Wednesday, March 25, 2020

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්


 “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ආසියාවේ කිතුණුවන් සෙව්වේ ඇයි? මේ සටහන ඒ ගැන සොයා බැලීමටයි.

ක්‍රි.ව. 1165 වසර වන විට බටහිර යුරෝපය පුරා එක්තරා ලියමනක් සංසරණය වන්නට විය. බයිසැන්තියානු අධිරාජ්‍යයේ පලමුවන මැනුවෙන් රජතුමා හට ලියූ මෙම ලිපිය ලියන්නේ ප්‍රෙස්ටර් ජෝන් නම් රජෙක් විසින්. බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් බාබෙල් කොත සහ අමරණීයත්වය ලබාදෙන උල්පත ආදිය ගැන සඳහන් වූ එම ලිපියේ ඒවා පාලනය කරන බලවත් ක්‍රිස්තියානි රජු තමා බව ප්‍රෙස්ටර් ජෝන් සදහන් කරයි. මෙසේ රජ කෙනෙක් නොසිටි බව දැන් අප දන්නවා වුවත් මෙම මිත්‍යා රජු නිසා දේශගවේෂණය සඳහා අඩිතාලමක් ද මහද්වීප අතර විදේශ සම්බන්ධතා ඇති කිරීම හා වක්‍රාකාරයෙන් සිවිල් යුද්ධයකට මුල පිරීමට ද හේතු වුනා.
ඒබ්‍රහම් ඔර්ටේලියස්ගේ 'ප්‍රෙස්ටර් ජෝන් සිතියම' 1527-1598 [History today.com]

ප්‍රෙස්ටර් ජෝන්ගේ යැයි කියූ ලිපිය යුරෝපය පුරා සංසරණය වූ කාලයේ යුරෝපයේ කුරුස යුද්ධය ආරම්භ වී තිබුණි. ජෙරුසලම සදහා වූ මේ යුද්ධයට සහය වීමට හවුල් කරුවන් ලෙස තබාගැනීමට ක්‍රිස්තියානි රාජ්‍යයන් සෙවීමේ කටයුතු වල යුරෝපීය රටවල් නිරත වුනා. මේ අතර ප්‍රෙස්ටර් ජෝන් නම් බලවත් ක්‍රිස්තියානි රජෙක් ගැන කටකතා යුරෝපය පුරා පැතිරෙද්දී මෙම රජුව සොයාගැනීම සදහා දේශගවේෂණ ව්‍යාපාර වල විවිධ රටවල් නියැලුනා.

ප්‍රෙස්ටර් ජෝන් යනුවෙන් සැබෑ රජෙක් නොමැති වුවත් මේ සදහා මුල් වූවා යැයි සැලකෙනේ සමහර මොංගෝලියානු ජන කණ්ඩායම්. මෙම මොංගෝලියානු ජන කණ්ඩායම් තම හමුදාවට ක්‍රිස්තියානි ලබ්දිකයන් බඳවා ගත් අතර කාලය විසින් මේ සඳහා බයිබල් පාඨ එකතු කර හා ක්‍රිස්තියානි රජෙකුට අවශ්‍ය දෑ සම්පූර්ණ කරයි. මෙම පුවත යුරෝපය වෙත යන කාලය වන විට මොංගෝලියානු පාලකයන් ප්‍රෙස්ටර් ජෝන් නම් ක්‍රිස්තියානි රජෙක් වී අවසානය.

යුරෝපය පුරා සංසරණය වූ ලිපිය ලියුවේ කවුරුන්ද වග තවම හරිහැටි නොදන්නා නමුත් ඒවායේ තිබූ කරුණු අනුව මෙය යුරෝපයේ දී ම ලියැවුනක් බව විශ්වාස කරයි. කෙසේ හෝ 13 හා 14 යන සියවස්වල හෝ යුරෝපීය රටවල් සේද මාවත ඔස්සේ ආසියාව කරා ගමන් කරයි. ඔවුන් මෙසේ යන්නේ ප්‍රෙස්ටර් ජෝන් රජු සොයා නොවේ. ඔහුගෙන් පැවත එන්නන් හෝ සොයා ගැනීමේ අරමුණින්. මීට පසු මුහුදු මාර්ග වලින් ද ආසියාව කරා දේශගවේෂකයන් පැමිණෙන්නට විය. මොවුන්ගේත් වෙළඳාමට අමතරව ප්‍රධාන අරමුණක් වූයේ ප්‍රෙස්ටර් ජෝන් නම් රජුගේ රාජධානිය සොයා ගැනීමයි.
1558 දී සිතියමක ඉතියෝපියාව ලකුනු කර ඇති ආකාරය [wikipedia.org] 

මේ සියල්ල අතර ඉතියෝපියානු ක්‍රිස්තියානි වන්දනාකරුවන් පිරිසක් උතුරු දෙසට සංචාරයක නිරත වෙනවා. ඉතියෝපියාව ක්‍රිස්තියානු රාජ්‍යයන් බවට පත්වූයේ 4 වන සියවසේ දී වන බැවින් ප්‍රෙස්ටර් ජෝන් නම් රජුගේ රාජධානිය පිළිබඳ කතාන්දර වලට වඩාත් ගැලපෙන්නේ ඉතියෝපියාව බව යුරෝපීය බුද්ධිමතුන් ප්‍රකාශ කර සිටියා. මේ අනුව 1520 දී ඉන්දියාවේ සිටි පෘතුගීසීන් ඉතියෝපියාව වෙත යන්නේ ප්‍රෙස්ටර් ජෝන්ගේ ක්‍රිස්තියානි රාජ්‍යය සමග සබදකම් ඇතිකර ගැනීමේ අරමුණින්. තම පාලකයාට පෘතුගීසීන් විසින් ප්‍රෙස්ටර් ජෝන් යන නාමය භාවිතා කරන නිසා ඉතියෝපියානුවන් සිටියේ තරමක සැකයෙන්.

නමුත් බලවත් යුරෝපීය ජාතියක් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට මෙවන් අවස්ථාවක් නැවත නොලැබෙන නිසා තම ජනයා ප්‍රෙස්ටර් ජෝන් නම් රජුගේ යටත් වැසියන් බව පෘතුගීසීන් හට කියා සිටියා. ප්‍රෙස්ටර් ජෝන්ගේ රාජධානිය වසර 350ක ආසන්න කාලයක මෙහෙයුමකින් පසු පෘතුගීසීන් සොයා ගන්නේ මේ අයුරින්. ඒ අනුව පෘතුගීසීන් ඉතියෝපියානුවන් සමග රාජ්‍ය සම්බන්ධතා ඇති කර ගනු ලබනවා. පෘතුගීසීන් විසින් එංගලන්තයේ පළමුවන මේරි රැජිණ හට සැකසූ ලෝක සිතියමක [1558] ප්‍රෙස්ටර් ජෝන්ගේ රාජධානිය ලෙස ඉතියෝපියාව නම් කරනු ලබනවා.
ප්‍රෙස්ටර් ජෝන් යැයි සිතූ ඉතියෝපියානු රජු [wikipedia.org]

තමාට වඩා බලවත් රාජධානියක් සමග සබදතා පවත්වා ගත් බව විශ්වාස කළ පෘතුගීසීන්ට ඒ පිළිබඳ විශ්වාසය පළුදු වීමට පටන් ගත්තේ දශයක් යාමටත් මත්තෙන්. 1529 දී ඔටෝමන් අධිරාජ්‍යය ඉතියෝපියාවේ යාබැදි රාජ්‍යයක් සමග එකතු වී ඉතියෝපියාව ආක්‍රමණය කල අතර ඉතියෝපියාවට මෙම යුද්ධයෙන් [1529 – 1543] ජයග්‍රහණය කිරීමට හැකි වූයේ පෘතුගීසීන්ගේ උදව්වෙන්. මේ නිසා ඉතියොපියානුවන් සමග අමනාප වූ පෘතුගීසී පාලකයන් පැවසුවේ ඉතියෝපියාවේ තිබෙන්නේ ධර්ම විරෝධී ක්‍රිස්තියානි ආගමක් කියා. මේ හේතුවෙන් ඉතියෝපියාව තුල ක්‍රිස්තියානි නිකායන් අතර සිවිල් යුද්ධයක් පවා ඇතිවෙනවා. කෙසේ හෝ මේ සියල්ල අවසන් වන්නේ 1630 දී පෘතුගීසීන් හා ඉතියෝපියානුවන් අතර සබදකම් සියල්ල බිඳ වැටීමෙන්. මෙයින් වසර දෙසීයක් තුල ප්‍රෙස්ටර් ජෝන් නම් මිත්‍යා රජුගේ කතාන්දර අභාවයට ගියේ ඔහු නිසා කළ කී දෑ ඉතිහාස සටහනක් කරමින්.


මූලාශ්‍ර:

  • Vox Youtube Channel
  • Prester John - Encyclopedia Britannica
  • Prester John - History Today
  • When your biggest hope turns into a worst nightmare - Stephen Lidell
  • Prester John's letter - A mediaeval Utopia - Karl F. Helleiner 

අසුන් මත සිට අධිරාජ්‍යයක් තැනු මොංගොල්වරු

“අසුන් මත සිට අධිරාජ්‍යයක් බිහි කල හැකි නමුත්, අසුන් මත සිට එය පාලනය කල නොහැකියි” යැයි වරක් කුබ්ලයි ඛාන්ගේ අනුශාසකවරයෙක් පැවසීය. මෙම කියමනෙන් මොංගල්වරුන්ගේ නැගීම හා බැසීම මනාව පිළිබිඹු වෙයි.මොංගොල්වරු අතිශය රණකාමී හා අසුන් හැසිරවීමේ ඉතා දක්ෂ අය වූහ. මොවුන් ප්‍රභවය ලබන්නේ මධ්‍ය ආසියාවේ ස්ටෙප්ස් තණබිම් වලය. මොවුන් ඒ අවට සිටි චීනය ඇතුලු අනෙක් රාජ්‍යයන් වලට තර්ජනයක් විය. එකල සාම්ප්‍රදායික සටන් ක්‍රමය වූයේ එක තැන සිට පහර දීමයි. නමුත් මොංගල්වරු පහරදී පසුබැස නැවත පහරදී සතුරා වෙහෙසට පත්කිරීමේ ක්‍රමවේදයක් යොදා ගත් හ​. මොංගොල් හමුදාවල සිටි ගැහැණු පිරිමි දෙපක්ෂයේම අසුන් මෙහෙයවීමේ නිපුණතාව හා දරාගැනීමේ ශක්තිය පුදුම දනවන සුළුයි. මොවුන් ගමන් ගන්නා සෑම තැනකදී ම යුවර්ට් නමින් හැදින්වෙන රවුම් හම් කූඩාරම් රැගෙන යයි. ආහාර සදහා ගත්තේ කිරි හා මස් වර්ග පමණි.
මොංගොල් හමුදාවක් දැක්වෙන සිතුවමක්. (Iknmongol.com)

මෙම මොංගොල් බලය අධිරාජ්‍යයක් ලෙස ගොඩනැංවූයේ යකඩ තනන්නා යන අර්ථය ඇති ටෙමුජින් ය. පසු කලෙක මිහිමඬලේ නායකයා යන අරුත ඇති චෙංගීස් ඛාන් යන නම මොහුට ව්‍යවහාර විය. ඉතාමත් දුක්ඛිත ළමා කාලයකට හිමිකම් කියන ටෙමුජින්ගේ පියාව ටාටර්වරු විසින් වස දී මරණයට පත් කරයි. ඉන් පලිය ගැනීම සදහා සේනා සංවිධානය කර ටාටර්වරු පරාජය කරයි. පසුව ගැල දණ්ඩකට වඩා උස සියලු පිරිමින් මරා දැමුනු අතර කාන්තාවන් හා ළමුන් වහල් භාවයට ගත්තේය. ක්‍රමක්‍රමයෙන් බලය වර්ධනය කරගත් චෙංගීස් මොංගෝලියාවේ ජනකොටස් තිහක පමණ පාලන බලය තමන් සතු කරගත්තේය. චෙංගීස්ගේ මෙම කෲර වැඩපිලිවෙල ඔහුගේ “ලේ සොහොයුරා” නොරිස්සූ අතර ඒ නිසා ඔහුව ද චෙංගීස් විසින් මරණයට පත් කලේය. සුළු කාලයක් තුල චීනයේ ජූෂෙන් හා ටැන්ගුට් ජනතාව තමන් යටතට පත් කරගත් අතර 1218 වන තුරු ලෝකය දිනා ගැනීමේ අභිලාෂයක් ඔහු සතුව නොවීය.
මැටි වලින් තනන ලද ජෙංගීස් ඛාන්ගේ සහ ඔහුගේ බිරිඳගේ පිළිරුවක්. (Wikipedia.org)

1218 දී සමර්කාන්ඩ් හි කොරෙස්මි රජතුමා තමන් වෙතට පැමිණි චෙංගීස් ඛාන්ගේ වෙළඳ නියෝජිතයන්ව මරා ඔවුන්ගේ භාණ්ඩ රාජ සන්තක කර ගත්තේය. මෙයින් කුපිත වූ චෙංගීස් ඛාන් තම හමුදාව බටහිරට මෙහෙයවන්නට විය. මේ වන විට මොංගල්වරු ප්‍රාකාරවලින් ආරක්ෂා වූ නගර සාර්ථක ලෙස වැටලීමේ හැකියාව ප්‍රගුණ කොට තිබුණි. මෙසේ මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ යුධ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් පසු සන්ධානගත වූ ගෝත්‍ර වල ගෝත්‍රික අනන්‍යතාවය නැති කර මොංගෝලියානු අනන්‍යතාවයක් ඔවුනට ඇති කිරීමට වැඩකටයුතු සිදු කලේය.චෙංගීස් ඛාන්ගේ මරණයෙන් පසු ඔහු එක්සත් කල රාජ්‍යය එකිනෙකා තරඟ කරන ඛානේට් රාජ්‍යයන් හතරකට බෙදී ගියේය. මේවා මොංගොල් චීනය, කිප්චැක් ඛානේටය (ගෝල්ඩන් හෝර්ඩය​), චගටායි ඛානේටය හා ඉල්ඛානේටය ලෙස හැදින්වේ. මෙයින් වඩාත් දියුණු ඛානේටය වූ මොංගොල් චීනය පාලනය කලේ කුබ්ලයි ඛාන් විසිනි.

චෙංගීස් ඛාන්ගේ මරණයෙන් පසු 1229 දී රාජ්‍යත්වයට පත් ඔහුගේ පුත් උගිදේ චීනයේ ෂිංග් රාජවංශයට එරෙහිව යුද්ධ කර 1234 වන විට ෂිංග් පාලනය​ අවසන් කලේය. වොල්ගා නදිය තරණය කරමින් රුසියාවට ඇතුලුවූ මොංගොල්වරු 1240 වන විට උතුරේ නගර කිහිපයක් හැරුණු විට මුලු රුසියාවම පාහේ තමන් සතු කර ගත්තේය. බැග්ඩෑඩය අගනුවර කරගනිමින් තිබුණු මුස්ලිම් අබාසිඩ් කාලිෆ් රාජ්‍යයද 1258 දී මොවුන් අතින් විනාශයට පත්විය.
1207 වන විට මොංගොල් අධිරාජ්‍යයේ ව්‍යාප්තිය(wikipedia) 

1260 වසරේ දී මුස්ලිම් මැම්ලුක්වරුන් හා මොංගල්වරුන් අතර පැවති සටන් මොංගල් යුධ ව්‍යාපාරවල තීරණාත්මක අවධියක් විය. මෙය අයින් ජලුට් සංග්‍රාමය නම් විය​. පහරදී පසුබැස සතුරා වෙහෙසට පත් කර නැවත පහරදීමේ පිලිවෙත මොංගොල්වරුන් අනුගමනය නොකල පලමු අවස්ථාව මෙයයි. මෙම සටනෙන් මොංගොල්වරු පරාජයට පත්වූ අතර පිස්තෝලයේ ආරම්භක අවස්ථාව වූ අරාබි භාෂාවෙන් මිඩ්ෆා නමින් හැදින්වෙන ආයුධය මැම්ලුක්වරුන් විසින් භාවිතයට ගත්තේය. මොංගල් හමුදාව මෙහෙයවූ කිට්බුකා නෝයන්ගේ හිස කඳෙන් වෙන් කර එය බෝලයක් ලෙස භාවිතා කරමින් මැම්ලුක්වරු පෝලෝ ක්‍රීඩාවේ යෙදුනු බව කියවේ.

උගිදේ ගේ මරණයෙන් පසු ඔහුගේ පුත්‍රයා ගුයුක් ඛාන් බලයට පත් විය. ඔහුගෙනුත් පසු මොංකේ බලයට පත් වූ අතර කුබ්ලයි ඛාන් මොංකේගෙන් රාජ්‍ය බලය පැහැර ගත්තේ ය. කුබ්ලයි ඛාන් යනු චෙංගීස් ඛාන්ගේ මුණුබුරෙකි. වසර හාරසියයක් මුලුල්ලේ කොටස් වලට කැඩී තිබුනු චීනය එක්සත් කොට එහි යුවාන් රාජවංශය පිහිටවනු ලැබීය.ඉන්පසු තම රාජ්‍යයට කොරියාව ඈඳා ගත් පසු ජපානය, වියට්නාමය, බුරුමය (මියන්මාරය) හා ජාවා ආදී රටවල් ආක්‍රමණය කලේය. කුබ්ලයි ඛාන්ගේ මරණයෙන් පසු රාජ්‍යයේ ක්‍රමික පසුබැස්මක් දක්නට ලැබුණි. මෙකල කළු මරණය (Black Death) පැතිරී ගිය අතර එමගින් ගම්මාන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගියේය. කුබ්ලයි ඛාන් විසින් ආරම්භ කල යුවාන් රාජවංශය 1368 දී මිං රාජ වංශය විසින් පරාජයට පත් කලේය.
මොංගොල්වරුන් සටන්කිරීම දැක්වෙන සිතුවමක් (Wikipedia)

චෙංගීස් ඛාන්ට පෙර මොවුන් අප්‍රකට අර්ධ ගෝත්‍රික ජන කණ්ඩායමක් පමණක් විය. දඩයම , සත්ව පාලනය හා යුධ ශිල්ප දැනුම තිබුණු මොවුන්ට දේශපාලනය ගැන තිබුනේ අල්ප දැනුමකි. කුබ්ලයි ඛාන් ඇතුලු කිහිප දෙනෙක් හැරුණු කොට දේශපාලනය ගැන බොහෝ දෙනා සිතුවේ පවුල් පාලනයක් ලෙසයි. යුධ සෙනෙවියන්ගේ පෙළඹවීම නිසා නාස්තිකාර යුධ ව්‍යාපාරවල නිරත වූ බැවින් ද මොංගල් අධිරාජ්‍ය පිරිහීමට පත් විය. ලොව විශාලතම යාබැදි රාජ්‍යය පාලනය කල මොංගොල් අධිරාජ්‍යය අවුරුදු 150ක් වැනි කෙටි කාලයක් තුල ඉතිහාස සටහනක් විය.

මූලාශ්‍ර:
  • Genghis Khan (History Channel)
  • Livescience.com
  • ලෝක ඉතිහාසයේ මං සලකුණු – ජස්ටින් බෙලගමගේ
[මෙය වසර දෙකෙකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

ප.ලි.

Mongol යන වදන මොංගොල්/ මොංගල් යන දෙආකාරයට ම උච්චාරණය කළ හැකියි. ඩවුන් සින්ඩ්‍රෝමය සෑදුනු දරුවන් නොහොත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා ව්‍යවහාරයේ දී බොහෝ දෙනෙක් 'මොංගල්' යන වදන භාවිතා කරයි. ඩවුන් සින්ඩ්‍රෝමය හඳුනාගත් මුල් කාලයේදී මේ සදහා භාවිතා වුයේ 'මොංගලිසම්' යන වදනයි. මේ සදහා හේතු වූයේ මෙම සින්ඩ්‍රෝමය ඇති දරුවන්ගේ හැඩහුරුකම් මොංගෝලියානුවන්ට සමානකම් දැක්වූ නිසාවෙන්. මෙම සින්ඩ්‍රෝමය හදුනාගත් ජෝන් ඩවුන් මෙය හැදින්වූයේ 'මොංගලොයිඬ්' ලෙසයි. මේ සින්ඩ්‍රෝමය සදහා ලංකාවේ 'මොංගල්' යන වදන භාවිතයට ආවේ මේ අයුරින්.

නමුත් 1961 දී විද්‍යාඥයන් 19 දෙනෙක් යෝජනාවක් පරිදි මෙහි නම වෙනස් කිරීමට කටයුතු කරනු ලබනවා. 1965 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 'මොංගෝලියානු ජනතාවගේ ජනරජයේ'' [1924 -1992] ඉල්ලීමක් පරිදි ඉහත වදන් භාවිතය අතහරිනු ලබනවා. නමුත් 1980 අවධි තෙක් තැනින් තැන එම වදන් භාවිතා වූ අවස්ථා නැතුවා නොවේ. අවසානයේ දී 1975 වසරේ දී ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් එහි නාමය 'ඩවුන් සින්ඩ්‍රෝමය' ලෙස වෙනස් කරනු ලබනවා.

නමසිය හැත්තෑව අසූව යුගයන් වන විට අන්තර්ජාතිකව මෙම වදන් භාවිතය අතහැරියත්, අපි?


Monday, March 23, 2020

ජේ ආර් සහ ජපානය

දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය. ජපානය යුද්ධය ජයගත් මිත්‍ර පාර්ශවයේ රටවල්වල පයට පෑගී සිටියේය.

ඒ 1951 වසරේ සැප්තැම්බර් මස 4 වෙනිදා ය. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී සාම සමුළුව ඇරඹීමට ආසන්නව තිබුණි. සමුළුව තිබූ ශාලාවේ සිහින් සංගීතයක් වාදනය වෙමින් පැවති අතර සාම සමුළුවකට කදිම පරිසරයක් ද මේ වන විට නිර්මාණය වෙමින් තිබුණි. සමුළුව තිබූ ශාලාවේ පිටත ධජ පනස් එකක් ඔසවා තිබුණි. එහෙත් එක් රටක ධජය ඔසවා තිබුණේ නැත. ඒ ජපානයේ ධජය යි. සමුළුව පස්වරු හතට ඇරඹුණි.

මෙම සමුළුවේ තාවකාලික සභාපතිවරයා වූයේ එවකට ඇමරිකා රාජ්‍ය ලේකම් ඩීන් ආචිසන් මහතා ය. පළමුව​ ලෝක සාමය උදෙසා දීර්ඝ​ නිහඬ යාච්ඥාවක් පැවැත්වුණි. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර නගරාධිපති රොබින්සන් මහතා සහ කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වූ අර්ල් වොරන් මහතා පිළිගැනීමේ කතාව පවත්වන ලදි.
ජේ.ආර්. ජයවර්ධන මහතා සමුළුව අමතමින් (rivira.lk)

ඉන්පසු ඇමරිකානු ජනපති හැරී ටෲමන් කතා කරමින් මෙසේ පැවසුවේය.
“පර්ල් වරායට පහර දීම අතීතයේ සිදුවීමකි. වසර හයක් තුලදී ජපානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය​ කරන ලදි. දුෂ්කර ලෙස ශ්‍රමය යොදවා ජීවිකාව ගෙන යන අයට ඉඩම් දෙන ලදි. ජපානය තවදුරටත් හමුදා රාජ්‍යයක් හෝ රහස් සමාජයක් නොවේ. ජපානය ඇයගේ ව්‍යවස්ථාවේ දිවුරුම යටතේ යුධ අයිතිය අතහැර ඇත. මේ නිසා අවි රහිත ජපානය ආරක්ෂා කිරීම හා රැක ගැනීම එක්සත් ජාතීන්ගේ කාර්ය භාරයක් වී තිබේ.”
සමුළුවේ දෙවෙනි දිනය උදා විය. එදින සවස සාම ගිවිසුම් කෙටුම්පත හදුන්වා දුන්නේ ය. රුසියාව ප්‍රකාශ කර සිටියේ ජපානය , යුධ බලය නැවතත් පණගැන්විය හැකි රටක් බවත් වැඩවසම් ක්‍රමය තවමත් එහි බලවත්ව පැතිරී ඇති බවත් ය. පිලිපීන තානාපති රොමුරෝ ජපානයට විරුද්ධව තදින් කතා කර සිටියේය. මෙසේ ජපානයට විරුද්ධව කතා කල අය බොහෝ ය.

මෙම සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් පැමිණි පිරිස මෙහෙයවූයේ ජේ.ආර්. ජයවර්ධන මහතා ය. ඔහු එකල ලංකා රජයේ මුදල් ඇමතිවරයා ව සිටියේය. සමුළුවේ දී ඔහුගේ දේශනය පැමිණ සිටි රටවල්වල නියෝජිතයන්ගේ සිත් වෙනස් කිරීමට සමත් විය. මෙයින් පසු ජපානයට විරුද්ධව කතා කල අය පවා තම අදහස් වෙනස් කර ගත්තේය. ඔහුගේ කතාවෙන් කොටසක් මෙසේ උපුටා දක්වමි:

සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුව 1951 (dailynews.lk)


“ලංකාව ආක්‍රමණයට භාජනය නොවූ නිසා අපි භාග්‍යවන්තයෝ වෙමු. එහෙත් ගගන ප්‍රහාරවලින් ද, අග්නිදිග ආසියා සේනාධිනායකත්වය යටතේ අතිවිශාල බලකායන් රඳවා තැබීමෙන් ද, මිත්‍ර රටවල එකම රබර් නිශ්පාදකයා වශයෙන් සිටි අපගේ ප්‍රධාන වෙළඳ නිශ්පාදන වලින් එකක් වන රබර් වගාවට සිදුකරන ලද අලාභ හානි වලට පිළියම් යොදන ලෙස ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබේ. එහෙත් අපි එසේ කිරීමට අදහස් නොකරමු. 
ආසියාවේ වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත උසස් බවට පත් කිරීමෙහි හේතු භූත වූ දහම් පණිවිඩය දුන් මහා ශාස්තෘවරයන් වදාළ “නභි වෙරෙන වෙරානි සම්මන්තීච කුදාචනා අවෛරෙනච සම්මන්තී” (වෛරයෙන් වෛරය නොසන්සිදේ. වෛරය සන්සිදෙන්නේ මෛත්‍රියෙනි) යන දේශනා පාඨය අප ඇදහීම ඊට හේතුවයි. දකුණු ආසියාවේ බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම, ඉන්දුනීසියාව හා ලංකාව තෙක් හා හිමාලය හරහා ටිබෙටය​, චීනය හා අන්තිමට ජපානය තෙක් උතුරු දෙසට ද මෛත්‍රී ප්‍රවාහයන් පතුරුවාලූ ද, වෛෂ ශත සංඛ්‍යාවක් මුළුල්ලේ පොදු සංස්කෘතියකින් හා පොදු උරුමයකින් අප එකමුතු කළා වූ ද බුද්ධ ශාසනය පිහිටවා වදාළ මහා ශාස්තෘවරයන් වන තථාගතයන් වහන්සේ දුන් පණිවිඩය එයයි.  
මෙම පොදු සංස්කෘතිය තවමත් නොනැසී පවතින බව මම පසුගිය සතියේ මෙම සමුළුවට සහභාගි වීමට පැමිණෙද් දී දක්නට ලැබුණි. ජපන් නායකයින් හා ඇමතිවරුන්ගෙන් මෙන්ම රටවැසියාගෙන් ද මට පෙනී ගියේ ශාන්ති නායකයාණන් වහන්සේගේ දහම් සෙවන යටතේ තවමත් එරට පොදු ජනතාව වෙසෙන බවත් එම දහම පිළිගැනීමට ඔවුන් අභිරුචියෙන් සිටින බවත් ය. අප ඔවුනට ඒ අවස්ථාව ලබා දිය යුතුයි.”
ජපානයේ ඇති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රුව දැක්වෙන ස්මාරකයක්. (ජනක ප්‍රේමරත්න)

 ජේ.ආර්. ජයවර්ධන මහතා තම දේශනය අවසන් කරමින් පවසා සිටියේ;
 “මෙම ගිවිසුම පරාජිත සතුරෙකුට සාධාරණ වන තරමට උදාර වන්නේය. අපි ජපන් රටට මිත්‍රත්වයේ හස්තය දිගු කරමු. මිනිස් ඉතිහාසයේ අද අප ලියන අවසාන පිටුව සහිත පරිච්ඡේදයේ පලමු පිටුව ආරම්භ කිරීමත් සමඟ, මිනිස් ජීවිතයේ පූර්ණ උදාරත්වය සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතුවභුක්ති විඳීම සඳහා ජපන් රටේ හා අපේ ජනතාව එක්වන් ව ඉදිරියට යනු ඇතැයි අපි විශ්වාස කරමු.”
ජයවර්ධන මහතාගේ දීර්ඝ දේශනයෙන් අනතුරුව මහා අත්පොළසන් නාදයක් නැගුණි. අවි බලය තිබියදී ද ජපානය යුධ ශක්තියෙන් බලවත් නොවන බවට විශ්වාස කළ දකුණු ඇමරිකානු ජාතීන් ද එයට එකහෙළා සහයෝගය පළ කළහ.

මෙම ක්‍රියාව නිසාවෙන් ජපානය පුරා ස්ථාන කිහිපයකම ජයවර්ධන මහතාගේ ස්මාරක පිහිටුවා ඇති අතර පසුකාලීනව ජපානයෙන් බොහෝ ආධාර ද ලැබුණි. ජපානය හා ලංකාව අතර අද දක්වා ඇති මිත්‍රත්වය ඇති කිරීමට මෙම දේශනය බෙහෙවින් බලපෑ බව කිව යුතුයි.

මූලාශ්‍ර: 

  • රිවිර පුවත්පත, 
  • මව්බිම පුවත්පත, 
  • ජේ.ආර්. ජයවර්ධන අභිනන්දන සංග්‍රහය
[මෙය වසර දෙකෙකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

Sunday, March 22, 2020

අද කොඩිවැලක් ගැටගසා ගැනීමට පමණක් භාවිතා වන ලංකාවේ අනේපිඬු සිටුතුමා


මරදානේ, ටවුන් හෝල් වටරවුමේ ඇති තුනටියට අත තබාගෙන සිටින ප්‍රතිමාව බොහෝ දෙනා දැක ඇතැ යි සිතමි. මෙය නොදුටු අයෙක් නොමැති තරම් ය. උදාර ලීලාවෙන් එසේ සිටින්නේ ලංකාවේ කලක් අංක එකේ ධානපතියෙකු, සමාජ සේවකයෙකු, හා බ්‍රිතාන්‍යයන්ට දැඩි පක්ෂපාතීත්වයක් දැරූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා ය.
1803 මාර්තු මස 3 වන දින චාල්ස් හෙන්රි ද සොයිසා උපත ලබන්නේ රිදී හැන්ද කටේ ගසාගෙන යි. ඔහු උපතින්ම ධානපතියෙකි. තම පියාට එම ධනය ලැබූ සැටි පිළිබඳ කතාන්දර කිහිපයක් ම තිබේ. ඉන් වඩා ප්‍රකට වන්නේ පියාට හමුවූවායැ යි කියන නිධානය යි.
පසුකාලීන ව චාල්ස් හෙන්රි ජීවත් වී ඇත්තේ අක්කර 112ක වපසරියක් තිබුණු කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් මන්දිරයේ ය. ඔහු විසින් මෙම මන්දිරය සෑදුවේ එංගලන්තයේ  ඇල්ෆ්‍රඩ් කුමාරයාගේ ලංකා ගමන නිමිති කොටගෙන යි. එවකට ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස සිටියේ හර්කියුලස් රොබින්සන් මහතා ය. මොහු චාල්ස් හෙන්රි සිටුතුමාගේ මිත්‍රයෙකි. එම නිසා ඔහු ආණ්ඩුකාරයා ලවා ඇල්ෆ්‍රඩ් කුමාරයාට භෝජන සංග්‍රහයකට ආරාධනා කළේ ය. මෙය නිමිත්තෙනුයි ඇල්ෆ්‍රඩ් මන්දිරය දින 80ක් තුළ නිමවන්නේ. මන්දිරය සෑදීමට ඉතාමත් අනර්ඝ තත්ත්වයේ භාණ්ඩ එංගලන්තයෙන් හා බෙල්ජියමෙන් ගෙන්වා ඇති බවට සඳහන් වේ. මෙම භෝජන සංග්‍රහය අවස්ථාවේ දී ලංකාවේ පළමු නාඩගම වූ ‘ඇහැලේපොළ නාඩගම’ රඟ දක්වා තිබේ. ඇහැලේපොළ නාඩගම ගැන පවසනවා නම් එය රචනා කොට ඇත්තේ කොල්ලුපිටියේ පිලිප්පු සිඥ්ඥෝ ය. ඔහු වෘත්තියෙන් කම්මල්කරුවෙකි. මලේ මයිනහම අදින විට නාඩගමට ජවනිකා මතක් වී ඔහු මයිනහම පැත්තකට තබා කම්මලේ බිත්තියේ ගල් අඟුරුවලින් නාඩගම ලියා තිබේ. නාඩගමට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් චාල්ස් සොයිසා සිටුතුමා විසින් එංගලන්තයෙන් ගෙන්වා ඇත.
චාල්ස් සොයිසාගේ පිළිරුවක් (lakdivanews.com)


චාල්ස් සොයිසා පරිත්‍යාගයන් සිදු කළේ කිසිදු ලෝභකමක් නොමැතිව යි. ලංකාවේ විශාලතම මාතෘ රෝහල (සොයිසා ලයිනින් හෝම්) සොයිසා මහතාගේ පරිත්‍යාගයකි. ඔහු ලංකාවට පමණක් නොව එංගලන්තයේ රෝහල් විසි ගණනකට රන් පවුම් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. එහෙයින් ඔහු එංගලන්ත රජ පවුලේ ගෞරවාදරයට ද පාත්‍ර වී තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගොඩනැගුවේ මොහුගේ ධන පරිත්‍යාගයෙනි. එක්දහස් අටසිය අගභාගයේ දී ලංකාවට ඇස් රෝහලක අවශ්‍යතාව තදින් ම දැනෙන්නට විය. මේ නිසා චාල්ස් සිල්වා සිටුතුමා ලිප්ටන් වටරවුම අසල ඉඩමක් රජයට පවරා දුන්නේ ය. එහි 1905 දී ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඇස් වාට්ටුව ගොඩනගන ලදී. මම මෙහි ලිප්ටන් වටරවුමයැ යි පැවසුව ද එහි නිවැරදි නම ලිප්ටන් වටරවුම නොවේ. චාල්ස් සිල්වා සිටුතුමාගේ මෙම පරිත්‍යාගයට ගෞරව කිරීමක් වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලිප්ටන් වටරවුම සොයිසා වටරවුම ලෙස ගැසට් කළේ ය. එම නිසා අදටත් ලිප්ටන් වටරවුමේ නීත්‍යානුකූල නාමය සොයිසා වටරවුම ය.
මුල් කාලයේ ලංකා වාණිජ මණ්ඩලය වෙන් වී තිබුණේ යුරෝපීයයන්ට පමණි. නමුත් එහි සාමාජිකත්වය දැරූ ප්‍රථම ලාංකිකයා වූයේ හෙන්රි චාල්ස් ය. එමෙන්ම බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ තේ ව්‍යාපාරවලට මහා පරිමාණයෙන් සම්බන්ධ වූ එක ම පුද්ගලයා ද වන්නේ මොහු යි. මොරටුවේ වේල්ස් කුමර හා කුමරි විද්‍යාලයන් ද මොහුගේ ධන පරිත්‍යාගවලින් ආරම්භ වූ අතර, බැංකුවක් ආරම්භ කළ ප්‍රථම ලාංකිකයා ද මොහු යි. ‘Bank Of Kandy’ එහි නාමය යි.
චාල්ස් සොයිසා ජ්‍යෝතිෂය පිළිබඳ දැඩි විශ්වාසයකින් යුක්ත වූ පුද්ගලයෙකි. ඔහුගේ එම වැඩ කටයුතු සඳහා ඔහු යොදාගත්තේ ගල්කිස්සේ තම්බි අප්පු ගුරුතුමා ය. ඔහු චාල්ස් සොයිසාගේ වේලාව බැලීමට නිතර ඇල්ෆ්‍රඩ් මන්දිරය වෙත ගිය බව කියැවේ. ඔහු තම 34 වෙනි වියේ දී එනම් 1870 දී එංගලන්තය බලා නැව් නැගි අතර ඔහු නැවත ලංකාවට පැමිණියේ ඉන් වසර 20කට පසුව යි. එසේ පැමිණි විට ද ඔහු පළමුව සිදු කළේ තම්බි අප්පු ඇල්ෆ්‍රඩ් මන්දිරයට ගෙන්වා වේලාව බලා ගැනීම යි.
චාල්ස් සොයිසා (wikipedia.org)

චාල්ස් සොයිසා බල්ලන්ට දැක්වූයේ දැඩි ඇල්මකි. ඔහු සුරතලයට බැල්ලක් ඇති කළේ ය. විවේකී වේලාවල්වලට බගතලේ පාරේ සිට ගාලු මුවදොර දක්වා බැල්ල සමග ඇවිද යාම ඔහුගේ සිරිත යි. දිනක් උදෑසන උඩුමහලේ සිට චාල්ස් සොයිසා මහතා තරප්පු පෙළෙන් බැසගෙන එන විට බිම් මහලේ වියරු වැටීගෙන සිටි මේ බැල්ල චාල්ස් සොයිසාගේ ඇඟට කඩාපැන සපාකන්නට විය.
සේවකයින් ලවා බල්ලව ඔහුගෙන් වෙන් කර කූඩුවකට දැමූ අතර චාල්ස් සොයිසාව තම නෑදෑ වෛද්‍යවරයෙකුට පෙන්වූයේ ය. චාල්ස් සොයිසාගේ රෝගී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ජල භීතිකා තත්ත්වයට පෙරළෙන්නට වූයෙන් වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ මොහුව ලෝකයේ හොඳම ජලභීතිකා විශේෂඥයා වෙතට රැගෙන යා යුතු බව යි. ඔහු ඒ වන විට සිටියේ ප්‍රංශයේ බැවින් චාල්ස් සොයිසා ව ප්‍රංශය වෙත රැගෙන යා යුතු විය. නමුත් මෙයට දේශීය වෛද්‍යවරු කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් පවසා සිටියේ දේශීය වෛද්‍ය ක්‍රමයට ජල භීතිකා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බව යි.
කෙසේ හෝ ප්‍රංශ ගමන නතර වූ අතර ඔහුට සිංහල වෙදකම් කිරීමට තීරණය විය. තමා ජීවත් ව සිටි කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් නිවස අසල සිංහල බෙහෙත් මඳකම නිසා ඔහු ව මොරටුවේ මන්දොරය වෙත ගෙන යන ලදී. මේ අතරතුර ඔහු ව සපා කෑ බැල්ල ද නොකා නොබී වියරු වැටී කූඩු ව තුළ දී ම මිය යයි.
ඇල්ෆ්‍රඩ් මන්දිරය (lakdivaenews.com)

මේ 1890 සැප්තැම්බර් මස 28 වන දින යි. චාල්ස් සොයිසා මහතා පිස්සු බලු රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. බැල්ල සපා කෑ ස්ථානය ඉදිමෙන්නට විය. ඔහු තත්ත්වය එසේ තිබිය දී ශුද්ධ එම්මානුවෙල් මන්දිරයේ ජොහානස් ද සිල්වා පූජකතුමාට සහ ලෝස් වැන්කියු ලැම්බර්ග් නීතීඥතුමා ව එසැනින් තමා වෙත රැගෙන එන්න යි නියෝග කළේ ය. ඔවුන් පැමිණි පසු පූජකතුමා ලවා ආගමික වතාවත් කර ගත් සොයිසා මහා නීතීඥයා ලවා අවසන් කැමැත්ත සකස් කළේ ය. අවසන් කැමැත්ත ලියා අවසන් වී ටික වේලාවකට පසු සොයිසා මහතා සදාකාලික නින්දකට ගියේ ය. ඔහුගේ අවමංගල්‍යය සඳහා එංගලන්ත රජ මාලිගයෙන් නියෝජිතයන් ද පැමිණි අතර එම අවමංගල්‍යය ලංකාවේ මෙතක් තිබූ විශාලතම අවමංගල්‍යවලින් එකක් ද වනවා.
චාල්ස් සොයිසා සිටුතුමාගේ මෙම මරණය ගැන කටකතාවක සඳහන් වන්නේ සුභූති හිමියන් විසින් එවූ පිල්ලියක් මඟින් ඔහු මරණයට ලක් වූ බව යි. සුභූති හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට දක්ෂ අයෙක් බවට කීර්තියක් උසුලාගෙන සිටි අයෙකි. චාල්ස් සොයිසා මන්ත්‍ර ගුරුකම් ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. දිනක් සුභූති හිමියන් ඇල්ෆ්‍රඩ් මන්දිරය අසලින් යන විට “මුත්තර බල්ලන් යන්නේ!”යැ යි චාල්ස් සොයිසා පවසා තිබේ. මෙය අසා කෝපගත් හිමියන් “හොදයි මම උඹට මිත්තර බල්ලෙක් එවන්නම්”යැ යි පවසා ගොස් ඇත. මෙහි ඇත්ත නැත්ත සොයාගැනීමට වර්තමානය වන විට මෙයට සම්බන්ධ කිසිවෙකුවත් ජීවත් ව සිටීදැ යි සැක සහිත යි.
මූලාශ්‍රයයන්:
·        lakdivanews.com
·        ලංකාදීප, දිවයින පුවත්පත්
·        vidya-gaweshana.blogspot.com

[මෙය වසර දෙකෙකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

මරණයේ හඬ [කෙටි කතාව]


අත අරිනවා එයාව” පාරෙන් එපිට පිට්ටනියේ සිටි ගොළු ළමයාට කරදර කරමින් සිටි ලොකු ළමුන් දෙදෙනා එළවමින් මම කියා සිටියෙමි. ඔහු කාගේ කවුරුදැයි කියන්න මම කිසිත් නොදනිමි. නමුත් ඔහු මගේ වයසේ අයෙක් විය යුතු යැයි සිතුවේ ඔහුගේ ශරීර ප්‍රමාණයෙන්. ගම අතහැර නගරයට පැමිණි දා පටන් ඔහු පිට්ටනියේ සිට අපේ නිවස දෙස බලා අතේ ඇඟිලි වලින් මොනවදෝ කරනවා අනන්තවත් දැක ඇත්තෙමි.

දිනපතා මම ඉස්තෝප්පුවට පැමිණෙන විට ඔහු සිටින්නේ පිට්ටනියේ හෝ ඔහුගේ නිවසේ ඉදිරිපිට ය. කොහේ සිටියත් සිටින්නේ කිසිවක් නොකර ඔහේ ඉඳගෙන ය. නමුත් මා දුටු විට සුපුරුදු ආකාරයට ඇඟිලි වලින් සෙල්ලම් කරන්නට පටන් ගනියි. බොහෝ අවස්ථාවල දී මෙය අත්දැක තිබුනත් ඔහු ඒ ඇඟිලි වලින් සිදුකරන සෙල්ලම තේරුම්ගැනීමට මට නොහැකි විය.

දැන් ගෙවෙන්නේ ඉතා ග්‍රීස්ම කාලයක්. කොළ පැහැයෙන් වූ කොළ අතු දක්නට ලැබෙන්නේ කලාතුරකින්. මේ හමනා සුළගෙනුත් දැනෙන්නේ රස්නයක්. මේ නිසා මගේ මව මට නිතර කොමඩු ආදී කෑම ආහාරයට හුරු කළා ය. දිනපතා මෙය කෑමට ඇබ්බැහි වූ මම පුරුද්දක් ලෙස නිවසේ ඉදිරියට වී පාර දෙස බලාගෙන කොමඩු කෑමට හුරු වී සිටියෙමි. මෙසේ සිටිනා සෑම විටකම පාරෙන් එපිට නිවසේ සිටි ගොළු ළමයා තම අතින් සෙල්ලම් කරනවා මම දිටිමි.

එදිනත් කොමඩු කෑම සදහා මම ඉස්තෝප්පුවට වී සිටියෙමි. ගොළු ළමයත් වෙනදා මෙන් පිට්ටනියේ වැට අසලට වී ඇඟිලි සමග සෙල්ලම් කරමින් සිටියේ ය. පෙර දිනයක දී ඔහුට කරදර කළ ළමුන් දෙදෙනා මෙදිනත් පිට්ටනියේ පසෙකින් ඔහු වෙත එනවා මම දුටිමි. ඔහුට දුවන්න යැයි කීමට අවස්ථාවක් මට ලැබුනේ නැත.

“අහකට වෙනවා මෝඩයා…” යැයි කියමින් ඔවුන් දෙදෙනා ගොළු ළමයාව බිමට තල්ලු කළෝ ය.
ඔවුහු එයින් නතර වූයේ නැත. එකෙක් ළමයාව තණකොට පිට්ටනිය දිගේ ඇදගෙන ගිය අතර අනෙකා ඔහුගේ පිටුපසට තම කකුළෙන් වැරෙන් පහර දුන්නේ ය. මෙය තවත් බලා සිටීමට නොහැකි වූ මම කොමඩු කැබැල්ල බිම දමා නිවස තුලට දිව්වේ පහුගිය නිවාඩු මාසයේ දී උණබට වලින් සෑදූ දුන්න රැගන ඒමට යි. ඊතලත් උණ බටවලින් සාදා තිබුණු අතර ඒවා තියුණු කිරීමට ඒවායේ අගට ටොනික් මූඩි සවි කර තිබුණි.

මම මේවා රැගෙන පිට්ටනිය වෙත දිව්වෙමි. ගොළු ළමයා බිම පෙරළී තම අත් දෙකෙන් මුහුණ වසාගෙන සිටියේ ය. අනෙක් ළමයි දෙදෙනා දිගින් දිගටම පහර දෙමින් සිටියෝ ය. ගොළු ළමයා මොනවදෝ කීමට උත්සහ කළත් කිසිවක් කටින් පිටවූයේ නැත.  නමුත් ගතවූයේ සුළු මොහොතකි. සතෙක් මරණයට පෙර අවසන් හුස්ම පිටකරන ශබ්දය මෙන් හීන් කෙඳිරිල්ලක් මට ඇසුනි. මට මෙය මාගේ අවසන් හුස්ම වනතෙක් මතකයේ රැඳේ.

මම පිට්ටනියේ දොරටුව අසලට වී උණබට දුන්නත් අතැතිව රෞද්‍ර පෙනුමක් අයාගෙන තඩිබාන ළමුන් දෙදෙනා දෙස බලාගෙන උන්නෙමි. ඔවුනුත් මා දෙස බලා;

“මෙන්න ඉන්නවා තව කෙනෙක් සෙල්ලන් බඩුත් උස්සගෙන…” කියා හයියෙන් සිනාසුනෝ ය.
“ආයෙත් මේ ළමයට ගැහැව්වොත් බලාගෙනයි…” යැයි මම ඔවුන්ට කියා අවසන් වූයේත් නැත. එකෙක් බිම වැටී සිටි ළමයාට කකුළෙන් තවත් පහරක් ගැසුවේ ය.

මගේ කේන්තිය ඉහවහා ගියේ ය. උණ බට දුන්න අතට ගත් මම එයට ඊතලයක් ද දමා ඔවුන් වෙත එල්ල කළෙමි. මෙය දුටු ඔවුන් ගොළු ළමයාට පහර දීම නවතා අඩියක් දෙකක් මා දෙසට පිය නගන්නට විය. මගේ අත වෙව්ලන්නට පටන් ගත්තත් කෙසේ හෝ දුන්න ඔවුන් වෙත එල්ල කර තබාගැනීමට සමත් වුනෙමි. ඔවුන් මට උසුළු විසුළු කරන්නට වූයෙන් මම මගේ පළමු හී පහර මුදා හැරියෙමි. එය ඔවුන් අසලට වැටුනත් කිසිවෙකුට වැදුනේ නැත. දෙවැනි හීය ද විද්දෙමි. එයටත් අත්වූයේ කලින් ඉරණම ය. ඉන්පසු මට උසුළු විසුළු කරමින් සිටි ළමුන් දෙදෙනා ගොළු ළමයාට නැත වරක් පයින් ගසා සිනහ වෙමින් දිව යන්නට විය.

මම ගොළු ළමයා වෙත ගොස් ඔහුවත් රැගෙන ඔහුගේ නිවසට ගියෙමි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය එහි සිටි අතර මම සිදුවූ සියල්ල ඇයට පැහැදිලි කර දුන්නෙමි. බොහෝ දිනක් මගේ සිතට වද දුන් පැනයක් ඇයගෙන් ඇසීමට සිත් විය.

“මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මෙයා මං දිහා බලාගෙන ඇඟිලි වලින් සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම මොකක්ද?” මම මාගේ කුතුහලය සිඳ ගැනීමට ඇසුවෙමි.

“ඒ සෙල්ලමක් නෙමේ. එයා ඒ කතා කරනවා. ඔයාට ආදරෙයි කියලයි කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම ඇහෙන්නෙත් නෑ කතා කරන්නත් බැහැ”

මා මෙය විශ්වාස කළේ නැත. කාට හෝ අත්වලින් කතා කළ හැකිද? මම නිවස වෙත ගියෙමි.

දැන් වසරක් දෙකක් පමණ ගෙවී අවසානය. නිවැසියන් මාව දුර බැහැර පාසලකට යවන්නට සියල්ල සූදානම් කළ අතර මට නවාතැන් ගැනීමට සිදුවන්නේ බෝඩිමක ය. මුලදී පටන් මම මෙම යෝජනාවට අකමැති වූ අතර අවසානයේ දී මගේ කැමැත්තට කිසිදු බලයක් හිමි නොවුනි.

බෝඩිම වෙත යන දවස අදය. යාමට කිසිදු කැමැත්තක් නොවූ නිසා වාහනය නිවස ඉදිරියට පැමිණ තිබියදී නිවසින් පැන පාර දෙසට දිව්වෙමි. මෙය දුටු මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාද මා පසුපස එළවන්නට විය. මා පිට්ටනිය වෙත ගියේ ඔවුන්ගෙන් බේරී පැනගැනීමට වුවත් එයින් සිදුවූයේ මම එකතැන කොටු වීමයි. මාගේ සහෝදරයන් පැමිණ මාව ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත්තේ මා හට හෙළවීමට නොහැකි වන ආකාරයට යි. එකෙනෙහිම මම කකුළ පැටලී බිම වැටුණි. බිම වැටුනු විගස අප අසලට කවුරුන් හෝ ගල් කැට විසිකරනවා දුටුවෙමි.

ඒ වෙන කවුරුත් නොව මාගේ අසල්වැසි ගොළු ළමයා ය. මාගේ සහෝදරයෝ මාව උසුලාගෙන බෝඩිමට යන වාහනය වෙත යන විට ගොළු ළමයාත් අප පසුපස ඇවිදින් වැට අසල නතර විය. වාහනය ඉදිරියට ඇදෙත්ම ඔහු තවත් ගල් කැටයක් ගෙන වාහනය දෙසට විසි කළේ ය. එදිනයි මට වැටහුනේ ඔහුගේ හස්ත සංඥාව සැබෑවක් බව. ඔහු සිතන්නට ඇති මගෙන් පිටවූයේ සතෙක් මියයාමට පෙර නගන හඬක් කියා.



Saturday, March 21, 2020

ගොගොල් සහ මළ මිනිස්සු


රුසියානු සාහිත්‍යය​ කියවා හෝ ඒ පිළිබඳ​ අසා ඇති අයෙකු නිකොලායි ගොගොල් යන නම අසා ඇතුවාට සැක නැත. ගොගොල් කුඩා කල පටන් තමන්ටම කියා ගත්තේ තමන් ප්‍රසිද්ධ නොවී මිය නොයන ලෙසයි. ගොගොල් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ඔහුගේ සුවිශේෂී කෘතියක් නිසාවෙනි. මෙය නමින් ‘මළ මිනිස්සු’ වේ.
මීට පෙර ඔහු කතා රාශියක් ලියා තිබුන ද දිගු නවකතාවක් ලියා තිබුනේ නැත. රුසියානු සාහිත්‍යයේ ප්‍රමුඛ පෙළේ නමක් දිනාගෙන සිටි පුෂ්කින් ගොගොල්ගෙන් දිගු නවකතාවක් නොලියන්නේ මන්දැයි ඇසුවේය. ගොගොල් මෙම කාලයේ දී අයහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි අතර ජීවිතය කෙදිනක නිම වේදෝ යැයි සැකයක් ද විය. මේ හේතුව නිසාදෝ පුෂ්කින් විසින් තමන්ට මහා කාව්‍යයක් නිර්මාණය කරන්නට තිබූ වස්තු බීජය ගොගොල් හට ලබා දුන්නේය. ඒ දිගු නවකතාවක් රචනා කිරීමටයි. 

මළ මිනිස්සු කෘතිය (Audiable.com)

පුදුමයකට කරුණ නම් ගොගොල් ද මෙම වස්තු බීජය ගැන තම ගමේ දී අසා තිබීමයි. මෙයින් කියැවුනේ මළ මිනිසුන් මිලයට ගෙන උකස් තබා පොහොසත් වූ මිනිසෙකු පිළිබඳ පුවතකි. මෙම කාලයේ දී රුසියාවේ ඉඩම් හිමියෝ ප්‍රවේණි දාසයන් සඳහා රජයට බදු ගෙවූහ. ඔවුනට මුදල් අවශ්‍ය වූ විට ප්‍රවේණි දාසයන් රජයට උකස් තබා මුදල් ලබා ගැනීමට හැකියාව තිබුණි. මෙම ප්‍රවේණි දාසයන්ගේ නම් ගම් ඇතුලත් සටහන් අලුත් කරන්නේ දස වසරකට වරකි. මෙම කාලය ඇතුලත සමහර දාසයන් මරණයට පත්වේ. නමුත් ඔවුන්ගේ විස්තර ඇතුලත් සටහන් වෙනස් කරන්නේ වසර දහයකට වරක් නිසා මියගිය අයට ද බදු ගෙවීමට සිදුවේ. සමහර ඉඩම් හිමියෝ මෙම මියැදුණු ප්‍රවේණි දාසයන් රජයට උකස් තබා මුදල් ඉපයූහ. ගොගොල් විසින් මෙම වස්තු බීජය උපයෝගී කරගෙන එකල සමස්ත රුසියානු සමාජයම පිළිඹිබු වන ආකාරයට දිගු නවකතාවක් රචනා කිරීමට සැලසුම් කළේය.
මේක දිග හාස්‍ය ජනක නවකතාවක් ලියන්න හොද විෂයයක්. මට මගේ වීරයාත් රුසියාව පුරා යමින් රුසියානු ජන ජීවිතයේ හැම පැතිකඩක් ම විස්තර කරන්න පුලුවනි. මුලු රුසියාව ම නවකතාවෙන් පිළිබිඹු වෙනවා ඇති. මට අපූරු චරිත ටිකක් නිරූපනය කරන්න පුලුවනි.” යැයි ගොගොල් විසින් මෙම වස්තු බීජය ගැන කියා සිටියේය.
ගොගොල් විසින් මෙම දිගු නවකතාව ලියා අහවර වූ පසු මුල්ම වරට තමන්ට මෙම වස්තු බීජය ලබාදුන් පුෂ්කින්ට මුල් පරිච්ඡේද​ කිහිපය ඇසෙන්නට කියවූයේ ය. වෙනදාට ගොගොල්ගේ ලියවිලි සිනාමුසු මුහුණින් අසා සිටි පුෂ්කින්ගේ මුහුණ මෙවර අඳුරු විය. එම පරිච්ඡේද කිහිපය ගොගොල් කියවා අවසන් වූ පසු “අනේ දෙවියනේ අපේ රුසියාව කොතරම් දුක්මුසු තැනක් ද?” යනුවෙන් පුෂ්කින් පැවසීය.
නිකොලායි ගොගොල් (pinterest)
මෙම කෘතිය කියවීමෙන් පාඨකයා තුල දැඩි සිත් වේදනාවක් ඇති වේ යැයි සිතා ඔහු එය සංස්කරණය කිරීමට ස්විට්සර්ලන්තයට ගියේය. මේ අතරතුර ඔහුගේ සාහිත්‍ය මිතුරා වූ පුෂ්කින් මියගියේය. පුෂ්කින්ගේ මරණය නිසා ගොගොල්ට තම කෘතිය හරි ආකාරව නිම කරගත නොහැකි විය. එමනිසා ඔහු රෝමයට ගොස් අවසානයේ 1841 වර්ෂයේ දී තම කෘතිය ලියා නිම කළේය. පොත ලියා නිම වුවත් මොස්කව් වාරණ මණ්ඩලය ගොගොල්ට එම කෘතිය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ලබා දුන්නේ නැත.
පොතේ නම ඇසූ හැටියේම  “මම කවදාවත් ම ඔය පොත අනුමත කරන්නේ නැහැ. ආත්මය සදාකාලිකයි. ඒ නිසා මළ ආත්ම තිබෙන්න බැහැ. පොත් ලියන මිනිස්සු ආත්මයේ අමරණීයත්වයට අපහාස කරනවා” යැයි වාරණ මණ්ඩලයේ සභාපති බෙරිහන් දුන්නේය. ‘ආත්ම’ ලෙස හැදින්වෙන්නේ ලියාපදිංචි කල ප්‍රවේණි දාසයන් යැයි කී විට මෙය ප්‍රවේණි දාස ක්‍රමයට එල්ල කල පහරක් දැයි වාරණ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ ප්‍රශ්න නැගූහ. ඉන්පසු ගොගොල් මෙම කෘතිය පීටර්ස්බර්ග් වාරණ මණ්ඩලයට ඉදිරිපත් කලේය. සංශෝධන බොහොමයකින් පසු මෙම කෘතිය අනුමත කෙරුණි. වැඩි දෙනෙක් ගොගොල් ව අගය කල අතර ඉඩම් හිමි රදළයෝ ගොගොල් හා වෛර බැද ගත්තේය.
එකල රුසියාවේ ප්‍රකට ගත් කතුවරයෙක් හා විචාරකයෙක් වූ බිලින්ස්කි මළ මිනිස්සු කෘතිය ගැන මෙසේ සදහන් කලේය.
ගොගොල්ගේ කෘතිය ජන ජීවිතයේ ගුප්ත තැන් හෙළි කරන්නා වූ රුසියානු ජාතික කලා කෘතියකි. යථා තත්වය වසා ගත් පටලය නිර්දයව ඇද ඉරා දමන්නා වූත් රුසියානු ජීවිතයේ සරු ඵලදාවන් පිලිබදව සියුම් හැගීමකින් බලවත් ආදරය පල කරන්නා වූත් කලා කෘතියකි. මිනිස් චරිත හා රුසියානු සමාජ සිරිත් විරිත් අපූර්ව නිර්මාණාත්මක කුසලතාවලින් නිරූපණය කරන්නා වූත් ගැඹුරු සාමාජික හා ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන්නා වූත් අසාමාන්‍ය වූත් කලා කෘතියකි.”
ගොගොල්ගේ මෙම කෘතිය විවිධ භාෂා වලට පරිවර්තනය වීමෙන් ඔහුගේ නාමය ලොව පුරා විහිදෙන්නට පටන් ගත්තේය. සිරිල් සී. පෙරේරා විසින් මෙම කෘතිය සිංහලට පරිවර්තනය කලේය.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (Pinterest.com)
ගොගොල් විසින් මළ මිනිස්සු නවකතාවේ පලමු කොටසින් රුසියානු සමාජයේ දුර්ගුණ කියූහ. ඔහු මෙම නවකතාවේ දෙවන කොටස ලිවීමට පටන් ගත්තේය. මෙම කොටසින් රුසියානු සමාජයේ යහපත් පැත්ත කතා කිරීමට හේ සිතුවේය. එහෙත් එය පහසු කාර්යයක් නොවීය. මන්ද ඔහු සෑම විටම පාහේ පුරුදුව සිටියේ දුර්ගුණ පක්ෂය උපහාසයෙන් හා හාස්‍යයෙන් ප්‍රතිනිර්මාණය කිරීමටයි. කෘතියේ දෙවන කොටස ඉතා අසාර්ථක බව ඔහු සිතූ නිසා එය ප්‍රකාශයට පත් කිරීමට පෙර පුළුස්සා දැමුවේය.
මේ සමගම වාගේ ගොගොල් හට ආගමික උමතුව වැළදී සිටියේය. ඔහු තම ආගම දේශනා කිරීමට පොත් ලියන්නට පටන් ගත්තේය. ‘මගේ මිත්‍රයන්ට යවන ලද ලියුම් වලින් ගත් කොටස්’ යන්නෙන් ලියූ කෘතියත් සමග ගොගොල්ගේ පරිහානිය සනිටුහන් විය. මෙම කෘතියෙන් පල්ලියට අවනත විය යුතු බවත්, ඒකාධිපතිත්වය, මරණ දඬුවම යහපත් බවත් සහ සාක්ෂරතාව භයානක බවත් කීවේය. පාඨකයාගෙන් මෙම කෘතියට දැඩි ලෙස විවේචන එල්ල විය. මන්ද මෙම කෘතියෙන් රජයට ආවඩා තිබීමයි.
මේ අතරතුර ගොගොල් නැවතත් මළ මිනිස්සු කෘතියේ දෙවන කෘතිය රචනා කිරීමට පටන් ගත්තේය. එහෙත් ඔහු එතරම් ම නිරවුල් මානසිකත්වයෙන් සිටියේ නැත. වරෙක පූජකයෙක් පවසා සිටියේ පොත පත ලිවීම පාපයක් බව පැවසීමෙන් ගොගොල් තවත් අවුල් විය. මෙම අවුල් මානසිකත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. ඒ 1853 වසරේ පෙබරවාරි 11 වෙනි දිනයි. ගොගොල් තම අත් බෑගයෙන් අත් පිටපත් විශාල ප්‍රමාණයක් රැගෙන උදුනට දැමීමට පටන් ගත්තේය. ඉතා මහන්සියෙන් ලියන ලද පිටපත් විනාශ නොකරන ලෙස කියා ගොගොල්ගේ සේවකයා ද අඬා වැටුනේය. “මගේ පොත් පිච්චුවට උඹට ඇති අමාරුව මොකක් ද? උඹ ගිහින් දෙවියන්ට යාච්ඥා කරපං” යැයි ගොගොල් කෑ ගසා කාමරයට ගොස් වැතිර අඬන්නට ගත්තේය. මෙයින් පසු ඔහු කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කල අතර ඉන් දින දොළහකට පසු මියගියේය. එම අත් පිටපත් මළ මිනිස්සු කෘතියේ දෙවන කොටසයි.
මූලාශ්‍ර:
  •  The Britannica Encyclopedia
  • මළ මිනිස්සු - සිරිල් සී. පෙරේරා
  • ටෝල්ස්ටෝයි සහ සමකාලීනයෝ - සමුද්‍ර වෙත්තසිංහ
[මෙය වසර දෙකෙකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

Friday, March 20, 2020

ඒ මගේ පන..! [කෙටි කතාව]



 එදා වැහිබර දවසක්. සාමාන්‍යයෙන් වැහිබර දිනයක හොදවැයින් කෝපි එකක් සහ පොතක් ඇත්නම් ඊට වඩා දෙයක් අවශ්‍ය නැතැයි කියුවද මට නම් එය පෑහුනේ නැත. එවැනි දිනයක මට අවශ්‍ය වන්නේ පොරෝනයෙන් හිස සිට දෙපතුල දක්වාම වසාගෙන නිදා ගැනීමටයි. එදිනත් මා සිදු කලේ එයමයි.

නිදාගෙන සිටින විට පොරෝනය යටින් කවුරුන් හෝ කකුල කිති කවමින් උඩට ඇදෙන බව මට දැනුනි. මගේ කලවා පෙදෙසට පැමිණි විට සිරුර පුරා විදුලිය යාමක් මෙන් මට දැනෙන්නට විය. මේ වන විට මගේ ඇඟේ මවිල් කෙලින් වී හිරිගඩු ද පිපී තිබුණි. ඒ වැස්සට ද එසේත් නැත්නම් මේ පැමිණෙන අමුත්තා නිසයි හරිහැටි කීමට අපහසුයි. මට තවත් ඉවසා සිටීමට නොහැකි වූ නිසා මම පොරෝනය ඔසවා බැලුවෙමි.

ඒ මගේ පන!

සිනාසී මා දෙස බලා සිටියේ වසර ගණනාවක් හමු නොවූ ගජ මිතුරන් වසර ගණනාවකට පසු හමුවූ ලෙසයි. නමුත් අප දෙදෙනා දවසෙන් වැඩිමනක් කාලය ගත කරන්නේ එකටම ය. අප දෙදෙනා කෙතරම් කාලයක් ඒකට ගතකල ද සැම හමුවීමක්ම නැවුම් හමුවක් ලෙසයි මට දැනෙන්නේ.

හීන් සීරුවෙන් උඩහට ඇවිත් මගේ පපුව මත හිස තබාගත්තේමට ඔය හැර වෙන ලෝකයක් නෑකියනා ලෙසයි. මම එසැනින්ම හිස අතගෑමට පටන් ගත්තෙමි. ඉන්පසු මම ඇගේ නළලට ආදරණිය හාදුවක් ද දුන්නෙමි.

හාදුව දී මගේ අත් දෙකෙන්ම ඇයව තදකර වැලද ගත්තේ මේ ලෝකයේ මම හැර වෙන අයෙකුට ඇයව ලබාගත් නොහැකි වන ආකාරයටයි. ඇයත් ඇගේ මුහුණ මගේ පපුව මත පිරිමැද්දේමම කොහෙවත් යන්නෙ නෑ. මම ඔයාගෙම විතරයි' යැයි කියන්නට උත්සහ කලාක් මෙනි.

වැස්ස තවත් තද කරන්නට විය. සීතලත් එන්න එන්නම වැඩි වීමට පටන් ගත්තේය. අයවත් වැසෙන ආකාරයට පොරෝනයෙන් අයවත් වසාගෙන ඇයත් සමග තවත් ගුලි වුනෙමි. දැන් නම් අපව දකින කෙනෙකුට වුවද මේ දෙදෙනෙක් නොව එක අයෙක් ලෙසයි සිතෙන්නේ. කෙසේවෙතත් අප දෙදෙනා දෙදෙනෙක් නොව එක අයෙක්. මට ඇයව හමුවූ දා පටන් හැඟෙන්නේ එලෙසටයි.

මම ඇගේ නළලට හාදුවක් දුන් පසු ඇය පෙරලා මගේ මුළු මුහුණම සිප ගැනීමට පටන් ගත්තාය. ඇයව නැවත්වීමට මට කිසිසේත් නොහැකි විය. ඇත්තෙන්ම කිවහොත් අයව නැවැත්වීමට මට අවශ්‍ය වුයේත් නැත. මන්ද ඒ වන විට මම එම අවස්ථාව උපරිමයට විදිමින් සිටි බැවිනි. ඇය සෑම දිනකම මාව මෙසේ සිප ගනියි. මා අසල වෙනයම් කවුරුන් හෝ සිටියත් යට එය කම් නැත. ඇය දිගින් දිගටම මාව සිප ගනියි. මුලදී අපගේ නිවැසියන්ට මෙය අමුතුම තාලයේ අත්දැකීමකි. මුල් කාලයේ ඔවුන් මෙය දුටු විටත් පිළිකුල් කල නමුත් දැන් නම් මෙය ඔවුන්ට හොදටම පුරුදුය. පිළිකුල් කරන්නෙත් නැත. 

අප දැන් අහාර ගන්නෙත් එකටමය. මම කන්නේ මොනවද, ඇයටත් එයම අවශ්‍ය වේ. මේ නිසා මගේ මවට දැන් මා වැනිම අයෙක් නඩත්තු කිරීමට සිදුවී ඇත. මව මා සමග මේ ගැන වරක් ගෝරනාඩු කෙරුවද දැන් එයත් විසදී තිබේ. සුමානෙකට වතාවක් අපි දෙදෙනා නිවස කිට්ටුවම පිහිටි මල් වත්ත වෙත ඇවිදීමට යන්නෙමු. එය අපටම වෙන්වූ කදිම තෝතැන්නකි. එහි ඇති මල් පිපුණු විල් සහ ඒවා සිපගන්නා ගස් අපව වෙනම ලෝකයකට කැඳවාගෙන යයි. එහිදී එන සිසිල් සුළඟ විඳිමින් සැමදාම මෙසේ සිටින්නට හැකිනම්… මම මෙයට සිහින මවමි. අප දෙදෙනා මෙම උද්‍යානය වෙත එන්නේ තවත් කාරණයක් සිතේ පෙරදැරි කරගෙන ය. දවසින් වැඩි කාලයක් නිවස තුලට වී සිටින ඇයට සමාජශීලී වන්නට හැකි වන්නේ මෙවැනි අවස්ථාවක පමණි. ඒ නිසා මේ ඇඟේ ප්‍රියතම දවස කීවාට වරදක් නැත.

මේ සියල්ල ගැන සිතමින් මම ඇයවත් තුරුළු කරගෙන ජනේලයෙන් පිටත එයින් රූටා වැටෙන ජල බිංදු දෙස බලමින් සිටියෙමි. මේත් සමගම කවුරුන් හෝ තරප්පු පෙළ නැගගෙන එන හඬක් මගේ කන වැකුනි, ඒ අම්මා විය යුතුයි. අද මෙම නිවසේ අප දෙදෙනා හැර සිටින්නේ ඇය පමණයි. ඇය කාමරයේ දොර විවෘත කර ඈ අතෙහි වූ කොස්ස මා දෙස දිගු කොට මෙසේ කියන්නට වූවා ය.

“ඔය බල්ලත් එක්ක සෙල්ලන් කරා ඇති. දැන්වත් මේ කාමරේ අස්කරගන්න”


චිත්‍ර තරඟය [කෙටි කතාව]



අනේ අම්මේ එන්නකෝ… මේ බලන්න වහලෙන් වතුර වැටෙනවනේ” අක්කා ඇඳෙන් බිමට පනිමින් අම්මාට කන්නලව් කළා ය. “මේ හැම තැනින්ම වතුර බේරෙන්න අරන්”

අම්මා කර වූ පොල්තෙල් තම ඉරුණු සායෙන් ම පිහිදමමින් පැමිණියා ය.

“ඔන්න ඔය බේසමයි නෑඹිලිය යි අරන් ඉක්මනට මෙහාට වරෙන් පොඩ්ඩියේ” කුස්සියේ අම්මාට රෑ කෑම පිසීමට උදව් වෙමින් සිටි මට ඈ කියා සිටියා ය. සෙවිලි කල පොල් අතු වලින් නිවසේ වහලය සමන්විත වී තිබුනු අතර වැසි දාට එයින් තැනින් තැන වතුර බේරීම මොවුනට සුපුරුදු දෙයකි. නමුත් අද වෙනදාටත් වඩා වැසි ඇදහැලීම නිසා වැසි ජලය සාලයට ත් රූටන්නට විය. මම කියන පරක්කුවට නෑඹිලියයි කුඩා බේසමයි රැගන කාමරය වෙත දිවගෙන ගියෙමි.

කාමරයට පැමිණි පසු දුටු දෙයින් තිගැස්සුනු මගේ අතින් නෑඹිලියයි බේසමයි බිම වැටුනේ නොදැනුවත්ව මය.
“අයියෝ මගේ චිත්‍ර පොත”

මම බිය වූයේ කාමරයේ තිබූ වතුර කඳ දැක නොව, චිත්‍ර පොත මත තිබූ ජල බින්දු කිහිපය දුටු නිසයි. සිංහ ධේනුවක් තම පැටවුන්ව ආරක්ෂා කරගන්නා මෙන් මම චිත්‍ර පොත වෙත කඩා පැන දෑතින් ම බදාගෙන සායෙන් පිසදමන්නට වූයෙමි.

“මේ මක් වෙලාද? දීපන් කෙල්ලෙ ඔය නෑඹිලිය, පොල් අත්ත දිරලා ගිහින්” අම්මා කියා සිටියා ය.
“හෙට චිත්‍ර තරඟෙට ඇදපු චිත්‍ර තියෙන්නෙ මේකෙ. හොදම චිත්‍රය තියෙන කෙනාව කලාප තරගෙට යවනවලු” මම චිත්‍ර පොත දෑතින් බදාගෙන ම කියා සිටියෙමි.

“තරගෙ වගේද කෙල්ලෙ මේ වතුර කන්දරාව. ඕක පැත්තකින් තියලා වතුර අහක්කරන්න මට උදව් වෙයන්”
ඇය මෙසේ කීවත් ඇය තුල මාව චිත්‍ර තරගයට යැවීමට තිබුනේ දැඩි උනන්දුවකි. එසේ නොමැතිනම් ඇය හාල් පොත ජයවර්ධන මුදලාලි මහත්තයා ළඟ තබා චිත්‍ර පොතකුයි පැස්ටල් කූරු පෙට්ටියකුයි ණයට ගනියි ද?

මෙතෙක් පැත්තකට වී බලාසිටි අක්කා අම්මා වෙත හැරී “මෙහෙම තෙමීගෙන ඉන්න නන් අපි මොන එහෙකටද මුදලාලි මහත්තයට ගෙවල් කුලී ගෙවන්නේ.” යැයි කීවා ය.

“මම මීට කලින් කිව්වා බං මේ ගැන. එතකොට උන්දැ කියාපි ‘උඹලා එහෙනන් වෙන ගෙයක් හොයාගෙන පලයන්’ කියල. අපි කොහෙන් කියල ගෙවල් හොයන්නද?”

මීට කිසිවක් නොකියා අක්කා කරබාගෙන ම සිටියා ය. එදින රාත්‍රියෙන් වැඩිමනක් ගෙවී ගියේ කාමරයේ තිබුනු වැසි වතුර ඉවත් කිරීමේ කාර්යයටයි. පසුදින උදයේ මා හැර සියලු ම දෙනා නහය වසාගෙන නිවස තුල ඇවිදයන්නට වූයේ පෙර දින ඇදහැලුනු වැසි ජලය පල් වීම නිසයි. මට මෙම පල් වූ ජලය ප්‍රශ්නයක් නොවේ. පෙර දින සිටම මම චිත්‍ර තරඟය ගැන සිහින දකිමින් සිටියෙමි.

නංගී මෙදින පාසල වෙත ගියේ වෙනදාටත් වඩා උනන්දුවෙනි. පාසලේ විරාමය අවසන් වන තෙක් මා සිටියේ ඇඟිලි ගනිමිනි. මන්ද විරාමයෙන් පසු ඇත්තේ චිත්‍ර පාඩමයි. අද තමා හොදම චිත්‍ර තෝරගන්නා දවස. සතියකට උඩදි සුමුදු මිස් කීවේ කලාප තරඟෙට හොදම චිත්‍ර දෙක යවන බවයි.

‘හැමෝම චිත්‍ර ඇඳගෙන ඇවිල්ලා. ලස්සන ලස්සන පාට වලින්. ඒත් මාව තේරෙයි’ මම මටම කියා ගත්තෙමි.
සුමුදු මිස් සුපුරුදු සිනහව සමගින් පන්තිය තුලට පැමිණියා ය. මීට පෙර නොතිබුණු ආලෝකයක් පන්තිය තුලට ඇතුලු වූවාක් මෙන් හැගීමක් මා තුල ඇතිවන්නට විය.

“හොදයි ළමයි, හැමෝම ඇඳපු චිත්‍ර ටික එලියට ගන්න. වැඩිම ළකුණු ගන්න දෙන්නව කලාප තරඟෙට යවනවා.”

සැවොම තම පාසල් බෑගයෙන් චිත්‍ර පොත් එළියට ගන්නට විය. මම නම් මේ වන විටත් චිත්‍ර පොත මේසය මත තබාගෙට ලක ලැහැස්ති වී හමාරය. ඉස්සරහ පේළියේ සිට සුමුදු මිස් චිත්‍ර වලට ළකුණු දමාගෙන යයි. පනහා හැට හතලිස් පහ ආදී ගණන් මට ලාවට මෙන් පෙනේ. මෙය දුටු මගේ හද ගැස්ම එන්න එන්නම වැඩි විය. සුමුදු මිස් ටිකෙන් ටික මා අසලට පැමිණෙයි. ඇය මා අසලට පැමිණ;

“කෝ දෙන්න දරුවෝ ඔය පොත” යැයි කියා මා දෙසට ඇගේ දෑත් දික් කළා ය. මම පහළ බලාගත්වනම ඇය වෙත චිත්‍ර පොත පිළිගැන්වුයෙමි. මම ඈ දෙස හොරැහින් බලා නැවත මුහුණ පහළ හෙළුවෙමි. එසැනින් ඇය මගේ හිස අතගාමින් “ගොඩක් හොදයි” යැයි කියමින් පොත මගේ අතට දුන්නා ය. අසූවක්…! මිනිත්තුවක් පමණ මම මගේ චිත්‍රය දෙස බලා සිටියෙමි. මට මෙය අදහගන්නටත් නොහැකියි. ඇස් අසාගෙනම මම මෙම කාලය විදිමින් සිටියෙමි.

“කලාප තරගෙට හොදම චිත්‍ර ඇදපු නයනා සහ සුපුනිව කලාප තරගෙට යවනවා.” සුමුදු මිස් පන්තිය ඉදිරියේ කියා සිටියා ය.

සුපුනිත් චිත්‍ර අඳින්න හරි දක්ෂයි. ඇගේ චිත්‍රය අධික මිලැති වෛවර්ණ තීන්ත වලින් අලංකාර කොට තිබුණි. පන්තියේ අනෙක් අයට එවැනි තීන්ත මිලදී ගැනීම පවා හීනයක් විය. නමුත් ජයවර්ධන මුදලාලිගේ දියණිය වූ ඈ රිදී හැන්ද කටේ ගසා ඉපදුනු කෙනෙක් වීම නිසා මෙවන් දෑ ඇයට මහ දෙයක් නොවේ. චිත්‍ර පන්තිය අවසන් වූ පසු සැවොම සුපුරුදු පරිදි අනෙක් ගුරුතුමිය පැමිණෙන තුරු අනං මනං කතා කරමින් සිටියහ. නමුත් මට එසේ සිටිය නොහැකියි. මටනම් මෙය යුද්ධයක් දිනුවා හා සමානය. මෙය මහමෙරකි. මම නැවතත් චිත්‍ර පොත දිග හැර මගේ චිත්‍රය දෙස බලන්නට වූයෙමි. එසැනින් ම නැවතත් චිත්‍ර ගුරුතුමිය වූ සුමුදු මිස් පන්තිය වෙත පැමිණියා ය.

“ළමයි පොඩි නිවේදනයක් කරන්න තියෙනවා. කලාප තරඟයට යන්න වෙන්නෙ එක්කෙනාටයි” මෙය ඇසූ පන්තියේ අනෙක් ළමුන්ගේ මුහුනේ කිසිදු වෙනසක් සිදු වූයේ නැත. ඔවුහු මළානික ස්වරූපයෙන් ගුරුතුමිය දෙස බලාගත් ලෙසින්ම සිටියෝ ය. නමුන් මට හීන් දාඩිය දමන්නට විය.

“වැඩිම ළකුණු ගත්ත නයනට විතරයි චිත්‍ර තරගයට යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මට මේ දැන් කිව්වේ අපේ ඉස්කෝලෙන් එක්කෙනෙක්ට විතරයි තරගයට සහභාගි වෙන්න පුලුවන් කියලා.”

සුමුදු මිස් සුපුනි දෙස හැරී “ඔයාට ලබන වතාවේ චිත්‍ර තරගෙට යන්න පුලුවන්නේ දරුවෝ. ඒ නිසා පැරදුනා කියල හිතන්න එපා. ඔයාගෙ හැකියාව ගැන සතුටුවෙන්න”

සුමුදු මිස් මෙසේ කීවත් සුපුනිගේ මුහුණින් කිසිදු හැඟීමක් පළ නොවුනි. ඇය කියවීමට ඉතා අමාරු චරිතයක්. චිත්‍ර තරගයට මා තේරුනු බවක් මම මුලින් දැනගත් විටදී ඉමහත් සතුටක් ඇතිවූ නමුත් ඒත් සමගම සුපුනි ගැන දුකක් ද ඇති වුනෙමි. ඇයත් සමග මේ ගැන කතා කරන්න යාමට මගේ සිත දුන්නත් ගත එයට විරුද්ධ විය. මා කෙදිනකවත් ඈ සමග කතා කර නෑ. මීට පෙර මම ඇයත් සමග කතා කිරීමට උත්සහ කළත් ඇය මා මගහරින්නට වූවාය. එමනිසා එදිනෙන් පසු ඇයත් සමග කතා කරන්නට මම නොගියෙමි.

පාසල අවසන් වූ පසු දිවගෙන නිවස වෙත ගියේ අම්මා හට මෙම සුභ ආරංචිය කීමේ නොනිත් ආශාව නිසයි.
“අම්මේ මම චිත්‍ර තරගෙට තේරුනා. ඉස්කෝලෙ නියෝජනය කරන්න මාව කලාප තරගෙට යවනවා කිව්වා.” නිවස වෙත දුවගෙන එමින් මම අම්මාට කිව්වෙමි.

“අනේ මගේ දක්ෂ කෙල්ල. උඹට දෙවියන්ගෙම පිහිට ආරක්සාව ලැබෙන්න ඕන” අම්මා මාව බදාගනිමින් කියා සිටියා ය. මෙයින් මට අම්මා ගැන ආදරයක් ද මම ගැන ආඩම්බරයක් ද දැනුනි. තරගය තිබෙන්නේ හෙට ය. තරගය දැන් තිබෙනවා මෙන් මම එයට සූදානම් වූයෙමි. හවස් වරුව පුරාම පරණ පත්තර කැබලි ගෙන අඟුරු කෑල්ලකින් චිත්‍ර ඇඳ තරගයට පුහුණු වූයෙමි. මේ අතර ඇඳිරි වැටෙනවාත් සමග කඩුල්ල අසලින් අම්මාට යමෙක් කතා කරන හඬක් ඇසුනි.

“කර්ලිනෝ..කර්ලිනෝ…විගහට ආවනන්… උඹට කියන්න කාරණාවක් තියෙනවා”

මෙය කන වැකුනු සැටියේම මම ඉස්තෝප්පුව වෙත ගියේ පැමිණ සිටින්නේ කවුරුන්දැයි දැකගැනීම පිණිසයි. ඒ වෙන කවුරුවත් නොවේ ජයවර්ධන මුදලාලි.

“කෙල්ලෙ උඹෙ අම්මට එන්න කියාපන්.”

මම කිසිවක් නොකියා ගේ තුලට රිංගුවෙමි.

“අම්මේ… අන්න ජයවර්ධන මුදලාලි මහත්තයා ඇවිත්. ඔයාට අඬගහනවා. ගිහින් බලන්න” මම කුස්සියට දිවගෙන විත් අම්මාට කිව්වෙමි.

“ඒ පාර මේ මනුස්සයා මොකාට එන්න හදනවද මන්දා… මං ගිය සතියේ කිව්වනේ ඉතුරු ගෙවල් කුලී වලට හරියන්න ලබන ඉරිදා වෙද්දි ලණු ඔතලා දෙන්නන් කියලා.” අම්මා මෙසේ කියමින් දොර අසලට යන්නට විය.

“මුදලාලි මහත්තයා මොකද මේ පැත්තේ…එන්න ඇතුලට” අම්මා බොරු සිනහවක් පාමින් මුදලාලි මහත්තයාට නිවස තුලට ඒමට ඇරයුම් කළාය. මුදලාලි මහත්තයා පැමිණ තිබෙන්නේ කුමක් සදහාද යැයි දැනගැනීමේ අටියෙන් මමත් පිටුපසටම වී සිටියෙමි.

“ඇතුලට එන්න ඕන නෑ. මෙහාට ආවනන්. කාරණයක් තියෙනවා කියන්න”

අම්මා කිසිවක් නොකියා කඩුල්ල අසළට ගියා ය.

“ඇයි මහත්තයා ඒ රෑ බෝවෙන වෙලාවේ?”

“ලබන සතියෙ මට මේ ගේ ඕනෙ”

“ඇයි මහත්තයා එකපාරටම එහෙම කියන්නේ… මම කිව්වන්නේ ගෙවල් කුලී වලට හිලව් වෙන්න ලණු කැරලි ගොතලා දෙන්නන් කියලා. වැඩිපුර හරි මම දෙන්නන්. එහෙම කියන්න එපා මහත්තයා. අපි කියලා කොහේ යන්නද?” අම්මා කලබලයෙන් කියාගෙන ගියා ය. වටේ පිටේ කිසිදු ශබ්දයක් නොමැති නිසා ඉස්තෝප්පුවේ සිටියත් මට මෙම සංවාදය හොදින් ඇසේ.

“එහෙම කියල හරියන්නෑ. මම උඹට වේලහනම කිව්වනේ මට මේ ගේ ඕනෙ කියලා. මගෙන් වෙන එකෙක් මේ ගේ  ඉල්ලුවා ලොකු ගානකට.” මුදලාලි මහත්තයා අම්මාගේ කියුම් ගණනකටවත් නොගෙන කියා සිටියේ ය.

“අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. අපිට පාරට බහින්නයි වෙන්නේ.”

“උඹේ කෙල්ල හෙට චිත්‍ර තරඟෙට තේරුණා කියලා ආරංචියි.” මුදලාලි මහත්තයා මෙසේ කියූ ගමන් අම්මා පුදුමයෙන් මෙන් බලා සිටියේ අනාගතය දත් සාස්තරකාරියක් මෙනි. මේ ඇසූ මම පුදුමයෙන් සිටියේ සාස්තරකාරිය කියනා දේ අසා සිටි අනාගතය නොදත් පුද්ගලයා මෙනි.

“අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. පොඩ්ඩි හෙන ආසාවෙන් හිටියේ මේ තරඟෙට.” අම්මා දෙඅත් වැඳගෙන කියා සිටියා ය. මුලදී ගේ ගැන කතා කළ ඔවුන් දැන් කතා කරන්නේ මගේ තරගය ගැනයි. මේ කිසිවක් තේරුම්ගැනීමට නොහැකිව මම තවත් උවමනාවෙන් කතාවට කන යොමා සිටියෙමි.

“තාම පොඩි කෙල්ලනේ මහත්තයෝ…ඒකිට දුක හිතෙයි…”

“මට ඒවට කාරි නෑ… මගේ කෙල්ල හෙට තරගෙට යනවා. උඹලා හෙට ඉස්කෝලෙ ආවොත් දවල් වෙද්දි බලෙන් හරි උඹලව මේ ගෙයින් දොට්ට දානවා…” මුදලාලි මහත්තයා මෙය කියා අම්මා කිසිවක් කීමට පෙර නියර දිගේ යන්නට විය. ඔහු නොපෙනී යන තෙක් බලාගෙන සිටි අම්මා උරහිසේ වූ රෙද්දෙන් මුහුණ පිසිමින් අඩියට දෙකට නිවස තුලට අවා ය.

“අම්මේ මුදලාලි මහත්තයා මොනවද කිව්වේ? චිත්‍ර තරඟේ ගැන මොනවද කිව්වේ?” මම අම්මාගේ අතේ එල්ලෙමින් ඇගෙන් අසා සිටියෙමි.

“උඹට ඒවා ඕනෙ නෑනෙ. උඹ හෙට ඉස්කෝලෙ යන්නෑ.” මා එල්ලී සිටි අත ගසා දමමින් අම්මා තරහෙන් මෙන් කියා සිටියා ය.

“ඒත් අම්මේ ඇයි එහෙම…” මා කියන්නට සිටි දෙය අවසන් කිරීමට හැකි වූයේ නැත.

“ආයෙ එහෙම ඔය චිත්‍ර තරඟෙ ගැන මේ ගෙදර කතා කරනවා නෙමේ.” අම්මා කේන්තියෙන් ගුගුරා කුස්සිය තුලට යන්නට විය.




ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...