Tuesday, June 15, 2021

පෘතුවියේ ජීවය නැති කර නැවත ඇති කළ ජීවියාගේ කතාව

 

මිනිස්සු වුන අපිට අද ජීවත්වෙන්න පුලුවන්කම ලැබිලා තියෙන්නේ ඔක්සිජන් නැමැති වායුව නිසා. වෙනත් ග්‍රහලෝකයකින් සොයාගත් දේවල් ගැන කියවනකොට අපි මුලින් ම දැනගන්න කැමති වෙන්නේ ඒ අදාල ග්‍රහලෝකයේ ඔක්සිජන් තිබෙනවා ද? නැද්ද? යන්න දැනගැනීම. මොකද ඔක්සිජන් තිබෙනවා නම් ජීවයක් පැවතිය හැකියි කියන මතයේ බොහෝ දෙනා ඉන්න නිසා. නමුත් ජීවයක් පැවතීමට ඔක්සිජන් පැවතීම අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. අපි අද ජීවත්වෙලා ඉන්න පෘතුවියේ මුල් කාලයේ ජීවීන් කිසිවක් ජීවත් වුනේ ඔක්සිජන් භාවිතයෙන් නෙමේ.

ඕනම දෙයක් ලෝකයට මුලින්ම හදුන්වා දෙනකොට අපි නොහිතන ප්‍රථිපල ළඟාකරන්න පුලුවන් ඒ හදුන්වාදීම තුලින්. අපි අද ජීවත් වෙන්නේ ඔක්සිජන් නිසා වුනත් වසර බිලියන ගණනාවකට උඩදී ලෝකයට ඔක්සිජන් නිරාවරණය වුන නිසා ඒ කාලයේ ලෝකයේ සිටි ආසන්න වශයෙන් සියලුම ජීවීන් වඳ වූවා කීවොත් ඔබ විශ්වාස කරනව ද?

මේ සියල්ලට ම හේතු වූයේ සයනොබැක්ටීරියා නම් ක්ෂුද්‍රජීවියෙක්. ජීවියෙකුගේ තැනුම් ඒකකය තමා සෛලය කියන්නේ. මේ ක්ෂුද්‍ර ජීවීන්ට තිබුනේ එක සෛලයක් පමණයි. එක සෛලයක් පමණක් තිබෙන ජීවීන්ට කියන්නේ ඒක සෛලික ජීවීන් කියලා. සෛල ගොඩක් තියෙනවා නම් බහු සෛලිකයි. මිනිසා බහු සෛලිකයි.

අදින් වසර බිලියන තුනහාමාරකට පමණ උඩදී වායුගෝලය අදට වඩා සෑහෙන වෙනස්. බහුතරයක් තිබුනේ නයිට්‍රිජන්, කාබන්ඩයොක්සයිඩ් සහ මෙතේන් වැනි වායූන්. ඔක්සිජන් තිබුනේ මුහුදු ජලය තුල. මේ මුහුදේ හිටියා ඒක සෛලික ක්ෂුද්‍රජීවීන්. ඒ කාලේ ඔය ඩයිනෝසරයෝ තියා මොනම සංකීර්ණ ජීවියෙක්වත් ගොඩබිම හිටියේ නැහැ. ඔය මුහුදේ හිටපු ඒක සෛලික ජීවින් ටික විතරයි. මේ ඒක සෛලික ජීවීන් ශක්තිය නිපදවාගත්තේ මුහුදු ජලයේ කලවම් වෙලා තිබුනු විවිධ සංඝටක භාවිතයෙන්. ශක්තිය නිපදවන්න ඔක්සිජන් වල අවශ්‍යතාවයක් උන්ට තිබුනේ නැහැ.

ඔය අතරේ මීට වසර බිලියන තුනහාමාරත් දෙකහමාරත් අතර කාලයේ හරි අපූරු සිදුවීමක් වුනා. ඔය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කොට්ඨාසයක් මුහුදු ජලයේ මතුපිට සංචරණය කරනකොට ඉර අව්ව ඇවිල්ලා ඇඟේ වැදුනා. ඉර එළිය කියන්නේ ශක්ති විශේෂයක්. මේ ක්ෂුද්‍රජීවීන් ඉර එළියත් වාතයේ තිබුන කාබන්ඩයොක්සයිඩ් එහෙමත් උරාගෙන ඔක්සිජන් සහ ග්ලූකෝස් නිපදවන්න ගත්තා. මේකට තමා අද අපි ප්‍රභාසංශ්ලේෂණය කියන්නේ. ඔය ගස්වලින් ගෙඩි හැදෙන්නේ මෙහෙම තමා.

දැන් ඔය ක්ෂුද්‍රජීවීන්ට ග්ලූකෝස් නිපදවාගන්න පුලුවන් වුනා කියන්නේ ඒ ජීවීන්ට තමන්ටම කියලා ශක්තිය නිපදවා ගන්න ක්‍රමයක් තිබුනා කියන එකයි. මේ වාසිය නිසා කාලයත් එක්ක මුහුදේ හිටපු මේ ක්ෂුද්‍රජීවීන් විශේෂය අනෙක්වට වඩා සෑහෙන්න වැඩි වෙන්න ගත්තා. මේ ක්ෂුද්‍ර ජීවීන් තමා වායුගෝලයට පලමුවෙන් ම ඔක්සිජන් එකතු කලේ. සයනොබැක්ටීටියා කියන ක්ෂුද්‍ර ජීවීන්ගේ ආදිතමයා තමා මේ.

මුලදි නම් සයනොබැක්ටීරියා මුදාහැරපු ඔක්සිජන් අවට පරිසරයෙන් අවශෝෂණය කරගත්තා. නමුත් මේ ක්ෂුද්‍රජීවීන් ඔක්සිජන් නිපදවන එක නැවැත්තුවේ නැහැ. දිගින් දිගටම නිපදවන්න ගත්තා. ඒ කාලය වෙනකොට පෘතුවියේ හිටපු අනෙක් ක්ෂුද්‍ර ජීවීන්ට මේ ඔක්සිජන් විෂ වායුවක්. ඒ නිසා මීට වසර බිලියන දෙකහමාරකට විතර උඩදී පෘතුවියේ සිටි සියලුම ජීවීන් පාහේ වඳවුනා.

ඔක්සිජන් කරලියට එන්න කලින් පෘතුවිය උණුසුම්ව තියාගත්තේ මෙතේන් වායුව. නමුත් දැන් තියෙන ඔක්සිජන්, මෙතෙන් එක්ක ප්‍රථික්‍රියා කරලා කාබන්ඩයොක්සයිඩ් නිපදවන්න ගත්තා. මෙතේන් වලට වඩා කාබන්ඩයොක්සයිඩ් වලින් ඒ හැටි වායුගෝලය උණුසුම්ව තියාගන්න බැහැ. මේකේ ප්‍රථිපලයක් විදිහට වසර මිලියන සිය ගණනාවක් පුරාවට පැවතුනු අයිස් යුගයක් පෘතුවියේ ඇරඹෙනවා. ඒ කාලේ මුලු පෘතුවියම හිම බෝලයක් වාගේ.

මේ කාලය ගෙවුනට පස්සේ නැවතත් පෘතුවිය උණුසුම් වෙනවා. දැන් පෘතුවියේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බහුතරයක් කලින් වගේ ඔක්සිජන් නිසා මියයන්නේ නැහැ. දැන් ඒ ජීවීන් ඔක්සිජන් උරාගන්නවා. ඔහොම ටිකෙන් ටික වාතයේ ඔක්සිජන් මට්ටම අඩු වෙලා අද තියෙන මට්ටමට ළඟා වුනා.

ක්ෂුද්‍ර ජීවීන්ට මේ ඔක්සිජන් උරා ගැනීමට හැකියාව ලැබීම නිසා තමයි කාලයත් එක්ක පරිණාමයෙන් උරගයින්, උභය ජීවීන්, මත්ස්‍යයින්, ශාක, ඩයිනෝසරයින් හා මිනිසුන් යනාදී සෑම ජීවී විශේෂයක් ම බිහි වුනේ.

මෙසේ ජීවීන් බිහි කිරීමට පෙර කී ජීවීන් පෘතුවියෙන් මුලිනුපුටා දැමීමට සමත් වුනු සයනොබැක්ටීරියා නම් ක්ෂුද්‍රජීවියත් හේතු වුනා. දවසක් මේ සයනොබැක්ටීරියා ක්ෂුද්‍රජීවියාව තවත් ක්ෂුද්‍ර ජීවියෙක් භක්ෂනය කරනවා. සයනොබැක්ටීරියා වලට ප්‍රභාසංශ්ලේෂණ හැකියාවක් තියෙන නිසා අර භක්ෂණය කරපු ක්ෂුද්‍රජීවියාටත් දැන් ප්‍රභාසංශ්ලේෂණය කරන්න පුලුවන්. මේ ක්ෂුද්‍රජීවියා තමා පසුව ශාක බවට පරිණාමය වුනේ. ඒ ක්ෂුද්‍ර ජීවියා තුල උන්නු සයනොබැක්ටීරියා හරිතලව විදිහට කාලයත් එක්ක පරිණාමය වුනා. මේ හරිතලව නිසා තමා ශාක කොළ පාට.

මේ සයනොබැක්ටීරියා අදටත් පෘතුවියේ තියෙනවා. සාගරයේ, මිරිදියේ, පස තුල ආදී සෑම පරිසර පද්ධතියක් තුලම ඉන්නවා. අදටත් මේ සයනොබැක්ටීරියා වාතයට ඔක්සිජන් සපයනවා. ඒත් එක්කම වාතයේ තිබෙන නයිට්‍රිජන් අවශෝෂණය කරලා පසට ලබාදෙනවා. පෘතුවියෙන් ජීවය තුරන් කිරීමට සමත් ජීවියා ම නැවත පෘතුවියට ජීවය ලබා දුන්නේ ඒ විදිහටයි.



Monday, June 14, 2021

යෙලෝස්ටෝන් වනෝද්‍යානය වෙනස් කල වෘකයෝ

 

ඇමරිකාවේ යෙලෝස්ටෝන් වනෝද්‍යානය 1995 වසරේ දී ඉදිරි අනාගතයේ දී වනෝද්‍යානයේ පරිසර පද්ධතිය වෙනස් කිරීමට සමත් තීරණයක් අරගත්තා. 1995 ට පෙර වසර 70ක් පුරාවට යෙලෝස්ටෝන් වනෝද්‍යානය තුල වෘකයෝ හිටියේ නැහැ. මේ නිසා එම වසරේ දී වනෝද්‍යානයට වෘකයින් කිහිප දෙනෙක් මුදාහරින්න අදාළ බලධාරීන් පියවර ගන්නවා. වනෝද්‍යානයක ආහාර දාමයක වෘකයා ඉන්නේ ඉහළින්. මේ නිසා ආහාර දාමයේ ඉහළින් සිටින සතෙක් අලුතෙන්ම හදුන්වා දුන් නිසා වනෝද්‍යානයේ සතුන් පමණක් නොවේ ශාක ද වසර හයක් වැනි සුළු කාලයක් ඇතුලත පැහැදිලි වෙනසක් පෙන්නුම් කරා.

මේ වෘකයෝ වනෝද්‍යානය තුල හිටපු මුවන් දඩයම් කරන්න පටන් ගත්තා. මේ දඩයම නිසා මුවන්ගේ ගහනය අඩු වුනා විතරක් නෙමේ මුවන්ගේ හැසිරීමත් වෙනස් වුනා. කලින් වගේ නිතර එක තැන තණකොළ කමින් හිටියේ නැහැ. වෘකයන්ගේ තර්ජනය නිසා මුවෝ නිතර ඉන්න තැන වෙනස් කරන්න ගත්තා. මේ නිසා පස බුරුල් වීමෙන් පස වාතනය වුනා. මේ විදිහට පස වාතනය වුනු නිසා විශාල වශයෙන් වනෝද්‍යානය තුල ශාක බිහිවෙන්න පටන්ගත්තා. විශ්ලේෂකයන් කියන්නේ වෘකයෝ එන්න කලින් වනෝද්‍යානයේ තිබුනු ශාක ප්‍රමාණය වෘකයෝ ආවට පස්සේ වසර හයක් ඇතුලත පස් ගුණයකින් වැඩි වුනා කියලා. ඒක සෑහෙන ලොකු වෙනසක්.

පරිසරය වෙනස් වීම එතැනින් නතර වුනේ නැහැ. මේ විශාල ගස් කුරුල්ලන්ට නිවහනක් වුනා වගේම වලස්සුන්ට ආහාර නිශ්පාදනාගාරයක් බවටත් පත් වුනා. ගස් හා ආහාර සුලභ වීම බීවරයන්ගේ ගහනය වැඩි කිරීම සමත් වුනා. බීවරයෝ ඇළ දොල කුඩා ජල අතු පහරවල් හරස් කර වේලි බැඳීමට උපන් හපන් සත්ව කොට්ඨාසයක්. මේ ස්වභාවික වේලි උභය ජීවීන්ට, උරගයින්ට, තාරාවන්ට, මාලුන්ට හා දියබල්ලන්ට මනා වාසස්ථානයක් වුනා. මේ නිසා ඒ සත්වයින්ගෙත් ගහනය වැඩි වුනා.

වෘකයෝ, කයෝටින්වත් ආහාරයට ගත්තා. මේ නිසා වනෝද්‍යානයේ සිටි හාවුන් සහ මීයන් වැඩි වීමට පටන් ගත්තා. උකුස්සන්ට, නරින්ට සහ උරගයන්ට හිමි ආහාර ප්‍රමාණය මේ නිසා වනෝද්‍යානය තුල සුලභ වුනා. මේ කුඩා සතුන් හා විශාල සතුන් දඩයම් කිරීමෙන් හා ස්වභාවික හේතූන් නිසා මියයාමෙන් පසු එම ආහාර රාජාලීන් හා රේවන් පක්ෂීන් විසින් ආහාරයට ගත්තා. මෙහි දී රාජාලීන් ගැන විශේෂයෙන් සදහන් කල යුතුයි. යම්කිසි පරිසර පද්ධතියක් තුල රාජාලීන් විශාල වැඩ කොටසක් සිදු කරනවා. රාජාලීන්ගේ ආමාශය අධික ආම්ලිකතාවයකින් යුක්තයි. සතෙක් මියගියාට පස්සේ එක තැන තිබෙන නිසා සත්ව දේහය කුණු වෙලා අවට පරිසරයට විෂබීජ ඒ මගින් පැතිරෙන්න පුලුවන්. ගඟක් ඇලක් දොලක් ගාව නම් මියගිය සත්ව ශරීරය තිබුනේ ඒ මගින් ජලය දූෂණය වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමේ යම්කිසි ලෙඩ රෝගයක් හැදිලා නම් සත්වයා මියගියේ ඒ සිරුර ආහාරයට ගන්නා සත්වයත් ලෙඩ වී අනික් සත්තුන්ට ඒ ලෙඩේ බෝ කරන්න පුලුවන්. නමුත් මේ හැම ප්‍රශ්නයකටම රාජාලියා පිළිතුරක්. රාජාලියාගේ ඇඟේ අධික ආම්ලිකතාවය නිසා මේ හැම දේකටම උගේ ශරීරය ඔරොත්තු දෙනවා. උන් ඒ ආහාර ලබාගන්න නිසා පරිසර පද්ධතිය දූෂණය වෙන්නේවත් ලෙඩරෝග පැතිරෙන්නේවත් නැහැ.

ගංගා කිට්ටුව ගෝනුන් නිතර රැඳුන නිසා ගංගා අවට ශාක වර්ධනය අඩාල වෙලා තිබුනේ පෙරදී. මේ නිසා පස සේදී යාමෙන් ගංගාවල මාර්ගයත් බොහෝ සෙයින් වෙනස් වෙලා තිබුනේ. නමුත් දැන් වෘකයන්ගේ බලපෑම නිසා ගෝනුන්ට එකතැන ඉන්න බැහැ. ගෝනුන් සංචරණයේ නිතර යෙදෙන්න ගත්තු නිසා ගංගා අවට ශාක වර්ධනය වුනා. මේ නිසා ගංගා ඉවුරු යම්කිසි ස්ථාවරත්වයකට පැමිණියා. යෙලෝස්ටෝන් වනෝද්‍යානයට පැමිණි මේ ආගන්තුක වෘකයෝ වසර හයක් වැනි කෙටි කලක් ඇතුලට වනෝද්‍යානයේ මේ සා විශාල වෙනසකට මුල පිරුවේ ඒ විදිහට යි.



Saturday, June 12, 2021

වත්ත මැද්දේ කානුවක්

 

වැස්ස වැස්ස වැස්ස. ඉවරයක් නෑ. අවුරුද්දකට වතාවක් මිනිස්සු යට වෙනවාමයි. යට වෙච්ච අයව දකින අනෙක් මිනිස්සු කිව්වේ; “ගේ හදනකොට අත්තිවාරම පාරට වඩා උඩකට වෙන්න දාගත්තනම් ඔය ප්‍රශ්න නෑනේ”, “ අරගන්නකොට ගන්න එපැයි හොද තැනකින් ඉඩමක්” වගේ කතා.

කියමනකුත් තියෙනවනේ ‘ඉහිරුණු කිරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ’ කියලා. වහිනකොට සමහරුන්ගේ වත්තේ කොටහක රැල්ල පාගන්න, තවත් කොටහක බෝට්ටු පදින්න එහෙම පුලුවන්. මුල් දවස් වල නම් මුහුදු වෙරලේ ගල්පර දානවා වාගේ වැලි කොට්ට දානවා ගේ ඇතුලට වතුර එන එක නවත්තන්න. හැබැයි සමහර වැස්ස කාලවල් වලට නම් ඔය වැලි කොට්ට වලින් වතුර නවත්තනවා බොරු.

මගේ යාලුවෙක් ඉස්සර හිටියා ලක්ෂපතියේ. එයාගේ ගෙවල් එහා පැත්තේ මනුස්සයාගේ ඉඩමත් හැම වැස්සකටම වගේ යටවෙනවා. දූපතක් වගේ. පොඩි එවුන් නම් බෝට්ටු හදලා සෙල්ලම් එහෙම කරනවා. දූපතක් වගේ ඒ ගෙදර. ඔක්කොටම වඩා අමාරුයි වතුර බහින්නැතුව එක තැන තිබ්බම එන පල් ගඳ. ගන්දස්සාරේ බෑ. කාලෙන් කාලෙට මතුවෙන දූපත නැතිකරගන්න ලක්ෂපතියේ යාලුවගේ අල්ලපු ගෙදර මනුස්සයා මෙහෙම ක්‍රමයක් කරා.

වත්ත වටේටම ලොකුවට හොදට තාප්පයක් ගහලා තිබ්බේ. වත්තෙන් එන වතුර යවන්න තාප්පේ යටින් හිලක් විදලා වතුර ටික තාප්පෙන් එහා පැත්තේ කානුවට යන විදිහට ක්‍රමයක් හදලා තිබුනත් එක එච්චර සාර්ථක වුනේ නැහැ. ඕකටම කියලා ලොකු වියදමක් දරන්න විදිහක් තිබ්බෙත් නැති නිසා මෙයා කැපුවා වත්ත මැද්දෙන් වලක්.මහා ලොකු වලක් නෙමේ අපේ දනිස්ස ගාවට වගේ එන්න ගැඹුරු වලක්. අඩි එකහමාරක් නැත්නම් දෙකක් ඇති. වත්ත මැද්දේ ඉදන් මේ වල තාප්පය ගාවට වෙනකන් ම කපාගෙන ගියා. ගිහිල්ලා අහක්වෙලා තාප්පය පොලොව යටින් හිල් කරලා බටයක් දැම්මා වලේ ඉදන් තාප්පය එහා පැත්තේ කානුවට.

ඊට පස්සේ වල යටට ගල් තට්ටුවක් දැම්මා. කළු ගලුයි තව එක එක ජාතියේ ගල්. ගල් තට්ටුවක් දාලා ඒකට උඩින් පස් තට්ටුවක් දැම්මා. එදායින් පස්සේ කොච්චර වැස්සත් මේ මනුස්සයාගේ ඉඩම යට වුනේ නෑ. ඉඩමට ආපු වතුර ඉඩම මැද්දේ කානුවෙන් කෙලින්ම පාරේ කානුවට වැටෙන නිසා. ඔය වල කපනකොටත් ටිකක් ආනතව (බෑවුමක් ඇතිව) කැපුවේ. නැත්තන් වතුර එක තැන රැඳෙනවනේ.

ටික කාලයක් යනකොට ඔය පස් තට්ටුවේ තණකොළ එහෙම වැවුනා. ඔය වලට වටෙත් තණකොල වැවෙන නිසා දකින කෙනෙක්ට ඔතන වෙනසක් පේන්නේ නැහැ. පායන කාලෙට ඉක්මනටම වේලෙන්නේ ඔය කානුව උඩ තියෙන තණකොට ටික. කානුව උඩින් අපි ඇවිදගෙන ගියත් වෙනසක් දැනුනේ නැහැ.

රජයක් වුනත් මනුස්සයෙක් ගංවතුරෙන් යටවෙන එක ගැන ඔයිට වඩා හිතලා මතලා කටයුතු කරන්න ඕන. යටවුනාට පස්සේ හාල් තුනපහ ටිකක් දීලා ජාමේ බේරගන්න බැහැ. ඕවා උයන්නේ උන්දැලගේ මක්ක උඩ තියාගෙන ද?

ඉස්සර රජ කාලේ එහෙම ඕවට විසදුම් දීලා තියෙනවා. අභයගිරිය විහාරයේ හතර පැත්තේ තියෙනවා පොකුණු හතරක් (අභයගිරිය විහාර සංකීර්ණයේ කුඩා පොකුණු 65ක් තියෙනවා). සමහරු හිතන්නේ ඕවා තියෙන්නේ අලංකාරයට විතරයි කියලා. එහෙම නැහැ. වැස්ස කාලයට අභයගිරියේ වතුර එකතු වෙන්න පුලුවන්. ලෙඩ රෝග නිතැතින්ම බෝ වෙනවනේ ඒ නිසා. පන්සලට සැදැහැ සිතින් ගිහින් මදුරුවෙක් කාගෙන එන්නෙ මොකට ද?

අභයගිරිය දාගැබෙන් බේරිලා එන වතුර ටික සලපතළ මළුවේ එකතු වෙනවා. සලපතළ මළුවේ පිටතින් තියෙන ජල පිහිලි වලින් වතුර ටික වැලි මළුවට යනවා. වැලි මළුව දිගේ ජලය ගිහින් ශිලා ප්‍රාකාරයකට වතුර එකතු වෙනවා. ඊට පස්සේ උමං මාර්ගයක් ඔස්සේ ඔය වතුර පොකුණ වෙත යනවා. ඉතිහාසය තියෙන්නේ අපි තමයි හොදටම කරේ කියලා පාරම්බාන්න නෙමේ. දෙයක් ඉගෙනගන්න.

ඇත් පොකුණ 



Friday, June 11, 2021

රෝශාක්ගේ තීන්ත පැල්ලම් පරීක්ෂාව

 

පහත පින්තූර වල තිබෙන තීන්ත පැල්ලම් දෙස මදක් බලන්න. ඔබ දකින්නෙ කුමක් ද? සමනලයෙක්, මිනිසෙක්, සිවුපාවෙක්, ගසක් ආදී නොයෙක් දේවල් ඔබේ සිතට එනු ඇත. මෙම තීන්ත පැල්ලම් සියවසකට ආසන්න කාලයක් පුරාවට පුද්ගලයෙක්ගේ ස්වීයත්වය (Personality) පරීක්ෂා කිරීම සදහා විද්‍යාඥයින් සහ මනෝ වෛද්‍යවරු භාවිතා කරා.

මෙම ක්‍රමය ඉදිරිපත් කළේ විසිවෙනි සියවසේ මුල් කාලයේ සිටි ස්විට්සර්ලන්ත ජාතිකයෙක් වුනු හෙර්මාන් රෝශාක් විසින්. පුද්ගලයෙක් ඇසින් දකින දේ පිළිබඳව එකිනෙකා දරන ආකල්පය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව ඔහු කුඩා කල පටන් ම අත්දැක්ක දෙයක්. මේ ගැන ඔහු ඉතාමත් කුතුහලයෙන් පසු වූ අතර එම ආශාව මොහු වෛද්‍ය විද්‍යාලය වෙතත් රැගෙන යනවා. අපගේ සිරුරේ සංවේදන ඉතා ගැඹුරින් එකිනෙක සම්බන්ධව පවතින බවත් සංවේදී ඉන්ද්‍රියන් මගින් සංවේදන දත්ත මොළයට ඇතුලත් කිරීම පමණක් ම නොකරන බවත් ඔහු එහි දී ඉගෙනගන්නවා.

වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙනුමෙන් පසු රෝශාක් බටහිර ස්විට්සර්ලන්තයේ පිහිටි මානසික රෝහලක වෛද්‍යවරයෙක් ලෙසින් සේවය කිරීම අරඹයි. මෙම රෝහලේ සිටි කාලය අතරතුරයි රෝශාක් තම ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ ප්‍රකට තීන්ත පැල්ලම් නිර්මාණය කරන්නේ. මුල දී නම් ඔහු තීන්ත පැල්ලම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කල නමුත් අවසානයේ දී ඉතිරි වූයේ වඩා ප්‍රථිපල ගෙනදෙන තීන්ත පැල්ලම් දහයක් පමණයි.

රෝශාක් තම තීන්ත පැල්ලම් නිරෝගී හා රෝගී මිනිසුන් දහස් ගණනකට පෙන්වා ඒ සියලුම දෙනාගෙන් එක් ප්‍රශ්නයක් ඇසුවා.

“ඔබ සිතන ආකාරයට මේ කුමක් ද?”

රෝශාක්ට වඩා වැදගත් වූයේ මිනිසුන් දකින්නේ කුමක් ද කියා දැනගැනීම නොවේ. එම නිගමන වලට ඔවුන් එළබෙන්නේ කෙසේදැ යි දැනගැනීමට ඔහුට අවශ්‍ය වුනා. තීන්ත පැල්ලමේ පලමුව ඔවුන් දුටුවේ කුමන කොටස ද? නොසලකා හැරියේ කුමන කොටස් ද? ඔවුන් තීන්ත පැල්ලම් සෙලවෙනවා දුටුවා ද? තීන්ත පැල්ලම් වල වර්ණය පිළිතුරු දීම සදහා උපකාරී වුනාද? තීන්ත පැල්ලම් පිළිතුරු සදහා බාධාවක් වුනාද? යනාදී කරුණු කෙරෙහි රෝශාක්ගේ අවධානය යොමු වුනා.

දහස් ගණනක් වූ මිනිසුන්ගේ ලබාගත් මෙම දත්ත සියල්ල රෝශාක් විසින් ක්‍රමානුකූලව සටහන් කරගත්තා. මෙහි එකතු කරගත් දත්ත විශ්ලේෂණයේ දී ඔහුට දැනගන්නට ලැබුනු විශේෂ කරුණ වූයේ සමාන පුද්ගල ස්වීයතා සහිත නිරෝගී පුද්ගලයින් මෙම තීන්ත පැල්ලම් පැන සදහා බොහෝ අවස්ථා වලදී එකම පිළිතුර ලබා දීමයි. එමෙන්ම එකම මානසික රෝග සහිත පුද්ගලයින් ද බොහෝ අවස්ථා වලදී එකම පිළිතුරු ලබා දුන්නා.

රෝශාක්ගේ බලාපොරොත්තුව වූයේ තමන්ගේ මෙම සොයාගැනීමෙන් එකල තිබූ ක්‍රම වලින් හඳුනාගැනීමට අපහසු රෝගයන් හදුනාගැනීමයි. මේ සියල්ල හිතේ තබාගෙන රෝශාක් 1921 වසරේ තම සොයාගැනීම ගැන ලොවට ඉදිරිපත් කරයි. එම වාර්තාවේ ඔහු තම තීන්ත පැල්ලම් දහය සහ ඒවායේ ප්‍රථිපල සියල්ල ඇතුලත් කරා. මින් දශක කිහිපයක් යනතුරු විවිධ ක්ෂේත්‍ර වල රෝඔශාක්ගේ මෙම තීන්ත පැල්ලම් පරීක්ෂාව භාවිතයට ගත්තා. නමුත් අවාසනාවන්ත අයුරින් තම වාර්තාව ඉදිරිපත් කර වසරක් යාමට මත්තෙන් රෝශාක් මියයනවා.

රෝශාක්ට අවශ්‍ය වූයේ මෙම පරීක්ෂාව වෛද්‍ය කටයුතු වලදී භාවිතා කිරීම වුවත් ඔහු මියයාමෙන් පසු විවිධ පුද්ගලයින් විවිධාකාර හේතු උදෙසා මෙම පරීක්ෂාව භාවිතයට ගත්තා. දෙවන ලෝක යුද්ධයෙන් පසු අල්ලාගත් නාසි ප්‍රධානීන් මහා ඝාතන ප්‍රමාණයක් කිරීමට හේතු වූයේ කිනම් මානසිකත්වයක් නිසාදැයි සොයාබැලීමය පරීක්sහකයෝ මෙම තීන්ත පරීක්ෂාව යොදාගත්තා. මානව විද්‍යාඥයෝ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන මිනිසුන් අධ්‍යනයට මෙය භාවිතා කරා. එපමණක් නොව ආයතන ප්‍රධානීන් තමන්ට සේවය කිරීමට පුද්ගලයින් තෝරාගැනීමේ දීත් මෙම තීන්ත පරීක්ෂාව යොදාගත්තා.

රෝශාක්ගේ මූලික අරමුණින් වියුක්තව ඔහුගේ සොයාගැනීම භාවිතා වූ නිසා ක්‍රමක්‍රමයෙන් වෛද්‍ය වෘත්තිකයන් අතර මෙම තීන්ත පැල්ලම් පරීක්ෂාව නැති වී යනවා. ඕනෑම දෙයක් මූලික අරමුණින් වියුක්ත වූ විට එහි අගය නැති වෙනවා. කෙසේ නමුත් වර්තමානයේ නම් මෙම තීන්ත පැල්ලම් පරීක්ෂාව ගැන ඇත්තේ සීසෝවක් වැනි එහාට මෙහාට වැනෙන මතයක්.

මිනිසෙක්ගේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන පරීක්ෂා කිරීමට නිශ්චිත පරීක්ෂාවක් සොයාගැනීම අපහසුයි. නමුත් බැරි නැත. එය යම්තාක් දුරකට හෝ සිදුකල හැකියි. නමුත් අවාසනාවන්ත අයුරින් අප දකින දෙයින් මනසේ ක්‍රියාකාරීත්වය කෙසේ වෙනස් වනවාද කියා සෙවූ රෝශාක්ගේ වසර ගණනාවක මහන්සිය මේ වන විට යටපත් ව පවතියි.












Thursday, June 10, 2021

ජේසුස්, ජින් සහ තවත් කතා


පරිවර්තනයක් සිදු කිරීමේ දී හරි ආකාරව සිදු නොකලහොත් ගැටලුකාරී තත්ත්වයන් මතු විය හැකියි. වසර සිය ගණනකට පෙර සිදු වූ පරිවර්තනයක ගැටලුවක් පසුකාලීනව සමාජයේ මුල් බැසගත් සම්මතයක් වුවද විය හැකියි. ක්‍රිස්තියානි ආගමේ ශාස්තෘවරයා ලෙසින් ‘ජේසුස්’ ට ඇත්තේ ඉමහත් ජනප්‍රියත්වයක්. ආගම් බේදයකින් තොරව ලොව පුරා ඕනෑම අයෙක් ජේසුස් යැයි කී විට කතා කරන්නේ කවුරුන් ගැනදැයි හොදින් අඳුනයි. එතරම් ම ජේසුස් යන නාමය ප්‍රකට යි.

නමුත් බයිබලයේ මුල් පිටපත් එනම් හෙබ්‍රෙව් පිටපත් පරීක්ෂා කිරීමේ දී ජේසුස් (Jesus) යන නාමය හදුන්වා ඇත්තේ ‘යෙෂුවා’ ලෙසයි. ඉංග්‍රීසියට මෙම වචනය පරිවර්තනය කල විට ආ යුත්තේ ජොෂුවා (Josua) ලෙසිනුයි. නමුත් ඇයි අපි අද ඉංග්‍රීසියෙන් ජීසස් ලෙසින් ආමන්ත්‍රණය කරන්නේ? 

බයිබලයේ පරණ ගිවිසුම ලියැවෙන්නේ හෙබ්‍රෙව් හා ඇරමෙයික් භාෂා වලින්. ඇරමෙයික් යනු ජේසුස් තම දේශනා සිදුකල භාෂාව යි. බයිබලයේ අලුත් ගිවිසුම ලියැවෙන්නේ ග්‍රීක් භාෂාවෙන්. හෙබ්‍රෙව් වලින් ‘යෙෂුවා’ (Yeshua) ලෙසින් තිබූ වචනය ග්‍රීක් වලට පරිවර්තනයේ දී ඔවුන්ට එක් ගැටලුවකට මුහුණ පෑමට සිදුවුනා. ග්‍රීක භාෂාවේ ‘ෂ්’ (sh) යනුවෙන් ශබ්දයක් නැහැ. මේ නිසා යෙෂුවා (Yeshuwa) වචනයේ Sh වෙනුවට ඔවුන් S ලෙසින් යොදා Iesus (ඉඒසුස්) ලෙසින් ග්‍රීක පිටපත් වලට පරිවර්තනය කරා.

Iesus (ඉඒසුස්) Jesus (ජීසස්) ලෙසින් පරිවර්තනය වුනේ 16 වන සියවසේ දී භාවිතා වුනු ඉංග්‍රීසි බයිබල් වලදී. කෙසේ වුවත් බයිබලයේ හෙබ්‍රෙව් වලින් ලියැවුනු පරණ ගිවිසුම පරිවර්තනය වීමේ දී ‘යෙෂුවා’ යන වදන ‘ජොෂුවා’ ලෙසින් පරිවර්තනය වූ අතර පරණ ගිවිසුමේ ජොෂුවා නමින් වෙනම ම පොතක් ද තිබෙනු දැකගත හැකියි.

ආගමික පොතපත තුල වචන පරිවර්තන ගැන අධ්‍යයනය ඉතාමත් කුතුහලය දනවන දෙයක්. ක්‍රිස්තියානි ආගමේ යක්ෂයා නොහොත් සාතන් නම් කෙනෙක් ගැන කියැවේ. සාතන් (Satan) නම් වචනය බිඳී එන්නේ ඉස්ලාම් ආගමේ එන ෂේතාන් නම් වදනින්. අලුත් ගිවිසුමේ සාතන්ව හැදින්වීමට යොදාගන්නේ ඩියාබොලොස් නම් ග්‍රීක වචනයක්. ඉංග්‍රීසියෙන් Devil යන වචනය සෑදෙන්නේ එමගින්. මෙම ග්‍රීක වචනයේ තේරුම බෙදීමක් ඇතිකරන්නා වන අතර එහි දී අමුතුම ආකාරයේ සතෙක් හෝ කෲර ප්‍රාණියෙක් ලෙසින් අදහසක් ඇතිවන්නේ නැහැ. නමුත් අද අපි යක්ෂයාව හැදින්වීමට එවැනි රූප යොදාගනු ලබනවා. 

මෙම ඩියාබොලොස් නම් වචනය පූර්ව ඉස්ලාමික හා ඉස්ලාමික අවධි තුල ඇතිවූ ජනකතා වල සිටින ‘ජින්’ නම් සත්වයෙක් හා බැඳී පවතියි. මෙම ජනකතා තුල සිටින ජින් විවිධ වර්ග සිටින අතර සමහරෙක් හොද ය. සමහරු නරක ය. සමහර ජනකතා වල මෙම ජින් මිනිසුන් මෙන් විවාහ වී ළමුන් සාදා ජීවත් වූ බවත් කියයි. සමහරු විශාල ගොඩනැගිලි හා විවිධ වස්තූන් ආරක්ෂා කරමින් ඒවාට ආරූඩ වී සිටිති. මෙම ජින්ව සිතුවම්ගත කර තිබෙන්නේ අමුතුම අකාරයේ සත්වයෙක් ලෙසිනුයි. මේ හේතූන් නිසයි ඩියාබොලොස් වදනින් එන Devil , Satan හෙවත් සාතන්ව මිනිසුන් අමුතුම සත්වයෙක් මෙන් නිරූපණය කිරීමට ගත්තේ. 

මා උක්ත කොටසෙහි කතා කල ජීන් වෙන අයෙක් නොව ඩිස්නි සමාගම විසින් නිශ්පාදනය කල ඇලඩින් සහ පුදුම පහනෙහි සිටි ජිනී ය.



Sunday, June 6, 2021

විටෘවියන් මිනිසා

 

පහත දැක්වෙන්නේ ලියනාඩෝ ඩා වින්චි විසින් ඇඳි ප්‍රකට සිතුවමක්. ඒ පිළිබඳ කීමට පෙර ඩා වින්චි සිටි යුගයේ බොහෝ දෙනෙක් අතර කතාබහකට ලක්වුනු ගණිත ගැටලුවක් ගැන පවසන්නම්. වෘත්තයක වර්ගඵලය, පයි වෘත්තයේ අරයේ වර්ගයෙන් ගුණකල විට ලැබෙන බවත් සමචතුරස්‍රයක වර්ගඵලය එහි පැත්තක දිගෙහි වර්ගයට සමාන බවත් ඔබත් මමත් සාමාන්‍ය පෙළ දී ඉගෙනගෙන ඇත්තෙමු. එකල සිටි බොහෝ ගණිතඥයින්ට තිබූ ගැටලුව වූයේ වෘත්තයක වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමචතුරස්‍රයක් සාදා ගන්නේ කෙසේ ද යන්නයි. මෙය යුරෝපයේ පුනරුද සමයටත් පෙර පටන් පැවති ගැටලුවක්.

පයි අගයේ ස්වභාවය නිසා මෙය විසඳිය නොහැකි ගැටලුවක්. කෙසේ නමුත් ඩා වින්චිගේ සිතටත් මේ කරුණ නිතර සිතට වද දෙනු ලැබුවා. මෙම ගැටලුවට පිළිතුරක් ලෙස ඔහු මිනිසෙක්ව වෘත්තයක හා සමචතුරස්‍රයක මැද්දට වන්නට තබා පහත සිතුවම අඳියි. ඩා වින්චි මෙම සිතුවම ඇන්දේ පොතක පිටුවක තීන්ත පෑනක් භාවිතයෙන්. මේ සදහා ඔහු අදහස ලබාගන්නේ ක්‍රි.පූ. 75 -15 අතර කාලයේ විසූ රෝමානු ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ මාකස් විටෘවියස් විසින් පැවසූ කරුණු කිහිපයකින්.

විටෘවියස් තම De Architectura නම් කෘතියේ පවසන ආකාරයට මිනිසෙක්ගේ මධ්‍ය ඇත්තේ ඔහුගේ නාභියේ. මිනිසෙක්ගේ පරිමාණ රූපයක් ඇඳ නාභිය මතට කවකට්ට තබා යම් දුරක් ගෙන මිනිසා ආවරණය වන පරිදි පරිපූර්ණ වෘත්තයක් ඇඳිය හැකියි. එමෙන්ම මිනිසෙක් අත් දෙක හරස් අතට දිග හැර සිටින විට එහි දිගත් මිනිසාගේ උසත් සමාන බව විටෘවියස් තවදුරටත් ඔහුගේ සටහන් වල ලියා තැබුවා. ඩා වින්චිගේ මෙම රූපය සදහා හේතු පාදක වන්නේ විටෘවියස් විසින් පැවසූ මෙම කරුණුයි. මේ නිසා ඔහු මෙම සිතුවම ‘විටෘවියන් මිනිසා’ ලෙස නම් කරනු ලබනවා.

විටෘවියස් තම කෘති තුල මිනිසෙක්ගේ උරහිස් දෙකෙහි පළල උසෙන් ¼ක් බවත් අතේ වැලමිටේ සිට ඇඟිලි තුඩුවලට දිග උසින් ¼ ක් බවත් අතේ වැටමිටේ සිට කිහිල්ලට ඇති දුර උසින් 1/8ක් බවත් නිකට සිට හිස මුදුනට දුර උසින් 1/8 ක් බවත් සදහන් කරනු ලැබුවා.

ඩා වින්චිගේ මෙම සිතුවම කෙරෙහි බලපෑවේ පෙර කී ගණිත ගැටලුව ම පමණක් නොවේ. පැරණි ග්‍රීක යුගයේ පටන් ප්ලේටෝ හා ඇරිස්ටෝටල් යන දාර්ශනිකයන් විසින් වැඩිදියුණු කරන ලද සමාජය පිලිබඳ එක්තරා සංකල්පයක් මීට හේතු පාදක වුනා. එහි සදහන් වුනේ මේ මුලු සමාජයම දම්වැලක් ලෙසත් එහි ඉහළින්ම දෙවියන් හා ඉන්පසු පිළිවෙලින් දේවදූතයන්, ග්‍රහලෝක, තරු, සත්වයින්, ශාක තිබෙන බවත් අවසානයේ යක්ෂයින් ඇති බවත් ය. මෙහි මිනිසාට හිමිව තිබුනේ දම්වැලේ හරි මැද යි.

නමුත් පුනරුද අවධියේ දී පිකෝ ඩෙලා මිරැන්ඩෝලා නම් විද්වතෙක් විසින් පවසා සිටියේ මෙම දම්වැල තුල මිනිසාට තමන් කැමති ඕනෑම ස්ථානයක් අත්කරගත හැකි බවයි. මිනිසෙක්ට විටෙක යක්ෂයෙක් මෙන් නපුරු වීමටත් විටෙක දෙවි කෙනෙක් මෙන් යහගුණ ඇති අයෙක් වීමටත් පුලුවන් බව ඔහු පසක් කර දුන්නා.

ඩා වින්චි මෙම සංකල්පය තම සිතුවම තුලින් නිරූපණය කරා. මෙම සිතුවමේ මිනිසා තම අත හසුරුවන ආකාරය අනුව වෘත්තයේ වර්ගඵලයට සමාන වීමටත් තවත් ආකාරයකට අත හසුරුවන විට සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වීමත් සිදුවිය හැකියි. නමුත් එහි දී සිටින්නේ එකම මිනිසා.

එකම පුද්ගලයාට දෙවි කෙනෙක් වීමටත් යක්ෂයෙක් වීමටත් හැකියි. තීරණය ඔබ සතුයි.



Saturday, June 5, 2021

අපටත් හොරෙන් කොඳුරන ගස්

 ලොව පුරා ජනාදරයට පත් ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ ඇවටාර් චිත්‍රපටය ඔබ නරඹා ඇතැයි සිතමි. එහි ඇති ශාක සියල්ල ඔවුනොවුන්ගේ මූල පද්ධතිය තුලින් එකිනෙකට සම්බන්ධ වී තිබේ. එමගින් ළඟ ඇති ශාක පමණක් නොව දුරස්තව ඇති ශාක අතර ද සන්නිවේදනය සිදුකල හැකියි. මෙය හුදෙක් චිත්‍රපටයක පමණක් දක්නට ඇති දෙයක් නොවේ. සැබෑ ලෝකයෙත් මෙවැනිම ජාලාකාර පද්ධතියක් ශාක තුළ පවතියි. අද කතාව ඒ ගැන.

මෙම ජාලයට හේතු වන්නේ මයිකොරයිසා නම් දිලීරයක්. මෙම දිලීරය බොහෝ විට වැඩෙන්නේ ශාකයේ මූල පද්ධතියේ. එම දිලීරයේ තන්තු, අවට ශාක වල මූල පද්ධතිය සමග සම්බන්ධ වේ. මෙසේ සම්බන්ධ වීමට එකම වර්ගයේ ශාකයක් වීම අනිවාර්ය වන්නේ නැත. ශාක වර්ගය වෙනත් එකක් වුවද දිලීර, තන්තු මගින් ඒවායේ මූල පද්ධති සම්බන්ධ කරනු ලබයි. මෙම ජාලය මගිනුයි ශාක ශාක අතර සන්නිවේදන සිදුවන්නේ.

මයිකොරයිසා දිලීරයට තනිවම කාබෝහයිඩ්‍රේට් නිපදවීමේ හැකියාවක් නැත. ඒ නිසා දිලීරයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් සපයන්නේ එය සම්බන්ධ වී ඇති ශාකය මගිනුයි. ශාකයක මූල පද්ධතියට වඩා කාර්යක්ෂමව මෙම දිලීරයට පසෙහි ඇති ජලය, නයිට්‍රිජන් හා පොස්පරස් වැනි දෑ අවශෝෂණය කළ හැකියි. මේ හේතුවෙන් මූල පද්ධතියට සම්බන්ධව ඇති මයිකොරයිසා දිලීර මගින් ශාකයට උක්ත සදහන් දෑ අවශෝෂණය කරදෙනු ලබයි. ශාකයත් මෙම දිලීරයත් අතර තිබෙන්නේ එවන් සබදතාවක්.

මෙම දිලීරය ශාකයකට සම්බන්ධ වීම තුලින් එම ශාකය තුල රෝග වලට එරෙහිව ක්‍රියා කරන රසායනික ද්‍රව්‍ය නිපදවීම වැඩි කරයි. එමගින් ශාකයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු වේ. මෙසේ ජාලාකාර පද්ධතියක් ඇති පරිසරයකට යම්කිසි හානිකර බැක්ටීරියාවක් හෝ දිලීරයක් ආදිය පැමිණුනා යැයි සිතන්න. එවිට එම දිලීරය පලමුව හදුනාගත් ශාකය තම ජාලය මගින් අනෙකුත් ශාක වලට එම තොරතුර සන්නිවේදනය කරයි. එවිට ඒ ශාක හානිකර බැක්ටීරියා හා දිලීර වලට මුහුණ දෙන්නේ පෙර සූදානමක් ඇතිවයි. එවිට ඒ ශාකවලට සිදුවන හානිය අවමයි.

එපමණක් නොව ශාකයක් වැඩීම සදහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ යම් ශාකයකට හිඟ වුවහොත්, මෙම ජාලයේ ඇති ශාකයක් තමන්ගේ පෝෂ්‍ය පදාර්ථ වලින් කොටසක් එම ශාකයට ලබාදෙයි. මෙය වඩාත් වැදගත් වන්නේ සුහුඹුල් අවධියේ ඇති ශාක වලටයි. කුඩා කල දී මෙම ශාක වලට පෝෂ්‍ය පදාර්ථ රැස් කර ගැනීම අපහසුයි. විශේෂයෙන් සෙවණක වැඩන කුඩා පැළයක් තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නේ ඉතා අපහසුවෙනි. මේ නිසා අවට සිටින තම වැඩිහිටි ශාක මෙම කුඩා ශාක වලට තම ජාලය තුලින් උපකාර කරයි. මෙම උපකාරය නොමැති වුවහොත් කුඩා පැළ කුඩාකල දීම මිය යා හැකියි.  

අන්තර්ජාලය තුලින් යම්කිසි වෛරසයක් පරිගනකයකින් තවත් පරිගනකයකට ඇතුල් විය හැකියි. ශාකවල පවතින මෙම ජාලය තුලිනුත් එය විය හැකියි. උදාහරණයක් ලෙස කළු වොල්නට් ශාකය මෙම ජාලය මගින් පසට හානිකර විෂ ඇතුල් කිරීමෙන් ඒවාට ඔරොත්තු නොදෙන අවට ශාක මිය යයි.

මේ ජාලය ගැන දැනුම වර්තමානයට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු නිසැකයි. වඩා විශාල පරිණත ශාක තුල මෙම ජාලය අනෙක්වාට පුළුල්ව පැතිරී පවතියි. ශාක දිනෙන් දින අතුරුදහන් වන කාලයක මෙවැනි විශාල ජාලයක් පවතින ශාක ආරක්ෂා කිරීමෙන් නැවත වන වගාව වේගයෙන් සිදුකල හැකියි. මෙම ජාලය මගින් පලිබෝධකයන් ඒම වලක්වාගන්නා ක්‍රම ශාකය තුලම තිබෙන බැවින් ඒවා වැඩිදියුණු කර කෘෂිකර්මාන්තය සදහා යොදාගත හැකියි.

යම්කිසි ශාකයක් මියයන විට හෝ නැවත අලුත් ශාකයක් ඇතිවන විට අවට සිටින ශාක තමන්ගේ පෝෂ්‍ය පදාර්ථ වලින් කොටසක් එම ජාලයට නිකුත් කරන බව මවිසින් පෙර සදහන් කරනු ලැබුවා. එසේ සිදුකරන්නේ එම ශාක වලට තනිව නැගී සිටිය නොහැකි නිසා.  මෙහි විශේෂයෙන් සදහන් කළ යුතු කාරණය නම් පෝෂ්‍ය පදාර්ථ හුවමාරු කිරීමට එසේ මියයන හෝ අලුත ඉපදෙන ශාකය තමන්ගේ වර්ගයේ ශාකයක් වීම අනිවාර්ය නොවීමයි. අපගේ ජීවිතයටත් මෙයින් ගත හැකි ආදර්ශය කුමැක්දැයි සිතා බලන්න.

අද ලෝක පරිසර දිනය. ලෝක පරිසර දිනයක් ලෙසින් දිනයක් යොදා ඇත්තේ දිනෙන් දින පරිසරය විනාශ වන බැවිනි. තුන්සිය හැට පස් දවසක් ම ලෝක පරිසර දිනයක් යැයි සිතා සියලුම දෙනා කටයුතු කරනවා නම් මැනවි. 



මූලාශ්‍ර:

[1] "The Earth's Internet: How Fungi Help Plants Communicate". 2018. [Film] s.l.: s.n.

[2] Boller, T., 2015. "Plant phosphorus acquisition in a common mycorrhizal network: regulation of phosphate transporter genes of the Pht1 family in sorghum and flax", s.l.: s.n.

[3] Fleming, N., 2014. BBC. [Online]
Available at: http://www.bbc.com/earth/story/20141111-plants-have-a-hidden-internet

[4] Robinson, D., 1997. "Intraspecific transfer of carbon between plants linked by a common mycorrhizal network", s.l.: s.n.

[5] Robinson, D., 1999. "The magnitude and control of carbon transfer between plants linked by a common mycorrhizal network", s.l.: s.n.

[6] Zhang, N., 2013. ”Role of arbuscular mycorrhizal network in carbon and phosphorus transfer between plants", s.l.: s.n.

Thursday, June 3, 2021

දෙවියන්ට අභියෝගයක් වූ ගිල්ගමේෂ්

 

මෙසපොතේමියාවේ ඌරුක් නගරයේ මිනිසුන්ගේ පිළිකුලට භාජනය වූ රජෙක් වාසය කරයි. හේ නමින් ගිල්ගමේෂ්. නගරයේ අලුත විවාහ වූ කාන්තාවන් තම ස්වාමියා සමග යහන්ගත වීමටත් පෙර ගිල්ගමේෂ් ඔවුන් සමග එක සයනය බෙදා ගනියි. තම දියණියන් ව බිරින්දෑවරුවන්ව මේ රජතුමාගේ කාමාශාවෙන් බේරා දෙන ලෙස ඌරුක් නගරයේ වැසියෝ දෙවියන්ට දිනපතා උදේ හවා කන්නලව් කරති.

අවසානයේ දී අරුරූ දේවතාවිය මිනිසුන්ගේ යැදුම් වලට කන් දෙයි. ඇය ගිල්ගමේෂ්ව මෙල්ල කිරීම සදහා ප්‍රථිවාදියෙක් ව නිර්මාණය කරයි. එම ප්‍රථිවාදියා නමින් එන්කිඩු. ඉතාමත් ජවසම්පන්න පුද්ගලයෙකු වූ එන්කිඩු සිටියේ ඌරුක් නගරයේ තාප්පයට පිටතින් පිහිටි කැලෑවක් තුලයි. වනචාරී මෘගයින්, හොරුන්, මංකොල්ලකරුවන් හා අශුද්ධාත්ම අතර එන්කිඩු සිටියේ ඌරුක් නගරයෙන් පිටත රජෙක් ලෙසයි.

දිනක් ඉෂ්තාර් දේවතාවිය එන්කිඩුව වසඟයට ගනියි. මේ නිසා වනයේ සිටින මෘගයන් හා අශුද්ධාත්ම එන්කිඩු සමග තිබෙන සම්බන්ධය අතහරියි. එන්කිඩුට වනයේ තනිව සිටිය නොහැකියි. කවුරුත් ඔහු සමග දැන් කතාකරන්නේ වත් නැත. මේ නිසා තවදුරත් වනයේ නොසිට ඌරුක් නගරය වෙත යෑමට එන්කිඩු අදහස් කරයි.

නගරයට පැමිණ වැඩි වේලාවක් යාමට මත්තෙන් ඌරුක් නගරයේ රජු ගිල්ගමේෂ්ව එන්කිඩුට මුණගැසෙයි. රජවරු දෙදෙනෙක්ට එක වහලක් ගැලපෙන්නේ නැත. මොවුන් දෙදෙනා සටන අරඹයි. නගරයේ වීදි දිගේ ඇදී යන මේ සටන නැරඹීමට විශාල ජනකායක් රැස්වෙයි.

දැන් තිබෙන්නේ කරට කර සටනක්. වනයේ රජෙක් වුවත් මිනිසුන්ගේ ලංසු ඇත්තේ එන්කිඩුටයි. කාමාතුර රජෙක්ට කැමති කව්ද? සටන ඇදී යයි. කවුරුත් නොසිතූ අයුරින් කෙස්ගසක ප්‍රමාණයෙන් ගිල්ගමේෂ් සටන ජයගනියි. නමුත් ඔහු තම ප්‍රථිවාදියාව සිර කුටියේ දමන්නේවත් ඝාතනය කරන්නේවත් නැත. ඒ වෙනුවට ගිල්ගමේෂ් තම ප්‍රථිවාදියා වූ එන්කිඩු සමග මිත්‍ර වේ.

මේ මිත්‍ර සම්බන්ධතාව ගිල්ගමේෂ්ගේ ජීවිතය වෙනස් කරන සාධකයක් විය. එන්කිඩු තම මිත්‍ර ගිල්ගමේෂ්ව කාමාතුර බවින් මුදවා ගනියි.  දැන් ගිල්ගමේෂ් සිතන්නේ තම නගරයේ මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා පමණි. මේ අතර සීඩා හි කැළයේ ගස් අතර සැඟව මිනිසුන්ට කරදර කරන හුම්බාබා නම් පුද්ගලයෙක් ගැන මෙම මිත්‍ර සමාගමට දැනගන්නට ලැබෙයි. දෙවරක් නොසිතා මිත්‍රයන් දෙපල හුම්බාබාව පරාජය කිරීම උදෙසා සීඩා හි කැළය වෙත ගමන් කරයි. තමන් පැමිණි කාරණය සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වුවත් ගිල්ගමේෂ්ගේ අවසන් කඩු පහරට ප්‍රථම හුම්බාබා මෙම මිත්‍රයන්ට සාප කරයි.

හුම්බාබාගෙන් මිනිසුන් බේරාගෙන මොවුන් නැවත ඌරුක් නගරය වෙත පැමිණෙයි. මෙසේ පැමිණ ටික කලකට පසු පෙර පැවසූ ඉෂ්තාර් දේවතාවියට ගිල්ගමේෂ් කෙරෙහි ප්‍රේම කිරීමට ආශාවක් හටගනියි. ඇය මේ ගැන ගිල්ගමේෂ්ට පැවසුවත් ගිල්ගමේෂ් ඉෂ්තාර් දේවතාවියව ප්‍රථික්ෂේප කරයි. මෙයින් කෝපයට පත් ඉෂ්තාර් දේවතාවිය ඌරුක් නගරය වෙත වෘෂ්භයෙක්ව එවයි. ඌ ඌරුක් නගරයේ මිනිසුන්ගේ වගාවන්ට හානි කරමින් මිනිසුන් මරයි. මිත්‍රයන් දෙදෙනා මෙවරත් එක්ව ක්‍රියා කරමින් දෙවියන් විසින් එවූ වෘෂභයාව ඝාතනය කර ඌරුක් නගරයේ මිනිසුන්ගේ ආරක්ෂාව නැවත ස්ථාපනය කරයි. තමන් එවූ වෘෂභයාවත් ඝාතනය කිරීම හේතුවෙන් මෙවර දෙවියන් දරුණු ක්‍රියාවක් කරයි.

ඔවුන් එන්කිඩු ව මරා දමයි.

තමන්ගේ මිත්‍රයාගේ වියෝව නිසා ගිල්ගමේෂ් හඬා වැළපෙයි. තමන් තවදුරටත් මේ ආකාරයටම සිටියහොත් එන්කිඩුගේ ඉරණම තමන්ටත් අත්වේ යැයි බිය තිබූ නිසා ගිල්ගමේෂ් අමරණීයත්වය සොයා ඌරුක් නගරයෙන් පිටත් වේ. ඔහු දිනපතා එක දිගට ගමන් කරයි. කඳු ගංගා පසු කරමින් ඔහු ගමන් කරයි. අවසානයේ දී ඔහුට ලෝකයේ කෙළවර වනතෙක් ඒමට හැකියාව ලැබුණි.

එතැන දී ඔහුට එක් නිවසක් දක්නට ලැබෙයි. අමරණීයත්වය සොයමින් ගිල්ගමේෂ් එතැනට යයි. එතැන සිටියේ ෂිඩුරි නම් දේවතාවියක්.

ගිල්ගමේෂ් : “අමරණීයත්වය මම ලබාගන්නේ කෙසේ ද?”

ෂිඩුරි දේවතාවිය: “සියලු මනුෂ්‍යයන් මිය යා යුතුයි. නමුත් මරණය පැමිණෙන තෙක් ඔබ ජීවිතය විඳින්න”

ගිල්ගමේෂ් ෂිඩුරි දේවතාවියගේ කියමන ප්‍රථික්ෂේප කරයි. නමුත් ඇය මරණයේ ගංගාව පසුකර අට්නාපිෂ්ටි නම් අමරණීය මිනිසා සොයාගන්නා ආකාරය ගිල්ගමේෂ්ට පවසයි. ඇය කියූ මාර්ගයේ ගිල්ගමේෂ් ගොස් අට්නාපිෂ්ටි නම් අමරණීය මිනිසාව මුණගැසෙයි. දෙවියන් විසින් ඔහුට අමරණීයත්වය ප්‍රදානය කළේ මහා ජල ගැල්මකින් පසුවයි. ඔහු ජල ගැල්ම කාලයේ විශාල බෝට්ටුවක් තනා එක් සත්ව වර්ගයෙන් ජෝඩුව බැගින් විශාල බෝට්ටුව තුලට නංවා ගත් අතර අවසානයේ දී එම බෝට්ටුව කන්දක් මුදුනේ නතර විය. ගිල්ගමේෂ් ඔහුගෙන් ද අමරණීයත්වය ගැන අසයි.

“මරණය සියලු දෙනා කෙරෙහි පැමිණෙනවා” අට්නාපිෂ්ටිගේ පිළිතුර විය.

නමුත් මෙය පිළිගැනීමට ද ගිල්ගමේෂ් සූදානම් නැත. එක දිගට නිදන්නේ නැතිව සිටියහොත් දෙවියන් අමරණීයත්වය ලබා දෙනු ඇතැයි අට්නාපිෂ්ටි ගිල්ගමේෂ් හට කියයි. මේ නිසා බලාපොරොත්තුවක් සහිතව ගිල්ගමේෂ් නොනිදා සිටීමට තීරණය කරයි. නමුත් ඔහුට නොනිදා සිටීමට හැකි වූයේ එක දිගට දින හතක් පමණි. සත් වන දිනයේ දී ගිල්ගමේෂ් නින්දට යයි.

අට්නාපිෂ්ටි අමරණීයත්වය ලබාගත හැකි තවත් ක්‍රමයක් ගිල්ගමේෂ්ට පවසයි. සාගර පතුලේ ඇති පැළෑටියකින් අමරණීයත්වය ලබාගත හැකි බව ඔහු කියූ නිසා ගිල්ගමේෂ් එම පැළෑටිය සොයා යයි. ඔහුට එම පැළෑටිය සොයාගැනීමට හැකියාව ලැබුන ද එය ගොඩබිමට රැගෙන එන විට සර්පයෙකු විසින් එම පැළෑටිය සොරකම් කරයි.

මේ සියල්ල නිසා ගිල්ගමේෂ් මරණය පිළිගැනීමට සිත සාදා ගනියි. ඔහු නැවත තම නගරය වෙත ගොස් තමන්ට මරණය පැමිණෙන තුරු තමන්ගේ මිනිසුන්ට සේවය කරන්න ඉටා ගනියි. දිනක් තමන්ගේ මෙම අත්දැකීම් මැටි පුවරු වල ලියා තැබීමට ගිල්ගමේෂ් අදහස් කළ අතර එම මැටි පුවරු අනාගතයේ මිනිසුන්ට ප්‍රයෝජනවත් වේ යැයි සිතා ඔහු ඌරුක් නගරය තුල මෙම මැටි පුවරු වළ දමයි.

ක්‍රි.ව. 1849 දී උතුරු ඉරාකයේ පුරාණ නිනිවේ නගරයේ සිදුකල කැණිමක දී ලොව පැරණිතම පුස්තකාල අතුරින් එකක් හමුවිය. වසර හාරදහසක් පමණ පැරණි එම පුස්තකාලය අයත්ව තිබුනේ ඇසිරියානු රජ කෙනෙක් වූ අෂුර්බනිපාල් රජතුමාටයි. එම පුස්තකාලයේ තිබූ මැටි පුවරුවල මවිසින් ඉහත සදහන් කළ ගිල්ගමේෂ් වීර කථාන්දරය ඇතුලත් විය. ගිල්ගමේෂ් වීර කථාන්දරය මිත්‍යා කථාවක් බව සැබෑය. නමුත් ඒ සදහා මුල්වූ රජකෙනෙක් මීට වසර හාරදහසකටත් එපිට සිටින්නට ඇත.

ඔබ මීට පෙර බයිබලය කියවා ඇත්නම් පැරණි ගිවිසුමේ උප්පත්ති පොතේ කථාන්දර සමග මෙම ගිල්ගමේෂ් කථාන්දරයේ යම් සමානතාවන් දැකගත හැකි බව වැටහෙනු ඇත. එයට හේතු වන්නේ පැරණි ගිවිසුමේ උප්පත්ති පොතේ සදහන් කථාන්දර කලින් කලට වෙන වෙනම ලියැවෙන්නේ ගිල්ගමේෂ්ගේ රටේ සිට ඊශ්‍රායයෙල් පෙදෙසට සංක්‍රමණය වූ පරම්පරා තුලින් නිසයි.

"මිනිසුන්ට මතක තබාගැනීමට තරම් වටිනා ජීවිතයක් ගත කිරීම අමරණීයත්වයට යතුර වේ" - බෲස් ලී



Wednesday, June 2, 2021

දාවිත් අමරණීය වෙයි...!

 

පිලිස්ති හමුදාව තම කඳවුරට වී යුද්ධයට සූදානම් ව සිටියි. ප්‍රථිවාදී හමුදාව බිය වී සිටියේ පිලිස්ති හමුදාවේ සිටි ගොලායත් නම් යෝධයා නිසයි. කවුරුත් ඔහුට විරුද්ධව යුද්ධයට යාමට කැමැත්තක් දැක්වූයේ නැහැ. සෙබළු බිය වී වෙව්ලමින් සිටියි. මෙම සතුරාව මෙල්ල කරන්නේ කෙසේදැයි හමුදාපතිවරු සාකච්ඡා කරමින් සිටි අතරතුර කැටපෝලයක් අතින් ගත් කුඩා කොලු ගැටයෙක් එතැනට පැමිණෙයි.

“මම යෝධයාව මෙල්ල කරන්නම්” කොලු ගැටයා කීවේ ය. සියලු දෙනා අවඥාවෙන් සිනාසුනේ මහා හමුදාවක් පවා බියවන ගොලායත් ව පරාජය කිරීම කුඩා කොලුගැටයෙක් බාර ගැනීම අද වුවත් හාස්‍යයට කරුණක් වන නිසාවෙනි.

“හොදයි එහෙනම් මේ සන්නාහය අරගන්න” සේනාපති මෙසේ කියමින් කොලු ගැටයාට සන්නාහයක් ලබා දුන්නත් “මට මගේ කැටපෝලය තිබ්බම හොදටම ඇති” කියමින් යුධ පිටියට යයි.

වැඩි වේලාවක් යාමට මත්තෙන් ගොලායත් යෝධයා හා කැටපෝලයක් අතැති කුඩා කොලු ගැටයා යුධ පිටියේ මුහුණට මුහුණලා සිටියි. කොලු ගැටයා තම කැටපෝලයෙන් ගොලායත්ට පහර දෙයි. ගල් කැටය නළලේ හරි මැද වැදී බිම ඇද වැටෙයි. කොලු ගැටයා ගොලායත් ළගට ගොස් ඔහුගේම කඩුවෙන් ගොලායත්ගේ ගෙල සිඳ දමයි. කුඩා කොලු ගැටයා නමින් දාවිත්.

පුනරුද සමයේ කලාව සම්බන්ධයෙන් සුපිරි තරුවක් ව සිටි මයිකල් ඇන්ජලෝට මූර්තිමත් කිරීමට සිදුවන්නේ මේ දාවිත් ව. වයස අවුරුදු 27ක් වූ මයිකල්ට මෙම මූර්තිය නිර්මාණ කිරීමට සිදුවන්නේ ෆ්ලොරන්ස් නගරයේ කැතීඩ්‍රල්හි වහලය මත තැබීම උදෙසා යි. මීටත් වසර දෙකකට පෙර එනම් 1499 දී මයිකල් ජේසුස්වහන්සේ කුරුසිය ඇණ ගැසීමෙන් පසු උන්වහන්සේ මරියතුමිය අතැතිව සිටින අවස්ථාව දැක්වෙන පියෙටා මූර්තිය නිර්මාණය කර තිබූ බැවින් මයිකල්ට තිබුනේ ඉහළ ඉල්ලුමකි.

දාවිත්ගේ ප්‍රතිමාව 

පියෙටා 

මයිකල් හට දාවිත්ගේ මූර්තිය සඳහා ලබාදෙන්නේ ඉතා පටු කිරිගරුඬ කුට්ටියකි. මීට පෙරදී තවත් නිර්මාණකරුවන් මේ කුට්ටියෙන් දාවිත්ගේ රූපය නිර්මාණයට පටන්ගත්තත් පසුව ඔවුන් එය ප්‍රථික්ෂේප කලේ කුට්ටියේ පටු බව නිසයි. එක් නිර්මාණකරුවෙක් මේ කිරිගරුඬ කුට්ටියේ මධ්‍යයේ විශාල කුහරයක් සාදා තිබූ බැවින් මයිකල් අතගසා ඇත්තේ සුළුපටු කාර්යයකට නොවේ. පිළිරුව නිර්මාණයේ මුල සිටම මයිකල් ඉතා නිවැරදිව එම කටයුත්ත සිදු කල යුතුයි. එක් මිටි පහරක් වැරදී විශාල කොටසක් ගැටවී ගියොත් මූර්තිය සම්පූර්ණයෙන් විනාශ වේ. නිවැරදි කිරීමට ක්‍රමයක් නැත. මූර්තියේ මුහුණ එක් පැත්තක් බලාගෙන සිටින ආකාරයට ඔහුට නිර්මාණය කිරීමට සිදුවූයේ ඉදිරිය බලාගෙන සිටීම නිර්මාණය කිරීමට තරම් කිරිගරුඬ ප්‍රමානයක් නොතිබූ බැවිනි. මේ තත්ත්වය දැන දැනම මයිකල් බයිබලීය වීරයෙක් වන දාවිත්ව ජීවමාන කිරීම පටන් ගනියි.

කලාකරුවෙක් දාවිත්ගේ මූර්තියක් නිර්මාණය කරන පලමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවධි වලදී නිර්මිත දාවිත්ගේ මූර්ති තුල දාවිත් සිටියේ තමන් පරාජය කල ගොලායත්ගේ හිස අතින් ගෙන හෝ හිස පාගාගෙන ය. නමුත් මයිකල් නිර්මාණය කරන්නේ දාවිත් ගොලායත්ව පරාජය කිරීමට පෙර එයට සූදානම් වූ ආකාරය යි.

හමුදාවක් බිය වූ යෝධයෙක් සමග සටනට යාමට පෙර ඕනෑම පුද්ගලයෙක් තුල බිය, සැකය හා නොසන්සුන්තාව හටගැනීම සාමාන්‍ය ලක්ෂණයක්. දාවිත්ගේ මූර්තියේ ඇස් වලින්, ඇහි බැමි එක් වී තිබීමෙන්, පපුවෙන් සහ අතේ නහර ඉලිප්පී තිබීමෙන් අපට මෙය දැකගත හැකියි. දාවිත්ගේ කැටපෝලයේ කොටසක් ඔහුගේ උරහිස මත ඇති අතර ඔහු එය වම් අතින් අල්ලාගෙන සිටියි.



දාවිත් සිටගෙන සිටින්නේ කොන්ත්‍රාපොස්තො නම් ඉරියව්වෙන්. මෙම ඉරියව්වෙන් මූර්ති නිර්මාණය ඇරඹෙන්නේ ග්‍රීක ශිෂ්ටාචාරයේ පටන්. මයිකල්ගේ මූර්ති සියල්ලේම පාහේ ග්‍රීක ශිෂ්ටාචාරයේ ලක්ෂණ දැකගත හැකියි. ග්‍රීක ශිෂ්ටාචාරයේ කලාවන් වැලලී ගිය කලක මයිකල් ඇතුලු තවත් කලාකරුවෝ එම ශිෂ්ටාචාරයේ කලාවන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබනවා.

දාවිත්ගේ මූර්තියේ මුහුණ සහ අත් අතිශය විශාල අන්දමිනුයි නිමවන්නේ. දාවිත්ගේ මූර්තිය තැබීමට නියමිතව තිබුනේ අඩි 80ක් උස ෆ්ලොරන්ස් නගරයේ කැතීඩ්‍රල්හි වහලය මතයි. 2010 දී මුල් නිර්මාණයේ අනුරුවක් පෙර දී මූර්තිය තැබීමට යෝජනා වූ ස්ථානයේ තැබූ විට පහළ සිට නරඹන්නෙකුට හිසෙහි හෝ අතෙහි විශාලත්වයක් පෙනුනේ නැත. මයිකල් මේ සියල්ල සැලකිල්ලට ගෙනයි තම නිර්මාණකරණයේ යෙදෙන්නේ.



දාවිත් නිමවෙන්නේ නිරුවත් ව. පුනරුද සමයේ කලාකෘති වල නිරුවත් භාවය බොහෝ විට දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්. පැරණි ග්‍රීක මූර්ති හා චිත්‍රත් නිරුවත්ව නිමවා තිබෙනු දැකිය හැකියි. මෙම මූර්තිය ප්‍රසිද්ධියේ මහජන ප්‍රදර්ශනයට තැබිය යුතු වූ බැවින් කලින් කලට දාවිත්ගේ මූර්තියේ ලිංගේන්ද්‍රය අත්තික්කා කොළ වලින් වසා තිබේ.

දාවිත්ගේ ඇස් දෙස හොදින් නිරීක්ෂණය කළහොත් ඇස් දෙක දිශාවන් දෙකක් දෙස බලා සිටිනු දැකිය හැකියි. මයිකල් මෙවැනි සියුම් දේ ගැන පවා දාවිත්ගේ මූර්තිය නිර්මාණයේ දී සැලකිලිමත් වී තිබේ. අපගේ ගෙල පෙදෙසේ පිහිටි ශිරාවක් (Jugular Vein) පිටතට නෙරා පෙනෙනුයේ අප බිය වී හෝ නොසන්සුන් ව සිටිනා විටදි පමණි. දාවිත්ගේ මූර්තියේ ද ගෙල පෙදෙසේ මෙම නහරය පෙනෙන්නට තිබේ. මානව රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය හරිහැටි විස්තරාත්මකව විද්‍යාඥයින් විසින් පහදා දීමට සියවසකට පමණ උඩදී මයිකල් විසින් ඔහුගේ තියුණු නිරීක්ෂණය ඔස්සේ මෙය තම නිර්මාණයට යොදාගෙන තිබේ.

Jugular Vein



මයිකල් දාවිත්ගේ මූර්තිය උදෙසා දිවා රෑ නොබලා වෙහෙසී නිර්මාණකරණයේ යෙදෙයි. රාත්‍රියේ දී ඔහු ආලෝකය ලබාගැනීමට තම තොප්පිය මත ඉටිපන්දම් දල්වාගෙන මූර්තිය නිර්මාණය කරයි. 1504 ෆ්ලොරන්ස් නගරයේ මිනිසුන්ට මෙම පිළිරුව ප්‍රදර්ශනය කල විට බොහෝ දෙනෙක් පැවසුවේ වහලයක් මත තැබීමට මෙම පිළිරුව හොඳ වැඩි බවයි. ඒ නිසා පිළිරුව කලින් කලට ස්ථාන කිහිපයකම රඳවා තබන්නට සිදුවිය. මෙකල සිටි තවත් ප්‍රකට සිත්තරෙකු වූ ලියනාඩෝ ඩා වින්චි පැවසුවේ මයිකල් ඇන්ජලෝගේ මෙම පිළිරුව කැපී පෙනෙන්නේ නැති ස්ථානයක තබන ලෙසයි.



“මයිකල් ඇන්ජලෝගේ මෙම පිළිරුව දුටු පසු කිසිවෙකුට තවත් නිර්මාණ ශිල්පියෙකුගේ මූර්තියක් හෝ වෙනයම් නිර්මාණයක් දැකීමට ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය නැත” ලෙස පැවසුවේ 16 වෙනි සියවසේ සිටි ඉතාලි ඉතිහාසඥයෙක් වූ ජෝර්ජියෝ වසාරි විසිනි.

මයිකල් මියයන්නේ 1564 වසරේ දී. වයස 88ක් වූ ඔහු එවිටත් සිටියේ නිර්මාණකරණයේ යෙදෙමිනුයි. අවසානයේ දී ඔහුගේ සිරුර තැන්පත් කරන්නේ අඩි 17ක් උසැති දාවිත්ගේ පිළිරුවට ඉතා සමීපව පිහිටි සැන්තෝ ක්‍රොචේ දේවස්ථාන තුලයි.






දෙවන ලෝක යුද්ධ සමයේ දාවිත්ගේ ප්‍රතිමාව බෝම්බ වලින් ආරක්ෂා කරගැනීම සදහා ගඩොල් වලින් සෑදූ ආවරණය

Monday, May 31, 2021

සොක්‍රටීස් හා ප්‍රජාතන්ත්‍රවාදය

 

දේශපාලනයේ ජයග්‍රහණයක් ලෙස සලකන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ අපට ලැබුනේ පැරණි ග්‍රීසියේ ඇතැන්ස් පුර රාජ්‍ය තුලිනුයි. වයස 18ට වැඩි සෑම පුද්ගලයෙක්ටම ඡන්දය භාවිතයට අවසර ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. පැරණි ග්‍රීසිය තුලම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතයන් ඉදිරිපත් කල දාර්ශනිකයන් සිටියි. ග්‍රීසියේ ප්‍රකට දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. ප්ලේටෝගේ ගුරුවරයා සොක්‍රටීස්. සොක්‍රටීස් හරිම කැමතියි සංවාදයට. සොක්‍රටීස් තමන්ගේ අදහස් තමන්ම නැවත ප්‍රශ්න කරනවා. මම පෞද්ගලිකව සොක්‍රටීස්ගේ කැමතිම ලක්ෂණයක් ඒක. තමන්ගේම අදහස් ස්වයං විචාරයකට ලක් කිරීම.

සොක්‍රටීස්ගේ ගෝලයා වුනු ප්ලේටෝගේ පොත් වල තියෙන්නේ සොක්‍රටීස්ගේ සංවාද. දාර්ශනික අදහස් රචනා වගේ ලියන්නේ නැතිව සංවාද ආකාරයට ලියවිලා තියෙන නිසා ඒ පොත් කියවීමත් කුතුහලක්. ප්ලේටෝගේ රිපබ්ලික් කියන පොතේ හයවන කොටසේ සොක්‍රටීස් ඇඩිමැන්ටස් නම් පුද්ගලයෙක් එක්ක කරපු සංවාදයක් තියෙනවා.

සොක්‍රටීස්: නැවකින් මුහුදේ සංචාරයක් යෑමට සිතනවානම් ඒ නැවේ කපිතාන් විදිහට තෝරාගන්නේ ඕනෑම කෙනෙක් ද? එහෙම නැත්නම් නාවික ගමනාගමන පිලිබඳ පළපුරුදු අයෙක් ද?

ඇඩිමැන්ට්ස්: අනිවාර්යෙන්ම නාවික ගමනාගමනය ගැන පළපුරුදු අයෙක්.

සොක්‍රටීස්: එහෙනම් ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් රටේ පාලනයට සුදුසුයි කියලා අපි තෝරා පත්කරගන්නේ ඇයි?

සොක්‍රටීස් මෙතනදී අරගන්නේ සරල නමුත් ප්‍රබල තර්කයක්. ඡන්දයක් භාවිතා කිරීම කුඩා කල පටන් ක්‍රමානුකූලව ඉගැන්විය යුතු දෙයක් මිස අහඹුවක් නොවිය යුතුයි. මෙතනදි ඡන්දයක් භාවිතා කිරීම කියලා අදහස් කලේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නේ මොනවගේ පුද්ගලයෙක්ද කියන කාරණාවයි. තෝරාගන්නේ මොනවගේ පුද්ගලයෙක් ද කියන දැනුම හරිහැටි නොමැති පුද්ගලයන් ඡන්දය භාවිතා කිරීම නාවික දැනුමක් නැති පුද්ගලයෙක්ට කුණාටුවක දී නැවක් බාරදුන්නා හා සමානයි.

මේ කියන කාරණය කෙතරම් බරපතල කාරණයක් ද කියලා සොක්‍රටීස්ට ඔහුගේ ජීවිතයේ අවසානයේ දී හොදාකාරව ම තේරුම් ගත්තා. ක්‍රි.පූ. 399 දී ‘ඇතැන්ස් හි තරුණයන්ගේ මනස දූෂණය කිරීම’ යන චෝදනාව යටතේ සොක්‍රටීස්ට නඩුවක් ගොනු වෙනවා. අවසානයේ දී ඇතැන්ස් වැසියන් 500කගෙන් යුතු ජූරියක ඡන්දයක් පවත්වනවා සොක්‍රටීස් චෝදනාවලට වැරදිකරු ද? නිවැරදිකරු ද? කියලා බලන්න. අවාසනාවකට 58% ක් තමන්ගේ ඡන්දය භාවිතා කරන්නේ සොක්‍රටීස් වැරදිකරු බව කීමට. ඒ අනුව සොක්‍රටීස් මියයන්නේ හෙම්ලොක් නැමැති වස පානය කිරීමෙන්.

ජනතාව තුලින් සුළුතරයකට පමණක් ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි කියන මතයේ සොක්‍රස්ටීස් හිටියේ නැහැ. තාර්කිකව හා ගැඹුරුව හිතන පුද්ගලයන්ට ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි කියලයි ඔහු කීවේ. ඡන්දය උපන් අයිතියක් ලෙස තිබෙන කාලයක තාර්කික හා ගැඹුරුව හිතන පිරිසක් බිහි කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනය තුලින් පමණයි. නමුත් දැන් තියෙන තරඟකාරී අධ්‍යාපනය තුල තාර්කික පිරිසක් බිහිවීම හීනයක් විතරයි.

ලංකාවේ ළමයෙක් සාමාන්‍ය පෙළ ලියන්නේ වයස 16 දී. බහුතරයක් සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය නවත්තනවා. ඒ වෙනකොට ඒ ළමයට රට යන්නේ කොයි අතටද? රටක් පාලනය විය යුත්තේ කොහොමද? කියලා පැහැදිලි අදහසක් තියෙනවද? මේ යල්පැනපු අධ්‍යාපන ක්‍රමය හැඩගැස්වෙනකන් රටකට යහපත් කාලයක් උදාවෙයි කියලා හිතන්න එපා. ආගමික හෝ සමාජීය හෝ ඕනෑම අංශයක උන්නතියට බලපාන්නේ මේ අධ්‍යාපනය.

සොක්‍රටීස් තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා ඡන්දයක් උදෙසා රසකැවිලි වෙළෙන්දෙක් හා වෛද්‍යවරයෙක් අතර සංවාදයක් ගැන හිතන්න කියලා.

රසකැවිලි වෙළෙන්දා: බලන්න, මාත් සමග තරඟකරන්න ඉන්න පුද්ගලයා ඔබට නිතර වේදනාවන් දෙනවා. නිතර බීමට අකමැති තිත්ත පානයන් දෙනවා. අරක කන්න එපා මේක කන්න එපා කියලා කියනවා. ඔහු නිතර ඔබට සංග්‍රහයන් පවත්වන්නෙත් නැහැ.

වෛද්‍යවරයා: මම ඔබට වේදනාවන් ලබා දෙනවා. බීමට තිත්ත පානයන් ලබා දෙනවා. කෑමට තහංචි දමනවා. නමුත් ඒ ඔබගේම හොදට.

ඔබ හිතනවාද මේ දෙදෙනා අතරින් මිනිසුන් වෛද්‍යවරයාව තෝරාගනියි කියලා. කොහෙත්ම නැහැ. මොකද ඔහුගේ අරමුණ තේරුම් ගන්න තරම් තාර්කික පුද්ගලයන් මේ සමාජයේ නැහැ.

සියලු දෙයින් සර්ව සම්පූර්ණ යුටෝපියානු සමාජයක් බිහි කිරීම කල නොහැකි දෙයක්. නමුත් අඩුම තරමින් විනාශය අවම කිරීම හෝ කල හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී ව සියලු දෙනාට ඡන්දය භාවිතයට අවසරය දුන්නත් ඒත් සමගම එන අධ්‍යාපනය අමතක වුනා. ඒ නිසා අපි වැඩිපුර පත්කරගන්නේ රසකැවිලි වෙළෙන්දෝ.

සොක්‍රටීස්ගේ මරණය - Jacqes-Louis David (1787)


Thursday, May 27, 2021

ජේසුස්වහන්සේව රැගෙන යාම - කැරවාජියෝ

 

පහත දැක්වෙන්නේ  1602 දී කැරවාජියෝ විසින් අඳින ලද සිතුවමක්. ජේසුස්වහන්සේගේ ගෝලයෙක් වුනු ජූදස් විසින් උන්වහන්සේව පාවාදෙනවා. ජේසුස්වහන්සේව අත්අඩංගුවට පත්වෙන්නේ ගෙත්සෙමන උයනේ දී. ජූදස් ජේසුස්වහන්සේව පාවා දුන් මොහොතේම ඒ ගැන පසුතැවිලි වී උන්වහන්සේව සිපගන්නවා. කැරවාජියෝ සිතුවමට නගන්නේ ඒ සිදුවීම.



ආගමික චිත්‍ර කලාව තුල කැරවාජියෝගේ සිතුවම් වලට ඔහුගේ කාලයේ දී ඔහුට ලැබුනේ එතරම් හොද ප්‍රථිචාරයක් නෙමේ. එකල ආගමික සිතුවම් වල දේවත්වය ආරූඩ කරන්න විවිද උපක්‍රම යෙදුවක් මොහු තමන්ගේ සිතුවම් තුල ජේසුස්වහන්සේට දේවත්වයක් ආරූඩ කිරීමට ගියේ නැහැ. ඒ නිසයි බොහෝ දෙනෙක් ඒ සිතුවම් විවේචනය කලේ.

මේ සිතුවම එළිදක්වපු අවුරුද්දේ කැරවාජියෝ සිටියේ සිරකුටියේ. ඊට වසරකට පසු අවන්හලක සේවකයෙක්ගේ ඇඟට උණු ආහාරයක් විසි කිරීම නිසා අත්අඩංගුවට පත් වුනා. ඊටත් වසරකට පසු පොලිස් නිලධාරියෙක්ට පහර දීම නිසා අත්අඩංගුවට පත් වුනා. අවසානයේ 1606 දී කැරවාජියෝ අතින් ඝාතනයක් සිදු වූ නිසා ඔහුට තමන්ගේ ජීවිතයේ ඉතිරිය ගත කිරීමට සිදුවූයේ මහමග දිනෙන් දින සංචාරය කරමින්. කැරවාජියෝගේ සිතුවම් වල විවේචනයන්ට ඔහුගේ පෞද්ගලික ජීවිතයත් එක් සාධකයක් වුනා.

15, 16 සියවස් වල රෝමය පුරා ප්‍රොතෙස්තන්ත ඇදහීම් පැතිරීගෙන යනකොට රෝම ආගමික මධ්‍යස්ථාන විවිධාකාරයේ ආගමික සිතුවම් එකතු කිරීමට පටන් ගත්තා. ඒ ප්‍රොතෙස්තන්ත ඇදහීම් වලට විරුද්ධව ජනතාව තමන්ගේ නිකායන්වලට නම්මවා ගැනීමට. කැරවාජියෝ රෝමයට පැමිණෙන්නේ 1592 දී. එවිට ඔහු නිවසක්වත් හිමි නැති තරුණයෙක්. එකල රෝමයේ ආගමික සංස්ථාවත් දූෂණයට ලක්වී තිබුනු නිසා කැරවාජියෝට ජීවත් වීමට එය කදිම තෝතැන්නක් වුනා. ඔහු තමන්ගේ ආගමික සිතුවම් වල ආගමික ඉතිහාසයේ අඳුරු පැතිකඩයන් නිරූපණය කරා. ස්නාවක ජොහාන් තුමාගේ ගෙල සිඳීම, ජේසුස්වහන්සේගේ උදරයේ පිහිටි තුවාලයට ගෝලයන් ඇඟිල්ල එබීම වැනි මිනිසුන් දකින්න අකමැති සිදුවීම් මොහු සිතුවමට නැගුවා. කැරවාජියෝ තමන්ගේ සිතුවම් වලට ආකෘති විදිහට තෝරාගත්තේ එකල සමාජයේ සිටි යාචකයන්, අපරාධකරුවන් ගා ගණිකාවන් ආදීන්. මේ සියලු දේ නිසා ඔහුගේ ආගමික සිතුවම් අනෙකුත් කලාකරුවන්ගේ ආගමික සිතුවම් වලින් විශාල වෙනසකට මුල පුරනවා.




දැන් අපි කැරවාජියෝගේ ජේසුස්වහන්සේව පාවාදීම සිතුවම දෙස බලමු. ජේසුස්වහන්සේව පාවා දුන් අවස්ථාව සිතුවමට නගපු මුල් අවස්ථාව මෙය නොවේ. මීට පෙරදී කලාකරුවන් අලංකාර වටපිටාවකින් විශාල ජනකායක් ඇතිවයි මේ සිදුවීම සිතුවම් කරන්නේ. නමුත් කැරවාජියෝ යොදාගන්නේ මිනිසුන් හත් දෙනෙක් පමණයි. පසුබිමේ තියෙන්නේ ඝන අන්ධකාරයක්.

අනෙකුත් ආගමික සිතුවම් වලදී ජේසුස්වහන්සේට දේවත්වයක් ලබාදුන්නත් මේ සිතුවමේ උන්වහන්සේව නිරූපණය කරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට. මේ සිතුවමේ චරිත 7ක්  තියෙනවා. වම් පසේ ගෝලයන් අතරින් ලාබාලතමයා වුනු ජෝන්. ඊට පස්සේ ජේසුස්, ජුදාස්, සෙබළු දෙදෙනෙක්, ලාම්පුවක් අතින් ගත් පුද්ගලයෙක් සහ තවත් සෙබලෙක්. ජේසුස්වහන්සේව සෙබලු අල්ලාගන්න ආපු වෙලාවේ සමහරු තමන්ගේ උතුරු සළුව හැරදමා පැන ගියා කියලා සටහන් වෙනවා. මේ සිදුවීම නිරූපණයට කලාකරුවෝ පෙර දී නම් තමන්ගේ සිතුවමේ රතුපැහැති සළුවක් ඇන්දා. නමුත් පලාගිය පුද්ගලයාව ඇන්දේ නැහැ. නමුත් කැරවාජියෝ ඒ පලාගිය පුද්ගලයා ජේසුස්ගේ ලාබාලතම ගෝලයා යැයි උපකල්පනයෙන් ඔහුව නිරූපණය කරනවා. බයිබලයේ අවසන් පොත වූ එළිදරව් පොත රචනා කරන්නේ මොහු.



ජේසුස්වහන්සේ තමන් පාවාදීමකට ලක් වෙනවා කියලා කල් තියා දැනගන්නවා. මේ නිසා කැරවාජියෝ තමන්ගේ සිතුවමේ ජේසුස්ගේ මුහුණෙන් හැඟීමක් පෙන්නුම්කරන්නේ නැහැ. නමුත් ජූදස්ගේ මුහුණ හාත්පසින්ම වෙනස්. ඔහුගේ මුහුණ හැඟීම් වලින් පිරිලා. තමන් ජේසුස්ව මුදල් වලට පාවා දුන්නු නිසා ඒ මොහොතේම පසුතැවීමට ලක් වෙනවා. ජූදස්ට මුදල් ලැබුනාට පස්සේ ඔහු එවෙලේම ඒ මුදල් ආපසු ලබාදෙන්න හදනවා ජේසුස්ව බේරගන්න. නමුත් පරක්කු වැඩියි. මේ පසුතැවිල්ල නිසයි ජූදස් ජේසුස්වහන්සේව ඉඹින්නේ. තමන් කරපු දේ බරපතලකම හා පසුතැවීම ජූදස්ගේ මුහුණෙන් පෙන්නන්න කැරවාජියෝ සමත් වෙනවා. ඒත් එක්කම මැද ඉන්න දිලිසෙන ඇඳුමක් පැලද ඉන්න සෙබලා ජූදස්ගේ අත ජේසුස්ගෙන් ඉවත් කරනවා. සෙබලුන්ගේ ඇඳුමෙන් එකල රෝමානු රජය මිනිසුන් වෙත කෙතරම් බලපෑමක් එල්ල කිරීමට සමත් බලයකින් යුත් පිරිසක්දැයි නිරූපණය වෙනවා.



මේ සිතුවමේ ලාම්පුවක් අතින් ගත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ මේ සිතුවම ඇඳපු කැරවාජියෝ. මීට පෙරත් කලාකරුවන් තමන්ව තමන්ගේ සිතුවම් වල ඇතුලත් කරා. නමුත් ඒ කුඩාවට පැත්තකින්. සමහරු පොඩියට අත්සන හෝ නම කෙටුවා. නමුත් මෙහිදී කැරවාජියෝ තමන්ව සිතුවමේ ප්‍රධාන චරිතයක් බවට පත් කරනවා.



කැරවාජියෝ තමන්ගේ සිතුවම් නිර්මාණය කලේ අදුරු කුටියක. ඒ කුටියේ පැත්තක ඉහළින් ලාම්පුවක් එල්ලනවා ආලෝකයට. දවසක් තමන් කුලියට හිටපු කාමරේට ඉර එලිය ලැබෙන්න සිවිලිමේ හිලක් විදපු නිසා නඩුවක් අහන්නත් වුනා. සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳිනකොට කිහිප වතාවක්ම කටු සටහන් අඳින්න අවශ්‍යයි. ප්‍රධාන නිර්මාණය කරන්නේ අවසානයට. ලියනාඩෝ ඩා වින්චිගේ අත්පොත් කියවනකොට ඔහුගේ ප්‍රකට නිර්මාණ සදහා කටු සටහන් දකින්න ලැබෙනවා. නමුත් කැරවාජියෝගේ චිත්‍ර වල අධෝරක්ත කිරණ සටහන් වලින් අනාවරණය වුනේ ඔහු එසේ කටු සටහන් නොඇද බොහෝ අවස්ථාවලදී ප්‍රධාන නිර්මාණයේ නියැලී ඇති බවයි. අප අද කතාබහට ලක් කල චිත්‍රයත් එකවර ඇඳි සිතුවමක්. කැරවාජියෝ වෙනස් කර ඇත්තේ ජූදස්ගේ හිස පමණයි. මූලික සිතුවමේ ජූදස්ගේ මුහුණ තරමක් ඉහළින් සිතුවම් වී තිබෙන්නේ.

ඩා වින්චි වැනි චිත්‍ර ශිල්පීන් සිතුවම්කරණයේ යෙදෙන්නේ ඉතා සෙමින්. ඩා වින්චි මේ හේතුවෙන් තමන්ගේ සේවාදායකයන්ගේ දෝෂාරෝපණයට ද ලක්වී ඇත. ඔහු සිතුවම් ස්තරයෙන් ස්තරයට වර්ණ ගන්වයි. පලමු ස්තරය වර්ණ ගන්වා එය වියළුනු පසු ඊට උඩ ස්තරය වර්ණ ගන්වයි. නමුත් කැරවාජියෝ එසේ නොවේ. චිත්‍රයේ ස්තරයක් වර්ණ ගන්වා එය වියළීමට ප්‍රථම අනෙක් ස්ථරය වර්ණ ගන්වයි. මේ නිසා වර්ණ මිශ්‍ර වී නව වර්ණ සෑදෙයි. ඔහු ආලෝකකරණයට හා දිස්නයට භාවිතා කළේ ඊයම්. සෞඛ්‍යයට අහිතකර වුවත් ඔහු ඒවා භාවිතා කරා.

කැරවාජියෝ මියගොස් වසර වසර තුන්සීයක් පමණ ගතවන තෙක් ඔහුගේ මේ සිතුවම අතුරුදහන් වී තිබුනේ. මෙය සිතුවම් කර වසර දෙසීයකට පමණ පසු කැරවාජියෝගෙන් පැවත එන්නන් මෙය ස්කොට්ලන්තයට විකුණයි. 1921 දී ස්කොට්ලන්තයේ සංචාරයක නිරතවෙමින් සිටි අයර්ලන්ත ජාතික කාන්තාවක් පරණ බඩු කඩයකින් මෙම සිතුවම මිලට ගනියි. එතෙක් සියලු දෙනා සිතුවේ ඒ මුල් සිතුවම නොව වෙනත් කලාකරුවෙක් නිර්මාණය කල පිටපතක් කියා. ඉන්පසු ඇය මෙම සිතුවම ජේසුයිට් නිකායේ පූජකයෙක්ට මෙය පරිත්‍යාග කරයි. ඊටත් පසු වසර හැටක් යනතුරු මෙම සිතුවම ඔහුගේ කෑම කාමරයේ කුණු බැඳෙමින් එල්ලී තිබුණි. නමුත් අවසානයේ 1990 දී සොයාගත්තා මේ සිතුවම පිටපතක් නොව කැරවාජියෝගේ මුල් පිටපත ම බව.

කැරවාජියෝ රෝමයේ දී කල ඝාතනයෙන් පසු මෝල්ටාවට ගොස් ඉන්පසු සිසිලියට යයි. ඒ සෑම තැනකදීම ඔහු තම කලා කටයුතු වල නිරත වෙයි. ඒත් සමගම නව සතුරන්ද සාදා ගනියි. අවසානයේ දී ඔහු මියයන්නේ ටස්කනි හි මුහුදු වෙරළේ කිසිවෙක් නොමැතිව. කැරවාජියෝගේ මේ පෞද්ගලික අත්දැකීම් නිසා ඔහුට අවශ්‍ය වුනා තමන්ගේ ආගමික සිතුවම් එදිනෙදා සිදුවන සිදුවීමක් ලෙසට නිර්මාණය කරන්න. ඔහු දේවත්වය සිතුවමින් ඉවත් කරා. ආගමික සිදුවීම් වල ඇත්ත ඇතිසැටියෙන් කියා පෑවා.

කැරවාජියෝ මියගියේ සිෆිලිස් හෝ මැලේරියා වැලදුනු නිසා බවයි ඉතිහාසඥයන් සිතුවේ. නමුත් 2010 දී ඔහුගේ සිරුර සොයාගත්තා. එහිදී එළිදරව් වුනේ ඔහු මියයාමට හේතුව තීන්ත ලෙස යොදාගත් ඊයම් විෂ වීම බවයි.

Wednesday, May 26, 2021

අපූරු ධාතු ගර්භයක්

 

මෑතක දී සියබලාන්ඩුවේ මානාභරණ ප්‍රදේශයේ කුඩා ස්ථූපයක් කැනීමකට ලක් කරනවා. නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් නොවුනු ස්ථූපයක් නිසා ධාතු ගර්භය ස්ථූපය නිර්මාණය කරද්දි තිබුනු ආකාරයටමයි කැණීමේ දී තිබුනේ.

මේ ධාතු ගර්භය තුලින් සොයාගත් දේවල් අතරින් විශේෂිතම දේ විදිහට සැලකුනේ 17 cm පමණ උසකින් යුතු ක්‍රි.ව. 800ට පමණ අයත් තාරාදේවියකගේ ප්‍රථිමාවක්. ලංකාවේ මෙතෙක් බෞද්ධ ස්තූපයකින් තාරා දේවියකගේ ප්‍රතිමාවක් සොයාගත් පලමු අවස්ථාව. මේ ප්‍රතිමාව විශේෂ වෙන්න තවත් කාරණයක් තියෙනවා. ඒ තමා මේ ප්‍රතිමාව නිමවලා තියෙන්නේ කිරිගරුඩෙන් වීම. මේ ප්‍රතිමාව හැර කිරිගරුඩෙන් සෑදූ තාරාදේවියගේ ප්‍රතිමාවක් සොයාගත්තේ සිතුල්පව්වෙන් පමණයි.

කැණීමකට ලක්කල මානාභරණ ප්‍රදේශයේ කුඩා ස්තූපය.


මේ සොයාගැනීමෙන් මගේ සිත්ගියේ ඒ ප්‍රතිමාවට නෙමේ. ධාතු ගර්භය හදලා තිබුනු ආකාරයට. ගල් පතුරු හතරක් පෙට්ටියක් ආකාරයෙන් තියලා තවත් ගල්පතුරකින් උඩ කොටස වහලා තිබුනේ. මේ ආකාරයට ලංකාවේ පැරණි සුසාන භූමි තිබිලා තියෙනවා. පූර්ව ඓතිහාසික යුගයට අයිති ඒ සුසාන භූමි වලට කියන්නේ මහා ශිලා සුසාන කියලා.

ලංකාවේ ප්‍රකටම මහා ශිලා සුසානය තියෙන්නේ ඉබ්බන්කටුවේ. කාල නිර්ණයට අනුව නම් ඒ සුසානය අයත් වෙන්නේ ක්‍රි.පූ. 450ට. ඒ කියන්නේ මිහිදු හාමුදුරුවන් ලංකාවට පැමිණෙන්න වසර දෙසීයකට පමණ උඩදී. මේ ඉබ්බන්කටුව සුසාන භූමියේ ගල් පතුරු හතර මැද්දේ මංජුසාවක අළු තැන්පත් කරලා තියෙනවා. ස්ථූප නොතිබුනු පූර්ව ඓතිහාසික යුගයට අයිති සුසාන භූමියක ආකෘතිය ධාතු ගර්භයකට ගියේ කොහොමද?

ඉබ්බන්කටුව මහා ශිලා සුසානය 


මේ දේ පැහැදිලි කරන්න තව උදාහරණයක් කියන්නම්. කරගහවෙලත් මේ ආකාරයේම සුසාන භූමියක් තියෙනවා. මේ සුසාන භූමියත් ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ සිට ක්‍රි.පූ. පස්වෙනි සියවසට අයත් විදිහටයි සැලකෙන්නේ. මේ සුසාන භූමියේ මැද්දේ තියෙනවා ස්තූපයක්. මේ හැම දේකින්ම අපිට දැකගන්න ලැබෙන්නේ බුදු දහම ලංකාවට පැමිණියාට පස්සේ බෞද්ධ සංස්කෘතිය ලංකාවේ අනෙක් ඇදහිලි අවශෝෂණය කරගත්තු ආකාරය.

බෞද්ධ සංස්කෘතිය ඉන්දියාවෙදිත් කාලානුරූපීව විකාශනය වුනා ලංකාවෙදිත් විකාශනය වුනා. ආගමික පොතපත සම්බන්ධයෙනුත් මේ කාරණය පොදුයි. සංස්කෘතියක් කියන්නේ හබරල කොළයක් උඩ තියෙන ජල බිංදුව වගේ නෙමේ. සංස්කෘතීන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න බැරි සංස්කෘතීන් මියයනවා. ඒ නිසා අද අපි දකින දේවල් කියවන දේවල් අදහන දේවල් ඒවයේ මුල් ස්වරූපයෙන්ම තිබුනු විදිහටම යි අපි අදහන්නේ කියලා හිතනවා නම් ඒ ගැන නැවත සිතා බැලිය යුතුයි.

ප.ලි. මම ඊයේ පලකරපු සටහන කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් ඒ සටහන කියවන්න මෙතනින්. 

Tuesday, May 25, 2021

වසූරිය හා උඩරට නිරෝධායනය

 

නිරෝධායනය යන්න දැන් අපට නුහුරු වදනක් නොවේ. මේ පැවසීමට යන්නේ ලංකාවේ පැවති වසූරිය රෝගය හා උඩරට රාජධානිය තුල පැවති නිරෝධායනයක් පිළිබදව. 17 සහ 18 සියවස් වලදී යුරෝපයේ රටවල් පුරා වසූරිය රෝගය පැතිරෙන්න පටන් ගත්තා. මේ රෝගය නිසා දහස් ගණනක් මිනිස්සු මියැදුනා. ලංකාවට මේ රෝගය අරගෙන එන්නේ පෘතුගීසි හා ලන්දේසි ජාතීන්.

කරලියැද්දේ බණ්ඩාර රජතුමා උඩරට පාලනය කරමින් ඉන්නකොට සීතාවක පාලකයා වුනු පලමු රාජසිංහ රජතුමා උඩරටට පහර දෙනවා. මේ වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල හිටියේ පෘතුගීසීන්. ඒ නිසා කරලියැද්දේ බණ්ඩාර රජතුමා තමන්ගේ දුව වුනු කුසුමාසන දේවිය යි කරලියැද්දේ බණ්ඩාරගේ බෑණා වුනු යමසිංහ බණ්ඩාරත් එක්ක පෘතුගීසීන් වෙතට යනවා ආරක්ෂාව සදහා. පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ ඉන්නකොට කරලියැද්දේ බණ්ඩාර රජතුමා මියයන්නේ වසූරිය රෝගය වැළදිලා. රජතුමා පමණක් නෙමේ මුහුදුබඩ ප්‍රදේශවල බොහෝ දෙනෙක් මියයනවා වසූරියෙන්. රාජාවලියේ සදහන් ආකාරයට රජතුමාගේ බිසවත් මෙම වසංගතයෙන් මියයයි.

මේ වසංගතය කොයි තරම් මුහුදුබඩ පැතිරුනාද කිව්වොත් 1599 වෙනකොට මුහුදුබඩ හිටපු සමහර පෘතුගීසීන් ලංකාවෙන් යනවා. මේ කාලය වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ජේසු නිකායික පූජකවරු හිටියා. මේ පූජකවරු වසූරිය වැළදුනු රෝගීන්ට බෙහෙත් හා ආහාරපාන බෙදාදීමේ කටයුතු වලත් නිරත වෙලා තියෙනවා.

මීට ටික කාලෙකට පස්සේ උඩරට රජකමට පත්වෙන්නේ දෙවන රාජසිංහ රජතුමා. මේ රජතුමාට ලන්දේසීන්ගේ උදව් ඇතිව මුහුදුබඩ හිටපු පෘතුගීසීන්ව ලංකාවෙන් නෙරපන්න හැකියාව ලැබෙනවා. ඉන්පසු ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ වල වෙළදාමේ නිරත වෙනවා. ලන්දේසීන්ට අවශ්‍ය වෙන්නේ නැහැ උඩරට රජතුමාත් සමග ප්‍රශ්නයක් ඇතිකරගන්න. මේ නිසා සියවසක් පමණ ලන්දේසීන් රජතුමා සමග හිතවත්වයි ඉන්නේ. රජතුමාට ලියුම් ලියනකොට ලන්දේසීන් “ඔබතුමාට සේවය කරන සුවච කීකරු සේවක” වැනි වදන් භාවිතා කරා. ඒත් එක්කම රජතුමාත් “මට සේවය කරන හිතවත් ලන්දේසි ජාතිය” වැනි යෙදුම් ලියුම් ලිවීමේ දී භාවිතා කරා.

මේ කාලයේ දී ලන්දේසීන් රජතුමාත් සමග වෙළදාම් ගැන කතා කිරීමටයි රජතුමාට තෑගි බෝග ලබාදීමටයි උඩරටට පැමිණෙන්න ගත්තා. යුරෝපයේ වසූරිය රෝගය පැතිරීමත් ලන්දේසීන් අන්තර්ජාතිකව වෙළදාමේ නියැලීමත් නිසා ලන්දේසීන් උඩරට රජතුමා සමග හමුවීම් රාජධානියේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර නොවන බවට රාජ සභාවට තේරුනා.

මහනුවර රාජධානිය අවට රජතුමාට හා රජවාසලේ නිළධාරීන්ට නවාතැන් ගැනීමට විවිධ ස්ථානවල තානායම් තිබුනා. සීතාවක, ඉද්දමල්පාන සහ අට්ටාපිටිය වගේ ස්ථානවලයි මේ නවාතැන් තිබුනේ. උඩරටට එන විදේශිකයින්ව මේ ස්ථාන වල නතර කරලා නිරෝධායනය කරන්න උඩරැටියන් කටයුතු කරනවා. නමුත් ඔවුන් විදේශිකයන්ට කියන්නේ නැහැ නිරෝධායනය කරන වගක්. ‘රජතුමා දැන් මාලිගාවේ නැහැ. එන්න ටිකක් කල් යයි’ වගේ දේවල් කියලයි අර තානායම් වල විදේශිකයන් ව නතර කලේ.

මේ එන විදේශිකයන් අතර ඉන්නවා ජොහාන් හෙයිඩ් කියන ජර්මන් ජාතිකයෙක්. ඔහු 1744 දී ලංකාවේ දී තමන් ලද අත්දැකීම් අලලා Heydt’s Ceylon නමින් කෘතියක් රචනා කරනවා. ඒ කෘතියේ ඔහු සදහන් කරනවා අට්ටාපිටිය නම් ස්ථානයේ පිහිටි තානායමේ තානාපතිවරයා ඇතුලු පිරිස දවස් 14ක් සිටියා කියලා. හැම කෙනෙක්ව ම සති දෙකක් නිරෝධායනය කලේ නැහැ. සමහරුන්ව සති තුනක් පහක් නිරෝධායනය කරන්න ගත්තා. 

මේ නිරෝධායන කටයුතු කලේ උඩරටට මේ රෝගය පැතිරීමට ඉඩ නොදී රජතුමාව ආරක්ෂා කරන්න. කෙසේ නමුත් ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා 1805 ලියූ ලියුමක සදහන් වෙනවා ලංකාවේ අන්තිම රජතුමා වුනු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට වසූරිය වැළදී ඇති බවක්.

1816 දී ලංකාවේ වසූරිය රෝගය මඩින්න එන්නතක් බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ගෙනවා. ලංකාවේ හිටපු ඉංග්‍රීසි ජාතීන් මේ එන්නත ලබාගත්තත් ලාංකිකයෝ මේ එන්නතට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසා ඉංග්‍රීසීන් ලංකාවේ උන්නු ප්‍රභූවරුන්ට මේ එන්නත පිලිගැන්වූවා. ලංකාවේ සාමාන්‍ය ජනතාවත් ඒ ප්‍රභූවරුන්ව අනුගමනය කරලා එන්නත විදගනියි කියලා හිතුවා. නමුත් එයත් සිදුවුනේ නෑ. මේ නිසා කැප්පෙටිපොල දිසාව ඉදිරිපත් වෙනවා රදලයින් අතරින් පලමු එන්නත විදගන්න. ඔහු ඒ ක්‍රියාව සිදුකල නිසයි අනෙක් අයත් එන්නත විදගත්තේ.

මූලාශ්‍ර:

  • පරංගි කෝට්ටේ - ටිකිරි අබේසිංහ
  • රාජාවලිය - සංස්. ඒ. වී. සුරවීර
  • ත්‍රි සිංහලේ - පෝල් ඊ. පීරිස් (පරි. අභය හේවාවසම්)
  • රාවය හා දිනමිණ පුවත්පත්
  • Heydt’s Ceylon – English translation by Major Raven Hart

Friday, May 21, 2021

සාලියට රජකම අහිමි වුනේ අශෝකමාලා සැඩොල් නිසාද?

 

දුටුගැමුණු කියන්නේ ලංකාවේ ප්‍රකට රජකෙනෙක්. බොහෝ දෙනෙක් ඔහු ගැන අසා තිබෙනවා. රජ කෙනෙක්ගෙන් පසුව ඔහුගේ පුත්‍රයා රජවීම ලංකාවේ සිරිතක්. දුටුගැමුණුටත් හිටියා පුතෙක්. නම සාලිය. ඔහුට රජකම හිමිවෙන්නේ නැහැ. මහාවංශයේ නම් කියන්නේ අශෝකමාලා නම් චණ්ඩාල කාන්තාවක් විවාහ කරගත්තු නිසා සාලියට රජකම හිමිවුනේ නැහැ කියලා. ධර්මකීර්ති හාමුදුරුවෝ රචනා කරපු සද්ධර්මාලංකාරය කියවනකොට මෙහෙම කතාවක් තියෙනවා. දවසක් දුටුගැමුණු රජතුමා සාලිය කුමාරයාටයි අශෝකමාලා ටයි එන්න කියලා සාලිය කුමරුට කියනවා “පුත, මා ඇවෑමෙන් ලෝ සසුන් දෙක යෙහෙන් රැක දැහැමෙන් රාජ්‍ය කරව” කියලා. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා තමන්ගේ පුතා අශෝකමාලා එක්ක හිටියත් රජකම බාරගන්න කියනවා. එහෙනම් සාලියට රජකම අහිමිවුනේ ඇයි? අශෝකමාලා චණ්ඩාලියක් නිසා ද? ඒ ගැන අපි මේ සටහනින් බලමු.

මහාවංශය අශෝකමාලාව හදුන්වන්නේ චණ්ඩාලියක් විදිහට. එහෙමත් නැත්නම් සැඩොල් කුලයේ කාන්තාවක් විදිහට. සැඩොල් කුලයේ කිව්වේ කසල සේදීමේ වැඩකටයුතු වල නිරත වූවන්ගේ කුලය. නමුත් මහාවංශ ටීකාවේ ඇයව හදුන්වා තියෙන්නේ ‘කම්මාරධීතා’ ලෙස. ඒ පදයේ තේරුම තමා කම්මල්කරුවෙක්ගේ දුව.

සද්ධර්මාලංකාරයේ සාලිය හා අශෝකමාලා හමුව හරි අපූරුවට විස්තර කරනවා. සාලිය අශෝකමාලාගෙන් අහනවා “ඔබ කව්ද” කියලා. එතකොට අශෝකමාලා කියනවා “ස්වාමිනී මම ඓශ්චර්යවත් කම්මල් කරුවෙක්ගේ දියණියක්” කියලා. මෙතන දී ඓශ්චර්යවත් කම්මල්කරුවෙක්ගේ දියණියක් කියනකොට තේරුම්ගන්න පුලුවන් අශෝකමාලා කියන්නේ දැලි කුණු ගාගත්තු කම්මල්කරුවෙක්ගේ දියණියක් නෙමේ ධනවත් කම්මල්කරුවෙක්ගේ දියණියක් කියලා.

ඒත් එක්කම අශෝකමාලා තමන්ව හදුන්වා දෙනකොට තමන් “කම්මාරධීතා චණ්ඩාලී” කියලත් කියනවා. ඒ කියන්නේ අශෝකමාලා ම කියනවා තමන් කම්මල්කරුවෙක්ගේ දියණියක් වගේ ම චණ්ඩාලියක් කියලා. ඒකට හේතුව තමා එකල යුගයේ තිබුනු අධ්‍යාපන ක්‍රමය. ඒ කාලයේ ඉගැන්වීම් කටයුතු කළේ බමුණෝ. ඔවුන් ඉන්දීය සිරිත් විරිත් බමුණු මත ලාංකික ජන සමාජයට ගෙනාවා. ඉන්දීය කුල ක්‍රමයට අනුව සියලුම ශිල්පීන් අයත් වෙන්නේ ශුද්‍ර හෙවත් චණ්ඩාල කුලයට. ලාංකික කුල ක්‍රමයට අනුව කම්මල්කරුවෝ පහත් කුලයෙහි ලා සැලකුවේ නැති වුනත් ඉන්දීය කුල ක්‍රමයට අනුව පහත්. මේ නිසයි මහාවංශ කතුවරයා අශෝකමාලාව චණ්ඩාලියක් ලෙසට හැදින්වූයේ.

ඒත් එක්කම අශෝකමාලා රාජකීය මුළුතැගෙයි ආහාර පිසීමේ කටයුතු වලත් නිරතවෙලා තියෙනවා. මේ නිසා ඇයව හදුන්වා තියෙන්නේ ‘මදුරහස්ත රසා’ කියලා. ඇය පිසින ආහාර පාන ඉතා රසවත් නිසයි එවැනි නමක් ලැබුනේ. රජ පවුලට ආහාර පිසින එක ලේසි පහසු කටයුත්තක් නෙමේ. හැමෝටම ඒකට අවසර ලැබෙන්නෙත් නැහැ. මේ නිසාත් අපිට නිගමනයකට එන්න පුලුවන් අශෝකමාලා කියන්නේ රජපවුලට අමුත්තෙක් නොවන බවට. වංශකතාකරුවා සාලියට අශෝකමාලාව හමුවුනේ අහම්බෙන් කියලා කිව්වට ඒක ඇත්තටම අහම්බයක් නොවන්න හේතු තියෙනවා.

මහාවංශයේ තියෙන විදිහට නම් අශෝකමාලා සමහ සාලිය කුමාරයා විවාහ වුන නිසයි ඔහුට රජකම අහිමි වෙන්නේ. නමුත් සද්ධර්මාලංකාරයේ මේ සිදුවීම තරමක් වෙනස් ආකාරයට කියනවා. දුටුගැමුණු රජතුමා සාලිය හා අශෝකමාලාට එන්න කියනවා තමන්ව හමුවෙන්න. ඒ හමුවේ දී දුටුගැමුණු රජතුමා සාලියනට කියනවා “පුත, මා ඇවෑමෙන් ලෝ සසුන් දෙක යෙහෙන් රැක දැහැමෙන් රාජ්‍ය කරව” කියලා. ඒ කියන්නේ රජතුමා සාලිය කුමාරයා හා අශෝකමාලාට විරුද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ පුත්‍රයාට රාජ්‍ය බාරගන්න කියනවා.

ඉසුරුමුණියෙන් හමුවුනු කැටයමක මේ සිදුවීම සටහන් වෙලා තියෙනවා. පහත ඡායාරූපයේ තියෙන්නේ ඒ කැටයම. මේ කැටයමේ මැද ඉන්නේ දුටුගැමුණු රජතුමා. වම් පස ඉන්නේ සාලිය කුමාරයා. දුටු ගැමුණු රජතුමාගේ බිසව ඔහුව අස්වසන ලීලාවෙන් ඉන්නවා. ඒත් එක්කම මුල්ලක කුඩා රූපයක් තියෙනවා. ඒ අශෝකමාලා. රජතුමාට තියෙන බය පක්ෂපාතීත්වය පෙන්නුම් කිරීමටයි කුඩාවට ඒ රූපය කැටයම් කරලා තියෙන්නේ.



අපි දැන් වර්තමාන කතාවෙන් මොහොතකට අතීතයට යමු. දුටුගැමුණු රජතුමා තරුණ කාලයේ රාජ්‍යයෙන් බැහැරට ගිය කාලයේ දී ඔහු ගේ පියා වුනු කාවන්තිස්ස රජතුමා මියයනවා. රජතුමා මියගියාට පස්සේ භික්ෂූන්වහන්සේලා සද්ධාතිස්ස කුමාරයාව රජකමට පත්කරනවා. ඔහු ලාබාල කුමාරයා බව දැන දැනම.  නමුත් කෙසේ හෝ අවසානයේ දී දුටුගැමුණු රජතුමා තත්ත්වය සමතයකට පත්කරලා රජකමට පත්වෙනවා.

මේ සිද්ධිය රජතුමාගේ මතකයේ තිබුනා. ඒ විතරක් නෙමේ තිස්ස කුමාරයාට භික්ෂූන්වහන්සේලා හිතවත් නිසයි ඔහුට සද්ධාතිස්ස කියලා ධාර්මික නමකුත් දුන්නේ. මේ නිසා තමන්ට තරුණ කාලයේ දී අත්විදින්න වුනු දේ තමන්ගේ පුත්‍රයා වුනු සාලියටත් අත්වෙයි කියන සැකය දුටුගැමුණු රජතුමාට තිබුනු නිසයි ඔහු සාලියට රාජකම බාරගන්න කියන්නේ.

නමුත් අවාසනාවකට රජතුමා අසනීප වී මියයනවා. දැන් සාලියට පැනයක් තියෙනවා. තමන්ගේ පියා සද්ධාතිස්ස සමග ඝට්ටනයෙන් රජකම ලබාගත්තා සේ තමුනුත් රජකම ලබාගැනීමට උත්සහ කරනවද? එසේත් නැතිනම් තමන්ගේ ආදරයත් සමග රජකම අතහැර සිටිනවාද? ඔහු තෝරගන්නේ තමන්ගේ ආදරය වුනු අශෝකමාලා ව. සහෝදරයාගෙන් සහෝදරයාට රජකම උරුමවන ක්‍රමයක් තිබුනු නිසාත් සංඝයා වහන්සේලා සද්ධාතිස්ස කුමරුට සහයෝගය දක්වපු නිසාත් සාලිය කුමාරයාගේ මේ තීරණය නුවණින් ගත් තීරනයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවනි.

අශෝකමාලා හා සාලියගේ පරපුර ගැන ජනකතා බොහොමයක් ඇතිවෙනවත් එක්ක ඉතිහාසයෙන් ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. ඔහුගේ පරපුර සමහරවිට තවමත් අපි අතර ඉන්නවා ඇති.   


ප්‍රධාන මූලාශ්‍ර:

  • වංසත්ථප්පකාසිනී - අකුරැටියේ අමරවංස හිමි
  • සද්ධර්මාලංකාරය - සංස්. නෝමන් සිරිපාල
  • මහාවංශය - අනු. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
  • දිවයින පුවත්පතේ පලවූ ලිපි
  • පුරාවිද්‍යා සගරා - පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව

Thursday, May 20, 2021

වැලිගෙපොල විහාරයේ ලෝක සිතියමක්

 

තමන් ජීවත් වෙන්නේ මොනවගේ ලෝකයක ද කියලා දැනගන්න මිනිස්සු හැමවිටම උත්සහා කරා. පහල පින්තූරයේ තියෙන්නේ වැලිගෙපොල කිට්ටුව තියෙන විහාරයක සිවිලිමේ ඇඳපු චිත්‍රයක්. මේක සිතියමක්. මේ සිතුවම් අයිති වෙන්නේ 19 වෙනි සියවසට.



මේ චිත්‍රයේ මහද්වීප ඇඳලා තිබුනා. එක් මහද්වීපයක හිටියේ යක්කු. ඒ තිබුනේ අප්‍රිකා මහද්වීපය. ලංකාවේ සිත්තරුන් දැනගෙන හිටියා අප්‍රිකාවේ ඉන්නේ කළු ජාතිකයින් කාපිරි ජාතිකයින් කියලා. මේ අයව තමා යක්කු විදිහට නිරූපණය කළේ.

ඒත් එක්කම ඉන්දියානු සාගරයේ මේ සිත්තරා අදිනවා නැවක්. ඒ නැවේ සළකුණු කරලා තියෙනවා VOC කියලා. ඉන්දියානු සාගරයේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ක්‍රියාත්මක වුනා කියන අදහස දෙන්නයි එහෙම සිතුවම ඇන්දේ.

මීට වඩා පැරණි සිතුවම් ද අපිට ලංකා ඉතිහාසය පුරාවට දකින්න ලැබෙනවා. ඒ අතර වඩාත් ප්‍රකට මෙන්ම අවභාවිතයට ලක්වූ සිතුවම තියෙන්නේ රන්මසු උයනේ. බොහෝ දෙනෙක් මේ කැටයම සක්වල චක්‍රයක් කියලා හැදින්වුවත් එය සත්‍යයක් නෙමේ. රන්මසු උයන පිළිබදව ඉදිරිපත් වූ මත අතුරින් වඩාත් පිළිගැනීමකට ලක්වෙන මතය තමා ඒ තියෙන්නේ ලෝක සිතියමක් බවට දැක්වෙන මතය.

මේ සිතියමේ මැද තියෙන කොටු වලින් උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය හා අපරගෝයානය වගේ ස්ථාන නිරූපණය වුනා. ලෝක සිතියමක් අඳිනකොට සාගරය අමතක කරන්න බැහැ. සාගරය නිරූපණය කරන්න මේ සිතුවමේ පිටත කවයේ ජලජ ජීවීන් කැටයම් කරා. මාළුවා, කැස්බෑවා යනාදීන්.

මෑතක දී මේ රන්මසු උයනේ සිතියමේ උඩින් බ්‍රාහ්මීය අක්ෂර කිහිපයක් නිරාවරණය කරගන්න හැකියාව ලැබුනා. එතැන ලියැවිලා තිබුනේ ‘පන ති පනස’ කියලා. පන කියන්නේ ප්‍රාණ. ‘ති පනස’ කියන්නේ පනස් තුන. මේ රන්මසු උයනේ තියෙන සිතියමේ තියෙනවා රූප පහස් තුනක්. මේ එක් එක් රූපයෙන් මොනවගේ දෙයක් අදහස් වෙනවද කියලා නිශ්චිත එකඟතාවක් මේ වෙනකොටත් නැහැ. නමුත් ඒක සාධාරණයි. මේ තරම් පැරණි කැටයමක රූපාක්ෂර කියවීම ඉතා අපහසුයි. නිශ්චිත සාධක නැති නිසා. ඒ නිසා යම්කිසි මතයන් වලට එළබෙන්න විතරයි හැකියාව තියෙන්නේ.

මේ කැටයම පිළිබඳ තවත් මතයක් තියෙනවා. භාවනාවේ යෙදෙන යතිවරු මේ සිතියම කසිනාරම්මනයක් ලෙස භාවිතා කරා කියලත් මත පලවෙනවා. කැටයම යට පොළොව හොදින් මැදිලා තියෙන නිසයි ඒ නිගමනයට එළබිලා තියෙන්නේ.

කෙසේ නමුත් මම උක්ත සදහන් කරලා තියෙන්නේ වර්තමානය වනකොට පුරාවිද්‍යාඥයින් විසින් රන්මසු උයනේ කැටයම පිලිබඳ පිළිගත් මත කිහිපය යි. රාවණා හෝ සක්වල චක්‍රයක් ගැන පිළිගන්නේ මුහුණු පොතේ හා රාවණා ගුහා විශාරදයින් පමණි. ඔවුන් සමග මේ ලියන්නාට ආරෝවක් නැත. යුටෝපියාවක ජීවත් වීමේ අයිතිය ඔවුන් සතුයි.   

Wednesday, May 19, 2021

සුභ සහ යස

 

සයිමන් නවගත්තේගම මහත්තයාගේ නාට්‍යයක් තියෙනවා සුභ සහ යස කියලා. අර දොරටුපාල කෙනෙක් රජකමට පත්වෙන කතාව ඒ නාට්‍යයේ තියෙන්නේ. මේ කතාව අහපු කියවපු දැකපු කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා. අපි අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.

ලංකාවේ උන්නු ඉළනාග රජතුමා වසර 10ක් තමන්ගේ පාලනය ගෙනගියා. ඊට පස්සේ රජකමට පත්වුනේ චන්ද්‍රමුඛසිව නම් තමන්ගේ පුත්‍රයෙක්. ඔහු වසර 9ක් රාජ්‍ය පාලනය කරගෙන ගියා. ඔහුටත් පස්සේ රජකමට පසු රජකමට පත්වෙන්නේ ඔහුගේ සහෝදරයෙක් වුනු යසලාලක තිස්ස රජතුමා. සුබ සහ යස නාට්‍යයේ යස කියන්නේ මේ රජතුමාට.

මහාවංශයේ යසලාලක තිස්ස රජතුමාට රජකම අහිමිවීම ගැන අපූරු කතාවක් තියෙනවා. රජවාසලේ හිටියා සුභ කියලා දොරටුපාලකයෙක්. මේ දොරටුපාලකයා යසලාලක තිස්ස රජතුමාගේ රූපයට බොහෝ සෙයින් සමානයි. මේ නිසා දවසක් යසලාලක තිස්ස රජතුමා පොඩි විහිළුවක් කරනවා. දොරටුපාලකයාට රජ සළු පිළි අන්දවලා රජ පුටුවේ ඉන්දවනවා. තමන් දොරටුපාලකගේ ඇඳුම් ඇඳගෙන ඒ කිට්ටුවට වෙලා හිටියා. මිනිස්සු ඇවිදින් සුභ දොරටුපාල රජ කියලා හිතලා  දණ්ඩ නමස්කාරයේ යෙදෙනකොට දොරටුපාල විදිහට ඇඳගෙන උන්නු යසලාලක තිස්ස රජතුමාට හිනා යනවා. රජතුමා හිතපු නැති විදිහට සුභ දොරටුපාල රාජපුරුෂයන්ට අණ කරනවා දොරටුපාලකව තමන්ට හිනා වුනු නිසා ඝාතනය කරන්න කියලා. යසලාලක තිස්ස රජතුමා තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්න හැදුවත් එය අසාර්ථක වෙනවා. ඔහු මියයනවා.

වංශකතාකරුවා ඔය කියපු විදිහටම ඇත්තටම වෙලා තියෙනවද? කියන ප්‍රශ්නය ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවනි. විහිළුවකින් රජකෙනෙක් පත්වෙන්න පුලුවන්ද? නමුත් අපිට නම් ඒවා නුහුරු දේවල් නෙමේ නේ. සුභ දොරටුපාල රජකම් කරනවා වසර 7ක්. යම්කිසි ස්ථාවරත්වයක් නැතිව වසර හතක් පාලනය කරන්න අපහසුයි. අපි වසර පහක් ඉන්නෙත් බොහොම අමාරුවෙන්. මහාවංශ කතුවරයා යම්කිසි සිදුවීමක් ඓතිහාසිකව සාධක ඇතිව විස්තර කරන්න අපහසු අවස්ථා වලදී ඒවා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.

ඉළනාග රජතුමාගෙන් පසුව චන්ද්‍රමුඛසිව ට රජකම ලැබෙන්නේ ඔහු ඉළනාග රජතුමාගේ පුතා නිසා. මහාවංශය එය රචනා කරන්නේ සාක්ෂි සාධක ඇතිව. නමුත් යසලාලක තිස්ස රජතුමාගෙන් පසු සුභ රජවුනේ කෙසේද කියලා මහාවංශ කතුවරයා දැනගෙන ඉන්නේ නැහැ. සුභ ගේ පවුල් පරිසරය රජපවුලට සම්බන්ධ ද කියලා දැනගෙන ඉන්නේ නැහැ.

මේ නිසා වංශකතාවේ ගලාගෙන යෑම නොනැවතී සිදුවෙන්න අවශ්‍ය නිසා වංශකතාකරුවා නාට්‍යානුසාරයෙන් ඒ හිඩැස පුරවනවා. ගජබාහු රජතුමාගේ නීලමහා යෝධයා මුහුද දෙබෑ කරපු කතාවත් මහාවංශයට එකතු වෙන්නේ සාක්ෂි නැති වුනත් වංශකතාවේ ගලාගෙන යෑම හේතුකොටගෙන.

සුභ රජතුමා හිටියේ ක්‍රි.ව. පලමුවන සියවසේ. මහාවංශය රචනා වෙන්නේ ක්‍රි.ව. පස්වන සියවසේ. මහාවංශ කතුවරයාම කියනවා තමන් මහාවංශය රචනා කරද්දි ජනමතයන් භාවිතා කරා කියලා. ඒ කිව්වේ කාලයක් පුරාවට ජනතාව තුලින් එන කතන්දර හා කියමන් ආදිය. මෙතරම් කාලයක් ගොස් රචනා වූ නිසා සමහර නොවැදගත් රජවරු ගැන ජනමතයන් නැහැ. ඒ නිසා ගැලපෙන විදිහට කතාව ගොතන්න සිදුවෙනවා.

මහාවංශය සමහර රජවරු නම් කරලා තියෙනවා ජනමතයන් අනුව. කල්ලාඨනාග එක් රජ කෙනෙක්. පාලියෙන් තියෙන නිසා හොදා. ගරු ගාම්භීරව කියන්න පුලුවන්. නමුත් සිංහලෙන් නම් තට්ට නාග. දැක්කනේ ජනමතයන් මහාවංශයට එකතු වුනු විදිහ. ඒ නිසා ඉතිහාසය අධ්‍යනය කරනකොට ඒ ගැනත් හිතන්න.  



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...