Tuesday, February 12, 2019

“මගේ දුව හොදින් ඉඳියි නේද මහත්තයෝ”



මේ ගෙවෙන්නේ කුමන දිනයක්දයි කීමට මම නොදනිමි. උදය ආහාරය ලැබී මේ වන විට වරුවක් පමණ ගතවී තිබේ. මගේ කාමරයේ මගේ තනියට තවත් අයෙක් සිටියි. ඔහු මෙතනට පැමිණ දැනට සතියක් පමණ ගත වුවත් ඔහු මා සමග මෙතෙක් වචනයක්වත් කතා කලේ නැත. මම ඔහුත් සමග කතා කිරීමට උත්සහ කල නමුත් ඔහුගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඔහුට මෙයට හුරු වීමට ටික කලක් යාවි. මම මෙතනට පැමිණි මුල් කාලයේ පෙන්වුයේත් මෙවන්ම හැසිරීමක්. මෙතනට ඇවිත් දැන් මාස තිහකටත් එහා නිසා දැන් මට මෙතන ගෙදර වගේ.

“මට ඔය වතුර එක දෙන්න" ඔහු මලානික ස්වරයකින් මගේ දකුණුපස පිහිටි මේසය මත තිබු වතුර ජෝගුව ඉල්ලුවේය. ඔහුගේ කටහඬ අසු පළමු අවස්ථාව මෙයයි. එසැනින්ම වතුර ජෝගුව ගෙන ඔහුට දුන්නෙමි. ඔහු එය ගෙන එක උගුරක් පමණක් බී ජෝගුව නැවත මට දුන්නේය.

“ඔයාගේ නම මොකක්ද?” කිසියම් සංවාදයකට මුල පිරීමට යයි සිතා මම ඔහුගෙන් ඇසුවෙමි. නමුත් ඔහු එය නෑසුනාක් මෙන් අඩි දහයක් පමණ උසකින් තිබෙන කම්බි කුරු ගසා ඇති ජනේලය දෙස බලාගත් වනම බලාගෙන සිටියේය.

“ඔයා අයි මෙහෙට ආවේ?” මම උත්සාහය ඇත නොහැර ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නැවතත් ඇසුවෙමි. නමුත් එයටත් ඔහු කිසිදු පිළිතුරක් නොදී මුනිවත රැකගෙන සිට ජනේලය දෙස බලාගෙන සිටියේය.

ඔහුගෙන් වචනයක්වත් නොඅසා කාලය ගතවුනි. තත්පර මිනිත්තු වී මිනිත්තු පැය වී දැන් දවල් ආහාරය ගන්නා වෙලාව දක්වා පැමිණ තිබේ. අදත් සුපුරුදු පරිදි තිබුනේ බත්, පරිප්පු සහ කරවල යි. මෙය මලබතක් වීමට අඩු වට්ටක්කා පමණි. මම මගේ මිත්‍රයත් සමග බත් බෙදාගැනීමට පෝලිමට වී සිටියෝය. මම ඔහුට ‘මගේ මිත්‍රයා' යැයි පැවසුවද ඔහුත් සමග මෙතෙක් එක වදනක්වත් කතා කර නැත. එම නිසා මම ඔහුට ‘මගේ මිත්‍රයා' යයි ආමන්ත්‍රණය කිරීම කෙතරම් උචිතයි ප්‍රශ්නාර්ථයකි. මට මෙහි කසිදු මිත්‍රයෙක් නොමැති නිසා මෙසේ නමට හෝ මිත්‍රයෙක් සිටීම මගේ සිතට සහනයක් ගෙනදෙයි.

මම කෑමට හිඳගත් ස්ථානයට එහා පැත්තෙන් මගේ මිත්‍රයා අසුන්ගත්තේය. කෑම පැය අවසන් වූ පසු අපි නැවතත් අපගේ කාමර වෙත පියනැග්ගෙමු.

“මගේ නම සරත්. දුවගේ මනුස්සයා මං අතින් නැතිවුනහඬයි මම මෙහාට ආවේ” අවසානයේ ඔහු කතා කිරීමට පටන් ගත නිසා එය මගේ සිතට මහත් න්දහසක් ගෙන දුන්නේය.

“මම සමන්. මම දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. තව අවුරුදු දහයක් විතර ඉතුරුයි” මම මා ගැන කීමට පටන් ගත්තෙමි.

“ඇයි ඔයා දුවගේ මනුස්සයව මැරුවේ?”

“ඒ මනුස්සයා කොහොමත් මගේ දුවට ගැලපුන කෙනෙක් නෙමේ. බදිද්දිත් මම ඒකට විරුද්ධ වුනා. දවසක් දුව ගෙදර නැති අතරේ වෙන ගෑනියෙක් එක්ක මට ඔය මනුස්සයව අතටම අහුවුනා. එවෙලේ මම ටිකක් බීලත් හිටියේ. එතනදී රණ්ඩුවක් වෙලයි මේ දේ උනේ.” යැයි මගේ මිත්‍රයා කීය. ඔහු එය පවසන විට ඔහුගේ මුවෙහි කිසිදු පසුතැවිල්ලක ලකුණක් නුදුටුවෙමි. මෙහි අනෙක් අයගේ පාපෝච්චාරණ අසා සිටිනවාට වඩා මෙය වෙනස් අත්දැකීමක්. සාමාන්‍යයෙන් පාපෝච්චාරණයකදී තමන් කල දේ ගැන පසුතැවිලි නොවන අය සිටින්නේ ඉතා කලාතුරකිනි. මගේ මිත්‍රයත් එයින් කෙනෙක්.

“මට හිතෙන විදිහට ඔයා කරපු දේ හරි. එහෙම මනුස්සයෙක් එක්ක කොහොම පවුල් කන්නද?” යයි කියමින් ඔහුගේ කීම මම සනාථ කර සිටියෙමි.

“ඔයා කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද?”

“මම අද විතරයි ඉන්නෙ. හෙට වෙනම කාමරයකට මාව මාරු කරයි. එතනින් සතියකට පස්සේ මාව එල්ලලා මරලා දායි. ගිය අවුරුද්දේ එල්ලුම් ගහත් ගෙනාවනේ” යැයි මගේ මිත්‍රයා මරණයට කිසිදු බියක් නොමැති අයෙක් සේ කිවේය.

“ඔයා මැරෙනවට බය නැද්ද?”

“මම මොකටද මැරෙනවට බය වෙන්නේ. මට බය එක දෙයක් ගැනයි. ඒ මගේ දුව ගැන. මට ඉන්නෙ එයා විතරයි. එයාට දැන් ඉන්නෙත් මම විතරයි. එයා ආයෙම කලින් කරගත්තා වගේ වැරද්දක් කරගත්තොත්”

“නෑ. එහෙම වෙන එකක් නෑ. එයා දැන් පාඩමක් ඉගෙනගෙනයි ඇත්තේ” යැයි ඔහුව අස්වැසීමට සිතා මම කීවෙමි.

“ මගේ දුව හිතන්නේ මම එයාගේ පවුල විනාශ කරා කියලා. එත් මම දැන් කිව්වා කියලා හිතාගන්න, එයා කවදාහරි මට පිං දෙයි මම මේ කරපු දේට” මගේ මිත්‍රයා දැඩි අධිෂ්ටනයකින් යුතුව කියා සිටියේය.

“එහෙනං ඒ නිසයි ඔයාගේ දුව ඔයා බලන්න ආවෙ නැත්තේ”

“ඔව්, දුව විතරක් නෙමේ ගමේ අයත් හිතන්නේ මමයි වැරදිකාරයා කියලා. එත් ගමේ මිනිස්සු හිතන විදිහ මට වැඩක් නැහැ. මම මැරෙන්න කලින් වතාවක් හරි දුව දකින්න තිබුනොත් ඇති.”

“ඔයාට දුවව ආයෙත් දකින්න පුළුවන් වෙයි කියලා මට හරියට කියන්න බැහැ. හැබැයි එයා කවදාහරි ඔයාව තේරුම් ගනීවි”

සංවාදය එතනින් එහාට ඇදී ගියේ නැත. ඔහුට තවත් කතා කිරීමට කැමැත්තක් නැති බව මට වැටහී ගිය අතර හේ රාත්‍රී ආහාරය ද ප්‍රතික්ෂේප කළේය. දිනය ගෙවී ගියේය.

මාස කිහිපයක් ගතවිය. මගේ කාමරයට තවත් අයෙක් මෙදින පැමිණියේය. හේ පැසුණු කොණ්ඩයක් සහිත අයෙක් වූ අතර ඔහුට තිබුනේ කෙසඟ සිරුරකි. ආ වෙලේ පටන් මොහු සිටියේ දැඩි කල්පනාවකිනි. කාමරයේ තිබුණු දැඩි නිහඩතාව බිඳීමට සිතූ මා ඔහුත් සමග කතා කිරීමට තීරණය කලෙමි.

“මම සමන්. ඔයා කව්ද? ඇයි මෙහාට ආවේ?”

එකවරම ඔහු මා දෙස බලා තත්පර කිහිපයක්ම ඒ අයුරින් සිටියේ ය. ඒ මගේ ප්‍රශ්න වලට උත්තර බැදීමෙන් පලක් නැහැ කියන්නා සේය. නමුත් අවසානයේ ඔහු නොසිතූ අයුරින් මුව විවෘත කළේය.

“මම ජගත්. හොරකන් කරලා ඒ ගෙදර ගැනිවත් මරුවා”

නමුත් මොහුව දුටු විට එවැන්නක් කල අයෙක් ලෙස කිසිසේත් පෙනෙන්නේ නැත. එමනිසා මම ඔහුගෙන් පැමිණි කාරණය ගැන තවත් ප්‍රශ්න කලෙමි. එවිට ඔහු;

“මේක මම කරපු දෙයක් නෙමේ. මගේ බෑනගේ වැඩක්. එයා ඉස්සරත් එහෙමයි. හැදෙයි කියලා හිතුවා. ඒත් හැදිලා නැහැ. මෙකෙන්වත් හැදෙයි.”

“ඉස්සරත් එහෙමනං ඔයාගේ දුවට එයාගෙන් දික්කසාදය අරගන්න තිබ්බනේ. ඔහොම ඉන්නකොට දීග කන්න පුළුවන්යෑ”

“දුවගේ එලේවල් දවස් වලදී මේ මනුස්සයා නිසා දුවට ළමයෙක් හම්බෙන්න උන්නා.මේ මනුස්සයා දුවට වඩා අවුරුදු 13 ක් ම වැඩිමල්. ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න ලජ්ජා නිසා මේ දෙන්නව බැන්දුවා. පස්සෙයි දැනගත්තේ මෙයාට තව ගෑනියෙක් ඉන්නවා කියල. ඒත් එයනන් කිව්වා ඒ ගෑනිව අත් අරිනවා කියලා. දුවගේ අම්මා මරුනෙත් මේ සිද්ධි දරාගන්න බැරුව. ඔය අතරේ තමා හොරකන් සිද්ධියට අර මනුස්සයා අහුවුනේ”

“ඇයි ඉතින් ඔයා වැරැද්ද බාර ගත්තේ? ඒ මනුස්සයට හොද පාඩමක් උගන්නන්න තිබ්බ වෙලාවක්නෙ ඒක”

“කොච්චර වැරදි තිබුනත් දුව තවමත් ගන්නේ එයාගේ මනුස්සයාගේ පැත්ත. එයා හිරේ ගියොත් දුව මැරෙනවා කියල කිව්වා. මට කාටවත් වඩා වටින්නේ මගේ දුවව. ඒ නිසයි වැරදි මම භාරගත්තේ.”

“ඒත් ඔයා හිතනවද දුවට අර මනුස්සයා එක්ක හොදින් ඉන්න පුළුවන් වෙයි කියල. ඇරත් ඔයත් නැතුව”

එම පැනයට මට ඔහුගෙන් පිළිතුරක් ලැබුනේ නැත. නැවත නැවතත් මම එම ප්‍රශ්නය ඔහුට කීවත් ඔහු දිගටම සිටියේ මුනිවත රකිමිනි. ඊටපසු දින කිහිපයේම මම ඔහුත් සමග කතා කිරීමට උත්සහ කල අවස්ථාවන් වලදී ඔහු තනි වචනයෙන් දෙකෙන් පිළිතුරු දී සංවාදය අවසන් කල නමුත් පෙරදී මෙන් පැහැදිලිව කතා කලේ නැත.

සති දෙකක් පමණ ගතවූ පසු කාකි ඇදුමින් සැරසුණු දෙදෙනෙක් සහ සුදු කලිසමක් සහ සුදු කමිසයක් ඇදගත් අයෙක් මගේ කාමරයට පැමිණියේය.

“වෙලාව හරි” යැයි එක තරබාරු නිලධාරියෙක් පවසා සිටියේය.

එවිටම මා අසල සිටි පුද්ගලයා නැගිට වටපිට බලා ඔවුන් වෙත ගියේය. කාමරයේ දොර අසලටම ගොස් ඔහු මා දෙස බැලීය.ඔහුගේ දෑස කඳුලින් තෙත් වී තිබුණු අතර දෑත් වෙව්ලමින් තිබුණි. කටහඬ අවධි කල ඔහු කැඩුණු ස්වරයෙන්;

“මගේ දුව හොදින් ඉඳියි නේද මහත්තයෝ” යැයි පවසා පිටවී ගියේය.


11 comments:

  1. මිතිල, හිරගෙදර පිළිවෙල දන්නා තරම නිසා මේ පෝස්ටුව රස විඳින්න බාධා වෙනවා, මට නම්! උදාහරණයකින් කියනවා නම් මරණයට නියමවුණු අය වෙනින් හිරකරුවන් එක්ක දාන්නේ නැහැ නේද? මං වැරදිද මන්දා. මම දන්නා විදියයි කීවේ.

    ReplyDelete
    Replies
    1. වෙන සිරකරුවන් එක්ක දාන්නෙ නෑ වෙන්න ඕන... මමත් හරිහැටි ඒ ගැන දන්නෑ... ඒත් ඉතින් මේක ප්‍රබන්ධයක්නේ... ලංකාව වගේම සමාන්තර ලෝකයක මරණයට නියම වෙච්ච අය අනෙක් සිරකරුවොත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන කතාව කියවමු... එතකොට හරිනේ... :D

      Delete
  2. මම තාම කතා දෙක අතර අවස්ථා සම්බන්දයක් ාහායනවා.. එහෙම එකක් තියනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම අවස්ථා සම්බන්ධයක් නැහැ. මම මේකෙන් කියන්න උත්සහ කලේ අපි සමහර වෙලාවට හොදයි කියලා හිතාගෙන කරන දේවල් වලින් ඇත්තටම හොදක් වෙනවද?කියන එක ප්‍රශ්න කිරීම...

      පලවෙනි මනුස්සයා බෑනව මැරුවේ දුවව එයාගෙන් බේරගන්න... හැබැයි මේ සමාජයත් එක්ක එයාගෙ දුවට තනියෙන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන්ද? ඒ නිසා පලවෙනි තාත්තා ගත්ත තීරණය හරිද?

      දෙවෙනි තාත්තා බෑනව බේරගත්තෙ දුවට තියෙන ආදරේට... ඒ දුවට අර මනුස්සයත් එක්ක හරිහැටි පවුල් කන්න පුලුවන් කියලා හිතනවද ඉදිරියට... අනික ලමයෙකුත් එක්ක... ඉතින් දෙවෙනි තාත්තා කල දේ හරිද?

      Delete
  3. සමහර අවස්ථාවල හරියි කියල ගන්න තීරණයක් නෑ. කොහොම උනත් අවසානෙ ප්‍රශ්නයක්. ඒ වගේ වෙලාවට හැමෝම කරන්නෙ එවෙලෙට හරියි කියලා තමට දැනෙන දේ. දෙන්නම කළේ ඒ දේ.

    කතාව එල.

    ReplyDelete

“මගේ දුව හොදින් ඉඳියි නේද මහත්තයෝ”

මේ ගෙවෙන්නේ කුමන දිනයක්දයි කීමට මම නොදනිමි. උදය ආහාරය ලැබී මේ වන විට වරුවක් පමණ ගතවී තිබේ. මගේ කාමරයේ මගේ තනියට තවත් අයෙක් සිටියි. ඔහු ම...