Tuesday, February 26, 2019

දුරකථන සංවාදය (කෙටි කතාව)

කවුරුන් හෝ අප අසල සිට දුරකථන ඇමතුමක් ලබාගත් විට අපට ඇසෙන්නේ ඔවුන්ගේ සංවාදයෙන් එක් අඩක් පමණි. දිනක් එක්තරා කාන්තාවකට ඇයගේ සහෝදරිය වූ වජිරා ට කතා කිරීමට අවශ්‍ය විය. වජිරාගේ පෞද්ගලික දුරකථනය විසන්ධි වී තිබුනු බැවින් ඇයගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. පහත දැක්වෙන්නේ අසල සිට පත්තරය කියවමින් සිටි වජිරාගේ සහෝදරියගේ ස්වාමිපුර්ෂයාට ඇසුනු සංවාදය යි.

“මට වජිරා ට කතා කරන්න පුලුවන්ද?”

විරාමයක්

“නෑ එයා නෙමේ. උස, කොණ්ඩෙ බොකුටු කෙනා…”

විරාමයක්

“ඔව් නළ දතකුත් තියෙනවා තමා.”

විරාමයක්

“ඒක වෙන්න බැහැ එයාගෙ නංගි මැරුනෙ නැහැ.”

විරාමයක්. (පත්තරය කියවමින් සිටි ස්වාමියා එක් වරම තම බිරිඳ දෙස බැලීය.)

“ඔයා කොහොමද කියන්නේ? මමනේ එයාගෙ නංගි.”

විරාමයක්

“ඔව් එයා තමයි.”

විරාමයක්

“හරි එයාට කෝල් එක ට්‍රාන්සර් කරන්න.”

විරාමයක්

“හෙලෝ… මේ වජිරා ද?”

විරාමයක්

“ඔය කව්ද?”

විරාමයක්

“නැහැ එහෙම දෙයක් නැහැ. මට වජිරාටයි කතා කරන්න ඕනෙ.”

විරාමයක්

“උස කොණ්ඩෙ බොකුටු කෙනා. නළ දතකුත් තියෙනවා.නංගි තවම ජීවත් වෙලා ඉන්නවා.”

විරාමයක්

“එයා ඉන්නවා එයා තමයි කතා කරන්නෙ.”

විරාමයක්

“හෙලෝ…”

විරාමයක්

“බය වෙන්න එපා මම එහෙම කෙනෙක් නෙමෙයි. වජිරාට කතා කරන්න විතරයි ඕනෙ.”

විරාමයක්

“අන්න හරි. වජිරාට ෆෝන් එක දෙන්න.”

විරාමයක්

“ඇති යාන්තන් ඔයාට කතා කරන්න පුලුවන් වුනා. ඔයාලගේ කන්තෝරුවේ තව කවුරුහරි වජිරා කියලා කෙනෙක් ඉන්නවද? එයාගෙ නංගි මැරිල ද? කන්තෝරුවෙ අය හිතලා තියෙන්නෙ මම කතා කරන්නෙ අනිත් වජිරාට කියලා. මම එයාගෙ නංගි කියලා එක්කෙනෙක් බය වුනත් එක්ක. (සිනාසෙමින්) එයා විතරක් නෙමේ මගේ මහත්තයත් බය වුනා ඒක අහලා.(තවත් හයියෙන් සිනාසෙමින්) දැන් ඔයා මොනවාහරි වැදගත් වැඩකද ඉන්නේ? කතා කරන්න පුලුවන්නේ දැන්?”

විරාමයක්

“ඒ පාර කව්ද මේ?”

විරාමයක්

“ඔව් එයා තමයි. මට එයාට කතා කරන්න පුලුවන් ද?”

විරාමයක්

“ඒක මම එයත් එක්ක කතා කරන්නම්.”

විරාමයක්

“කේක් එකක් හදන්න තියෙනවා.”

විරාමයක්

“නෑ මම ඒක එයාගෙන් අහගන්නම්.”

විරාමයක්

“හරි එහෙනම්.”

දීර්ඝ විරාමයක්

“හැදි කීයක්ද කිව්වේ?”

විරාමයක්

“මං හිතන්නෙ ඔව්.”

විරාමයක්

“ඔහොම ඉන්න. මට වජිරාට කතා කරන්න ඕනෙ.”

විරාමයක්

තම ළමයින් දෙස හැරී “කෑ ගහන්නෙ නැතුව අතනින් ගිහින් ඉඳගන්න!”

විරාමයක්

“නෑ ඔයාට නෙමේ.”

විරාමයක්

“එහෙම හිතුවත් කමක් නැහැ. මට වජිරාට කතා කරන්න ඕනෙ.”

දීර්ඝ විරාමයක්

“හෙලෝ මේ වජිරා නේද?”

විරාමයක්

“කොහෙද අනේ ඔයා ඔච්චර වෙලා හිටියේ?”

විරාමයක්

“ඔයා දන්නවද මම ඊයෙ අලුත් ගවුමක් ගත්තා.”

විරාමයක්

“මේ මම අනේ… ඔයාගෙ නංගි.”

විරාමයක්

“හෙලෝ…”

විරාමයක්

“ඔයා මේ අඬනවද?”

විරාමයක්

“අනේ සමාවෙන්න මම කතා කලේ අනිත් වජිරා ට.”

විරාමයක්

“මම ඔයාව අපහසුතාවයට පත් කරන්න හිතුවෙ නැහැ.”

විරාමයක්

“නැහැ මම විහිළුවකුත් නෙමෙයි කලේ.”

විරාමයක්

“ඔව් මට තේරෙනවා.”

විරාමයක්

“හරි මට සමාවෙන්න.”

විරාමයක්

“අනිත් වජිරාට කතා කරන්න පුලුවන් වෙයිද?”

විරාමයක්

කිසිවක් නොකියා ඇය දුරකථනය විසන්ධි කලාය. ඒ අතර පත්තරය කියවමින් සිටි සැමියා “වජිරා මොනවද කියන්නෙ?” යැයි ඇසීය.

මලානික රූපයක් මුහුණෙහි රඳවාගත් ඇය මෙසේ පවසා සිටියාය.

“අද එයා කන්තෝරුවට ඇවිල්ලා නැහැ!”


4 comments:

  1. ෂහ්. අනිත් පැත්තේ කොටසත් අහන්න තිබ්බ නං මරු..

    ReplyDelete
  2. පුළුවන්නම් සමාන්තර විශ්වයක කතාවක් ලියන්න.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...