Tuesday, August 23, 2016

අලි හොඬ නාස්කාර ටැපීරයා


 පොලිතින් කවර වල එතූ කෑම දෙන්න ගිහින් දෙහිවල සත්තු වත්තේ සිටි අන්තිම ටැපීරයාත් නැති වුනා. මේ එම සතා ගැනයි.

 ටැපීරයා ක්ෂීරපායී සත්වයෙක්. ඉදිරිපස පාදවල ඇත්තේ කුර සහිත ඇඟී හතරක් පමණයි. පසුපස පාදවල කුර සහිත ඇඟිලි තුනක් තිබේ. ටැපීරයාගේ ළඟම නෑදෑයා වන්නේ රයිනෝසිරස් හා අශ්වයාය. ප්‍රමාණයෙන් ඌරෙකුට වඩා ටැපීරයා විශාලය. නහය පුංචි හොඬවැලකට සමානය. උන්ට ඝන සමක් තිබේ. වැඩුනු සතෙකුගේ දිග අඩි 6ක් හෝ 8ක් පමණ වේ. උස මීටරයක් පමණ වේ. බර 225 - 275 kg අතර වේ. ටැපීරයන්ගේ ගොරෝසු සම කෙටි ලෝම වලින් පිරී ඇත. මොවුන්ගේ පාද කෙටියි. උඩු තොල හා හොම්බ හොඩවැලක ආකාරයකට නිර්මාණය වී ඇත.



 ටැපීරයන් මේ වන විට නිර්වතන කලාප දෙකක ජීවත් වේ. දකුණුදිග මියන්මාරය , තායිලන්තය, මැලේඓයාව හා සුමාත්‍රා දූපත් ආශ්‍රිතව වගේම ලොව අනික් පැත්තේ මධ්‍යම හා දකුණු අප්‍රිකාවේත් ටැපීරයන් ජීවත් වේ. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරය ආශ්‍රිත ඝන වනාන්තරයේ ජීවත් වන්නේ ඇමරිකානු ටැපීරයා ( බ්‍රසීලියානු ටැපීරයා ) ය.



  ටැපීරයන් වගුරු ආශ්‍රිත තෙත් බිම් වල ජීවත් වේ. ඔවුන් හුදකලාව ජීවත් වන නිශාචර සත්ව විශේෂයකි. දිවා කාලයේ ඝන කැලෑවේ සැඟවී සිටින මොවුන් ආහාර සොයා යන්නේ රාත්‍රී කාලයේය. ප්‍රධාන ආහාර වන්නේ ජලජ ශාක, ගස් හා පඳුරුවල කොළ වර්ගය. පුංචි හොඩවැලක් තිබුනද එය අලියෙක් මෙන් කෑම අහුලා ගන්නට යොදාගන්නේ නෑ. මේ පුංචි හොඩවැල පැත්තකට කරලයි මොවුන් ආහාර ගන්නේ. ටැපීරයා හිදින් පිහිනීමට හැකි සත්වයෙක් ලෙස සැලකෙනවා. සතුරන්ගෙන් සැඟවීමට වතුරේ සැඟවෙන්න මොවුන්ට පුලුවන්. ටැපීර අම්මලා වරකට බිහිකරන්නේ එක් ටැපීරයෙක් පමණයි.



 සත්ව විද්‍යාඥයන් ටැපීරයන් සලකන්නේ කුර සහිත සතුන් ලෙසයි. ඔවුන් අයත් වන්නේ ටැපිරස් ගෝත්‍රයට. මලයාසියානු ටැපීරයා ( ටී. ඉන්ඩිකස්) ගේ පෙනුම සුවිශේෂියි. උගේ පසුපස පෙදෙස කිලිටි සුදු පැහැති සමකින් ආවරණය වී ඇත. මේ සතාගේ ඉදිරිපස කළු පාටයි. මධ්‍යම ඇමරිකාවේ ජීවත් වන ටැපීරයා ( ටී.බයර්ඩි) තමයි ටැපීරයන් අතරින් විශාලතමයා. ඌ ප්‍රමාණයෙන්කුඩා බූරුවෙකුට සමානයි. මෙක්සිකෝවේ සිට පේරු රට දක්වා කඳුකර වනාන්තර වල ජීවත් වනවා.




Friday, August 19, 2016

රතු ඉන්දියානුවන්ගේ ආගමික සංකේතයක් වූ අද කෑම මේසයේ සිටින බයිසන් ගවයා

  මේ කියන්න යන්නේ ඇමරිකානු බයිසන් ගැන,

 උතුරු ඇමරිකාවේ ගොඩබිමේ ජීවත්වෙන ස්කන්ධයෙන් අධිකම සත්තුන්ගෙන් එක් විශේෂ සත්ව කොටසක් තමා බයිසන් කියන්නේ.

 බයිසන් ගවයා සාමාන්‍යයෙන් අඩි 5 - 6.5 ( 1.5 - 2 මීටර්) උස යනවා. ස්කන්ධය ටොන් එකකට ආසන්නයි( 907kg) . ශරීරයේ ස්කන්ධයට සාපේක්ෂව මොවුන්ට ඉතා වේගයෙන් දිවිය හැක. ඔවුන්ට පැයට කිලෝමීටර 65 ක පමණ වේගයෙන් දිවිය හැක. උන්ගේ තියුණු අං සෙන්ටිමීටර 61ක් පමණ දික් වෙයි.



 ගැහැණු උදවිය සහ වැඩිමහල්ලන් සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් ජීවත් වෙයි. නමුත් වසන්ත සමය ලං වෙත්ම මොවුන් විශාල වශයෙන් එකට රංචු ගැසෙයි. ගැහැණු උදවිය දරුවෙකු බිහි කරන්නේ මාස නමයක ප්‍රසූත කාලයකින් පසුවයි.

 රතු ඉන්දියානුවන් හා බයිසන් ගවයන් අතර දිගු සම්බන්ධකමක් පවතියි. රතු ඉන්දියානුවන්ගේ ආගමික සංඛේතයක් ලෙසද මෙම සත්වයා යොදා ගනියි. 19 වන ශතවර්ෂයේදී ආහාර හා ක්‍රීඩා සදහා බයිසන් ගවයන් මිලියන 50ක් පමණ ඝාතනය කොට ඇත. බයිසන් ගවයන් මේ වන විට සිටින්නේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණි.

මේ 1870දී පමණ ගන්නා ලද චායාරූපයකි. මෙහි කන්දක් ආකාරයට ගොඩගසා ඇත්තේ ඇමරිකානු බයිසන් ගවයන්ගේ හිස් ය. 

 මෙම සතුන් ආහාර සදහාද ඇති දැඩි කරයි. මෙහි රසය හරක් මාංශ වලට බෙහෙවින් සමාන වේ. හරක් මාංශ වලට වඩා මේදය හා කොලෙස්ටරෝල් අඩු අතර ප්‍රෝටීන ප්‍රථිෂතය ඉහළ වේ.
බයිසන් මාංශ වෙළඳපොළේ

  සමීක්ෂණ ප්‍රථිපලවලට අනුව බයිසන් ගවයන් දිනකට සාමාන්‍යයෙන් 3.2km පමණ ඇවිඳියි. මෙම සතුන් ශාක භක්ෂක වේ.

 අපි සත්තුන්ට කරදර කල විට සත්තුන්ද අපට කරදර කරයි. බොහො විට සතුන් එසේ කරන්නේ ඔවුන්ගේ ආත්ම ආරක්ෂාවට මෙන්ම බියටයි. බයිසන් ගවයන්ගෙන්ද මිනිසාට යම් පමණක හානි දායක තත්ව උදා වී ඇත. සුප්‍රසිද්ධ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ 1980 සිට 1999 දක්වා කාලයේදී මෙම සතුන් මිනිසුන් 79 දෙනෙකුට පහර දී ඇත. 1983 දී එක් පුද්ගලයෙක් මියගොස්ද ඇත.


මෙම සතුන් ජීවත්වන ප්‍රදේශ.

 මෙම සතුන් ඇමරිකාවේ විවිධ සංකේත සදහා භාවිතා කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ 2016 වසරේ ජාතික ක්ෂිරපායි සත්වයා වන්නේ මෙම සත්වයා ය. විවිධ කාල වකවානු වලදී මෙම සත්වයාගේ රුව ඇතුලත් කාසි හා නෝට්ටු ඇමරිකාව තුල නිකුත් වි ඇත.

1935 නිකුත් වූ කාසියක්.

1901 නිකුත් වූ නෝට්ටුවක්.

මිනිසෙකුට සාපේක්ෂව ඇමරිකානු බයිසන් ගවයාගේ ෂරීර ප්‍රමාණය

Thursday, August 18, 2016

පදමට මල්පැණි බොන අයිඅයි


 මානව පරිමාණයේ අග්‍රේෂයන් ගැන කතා කරද්දි , මැඩගස්කරයටපමණක් ආවේණික වූ ' ලෙමූර් වඳුරන්' ගැන කතා වේ. ලෙමූර් වදුරු විශේෂ කිහිපයක් අප්‍රිකා මහද්වීපයට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ පිහිටි මැඩගස්කර් කුඩා දූපතේ ජීවත් වේ.

 ලොකු ඇස්, ලොකු කන් ඇති, හිසෙහි අවුල් වී ගිය ලොම් ඇති, ඉදිරිපස ගාත්‍රා ( අත්වල ) අසාමාන්‍ය ලෙසින් දිගුවූ කූරක් වැනි සුවිශේෂී මැද ඇඟිල්ලක් පිහිටි ' අයිඅයි (aye-aye) නැමැති නිශාචර ක්ෂිරපායී සත්වයාද අයත් වන්නේ ලෙමූර් සහ උණහපුළුවන් අයත් පවුලටය. මේ අයිඅයි ලෙමූරයන් අධික ලෙස මත්වන ( මධ්‍යසාරගතිය බෙහෙවින් වැඩි ) මල් පැණි පානය කරන බවත්, උන්ට එයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් නවතම පරීක්ෂණවලින් හෙළි වී ඇත.

අයිඅයි ලෙමූරයෙක්


මධ්‍යසාර සොබාදහමේ දක්නට ලැබේ. බොහෝවිට ඒවා මල්පැණි හෝ ගස්වල යුෂ වල අඩංගු වේ. වානරයන් හා වඳුරු පවුලේ සාමාජිකයන් මේ යුෂ බීමට කැමැත්තක් දක්වයි. අයිඅයි සතුන් පානය කරන මල්පැණිවල මධ්‍යසාරගතිය ඉතා වැඩි යැයිද පැවසේ.
මෙම සතාගේ අතක්.


 අයිඅයි එමූරයන් සත්ව විද්‍යාත්මකව හැදින්වෙන්නේ Daubentonia madagascariensia නමිනි.

 මේ සත්වයාගේ සුවිශේෂීත්වය වන්නේ ඉදිරිපස ගත්‍රාවල ඇති මැද ඇඟිල්ලය. එම ඇඟිල්ලෙන් ගස් බෙන හාරා ඇතුලේ සිටින පණුවන්, කුරුමිණියන් වැනි සතුන් අල්ලා ගෙන උන් ආහාරයට ගනියි.

Monday, August 15, 2016

ඔලිම්පික් පහන දැල්වූ නොදන්නා වීරයා


 ලෝකයේ ගොඩක් දෙනා ජීවිතයේ විවිධ ගැටලු වලදී වැටුනම ආයෙ නැගිටින්න උත්සහ කරන්නෙ නෑ. එයාලා හිතන්නේ දැන් ඔක්කොම ඉවරයි කියලා. ඒත්  වැටිච්ච තැනින් නැගිටින්න වෙර දරණ උත්සහවන්ත පුද්ගලයා අනිවාර්යයෙන්ම ජයගන්නවා. මේ එවන් කතාවක්.


 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ගිනි සිළුව දල්වන්නට යෙදී තිබුනේ බ්‍රසීල ක්‍රීඩකයෙක් වන ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක පේලේ අතිනි. නමුත් අවාසනාවන්ත අයුරින් පේලේ අසනීප තත්වයෙන් බොහෝ අසාධ්‍යව සිටි නිසා ඔහුට මෙම ගිනි සිළුව දල්වන්නට නොහැකි වූවා. ඒ වෙනුවට ගිනිසිළුව දැල්වූයේ බ්‍රසීලයේ ක්‍රීඩා වීරයෙක්. ඒ තමා වැන්ඩෙලේරි කොර්ඩේරියෝ දෙ ලාමා.
2004 දී සිදුවූ ඒ අවාසනාවන්ත මොහොත.


 මොහු මැරතන් ධාවකයෙක්. උපන්නේ 1969 අගෝස්තු 11. මේ ක්‍රීඩකයා ගැන ලොව කාගේත් අවධානය ලක්වූයේ  2004 ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවැත්වූ ඔලිම්පික් උලෙලේදී ඔහුට සිදුවූ ඇබැද්දිය නිසාය.
2004 දී අයර්ලන්ත ජාතික විරෝධතාකරුවා දෙ ලාමාගේ ගමනට බාධා කරන අවස්ථාව.


අවසාන මැරතන් ධාවන තරඟයේ ක්‍රීඩා කරමින් සිටි ඔහුට විරෝධතාකරුවෙක් බාධා එල්ල කලේය. ඒ වන විට 35km ධාවනය කර තිබූ අතර ඔහු එහි ඉදිරියෙන්ම සිටියේය. එම විරෝධතාකරුවාගේ නම කොර්නේලියස් හොරාන් වන අතර ඔහු අයර්ලන්ත පූජකයෙකි ( ඊට පසු අවුරුද්දේ එනම් 2005 දී මොහුව පූජක තනතුරෙන් නෙරපන ලදි).
2004 ඔලිම්පික් හිදී මැරතන් ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අවස්ථාව


 කෙසේ හෝ මේ විරෝධතාකරුවාගෙන් ගැලවුනු දෙ ලාමා නැවතත් තරඟයට අවතීර්ණ විය. දෙ ලාමා අවසානයේ තරඟය අවසන් කලේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. විරෝධතාකරුවා නොසිටියානම් දෙ ලාමාට රන් පදක්කම දිනා ගැනීමට බොහෝ ඉඩ ප්‍රස්තාව තිබුනි.
දෙ ලාමා 2016 රියෝ ඔලිම්පික් හිදී ගිනි සිළුව දල්වමින්.


දෙ ලාමාට රන් පදක්කම  කියලා යෝජනා කරා .. ඒත් ඔලිම්පික් කමිටුවෙන් ඒකට අවසර ලැබුනෙ නෑ. මෙයාට හැබැයි ඔලිම්පික් කමිටුවෙන් සම්මානයක් ලැබුනා රියෝ වලදී.. දෙසැම්බර් හත් වෙනිදා.. 2005 දී බ්‍රසීල බීච් වොලිබෝල් ක්‍රීඩකයෙක් වන Emanuel Rego විසින් 2004 දී ලබාගත් රන් පදක්කම දෙන්න හැදුවා දෙ ලාමාට. ඒත් දෙ ලාමා ආයෙත් ඒක එයාටම දුන්නා.

පහතින් ඇති වීඩියෝවෙන් දෙ ලාමාට 2004 දී සිදුවූ ඇබැද්දිය දැක්වේ.



අවසානවශයෙන් කීමට තිබෙන්නේ... උත්සහවන්තා සැමවිටම ජයගනී... යන්න යි...

Sunday, August 14, 2016

මධ්‍යම කඳුකරයේ කපොලු හා සානු


මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකාවේ මඳුකරයට පිවිසීම පහසු වී ඇත. මධ්‍යම කඳුකරයට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ ගොඩනගා ඇත්තේ කපොලු හරහාය. ඒ අතර බලන, කඩුගන්නාව හා ගලගෙදර කපොලු ඓතිහාසික වශයෙන්ද වැදගත් වේ.

 උස් සම බිම් හෙවත් සානු මධ්‍යම කඳුකරයේ දක්නට ලැබෙන අනෙක් සුවිශේෂී භූ විශමතා ලක්ෂණයයි.

කපොල්ල හා සානුව 

  • ගලගෙදර කපොල්ල - කුරුනෑගල  මහනුවර මහා මාර්ගය
  • ඇල්ල කපොල්ල - වැල්ලවාය බඳුල්ල මාර්ගය
  • බලන කපොල්ල - කොළඹ මහනුවර මහා මාර්ගය
  • බලකඩුව කපොල්ල - මාතලේ මහනුවර මහා මාර්ගය
  • හපුතලේ කපොල්ල - බලංගොඩ බණ්ඩාරවෙල මහා මාර්ගය
  • ගිනිගත්හේන කපොල්ල - අවිස්සාවේල්ල නුවරඑළිය මහා මාර්ගය
බලන කපොල්ල



මහනුවර සානුව

 හැටන් සානුවට උතුරින් හා මාතලේ ප්‍රදේශයේ දකුණු දෙසට වන්නර පිහිටා ඇති මෙහි උස මීටර් 600 - 900 අතර වේ. මහනුවර සානුව ඔස්සේ නැගෙනහිර දෙසට ගලා බසින මහවැලි ගඟ පසුව දුම්බර නිම්නයට පිවිසේ. කඩුගන්නාව දුර්ගය ඉස්සේ මහනුවර සානුවට පිවිසිය හැකියි. මහනුවර සානුව නිර්මාණය වී ඇත්තේ හැටන් සානුවටත් , වැලිමඩ සානුවටත් උතුරින් වූ බෑවුම ක්‍රමයෙන් බෑවුම් වීමෙනි. 

වැලිමඩ සානුව 

පිදුරුතලාගල කඳු පන්තියෙන් හා නමුණුකුල කඳු පන්තියෙන් වැලිමඩ සානුව වටවී ඇත. මෙහි සාමාන්‍ය උස මීටර් 900 ක් පමණ වේ. උතුරු දෙසට බෑවුම් වන මෙම සානුවේ උසින් අඩුම ප්‍රදේශය ඌව ද්‍රෝණිය ලෙස හදුන්වයි. ඒ හරහා මහවැලි ගඟේ අතු ගංගා වන බදුලු ඔය , උමා ඔය සහ ලොග්ගල ඔය ගලා බසී. 

හැටන් සානුව

 මෙය දකුණින් සමනල කඳු පන්තියෙන් හා නැගෙනහිරින් පිදුරුතලාගල කදු පන්තියෙන් වටවී ඇත. දළ වශයෙන් මීටර් 900 - 1500 අතර උසකින් යුක්ත හැටන් සානුව වයඹ දෙසට බෑවුම් වේ. කැලණි ගඟ සහ මහවැලි ගඟ මෙම සානු මැදින් ගලා බසියි. 

මහවලතැන්න් හා කොස්ලන්ද සානු

 සමනල හා නමුණුකුල කදු පන්ති දකුණු ප්‍රපාතාකාරව බෑවුම් වේ. එම බෑවුමට දකුණුන් දක්ෂිණ වේදිකාව නමින් හදුන්වන පටු වේදිකාවක් පවතී  මහවලතැන්න සානුව හා කොස්ලන්ද සානුව වශයෙන් හදුන්වන්නේ එම දක්ෂිණ වේදිකාවයි. උසින් මීටර් 300 - 900 අතර වන මෙම සානු නැංගුරම් පාදයේ දකුණු දෙසින් පිහිටා ඇත. 

Tuesday, August 9, 2016

චිත්‍ර කතාවේ කතාව


 චිත්‍ර කතාව යනු කුමක් ද?

   චිත්‍රයක් උපයෝගී කරගෙන කතාවක් කියාපෑම චිත්‍රකතාවයි. කතාවට අයත් සිදුවීම් කතාවේ ථි චරිතවලට විවිධ ක්‍රියාකාරී ඉරියව් මගින් ඇඳ දැක්වීමයි චිත්‍රකතාවකින් සිදු වෙන්නේ. ඉදිරිපත් කරන කතාවට අයත් දෙබස් බැලූනයක හැඩයෙන් යුත් කවය තුල ලියා දක්වයි. මේ අනුව මුල් කලීන විහාර චිත්‍රවලද, චිත්‍ර මගින් කතාවක් කියාපෑමේ ලක්ෂණ දකින්නට පුලුවනි.

බිත්ති පුරා චිත්‍ර කතා

 කතන්දර කීම සදහා චිත්‍ර උපයෝගී කර ගැනීම පිලිබද දැනට ඉතිරිව ඇති පැරණිම සාධක අපට හමුවන්නේ 12 වන සියවසට අය්ත් දිඹුලාගල ලෙන් සිතුවම් අතරිනි. එම සිතුවම් කොටස් වලට අනුව එහි සස ජාතකය ඇද තිබූ බවට පෙනී යයි. පොලොන්නරුව යුගයේදී ( 12 වැනි සියවස) තිවංක පිලිමගෙයි ඇඳ ඇති වෙස්සන්තර, ආසංඛවතී, සස, තුන්ඩිල, විදුර, ගුත්තිල, චුල්ලපදුම, මෛත්‍රීබල, සාම, මහා සුදස්සන, කුස, උම්මග්ග වැනි ජාතක කතා ඇද ඇති ආකාරයන්ද චිත්‍රවලින් කතා කීම පිලිබද සාක්ෂි අපට හමුවෙයි.

දෙගල්දොරුව විහාරයේ ඇති ' ඇලි ඇතා දන් දුන් වග' නම් චිත්‍රය. ( අඛණ්ඩ කථන ක්‍රමය)

මහනුවර යුගයේ චිත්‍රකතා

 පොලොන්නරු යුගයෙන් පසුවත් චිත්‍රයක් ආශ්‍රයෙන් කතා කීමේ කලාව වර්ධනය වූයේ විහාර කර්මාන්තය ආශ්‍රිතවයි. මහනුවර යුගයේ විහාරස්ථානවල ඇති චිත්‍ර දෙස බැලීමේදී එය මනව පෙනේ. දේවේන්ද්‍ර මූලාචාරී, දෙවරගම්පල සිල්වත් තැන, කොස්වත්තේ සිත්තර නයිදේ, නිලගම පටබැදි ආදී සිත්තරුන් මහනුවර යිගයේදී බිතුසිතුවම් කලාවේ කැපී පෙනුනු අයයි. 18 වැනි සියවසේ අග භාගයට අයත් දෙගල්දොරුව විහාරයේ චිත්‍ර දෙස බැලීමේදී චිත්‍ර කලාවේ මූලික ලක්ෂණ පෙනී යයි. මහනුවර යුගයේදී චිත්‍ර ශිල්පීන් ජාතක කතා ඇදීමට භාවිතා කල ' අඛණ්ඩ කථන ක්‍රමය' ( කතාවේ ජවනිකා වෙන්කර නොදක්වා දිගටම ඇදීමේ කලාව) දෙගල්දොරුව විහාරයේත් විද්‍යාමාන වෙයි.

තොරණවලත් චිත්‍රකතා

 මේ අනුව බලන විට චිත්‍ර වලින් කතා කීම අපේ රටේ අතීත උරුමයක් වැනියි. බිතුසිතුවම් තරම් ඈත ඉතිහාසයත් නොතිබුනත්, තොරණ සිතුවම්ද චිත්‍රකතා විශේෂයක් ලෙස හදුන්වාදිය හැකියි. රූපරාමු ඔස්සේ දිග හැරෙන කතාව කවියෙන් හී විරිදුවෙන් හදුන්වාදීම තොරණක දැකිය හැකියි.

ප්‍රථම චිත්‍රකතාව

 චිත්‍රකතා ආරම්භවූයේ ඇමරිකානු ප්‍රවෘත්ති පත්‍රවල් පළවූ කැරිකේචර් ( caricature ) සහ කාටුන් ( cartoon ) ඔස්සේය. ඒ 19 වැනි සියවසේදීය. කැරිකේචර් සහ කාටුන් ලෙස හැදින්වූයේ " විකට චිත්‍රයි" . හාස්‍යෝත්පාදක කතා පදනම් කර ගනිමින් චිත්‍රකතා ආඅම්භ වූ නිසා අදටත් චිත්‍රකතාව හැදින්වීමට ඉංග්‍රීසි භාෂවේ යෙදෙන්නේ "කොමික් ස්ට්‍රිප්" ( comic strip ) ස්ට්‍රිප් කාටූන් ( strip cartoon ) හා කොමික්ස් ( comics ) යන වචනයි.

 කොමික් ස්ට්‍රිප් මුලින්මපලවූයේ ඇමරිකානු පුවත්පත්වලය. නූතන චිත්‍රකතාවටබෙහෙවින් සමාන චිත්‍රකතා මුල්වරට පලවූයේ 1894 දී නිව්යෝර්ක් වර්ල්ඩ් නම් පුවත් පතෙහිය. එයද හාස්‍යෝත්පාදක චිත්‍ර කතාවකි. එය නිර්මාණයකල චිත්‍ර ශිල්පිය රිචඩ් අවුට්කෝල් ය. ප්‍රධාන චරිතය යෙලෝ කිඩ් හෙවත් කහ පොඩිත්තාය.
කහ පොඩිත්තා

රිචඩ් අවුට්කෝල්

පළාගිය කහ පොඩිත්තා

 ඉතා ජනප්‍රියව පැවති ' යෙලෝ කිඩ්' හි නිර්මාණ ශිල්පියා 1896 දී ' නිව්යෝර්ක් වර්ල්ඩ්' පත්‍රය අතහැර ' නිව්යෝර්ක් ජර්නල්' නම් පුවත්පතට ගියේය. නිව්යෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ හිමිකරු තම පුවත්පතට අහිමිවුනු කහ පොඩිත්තා වෙනුවට 'ජෝර්ජ් ලූක්' නම් චිත්‍ර ශිල්පියා ලවා තවත් කහ පොඩිත්තෙකු නිර්මාණය කර පත්‍රයේ පල කලේය. මේ අනුව පුවත්පත් දෙකක කහ පොඩිත්තන් දෙදෙනෙකු අතර සිදුවූ මෙම තර්ඟය නිසා චිත්‍ර කතාව නම් මාධ්‍ය ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. ඒ ජනප්‍රියත්වයනිසාම පසුකාලීනව තව තවත් චිත්‍රකතා බිහි වන්නට විය.


තාත්වික චිත්‍රකතා

 චිත්‍රකතා කලාව ආරම්භවී වසර නමයක් ගත්වනතුරුත් එහි තිබූ කාටුන් ස්වරූපය ඉවත් නොවීය. විකට චිත්‍ර ස්වරූපය ඉවත්වගිය තාත්විකත්වයට නැඹුරු මුල්ම චිත්‍රකතාව 1905දී නිර්මාණය වූ වින්සර් මැකුයිගේ ' ලිට්ල් නෙමෝ' ය.

 මෙලෙස නිර්මාණය වූ චිත්‍ර කතා අතර ලෝප්‍රකට නිර්මාණ මෙන්ම සිනමාවට නැගුණු නිර්මාණද දැකිය හැකියි. ඇතැම් චිත්‍රකතාවල චරිත ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන්වලත් සංගීත නාටකවලටත් පැමිණියේය. මේ එවන් චිත්‍ර කතා කිහිපයක් මෙසේය. ටාසන් ඔෆ් ද ඒජස්, ක්‍රේසි කැට්, පීනට්ස්, ඩොනල්ඩ් ඩක්, මිකී මවුස්, ටින් ටින්, ඇස්ටරික්ස්.
ලිට්ල් නෙමෝ චිත්‍රකතාව




චිත්‍රකතා පොත්

 පුවත්පත්වලින් ආරම්භ වූ චිත්‍රකතාව චිත්‍රකතා පොත් ලෙසද සීග්‍රයෙන් ලොව පුරා ව්‍යාප්තව ගියේය. 1940 දශකය අවසන් වන විට ලෝකයේ චිත්‍රකතා පොත් අලෙවිය කෝටි සියයක් වූ බව වාර්ථාවී ඇත.

අපේ රටට ආ චිත්‍රකතා

 ලංකාවට මුලින්ම පැමිනියේ මෙලෙස බිහිවූ චිත්‍රකතා පොත් ය. 50 දශකය වන විට ලංකාවෙව් නගරබ්ද පාසල් සිසුන් අතර මෙම බටහිර චිත්‍ර කතා පොත් පැතිර ගියේය. කව්බෝයි කතා, ටාසන් කතා, ඒ කොමික් පොත් අතර විය.

අපේ අයගේ චිත්‍රකතා

 ලංකාවේද පුවත්පත්වල චිත්‍රකතා ඇරඹුනේ ' කාටුන් ස්ට්‍රිප්' ලෙසයි. ඖබ්‍රි කොලට්, ජී.එස්.ප්‍රනාන්දු නම් ශිල්පීන් දිනමින, ඩේලිනිව්ස්, ලංකාදීප වැනි පුවත්පත්වලකාටින් හෙවත් විකට චිත්‍ර අදිමින් සිටිඋඅත් ප්‍රථම චිත්‍රකතා තීරුව වන්නේ 'මුදලාලි' ය.එය දිනමිණ පුවත්පතේ පලවූවකි.

 ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රකතාව වන්නේ 1951 ඔක්තෝම්බර් 28 වෙනිදා ඉරිදා ලංකාදීප පුවට්ජ්පතේපලවූ ' නීලා' චිත්‍රාතාවයි.එහි කතාව ලියා ඇත්තේ ධර්මසිරි ජයකොඩිය. චිත්‍ර ශිල්පියා ජී.එස්.ප්‍රනාන්දුය. ඉංග්‍රීසි ටාසන් කතාව අනුසාරයෙන් ලියැවුනු ප්‍රථම සිංහල චිත්‍රකතාව ඉතා ජනප්‍රියත්වයටපත්විය.



පැරණි චිත්‍රකතා ශිල්පීන්

මුල්ම චිත්‍රකතාව හැරුණු කොට චොත්‍රකතාවේ ව්‍යාප්තියට උරදුන් ශිල්පියා වන්නේ සුසිල් ප්‍රේමරත්නයි. " හොර හවුල" ඔහුගේ පලමු චිත්‍රකතාවයි. තනිකඩයා, මහ හේනේ ඊරියකා, බිලිපූජාව, ලන්දේසි හටන, රන්දූපත, රිදී කුමාඅරි ආදිය ඔහු නිර්මාණයකල චිත්‍රකතා අතර වෙයි.

  තලන්ගම ජයසිංහ , කේ ෆ්‍රැන්සිස් වැනි චිත්‍රකතා ශිල්පීන් වර්ධනය සදහා දායක විය. විනෝදාස්වාදය සදහා චිත්‍රකතාව මාධ්‍යයක් ලෙස පලමුවෙන්ම යොදාගත්තේ කේ. ෆ්‍රැන්සිස් ශිල්පියාය. කතෝලික ජනතාවගේ නිල පුවත්පත වන "..... ප්‍රදීපය" 1957 ජනවාරි මාසයේ පටන් ජුසේ වාස් ආපදානය චිත්‍ර කතාවක් ලෙස පලකිරීමෙන් එය ආරම්භ විය.


සම්භාව්‍ය චිත්‍ර කතා

 බන්දුල හරිශ්චන්ද්‍ර මහතා 1962 අප්‍රේල් මාසයේදී ' සුලසා ' ජාතකයෙන් පටන්ගෙන එකදිගට චිත්‍රකතා 38ක් දිනමින පත්‍රයට ඇන්දේය. ලංකාවේ ප්‍රථම වෛවර්ණ චිත්‍ර කතාව නිර්මාණය කරන ලද්දේ බන්දුල හරිස්චර්න්ද්‍රයන් විසිනි. දේශීය හා විදේශීය සාහිත්‍ය කෘතීන් ඇසුරුකොටගෙන ඔහු දිසින් නිර්මාණය කරන ලද චිත්‍රකතා ප්‍රමාණය 166ක් පමණ වේ.
දයා රාජපක්ෂ මහතා


 ලාංකීය ජන ජීවිතයේ විවිධ පැතිකඩදෙස විශ්ලේෂනාත්මකව බලමින් නිර්මාණය කල දයා රාජපක්ෂයන්ගේ චිත්‍රකතා අතර සක්විති සුවය, සිව්මංසල, ගල්පල්ලිය, හුලවාලි, ගිනිබත් කිරීටිය දැකිය හැකිය.

ලමයින් සදහා චිත්‍රකතා නිර්මාණය කල චිත්‍ර ශිල්පීන් අතර එස්.ඒ.දිසානායක, පියල් උදය සමරවීර යන මහත්වරුද සිබිල් වෙත්තසිංහ මහත්මියද වැදගත් වේ.

ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්තරය 1972 අගෝස්තු 29 වැනිදා ලේඛවුස් ආරම්භ කල " සතුට" ය. එහි කතෘ බන්දුල සමරවීර මහතාය.  1975 දී මල්ටිපැක්ස් ආයතනය මගින් ආරම්භකල " සිත්තර" ලංකාවේ දෙවෙනි චිත්‍රකතා පත්‍රයයි.



ලිපිය ගැන කුඩා හෝ වචනයක් සදහන් කරනවානම් ඉතා කෘතඥ වෙමි.

Saturday, August 6, 2016

පාර්ලිමේන්තුවේ අමුඩ මාමා


 ජන නායකයෙක් වේදිකාවක ජනතාව අමතමින් සිටියි. ඒ සමඟම පසෙකින් ගැබ්බර වූ මවක් විලිරුදාවෙන් කෑ ගසයි. අසල රික්ෂෝ දෙකක් තිබුනද ඇයව රෝහල වෙත ගෙන යාමට එකදු මිනිසෙකු පියනැංගේ නැත. මෙම ජන නායකයා වේදිකාවෙන් බැස රික්ෂෝවේ එම මව තබා ඇයව රෝහල වෙත ගෙන ගියේය. ඊට පිටුපසින් ජනතාව ජයවේවා! ජයවේවා! යැයි කෑමොර දුන්නේය. අවසානයේදී මවත් ඇයගේ දරුවාත් බේරා ගැනීමට හැකිවිය. මෙම ක්‍රියාව නිසා මෙම ජනනායකයාගේ ජන්ද ව්‍යාපාරය සාර්ථක විය.

 දේශපාලනයේ බලය අයුතු ලෙස යොදා ගත් සමාජයේ මොහු සැමට ආදර්ශවත් චරිතයක් විය. මෙතුමා නමින් ආචාර්ය විජයානන්ද දහනායක මහතා ය. වරෙක පාසල් ලමුන්ට කන්න බනිස් දී බනිස් මාමා යැයි මොහුට කීවේය. තවත් විටෙක රෙදි මිල ඉහළ යෑම නිසා අමුඩයකින් සැරසී පාර්ලිමෙන්තුවට යෑම නිසා අමුඩ මාමා යන නම පටබැදුනේය. මේ ඔහුගේ කතාවයි.
විජයානන්ද දහනායක මහතා


 මොහු මූලික අධ්‍යාපනය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ලත් අතර වැඩිදුර අධ්‍යාපනය සදහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ගියේය. ඉන්පසු ඉංග්‍රීසි අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරයෙකු ලෙස පුහුණුව ලැබ වෘත්තිය ජීවිතය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් ආරම්භ කලේය. ගුරුවරයෙකු ලෙස කලක් සේවය කර මෙතුමා දේශපාලනයට පැමිණියේ ය.

 1938 වන විට ගාල්ල නගර සභාවේ පාලනය  ඒකාධිකාරයක්ව පැවතුනි. සමාන්‍ය ජනතාව භය කර බදු අය කර ගැනීම එකල බොහෝ විට සිදුවිය. මේවාට විරුද්ධව කතා කිරීමට කවුරුවත් ඉදිරිපත් වූයේ නැත. මෙවන් වාතවරණයකදී දහනායක මහතා හා ඔහුගේ සගයෝ කිහිප දෙනෙක් සමඟ මිනී පෙට්ටි රැගෙන එහි කළු පැහැති කොළ අලවා විලාප කියමින් විරෝධතාවය පෑවේය. මෙම විරෝධතා ව්‍යාපාරය ඉතා සාර්ථක වූ අතර කෙටි කලකින් ගාල්ල නගර සභාව විසුරුවා හැරියේය. ඉන්පසු එහි ජන්දයට ඉදිරිපත් වූ දහනායක මහතාට එහි නාගරික සභිකයෙකු ලෙස තේරීප්ත් වීමට හැකිවිය. 1939 පැවැත්වූ ජන්දයෙන් ගාල්ලේ පලමු නගරාධිපති ලෙස පත් විය. ගාල්ල නගර සභාව ක්‍රමක්‍රමයෙන් නගා සිටවූ ඔහු ජනතාවගේ ආකර්ෂණය නොමදව දිනා ගත්තේය.


 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බිබිල ආසණයට මොහු තර්ඟ කලේය. මොහු ජන්ද ප්‍රචාරණය සදහා මුදල් වියදම් කලේ නැත. තම එකම ජාතික ඇදුමෙන් සැරසී ගමින් ගමට ගියේය. මිනිසුන් ගැවසෙන නාන ලිදවල් හමුවූ විට ඔහු එතැනම නෑවේය. ඉන්පසු තම ඇදුම වේලෙන තුරු එතැන සිටි මිනිසුන් සමඟ දොඩමළු වූයේය. එමගින් ඔහුට ජනතාවගේ ආකර්ෂණය නොඅඩුව ලැබුනේය. 1947 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ගාල්ල ආසණයට , සතයක්වත් වියදම් නොකර තරඟ කල මොහු ජයග්‍රහණය කලේය. මොහු දේශපාලන රැස්වීම් වලදී කීවේ " මට පුලුවන් උනා හොදට සල්ලි තියෙන ගහක් හොලවලා මිනිසුන්ට ඒවා ඇහිදගන්න පුලුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න." දහනායක මහතා මෙසේ සල්ලි ගස කීවේ බිබිල ආසනයට ඔහු හා තරඟ කෙරූ පුද්ගලයා ගැනයි.

 1956 දී බණ්ඩාරණායක රජයේ අධ්‍යාපන ඇමති ධූරය හෙබවූයේය. ආර්ථික අර්බුධ හේතුවෙන් කලක් පාසල් ලමුන්ට ලබාදුන් දිවා ආහාරය නතර කර තිබුනි. දහනායක මහතා පාසල් ලමුන්ට බනිස් දීමට මෙම කාලයේදී ක්‍රියා කල නිසා මොහුට බනිස් මාමා යැයි ව්‍යවහාර විය.
දහනායක මහතා වෙනුවෙන් නිකුත් වූ මුද්දරයක්


1962 වසරේ පමණ රෙදි මිල අධික ලෙස වැඩිවූයේය. ඒ නිසා රෙදිපිලි අලෙවිය රජය යටතට ගැනීමට කටයුතු කලේය. රෙදි අලෙවිය කලේ සතොස ආයතනයයි. රෙදි හිගවූ නිසා පාරිභෝගිකයන් පීඩාවට පත් විය. මීට විරෝධය දැක්වූ දහනායක මහතා පාර්ලිමේන්තුව දක්වා අමුඩයෙන් සැරසී ගියේය. එමනිසා මොහු අමුඩ මාමා ලෙස ප්‍රකට විය.
අමුඩ මාමා


අද සිටින දේශපාලනඥයින්ට දහනායක මහතා ඉතා හොද ආදර්ශයකි. මෙතුමා රජයෙන් වාහනයක් ලැබෙන තුරු ගමන් ගත්තේ බසයෙනි. ලංකාවේ පස්වෙනි අගමැති ලෙස මෙතුමා පත්විය.

 බලය නිසාවෙන් මොහු ජනතාවගෙන් තරමක් දුරස් වූවාදෝ යැයි සිතේ. 1960 මාර්තු මැතිවරණයේදී ගාල්ල ආසනය පරාජය වූයේ මෙතුමා අගමැති පදවියේ සිටියදීමයි. 1989 දී දේශපාලන ජීවිතයෙන් මෙතුමා විශාම ගත්තේය.

Wednesday, August 3, 2016

දෙවියන්ට ලං වෙන්න ගංජා ගහන රස්තා


  මේ කියන්න යන්නේ ගොඩක් අය අහලා තියෙන ආගමක් ගැන. අහලා තිබ්බට මේ ආගම් ගැන ගොඩක් දෙනෙක් හරිහැටි දන්නෙ නෑ. මේ කියන්න යන ආගම තමයි රස්තාෆාරියන් දහම. රස්තාෆාරියන් කියද්දි මුලින්ම මතකෙට එන කෙනෙක් තමයි බොබ් මාලේ කියන්නේ. මොකද එයත් රස්තාෆාරියන් දහම අදහපු කෙනෙක්.
Haile Selessie 


 රස්තාෆාරියන් කියන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එනවායි කියන විශ්වාසයන්ගෙන් යුත් ආගම් වලින් එකක්. ( යුදෙව් , ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම්ද ආබ්‍රහම්ගෙන් පැවත එන විශ්වාසයන්ගෙන් සැදුම් ලත් ආගම් ලෙස පිලිගැනේ. ) 1930 දී ඉතියෝපියාවේ පාලකයා වුන Haile Selassie මෙම දහම වැඩි දියුණු කලේය. මොහුව ජේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම ලෙසත් දෙවියන් ලෙසත් එම බැතිමතුන් විශ්වාස කරයි.
Marcus Garvey 


Marcus Garvey නම් පුද්ගලයා විසින් මෙම දහමේ පදනම සකස් කර ඇති බව පිලිගනියි. බයිබලයේ සදහන් ස්නාවක ජොහාන්ගේ දෙවෙනි පැමිණීම ලෙස මෙම පුදගලයාව , රස්තාෆාරි බැතිමතුන් විශ්වාස කරයි. මොහු මෙම රස්තාෆාරියන් දහමේ අඩංගු දෑ ඉදිරිපත් කලේ මෙම ආගම සදහාම නොවේ. කළු ජාතිකයන් එකල දැඩි පීඩා විදිමින් සිටි නිසා ඔවුන්ගේ ජීවන තත්වය හා ධෛර්යය වැඩි කිරීමට මෙම දර්ශනය මොහු විසින් ගෙනෙන ලදි. Marcus යනු selessie ට පෙර කාලයේ ජීවත් වූ පුද්ගලයෙක් වූ අතර පසු කාලයේදී selessie විසින් ඔහුගේ දර්ශනය රස්තාෆාරියන් දහමට ඇතුලත් කරන ලදි.
Bob Marley 


 දැනට රස්තාෆාරි ආගමිකයන් මිලියනයක්ට වඩා සිටින බව ගනන් බලා ඇත. අප්‍රිකාව මුල් කරගෙන බිහිවූ මෙම ආගම දැන් ලෝකයේ දස අත පැතිරී ඇත. මෙම දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් කලේ බොබ් මාලේ විසිනි ( 1970s ). රස්තාෆාරියන් දහමට අනුව දෙවියන් විසින් තෝරාගත් ජනතාව වන්නේ කළු ජාතිකයන් ය. ( බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ජනතාව වන්නේ ඊශ්‍රායෙල් ජනතාව යි. )
ගංජා කොලයක්


 රස්තාෆාරියන් බැතිමතුන් බයිබලයේ පැරණි ගිවිසුමේ අඩංගු නීති බොහොමයක් භාවිතා කරයි. එමෙන්ම මේ දහම ගැන කියද්දි ගංජා ගැන අනිවාර්යයෙන්ම කතා වෙනවා. රස්තා බැතිමතුන් ගංජා භාවිතා කිරීමෙන් දෙවියන්ට වඩා ලං විය හැකි බව විශ්වාස කරයි. බොබ් මාලේ ගංජා භාවිතා කලේ එම හේතුව නිසයි. එමෙන්ම මෙම බැතිමතුන් කිසි විටෙක තම ශරීරය කැපීමට ඉඩ නොදෙයි.



 මෙම දහමේ භාවිතා වන වර්ණ කිහිපයක් ඇත. එම වර්ණ නම් රතු, කොළ , රත්තරන් සහ කලු වේ. මෙම වර්ණයන් යොදාගෙන ඇත්තේ තේරුමක් ඇතිවයි.

  • රතු - ජැමැයිකානු ඉතිහාසයේ කලු ජාතිකයන් තමන්ගේ විමුක්තිය උදෙසා හැලූ ලේ සංඛේතවත් කිරීමට. 
  • කොළ - නිර්මාංශ බව පෙන්නුම් කිරීමට
  • රත්තරන් - ඉතියෝපියාවේ ඇති ධනය පෙන්නුම් කිරීමට
  • කලු - රස්තාෆාරි බැතිමතුන් වූ කලු ජාතිකයන්ගේ වර්ණය සිහි ගැන්වීමට
මෙම ආගම සමඟ කොණ්ඩා මෝස්තර , ඇදුම් පැලඳුම්, ආහාර පාන , විවිධ වූ විලාසිතා ඔවුන්ටම අනන්‍ය වී පවතියි. රස්තාෆාරි දහමේ ගංජා භාවිතා කිරීම තිබුනද සමහර රස්තාෆාරි බැතිමතුන් එය භාවිතා කරන්නේ නැත. මෙම දහමේ කොණ්ඩය කැපීම නොකල යුතු යැයි පවසන අතර ශරීරය දේවස්ථානයක් ලෙස තබාගත යුතු යැයි සදහන් වේ. එමනිසා මොවුන් ශරීර සෞඛ්‍ය ගැන බොහෝ විට සිතයි. එම හේතුම නිසාවෙන්ම බොහෝ රස්තාෆාරි බැතිමතුන් ගංජා භාවිතා නොකරයි. 
රස්තාෆාරියන් කොඩිය


 මෙම බැතිමතුන් මෙය දහමක් ලෙස හදුන්වාදීමට අකමැතියි. මෙය දර්ශනයක් ලෙස හදුන්වාදීමට ඔවුන් උත්සහ කරයි. රස්තාෆාරි ආගමිකයන්ගේ සංඛෙතය වන්නේ සිංහයා ය. මොවුන්ගේ කොඩිය වන්නේ selessie ගේ පාලන සමයේ ඉතියෝපියාවේ භාවිතා වූ කොඩියයි. බොහෝ දෙනා අසා ඇති ගීයක් වන By The Rivers Of Babylon ගීතයත් රස්තාෆාරියන් ගීතයක්. මේ ගීතය ගැන ලියැවුනු ලිපිය කියවන්න මෙතනින්.

රස්තාෆාරි දහම ගැන කෙටියෙන් මෙහි ඇත. ඔබලාගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තුවෙන් සිටිමි.

- මිතිල ප්‍රනාන්දු

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...