෙතෙක් ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම පැමිණි පුද්ගලයින්ගේ ජීවිත කතාව බලන විට අපට වැටහී යන්නේ ඒ අතුරින් බොහෝ දෙනාට සුන්දර අතීතයක් හිමි නොවූ බවයි. ඊඩිත් පියැෆ් ද එසේයි. ඇය ප්‍රංශයේ වීදි ගායිකාවක් වූයේ කුසට ආහාරයක් ලබා ගැනීම උදෙසා විනා ජනප්‍රියත්වයට පත් වීමට නොවේ. එහෙත් ජනප්‍රියත්වය ඇය පසුපස හඹා ආවාය. වීදි ගායිකාවක් ලෙස තම සංගීත දිවිය ආරම්භ කර 1963 දී මියයන්නේ ප්‍රංශයෙන් එතෙක් මෙතෙක් බිහිවූ සුවිශාල අන්තර්ජාතික තාරකාවක් ලෙස තම නම රඳවාය. මේ ඇයගේ කතාවයි.

ඇයගේ කුඩා කාලය

ඊඩිත්ගේ කුඩා කල ගැන තොරතුරු අතිශයින් විරලයි. ප්‍රංශයේ මිනිසුන් අතර පවතින කටකතා වල පැවසෙන්නේ ඇයගේ මව ඇයට පදික වේදිකාවකදී උපත ලබා දුන් බවයි. එහෙත් ඇයගේ උප්පැන්න සහතිකයේ තිබෙන්නේ ඇය ප්‍රංශයේ ටෙනොන් රෝහලේ 1915 වසරේ දෙසැම්බර් මස 19 වන දින ඉපදී ඇති බවයි. ඇයගේ උපත් නාමය ඊඩිත් ජියොවන්නි ගැසියොන් ය. ඇගේ පියා ලුවිස් ගැසියොන් ය. ඔහු වීදි සංදර්ශන කරුවෙකි. මව ඇනෙට්ටා ජියොවන්නි වන අතර ඇය ආපනශාලා වල ගායිකාවක් ලෙස කටයුතු කළාය.


ඊඩිත්ගේ මව තම දරුවාව රැකබලා ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙයින් දරුවාගේ වගකීම පැවරුනේ පියාටයි. පියාටද ඊඩිත් ඉපදී වසරක් යාමට මත්තෙන් (1916 දී) පලමු ලෝක යුද්ධය සදහා ප්‍රංශ හමුදාවට බැඳෙන්නට නියෝගයක් ආවේය. එම නිසා එකල අතදරුවෙක් වූ ඊඩිත්ව ඔහු නතර කරන්නේ ඔහුගේ මව ලඟයි. ඊඩිත්ගේ මිත්තණිය එකල ගණිකා නිවාසයක් බාරව සිටියේය. එහෙයින් ඊඩිත්ව කුඩා කල රැකබලා ගත්තේ ගණිකාවන් විසිනි.

1929 වසර වන විට ඊඩිත්ට වයස අවුරුදු 14කි. මේ වන විට ඇගේ පියා හමුදාවෙන් නික්ම පැමිණ නැවත වීදි සංදර්ශන වල නිරත වීමට සූදානමින් සිටියේය. මෙහිදී ඔහු තම දරුවා වන ඊඩිත්ව වීදි වේදිකාවට හදුන්වා දුන්නේය. ඊඩිත් පලමුවරට සමූහයක් ඉදිරියේ ගායනා කරන්නේ මෙම අවස්ථාවේදීයි. වයස අවුරුදු 15 දී ඇයට මෝමොනෙ නමින් වූ තමන්ගේ සහෝදරියක්ව හදුනාගැනීමට හැකිවේ. ඔවුන් දෙදෙනා ප්‍රංශයේ වීදි වල ගායනා කරමින් තමන් අතට මුදල් රැස්කරගත්තේය. තරමක් මුදල් එක්රැස් වූ පසු ඔවුන් ජීවත්වීමට කුලියට නිවසක් ගත්තේය.

පලමු ආදරය

1932 වසරේදී ඇය ලුවිස් ඩුපොන්ට් නම් තරුණයෙක් සමග ආදරයෙන් බැදුනේය. වැඩි කාලයක් යාමට පෙර ඔහු ,ඊඩිත් හා මෝමොනෙ එකල ජීවත්ව සිටි කුඩා කාමරය වෙත ආවේය. තිදෙනාම එකට එකම කාමරයේ සිටීම ඊඩිත් හැර අනෙක් දෙදෙනාම කැමැත්තක් දැක්වූයේ නැත. ඊඩිත් වීදියේ ගායනා කරනවාට ලුවිස් කැමැත්තක් දැක්වූයේ ද නැත. එමනිසා ඔහු ඇයට බොහෝ රැකියා අවස්ථා තෝරා දුන්නද ඇය ඒවාට යාමට අදිමදි කළාය. නමුත් ඊඩිත් ඔහුගෙන් ගැබ්ගත් පසු කෙටි කාලයකට රෙදිපිළි කර්මාන්තශාලාවක රැකියාවකට ගියේය.

1933 දී 17 හැවිරිදි ඊඩිත් මාර්සෙලා නම් වූ තම දියණියට උපත ලබා දුන්නාය. ඊඩිත් ද තම මව මෙන් දරුවන් රැකබලා ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මෙය කැමැත්තක් නොදැක්වීමට වඩා ඇය දරුවන් බලාගන්න ආකාරය දැන සිටියේ නැහැ. දරුවා ඉපදුන පසුද ඇය තම සොහොයුරිය සමග වීදි වල ගායනා කිරීමට ගියාය. මේ නිසා කෝපයට පත් ඊඩිත්ගේ පෙම්වතා ඇයත් සමග කල රණ්ඩුවක ප්‍රථිපලයක් ලෙස ඇය තම සොහොයුරිය හා දරුවා සමග හෝටල් කාමරයක නවාතැන් ගැනීමට ගියේය. මෙහිදී ද මොවුන් දෙදෙනා දරුවාව කාමරය තුල දමා වීදියේ ගායනා කිරීමට ගියේය. මේ නිසා ලුවිස් පැමිණ දරුවාව තමන් වෙතට ගෙන කියා සිටියේ දරුවාව ඕනනම් ඊඩිත්ට ඔහු සමග විසීමට නැවත පැමිණිය යුතු බවයි. නමුත් ඊඩිත් නැවත ඔහු වෙත නොගියත් දරුවාගේ වැඩකටයුතු සදහා මුදල් ඔහු වෙත යැව්වාය. අවාසනාවන්ත අයුරින් මාර්සෙලා වයස අවුරුදු දෙකේ දී රෝගී වී මියයයි. කටකතා වල පැවසෙන්නේ ඊඩිත් තම දරුවාගේ අවමංගල්‍ය සදහා මුදල් එවිට නොතිබූ නිසා මිනිසෙක් සමග නිදිවැදූ බවයි.

වීදි ගායනයෙන් සමාජශාලාවට

1935 වසරේදී ඊඩිත් සුපුරුදු පරිදි ප්‍රංශයේ පැරීසිය නගරයේ වීදි වල ගායනා කරමින් සිටින අතරතුර පැරීසියේ රාත්‍රී සමාජ ශාලාවක අයිතිකරුවෙක් වන ලුවිස් ලෙප්ලී ඇයට මුණගැසෙයි. මොහු ඇයගේ ගායනය දෙස බලා ඇයව තම සමාජ ශාලාවේ ගීත ගැයීමට යොදා ගනියි. ඊඩිත් හට පියැෆ් යන නාමයද ලබා දෙන්නේ මොහු විසිනි. ඔහු කියා සිටියේ ඇගේ පෙර නම ගායිකාවකට සුදුසු නොවන බවයි. එම නිසා එතැන් පටන් ඇය ඊඩිත් පියැෆ් නමින් සංගීත දිවියට පිවිසෙයි. ලුවිස් විසින් ඇයට කළු ගවුමක් ඇදීමටද කියයි. ඊඩිත් විසින් තම සංගීත දිවිය පුරාවටම එය තම අනන්‍යතාවයක් ලෙස තබා ගත්තේය.

රාත්‍රී සමාජ ශාලා වල ගායනා කිරීමට පටන් ගත් පලමු වසරේදීම ඇය තම ප්‍රථම ගී නිර්මාණ දෙක එළුදැක්වූයේය. මෙම සමාජ ශාලාවට බොහෝ ජනප්‍රිය පුද්ගලයින් පැමිණි නිසා ඊඩිත් හට ඔවුන්ව හදුනාගැනීමට ද අවස්ථාව සැලසුණි. 1936 වසරේ අප්‍රේල් 6 වන දින ලුවිස් ලෙප්ලී ව තම කාමරයේ දී ඝාතනය කරනු ලබයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊඩිත්ව සැකකරන ලැබූ නමුත් ඇය මෙයට කිසිදු සම්බන්ධයක් නොවීය. මේ නිසා එකල සිටි සමාජ ශාලා හිමියන් ඇයව තමන් යටතේ වැඩට ගැනීමට බිය විය. එහෙයින් ඊඩිත් හට නැවතත් වීදි වල ගායනා කිරීමට සිදුවිය.

සමාජශාලාවෙන් රංග ශාලාවට

බොහෝ තැන් වලින් ප්‍රථික්ෂේප වී සිටි කාලයේ ඊඩිත් ව සංගීත කටයුතු සදහා රේමන්ඩ් ඇස්සෝ එක්කර ගනියි. ඊඩිත් හට 'ඊඩිත් පියැෆ්' යන වේදිකා නාමය දිගටම පවත්වාගෙන යන ලෙසද ඔහු පවසයි. ඊඩිත් ව නියම ගායිකාවක් ලෙස සකසන්නේ මොහුයි. ඇයට හොද පුහුණුවක් ඔහු ලබා දෙයි. රේමන්ඩ් ඇයට ආදරය කරන්න පටන් ගත් නමුත් ඔවුන්ගේ සම්බන්ධය එතරම් කලක් පැවතුනේ නැත.

සමාජ ශාලා වල සහ වීදියේ ගායනා කරමින් සිටි ඊඩිත් ව පැරීසියේ ප්‍රකට රංග ශාලාවක ගායනයක් සදහා යොමු කරන්නේ රේමන්ඩ් ය. ඔහු ඇයට ඇයගේ ප්‍රථම ජනප්‍රිය ගීතය නිර්මාණය කර දෙයි. එය නමින් 'Mon Legionnaire' ය. 1939 දී දෙවන ලෝක යුද්ධය සදහා ප්‍රංශය හමුදාවට සේවය කිරීමට රේමන්ඩ් හට නියෝගයක් පැමිණියේය. මෙයින් ඊඩිත් සහ රේමන්ඩ්ගේ ආදර සම්බන්ධය බිද වැටුණි.

දෙවන ලෝක යුද්ධ අවධියේ දී


දෙවන ලෝක යුද්ධ අවධියේ දී ඊඩ්ත්ගේ ජනප්‍රියත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියේය. ජර්මානුවන් පැරීසිය ආක්‍රමණය කල පසු සමාජශාලා ආදිය පෙර පරිදිම විවෘතව තැබුණි. ඊඩිත් ගණිකා නිවාස වල සහ සමාජශාලා වල නිතර ගායනයට ගියේය. ලෝකය යුද්ධයක ඇවිලී ගිය අවධියක ඇය ජනප්‍රියත්වයේ පඩි නගින්නට විය. ජර්මානුවන්ගෙන් ස්වදේශික හමුදා පැරීසිය බේරා ගත් පසු ඊඩිත් එලිදැක්වූ ගීතය ඇයගේ ගීත අතරින් වඩාත් ජනප්‍රියත්වයක් හිමි කරගත් ගීතයකි. එය 'La Vie en Rose' වේ.

1947 දී ඇය පදරචනය කර ගායනා කල 'Mais qu'eat-ce que j'ai?' එලිදැක්වීමෙන් වසරක් තුල ඇය ප්‍රංශයේ වැඩිම ජනප්‍රියත්වයක් හිමි ගායක ගායිකාවන් අතරට එක්විය. යුද්ධයෙන් පසු ඇය යුරෝපය හා ඇමරිකාව දෙසට ගියේය. ඇමරිකාවට ගොස් ඇය තැබූ මුල්ම ප්‍රසංගයෙන් එහි ජනතාව ඇය කෙරෙහි එතරම් විස්මයට පත් වූයේ නැත. ඇය ශරීර ප්‍රමාණයෙන් කුඩා, කළු පැහැති ගවුමක් ඇඳගත් ශෝක ගී ගැයූ කාන්තාවකි. නමුත් ඇමරිකානු වැසියන් බලාපොරොත්තු වූයේ එවන් අයෙක් නොවේ. නමුත් වර්ජිල් තොම්සන් විසින් නිව් යෝර්ක් පුවත්පතට ලියූ ඊඩිත් පියැෆ් ගැන ලිපිය ඇමරිකානු වැසියන්ගේ ඊඩිත් ගැන අදහස් වෙනස් කිරීමට සමත් විය.

ඇගේ ප්‍රකට ගී අතර 'Hymne a l'amour' (1949), 'La Foule' (1957) , 'La Vie en Rose' (1946), 'L'Accordeoniste' (1940), 'Padam padam' (1951), 'Milord' (1959) සහ 'Non, je ne regrette rien' (1960) ගීත ප්‍රමුඛ තැනක් ගනියි.

පැරීසියේ ඔලිම්පියා සංගීත ශාලාව යනු ඊඩිත් හට දිගු කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුන් ස්ථානයයි. පැරීසියේ වැඩිම ජනප්‍රියත්වයක් තිබූ මෙම සංගීත ශාලාවේ ඇය 1955 සිට 1962 අතර කාලයේ දී බොහෝ සංගීත ප්‍රදර්ශන පැවැත්වූයේය. නමුත් 1960 අවධියේ දී ඔලිම්පියා සංගීත ශාලාව බැංකු කටයුත්තක් නිසා හිරවී වසා දැමීමේ තත්වයට පත් වීමට ගියේය. මෙයින් සංගීත ශාලාව බේරා ගත්තේ ඊඩිත් විසිනි. ඇය එම සංගීත ශාලාවේ බොහෝ වාර ගණනක් පෙනී සිටි අතර එය සදහාම විශේෂිත වූ ගීතයක් ද නිර්මාණය කලේය. එය 'Non, je ne regrette rien' නම් වේ. මෙය විසින් නිර්මාණය කල විශිෂ්ටතම ගීතයක් වන අතර ප්‍රංශ භාෂාව නොදන්නා අයෙකු පවා මෙම ගීතය ඇසීමෙන් එයට වසඟ වනු නිසැකයි. ඔලිම්පියා සංගීත ශාලාව සදහා ඇය මෙම ගීය ගයා ඉන් වසර තුනකට පසු(1963 දී) ඇය මියයයි.

ඊඩිත්ගේ පෞද්ගලික ජීවිතය තරමක් සංකීර්ණය. ඇයට ආදර සම්බන්ධතා කිහිපයක්ම තිබූ අතර දෙවරක් විවාහ විය. ඇය වාහන අනතුරු කිහිපයකටම මුහුණ දුන්නේය. එයින් ඇගේ ඉළ ඇට දෙකක් ද ගැලවී ගිය අතර ඇයට අවසාන කාලයේ සිට ගැනීමට අපහසු තත්වයකට පත් විය. ඊඩිත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියේය. ඇයට එය නවත්වන්න යැයි කවුරුත් කීවේ ද නැත. මන්ද ඇගේ ජීවිතයේ එකදිගට වැඩි කාලයක් සිටි අය සිටියේ නැත. කෙතරම් ජනප්‍රියත්වයක් තිබුනද ඇගේ ජීවිතය නිරන්තර දුකින් පිරී තිබුණි. ඇගේ ගීත වලින්ද ඇය ඉදිරිපත් කලේ ඇගේ විරහවයි.

ඇගේ ජීවිතය අලලා චිත්‍රපට හා වාර්තා වැඩසටහන් බොහොමයක් නිර්මාණය විය. ඒ අතර 2007 වසරේ දී තිරගත වූ ඇකඩමි සම්මාන දිනූ 'La Vien en Rose' චිත්‍රපටය විශේෂ වේ. වීදි ගායිකාවක් ලෙස සංගීත දිවිය ආරම්භ කර ප්‍රංශයේ ජාතික වස්තුවක් ලෙස මියගිය ඊඩිත් පියැෆ් ඇයගෙන් පසු පැමිණි කලාකරුවන්ට හා විශේෂයෙන් කලාකාරිනියන්ට මහත් පිටුබලයක් සැපයූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මූලාශ්‍ර :
1) https://en.m.wikipedia.org/wiki/Édith_Piaf

2) https://www.britannica.com/biography/Edith-Piaf

3) https://www.telegraph.co.uk/culture/10374637/Edith-Piaf-Mistress-of-heartbreak-and-pain-who-had-a-few-regrets-after-all.html

4) https://youtu.be/ue1pRDnVRqg

   https://youtu.be/dBWtdJCHB5o

   https://youtu.be/WhlPp8z6BYk

   https://youtu.be/EVTDxMJjBP0



Wednesday, June 13, 2018

සිංහල සිනමාවේ හියුගෝ සළකුණ

ගෙවල් අලුත්වැඩියා කරන පේදුරු බාස් උන්නැහේගේ සහ ගමේ කොහු මෝලේ කොහු අඹරන්නියක්ව සේවය කළ එළිසබෙත්ගේ එකම පුත්‍රයා ඌගෝ සිංඤෝ ය. ඔවුන්ට මාර්තා මරියා නම් තව ලාබාල දියණියක් ද විය. දිනක් පේදුරු බාස් උන්නැහේ පලංචියෙන් වැටී දකුණු කකුලත් දකුණු අතත් බිඳීම නිසා ඔහුට එතැන් පටන් ඇදේම කාලය ගත කරන්නට සිදුවිය.

පියාගේ පෙර දෛනික වැටුප සත 60 කි. මවගේ සත 20 කි. දැන් මවගේ සත විස්සෙන් කෙසේ හෝ කා බී පියාට සාත්තු සප්පායම් කරමින් සිටිය යුතුය. මේ නිසා පවුල වැටුනේ දරුණු ආගාධයකටයි. දිනක් ඌගෝ තම මව වැඩකරන කොහු මෝලේ ලණු අඹරන මැෂිමේ රෝදය කරකැවීමට ගියේය. එදින ඔහුට ඒ සදහා සත 25 ක මුදලක් ලැබුණි. මෙයින් ඉහේ මලක් පිපුනා වැනි හැගීමකට පත් වූ ඌගෝ පාසල අතහැර කොහු මෝලේ වැඩට යාමට ඉටා ගත්තේය. මේ වන විට ඔහු සිටියේ හත වසරේය. පවුල වැටී ඇති තත්වය නිසා මවගෙන් එයට අකමැත්තක් පැමිණියේ නැත. දක්ෂ දරුවෙක් නිසා ඌගෝව පාසලෙන් අයින් කිරීමට ගුරුතුමාවත් පියතුමාවත් කැමති නොවූ නමුත් ඌගෝ තම මතයේ දැඩිව සිටියේය.

හියුගෝ ප්‍රනාන්දු
කොහු මෝලේ දිනකට සත 30 රස්සාවක් කරගෙන සිටි ඌගෝට එය වැඩි කාලයක් කරගෙන යා හැකි වූයේ නැත. මන්ද ඊට වසර හතරකට පසු කොහු මෝල වසා දැමුණු බැවිනි. මීගමුවේ ජීවත්ව සිටි ඌගෝ ඉන්පසු ත්‍රිකුණාමලය ගියේ ධීවර රැකියාව කිරීමටයි. එහෙත් ඔහු එහිදී වැඩිමනක් කලේ බත් තැම්බීම යි. කොළඹ, දෙමළ උගන්වන ගුරුවරයෙකු ඌගෝ ව කොළඹට රැගෙන ගියේ ඔහුර ඉංග්‍රීසි අරමුණක් ලබා දෙමිනි. එහෙත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාට අමතරව ඌගෝට එහිදී සිදුකල යුතු වූයේ බත් තැම්බීමයි. ඌගෝ නම කොළඹට එතරම් ඔප නැති නිසා ඔහුට හියුගෝ යන නම දැමුවේ මේ දෙමළ මාස්ටර් ය.

මේ වන විට හියුගෝ වයස අවු 16 ක ඉලංදාරියෙකි. ඔහු මාරුවෙන් මාරුවට රැකියා කිහිපයක් කළත් ඔහුට එයින් වුන සෙතක් නැත. නිසි අධ්‍යාපනයක් ද ඔහු නොලැබූ නිසා මේසන් බාස් කෙනෙක් කිරීමට මව ඉටා ගත්තේය. එකල මේසන් බාස් කෙනෙකුගේ දෛනික වැටුප සත 75 කි. ඒ අනුව හියුගෝව මේසන් බාස් කෙනෙකු යටතේ වැඩට යැව්වේ මේසන් වැඩ ඉගෙන ගැනීනමට යි. මේසන් බාස්ලා යටතේ ඔහු වසර අටක් සිටි අතර හියුගෝ ඉගෙනගත් මේසන් වැඩක් නැත. ඔහුට වැටුපක් ලැබුනේ ද නැත. නත්තලට, පාස්කුවට හා පල්ලියේ මංගල්‍යයට පමණක් රුපියල් 10 බැගින් ලැබුණි. හියුගෝ එහිදී ද කලේ බාස්ලට බත් තැම්බීමයි. මෙය සිදු වූයේ ඔහුගේම හොදකටයි. ඔහුට එසේ මේසන් වැඩ ඉගෙන ගැනීමට හැකිවූවා නම් ඔහු පසුකලෙක හියුගෝ මේසන් බාස් මිස හියුගෝ මාස්ටර් නොවන නිසාය.

හියුගෝ ගේ නිවසට ගෙවල් කිහිපයක් එහායින් සිටි මලතියස් මාස්ටර් දක්ෂ සර්පිනා වාදකයෙකි. ඔහු තම සර්පිනාව වාදනය කරන සෑම විටම කුඩා හියුගෝ ඒ අසලට වී එයට හොදින් ඇහුම්කන් දී සිටියි. මඩු වන්දනාවේ යන ගමන් ඔහු 'මවුත් ඕගන්' එකක් දැක එයට ආසා වී මවගෙන් එය මිලදී ගැනීමට මුදල් ඉල්ලුවේය. එහෙත් මුදල් අගහිඟ කමින් පෙළුණු නිසා එයට මව අකමැති වුවත් පියා ලවා මවව කැමති කරවාගෙන මවුත් ඕගන් එකක් ලබා ගත්තේය. ඉන්පසු හියුගෝ ගේ සිත ගියේ මැන්ඩලීනය වෙතයි. ඒ සදහා සුමානෙකට සත පනහ බැගින් එකතු කර රුපියල් 32 ක් දී ඔහු ජපන් මැන්ඩලීනයක් මිලට ගත්තේය.

වැඩිකල් යාමට මත්තෙන් හියුගෝ මැන්ඩලීන වාදනයේ දක්ෂයෙක් බවට පත්විය. ඒ නිසා විවිධ සාජ්ජ වලට සංගීතය සැපයීමට ඔහුට හැකියාව ලැබුණි. මුල්ම කාලයේ ඔහු වාදනය කල සර්පිනාව සාජ්ජ වලදී වාදනයට ගත්තේ කුලියටයි. එහෙත් එක් සාජ්ජයකදී එයට දිය යුතු කුලිය ගෙවීමට පරක්කු වීම නිසා හියුගෝට එය ලබා දීමට අයිතිකාරයා අකමැති විය. එහෙයින් ඔහු එකතු කරගත් සල්ලි වලින් සර්පිනාවක් මිලදී ගත්තේය. එකල එය රුපියල් 35 කි. 1934 වසරේ දී 'රාජසිංහ ලීලා' නාට්‍ය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය විය. මෙහි සර්පිනා වාදනය සදහා හියුගෝ සම්බන්ධව සිටීම නිසා ඔහු දැන් සර්පිනා වාදකයෙක් ලෙස තරමක් ප්‍රසිද්ධව සිටියේය.


බිරිඳ සමග

1935 වසරේ දී මේ කොලු ගැටයාගේ වයස 23 කි. බඳින වයසත් හරිය. හියුගෝගේ මව විසින් ඔහුට මනාලියන් හය දෙනෙක් පමණ කතා කරත් ඔවුන්ට හියුගෝ කැමැත්ත දුන්නේ නැත. එහෙත් අවසානයේ හලාවත බණ්ඩාරවත්ත ගමෙන් ඔහුට තම ජීවන සහකාරිය මුණගැසුණි.

1939 අවසාන කාලය වන විට ඇලෝයි ජයමාන්න විසින් නාට්‍ය නිශ්පාදනය පටන් ගෙන තිබුණි. ඔහු නිපදවූ මුල්ම නාට්‍ය 'භයානක පොරොන්දුව' නම් විය. එකල ප්‍රකට නාට්‍ය ශිල්පීන් දම්මවා මෙම නාට්‍ය පෙන්වුවද එය බංකොලොත් විය. එහෙත් ඔහු එයින් නොසැලී දෙවෙනි වරට 'මිනර්වා ක්ලබ් ඇමිචුවර්ස්' නමින් නාට්‍ය සංගමයක් පටන් ගත්තේය. මේ සදහා අවශ්‍ය නළු නිළියන් තෝරාගත්තද සංගීත ශිල්පියෙකු සොයා ගත නොහැකි විය. හියුගෝ ප්‍රනාන්දු  මේ සදහා සම්බන්ධ වන්නේ මෙතැනිනි.

එකල මීගමුවේ ප්‍රසිද්ධ ධානපතියෙකු වූ ඒ.ඊ. රාජපක්ෂ වාසල මුදලිතුමා අභාවප්‍රාප්ත වී සතියකට පසු ඔහු ගැන 'අවතාරය' නමින් නාට්‍යයක් මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ දී පවත්වනු ලැබුණි. හියුගෝ විසින් මුදලිතුමා උදෙසා උපහාර ගීයක් ඉදිරිපත් කරනු ලැබීය. මෙම නාට්‍යය එදින රඟ දැක්වූයේ එම විදුහලේ ක්‍රීඩාංගනය ඉදිකිරීමට ආධාර පිණිසයි. 'අවතාරය' නාට්‍යයේ දෙවෙනි දර්ෂණය දින වර්ෂාව නිසා වැඩි ආදායමක් නොලැබුණත් හියුගෝට එදින රු. 4 ක ආදායමක් ලැබුණි.
එඩී රුක්මනී සමග

එකල 'බුද්ධ ගයා විහාරේ' ගීතය ගයා රුක්මනී දේවි ජනප්‍රියත්වයට පත්ව සිටියේය. මිනර්වා නාට්‍ය කණ්ඩායම රුක්මණීව ගීත ගැයීම සදහා යොදාගත්තේය. මේ බව දැනගත් මෙම කණ්ඩායමේ සිටි එඩී ජයමාන්න විසින් හියුගෝට පවසා සිටියේ රුක්මනී ගීත ගායනා කරන විට සංගීතය වැරැද්දුවහොත්  සෙනඟ ඉදිරියේම සංගීත අධ්‍යක්ෂකවරයාගේ ඇඟට කඩා පනින බවයි. මෙය එඩීගේ ලණුවකි. හියුගෝ එයට අහුවිය. එහෙයින් රුක්මනී එන විට හියුගෝ තැති ගෙන සිටියේ තමා අතින් කුමක් හෝ වරදීවි කියාය. නාට්‍ය කණ්ඩායමේ සංදර්ශනයක් සදහා රුක්මනී පැමිණි පසු ඇය ගීත දෙකක් ගායනා කළාය. පැමිණි සිටි සෙනඟ කෑ ගසමින් කියා සිටියේ බුද්ධ ගයා විහාරේ ගීතය ගායනා කරන ලෙසයි. එවිට රුක්මනීගේ පියා හියුගෝ ලඟට පැමිණ "මාස්ටර් බුද්ධ ගයා විහාරේ ගීතය ගායනා කරන්න පුළුවන්ද?" යැයි ඇසීය. හියුගෝ මීට පෙර එම ගීතය වයා නැතිවුවත් එය වයන්නම් යැයි කීවේය. එය වයා අවසානයේදී රුක්මනීගේ පියා හියුගෝ ලගට විත් අතට අත දී "රූපසිංහ මාස්ටර්ගෙන් පස්සෙ මාස්ටර් විතරයි රුක්මනීගේ සිංදුවට හරියට මියුසික් දුන්නේ" යැයි පැවසුවේය.

'කඩවුණු පොරොන්දුව' නාට්‍ය කරමින් සිටි කාලයේ දී හොයුගෝගේ කටේ දතක් නරක් විය. එය ඉවත් කර ගැනීමට රෝහල වෙත ගියේය. ගැලවූ දතේ මුල් පැත්තකට නැවී තිබීම නිසාවෙන් හියුගෝ අසාධ්‍ය තත්වයකට පත්විය. ඔහු දින ගණනාවක් රෝහල් ඇදේ ගත කලේය. නමුත් පසු දින කොළඹ නගර ශාලාවක කඩවුණු පොරොන්දුව නාට්‍යයට සංගීතය තමන් සැපයිය යුතු නිසා තමන්ගේ පියා හදිසියේ මියගිය බව වෛද්‍යවරුන්ට පවසා රෝහලෙන් පැන සංගීතය සැපයීමට ගියේය. නමුත් ඔහුගේ පියා මියගියේ ඊට බොහෝ කලකට පෙරයි.
ධීවරයෝ චිත්‍රපටයේ


එච්.එම්. නායගම් මහතාට සිංහල චිත්‍රපටයක් කිරීමේ උවමනාව තිබුණි. ඔහු මිනර්වා නාට්‍ය කණ්ඩායමේ කඩවුණු පොරොන්දුව නාට්‍ය චිත්‍රපටයකට ගැනීමට තීරණය කලේය. මේ සදහා ඇලෝයි ජයමාන්නත් කැමති වූ නිසා ඔවුන් සියලු දෙනා ඉන්දියාව වෙත ගියේ චිත්‍රපටය රූගත කිරීම සදහායි. මෙම චිත්‍රපටයට නාරායන අයියර්ගේ තනු වලට හියුගෝ විසින් ගීත රචනා කලේය.

කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පසු මිනර්වා නාට්‍ය කණ්ඩායමට නරක කාලය උදාවිය. නාට්‍ය නැරඹීමට පැමිණෙන සෙනඟ ක්‍රමක්‍රමයෙන් අඩු විය. දිනෙන් දින ඔවුන් පාඩු ලබන තත්වයට පත් වූයේය. මේ නිසා හියුගෝ අලුතින් පටන්ගත් 'සිරිලක් ලිමිටඩ්' නම් වූ නව නාට්‍ය සංගමයට එක්විය. මෙයට හියුගෝව ඔවුන් බඳවා ගත්තද සැලකිය යුතු මුදලක් ඔහුට ලැබුනේ නැත. එයට එක් හේතුවක් වූයේ නාට්‍ය සංගමය අලුත් එකක් හා එයට එක් නාට්‍යයක් පමණක් තිබූ නිසාය. තවත් හේතුවක් වූයේ මහජනතාව අතර හියුගෝගේ නම එතරම් ජනප්‍රිය වී නොතිබීමයි. මෙතෙක් මිනර්වා නාට්‍ය සංගමයෙන් බිහිකල නාට්‍යවල සංගීත අධ්‍යක්ෂකවරයා අති දක්ෂයෙක් බව කවුරුත් දැන සිටියේය. එහෙත් ඔවුන් හියුගෝව දැන සිටියේ නැත. මන්ද මෙම නාට්‍ය සංගමයෙන් බිහිකල නාට්‍ය වල දැන්වීම් සදහා ඇලෝයි ජයමාන්නගේ සහ ජනප්‍රිය නළු නිළියන්ගේ නම් පමණක් ඇතුලත් කල අතර හියුගෝ ගේ නම ඇතුලත් නොකල බැවිනි. සංගීත අධ්‍යක්ෂකවරයා තමා බව දැන්වීම් වල දක්වන්න යැයි හියුගෝ ඇලෝයිට පැවසූ විට ඔහු එය ඉවත දැමුවේ "ගීත ප්‍රබන්ධයටයි සංගීත සපයනවටයි තමුසෙට සල්ලි ගෙවන නිසා තමුසෙට වෙන අයිතියක් නෑ." යැයි කියමිනි.
සරසවිය රණතිසර සම්මානය දිනූ පසු හියුගෝ මාස්ටර් එවකට සරසවිය පුවත්පතේ සේවය කළ සුසිල් ජිනප්‍රිය,කර්තෘ ධුරය දැරූ ඒ.ඩී.රන්ජිත් කුමාර,අරුණ ගුණරත්න සහ ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොල සමග

හියුගෝ විසින් 'මයි ඩෝඩර්' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් සිටි කාලයේ එනම් 1948 අගභාගයේ දී ඔහු ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතාගේ නැටුම් කණ්ඩායමේ සර්පිනා වාදකයෙකු ලෙස වරින්වර කටයුතු කලේය. මෙහි සංදර්ශනයක් නැරඹීමට පැමිණි රටේ විශාල නමක් ලබා තිබුනු රූපසිංහ මාස්ටර් සංදර්ශනයෙ පසු හියුගෝ හමුවට පැමිණ "මේ ළමයා හොදට සෙල්ලම් කෙරුවා. මගෙ ගෝලයෝ එක්කත් හොදට සෙල්ලම් කෙරුවා දැක්කා. මේ ළමයා ගැන විශේෂ ආදරයක් ඇති වෙන්ඩ හේතුව මේ ළමයගෙ නිහතමානීකම. හුඟදෙනෙක් කියනවා මම ආඩම්භරයි කියලා. ඔව් මම එච්. ඩබ්ලිව්. රූපසිංහ. එදා ඉදන්ම මට ඒක තිබුනු දෙයක්. මට දැන් ඒක නැතිකරන්ඩ බෑ ඉතින්. මම මේ ළමයට දෙන අවවාදය තමයි මේ නිහතමානීකම අවසානය දක්වාම ආරක්ෂා කරගන්ඩ. මේ ළමයගෙ අනාගතය හුගාක් දීප්තිමත්." යැයි කියා සිටියේය.

හියුගෝ මී පුර කලා සංගමයේ 'ගැහැනු හිත' හා 'ගෙදර හටන' නාට්‍ය සදහා සංගීතය සැපයීය. 1950 වනතුරුත් නාට්‍ය කරගෙන ආ මෙම සංගමට නාට්‍ය කිරීම නවත්වා දැමීමට සිදු වූයේ චිත්‍රපට විසින් නාට්‍ය ගිල ගැනීම නිසාවෙනි. හියුගෝ, නායගම්ගේ 'බණ්ඩා නගරයට පැමිණීම' චිත්‍රපටයට සංගීතය සැපයූවා පමණක් නොව එහි අන්ධ ගායකයෙකුගේ චරිතයටත්, පාසල් ගුරුවරයෙක්ගේ චරිතයටත් තවත් සුලු චරිතයකටත් පණ පෙවීය.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ 'හෙට්ටියා'ගේ චරිතයට රඟපා තිබූ නිසාද 'පේම තරඟය' චිත්‍රපටයේ 'වල්පොල මුදලාලි' චරිතයට පණ පෙවීය. එපමණක් නොව ඔහු එහි සංගීතයද සැපයීය. 1953 දී හියුගෝ සිරිසේන විමලවීරගේ 'සරදියෙල්' චිත්‍රපටයට සංගීතය සැපයීය. ඔහු මීට පෙර විමලවීරගේ 'පිටිසර කෙල්ල' චිත්‍රපටයටද සංගීතය සපයා තිබුණි. සරදියෙල් චිත්‍රපටයේ සංගීතයට බොහෝ විවේචන විය. එයට හේතු වූයේ විමලවීරගේ මුදල් හිඟකමයි. ඒ නිසා ඔහු සංගීත සැපයීමට බොහෝ කප්පාදු සිදු කලේය. මේ නිසා එයින් පසු සියලුම පහසුකම් නොමැතිව කිසිදිනෙක චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණයට නොබසින බව හියුගෝ තදින්ම සිතා ගත්තේය.
සරසවිය සම්මානයට පාත්‍ර වූ මොහොත

මෙසේ චිත්‍රපට බොහොමයක් සදහා ගීත රචනයෙන්, රඟපෑමෙන්, දෙබස් සහයෙන් හා අධ්‍යක්ෂණයෙන් හියුගෝ සහය විය. ඒ අතර 'අහංකාර ස්ත්‍රී', 'මාතලන්', 'සූරයා', 'වීර විජය', 'අදට වැඩිය හෙට හොදයි', 'ධීවරයෝ', 'සූර චෞරයා', 'සිංගප්පූරු චාලි', 'හිත හොද මිනිහෙක්', 'රජගෙදර පරවියෝ', 'හරියට හරි', 'චිං චිං නෝනා', 'මරුවා සමග වාසේ', 'මුවන් පැලැස්ස 1,2,3', 'තක්කිට තරිකිට', 'අලි බබා සහ හොරු හතලිහ' ආදිය විශේෂ වේ.

හියුගෝ දේශපාලනය සදහා සම්බන්ධ වූයේ චිත්‍රපට සංස්ථාව බිහි වූ කාලයේදී යි. චිත්‍රපට සංස්ථාව ඇරඹීමට එකල සිරිමාවෝ බණ්ඩාරණායක කැමති වූ අතර ඇය කියා සිටියේ ඒ සදහා ඇයට මැතිවරණ කටයුතු වලදී සහය විය යුතු බවයි.

සිංහල සිනමාවේ පලමු පසුබිම් ගීත රචකයා හියුගෝ මාස්ටර් ය. ඔහු චිත්‍රපට ගීත වලට අමතරව කිතුණු ගීත විශාල ප්‍රමාණයක් ලියා ඇත. ඔහු ලියූ ගීත අතර 'හද ගලවාලා දෙනවා කියාලා අප රවටා', 'ජීවිතයේ සාමේ දේමේ ගීතේ සාරා', 'ලපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ, 'තක්කිට තරිකිට උඩපැන නටන්න හිතුනා', 'සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා', 'හෝ හඬදී බැසයන ගංගා', 'ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ', 'ලෝකය පෙරැලෙයි කාලෙ ගෙවී යයි මරුව ලගා වෙනවා' ගීත විශේෂ වේ.

හියුගෝ මාස්ටර් දක්ෂ නළුවෙකි. දක්ෂ දෙබස් රචකයෙකි. දක්ෂ සංගීත රචකයෙකි. දක්ෂ සංගීත ශිල්පියෙකි. ඔහු කඩවුණු පොරොන්දුවට ගීත ලියන විට පසුබිම් සංගීත කලාවක් ලංකාවේ තිබුනේ නැත. එනිසා එය කුමන ස්වරූපයකින් තිබිය යුතුද යන්න ඔහුම තීරණය කල යුතු විය. ඔහු චිත්‍රපට නළුවෙක් වන විට රඟපෑම කුමන අයුරින් සිදුවිය යුතුද යන්නත් ඔහුම තීරණය කල යුතු විය. ඔහුගෙන් පසු නළු නිළියන්ව කැමරාවට හුරු කිරීමේ වගකීම පැවරුණේද මොහුටයි. ඔහු දෙබස් රචනයට පිවිසෙන විට ලංකාවේ දෙබස් රචනය තිබුනේ ළදරු අවධියකයි. එහෙයින් එයත් කෙසේ විය යුතුදැයි ඔහුම තීරණය කල යුතු විය. මේ නිසයි ඔහු සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක් වන්නේ.


Tuesday, May 22, 2018

බැංකු ඒමටත් කලින් ණය දුන් බැංකු වෙළෙන්දෝ

"උඹනම් හෙට්ටියෙක්ම තමා" යැයි ලෝබ තැනැත්තන්ට කියනවා අපි නිතර අසා ඇත්තෙමු. කොළඹ 'හෙට්ටි වීදිය' ගැනත් අපි අසා ඇත්තෙමු. මේ හෙට්ටියා කියන්නේ කව්ද? මේ ලිපිය ඒ සදහායි.

චෙට්ටියාර්වරුන්, සෙට්ටි, චෙට්ටි හා සේති ආදී නම් වලින් මොවුන් හදුන්වති. එහෙත් ලංකාවේ අපට මොවුන් හෙට්ටි ය. මොවුන් පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ මදුරෙයි වලට ආසන්නව පිහිටි චෙට්ටිනාද් ප්‍රදේශයෙනි. එහි ගම් 75ක් තිබේ. චෙට්ටියාර්වරුන් වාණිජ ජන කොටසක් ලෙස සාර්ථක වූයේ දහය හා එකොළහ යන සියවස් වල බලයට පැමිණි චෝල අධිරාජ්‍යයේ දී හා දහතුන් වන සියවසේ දී බලයට පැමිණි පාණ්ඩයන් යටතේ දීය. මුදල් පොලියට දෙන්නන් ලෙස මොවුන් ඉතා ප්‍රකටව සිටියේය. එබැවින් වෙළෙන්දා යන අර්ථය ඇති වනික්කාර් යන නමින් මොවුන් හදුන්වා ඇත. මොවුන් වාණිජ ජන කොටසක් බැවින් නගරබදව ජීවත් වීමට ප්‍රියතාවයක් දක්වයි. එමනිසා නගරබදව වාසය කිරීමට ප්‍රිය කරන යන අරුත ඇති නගරාතර් යන නමින්ද මොවුන්ව හදුන්වා තිබේ.


මෙම චෙට්ටියාර්වරුන් ව පසු කලෙක 'දකුණු ඉන්දියාවේ යුදෙව්වන්' ලෙස හදුන්වා ඇත. එසේ හදුන්වා ඇත්තේ මුදල් පොලියට දීම පාරම්පරික වෘත්තියක් කරගත් සමහර යුදෙව් ජන කොටස් නිසාවෙනි. මෙම හෙට්ටීන්ගේ ලංකාගමනය ගැන පැහැදිලිව සටහන් වන්නේ ලන්දේසි යුගයේ දීය. එනම් ක්‍රි.ව. 1656 සිට ක්‍රි.ව. 1796 දක්වා කාලයන් වලදීය. එහෙත් ලන්දේසීන් තම වෙළද අධිකාරිය කිසිවෙකුටවත් පැවරුවේ නැත. එය ඔවුන් විසින්ම තබා ගත්තේය. මේ හේතුවෙන් ලන්දේසි යුගයේදී හෙට්ටීන්ට ලංකාවේදී සාර්ථක වීමට හැකියාව ලැබුනේ නැත. එහෙත් ඉංග්‍රීසීන්ගේ කාලයේ දී ඔවුන් වෙළද ඒකාධිකාරිය තමන් සතුවම තබා නොගෙන නිදහස් වෙළදාමට ඉඩ ලබා දුන්නේය. මෙයින් හෙට්ටීන් ප්‍රයෝජන ගත්තේ ය. ඔවුන් ලංකාවට අමතරව බුරුමය, සිංගප්පූරුව, සුමාත්‍රා, වියට්නාමය, මුරුසිය හා දකුණු අප්‍රිකාව ආදී රටවල් වලට වෙළදාම උදෙසා සංක්‍රමණය විය.

හෙට්ටීන් ලංකාවට පැමිණීමට මූලික හේතුව වූයේ මුදල් ඉපයීමයි. ඒ සදහා ඔවුන් මුදල් පොලියට දීම, රන් භාණ්ඩ උකස් ගැනීම, සහල් රෙදිපිලි හා මුතු ආදිය මිලට ගැනීම සිදු කළේය. ලංකාවේ ප්‍රථම වාණිජ බැංකුව වූයේ ලංකා බැංකුව යි. එය 1841 වසරේදී ආරම්භ විය. එය ආරම්භ වීමට ප්‍රථම බැංකුවෙන් සිදුවිය යුතු ණය දෙන කටයුතු සිදු කලේ හෙට්ටීන් විසිනි. මේ නිසා ඔවුන්ව 'බැංකු වෙළෙන්දෝ' යන නමින් ද හැදින්වීමට පටන් ගත්තේය. බැංකු ආරම්භය නිසා හෙට්ටීන්ගේ ව්‍යාපාර වල පසුබැස්මක් දක්නට ලැබුනේ නැත. ඔවුන් ලාභ ඉපයීමේ අරමුණින් ඈත ගම් වලට ද ගියේය. බැංකු කටයුතු නොදන්නා අයට අඩු පොලියට බැංකුවෙන් මුදල් රැගෙන වැඩි පොලියට ලබා දුන්නේ ය.

හෙට්ටීන් මුදල් ණයට දුන්නේ රණ් භාණ්ඩ, ඉඩම් හෝ වටිනා යමක් ඇපයට තබාගෙන යි. ණය ලබා ගත් පුද්ගලයාට තම ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට එම ඇපය හෙට්ටීන් ට හිමිවේ. එහෙයින් මෙසේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ බොහෝ දෙනාගේ දේපළ හෙට්ටීන් ට හිමි විය. හෙට්ටීන් ගේ ණය ලබාගෙන තම ව්‍යාපාර දියුණු කරගත් අයද බොහෝ වෙති. බැංකුව හා ජනතාව අතර අතරමැදියා ලෙස කටයුතු කරමින් අවධානමකට මුහුණ දී ණය ලබා දී ලංකාවේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම නිසා 1934 වසරේ දී හෙට්ටීන් ට ලංකා බැංකු කොමිසම විසින් අගය කිරීමක් කර තිබේ.

"මා කුඩා කල නිතර ඇසූ පැරණි කියමනක් නම් හෙට්ටියාගේ වචනය ඔහුග්වෙ පොරොන්දු පත්‍රය තරමටම විශ්වාසදායී බවයි" ලෙස ආර්.එල්. බ්‍රාහියර් විසින් තම කෘතියෙ හි සටහන් කරයි. එනම් හෙට්ටීන් වෙළදාම කරන්නේ විශ්වාසය මතයි. කවුරුන් හෝ තමන්ට රුපියල් වංචා කලහොත් ලක්ෂයක් වුවද වියදම් කර නඩු කියා තමන්ට සාධාරණය ඉටු කරගැනීමට හෙට්ටීන් පෙළඹේ. මෙවැනි නඩු බොහොමයක් ලංකාවේ තිබුණු අතර එම නඩු ලංකාවේ වාණිජ නීති සංවර්ධනයට බොහෝ රුකුලක් විය.

හෙට්ටීන් තම දරුවන්ට මෙම ව්‍යාපාරය උගන්වන්නේ දාහතර හා පහළොව යන වයස් වලදීය. කිසිම විටෙක පියා විසින් පුතාට ව්‍යාපාර කටයුතු උගන්වන්නේ නැත. ඒ සදහා පුතාව වෙනත් අයෙකු වෙත යොමු කරවයි. අවුරුදු තුනක හතරක වැනි පලපුරුද්දක් ලැබුණු පසු ඔහුට පියාගේ ව්‍යාපාරයේ තනතුරක් හිමිවේ. එයත් ලොකු තනතුරක් නොවේ. පියාගෙම ව්‍යාපාරයේ සේවකයෙකු යටතේ ඇති තනතුරකි. මේ නිසා පුතාට තම පියාගේ ව්‍යාපාර නිසා උද්ධච්ඡ කමක් ඇති වන්නේ නැත. ටික කලක් ගත වූ පසු පියා විසින් පුතාට මුදල් ලබා දේ. ඒ ඔහුටම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. මුල් කාලයේ දී පියා තම පුතුගේ ව්‍යාපාර කටයුතු ගැන සොයා බැලුවත් එය ක්‍රමක්‍රමයෙන් අඩු කරයි.

හෙට්ටීන් හට කෙතරම් මුදල් තිබුනත් ඔවුන්ගේ අනවශ්‍ය වියදම් කිසිවක් නැත. ඔවුන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කරයි. මේ නිසයි අද සමාජයේ ද ලෝබ තැනැත්තන්ට හෙට්ටියා යන වදන ව්‍යවහාර වන්නේ. හෙට්ටීන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කලද ආගමික කටයුතු සදහා කිසිදු පැකිලීමකින් තොරව මුදල් වියදම් කරයි. මොවුන් කෝවිල් බොහොමයක් ඉදිකර තිබේ. කොළඹ හෙට්ටි වීදියේ පරණ කදිරේෂන් කෝවිල, නව කදිරේෂන් කෝවිල හා බම්බලපිටිය කෝවිල උදාහරණ කිහිපයකි. බටහිර ජාතීන් ලංකාව යටත් කරගත් පසු මෙහි මිනිසුන් ආගම් වෙනස් කළද හෙට්ටීන් තම ආගම වෙනස් කලේ නැති බව කියවේ. ඔවුන් දැඩි ශිව භක්තිකයන් වේ. හෙට්ටීන් කොළඹට පැමිණ වරාය ආසන්නයේ වාසස්ථාන ලබා ගත්තේ ය. මෙම පෙදෙස් හෙට්ටි වීදිය ලෙස හැදින්වේ. හෙට්ටි වීදියේ තිබූ බොහෝ ගොඩනැගිලි හා ඉඩම අයත්ව තිබුනේ හෙට්ටීන් හටයි. වර්තමානයේ දී මෙයින් බොහොමයක් වෙනත් අය හට අයිතිව තිබුනද අදත් සමහර ගොඩනැගිලි වල අයිතිය හෙට්ටීන් විසින් ඉදිකල කෝවිල් සතුව පවතියි.

1948 අංක 18 දරණ ඉන්දු පකිස්තාන පුරවැසි පනත යටතේ ලංකාවේ රැදී සිටි බොහෝ විදේශිකයින් ලංකාවේ පුරවැසිකම ලබා ගත්තද හෙට්ටීන් ඒ සදහා උනන්දු වූයේ නැත. මේ නිසා එක්දාස් නමසිය පනහ දශකයෙන් පසු ඔවුන් තම මව්බිම කරා යන්නට විය. වර්තමානයේ දී හෙට්ටීන් ගේ ව්‍යාපාර යැයි පවසන විට 'මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස්' මතක් වේ. එහෙත් මෙය චෙට්ටි නොහොත් හෙට්ටි වන්නේ නමට පමණි. මන්ද මෙහි වර්තමාන අයිතිකරු හෙට්ටියෙක් නොවන බැවිනි. 

පන්දහසකට අධික හෙට්ටීන් පිරිසක් සිටි ලංකාවේ වර්තමානය වන විට සිටින්නේ පවුල් පහක් පමණි. ලංකාවේ ව්‍යාපාර නීති සංවර්ධනයට හා එකල ආර්ථික සංවර්ධනයට කල සේවය නිසා අප ඔවුන්ට ස්තූතිවන්ත වන අතර ඔවුන් ලංකාවෙන් පිටවන විට ඔවුන් සතුව ඇති අති විශාල වස්තු සම්භාරය ද ලංකාවෙන් පිටවූ බව අමතක නොකල යුතුයි.

Wednesday, May 16, 2018

සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු.

“සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මලවුන් අතරය. අප මරුවන් අතරය.” ලෙස පියල් වික්‍රමසිංහ විසින් රිවිදින පත්‍රයට ලියූ ලිපියක් අවසන් කරයි. ආනන්ද සමරකෝන් යන නම කියූ පමණින් ඔහුව නොදන්නා අයෙක් නැත. මන්ද පාසල් යන කාලයේ පටන් ම ඔහු ජාතික ගීයේ නිර්මාතෘ ලෙස අපට ඉගැන්වූ බැවිනි. අද තිබෙන ජාතික ගීය අපගේ ජාතික ගීය ලෙස තේරී පත් වුනේ කෙසේ ද? එහි කතාව කුමක් ද? ආනන්ද සමරකෝන් හට ජාතික ගීය ලිවීම නිසා අවසානයේ අත්වුනේ කිනම් ඉරණමක් ද? යන වග සොයා බලමු.

අප රට විවිධ කාල වලදී විවිධ ජාතීන්ගේ ග්‍රහණයට නතුව තිබුණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස අප සිටි කාලයේ දී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍යයේ ජාතික ගීය වන "ගෝඩ් සේව් ද කිං" (God save the king) ය. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වීම උදෙසා නිදහස් සටන් ගෙන ගිය කාලයේ දී සිංහලයන් විසින් 'දින දින දිනෙ දිනෙ සිරිලක ජාතික ආලේ' නම් වූ එස්. මහින්ද හිමියන් විසින් රචනා වූ ගීයක් ජාතික ගීය ලෙස භාවිතා විය. ඉන්පසු ඇම්.ජී. පෙරේරා හා සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර විසින් රචිත ගීත දෙකක් ද ජාතික ගී ලෙස භාවිතා විය. එනම් එකල ජාතික ගීය ලෙස නිශ්චිතව සැවොම පිලිගත් එකක් නොවීය.

මේ නිසා 1948 වසරේ ජනවාරි මාසයේ දී ලංකා ගාන්ධර්ව සභාව විසින් ජාතික ගීය තේරීමේ තරඟයක් පැවැත්වුණි. මෙහි තේරීම් කමිටුව සදහා ද්‍රවිඩ විනිසුරුවන් ද ඇතුලත් විය. එස්.එල්.බී. කපුකොටුව, එල්.එල්.කේ. ගුණතුංග, ලයනල් එදිරිසිංහ, පී.බී. ඉලංගසිංහ, ආචාර්ය ඕ.එම්.ඩී.ඒ  විජයසේකර, මුදලිඳු ඊ.ඒ. අබේසේකර යන අය එහි වු සිංහල විනිසුරුවන් ය.


තරඟය සදහා බොහෝ ගීත ඉදිරිපත් වුවද සෑහීමකට පත් විය හැකි ගීයක් ඒ තුලින් ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා වෙනත් අයෙකු ලවා ජාතික ගීයක් නිර්මාණය කරවා ගැනීම කමිටුවේ අදහස විය. විනිසුරු මඩුල්ලේ ආරාධනාව යොමු වූයේ විනිසුරු මඩුල්ලේ ම සාමාජිකයෙක් ව සිටි පී.බී. ඉලංගසිංහ වෙතයි. ඒ අනුව ඔහු විනිසුරු මඩුල්ලෙන් ඉවත්ව ජාතික ගීයක් රචනා කළේය. පලමු නිදහස් උළෙලේ දී ගායනා කල මෙම ගීය "ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා" වූ අතර ලයනල් එදිරිසිංහ විසින් එය සංගීතවත් කළේය. මෙයට එකල රුපියල් දෙදහසක ත්‍යාග මුදලක් හිමි විය.

ජාතික ගීයේ සංගීතඥයා හා පද රචකයා යන දෙදෙනාම විනිසුරු මඩුල්ලේ සිටි සාමාජිකයන් වූ නිසා එයට ජනතා විරෝධයක් එල්ල විය. ඒ හේතුවෙන් ජාතික ගීය සදහා වෙනත් ගීතයක් සෙවීමට වෙහෙසවූ විනිසුරු මඩුල්ල ඒ වන විට දේශාභිමාන ගීයක් ලෙසින් තිබූ ආනන්ද සමරකෝන්ගේ "නමෝ නමෝ මාතා" ගීතය තෝරාගත්තේය.

ආනන්ද සමරකෝන් විසින් මෙම ගීය ලියන්නේ ඔහු චන්ද්‍රා සෙනෙවිරත්න නම් තම පලමු බිරිය සමග ඉන්දියාවට ගොස් තාගෝර්ගේ සංගීතය හදාරා නැවත ලංකාවට පැමිණි පසුයි. සංගීතය හදාරා යැයි කීවද ඔහුට අහවර කරගත හැකි වූයේ එම අධ්‍යාපනයෙන් අඩක් පමණි. ඔහු ලංකාවට ආ පසු උපතින් ලැබූ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් යන නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර එතෙක් අදහමින් සිටි කතෝලික දහමෙන් බුදු දහමට පරිවර්තනය විය.

ඔහු මෙම ගීය 1940 වසරේ ඔක්තෝබර් විසි වෙනි දින ලිවීම ආරම්භ කරයි. එසේ එය ලියා අවසන් කර එකල ඔහු උගන්වමින් සිටි මහින්ද විද්‍යාලයේ ළමයින්ට ද මෙම ගීතය ඉගැන්වීය. මාර්ටින් වික්‍රමසිංහ හට මෙහි ගුණ දොස් බැලීමට දුන් විට එහි කිසිදු දොසක් ඔහු පැවසුවේ නැති බව සමරකෝන් කියයි. මෙම ගීතය තරමක් ජනතාව අතරට යන්නේ ඔහු විසින් රචිත 'කුමුදුනී' නම් කෘතියට මෙම ගීතයත් ඇතුලත් කිරීම හරහා ය. එයින් ලද ප්‍රසිද්ධිය නිසා එච්.එම්.වී. ගීත තැටි සමාගමේ ගීත තැටියක් සදහා ද මෙම ගීතය ඔහු විසින් දෙන ලදි.


ජාතික ගීය ලෙස සමරකෝන්ගේ ගීය තෝරාගත් කාලයේ ඔහු සිටියේ ඉන්දියාවේ ප්‍රදර්ශන පවත්වමිනි. ඔහුගේ ගීතය ජාතික ගීය ලෙස තේරීපත් වුන බව ඔහුට දැන්වුවත් ඔහු ලංකාවට පැමිණියේ නැත. එමනිසා 1949 දෙවන නිදහස් උළෙලේ අමාත්‍ය කමිටුවේ ප්‍රධානත්වය දැරූ එවකට මුදල් අමාත්‍ය වූ ජේ.ආර්. ජයවර්ධන හට මෙම ගීතය කා ලවා පුහුණු කරවන්නේ දැයි ප්‍රශ්නයක් හට ගත්තේ ය. ඔහු ඒ සදහා මර්සලින් ජයකොඩි පියතුමාව තෝරා ගත්හ.

මර්සලින් ජයකොඩි පියතුමාව හමුවට ගිය ජේ.ආර්. ජයවර්ධන මෙම යෝජනාව පියතුමා හට ඉදිරිපත් කල විට ඔහු එයට බොහෝ සෙයින් කැමති විය. එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන මෙම ගීතය මියුසියස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් ලවා පුහුණු කරවීමට යෝජනා කල අතර මර්සලින් පියතුමා එයටද කැමැත්තෙන් එකඟ විය. 1949 වසරේ ජාතික නිදහස් දින උත්සවයේ දී මෙම ගීතය ගැයුව ද එයට නිළ පිලිගැනීම ලැබුනේ 1951 වසරේ දී ය. එහි නිල ප්‍රකාශය නිකුත් කලේ 1952 වසරේ මාර්තු මස 12 වෙනි දින ය. මුලදී ජාතික ගීයට නිශ්චිත තනුවක් තිබුනේ නැත. ඒ අනුව 1953 වසරෙන් පසුව මෙයට නිශ්චිත තනුවක් නිර්මාණය කර ඒ තනුව අනුව පලමු වරට ගායනා කිරීමට සීදුව අන්ධ විද්‍යාලය, ගුවන් විදුලි පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා යුධ හමුදා අපරදිග තූර්ය වාදන කණ්ඩායම සහභාගි විය. අලුත් තනුව අනුව ජාතික ගීය පලමු වරට තැටිගත වූයේ 1954 වසරේ දි යි.

ජාතික ගීය නිර්මාණය වෙනුවෙන් ආනන්ද සමරකෝන් හට රුපියල් එක්දහස් දෙසිය පනහක මුදලක් දීමට රජය සූදානමින් සිටියේ ය. එහෙත් මෙම ගීතය 'කුමුදුනී' නම් ගීත සංග්‍රහයේ එන ගීයක් වූයෙන් එහි ප්‍රකාශක වූ මරදානේ  ටී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා විසින් එම මුදල හීමි විය යුත්තේ තමාට බව පවසමින් උසාවියෙන් ඉල්ලීමක් කළේය. අවසානයේ දී විනිසුරු විසින් පොත් ප්‍රකාශකයාට පක්ෂව තීන්දුව ලබා දී "නීතියට අනුව කරුණු මෙහෙම් වුනත් මේක ජාතික නිර්මාණයක් නිසා මුදලින් භාගයක්වත් සමරකෝන් මහතාට දුන්නොත් හොදයි නේද?" යැයි පැවසීය. ඉන්පසු පොත් ප්‍රකාශක පවසා සිටියේ මුල සිටම ඔහු මුදලින් අඩක් සමරකෝන් හට ලබා දීමට කැමැත්තෙන් සිටි බවයි.

පලමු බිරියගෙන් දරුවන් නොලද සමරකෝන් හට දෙවෙනි බිරියගෙන් ලැබුණු පලමු පුත්‍රයා ද වසර කිහිපයකින් පසු රෝගාතුරව මියයයි. "නිවී පහන නිවී ගියා" ගීතය ඔහු රචනා කරන්නේ එම ශෝකය නිසාවෙනි. 1956 දී බලයට පත් බණ්ඩාරණායකගේ අදහසකට අනුව 'සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍යංශය' පිහිටවූ අතර එහි අරක්ගෙන සිටි නිලධාරීන් විසින් සමරකෝන් හට ලබා දුන්නේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර ධූරය කි. එයත් වසර දෙකකට පසු එහි පත් වූ නව සභාපතිනිය විසින් අහේතුකව ඔහුව සේවයෙන් නෙරපයි. ඉන්පසු ගුවන් විදුලියේ දොර ඔහු වෙනුවෙන් විවෘත වුවද එයත් 1959 දී වැසී ඔහුව දොට්ට දමන්නේ ගෙවන්න මුදල් නැති බව පවසමිනි. තමන්ට ජීවත් වන්නට ආදායමක් නැති බවත් තමන්ට කුමක් හෝ රස්සාවක් ලබා දෙන ලෙසත් සංස්කෘතික අමාත්‍යංශයට ඔහු ලිපි ලීවද එයින් ඔහු ලද ප්‍රථිචාරයක් නැත.

රටක ජාතික ගීයේ නිර්මාතෘ යැයි කී විට ඔහුට හෝ ඇයට හිමි වන්නෙ ඉහළ ගෞරවයකි. එහෙත් සමරකෝන් ජීවත්ව සිටි කාලයේ දී ඔහුට එම ගෞරවය හිමි වූයේ නැත. මෙම සියලුම දේ නිසා ඔහු බොහෝ කලකිරීමෙන් සිටියේය. ඔහුගේ කලකිරීම දෙගුණ තෙගුණ කලේ තමන් ලියූ ජාතික ගීය තමන්ගේ අවසරයෙන් තොරව වෙනස් කිරීමයි. එනම් ඔහු ලියූ ජාතික ගීය ආරම්භ වන්නේ 'න' අක්ෂරයෙනි. 'න' අක්ෂරය අපාය අක්ෂරයක් යැයි පවසමින් ආරම්භයට 'ශ්‍රී ලංකා මාතා' යැයි යොදා සංශෝධනය කලේය.

මෙසේ තමන්ගේ නිර්මාණ තමුන්ට නොදන්වා වෙනස් කිරීම් නිසාද බොහෝ සිත් තැවුලට පත් වී සිටි සමරකෝන් 1962 වසරේ මාර්තු මස දෙවෙනි දින තම මවගේ උපන්දින සාදයට සහභාගි වී තම නිවසට පැමිණ ලබාගත්තේ නැවත අවදි නොවන නින්දකි. අසල කාමරයේ සිටි තම බිරිඳ සමරකෝන් සිටි කාමරයේ දොර කඩා බලන විට ඔහු නිද්‍රාසන්නව සිටි අතර ඔහු අසල අරක්කු බෝතලයක්, සිගරට් කොටයක් හා නිදි පෙති කුප්පියක් ද විය.

අවසානයේ නිදිපෙති 25ටත් 30ටත් අතර ප්‍රමාණයක් ගැනීම මරණයට හේතුව යැයි දොස්තර ඇම්. මනෝදරන් විසින් පෙන්වා දෙන ලද නමුත් මෙය සියදිවි නසාගැනීමක් නොව අත්වැරැද්දකින් සිදුවූ මරණයකැයි හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.පී. කිරුචෙල්වම් මහතා තීරණය කරන ලදි. ඔවුන් එසේ කලේ මෙම ජාතික වීරයාගේ මරණය හෑල්ලු නොකිරීමටයි.

මිය යාමට ටික කලකට පෙර සමරකෝන් විසින්, ජාතික ගීයේ පද වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙසේ සටහන් කළේය.  “මෙයින් මගේ සිත තුළ හටගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදාමුත් කෙලවර වන්නේ මගේ මරණයෙන් පමණක් බව මම දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත්පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවනවාට වඩා මෙම මොහොතේම මියයෑම සැපතකි” 

Wednesday, May 9, 2018

කෙනඩි ඝාතනයෙන් පසු (කෙටි කතාව)

"ජැක් අද දවසෙ ඔයා මොනාහරි විශේෂ වැඩක් දාගෙන තියෙනව ද?" යැයි ඔහුගේ බාල සොහොයුරු වූ ජේම්ස් අසයි.

"අදනම් ටිකක් වැඩ වැඩියි ජේම්ස්. අහන්න ඇතිනේ ප්‍රවෘත්ති වල. අද කෙනඩි මෙහාට එනවා. ඇයි එකපාරටම එහෙම ඇහුවේ?"

"අද ටෙක්සාස් ෆිල්ම් හෝල් එකේ මම ආසාවෙන් හිටපු චිත්‍රපටයක් පෙන්නනවා. ඔයත් එක්ක ඒක බලන්න යන්න කියලා හිටියේ. කමක් නෑ මම තනියෙන් යන්නම්."

"ඕක තමා මම හැමතිස්සෙම කියන්නේ කෙල්ලෙක්ව හොයාගන්න කියලා. බඳින වයසත් දැන් හරිනේ." යැයි සිනාමුසු මුහුණින් ජැක් පවසා පාර දිගේ ඉදිරියට ඇදුනේය.

ජැක් රූබි සමාජ ශාලාවක හිමිකරුවෙක් වන අතර ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සිටියි. එම දෙදෙනාම නිවුන්නු වූ අතර එක් නිවුන් සහෝදරයෙක් සමග සම්බන්ධතාව ඔහු අත්හැර මේ වන විට වසර ගණනාවක් ගත වී ඇත. ඒ වසර අටකට පමණ පෙර වූ සිද්ධියකි නි. මොවුන්ගේ පියා ඉතා දරදඬු පුද්ගලයෙකි. බීමත් වූ විට එය දස ගුණයකින් වැඩිවේ. තම බිරිඳ සමග බීමත් වූ විට හා එසේ නොවන විට ද රණ්ඩු කිරීම පුරුද්දයි. එසේ රණ්ඩු කරමින් සිටින අවස්ථාවක දී බීමතින් නිවස වෙත පැමිණි සහෝදරයෙක් පියා සමග දබර කර වැරදීමකින් පියාට පිහියෙන් ඇණ මරා දමයි. මේ නිසා ජැක් මොහුත් සමග ‍එදින රණ්ඩු කර නිවසින් පිටවී යයි. ඔහු නැවත නිවස වෙත පැමිණියේ නැත.

 මවගේ වැඩි ආදරය දිනූ මෙම නිවුන් සොයුරාට මව පවසා සිටියේ මෙයින් බේරීමට නිවසින් පලා යන ලෙසයි. එදා නිවසින් ගිය ඔහු නැවත නිවස කරා පැමිණියේ දෙතුන් වතාවක් පමණි. මේ වන විට අනෙක් නිවුන් සොයුරා වූ ජේම්ස් සිටියේ නගරයේ පාසලේ ය. ඔහු නේවාසිකාගාරයේ නවාතැන් ගත් අතර නිවස වෙත පැමිණියේ සති අන්තයේ පමණි. මොහු කාටත් වඩා තම සහෝදරයාට ඇලුම් කරයි. එම සහෝදරයා නමින් ලී හාවී ඔස්වල්ඩ් වේ. මොහු නිවසින් ගිය පසු තම නිවුන් සොයුරු ජේම්ස්ව නිරන්තරයෙන් හමු වේ. එහෙත් එය ජැක් දැන සිටියේ නැත.

...........................................................................................

"මරිනා, ඔයා දන්නවනේ මට ඔයායි ළමයි දෙන්නයි ඇර වෙන ලෝකයක් නෑ කියලා. ඒත් ඒ ලෝකෙ විනාශ කරන්න කවුරුහරි උත්සහ කරනවනම් මම එයාව හොදින් හෝ නරකින් නවත්වනවා."

"ඔස්වල්ඩ් ඔයා ආයෙත් ඕවට පැටලෙන්න යන්න එපා. අද අපිට ඉතාලියට යන්න තියෙනවා. එහෙ අපිට ආරක්ෂාව තියෙනවා."

"ඔයා බයවෙන්න එපා. මම ගිහින් ඉක්මනින් එනවා. මම එනකන් මෙහාටම වෙලා ඉන්න. කොහෙවත් යන්න එපා." එසේ කියූ ඔස්වල්ඩ් මරිනාට හාද්දක් දී කළු මල්ලක් ද රැගෙන නිවසින් පිට වේ.

.....................................................................................

අවට අධික නොසන්සුන් තත්ත්වයකි. පාර දිගේ මිනිසුන් සී සී කඩ දිව යති. ඒ අතරින් එක් අයෙක් "කෙනඩිට වෙඩිතිබ්බා" යැයි කෑ මොර දෙමින් දුවයි.

ඔස්වල්ඩ් තමන්ගෙ බෑගයට අවිය දමාගෙන යන්නට තැත් කරන විට පොලිස් නිලදාරියෙක් එතනට විත් ඔහුට යටත් වෙන්න යැයි කියයි. සැනෙකින් තම සාක්කුවේ තිබූ රිවෝල්වරය අතට ගත් ඔස්වල්ඩ් පොලිස් නිලදාරියාට එයින් වෙඩි තමා හිස් පතරොම් කොපු විසි කර අලුතින් පතරොම් පුරවා ගනියි. එසේ පුරවාගෙන පාර දිගේ වේගයෙන් ඇවිද යයි.

මොහුගේ මෙම නොසන්සුන් බව දුටු එක් ආපන ශාලා හිමිකරුවෙක් ඔහු පසුපස ලුහු බැඳගෙන එයි. එහෙත් එය නුදුටු ඔස්වල්ඩ් කෙලින්ම පිය මැන්නේ ටෙක්සාස් රඟහල වෙතයි. එය වෙත ගොස් ටිකට්පත් ලබා දෙන්නා වෙත සාක්කුවෙන් ටිකට්පතක් ලබා දී ඇතුල් වෙයි. ආපන ශාලා හිමිකරු මේ ගැන ටිකට්පත් ලබාගන්නා පුද්ගලයාට පවසා පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම සිද්ධිය කීවේය.

"ඔස්වල්ඩ් ඔයා මොකද පරක්කු? මම ඔයා එනකම් කොච්චර බලාගෙන හිටිය ද?"

"ජේමස් මේ හැමදේම ඉවරයක් වෙන්න ඕනෙ. මටයි මගෙ පවුලටයි සතුටින් ඉන්න නම්. මම අද ඉතාලි යනවා. ඒත්...."

කලබලයෙන් හති දමමින් වචන ගලපා සිටි ඔස්වල්ඩ්ට තමන් කල දේ ගැන කීමට පෙර සයිරන් නලා හඬක් රඟහල පිටතින් ඇසෙන්නට විය.

"ඔස්වල්ඩ් ඔයා මොනා ද කරේ..." යැයි ජේම්ස් අනුකම්පා සහිතව පැවසුවේ ඔස්වල්ඩ්ගේ අතක් අල්ලගනිමිනි.

"මම කෙනඩිට වෙඩි තිබ්බා"

"මොනවා... මොනාද ඔයා මේ කරගත්තේ...අන්න පොලීසියෙන් මේ පැත්තට එනවා. මට ඔයාගෙ අයිඩෙන්ටිය දෙන්න. මගේ එක අරගන්න. තුවක්කුවත් දෙන්න. ඔයා ඉක්මනට ගිහින් වේදිකාව පිටිපස්සෙ හැංගෙන්න." මෙසේ කියා ජේම්ස් අසලම තිබූ පුටුවක වාඩි වී සිටියේ ය. ආපන ශාලා හිමිකරුගේ මගපෙන්වීම යටතේ පොලීසිය විසින් ජේම්ස්ව අත්අඩංගුවට ගනියි.

ජේම්ස්ව ඩලස් පොලිස් මූලස්ථානය වෙත යන අතරතුරේදී ඔවුන් නම කුමක්දැයි? ඇසූ විට “එය තමුන්විහින්ම සොයා ගන්න එකයි ඇත්තේ!“ යනුවෙන් ඔහු පැවසූ අතර එක් පොලිස් නිලධාරියෙකු ඔහුගේ මුදල් පසුම්බිය ගෙන නම පරීක්‍ෂාකළ විට එහි ලී හාවි ඔස්වල්ඩ් නමින් හැදුනුම්පතක් සම්බවිය.

මේ වන විට පොලිස් ස්ථානයේ දී ජේම්ස්ගෙන් දැඩිව ප්‍රශ්න කරමින් සිටි අතර ඔහු එම ඝාතනය තමන් සිදු නොකල බවට දිගින් දිගටම කියා සිටියේය. එහෙත් ඔහු මේ වන විට තමන් ලී හාවි ඔස්වල්ඩ් බව පිලිගෙන හමාරය.

ජේම්ස් නොදැන සිටියද ඇමරිකානු මාධ්‍ය ආයතන විසින් ඔහුව කෙනඩි ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට පත්කර තිබුණි. රූපවාහිනියේ නිරතුරුවම මේ ගැන ප්‍රවෘත්ති පල වූ නිසා එය දුටු මෙම සොයුරන්ගේ මව තම පුත්‍රයා මුහුණපා සිටින තත්වය දුටුවාය.

"මගේ පුතා CIA එකේ නියෝජිතයෙක්. එයාව මෙහෙම තියාගෙන ඉන්න එක කොහෙත්ම පිලිගන්න බැහැ" යැයි මව එකෙනෙහිම ඩලස් පොලිස් ස්ථානය වෙත කුලී රථයකින් ගොස් කියා සිටියාය. මව ඔස්වල්ඩ් ව බැහැ දැකීමට කැමැත්තෙන් සිටියද ඔස්වල්ඩ් වෙනුවට එහි සිටි ජේම්ස් එයට කැමැත්ත දුන්නේ නැත.

දින දෙකක් මුළුල්ලේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහුව ප්‍රාන්ත සිරගෙය සදහා ගෙන යා යුතු විය. ජේම්ස්ගේ අතෙ හි මාංචු දමා ඔහුව බිම්මහළ වෙත රැගෙන යයි. එහිදී දැඩි කෝපය මුසු මුහුණින් සිටින ජැක් රූබි ව ජේම්ස් දකියි. රථය අසලට පැමිණි විටම ක්‍රියාත්මක වූ රූබි "අද තාත්තගේ පලිය ගන්නවා" යැයි පවසා තම සාක්කුවෙහි වූ තුවක්කුවෙන් ජේම්ස් ට වෙඩි තබයි.

ජැක් රූබිව බිම පෙරලා අල්ලා ගත් විටම පොලිස් නිළදාරියෙක් ජේම්ස් වෙත පැමිණ "මොනවා හරි කියන්න තියෙනවනම් කියන්න" යැයි ඉල්ලා සිටියි. මෙය හොදින් වැටහුන නමුත් ජේම්ස් වදනක්වත් නොපවසා අවසන් හුස්ම හෙලයි.


Sunday, May 6, 2018

අහුබුදු වත

1920 වසරේ මාර්තු මස 20 වන දින ආර්යසේන ආශුබෝධ උපන්නේ දේවමනිමේන්ද්‍ර හෙරෝනියස් ද සිල්වා සහ වතුගෙදර ලැයිසොහාමිගේ දරුවා ලෙසයි. මොහු කතළුව රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලබයි. ආර්යසේන ලේඛන කලාවට අත්පොත් තබන්නේ 16 වෙනි වියේදියි.

1934 වසරේ එක්තරා දවසක ඔහු එවිට ඉගෙනගනිමින් තිබුනු පාසලේ මුල් ගුරුතුමා ඔහුට තහනමක් පැනවීය. "ඔය පත්තරය තවත් මේ පාසල හරියට ගෙනාවොත් බලාගත හැකි" යි අර්යසේනට කීවේ තරවටු කරමිනි. එම පුවත්පත කුමාරතුංග මුනිදාසයන්ගේ ලක්මිණි පහණ පුවත්පතයි. එහෙත් එම තරවටුවෙන් එම පුවත්පත කියවීම මුල් ගුරුතුමාට නැවැත්විය නොහැකි විය.

මෙම පුවත්පත කියවා එහි භාෂා ශෛලිය හා භාෂා මත අනුගමනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස වෙනත් පාසලකදී 1936 වසරේ ඔහු දැඩි දඬුවමක් වින්දේය. ඒ වේවැලෙන් පිට හරහට පහර හත අටකුත් පාසලෙන් නෙරපාහැරීමෙන් ය. මේ කිසිවකින් අර්යසේනව නැවැත්විය නොහැකි විය. ඔහු තමන් ගමන් ගත් මාර්ගයේම ගමන් කලේය.

මොහු ගුරු වෘත්තියට පිවිසියේ වයස අවු. 17 දී අහංගම පියදිගම සාරිපුත්ත විදිහලෙනි. මේ අවධියේ දී අර්යසේනට කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුර ලැබුණි. කුමාරතුංගයන් විසින් 'සුබස් පතින් කිවිති' යන ගෞරව නාමය ද ලබා දුන්නේය. ඔහුගේම අනුමැතිය මගින් ආර්යසේන ආශුබෝධ සිය නම අරිසෙන් අහුබුදු ලෙස වෙනස් කර ගනියි.

1937 දී අහංගම සාරිපුත්ත විදුහලෙන් ඇරඹි අහුබුදුවන්ගේ ගුරු දිවිය කීඹිය රජයේ පාසල, කටුගස්තොට දීගල පාසල, වැල්ලතොට බෞද්ධ විද්‍යාලය, නුවරඑළිය ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල තෙක් වසර 42 ක් පුරාවට විහිදුණි. මෙයින් වැඩිම කාලයක් ගුරු සේවයේ යෙදුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි. ඒ වසර විසි නමයක කාලයක් ය.

ශාන්ත තෝමස් විද්‍යාලයේ උගන්වමින් සිටි කාලයේ පාසල නිම වී මුහුදු වෙරළ ඔස්සේ තම නිවහන වෙත යමින් සිටින විට පාසලේ ළමුන් කණ්ඩායමක් තම අලුත් ගුරුතුමාගේ ජාතික ඇඳුම හා හෙළ බස සමච්චලයට ලක් කලේය. ඒ බව ඇසුනු අහුබුදුවන් ළමුන් වෙත පැමිණ, "ඒ කියමන හරි, කියාපු විදිහ තමා වැරදි" යැයි කීයා කෙටි ඔවදන් කිහිපයක් ද දුන්නේය. මෙසේ කෑකෝ ගැසූ නඩයේ මූලිකයා වැඩි දිනක් යාමට පෙර කවි පබදා අහුබුදුවන් වෙත ගෙන ආවේය. ඔහු නමින් ගාමිණී ෆොන්සේකා විය.

වසර මෙම පාසලේ දීම ළමයෙක් "ඔය ඇ කාරය නැතුව සිංහල ලියන්න පුලුවන්" යැයි පැවසීය. එකල චිත්‍ර ගුරුතුමාද වූ අහුබුදුවෝ කළු ලෑල්ල වෙත ගොස් වෙරළක් හා එහි වාඩි වී සිටින ළමයෙක් ඇන්දේය. ඉන්පසු එහි "ළමයා වැල්ල අතගායි" යැයි ලීවේය. පසුව වැල්ල වදනෙහි ඇදය මකා දැම්මේය. පන්තියේ ළමුන් කොක් හඬලා සිනාසෙන්නට විය. ඉන්පසු ඔහු නැවත වරක් කළු ලෑල්ල වෙත ගොස් තැඹිලි වල්ලක්ද ළමයා අසල ඇන්දේය.

මොහු ගුරු සේවයේ යෙදෙමින් සිටින අතරතුර දී 1947 වසරේ දරුවන් වෙනුවෙන් 'එඩිය' නමින් සඟරාවක් ආරම්භ කලේය. එහි ශීර්ෂපාඨය ලෙස ඔහු යොදා තැබුවේ 'එඩිය වැඩියේ පොඩියන්ගේ එඩි වැඩීම සදහාය' ලෙසයි.

අහුබුදුවන් ගීත රචනයට පිවිසෙන්නේ 1949 වසරේ නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රසංගයකට ගීත රචනා කිරීමෙනි. සුනිල් ශාන්තයන් විසින් ගායනා කරනු ලැබූ 'ලංකා ලංකා පෙම්බර ලංකා' නම් ප්‍රකට දේශාභිමානී ගීය රචනා වූයේ මොහු අතිනි. චිත්‍රපට වලට ගී ලිවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සන්දේශය චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ය. 'කටේ කිරි සුවද', 'රෑන ගිරා රෑන අඹේ', 'පුර්තුගීසිකාරයා', 'පුන්සඳ එළියයි', 'සුදට සුදේ  වළාකුළයි', හා 'රැජිණ් මමයි' ගීත බෙහෙවින් ජනප්‍රිය විය.

අහුබුදුවෝ නාට්‍ය රචනයට පිවිසෙන්නේ 1946 වසරේදී ය. 'වනරාජ කුමරිය', 'හෙළ හැතිරිය', 'සක්විති රාවණ' හා 'ලෝකාන්තය' එම නාට්‍ය අතර වෙයි. අහුබුදුවන් විසින් අපගේ බසට අලුතින් වචන සාදා දුන්හ. තිබෙන වචන වලට අලුත් නිරුක්ති දුන්හ. ඔහු ලියූ ග්‍රන්ථ අතර 'බුද්ධවංශය', 'කඳ දෙව් උපත', 'පරෙවිය', 'කුමරතුඟු ඇසුර', 'උදාර ළමා කතා සිංහලයේ පද බෙදුම' ආදී ග්‍රන්ථ විශේෂ වේ.

1979 වසරේ දී ගුරු සේවයෙන් ඉවත් වූ පසු සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ ශබ්දකෝෂ සංස්කාරකවරයෙකු ලෙස ද ජනාධිපති භාෂා උපදේශක ලෙස ද බංගලාදේශයේ පැවති ආසියානු කවි සමුළුවේ ශ්‍රී ලංකා නියෝජනය යන විවිධ තනතුරු හොබවනු ලැබුණි.

1962 දී පරෙවිය සාම අස්න සදහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද, 1969 දී රස දහර කෘතිය වසරේ හොදම පද්‍ය කෘතිය ලෙස ද, 1980 දී හඳයා ළමා චිත්‍රපටයේ කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ගීතය සදහා සරසවි සම්මානයද, 1984 වසරේ දී කලාසූරී සම්මානය ද, 1985 දී හෙළ උරුමය සංවිධානයෙන් ලද කිවිසුරු සම්මානය ද, 1988 දී පලමු පෙළ කලාසූරී සම්මානය සහ 1990 දී හෙළ බස් මිණි සම්මානයෙන් ද අරිසෙන් අහුබුදුවෝ පිදුම් ලැබූහ.

තම දිවියේ වැඩිම කාලයක් දෙස, බස, රැස වෙනුවෙන් ගත කල ඒ වෙනුවෙන් කැපවූ අරිසෙන් අහුබුදු සූරීන් 2011 වසරේ දී මැයි මස 26 වන දින අප අතරින් සමුගත්තේ ය.



Wednesday, May 2, 2018

බිල් ගේට්ස් ගැන කරුණු 10ක්

1)පාසල් යන අවධියේ දී බ්ල් ගේට්ස් විසින් පාසලේ ලමුන් දිනපතා ඉඳගත යුතු ස්ථානය දැන ගැනීමට පරිගණක ක්‍රමලේඛනයක් පාසලට සාදා දුන්නේය. පසුව මොහු මෙය වැඩිදියුණු කලේ පන්තියේ දැකුම්කළු ගැහැණු ලමුන් අසල තමන්ට නිතර වාඩිවී සිටිය හැකි ලෙසටයි.

2)1994 වසරේදී මොහු ඩාවින්චිගේ කෘතියක් (Codex Hammer) ඩොලර් මිලියන තිහකට අධික මුදලක් ගෙවා මිලට ගනියි. පසුව එහි ඩිජිටල් කෘතියක් සාදා තැටිගත කොට ලොව පුරා බෙදාහරියි.

3)ගුවන් ගමන් අතරතුරදී පොරෝනය හිස දක්වාම වසාගෙන නිදාගන්නට කැමැත්තක් දැක්වූ බිල් තමන්ට යම් රටකට යාමට අවශ්‍ය මොහොතවල් වලදී එය ගුවන් ගමන් කාලසටහන් වලට නොපෑහුන නිසා 1997 වසරේදී පෞද්ගලික ජෙට් යානයක් මිලට ගනියි.

4)2005 වසරේදී දෙවන එළිසබෙත් රැජිණ අතින් බිල් ගේට්ස් හට ගෞරවාන්විත නයිට් නාමයක් පිරිනැමුණි. එහෙත් ඔහු ඇමරිකානු වැසියෙක් වන බැවින් තම නම අගට Sir යන ගෞරව නාමය භාවිතා කල නොහැකියි.

5)2007 වසර වන විට බිල් ගේට්ස් ඩොලර් බිලියන 28ක මුදලක් සමාජ සේවා වෙනුවෙන් ආධාර කර ඇති අතර ඉදිරියේ දී තම ධනයෙන් 95%ක් ම ආධාර කිරීමට බලාපොරොත්තු වන බවද පවසයි.

6)2009 වසරේදී කැලිෆෝනියා හිදී මැලේරියා රෝගය ගැන දේශනාවක් අතරතුර ඔහු මදුරුවන් පැමිණ සිටින අය වෙත මුදා හරියි. "දුප්පත් අය විතරක් මේ අත්දැකීම ලබන්න කිසිම හේතුවක් නෑ" යැයි පවසමින් මොහු මෙසේ කරයි. පසුව අනාවරණය වුනේ මෙම මදුරුවන්ගෙන් මැලේරියා බෝ නොවෙන බවයි.

7)කලක් ලොව අංක එකේ ධනවතා ලෙස සිටි බිල් ගේට්ස් පවසන්නේ ඔහු තම දරුවන් උදෙසා වෙන් කරන්නේ එක් එක් අයෙක් සදහා ඩොලර් මිලියන 10ක පමණ මුදලක් බවයි. දරුවන් තමන්ගේ ඉදිරි ගමන ඔවුන් විසින්ම සැලසුම් කරගත යුතු බව ඔහුගේ අදහසයි. ඔහුගේ වත්කම දෙස බලන විට නෙය ඉතා සුළු මුදලකි.

8)ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පිලිකා රෝගයෙන් පෙලෙමින් සිටි අවධියේ දී බිල් ගේට්ස් ඔහු හමුවට ගොස් ඉදිරි ගමන් ගැන කතා කලේය. එහිදී ස්ටීව් ජොබ්ස් වෙත ලිපියක් ලියන බිල් ගේට්ස් පවසන්නේ ඔහු ආරම්භ කල සමාගම ගැනත් ඔහු කල කී දෑ ගැනත් ඔහු ආඩම්බර විය යුතු බවයි. ස්ටීව් ජොබ්ස් මියගිය පසු ඔහුගේ බිරිද කියා සිටියේ බිල් ගේට්ස් ලබා දුන් එම ලියුම තම සැමියා ඔහුගේ ඇඳ අසලම තබාගෙන සිටි බවයි.

9)මිනිසුන්ගේ මලපහ මගින් විදුලිය හා පානීය ජලය නිපදවීමේ යන්ත්‍රයකට මොහු මුදල් යොදවා ඇති අතර එය සාර්ථක වී තිබේ. මිනිසුන් 100,000 දෙනෙකුගේ දිනපතා මලපහ මගින් ජලය ලීටර් 86,000ක් ද විදුලිය කිලෝවොට් 250ක් ද නිපදවිය හැකියි.

10)බිල් ගේට්‍ස් හට මැක්ඩොනල්ඩ් ආයතනය මගින් රන් කාඩ්පතක් පිරිනමා ඇති අතර එමගින් ඔහුගේ ජීවිතය පුරාවට ලොව පුරා මෙම අවන්හලෙන් නොමිලයේ ආහාර පාන ලබාගත හැකියි.

Monday, April 30, 2018

ලාංකීය සිනමාවේ උල්පත ලෙස්ටර්

ස්කොට්ලන්තයේ බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමට හා ලාංකාවේ එස්.එස්.ඩී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල ලෙස්ටර්ගේ පියාට අවශ්‍ය වූයේ ඔහුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු කිරීමටයි. ලෙස්ටර් අධ්‍යාපනය ලද බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධානී පීටර් පිල්ලේ පියතුමාට අවශ්‍ය වූයේ ඔහුව රෝමානු කතෝලික පූජකයෙකු කිරීමටයි. එහෙත් ලෙස්ටර් ඊට එකඟ නොවීය. මුලදී කේසරී නම් ඉංග්‍රීසි පත්‍රයට ඇමරිකානු චිට්‍රපට ගැන ද එක්සත් ජාතික පක්ෂයේ UNP Journal නම් ඉංග්‍රීසි පත්‍රයට ද හේ ලිපි ලිවීය. එකල වයලීන වාදනය ඉගෙන ගන්නා කාලයේ විශාල වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්නෙක් වීමට ලෙස්ටර් සිහින මැව්වේ ය.

ඉංග්‍රීසීන් රට පාලනය කරමින් සිටි අවධියේ ලංකාවේ පලමු කතානාද චිත්‍රපටය ඉන්දියාවේ දී සෑදෙමින් තිබෙන විට ලෙස්ටර් එංගලන්තය බලා පිටත් වෙයි. එහිදී මොහු තම පලමු අධ්‍යක්ෂණ කටයුත්ත සිදු කරයි. මෙය නමින් සොලිලොකියු වන අතර ඒ සදහා බ්‍රිතාන්‍යයේ හොදම කෙටි චිත්‍රපටය සදහා වූ සම්මානය හිමිවුණි. ලෙස්ටර් මෙම චිත්‍රපටය හා සම්මානය රැගෙන ලංකාවට එන විට රේගුව විසින් මේවා රාජසන්තක කලේය. සම්මානයට සරිලන මුදලක් තැන්පත් කල පසු නැවත සම්මානය ලබාගත් බව පැවසේ. ඉන්පසු නැවත එංගලන්තයට ගිය ලෙස්ටර්ව ලංකාවට ගෙන්වා ගන්නේ ලෙස්ටර්ගේ සොලිලොකියු නරඹා තිබූ රැල්ෆ් කීන් ය. ඔහු ඒ වන විට රජයේ චිත්‍රපට ආයතනයේ සභාපති විය.

ලෙස්ටර් රැල්ෆ් කීන්ගේ සහයකයා ලෙස හිඳ 'හෙරිටේජ් ඔෆ් ලංකා' හා 'නෙළුන්ගම' වැනි චිත්‍රපට සම්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ පලමුවැනි ශ්‍රී ලාංකික චිත්‍රපටය ලෙස පිලිගැනෙන 'රේඛාව' සහ රැල්ෆ් කීන්ගේ වාර්තා චිත්‍රපට අතර ඇත්තේ සමීප සමානකම් ය. රැල්ෆ් කීන් තම සේවා කාලය අවසන් කර ලන්ඩන් වලට යයි. එහිදී ඔහු රේඛාව නරඹා ඒ පිලිබඳව ලෙස්ටර්ට ලියුමක මෙසේ ලියයි;

 "මම ඔබේ රේඛාව බලනකොටයි මට හිතුනේ අපේ නෙළුන්ගම කොච්චර ආධුනික වැඩක් ද කියලා"

රේඛාවෙන් පසු ලෙස්ටර්ගේ දෙවෙනි චිත්‍රපට කටයුත්ත වූයේ සංදේශය (1960) චිත්‍රපටයයි. එකල ලක්ෂ එකහමාරකින් පමණ චිත්‍රපටයක් මනා ආකාරයෙන් නිමැවිය හැකි කාලයක සංදේශය සදහා ලක්ෂ පහක පමණ මුදලක් වැයවේ. මෙය එකල දැවැන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය කැරලි නායකයාගේ චරිතා සදහා ආනන්ද ජයරත්න රඟපෑ අතර ඔහුගේ සහයක ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑහ.

සාමාන්‍ය මිනිසුන් භික්ෂූන් වහන්සේලාගේ චරිතය රඟපෑම හේතුකොටගෙන එකල ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සංදේශය තහනම් කලේය. මේ පිලිබඳව ගාමිණී ෆොන්සේකා පූජ්‍ය මාපලගම විපුලසාර හිමිට සැල කර අතර උන්වහන්සේ ඇතුලු විසිපස් නමක් සංදේශය චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නරඹා සියලු දෙනාගේ අත්සන් ඇතිව තහනම ඉවත් කරන ලෙස පවසා සංස්කෘතිය ඇමතිවරයා වෙත පෙත්සමක් යැවීය. එයින් සංදේශයේ තහනම අහෝසි විය.

සංදේශය අන්තර්ජාතික චිත්‍රපට උත්සව කිහිපයකදී ලංකාව නියෝජනය කලේය. එයින් එක් උත්සවයක් වූ චෙකොස්ලොවැකියාවේ කාලෝවිවේරි චිත්‍රපට උලෙලේ දී සංදේශයේ දර්ශන, අධ්‍යක්ෂකගෙන් හෝ නිශ්පාදකගෙන් අවසරය නොගෙන කප්පාදු කර චිත්‍රපටයේ අර්ථයට හානි වෙන අයුරින් ප්‍රදර්ශනය කෙරූ නිසා ලෙස්ටර් එම උලෙලෙන් ඉවත් විය.

ලෙස්ටර්ගේ 12 වෙනි චිත්‍රපටය වූයේ අහසින් පොළොවට චිත්‍රපටයයි. මෙය අයිලීන් සිරිවර්ධනගේ පලමු නවකතාව වන අතර එය චිත්‍රපටයකට සුදුසු යැයි ලෙස්ටර්ට යෝජනා කරන්නේ සරච්චන්ද්‍රයන් විසිනි. රුක්මණී දේවිය ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑ පලමු හා අවසන් අවස්ථාව මෙම චිත්‍රපටය වන අතර ඇයට මෙම චිත්‍රපටය නැරඹීමට ද නොහැකි විය. මෙම චිත්‍රපටය තුන්වන ලෝකයේ හොදම චිත්‍රපටය ලෙස ඊජිප්තුවේ කයිරෝ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ දී සම්මාන ලැබීය. මෙම සම්මානය පිලිගැනීමට එහි යන්නේ අහසින් පොලොවට චිත්‍රපටයෙහි සරත් දොස්තර මහතාගේ චරිතයට පණ පෙවූ ටෝනි රණසිංහයි.

ලෙස්ටර් විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගන්නට වෑයම් කල විට වික්‍රමසිංහයන් පැවසුවේ ඒ සදහා රෝහිණී නවකතාව වඩා උචිත බවයි. එහෙත් ලෙස්ටර් ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගැනීම ගැන දැඩිව සිටි අතර රෝහිණී නවකතාව චිත්‍රපටයකට නැගුවේ නැත. මාර්ටින් වික්‍රමසිංහගේ තවත් නවකතාවන් කිහිපයක් (මඩොල් දූව, කලියුගය හා යුගාන්තය) ලෙස්ටර් අතින් චිත්‍රපට ගත කෙරුවත් රෝහිණී එසේ නොවුණි. ඉතා සාර්ථක වූ ගම්පෙරළිය චිත්‍රපටය 1965 වසරේ ජනවාරි මස ඉන්දියාවේ නවදිල්ලි හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකදී සම්මාන දෙකකට පාත්‍ර විය.

ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයක් වූ බැද්දේගම චිත්‍රපටයේ රඟපෑම සදහා එකල ප්‍රකට විද්‍යාඥයෙකු වූ ආතර් සී ක්ලාක් එක් විය. ඒ ඉංග්‍රීසියෙන් අසන බැද්දේගම නඩුවේ සුදු ඒජන්තවරයාගේ චරිතයට පණ පෙවීමටයි.


එක්සත් ජාතික පක්ෂයේ රජයේ මන්ත්‍රීවරයෙක් ව සිටි ටිරෝන් ප්‍රනාන්දු ට පුරන් අප්පු චරිතය අළලා චිත්‍රපටයක් කිරීමට උවමනාව තිබුණි. මීට හේතු වූයේ පුරන් අප්පු ටිරෝන්ගේ මව් පාර්ෂවයෙන් පැවත එන ලේ ඥාතියෙකු වීමයි. මුලදී මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයේ ඇරයුම යන්නේ මණික් සන්ද්‍රාසාගරට ය. ඔහු එය ප්‍රතික්ෂේප කරයි. එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ "ටිරෝන්ගේ අභිප්‍රාය පුරන් අප්පුව මොරටු වීරයෙක් කරන්නයි" යනුයි. අවසානයේ ලෙස්ටර් ටිරෝන්ගේ මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස්ටර් භාර ගනියි.

1937 වසරේදී දහ අට හැවිරිදි ලෙස්ටර් කවි පොතක් ලියා මුද්‍රණය කරවයි. මෙය නමින් 'The Cathedral and a Star' වේ. පිටු 18 කින් යුත් මෙම කෘතියේ ලෙස්ටර් විසින් ලියූ කවි 25ක් අඩංගු වේ. පසුව ඔහු විසින්ම මෙම කෘතිය ගිනි තබා විනාශ කරයි. වරක් ඒ මන්දැයි ඇසූ විට ලෙස්ටර් සිනහමුසු මුහුණින් පවසා සිටියේ "සේරම එළිවෙනවනේ" කියාය.

මෙම යෞවන කවියා හට තම කවි පොතෙහි පිටපතක් ජවහර්ලාල් නේරුතුමාට පිලිගන්වන්නට අවස්ථාව උදා විය. ඒ තම පියා මාර්ගයෙනි. නේරු ලංකාවට පැමිණ නැවතී සිටියේ බම්බලපිටියේ පිහිටි දමිළ ප්‍රභූ නිවසකය. මෙම ප්‍රභූවරයා ලෙස්ටර්ගේ පියාගේ මිතුරෙකි. නේරුද සාහිත්‍යයට ලැදි අයෙක් බව දන්නා නිසා පුතුගේ කවි පොත පිලිගැන්වීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. එය සථල විය.

ලෙස්ටර් විසින් වෘත්තාන්ත චිට්ග්‍රපට විස්සක් තනා ඇති අතර එක් ඉංග්‍රීසි භාෂිත වෘත්තාන්ත චිත්‍රපටයජ් තනා ඇත. එය 1976 දී එළිදැක්වුණු 'The God King' චිත්‍රපටයයි.

බොහෝ සිනමාවේදීන් එක් තේමාවක් හෝ තේමාවන් කිහිපයකට සීමා වී තම නිර්මාණකරණයේ යෙදුනත් ලෙස්ටර් තම හැකියා ප්‍රයෝජනයට ගනිමින් නොයෙක් තේමාවන් ඔස්සේ නිර්මාණකරණයෙහි යෙදුනේ ය.

ප්‍රංශ රජය විසින් මෙම මහා සිනමාවේදියාට ' Comander of Arts and Lester' සම්මානයෙන් ද කෑන්ස් චිත්‍රපට උළෙලේ දී 'ෆෙඩ්‍රිකෝ ප්ලිනි' ගෞරව සම්මානයෙන් ද ඉන්දීය රජය විසින් 'යාවජීව කර්තව්‍ය' සම්මානයෙන් ද 1966 දී මෙක්සිකෝවේ අකපුල්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී 'Golden head perlank' සම්මානයෙන් ද පිදුම් ලැබීය. පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලෙස්ටර් හිමි කරගෙන තිබෙන අතර ඔහු ලංකාවේදී ලැබූ සම්මාන අති විශාලයි. ඒ අතර ලාංකිකයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන 'ශ්‍රී ලංකාභිමාන' සම්මානය ද වීම විශේෂයි.

 2007 දී 'අම්මාවරුනේ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර මොහු සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගනියි. පසුගිය අප්‍රේල් 29 වන දින ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා කලාකරුවා ලොව සිටි වයස්ගතම සිනමාවේදියා වෙමින් 99 වසරක් ආයු වැද මෙලොවෙන් සමු ගනියි. ඔබට සුබ ගමන්!


ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...