Wednesday, July 28, 2021

සක් දෙවිඳුගේ අඳෝනව (කෙටි කතාව)


අපේ ගමේ පැරණිතම වෙළඳසැල හිමිව තිබුනේ පිට ගමකින් පැමිණි මදාන් නම් වූ මුදලාලි හට යි. ඔහු ගමේ සිටි පොහොසත් ම ව්‍යාපාරිකයා විය. ඔහුගේ වෙළඳසැලේ තිබෙන සමහර බඩු බාහිරාදිය අහල ගම් හතකවත් දක්නට ලැබුනේ නැත. මේ නිසා ඔහු ඒවා අධික මිලකට ලකුණු කළේ ය. භාණ්ඩ අධික මිලකින් යුක්ත වූවත් ගමේ උදවියට මදාන්ගේ වෙළඳසැලෙන් එම භාණ්ඩ මිලදී ගන්නවා විනා වෙන තැනකින් ඒවා ගන්නට තැනක් තිබුනේ නැත. එම නිසා ඔහු දිනෙන් දින පොහොසත් විය.

ඔහු තම වෙලඳසැලේ විදේශීය භාණ්ඩ විකිණීමට පටන් ගත්තේ මුල් කාලයේ පටන්ම ය. ඔහුගේ නෑදෑ හිතවතුන් බොහොමයක් විදේශගතව සිටින බැවින් ඔවුන් ලවා විදේශීය භාණ්ඩ බොහොමයක් ලංකාවට ගෙන්වා ගත්තේ කුණු කොල්ලයට ය. ඉන්පසු මදාන් ඒවා රන් මෙන් විකුණ යි. ඔහු මෙම භාණ්ඩ වලින් අසාධාරණ ලාභයක් අත්කරගන්නා බව ගමේ ඈයෝ නොදන්නවා නොවේ. නමුත් ඔවුන්ට ඒ සදහා කරන්නට දෙයක් නැත.

කාලයක් ගත වූ පසු මදාන් හදිසියේ රෝගාතුර විය. එසේ රෝගාතුර වී සුමාන තුන හතරකින් ඔහු මළේ ය. මළගෙදරත් ජයටම සිදු විය. මළගෙදරින් පසු ඔහුගේ නිවස අස් පස් කරමින් සිටි අතරතුර මදාන්ගේ දිනපොතක් හමුවිය. මදාන් ව්‍යාපාරිකයෙක් නිසා ඔහු සෑම දෙයක් ම ලියා තබා ගැනීම සිරිතක් කොට ගත් අයෙකි. මෙම දිනපොතේ එක් තැනක මෙසේ සදහන් වී තිබුණි.

‘මේ සතියේ මගේ ලාභය රුපියල් විසි දාහයි. මේ හැම සල්ලියක් ම බැංකුවේ දාන්නත් බැහැ. මෙච්චර හම්බකරලා අන්තිමට මට ආදායම් බදු ගෙවන්න උනොත්. ඇරත් ගෙදර මිනිස්සු මම මෙච්චර හම්බකරනවා කියලා දැනගත්තොත් විසුමක් වෙන්නේ නෑ. අරවා ගමු; මේවා ගමු කියලා සල්ලි ටික ඉවර වෙනකන් මතුරන්න ගනියි. ඒ නිසා මේ සල්ලි මම ගෙදර හංගනවා.’

සුමාන දෙක තුනකින් පසු දිනපොතේ මෙසේ සටහන් විය.

‘මම හංගපු සල්ලි වලින් රුපියල් දහදාහක් නැති වෙලා තියෙනවා. මම මේ සල්ලි හංගන බවක් කාටවත් කිව්වේ නෑ. අනිවාර්යෙන් මගේ ගෑනි මේ සල්ලි අරගන්න ඇත්තේ. ගිය සතියේ අලුත් සාරියක් අරන් ඕනේ කිව්වම මම බෑ කිව්වනේ. ඒකටත් එක්ක තරහෙන් ගන්න ඇත්තේ. එක්කෝ ගෙදර වැඩකාරයෝ ගත්තා වෙන්න බැරි නෑ. මට ඔය මිනිස්සුන්ව නම් සතේකට විශ්වාසයක් නෑ. අපේ ගෙදර අවුරුදු නමයක් තිස්සේ වැඩ කරන සිරිදාසව වත් මට විශ්වාස නෑ. මගේ ලොකු ළමයි දෙන්නත් විනෝද ගමනක් යන්න කියලා සල්ලි ඉල්ල ඉල්ල හිටියා. උන් දෙන්න ගත්තා වෙන්නත් පුලුවන්’

තවත් දින දෙකකින් පසු මදාන්ගේ දිනපොතේ කලබල අකුරින් මෙසේ සටහන් විය.

‘ඕකා තමා ගන්න ඇත්තේ. තව ටිකක් ගැහුවා නම් සිරිදාස ගත්තු සල්ලි නිකන්ම වමාරන්න තිබ්බා. කොහෙද අපේ ගෙදර එවුන් මට ගහන්න දුන්නේ නෑනේ. මම සිරිදාසව රස්සාවෙන් අස් කරා.’

සුමානයක් ගත විය. මදාන්ගේ දිනපොතේ මදාන් මෙම සොරකම ගැන ඊළඟට සිදු කිරීමට යන දේ ගැන එහි සදහන් විය.

‘මම යනවා සාස්තරයක් අහන්න. හොද ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා කියලා මට ආරංචි වුනා. ටිකක් දුර වුනාට මම යනවා එයාගෙන් සාස්තරයක් අහගන්න.’

මදාන් රුපියල් පන්දහසක් ගෙවාගෙන වාහනයක් ගෙන දුර බැහැර සිටි සාස්තර ගුරුන්නාන්සේ හමුවට ගියේ ය. එහි දී ගුරුන්නන්සේ දේවාරූඩ වී මදාන් හට සිදු වී ඇති දේ පවසා සිටියේ ය.

“රුපියල් දහදාහා නැතිවෙලා තියෙන්නේ පහුගිය මාසේ පෝය දවසට කලින් දවසේ.” දේවාරූඩ වූ ගුරුන්නාන්සේ කියා සිටියේ ය.

“ඔය දහදාහා නැති වුන දවසේ සුර ලෝකයේත් ලොකු කැලඹීමක් වෙලා තියෙනවා.”

“මොකක්ද ගුරුන්නාන්සේ වෙලා තියෙන්නේ?” මදාන් අත් දෙක වැඳ ගනිමින් කියා සිටියේ ය. ගුරුන්නාන්සේ සිදුවී ඇති දේ විස්තර කළේ ය.

පොහොය දිනයේ දී සක්‍ර දේවේන්ද්‍රයාගේ හිතවතෙක් වූ විශ්ණු දේව රාජයා සක්‍රයා හමුවට ඔහුගේ වාස භවනට ගියේ ය. එහි යන විටත් එහි වූ සේවිකාවන් පවසුවේ සක්‍රයා දිනකින් තම නිවසින් බහැරට නොගිය බවයි. විශ්ණු එහි යන විට සක්‍රයා ඇඳ මත එක් පැත්තකට ඇලවෙමින් වැතිරී උන්නේ ය.

“ඔයා දවස තිස්සෙම මේ වාස භවනෙන් එළියට ආවේ නැහැ කියන්නේ ඇයි? ඔයා බොහොම වේදනාවකින් වගේ ඉන්නේ” විශ්ණු ඇඳේ වැතිරී සිටි සක්‍රයාගෙන් අසා සිටියේ ය.

“බලන්නකෝ මට වෙච්ච දේ. මගේ පශ්චාත් භාගය හොදටම පිච්චිලා.” සක්‍රයා දුක්මුසු මුහුණින් කියා සිටියේ ය. සක්‍රයාගේ අසුන හදුන්වන්නේ පඬුපුල් අසුන ලෙසයි. පෘතුවියේ සිටින මිනිසුන් වැරදි ක්‍රියා වල නිරත වන විට සක්‍රයාගේ මෙම පඬුපුල් අසුන රත් වේ. එවිට සක්‍රයාට එහි අසුන් ගෙන සිටිය නොහැකි යි. පඬුපුල් අසුනේ රස්නය නිවීමට නම් වැරදි කල වුන්ට සක්‍රයා දඬුවම් ලබා දිය යුතු වේ.

“පහුගිය කාලෙම මට හරියට මගේ ආසනේ ඉඳගෙන්න ඉන්න ලැබුනේ නැහැ. මගේ ආසනේ හොදටම රත් වෙලා.”

“ඉතින් ඔයාට තියෙන්නේ වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්න නේ. ඕක මහ දෙයක් ද?” විශ්ණු තම මිත්‍රයාගෙන් අසා සිටියේ ය.

“මේ අපි ආරක්ෂා කරන්න පොරොන්දු වෙච්ච ලංකාවේ මිනිස්සු. මේ වැරදි කරන මිනිස්සු ම මට උදේ හවා පූජා වතාවත් කරනවා. එහෙව් එකේ මම කොහොම ද ඒ මිනිස්සුන්ට ම දඬුවම් කරන්නේ? ඒ නිසයි මගේ පශ්චාත් භාගය පිච්චෙනකන් ම මම ඉවසගෙන හිටියේ. ඒ විතරක් යැ; හින්දු ආගමිකයාට, ක්‍රිස්තියානි ආගමිකයාට විතරක් දඬුවම් දෙන්න ගත්තොත් සුළු ජාතීන්ට විතරක් දඬුවම් කරනවා කියලා මට බනීවි. ඕවා අහන් ඉන්න පුලුවන් කතා ද?” සක්‍රයා තම දුක විශ්ණු හට කියා සිටියේ ය.

“මගේ පුටුව රත්කරන්න සෑහෙන කාලෙක ඉදන් දායක වෙච්ච කෙනෙක් ඉන්නවා මදාන් කියලා. එයා පිටරට ඉන්න නාදෑයෝ සහ හිතවතුන්ගෙන් කුණු කොල්ලෙට භාණ්ඩ ගෙන්නගෙන ගමේ මිනිස්සුන්ට අසාධාරණ ලාභයක් තියාගෙන විකුණනවා. සමහර ඒවා මේ මදාන්ට ලැබෙන්නේ නොමිලේ. ලංකාවේ ඉන්න අසරණ දුප්පත් අයට පිහිට වෙන්න කියලා පිටරට එකතු කරගන්න ආධාරත් එවනවා මේ මදාන්ට. අසරණ මිනිස්සුන්ට නොමිලේ බෙදන්න තියෙන එකත් ලොකු මුදලකට විකුණලා ලාභ ගන්නවා.” සක්‍රයා තවදුරටත් කියා සිටියේ ය.

“මේක කවදාහරි නවතින්න එපැයි. අපි ලංකාවේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පොරොන්දු වුනේ ඒ මිනිස්සු යහපත් ජීවිතයක් ගත කරනකන් විතරයි. යහපත් ජීවිතයෙන් බහැර වුනොත් අපි අනිවාර්යෙන්ම දඬුවම් කරන්න ඕනේ. අපිට දවස ගානේ පූජා කරන අයට පවා.” විශ්ණු සක්‍රයා අස්වසමින් උපදෙස් දුන්නේ ය.

මේ අතර දේවාරූඩව සිදු වී අති දෙය විස්තර කල ගුරුන්නාන්සේ දේවාරූඩය එකවර සිරුරෙන් ඉවත්ව ගියේ ය. ඉන්පසු සිදු වී ඇත්තේ කුමක් දැයි ගුරුන්නාන්සේ මදාන්ගෙන් නැවත අසා සිටියේ ය. පුපුරන්න තිබෙන බෝම්බයක් මෙන් බලාගෙන සිටි ගුරුන්නාන්සේ මදාන් තම කතාව කියූ විගස “බැහපිය දොට්ට” කියමින් මදාන්ගේ කන හරහා පහරක් ගසා සිටියේ ය.

එදින රාත්‍රියේ මදාන්ගේ දිනපොතෙ හි මෙසේ සටහන් විය.

‘අද ගුරුන්නාන්සේ හමුවෙලා ආපු වෙලාවේ ඉදන් හොදටම අඟපතට මහන්සියි. ඇඟත් රත් වෙලා. උණ වගේ.’

[මෙම කෙටි කතාව ප්‍රබන්ධයකි.]



Sunday, July 25, 2021

ෆෙන්සිං


මේ දවස්වල ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන නිසා සමහරවිට මම වගේ ඔයාලත් ඒ ඒ තරඟ නරඹනවා ඇති කියලා හිතනවා. මේ තරඟ අතරේ ලාංකිකයන්ට එක් නුහුරු තරඟයක් තියෙනවා. ඒ තමයි ෆෙන්සිං. සරලව ගත්තොත් කඩු ෆයිට්. මැන්ඩියට ඉන්න දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. එක්කෙනෙක් ඉස්සරහට එනවා. අනිකා පස්සට යනවා. පොඩි තට්ටුවක් දාපු හැටියේ ලයිට් එකක් පත්තු වෙනවා. චිත්‍රපට වල තියෙනවා වගේ මරාගන්න විදිහට කඩු ෆයිට් එක වෙන්නේ නැති නිසා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේ තරඟය තරමක් නුහුරුයි.

ඔය ෆෙන්සිං ක්‍රීඩාව ලංකාවට හදුන්වාදෙන්නේ 2008 වගේ මෑත කාලයේ. ලංකාවට මෑත කාලයේ හදුන්වලා දුන්නට ඔලිම්පික් තරඟවල පැරණිතම තරඟ පහෙන් එකක් තමා ඔය ෆෙන්සිං කියන්නේ. මුල් කාලයේ මේ ක්‍රීඩාව පැවතුනේ ක්‍රීඩා සමාජ වල විතරයි. පාසලක මේ ක්‍රීඩාව පලමුවෙන් ම පටන් ගන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. මේ ක්‍රීඩාව හදුන්වලා දෙනකොට මම ඒ පාසලේ උසස් පෙළ කරපු සිසුවෙක්. අපිට දැනගන්න ලැබුනා ඉස්කෝලේ ඉවර වුනාට පස්සේ අලුත් ක්‍රීඩාවක් හදුන්වාදීමේ වැඩසටහනක් ඉස්කෝලේ ජිම් එකේ තියෙනවා කියලා. ඉතින් අපිත් ගියා බලන්න.

එතනදි තමා මම පලවෙනි වතාවට දෙන්නෙක් ෆෙන්සිං කරනවා සජීවීව දැක්කේ. වඩසටහන අවසන් වුනාට පස්සේ කිව්වා මේ ක්‍රීඩාවට කැමති අය නම් ලබාදෙන්න කියලා. ඒ වෙනකොට මම ක්‍රීඩා කිහිපයක් ම කරා. චෙස්, රයිෆල් ෂූටිං (වෙඩි තැබීම) සහ ආචරි (දුන්නෙන් විදීම). නමුත් මේ අලුත් ක්‍රීඩාවත් කරලා බලන්න ඕනේ කියලා හිතුන නිසා මම ෆෙන්සිං වලට බැඳුනා. ගෙදර ආවට පස්සේ අම්මා ඇහුවා යුද්ධෙටවත් යන්න හිතන් ඉන්නවද කියලා. 

මේ ක්‍රීඩාවෙදී කඩු වර්ග තුනක් තියෙනවා. අපි තෝරගන්න කඩු වර්ගය අනුව තමා දිගටම සෙල්ලම් කරන්න වෙන්නේ. තරඟාවලියක් වුනත් තියන්නේ ඒ ඒ කඩු වර්ග අනුව. තරඟයක් සිදු වෙන්නේ එකම කඩු වර්ගය තියෙන දෙන්නෙක් අතර. ෆොයිල්, එපී සහ සේබර් තමා කඩු වර්ග තුන. ඒ ඒ කඩුව අනුව තරඟයේ නීති වෙනස්. මේ කඩු වර්ග තුන අල්ලන විදිහ වුනත් එකිනෙක වෙනස්.

ෆොයිල් කඩුවට ග්‍රෑම් 500ක විතර ස්කන්ධයක් තියෙනවා. මේ කඩුව කෙරවලේ පොඩි බොත්තමක් තියෙනවා. ඒ බොත්තම ග්‍රෑම් 5ක විතර ස්කන්ධයකට එබෙනවා. ෆොයිල් කඩුවෙදී පහර දෙන්න පුලුවන් තුනටියෙන් උඩ සහ බෙල්ලෙන් පහල කොටසට විතරයි. පහර දෙනකොට කඩුවේ පැත්තක් වදින්න බැහැ. අර කිව්ව බොත්තම එබෙන්න ඕනේ. මොකද කඩුවට සම්බන්ධ කරපු වයර් එකක් අපේ අත දිගේ යනවා. ඒක සම්බන්ධ වෙනවා ලකුණු පුවරුවට.බොත්තම එබුන හැටියේ ලයිට් එකක් දැල්වෙනවා. ෆොයිල් වලදි නම් එක් ක්‍රීඩකයෙක් පහර දෙනකොට අනික් ක්‍රීඩකයා ඒ පහර වලක්වන්න ඕනේ. දෙදෙනාට ම එකවර පහර දෙන්න බැහැ.

සේබර් කඩුවටත් ග්‍රෑම් 500ක විතර ස්කන්ධයක් තියෙනවා. මේ කඩුවෙන් පහර දෙන්න පුලුවන් තුනටියෙන් උඩ කොටසට විතරයි. හිසත් ඇතුලුව. මේ කඩුවේ බොත්තමක් නෑ කඩුව අග. කඩුවේ පැත්තක් වැදුනත් ළකුණු ලැබෙනවා.

අනිත් කඩුව තමා එපී. මේ කඩුව අනික්වට වඩා ස්කන්ධය වැඩියි. ඒකට තියෙන්නේ ග්‍රෑම් 775ක සකන්ධයක්. මේ කඩුවේ නම් හිසේ සිට දෙපතුල දක්වා සරුවාංගේ ඕනම තැනකට පහර දෙන්න පුලුවන්. ක්‍රීඩකයන් දෙදෙනාටම එකවර පහර දෙන්නත් පුලුවන්. ඉතින් මම තෝරගත්තේ එපී.

මේ ක්‍රීඩාව කරද්දී අඳින ඇඳුම ඇන්දම පෝරණුවක් අස්සේ ඉන්නවා වගේ. පුදුම රස්නයක් තියෙන්නේ. ඇඳුමට යටින් තවත් ආවරණයක් පලදින නිසා ආරක්ෂාවත් තියෙනවා. කලින් කිව්වා වගේ පාසලක ෆෙන්සිං පලමුවෙන් පටන් ගත්ත පාසලේ පලමු ෆෙන්සිං කණ්ඩායමට ඇතුලත් වෙන්න මටත් හැකියාව ලැබුනා. ක්‍රීඩාවලින් ඉදිරියට යන්න මගේ උවමනාවක් තිබ්බේ නැති නිසා උසස් පෙළින් පස්සේ ඒ ක්‍රීඩාව අත හැරියා. මේ සටහන කියවපු ඔයාට මෙවර ඔලිම්පික් ෆෙන්සිං ක්‍රීඩාව නරඹනකොට පැහැදිලි අදහසක් ඇතිව නරඹන්න පුලුවන් වේවි කියලා හිතනවා.



Thursday, July 22, 2021

සීගිරියේ ශෝකාලාපය (කෙටි කතාව)

 

පියදාස කහටගමගේ මැදි වියේ වූ ලේඛකයෙකි. තම තුරුණු වියේ පටන් කෙටි කතා නවකතා රචනා කරමින් ඉමහත් පාඨක ප්‍රතිචාරයක් දිනා ගත් රචකයෙක් වූ නිසා ඔහු තම පත්තර කන්තෝරු රස්සාව අතහැර වෘත්තීය ලේඛකයෙක් බවට පත් විය. දිනක් පුවත්පත අතට ගෙන බැලූ විට ඔහුගේ ඇස ගියේ සාහිත්‍ය අතිරේකයේ ලොකු අකුරින් වූ දැන්වීම වෙතට යි.

‘...වසරේ හොදම නවකතාව සඳහා වූ තරඟයට අත් පිටපත් බාරගන්නා අවසන් දිනය අගෝස්තු මාස 15 වන දිනෙන් අවසන් වේ…’

කලක පටන් නවකතාවකට උචිත කතාන්දරයක් පියදාසගේ සිතේ සක්මන් කරමින් තිබුණි. අත් පිටපත් බාරගැනීමටත් තව මාස දෙකක පමණ කාලයක් තිබෙන බැවින් ඔහුට මෙම කාලය සම්පූර්ණයෙන් තම පොත සදහා වෙන් කලහොත් නියමිත කාලයට කතාව ලියා බාරදිය හැකියි. ඔහු ලිවීමට සිතා සිටියේ සීගිරියේ කාශ්‍යප රජතුමා ගැන ප්‍රබන්ධ කතාවකි. පියා මැරූ රජෙක් අලලා කතාව ගෙන යෑම ඔහුගේ අරමුණ විය.

නවකතාව ලිවීම සදහා මානසිකත්වය සාදා ගැනීමටත් නිදහසේ ලිවීමටත් නිසා පියදාස නවකතාව ලිවීමට සීගිරියට යාමට තීරණය කළේ ය. කොළඹ නගරයේ පදිංචිව සිටි තනිකඩයෙක් වූ මොහු පුවත්පත් දැන්වීම කියවූ පසු දින ම තම මල්ලට ඇදුම් කිහිපයක් දමාගෙන සීගිරිය කරා යෑමට පිටත් වුනේ ය. 

ඔහු සීගිරියේ නවාතැන් ගත්තේ සීගිරිය පෙනන මානයේ තිබූ හෝටලයක යි. එම හෝටලයේ සීගිරිය පෙනෙන අන්දමට නිවිහැනහිල්ලේ සිටිය හැකි අන්තයක් සාදා තිබුනු බැවින් පියදාසට කලබලයකින් තොරව නවකතාව ලිවීමට එතැන සුසුසු ස්ථානයක් විය. 

පළමු දින ඔහු ගතකලේ සීගිරිය නැරඹීමෙනි. කැටපත් පවුර, සීගිරි සිතුවම් ඇතුලු අනෙකුත් ස්තාන* සියල්ල ඔහු ඉතා ආසාවෙන් නැරඹීමෙහි නිරත වූයේ ය. ඔහු මීට පෙර සීගිරිය නැරඹීමට පැමිණියේ වසර පහළොවකට ඉහතදී යි. එතරම් කාලයක පසු පැමිණි නිසා පියදාසට සීගිරිය ගැන දැනුනේ පෙර දී නොදැනුනු හැඟීමකි. ඔහු සීගිරියේ සක්මන් කරමින් සිටි අතරතුර සීගිරි සිතුවම් දෙස සෑහෙන වේලාවක් බලාගෙන සිටි කාන්තාවක් දුටුවේ ය. එතරම් වෙලාවක් ඒ දෙස බලාගෙන සිටි නිසා ඇයත් සමග කතාබහ කල යුතු යැයි ඔහුට හැගුණි. 

පියදාස ඈ වෙත ගොස් “මේ කාන්තාවෝ දෙන්නට කිව්වේ මේඝලතා සහ විජ්ජුලතා කියලා” යැයි කීවේ ය.

එකවර පැමිණි මේ අමුත්තා දෙස සිනාමුසු මුහුණින් බැලූ ඈ “එහෙම කිව්වේ කව් ද?”

“පරණවිතාන මහත්තයා තමා කියලා තියෙන්නේ.” පියදාස කීය. “මම පියදාස, සීගිරිය ගැන ප්‍රබන්ධ කතාවක් ලියන්න කියලයි සීගිරියට ආවේ.”

“ඒ කියන්නේ මෙහෙ නැවතිලද ඉන්නේ” ඇය පියදාසගෙන් අසා සිටියා ය.

“ඔව් මම මේ කිට්ටු හෝටලේක නැවතිලා ඉන්නේ”

දෙදෙනාගේ කතාබහ එතරම් දුරට ඇදී ගියේ නැත. චිත්‍ර ගැන මිනිත්තු කිහිපයක් කතා කර පියදාස එතැනින් නික්ම ගියේ ය. ඔහු නික්ම ගිය විටත් ඇය නැවතත් චිත්‍ර දෙස පෙර පරිදි ම සීගිරි චිත්‍ර දෙස බලා සිටියා ය.

පියදාස පසු දින උදයේ නැගිට නවකතාව ලිවීම ආරම්භ කළේ ය. ඔහු ලිවීම සඳහා සීගිරිය පෙනෙන ආකාරයට සාදා තිබූ නැරඹුම් මැදිරියේ මේසයක් වෙත ගොස් ලිවීමේ කටයුත්ත ආරම්භ කළේ ය. පැය කිහිපයක් ගතවිය. දැන් සවස හතරට පමණ ය. පියදාස ලියමින් සිටි අතරතුර කවුරුන් හෝ තමන් දෙස බලාගෙන සිටිනවා යැයි ඔහුට හැඟුණි. ඔහු තම හිස ඉහළට ඔසවමින් දෙපස බැලීය. 

ඒ පෙර දින සීගිරියේ දී පියදාසට හමු වූ කාන්තාව යි. පියදාස තමන් ව දුටු බව දැනගත් ඒ කාන්තාව සිනාවෙමින් ඔහු වෙත පැමිණ, “මම එනකොට ඔයා ලිය ලිය හිටියේ. ඉතින් ඔයාට කරදර කරන්න හොද නෑ කියලා හිතලා පැත්තකට වෙලා හිටියා” යැයි කීවා ය.

“මොන කරදරයක් ද අනේ, මම මේ කතාව ගොතන ගමන් ඉන්නේ”

“මමත් උදව්වක් කරන්න ද?” ඇය පියදාස සිටි මේසයට පුටුවක් ඈඳමින් කියා සිටියා ය.

“ඒකනම් ලොකු උදව්වක්.”

“හරි එහෙනම් අපි මෙහෙම ගමුකෝ. ඔයා හිතන්නේ සීගිරිය කාශ්‍යප හැදුවා කියල ද?”

“පොත් වල තියෙන්නේ නම් කාශ්‍යප කියලනේ. රාවණා කතාත් තියෙනවා ඉතින්. ඒවට නම් මම අමුතුවෙන් ගොතන්න කතාවක් නෑ. ගෙතිලනේ තියෙන්නේ.” පියදාස සිනාසෙමින් කියා සිටියේ ය.

“අපි කතාවට කාශ්‍යප රජතුමාගේ සහෝදරියව සම්බන්ධ කරමු.”

“කාශ්‍යපගේ සහෝදරිය?” පියදාස පුදුමයෙන් ඇසී ය.

“ඔව් ධාතුසේන රජතුමාට දුවෙක් හිටියා. අපි එයා ගැන කතාවක් ගොතමු.”

“ඒක හොදයි. දැන් කොහොමද එයාව සීගිරියට සම්බන්ධ කරන්නේ”

“අපි කියමු සීගිරිය හැදුවේ කාශ්‍යප නෙමේ කියලා. කාශ්‍යපට කලින් ධාතුසේනගේ දුව නිසා සීගිරිය හැදුව යි කියමු.”

“හේතුව?”

“ධාතුසේන රජතුමාගේ දුව හරි දක්ෂ කෙනෙක්. එයා නව නිපැයුම් කරපු කෙනෙක්. දවසක් මේ දුව හදනවා විශාල යානාවක්. මේකෙන් එකපාරට නගරයක් වුනත් ගිනිතියන්න පුලුවන් යානයක්. ඒ යානයට අහසින් වුනත් යන්න පුලුවන්. මේ තරම් භයානක යානයක් නිපදවපු නිසයි ධාතුසේන සීගිරි බලකොටුව හදලා තමන්ගේ දුවව එතන හිර කරන්නේ.”

“ඒක ලස්සන කතාවකට හොද ආරම්භයක් වේවි.”

“අනිවාර්යෙන් ම. කතාවේ ඊලඟ කොටසටත් මට හොද අදහසක් තියෙනවා.”

“ඉතින් කියමුකෝ.” පියදාස ඉතා ඕනෑකමින් කතාවේ ඉතිරි කොටසත් ඇයගෙන් අසා සිටියේ ය.

“සීගිරියේ ඉන්නකොට ධාතුසේනගේ දුවගේ හිතවත් සේවිකාවන් දෙන්නෙක්ව තමා සීගිරි චිත්‍ර වල ඇඳලා තියෙන්නේ.”

“සීගිරි චිත්‍රත් කතාවට ගාවත්ත එක නම් සෑහෙන්න හොදයි. ප්‍රබන්ධ කතාවට ඒක ලස්සන අංගයක් වේවි.”

“දවසක් ධාතුසේනගේ දුවට පුලුවන් වෙනවා අර සේවිකාවන්ගේ උදව්වෙන් බලකොටුවෙන් පැනලා යන්න. පැනලා ගිහින් කෙලින් ම යන්නේ තමන් හදපු යානයට. එතනට ගිහින් තනියම ඒක පදවනවා.”

“එතකොට අර උදව්කරපු සේවිකාවෝ දෙන්නා”

“ඒ දෙන්නා ධාතුසේනගේ දුවව බේරන්න ගිහින් මියයනවා.”

“ඒක ගැනත් ලස්සනට ලියතැහැකි. ඉතින් ඊට පස්සේ..”

“කොහොමහරි යානය පදවලා වැඩි වෙලා යන්නේ නැහැ, ධාතුසේනගේ හමුදාවට ඒ යානය බිම වට්ටන්න. කැලෑවේ තිබුනු ඒ යානය නගරයට යන්න නොදෙන්න සිය ගණනක් මිනිස්සු මැරුණා.”

“අච්චර දෙයක් කරන්න පුලුවන් කිව්ව යානට එහෙම බිම වැටුනේ කොහොමද?”

“ධාතුසේනගේ දුව එවෙලේ හොදට ම තුවාල වෙලා හිටියේ කියමු. ඒ යානය තනි කෙනෙක්ට පදවන්න පුලුවන් එකක් නෙමේ කියලත් දාමු.”

“දැන් අර යානය බිම වැටුනට පස්සේ මොකද වුනේ?”

“යානයට පහර දුන්නු නිසා ධාතුසේනගේ දුවත් මියයනවා ඒ යානය ඇතුලේම. ඒ යානය ඇතුලෙන් ලොක් වෙන නිසා කාටවත් ම ඒ යානයෙන් දුවව එළියට ගන්න බැරි වෙනවා. ඉතින් ධාතුසේන නියෝග කරනවා මේ යානය හංගන්න.”

“කොහෙද හංගන්නේ?”

“කලා වැව පතුලේ.”

මේ වන විට අඳුර වැටීගෙන එමින් තිබුනි. බැසගෙන යන ඉර දෙස බලාගෙන සිටි මේ අමුත්තිය “මම දැන් යන්න ඕනේ මට පරක්කු වෙනවා. මම ඔයාව හෙට හමුවෙන්නම්.” කියා විගහට නැගිට එතැනින් පිටවී ගියා ය.

පියදාස එතැන් පටන් කල්පනා කලේ තමන් ඇසූ මේ කතාන්දරය ගැන යි. නවකතාවකට නම් ඉතාම උචිත කතාවක් නිසා ඔහු මෙම කතාවේ ඉතිරිය එදින නොනිදාම ගොතන්නට විය.

පසු දිනයේ දී පියදාස නැරඹුම් මැදිරියට වී ඇය එනතුර බලා සිටියේ ය. පැයක් ගත විය. දෙකක් ගතවිය. අවසානයේ දී සවස් විය. ඇය දැන් නම් පැමිණෙන්නේ නැත. පියදාස කතාවේ ඉතිරිය ගොතමින් ඇය ගැනත් සිතමින් දිනයේ ඉතිරිය ගෙවා දැමුවේ ය.

පසු දිනයේ දී පියදාස නරඹුම් මැදිරියට ගියේ ඇය පැමිනෙතැයි බලාපොරොත්තු රහිතවයි. නමුත් සවස තුන පමණ වන විට ඇය නැවතත් පැමිණියා ය.

“මම ඔයා එනකන් ඊයේ බලාගෙන හිටියා.”

“ඊයේ මට පොඩි වැඩක් තිබුනා. ඒකයි ආවේ නැත්තේ.”

“මම කතාවේ ඉතුරු ටික මෙහෙම ගෙතුවා. කාශ්‍යප රජ්ජුරුවෝ, තමන්ගේ සහෝදරිය මරාපු නිසා තමන්ගේ තාත්තා ධාතුසේනව මරනවා කලා වැවේ මැටි ගහලා.”

“අපි ඕකට මෙහෙම දෙයකුත් එකතු කරමු ද?”

“මොකක්ද?”

“ධාතුසේන රජ්ජුරුවන්ගේ දුව ඒ වෙනකොට බැඳලා හිටියේ. එයා බැන්දෙත් ධාතුසේනගේ සෙන්පති කෙනෙක්ව. තමන්ගේ බිරිඳව මරාපු කේන්තියට කාශ්‍යපගේ හිත ධාතුසේනව මරන්න වෙනස් කලේ ඒ සෙන්පති.”

“ඒක හොද කොටසක්. ඊට පස්සේ තමා ධනය දෙන්න කියනකොට ධාතුසේන කලා වැවේ දිය දෝතක් අරන් ‘මේ තමයි මගේ ධනය’ කියන්නේ” යැයි පියදාස කතාවේ ඉතිරිය ඒ අයුරින් කියා සිටියේ ය.

“අපි ඒක මෙහෙම කියමු. කාශ්‍යපට උවමනා වෙනවා ධාතුසේනගේ වස්තුව හොයාගන්න. ධාතුසේන තමන්ගේ දුවට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ නිසා තමා කලා වැව ගාවට ගිහිල්ලා ඒකෙන් වතුර දෝතක් අරගෙන ‘මේ තමයි මගේ වස්තුව’ කියලා කිව්වේ. ධාතුසේන වස්තුව කීව්වේ කලාවැවට නෙමේ කලා වැව පතුලේ ඉන්න තමන්ගේ දුවට.”

පියදාස ඇයත් සමග තවත් බොහෝ වේලා කතා කරමින් කතාවේ අඩුපාඩු සකසමින් සිටියේ ය. ඔහු කතාවේ සදහන් යානයේ හඩහුරුව ද ඇයගෙන් ම අසා සිටියේ ය. මෙසේ දින කිහිපයක් ගත විය. දිනයක් හැර දිනයක් ඇය පියදාස හමුවට පැමිණ කතාබස් කරමින් ඉර බැස යත්ම හෝටලයෙන් පිට වී ගියා ය.

මාස එකහමාරකට පමණ පසු පියදාස තම කෘතිය ලියා නිම කළේ ය. තම පොතෙහි සදහන් දෑ ගැන පාඨකයෝ කෙසේ බාර ගනිති දැයි සැක කල ඔහු අත් පිටපත් බාරගන්නා දිනයට පෙර දිනයේ දී තම අත් පිටපත බාර දුන්නේ ය.

එතැන් පටන් තවත් මාස කිහිපයක් ගත විය. පියදාස සුපුරු පරිදි උදයේ පුවත්පත ගෙන පලමුවෙන් සාහිත්‍ය අතිරේකය පෙරළා ගත්තේ ය. එහි වූයේ අත් පිටපත් තරඟයේ ජයග්‍රාහකයන්ගේ නම් ය. එහි පලමු ස්ථානය දිනා ඇත්තේ පියදාස ය. දැඩි සතුටකින් පිනා ගිය ඔහු මේ බව දන්වීමට ඔහු තමන්ගේ නවකතාවට කතාව කියූ අමුත්තියට දුරකථන අමතුමක් ලබා දුන්නේ ය. නමුත් එයින් ප්‍රථිචාරයක් නොවීය. 

මෙසේ තවත් මාස කිහිපයක් ගත විය. පියදාස තම නෑදෑයින් හමුවට ගොස් සවස් යාමයේ නිවස වෙත පැමිණෙන විට එහි පොලිස් ජීප් රථ කිහිපයක් නවත්වා තිබෙනු දුටුවේ ය. ඒ කුමක් සඳහා දැයි සොයා බැලීමට ඔහු ඒ වෙත පිය මැන්නේ ය.

“අර ඉන්නේ මනුස්සයා.. අල්ලගන්න” එක් පොලිස් නිලධාරියෙක් පියදාස වෙත ඇඟිල්ල දික් කරමින් කෑ ගැසුවේ ය. ඒත් සමගම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පියදාසව වටකරගෙන ඔහුව අල්ලාගෙන ජීප් රථයට දමා ගත්තේ ය.

“අනේ මහත්තයෝ මොකද මේ මාව අල්ලගෙන යන්නේ? මම කරපු වැරැද්ද මොකක් ද?” කිසිවක් සිතාගත නොහැකිව තෘෂ්නිම්භූත වී සිටි පියදාස අසා සිටියේ ය.

“හරියට නොදන්නවා වගේ කතා කරන හැටි. ඔයා අර ලියලා තියෙන පොතේ තියෙන විදිහටම යානයක් ඊයේ රෑ කලා වැවෙන් උඩට මතුවෙලා ගිහින් තියෙනවා. නිකන් නෙමේ සීගිරිය වටේ ඉන්න මිනිස්සු සිය ගණනක් මරාගෙන”

“මොකක්..! ඒක වෙන්නේ කොහොමද? ඒක ගොතපු කතාවක් විතරයි. අනික ඒ කතාව මගේ අදහසකුත් නෙමේ මම හෝටලයේ ඉන්නකොට එහෙ හිටපු ගෑනු කෙනෙක් මට ඔය කතාව ලියමු කිව්වේ. එයත් ගොතපු කතාවක් ඒක.” පියදාස බියෙන් ගහෙමින් කියා සිටියේ ය.

“හරි අපි ඒක හොයලා බලන්නම්කෝ. එතකන් ඔයාට පොලිස් කූඩුවේ ඉන්න වෙනවා.”

කිසිවක් නොදන්නා පියදාස කූඩුවට වී තම නිර්දෝෂීභාවයේ සාක්ෂි පැමිණෙනතුරු බලාගෙන සිටියේ ය. තමන් නැවතී සිටි හෝටලයට ඇතුල් වන සෑම කෙනෙක්ගේ ම විස්තර එම හෝටල් කලමනාකාරීත්වය අරගන්නා අතර යන එන සෑම අයෙක් ගැන සොයා බැලීමට සීසී ටීවී පද්ධතියක් ද එම හෝටලය සතුයි. මේ නිසා බලාපොරොත්තු සහිතව පියදාස සිර මැදිරියට වී සිටියේ ය.

පසු දින සවස් යාමයේ එම හෝටලයට ගිය පොලිස් නිලධාරියා නැවත පොලිස් ස්ථානයට පැමිණියේ ය. ඒ දුටු පියදාස “මහත්තයෝ ඔයාලා හොයාගත්තනේ ඒ ගෑනු කෙනාව?”

“අපි සීසී ටීවී බැලුවා, වටේ පිටේ මිනිස්සුත් එක්ක කතා කරා එහෙම කෙනෙක් හෝටලයට ඇවිල්ලත් නෑ ඉඳලත් නෑ.”

[මෙය ප්‍රබන්ධ කතාවක් වන අතර කතාව තුල ඇති ප්‍රබන්ධය ද ප්‍රබන්ධයකි]



Thursday, July 8, 2021

මානුෂ ගුණාංග වල ආරම්භය

තම පණ නල රැක රැනීමට වෙහෙසුනු මානවයෝ තව මිනිසෙක් වෙනුවෙන් වැය වීම පටන් ගත් අවධිය මානුෂ ගුණාංග වල ආරම්භය ලෙස දැක්විය හැකියි. මිනිසෙක් තවත් අයෙක් වෙනුවෙන් වැය වීම ආරම්භ වූයේ කොතැනකින් ද යන වග මිනිසුන්ට වඩාත් කිට්ටු මානවයා වූ නියැන්ඩර්තාල් මානවයාගෙන් සොයාගත හැකියි. 

මීට වසර පනස් දහසකට පමණ පෙර සිටි මානවයන්ට යම්කිසි බරපතල තුවාලයක් සිදු වීම සාමාන්‍ය දෙයකි. සතුන් දඩයම් කිරීමේ දී හා ගිරි දුර්ග ජල දුර්ග ආදිය තරණය කිරීමේ දී එවන් විපත් සිදුවීම නිසා එම පුද්ගලයෝ වැඩිකල් නොගොස් මිය යයි. මන්ද බරපතල තුවාලයක් තබාගෙන එවන් සමයක වැඩි කල් ජීවත්විය නොහැකියි. සංචාරක දිවි පෙවතක් ගත කල නිසා කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ සමග එකට ගමන් කල නොහැකි නිසාත් තනි වී සතෙකුගේ පහර කෑමට ලක්ව එම පුද්ගලයා මිය යයි. 

නමුත් කුතුහලය දනවන දෙයක් ඉරාකය දෙසින් වූ ගුහාවකින් සොයාගැනීමට හැකි විය. එහි නියැන්ඩර්තාල් මානවයින්ගේ ඇටසැකිලි කිහිපයක් සොයා ගත් අතර එම ගුහාවට ෂැනිඩාර් ගුහාව යැයි කියයි. එහි වූ එක් මානවයෙක් වූ ෂැනිඩාර් 1 වූ මානවයාගේ ඇටසැකිලි පරීක්ෂා කල විට ඔහුගේ හිස්කබලේ ඇසට කිට්ටු ප්‍රදේශයට තදින් පහරක් වැදී ඇති බවත්, දකුණු අත වෙන් වී ඇති බවත්, සිරුරේ හන්දි වල ශක්තිමත්බව අඩු කිරීමට සමත් රෝගයක් පැතිරී ගොස් ඇති බවත් පුරාවිද්‍යාඥයෝ සොයාගත්තෝ ය. 

හිසෙහි වම් පෙදෙසට පහරක් එල්ල වී ඇති නිසා මෙම මානවයාගේ වම් ඇස අන්ධ වී, වම් කනේ ශ්‍රවණාබාධයක් ද තිබී ඇත. එපමණක් නොව දකුණු අතත් නොමැතිව හන්දි රෝගයකිනුත් පෙළුනු නිසා මොහු නිසැකයෙන් ම ඇවිදීමට අපහසුතාවයෙන් පෙළුණු අයෙකි. මොහු සිටි කාලයේ තත්ත්වය සැලකිල්ලට ගත් විට මොහුගේ කණ්ඩායමේ මිනිසුන් මොහුව පැත්තකට දමා මියයන්නට හැර යා යුතුයි. 

නමුත් පුදුමයට කාරණය නම් මෙම ෂැනිඩාර් 1 වූ මානවයාගේ කණ්ඩායමේ අනෙක් අය මොහුව අතහැර දා නොයාම යි. ඒ බව සනාථ වූයේ මොහුගේ ඇටසැකිලි තවත් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව යි. පුරාවිද්‍යාඥයන් සොයාගත් ආකාරයට මොහුගේ තුවාල බොහොමයක් සුව අතට හැරී තිබුණි. එසේ වීමට නම් තවත් අයෙකුගේ සත්කාරයක් තිබිය යුතුයි. මෙම අරුම පුදුම සොයාගැනීම යම් කිසි මානවයෙක් තවත් අයෙක් වෙනුවෙන් වැය වීම ගැන කියැවෙන පලමු අවස්ථාව යි. 

පෙර දී පැවසූ ඉරාකයේ ෂැනිඩාර් ගුහාවෙන් ඇටසැකිලි 9ක් සොයාගත් අතර එයින් 7ක් වැඩිහිටි නියැන්ඩර්තාල් මානවයන්ගේ වූ අතර ඉතිරි ඇටසැකිළි ළදරුවන්ගේ විය. වැඩිහිටි සත් දෙනාගෙන් පස් දෙනෙක් ම අස්ථි රෝග ඇතුලු තවත් රෝගාබාධ වලින් පෙළුනු අය බව සොයාගත් අතර ඉන් පැහැදිලි වන්නේ ඔවුන්වත් කවුරුන් හෝ රැකබලාගෙන ඇති බවයි. 

මේ අතර ෂැනිඩාර් 3 නම් වූ තවත් නියැන්ඩර්තාල් මානවයෙක් සිටියේ ය. මොහුගේ උකුලේ අස්ථි බිඳීමකට ලක් වී තිබුනු අතර එවන් තුවාලයක් ඇති වූ විට තනිවම ඇවිදීමට නොහැකියි. නමුත් පුරාවිද්‍යාඥයෝ සොයාගත්තේ ඔහුගේ උකුල සුව අතට හැරී ඇති බවයි. එවන් තුවාලයක් සුව අතට හරවා ගැනීමට නම් අනිවාර්යෙන් ම තවත් අයෙක්ගේ උපකාරය අවශ්‍යයි. එමෙන් ම මොහුගේ උකුලේ තුවාලය සුව අතට හැරෙමින් පවතින විට වම් පැත්තේ ඉළ ඇට වලට හානියක් සිදු වී තිබේ. මෙම හානිය නිසා වම් පෙනහළුව අක්‍රිය වීමට පවා ඉඩකඩ තිබුනු නමුත් මොහු මියගොස් ඇත්තේ එම තුවාලය සිදු වී මාස දෙකකටත් පසුවයි. එනම් මරණ මොහොතේ දීත් ඔහුව අතහැර දා යාමට කවරෙකු හෝ ප්‍රථික්ෂේප කර තිබේ.

පෙර පැවසූ පරිදි මීට වසර පනස්දහසකට පමණ අතීතයේ දී ඇවිදීමට නොහැකි, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන හා විවිධ රෝගාබාධ වලින් පෙලෙන අයෙක්ට රෝගාබාධ සමග වැඩි කලක් නිරුපද්‍රිතව ජීවත් විය නොහැකියි. නමුත් නියැන්ඩර්තාල් මානවයින්ගේ මෙම සොයාගැනීමත් සමග මානවයෝ තම චර්යාව වෙනස් කරගත් අවධි දැකගත හැකියි.

එවන් තුවාල ලත් අයෙක් සිටින විට ඔහුව වන සතුන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. දත් නොමැති නම් මොහුට කෑමට පහසු වන ආකාරයට ආහාර සකස් කල යුතුයි. ඇවිදීමට නොහැකි විට ඇවිදීමට උදව් කල යුතුයි. සංචාරක ජීවිතයක් මෙම නියැන්ඩර්තාල් මානවයෝ ගත කල නිසා මොවුන් දිනපතා තම ගමනේ යෙදිය යුතුයි. මෙම රෝගී මිනිසුන් නිසා ගමන අතරමග නතර කිරීමටත් වේගය අඩාල වීමත් සිදු වූ බවට සිතිය හැකියි. ඒ කෙසේ වුවත් ඔවුන් රෝගී වූ පලියට ඔවුන්ව අතහැර දමා ගියේ නැත. 

මීට වසර හතලිස් දහසකට ප්‍රථම නියැන්ඩර්තාල් මානවයෝ මිහිමතින් වඳවී ගියෝ ය. දැනට සිටින එකම මානව විශේෂය අප වුවත් මෙම සොයාගැනීම් වලින් නිගමනය වන්නේ මිනිසෙක් වීමට තිබිය යුතු මානුෂ ගුණාංග අපගේ නිර්මාණයක් නොවන බවයි.


 

Tuesday, July 6, 2021

මෙතෙක් සොයාගත් ලොව පලමු කිරි බෝතල්


කුඩා අත දරුවෙක්ව සෞඛ්‍යාරක්ෂිතව ඇති දැඩි කිරීම සුළුපටු කරුණක් නොවේ. මීට වසර දහස් ගණනකට උඩ දී එනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ දී කුඩා දරුවෙක් ඇති දැඩි කිරීම ලේසි පහසු කරුණක් නොවන්නට ඇත. හිසට හරිහමං නිවහනක් නොමැතිව තැනින් තැන ඇවිද යමින් සතුන් සමග කරට කර සටන් කර පොර බැදූ ජීවිතයක් හිමි වූ ඔවුන්ට දරුවෙක් රැකබලා ගැනීම නිසැකයෙන් ම අසීරු කර්තව්‍යයක් වන්නට ඇත.

පුරාවිද්‍යාඥයෝ ඒ ගැනත් සිතේ තබාගෙන කැණීම් කරනා අතරතුර විශේෂ යමක් සොයාගන්නට හැකි විය. ඒ කුඩා බඳුන් විශේෂයක්. එය කෙසේ ද කීවොත් මිත්‍යා සතෙකුගේ මෙන් හැරහුරුවට නිමවා ඇති එක් කෙළවරක කුඩා කටක් ඇති බඳුන් කිහිපයක්. මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකලේ ජර්මනියේ දී. බැලූ බැල්මට නම් මේවා කුඩා ළමුන්ට කිරි පෙවීමට භාවිතා කල බඳුන්. 

අදත් අම්මලා ළමුන්ට කිරිපෙවීමට කුඩා පොරොප්පයක් ගසා කුඩා කිරි බෝතලයක් ළමයින්ට දෙති. ඉහත කී සොයාගැනීමේ හැටියට නම් එවන් ආකාරයේ දෙයක් අද අම්මලා පමණක් නොව මීට වසර 5000කට එපිටින් සිටි අම්මලා ද සිදුකර ඇත. 

මීට පෙරත් කැණීම් වල දී ළමා සිරුරු වලින් සොයාගත් දත්ත වලට අනුව එකල කුඩා ළමයෙක් මව්කිරි වෙනුවට වෙනත් කිරි වර්ග බීම මාස හයේ දී ආරම්භ වී එය වයස දෙක හෝ තුන වනතෙක් තිබෙන බව සොයාගෙන තිබේ. මෙවන් ආකාරයේ කුඩා කිරි බඳුන් පළමුව සොයාගත්තේ ජර්මනියෙන් ම නොවේ. නමුත් මේ ජර්මනියේ සොයාගැනීම විශේෂ කාරණා දෙකක් නිසා වැදගත් වෙනවා. 

ජර්මනියෙන් හමු වූ මෙම කුඩා කිරි බඳුන් සියල්ල කැඩී බිඳී නොතිබූ අතර ඒවා හොද තත්ත්වයේ පැවතුනා. එනම් වසර පන්දහසකට පෙර සිටි මවක් තම දරුවාට කිරි බීමට ලබාදුන් බඳුන ඒ ආකාරයෙන් ම සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබුනා. 

මෙම බඳුන් තව පරීක්ෂා කල විට ඔවුන් සොයාගත්තේ ඒවා තුල බැටළුවන් සහ එළදෙනුන්ගේ කිරි අඩංගු වූ බවයි. සතෙකුගේ කිරි හොදින් උතුරවා නොගතහොත් එම කිරි තුලින් බැක්ටීරියා වැනි දෑ දරුවාගේ ශරීරයට ගොස් දරුවා ආසාදනය විය හැකියි. මෙම කිරි බී එකල ළමුන් මියගියා වන්නට ද හැකියාව තිබේ.

නමුත් මවිසින් ඉහත කී විශේෂ හේතුව එය නොවේ. එය නම් මෙම බඳුන් අයත් වන කාල වකවානුව. බැටළුවන් හා එළදෙන්නු මිනිසුන් සමග එකට ජීවත් වූයේ මිනිසුන් සංචාරක ජීවිතය අතහැර වගා කිරීම් පටන් ගත් අවධියේ දී. නමුත් මෙම බඳුන් අයත් වන්නේ ඊටත් පෙර ප්‍රාග් ඓතිහාසික අවධියට. 

මිනිස්සු සංචාරක ජීවිතයෙන් එඬේර ජීවිතයට සංක්‍රමණය වූයේ එකවර නොවේ. මෙය ක්‍රමික විකාශනයක ඵලයක්. සංචාරක ජීවිතයත් එඬේර ජීවිතයත් අතර කාල පරාසයක් ද පවතියි. එනම් මිනිස්සු එඬේර ජීවිතයට හුරු වන අවධිය යි. මෙම අවධි වල සාක්ෂි සොයා ගැනීම ඉතාමත් දුලබ සිදුවීමක්. මිනිස්සු එළදෙන්නු හා බැටළුවන් සමග සමීප වූ මුල් වකවානු වල දී එම සතුන්ගෙන් කිරි ලබාගත් බඳුන් සොයාගැනීමත් ඉතා දුලබ සිදුවීමක්. එවන් සොයාගැනීම් ගැන නිතර අසන්න ලැබෙන්නේ නැහැ.

ළමුයින්ගේ ඇඬීම නවත්වා සන්සුන් කිරීමට මිත්‍යා සතුන්ගේ මෙන් මැටි බඳුන් සකසා ඔවුන්ගේ බඩගින්න නිවා දැමීමට ඒ තුලට සත්ව කිරි දමා කුඩා හොටක් එහි සෑදු වසර පන්දහසකට එහා පවුලෙන් අපට කියාපාන තවත් දෙයක් ඇත. වසර පන්දහසක් ගෙවුන ද දෙමව්පියන් දරුවන් කෙරේ වූ රැකවරණය වෙනස් වී නැත. 



Sunday, July 4, 2021

සිපිරිගෙයක ජීවත් වූ වික්ටෝරියා ගෞරම්මා කුමරිය


එංගලන්තයේ වික්ටෝරියා රැජිණ සමග සමීප සම්බන්ධයක් තිබූ අබ්දුල් නම් ඉන්දීය පුද්ගලයෙක් ගැන කතාවක් කලකට ඉහත දී චිත්‍රපටයකට නැගුනා. වික්ටෝරියා රැජිණ සමග කිට්ටු සම්බන්ධයක් තිබූ එකම ඉන්දීය පුද්ගලයා ඔහු පමණක් නොවේ. වික්ටෝරියා රැජිණගේ සිත දිනා ගැනීමට කුඩා ඉන්දීය දැරියක් සමත් වෙනවා.

ගෞරම්මා කුමරිය ඉපදෙන්නේ ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව පැවති කාල වකවානුවේ. ඇයගේ පියා දකුණු ඉන්දියාවේ කූරග් රාජධානියේ පාලකයා වුනු චික්කා විජේරාජේන්ද්‍ර රජතුමා. ඉන්දියාව තුල ක්‍රමක්‍රමයෙන් බ්‍රිතාන්‍ය බලපෑම වැඩි වෙත්ම විජේරාජේන්ද්‍ර රජතුමා 1834 වසරේ දී බ්‍රිතාන්‍යයන්ට යටත් වනවා. එතැන් පටන් වසර කිහිපයක් දේශපාලන සිරකරුවෙක් ලෙසින් කාලය ගත කල ඔහු තම දියණියත් සමග එංගලන්තය වෙත ගමන් කරනවා.

ඒ තමන්ගේ හා තම රාජ්‍යයේ අනාගතය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දීමට. බ්‍රිතාන්‍යයන්ගේ සිත දිනාගැනීම උදෙසා මොහු තම එකොළොස් වියැති කුඩා දියණියව ක්‍රිස්තියානි ආගමට හැරවීමට කැමැත්ත පල කරනවා. ඉන්දීයාව තුල ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ දී බොහෝ ගැටලු වලට මුහුණ පෑමට බ්‍රිතාන්‍යයන් හට සිදු වීම නිසා ඉන්දීය රාජකීය පවුලකින් අයෙක් ක්‍රිස්තියානි දහමට බෞතීස්ම වීම විශේෂ මෙන්ම වාසිදායක සිදුවීමක් ලෙස ඔවුන් සිතුවා.

රජතුමා තම දියණියව ක්‍රිස්තියානි ආගමට හරවා නතර වූයේ නැත. ඔහු ඇයව බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රැකවරණය යටතේ තැබීමට ද කැමැත්ත පල කරනවා. 

ගෞරම්මා කුමරිය වික්ටෝරියා රැජිණ හමුවන විට වයස අවුරුදු එකොළහක්. ඇයව එංගලන්තයේ දී කැන්ටර්බරි හි බිෂොප්වරයා විසින් බෞතීස්ම කරනු ලබන අතර ඇයට වික්ටෝරියා රැජිණ විසින් තම නම ද ලබාදෙනවා. ඒ අනුවා ගෞරම්මා කුමරියව එතැන් පටන් හැදින්වුනේ 'වික්ටෝරියා ගෞරම්මා කුමරිය' ලෙසිනුයි.

වික්ටෝරියා ගෞරම්මා කුමරියට බෞතීස්ම දිනයේ දී වික්ටෝරියා රැජිණ විසින් තම අත්සන සහිත බයිබලයක් ලබා දෙනු ලබනවා. පහත පින්තූරයේ ඇය අතැතිව තිබෙන්නේ එම බයිබලය යි. එමෙන්ම ගෞරම්මා කුමරියගේ මඤ්ඤා (බෞතීස්මයට දරුවාව ඉදිරිපත් කරන තැනැත්තා) ලෙස ඉදිරිපත් වූයේ වික්ටෝරියා රැජිණ යි. 

ඉන්පසු ඇයට හොද බටහිර අධ්‍යාපනයක් ලබා දීම සඳහා යොමු කිරීමට කටයුතු කරනවා. ගෞරම්මා කුමරිය වටා සිටින සමාජය ඇයට වඩා සමීප කරවීමටත් ඇයව ප්‍රසිද්ධියට පත් කිරීමටත් රැජිණ කටයුතු කරනවා. රැජිණ නිරන්තරයෙන් රාජකීය උත්සව සඳහා ඇයට ආරාධනා කළ අතර රැජිණ තම දරුවන් සමග ඇයටත් ඉඩක් වෙන් කිරීමට අමතක කරන්නේ නැහැ. ගෞරම්මා ඉන්දීය කුමරියක් වුවත් රජ මැදුර තුල දී හා ඉන් පිටත දී බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ අයෙක්ට ලැබිය යුතු සෑම සැළකිල්ලක් ම ගෞරම්මා කුමරියට ලබා දීමට රැජිණ සියලු කටයුතු සිදු කරනවා.

නමුත් මෙය සුරංගනා කතාවක එන කුමරියක් ලෙසින් අවසන් වන්නේ නැහැ. රාජකීය පවුල විසින් ගෞරම්මා කුමරිය පැළඳි ඉන්දීය ඇඳුම් ඉවතලා බ්‍රිතාන්‍ය ඇඳුම් ඇඳීමට ඇයට බල කල අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට ද ඇයට බල කරන ලදි. මෙයින් ලද පීඩනය ඉතා අධික වූ නිසා ඇය කිහිප වතාවක් ම පැන යාමට ද උත්සහ කළා ය. 

ඇය වතාවක් කියා සිටියේ ඇය සේවිකාවන් සමග සේවිකාවක් මෙන් ජීවත් වීමට කැමති අතර මෙසේ රාජකීය පවුලේ අයෙක් මෙන් ජීවත් වීමට කිසිදු කැමැත්තක් නැති බවයි. 

තවත් ඉන්දීය කුමාරයෙක් වුනු දුලීප් සිං හට ගෞරම්මා කුමරියව විවාහ කර දීමට බ්‍රිතාන්‍ය රාජකීය පවුලව උවමනා විය. දුලීප් සිං ස්ව කැමැත්තෙන් ම ක්‍රිස්තියානි ආගම වැළඳගත් අයෙක් වූ අතර අදටත් බ්‍රිතාන්‍ය රාජකීය ඔටුන්නේ ඇති, ඉන්දීයාවේ මූගල් අධිරාජ්‍යයේ මොණර ඔටුන්නේ තිබූ ඉතා පැරණි ලෝක ප්‍රකට කොයිනූර් දියමන්තිය බ්‍රිතාන්‍ය රැජිණ හට ලබා දුන්නේත් දුලීප් සිං ය. ඔහුව ගෞරම්මා කුමරිය සමග විවාහ කිරීමට යෝජනා වූ නමුත් දුලීප් සිං එයට කැමති වූයේ නැත. ඔහු පැවසුවේ ඇයව ඔහුට සහෝදරියක් මෙන් දැනුන ද බිරිදක් මෙන් හැඟෙන්නේ නැති බවයි.

අවසානයේ දී ඇය විවාහ වන්නේ ලුතිනන් කර්නල් ජෝන් කැම්ප්බෙල් සමග යි. ඔහු ඇයට වඩා අවුරුදු තිහකින් වැඩිමල් වූ පුද්ගලයෙක්. ඇය ඔහුට දියණියක් ලබා දෙන අතර එවිට ගෞරම්මා කුමරියට වයස අවුරුදු විස්සකි. කලක් ගතවන විට ඇයට ක්ෂය රෝගය වැළඳෙන අතර. එම රෝගය නිසා වයස විසි තුනේ දී ඇය මියයයි. 

තමන්ගේ උපන් දේශයෙන්, භාෂාවෙන්, ඇඳුම් පැළඳුම්, නෑදෑයින් හා තම දෙමව්පියන්ගෙන් වෙන් ව එකොළොස් වියැති කුඩා දැරිය මාලිගයක් තුල ගෙව්වේ කුමරියකගේ ජීවිතයක් නොවේ. 

ඇයගේ සොහොනේ ශු. ජොහාන් 10:16 පදය මෙසේ කොටා තිබුණි;

"තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය."

එඬේරෙකුගේ කාර්යය බැටළුවන්ට ආරක්ෂාව සැපයීම යි. රැළ වර්ධනය කිරීමට ගොස් ඔවුන් සිදුකලේ කුමක් ද?



Friday, July 2, 2021

අංකෝර් වට් හා නව තාක්ෂණය


මේ වන විට නගරයක සිටින විශාලතම ජනගහනය ලෙස වාර්තා පොත් අතරට යන්නේ ජපානයේ ටෝකියෝ නගරය යි. එම නගරයේ මිනිස්සු මිලියන 37කට අධික ප්‍රමාණයක් සිටිති. මේ සා විශාල ප්‍රමාණයක් නැතත් ඉතා ඈත අතීතයේ ද විශාල ජන සංඛ්‍යාවක් සැරි සැරූ නගර ලොව පුරා පිහිටා තිබුණි.

ලොව ප්‍රථම නගරය ලෙස සැලකෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ඌරුක් නගරය යි. මෙම නගරයේ ජනගහනය උච්චතම අවස්ථාවේ දී එනම් මීට වසර 5000කට පමණ උඩ දී ඌරුක් නගරයේ මිනිසුන් 40,000කට ආසන්න ප්‍රමාණයක් වාසය කර තිබේ.

ලෝකයේ ප්‍රකට වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවති කොන්ස්තන්තිනෝපල් නගරය (වර්තමාන ඉස්තාන්බුල්) තුල ක්‍රි.ව. 600 දී පමණ මිනිසුන් 600,000ක් පමණ සිට ඇත. යුරෝපයේ මධ්‍යකාලීන අවධියේ දී ලන්ඩන් නගරය තුල මිනිසුන් 250,000ක් සිටි අතර 17 වන සියවස වන විට එය 600,000ක් දක්වා වර්ධනය විය.

ක්‍රි.ව. 200 දී පමණ රෝම ශිෂ්ටාචාරය තම උච්චතම අවස්ථාවේ දී රෝම නගරය තුල මිනිසුන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සිටි බවට වාර්තා හමුවේ. එකල ලොව වැඩියෙන් ම මිනිසුන් ප්‍රමාණයක් සිටි නගරය එය යි. 13 වන ශතවර්ශයේ දී චීනයේ කායිෆෙන්ග් නගරයේ ද මිලියනයකට ආසන්න ජනගහනයක් සිටි බවට සොයාගෙන තිබේ.

ඈත අතීතයේ මහා පරිමාණ ජනගහනයක් සිටි නගර ලැයිස්තුවට මෑතක දී තවත් නගරයක් එකතු වී තිබේ. ඒ වර්තමාන කාම්බෝජයේ අංකෝර් නම් වූ ප්‍රදේශය යි. 13 වන ශතවර්ශයේ දී අංකෝර් හි මිනිසුන් 900,000කට ආසන්න ප්‍රමාණයක් සිටි බවට පුරාවිද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි විය.

අංකෝර් වට්


අංකෝර් ප්‍රදේශය ලොව පුරා ප්‍රකට වූයේ අංකෝර් වට් නමින් හැදින්වෙන බෞද්ධ ආගමික සිද්ධස්ථාන නිසාවෙන්. මෙම සිද්ධස්ථානය එම ප්‍රදේශයේ තිබූ ආගමික සිද්ධස්ථාන සිය දහස් ගණනින් එකක් පමණි. මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යා කැනීමකට ලක් කල යුතු ප්‍රදේශ හා භූ විද්‍යානුකූල සවිස්තර සිතියමක් මෑතක් වන තුරු නිර්මාණය කර තිබුනේ නැත.

පුරාවිද්‍යාඥයන් මෙහි සිටි ජනගහනය නිර්ණය කලේ එම සිතියම් භාවිතයෙන්. මෙම සිතියම් නිර්මාණය සදහා ඔවුන් භාවිතා කලේ LiDAR නම් සංවේදක උපාංගයක්. මෙමගින් කුඩා ලේසර් කදම්බයක් නිකුත් කරන අතර එම ලේසර් කදම්බය යම්කිසි බාධකයක වැදී නැවත සංවේදක උපාංගය වෙත පැමිණෙයි. එසේ පැමිණි විට LiDAR සංවේදක උපාංගයෙන් ලේසර් කදම්බය නිකුත් වී නැවත පැමිණීමට ගතවන කාලය මැන බාධකයට ඇති දුර ගණනය කරයි. 

නාවික ගමනාගමනයේ දී භාවිතා වන SONAR මගින් ද සිදු කරන්නේ මෙම කාර්යයම යි. නමුත් එහි දී භාවිතා වන්නේ සංඛ්‍යාතයෙන් වැඩි ශබ්ද තරංග යි. ස්වාභාවිකව ද අපට මෙය හමුවේ. ඒ වවුලන් මාර්ගයෙනි. වව්ලෝ රාත්‍රියේ දී පාර සොයාගන්නේ ශබ්ද තරංග නිකුත් කිරීමෙනි. එමගින් එම තරංගය බාධකයක වැදී නැවත පැමිණීමට ගතවන කාලය ඔස්සේ බාධකයට ඇති දුර ගණනය කල හැකියි. 

LiDAR සංවේදක උපාංගයේ ඇති විශේෂත්වය වන්නේ එය ඉහත කී ක්‍රියාව තත්පරයකට මිලියනයකට අධික වතාවක් සිදු කිරීමයි. එමගින් ඉතා නිවැරදි දත්ත ප්‍රමාණයක් රැස් කරගත හැකියි. මෙම දත්ත ඔස්සේ එම උපාංගය තුලින් ම ත්‍රිමාන (3D) සිතියමක් නිර්මාණය කල හැකියි. පුරාවිද්‍යාඥයන් මෙසේ සිතියම්ගත කිරීමට මාස කිහිපයක් හෝ වසර කිහිපයක් ගතවෙයි. එයත් ඉතා නිවැරදි නැත. නමුත් මෙම තාක්ෂණය ඔස්සේ වසර කිහිපයකින් සිදු කරන දේ දින කිහිපයකින් සිදු කල හැකියි. කාලයත් ඉතිරි වේ ඉතාමත් නිවැරදි දත්ත ප්‍රමාණයක් එකතු වේ. 

ලංකාවේ මෙවන් තාක්ෂණයක් කැනීම් කටයුතු සදහා භාවිතා වනවාදැයි හරිහැටි නොදනිමි. නමුත් මේ තාක්ෂණය භාවිතා කලහොත් ඉදිරි වසර කිහිපයේ වැඩ කටයුතු ඉතා කාර්යක්ෂම වන බව නිසැකයෙන් ම කිව හැකියි.

මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිටි කාලයේ දී අපගේ කණ්ඩායම් ව්‍යාපෘතිය සඳහා අප යොදාගත්තෙත් LiDAR සංවේදක උපාංගය යි. එම උපාංගය ඩ්‍රෝනයකට සම්බන්ධ කරමින් ගුහා සිතියම්ගත කල හැකි ඩ්‍රෝනයක් අපි නිර්මාණය කළෙමු. ඔබ Aliens චිත්‍රපට මාලාව නරඹා ඇත්නම් එහි ද මෙවැනි උපාංගයක් තිබෙනු දක්නට හැකියි.

කෙසේ නමුත් මේ නව තාක්ෂණ නිවැරදිව භාවිතා කිරීම නිසා මෙතෙක් නොදැන සිටි අංකෝර්හි ජනාකීර්ණත්වය සොයාගැනීමට හැකි වූ අතර අපට ද එය භාවිතා කලහොත් අරුම පුදුම තොරතුරු රැසක් නුදුරු අනාගතයේ දී අනාවරණය කරගත හැකියි.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...