Friday, September 25, 2020

උඩගල දෙබොක්ක සොයා - [1]

 

ඔන්න ඉතින් දැන් මේ කියන්න යන්නේ මම ගිය පොඩි ගමනක් ගැන. පොඩි කිව්වට පොඩිමත් නෑ. ඉස්සර නම් ට්‍රිප් එකක් යනවා කිව්වම වෑන් එකක් බස් එකක් කාරිය කතාකරගෙන පාන්දර පිටත් වෙන්න හිතාගෙන පස්සේ උදේටත් කාලා දවල් වෙලා පිටත්වුනු ට්‍රිප් තිබුනේ. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් යනකොට ඒ තැනට අපිත් එක්ක යන කවුරුහරි මීට කලින් ගිහිල්ලා තියෙනවා. ඒත් මේක එහෙම එකක් නෙමේ. අපි තියා අපි යන තැනේ ගමේ අයගෙනුත් එතනට ගිහින් තියෙන්නේ කිහිප දෙනයි. එතන නම තමා ‘උඩගල දෙබොක්ක’. මේක ගමක්. තියෙන්නේ කන්දක් උඩ. මහ කැලෑව මැද්දෙන් කිලෝමීටර් 7ක් 8ක් විතර ඇවිදන් ගිහින් කන්ද නගින්න තියෙන්නේ. මේ කතාව ඒ ගමනයි එහෙ මිනිස්සුයි ගැනයි.

අපිට මේ ගම ගැන මුලින්ම දැනගන්න ලැබුනේ ඩිල්මේන්ද්‍ර සහෝදරයගෙන්. එයා මේ අමනට සහභාගි වුනු හය දෙනාගෙන් කෙනෙක්. අපි ගමන පිටත්වෙන්න හිතාගත්තේ සෙනසුරාදා පාන්දර දෙකහමාරට. ඒ ඩිල්ෂාන්ගේ ගෙදරින්. රාවතාවත්තේ. ඩිල්ෂාන් කියන්නේ පොඩි කාලෙ ඉඳන් අදුනන මගේ හොදම මිත්‍රයා. මම ඩිල්ෂාන්ගේ අම්මවත් අරගෙන ජා ඇල ඉඳන් රාවතාවත්තට අවා සිකුරාදා හවස [ජූලි 31]. අවශ්‍ය කලමනා ඔක්කොම අරගෙනයි ආවේ. නෑ ඉන්නකො ටිකක්. ඔක්කොම කියන්නත් බෑ. මට කෝප්පෙකුයි පිඟානයි බ්‍රෂ් එකයි අමතක උනා. මේ ගමනට සහභාගි වුනු තවත් කෙනෙක් තමා ඩිමන්ත. පොඩි කාලෙ ඉඳන් එකට ඉගෙනගත්තු මගේ හොදම යාලුවෙක්. අපි ඩිල්ෂාන්ගේ ගෙදරට එනකොට ඩිමන්ත ඇවිල්ලා උන්නේ නෑ. එයා ආවේ අපි ආවට පස්සේ. මේ ගමනට සහභාගි වුනු අනිත් සාමාජිකාව තමා ඉරුෂ්මී. ඩිල්ෂාන්ග් ජීවන සහකාරිය.

සෙනසුරාදා පාන්දර 2ට විතර රාවතාවත්තේ දී. අපි ගමන පිටත් වෙන්න මොහොතකට කලින්.


දැන් මේ ගමන යන්න ඔක්කොම ලෑස්තියි. අපි වේලාහන නිදාගන්න ඕන කියල හිතුනත් පුරුද්ද නිසා එකොළහමාර වෙනකන් අපි නිදාගෙන ඇහැරිලයි උන්නේ. කියව කියව. දැන් වෙලාව හරි. කට්ටියම ඉතින් ලක ලැහැස්ති වෙලා බැස්සා පාරට. අපි මේ ගමන යන්නේ බයික් තුනක. දෙකක් ස්කූටි. අනෙක ඩිල්ෂාන්ගේ බයික් එක. ඒකෙ නම තාම මට හරියට කියෝගන්න බෑ. ඔය බයික් ගැන සමහර අය ලස්සනට විස්තර කරනවා පෙට්‍රල් ගැනයි එංජිමයි අනං මනං අමුතු වචන දාලා කියන්නේ.

ඒත් මට ඒවා එච්චර තේරෙන්නේ නෑ. ඩිල්ෂාන්ගේ බයික් එක ගැන කිව්වොත් ඒක කළුයි. ඉස්සරහා වීදුරුවක් වගේ එකක් තියෙනවා. නවත්තලා තියෙනකොට තෙත රෙද්දක් එහෙම වනලා වේලගත්තැහැකි ලස්සනට. බයික් එක දෙපැත්තෙන් යකඩෙන් හදාපු මොනාද මන්දා එකක් තියෙනවා. ඒක නිසා බයික් එක වැටුනත් ඇඟ උඩට වැටෙන්නෑ. ඉතින් හරි ප්‍රයෝජනවත්. තව බයික් එක පිටිපස්සේ බඩුමුට්ටු දාගන්න පොඩි පෙට්ටගමකුත් තියෙනවා. ඩිමන්තගේ ස්කූටියත් නියමයි. යතුර දාලා බොත්තම ඔබපු ගමන් වැඩකරනවා.

ඒකටත් එක්ක මගේ ස්කූටිය. කරත්තෙකට වඩා ටිකක් හොදයි. පනහට යනකොට මට තේරෙනවා බයික් එක කියනවා “උඹ මගේ අවසන් ගමන නේද මේ අරගෙන යන්නේ….” කියල. හැටට යනකොට කියනවා “දෙවියනේ මොන වරදක් කරාටද….” හැත්තෑව කිට්ටු කරනකොටම “මරපියව් මාව….!” කියල කෑගහනවා මට තේරෙනවා. හැබැයි දැන් නම් බයික් එක හොද තත්ත්වයේ තියෙනවා.

අපි හය දෙනා
අපි හය දෙනා 


මගේ බයික් එකේ සෙල්ෆ් ස්ටාට් වැඩ කරන්නෙත් නෑ. වැඩ කරන්නේ නෑම නෙමෙයි. එයාට හිතෙන්න ඕන ඒකට.  ඉතින් කොඳු කඩන් අර කික් එක ගහන්න ඕන. ඒකත් හිරයි. වෙලාවකට යටට ගියොත් ගියාමයි. “මෙහෙ වරෙන් උඩට” කියල බලෙන් ඇදලා ගන්න ඕන. තත්ත්වය එහෙම වුනත් මගේ ස්කූටිය දවස් තුනක් කිලෝමීටර් 600කට එහා මාව අරගෙන යන්න සමත් වුනා.

අපි පාන්දර දෙකහමාර වෙනකොට රාවතාවත්තෙන් පිටත් වුනා උඩගලදෙබොක්ක ගම හොයන්න. උඩගලදෙබොක්ක ගම පල්ලෙහා තමා උඩත්තව ගම තියෙන්නේ. උඩත්තව කිට්ටුයි මහියංගනයට. ඉතින් ඔයාලට දළ අදහසක් ගන්න පුලුවන් අපි කොයි දිශාවටද යන්නෙ කියලා. අපි හිතන් උන්නේ නුවරින් පෙට්‍රල් ගහනවා කියලා. හැබැයි ඊට ගොඩක් කලින් අපිට පෙට්‍රල් ගහන්න සිද්ද වුනා. පාන්දර දෙකහමාරට පිටත් වුන නිසා පාන්දර පහ වෙද්දිවත් කඩුගන්නාව නගින්න පුලුවන් වෙයි කියලයි අපි හිතුවේ. හැබැයි හතරහමාර වෙනකොටත් අපි හිටියේ කඩුගන්නාවේ කෑලිවත් පේන්නැති පැත්තක. සාමාන්‍යයෙන් නුවර යන පාරේ නෙමේ අපි ගියේ. වෙනසකටත් එක්ක අතුරු පාරවල් වලින්. මහපාරෙන් සිමෙන්ති පාරට බැස්සා ආයෙ බොරළු පාරකට ගියා. ඔහොම ඔහොමයි ගියේ.

පාන්දර හතරට විතර ගමන පොඩ්ඩක් නතර කරපු වෙලාවේ


යන පාර තීරණය කලේ ඩිල්ෂාන්. ගූගල් මැප් දෙයියගේ පිහිටෙන්. මට ඉතින් පාරවල් තියා ඉන්නේ කොහෙද කියලවත් ලොකු තේරුමක් නෑ. ඉතින් බයික් තුනෙන් ඉස්සරහ ගත්තේ ඩිල්ෂාන්. මම මැද්දේ. ඩිමන්ත පිටිපස්සේ. යන පාර සාමාන්‍යයෙන් යන පාරට වඩා වෙනස් නිසා තරමක් කාලය ගතවුනා. පාන්දර හතර හතරහමාර අතර අපි නැවතුනා ටිකක්. මොකද බයික් වලට පොඩි විවේකයක් දෙන්න ඕන නිසා. එතනම නයිට් කඩයක් තිබුන නිසා ප්ලේන්ටී එකකුයි බනිස් ගෙඩියකුයි කෑවා. කොහොමහරි එතන ටික වෙලාවක් ඉඳලා අපි අයෙත් අපේ ගමන පටන් ගත්තා. උදේ වරුවෙදි අපිට පුලුවන්කම ලැබුනා කඩුගන්නාව නගින්න. මම මීට කලින් කඩුගන්නාව නැගලා නෑ. බස් එකක වෑන් එකක ඉදන් කඩුගන්නාව නැගලා තියෙනවා. ඒත් දැන් මම මගේ බයික් එකෙන් කඩුගන්නාව නගින්නේ. මම මීට කලින් මේ වගේ ගමන් ගිහිල්ලා නැති නිසා මේ හැම දෙයක්ම මට අලුත්ම අත්දැකීමක්.

කඩුගන්නාවෙන් පස්සේ අපිට හමුවුනා දහඅට වංගුව. දහඅට වංගුව බහින්නයි අපිට තියෙන්නේ. දහඅට වංගුව බහින්න කලින් එතන උඩ තියෙනවා වීව් පොයින්ට් එකක්. කෑම කඩයකුත් එක්ක. එතනදි අපිට මුණගැහුනා උඩගලදෙබොක්ක ගමට අපිත් එක්ක යන අපේ මිත්‍ර භික්ෂූන්වහන්සේව. උන්වහන්සේත් විශ්වවිද්‍යාලයේ ඉන්නකොට සෑහෙන්න කඳු නැගලා තියෙනවා. දහඅට වංගුව බහින්න කලින් හමුවෙන මේ තැන හරිම විශේෂයි. මම හැබැහින් දැකලා තියෙන ලස්සනම දර්ශන මම එදා දැක්කා.ගංගා. ඇළදොළ, වැව්, කඳු කුඹුරු, වනාන්තර හැම දෙයක්ම එකම දර්ශනයක. සෑහෙන වෙලාවක් අපි ඒක දිහා බලාගෙන හිටියා. ඇති පදම් ෆොටෝ ගන්නත් අමතක කලේ නැහැ. ඒ දර්ශනය හරියට චිත්‍රයක් වගේ.

දහඅට වංගුව උඩ හමුවුනු හරි අපූරු තැනක් 


නමුත් පැයක් ගියේ නෑ අපි හිටියේ ඒ චිත්‍රය ඇතුලේ. අපි ඒ ගම් මැද්දෙන් උඩත්තව ගම හොයාගෙන ගියා. උඩත්තව ගමට යනකොට තරමක් හවස් වෙලා. අපි රෑ හිටියේ උඩත්තව පන්සලේ. ඩිල්ෂාන්ගේ අම්මවයි ඉරුෂ්මිවයි ගමේ ගෙදරක නතර කරා. ඒ ගෙදර අය කොච්චර හොඳද කියනවනන් තමන්ගේම පවුලේ කෙනෙක්ට වගේ අපිට සැලකුවේ. “අපිම වවන ඒවයි අපි කන්නේ” කියලා ඒ ගෙදර අය කිව්වේ හරිම ආඩම්බරෙන්. කොළඹ කිට්ටුව ජීවත්වෙන අපිට නම් එහෙම දෙයක් කියනවා තියා හිතන්නවත් බැහැ.

මේ ගමට තියෙන ලොකු ගැටලුවක් තමා අලි ප්‍රශ්නය. හවස හයෙන් පස්සේ කවුරුත් පාරේ යන්නේ නෑ. අපිටත් හයෙන් පස්සේ එලියට බහින්න එපා කියලයි කිව්වේ. අලියෙක් එහෙම හේනක් මැද්දෙන් ගියොත් මාස ගානක මහන්සිය වතුරේ. රෑට රෑට අලි වෙඩි සද්දේ හොඳට ඇහෙනවා. ඈතින් නෙමේ. ළගින්.



හවස හයෙන් පස්සේ යන්න බය වුනාට අපි රෑ කෑමට පන්සලේ ඉදන් ඩිල්ෂාන්ගේ අම්මා හිටපු ගෙදරට ගියා. එහෙදිම කාලා කරලා අපි ආවා. අලි වෙඩි සද්දේ ඒ ගෙදරදිත් ඇහුනා. අපි දැන් උඩගල දෙබොක්ක ගමට යන්න ඉන්නේ පහුවදා උදේට. කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කන්ද නගින්න තියෙනවා කිලෝමීටර් 7ක් අටක් විතර. මම මීට කලින් කඳු නැගලා නෑ. ඉතින් කදු නගින එක මොන වගේ දෙයක්ද කියන්න මට කිසි අදහසක් තිබ්බේ නෑ. අපි හය දෙනත් එක්ක කන්ද නගින්නේ අපේ හමුදුරුවොයි උන්වහන්සේ එක්ක ආපු අයියයි. ඒ අයියා මීට කලින් මේ ගමට ගිහින් තියෙනවා. ඉතින් ඒක අපිට පහසුවක් වුනා.

ඩිල්ෂාන්ගේ අම්මයි ඉරුෂ්මියි නැවතිලා හිටපු ගෙදරදී.


උඩත්තව ගමේ සමහර මිනිස්සුත් මේ කන්ද නැගලා නැහැ. උඩගලදෙබොක්ක කියන්නේ පවුල් 30ක් විතර ඉන්න කුඩා ගමක්. විදුලිය නැහැ. පාසලක් තියෙනවා. නිතරම අලි එනවා ගමට කියන කරුණු තමා අපිට කන්ද නගින්න කලින් දැනගන්න ලැබුනේ. අපි කන්ද උඩ ගමේ රැයක් නතර වෙන නිසා ස්ලීපිං බෑග්, ටෝච් සේරම ලෑස්ති කරගත්තා. බඩුමුට්ටුත් ලෑස්ති කරගෙන අපි පන්සලේ නින්දට ගියා.

[කන්ද නැග්ග හැටියි, කන්ද උඩ මිනිස්සු ගැනයි එයාලගේ අනාගතය ගැනයි කතා කරමු ඊළඟ කොටසින්…..]

පිටිපස්සේ තියෙන්නේ අපි නගින්න ඉන්න කන්ද 


13 comments:

  1. හිටියත් යන්න ආසාවෙන් මේ ගමන
    වැළකිණි වරින් වර පැතුමන් කඩ වෙමින
    නොගියට මොකද, ගිය කෙනෙකුගෙ ලිපි දකින
    පින පෑදිලා ඇත, හිතුවෙත් නැති ලෙසින

    ඉක්මනට ලියමු දෙවැනි කොටසත්!

    ReplyDelete
    Replies
    1. බලන්න වටින තැනක් මේක. ඊළඟ කොටසත් ඉක්මනින් දාන්නම්.

      Delete
  2. අපේ ගම කිට්ටුව. හරිම සුන්දරයි

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දර පැත්තක්... ආයෙත් යන්න ඉන්නේ...

      Delete
  3. ඉතුරු ටිකත් දාමු ඉක්මනට.

    ReplyDelete
  4. අනේ පුතේ
    ඔයවගේ ගමන් යනකොට පරිස්සමෙන්.
    දරන් ගල්කාරයෝ හැම තැනම.

    ReplyDelete
  5. සංචාරය නම් කදිම දෙයක්. කොහොම කොහේ ගියත් මිථිල, safety first හොඳේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ආරක්ෂාවට තමා මුල් තැන දෙන්නේ...

      Delete
  6. +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  7. Thanks ka, materinya sangat bermanfaat sekali buat aku. Aku suka banget ^^ Buruan bermain di Togel Online terbaik dan terpercaya

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...