Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Saturday, June 6, 2020

පාර කියන මී මැස්සෝ

මී පැණි කාලා තියෙනවද? ස්වාභාවික මී පැණි කවදාවත් නරක් වෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒකට හේතු වෙන්නේ හොවාඩ් කාටර් ටූටන්කාමන්ගේ සොහොන හොයාගත්තම ඒ සොහොනේ මී පැණි පිරවූ බඳුන් හමුවූ නිසා. වසර තුන්දහසකට පසුත් ඒවා හොඳ තත්ත්වයෙන් තිබුනා. ආරක්ෂිතව මී පැණි ගබඩා කරලා තිබුන නිසයි මී පැණි නරක් නොවුනේ. මී මැස්සන්ට යම්කිසි ස්ථානයක් නිවැරදිව සොයාගන්න අපූරු හැකියාවක් තියෙනවා. ඒක නැටුමක්. අද කතාව ඒ ගැන.

කාල් ෆොන් ෆ්රිෂ් ඔස්ට්‍රියානු ජාතිකයෙක්. 1973 දී ඔහුට වෛද්‍ය අංශයෙන් නොබෙල් ත්‍යාගයත් ලැබෙනවා. මී මැස්සන්ටයි කාල්ටයි ලොකු බැඳීමක් තිබුනේ. මී මැස්සන්ගේ ගති ලක්ෂණ සොයා බලන්න කාල් සෑම විටම උත්සහ කරා. කාල්ට තිබුනා මී මැසි ජනපද කිහිපයක්. මේවත් එක්ක තමා කාලය ගතකලේ.

දවසක් පොඩි දීසියකට සීනි මිශ්‍ර කරපු ජලය දමලා මී මැසි ජනපදයට තරමක් ඈතින් තිබ්බා. කාල් එතනට වෙලා බලාගෙන හිටියා කවුරුහරි මී මැස්සෙක් එයිද කියලා. ඔන්න දවසක් එක මී මැස්සෙක් ආවා. මී මැස්සා ඇවිදින් අර රසවත් සීනි ද්‍රාවණය බොනවා දැන්. කාල් පින්සලකට තීන්ත ස්වල්පයක් අරගෙන අර මී මැස්සගේ පිටේ සළකුණු කරා. ඒ එයාව වෙන් කරලා හදුනාගන්න.

මේ මී මැස්සා සීනි ද්‍රාවණයෙන් ටිකක් බීලා ආයෙත් එයාගේ ගෙදරට ගියා. පැය කිහිපයකට පස්සේ ආයෙත් මේ මී මැස්සම එනවා සීනි ද්‍රාවණය බොන්න. දැන් ආවේ තනියෙන් හැබැයි. ඔහොම ටික වෙලාවක් ගියා. මී මැස්සා වතුර බොමින් ඉන්දැද්දිම තවත් මී මැස්සෝ කිහිප දෙනෙක් ආවා. මේ මී මැස්සෝ ආවේ කලින් කෙනාගේ පස්සෙන් නෙමේ. තනිවම. එක්කෙනෙකුත් නෙමේ කිහිප දෙනෙක්ම ආවා. අනිත් කාරණය තමා මේ මී මැස්සන් හිටියෙත් අර සලකුණු කරපු මී මැස්සා ඉන්න ජනපදය තුලමයි.

ඊළඟ දවසෙත් අර සලකුණු කරපු මී මැස්සා සීනි ද්‍රාවණය බොන්න ආවම කාල් මේ සීනි ද්‍රාවනයයි මී මැස්සවයි අරන් ඈතකට ගියා. කිලෝමීටර් කිහිපයක්ම ඈතට ගියා. දැන් මේ මී මැස්සා ආපු වැඩේ කරගෙන ජනපදයට ගියා. පැය කිහිපයකින් පුදුම දෙයක් කාල් නිරීක්ෂණය කරා. සලකුණු කරපු මී මැස්සගේ ජනපදයේ අනික් මී මැස්සෝ කිහිප දෙනෙක් සීනි ද්‍රාවණය තියෙන තැන හරියටම හොයාගෙන ආවා. කලින් තිබුන තැන වෙනස් කරත්.

මේ දේවල් අත්දකිනකොට කාල්ට ලොකු ප්‍රශ්නයක් ඇති වුනා. භාවිතා කලේ මී පැණි නෙමේ සීනි නිසා මී මැස්සන්ට සුවදින් හදුනාගෙන එන්නත් බැහැ. මේ මී මැස්සෝ කොහොමද සීනි ද්‍රාවණයට එන පාර හරියටම හොයාගත්තේ?

මේ ගැන හොයනකොට කාල් ඇඳිනගත්තා මී මැස්සන්ගේ විශේෂ චර්යාවක්. ඒක එක විදිහක නර්තනයක්. මේ නර්තනය සූර්යයාගේ පිහිටීමත් එක්ක සම්බන්ධයි. මේකෙදි මී මැස්සා ටිකක් පැද්දි පැද්දි ඉදිරියට ගිහින් වමට හෝ දකුණට හැරිලා අර්ධ වෘත්තයක මාර්ගයක ගිහින් ආයෙම නැටුම පටන්ගත්තු තැනට එනවා. පැද්දි පැද්දි ඉදිරියට ගියොත් ඒ කියන්නේ ඉර දෙසට යන්න කියලා. පසුපසට ගියොත් කියන්නේ ඉරෙන් ඉවතට යන්න කියලා. පැද්දෙන්නේ මැදදි යනකොට විතරයි. අර්ධ වෘත්ත කොටසෙන් යනකොට සාමාන්‍ය විදිහටයි යන්නේ.

වමට හෝ දකුණට හැරෙන කෝණයෙන් කියන්නේ ඉරත් එක්ක කොච්චරක් හැරිලා ගමන් කරන්න ඕනෙද කියන එක. කොච්චර දුරක් යන්න ඕනෙද කියලත් මී මැස්සා තමන්ගේ නර්තනයෙන් කියනවා. අර පැද්දෙමින් යන කොටසේ එක වතාවක් පැද්දෙන්න තත්පරයක් ගත වෙනවා කියලා හිතුවොත් එක තත්පරයකින් නිරූපණය වෙන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් එකක්.

අවුරුද්දේ ඕනම කාලයක ලෝකයේ හැම කෙරවලකම ඉන්න මී මැස්සෝ පාර කියන්නේ මෙහෙමයි.

මේ මස තුල පලවූ අනෙක් සටහන්:

සෙලවෙන අංශු 

බල්ලන් කුරුසිපත් කිරීම 

මෙකැක් වඳුරන්ගේ පරීක්ෂණය 


කාල් වොන් ෆ්රිෂ් මීමැස්සන් සමග 


Friday, June 5, 2020

මෙකැක් වඳුරන්ගේ පරීක්ෂණය

ග්‍රීක කතා වලට අනුව සියුස් හා ප්‍රොමිතියස් එකතු වෙලා ‘මිනිසා’ ව නිර්මාණය කරනවා. නිර්මාණය කරාට පස්සේ සියුස් කැමති වෙන්නේ නැහැ මිනිසුන්ට ‘ගින්දර’ ලබාදෙන්න. ගින්දර කියලා අදහස් කරන්නේ නව නිර්මාණ කිරීමට හැකියාව. එහෙම ගින්දර ලබාදුන්නොතකියි කවදා හෝ මිනිසුන් දෙවියන් හා සම වෙනවා කියලයි සියුස් විශ්වාස කලේ. නමුත් ප්‍රොමිතියස් ඒ දේ ගැන තැකුවේ නැහැ. ප්‍රොමිතියස් අමරණීය කෙනෙක් වුනාට ඔහු මිනිස්සු තමන්ගේ යහළුවන් විදිහටයි සැලකුවේ.

මේ නිසා දවසක් ප්‍රොමිතියස් සියුස්ගෙන් ගින්දර හොරකම් කරලා මිනිසුන්ට ලබා දෙනවා. මේක දැනගත්තු සියුස් තමන්ගේ හොදම යහළුවා වුන ප්‍රොමිතියස්ට දඬුවමක් ලබා දෙනවා. අත පය යකඩ දම් වැල් වලින් බැඳලා ඉන්නකොට දිනපතා රාජාලියෙක් ඇවිදින් ප්‍රොමිතියස්ගේ අක්මාව ඉරා කනවා. ප්‍රොමිතියස් අමරණීය කෙනෙක් නිසා දිනපතා රාත්‍රියේ දී මේ අක්මාව නැවත වැඩෙනවා. මේ දේ සදාකාලිකව සිදුවෙන්න සියුස් නියම කරනවා.

ප්‍රොමිතියස්ට මිනිසුන් සමඟ ඥාතීත්වයක් නෑ. ඔවුන්ගෙන් කිසිම උපකාරයක් ලැබෙන්නෙත් නැහැ. නමුත් ප්‍රොමිතියස් ඔවුන්ට උදව් කරනවා තමන් මේ කරන දෙයින් සියුස් කෝප වෙන බව දැන දැනම. තමන්ට අවසානයේ දී දරුණු ඉරණමක් අත්වෙන බව ප්‍රොමිතියස් නොදැන හිටියේ නැහැ. තමන්ට සම්බන්ධකමක් නැති ප්‍රති උපකාර කරන්න බැරි කෙනෙක් වෙනුවෙන් වෙහෙසීම කැපවීම ලේසි පහසු දෙයක් නෙමේ.

බයිබලයේ තියෙනවා ‘පටු මාවතක්’ ගැන. ඒකේ යෑම පහසු නෑ. ගොඩ දෙනෙක් ඒ මාර්ගයේ යන්නෙත් නෑ. නමුත් නිවැරදි නැවතුමට යන්න නම් ඒ මාර්ගයේ යා යුතුමයි.

“මේ ඉන්නේ අපේ එකානේ… අපි ඇරෙන්න මෙයාට වෙන කවුද උදව් කරන්න ඉන්නේ…”

ඔය කියමන මම විවිධාකාර විදිහට විවිධ තැන් වලදී අහලා තියෙනවා. අපි උදව් කරන්න ඕන ‘අපේ’ එකෙක්ට විතර ද? මම සිංහල නිසා මම රැකගන්න ඕන සිංහල ජාතිය විතර ද?

1960 දශකයේ මෙකැක් වඳුරන් යොදාගෙන පර්යේෂණ බොහොමයක් සිදු කෙරුනා. සමහර පරීක්ෂණ වල සදාචාරාත්මක බව අදටත් ප්‍රශ්න කෙරෙනවා. වඳුරෝ පහලොස් දෙනෙක්ට ආහාර සැපයුවා එක කොන්දේසියක් මත. තමන්ට ආහාර අවශ්‍ය නම් ඒ වඳුරා දම්වැලක් අදින්න ඕන. එතකොට තමන්ට කිසිදු සම්බන්ධකමක් නැති වඳුරෙක්ට ‘විදුලි සැරයක්’ වදිනවා. මේ පරීක්ෂණය ඉදිරියට ගියාට පස්සේ වඳුරෝ දැනගන්නවා තමන්ට කෑම අවශ්‍ය නම් තව වඳුරෙක්ට විදුලි සැර විදින්න සිදුවෙනවා කියලා.

නමුත්, තමන්ගේ බඩගින්න වෙනුවෙන් තව වඳුරෙක්ට විදුලි සැර වද්දන්න ඕන කියලා දැනගත්තම බහුතරයක් වඳුරෝ දම්වැල ඇඳීම ප්‍රතික්ෂේප කරන්න ගත්තා. වඳුරන් තුනෙන් දෙකක් වැනි විශාල කොටසක් තව කෙනෙක්ට විදුලි සැර වැද්දීම වෙනුවට නිරාහාරව සිටීමට කැමැත්ත පල කරා. එක වඳුරෙක් සති දෙකකට ආසන්න කාලයක් නිරාහාරව හිටියා තව කෙනෙක්ට රිද්දන්න බැරිකමට. කලින් පරීක්ෂණ වලදී විදුලි සැරට ලක්වුනු වඳුරෙක් තව වඳුරෙක්ට විදුලි සැර වද්දන්න පෙළබුනේ අනිත් අයට වඩා අඩුවෙන්.

තමන්ගේ යැයි නොකියා පොදුවේ ‘මිනිසෙක්’ වෙනුවෙන් කැපවිම වෙහෙසීම ලේසි පහසු දෙයක් නොවේ. භෞතික සුවයක් නැතත් මානසික සුවය තියෙන්නෙ එතැන. තීරණය ඔබ සතුයි.


බල්ලන් කුරුසිපත් කිරීම

කුරුසිපත් කිරීම ගැන ඔයාලා අනිවාර්යෙන්ම අහලා ඇති. මේ දඩුවම් ක්‍රමය ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුනේ කුරුසිපත් කිරීමෙන් ජේසුස්ව මරණයට පත්කල නිසා. මේ දඩුවම් ක්‍රමය ජේසුස්ගේ කාලයෙන් බොහෝ ඈතට දිව යනවා. රෝමන්වරුන්ගේ ප්‍රධාන දඩුවම් ක්‍රම අතරින් කුරුසිපත් කිරීමත් තිබුනා. මේවයේ කුරුසිපත් කලේ අපරාධකාරයින්ව. නගරයක් වටලා අල්ලා ගත්තාට පස්සේ මුලදී යටත් නොවූ සාමාන්‍ය වැසියන්වත් මේ ආකාරයට කුරුසිපත් කරලා තියෙනවා කියලා සාක්ෂි සාධක හමුවෙනවා.

නමුත් රෝමන්වරු චාරිත්‍රයක් විදිහට බල්ලන්ව කුරුසිපත් කල බව අසා තියෙනවද? රෝමය කියන්නේ බල්ලන්ට ආදරය කරපු රාජ්‍යයක්. බල්ලන් වෙනුවෙන් සොහොන් හදපු අවස්ථාත් තියෙනවා. නමුත් ක්‍රි.පූ. 390 දී රෝමයේ නගරයක් ආක්‍රමණය කරනවා ගෝල් දේශයේ වැසියන්. රාත්‍රී කාලයක සිද්දවෙන මේ ආක්‍රමණයේ දී රැකවලට හිටපු බල්ලන් නින්දට ගිහින් හිටපු නිසා අනතුරු අඟවන්න හැකියාවක් ලැබුනේ නැහැ. නමුත් එවෙලේ හිටපු පාත්තයෝ කණ්ඩායමක් කෑ ගහන්න පටන් ගත්තු නිසා රෝමන් සෙබළුන් මේ ආක්‍රමණය ගැන දැනගන්නවා. ඊට පස්සෙයි ආරක්ෂක නළා නාද කරලා සටන් කරන්න ගන්නේ.

මේ දේ සංකේතවත් කරන්න, ‘බල්ලන්ට හොද පාඩමක් උගන්වන්න’ රෝමන්වරු වාර්ෂිකව පවත්වනවා චාරිත්‍රයක්. මේකට කියන්නේ ‘සප්ලීසියා කැනම්’ කියලා. අගෝස්තු මස 03 වෙනිදා පවත්වන මේ උත්සවයේ දී පණපිටින් බල්ලන්ව කුරුසිපත් කරලා නගරයේ වීදී සංචාරයක යෙදෙනවා. මේ කුරුස X, Y හැඩවලට තමා නිමවෙලා තිබුනේ. මේ උත්සවයේ දී බල්ලන්ට දඩුවම් දුන්නා විතරක් නෙමේ පාත්තයින්ව රත්තරන් වලින් සරසලා නගරය පුරා ගෙනිච්චා. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කිතුනු දහම වැළඳ ගත්තට පස්සේ සියලු ආකාරයේ කුරුසිපත් කිරීම් තහනම් කිරීමට කටයුතු යොදනවා. එතෙක් වසර සිය ගණනක් ක්‍රෑර චාරිත්‍රයකින් බල්ලන් වාර්ෂිකව ඝාතනය කෙරුනා.

බල්ලා කියන සතා අපිට ඉතා හිතවත් සතෙක් නිසා මේ අපරාධය කෙනෙක්ට තදින් දැනෙන්න පුලුවන්. නමුත් එහෙම නොවෙන සතෙක් මැරුවොතින් මේ සානුකම්පිත හැඟීමම අපිට ඇතිවෙයි ද? සතෙක් මැරීමෙන් අපිට ගෞරවයක්, පළිගැනීමක්, වාසනාවක්, මුදලක් ලැබෙනවා නම් ඒ ඝාතනය දිහා අපි සානුකම්පිතව බලයි ද? මේවා අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න ඕන දේවල්.

මද්දකට හසු වෙලා මැරුණු කොටියව මරපු පුද්ගලයා එයාගේ ගෙදර ඉන්න බල්ලට හරිම ආදරේ මනුස්සයෙක් වෙන්න පුලුවන්. හිතන්න අපි ආදරේ කරන්නේ ඇත්තටම සතාගේ ‘ජීවිතයට’ ද? නැත්නම් අපේම ආසාවල් වලට ද? කියලා. මාස කිහිපයකට උඩදී ඒක දේශික හූනු විශේෂ කිහිපයකට ජාතික වීරයන්ගේ නම් දානකොට ප්‍රශ්නයක් ආවා මතක ඇතිනේ. ඒ අපේ ඔය ආසාව නිසා. මිනිස්සු ආසා කරන්නේ ඇඟ පතින් ලොකු තේජාන්විත සත්තුන්ට. ඒත් පරිසරවේදියෝ එහෙම නෙමෙයි. හූනත් එකයි කොටියත් එකයි.

ජීවිතයට වටිනාකමක් දෙන්න. සත්තුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත්. ඇමරිකාවේ පොලිස් නිළධාරියෙක් කළු ජාතිකයෙක්ව ගෙල සිරකරලා මරා දැමීම නිසා දැන් ඇතිවෙලා තියෙන තත්ත්වයටත් හේතුව අපි ජීවිතයට නිවැරදි වටිනාකමක් නොදීම. ජාති අනුව ආගම් අනුව පාට අනුව බෙදෙන්න පුලුවන් හැම ආකාරයකටම බෙදීමෙන් අපි ජීවිතයට තියෙන වටිනාකම අමු අමුවේ කුරුසිපත් කරනවා.

රෝමන්වරුන්ගේ බල්ලන් වාර්ෂිකව ඝාතනය වැනි පල රහිත චාරිත්‍ර කොතෙකුත් අදත් අපිට දකින්න පුලුවන්. චාරිත්‍ර මුවාවෙන් සත්තු බුරුතු පිටින් ඝාතනය වෙන්නේ. සමහර චාරිත්‍ර වලට සතුන් සම්බන්ධ නැහැ. සතා වෙනුවට ඉන්නේ මිනිසෙක්. ඒ අපේ සමාජයේ කිඳා බැහැලා තියෙන බහුතරයක් චාරිත්‍ර. අපිත් පරම්පරාවෙන් ආපු පලියට ඒ චාරිත්‍ර ප්‍රශ්න නොකර පිළිගන්න සූදානමින් ඉන්නවා. ළමයෙක් වැඩි වියට පත්වුනාම කාමරයක් අස්සට දාලා තැම්බුම් හොදි පොව පොවා ඉන්න එකෙන් අත්වෙන සෙතේ මොකක් ද? මනුස්සයෙක් උදෙන්ම නැගිටලා ව්‍යාපාරයක් පටන් ගන්නෙයි කියලා එළියට බහිනකොට හූනෙක් චික් චික් ගෑවොත් එලියට බහින්නෑ. ඒ මනුස්සයගේ දවසම මූසලයි ඉතින්. මුස්පේන්තු චාරිත්‍ර මේවා.

ඔයැයිලා බාරහාර එහෙම ඔප්පු කරලා ඇතිනේ. මමනම් මේක හදුන්වන්නේ පගාව දීමක් විදිහට. පන්සලට, කෝවිලට පල්ලියට යනවා මිනිස්සු බාරහාර වෙන්න. ගිහින් කියනවා “මාව මේ විභාගයෙන් පාස් කරොත් මීටරයක් දිග ඉටිපන්දමක් පූජා කරනවා”, “මට මේ රස්සාව ලැබුනොත් පල්ලියේ එහා කෙරවලේ ඉඳන් අල්තාරෙට වෙනකන් දණ ගහගෙන එනවා.”. කිතුනුවෝ දෙවියන්ව තමන්ගේ පියාණන් ලෙසින් හදුන්වනවා නම් ඔවුන් බාරහාර වීමෙන් කරන්නේ තමන්ගේ තාත්තට පගාව දීම. මේ චාරිත්‍ර දැන්වත් ප්‍රශ්න කරන්න ගන්න. මම මේ කියන දේත් පිලිගන්න අවශ්‍ය නැහැ කවුරුත්. මගේ මේ අදහසුත් ප්‍රශ්න කරන්න. කවුරුත් කිව්ව පලියට, පොතක තිබුනට, පරම්පරාවෙන් ආවට පිලිගන්න එපා. පුලුවන්තරම් ප්‍රශ්න කරන්න. විචාරන්න.


Saturday, May 30, 2020

යුරේකා

යුරේකා…! යුරේකා…! යුරේකා…! කිය කියා ආකිමිඩිස් නගරය පුරා උපන් ඇඳුමෙන් දිව්ව කතාව අපි පොඩි කාලේ අහලා තියෙනවා. ප්‍රසිද්ධ කතාව මම කෙටියෙන් කියන්නම්. එක්තරා රජ කෙනෙක්ට උවමනා වෙනවා හදන්න රත්තරන් වලින් ඔටුන්නක්. නමුත් මේ ඔටුන්න හදන මිනිස්සු රජතුමාගේ භාණ්ඩාගාරයෙන් ලබාදෙන රත්තරන් වංචාවක් නැතුව පාවිච්චි කරයිද කියලා රජතුමා සැක කරනවා.

රජතුමා මේ ප්‍රශ්නේ කියනවා ‘ආකිමිඩිස්’ට. ආකිමිඩිස් ඉතින් මේක ගැන හිත හිතා ගෙදර ගිහින් ඇඟ ටිකක් හෝදගන්න ඕනය කියලා බහිනවා වතුරු කට ගාවට පිරිච්ච බේසමට.

එවෙලෙම බේසමෙන් වතුර එලියට පනිනවා. ඔන්න ඔතනදී ආකිමිඩිස් තේරුම් ගන්නවා තමන් වතුරේ පාවුනොත් අර ඉවතට ගිය වතුර වල ස්කන්ධය තමන්ගේ ස්කන්ධයට සමානයි කියලා. ඉතින් ඔටුන්න හදන අමුද්‍රව්‍ය වල ස්කන්ධය ඔය විදිහට කිරලා ඔටුන්න හැදුවට පස්සෙත් ඔටුන්න වතුර එකකට දාලා ඒ වතුරේ ස්කන්ධය කිරුවම අගයන් සමාන වෙනවද කියලා බලන්න පුලුවන්නේ.

මේක හොයාගෙන ආකිමිඩිස්ට ආපු සතුටට එයා හෙළුවෙන් ඉන්නේ කියලත් අමතක වෙලා යුරේකා යුරේකා කිය කියා පාර දිගේ දුවගෙන ගියා කියල තමා කතන්දර වල තියෙන්නේ. ආකිමිඩිස් ඔය හොයාගත්ත එකට කියනවා ‘ආකිමිඩිස් නියමය’ කියලා.

ප්‍රසිද්ධ කතාව මේක වුනාට අපි තරමක් මේක ගැඹුරට හොයලා බලමු. ක්‍රි.පූ. තුන්වෙනි ශතවර්ෂයේ සිසිලියේ සිරකියුස් නම් නගරයේ රජකම් කරා හයිරෝන් කියලා රජකෙනෙක්. මේ රජතුමාට උවමනා වුනා අති විශාල නැවක් හදන්න. එතෙක් නිමැවුනු විශාලතම නැව. කොච්චර විශාලද කිව්වොත් ඒ කාලයේ සාමාන්‍ය යුධ නෞකාවක් වගේ 50 ගුණයක් විශාල එකක්. මේ නැව හදන්නෙත් ඊජිප්තුවේ පාලකයාට තෑගි දෙන්න. බලන්න ඉතින් නේ ඒ රජවරු දෙනකොට දෙන්නේ හොදම ඒවා. මේ නැවට නම දෙනවා සිරකූසියා කියලා. ඒ සිසිලියේ සිරකියුස් නගරය මුල් කරගෙන.

මේ රජතුමා ආකිමිඩිස්ට දෙන්නේ එසේ මෙසේ ගැටලුවක් නෙමේ. ඒක හරියට කන්දකට පියාඹන්න කියනවා වගේ. ඒකාලයේ තාක්ෂණයෙන් මේක හදන්න පහසු වුනේ නැහැ. අනිත් කාරණය මේක විශාල නැවක් විතරක්ම නෙමේ. මේ නැවේ මතුපිට, දුර බැලීම සදහා කුළුණු 8ක් තියෙන්න ඕන. මේ කුළුණු අට ඇට්ලට් දෙවියාගේ කර මත තියෙන්න ඕන. මොකද ඒ කාලෙ මිනිස්සු විශ්වාස කරා ඇට්ලස් දෙවියා තමා ලෝක ගෝලය කරමත තියාගෙන උස්සගෙන ඉන්නේ කියලා. මේ හේතුවෙනුයි ඔය සිතියම් පොත් වලට ඇට්ලස් කියන නම ලැබුනේ.

නැව ඉස්සරහා තියෙන්න ඕන විශාල ගල් විසිකරන්න හැකි කැටපෝලයක්. ඒ විතරක් නෙමේ මූර්ති වලින් අලංකාර වුනු පුස්තකාලයක්, නෑමට තටාකයක්, ඇෆ්රොඩයිට් දෙවඟනට දේවාලයක් සහ කාය වර්ධනය සඳහා ශාලාවක් තියෙන්නත් ඕන. රජතුමා එතනින් නතර වුනේ නැහැ මේ නැවේ වී ටොන් 400කුත් අච්චාරු බෝතල් 1000කුත් බීමට ජලය ටොන් 74කුත් නූල් ටොන් 600කුත් අශ්වයෝ 20කුත් මිනිස්සු 1000කුත් ඉන්න ඕන කියලා කිව්වා. නැව මේ දේවල් වලින් සමන්විත වෙන්න ඕන කියලා රජතුමා කියද්දි ආකිමිඩිස්ගේ මූණ කොයි වගේ තියෙන්න ඇද්ද කියලා මැවිලා පේනවා.

“පිස්සු කියවන්න එපා මනුස්සයෝ” කියලා කියන්නත් බෑනෙ. රජතුමානේ. මේ වැඩේ ආකිමිඩිස් ප්‍රථික්ෂේප කරානම් ආකිමිඩිස්ගේ බෙල්ල ඉතුරු වෙන්නෙත් නෑ. ඉතින් ආකිමිඩිස් නැව හදන්න පටන් ගත්තා.

සමහරවිට ආකිමිඩිස්ට මේ ගැන හිතෙන්න ඇත්තේ බේසමට බැහැලා නාන ගමන් වෙන්න ඇති. කුමක් හෝ ද්‍රව්‍යයක් කටපිරෙන්න වතුර දාපු බේසමකට උඩින් දැම්මම ඒක ගිලී පාවෙනවා නම් ඒ ද්‍රව්‍යයේ ස්කන්ධය ඉවතට ගිය ජලයේ ස්කන්ධයට සමානයි. ඔය දේ තමයි මම උඩින්ම කිව්ව විදිහට ආකිමිඩිස් හොයාගත්තේ.

අපි මේ සිරකූසියා නැව උදාහරණයකට ගමු. නැවේ ස්කන්ධය ටොන් 2000යි නම් ඒකෙන් ජලය ටොන් 2000ක් විස්තාපනය කරනවා නම් (ඒ කිව්වේ අර කලින් කිව්වා වගේ ඉවතට යනවා නම්) නැව ගිලී පාවෙනවා. ජලය ටොන් 4000ක් විස්තාපනය කරනවා නම් නැව කිසිම ප්‍රශ්නයක් නැව ජලය මත පාවෙනවා. ජලය විස්තාපනය කරන්නේ ටොන් 1000ක් නම් නැව ගිලෙනවා අකිමිඩිස් මැරෙනවා.

අද කාලයේ නැවක් හදනකොටත් මේ සිද්ධාන්තයම තමා පාවිච්චි කරන්නේ. නැවක නෞකා තලය (Keel) ඒ කිව්වේ වතුරෙන් යට කොටසෙන් විස්තාපනය වෙන ජල ස්කන්ධය නැවේ ස්කන්ධයට සමාන වුනාම වතුරේ පාවෙනවා. හරිම සරලයි.

ඔය ආකිමිඩිස්ගේ ඔටුන්නේ කතාව පස්සේ කාලයේ මුල් කතාවට එකතු වුන එකක් වෙන්න ඕන. මොකද ඔටුන්නට ලතින් වලින් කියන්නේ ‘කොරෝනා’ කියලා. නෞකා තලයට (Keel) ග්‍රීක් වලින් කියන්නේ ‘කොරෝනේ’ කියලා. ඉතින් හිතාගන්න පුලුවන්නේ නැවේ කතාව අමතක වෙලා ඔටුන්නේ කතාව ආපු විදිහ.

 


Friday, May 29, 2020

ගෘහාශ්‍රිතකරණය සහ බල්ලා

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක පිට රටක ඉඳන් සුද්දෙක් එනවා ලංකාවේ පදිංචියට. උන්දැ ලංකාවේ ඉන්නකොට මුලච්චි වෙනවා හීන්දෑරි කෙලි ගැටිස්සියක්. මේ සුද්දටත් ඉතින් භාසාව දන්නේ නැති වුනාට කාරි නෑ කියල ඒ කෙලි ගැටිස්සියත් එක්ක හාද වෙනවා. මුලදි මුලදි නම් සුද්දට තේරෙන්නෙත් නෑ කෙල්ල කියවන ඒවා කෙල්ලට තේරෙන්නෙත් නෑ සුද්දගේ අපබ්‍රංසේ. කෙල්ලව සුද්දෙක්ට කරගහන්න පුලුවන් උනාය කියල පවුලෙ උන්දැලත් හරිම සන්තෝසෙන් හිටියෙ.

දැන් ඉතින් දෙන්නා දෙමහල්ලෝ පවුල් පන්සල් වෙලා සෑහෙන කාලයක්. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. කිරි සුද වාගේ පොඩි එකෙක්ගේ මූණ. අනික් ළමයා නම් අම්මා වගේ. දැන් සුද්දටත් සිංහල එහෙම ටික ටික පුලුවන්. යාන්තන් වචනය දෙක කතා කරනවා. ළමයි දෙන්නව නගරේ ඉස්කෝලෙට දාපු නිසා දැන් උන්දලත් ඉගෙනගන්නේ සිංහලෙන්. පොත්ත සුදු වුනාට සිංහල යස අගේට කතාකරන්න පුලුවන්.

දැන් මම මේ පොඩි කතාන්දරය කිව්වේ මොකට කියලද හිතන්නේ. මේ පොඩි කතන්දරේ ඇතුලේ සෑහෙන දේවල් හැංගිලා තියෙනවා. නිකමට හිතලා බලන්න දැන් අපේ ගමේ ගොඩේ සමහර චාරිත්‍ර වාරිත්‍ර හැදිලා තියෙන විදිහ. ඔය කතාව අස්සේ එව්වා හැංගිලා තියෙන්නේ. මම ඒක විස්තර කරන්න යන්නෙ නැහැ. ඒක ඔයැයිලට හිතන්න දෙන්නම්.

දැන් අපි පොඩ්ඩකට යමු ඉස්කෝලෙ පැත්තට. පොඩි කාලේ ඉස්කෝලෙ ළමයින්ට උගන්නනවා ‘ගෘහාශ්‍රිතකරණය’ කියල පාඩමක්. දවසක් ළමයෙක්ගෙන් ටීචර් ඇහැව්වලු ගෘහාශ්‍රිතකරනය වුනු සත්තු කවුද කියල. ඉතින් ළමයා තමන්ගෙ ගෙදරම උදාහරණයකට අරගෙන කිව්වලු මෙහෙම; “බල්ලා, පූසා, හාවා, කාක්කා, මීයා, කැරපොත්තා, මකුළුවා, මකුණා, උකුණා, ගැරඬියා…”

ගැරඬියා කීව හැටියේ ටීචර් ඇහැව්වලු ගැරඩි කොහෙද ගෙදර කියල. එතකොට ළමයා කිව්වලු “සුමානෙකට දෙකකට සැරයක් එනවා. ආපුවම තාත්තා භූමිතෙල් ගහලා එලෝගන්නවා” කියලා.

දැන් ඔය සතාසිව්පාවන්ගෙන් ගොඩ දෙනෙක් ගෘහාශෘතකරණය වුනු සත්තු නෙමේ කියල දන්නවනේ. ගොඩ දෙනෙක් වරද්දගන්න තැනක් තියෙනවා ගෘහාශ්‍රිතකරණය හා හීලෑ කිරීම ගැන. ගෘහාශ්‍රිතකරණයේ අතුරු ප්‍රතිඵලයක් තමා හීලෑ වීම. බල්ලා තමා පලවෙනියෙන් හීලෑ වුනු සතා. ගෘහාශ්‍රිතකරණය කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට සත්තු ශාක මුල් විදිහෙන් වෙනස් වුන එක.

පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැනට අවුරුදු 12000 ක් වගේ සෑහෙන්න කාලෙකට කලින් වී ශාකය කැලෑවල තමා වැවුනේ. පැහිච්ච වී ඇට සුළගෙන් විසිරිලා තමා වැවුනේ. මිනිස්සුන්ට ඉතුරු වුනේ අර සුළගෙන් විසිරිලා ගිහින් ඉතුරු වුනු කරල් ටික විතරයි. ඉතින් මේ මිනිස්සු වගා කළේ අන්න ඒ වී ඇට. ඉතින් කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ ඇට සුළගෙන් විසිරෙන්නේ නැති මුල් ශාකයෙන් වෙනස් වී ශාකය හැදුනේ එහෙම. අන්න ඒකටයි ගෘහාශ්‍රිතකරණය කියන්නේ. මිනිස්සුන්ගේ පාලනය යටතට ගත්තු නිසා ශාක සතුන් වෙනස් වීම.

ඔය වගේ මුං, ඉරිඟු. තිරිඟු වගේ ශාක කාලයත් එක්ක වෙනස් වුනා. මුල් කාලයේ ඉරිඟු ශාකය හීනියට ඇටේ ඇටේ උඩට හිටින විදිහට තිබුනේ. දැන් බලන්න එපැයි. ඔය පල්ලෙහා පින්තූරයේ ඉන්නේ දැන් ඉන්න ගෘහාශ්‍රිතකරණය වුනු ගවයන්ගේ ආදිතමයා 'බොස් ප්‍රිමිජීනියස්' කියන ගවයා.

ඒත් ඉතින් අද ළමයෙක්ගෙන් ගෘහාශ්‍රිතකරණය කියන්නෙ මොකක් ද? කියල ඇහුවොත් 'බල්ලා' කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න දන්නෑ.


Thursday, May 28, 2020

අමරණීය රාජධානිය

මරණයෙන් පස්සේ සිදුවෙන්නේ මොකක්ද? ස්වර්ගයට යනව ද? නැවත ඉපදෙනව ද? එහෙම නැත්නම් මරණයෙන් පස්සේ මුකුත්ම නැද්ද? මේ ප්‍රශ්නය ලෝක ඉතිහාසය පුරාවට මිනිසුන්ගේ සිත් වලට වද දුන්නා. දිළිඳු ගොවියෙක්ට කම්කරුවෙක්ට මේ ගැන සිතුනු දෑ අපට අද දැකගන්න දැනගන්න හැකියාවක් නැහැ. කලා නිර්මාණයක පොත පතක ඈත ඉතිහාසයේ දී ඒවා ගැන ලියවුනේ නැහැ. නමුත් මරණයෙන් පසු සිදුවෙන්නේ කුමක්දැයි රජකෙනෙක්ගේ අදහස් අද අපිට දැකගන්න පුලුවන්. චීනයේ හිටපු රජ කෙනෙක් හිතුවා මැරුණට පස්සේ කොහේ ගියත් තමන්ගේ ආරක්ෂාවට හමුදාවකුත් තියෙන්න ඕන කියලා. ඒ නිසා තමන් ජීවත් වෙලා ඉන්න කාලයේ දීම මරණයෙන් පසු ජීවිතයට ඒ රජතුමා ලෑස්තිවෙනවා. අද කතාව ඒ ගැන.

1974 අවුරුද්දේ ගොවීන් පිරිසක් ළිඳක් හාරමින් ඉන්නකොට එයාලට දැකගන්න ලැබෙනවා දැකලා හුරු නැති දෙයක්. පොළොව යට ගොඩනැගිල්ලක්…! පුරාවිද්‍යා ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් ළකුණු කරගෙන ‘ටෙරාකොටා පිළිම’ තිබූ පොළොව යට කුටීර එදා සොයාගත්තා. පිළිම කිහිපයක් එක් තැනක දි සොයාගන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් මෙතනින් ජීවමාන ප්‍රමාණයේ මැටි හමුදා පිළිම 8000ක් සොයාගත්තා. මීට පෙර එවැනි සොයාගැනීමක් සිදුවෙලා නැහැ.

මේ හැමදේටම මූලික වෙන්නේ චීනයේ පළමු අධිරාජ්‍යයා වුනු ‘ෂින් ෂෝ වන්ඩී’. රාජ්‍යයන් හතකට බෙදී තිබුනු චීනය අධික ලේ වැගිරීමකින් තනි පාලනයකට ගත් පළමු පාලකයා තමා මේ. අවුරුදු 37ක රාජ්‍ය කාලයක මේ අධිරාජ්‍යයා තමන්ගේ නම ඉතිහාසයේ රඳවන්න බොහෝ දේ සිදුකරා. ස්කන්ධය කිරා ගැනීමට විවිධ මිනුම් භාවිතා වීම ගැටළුවක්. මේකට විසඳුමක් විදිහට ස්කන්ධය කිරා ගැනීමට සම්මත ක්‍රමයක් හදුන්වලා දෙනවා රාජ්‍ය කාලය තුලදී. මුලදි රාජ්‍යයන් හතකට බෙදී තිබුනු චීනයේ එක් එක් රාජ්‍යයන් වල භාවිතා වුනේ විවිධ අක්ෂර. දැන් රාජ්‍යන් සියල්ල එක්සත් වෙලා තියෙන නිසා මේක ගැටලුවක්. මේකට විසඳුමක් විදිහට මුලු චීනයටම සම්මත අක්ෂර පද්ධතියක් හදුන්වලා දෙනවා. ඒත් එක්කම අනෙකුත් රාජ්‍යයන් වලින් වන සතුරු උවදුරු වලින් බේරෙන්න ආරක්ෂක විධි විධානයක් විදිහට මේ අධිරාජ්‍යයා හදනවා තාප්පයක්. පස්සේ කාලයේ මේකට තවත් කොටස් එකතු වෙලා හදුන්වනවා ‘චීන මහා ප්‍රාකාරය’ කියලා.

අධිරාජ්‍යයා මරණයෙන් පසු අනාගතයට ලෑස්ති වෙන්නේ රාජ්‍ය කාලයේ පළමු අවුරුද්දේ ඉඳන්. පොළොව යට මේ ගොඩනැගිල්ල කුටීර කිහිපයකින් සමන්විත වෙනවා. පලමු කුටීරයේ ජීවමාන ප්‍රමාණයේ සෙබලු 6000ක් ද දෙවන කුටීරයේ අශ්වයන් සහිත අශ්ව රථ 130ක් සහ අශ්වයින් 600ක් ද තෙවන කුටීරයේ අණ දෙන නිළධාරීන්ගෙන් ද සමන්විත වෙනවා. හතරවෙනි කුටීරයේ තියෙන්නේ අධිරාජ්‍යයාගේ මරණය නිසා (ක්‍රි.පූ. 210 දී) වැඩ අවසන් නොවූ පිළිම. මීට යාබදව තවත් කුටීර කිහිපයක් තියෙනවා. ඒවයේ ගොවීන්, මාළිගාවේ සුළු සේවකයන්, සංගීතඥයින්, රාජ්‍ය නිළධාරීන් වගේම සත්තුන්ගේ පිළිමත් තියෙනවා. මේවා දැක්කම හිතෙන්නේ මේ අධිරාජ්‍යයාට මරණින් පස්සේ යුද්ධයකට එහා ගිය දෙයක් උවමනා කරලා තියෙනවා කියලා.

මේ පිළිම හදන්නේ රතු පාටට හුරු පිළිස්සූ මැටි වර්ගයක් වුනු ටෙරාකොටා වලින්. ඒත් එක්කම මේවා හදන්න කම්කරුවන් 720,000ක් තරම් අති විශාල ප්‍රමාණයක ශ්‍රම දායකත්වයක් ලැබිලා තියෙනවා කියලා වාර්තා වල සදහන් වෙනවා. මේ පිළිම පෙළගස්වලා තියෙන්නේ හමුදා නිලය අනුව. එක් එක්කෙනා වෙනත් ඇඳුම්, ආයුධ සහ කොණ්ඩා මෝස්තර වලින් සැරසිලා ඉන්නවා. ඒ විතරක් නෙමේ මේ පිළිම වලට විවිධාකාර මුහුණේ ඉරියව් වගේම විවිධ කන් පෙති ත් ලබාදීලා තියෙනවා. මේ හැම පිළිමයකටම විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා.

කෙතරම් ටෙරාකොටා පිළිම සොයාගත්තත් වැදගත්ම දේ එතන තිබුනේ නැහැ. ඒ අධිරාජ්‍යයාගේ සොහොන. නමුත් ඉතා මෑත කාලයක දී කරපු කෑනීමකින් ටෙරාකොටා පිළිම තිබූ ස්ථානය කිට්ටුවෙන් පොළොව යටින් අධිරාජ්‍යයාගේ සොහොන සොයාගන්නවා. එහි තවත් පිළිම අති විශාල ප්‍රමාණයකුත් රත්තරන් මුතු මැණික් මෙන්ම සොහොන තුලින් ගමන් කරන රසදිය ගංගාවක් ඇති බවත් ලේඛන වලින් දැනගන්න ලැබෙනවා. එමෙන්ම එම ලේඛන වල සඳහන් වන ආකාරයට මෙම අධිරාජ්‍යයා පොළොව යට සියලු අංග වලින් සපිරුණු රාජධානියක් නිර්මාණය කරනවා. පොළොව යට ගොඩනැගිල්ලේ සිවිලිමේ රාත්‍රී අහස නිරූපනය වී තිබෙන අයුරු පැරණි ලේඛන සාක්ෂි දරනවා,

නමුත් අවාසනාවකට එම සොහොන සොයාගත්තද අද තාක්ෂණයේ දුර්වලකම් නිසා එම වස්තූන් සියැසින් දැකගත නොහැකියි. එම වස්තු සම්භාරයට හානි නොවී තබාගැනීමට නම් එම සොහොන විවෘත නොවී තිබිය යුතු බවයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස.

තාක්ෂණය දියුණු වූ දිනෙක වසර දෙදහසකට අධික කාලයකට පෙර තාක්ෂණයෙන් සෑදූ සොහොන අපි සියැසින් දැකබලා ගමු. එතෙක් ඉවසන්න.


Wednesday, May 27, 2020

'පෝපොල් වූහ්' සහ තවත් කතා

බයිබලයේ පරණ ගිවිසුමේ උප්පත්ති පොත කියවනකොට ගොඩක් අය කියන දෙයක් තමා ඒවා ‘මිත්‍යා කතා’ කියල. ඒක හරි. ඒවා මිත්‍යා කතා තමයි. නමුත් ඉතිහාසය නිතර කියවන කෙනෙක් විදිහට මිත්‍යා කතා අමතක කරල කියවන්න ගියොත් ශිෂ්ටාචාරවල කියවන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැති තරම්. මොකද ඒ ඒ සංස්කෘතීන්ට එයාලගෙ ඇදහිලි ඉතා තදින් බද්ධ වෙලා තියෙන්නේ. ඊජිප්තු පිරමීඩෙක චිත්‍රයක් ගත්තොත් 90%කට එහා දෙවි කෙනෙක් දකින්න පුලුවන්.

මම බයිබලයේ උප්පත්ති පොත කියවන්නෙත් මේ විදිහට. මේක අද ඊයේ ලියවිච්ච පොතක් නෙමේ. මේ කතාන්දර බයිබලයට ආපු විදිහක් තියෙනවා. උප්පත්ති පොතේ කතාන්දර වලින් 95% කට වඩා එන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයෙන්. ඒ ශිෂ්ටාචාරයේ කතාවල ලොකු සමානකමක් තියෙනවා උප්පත්ති පොතේ කතා වලට. මැවීම, නෝවාගේ නැව, බාබෙල් කොත වගේ කතා ඒ කාලෙ මෙසපොතේමියාවේ ළමයිනුත් පොඩි කාලෙ ඉගෙනගෙන තියෙනවා. මම ලියන ලිපි කාලෙක ඉදන් කියවන කෙනෙක් නම් නෝවාගේ කතාව, බාබෙල් කොත, විෂ්ණුගේ දස අවතාර වගේ උප්පති පොතේ දෙවියන් නිරූපනය වීම යන කාරණා ගැන ලියූ ලිපි කියවල තියෙනවා කියල හිතනවා.

මම මේ සටහන ලියන්නේ ඒ ලිව්ව ඒවා ගැන කතාකරන්න නෙමේ. ශිෂ්ටාචාරවල ඉතිහාසය කියවනකොට මම මුලින්ම කරන්නේ ඒ ඒ ශිෂ්ටාචාරයේ ඇදහිලි කියවන එක. මොකද ඒ සමාජයන් වල හැම අංගයක්ම වාගේ ඇදහිලි වලට බද්ධ වෙලා තිබුනේ. චිත්‍රයක් දැක්කම “අනේ ෂෝක් චිත්‍රෙ.” කියනවට වඩා ඒ චිත්‍රයෙන් කියවෙන්නෙ මොකක්ද කියල දැනගන්න මම කැමතියි.

මම ඒ කියවපු තැන් වලින් දැකපු පොදු කාරණයක් තමා මොන ශිෂ්ටාචාරයක ඇදහිල්ලක් කිව්වත් ඒ හැම එකකම කුඩා හෝ සමානකමක් තියෙනවා. සමහර ඒවා හිතාගන්න බැරි වෙන විදිහට සමානයි. ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඇදහිල්ලක තියෙනවා මියගියාට පස්සේ හදවත තරාදියක දාලා කිරනවා. ඔය වගේම එකක් හින්දු සංස්කෘතිය තුලත් තියෙනවා (පහල ඒ ගැන කුඩා සටහනක් තියෙනවා).

ඔය වගේ මම ළඟකදි මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ගැන කියවනකොට හමුවුනා විශේෂ පොතක්. මේකේ නම තමා ‘පෝපොල් වූහ්’. මේ මායාවරුන්ගේ පූජනීය ග්‍රන්ථයක්. මේකෙ ඉංග්‍රීසි පරිවර්තනය හොයන් මම කියෙව්වා. මම අර කලින් කිව්ව සාධයක එතනදිත් ඔප්පු වුනා. මුල් කොටස් කිහිපය බයිබලයට බොහෝ සෙයින් සමානයි. මුලදි ආලෝකය හා අදුර, පලමු මිනිසා විතරක් නෙමේ මහා ජල ගැල්මක් ගැනත් තියෙනවා. ජල ගැල්ම ගැන කතාවනම් ගොඩක් තැන් වලදි දකින්න පුලුවන්. මෙසපොතේමියාවෙන්, ග්‍රීක සහ හින්දු ඇදහිලි වලත් මේ කතාව තියෙනවා.

මායාවරුන් සමස්ත කාලය යුග පහකට බෙදුවා. එක් යුගයක් බක්ටූන් 13ක්. මේ එක යුගයක් අවුරුදු 5200ක් වගේ විශාල කාලයක්. ඒක හරියට ආසියාතික රටවල් වලින් එන ‘කල්පය’ සංකල්පය වගේ දෙයක්. මායාවරුන් විශ්වාස කලේ පෘතුවිය ඇතිවුනේ ක්‍රි.පූ. 3114 වගේ කාලෙක කියල. ඉතින් බක්ටූන් 13කින් සමන්විත වුනු එක් යුගයක නිමාව සටහන් වුනේ 2012 දෙසැම්බර් 23. මායාවරු හිතුවා එදාට ලෝකය විනාශ වෙනවා කියල. කොහොමෙන් හරි ඒ විශ්වාසයෙන් ගොඩක් මිනිස්සු පොහොසත් වුනා.

මායාවරු විශ්වාස කරා අහසේ දෙවිවරු ඉන්නේ. එයාලට ඉන්න හසේ මට්ටම් 13ක් තියෙනවා කියල. ඒත් එක්කම පොලොව යට අපායේ මට්ටම් 9ක් තියෙනවා කියලත් විශ්වාස කරා. ඩාන්ටේගේ කලා කෘතියක් තියෙනවා ඩිවයින් කොමඩි කියල. ඒකෙ මුල් කොටස ‘ඉන්ෆර්නෝ’. එතනදි ඩාන්ටේ අපාය කොටස් 9කට බෙදනවා. ෆිල්ම් එකකුත් ආවා ඉන්ෆර්නෝ කියල. ඩාන්ටේට මයාවරුන්ගේ සංකල්පයේ ආභාෂය තියෙන්න ඇති කියල මම හිතනවා.

ඔය වගේ ඇදහිලි වලින් කොටස් අරගෙන සමාජයට මිශ්‍ර වුනු දේවල් තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. බයිබලයේ ආදම් සහ ඒව තහනම් ගගෙන් ගෙඩි කාලා ඒදන් උයනෙන් යන්න වුනා කියල බයිබලයේ තියෙනවනේ. ගොඩක් තැන්වලදි කියවෙනවා මේ කාපු ගෙඩිය ඇපල් ගෙඩියක් කියල. මාක් ට්වේන් ආදම් සහ ඒවගේ දිනපොත කියල කෙටි කතාවකත් ඔය ඇපල් කතාව කියනවා. ඒත් බයිබලයේ එහෙම කතාවක් නැහැ. ඔය ඇපල් කතාව එන්නේ ග්‍රීක ඇදහිලි වලින්. එතනත් ආදම් සහ ඒවට සමාන කතාවකින් ඇපල් ගෙඩියක් ගැන කියවෙනවා. (මාක් ට්වේන්ගේ ආදම් සහ ඒවගේ දිනපොත කෙටි කතාව කියවන්න කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගියොත් මම කරපු පරිවර්තනය කියවන්න පුලුවන්. තරමක් දිගයි කොටස් තුනකින් ලියල තියෙන්නේ.)

හරි ආයෙත් එමු කතාවට. මායාවරුන් එයාලගේ 166ක් දෙවියන්ව නිරූපනය කරනකොට එකම දෙවියන්ව කාන්තා හා පිරිමි යන දෙයාකාරයෙන්ම නිරූපණය කළා. ඒ වගේම තරුණ - මහළු ස්වරූප දෙකෙනුත් නිරූපණය කරා. මිනිස්සු සත්තු නිරූපණය කරද්දිත් මේ දේ ඒ විදිහෙන්ම සිද්ධ වුනා. ඒකෙන් එයාලා කියන්න උත්සහ කරේ හැම දේකම දෙපැත්තක් තියෙනවා. හොද සහ නරක. හොද තියෙනවා නම් නරක අනිවාර්යෙන් තිබිය යුතුයි. හොදක් ගැන කතාකරන්න සිද්ධ වෙන්නේ නරකක් තියෙන නිසා. ඒ විතරක් නෙමේ මේ මායාවරුන්ගේ හැම දෙවිකෙනෙක්ටම අපායේ අවතාරයකුත් තියෙනවා කියල විශ්වාසයකුත් තිබුනා.



පැරණි ඊජිප්තු ඇදහිල්ලක් (කලකට පෙර ලියූවක්)

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසර හාරදහසක් පමණ පැරණි ඊජිප්තු ඇඳහිල්ලකි. පුද්ගලයෙක් මියගිය විට රා දෙවියන්ගේ අණ මත තෝත් දෙවියා විසින් මියගිය පුද්ගලයාගේ හදවත තරාදියකට දමා මැන බලයි. තරාදියේ අනෙක් පැත්තට දමන්නේ පිහාටුවකි. හඳවත පිහාටුවට වඩා බර වුවහොත් ඔහුගේ ලඟින් සිටින නරියා හදවත කා දමයි.

හඳවත නිත්‍ය වශයෙන්ම පිහාටුවකට වඩා බර බව අපි සියලු දෙනාම දනිමු. මෙම පුරාණ ඇදහිල්ලෙන් ඊජිප්තුවන් බලාපොරොත්තු වූ දේ අදටත් වලංගුය. එනම්; යමෙකුගේ හදවත බර වැඩි වීමට ඔහු හෝ ඇය විසින් ඕනෑකමින් වැරදි කල යුතුය. සැමවිටම යහපත් දේ කිරීමෙන් හදවත පිහාටුවක් මෙන් සැහැල්ලුව තබාගත හැකි බව පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කලහ. මමීකරණයේදී ශරීර අභ්‍යන්තරයේ ඇති සියලුම ඉන්ද්‍රියන් ඉවත් කර බදුන් වල ගබඩා කර තැබුවත්, හදවත ශරීරය තුලම තබන්නේ මේ නිසාවෙනි.

වේද ග්‍රන්ථ වලට අනුව යම දෙවියා මරණයට අධිපති හා දකුණු දිශාවට අධිපති වීය. ඔහු අපායවල් වල සිටින වැරදි කලවුන් විනිශ්චයට ලක් කරන දැඩි හිතක් ඇති දෙවියෙක් බව හින්දු ජනයා විශ්වාස කලහ. කර්ම වාදයේ හැටියට මළවුන් විනිශ්චය සදහා දෙවියෙකු අවශ්‍ය නොවේ. එනම් මෙම සංකල්පය බටහිරින් ආවක් බව සිතිය හැකිය. එනම් මෙම සංකල්පයේ මූලය පුරාණ ඊජිප්තුව දෙසට දිව යයි. යම දෙවියන් විසින් චිත්‍ර ගුප්ත නම් අතවැසියෙකුගේ සහය ඇතිව පින් පව් තරාදියක දා කිරණ බවක් කියැවේ.



Friday, May 22, 2020

පුස්කොළ සකස් කිරීම හා ලිවීම


ශතවර්ෂ විසි දෙකකට අධික කාලයක් තිස්සේ ලාංකිකයන් ලිවීම සඳහා භාවිතා කල කොළ වර්ගය පුස්කොළ ලෙසින් අපි හදුන්වමු. මෙය පිළියෙළ කිරීම ඉතා දුෂ්කර කාර්යයක්. මේ සදහා යොදාගනු ලබන්නේ තල ගොබයකි. තල් කොළ ලෙසින් නොකියා පුස්කොළ යනුවෙන් පවසන්නේ ‘කිසිවක් නොලියන ලද හිස් කොළය’ යන අර්ථයෙනි. සාමාන්‍යයෙන් පත්‍ර අසූවක පමණ තල ගොබයක් අඩි දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වේ. මෙය පියවර ලෙසින් පහත දැක්වේ.

  1. ඉරටුව ඉවත් කර පත්‍රය රෝලක් ලෙසින් ඔතයි. මෙය හදුන්වන්නේ ‘වට්ටු’ යන නමින්.
  2. දිය හැලියකට වට්ටු දමා මද ගින්නේ තම්බා ගනියි.
  3. පසුව ඒවා ඉවතට ගෙන දින තුනක් පමන එළිමහනේ තබයි.
  4. සිනිදු මතුපිටක් ඇති ලීයක් ගෙන තල කොළය මැද මට්ටම් කරයි.
  5. ඉන්පසු නියමිත දිග ප්‍රමාණ අනුව තල පත කපා ගනියි. (සාමාන්‍යයෙන් දිග අඟල් 6සිට 32 දක්වාත් පළල අඟල් 2ක් පමණ)
  6. පොත් ලණුව යැවීමට එක් එක් පත් ඉරුවේ රත් කළ යකඩ කූරකින් සිදුරු දෙකක් විදියි.
  7. පත් ඉරු එකට තබා සිර කර සෑම පත් ඉරුවක්ම සමාන වන පරිදි පැති දාර රත් යවටෙකින් පිළිස්සීම. (මෙමගින් පුස් බැඳීමත් කාවන් කෑමත් වැළකෙන බව කියයි)
  8. එක් වෙළුමකට අයත් පත් ඉරු ‘කම්බ’ නම් වැසුම් දෙකක් අතර හිර කරයි. ලී කම්බ බොහෝ විට කැටයම් වලින් අලංකාර වෙයි.

පුස්කොළ පොත් වල ලිවීමේ කටයුතු උල්කටුව හා පන්හිඳ යන කූරු භාවිතා කරයි. උල්කටුව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ආධුනිකයන් විසින්. මෙය අඟල් දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වන අතර ලේඛකයාගේ පහසුව තකා පන්හිඳේ දිග වෙනස් වේ. පන්හිඳ කිහිපයක් ඇති ලේඛකයන් ඒවා කොපුවක බහා තබන අතර පත් ඉරු කපා ගැනීම සඳහා පිහියකුත් එම කොපුවෙහිම තබා ගනියි. පන්හිඳක ප්‍රධාන කොටස් පහකි.

  1. ඡත්‍රය
  2. පත්‍රය හෙවත් තලය
  3. නළය හෙවත් කඳ
  4. ගණ්ඩ හෙවත් පොහොට්ටුව
  5. ලේඛනිය හෙවත් ලියන තුඩ

පුස්කොළ පොතක ලිවීමේ කලාව පහසු කාර්යයක් නොවේ. එය ඉතා ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතු විෂයකි. සාමාන්‍යයෙන් අප පෑනක් අල්ලාගන්නා ආකාරයෙන් දකුණතින් පන්හිඳ අල්ලා ගන්නා අතර වම් අතේ මහපට ඇගිල්ල මත පන්හිඳේ ලේඛනිය තබා ගත යුතුයි. ලියන විට පත් ඉරුවේ සිදුර වටා ද දෙපසින් අඟල් එකක් එකහමාරක් පමණ තබා ලේඛනයෙහි යෙදීම සිදු කරයි.

පත් ඉරුවේ දෙපැත්තෙහිම ලේඛන කටයුතු සිදු කළත් පිටු ලකුණු කරන්නේ ඉදිරිපස පත් ඉරුවේ පමණයි. එසේ පිටු ලකුණු කිරීමට භාවිතා වන්නේ අප දැන් භාවිතා කරන ඉලක්කම් නොවේ. සිංහල හෝඩියේ ව්‍යඤ්ජන අකුරුයි. පලමු පත් ඉරුවේ ‘ස්වස්ති’ යනුවෙන් මංගල වචනය ලියා පසුව ‘ක’ අකුරෙන් (පලමු ව්‍යඤ්ජන අක්ෂරය) පටන් ගෙන පිළිවෙලින් ‘කි’ ‘කී’ ආදී වශයෙන් ලියැවේ. සංස්කෘත හෝඩියේ ව්‍යඤ්ජන තිස් හතරෙන් එක් ව්‍යඤ්ජනයක් ආකාර 16 බැගින් ගත් විට අකුරු 544ක් ලැබේ. මේ නිසා පත් ඉරු 544කින් පසු නැවත ‘ක’ අකුරෙන් ආරම්භ කල යුතුයි. මෙහිදී ‘ක’ අකුරට පසු ‘ද්ව’ ලෙස සටහන් කළ යුතුයි. එවිට පත් ඉරුව ලියැවෙන්නේ ‘ක ද්වි’ ලෙසයි. මෙසේ දෙවන කාණ්ඩයත් අවසන් වූ පසු තෙවන කාණ්ඩය ‘කත්‍රි’ ලෙසින් ඇරඹෙයි.

පුස්කොළ පොතක ලියූ දෑ කියවීමට නම් ‘කළුමැදීම’ සිදුකල යුතුයි. ගැඩුඹ ලී දවා ලබාගත් අඟුරු සියුම්ව කුඩුකර දුම්මල තෙලෙන් අනා පිළියෙළ කරගත් මිශ්‍රණයෙන් පත් ඉරු තවරයි. මෙසේ තැවරීමෙන් පසු දහයියාවලින් හෝ පිරිසිදු සුදු රෙදි කැබැල්ලකින් පිස දමයි. මෙම දුම්මල නිසා පුස්කොළය හොද තත්ත්වයෙන් තබාගත හැකි අතර කාවුන්ගෙන් වන උවදුරු ද වැළකේ.

පුස්කොළ පොතක රූප සටහන් අඳින්නේ කලාතුරකින්. කොළඹ පුස්තකාලයේ තිබෙන වෙස්සන්තර ජාතකය ඇතුලත් පුස්කොළ පොතේ කවි 837ක් තිබේ.මෙහි සෑම පත් ඉරුවකම පාහේ කවියට අදාළ රූපයක් ඇඳ තිබේ. එසේ ඇඳි චිත්‍ර 318ක් මෙම පුස්කොළ පොතෙහි දක්නට ලැබේ. දැනට ඇති පුස්කොළපොත් අතරින් පැරණිතම පුස්කොළ පොත වන්නේ චුල්ලවග්ගපාලියේ අත්පිටපතයි. මෙය 13 වන සියවසට අයත් වූවක්.

ලංකා ඉතිහාසය තුල තල්පත් භාවිතා වූ අවස්ථාවක් ලෙස උත්තිය කුමරු තම සහෝදර කැළණිතිස්ස රජුගේ අගබිසවට පෙම් හසුන තල්පතක ලියා යැවීම සදහන් කළ හැකියි. දකුණු ආසියාතික රටවල්වල ප්‍රචලිත වූ තල්පත් ලේඛනය මෙන්ම ඊජිප්තු වැනි ශිෂ්ටාචාර වල ප්‍රචලිත වූ පැපිරස් පත්‍ර ලේඛනයක් ද හදුනාගත හැකියි. ඒ ඒ සංස්කෘතීන් තුල මෙම අංග කාලයත් සමග වර්ධනය වූ ආකාරය ඉතිහාසය කියවීමේ දී දැකගත හැකියි.

මූලාශ්‍ර:

  • මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි
  • ලංකාවේ අධ්‍යාපනය (සියවස් ප්‍රකාශනය) I කාණ්ඩය -අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
  • පැරණි ලංකාවේ ග්‍රන්ථ නිශ්පාදනය - සී.එම්. ඔස්ටින් ද සිල්වා


Saturday, May 16, 2020

ලංකාවේ පළමු කවට පුවත්පත, 'කවට කතිකයා'

ලංකාවේ පළමු කවට පුවත්පත ‘කවට කතිකයා' ලෙස හැදින්වේ. මීට වසර 147කට පෙර, එනම්, 1872 වසරේ ජනවාරි මස 1 වන දින අරඹන ලද මෙම පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ අතිශය දක්ෂ කවටයෙක් වූ ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි ය. කවට කතිකයා ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු විසි තුනකි. එතැන් පටන් ඔහු වසර හතළිහක් පමණ කවට කතිකයා පුවත්පතේ සංස්කාරක ධුරය හෙබවූ නිසා දොන් පෑලිස් අප්පුහාමි මෙතෙක් ලංකාවේ වැඩිම කාලයක් පුවත්පත් සංස්කාරක ධුරයක් හෙබවූ පුද්ගලයා ලෙස හඳුන්වා දීමටත් හැකියි. ලංකාවේ මුල් කාලීන පුවත්පත් පිරික්සන විට පුවත්පත කවියකින් ආරම්භ කිරීම පොදුවේ දක්නට ලැබෙන දෙයකි. කවට කතිකයා පුවත්පත ද ආරම්භ වන්නේ කවියකිනි. කලින් කලට මෙම කවිය වෙනස් වුවත් එම කවිය මෙසේ යි;

‘සිතට පිරිය බස් ලියුමට පෑන අතට         ගත්තා

පවට ඔබින දුසිරිත් දුර ලෑමා නිතර         යුත්තා

කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා

ලකට පහළ වූ මමවද කවටකතිකා          මුත්තා’

මෙම කවියේ සදහන් වන කවටකතිකා මුත්තා යනු කවට කතා කියන තැනැත්තා ය. පුවත්පතේ මුල් පිටෙහි ඔහුගේ කාටුන් පින්තූරයක් ඇඳ තිබේ.තමන්ගේ හිසටත් ඉහළින් යන පිහාටු පෑනක් අතැතිව සිටින කවටකතිකා මුත්තාගේ මුහුණ රැලි වැටී ඇති අතර රැවුල ද පැසී ගොස් ඇත. ඔහුගේ පිටුපසින් ඔහුට ආවතේවකම් කරන සේවකයා ලෙස වඳුරෙක් සිටියි. උගේ නම හනුමාන් ය. පුවත්පත ආරම්භයේදීම එයට විවේචන එල්ල වන්නට විය. මෙසේ පළමු විවේචනය එල්ල කලේ ‘ලක්රීවි කිරණ’ පුවත්පත යි. ඔවුන් කවට කතිකයා පුවත්පතේ මුල් පත්‍ර දෙක පිලිබදව තම පුවත්පතේ විවේචනය එල්ල කළ අතර එයට පිළිතුරු ලෙස කවට කතිකයා පුවත්පත ද ‘අප සමකාලිකයානෝ’ යන මාතෘකාවෙන් ලිපියක් පල කළේ ය. එයින් ලක්රිවි කිරණ පුවත්පත එල්ල කළ විවේචන එකින් එක බිඳ දමා හාස්‍යයට ලක් කළ අතර, එමඟින් එම විවේචනය පුස්සක් බවට පත් කිරීමට හැකි විය.

කවට කතිකයා පුවත්පතේ පිටුවක් (dinamina.lk)

මෙම පුවත්පතේ සංස්කාරකවරයා නොහොත් සැබෑ කවටකතික මුත්තා වන දොන් පෑලිස් අප්පුහාමි උපන්නේ 1847 වර්ෂයේ තෙළඟපාත නම් ගමෙහි ය. මොහු ගමෙහි විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලැබී ය. පෑලිස් අප්පුහාමිගේ මුහුණ පුරා රැවුල වැවී තිබුණු අතර ඔහු තම ජීවිත කාලය පුරාවට සිදු කලේ මිනිසුන්ව හිනැස්වීම යි. මේ නිසා මිනිසුන් පෑලිස් අප්පුහාමිව ‘විකට රජා' යන නමින් ද හැඳින්වීමට පටන් ගත්තේ ය. කාට හෝ කවටකමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තරාතිරම නොබලා ඔහු එය නිසැකයෙන්ම සිදු කරයි. කවට කතිකයා පුවත්පතේ ආරම්භයේ සදහන් ලෙස ‘කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා’ යන්න ඔහු ස්ථිරවම තම ජිවිත කාලය පුරාවට පිලිපැද්දේ ය. ඔහු හික්කඩුවේ නායක මාහිමියන් කෙරෙහි දැඩි භක්තියකින් යුතුව සිටියත් උන්වහන්සේටත් කවටකමක් කරන්නට අවස්ථාව ලැබුන විට ඔහු එය අත හැරියේ නැත.

දොන් පෑලිස් අප්පුහාමිගේ මෙම ගුණය නිසාවෙන් ඔහුට නඩු වැටුනු අවස්ථාවක් ද තිබේ. ඉංග්‍රීසි රජ පවුලේ සටහන් ඇති ලේන්සුවක් එකල වෙලදපොලේ සංසරණය වන්නට විය. මෙය දුටු පෑලිස් අප්පුහාමි කවට කතිකයා පුවත්පතේ ‘ඉංග්‍රීසි රජ පවුල අමුඩේට ගිහින්!’ යන මාතෘකාවෙන් කවට පුවතක් පල කළේ ය. එකල ඉංග්‍රීසින් ලංකාව තමන්ගේ දැඩි ග්‍රහණයට නතු කරගෙන සිටි අවධියක් නිසාවෙන් මෙම පුවතට නඩුවක් වැටුනී. මෙය තරමක් බරපතල නඩුවක් නිසා පෑලිස් අප්පුහාමිගේ මිතුරු නීතිඥයන් එයට කතා කිරීමට ඉදිරිපත් වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර නීතිඥයෙකු නොමැතිව නඩුකාරයා ඉදිරිපිටට ගියේය.

නඩුව ඇසීමට බොහෝ ජනකායක් පැමිණ තිබුණි. පෑලිස් අප්පුහාමි තම නිදහසට කරුණු කීමට අවස්ථාව පැමිණි විට සියලු දෙනාම බලා සිටිය දී තම කබාය, කමිසය හා බැනියම ගලවන ලදී. ඉන්පසු යටට ඇද තිබු ටුවීඩ් රෙද්ද උනා දමා එයට යටින් ඇඳ තිබු අනෙක් රෙදි එකින් එක ගලවා පැමිණි සිටි පිරිස හාස්‍යයෙන් මත් කිරීමට පටන් ගත්තේ ය. අවසානයේ දී ඔහු අමුඩය දක්වාම තම රෙදි උනා දැමු අතර තමන්ගේ නිදහසට කරුණු පෙන්වීමට නම් අමුඩයත් ගලවා දැමිය යුතු පවසා එය ගැලවීමට යන විට නඩුකාරතුමා කෑ ගසා එය නැවැත්වූ බව කියවේ. “මා ලෑස්ති වුනේ හරියටම මගේ නිදහසට කරුණු පෙන්වා දෙන්නට යි. එහෙත් එයට ඉඩ නොලැබෙන බව පේනවා. මෙන්න එහෙනම් අමුඩයේ රජ පවුල" කියා අමුඩ පොට ඔසවා නඩුකාරයට පෙන්නුවේ ලු. ඉන්පසු “මේ පිස්සා උසාවියෙන් එලවා දමව්” කියා පෑලිස් අප්පුහමිව උසාවියෙන් එලවා දමා නඩුවෙන් ද නිදහස් වූ අයුරු එකල මිනිසුන් අතර බහුලව කතා බහකට ලක්වූ සිද්ධියකි. ඊට පසු දින ‘රජ අමුඩේ නිදහස් වේ’ යන්නෙන් ලිපියක් ද කවට කතිකයා පුවත්පතේ පල කිරීමට ඔහු වගබලා ගත්තේය.

රටම විනෝදයෙන් පිරවූ පෑලිස් අප්පුහාමි 1910 වසරේ සැප්තැම්බර් මස 4 වන දා මෙලොවින් සමුගත්තේ ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙක් වූ ඩේවිඩ් සහ ජෝර්ජ් යන දෙදෙනා 1913 වසර තෙක් කවට කතිකයා පුවත්පත පවත්වාගෙන් ගියේ ය. පෑලිස් අප්පුහාමි ජීවත්ව සිටිය දී ලද මහජන ප්‍රසාදය එයට නොලැබුණු නිසා එය අභාවයට පත්විය. ඉන්පසු ලංකාවේ තවත් කවට පුවත්පත් ආරම්භ වුව ද ඒවාට පෑලිස් අප්පුහාමිගේ කවට කතිකයා තරම් ජනප්‍රිය වන්නට හැකියාවක් ලැබුනේ නැත. කම්මැලිකම සාර්ථකත්වයට බාධාවකි. කවට කතිකයා පුවත්පතේ එයට බෙහෙතක් යෝජනා කරයි. එයත් අසා අපි මෙම ලිපිය අහවර කරමු.

‘කම්මැලි කම පිට බුදියා ග      න්නේ

කොච්චි මිරිස් තුන් කලඳක් ග න්නේ

අඹරා පස්සට වස්ති කර         න්නේ

කම්මැලිකම් ඒකෙන් දුරු ව    න්නේ’

මූලාශ්‍ර:

1)සිංහල පුවත්පත් හා සඟරා ඉතිහාසය - කලුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමි

2)දිවයින හා දිනමිණ පුවත්පත්

[මෙය වසරකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. එහි මවිසින් ලියූ තවත් ලිපි කියවන්න මෙතනින්]

කවට කතිකයා පුවත්පතේ කර්තෘ පෑලිස් අප්පුහාමි (dinamina.lk)


කවට කතිකයා පුවත්පතේ මුල් පිටුව (divaina.lk)

වාසිතය බ්ලොග් අඩවියේ පළවූ තෝරාගත් පැරණි ලිපි 5ක්. මේවා අතපහු උනානම් කියෙව්වට කාරි නෑ.

1. වරද කාගෙද? (56 සිංහල පමණක් පනත ගැන විග්‍රහයක්)

2. දෙවියන්ගේ මිනිස්සු - ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

3. ජාතික වස්තුවක් ලෙස මියගිය ඊඩිත් පියැෆ්

4. සිංහල සිනමාවේ හියුගෝ සළකුණ

5. සමරකෝන් මැරුනේ නැත. අපි ඔහු මැරුවෙමු.


ජුලියස් සීසර්ව මැරුවේ කව් ද?

ක්‍රි.පූ. 44, මාර්තු මස 15 වන දින රෝමානු සෙනෙට් සභිකයන් කණ්ඩායමක් විසින් සෙනෙට් රැස්වීමකදී ජුලියස් සීසර්ව මරා දමයි. පිහි ඇනුම් 23 ක් ඇතිව මෙම ඒකාධිපතියා මරණය අත්කර ගනියි. එහෙත් මෙම මරණයට වගකිව යුත්තේ කව්ද?සීසර්, ඝාතකයන්ගෙන් එක් අයෙකු දෙස බලා තම අවසන් හුස්ම හෙළූ බව ෂේක්ස්පියර්ගේ පාඨකයන් දනියි. සීසර්ගේ යහලුවෙක් වූ ඔහු නමින් මාර්කස් ජුනියස් බෲටස් වේ. “Et tu, Brute?” “බෲටස්, ඔබත්” යන්න සීසර්ගේ අවසන් වදන් බව “ජුලියස් සීසර්” නම් නාට්‍යයේ සදහන් වේ. තත්ත්වය එසේ වුවත් සීසර් සත්‍ය වශයෙන් ම​ එසේ පැවසුවේ යයි සනාථ කළ නොහැක​. ඇතැම් වාර්තා අනුව ඔහු පවසා ඇත්තේ “ඔබත් මා දරුවා!” යනුවෙනි. එපමණක් නොව බෲටස් සීසර්ගේ ළඟම හිතවතෙක් හෝ ඝාතනයේ මහමොළකරු ද නොවේ.

ඝාතනය සැලසුම් කිරීමට කිහිප දෙනකුම සම් බන් ධ වූ අතර ඉන් මහ මොලකරු වූයේ වෙනත්ම පුද්ගලයෙකි. ඔහු නමින් ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් වේ. ඩෙසිමස්, මාර්කස් බෲටස්ගේ දුරින් නෑයෙකි. ෂේක්ස්පියර් විසින් ඩෙසිමස්ව සීසර් ඝාතනයට ඈදා නොමැති බැවින් ඔහු සියල්ලන්ටම අමතක වූ ඝාතකයෙක් වූ අතර මෙහි මහමොළකරු ද වූයේ මොහුයි. අනෙක් අතට, සීසර්ගේ ළඟින් ම හිඳ ඔහුට ද්‍රෝහී වුව්වකු වේ නම් ඒ සුප්‍රකට මාර්කස් බෲටස් නොව මේ කියන ඩෙසිමස් බෲටස් ය​.ෂේක්ස්පියර් විසින් සීසර් ඝාතනය උදෙසා ප්‍රධාන වශයෙන් දෙදෙනෙක් යොදවයි. ඒ මාර්කස් බෲටස් හා කැසියස් ලොන්ගිනස් ය. ෂේක්ස්පියර් ඩෙසිමස් ව නාට්‍යට ඇතුලත් කරද ඔහුගේ නම ඩෙසියස් ලෙස වෙනස් කරයි. මෙම වෙනස්කිරීම සාමාන්‍යයෙන් ප්‍රකට ඉතිහාස කතාවට පාදක වන නමුත්, ඩෙසිමස් මෙම ඝාතනයේ මහමොළකරු බව ඓතිහාසික මූලාශ්‍ර සොයා බැලීමේ දී පෙනී යයි.බෲටස් හා කැසියස්ට වඩා ඩෙසිමස්, ජුලියස් සීසර්ට හිතවත් ව සිටියේය. සීසර් බලය ලබා ගැනීම උදෙසා කෙරූ සිවිල් යුද්ධයේ දී ඉහත දෙදෙනා සීසර්ට විරුද්ධව සිටියත් ඩෙසිමස් සීසර්ගේ ළඟින්ම ඔහුට පක්ෂපාතීව සිටියේය. සිවිල් යුද්ධයෙන් පසු සීසර් විසින් බෲටස්ට හා කැසියස්ට සමාව දී තම දේශපාලනඥයින් ලෙස පත්කර ගත් නමුත් සීසර් ඔවුන්ව විශ්වාස කලේ නැත.

ඩෙසිමස් රෝම ප්‍රභූ පැලැන්තියට අයත් වූ අතර ඔහුගේ සීයා රෝම අධිරාජ්‍යය ස්පාඥ්ඥය දක්වා වර්ධනය කිරීමට සමත් විය. එනමුත් ඩෙසිමස්ගේ පියා එතරම්ම දක්ෂ නොවූ අතර මව කැරැල්ලකට ද අත ගැසීය. ඒ හේතුවෙන් ඩෙසිමස්ගේ පවුලේ කීර්තිය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගියේය. ඉන්පසු සීසර් පැමිණ ඩෙසිමස්ට තම පවුලේ ගෞරවය නැවත නගා සිටුවීම සදහා අවස්ථාවක් ලබා දුන්නේ ය.

ඩෙසිමස් හොද අධ්‍යාපනයක් ලැබූ එඩිතර සෙන්පතියෙක් සහ යුධ වීරයෙකි. ඩෙසිමස් සීසර්ගේ හමුදාවට එක් වූයේ ඔහුට වයස විසි ගණන් වන විට දී රෝම අධිරාජ්‍යයට ගෝල් දේශය (ප්‍රංශය හා බෙල්ජියම) එකතුකර ගැනීමේ සටන් වලදීය. මෙම ගෝල් දේශය අත්පත් කර ගැනීමේ කාර්යයේදී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කල ඩෙසිමස්, සීසර්ට ගෝල් දේශය අත්කර දීමට සමත් විය. රෝමානු සෙනට් සභාවේ සිටි සීසර්ගේ සතුරන් සීසර්ව බලයෙන් පන්නා දැමීමට කටයුතු සිදු කරමින් සිටි අතර එය සිවිල් යුද්ධයකට පෙරලුණි. මෙම සිවිල් යුද්ධයේදී ඩෙසිමස් සීසර්ට පක්ෂපාතීව සිටියේ ය. ඉන්පසු නැවතත් ගෝල් දේශයේ මධ්‍යධරණී කොටසේ සටනකදී ඩෙසිමස් ජයග්‍රහණය කලේය. එමනිසා සීසර් ඩෙසිමස්ව ගෝල් දේශයේ ආණ්ඩුකාරයා ලෙස පත්කොට වෙනත් පෙදෙසක ඇති සටන් සදහා ගියේය. ඉන් වසර හතරකට පමණ පසු එනම් ක්‍රි.පූ. 45 දී සීසර් තම යුධ ජයග්‍රහණ ඇතිව විජයග්‍රාහීව රෝමයට පිවිසියේය. මෙසේ රෝමයට යන විට සීසර් අසලින්ම ඩෙසිමස් ද සිටියේය. මෙතරම් සීසර්ට පක්ෂපාතීව සිටි ඩෙසිමස් මින් මාස නමයකට පසු සීසර්ව ඝාතනය කලේ ඇයි?

බොහෝ රෝමානු වැසියෝ සීසර්ට තිබූ බලය පිලිබද බියකින් සිටිය හ​. රෝම අධිරාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් යැයි කීවද එහි මේ වන විට තිබුනේ මිලිටරි ඒකාධිපතිවාදයකි. සීසර් ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජිණව තම අනියම් බිසව බවට පත්කර ගත්තේය. ක්‍රි.පූ. 44 මාර්තු මස වන විටදී ඇය රෝමය අවට පිහිටි සීසර්ට අයත් ස්ථානයක විසීමටද පැමිණි අතර ඇගේ ලාබාල දරුවා සීසර්ගෙන් ජන්මය ලද බවද පැවසීය. මේ සියල්ල රෝම සංස්කෘතිය හිස් මුදුනින් පිලිගත් අයගේ දෝෂාරෝපණයට හේතු විය.

ඩෙසිමස් නිදහසට වඩා ගෞරවය ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ අයෙක් බව ඔහුගේ ලියුම්වලින් ගම්‍ය වේ. රෝමයට විජයග්‍රාහීව පැමිණෙන විට සෙන්පතිවරුන් උදෙසා පෙළපාලියක් සූදානම් කිරීමට ඩෙසිමස් උත්සහ ගත්තද සීසර් එයට අවසර දුන්නේ නැත. සීසර් ඩෙසිමස්ට විවිධ දෑ ලබා දුන්නද ඔහුට ලැබිය යුතු ගෞරවය සීසර් ලබා දුන්නේ නැත.මෙකල වන විට සීසර්ගේ නෑදෑයෙක් වූ ගායස් ඔක්ටේවියස් නැගීගෙන පැමිණියේය. ඔහු සොල්දාදුවෙක් නොවූ නමුත් කපටි දේශපාලනඥයෙකි. මොහු සීසර්ගෙන් පසු ඔහුගේ තැන ලබා ගන්නවා දැකීමට ඩෙසිමස් කැමති වූයේ නැත. එපමණක් නොව ඩෙසිමස්ගේ බිරිද අයත් වූයේ සීසර්ගේ පවුල සමග එදිරිවාදීව සිටි පවුලකටයි.මේ හේතුවෙන් ඩෙසිමස් මූලිකත්වය ගෙන තවත් හැට දෙනෙකුද එක්ව ක්‍රි.පූ. 44 දී සීසර්ගේ ඝාතනය සැලසුම් කිරීමට පටන් ගත්තේය. සීසර්ව සෙනට් සභාවේදී ඝාතනය කිරීමේ අදහස ගෙනාවේ කැසියස් විසිනි. එය ක්‍රියාත්මක කලේ ඩෙසිමස් විසිනි. මන්ද සෙනට් සභාවේ සීසර් විශ්වාස කල අයෙකුට සිටියේ ඩෙසිමස් පමණි.

ඝාතනයට පෙර දින සීසර්ගේ නිවසේ රාත්‍රී ආහාරය සදහා ඩෙසිමස් ද සහභාගී වී සිටියේය. තමාව ඝාතනය කිරීමට යන බවට පැතිරෙන කටකතා හේතුවෙන් සීසර් පසු දින දී සෙනට් රැස්වීමට නොයාමටද තීරණය කලේය. මෙය දැනගත් පසු ඩෙසිමස් සීසර් හමුවට පැමිණ ඔහුගේ හිත වෙනස් කර සෙනට් රැස්වීමට රැගෙන ආවේය. එහිදී සීසර් ඝාතනය විය. මෙම ඝාතනයෙන් පසු ඩෙසිමස් අනෙක් ඝාතකයන්ට ආරක්ෂාව සැපයූයේ ය. එකල නගරයේ ආරක්ෂාවට සිටි භටයන් මෙන් දෙගුණයක ග්ලැඩියේටර් හමුදාවක් ඩෙසිමස් සතුව තිබුණි. මුලදී රෝම වැසියන් මෙම ඝාතකයන්ට උදව් කල නමුත් සීසර් ඝාතනයෙන් පසු ඔහුගේ අනුගාමිකයන්ගේ බලය දුටු විට එය ක්‍රමක්‍රමයෙන් වෙනස් විය. ඩෙසිමස් ඔක්ටේවියස්ට අකමැති වුවත් ඔක්ටේවියස් ඩෙසිමස් සමග බලය හඹා යෑමේ අරගලයට එකතු විය. එනමුත් වැඩි කල් යාමට මත්තෙන් ඩෙසිමස්ගේ හමුදාව ඔහුව අතහැර දැමූ අතර ඔක්ටේවියස් ද ඩෙසිමස් ව අතහැර දැමීය. ඉන්පසු සටනකදී ඩෙසිමස් පරාජය වී සතුරන් අතට පත්ව පසුව ඝාතනයට ලක් විය. බෲටස් හා කැසියස් සටනකින් පරාජය වී සියදිවි නසා ගත් අතර ඔක්ටේවියස් බල අරගලයේ නියුතුව අවසානයේ රෝමයේ පලමු අධිරාජ්‍යයා ලෙස නම් දැරීය.

මූලාශ්‍ර:

  • Ancient History -Encyclopedia
  • Telegraph.co.uk
  • History Channel

[මෙම සටහන වසර දෙකකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. එහි මවිසින් ලියූ ලිපි කියවන්න මෙතනින්]



Thursday, May 14, 2020

සැවොම සොයන ඇට්ලැන්ටිස් ඇත්තක් ද?


ප්ලේටෝ යනු ග්‍රීසියේ සිටි අදටත් බොහෝ දෙනා නමින් හඳුනන ප්‍රකට දාර්ශනිකයෙක්. ප්ලේටෝ තමන්ගේ දර්ශනය තුල මිනිස් ජීවිතය පිළිබඳ බොහෝ අවස්ථාවලදී ‘ඇත්ත’ ප්‍රකාශ කළ නිසා සියවස් ගණනාවකට පසුත් ඔහුගේ නාමය නිතර කතාබහට ලක්වේ.

ඔහුගේ කතාන්දර අතරින් ඉතා ප්‍රකට වූයේ මිත්‍යාවක් වූ ඇට්ලැන්ටිස් නම් වූ ශිෂ්ටාචාරයේ කතාන්දරය. නමුත් ප්ලේටෝ මියගොස් වසර 2300කට පසුත් මෙම ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය පිළිබඳ කතාබහට ලක්වන්නේ ඇයි? මෙම සටහන එය සොයා බැලීමටයි.

“මේ කතාව මිනිසුන්ගේ පරිකල්පනය තදින් අල්ලාගන්නවා” යැයි මහාචාර්ය ජේම්ස් රොම් පවසයි. “මේක ප්‍රබල මිත්‍යා කතාවක්. මිනිස්සු ආදරය කරන හීනෙන් මවන බොහෝ අංග මේ කතාන්දරයේ තියෙනවා”

ප්ලේටෝ මෙම කතාව පවසන්නේ ක්‍රි.පූ. 360 දී. ආසන්න වශයෙන් අදින් වසර 2300කට පෙර. ඔහු පවසන ආකාරයට ඇට්ලැන්ටිස් හි නිර්මාපකයන් අර්ධ මිනිස් හා අර්ධ දේවත්වයෙන් යුතු පුද්ගලයින්. ඔවුන් මෙම යුටෝපියානු ශිෂ්ටාචාරය බිහිකර ශක්තිමත් නාවික බලයක් ද අත්කරගන්නවා. ප්‍රධාන දිවයිනකට මැදිව එය වටා පිහිටි දිවයින් කිහිපයකින් මෙම ශිෂ්ටාචාරය සමන්විත වනවා. වටේ පිහිටි දිවයින් රත්තරන්, රිදී ඇතුලු වටිනා ලෝහ රැසකින් සමන්විත වෙයි.

ඇට්ලැන්ටිස් තිබුනු ස්ථානය ගැන ඉතිහාසය පුරාවට මතවාද බොහොමයක් පවතියි මධ්‍යධරණී මුහුද, ස්පාඥ්ඥයේ වෙරළබඩ තීරය , ඇන්ටාක්ටිකාව ස්ථාන කිහිපයකි. “සිතියමෙන් ඕනම තැනක් තෝරගන්න, කවුරුහරි කෙනෙක් කියල තියෙනවා ඇට්ලැන්ටිස් තියෙන්නෙ එතන කියලා” යැයි නිව් යෝර්ක් ප්‍රාන්ත කෞතුකාගාරයේ චාර්ල්ස් ඕර්සර් පවසයි.

ප්ලේටෝ පැවසුවේ ඇට්ලැන්ටිස් තිබුනේ ඔහුගේ කාලයට වසර 9000කට පෙර බවයි. පසුව මෙම කතාන්දරය කවියන්, ලේඛකයින්, පූජකවරුන් විසින් වර්ධනය කරන්නේ තම තමන්ගේ හිතලු එකතු කරමින්. මෙය ඉතිහාසගත කතාන්දරයක් සාමාන්‍යයෙන් අද දක්වා පැමිණෙන ආකාරයයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මවක් තම ළමයින් “පලවෙනියෙන් ලෝකයට බිහිවුනේ කව් ද?” යැයි ඇසූ විට දුන් පිළිතුර වසර දහස් ගණනක් වර්ධනය වී අද බයිබලයේ උප්පත්ති පොතට පැමිණ තිබේ. උප්පත්ති බොහෝ බොහොමයක් කතාන්දර වල මූලය පැමිණෙන්නේ පෙර කියූ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන්. නෝවාගේ නැව, කතාකරන නයා, ඒදන් උයන, බාබෙල් කොත යන කතන්දර මෙසපොතේමියාවේ ළමයිනුත් උගෙන තිබේ.

“මේ ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වුනු කිසි කෙනෙක් ඇට්ලැන්ටිස් ඇත්තටම තිබුනා කියල නැහැ” යැයි පවසන්නේ සාගර ගවේෂක රොබර්ට් බැලර්ඩ් විසින්. 1985 දී ටයිටැනික් නැව මුහුදු පතුලේ සොයාගත්තේ ඔහුයි. ඔහු තවදුරටත් පවසන ආකාරයට ඇට්ලැන්ටික් පිළිබඳ කතාන්දර තර්කානුකූල දෙයක් බවයි. ඒ අති විශාල ගංවතුරවල්, ගිනිකඳු පිපිරීම් වැනි සාධක නිසයි. මෙයට යම් සමානත්වයක් දැක්විය හැකි සිදුවීමක් වන්නේ මීට වසර 3600 කට පමණ පෙර ගිනිකඳු පිපිරීමක් නිසා ග්‍රීසියේ ඒජියන් මුහුදේ සැන්ටෝරිනී දූපතේ තිබූ සියලු දෑ අතුරුදහන් වීම දැක්විය හැකියි. නමුත් මේ ඇට්ලැන්ටිස් බව බැලර්ඩ් පිළිගන්නේ නැහැ. ඒ ඇට්ලැන්ටිස් විනාශ වූ කාලය පිලිබඳ ප්ලේටෝ කියූ දෑ මෙම සිදුවීමත් සමඟ නොගැලපෙන නිසා.

ප්ලේටෝ මෙම ඇට්ලැන්ටික් කතාන්දරය තම දාර්ශනික මතවාද මිනිසුන්ට කීමට ගත් එක් ආකාරයක් ලෙසත් තවත් විද්වතුන් පවසා සිටිනවා. මිනිසුන්ගේ චරිතය, සියල්ලෙන් සපිරි සමාජයක්, මිනිසාගේ වැටීම් වලට හේතු වැනි කාරණා මිනිසා වෙත කීමට ඔහු යොදාගත් එක් ආකාරයක් ලෙස ඇට්ලැන්ටිස් කතාන්දරය ඔවුන් විස්තර කර සිටියි.

ඇට්ලැන්ටිස් පිලිබඳ කතාන්දරයෙන් කියැවෙන්නේ සදාචාර සම්පන්නව, ධාර්මිකව ඉතා ඉහළ දැනුමකින් හෙබි සමාජයක් ආත්මාර්තකාමීව, සාරධර්ම වලින් ගිලිහී ව ජීවත් වූ නිසා දෙවියන් කෝප වී ඔවුන්ට විරුද්ධව කටයුතු කරයි. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම වූයේ එක් රැයකින් ගින්දර හා භූමිකම්පා වලින් ඇට්ලැන්ටිස් නගරය විනාශ වී මුහුදුබත් කිරීමයි.

මිත්‍යා කතාවකින් වුව ද ඉගෙනගැනීමට දෙයක් ඇත්නම් එය විචාරා ජීවිතයට ඇතුලත් කරගත යුතු බව මගේ විශ්වාසයයි. ඉතිහාස කතාන්දර තුලින් මෙන්ම මිත්‍යා කතාන්දර තුල ද ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයක් ගැබ්ව පවතියි. ඉතිහාසය කියවන විට ඒ ඒ ශිෂ්ටාචාර හා අවධි වල මිත්‍යා කතා අධ්‍යනයට මම වැඩිපුර කැමැත්තක් දක්වන්නේ ඒ නිසාවෙන්.

‘ඇට්ලැන්ටිස් සොයාගැනීමට වෙහෙසුනාට කමක් නැත. නමුත් ඔවුන් මෙන් වීමට උත්සහ ගන්න එපා’


Monday, May 11, 2020

මළ සිරුරක් ලෙස නඩුවකට සහභාගි වූ පාප්වරයා

රෝමානු ධීවරයන් කිහිප දෙනෙක් ටයිබර් ගංගාවෙන් ගොඩගත් සිරුර පාප්වහන්සේ කෙනෙකුගේ සිරුරක් බව දැනගත් විට පුදුම වන්නට ඇති. ඒ ෆෝමෝසස් පාප්වහන්සේගේ සිරුර. නමුත් පාප්වහන්සේ කෙනෙක්ගේ සිරුරක් ගඟක තිබෙන්නේ කෙසේ ද? මෙම සටහන එය සොයා බැලීමට.

ෆෝමෝසස් පාප්තුමා සිටියේ නමවන ශතවර්ෂයේ. එකල යුරෝපයේ වියවුල්ව තිබූ කාලයක්. ක්‍රි.ව. 872 සිට 965 දක්වා කාලයේ දී පාප්වරු 24 දෙනෙක් රෝමයේ දී පාප් ධූරය සදහා පත්ව තිබුනි. 896 සිට 904 කාලයේ දී වසරකට එක් පාප්වරයෙක් පත් වුනි. එසේ වීමට පාප්වරු සිරගත කිරීම් හා ඝාතන හේතු විය. යුරෝපයේ රාජ්‍යත්වය සඳහා පල්ලියේ සහභාගීත්වය තදින්ම තිබුනු නිසාත් පාප්වරු වාර්ෂිකව වෙනස් වූ නිසාත් යුරෝපයේ දේශපාලන අස්ථාවරභාවයකට මුල පිරීය.

එකල රජපවුල් වල ප්‍රශ්න සදහා පාප්වරු කාදිනල්වරු බිෂොප්වරු සහභාගි වූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. මෙම ආගමික නායකයන්ගේ සහය හිමිවූයේ එක් රජකෙනෙක්ට නොවේ. ෆෝමෝසස් බිෂොප්වරයෙක්ව සිටි කාලයේ දී කැරොලින්ජියන් රජ කෙනෙක් වූ ආර්නල්ෆ් හට සහයෝගය දක්වයි. ඔහු ඉතාලියේ රජකම ගැනීමට මාන බලමින් සිටි රජ කෙනෙකි. මෙවන් රජෙක් ඉතාලියේ රජ වුවහොත් රෝමයේ ස්වාධීනත්වය නැති බව කියූ එකල අට වන ජෝන් පාප්වහන්සේ ෆෝමෝසස් ඇතුලු ඔහුගේ සහයකයන්ව රෝමයෙන් නෙරපයි. මෙහි දී ෆෝමෝසස් හට උදව් කිරීමට පෙළබෙන්නේ ස්පොලෙටෝ හි තුන්වන ගයි නම් පාලකයෙක්.

ටික කලක් ගත වූ පසු පලමු මැරිනස් පාප්තුමා ෆෝමෝසස් හට තිබූ දඬුවම ඉවත් කරන අතර 891 දී ස්ටෙෆන් පාප්තුමාගේ මරණින් පසු ෆෝමෝසස් පාප් ධූරයට පත්වේ. ඔහු පාප්ධූරයට පත් වූ විගසම ඔහු රෝමයෙන් නෙරපා සිටි අවධියේ දී ඔහුට උදව් කළ තුන්වන ගයි ඉතාලියේ රජකමට පත්වෙයි. මෙම රජුගේ මරණින් පසු ඔහුගේ පුත්‍රයා වන ලැම්බර්ට් රජකමට පත්කිරීමට ෆෝමෝසස් පාප්වරයාගේ අනුමැතියත් මේ අතර ලැබෙයි. ඉන් වසර තුනකට පසු තුන්වන ගයි රජු මියයන අතර ඔහුගේ පුත්‍රයා ලැම්බර්ට් රජකමට පත්වෙයි. ඒ රෝමානු අධිරාජ්‍යයා වශයෙන්.

ලැම්බර්ට් රජකමට පත් වීමට පෙර සිටම ෆෝමෝසස් ඔහුගේ රජකමට අනුමැතිය දුන්නත් ඔහු පිළිබඳ කැමැත්තකින් සිටියේ නැහැ. ඒ නිසා ෆෝමෝසස් නැවතත් තමා පිටුවහල් වීමට ප්‍රථම සහය දැක්වූ කැරොලින්ජියන් රජකෙනෙක් වූ ආර්නොල්ෆ් සමග සම්බන්ධතාව ගොඩනංවා ගැනීමට සැරසෙයි. ලැම්බර්ට් රජකමට පත්වූ විට ආර්නොල්ෆ් තම හමුදාව රැගන විත් මාළිගාව වටලයි. මේ ක්‍රියාවට ෆෝමෝසස් පාප් තුමා සම්බන්ධ බව දැනගත් විට ලැම්බර්ට් රජුගේ හිතවතුන් ෆෝමෝසස් පාප්තුමාව අල්ලා සිරගත කරයි. නමුත් ආක්‍රමණිකයන්ගේ මෙම සටනින් ජයගත් නිසා ෆෝමෝසස් හට නිදහස ලැබේ. ආර්නෝල්ෆ් රජකමට පත්වෙයි. ඔහුට ශාන්ත පීතර බැසිලිකාවේ දී ඔටුනු පළන්දන්නේ ෆෝමෝසස් පාප්තුමා අතින්.

මින් මාස කිහිපයකට පසු ෆෝමෝසස් පාප්තුමා මරණයට පත්වෙයි. ඒ වන විට ඔහුගේ වයස 80ක් වූ අතර මරණයට හේතුව ස්වාභාවික හේතුවක් ද නැතිනම් වස දී මරා දැමීමක් ද යන්න සැක සහිතයි. සමහරු ඔහුට ගෞරව කල අතර තවත් සමහරු ඉතාලියානු රජෙක් වෙනුවට ආර්නොල්ෆ් නම් ජර්මානු රජෙක්ට රාජ්‍යත්වයට ඒමට උදව් දීම ගැන සිටියේ වෛරයෙන්.

ෆෝමෝසස් පාප්තුමා දැන් මියගොසින්. එනමුත් කතාව එතැනින් අහවර වන්නේ නැත. ෆෝමෝසස් ට පසු හයවන බොනිෆස් පාප්ධූරයට පත්වුනත් ඔහුට එහි සිටිය හැකිවූයේ දින 15ක් පමණයි. ඉන්පසු හයවන ස්ටීවන් පාප්ධූරයට පත්වේ. ස්ටීවන් පාප්තුමා ෆෝමෝසස් පාප්තුමා සිටි කාලයේ දී ජර්මානු ආර්නොල්ෆ් හට පක්ෂපාතීව සිටි අයෙක්. නමුත් මෙම රජතුමා නගරයෙන් පිටව සිටි අවස්ථාවක දී ඉතාලියානු පවුලකින් පැවත එන ලැම්බර්ට් රෝමය අල්ලා ගනියි. නමුත් තවමත් ෆෝමෝසස් පාප්තුමාගේ අනුගාමිකයන් නගරය තුල සිටින නිසා ෆෝමෝසස්ගේ ගෞරවය නැති කරන ලෙස ලැම්බර්ට් විසින් ස්ටීවන් පාප්තුමා හට පවසයි.

ඔවුන් ෆෝමෝසස් පාප්තුමාගේ ගෞරවය නැති කිරීමට යොදාගත්තේ නඩු විභාගයක්. එකලතිබූ නීති වලට අනුව චෝදනා එල්ල වන පුද්ගලයා නඩුවට සහභාගි වීම අනිවාර්ය යි. නමුත් මේ වන විට ෆෝමෝසස් පාප්තුමා මියගොස් මාස හතකටත් අධිකයි. නමුත් නීතියේ ලෙසට ඉටු කිරීමට ෆෝමෝසස් පාප්තුමාගේ මියගිය සිරුර නඩු විභාගයට ගෙන එන ලෙස ලැම්බර්ට් සහ ස්ටීවන් පාප්තුමා අණ කරයි.

නඩු විභාගය සදහා බිෂොප්වරු කාදිනල්වරු ඇතුලු බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර පාප්වරයෙක්ගේ ඇදුම් කට්ටලයෙන් සැරසී සිටි මියගිය ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර පුටුවක් මත හිඳවා තිබුනා. ඔහුට විරුද්ධව නැගුනු ප්‍රධාන චෝදනාව වූයේ පාප්ධූරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීමයි. ස්ටීවන් පාප්තුමාගේ කවුන්සිලය ෆෝමෝසස් පාප්තුමා දෙස බලා ජීවත්ව සිටින්නෙකුගෙන් අසන ආකාරයට ප්‍රශ්න නැගූ අතර එයට පිළිතුරු දුන්නේ ෆෝමෝසස් පාප්තුමා වෙනුවෙන් පෙනී සිටි ඩීකන් කෙනෙකි. වාර්තා වල සදහන් වන ආකාරයට එම පිලිතුරු මුල සිටම පිටපතකට අනුව සිදුවූ බව පවසයි. නඩු විභාගයෙන් අනතරුව ෆෝමෝසස් පාප්තුමා වරදකරු බවට පත්වූ අතර ෆෝමෝසස් පාප්තුමා ඇඳ සිටි පාප්ධූරයට හිමි ඇඳුම් නඩු ශාලාවේ දීම ඉරා දැමුවා. එතැනින් නොනැවතුනු ඔවුන්, මිනිසුන්ට ආශිර්වාද කිරීමට යොදාගන්නා ෆෝමෝසස් පාප්තුමාගේ ඇඟිලි තුනක් කපා දැමුවා. ඉන්පසු මළ සිරුරට සාමාන්‍ය ඇඳුම් අන්දවා නගරයෙන් පිට විදේශිකයන් මිහිදන් කරන ස්ථානයක ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර මිහිදන් කිරීමට ස්ටීවන් පාප්තුමා විසින් අණ කරයි. මෙම දඬුවමින් සෑහීමකට පත් නොවූ ස්ටීවන් පාප්තුමා ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර නැවත ගොඩගෙන ටයිබර් ගඟට දමන්නැයි අණ කරයි.

ෆෝමෝසස් පාප්තුමාට කළ දේවල් නිසාත් මෙම පිළිගත නොහැකි නීතිය නිසාත් පසුකාලීනව ස්ටීවන් පාප්තුමාව සිරගත කර එල්ලා මරා දමයි. ඉන් වසර දෙකකට පසු නමවන ජෝන් පාප්ධූරය සඳහා පත්වූ අතර ඔහු මියගිය පුද්ගලයින් සදහා නඩු විභාග කිරීම තහනම් කරයි. කෙසේ හෝ කතෝලික සභා ඉතිහාසයේ කළු පැල්ලම් වලින් එකක් සනිටුහන් කල මෙම සිදුවීම 897 දී අවසන් වන්නේ ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර ගෞරව සහිතව නැවත මිහිදන් කිරීමෙන්.



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...