Wednesday, June 13, 2018

සිංහල සිනමාවේ හියුගෝ සළකුණ

ගෙවල් අලුත්වැඩියා කරන පේදුරු බාස් උන්නැහේගේ සහ ගමේ කොහු මෝලේ කොහු අඹරන්නියක්ව සේවය කළ එළිසබෙත්ගේ එකම පුත්‍රයා ඌගෝ සිංඤෝ ය. ඔවුන්ට මාර්තා මරියා නම් තව ලාබාල දියණියක් ද විය. දිනක් පේදුරු බාස් උන්නැහේ පලංචියෙන් වැටී දකුණු කකුලත් දකුණු අතත් බිඳීම නිසා ඔහුට එතැන් පටන් ඇදේම කාලය ගත කරන්නට සිදුවිය.

පියාගේ පෙර දෛනික වැටුප සත 60 කි. මවගේ සත 20 කි. දැන් මවගේ සත විස්සෙන් කෙසේ හෝ කා බී පියාට සාත්තු සප්පායම් කරමින් සිටිය යුතුය. මේ නිසා පවුල වැටුනේ දරුණු ආගාධයකටයි. දිනක් ඌගෝ තම මව වැඩකරන කොහු මෝලේ ලණු අඹරන මැෂිමේ රෝදය කරකැවීමට ගියේය. එදින ඔහුට ඒ සදහා සත 25 ක මුදලක් ලැබුණි. මෙයින් ඉහේ මලක් පිපුනා වැනි හැගීමකට පත් වූ ඌගෝ පාසල අතහැර කොහු මෝලේ වැඩට යාමට ඉටා ගත්තේය. මේ වන විට ඔහු සිටියේ හත වසරේය. පවුල වැටී ඇති තත්වය නිසා මවගෙන් එයට අකමැත්තක් පැමිණියේ නැත. දක්ෂ දරුවෙක් නිසා ඌගෝව පාසලෙන් අයින් කිරීමට ගුරුතුමාවත් පියතුමාවත් කැමති නොවූ නමුත් ඌගෝ තම මතයේ දැඩිව සිටියේය.

හියුගෝ ප්‍රනාන්දු
කොහු මෝලේ දිනකට සත 30 රස්සාවක් කරගෙන සිටි ඌගෝට එය වැඩි කාලයක් කරගෙන යා හැකි වූයේ නැත. මන්ද ඊට වසර හතරකට පසු කොහු මෝල වසා දැමුණු බැවිනි. මීගමුවේ ජීවත්ව සිටි ඌගෝ ඉන්පසු ත්‍රිකුණාමලය ගියේ ධීවර රැකියාව කිරීමටයි. එහෙත් ඔහු එහිදී වැඩිමනක් කලේ බත් තැම්බීම යි. කොළඹ, දෙමළ උගන්වන ගුරුවරයෙකු ඌගෝ ව කොළඹට රැගෙන ගියේ ඔහුර ඉංග්‍රීසි අරමුණක් ලබා දෙමිනි. එහෙත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාට අමතරව ඌගෝට එහිදී සිදුකල යුතු වූයේ බත් තැම්බීමයි. ඌගෝ නම කොළඹට එතරම් ඔප නැති නිසා ඔහුට හියුගෝ යන නම දැමුවේ මේ දෙමළ මාස්ටර් ය.

මේ වන විට හියුගෝ වයස අවු 16 ක ඉලංදාරියෙකි. ඔහු මාරුවෙන් මාරුවට රැකියා කිහිපයක් කළත් ඔහුට එයින් වුන සෙතක් නැත. නිසි අධ්‍යාපනයක් ද ඔහු නොලැබූ නිසා මේසන් බාස් කෙනෙක් කිරීමට මව ඉටා ගත්තේය. එකල මේසන් බාස් කෙනෙකුගේ දෛනික වැටුප සත 75 කි. ඒ අනුව හියුගෝව මේසන් බාස් කෙනෙකු යටතේ වැඩට යැව්වේ මේසන් වැඩ ඉගෙන ගැනීනමට යි. මේසන් බාස්ලා යටතේ ඔහු වසර අටක් සිටි අතර හියුගෝ ඉගෙනගත් මේසන් වැඩක් නැත. ඔහුට වැටුපක් ලැබුනේ ද නැත. නත්තලට, පාස්කුවට හා පල්ලියේ මංගල්‍යයට පමණක් රුපියල් 10 බැගින් ලැබුණි. හියුගෝ එහිදී ද කලේ බාස්ලට බත් තැම්බීමයි. මෙය සිදු වූයේ ඔහුගේම හොදකටයි. ඔහුට එසේ මේසන් වැඩ ඉගෙන ගැනීමට හැකිවූවා නම් ඔහු පසුකලෙක හියුගෝ මේසන් බාස් මිස හියුගෝ මාස්ටර් නොවන නිසාය.

හියුගෝ ගේ නිවසට ගෙවල් කිහිපයක් එහායින් සිටි මලතියස් මාස්ටර් දක්ෂ සර්පිනා වාදකයෙකි. ඔහු තම සර්පිනාව වාදනය කරන සෑම විටම කුඩා හියුගෝ ඒ අසලට වී එයට හොදින් ඇහුම්කන් දී සිටියි. මඩු වන්දනාවේ යන ගමන් ඔහු 'මවුත් ඕගන්' එකක් දැක එයට ආසා වී මවගෙන් එය මිලදී ගැනීමට මුදල් ඉල්ලුවේය. එහෙත් මුදල් අගහිඟ කමින් පෙළුණු නිසා එයට මව අකමැති වුවත් පියා ලවා මවව කැමති කරවාගෙන මවුත් ඕගන් එකක් ලබා ගත්තේය. ඉන්පසු හියුගෝ ගේ සිත ගියේ මැන්ඩලීනය වෙතයි. ඒ සදහා සුමානෙකට සත පනහ බැගින් එකතු කර රුපියල් 32 ක් දී ඔහු ජපන් මැන්ඩලීනයක් මිලට ගත්තේය.

වැඩිකල් යාමට මත්තෙන් හියුගෝ මැන්ඩලීන වාදනයේ දක්ෂයෙක් බවට පත්විය. ඒ නිසා විවිධ සාජ්ජ වලට සංගීතය සැපයීමට ඔහුට හැකියාව ලැබුණි. මුල්ම කාලයේ ඔහු වාදනය කල සර්පිනාව සාජ්ජ වලදී වාදනයට ගත්තේ කුලියටයි. එහෙත් එක් සාජ්ජයකදී එයට දිය යුතු කුලිය ගෙවීමට පරක්කු වීම නිසා හියුගෝට එය ලබා දීමට අයිතිකාරයා අකමැති විය. එහෙයින් ඔහු එකතු කරගත් සල්ලි වලින් සර්පිනාවක් මිලදී ගත්තේය. එකල එය රුපියල් 35 කි. 1934 වසරේ දී 'රාජසිංහ ලීලා' නාට්‍ය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය විය. මෙහි සර්පිනා වාදනය සදහා හියුගෝ සම්බන්ධව සිටීම නිසා ඔහු දැන් සර්පිනා වාදකයෙක් ලෙස තරමක් ප්‍රසිද්ධව සිටියේය.


බිරිඳ සමග

1935 වසරේ දී මේ කොලු ගැටයාගේ වයස 23 කි. බඳින වයසත් හරිය. හියුගෝගේ මව විසින් ඔහුට මනාලියන් හය දෙනෙක් පමණ කතා කරත් ඔවුන්ට හියුගෝ කැමැත්ත දුන්නේ නැත. එහෙත් අවසානයේ හලාවත බණ්ඩාරවත්ත ගමෙන් ඔහුට තම ජීවන සහකාරිය මුණගැසුණි.

1939 අවසාන කාලය වන විට ඇලෝයි ජයමාන්න විසින් නාට්‍ය නිශ්පාදනය පටන් ගෙන තිබුණි. ඔහු නිපදවූ මුල්ම නාට්‍ය 'භයානක පොරොන්දුව' නම් විය. එකල ප්‍රකට නාට්‍ය ශිල්පීන් දම්මවා මෙම නාට්‍ය පෙන්වුවද එය බංකොලොත් විය. එහෙත් ඔහු එයින් නොසැලී දෙවෙනි වරට 'මිනර්වා ක්ලබ් ඇමිචුවර්ස්' නමින් නාට්‍ය සංගමයක් පටන් ගත්තේය. මේ සදහා අවශ්‍ය නළු නිළියන් තෝරාගත්තද සංගීත ශිල්පියෙකු සොයා ගත නොහැකි විය. හියුගෝ ප්‍රනාන්දු  මේ සදහා සම්බන්ධ වන්නේ මෙතැනිනි.

එකල මීගමුවේ ප්‍රසිද්ධ ධානපතියෙකු වූ ඒ.ඊ. රාජපක්ෂ වාසල මුදලිතුමා අභාවප්‍රාප්ත වී සතියකට පසු ඔහු ගැන 'අවතාරය' නමින් නාට්‍යයක් මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ දී පවත්වනු ලැබුණි. හියුගෝ විසින් මුදලිතුමා උදෙසා උපහාර ගීයක් ඉදිරිපත් කරනු ලැබීය. මෙම නාට්‍යය එදින රඟ දැක්වූයේ එම විදුහලේ ක්‍රීඩාංගනය ඉදිකිරීමට ආධාර පිණිසයි. 'අවතාරය' නාට්‍යයේ දෙවෙනි දර්ෂණය දින වර්ෂාව නිසා වැඩි ආදායමක් නොලැබුණත් හියුගෝට එදින රු. 4 ක ආදායමක් ලැබුණි.
එඩී රුක්මනී සමග

එකල 'බුද්ධ ගයා විහාරේ' ගීතය ගයා රුක්මනී දේවි ජනප්‍රියත්වයට පත්ව සිටියේය. මිනර්වා නාට්‍ය කණ්ඩායම රුක්මණීව ගීත ගැයීම සදහා යොදාගත්තේය. මේ බව දැනගත් මෙම කණ්ඩායමේ සිටි එඩී ජයමාන්න විසින් හියුගෝට පවසා සිටියේ රුක්මනී ගීත ගායනා කරන විට සංගීතය වැරැද්දුවහොත්  සෙනඟ ඉදිරියේම සංගීත අධ්‍යක්ෂකවරයාගේ ඇඟට කඩා පනින බවයි. මෙය එඩීගේ ලණුවකි. හියුගෝ එයට අහුවිය. එහෙයින් රුක්මනී එන විට හියුගෝ තැති ගෙන සිටියේ තමා අතින් කුමක් හෝ වරදීවි කියාය. නාට්‍ය කණ්ඩායමේ සංදර්ශනයක් සදහා රුක්මනී පැමිණි පසු ඇය ගීත දෙකක් ගායනා කළාය. පැමිණි සිටි සෙනඟ කෑ ගසමින් කියා සිටියේ බුද්ධ ගයා විහාරේ ගීතය ගායනා කරන ලෙසයි. එවිට රුක්මනීගේ පියා හියුගෝ ලඟට පැමිණ "මාස්ටර් බුද්ධ ගයා විහාරේ ගීතය ගායනා කරන්න පුළුවන්ද?" යැයි ඇසීය. හියුගෝ මීට පෙර එම ගීතය වයා නැතිවුවත් එය වයන්නම් යැයි කීවේය. එය වයා අවසානයේදී රුක්මනීගේ පියා හියුගෝ ලගට විත් අතට අත දී "රූපසිංහ මාස්ටර්ගෙන් පස්සෙ මාස්ටර් විතරයි රුක්මනීගේ සිංදුවට හරියට මියුසික් දුන්නේ" යැයි පැවසුවේය.

'කඩවුණු පොරොන්දුව' නාට්‍ය කරමින් සිටි කාලයේ දී හොයුගෝගේ කටේ දතක් නරක් විය. එය ඉවත් කර ගැනීමට රෝහල වෙත ගියේය. ගැලවූ දතේ මුල් පැත්තකට නැවී තිබීම නිසාවෙන් හියුගෝ අසාධ්‍ය තත්වයකට පත්විය. ඔහු දින ගණනාවක් රෝහල් ඇදේ ගත කලේය. නමුත් පසු දින කොළඹ නගර ශාලාවක කඩවුණු පොරොන්දුව නාට්‍යයට සංගීතය තමන් සැපයිය යුතු නිසා තමන්ගේ පියා හදිසියේ මියගිය බව වෛද්‍යවරුන්ට පවසා රෝහලෙන් පැන සංගීතය සැපයීමට ගියේය. නමුත් ඔහුගේ පියා මියගියේ ඊට බොහෝ කලකට පෙරයි.
ධීවරයෝ චිත්‍රපටයේ


එච්.එම්. නායගම් මහතාට සිංහල චිත්‍රපටයක් කිරීමේ උවමනාව තිබුණි. ඔහු මිනර්වා නාට්‍ය කණ්ඩායමේ කඩවුණු පොරොන්දුව නාට්‍ය චිත්‍රපටයකට ගැනීමට තීරණය කලේය. මේ සදහා ඇලෝයි ජයමාන්නත් කැමති වූ නිසා ඔවුන් සියලු දෙනා ඉන්දියාව වෙත ගියේ චිත්‍රපටය රූගත කිරීම සදහායි. මෙම චිත්‍රපටයට නාරායන අයියර්ගේ තනු වලට හියුගෝ විසින් ගීත රචනා කලේය.

කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පසු මිනර්වා නාට්‍ය කණ්ඩායමට නරක කාලය උදාවිය. නාට්‍ය නැරඹීමට පැමිණෙන සෙනඟ ක්‍රමක්‍රමයෙන් අඩු විය. දිනෙන් දින ඔවුන් පාඩු ලබන තත්වයට පත් වූයේය. මේ නිසා හියුගෝ අලුතින් පටන්ගත් 'සිරිලක් ලිමිටඩ්' නම් වූ නව නාට්‍ය සංගමයට එක්විය. මෙයට හියුගෝව ඔවුන් බඳවා ගත්තද සැලකිය යුතු මුදලක් ඔහුට ලැබුනේ නැත. එයට එක් හේතුවක් වූයේ නාට්‍ය සංගමය අලුත් එකක් හා එයට එක් නාට්‍යයක් පමණක් තිබූ නිසාය. තවත් හේතුවක් වූයේ මහජනතාව අතර හියුගෝගේ නම එතරම් ජනප්‍රිය වී නොතිබීමයි. මෙතෙක් මිනර්වා නාට්‍ය සංගමයෙන් බිහිකල නාට්‍යවල සංගීත අධ්‍යක්ෂකවරයා අති දක්ෂයෙක් බව කවුරුත් දැන සිටියේය. එහෙත් ඔවුන් හියුගෝව දැන සිටියේ නැත. මන්ද මෙම නාට්‍ය සංගමයෙන් බිහිකල නාට්‍ය වල දැන්වීම් සදහා ඇලෝයි ජයමාන්නගේ සහ ජනප්‍රිය නළු නිළියන්ගේ නම් පමණක් ඇතුලත් කල අතර හියුගෝ ගේ නම ඇතුලත් නොකල බැවිනි. සංගීත අධ්‍යක්ෂකවරයා තමා බව දැන්වීම් වල දක්වන්න යැයි හියුගෝ ඇලෝයිට පැවසූ විට ඔහු එය ඉවත දැමුවේ "ගීත ප්‍රබන්ධයටයි සංගීත සපයනවටයි තමුසෙට සල්ලි ගෙවන නිසා තමුසෙට වෙන අයිතියක් නෑ." යැයි කියමිනි.
සරසවිය රණතිසර සම්මානය දිනූ පසු හියුගෝ මාස්ටර් එවකට සරසවිය පුවත්පතේ සේවය කළ සුසිල් ජිනප්‍රිය,කර්තෘ ධුරය දැරූ ඒ.ඩී.රන්ජිත් කුමාර,අරුණ ගුණරත්න සහ ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොල සමග

හියුගෝ විසින් 'මයි ඩෝඩර්' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් සිටි කාලයේ එනම් 1948 අගභාගයේ දී ඔහු ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතාගේ නැටුම් කණ්ඩායමේ සර්පිනා වාදකයෙකු ලෙස වරින්වර කටයුතු කලේය. මෙහි සංදර්ශනයක් නැරඹීමට පැමිණි රටේ විශාල නමක් ලබා තිබුනු රූපසිංහ මාස්ටර් සංදර්ශනයෙ පසු හියුගෝ හමුවට පැමිණ "මේ ළමයා හොදට සෙල්ලම් කෙරුවා. මගෙ ගෝලයෝ එක්කත් හොදට සෙල්ලම් කෙරුවා දැක්කා. මේ ළමයා ගැන විශේෂ ආදරයක් ඇති වෙන්ඩ හේතුව මේ ළමයගෙ නිහතමානීකම. හුඟදෙනෙක් කියනවා මම ආඩම්භරයි කියලා. ඔව් මම එච්. ඩබ්ලිව්. රූපසිංහ. එදා ඉදන්ම මට ඒක තිබුනු දෙයක්. මට දැන් ඒක නැතිකරන්ඩ බෑ ඉතින්. මම මේ ළමයට දෙන අවවාදය තමයි මේ නිහතමානීකම අවසානය දක්වාම ආරක්ෂා කරගන්ඩ. මේ ළමයගෙ අනාගතය හුගාක් දීප්තිමත්." යැයි කියා සිටියේය.

හියුගෝ මී පුර කලා සංගමයේ 'ගැහැනු හිත' හා 'ගෙදර හටන' නාට්‍ය සදහා සංගීතය සැපයීය. 1950 වනතුරුත් නාට්‍ය කරගෙන ආ මෙම සංගමට නාට්‍ය කිරීම නවත්වා දැමීමට සිදු වූයේ චිත්‍රපට විසින් නාට්‍ය ගිල ගැනීම නිසාවෙනි. හියුගෝ, නායගම්ගේ 'බණ්ඩා නගරයට පැමිණීම' චිත්‍රපටයට සංගීතය සැපයූවා පමණක් නොව එහි අන්ධ ගායකයෙකුගේ චරිතයටත්, පාසල් ගුරුවරයෙක්ගේ චරිතයටත් තවත් සුලු චරිතයකටත් පණ පෙවීය.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ 'හෙට්ටියා'ගේ චරිතයට රඟපා තිබූ නිසාද 'පේම තරඟය' චිත්‍රපටයේ 'වල්පොල මුදලාලි' චරිතයට පණ පෙවීය. එපමණක් නොව ඔහු එහි සංගීතයද සැපයීය. 1953 දී හියුගෝ සිරිසේන විමලවීරගේ 'සරදියෙල්' චිත්‍රපටයට සංගීතය සැපයීය. ඔහු මීට පෙර විමලවීරගේ 'පිටිසර කෙල්ල' චිත්‍රපටයටද සංගීතය සපයා තිබුණි. සරදියෙල් චිත්‍රපටයේ සංගීතයට බොහෝ විවේචන විය. එයට හේතු වූයේ විමලවීරගේ මුදල් හිඟකමයි. ඒ නිසා ඔහු සංගීත සැපයීමට බොහෝ කප්පාදු සිදු කලේය. මේ නිසා එයින් පසු සියලුම පහසුකම් නොමැතිව කිසිදිනෙක චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණයට නොබසින බව හියුගෝ තදින්ම සිතා ගත්තේය.
සරසවිය සම්මානයට පාත්‍ර වූ මොහොත

මෙසේ චිත්‍රපට බොහොමයක් සදහා ගීත රචනයෙන්, රඟපෑමෙන්, දෙබස් සහයෙන් හා අධ්‍යක්ෂණයෙන් හියුගෝ සහය විය. ඒ අතර 'අහංකාර ස්ත්‍රී', 'මාතලන්', 'සූරයා', 'වීර විජය', 'අදට වැඩිය හෙට හොදයි', 'ධීවරයෝ', 'සූර චෞරයා', 'සිංගප්පූරු චාලි', 'හිත හොද මිනිහෙක්', 'රජගෙදර පරවියෝ', 'හරියට හරි', 'චිං චිං නෝනා', 'මරුවා සමග වාසේ', 'මුවන් පැලැස්ස 1,2,3', 'තක්කිට තරිකිට', 'අලි බබා සහ හොරු හතලිහ' ආදිය විශේෂ වේ.

හියුගෝ දේශපාලනය සදහා සම්බන්ධ වූයේ චිත්‍රපට සංස්ථාව බිහි වූ කාලයේදී යි. චිත්‍රපට සංස්ථාව ඇරඹීමට එකල සිරිමාවෝ බණ්ඩාරණායක කැමති වූ අතර ඇය කියා සිටියේ ඒ සදහා ඇයට මැතිවරණ කටයුතු වලදී සහය විය යුතු බවයි.

සිංහල සිනමාවේ පලමු පසුබිම් ගීත රචකයා හියුගෝ මාස්ටර් ය. ඔහු චිත්‍රපට ගීත වලට අමතරව කිතුණු ගීත විශාල ප්‍රමාණයක් ලියා ඇත. ඔහු ලියූ ගීත අතර 'හද ගලවාලා දෙනවා කියාලා අප රවටා', 'ජීවිතයේ සාමේ දේමේ ගීතේ සාරා', 'ලපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ, 'තක්කිට තරිකිට උඩපැන නටන්න හිතුනා', 'සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා', 'හෝ හඬදී බැසයන ගංගා', 'ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ', 'ලෝකය පෙරැලෙයි කාලෙ ගෙවී යයි මරුව ලගා වෙනවා' ගීත විශේෂ වේ.

හියුගෝ මාස්ටර් දක්ෂ නළුවෙකි. දක්ෂ දෙබස් රචකයෙකි. දක්ෂ සංගීත රචකයෙකි. දක්ෂ සංගීත ශිල්පියෙකි. ඔහු කඩවුණු පොරොන්දුවට ගීත ලියන විට පසුබිම් සංගීත කලාවක් ලංකාවේ තිබුනේ නැත. එනිසා එය කුමන ස්වරූපයකින් තිබිය යුතුද යන්න ඔහුම තීරණය කල යුතු විය. ඔහු චිත්‍රපට නළුවෙක් වන විට රඟපෑම කුමන අයුරින් සිදුවිය යුතුද යන්නත් ඔහුම තීරණය කල යුතු විය. ඔහුගෙන් පසු නළු නිළියන්ව කැමරාවට හුරු කිරීමේ වගකීම පැවරුණේද මොහුටයි. ඔහු දෙබස් රචනයට පිවිසෙන විට ලංකාවේ දෙබස් රචනය තිබුනේ ළදරු අවධියකයි. එහෙයින් එයත් කෙසේ විය යුතුදැයි ඔහුම තීරණය කල යුතු විය. මේ නිසයි ඔහු සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක් වන්නේ.


15 comments:

  1. හියුගෝ චාවේස් කිව්වා බයිලා
    ඔහෙලා අපෙන් පැවතෙනවා කියලා
    චෑ චෑ පට්ටම පල්බොරු ඕවා
    වනසත්තු අපි නැවිබත් කොරලා

    ReplyDelete
  2. හියුගෝ මාස්ටර් මිගමුව මිගොමුව කියලා නම වෙනස් කරන්න ලොකු උත්සාහයක් ගත්තා. හියුගෝ මාස්ටර් මමත් අගයකරනා උත්සාවන්ත හා වාසනාවන්ත උදාර මිනිහෙක්. හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මීගොමුව කරන්න හේතුව මොකක්ද දන්නෑ...

      Delete
    2. මී ගොමුව තමයිලු මීගමුව වුනේ කියන්නේ. මටමතක විදිහට විහාරමාහා දේවියට ඇතිවුනු දොලදුකක් තමයි මි පැනි කන්න. එහෙම මොකක් හරි හේතුවකට වෙන්න ඇති මී ගොමුව කියනනේ. මට හරියටම කතාව ෂුවර් නෑ හොයලා බලන්න ඔේ.

      Delete
  3. වැදගත් ලිපියක් මල්ලී.

    පනිවිඩයක් තියෙනවා. මට කෝල් එකක් දෙන්න.
    ජයවේවා!!!

    ReplyDelete
  4. අනිත් හැකියාවන්ට අමතරව අති විශිෂ්ඨ විකට නලුවෙක්.

    ඌගෝ හියුගෝ දෙකම එකයි නේද?
    ඉතාලි වගේම සමහරවිට පෘතුගීසි වර්ෂන් එක ඌගෝ වෙන්න ඇති. ගමේ කියන්නෙ ඌගෝ වෙන්න ඇතිනේ. ජෝසෆ් , ජුසේ වගේ

    "Ugo" is the Italian form of " Hugo" and "Hugh", a widely used name of Germanic origin. For the history and etymology of the name, see Hugh (given name). It is also a Nigerian Igbo first name.
    https://en.wikipedia.org/wiki/Ugo

    ReplyDelete
    Replies
    1. //The form "Joseph" is used mostly in English, French and German-speaking countries. In Persian the name is called "Yousef". In Spanish the name is called "José". In Arabic, including in the Qur'an, the name is spelled يوسف or Yūsuf. //
      https://en.wikipedia.org/wiki/Joseph

      Delete
    2. මටත් ඕක හිතුනා... හැබැයි ගෙදර අය නම දාලා තියෙන්නේ ඌගෝ කියලා... හියුගෝ ජීවත්වෙලා ඉන්න කාලෙදිම ලිව්ව පොතකින් තමා ඒ විස්තරේ ගත්තේ... (හියුගෝ ප්‍රනාන්දු සහ සිංහල සිනමාව - මාර්කස් ඩයස්)

      Delete
    3. ඔව්. නම දාන්නෙ ඒ අය භාවිතා කරන විදිහටනෙ. පාවුලු වගේ ( පෝල් )
      පෘතුගීසි / ලන්දේසි කාලෙ ඉඳංම කටට හුරු විදිහටනෙ දැම්මෙ. ගැස්කොන් = දස්කොන්, ග්‍රෙගෝරියස්= ගිරිගෝරිස් (ඉන්ග්‍රීසි "ග්‍රෙගරි"ට කලින් ලන්දේසි/ලතින් වර්ශන් එක වෙන "ග්‍රෙගෝරියස්" ලංකාවෙ තිබුනා), ඇන්ඩ්‍රියස් = අන්දරේ, කෝර්නේලියස් = කොරනේලිස්,

      මිතිලට නම් ගැන පෝස්ට් එකක් කරන්න පුලුවන්

      Delete
    4. නම් ගැන පෝස්ට් එකකට නම් මමත් කැමතියි... විස්තර හොයලා ලියන්න ඕනෙ ඒ ගැනත්... ස්තූතියි ප්‍රා.ජේ...

      Delete
  5. හරිම වටිනා ලිපියක් ...

    ReplyDelete

දෙවියන්ගේ මිනිස්සු - ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

අපට කුඩා කල උගන්වා ඇත්තේ මිනිසෙකු උපතින් ගැහැණු හෝ පිරිමි වන බවයි. එහෙත් සමහර පිරිමි දරුවන් කලක් ගත වන විට ගැහැණු ලක්ෂණ ද සමහර ගැහැණු දරුවන්...