Sunday, January 29, 2017

සංචාරක සටහන් - 2 ( ලොකු ලොකු හිස් නැමූණු බාබර් සාප්පුවේ මමත් හිස නැමූ වගයි)


 2017 ජනවාරි 28 දින කොළඹ කොටුව වයි.එම්.සී.ඒ. ගොඩනැගිල්ල වෙත ගියේ යම් ව්‍යාපෘතියක් සදහාය. 1882 වසරේ සිට පවතින මෙම ගොඩනැගිල්ලෙහි යුග ගණනාවක මතක සටහන් ඒ අයුරින්ම අදත් පැවතීම පුදුමයට කරුණකි. ඒ අතර විශේෂ වන්නේ 1933 ඇරඹි දැනට ඇති ලංකාවේ පැරණිතම බාබර් සාප්පුවයි.



 මා එහි ගිය විට මාව සිනහවකින් පිලිගත්තේ ජාතික ඇඳුමෙන් සැරසී සිටි රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු මහතාය. ඔහු මෙම ස්ථානයට සේවය කිරීමට පැමිණ ඇත්තේ 1954 වසරේදී ය. මෙම ස්ථානයේ වර්තමාන අයිතිකරු වනනේ ජානක ප්‍රනාන්දු මහතාය. මෙම ස්ථානය පිලිඹද සොයාගත් තොරතුරු හා ඔවුන් හා මා අතර ඇතිවූ සංවාද ඇසුරෙන් පහත දෑ මවිසින් සොයා ගන්නා ලදි.
රෙජිනෝල්ඩ් මහතා


 ඈත අතීතයේ මිනිසුන් කොණ්ඩය කැපීමට එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැත. ඔවුන් කාන්තාවන් මෙන් කොණ්ඩය දිගටම නොකපා වැවූහ. එනමුත් සමාජය වෙනස් වීමත් සමඟම මෙය වෙනස් වූහ. මුල් කාලයේ ගෙයින් ගෙට ගොස් කොණ්ඩය කැපීම සිරිත විය. කොණ්ඩය කැපීම එකල එක් කුලයකට පමණක් සීමා වී තිබිණි. කොණ්ඩය කපන ස්ථාන ඇරඹීමත් සමඟ සාමාන්‍ය ජනතාවත් කොණ්ඩය කැපීමට යොමු වූහ.


 මෙම බාබර් සාප්පුව ඇරඹියේ 1933 දීය. එකල මෙම ස්ථානය එනම් වයි.එම්.සී.ඒ. ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය ජාතිකයන්ට නවාතැන් ස්ථානයක් විය. මෙම බාබර් සාප්පුවෙන් කොණ්ඩය කැපීමට මුල්ම කාලයේ පැමිණියේ බ්‍රිතාන්‍ය හමුදා නිළදාරීන් ය. මොවුන් සමඟ මෙම ස්ථානයේ සේවය කරන උදවිය ඉංග්‍රීසියෙන් කතා බහ කල බැවින් ඉංග්‍රීසි ජාතිකයන් මෙම ස්ථානයෙන් කොණ්ඩය කැපීමට වැඩි කැමැත්තක් දැක්වූහ. උසස් නිල තල තිබූ සිංහල ජනතාවත් මුල්ම කාලයේ මෙම ස්ථානයෙන් කොණ්ඩය කපා ගැනීමට පැමිණියේ ය. ඔවුන් සිංහලෙන් වචනයක්වත් කතා කලේ නැත. සිංහලෙන් කතා කිරීම ඔවුන්ට මදි පුංචි කමක් ලෙස ඔවුන් එකල සලකන ලදි.


 මෙම බාබර් සාප්පුව ඇරඹීමත් සමඟ කොළඹ බොහෝ ස්ථානවල බාබර් සාප්පු ඇරඹිනි. එනමුත් ඒවා පැවතියේ දින කිහිපයකි. සේවාදායකයන්ට සරිලන සේවාවක් ලබා දීමට එම සාප්පු වලට නොහැකි වීම එයට හේතුවයි.


 මෙම බාබර් සාප්පුව පරම්පරා තුනක් තිස්සේ නොකඩවා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. එකල කොණ්ඩය කැපීම සදහා අයකරන ලද්දේ සත තිස්පහක් බව රෙජිනෝල්ඩ් මහතා පැවසීය. මෙය එකල විශාල මුදලකි. ඔහුට එකල වැටුප ලෙස ලැබී ඇත්තේ මසකට රුපියක් හැත්තෑ පහකි.


 1947 වන විට මෙම බාබර් සාප්පුවේ සිටි සේවක සංඛ්‍යාව දොළහකි. අද වන විට සිටින්නේ රෙජිනෝල්ඩ් මහතා සහ වර්තමාන අයිතිකරු වන ජානක ප්‍රනාන්දු මහතා පමණි. එකල මෙම බාබර් සාප්පුවෙන් කොණ්ඩය කැපීමට මිනිසුන් පෝලිමේ පොරකමින් සිටි බව රෙජිනෝල්ඩ් මහතා පැවසීය. රාත්‍රී වන විටත් එම සෙනඟ නොඅඩුව පැවති බවද ඔහු පැවසීය. අද වන විට එතරම් සෙනඟ නොපැමිණියත් පාඩු නොලබා සේවයක් තවමත් ලබා දිය හැකි බවද පැවසීය. අතීතයේ සිටම මෙම ස්ථානයෙන් කොණ්ඩය කැපීමට පුරුදු වූ උදවිය මෙම ස්ථානයට කොණ්ඩය කැපීමට අනිවාර්යයෙන්ම පැමිණේ.


සේවක සංඛ්‍යාව අඩු වුවත් මොවුන් අලුතෙන් සේවකයන් පත්කර ගැනීමට පෙළඹුනේ නැත. මන්ද ඔවුන්ට සේවාදායකයන්ට සරිලන සේවාවක් ලබා දීමට අපොහොසත් වූ බැවිනි.

ආරම්භක අයිතිකරු ඇන්ඩෘ ප්‍රනාන්දු මහතා
ආරම්භක සේවක ඇලෙක්සි ප්‍රනාන්දු මහතා


 1956 පමණ වන විට මෙරට දේශපාලන නායකයන් බොහෝ දෙනෙකුගේ කොණ්ඩය කපන ස්ථානය වූයේ මෙම ස්ථානයයි. එන්.එම්. පෙරේරා, පීටර් කෙනමන්, ටී.බී. ඉලංගරත්න, කොල්වින් ආර් ද සිල්වා, ආර්. ද සිල්වා එල්ලාවල වැනි පුද්ගලයින් මාස්පතා කොණ්ඩය කපා ගැනීමට මෙම ස්ථානයට පැමිණ ඇත. පසු කලෙක මුත්තෙටුවේගම වැනි නීතඥ්‍යන් ද ගනනාවක්ද මෙම ස්ථානයටබ්පැමිණ ඇත. මෙම නායකයන් බොහෝ දෙනෙක් අවශ්‍ය දේ පමණක් කතා කල අය වූය. එනමුත් මුත්තෙට්ටුවේගම වැනි අය සේවකයන් සමඟ ඉතාමත් සුහඳශීලීව දේශපාලනය ගැන කතා නොකල දවසක් නැති තරම් බවද පැවසීය.


 දේශපාලන නායකයන්ට අමතරව සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද මෙම ස්ථානය තම කොණ්ඩය කපා ගන්නා ස්ථානය බවට පත් කර ගන්නා ලදි.ඒ අය අතර ඩොමී ජයවර්ධන, ආනන්ද ජයරත්න, ශාන්ති කුමාර්, ප්‍රේම් ජයන්ත වූහ. මොවුන් කොණ්ඩය කපා පිටවූ යන විට ඔවුන්ව දැක බලා ගැනීමට ජනතාව වයි.එම්.සී.ඒ. ගොඩනැගිල්ල අවට පොරකකා සිටි බව දැනගන්නට ලැබුණි.


  මෙම ස්ථානයට ගිය පසු එදින උදෑසන මගේ මව පැවසූ දෙයක් මට සිහිවිය එනම් " දැන්වත් ඔය කොණ්ඩය කපලා මනුස්සයෙක් වගේ ඉන්නකෝ.." ඒ අනුවව්මෙම ස්ථානයෙන් කොණ්ඩය කැපීමට මම ඉටා ගත්තේය.


 මගේ කොණ්ඩය කැපුවේ මෙම ස්ථානයේ වර්තමාන අයිතිකරු වූ ජානක ප්‍රනාන්දු මහතා විසිනි. කොණ්ඩය කපා අවසන් වූ පසු මා මෙතෙක් අත්විදි හොදම හිස් සම්බාහනයද ජානක ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි. ඔහු පැවසූ අන්දමට එය ඔහුගේ පියා විස්න් ඔහුට උගන්වන ලද්දකි.


Tuesday, January 17, 2017

බයිබලයෙන් එහා - 2 ( පරිසිවරු )

  
සෑම ගම් පලාතකම තිබූ ධර්මශාලාවල මූලිකත්වය දැරුවේ පරිසිවරුය. සෑම පරිසිවරයෙකුම නීතිවේදියෙක් නොවූවත් නීතිවේදීන් අතර බහුතරය පරිසිවරු අතර වූහ. ටෝරාව ( ව්‍යවස්ථාව / බයිබලයේ පලමු පොත් පහ) වටා ගෙතුනු වාචික නීති සම්බාරයක් (මිෂ්නා) ජුදෙව්වරුන්ගේ ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන අන්දමින් පරිසිවරු විසින් සෑම සබත් දිනයකදීම පැහැදිලි කරන ලදි.


දේවමාලිගාවේ හා ධර්මශාලාවේ වත් පිලිවෙත් , පවුල් නමස්කාරය පැවැත්වීමේ විධි, ආගමික උත්සව වල නීති රීති හැර දේපල ප්‍රශ්න, මුදල් ගනු දෙනු , පුද්ගලික පිරිසිදුකම ගැන පවා සම්ප්‍රධායන් නියම කලේ පරිසිවරුය. ඒවා අකුරටම පිලිපැදීමට කැප වී සිටින බව පවසමින් ජනතාවද එසේ කල යුතු බව අවධාරණය කරන ලදි. උදා: ආහාර ගැනීමටපෙර නිසි ආකාරව අත් සෝදා ගැනීම හුදෙක් සමාජමය සිරිතක් වශයෙන් නොව ආගමික පිලිවෙතක් ලෙස උගන්වන ලදි. මෙවැනි නීති රීති නොපිලිපදින අය සිනගෝග වලින් නෙරපන ලදි.


පරිසි යන්නෙහි තේරුම වෙන්වූ යන්නයි. අන්‍යජාතීන්ගෙන් ( ජුදෙව් හැර අනෙක් ජාතීන් අන්‍යජාතීන් ලෙස හදුන්වන ලදි.) , ජාති ද්‍රෝහීන් ලෙස ගණන් ගැනුනු අයකැමියන්ගෙන්, සමාරිතයන්ගෙන් හා සාමාන්‍ය දුප්පත් ජනතාවගෙන් පවා වෙන්ව ජීවත් වීම පරිසිවරුන්ගේ සිරිත විය.
ඔවුන් හා එක්වීමට කැමති අයට ඉගැන්වීම සදහා ධර්මශාලා අසල පාසල් පැවැත්වීමද පරිසිවරුන්ගේ වගකීම ලෙස පිළිගැණිනි. ආධුනිකයන් බඳවා ගැනීමේදී ඔවුන් බව්තීස්ම ස්නානය කිරීමෙන් සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කර ගැනීම පරිසිවරුන්ගේ මූලික ආකල්පය පෙන්නුම් කරයි. ජුදෙව් ආගම ඉගෙනගැනීමට කැමැත්ත දැක්වූ අන්‍යජාතික පුද්ගලයන්ද ' දෙවියන්වහන්සේට භය ඇත්තන්' ලෙස හදුනාගෙන ඔවුන් බව්තීස්ම කිරීම පරිසිවරුන්ගේ සිරිත විය.


මළවුන්ගෙන් උත්ථාන වීම් පිලිබඳ ජේසුස්වහන්සේගේ ඉගැන්වීම් පරිසිවරුන්ට පිළිගත හැකි විය. අරිමාතියේ ජෝසෙප්, නිකදෙමුස් වැනි පරිසිවරු ජේසුස්වහන්සේගේ අනුගාමිකයන් වීමට කැමැත්තක් දැක්වූහ. එහෙත් ජුදෙව් ව්‍යවස්ථාවේ සවිස්තරවල ඇලී ගැලී සිටි පරිසිවරුන්ගෙන් බහුතරයට ජේසුස්වහන්සේගේ නීතියේ හරය අනාවරණය කළද ඔවුන්ට ඒ පිලිබදව පැහැදීමක් නොවීය. තවද ජේසුස්වහන්සේ ඔවුන්ගේ ශ්‍රාවකයෙකු නොවීම ගැනද ඔවුන් තුල අමනාපයක් හටගන්නට ඇත.


වාචිකනීතිය හැදෑරීම පිලිබදව පරිසිවරු අතර නොයෙක් බේද ඇතිවූ බව ප්‍රකටය. විවිධ කල්ලි බිහිවූ තිබූ හෙයින් ඔවුන් අතර සමගියක් නොවීය. මේ නිසාම ජුදාගමේ නියම වටිනාකම සැඟවුණි. ජනතාවට සහනයක් ලබාදීමට පරිසිවරුන්ට නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ.

රෝම රජයට කිසිසේත් පක්ෂපාත නොවූ බව කියැවේ. පරිසිවරු අයකැමියන්ට විරුද්ධ වූයේ ඔවුන් දුප්පතුන්ට තලා පෙලා අසාධාරණ ලෙස බඳු එකතු කල නිසා නොව විදේශීය පාලකයන්ට සේවය කිරීම ජාතියට හා ආගමට කැළලක් යැයි සිතූ බැවිණි. තවද පරිසිවරු බඳු නොගෙවා සිටීමට තැත් කල බව පෙනේ. රෝම නීතියට පමණක් නොව මෝසෙස්ගේ ව්‍යවස්ථාව පවා ඔවුන්ගේ වාසියට නම්මවා ගැනීමට යත්න දැරූ අවස්ථා එමටය. ඒවාට විරුද්ධව ජේසුස්වහන්සේද බොහෝ වරක් ඔවුන්ට චෝදනා කලේය.

මූලාශ්‍ර : ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයෙන් ප්‍රකාශිත ග්‍රන්ථ ඇසුරෙන්.

Saturday, January 14, 2017

බයිබලයෙන් එහා - 1 ( වසංගත දහය )


 මෝසෙස්ගේ උපත ක්‍රි.පූ. 1526 දී සිදුවූ බව ගණනය කර ඇත. මෙය පලමුවන අම්හොටෙප් පාරාවෝගේ මරණය සිදුවූ වර්ෂය ලෙස දක්වති. බිළිදුන් විනාශ කිරීමට නියෝගය දුන්නේ ඔහුට පසු රජ වූ පලමුවන ථුත්මෝස් රජු යැයි සැලකිය හැකියි. මෝසෙස්ගේ වැඩිමහල් සහෝදරයාට මේ වන විට වයස තුනක් වූ අතර මෝසෙස්ට වූ තර්ජනය ඔහු උපදින කාලයේ පැවතියේ නැත.


 එම නියෝගය කඩකල වින්නඹුවන් දෙදෙනෙකුගේ නම් බයිබලයේ සඳහන්ව ඇත. මොසෙස් ඉපදුන පසු ඔහුගේ මව ජෙකෙබෙත් මාස තුනක් සඟවා තබාගෙන පසුව කූඩයක බහා නයිල් නදියේ පා කර හැරියා ය. දරුවා ගඟෙන් බේරා ගත් පාරාවෝගේ දියණිය ඔහු මාලිගයේ හදා වඩා ගත්තාය. රජ මාලිගයේ සේවිකාවක් ලෙස මෝසෙස්ගේ මව සහ සොහොයුරිය වූ මීරියම් කටයුතු කලහ. මේ පාරාවෝගේ දියඹිය හට්ෂෙප්සුට් යැයි සමහරු දක්වති. ( දහ අටවන මිසර රාජවංශයේ පස්වන පාරාවෝ වූවාය. ඇය පාමුවන ථුත්මිඔස් හා අහ්මෝස් බිසවගේ දියණියයි. ක්‍රි.පූ. 1479 - 1458 තෙක් සමරාජ පාරාවෝ පදවිය ඉසිලුවාය. මීට පෙර මිසරයේ රජකම් කල අනික් රැජිණ වූයේ දොලොස්වන රාජ වශයේ සොබෙක්නෙෆෙරූ ය. )

  මෝසෙස්ගේ පුවත මෙසපොතේමියාවේ අගාද්හි සර්ගොන් ප්‍රවාදය සමඟ සැසදීමට විශාරදයන් උත්සහ කරයි. මෙම පුවතේ සර්ගොන්ගේ මව දරුවා කූඩයක දමා පා කර හැරියාය. පසුව අක්කි නැමැත්තා ඔහු ගඟෙන් ගොඩගෙන හදා ගත්තේය. පසුව සර්ගොන් සුමේරියාවේ රජ විය. තවත් සමාන්තර කථාන්තර පුවත් සුමේරියානු - ආකේඩියානු ලිපියක ඇත. හෙදියක් දරුවා මෙසේ ලබාගෙන රහසිගතව අවුරුදු තුනක් රැක්කාය. ඇයට ඒ සදහා වේතනයක් ලැබුණි. පසුව ඔහු ලියන්නෙකු ලෙස පුහුණු විය. මෙහිද සමානකම් ඇත.

 වයස අවුරුදු 40 දී මෝසෙස් මිසරයෙන් පලා ගියේ මිදියන් දේශයටය. ඒ එකල පාරාවෝ මෝසෙස්ව මැරීමට උත්සහ කල නිසාවෙනි. මෝසෙස් මිදියන් දේශයේ 40 වසරක් සිට නැවත පැමිණියේ තමන්ට බාදා කල පාරාවෝ මියගිය පසුය. මෙසේ මෝසෙස් නැවත මිසරයට පැමිණි පසු හමුවූ පාරාවෝ වූයේ දෙවන අම්හොටෙප් ය. මෝසෙස් පාරාවෝවරයාගෙන් ඉල්ලා සිටියේ දින තුනක වන්දනාවක් සදහා කාන්තාරය දෙසට යාමට ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ දෙන ලෙසය. එයට පාරාවෝ ඉඩ හැරියේ නැත. ඒ නිසා රජුගේ තීරණය වෙනස් කිරීමට බලය යෙදීමට සිදු විය. මෙසේ බලය පෙන්වීම වසංගත වශයෙන් සිදුවිය.


මෙම වසංගත ගැන විවිධ අදහස් පලවී ඇත. මෙම වසංගත ගැන ස්වභාවික හේතු දැක්වීමට උත්සහ දරා ඇත. රතු මුහුද තරණය කිරීම ගැන දක්වා ඇති හේතුව වන්නේ භීමිකම්පාවයි. තවත් මතයක් වන්නේ සන්‍ටෝරිත් හි ගිනි කන්දක් ක්‍රි.පූ. 1447 දී පිපිරීම නිසා ඇතිවූ මුහුදු රළ ඉහළ යාම නිසා මිසර හමුදාව විනාශ වූ බවයි. මේ ස්වභාවික හේතුවල ප්‍රථිපලයක් වශයෙන් වසංගත ඇතිවූ බව පෙන්වා ඇත.


 වසංගත වලින් පලමුවැන්න ඇතිවූයේ නයිල් ගඟ අසාමාන්‍ය ලෙස ගැලීම නිසාය. ගංගාව ලේ පාට වූයේ නයිල් ගඟාවේ ඉහළ ප්‍රදේශයේ මඩ වතුර ගලා ඒම නිසාය. ඉහළ නයිල් ප්‍රදේශයේ ඇති සුදු නයිල් සහ නිල් නයිල් සහ අත්බරා ගංගා ගලා බසින්නේ රතු පස ඇති ප්‍රදේශ හරහාය. එසේම ඒ පසෙහි බැක්ටීරියා ප්‍රමාණය අධික වූ නිසා ගංගාවේ මාළුන් මැරී ගිය බව දක්වා ඇත. නයිල් ගංගාව අද්දර ජීවත් වූ මැඩියන් අගෝස්තු මාසයේදී අධික ජල ගැලීම නිසා අධික විය. ( ජලයේ බැක්ටීරියා අධික නිසා ගොඩබිමට පැමිණේ)  ඒත් සමඟම මදුරුවන්ද වැඩි විය. මෙය ඇතිවූයේ ඔක්තෝම්බර් නොවැම්බර් කාලයේදී ය.


 ජල ගැල්ම අවසන් වූ පසු කාන්තාර ප්‍රදේශයේ සිට මැස්සන් හා මදුරුවන් ඇදී ආ බව පෙනේ. වතුරේ පල්වූ ගස්කොළන් වල මෙම කෘමීන් බිත්තර දැමූ නිසා වසංගතය බහුල විය. ජනවාරි වන විට මැස්සන් නැතිව ගියේ ය. මැරීගිය මැඩියන්ගෙන් ඇතිවූ තත්වය නිසා ගවයන්ගේ ආහාර වූ තණකොළවලට විෂබීජ ඇතිවී ඉන් ගවයන්ට හානි ඇති විය.


 ඉන්පසු ශරීරයේ බිබිලි දැමීමක් සිදු විය. එය විෂබීජයක් මගින් සිදුවිය. ඉන්පසු පෙබරවාරි මාසයේදී පලගැටි වසංගතයක්ද ඇතිවී අස්වැන්න කා දැමුණි. ඉන්පසු මඩජලය බැසගොස් වියලී ගිය පසු එමගින් දූවිල්ලක් ඇතිවී පරිසරය වැසී ගියේ ය. හෙබ්‍රෙව්වරු නයිල් නිම්නය අසල නොසිටි බැවින් මෙම වසංගත වලින් හානිවූයේ නැත.


 අවසන් වසංගතය වන්නේ කුළුදුල් දරුවන් මියයාමයි. මෝසෙස් හෙබ්‍රෙව්වරුන්ට පැවසුවේ මෙම වසංගයෙන් ගැල්වීමට නිවසේ දොරේ බැටළුවකුගේ ලේ ආලේප කරන ලෙසය. වසංගත බොහොමයකට මුහුණ දුන් නිසා ආහාර විශ වීම සාමාන්‍යෙ දෙයකි. පවුල්වල වැඩිමහල් දරුවාට වැඩියෙන් ආහාර කොටසක් ලබා දීම එකල සාමාන්‍යයෙන් සිදු කෙරිණි. එමනිසා වැඩි විශ ප්‍රමාණයක් ශරීරගත වන්නේ වැඩිමහල් දරුවාටය.   කෙසේ නමුත් බයිබලයේ ඇති දේ වචනාර්තයෙන්ම ලබා නොගත යුතුයි.

මූලාශ්‍ර : කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ ප්‍රකාශිත ග්‍රන්ථ ඇසුරෙනි.

Friday, January 6, 2017

දෙවියන්ගේ නාන තටාකය

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් වසර කිහිපයකට උඩදී විශ්මිත විලක් සොයා ගත්තේ ය. මෙම විල කිසිදු කාලගුණික විපර්යාසයකට ලක් වී නොමැති අතර මිනිසා විසින් සිදුකරන ලද ක්‍රියාවලීන්ට හෝ ලක්ව නොමැත. එහි ජලය ඉතා පැහැදිලි හා පිරිසිදු වන අතර ඒවා මීට වසර 7500කට පෙර පැවති ආකාරයෙන් පවතින බවට වාර්ථා වේ.

මෙම විද්‍යාඥයන් පවසන්නේ මෙය දෙවියන්ගේ නාන තටාකය ලෙස නම් කිරීම සුදුසු බවයි. එතරම්ම මෙහි ජලය පිරිසිදුය. කෙසේ වෙතත් මෙම සොයා ගැනීමෙන් පසුව මෙම විල බ්ලූ ලේක් නමින් හැදින්වේ. මෙම විල පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි දිවයිනක් වන උතුරු ස්ටාර්ඩ්බ්‍රෝක් හීය. මෙම විල එහි පිහිටි විශාල විල් අතරින් එකකි.


විලෙහි ජලය කෙතරම් පිරිසිදු දැයි කිවහොත් විලට එබී බලන්නෙකුට එහි අඩි 30 ක් පමණ ගැඹුරු පත්ල ඉතා පැහැදිලිව දැක ගත හැකිවේ. මේ පිලිබදව ලොවට අනාවරණය කිරීමට පෙර දීර්ඹ කාලයක් පුරා පර්යේෂණ කටයුතු සිදු කෙරුණු අතර තවමත් මෙම විල පිලිබඳව හා ඒ අවට විල් පිලිබඳව පර්යේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතියි.




Monday, January 2, 2017

කාබන් කාල නිර්ණය


 උදාවූ නව වසර සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා යැයි පතමි.

 අද කියන්න යන්නේ කාබන් කාල නිර්ණය සම්බන්ධව. අර්ධ ආයු කාල ගණනයන් මගින් පොසිලයක වයස නිර්ණය කර ගන්නා ආකාරය කියා දීම මෙම ලිපියේ අරමුණයි. මුලින්ම අර්ධ ආයු කාලය යනු කුමක්දැයි අපි සලකා බලමු.

 කිසියම් විකිරණශීලී සමස්ථානිකයක න්‍යෂ්ඨිය විකිරණ පිටකරමින් ක්ෂය වේ. ( පොලෝනියම්, රේඩියම්, රේඩෝන්, ෆ්‍රැන්සියම්, තෝරියම්, යුරේනියම් ආදිය විකිරණශීලී මූලද්‍රව්‍ය වලට උදාහරණ කිහිපයකි. ) එවැනි න්‍යෂ්ටියක් පැවති ප්‍රමාණයෙන් භාගයක් වීමට ගතවන කාලය විකිරණශීලී සමස්ථානිකයේ අර්ධ ආයු කාලය යනුවෙන් හැදින්වේ.

 කෝපි ඇට 100g ගන්න. මිනිත්තු 10 කට පසු එම කෝපි ඇට වලින් අඩක් එනම් 50g ඉවත් කරන්න. තවත් මිනිත්තු 10 කට පසු ඉතිරිව ඇති කෝපි ප්‍රමාණයෙන් අඩක් එනම් 25g ඉවත් කරන්න. මේ ආකාරයෙන් ඉතිරිව ඇති ප්‍රමාණවලින් අඩක් බැගින් ඉවත් කරන විට කෝපි ඇට ප්‍රමාණය අඩු වන බව දැකිය හැකිය. පලමුව තිබූ මුලු කෝපි ප්‍රමාණයෙන් අඩක්ද, දෙවනුව මුලින් තිබූ ප්‍රමාණයෙන් කාලක්ද ආදී වශයෙන් ක්ෂය වේ. විකිරණශීලී සමස්ථානිකයක න්‍යෂ්ටියද ක්ෂය වන්නේ ඒ ආකාරයටය.


 එක් එක් විකිරණශීලී සමස්ථානිකවල අර්ධ ආයු කාලයන් එකිනෙකට වෙනස් ය. යුරේනියම් -238 සමස්ථානිකයේ අර්ධ ආයු කාලය වසර මිලියන 4500කි. රේඩෝන්-221 සමස්ථානිකයේ අර්ධ ආයු කාලය තත්පර 30කි.

 ජීවී ශරීරයේ කාබන් -14 විකිරණශීලී සමස්ථානිකය අඩංගු වේ. එහි අර්ධ ආයු කාලය වසර 5730කි. සිරුරේ කාබන් -14 සමස්ථානික ජීවියා මියගිය අවස්ථාවේ පටන් ක්ෂය වීමට පටන් ගනියි. ඒ අනුව අස්ථි කැබැල්ලක , ශාක කොටසක කාබන් -14 විකිරණශීලී සමස්ථානිකයේ අර්ධ ආයු කාලය පරීක්ෂා කර එම අස්ථි කැබැල්ල කොපමණ කාලයකට පෙර ජීවත් වූවෙකුගේදැයි පැවසීමට පුලුවන. කාබන් කාල නිර්ණය නම් එයයි. පුරාවිද්‍යා කැනීම්වලදී හමුවන අස්ථි කැබලි , ශාක කොටස් ආදිය කවර කාලයකට අයත්දැයි නිර්ණය කර ගැනීමට මේ ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වේ.


 අපි උදාහරණයක් ගෙන සලකා බලමු. යම්කිසි පොසිලයක කාබන් -14 ඇත්තේ මුල් ප්‍රමාණයෙන් 1/8 යැයි සිතමු. එනම් එය මුල් ප්‍රමාණයෙන් බාගයක්ද(1/2) , එයුනුත් බාගයක්ද (1/4) , එයුනුත් බාගයක්ද (1/8) ක්ෂය වී ඇත. එනම් මෙය අර්ධ ආයු කාල 3ක් ගත වී ඇත. ඒ අනුව මෙහි වයස 5730×3 එනම් වසර 17190 ලෙස නිර්ණය කල හැක. මෙය සරලම ක්‍රමයයි.


මූලාශ්‍ර :

උසස් පෙල විෂය නිර්දේශය.
ලක්ෂ්මන් දිසානායක මහතාගේ පොත්

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...