Tuesday, March 1, 2022

සතියට දවස් හතක් ආවේ කොහොම ද?


කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා. අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය. මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද්‍රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය. දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය. නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද? දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි? ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක්. මේ සතියට දවස් හත ආවේ කොහොම ද? අද අපි හොයලා බලමු ඒ ගැන.

අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ. දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා. මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ. මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි. 

හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත්‍යයන් තුල තිබුනා. අද අපිට ඒවා සාහිත්‍යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා. බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක්. ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා. මරණීය පාප හතක්, සත්ගුණවත් ගුණාංග හතක්, සමුරායිවරු හත් දෙනෙක්, චීන සාහිත්‍යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව්‍යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා.

මර්කියුරි හත ව්‍යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ්‍යවකාශයානා අභ්‍යවකාශගත කිරීම උදෙසා. මේ ව්‍යාපෘතිය තුල යානා හතක් අභ්‍යවකාශගත කරනවා. හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන්. මේ ව්‍යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක්. මර්කියුරි ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ. නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව්‍යාපෘති හතක් දියත් කරනවා. 

ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග්‍රහවස්තූන්ගේ චලනයක් බලලා. මේ ජනයා හඳුනාගත් ග්‍රහවස්තු හතක් තිබුනා. හඳ, බුද, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති සහ සූර්යයා. මුල් කාලයේ මිනිස්සු හිතුවේ පෘතුවිය මධ්‍යයේ තියලා අනෙක් ග්‍රහවස්තු පෘතුවිය වටේ යනවා කියලයි. මේකට අපිට ඒ කාලයේ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. මොකද ඒ අය නිගමන වලට එලබුනේ තම තමන්ගේ දැනුම් තේරුමේ හැටියට දකින නිරීක්ෂණ මත. ඒකත් හරියට වසර දහස් ගණනකට පෙර මෙසපොතේමියාවේ මිනිස්සු තමන් දැනගෙන හිටපු ප්‍රදේශ බොහොමයක් යට වෙන්න ගංවතුර දාපු නිසා ලෝකය ම යට වුනු මහා ජල ගැල්මක් ඇති වුනා කිව්වා හා සමාන යි. මේ වගේ මිනිස්සු දැක්කා පෘතුවිය වටේ ග්‍රහවස්තු හතක් චලනය වෙනවා. මේ ග්‍රහවස්තු කාලය මැනීමට උචිතයි කියලා හිතාගෙන ඒවා භාවිතයට අරගත්තා.

ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වගේ ප්‍රදේශවල පැතිරිලා තිබුනු ශිෂ්ටාචාරවල මිනිස්සු විශ්වාස කරා එක් එක් ග්‍රහවස්තුවකට හිමිකම් කියූ දෙවි කෙනෙක් සිටිනවා කියලා. ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ දී ග්‍රීක ජෝතීර්වේදීන් කිව්වා ග්‍රහවස්තු හතට අරක්ගත් දෙවිවරු හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා. මේ නිසා සෙනසුරු ග්‍රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා. ඊට පස්සේ සඳු පාලනය කරනවා. ඔහොම පැය විසි හතරක් ගිය තැන ඊළඟ දවස පටන් ගන්නේ කලින් දවසේ පටන් ගත්ත ග්‍රහ වස්තුවෙන් (සෙනසුරු ග්‍රහයාගෙන්) නෙමේ. නැවත සෙනසුරු ග්‍රහයා දවසේ මුල් පැයට පැමිණෙන්නේ අටවෙනි දිනයේ. මේකට තමා සතිය කිව්වේ !

ඒ වගේ ම හැම දවසක ම මුල් පැය පාලනය කරන ග්‍රහවස්තුවේ නමින් එම දිනය නම් කරා. සෙනසුරු පාලනය කල දින සෙනසුරාදා, හිරු (ඉර) පාලනය කල දින ඉරිදා සහ සඳු පාලනය කල දිනය සඳුදා යනා දී වශයෙන්. සමහර ග්‍රහවස්තු වල නම් වලට කාලයත් සමඟ ලතින් භාෂාවෙන් වදන් භාවිතා වුනා. ඒ අනුව යි වර්තමාන සතියේ ඉංග්‍රීසි නම් හැදුනේ. 

යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරෙනවාත් එක්ක ඉරිදා දවස සබත් දවස කියලා ඔවුන් නම් කරා විතරක් නෙමේ වැඩ කරන පලමු දවස විදිහට සඳුදා තෝරාගත්තා.

ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක ම පාහේ සතියේ දින නම් කරන්න මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. එකිනෙකට මුණ නොගැසුනු ශිෂ්ටාචාර පවා. බොහෝ ශිෂ්ටාචාර සතියේ දින ග්‍රහවස්තූන්ට අදාළ දෙවිවරුන් භාවිතා කරලා නිමවාගත්තත් එයින් එපිට ට ගිහින් දින හතකින් සතියක් නිර්මාණය කල කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමා හෙබ්‍රෙව් ජනයා. අද දකින්න ලැබෙන ජුදෙව් වරුන්ගේ ආදිතමයෝ. 

මොවුන් සතියට දින හත යොදාගත්තේ තමන්ගේ ආගමික ග්‍රන්ථ වූ ටෝරාවේ සඳහන් දින හතේ මැවීමක් ගැන සඳහන් වන නිසා. ඒ ක්‍රි.පූ. පස්වන සියවස වගේ කාලයක දී. ග්‍රීකවරු ග්‍රහවස්තු ඔස්සේ සතියේ දින හත හදන්නත් කලින්. මම කලිනුත් කිව්වා වගේ මේ දින හතේ මැවීම එන්නේ ලෝකයේ පලමු ශිෂ්ටාචාරයෙන්. අතිශය පැරණි සංකල්පයක් මේක. මොවුන් දින හත නම් කලේ පලමු දිනය, දෙවන දිනය හා තෙවන දිනය යනා දී වශයෙන්. හත්වන දිනය ඔවුන් නම් කාඅ සබත් දිනය කියලා. වර්තමාන සබත් වචනයේ මූලය එන්නේ ශබාට්ටූ යන මෙසපොතේමියානුවන්ගේ උත්සවයෙන්. ඒ උත්සවයෙන් ඔවුන් සැමරුවේ පූර්ණ චන්ද්‍රයා පෙනීම නිමිත්තෙන් !

අපි අද මේ දකින චන්ද්‍රයා ම තමා ජේසුස්වහන්සේ බුදුන්වහන්සේ වගේ ම නියැන්ඩර්තාල් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයා පවා දැකලා තියෙන්නේ. දවස ගානේ පෙනිලා නැවතත් නොපෙනිලා යන මේ මහා වස්තුවේ හැඩය දවසින් දවස වෙනස් වෙලා නැවත මුල් පිහිටීමට එනවා කියලා වසර දහස් ගණනක ඉඳන් මිනිස්සු ඇස් දෙකෙන් ම දැක්කා. මේ නිසයි කාලය මැනීමේ පැරණිතම උපකරණය විදිහට චන්ද්‍රයා භාවිතා කළේ. 



පැරිස්ගේ තේරීම

පහත තියෙනවා විශේෂ ඡායාරූප තුනක්. එකක් මම අරගත්තේ ලන්ඩන් වල බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දී. අනෙක් දෙක ලන්ඩන් වලම National Gallery එකේ දී. මේ ඡායාරූප වල තියෙන දේවල් එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධය එන්නේ මම කැමතිම මාතෘකාවක් වන ග්‍රීක මිත්‍යා කතා තුලින්. 

මේ කතාව පටන් ගන්නේ තීටිස් සහ පේලියස් නම් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන්. මේ විවාහ උත්සවයට ඒරීස් හැර ඔලිම්පස්හි හැම දෙවි දේවතාවුන් කෙනෙක්ටම ආරාධානා කරලා තිබුනා. ඒරීස් කියන්නේ 'අසමගිය' ඇතිකරන දේවතාවිය. විවාහ උත්සවයකට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන එක හොඳ නැති නිසයි එයාට ආරාධනා නොකළේ.

හැමෝටම ආරාධනා කරපු විවාහ උත්සවයට තමන්ට ආරාධනා නොකරපු එක ගැන ඒරීස් තරහෙන් හිටියේ. මේ නිසා ඒරීස් මේ විවාහ උත්සවයට පැමිණියේ නැතත් උත්සව ශාලාවේ මේසයක් මත රත්තරන් ඇපල් ගෙඩියක් තියෙන්න සලස්වනවා. ඒ රත්තරන් ඇපල් ගෙඩියේ ලියලා තිබුනා 'ලෝකයේ පියකරු ම කාන්තාවට' කියලා.

මේ උත්සවයේ හිටපු කාන්තාවන් තුන් දෙනෙක්ට මේ ඇපල් ගෙඩිය ලබාගන්න ආශාවක් ඇති වුනා. එක් කෙනෙක් සියුස්ගේ බිරිඳ හේරා. අනෙක් කෙනා යුද්ධයට අධිපති දෙවඟන ඇතීනා. අවසාන වශයෙන් අලංකාරයට සහ ආදරයට අධිපති දෙවඟ වූ ඇෆ්‍රොඩයිට් හිටියා. මේ තුන් දෙනා අතරින් වඩාත් ම පියකරු කව් ද කියලා තෝරගන්න අපහසු නිසා එයාලා ගියා සියුස් ගාවට. 

දැන් සියුස් ඉන්නේ ලොකු ප්‍රශ්නයක. තමන්ගේ බිරිඳ සහ දුවලා අතරින් කෙනෙක්ව තෝරාගන්න අවශ්‍යයි. සියුස් කියන්නේ දෙවියන්ගේ දෙවි වුනාට මේ ප්‍රශ්නයේ දී සියුස්ට තීරණයක් දෙන්න නොහැකි වුනා. මේ නිසා තුන් දෙනා අතරින් වඩාත් පියකරු කව් ද කියලා තෝරන්න සියුස් පත් කරනවා සාමාන්‍ය මිනිසෙක්ව.

ඒ පුද්ගලයාගේ නම තමා 'පැරිස්' කියන්නේ. 

ක්‍රි.ව. දෙවන සියවසට අයත් පැරිස්ගේ පිළිරුවක්. 


හේරා පැරිස් ගාවට ගිහිල්ලා කියනවා "මම තමා සියුස්ගේ බිරිඳ හේරා. වඩාත් ප්‍රියමනාප කාන්තාව විදිහට මාව තෝරගත්තොත් මම ඔයාව ලෝකයේ ධනවත් ම රජතුමා බවට පත් කරන්නම්. ඔලිම්පස් වගේ අනර්ඝ මාළිගාවක් හදලා දෙන්නම්." කියලා.

ඒත් එක්කම ඇතීනා පැරිස් වෙතට ඇවිත්;

"මම තමා යුද්ධයට හා දැනුමට අධිපති දෙවඟන ඇතීනා. මෙතෙක් සිටි අනර්ඝතම සෙන්පතියා බවට මම ඔබව පත් කරන්නම්. මිනිසුන් දහස් ගණනක් මෙහෙයවා අධිරාජ්‍යයන් ඔබ යටතට ගන්න ඔබට හැකියාවක් ලබා දෙන්නම්" කියලා කිව්වා.

අවසාන වශයෙන් ඇෆ්‍රොඩයිට් පැරිස් වෙතට ආවා.

"මම ආදරයට හා අලංකාරයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිට්. මම ඔයාට මං වගේ ම පියකරු කාන්තාවක් ව විවාහ කරලා දෙන්නම්." 

වරයන් තුනක් තමා ඉදිරියෙන් තියෙද්දී පැරිස් තෝරගන්නේ ඇෆ්‍රොඩයිට් ව. නමුත් ඇෆ්‍රොඩයිට් මෙතන දී නොකීව දෙයක් තියෙනවා. ඒ තමා පැරිස් හට ලබා දෙන්නට පොරොන්දු වූ කාන්තාව මේ වෙනකොටත් විවාහ වෙලයි හිටියේ. ඒ ස්පාර්ටා වල මෙනලේයස් රජතුමා සමඟ. 

මේ කාන්තාවගේ නම තමා ට්‍රෝයි හි හෙලන්.

මෙනලේයස් රජතුමාගේ බිරිඳ වන හෙලන්ව පැරිස් පසුකාලීනව පැහැරගෙන යාම නිසා තමා ග්‍රීක සාහිත්‍යයේ ප්‍රකට ට්‍රොජන් යුද්ධය ඇති වුනේ.



පැරිස් විසින් ඇෆ්‍රොඩයිට් ,ඇතීනා සහ හේරා අතරින් අයෙක්ව තෝරාගන්නා අවස්ථාව. Peter Paul Rubens (1597)

පැරිස් විසින් ඇෆ්‍රොඩයිට්ව තෝරාගත් අවස්ථාව.

Saturday, December 25, 2021

දුටුගැමුණු හා නාගයෝ

 ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්වත් අඳුනන රජ කෙනෙක් තමා ‘දුටුගැමුණු’ කියන්නේ. මහාවංශ කතුවරයා මහාවංශයේ වීරයා කරන්නෙත් මේ දුටුගැමුණු රජතුමාව. දුටුගැමුණු ගැන මහාවංශය තුල පරිච්ඡේද කිහිපයකින් ම විස්තර කරලා තියෙනවා. හැම කුඩා සිද්ධියක් ගැන ම විස්තරයක් තියෙනවා. නමුත් එක දෙයක් හැර.

රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමාගේ ප්‍රකට නිර්මාණයක්. මේ නිර්මාණය කරන අතරතුර රජතුමා හදිසියේ අසනීප වෙනවා. අසනීප වෙලා රුවන්වැලි මහා සෑය හදලා ඉවර වෙන්න කලින් මිය යනවා. රජතුමා අසනීප වුන බවක් ලියලා තිබුනත් එහෙම අසනීප වෙන්න හේතුව මොකක් ද? ලෙඩේ මොකක් ද? බෙහෙත් කලේ කව් ද? කියලා කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. අච්චර ලොකුවට දුටුගැමුණුව විස්තර කරලා අන්තිමට මැරෙන්න හේතුව නොදාපු එක නම් ගැටලුවක්.

දුටුගැමුණුගේ මේ මරණය ගැන ජනකතාවක් නම් තියෙනවා. ඒ කතාව මේකයි. රුවන්වැලි මහා සෑය හදමින් ඉන්න අතරතුර මේ මහා සෑය වන්දනා කරන්න එනවා රූමත් නාග කන්‍යාවෝ කිහිප දෙනෙක්. ඔතනදි නාග කන්‍යාවෝ කියන්නේ ඉතින් රූපකයක්. නයි නෙමේ. නාග ගෝත්‍රයේ රූමත් මනුෂ්‍ය කාන්තාවෝ කියලා කියමුකෝ. මේ රූමත් කාන්තාවෝ මහා සෑය වඳින්න ආපු බව රාජපුරුෂයෝ රජතුමාව දැනුවත් කරනවා.

මේ තොරතුර දැනගත්තු රජතුමා වහාම යනවා මේ රූමත් කාන්තාවෝ බලන්න. බලලා නතර වෙන්නේ නැහැ. රජතුමා එක් කාන්තාවකගේ අතින් අල්ලලා යන්න දෙන්නේ නැතුව අල්ලගන්නවා.

“රජතුමනි, මාව අතාරින්න. මම නාග කන්‍යාවක්. මගේ ස්වාමිපුර්ෂයා නාග රාජයෙක්.” නාග කන්‍යාව රජතුමාට කිව්වා.

“නාග රාජයාට මම මොකටද බය වෙන්නේ, එනවා මෙහෙන්” කියලා රජතුමා මේ නාග කන්‍යාවව මාළිගාවට අරගෙන යනවා. ගිහින් මේ නාග කන්‍යාවත් එක්ක එකතුවෙනවා.

මේ එකතුවීමෙන් පස්සේ නාග කන්‍යාව රජතුමාට මෙහෙම කියනවා; “රජතුමනි මේ කිසිම දෙයක් කාටවත් දැනගන්න තියන්න එපා. මගේ ස්වාමිපුර්ෂයා දැනගත්තොත් මහා විනාශයක් වෙන්නේ.”

මෙහෙම කියලා මේ කාන්තාව යන්න කලින් කවදාවත් තිසා වැවට බහින්න එපා කියලා රජතුමාට එක් උපදෙසක් දෙනවා. මේ නාග කන්‍යාව ගෙදර ගියත් එයාගේ අමුතු හැසිරීම ගැන සැක හිතුනු නාග රාජයා දවසක් මේ ගැන ප්‍රශ්න කරනවා. එතනදී හැම දේම මේ නාග කන්‍යාව තමන්ගේ ස්වාමිපුර්ෂයාට කියනවා. මේ නිසා මේ නාග රාජයා දුටුගැමුණු රජතුමාත් එක්ක හිටියේ බොහොම කේන්තියෙන්.

මේ අතර රජතුමා මුලදි බය නැතුව කතා කරත් තිසා වැවේ නාන එක නතර කරනවා. නමුත් ටික කාලයකින් මේ අනතුරු ඇඟවීම ගැන රජතුමාට අමතක වෙලා තිසා වැවේ නාන්න යනවා. අවසානයේ මේ වැවේ හිටපු නයෙක් දෂ්ට කරලයි රජතුමා අසනීප වෙන්නේ.

ඒ තමා ජන කතාව.

නාග ගෝත්‍රිකයෝ මේ නාග කන්‍යාවගේ සිදුවීමට පෙර ඉඳන් ම දුටුගැමුණු රජතුමා සමඟ අමනාපයෙන් හිටියේ. ඒ තමන් වැඳපුදාගත් ධාතූන් වහන්සේලා රවට්ටලා අරගෙන රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරපු නිසා. මේ බව මහාවංශයේ තිස් එක්වෙනි පරිච්ඡේදයේ අපූරුවට තියෙනවා. රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට නාග රජ්ජුරුවන්ගෙන් ධාතූන් ඉල්ලපු සෝණුත්තර තෙරුන්වහන්සේට නාගරජ්ජුරුවෝ මෙහෙම කියනවා;

“භික්ෂුව, බලනු මැන. නොයෙක් ආකාරයෙන්, නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චේතියඝරය. තමුන්නාන්සේගේ ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ. මේ චේතියඝර ආදියේ ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද! ඒ නිසා භික්ෂුව, මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා යන මෙය තොපට ගැලපෙන දෙයක් නොවේ.”

නාගයෝ සහ දුටුගැමුණු රජ අතර තිබුණු අමනාපකම ඒ කාලයේ සමාජය දැනගෙන හිටියා. දුටුගැමුණු රජතුමාගේ මරණයට නාගයෝ සම්බන්ධ කතාවක් කාලයත් සමඟ පැටලුනේ ඒ නිසා විය යුතුයි.

[ඡායාරූපය - බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න]



Monday, December 20, 2021

අපි වයසට යන්නේ ඇයි?


ඔබ වසර 10,000කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර තිහකට නොවැඩියි. ඔබ වසර 100කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 50කට නොවැඩියි. ඔබ මීට දශක කිහිපයකට පෙර ඉපදුනු අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 80ක් දක්වා යා හැකියි. 

තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ගේ ආයු අපේක්ෂාවත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුනා. කුඩා අවධියේ පටන් මැදි වියට එනතෙක් ම වයස්ගත වීම අපේ ශාරීරික වර්ධනයට බලපෑවා. වයසත් එක්ක ඇවිදින්න, දුවන්න වගේම නව ක්‍රියාකාරකම් රැසක් අපිට කිරීමට හැකියාව ලැබුනා. නමුත් අපගේ එක්තරා වයසක ඉඳන් මේ හැකියාවන් හීන වෙන්න පටන් ගන්නවා. අපි 'වයසට යනවා' කියලා කටවහරේ කියන්නේ ඒ කාලෙදි යි. නමුත් ඇයි අපි වයසට යන්නේ? තරුණ අවධියේ දී වයස්ගත වීම ශාරීරික වර්ධනයට හේතු වෙලා තවත් කාලයක දී වයස්ගත වීම ශරීරයේ දුබලතාවට හේතු වුනේ කොහොම ද? අපි අද සොයා බලමු ඒ ගැන. 

වයස්ගත වීම කියන්නේ රෝගයක් නෙමේ. දියවැඩියාව, ඇල්සයිමර් සහ ක්ෂයරෝගය ආදී දේවල් රෝග. වයස්ගත වීම මේ සමහර රෝග වලට හේතු වෙන්න පුලුවන් වුනත් වයස්ගත වීම රෝගයක් ලෙසින් සැලකෙන්නේ නැහැ. 

අපි වර්ධනය වෙන්නේ සෛල බෙදීමෙන්. එකෙන් දෙකක් දෙකෙන් හතරක් ආදී විදිහටත් තවත් ආකාර වලටත් අපේ ශරීරයේ සෛල බෙදෙනවා. මේ බෙදීමේ දී අපේ සෛල වල තියෙන වර්ණදේහත් ඒ එක්කම බෙදෙනවා. පාරම්පරික ලක්ෂණ ඉදිරි පරපුර අරගෙන යන්නේ මේ වර්ණදේහ තුලින්. මේ සෛල බෙදීම සම්බන්ධයෙන් හෙෆ්රික් නම් වූ විද්‍යාඥයෙක් විශේෂ සොයා ගැනීමක් සිදු කරනවා. ඔහු පවසනවා අපේ ශරීරයේ සෛල වලට බෙදීමට හැකියාවක් ලැබෙන්නේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා පමණයි කියලා.

වර්ණ දේහ වල කෙලවර සෑදී ඇත්තේ 'ටිලමියර්' නම් වූ ද්‍රව්‍යයකින්. මේ ටිලමියර් වර්ණ දේහ තුල තිබෙන්නේ වර්ණ දේහ වලට සිදුවන හානි වලින් ආරක්ෂා කරගන්න. නමුත් සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී මේ ටිලමියර් ටිකෙන් ටික කොට වෙනවා. ටිලමියර් කොට වෙලා කොට වෙලා අන්තිමේ දි නැති වුනාම යි සෛලයේ බෙදීම අවසන් වෙලා සෛලය මිය යන්නේ. අපි වයසට ගිහින් මිය යන්නෙත් මේ හේතුව නිසා.

ටිලමියර් කොට නොවෙන එක් සත්වයෙක් ඉන්නවා. ඒ තමා පොකිරිස්සා. පොකිරිස්සන්ගේ ශරීරයේ සෛල වර්ධනය වෙනකොට ඒවායේ ටිලමියර් කොට වෙන්නේ නැහැ. ඒ ටිලමොරේස් නම් එන්සයිමය නිසා. මේ නිසා පොකිරිස්සන් දිනෙන් දින ශක්තිමත් වෙනවා මිසක් මොන මොහොතකදිවත් වයසට යන්නේ නැහැ. ඒ සත්තු මිය යන්නේ මිනිස්සු වගේ තවත් සතෙක් උන්ව කෑවොත් විතරයි.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපිටත් පොකිරිස්සගේ වගේ ටිලමියර් කොට වෙන්නේ නැතිව තිබ්බනම් හොඳයිනේ කියලා. නමුත් ඒක හිතන තරම් හොඳ දෙයක් නම් නෙමේ. 

අපේ ශරීරයේ පිළිකා සෛලත් ක්‍රමක්‍රමයෙන් ගුණනය වෙනවා. මේවායේ වර්ණදේහ වල තියෙන ටිලමියර් කොට වෙන්නේ නැහැ. මේ නිසයි පිළිකාවක් පැතිරීම වළක්වන්න අපහසු. සාමාන්‍ය විදිහට සෛල බෙදිලා ටිලමියර් කොට වෙලා සෛල මිය යනවා නම් පිළිකා සෛලත් කාලයකින් අපේ ශරීරයෙන් තුරන් වෙන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ. 

මේ හේතුව නිසාමයි අපේ ශරීරයේ අනෙකුත් සෛල වල ටිලමියර් කොට වෙන්නේ. එහෙම නොවුනා නම් ඒවායේ රෝග කාරකයක් තිබුනොතින් ඒ රෝග කාරකයත් නොනවත්වා ගුණ වෙන්න තිබුනා. 

එහෙම බැලුවොත් අපේ වයසට යෑමත් එක්තරා ආකාරයක අපිව ආරක්ෂා කරගන්න ශරීරය යොදන උපක්‍රමයක්. 



Thursday, December 16, 2021

මළ පොතේ අකුර දැකලා තියෙනවා ද?


අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර දුටු පමණින් යනෙකුගේ මරණයක් හැඟවෙන බවත් මෙයට මළපොතේ අකුර යැයි කියැවෙන බවටත් කතාවක් මම අහලා තියෙනවා. සමාජ ජාලා තුල පමණක් නොව අන්තර්ජාලයේ ඔබ මෙම මළ පොතේ අකුර කුමක්දැ යි සෙව්වොත් පහත පින්තූරයේ දැක්වෙන අක්ෂරය පැමිණෙනවා.

නමුත් සැබවින් ම මේ මළපොතේ අකුර ද? මළ පොතේ අකුර මෙය යැයි කීවත් එය සනාථ කිරීමට කිසිදු සාධකයක් මට හමුවූයේ නැහැ. මළ පොතේ අකුර මෙය යැයි කියන කිසිවෙකුටවත් මේ මළ පොතේ අකුර යැයි සනාථ කල හැකි යැයි මම සිතන්නෙත් නැහැ.

එසේ නම් මළපොතේ අකුර කියන්නේ මොකක් ද?

මළ පොතේ 'අකුර' නමින් යෙදුමක් බහුලව භාවිතා වුනත් මළ පොතේ 'අකුරු' නමින් බහු වචන පදයකුයි ගැමියෝ භාවිතා කළේ. මාලනී බුලත්සිංහල මහත්මිය වුනත් කියන්නේ මළ පොතේ 'අකුරු' බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරේ මුල ඉඳන් අගට බලනවා මිසක් මළ පොතේ 'අකුර' බැරි මිනිහා එහෙම කරනවා කියලා නෙමෙයිනේ.

සමහරු ඉස්පිළි පාපිළි නැති නිසා 'ඉ' ස්වරයට මළ පොතේ අකුර යැයි හඳුන්වනවා. නමුත් ඉස්පිළි පාපිළි යෙදෙන්නේ නැති තවත් අක්ෂර තියෙන නිසා 'ඉ' අක්ෂරයට මළ පොතේ අකුර කීමත් පිළිගන්න අපහසුයි. 

ගැමි පුද්ගලයෙක් මියගියා ම අක්ෂරයක් අඩංගු තල්පතක් ගම වටා රැගෙන යන කතාවත් තරමක් පිළිගන්න අපහසුයි. එහෙම දෙයක් කිසිම ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අදහස පසු කාලීනව ඇතිවූ අදහසක් වෙන්න ඕන. ඇරත් ගැමියෙක් මැරුණම ඒක කටින් කියන්න බැරි ඇයි? කෙනෙක්ගේ මරණයක් වචනයෙන් පැවසීම අසුබ යැයි සඳහන් තැනකුත් නැහැ. මේ හේතු කාරණා නිසා අතීත ගැමියෙක් මිය ගියාම අක්ෂරයක් ලියූ තල්පතක් ගම වටේ රැගෙන යන කතාව අපිට බැහැර කරන්න වෙනවා.

ගැමි සංස්කෘතිය තුල සෑදෙන මිත්‍යාවක් පිටිපස්සේ සැඟවුනු සත්‍යයක් තියෙන්න පුලුවන්. මළ පොතේ අකුරු වල කතාවත් ඒ වගේ.

වර්තමානයේ දී නම් මළ ගෙදරක දී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඣායනා කරනවා. අතීතයේ දී සඡ්ඣායනා කල ජාතක කාව්‍යයක් තිබුනා.

ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය.

වෙස්සන්තර කාව්‍යයයේ (වෙසතුරු දා කව) දරුවන් දන් දෙනකොට මහ පොළොව කම්පා වුන විදිහ ඇහෙනකොට මළ ගෙදරක තියෙන ශෝකය තුනී වෙනවා කියලා අතීත ගැමියෝ විශ්වාස කළා. මේ නිසා හැම මළ ගෙදරක ම වෙස්සන්තර ජාතක කාව්‍යය සඡ්ඣායනා කළා.

අතීත ගැමියෝ මළ පොත කීවේ ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය ලියූ තල්පතට. මේ තල්පත කියවන්න පුලුවන් වෙන්නේ අකුරු සාස්තරේ දන්න අයට විතරයි. ගමේ බොහෝ දෙනෙක් අකුරු සාස්තරේ දන්නේ නැති නිසා මේ මළ පොත, එහෙමත් නැතිනම් වෙස්සන්තර ජාතක කාව්‍යය කියවන්න පුලුවන් වුනේ කිහිප දෙනෙක්ට විතරයි. 

ටික කාලයක් යනකොට මිනිස්සුන්ට මේ ජාතක කාව්‍යයේ කවි ටික ඇහිලා ඇහිලම කට පාඩම් වෙනවා. අකුරු සාස්තරේ නොදන්න කෙනෙක් වුනත් තල් පත අතේ තියාගෙන කටපාඩමින් කවි ටික කියන්න පුලුවන් වුනා. 

ඒත් සමහරු ජාතක කාව්‍යය නිතර ඇහිලත් කටපාඩම් කරගත්තේ නැහැ. මේ අයට තමා ගම්මු කීවේ 'මළ පොතේ අකුරුවත් බැරි මිනිහෙක්' කියලා.



Tuesday, December 14, 2021

දෙවියන් සහ මිනිස් මොළය

 යුරෝපයේ පුනරුද සමයේ සිටි කලාකරුවෝ තම කලා නිර්මාණ වල සියුම් තැන් පිළිබඳව ඉතා ඕනෑකමින් සොයා බැලුවා. එවන් ශිල්පීන් අතර මයිකල් ඇන්ජලෝ නම කලා ශිල්පියා ඉතා විශේෂ යි. ඔහු නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් දකුණු අතෙහි උඩ කොටසේ නහරයක් සමෙන් ඉලිප්පී පෙනෙයි. වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව නම් එම නහරය පිටතට පෙනෙන්නේ අපගේ අතේ සුළු ඇඟිල්ල ඉහලට එසෙව්වොත් පමණි. මයිකල් නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් තම සුළු ඇඟිල්ල ඉහලට ඔසවාගෙන සිටියි. 

අපගේ ගෙල ප්‍රදේශයේ ඇති කණ්ඩරික ශිරාව පිටතට පෙනෙන්නේ අප කලබලයෙන් තිගැස්සී සිටින විට යි. මයිකල් ඇන්ජලෝ නිපදවූ දාවිත්ගේ පිළිරුවේ ඉතා සියුම් ව එම ශිරාව පෙනෙයි. දාවිත්ගේ පිළිමයේ නිරූපණය වන්නේ ඔහු ගොලායත් නම් පිළිස්ති යෝධයාත් සමඟ සටනට මොහොතකට පෙර අවස්ථාවකි. එමනිසා එම මොහොතේ දාවිත් තිගැස්සී සිටි බව හොඳාකාරවම කිව හැකියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් මයිකල් ඇන්ජලෝගේ අවධියේ දී සිදු වූ දේවල් නොවේ. සමහර සොයා ගැනීම් මයිකල්ගෙන් වසර සියයකටත් පසු සොයාගත් ඒවා ය. එම නිසා එකල කලා ශිල්පීන්ට සිතුවම් ඇඳීමට අමතරව මළ සිරුරු විච්ඡේදනයෙන් ලත් විශාල දැනුමකුත් තිබුනු බව අප මතකයේ තබා ගත යුතුයි.

මයිකල් තමන්ගේ කලා නිර්මාණ වලට මෙවන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුලත් කල අවස්ථා වලට ඇත්තේ උක්ත සඳහන් කල ඒවා පමණක් ම නොවේ. එවන් ආකාරයේ සිතුවම් අතරින් මගේ ප්‍රියතම සිතුවමක් ඇත්තේ වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ ය. මයිකල්ට ස්වර්ගය හා දෙවියන් සම්බන්ධ කරමින් සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කිරීමට අවසර දෙන්නේ එකල සිටි පාප්වහන්සේ විසින්. මයිකල් එහි සිතුවම්කරණයේ නියැලෙන්නේ එම සිතුවම් එකල මෙන් ම වර්තමානයේ සිතුවම් වලට ද අභියෝගයක් එක් කරමින්.

ක්‍රිස්තියානි ආගමේ ලෙසට ලොව පලමු මිනිසා වන ‘ආදම්’ දෙවියන්වහන්සේ විසින් දූවිල්ලෙන් මවයි. මයිකල් ඇන්ජලෝ විසින් එම ආදම්ව මැවීම සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කරන්නේ සිවිලිමේ. මෙහි දී වම් ආදම් සිටින අතර දකුණු පස දෙවියන් සිටියි. මයිකල්ට පෙර දෙවියන් නිරූපණයට අලෝකයක් වැනි දේ යොදා ගත්තත් ඔහු දෙවියන්ව නිරූපණය කලේ වයෝවෘධ පුද්ගලයෙක් ලෙසින්. එය එකල සම්ප්‍රදායට පිටින් යෑමකි. දෙදෙනාගේ ඇඟිලි ගෑවී නොගෑවී තිබේ. දෙවියන් වටා කුඩා දරුවෝ ද දෙවියන් කරට අත දා සිටින තම ඉපදුනේ නැති පලමු කාන්තාව ලෙසින් හැඳින්වෙන 'ඒව' ද සිටින අතර සියලු දෙනා වටා රතු පැහැති රෙදි කඩක් තිබේ.

සාමාන්‍ය නරඹන්නෙක්ට නම් මෙය අලංකාර සිතුවමක් පමණයි. නමුත් 1990 වසරේ දී මෙම සිතුවම දුටු වෛද්‍ය ෆ්‍රෑන්ක් ලින්ක් මේ ගැන ඉදිරිපත් කළේ වෙනත් ම අදහසක්. ඔහු පැවසුවේ දෙවියන්ව නිරූපිත කොටස හුදෙක් සිතුවමක් පමණක් නොව එහි ඇත්තේ මිනිස් මොළයක හරස්කඩක් බවයි. දෙවියන්ගේ හැඩයෙන්, දරුවන්ගේ ගෙල හැරවී ඇති ආකාරයෙන්, කකුල් පිහිටලා තිබෙන ආකාරයෙන් මොළයේ කොටස් නිරූපණය වන බව කියා ෆ්‍රෑන්ක් පර්යේෂණ පත්‍රිකාවක් එම වසරේ ඉදිරිපත් කරා. මෙම සිතුවමේ මොළය සබ බෙල්ල සම්බන්ධ කරන නහරයකුත් කොල පැහැයෙන් මයිකල් සිතුවම් කර තිබෙනවා. මේවායේ ඉතා නිරවද්‍යතාව නිසා මෙම සිතුවම මොළයට සමාන වීම අහම්බයක් ලෙසින් කිසිසේත් ම හඳුන්වාදිය නොහැකියි.

මයිකල් ඇන්ජලෝ විසින් වසර ගනනාවක් වෙහෙස මහන්සි වී සිරුරු විච්ඡේදනය කිරීමෙන් ලත් වෛද්‍ය දැනුම තම සිතුවම් වලට භාවිතා කිරීම ගැන වසර පන්සීයකට පසු අදත් කතාබහට ලක් වීම ඉතා පුදුම දනවන සුළුයි. මයිකල් ඇන්ජලෝ විශේෂ වන්නේ ඒ නිසා පමණක් ම නොවේ. ආගමික පැලැන්තිය ඉතා බලවත්ව සිටි අවධියක දී දෙවියන් යනු මිනිස් මොළයේ නිර්මාණයක් බව අදටත් පාප්වහන්සේව තෝරාපත්කරගන්නා ස්ථානයේ සිතුවම් කිරීමට තරම් එඩිතර වූ පුද්ගලයා ද මයිකල් ඇන්ජලෝ වන නිසාය. 



Sunday, December 12, 2021

පරම්පරාව, චෙස් සහ රෝමියෝ ජුලියට්


මගේ නම අවසන් වෙන්නේ ‘ප්‍රනාන්දු’ යන නමෙන්. මට මේ නම ලැබුනේ මගේ පියාගෙන්. තුෂාර ප්‍රනාන්දු තාත්තාගෙ නම. අපේ සීයගේ නම ඇලන් ප්‍රනාන්දු. අපි නම් කිව්වේ පප්පා කියලා මිසක් සීයා කියලා නෙමේ. පප්පාගෙත් තාත්තාගේ නම පීටර් ප්‍රනාන්දු. මගේ අම්මාගේ නම මිහිරි පෙරේරා. අම්මාගේ තාත්තාගේ නම මර්වින් පෙරේරා. ඔයාලා දන්න ගායකයා නම් නෙමේ. සීයගේ සම්පූර්ණ නම මහරගේ ක්ලැරන්ස් මර්වින් පෙරේරා. ගායකයෝ දෙන්නෙක්ගෙම නම් තියෙනවා එතන. සීයගේ තාත්තගේ නම අන්තෝනියෝ පෙරේරා. 

මට මගේ පරම්පරාවේ සුළු හෝ කරුණක් දන්න උපරිමයට ම කියන්න පුලුවන් ඔච්චරයි. 

මම මගේ සහෘද පාඨකයන්ගෙන් අහන්න කැමතියි ඔයාලට ඔයාගේ පරම්පරාවේ සීයලා කී දෙනෙක් නම් කරන්න පුලුවන් ද කියලා. අඩුම තරමේ වලව් පෙළපතකින් පැවත එන කෙනෙක්ට වුනත් තමන්ගේ සීයලා අට දෙනෙක්ව ආපස්සට කියන්න බැහැ මතකයෙන්. අපේ මතකයේ තියෙන්නේ අපේ පරම්පරාවේ සුළු කොටසක් විතරයි. අපෙන් පස්සේ පරම්පරා තුලින් අපිව මතකයෙන් ගිලිහිලා යනවා මහ කාලයක් යන්න කලින්. 

එහෙම බලනකොට අපි මේ රකින්න උත්සහ කරන ‘ජාතිය’ කියන එක ගැනත් ඇත්තට ම අපි මොනව ද දන්නේ? මම ක්‍රිස්තියානි වුනාට මගේ පරම්පරාවේ ආදිතමයන් බෞද්ධ අය වෙන්න ඇති. ඒ බෞද්ධ අයගේ පරම්පරා වල ආදිතමයන් යක්ෂ නාග ගෝත්‍රිකයන් වෙන්න ඇති. ඔවුන්ගෙනුත් ආදිතමයන් හිරු සඳු අදහපු පූර්ව ඓතිහාසික යුගයේ අය වෙන්න ඇති. ඔහොම දිගින් දිගට ම යනකොට අද වෙන් වෙන්ව තියෙන හැම ජාතියක ම ආගමකම අයට පැවත එන්නේ එක ම කොට්ඨාශයකින් කියලා නිගමනයට එන්න පුලුවනි.

අපි ඉස්කෝලේ යන කාලයේ තිබුනා රෝමියෝ සහ ජුලියට් කියලා ශේක්ස්පියර්ගේ කතාවක්. මේ කතාවේ රෝමියෝ සහ ජුලියට් හිටපු පවුල් දෙක ජන්මාන්තර වෛරක්කාරයෝ. මේ වෛරය කොතරම් පරන ද කියනවා නම් පවුල් දෙක තුල වෛරය පටන් ගන්න හේතුවක් කතාවේ කියන්නේ නැහැ. ඒ ඇයි කියනවා නම් කතාවේ වර්තමානයේ ජීවත් වුනු එක චරිතයක්වත් ඒ වෛරයට හේතුව දැනගෙන හිටපු නැති නිසා.

අපිත් මේ වගේ තමා විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවෙනකොට අපිට පරම්පරාවෙන් දායාද වුනු දේවල් ඉදිරියට අරගෙන යනවා විතරයි ඒවා දායාද වුනේ කොහොමද කියලා හොයලා බලන්නේ නැහැ. පරම්පරා ගැන කියනකොට මට මතකෙට එන්නේ ‘චෙස්’ ක්‍රිඩාව.

චෙස් ක්‍රීඩාව සංස්කෘතීන් කිහිපයක එකතුවකින් සෑදුනු ක්‍රීඩාවක්. ඉන්දියාවේ රජ කෙනෙක්ට අවශ්‍ය වුනා වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. මොකද ඒ කාලයේ තිබුනු හැම ක්‍රීඩාවක් ම පාහේ කාසියක් දාදු කැටයක් උඩ දමා වාසනාව උරගා බැලුවා. ඒ අනුවයි චෙස් ක්‍රීඩාව උපත ලබන්නේ ඉන්දියාවේ. මේ ක්‍රීඩාවේ ඇත් අස් රිය පාබල කොටස් හතර ම තිබුනු නිසා ෂත්රන්ජ් නොහොත් චතුරංගනී කියලයි කිව්වේ. සිරසට හා තිරසට කොටු අට බැගින් තිබුනු ලෑල්ලකයි ක්‍රීඩාව කලේ. 

මේ ක්‍රීඩාවට පර්සියාවෙනුත් කොටස් එකතු වුනා. පර්සියාවේ රජතුමාට පොදුවේ කිව්වේ ‘ෂාහ්’ කියලා. ඒ රජතුමා මැරුණම කිව්වේ ‘ෂාහ් මාත්’ කියලයි. චෙස් ක්‍රීඩාවේ ‘චෙක් මේට්’ වදන හැදුනේ ‘ෂහ් මාත්’ වදනින්. චෙස් ක්‍රීඩාව කාලයත් එක්ක විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වුනා. 

වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් තමන්ගේ යටත් වැසියෙක්ට හදන්න පුලුවන්කම ලැබුන නිසා ඉන්දියාවේ රජතුමා හිටියේ බොහොම සතුටින්.

“මට හරිම සතුටු යි ඔබගේ මේ නිර්මාණය ගැන. ඔබ කැමති ත්‍යාගයක් ඉල්ලන්න, මම ඔබට ඒ දේ ලබා දෙන්නම්” රජතුමා කිව්වා.

“රජතුමනි මම හරි ම සරල පුද්ගලයෙක්, ඒ නිසා ඔබතුමා මේ ක්‍රීඩාවේ දී එක් කොටුවකට ඉත්තෙක් දැම්මොත් මට හාල් ඇටයක් දෙන්න. ඊලඟ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට දෙකක් දෙන්න. ඊටත් පස්සේ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට හතරක් දෙන්න.” යටත් වැසියා කිව්වා.

රජතුමා හිතුවා මේක හරිම සරල සුළු දෙයක්නේ කියලා. රජතුමා ක්‍රීඩාව කරන්න කලින් ගාල් මළුවක් අරගෙන එන්න කියලා රාජ පුරුෂයින්ට කිව්වා. ඒත් එක්ක ම රජතුමාගේ පුරෝහිත කෙනෙක් ගණන් හදලා බැලුවා ඇත්තට ම රජතුමා මේ යටත් වැසියාට කොතරම් හාල් ඇට ප්‍රමාණයක් දෙන්න ඉන්නවද කියලා.

පළමු කොටුවට එක හාල් ඇටයයි. දෙවන කොටුවට දෙකයි. තුන්වන කොටුවට හතරයි. හතරවන කොටුවට අටයි. පස්වන කොටුවට දහසයයි. හයවන කොටුවට තිස් දෙකයි. හත්වන කොටුවට හැට හතරයි. අටවන කොටුවට එකසිය විසි අටයි. අටවන කොටුවට දෙසිය පනස් හයයි. නමවන කොටුවට පන්සිය දොළහයි. දහවන කොටුවට එක්දාස් විසි හතරයි.

දහවන කොටුවෙ දි විතරක් සහල් ඇට දාහක් ලැබෙනවා මේ යටත් වැසියාට. ඒ විතරක් නෙමේ දහවන කොටුවට කලින් තිබුනු කොටුවල දි ලැබුනු සහල් ඇටත් මේ යටත් වැසියා ලඟ තියෙනවා.

“රජතුමනි, මේ යටත් වැසියා මොහොතකට කලින් ඔබතුමාගෙන් ඉල්ලුව සහල් ප්‍රමාණය පෘතුවියේ මෙතෙක් පැවති සහල් ප්‍රමාණයටත් වඩා වැඩියි” පුරෝහිත රජතුමාට කිව්වා.

අවසානයේ දී රජතුමා යටත් වැසියාගේ හිස ගසා මරා දැමුවා. බොහෝ කතා අවසන් වෙන්නේ එහෙමයි.

චෙස් ක්‍රීඩාවේ කොටු කිහිපයක් ඉදිරියට යනකොට මුළු ලෝකය ම මෙතෙක් පරිභෝජනය කල සහල් ප්‍රමාණය ලැබෙනවා වගේ තමා අපේ පරම්පරා ත්. අපි පරම්පරා කිහිපයක් ආපස්සට ගියාම අපි හැමෝම එකම තැනක දී එකතු වෙනවා.

අපි මේ සරල දේ දේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන්නේ පවුල් දෙකක හේතුවක් නොදන්නා වෛරයක් නිසා රෝමියෝ ජුලියට් මැරුණා වගේ ම මැරෙන්න.



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...