Saturday, February 25, 2017

බයිබලයෙන් එහා - 3 ( කුරුසිපත් කිරීමේ ඉතිහාසය )


කුරුසිපත් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෲර දඬුවම් ක්‍රමයකි. මෙම ක්‍රමය ලොව පුරා වඩාත් ප්‍රචලිත වූයේ ජේසුස්වහන්සේවත් මෙසේ කුරුසිපත් කිරීම නිසාවෙනි.

 1 Darius ( ක්‍රි.පූ. 522 - ක්‍රි.පූ. 486 ) රජුගේ කාලයේදී බැබිලෝනියාවේ නගරයක් පර්සියානු ආධිපත්‍යට පිටුපා ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුවේ ය. මෙය සිදු වූයේ ක්‍රි.පූ 522 - ක්‍රි.පූ. 521 අතර කාලයේදී ය.  Darius රජු මෙම නගරය නැවත අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කලේ ය. ඒ අනුව පර්සියන් වරු එම නගරයට පහර දුන්නේ ය. නගරයේ අයවලුන් නගරයේ දොරටු මාස 19ක් පුරාවට රැකගෙන සිටියත් පර්සියන්වරු අවසානයේ නගරයේ දොරටු හා බිත්ති බිඳ දැමුවේ ය. හෙරඩෝටස්ගේ ( ඉතිහාසයේ පියා ලෙස හැදින්වේ) වාර්තා අනුව Darius රජු මෙම නගරයේ ඉහල තනතුරු වල සිටි 3000 පමණ පිරිසක් කුරුසිපත් කරන ලදි. මන්ද මෙවැනි කැරලි කෝලහාල වලට දඩුවම එය බව දැන්වීමටය.



 ක්‍රි.පූ. 332 දී මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් Tyre ආක්‍රමණය කලේ ය. ඒ වන විට පර්සියන්වරු මෙම නගරය නාවික කටයුතු සඳහා මූලස්ථානයක් ලෙස යොදාගත්තේ ය. ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදාවට ජනවාරි සිට ජූලි දක්වා කාලයක් මෙම නගරය අල්ලා ගැනීමට ගියේ ය. පර්සියන්වරු මෙම නගරය අල්ලා ගත් පසු 6000 පමණ මිනිසුන් එදින ඝාතනය කල බව සදහන් වේ. මෙයින් 2000 පමණ මිනිසුන් මුහුදු වෙරලේ කුරුසිපත් කල බව සදහන්.

 පුරාණ රෝමයේ දඬුවම් ක්‍රම අතරින් කුරුසිපත් කිරීම යනු ප්‍රධාන දඬුවම් ක්‍රමය නොවේ. විශේෂ අවස්ථාවලදී පමණක් මෙම ක්‍රමය භාවිතා විය. සොරකම් කිරීම් හා කැරලි ගැසීම් වලදී වහලුන්ව කුරුසිපත් කරන ලදි. රෝමානු පුරවැසියෙක්ව කුරුසිපත් කලේ ඉතාමත් බරපතල චෝදනාවක් ඔහු වෙත එල්ල වුවහොත් පමණි. එනමුත් පසු කාලීනව මෙය වෙනස් වී කුඩා වරදක් කල අයවලුන්වත් කුරුසිපත් කරන ලදි.

 ස්පාර්ටකස් නම් රෝමානු වහලෙක් Capua හි පිහිටි ග්ලැඩියේටර් පුහුණු කඳවුරකින් තවත් වහලුන් 78 දෙනෙක් සමඟ පැන ගියේ ය. මොහු පැනගොස් තවත් වහලුන් එකතුකරගෙන විශාල හමුදාවක් සාදාගෙන රෝමානු රජයට විරුද්ධව කැරලි ගැසුවේ ය. කෙසේවෙතත් අවසානයේ රෝමානු ජෙනරාල්වරයෙක් වූ Crassus විසින් මෙම කැරැල්ල මර්ධනය කලේ ය. ස්පාර්ටකස්ව ඝාතනය කලේ ය. එමෙන්ම රෝමානු ඉතිහාසයේ විශාලතම කුරුසිපත් කිරීමේ සංහාරය සිදුවිය. රෝමයේ සිට Capua දක්වා මාර්ගයේ එක දිගට මිනිසුන් 6000 කට අධික ප්‍රමාණයක් කුරුසිපත් කරන ලදි.


 කුරුසිපත් කිරීම ජුදෙව් ජාතීන් දඩුවම් දුන් ක්‍රමයක් බව බයිබලයේ සදහන් නොවේ. එනමුත් ජුදෙව් වාචික සම්ප්‍රදායට (මිෂ්නා) අනුව එල්ලා මැරීම් සිදු කර ඇත. ක්‍රි.පූ. 126 - 76 දක්වා කාලයේ සිටි Alexander  Jannaeus විසින් ජුදෙව් දේශපාලනික සතුරන් 800 පමණ කුරුසිපත් කල බව සදහන් වේ.

 කුරුසිපත් කිරීමේදී අතට ඇණ ගසා ඇත. බයිබලයේ සදහන් වන ආකාරයට ජේසුස්වහන්සේගේ අල්ලට මෙම ඇණ ගසන ලදි. එනමුත් අල්ලට ඇණ ගැසුවානම් ශරීරයේ බර එයට දරා සිටිය නොහැකියි. එමනිසා ඇණ ගැසුවේ අතෙහි වළලුකරට බව පොදු පිලිගැනීමයි. ඒත් සමඟ අත ලණු වලින් ගැට ගසා ඇත. බයිබලයේ උක්ත සදහන් කල කරුණ පරිවර්තන දෝෂයක් බව බයිබල් විශාරදයන්ගේ මතයයි. එමෙන්ම අලුත් ගිවිසුමේ ශුභාරංචි පොත් අතරින් මුලින්ම ලියැවුනු කෘතිය වූයේ මාක් තුමාගේ ශුභාරංචියයි. මෙය ලියැවුනේ ක්‍රි.ව. 60 - 70 අතර කාලයේදී ය. මේ වන විට ජේසුස්වහන්සේ මියගොස් වසර 30 ක් පමණ වේ. එමනිසා නිසැකවම ඇණ ගැසුවේ අල්ලටද යන වග ඔවුන්ට පැවසීමට නොහැකි වීම සාමාන්‍ය කාරණාවකි. ජේසුස්වහන්සේ කුරුසිපත් කරන විට උන්වහන්සේගේ ගෝලයෝ එකා මෙන් නොව බියෙන් විසිරී සිටියේ ය. එනමුත් පසුකාලීනව මොවුන් එක්වී ධර්මය ප්‍රචාරය කරන ලදි. එමනිසා ජේසුස්වහන්සේගේ අල්ලටම ඇණ ගැසූ බව පැවසිය නොහැක. මෙම ඇණයක් 11.5 cm පමණ විය.



 කුරුසිපත් කිරීමට එකල සම්මත ක්‍රමයක් නොවීය. කුරුසිපත් වන පුද්ගලයා විසින් කුරුසිය තමන් කුරුසිපත් කරන ස්ථානය වෙත රැගෙන යා යුතු විය. එනමුත් සමහර ඉතිහාසඥයන් පවසන පරිදි සම්පූර්ණ කුරුසියම උසුලාගෙන යා යුතු නොවීය.

  කුරුසිපත් කිරීම සඳහා බොහෝවිට යොදාගත්තේ දැවවලින් තමන ලද කුරුසියකි. මෙහිදී ලණු වලින් අත් හා පය ගැටගසා අතට ඇණ ගැසුවේ ය. විටෙක කකුල්වලටත් ඇණ ගැසුවේ ය. මරණය වේගවත් කිරීමට සමහර අවස්ථාවලදී මොවුන් එල්ලන පුද්ගලයාගේ කකුල් කඩන ලදි. මෙම ක්‍රමයේදී ක්ෂ්ණික මරණයක් අත් නොවේ. ක්‍රම ක්‍රමයෙන් විදවමින් මැරෙයි. පුද්ගලයා කුරුසිය මත සිටිනා විට මියගියේද නැද්ද යන්න දැන ගැනීමට සිරුරට ඇන බලයි. ජේසුස්වහන්සේ ද මියගියේද නැද්ද යන වග දැන ගැනීනට රෝමානු සොල්දාදුවෝ හෙල්ලයෙන් බඩට ඇන බැලූ බව දැක්වේ. කුරුසිපත් කිරීමේදී කකුලට ඇන ගසන ලද්දේ කකුල දෙපැත්තට සිටින ලෙසටයි.



 මෙම දඬුවම් ක්‍රමයේදී විටෙක තනි කනුවක් පමණක් යොදාගෙන ඇත. තවත් විටෙක X හෝ Y හැඩය ආකාරයටද T ආකාරයටද කනු සකස් කර ඇත. ටයිටස් විසින් ජෙරුසලම යටත් කරගත් පසු ඔහු කැරලි ගැසූ පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත. ඔහුගේ වාර්තා වල සදහන් වන ආකාරයට කුරුසි විවිධ හැඩයන්ගෙන් යුක්ත වූ අතර විටෙක මිනිසුන්ව මුනින් අතට තබා කුරුසිපත් කර ඇත. බයිබලයේ නව ගිවිසුමෙහි ජේසුස්වහන්සේව කුරුසිපත් කල කුරුසියේ හැඩය ගැන නිශ්චිතව සඳහන් නොවේ. එනමුත් ක්‍රි.ව. 100 පමණ වන විට ලියැවුනි ලියවිලි වල මෙහි හැඩය T (ග්‍රීක් අකුර Tau) බව සදහන් කර ඇත.



හඳවතේ ක්‍රියාකාරීත්වය නතර වීම, අධික රුධිර වහනය නිසා ඇතිවන කම්පන, හෘද ස්පන්දනයේ රිද්මයනොමැති වීම, පෙනහළු වල රුධිර නාල අවහිර වීම හා ආම්ලිකතාව නිසා පුද්ගලයෙක් මියයයි. මියයාම වේගවත් කිරීමට බොහෝ විට කකුල් කඩයි.


 ජුදෙව් ඉතිහාසඥයෙක් වූ ජෙසෙෆස් හා අනෙකුත් මූලාශ්‍ර වල රෝමානුවන් සිදු කල දහස් ගනන් කුරුසිපත් කිරීම් ගැන සදහන් කරයි. එනමුත් පුරාවිද්‍යාත්මකව ඒ පිලිබඳ සොයාගැනීම් ඇත්තේ අල්ප වශයෙනි. එනමුත් එය පුදුම විය යුතු කරුණක් නොවේ.මන්ද එකල පුද්ගලයෙක්ව කුරුසිපත් කල විට ඔහුගේ ශරීරය දිරන තෙක් කුරුසිය මත තබයි. විශේෂ අවසරයකින් පමණක් එල්ලන ලද පුද්ගලයාගේ පවුලට සිරුර රැගෙන ආගමික වතාවත් සිදුකොට භූමිදාන කිරීමට ඉඩ ලබා දෙන ලදි.


ජපානයට කුරුසිපත්කිරීම් හදුන්වා දී තිබෙන්නේ සෙන්ගොකු අවධියේදී ය. එනම් ක්‍රි.ව. 1467 - 1573 අතර කාලයේදී ය. මීට සමාන හරිත්සුකේ නම් නම් ක්‍රමයක් කමකුරා අවධියේදී ජපානයේ භාවිතා වී ඇත. 1597 දී ජපානයේ නාගසාකි වලදී ක්‍රිස්තියානි පුද්ගලයන් 26 දෙනෙක් කුරුසිපත් කර ඇත. ඒ අතර සාන්තුවරයන් කිහිපදෙනෙක් සිට ඇත.

 පලමු ලෝක යුද්ධ අවධියේදී ජර්මානු සෙබලින් විසින් කැනේඩියානු පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත.

 සෞදි අරාබියේදී කුරුසිපත් කිරීම නීත්‍යානුකූලය. එසේ කුරුසිපත් කල අවස්ථා ගනනාවක් ඇත. එනමුත් අතීතයේ භාවිතා කල ක්‍රමයටම කුරුසිපත් කරන්නේ නැත. කුරුසිපත් කර දින තුනක් යනතෙක් ජීවත් වුවහොත් ඔහුට ජීවිත දානය ලැබේ.

රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යාගේ කාලයේදී ( ක්‍රි.ව. 272 - 337 ) ක්‍රිස්තියානු ආගම නීත්‍යානුකූල ආගමක් බවට පත්විය. මේත් සමඟම කුරුසිපත් කිරීමද තහනම් කෙරුණි

මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය, liatverse වෙබ් අඩවිය,  ශුභාරංචි හතර පිලිබඳ අධ්‍යනයක් ( ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ප්‍රකාශනයක් )

වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතාට බොහොමත්ම ස්තූතියි .

Thursday, February 23, 2017

සාර් පවුලේ දුක්ඛිත අවසානය

යුරෝපයේ මෙතෙක් සිටි පොහොසතුන්ගෙන් කෙනෙක් වන මොහු මියයන විට භූමියෙන් පවුම් කෝටියක් ( වර්තමාන මුදලින් ඩොලර් මි.600 ඉක්මවයි) , දියමන්ති හා මුතුමැණික් වලින් පවුම් 16000 (වර්තමාන මුදලින් ඩොලර් මිලියනයක් පමණ) ක වත්කම් වූ අතර මසකට පවුල් දෙලක්ෂයක් ( ඩොලර් මි.12 අධික) පමණ උපයමින් සිටියේ ය.  මොහුගේ හා මොහුගේ පවුලේ උදවියගේ මරණය ඛේදවාචකයකින් අවසන් විය. මොහු නමින් රුසියාවේ අවසන් සාර් රජු වූ දෙවන නිකලස් සාර් ය. 1905 රුසියානු විප්ලවය කෲර ලෙස මර්ධනය කිරීමත්, රුසියානු ජපන් යුද්ධයට මඟ පෑදීමත්, ඔහුගේ සමයේදී රුසියානු අධිරාජ්‍ය බිඳ වැටීමත් නිසා අවසානයේ ඔහු අපකීර්තියට පත් විය.


  1917 දී මොහුගේ හමුදාවන් යුද්ධ කිරීම ප්‍රථික්ෂේප කලේ ය. 1917 මධ්‍යම රාත්‍රියට පෙර රුසියානු රජුගේ පෞද්ගලික දුම්රියේ අමුත්තන්ගේ කාමරයේ ජෙනරාල්වරුන්ගේ රැස්වීමක් විය. මෙහිදී රජු රජකම අත්හැරිය යුතු බව දැනුම් දෙන ලදි.
මේ පුවත ඇසූ සාර් රජු මහත් කම්පනයකට පත් විය. තමන් කල යුත්තේ කුමක් දැයි සිත සිතා රාත්‍රියේ නිදාගන්නට ගියද නින්ද ගියේ නැත. ශේක්ස්පියර්ගේ කෘති කියවීමට බෙහෙවින් ලැදි කමක් දැක්වූ හෙතෙම ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍ය කියවමින් මුළු රැයම ගත කලේ ය.

පසුදින උදෑසන ඔහු තම කිරුළ අත්හැරීමේ ලිපිය ලිව්වේය. ඒ සාමාන්‍ය මිනිරන් පැන්සලකිනි. ඔහුගේ ලිපියේ ඔහු මෙසේ සදහන් කලේ ය.

"...දෙවියන්ට ස්තූති වේවා. මට හැමදාම කරන්න වුවමනාව තිබුණු දේ දැන් මට කරන්න පුලුවන්. මට ක්‍රිමියාවේ මගේ ගෙදරට ගිහින් මල් වවන්න පුලුවන්... "

කෙසේවෙතත් සාර් රජුගේ මෙම සිහිනය සිහිනයක්ම විය.

විප්ලවාදීන් විසින් සාර් රජු හා ඔහුගේ පවුලේ උදවියව අවසාන කාලයේ රඳවා තැබුවේ උරාල් කඳු වැටිය පාමුල තිබූ කාමර දෙකකින් යුත් කුඩා නිවෙසකය. ඔවුන්ට ලබා දුන්නේ කුලීකරුවන්ට ලබා දෙන ආහාර ය. සීනි, කෝපි, ලුණු හෝ බටර් ආහාරයට ගැනීම තහනම් විය. ඔවුන්ට ආහාර ගැනීමට සිදු වූයේ දිනකට දෙවරක් ලබා දෙන පාන් කැබලි හා උකු එළවළු සුප් පමණි.


නිවසේ කවුළු විවෘත කිරීම තහනම් විය. එමනිසා ඔවුන්ට පිටත බැලීමට නොහැකි විය. එක් දිනක් බාලම කුමරිය වන ඇනස්ටේසියා විසින් පිරිසිදු වාතය ටිකක් ලබා ගැනීම උදෙසා කවුළුව ඇරියේ ය. එහි ප්‍රථිපලය වූයේ සොල්දාදුවෙක් විසින් ඇයට වෙඩි තැබීමයි. ඔවුන්ට උද්‍යානයේ දිනකට විනාඩි පහක් ඇවිඳීමට අවසර ලබා දුනි. අනාගත උරුමකරු වූ ඇලෙක්සේයි නිකොලොව්ච් අසනීප වී සිටි බැවින් මොහුට ඇවිදීමට නොහැකි විය. මේ වන විට මොහුගේ වයස අවු. 13 කි.


මුර සෙබළු අඩ නිරුවතින් සැරසී සාර් පවුලේ දියණියන් ඉදිරියේ අශ්ශීල ලෙස හැසිරුණේ ය. මොවුන් සාර් අධිරාජිණියගේ සාක්කු සටහන් පොතක් උදුරා ගෙන එහි තිබූ මුදල් ලබා ගත්තේය.
සාර් රජු නිහතමානී , කරුණාවන්ත පුද්ගලයෙකු වූ අතර මේ ගැන කිසිවෙකුට පැමිණිලි කලේ නැත. එනමුත් ඔහුගේ බිරිද මේ ගැන නිතරම දොස් නැගුවාය.

1918 ජූලි 16 වන දින මැදියම් රැයෙන් පසු සෙබලුන් විසින් සාර් රජු ඇතුලු පවුල නින්දෙන් අවධි කලේ නගරයේ කැරලි කෝලහාල පටන්ගෙන ඇති බවයි. එමනිසා වහා සූදානම් වී පහල බිම් ගෙය වෙත යා යුතු බව පැවසුවේ ය.


මොවුන් බිම්ගෙය වෙත ගිය පසු සෙබලුන් කිහිප දෙනෙක් කෑ ගසාගෙන ආවෙව් ය. ඔවුන් පැවසුවේ සාර් රජුගේ හිතවතුන් කිහිප දෙනෙක් ඔහුව බේරාගැනීමට උත්සහ කල බවත් එය අසාර්ථක වූ බවත් ය. එමනිසා මෙම සුබලු සාර් රජුව හා පවුලව මරණ බවද පැවසුවේ ය.

ක්ෂණිකව සෙබළෙක් සාර් රජුගේ හදවත පසාරු කරගෙන යන පරිදි වෙඩි තැබුවේ ය. ඒත් සමඟම කාන්තාවන්ට වෙඩි තැබීමට පටන් ගත්තේය. තම ඇඳුම් අස්සේ දියමන්ති තිබූ බැවුන් සමහර වෙඩි උණ්ඩ වලින් ඔවුන් බේරුණේ ය. කෙසේවෙතත් අවසානයේ සෙබලුන් සාර් පවුලේ සියලුම දෙනාට පහර දී ඝාතනය කලේ ය. මේත් සමඟම මල සිරුරු අසලට පැමිණි බල්ලන්ටද සෙබලුන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි. මොවුන් රාජකීය සිරුරු කපා පෙට්‍රල් දමා ගිනි තැබූහ. ඉතිරි කොටස් පැරණි පතලකට දැමුවේ ය.


දින කිහිපයකට පසු සිරුරු පිලිස්සූ තැන් වල අළු අවුස්සා බැලූ සෙබලුන්ට ගල් කැට කිහිපයක් හමුවිය. ඒවා දියමන්ති හා රතු මැණික් කැටය. සාර් අධිරාජිණිය ඒවා තම ඇඳුමේ වාටියේ සඟවා ගෙන සිට ඇත.


මෙම සමූල ඝාතනය අලුතෙන් පිහිටවූ රුසියානු රජයේ නිල කාර්යයක් නොවේ. සෝවියට් රජය සාර් පවුල ඝාතනයට සම්බන්ධ විප්ලවාදීන් රාශියක් අත් අඩංගුවට ගත් අතර ඉන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදි. මෙම ඝාතන හුදෙක් ලේ පිපාසිත දිප්ලවාදීන් කිහිපදෙනෙක්ගේ ක්‍රියාවක් විය. 

මූලාශ්‍ර : Wikipidia , little known facts about well known people( Dale Carnegie) , dailymail 

Monday, February 20, 2017

ඔපරේෂන් බේබි ලිෆ්ට්


 ඔපරේෂන් බේබි ලිෆ්ට් යනු වියට්නාම් යුද්ධය අවසාන කාලයේ දකුණු වියට්නාමයෙන් ඇමරිකාව හා වෙනත් රවල්වලට ( ඔස්ට්‍රේලියාව, ප්‍රංශය හා කැනඩාව ඇතුලු ) වියට්නාමයේ මව් පියන් අහිමි වූ අනාථ දරුවන් ඉවත් කර ගැනීමට කරන ලද මෙහෙයුමකි. වියට්නාමයේ අනාථ දරුවන් කීවද මෙහි ඇමරිකානු පුරවැසියන්ගේ දරුවනුත් සිටියේ ය.



 මෙය සිදුවූයේ 1975 වසරේ අප්‍රේල් 3 සිට 26 වනදා දක්වා අතර කාලයේදී ය. කෙසේ හෝ අවසන් ගුවන්යානය දකුණු වියට්නාමයෙන් පිටත් වන විට දරුවන් 10,300 ක ප්‍රමාණයක් මුදාගෙන අවසන් වී තිබුණි. (මෙම අගය විවිධ වාර්ථා වල විවිධ වන බැවින් සුළු වශයෙන් මෙම අගය වෙනස් විය හැකි බව සලකන්න)



 Operation Babylift සමඟම ගිය මෙහෙයුමක් වූ Operation New Life මගින් වියට්නාමයේ සරණාගතයින් 110,000 පමණ වියට්නාමයෙන් ඉවත් කරගන්නා ලදි. රටෙන් ඉවත් කරගත් දරුවන් ලොව පුරා වෙසෙන විවිධ පුද්ගලයින්ට හදාවඩා ගැනීමට ලබා දෙන ලදි.


 වියට්නාමයේ සයිගොන් නගරයට 1975 අප්‍රේල් මස 3 වන දින ප්‍රහාර එල්ල වූ විට එවකට ඇමරිකානු ජනාධිපති වූ ජෙරල්ඩ් ෆෝඩ් පැවසුවේ සයිගොන් හි සිටින අනාථ දරුවන්ව ගුවන්යානා 30කින් වියට්නාමයෙන් ඉවත් කරගන්නා බවයි. මේ සදහා යොදාගත්තේ C-5A galaxy සහ C-141 Starlifter වර්ගයේ බඩු ප්‍රවාහනය කරන ගුවන්යානා ය.


 මෙම ක්‍රියාදාමය සදහා ඇමරිකානු රජයට සහය වූ විවිධ සංවිධාන වන්නේ:


  • Holt International Children's Services
  • Friends of Children of Viet Nam (FCVN)
  • Catholic Relief Service
  • International Orphans
  • Pearl S Buck Foundation
 මෙම මෙහෙයුමේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වූයේ මෙහෙයුමට අනුව පිටත් වූ පලමු ගුවන්යානය අනතුරට ලක් වීම යි. මෙම අනතුරෙන් 153 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ඒ අය අතුරින් 76 දෙනෙක් ලදරුවන් ය.  

 ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වූ Robert Macauley විසින් Boeing 747 සහ Pan Am  ගුවන් සේවය මෙම මෙහෙයුමට ලබා දුන්නේ සතියකට වඩා මෙම මෙහෙයුමට කාලය ගත වන බව දැනගත් බැවිනි. මන්ද එවිට අවශ්‍ය ප්‍රමාණයට මිලිටරි ගුවන්යානා නොතිබූ බැවිනි.
























 මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය . පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදි. 

Thursday, February 16, 2017

නොදන්නා වීරයෙක් - ලුවිස් ස්පයිරොස්

1896 දී නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වන විට එයට ජනප්‍රියත්වයක් හා පුරාණ ග්‍රීසියේ අභිමානය පෙන්නුම් කිරීමටත් එහි සංවිධායකයන්ට අවශ්‍ය විය. මැරතන් තරඟ අංග නූතන ඔලිම්පික් උළෙලට එකතු කලේ Michel Breal විසින් Pheidippides පුරාවෘතය ඇසුරු කරගෙනය. 
ලුවිස් ස්පයිරොස්


මෙම ඇතීනියානු සොල්දාදුවා පර්සියානුවන්ගේ ආක්‍රමණයක් වූ මැරතන්හි සටනට ස්පාර්ටන්වරුන්ගෙන් උදව් ඉල්ලා ගැනීමට දින දෙකක් දිව්වේ ය. දින කිහිපයකට පසු මොහු සටනේ ජයග්‍රහනය සැල කිරීමට මොහු මැරතන් සිට ඇතැන්ස් වලට දිව්වේය.

1896 දී ප්‍රථම ඔලිම්පික් මැරතන් තරඟය මැරතන් සිට ඇතැන්ස් දක්වා 40Km ක් දිවීමට සිදු විය. මෙම මාර්ගය ඉතා දුෂ්කර එකක් විය. මෙම තරඟයේ ප්‍රථමයෙන්ම ඉදිරියෙන් ගියේ ප්‍රංශ ජාතිකයෙකු වූ Albin Lermusiaux ය. මොහු කලින් පැවති 1500m තරඟයේ තෙවෙනියා විය.
Albin Lermusiaux 


මෙම ලිපියේ ප්‍රධාන චරිතය වන ලුවිස් ස්පයිරොස් ග්‍රීක ජාතිකයෙකි. මොහු ඉපදී ඇත්තේ Marousi නම් ඇතැන්ස් වලට උතුරින් පිහිටි නගරයක ය. මොහු තරඟය අතරතුර Pikermi නම් නගරයේ වයින් බීමට කුඩා වේලාවක් ගත කලේ ය.

32Km ට පසු Lermusiaux විසින් තරඟය අතහැර දැම්මේ ය. මන්ද ඒ වන විටත් ඔහු බොහෝ වෙහෙසට පත්ව සිටි බැවිනි. ඉන්පසු තරඟයේ පෙරමුණ ලබා ගත්තේ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන Edwin Flack විසිනි. මොහු 800m හා 1500m තරඟවල ජයග්‍රාහකයා ය. ලුවිස් ක්‍රමක්‍රමයෙන් එඩ්වින්ට කිට්ටු කලේ ය. ඔස්ට්‍රේලියානු ජාතිකයා දුගු දුර දිවීමට එතරම් දක්ෂතාවක් දැක්වූයේ නැත. එමනිසා කිලෝමීටර් කිහිපයකට පසු ඔහු ඇඳගෙන වැටුනේ ලුවිස් හට පෙරමුණ ලබා දීමෙනි.
Edwin Flack

මේ වන විට ක්‍රීඩාංගනය වෙත සයිකල්කරුවෙක් අතෙහි ලියමනක් යවා තිබුනේ ඔස්ට්‍රේලියානු ජාතිකයා තරඟයේ ඉදිරියෙන්ම සිටින බවයි. ලුවිස් තරඟයේ පෙරමුණට ආ විගස ක්‍රීඩාංගනය වෙත පණිවිඩයක් යැව්වේ ය.

ලුවිස් දහස් ගණනකගේ ප්‍රීති ඝෝෂා මැද ක්‍රීඩාංගනයට පැමිණියේ ය. එවිට ග්‍රීක කුමාරවරු දෙදෙනෙක් වන කොන්ස්ටන්ටයින් කුමාරයා හා ජෝර්ජ් කුමාරයා ලුවිස්ව බැහැ දැකීමට දිවගෙන ආවේ ය. අවසානයේ ලුවිස් තරඟය අවසන් කලේ 2:58:50 තුලය.


තරඟයෙන් පසු ලුවිස්ට ත්‍යාග බොහොමයක් හිමි විය. ඒ අතර රන් ආභරණ සහ ජීවිත කාලය පුරාවට නොමිලයේ රැවුල බෑමට අවස්ථාවක්ද බාබර් සාප්පුවකින් හිමි විය. මෙම තරඟයෙන් පසු ලුවිස් තම මව් නගරය වෙත ගියේ ය. ඔහු නැවත තරඟ කලේ නැත. ඔහු ගොවියෙක් ලෙසත්, පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසත් පසුව සේවය කරන ලදි.

ලුවිස් පැලඳගෙන සිටින ඇදුමේ නම fustanella ය. ඔටෝමන් අවධියේදී මෙම වස්ත්‍රය ග්‍රීකයන්ට හඳුන්වා දුන්නේ ඇල්බීනියානුවන් ය. පසු කාලීනව මෙය ග්‍රීක ජාතික ඇදුමක් විය.

Saturday, February 11, 2017

හස්ති වලප - 5 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්
තෙවන කොටස කියවන්න මෙතනින්
සිව්වන කොටස කියවන්න මෙතනින්



 සිංහල වෙදුන් හස්තීන්ගේ ශරීරාංග දක්වන ආකාරය

1)සොඬවැල
2)සොඬ නළ
3)දල මැද
4)සොඬ මුල
5)කුම්භස්ථල
6)නළල
7)බැමි රේඛා
8)ලලාටස්ථලය
9)තපෝලස්ථලය
10)මදවල
11)මුතුවැල
12)අධරපොල
13)හිරිලබුපොල
14)කනේ රැල්ල
15)මල්ල
16)මාලෙ
17)තල්ලේ වල
18)උර හන්දිය
19)වැලමිට හන්දිය
20)විලන්ගු පොල
21)දෑලවර
22)පෙකනිය
23)හින්දි නූල
24)කෝෂපොල
25)නිදි පොල
26)පස්ස දන
27)කෝෂ තැල්ල
28)ගුද මග
29)පස්ස ආසනේ
30)අලවල
31)ඉස්සරහ ආසනේ
32)උඩ සාවක
33)කන් හොරුව
34)යට සාවක
35)ඔටුනු මාලාව



හස්තීන්ගේ නිල ස්ථාන හා ක්‍රියා




අලි ඇතුන් බිය කිරීමට ගජ මදාරා අතු භාවිතා කරන බව ඔබ අසා ඇති බව සිතමි. ගජ මදාරා යනු මදාරා ශාකයේ විශේෂ තුනෙන් එකකි. අනෙක් විශේෂ දෙක නම් මල් මදාරා හා වල් මදාරාය.

 මදාරා කුඩා ගසකි. සුදු පාට කෙඳි වැටී ගිය
අඟල් 1/4 පමණ කළු පාට පොතුවලින් යුක්ත වේ. ගජ මදාරා ගෙඩි නෙල්ලි ගෙඩි මෙන් වන අතර වේළුනු පසු අරළු ගෙඩි පැහැයට හැරේ. මෙහි ඇට පැලවෙන්නේ කලාතුරකිනි. මෙහි රතුපාට කුඩා මලක් පිපෙන අතර එය ඉතා සුවඳවත්ය. මේ ගස්වල මල් හටගනු ලබන්නේ අප්‍රේල් මැයි මාස වලදීය.


මඩුවන්වෙල නිලමේ ලඟ ගජ මදාරා වලින් සෑදූ බස්තමක් තිබූ බව ප්‍රකට කරුණකි. මේ හේතුවෙන් ඔහුට බොහෝ අලි ඇතුන් හීලෑ වුන බව කියයි.


අලි ඇතුන්ගේ රෝග සුවපත් කිරෝම පිණිස සිංහල හා සංස්කෘත පොත් රැසක් ඇත. පහත සදහන් පොත් ඒවා අතර විශේෂත්වයක් උසුලයි.


  • හස්ති යෝග ශතකය
  • හස්ති ශිල්පය
  • ඇත් වෙද පොත
  • ගජහ ලක්ෂණ
  • ශ්‍රී යෝග ශතකය
  • හස්ති චිකිස්තාව
  • මහා ගජහ ලක්ෂණ සංග්‍රහය

 අලි ඇතුන්ට දියවැඩියාව වැලදුන විට කටුකරෝසන, කොට්ටන්, දේවදාර, සිද්ද ඉඟුරු, කොල්ලු ඇට, තිප්පිලි, යවකාර ලුණු සමාන ප්‍රමාණවලින් ගෙන තල තෙල් වලින් අඹරා ලබා දේ.

හමේ රෝග වලට මනෝසීල, සුරති මැටි, අබ, රසාංජන, සහිඳ ලුණු තල තෙල් සමඟ කලවම් කර ආලේප කරයි.

අලින්ගේ ආමාශ ප්‍රදාහය සදහා අරත්ත අල, 
කලාදුරු අල, දේවදාර, මුරුංගා, තල මුල්, කොට්ටං, සිරියා , තිප්පිලි, රන්නිටෝල්, සිද්ද ඉගුරු, අබ, මුලාල අල, සුදු ළූණු, කරද, කරුදළු, එළබටු, වෙඬරු, වලඟසාල් , සිරිතේක්කු ලබා දේ.

එමෙන්ම විව්ධ රෝග වලට හකුරු සමඟ වලඟසාල්, අසමෝදගම්, පෙරුම්කායම්, අබ, තිප්පිලි, සාදික්කා,
වියලි ඉඟුරු, අරළු, සස්සඳ, කළුදරු, සූදුරු, වදකහ,
සුදු ලූණු , සහිඳ ලුණු ලබාදේ.

හස්ති වලප 5 කොට්ස සඳහා මූලාශ්‍ර

*ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

*සංක්ෂිප්ත ඉතිහාසය - කොඩ්රින්ටන්

*ලංකාදීප, මව්බිම, විජය, ලක්බිම, රිවිර පුවත්පත්.

Thursday, February 9, 2017

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය

 ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දින නිර්ණය කර තිබෙන සොහොන් ගැබක තිබී යබොර කැබැල්ලක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එය ඒ කාලයේ යකඩ උණු කළ බව පෙන්වන සාක්ෂියකි.

 ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබඳු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ. එයින් පලමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන් ය.


 දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.

 ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය ය.

 සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.


 අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අඟුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයි.


 මෙම උදුන් දැල්වීම සදහා යොදාගෙන තිබෙන්නේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට 'යකඩමරං' යන වචනයද භාවිතා කෙරේ.

යකඩ මරං ගසක්

 දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයිනහමක ආධාරයෙනි. ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ එහි යකඩ නිස්සාරණය කර තිබේ.

පින්තූර ලබා දුන් කේෂාන් අධිකාරී මහතාටත් නිමලවංශ දසනායක මහතාටත් බොහොම ස්තූතියි .

තොරතුරු පොත්පත් ඇසුරෙනි.

Thursday, February 2, 2017

තම කැමැත්තට එරෙහිව දින 83ක් ජීවත්වූ තරුණයාගේ කතාව


Hisashi Ouchi යනු ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක සේවය කල කාර්මිකයෙකි. මෙහි ඇතිවූ අනතුරකින් ඔහු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අධික විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. Hisashi අනතුර සිදුවූ ස්ථානයට ඉතාමත් ළඟින්ම සිටි නිසා වැඩිමනක් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූයේ මොහුයි. මෙතෙක් වැඩිම විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ පුද්ගලයා වන්නේද මොහුයි.



 මෙම අනතුර සිදුවූයේ 1999 සැප්තැම්බර් 30 වනදා Tokaimuraහිදී හිසාෂි සහ තවත් දෙදෙනෙකු ටැංකියකට Uranyl Nitrate සංයෝග අඩංගු හත්වන බකට් එක දැමූ අවස්ථාවේදී ය. මෙය දැමූ විගස ටැංකිය තීරණාත්මක අදියරට පැමිණ න්‍යෂ්ටික විඛණ්ඩනය ආරම්භ වී ගැමා සහ න්‍යුටෝන් විකිරණ පිටවී ගියේය.

 Ouchi ටැංකියට ලගින්ම සිටි අතර Shinohara සිටියේ වේදිකාවමත සිටගෙන ය. අනෙක් පුද්ගලයා වූ Yokokawa සිටියේ ඊට මීටර් හතරක් පමණ ඈතින් පිහිටි මේසයක් මත ඉදගෙනය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ පිපිරීමට පෙර සිදුවූ විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර වූයේ මෙයයි. කාර්මිකයන්ගේ පුහුණුව මදකම හා න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රමවත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොවීමත් මෙයට හේතු වූ බව කියයි.


 ටැංකියේ යුරේනියම් සීමාව වූයේ 2.4Kg ය. Ouchi විසින් ටැංකියට වත් කල සංයෝගයේ යුරේනියම් 16Kg අඩංගු විය.

Ouchiට 17 Sieverts (Sv) විකිරණ ප්‍රමාණයක්ද Shinohara 10sv ද Yokokawa 3sv ද විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. සාමාන්‍යෙයෙන් න්‍යෂ්ටික බලාගාරයේ සේවකයෙක් වසරකට නිරාවරණය වන විකිරණ ප්‍රමාණය වන්නේ 50 mili sieverts ය. 8 sieverts යනු මාරාන්තික මාත්‍රාවකි.

ඉතාමත් කෙටි කලකදී මෙතරම් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ එකම පුද්ගලයා වන්නේ Ouchi ය. මෙය නිසා මොහුගේ මුළු සිරුරම
 පාහේ විනාශ විය. DNA , ප්‍රථිශක්තිකරණ පද්ධතියම විනාශ විය. මෙම අනතුර නිසාවෙන් මොහුගේ සිරුරේ ක්‍රෝමසෝම් විනාශ වූ අතර සිරුරේ තිබූ සුදු රුධිරාණු ප්‍රමාණය 0 කි. මුලු සිරුරම දැවී තිබූ අතර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට ඉතාමත් බරපතල හානි සිදුවී තිබුණි.


 තත්වය බරපතල වීමත් සමඟ මොහුව ටෝකියෝ විශ්වවිද්‍යාල රෝහල වෙත රැගෙන යන ලදි. මෙහිදී ලොව ප්‍රථම වරට ප්‍රාථමික සෛල පාරවිලයනය මොහුට සිදු කරන ලදි. රුධිරය හා ජපානයේ දැනටත් නැති ඖෂධ මොහුට ලබා දෙන ලදි. මොහුට විවිධ සම් බද්ධ කිරීම් කලද සිරුරේ සිදුරු තුලින් ද්‍රව ගලා යාම නතර කල නොහැකි විය.


 සතියක් මෙලෙස ප්‍රථිකාර ලැබූ පසු Ouchi පැවසුවේ " මට තවත් මේක ඉවසන්න බෑ... මම සතෙක් නෙමේ.. " ලෙසයි. කෙසේවෙතත් දොස්තරවරු තම උපරිමය රෝගියා වෙත යෙදූ අතර එයින් සිදු වූයේ ඔහුට ඉතාමත් සෙමින් ඉතා වේදනාකාරී මරණයක් ලබා දීම පමණි.




නොවැම්බර් 27 වන දින Ouchiගේ හදවත මිනිත්තු හැත්තෑවක් නතර වී තිබීය. එනමුත් වෛද්‍යවරුන් රුධිරය, විවිධ ඖෂධ හා ද්‍රව වර්ග ලබා දී මොහුගේ හදවත ක්‍රියාත්මකව තබා ගත්තේය. අවසානයේ දෙසැම්බර් 21 වන දින නැවතත් මොහුගේ හදවත නැවතුණි. එනමුත් පවුලේ උදවියගේ ඉල්ලීම මත වෛද්‍යවරු Ouchi ට නැවත පණ ලබා දුන්නේ නැත. පවුලේ උදවිය පැවසුවේ ඔහුට තවත් වේදනාවක් නොදී සාමකාමී මරණයක් ලබා දිය යුතු බවයි. ඒ අනුව 1999 සැප්තැම්බර් 30 වන දින අනතුරට පත් වූ Ouchi 1999 දෙසැම්බර් 21 වන දින එනම් පුරා දින 83ක් වෙහෙසී ඉතාමත් සෙමින් වේදනාකාරී මරණයක් අත්කර ගත්තේය.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...