Friday, September 25, 2020

උඩගල දෙබොක්ක සොයා - [1]

 

ඔන්න ඉතින් දැන් මේ කියන්න යන්නේ මම ගිය පොඩි ගමනක් ගැන. පොඩි කිව්වට පොඩිමත් නෑ. ඉස්සර නම් ට්‍රිප් එකක් යනවා කිව්වම වෑන් එකක් බස් එකක් කාරිය කතාකරගෙන පාන්දර පිටත් වෙන්න හිතාගෙන පස්සේ උදේටත් කාලා දවල් වෙලා පිටත්වුනු ට්‍රිප් තිබුනේ. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් යනකොට ඒ තැනට අපිත් එක්ක යන කවුරුහරි මීට කලින් ගිහිල්ලා තියෙනවා. ඒත් මේක එහෙම එකක් නෙමේ. අපි තියා අපි යන තැනේ ගමේ අයගෙනුත් එතනට ගිහින් තියෙන්නේ කිහිප දෙනයි. එතන නම තමා ‘උඩගල දෙබොක්ක’. මේක ගමක්. තියෙන්නේ කන්දක් උඩ. මහ කැලෑව මැද්දෙන් කිලෝමීටර් 7ක් 8ක් විතර ඇවිදන් ගිහින් කන්ද නගින්න තියෙන්නේ. මේ කතාව ඒ ගමනයි එහෙ මිනිස්සුයි ගැනයි.

අපිට මේ ගම ගැන මුලින්ම දැනගන්න ලැබුනේ ඩිල්මේන්ද්‍ර සහෝදරයගෙන්. එයා මේ අමනට සහභාගි වුනු හය දෙනාගෙන් කෙනෙක්. අපි ගමන පිටත්වෙන්න හිතාගත්තේ සෙනසුරාදා පාන්දර දෙකහමාරට. ඒ ඩිල්ෂාන්ගේ ගෙදරින්. රාවතාවත්තේ. ඩිල්ෂාන් කියන්නේ පොඩි කාලෙ ඉඳන් අදුනන මගේ හොදම මිත්‍රයා. මම ඩිල්ෂාන්ගේ අම්මවත් අරගෙන ජා ඇල ඉඳන් රාවතාවත්තට අවා සිකුරාදා හවස [ජූලි 31]. අවශ්‍ය කලමනා ඔක්කොම අරගෙනයි ආවේ. නෑ ඉන්නකො ටිකක්. ඔක්කොම කියන්නත් බෑ. මට කෝප්පෙකුයි පිඟානයි බ්‍රෂ් එකයි අමතක උනා. මේ ගමනට සහභාගි වුනු තවත් කෙනෙක් තමා ඩිමන්ත. පොඩි කාලෙ ඉඳන් එකට ඉගෙනගත්තු මගේ හොදම යාලුවෙක්. අපි ඩිල්ෂාන්ගේ ගෙදරට එනකොට ඩිමන්ත ඇවිල්ලා උන්නේ නෑ. එයා ආවේ අපි ආවට පස්සේ. මේ ගමනට සහභාගි වුනු අනිත් සාමාජිකාව තමා ඉරුෂ්මී. ඩිල්ෂාන්ග් ජීවන සහකාරිය.

සෙනසුරාදා පාන්දර 2ට විතර රාවතාවත්තේ දී. අපි ගමන පිටත් වෙන්න මොහොතකට කලින්.


දැන් මේ ගමන යන්න ඔක්කොම ලෑස්තියි. අපි වේලාහන නිදාගන්න ඕන කියල හිතුනත් පුරුද්ද නිසා එකොළහමාර වෙනකන් අපි නිදාගෙන ඇහැරිලයි උන්නේ. කියව කියව. දැන් වෙලාව හරි. කට්ටියම ඉතින් ලක ලැහැස්ති වෙලා බැස්සා පාරට. අපි මේ ගමන යන්නේ බයික් තුනක. දෙකක් ස්කූටි. අනෙක ඩිල්ෂාන්ගේ බයික් එක. ඒකෙ නම තාම මට හරියට කියෝගන්න බෑ. ඔය බයික් ගැන සමහර අය ලස්සනට විස්තර කරනවා පෙට්‍රල් ගැනයි එංජිමයි අනං මනං අමුතු වචන දාලා කියන්නේ.

ඒත් මට ඒවා එච්චර තේරෙන්නේ නෑ. ඩිල්ෂාන්ගේ බයික් එක ගැන කිව්වොත් ඒක කළුයි. ඉස්සරහා වීදුරුවක් වගේ එකක් තියෙනවා. නවත්තලා තියෙනකොට තෙත රෙද්දක් එහෙම වනලා වේලගත්තැහැකි ලස්සනට. බයික් එක දෙපැත්තෙන් යකඩෙන් හදාපු මොනාද මන්දා එකක් තියෙනවා. ඒක නිසා බයික් එක වැටුනත් ඇඟ උඩට වැටෙන්නෑ. ඉතින් හරි ප්‍රයෝජනවත්. තව බයික් එක පිටිපස්සේ බඩුමුට්ටු දාගන්න පොඩි පෙට්ටගමකුත් තියෙනවා. ඩිමන්තගේ ස්කූටියත් නියමයි. යතුර දාලා බොත්තම ඔබපු ගමන් වැඩකරනවා.

ඒකටත් එක්ක මගේ ස්කූටිය. කරත්තෙකට වඩා ටිකක් හොදයි. පනහට යනකොට මට තේරෙනවා බයික් එක කියනවා “උඹ මගේ අවසන් ගමන නේද මේ අරගෙන යන්නේ….” කියල. හැටට යනකොට කියනවා “දෙවියනේ මොන වරදක් කරාටද….” හැත්තෑව කිට්ටු කරනකොටම “මරපියව් මාව….!” කියල කෑගහනවා මට තේරෙනවා. හැබැයි දැන් නම් බයික් එක හොද තත්ත්වයේ තියෙනවා.

අපි හය දෙනා
අපි හය දෙනා 


මගේ බයික් එකේ සෙල්ෆ් ස්ටාට් වැඩ කරන්නෙත් නෑ. වැඩ කරන්නේ නෑම නෙමෙයි. එයාට හිතෙන්න ඕන ඒකට.  ඉතින් කොඳු කඩන් අර කික් එක ගහන්න ඕන. ඒකත් හිරයි. වෙලාවකට යටට ගියොත් ගියාමයි. “මෙහෙ වරෙන් උඩට” කියල බලෙන් ඇදලා ගන්න ඕන. තත්ත්වය එහෙම වුනත් මගේ ස්කූටිය දවස් තුනක් කිලෝමීටර් 600කට එහා මාව අරගෙන යන්න සමත් වුනා.

අපි පාන්දර දෙකහමාර වෙනකොට රාවතාවත්තෙන් පිටත් වුනා උඩගලදෙබොක්ක ගම හොයන්න. උඩගලදෙබොක්ක ගම පල්ලෙහා තමා උඩත්තව ගම තියෙන්නේ. උඩත්තව කිට්ටුයි මහියංගනයට. ඉතින් ඔයාලට දළ අදහසක් ගන්න පුලුවන් අපි කොයි දිශාවටද යන්නෙ කියලා. අපි හිතන් උන්නේ නුවරින් පෙට්‍රල් ගහනවා කියලා. හැබැයි ඊට ගොඩක් කලින් අපිට පෙට්‍රල් ගහන්න සිද්ද වුනා. පාන්දර දෙකහමාරට පිටත් වුන නිසා පාන්දර පහ වෙද්දිවත් කඩුගන්නාව නගින්න පුලුවන් වෙයි කියලයි අපි හිතුවේ. හැබැයි හතරහමාර වෙනකොටත් අපි හිටියේ කඩුගන්නාවේ කෑලිවත් පේන්නැති පැත්තක. සාමාන්‍යයෙන් නුවර යන පාරේ නෙමේ අපි ගියේ. වෙනසකටත් එක්ක අතුරු පාරවල් වලින්. මහපාරෙන් සිමෙන්ති පාරට බැස්සා ආයෙ බොරළු පාරකට ගියා. ඔහොම ඔහොමයි ගියේ.

පාන්දර හතරට විතර ගමන පොඩ්ඩක් නතර කරපු වෙලාවේ


යන පාර තීරණය කලේ ඩිල්ෂාන්. ගූගල් මැප් දෙයියගේ පිහිටෙන්. මට ඉතින් පාරවල් තියා ඉන්නේ කොහෙද කියලවත් ලොකු තේරුමක් නෑ. ඉතින් බයික් තුනෙන් ඉස්සරහ ගත්තේ ඩිල්ෂාන්. මම මැද්දේ. ඩිමන්ත පිටිපස්සේ. යන පාර සාමාන්‍යයෙන් යන පාරට වඩා වෙනස් නිසා තරමක් කාලය ගතවුනා. පාන්දර හතර හතරහමාර අතර අපි නැවතුනා ටිකක්. මොකද බයික් වලට පොඩි විවේකයක් දෙන්න ඕන නිසා. එතනම නයිට් කඩයක් තිබුන නිසා ප්ලේන්ටී එකකුයි බනිස් ගෙඩියකුයි කෑවා. කොහොමහරි එතන ටික වෙලාවක් ඉඳලා අපි අයෙත් අපේ ගමන පටන් ගත්තා. උදේ වරුවෙදි අපිට පුලුවන්කම ලැබුනා කඩුගන්නාව නගින්න. මම මීට කලින් කඩුගන්නාව නැගලා නෑ. බස් එකක වෑන් එකක ඉදන් කඩුගන්නාව නැගලා තියෙනවා. ඒත් දැන් මම මගේ බයික් එකෙන් කඩුගන්නාව නගින්නේ. මම මීට කලින් මේ වගේ ගමන් ගිහිල්ලා නැති නිසා මේ හැම දෙයක්ම මට අලුත්ම අත්දැකීමක්.

කඩුගන්නාවෙන් පස්සේ අපිට හමුවුනා දහඅට වංගුව. දහඅට වංගුව බහින්නයි අපිට තියෙන්නේ. දහඅට වංගුව බහින්න කලින් එතන උඩ තියෙනවා වීව් පොයින්ට් එකක්. කෑම කඩයකුත් එක්ක. එතනදි අපිට මුණගැහුනා උඩගලදෙබොක්ක ගමට අපිත් එක්ක යන අපේ මිත්‍ර භික්ෂූන්වහන්සේව. උන්වහන්සේත් විශ්වවිද්‍යාලයේ ඉන්නකොට සෑහෙන්න කඳු නැගලා තියෙනවා. දහඅට වංගුව බහින්න කලින් හමුවෙන මේ තැන හරිම විශේෂයි. මම හැබැහින් දැකලා තියෙන ලස්සනම දර්ශන මම එදා දැක්කා.ගංගා. ඇළදොළ, වැව්, කඳු කුඹුරු, වනාන්තර හැම දෙයක්ම එකම දර්ශනයක. සෑහෙන වෙලාවක් අපි ඒක දිහා බලාගෙන හිටියා. ඇති පදම් ෆොටෝ ගන්නත් අමතක කලේ නැහැ. ඒ දර්ශනය හරියට චිත්‍රයක් වගේ.

දහඅට වංගුව උඩ හමුවුනු හරි අපූරු තැනක් 


නමුත් පැයක් ගියේ නෑ අපි හිටියේ ඒ චිත්‍රය ඇතුලේ. අපි ඒ ගම් මැද්දෙන් උඩත්තව ගම හොයාගෙන ගියා. උඩත්තව ගමට යනකොට තරමක් හවස් වෙලා. අපි රෑ හිටියේ උඩත්තව පන්සලේ. ඩිල්ෂාන්ගේ අම්මවයි ඉරුෂ්මිවයි ගමේ ගෙදරක නතර කරා. ඒ ගෙදර අය කොච්චර හොඳද කියනවනන් තමන්ගේම පවුලේ කෙනෙක්ට වගේ අපිට සැලකුවේ. “අපිම වවන ඒවයි අපි කන්නේ” කියලා ඒ ගෙදර අය කිව්වේ හරිම ආඩම්බරෙන්. කොළඹ කිට්ටුව ජීවත්වෙන අපිට නම් එහෙම දෙයක් කියනවා තියා හිතන්නවත් බැහැ.

මේ ගමට තියෙන ලොකු ගැටලුවක් තමා අලි ප්‍රශ්නය. හවස හයෙන් පස්සේ කවුරුත් පාරේ යන්නේ නෑ. අපිටත් හයෙන් පස්සේ එලියට බහින්න එපා කියලයි කිව්වේ. අලියෙක් එහෙම හේනක් මැද්දෙන් ගියොත් මාස ගානක මහන්සිය වතුරේ. රෑට රෑට අලි වෙඩි සද්දේ හොඳට ඇහෙනවා. ඈතින් නෙමේ. ළගින්.



හවස හයෙන් පස්සේ යන්න බය වුනාට අපි රෑ කෑමට පන්සලේ ඉදන් ඩිල්ෂාන්ගේ අම්මා හිටපු ගෙදරට ගියා. එහෙදිම කාලා කරලා අපි ආවා. අලි වෙඩි සද්දේ ඒ ගෙදරදිත් ඇහුනා. අපි දැන් උඩගල දෙබොක්ක ගමට යන්න ඉන්නේ පහුවදා උදේට. කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කන්ද නගින්න තියෙනවා කිලෝමීටර් 7ක් අටක් විතර. මම මීට කලින් කඳු නැගලා නෑ. ඉතින් කදු නගින එක මොන වගේ දෙයක්ද කියන්න මට කිසි අදහසක් තිබ්බේ නෑ. අපි හය දෙනත් එක්ක කන්ද නගින්නේ අපේ හමුදුරුවොයි උන්වහන්සේ එක්ක ආපු අයියයි. ඒ අයියා මීට කලින් මේ ගමට ගිහින් තියෙනවා. ඉතින් ඒක අපිට පහසුවක් වුනා.

ඩිල්ෂාන්ගේ අම්මයි ඉරුෂ්මියි නැවතිලා හිටපු ගෙදරදී.


උඩත්තව ගමේ සමහර මිනිස්සුත් මේ කන්ද නැගලා නැහැ. උඩගලදෙබොක්ක කියන්නේ පවුල් 30ක් විතර ඉන්න කුඩා ගමක්. විදුලිය නැහැ. පාසලක් තියෙනවා. නිතරම අලි එනවා ගමට කියන කරුණු තමා අපිට කන්ද නගින්න කලින් දැනගන්න ලැබුනේ. අපි කන්ද උඩ ගමේ රැයක් නතර වෙන නිසා ස්ලීපිං බෑග්, ටෝච් සේරම ලෑස්ති කරගත්තා. බඩුමුට්ටුත් ලෑස්ති කරගෙන අපි පන්සලේ නින්දට ගියා.

[කන්ද නැග්ග හැටියි, කන්ද උඩ මිනිස්සු ගැනයි එයාලගේ අනාගතය ගැනයි කතා කරමු ඊළඟ කොටසින්…..]

පිටිපස්සේ තියෙන්නේ අපි නගින්න ඉන්න කන්ද 


වීදි ලාම්පුව [ කෙටි කතාව ]

වේලාව පහ පසු වී මිනිත්තු තිහක් පමණ ය. සුපුරුදු පරිදි එඩ්වඩ් තම පත්තර කන්තෝරුවේ වැඩ නිමවා නිවස වෙත එමින් තිබුණි. ඔහු සුරුට්ටුවක් මුවෙහි තබාගෙන කලබලයකින් තොර නිස්කලංක මාර්ගය දෙස බලමින් කාරය පදවමින් සිටියේ ය.

අඳුර වැටීමට පටන්ගත්තත් වීදියෙහි වූ ලාම්පු දැල්වී තිබුනේ නැත.එමනිසා නිස්කලංක වීදිය පාළු වීදියක ස්වරූපයක් ගැනීමට පටන් ගත්තේ ය. එඩ්වඩ් කාරය පදවමින් සිටියදී වීදියේ එක් කෙළවරක අමුතු යමක් දකියි. වීදි ලාම්පුවක කුමක් හෝ එල්ලා තිබෙන අයුරු දුටු ඔහුට ඊට එහා දෙයක් නොපෙනුනේ වීදිය අඳුරේ ගිළෙමින් පැවති බැවිනි. මෙම වීදිය හරහා එක් කෙනෙක් දෙදෙනෙක් ආදී ලෙස විටින් විට ගමන් කළ මුත් ඔවුන් වීදි ලාම්පුවේ එල්ලෙමින් තිබුනු දේ ගැන කිසිදු තැකීමක් කලේ නැත. එඩ්වඩ්ට මේ ගැන කුහුල වැඩුනු නිසා ඔහු ඒ දෙසට කාරය පදවන්නට විය.

කාරය වීදි ලාම්පුව වෙත ලංවෙත්ම එහි එල්ලී තිබුනු දෑ නිරාවරණය වූයෙන් එඩ්වඩ් කාරයේ තිරිංග තදකළේ ඔහුටත් නොදැනිම ය.

“දෙවියනේ ඒ මනුස්සයෙක්”

එඩ්වඩ් තම හිසට අත තබාගෙන කියන්නට විය. ඔහු කාරයෙන් බැස වීදි ලාම්පුව වෙත දිව ගියේ ඇසින් දුටු දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමටයි. සමහර විට ඒ ඩමියක් විය හැකියි. නගරයේ තරුණ කොල්ලන් විහිළුවට කල දෙයක් ද විය හැකියි.

නමුත් ඒ සැබවින්ම මිනිසෙක්. වීදි ලාම්පුවේ එල්ලී සිටින මිනිසෙක්. ඔහු හොදට ඇඳ පැලඳගෙන සිටි මැදි වියේ අයෙක් වූ අතර කටින් සෙවළ බේරී ගොස් තිබුණි. වීදියේ මිනිසෙක් මැරී සිටින විටදී වීදියට මෙතරම් නිස්කලංක බවක් ගෙන දුන්නේ කෙසේ ද? මේ හරහා යන මිනිසුන් මෙය නොදැක්කා සේ යන්නේ ඇයි? එඩ්වඩ්ට ප්‍රශ්න මාලාවක් සැනින් පැනනගින්නට විය.

මේ අසල තිබූ ඔරලෝසු කඩයේ අයිතිකරු වූ මයිකල් මහතා එඩ්වඩ්ගේ හිතවතෙකි. මයිකල් තම වෙළඳසැල තුල සිට තමන් දෙස බලමින් සිටිනු දුටු එඩ්වඩ් ඔහු අමතා;

“මයිකල් මෙහාට එන්න ඉක්මනට. ඔයා මේක දැක්කද?” යැයි කීය. “ඉක්මනට එන්න”

මයිකල් හෙමිහිට තම වෙලඳසැළෙන් පිටතට පැමිණියේ ය.

“එඩ්වඩ්, මගේ කඩේට කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. එයාව වැඩි වෙලා තියාගෙන ඉන්න බැහැ. මමත් රස්සාවක් කරන්නේ”

“මේක දැක්කද?” එඩ්වඩ් වීදි ලාම්පුවේ එල්ලෙමින් තිබුනු සිරුර දෙස ඇගිල්ලක් දිගු කරමින් කියා සිටියේ ය. “කොච්චර වෙලාවක් තිස්සේ මේක මෙතනද? ඇයි මේ මිනිස්සු කිසි ගානක්වත් නැතුව මේක පහු කරන් යන්නේ?” ඔහුගේ හඩ තීව්‍ර විය.

මයිකල් තම සාක්කුවෙන් සුරුට්ටුවක් ගෙන දල්වන්නට ගත්තේ ය. “කලබල වෙන්න එපා එඩ්වඩ්, මෙහෙම එල්ලලා තියන්න මොකක් හෝ හේතුවක් ඇති? නැත්තන් මෙහෙම එල්ලන්නෙ නෑනේ?”

“හේතුවක්! මොන විදිහේ හේතුවක් ද?”

“මම කොහොමද ඒක දන්නේ? ඔයා කලබල නොවී ඉන්න?”

මේ සමගම මයිකල්ගේ වෙලඳසැලට පසුපස වෙලඳසැලේ ඇලන් ඔවුන් අසළට පැමිණ; “කොල්ලනේ මොකද වෙන්නේ?”

“මෙතන මනුස්සයෙක් මැරිලා ඉන්නවා. මම ගිහින් පොලීසියට කියනවා”

“එයාලා දන්නවා ඇති. එහෙම නැත්තන් මේක මෙතන තියෙන්නේ නැහැනේ” ඇලන් කියා සිටියේ ය.

“මට යන්න වෙනවා. කඩේ මිනිස්සු බලන් ඉන්නවා” යැයි කියමින් මයිකල් තම වෙළඳසැළ වෙත ගියේ ය.

“පේන්නේ නැද්ද මනුස්සයෝ මෙතන මිනියක් තියෙනවා. කවුරුත් මේක ගන්නන් ගන්නේ නැත්තේ ඇයි?” එඩ්වඩ් තදින් කියා සිටියේ ය.

“මම මේක හවස තේකක් බොන්න එළියට යනකොටත් දැක්කා. එතකොටත් මිනිස්සු මේක ගනන් ගත්තේ නෑ” ඇලන් තම වෙළඳසැළ දෙස බලමින් කියා සිටියේ ය.

“මුළු හවස්වරුවෙම මේක තිබ්බද?”

“ඔව් මොක්කද එකෙ වැරැද්ද?” ඇලන් තම ඔරලෝසුව දෙස බැලීය. “මට පරක්කු වෙනවා. මමත් යන්න ඕන” යැයි කියා ඇලන් තම වෙළඳසැළ දෙසට යන්නට විය.

එඩ්වඩ් මේ සියල්ල සිතමින් වීදිය දිගේ ඇවිද යන්නට විය. පදිකයන්ගේ ඇඟේ හැපෙමින් ඔහු ඉදිරියට යයි.

“කොහෙද මනුස්සයෝ යන්නේ?” මැදිවියේ කාන්තාවක් එඩ්වඩ්ව පැත්තකට තල්ලු කරමින් කියා සිටියා ය. “අනේ මේ එඩ්වඩ් නේද? ඔයා අසනීපෙන් වගේ”

“මැරිච්ච මනුස්සයෙක්! ලොයෙලා වීදියේ”

“හරි ඉතින්, කලබල වෙන්න එපා”

වීදියේ ගමන් කරමින් සිටි මාග්‍රට් ද මෙම සංවාදයට හවුල් විය. “මොකක්හරි ප්‍රශ්නයක් ද?”

“එඩ්වඩ්ට ටිකක් සනීප මදි”

“දෙවියන්ගේ නාමෙට ඔයාලට මම කියන දේ තේරෙන්නේ නැද්ද…” එඩ්වඩ් ගුගුරන්නට විය.

“මොනවා ගැනද මෙයා මේ කියවන්නේ?” මාග්‍රට් කුතුහලයෙක් ඇසුවා ය.

“වීදි ලාම්පුවේ එල්ලලා තියෙන මිනිය… ඔයා දැක්කද?” එඩ්වඩ් මාග්‍රට් දෙස බලා කිව්වේ ය. තවත් මිනිසුන් කිහිප දෙනෙක් ඔවුන් අසලට රැස්වන්නට ගත්තෝ ය.

“මෙයා අසනීපෙන්ද?”

“දොස්තර කෙනෙක් හම්බෙන්න ගියානන් හොදයි”

“මනුස්සයෙක් මැරිලා…” මෙම මිනිසුන් අතරේ එඩ්වඩ් කෑ ගසන්නට ගත්තේ ය.

“මෙයා අසනීපෙන්”

“එහෙම නැත්තන් බීලද?”

එඩ්වඩ් ඔහු අසල රැස්ව සිටි පිරිස ඉවත් කරමින් එතනින් යාමට උත්සහ දැරුවේ ය. අපහසුවෙන් හෝ ඔහු එතනින් ඉවත්ව වීදිය දිගේ නැවත වීදි ලාම්පුව දෙසට ඇවිද ගියේ ය. මයිකල් තම වෙළඳසැලේ ගණුදෙණුකරුවෙක් සමග සිනහමුසු මුහුණින් දොඩමළු වන අකාරයත් ඇලන් ඔහුගේ තවත් සගයෙක් සමග වීදියේ කොනකට වී සුරුට්ටුවක් උරමින් කතාබහක යෙදෙමින් සිටිනු එඩ්වඩ් දුටුවේ ය. ඒ අතර වීදී ලාම්පුවේ මිනියකි. කිසිවකුට මේ ගැන වගේ වගක් නැත. ප්‍රශ්න දාමයක පැටලී සිටි එඩ්වඩ් පොලිස් මහතෙක් තමා අසලට එන බව දිටීය.

“පොලිස් මහත්තයෝ, ලොයෙලා වීදියේ….”

“තමුන්ගේ නම” කුඩා අත්පොතක් අතට ගනිමින් පොලිස් මහතා කියා සිටියේ ය.

“එඩ්වඩ්, සී.කේ. එඩ්වඩ්,ලොයෙලා වීදියේ මනුස්සයෙක්…”

“ලිපිනය?” පොලිස් මහතා දැඩිව කියා සිටියේ එඩ්වඩ් දෙස නපුරු බැල්මක් හෙලමිනි.

“නොම්බර හැත්තෑව ඩී, පැට්‍රික් වීදිය.”

“මේ නගරයෙම ද?”

“ඔව්.”

“අද හවස ඔයා කොහෙද හිටියේ?”

“මම හවස කොහෙද හිටියෙ කියන එක මේකට අදාල වෙන්නේ කොහොමද? ලොයෙලා වීදියේ මනුස්සයෙක් මැරිලා..” එඩ්වඩ් වීදිය දෙසට ඇගිල්ලක් දිගු කරමින් කියා සිටියේ ය.

එඩ්වඩ් පෙන්වූ වීදිය දෙස නොබැලූ පොලිස් මහතා; “මම අහපු දේට උත්තර දෙනවා, අද හවස කොහේද හිටියේ?”

“මම පත්තර කන්තෝරුවේ හිටියේ අද දවසම.” එඩ්වඩ් කීය. “මනුස්සයෙක් වීදි ලාම්පුවේ එල්ලිලා මැරුලා ඉන්නවා.”

“මම දන්නවා. හැමෝටම පේන්න තමා එහෙම එල්ලලා තියෙන්නේ”

“ඒ කියන්නේ ඔයාලත් දැනුවත්වයි එහෙම තියෙන්නේ. ඒත් ඒකට හේතුව මොකක්ද?”

“ඔයාගේ කන්තෝරුව මේ නගරයෙම ද තියෙන්නේ?

“නැහැ තව නගර දෙකක් එහා?”

“එහෙනන් ඒ නිසයි ඔයා හේතුව දන්නැත්තේ?”

“මොකක්! මම අද මේ නගරයේ හිටපු නැති නිසා මම හේතුව නොදැන ඉන්න ඕනද? මට හේතුව කියන්න?”

පොලිස් මහතාගෙන් එයට කිසිදු ප්‍රථිචාරයක් ලැබුනේ නැත. එසමගම තවත් පොලිස් නිලදාරියෙක් ඔහු අසලට පැමිණියේ ය.

“මොකක්ද ප්‍රශ්නය?”

“ලොයෙලා වීදියේ එල්ලිලා ඉන්න මනුස්සයා ගැන අහනවා” පොලිස් නිලදාරියා ඔහුගේ සගයාට පිළිතුරු දුන්නේ ය.

“ඔයාට ඒක ගැන ප්‍රශ්න තියෙනවනන් එන්න අපිත් එක්ක යන්න පොලිස් කාර්යාලයට. එතනදී වැඩි විස්තර දැනගන්න පුලුවන්” අලුත පැමිණි පොලිස් නිලදාරියා එඩ්වඩ් දෙසට පැමිණෙමින් කීය.

එඩ්වඩ් අඩියක් දෙකක් පිටුපසට යමින් “නෑ එහෙම ඕන නෑ. මම දැන් යන්නම්” කියා පිටුපස හැරී වීදිය දිගේ තමන් පැමිණි දිශාවට යන්නට ගියේ ය.

ඔහු වීදිය දිගේ යන අතර කල්පනා කලේ තමන් මුහුණදුන් මේ සිදුවීම් ගැන. පොලීසිය මේ ඝාතනය ගැන දැනුවත්. නමුත් ඔවුන් එයට හේතුව පවසන්නේ නැහැ. මයිකල් ඇලන් මෙයට හේතුව දන්නේ නැහැ. නමුත් ඔවුන් ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. මේවා සිදුවිය හැකිද? පොලිස් නිලදාරීන් දෙදෙනාවත් ඔහු කෙදිනකවත් මෙම නගරයේ දැක නැත. වසර විසි පහකට එහා මේ නගරයේ ජීවත්වන නිසා නගරයේ සියලු පොලිස් නිලදාරීන්ව පාහේ එඩ්වඩ් හදුනයි. ඔවුන්ගේ මුහුණු එඩ්වඩ්ට හුරුයි. එඩ්වඩ්ගේ මුහුන ඔවුනට හුරුයි. එඩ්වඩ් මේ සියල්ල කල්පනා කරන අතරතුර මදක් පිටුපස හැරී බැලුවේ කවුරුන් හෝ ඔහු පසුපස පැමිනෙන බව හැගුනු නිසාවෙන්.

ඒ පොලිස් නිලදාරීන්! ඔවුන් එඩ්වඩ් දෙසම බලමින් ඔහුගේ පිටුපසින් ඔහුව ලුහුබඳියි. මෙයින් තැතිගත් එඩ්වඩ් තම ගමන් වේගය වැඩි කළේ ය. තමන්ට හැකි ඉක්මනින් ලොයෙලා වීදියට ගිය එඩ්වඩ් තම කාරය දෙසට ගියේ ය. එතැනට ගිය විට ඔහු දුටුවේ කාරයේ පිටුපස රෝද දෙකේම හුලං නොමැති බවයි. වීදියේ තරුණ කොල්ලෝ සෙල්ලමට කළ දෙයක් විය යුතුයි. අසල වාහන සාදන්නෙක් හෝ ස්ථානයක් තිබුනේ නැත. ඇරත් පොලිස් නිලදාරීන් ඔහු පසුපස එයි. කුමක් කරම්දෝ කියා සිතාගත නොහැකිව සිටි එඩ්වඩ් කාරය පසුපසට තල්ලු කරගෙන ගොස් වාහන නැවතුම් අංගනයේ නවතා වීදිය දිගේ දිව ගියේ ය. ලොයෙලා වීදිය ඉතා ඍජු මාර්ගයක් වූ නිසා මෙම මාර්ගයෙන් වෙතනතකට යාමට සිතූ ඔහු අතුරු පාරකට වැදුනේ ය. මේ දෙපස ඉතා ඝන අන්ධකාරයකින් වැසී තිබුනු අතර පෙර දින වර්ෂාව නිසා තෙතමනයෙන් ද යුක්ත විය. මෙම මාර්ගය දිගේ ඉදිරියට ගිය ඔහුට හමුවූයේ තාප්පයකි. උස් නොවූ මධ්‍යම ප්‍රමානයේ තාප්පයකි. මෙයින් එහාට පැනගතහොත් පොලීසියට තමන්ව සොයාගත නොහැකි වන නිසා මෙයින් එතෙර වීමට ක්‍රමයක් කල්පනා කළේ ය. මේ අසලම කුණු බදුනක් දුටු ඔහු එය පෙරලා තාප්පය දෙසට රැගෙන ආවේ ය. ඉන්පසු එය අධාරයෙන් ඒ මත නැග තාප්පයෙන් පැන්නේ ය.

තාප්පයෙන් පැන ඔහු වටපිට බලන්නට ගත්තේ ය. ඔහු ඉදිරිපිට ගොඩනැගිලි කිහිපයක් විය. දකුණතින් - පොලිස් ස්ථානය

ඔහු ඔවුන්ට ළඟයි, හුඟක් ළඟයි. එඩ්වඩ් ඔවුන්ගෙන් ඈත්ව සිටිය යුතුයි. හැකි ඉක්මනින් ඔහු මෙතනින් ඉවත්ව යා යුතුයි. එඩ්වඩ් හෙමිහිට කිසිවකුට නොපෙනන අයුරින් වීදිය දිගේ පොලිස් ස්ථානය පසු කර නගර ශාලාව තිබෙන ස්ථානය වෙත ගියේ ය. එය ගොතික් ආරයට සාදා තිබුනු පැරණි ගොඩනැගිල්ලක් වූ අතර එහි ඉදිරිපිට කුඩා වතුර මලක් තිබුනි. වතුර මලක් කීවද එහි ජලය තිබුනේ නැත. නගර ශාලාව වටේට ගස් වවා තිබුනි. එහි පැත්තකින් බස් නැවතුම්පළ වෙත යායුතු මාර්ගයක් තිබූ අතර එඩ්වඩ් යා යුතු වූයේ එතැනටයි. මෙම වීදිය දිගේ වීදි ලාම්පු සවි කර තිබුනත් ඒ කිසිවක් දැල්වී තිබුනේ නැත්තේ එඩ්වඩ්ගේ වාසනාවට මෙනි. බස් නැවතුම්පලට ගොස් හැකි ඉක්මනින් නගරයෙන් පිටවීම ඔහුගේ අරමුණයි. අවිවාහකයෙක් වූ එඩ්වඩ්ට දැන් අවශ්‍ය වී ඇත්තේ තමන්ගේ ලඟම ඥාතීන් වූ දෙමව්පියන් හොදින් ඇත්දැයි දැනගැනීමට යි. ඔවුන් සිටින්නේ ඊළග නගරයේ බැවින් හැකි ඉක්මනින් ඔහු ඔවුන් වෙත යාමට යාමට බසයක් සොයාගත යුතුයි. මේ වන විට හිරු බැස ගිය නමුත් නගර ශාලාව අවට මිනිස්සු එහෙ මෙහෙ ගමන් කරමින් සිටියෝ ය.

මෙහිදී එඩ්වඩ් දුටු දෙය ඔහුගේ තත්ත්වය දරුණු කරවන්නක් විය. නගර ශාලාවට ඉහළින් අහසේ සිට මොනවාදෝ යමක් නගර ශාලාවේ මුදුනට වැටෙනවා ඔහු දකියි. මේ කුමක්දැයි සැකහැර දැන ගැනීමට අවශ්‍ය වුවත් මිනිසුන් ගැවසෙන ස්ථානයක සිටීමට ඔහු කැමැත්තක් දැක්වූයේ නැත. මේ නිසා ශාලාව දකුණු පසින් පිහිටි වීදියේ අඳුරු වැටුනු තැන් වලින් ගමන් කරමින් එඩ්වඩ් ඔහුට හැකි උපරිමයෙන් නගර ශාලාව දෙසට ලං විය. ඈතින් බලන විට කුණු රොඩු මෙන් පෙනුනද අහසේ සිට වැටෙන්නේ පිහාටු ඇති කෘමීන් මෙන් මෙතෙක් ඔහු දැක නොමැති ජීවීන් විශේෂයකි. උන් හෙමිහිට අහස දිගේ පල්ලම් බැස නගර ශාලාවේ වහලය මත වැටී නොපෙනී යයි. එතැනින් එහාට උන් යන්නේ කොහාටද යන්න කිසිවක් නොපෙනේ. සමහරුන් කණාමැදිරියන් මෙන් කුඩා ආලෝකයක් ද විහිදුවයි.

උන් කුමන වර්ගයක හෝ පිටසක්වල ජීවීන් විශේෂයක් ද? එඩ්වඩ් මෙවන් දෑ විශ්වාස නොකළත් දැන් ඔහුගේ මනසට මෙවන් දෑ සිතේ. මෙතරම් දෙයක් නගර ශාලාව මත සිදුවුවත් මේ අවට ගමන් කරන කිසිවෙක් ඒ ගැන තකන්නේ නැත. මිනිසුන් ගැන සිතන්න දැන් ඔහුට කාලයක් නැත. තමුනුත් තම පවුලේ උදවියගේ ආරක්ෂාවයි ඔහුට දැන් වටින්නේ. එමනිසා ඔහු තවත් නගර ශාලාව අවට නොසිට වීදිය දිගේ බස් නැවතුම්පොළ වෙත දිව ගියේ ය. ඒ වන විට බස් නැවතුම්පොළේ මිනිසුන් කිහිප දෙනෙක් පෝළිමේ සිටි අතර බසයක් ද පැමිණියේ ය. එඩ්වඩ් මේ සියලු දෙනා පසු කරමින් බසයට නැග දොරටුව අසල ආසනයක ඉඳ ගත්තේ ය.

දැන් එඩ්වඩ්ගේ සිතට තරමක සහනයක් ගෙන දෙයි. ඔහු තමන් අවට සිටි මිනිසුන්ව හොදින් නිරීක්ෂණය කරයි. දිනපතා වැඩ කටයුතු අහවර වී තම නිවෙස් කරා යන මිනිසුන්. විඩාබර වූ මුහුණු. කිසිවෙක් ඔහු ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එඩ්වඩ්ගේ දකුණු පස සිටි පුද්ගලයා පත්තරය ගෙන කියවන්නට ගත්තේ ය. ඔහු ආරම්භ කළේ ක්‍රීඩා පිටුවෙනි. ඔහුගේ මුව ක්‍රීඩා පිටුවේ වදන් සමග ඉහළ පහළ යයි. නිල් පැහැති ටයි පටියක්. අත් දිග කමිසයක්. ඔහු කුමක් හෝ කන්තෝරුව ලිපිකරුවෙක් විය හැකියි. සමහරවිට ඔහු තම බිරිඳ සමග රාත්‍රී ආහාරය බලාපොරොත්තුවෙන් නිවස වෙත යනවා විය හැකියි.

එඩ්වඩ්ට තරමක් ඉදිරියෙන් තරුණ කාන්තාවක් බඩු මල්ලක් අතැතිව සිටියා ය. ඇගෙනුත් විඩාබර මුහුණක් හැර වෙනයම් දෙයක් දකින්නට ලැබුනේ නැත. බසය අර්ධව පිරී තිබුනු අතර වෙනදා රාත්‍රී කාලයේ ගමන් ගන්නා බසයකින් මෙය වෙනස් වූයේ නැත. සියලුම දෙනා පාහේ රාත්‍රී කෑම වේල සදහා තම නිවෙස් බලා යන මගීන්.

ඔවුන් සාමාන්‍ය පරිදි හැසිරුණත් ඔවුන්ගේ මනස යම් අයෙක් සොරාගෙන නම්? ඔවුන් කරන්නේ කුමක් ද යන වග ඔවුන්ම නොදන්නවා නම්? මේ සියල්ල අතරේ තමන්ට පමණක් වෙනස් ආකාරයට දේවල් පෙනෙන්නේ හැඟෙන්නේ ඇයි? ඔවුන්ට තමන්ව අතපසු වෙලාද? මෙසේ ප්‍රශ්න මාලාවක් ගැන එඩ්වඩ් සිතමින් සිටින විටදී කවුරුන් හෝ පසුපසින් ඔහු දෙස බලාගෙන සිටින බව ඔහුට ඉවෙන් මෙන් දැනුනි. එමනිසා එඩ්වඩ් තමන්ගේ ප්‍රශ්න දාමයට පිලිතුරු සෙවීම මොහොතකට නවතා තමා දෙස විමසිල්ලෙන් බලන පුද්ගලයා කවුරුන් දැයි සොයා බැලීමට පටන් ගත්තේ ය.

තරමක් කෙට්ටු, රැවුලක් සහිත මිනිසෙක්. හොදින් හැඳ පැලඳගෙන දිලිසෙන සපත්තු කුට්ටමක් දමා සිටි අයෙක්. ඔහුගේ අත් අතර පොතක් ද තිබුණි. බසයේ පිටුපස ජනේලය අසල ආසනයක අසුන්ගෙන සිටි ඔහු  එඩ්වඩ් තමා දෙස බලන බව දුටු විට වෙනතක් බලාගත්තේ ය.

ඔහු ඔවුන්ගේ කෙනෙක් ද? එසේත් නැතිනම් තමා මෙන් ඔවුන්ට මග හැරුනු කෙනෙක් ද?

ඔහු නැවතත් එඩ්වඩ් දෙස බලයි. ඉතා තියුණු ඇස්. මුහුණේ විඩාබර පෙනුමක් තිබුනත් නපුරු පෙනුමක් තිබුනේ නැත. එඩ්වඩ් මෙම පුද්ගලයා දෙස බලමින් සිටින විටදී බසය එක්වරම නවත්වන්නට වූයේ ඊළග නැවතුම්පළට ළගා වූයෙන්. තරමක් වයස්ගත පුද්ගලයෙක් තම කුඩය අතැතිව බසයට නැග්ගේ ය. ඔහු එඩ්වඩ්ට මුහුණලා තිබූ ආසනයක ඉදගත් විටම ඔහුගේ ඇස් යොමු වූයේ බසයේ පිටුපස වෙතටයි. එසැනින් බසයේ පිටුපස දෙස බැලූ එඩ්වඩ් දුටුවේ පෙරදී තමා දෙස බලමින් සිටි ආගන්තුක මිනිසා දැන් බලන්නේ තමන්ගේ ඉදිරියෙන් සිටින පුද්ගලයා දෙස බවයි. මොහොතකට ඔවුන් දෙදෙනා අතර කුමක් හෝ සංඥාවක් හුවමාරු වනවා එඩ්වඩ් දකියි. එය කුමක් නමුත් තේරුමක් සහිත දෙයක්.

මේ දුටු එඩ්වඩ් තැතිගෙන නැගිට බසයේ දොරටුව වෙත ගොස් හදිසි ආරක්ෂක නළාව නාද කළේය.

“ඒයි… මොනවද කරන්නේ.” බසයේ රියදුරු කෑ ගසන්නට විය.

බසයේ දොර විවෘත විය. එඩ්වඩ් බසයෙන් එලියට බහිනවාත් සමග බසයේ අදහස් හුවමාරු කරගත් දෙදෙනාත් බසයෙන් බැස්සේ ය. ඔවුන් එඩ්වඩ් දෙස බලා ඔහු අසලට ඒමට උත්සහ දැරූ විට එඩ්වඩ් ඔවුන්ගෙන් ඈතට දුවන්නට විය. ඔහු පසුපස නොබලා වීදිය දිගේ දුවන්නට විය. අවට ඉතා තද ඝන අන්ධකාරයකින් යුක්ත වූ අතර විවෘතව පැවතියේ අතරින් පතර වෙළඳසැල් කිහිපයකි. එඩ්වඩ් පසුපස බලා බසයේ සිටි මගීන් දෙදෙනා තමා පසුපස තවම පැමිනෙනවාදැයි බැලීය. ඔවුන් පෙනෙන තෙක් මානයක නැත. තව ටික දුරක් වීදිය දිගේ අදුරු පෙදෙස් වලින් ඉදිරියට ඇදී ගිය විට කලින් විවෘතව තිබූ වෙළඳසැල් කිහිපය ද වසා දැමුණි. මැදි වියේ මිනිසෙක් තම වෙළඳසැලේ අගුලු දමා තම ලේන්සුන්වෙන් මුහුන පිසදා බිම තිබූ බෑගය අතට ගත්තේ ය. ඔහු තමන්ගේ ඉදිරියෙන් පැමිණෙන එඩ්වඩ් දෙස ඔහු ගැන සැළකිල්ලක් නොදක්වා බස් නැවතුම්පොල වෙත ගියේ ය. වීදියේ කිසිවෙක් එඩ්වඩ් ගැන සැක සහිතව නොබලයි. නමුත් ඔහු සිටින්නේ මේ සියලු දෙනා ගැන සැකයෙන්.

ඔහු තමන්ට හැකි උපරිමය ඇවිද ගොස් වීදියේ කෙළවරක ඉඳගත්තේ ය. කුසට කිසිදු ආහාරයක් නැතිව බොහෝ වෙහෙස වී සිටින එඩ්වඩ්ට දැන් නම් තවත් ඇවිද යා නොහැකියි. ඔහු වීදියේ එහා මෙහා බැලුවද කිසිවෙක් නොපෙනේ. එය සම්පූර්ණයෙන් ම පාළුවට ගොස් තිබේ. දැන් මධ්‍යම රාත්‍රියට කිට්ටු වී තිබිය යුතුයි. එඩ්වඩ් වීදියේ එපිට පෙදෙසකින් පටු පාටක් දකියි. ඝන අඳුරෙන් වැසී තිබුනු එතැන සියලු දෙනාගෙන් සැඟවී රාත්‍රිය ගත කිරීමට ඉතා යෝග්‍ය ස්ථානයක්. වීදියේ කිසිවෙකුත් නොසිටියත් එඩ්වඩ් මිනිත්තු කිහිපයක් වටපිට බලා අදුරු පටු පාරට වැදුනේ ය. දැන් මුලු වීදියට ම ඇත්තේ චන්ද්‍රයාගෙන් ගලාගෙන එන ආලෝකය පමණයි. වෙනදා සඳ කිරණේ තනිව ගමන් කරමින් සිතුවිලි දාමයේ පැටලී සිටින්නට එඩ්වඩ් කැමැත්තක් දැක්වුව ද අද ඔහු එය අප්‍රිය කරයි. තමාට කුමක් සිදුවුනි ද යන්න ඔහුට තවමත් පැනයක්? කෙසේ හෝ ඔහු මෙම නගරයෙන් පිටව යා යුතුයි. ඔහුගේ සිත රැය පුරා අවධිව සිටීමට ප්‍රයත්න දැරුවත් ඔහුගේ ගත එයට ඉඩ දුන්නේ නැත. එඩ්වඩ් ඔහුට නොදැනිම නින්දට වැටුණි.

පසුදින උදයේ ඔහු අවධි වන විට අලුයම වී තිබුණි. වීදිය දිගේ කඩිසරව එහා මෙහා යන පදිකයන් ද වාහන ද බහුලව දක්නට ලැබේ. ඕනෑම දිනක අලුයම් වේලාවේදී නගරයක දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමක්. හොදට හැඳ පැළදගෙන කුඩයක් කබායක් බෑගයක් අතින් ගෙන යන නෝනා මහත්වරු. ඔවුන් තමන්ගේ රැකියා සදහා පිටත් වනවා විය යුතුයි. සමහරුන් එඩ්වඩ් දෙස බලා ආ වේගයෙන් ම තම ගමන යයි. ඔවුන්ට එඩ්වඩ් ගැන සොයාබලන්න කාලයක් නැත. වෙළඳසැල් හා අවන්හල් එකින් එක විවෘත වේ. මේ අතර එඩ්වඩ්ගේ වම් පසින් වීදියෙන් එහා පැත්තේ ඉන්ධන පිරවුම්හලක් තිබුණි. එහි සිටි මැදි වියේ පුද්ගලයෙක් එඩ්වඩ් දෙස බලමින් සුරුට්ටුවක් දල්වමින් සිටියේ ය. කළු කමිසයක් සහ කබායක් පැළඳ සිටි හේ ඉන්ධන පිරවුම්හලේ අයිතිකරු විය හැකියි. ඔහු පිරවුම්හල අසල වෙලඳසැල තුල එහි දොරටුවට හේත්තු වී එඩ්වඩ් දෙස බලයි. එඩ්වඩ් ඔහුව නිරීක්ෂණය කරන්නට ගත්තත් ඔහු තමාගේ ඇස එඩ්වඩ්ගෙන් ඉවතට ගත්තේ නැත. ඔහුගෙන් භයානක පෙනුමක් පෙනෙන්නේ නැත. එක්වර ඔහු තම අතින් හා හිසෙන් එඩ්වඩ්ට සංඥාවක් ලබා දුන්නේ ය. ඒ වෙළඳසැල තුලට පැමිණෙන ලෙසයි.

එඩ්වඩ් මෙයට කුමන ආකාරයේ ප්‍රථිචාරයක් දක්වන්නේ දැයි සිතයි. ඔහුට තමන්ට හානියක් කරන්න අවශ්‍ය නම් තමන් නිදාගෙන සිටි අවස්ථාවේදී එය පහසුවෙන් කරන්නට තිබුණි. නමුත් ඔහු එසේ කළේ නැත. එමනිසා ඔහුගෙන් කිසි හානියක් ඇත්තේ නැතැයි සිතූ එඩ්වඩ් ඉන්ධන පිරවුම්හල වෙතට යයි. ක්‍රමක්‍රමයෙන් ඉර නැගගෙන එයි. පටු වීදියේ අඳුරේ සිටි එඩ්වඩ් ටිකෙන් ටික හිරු එළියට හැඩගැසෙයි. එඩ්වඩ්ගේ කබාගේ සහ කලිසමේ තැනින් තැන සීරීමකට ලක්ව තිබූ අතර සපත්තු ජෝඩුව මඩ වලින් නැහැවී තිබුණි. එඩ්වඩ් ඉන්ධන පිරවුම්හල අසල සිටි මිනිසා වෙත ටිකෙන් ටික ලං වන විට ඔහු එඩ්වඩ් වෙත පැමිණ;

“ඉක්මනට ඇතුලට එන්න. ඔයා එළියේ ඉන්න එක භයානකයි” කියා එඩ්වඩ්ගේ අතින් අල්ලාගෙන වෙලඳසැල තුලට කැඳවාගෙන ආවේ ය.

“මේ පුටුවෙන් ඉඳගන්න” කියූ ඔහු වෙලඳසැලේ දොර වසා දමා එඩ්වඩ්ගේ ඉදිරියෙන් ඉඳගත්තේය.

“ඔයාගෙ නම මොකක්ද?”

“එඩ්වඩ්.ඔයාගෙ නම?”

“ජොනතන්. ජොනී කියන්නකො. මොකක්ද වුනේ?”

“මම කිව්වට ඔයා විශ්වාස කරන එකක් නැහැ” එඩ්වඩ් බලාපොරොත්තු කඩවූ ස්වරයෙන් කියා සිටියේ ය.

“විශ්වාස කරන්න හරි නැතිවෙන්න හරි මම ඒක දැනගෙන ඉන්න එපැයි” කියූ ජොනතන් එඩ්වඩ් වෙත සුරුට්ටුවක් දිගු කලේ ය. එඩ්වඩ් එය රැගන තම කථාව මුල සිට ජොනතන්ට කීමට පටන් ගත් අතර ජොනතන් තම පුටුවේ කෙලවරට වී අසුන් ගත්තේ ඉතා සාවධානව එඩ්වඩ් පවසන දේට ඇහුම්කන් දීමටයි.

“ඔයා හිතනවා ඇති මට පිස්සු කියලා” එඩ්වඩ් කුඩා සිනහවක් සහිතව කීවේ ය.

ජොනතන් තවත් සුරුට්ටුවක් දල්වමින් ජනේලය වෙත ගොස් වීදිය දෙස බලා “නෑ. මම ඔයාව විශ්වාස කරනවා”

“දෙවියන්ට ස්තූති වේවා”

“එහෙනන් ඔයා එයාලගෙන් ගැලවුණා.” ජොනතන් හිස වනමින් එඩ්වඩ්ගේ ඉදිරියෙහි වූ අසුනෙහි අසුන් ගත්තේ ය. “මම හිතන්නේ මම මේකට හේතුව දන්නවා.”

“මොකක්ද එක?” එඩ්වඩ් ඉතා ඕනෑකමකින් ඇසුවේ ය.

“මේක අද ඊයේ ඉඳන් වෙන දෙයක් නෙමේ. වසර දහස් ගාණක් තිස්සේ වෙන දෙයක්”

“මොනවා වසර දහස් ගාණක්? මොනවද ඔයා මේ කියවන්නේ?”

“ඔයාට පේනවද මේ පින්තූරය” ජොනතන් එඩ්වඩ් ට වෙළඳසැලේ බිත්තියෙහි වූ ඔහු මෙතෙක් දැක නොමැති පින්තූරක් පෙන්වීය.

එය ඉතා පැරණි පින්තූරයක් විය යුතුයි. එහි වූ ලී ආවරණයත් තැනින් තැන දිරා ගොස් තිබුනි. එහි තිබුනේ යම් කිසි යුද්ධයක්. මිනිසුන් මිනිසුන් අතර යුද්ධයක් නොවේ. අමුතු සතුන් හා මිනිසුන් අතර යුද්ධයක්. මිනිසුන් කීවද ඔවුන් සාමාන්‍ය මිනිසුන්ගෙන් තරමක් වෙනස්. ඔවුන් පැළඳ සිටියේ යුධ ඇදුම් නොවේ. භාවිතා කළේ සාමාන්‍ය අවි නොවේ. මේ සියල්ලට ඉහළින් එක් විශේෂ සතෙක් සිටියි. ඌට බත් කූරෙකුගේ මෙන් පිහාටු යුගලක් තිබුණු අතර මධ්‍යයේ දළඹුවෙක් මෙන් විය. නමුත් ඔහුගේ සිරුරෙන් කුඩා එළියක් විහිදුවන ස්වරූපයක් දක්නට ලැබුනේ. මෙය දුටු විගස එඩ්වඩ්ගේ මතකයට නැගුනේ පෙරදින රාත්‍රියේ නගර ශාලාව මත ඔහු දුටු දර්ශනය. නගර ශාලාව මත ඔහු දුටු ජීවියාට මෙම තෙල් සායම් පින්තූරයේ සිටින සතා බොහෝ සෙයින් සමානයි.

“මම මේ සතාව තමා නගර ශාලාවෙදි දැක්කේ”

“ඔව් ඔයා හරි. ඉස්සර යක්ෂයන් හා දෙවියන් අතර යුද්ධයක් තිබිලා තියෙනවා. සමහරු කියන්නේ යක්ෂයින් කියන්නේ වෙන ග්‍රහලෝකයකින් ආපු ජීවීන්, දෙවියන් කියන්නේ පෘතුවියේ හිටපු බලවත් මිනිස්සු කියලා. යක්ෂයින් වර්ග ඉන්නවා. බෙල්සෙබාබ්, ඩියාබොලොස්, බාල් තමා මේ යක්ෂයන්ට කිව්ව විවිධ නම්. මේ යක්ෂයින්ව ඉස්සර පින්තූර වල නිරූපණය කලේ එක එක සත්තුන්ගේ පින්තූර වලින්. බෙල්සෙබාබ් තමා මේ පින්තූරෙ උඩම ඉන්නේ” ජොනතන් තමා පිටුපස ඇති පින්තූරය දෙසට ඇඟිල්ල දිගු කරමින් කියා සිටියේ ය.

“මේ යක්ෂයන් ඒ කාලේ හැම ජාතියක්ම පාහේ වසඟයට ගත්තා. හැබැයි එක ජාතියක් ඇරෙන්න. ඒ ජුදෙව් මිනිස්සු. මෙයාලා තමා මේ යක්ෂයන්ව පැරැද්දුවේ. ජුදෙව් මිනිස්සු තමන්ගේ මේ ජයග්‍රහණ ගැන ලිව්වා පොත් වල. ඒක තමා බයිබලය කියන්නේ.”

“එහෙනන් මාවත් එයාලට මග හැරිලා තියෙන්නේ ඒ කාලෙ ජුදෙව් මිනිස්සුන්ව මේ යක්ෂයන්ට වසඟ කරගන්න බැරි උනා වගේ.”

“හරියට හරි. ඔයාට බස් රථයේදී හම්බුන දෙන්නත් ඔයා වගේම මඟහැරුනු දෙන්නෙක්” ජොනතන් කීවේ ය. “ඔයාට එයාලව අන්තිමට දැක්ක තැන මතකද?”

“හරියට මතකයක් නැහැ. මම කලබලයෙන් දුවගෙන ආවේ. එයාලා මාව මරන්න එනවා කියලා හිතාගෙන”

“තව ටිකක් හොදට හිතන්න. කොහෙදිද එයාලව අන්තිමට දැක්කේ?” ජොනතන් එඩ්වඩ්ගෙන් දැඩි ඕනෑකමකින් ඇසීය.

“ම්.. ශාන්ත නිකලස් වීදියේ වෙන්න ඕන… ඒත් මට හරියටම කියන්න අමාරුයි. හොදටම කරුවල වැටිලයි තිබුනේ එවෙලේ.”

ජොනතන් තම සාක්කුවෙන් කුඩා සටහන් පොතක් ගෙන කුමක් හෝ සටහන් කරගෙන නැවත සාක්කුව වෙත දමා ගත්තේ ය.

“ඒත් මට තේරෙන්නෙ නැති එක දෙයක් තියෙනවා. වීදි ලාම්පුවේ එල්ලිලා හිටපු මනුස්සයා?” එඩ්වඩ්ට මුල සිටම නොවිසුඳුනු පැනය නැවත මතක් කළේ ය.

“ඒක ඇමක්. ඔයා වගේ අයව අල්ලගන්න. එයාලට අතපසු වුන අයව අල්ලගන්න”

ජොනතන් තම අසුනෙන් නැගිට වෙළඳසැලේ දොරටුව අසළට ගියේ ය.

“ඉක්මනට එන්න මම ඔයාව පුලුවන් තරම් ඉක්මනින් නගරයෙන් එලියට යවන්නම්. ඉක්මනට පිටවෙන්න.” ජොනතන් දොර විවෘත කරමින් එඩ්වඩ් හට පැමිණෙන ලෙස අතින් සංඥා කළේ ය.

එඩ්වඩ් හෙමිහිට තම පුටුවෙන් නැගිට ජොනතන් වෙතට ගියේ ය. එහි ගිය විට ඔහු දුටුවේ ඉන්ධන පිරවුම් හල ඉදිරියේ වූ ඍජු වීදියක්. ඒ දෙපස විශාල ගොඩනැගිලි කිහිපයක් හා කුඩා අවන්හල් කිහිපයක් ද තිබුණි. මිනිසුන් කඩිමුඩියේ එහෙ මෙහෙ ගමන් කළ අතර වාහන වල හෝන් ශබ්දය ද විටින් විට ඇසේ. නමුත් ඊටත් ඉදිරියෙන් දුරකථන කණුවක් අසල සිටියේ කඹයක් අතැතිව සිටි පොලිස් නිළදාරියෙක්.

මර්වින් නම් අයෙක්ගේ රැකියා ස්ථානය පිහිටියේ ඉන්ධන පිරවුම්හලට ඉදිරියෙනි. හිරු බැස යන විට මර්වින් තම කන්තෝරුවෙන් පිටතට පැමිණියේ තම නිවස වෙත යාම සඳහායි. අද ඔහුගේ බිරිඳගේ උපන්දිනය වන බැවින් අඳුර වැටීමට ප්‍රථම ඔහු නිවස බලා යා යුතුයි.

“සුභ රාත්‍රියක් මහත්මයා” රාත්‍රී මුරකරු මර්වින් අමතා කීය.

“සුභ රාත්‍රියක්” මර්වින් තම බෑගය කාරය තුලට දමා එන්ජිම පණ ගන්වන්නට විය. ඔහුට තරමක් ඉදිරියෙන් තිබූ දුරකථන කණුවේ කුමක් හෝ එල්ලී තිබෙන අයුරු ඔහු දකියි. කුමක් නමුත් විශාල දෙයක්, සුළඟ සමග එහෙ මෙහෙ වැනෙයි. ඔහු කාරය නවතා එයින් බැස දුරකථන කණුව වෙත ගමන් කරයි. ඔහුට කා දැමීමට තරම් වේලාවක් නැත. ඔහුට තමන්ගේ බිරිඳ දරුවන්ව මතකයට නැගේ. නමුත් මෙය කළු පැහැති ගෝනියක් වැනි දෙයක්. මේ කුමක්දැයි දැන ගෙන ඔහු නිවස වෙත හැකි ඉක්මනින් යාමට සිතා ගනියි. එසේ ගොස් තම බිරිඳ සමග ඇයගේ උපන්දිනය ඉතා සතුටින් පැවැත්වීමට අදහස් කරයි. අඳුර නිසා මෙය හරිහැටි නොපෙනේ. ඔහු එය කිට්ටුවට යයි. ඔහු දුටු දෙයින් තැතිගත්තේ ය.

නමුත් පුදුම කාරණය අවට සිටින මිනිසුන් මෙ ගැන සැලකීමක් නොදැක්වීම.



Wednesday, September 23, 2020

ද නිවුස්පේපර්

 

ඊයේ හවස් වරුවේ පොඩි නිවාඩුවක් ලැබුන නිසා ෆිල්ම් එකක් බලන්න යන්න හිතුනා. ඉතින් ගියා ජා ඇල සිනමැක්ස් සිනමා ශාලාවට. චිත්‍රපටය තමා ‘ද නිව්ස්පේපර්’. හවස හයයි තිහට බලන්න ගියේ. මුලු ෆිල්ම් හෝල් එකටම මාත් එක්ක තව දොළොස් දෙනෙක් ඉන්න ඇති. මම යද්දි හයයි තිස් පහයි. පරක්කු උනා කියල හිතුවට මම විනාඩි විස්සක් කලින්.

කතාව ගෙතීගෙන් යන්නෙ මෙහෙමයි. එම්.කේ. ශාන්ත කියන තරුණයා හමුදා බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විදිහට පැනලා මැරෙන සිදුවීමක් හැම පත්තරේකම මුල් පිටේ ‘ලොකු අකුරින්’ පල වෙනවා. මේක දැනගත්තු ගමේ උදවිය එම්.කේ. ශාන්ත තරුණයාගේ අයියගේ කකුල් දෙක කඩලා වැටිලා ඉන්න තිබුන ගේත් ගිනි තියනවා. අවුරුදු නමයකට පස්සේ මේ අයියා දකිනවා පත්තරේ නිවැරදි කිරීමක්. තමන්ගේ මල්ලී නිවැරදියි කියලා. හැබැයි ‘පොඩි කොටුවක පොඩි අකුරින්’. අම්මගේ පෙරැත්තට ගුණයයි එයාගෙ යාලුවා ලුයියයි කොළඹ යනවා මේ දැන්වීම පත්තරේ ‘ලොකු අකුරින්’ දාගන්න. කතාව ගලාගෙන යන්නේ ඔය විදිහට. මම මුලු කතාවම කියන්න යන්නෙ නෑ. කතාවම කියලා ඔයාලගේ කුතුහලයට බාධාවක් වෙන්න මම කැමති නැහැ. ගිහින් බලන්න. ගෙදර ටී.වී. එකේ ඇඩ් අස්සේ ෆිල්ම් එක බලන එකයි ෆිල්ම් හෝල් එකේ චිත්‍රපටය බලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස අත්දකින්නවත් ප්‍රදර්ශන වාර ගනන අවසන් වෙන්න කලියෙන් බලන්න යන්න.

චිත්‍රපටයේ රඟපෑම ගැන විචාරන්න මම රඟපෑම ගැන ලොකුවට දන්න කෙනෙක් නෙමේ. භරතමුණි පඬිවරයා නවනළු රසයන් කියලා රස නමයක් ගැන කියනවා. චිත්‍රපටයෙන් බොහෝ ජවනිකාවල ඍජුව කතාව කියන්නේ නෑ. ගම්මුන් ගයියගේ කකුල් දෙක කඩපු බවක් දැනගන්නේ ව්‍යංගයෙන්. ඒකට මම කැමතියි. ඒ රසයන් මම මේ චිත්‍රපටයෙන් අත්දැක්කා කියලා කියන්න පුලුවන්.

මේ චිත්‍රපටයෙන් ‘ඇත්ත’ කියන දේට මේ සමාජයේ ඇති තැන ගැන ප්‍රබලව කතාබහකට ලක් කෙරෙනවා. මිනිස්සු බොරුවට කැමතියි. ඇත්ත තිත්තයි කියනවනේ. මිනිස්සු ඇත්ත දැන දැනත් ඇත්ත තිත්ත නිසා බොරුව වැළඳගන්නවා. තමන් කරන්නේ වැරැද්දක් කියල දැන දැනම. ඇත්ත වසන් වීමෙන් මිනිස්සු විඳින දුක දැනෙන්න ඇත්ත වසන් කරපු අයගේ හිත් සංවේදී නෑ තවදුරටත්.

යම්කිසි ප්‍රවෘත්තියක් වාර්තාකරනකොට ඒකේ සත්‍ය අසත්‍ය භාවය හොයන මාධ්‍ය ආයතන හිඟයි. බරපතල කාරණා පැත්තක තියමුකෝ ටිකකට. කාලෙකට කලින් විදෙස් පුවතක් තිබුනා අඟහරු වලින් ‘Building Blocks of Life’ හොයාගත්තා කියලා. ඒ කිව්වේ ජීවය පැවතීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන සල්ෆර්, පොස්පරස්, ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් සහ හයිඩ්‍රජන් යන ඒවා අඟහරු වලින් හමුවුනා කියලා. ඕක අපේ පත්තරේක ගියා ‘අගහරු වලින් බ්ලොක් ගඩොල් හොයාගත්තා’ කියලා. ඔය අස්සේ ලෙනින්ගේ මූන යටින් කාල් මාක්ස් කියල ලියවිච්ච ඒවත් තිබුනා. ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න යනකොට නොදැනුවත්වම ගුණාත්මකභාවයත් අඩු කරලයි දෙන්නේ.

බොරු චෝදනාවක තියෙන බරපතලකම තවමත් අපේ සමාජයේ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. චෝදනා ලැබූවෙක් කියන්නේ වැරදිකරුවෙක් නෙමේ. නමුත් කිසිවක් ඔප්පු වෙන්නත් කලින් මිනිස්සු නිගමන වලට එළඹිලා ඉවරයි. ඊට පස්සේ ඒ චෝදනා ලැබූ කෙනා නිවැරදිකරුවෙක් බවට ඔප්පු වුනත් අර කලින් නිගමන වලට එළඹුන අයට ඒ පුද්ගලයා වැරදිකරුවෙක් තමා. තිත්ත ඇත්ත විඳින්න තියෙන අකමැතිකම.

චිත්‍රපටය ගැන පොඩි සටහන ලිව්වෙත් චිත්‍රපටය විචාරන්න නෙමේ. චිත්‍රපටය ගැන මට දනුන පොඩි අදහසක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕන වුන නිසයි. රඟපෑමෙන් හා තිර රචනයෙන් කුමාර තිරිමාදුර මහතා හා සරත් කොතලාවල මහතා චිත්‍රපටයෙන් මිනිස්සුන්ට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා.



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...