යමෙක් කරදරයක වැටුනු විට උදව් උපකාර කිරීම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකුගේ
ගති ලක්ෂණයක්. නමුත් එසේ උපකාර කිරීමට යාමෙන් තමන්ගේ ජීවිතය අහිමි වනවා නම් එම උපකාරය
ඔබ සිදු කරනවා ද?
දහ නමවන සියවසේ මැද භාගයේ දී සියමේ (වර්තමාන තායිලන්තය) සිව්වන රාමා
රජුගේ දියණියක් වන සුනන්දා කුමාරිරත්න උපදියි. තරුණ වියේදී ම ඇයව අනාගත රජු වෙත විවාපත්
කර දෙයි. මොහු රජ කමට පත් වන්නේ පස්වන රාමා රජු ලෙසයි. ඔහුගේ බිසෝවරුන් අතරින් මුල්තැන
හා ඔහුගෙන් වැඩි ඇල්මක් ලැබුනේ සුනන්දා කුමාරිරත්න බිසවටයි. මෙම රජ පවුලට ඍතුවෙන් ඍතුවට
වෙන් වූ රජ මාළිගා තිබුනි. 1880 වසරේ ග්‍රීස්ම සමයක මාළිගාව වෙත සුනන්දා බිසව ගමන්
කරමින් සිටියා ය. 19 වියෙහි වූ ඇයට අවුරුදු දෙකක් වයසැති දරුවෙක් සිටි අතර තවත් දරුවෙක්
ලැබීමට නියමිතව තිබුනි.
මෙම මාළිගාව වෙත යාමට ගඟක් තරණය කළ යුතු විය. තරණය කරමින් සිටි විට
බිසව හා ඇගේ ළමයා සිටි බෝට්ටුව එක් වරම පෙරලුනි. සුනන්දා බිසව තමන් සමග පැමිණි සේවක
සේවිකාවන්ගෙන් උද්ව් ඉල්ලුව ද කිසිවෙක් ඔවුන්ට උදව් කළේ නැත. ගමේ මිනිසුන් ද බිසව හා
ඇයගේ අවුරුදු දෙකක් වියැති ළඳරුවා දියේ ගිලෙන සැටි ගොඩබිමේ සිට බලන් සිටියා විනා කිසිවෙකු
උදව්වට පැමිණියේ නැත.
මෙසේ කිසිවෙක් උදව්වට නොපැමිණියේ එරට තිබූ නීතියක් නිසාවෙන්. කිසිවෙකුට
රජ පවුලේ අයෙක් ව ස්පර්ෂ කළ නොහැකි අතර එසේ කළහොත් හිමි වූ දඬුවම වූයේ මරණය යි. කුඩා
උදව්වකින් ජීවිත තුනක් බේරාගැනීමට තිබූ අවස්ථාවේ රාජකීය නීතියක් නිසා අහිමි වූයේ ඒ
අයුරින්. රජතුමා මෙම සිදුවීම ගැන බොහෝ කනස්සල්ලට පත් වූ අතර එරට රාජකීය බිසවක් සඳහා
වූ විශාලතම අවමගල්‍ය උත්සවය පැවැත්වීමට මෙම රජු කටයුතු කරයි.
මෙවන් නීති ලංකා ඉතිහාසයේ දීත් දක්නට ලැබේ. රජතුමාව ස්පර්ෂ කිරීම දඬුවම්
ලැබිය හැකි ක්‍රියාවක් ලෙස එකල සළකන ලදි. හයවන විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ දී ඔහුගේ
පුත්‍රයන් තිදෙනෙක් වන බුවනෙකබාහු, මායාදුන්නේ හා රයිගම් බණ්ඩාර එක්ව කුමන්ත්‍රණය කර
රජතුමා මරා රජකම ලබා ගනියි. මුල දී ඔවුන්ට තම පිය රජුව මැරීමට අවශ්‍ය වූයේ නැත. නමුත්
පිය රජතුමා ඔවුන්ව මැරීමට උත්සහ දැරීම නිසා එම තීරණයට එළබීමට ඔවුන්ට සිදු විය. මෙය
විජයබා කොල්ලය ලෙස හැදින්වේ.[1] නමුත් රජුව මැරීම සදහා කෙනෙක් ව තෝරාගැනීමේ
දී ඔවුන්ට පැනයක් නැගුනේ රාජකීය ලේ ඇති අයෙක් ඝාතනය කිරීම දැඩි පිළිකුලට භාජනය වන නිසා කිසිවෙක් මේ සඳහා කැමති
කරවා ගත නොහැකි වීමයි. නමුත් අවසානයේ දී සෙලම්බා නැමැති ආගන්තුකයෙක් විසින් රජුව ඔහුගේ
කුටිය තුලදී ම ඝාතනය කරයි.
ජනප්‍රවාදයක මෙවන් කතාවක් ද තිබේ. දෙවන රාජසිංහ රජු දිනක් තම සේවකයන්
පිරික්සීම උදෙසා ගඟේ පිහිනමින් සිටින විට තමන් ගඟේ ගිලෙන්නට යන ලෙසට හඟවන ලදි. ඉවුරේ
සිටි එක් රාජපුරුෂයෙක් රජුව අතින් අල්ලාගෙන ගොඩට ආවේ ය. ඔහුගේ නිර්භීතකම හා රජුව බේරා
ගැනීම නිසා ඔහුට බොහෝ තෑගි බෝග ලැබුණි. නමුත් රජතුමා ඔහුගේ අත අල්ලාගන්නා තෙක් නොසිට
රජුගේ අත ඔහු අල්ලාගෙන ගොඩට ඒම නිසා චාරිත්‍රක් කඩ කිරීමට ඔහුට දඩුවම් හිමි විය.
පාද සටහන්
[1] විජයබා කොල්ලය
6 වන විජයබාහු රජතුමා රජකමට පත් වීමට පෙර [කෝට්ටේ රාජධානිය] පිරිමි
දරුවන් සිව් දෙනෙක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටියේ ය. වැඩිමහල් පිරිමි දරුවා ලාබාල
වියේදී ම මියයයි. අනෙක් පිරිමි ළමයින් තිදෙනා බුවනෙකබාහු, මායාදුනේ සහ රයිගම් බණ්ඩාර
ලෙස හැදින්වේ. විජයබාහු රජතුමා රජ වීමට පෙර එක ගේ කෑම චාරිත්‍රයට අනුකූලව සිටි බවත්
කියැවේ. රජකමට පත්වූ පසු ඔහු කීරවැල්ලේ පරපුරෙන් කුමාරිකාවක් හා විවාපත් වේ. ඇයගෙන්
රජුට පිරිමි දරුවෙක් ලැබුනු අතර ඔහු දේව රාජ නම් වේ.
රජතුමා මෙම කුමාරයාට ඉතා ලෙන්ගතු වූ අතර අනාගතයේ දී තමන්ගෙන් පසු රජකම
ඔහුට ලබාදීමට රජු සිතයි. රජතුමා තමන්ගේ මෙම අදහස තම ඇමතිවරුන් වන කදුරේ බණ්ඩාර හා ඒකනායක
මුදලි යන අයට කියයි. මෙය අනෙක් සහෝදරයන් තිදෙනාට ආරංචි වේ. සාමාන්‍යයෙන් රජකම හිමිවිය
යුත්තේ වැඩිමලාටයි. [නමුත් රජකම ලැබීමට එකම සුදුකම ජේෂ්ඨත්වය පමණක් නොවේ. කුමාරයන්ගේ
ධෛර්‍යය, වීරත්වය, කැපවීම හා දස්කම් ආදිය ද සලකා බලයි]
රජතුමා දේවරාජ ට රජකම ලබා දීමට යන බව දැනගත් නිසා ඒ සඳහා කුමක් හෝ
කල යුතු යැයි සිතාගෙන භික්ෂුවකගේ ආධාරයෙන් කුමාරවරු තිදෙනා නුවරින් පිටව යයි. ඉන්පසු
මායාදුන්නේ උඩරට ට ගොස් එහි රජව සිටි වික්‍රමබාහු හමුවී සියල්ල විස්තර කර කෝට්ටේ රාජධානියේ
රජකම ලබාගැනීමට උදව් ඉල්ලයි. ඔහුගේ සහයත් ඇතිව සහෝදරවරු තිදෙනා හමුදා සමග කැළණිය අවට
කඳවුරු බැඳ ගනියි.
ඔවුන්ගේ පලමු ඉල්ලීම ලෙස තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කල ඇමතිවරු දෙදෙනා ඉල්ලා සිටි අතර එයින් එක් අයෙක් මරා දැමුනු අතර අනෙකා [ඒකනායක මුදලි] පලාගොස් භික්ෂූන්ගේ රැකවරණය යටතේ සිටියි. ඉන්පසු මාලිගාව වටලන ලදි. මාලිගාව වටේ හමුදාව රඳවා තබා සහෝදරවරු තිදෙනා පමණක් මාලිගාව තුලට යාමට අදහස් කරයි. මෙය දැනගත් විජයබාහු රජු මාලිගාවේ දොරටුවක් අසල දරුණු භටයින් හැට දෙනෙක් රඳවා තබන ලදි. දොරටුව අසලට පැමිණෙත්ම අහම්බෙන් ඔවුන්ට සත් හැවිරිදි දේවරාජ කුමාරයා හමුවේ. ඔවුන්ව මැරීමට සෙබලු සැඟවී සිටින බව මෙම කුඩා කුමාරයා පවසයි. එසැනින් කුමාරවරු තිදෙනා තම හමුදාවන් වෙත දිව යයි. පසුව ඔවුන් මාලිගයට තුලට විත් පිටස්තරයෙක් ලවා රජුව මරවයි.
මූලාශ්‍ර:
- ලංකාව පෘතුගීසි යුගය - පෝල් ඊ. පීරිස්
- මග දිගට ජනකතා - ඩී.පී. වික්‍රමසිංහ
- The vintage news website