Thursday, February 9, 2017

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය

 ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දින නිර්ණය කර තිබෙන සොහොන් ගැබක තිබී යබොර කැබැල්ලක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එය ඒ කාලයේ යකඩ උණු කළ බව පෙන්වන සාක්ෂියකි.

 ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබඳු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ. එයින් පලමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන් ය.


 දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.

 ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය ය.

 සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.


 අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අඟුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයි.


 මෙම උදුන් දැල්වීම සදහා යොදාගෙන තිබෙන්නේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට 'යකඩමරං' යන වචනයද භාවිතා කෙරේ.

යකඩ මරං ගසක්

 දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයිනහමක ආධාරයෙනි. ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ එහි යකඩ නිස්සාරණය කර තිබේ.

පින්තූර ලබා දුන් කේෂාන් අධිකාරී මහතාටත් නිමලවංශ දසනායක මහතාටත් බොහොම ස්තූතියි .

තොරතුරු පොත්පත් ඇසුරෙනි.

20 comments:

  1. ඉස්සර සාමජ අධ්‍යණය පොතෙත් ඔය යකඩ නිස්සාරණ සිද්ධිය තිබ්බද කොහෙද

    ReplyDelete
  2. මාත් කොහෙන් හරි අහලා තිබ්බා ඔය ගැන. ඒත් හරි මතකයක් නෑ. ස්තූතියි මේ ලිපියට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ නංගිගේ පොතක මේ ගැන තිබිලයි වැඩි විස්තර ටිකක් හොයලා ලියන්න ඕනෙ කියලා හිතුනේ...

      ඔබටත් ජය...

      Delete
  3. ලංකාවේ පැරණි යකඩ කර්මාන්තය ගැන දීර්ඝව විස්තරාත්මකව ලිපියක් පසුව ලියන්නම්... එතකන් ලංකාවේ යකඩ කර්මාන්ත ඉතිහාසය ගැන ප්‍රශ්න තියෙනවනන් අහන්න...

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රශ්නය.....අයන් ටැබ්ලට්ස් හදන්නේ යකඩ උනු කිරීමෙන් බව කියන්නේ ඇත්තද

      Delete
    2. නෑ නෑ... මෙවා කෘතිමව හදනවා... අයන් ටැබ්ලට් වල අයන් විතරක් නෙමේ තියෙන්නේ... කැල්සියම් පොස්පේට් , මැග්නීසියම් වගේ ඒවත් තියෙනවා... කොහොමත් බෙහෙත් වර්ග හදද්දි එහෙම තමා...

      Delete
    3. පුතා.....මේ වගේ වෘෂභ ප්‍රශ්න අහපුවාම...ගොන් උත්තරයක් දීලා මාරුවෙන්න පුරුදු වෙන්න. මම විහිළුවක් කරේ. ගනන් ගන්න එපා.

      ඇවිල්ලා බලන්න අපේ මෝඩ ජෝක්ස්..

      Delete
    4. මාත් දැක්ක හැටියෙ හිතුවේ විහිළුවක් තමා කියලා... මොනා කොරන්නද ඉතින් මමමනේ ප්‍රශ්න අහන්න කිව්වේ... මම ඔයාගෙ බ්ලොග් එකට දැනුයි ගොඩවුනේ... බ්ලොග් එක සේව් කරගත්තා... කියවන්න ගොඩක් රහ දේවල් තියෙනවා...

      Delete
  4. අගනා උත්සාහයක් මිථිල මේ වීඩියෝ ක්ලිප ඔබ පවසන්නට උත්සාහ ගන්නා විස්තර තව සාරවත් කරාවි https://www.youtube.com/watch?v=SSniwMB6qkc සහ https://www.youtube.com/watch?v=7HJUs-qml34 බලන්න ඇරයුම් කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ... මේ වීඩියෝ වල හැම එකක්ම තියෙනවා...

      Delete
    2. ඔය විදිහට යකඩ නිස්සාරණයට අදාල දැනුම ආචාර්ය ජුලී ලබාගත්තේ ප්‍රදේශයේම සිටින සම්පත් පුද්ගලයන්ගෙන් ඒ අය ඔය වීඩියෝවල සිටිනවා.

      Delete
  5. ඔය යකඩ උණුකර බලන්න කරපු පර්යේෂණයට උදව්කලේ කොළඹ නැව් තටාකාංගනයයි. එහි හිටපු කලමණාකාර අධ්‍යක්ෂක මංගලයාපා මහතා හා ඉංජිනේරු ධනසේකර මහතා ඇතුලු කාර්්‍යය මන්ඩලයත් එකතුවුනා. ඔය පර්යේෂණය කරලා මාස කිහිපයකට පස්සේ ඉංජිනේරු ධනසේකර මහතා අවාසනාවන්ත ලෙසින් මෙලොව හැරගියා. ඔය විඩියෝ එකේ ඔවුන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ධනසේකර මහතා මෙලොව හැර ගිය බවක් දැනන් උන්නෙ නෑ...

      Delete
    2. ධනසේකර හිටියේ අපේ උඩ බැච් එකේ, JVP එකට කඩේ ගිහින් අපරාදේ බැච් මිස් වෙලා අවුට් උනේ අපිටත් අවුරුද්දක් හෝ දෙකකට පස්සේ...
      ඔහු හොඳ මනුස්සයෙක්, හොඳ අදහස් තිබ්බා...
      අපිත් එක්ක කැන්ටින් වල පැය ගණන් කතා කර කර ඔහුගේ අදහස් අපේ කණ්ඩායමට කා වද්දන්න උත්සාහ කලා, ඔහුගේ හොඳ යෝජනා අපි පිළිගත්තා...
      ඒ කාලේ අපි තමයි යුනියන් එකේ බලයේ හිටියේ...
      පසුව රැකියාවේදී ආපු පීඩනයක් නිසා ඔහු සියදිවි නසාගත්තා...

      අර සුදු නෝනා ජර්මන් ජාතිකයෙක්නම් දැනට සෑහෙන කාලෙකට පෙර මුල් කාලයේ කැනීම් කරද්දී හමුවූ හොඳ තත්ත්වයේ තිබුණු මැටි උඳුනක් අපේ රටින් පැන්නුවා...

      Delete
  6. සුප්‍රසිද්ද 'දමස්කස්' වානේ හදන්ඩ යකඩ ලබා ගෙන තිබෙන්නේ ලංකාවෙන් හා දකුණු ඉන්දියාවෙන්.මෙන්න විකි ලින්ක් එක
    මට මතකයි මෙයට සාධක ඉදිරිපත් කාරක තිබුන ලඟදි බ්ලොග් එකක

    ReplyDelete
    Replies
    1. ඔව් ඩැමැස්කස් වානේ හදන්න ලංකාවෙන් යකඩ ගෙනිහිල්ලා තියෙනවා... බ්ලොග් එකේ ලින්ක් එක තියෙනවනන් දෙන්න... කියවලා බලන්න...

      Delete
    2. කාලයක් මම තලවාකැලේ තේ පර්යේෂණායතනයේ සේවය කලා. අපිත් එක්ක වැඩකල ඉංජිනේරුවරයකු වූ එදිරිවීර කලින් වැඩකර තිබුණේ යක්කල වානේ කම්හලේ. ඔහු කියූ ආකාරයට, යක්කල කම්හලේ පාරම්පරික යකඩ වානේ කර්මාන්ත කරුවනුත් සේවය කලා. විශේෂයෙන් ආරක්ෂක හමුදාවල (දැන් නම් ආභරණයක් ලෙස පළඳින කඩු හැදුවේ ඔවුන්. එදිරිවීර කියූ ආකාරයට නම් දමස්කස් කඩුවේ වානේ පමණක් නොවෙයි කඩුවත් මෙහේ හැදූ එකක්ය හිතන්නට සාධක තියනවා. වානේ සෑදෙන්නේ යකඩ උණුකරන විට එහි අන්තර්ගත වන කාබන් ප්‍රමාණය පාලනය කිරීම මත. මේ කාබන් සම්බන්ධය ඈත අතීතයේ දැන සිටියායි හිතන්නට අමාරුයි. නමුත් යම් වට්ටෝරුවකට යම් ක්‍රමයකට යකඩ උණුකලාම වානේ නැත්නම් ශක්තිමත් යකඩ හැදෙන බව නිරීක්ෂණය කලා වියයුතුයි. උණුවන උදුනට සුලං පිඹීමෙන් වානේ සෑදිම අාසියානු කලාපයේ රටවල බිහිවූ තාක්ෂණයක් බවට සාධක තිබෙනවා. නූතන වානේ කර්මාන්තය අැරඹුනේ බෙස්මර් ගේ වානේ උදුනෙන්. මේ ක්‍රමය අර පරණ සුළං පිඹීමම වඩාත් ක්‍රමවත්ව පාලනයකින් යුතුව කිරීමක්. මේ ගැන විකිපිඩියාවේ අැති සටහනේ වැඩිමනත් විස්තර තිබෙනවා. සුලං පිම්බාම වෙන්නේ, අැතුළුවන ඔක්සිජන් නිසා, ඔක්සිකාරක තත්වයක් අැතිවීමයි. එයින් යකඩ වල අැති අපද්‍රව්‍ය ඔක්සයිඩ බවට පරිවර්තනය වී වෙන්වෙනවා. කාබන් ප්‍රමාණය රත්කරන කාලය හා සමානුපාතව අඩුවෙනවා. එ් පදම පාලනය කරගත්තාම අවශ්‍ය වානේ සංයුතිය ලබාගන්නට පුළුවනි.

      අපේ සෑහෙන ආශාවක් තිබුණා කොත්මලේ නිවුණු ගිනිකන්දේ කල්දේරාව බලන්නට යන්න. නමුත් ඒක ගමන යැවුනේ නැහැ. ලංකාවේ යපස් ලබාගත් එක ස්ථානයක් ලෙස කොත්මලේ මේ ප්‍රදේශය සඳහන්.
      පාරම්පරිකව යකඩ කර්මාන්තයේ නියැලුණු අය ජීවත්වූ ප්‍රදේශයක්.

      මෑත කාලයේ දී රත්නපුර දෑල ප්‍රදේශයේ යකඩ නිධියක් තිබෙන බව තහවරු කරගන තිබෙනවා. ප්‍රමාණයෙන් ඉතා විශාල නුවූවත් මේ යකඩ නිධිය පොළව මතුපිටට ඉතා සමීපයි.

      Delete

මා කියවූ පොත් - බෞද්ධ මනෝචිකිත්සාව [එච්.එස්.එස්. නිශශංක]

"මිනිසාට විවිධ වූ මානසික රෝග වැලැදෙන්නේ කෙලෙස් නිසාය. කවර ආගමකට ජාතියකට අයත් වුවත් කෙලෙස්වල ස්වභාවය පොදුය. ඒ නිසා කවර යම් ජන කොටසකට අයත...