Monday, March 23, 2020

ජේ ආර් සහ ජපානය

දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය. ජපානය යුද්ධය ජයගත් මිත්‍ර පාර්ශවයේ රටවල්වල පයට පෑගී සිටියේය.

ඒ 1951 වසරේ සැප්තැම්බර් මස 4 වෙනිදා ය. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී සාම සමුළුව ඇරඹීමට ආසන්නව තිබුණි. සමුළුව තිබූ ශාලාවේ සිහින් සංගීතයක් වාදනය වෙමින් පැවති අතර සාම සමුළුවකට කදිම පරිසරයක් ද මේ වන විට නිර්මාණය වෙමින් තිබුණි. සමුළුව තිබූ ශාලාවේ පිටත ධජ පනස් එකක් ඔසවා තිබුණි. එහෙත් එක් රටක ධජය ඔසවා තිබුණේ නැත. ඒ ජපානයේ ධජය යි. සමුළුව පස්වරු හතට ඇරඹුණි.

මෙම සමුළුවේ තාවකාලික සභාපතිවරයා වූයේ එවකට ඇමරිකා රාජ්‍ය ලේකම් ඩීන් ආචිසන් මහතා ය. පළමුව​ ලෝක සාමය උදෙසා දීර්ඝ​ නිහඬ යාච්ඥාවක් පැවැත්වුණි. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර නගරාධිපති රොබින්සන් මහතා සහ කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වූ අර්ල් වොරන් මහතා පිළිගැනීමේ කතාව පවත්වන ලදි.
ජේ.ආර්. ජයවර්ධන මහතා සමුළුව අමතමින් (rivira.lk)

ඉන්පසු ඇමරිකානු ජනපති හැරී ටෲමන් කතා කරමින් මෙසේ පැවසුවේය.
“පර්ල් වරායට පහර දීම අතීතයේ සිදුවීමකි. වසර හයක් තුලදී ජපානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය​ කරන ලදි. දුෂ්කර ලෙස ශ්‍රමය යොදවා ජීවිකාව ගෙන යන අයට ඉඩම් දෙන ලදි. ජපානය තවදුරටත් හමුදා රාජ්‍යයක් හෝ රහස් සමාජයක් නොවේ. ජපානය ඇයගේ ව්‍යවස්ථාවේ දිවුරුම යටතේ යුධ අයිතිය අතහැර ඇත. මේ නිසා අවි රහිත ජපානය ආරක්ෂා කිරීම හා රැක ගැනීම එක්සත් ජාතීන්ගේ කාර්ය භාරයක් වී තිබේ.”
සමුළුවේ දෙවෙනි දිනය උදා විය. එදින සවස සාම ගිවිසුම් කෙටුම්පත හදුන්වා දුන්නේ ය. රුසියාව ප්‍රකාශ කර සිටියේ ජපානය , යුධ බලය නැවතත් පණගැන්විය හැකි රටක් බවත් වැඩවසම් ක්‍රමය තවමත් එහි බලවත්ව පැතිරී ඇති බවත් ය. පිලිපීන තානාපති රොමුරෝ ජපානයට විරුද්ධව තදින් කතා කර සිටියේය. මෙසේ ජපානයට විරුද්ධව කතා කල අය බොහෝ ය.

මෙම සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් පැමිණි පිරිස මෙහෙයවූයේ ජේ.ආර්. ජයවර්ධන මහතා ය. ඔහු එකල ලංකා රජයේ මුදල් ඇමතිවරයා ව සිටියේය. සමුළුවේ දී ඔහුගේ දේශනය පැමිණ සිටි රටවල්වල නියෝජිතයන්ගේ සිත් වෙනස් කිරීමට සමත් විය. මෙයින් පසු ජපානයට විරුද්ධව කතා කල අය පවා තම අදහස් වෙනස් කර ගත්තේය. ඔහුගේ කතාවෙන් කොටසක් මෙසේ උපුටා දක්වමි:

සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුව 1951 (dailynews.lk)


“ලංකාව ආක්‍රමණයට භාජනය නොවූ නිසා අපි භාග්‍යවන්තයෝ වෙමු. එහෙත් ගගන ප්‍රහාරවලින් ද, අග්නිදිග ආසියා සේනාධිනායකත්වය යටතේ අතිවිශාල බලකායන් රඳවා තැබීමෙන් ද, මිත්‍ර රටවල එකම රබර් නිශ්පාදකයා වශයෙන් සිටි අපගේ ප්‍රධාන වෙළඳ නිශ්පාදන වලින් එකක් වන රබර් වගාවට සිදුකරන ලද අලාභ හානි වලට පිළියම් යොදන ලෙස ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබේ. එහෙත් අපි එසේ කිරීමට අදහස් නොකරමු. 
ආසියාවේ වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත උසස් බවට පත් කිරීමෙහි හේතු භූත වූ දහම් පණිවිඩය දුන් මහා ශාස්තෘවරයන් වදාළ “නභි වෙරෙන වෙරානි සම්මන්තීච කුදාචනා අවෛරෙනච සම්මන්තී” (වෛරයෙන් වෛරය නොසන්සිදේ. වෛරය සන්සිදෙන්නේ මෛත්‍රියෙනි) යන දේශනා පාඨය අප ඇදහීම ඊට හේතුවයි. දකුණු ආසියාවේ බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම, ඉන්දුනීසියාව හා ලංකාව තෙක් හා හිමාලය හරහා ටිබෙටය​, චීනය හා අන්තිමට ජපානය තෙක් උතුරු දෙසට ද මෛත්‍රී ප්‍රවාහයන් පතුරුවාලූ ද, වෛෂ ශත සංඛ්‍යාවක් මුළුල්ලේ පොදු සංස්කෘතියකින් හා පොදු උරුමයකින් අප එකමුතු කළා වූ ද බුද්ධ ශාසනය පිහිටවා වදාළ මහා ශාස්තෘවරයන් වන තථාගතයන් වහන්සේ දුන් පණිවිඩය එයයි.  
මෙම පොදු සංස්කෘතිය තවමත් නොනැසී පවතින බව මම පසුගිය සතියේ මෙම සමුළුවට සහභාගි වීමට පැමිණෙද් දී දක්නට ලැබුණි. ජපන් නායකයින් හා ඇමතිවරුන්ගෙන් මෙන්ම රටවැසියාගෙන් ද මට පෙනී ගියේ ශාන්ති නායකයාණන් වහන්සේගේ දහම් සෙවන යටතේ තවමත් එරට පොදු ජනතාව වෙසෙන බවත් එම දහම පිළිගැනීමට ඔවුන් අභිරුචියෙන් සිටින බවත් ය. අප ඔවුනට ඒ අවස්ථාව ලබා දිය යුතුයි.”
ජපානයේ ඇති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රුව දැක්වෙන ස්මාරකයක්. (ජනක ප්‍රේමරත්න)

 ජේ.ආර්. ජයවර්ධන මහතා තම දේශනය අවසන් කරමින් පවසා සිටියේ;
 “මෙම ගිවිසුම පරාජිත සතුරෙකුට සාධාරණ වන තරමට උදාර වන්නේය. අපි ජපන් රටට මිත්‍රත්වයේ හස්තය දිගු කරමු. මිනිස් ඉතිහාසයේ අද අප ලියන අවසාන පිටුව සහිත පරිච්ඡේදයේ පලමු පිටුව ආරම්භ කිරීමත් සමඟ, මිනිස් ජීවිතයේ පූර්ණ උදාරත්වය සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතුවභුක්ති විඳීම සඳහා ජපන් රටේ හා අපේ ජනතාව එක්වන් ව ඉදිරියට යනු ඇතැයි අපි විශ්වාස කරමු.”
ජයවර්ධන මහතාගේ දීර්ඝ දේශනයෙන් අනතුරුව මහා අත්පොළසන් නාදයක් නැගුණි. අවි බලය තිබියදී ද ජපානය යුධ ශක්තියෙන් බලවත් නොවන බවට විශ්වාස කළ දකුණු ඇමරිකානු ජාතීන් ද එයට එකහෙළා සහයෝගය පළ කළහ.

මෙම ක්‍රියාව නිසාවෙන් ජපානය පුරා ස්ථාන කිහිපයකම ජයවර්ධන මහතාගේ ස්මාරක පිහිටුවා ඇති අතර පසුකාලීනව ජපානයෙන් බොහෝ ආධාර ද ලැබුණි. ජපානය හා ලංකාව අතර අද දක්වා ඇති මිත්‍රත්වය ඇති කිරීමට මෙම දේශනය බෙහෙවින් බලපෑ බව කිව යුතුයි.

මූලාශ්‍ර: 

  • රිවිර පුවත්පත, 
  • මව්බිම පුවත්පත, 
  • ජේ.ආර්. ජයවර්ධන අභිනන්දන සංග්‍රහය
[මෙය වසර දෙකෙකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

11 comments:

  1. ඔව් මේක ඇත්තක්! ජයවර්ධන පුර රෝහල ඔහුට ජපානෙන් ලැබුනු තෑග්ගක් කියලයි මම අහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ලත් ජපානයේ ත්‍යාගයක්...

      Delete
  2. රූපවාහිනි සංස්ථාවත් ඔවුන්ගෙන් ලැබුනු තිළිණයක්. ප්‍රථිඋපකාරය හා කෘතඥතාව පළකිරීමට ඔවුන් තරම් දක්ෂ අයවලුන් නැති තරම්
    විචාරක දියණිය

    ReplyDelete
  3. දියුනුවන කාර්මික රටකට තමුන්ගේ කාර්මික නිශ්පාදනවලට වෙලඳපොලක් අවශ්‍යයි. වෙලඳපොලක් නැතිනම් ඇතිකරන්න ඕනේ. රූපවාහිනී සේවය ලබල දීලා වෙලඳපොලක් ඇතිකලා. අලුත්ම රූපවාහිනී සේවාවන් ඩිගිටල්. දියත උයන ගාව තියන පාලම තෑගි දීලා ගිවිසුමකින් ඔවුන් ඔවුන්ගේ ඉදිරි වෙලඳපොලත් තහවුරු කරගත්තා.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක් දිහාම ආර්ථික විද්‍යාවෙන් දැකීම
      කශිඛබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
      ෴ ආචාර්යය නන්න පොලීන්

      Delete
  4. කෝවිඩ් 19 රෝගය පාලනය කිරීමට නම් වහාම;
    පලාත් සභා වලට පොලිස් බලතල දීමත්,
    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමත්,
    ජාතික ගීය දෙමළ බසින් ගැයීමත්,
    උතුරු නැගෙනහිර ප්‍රදේශවල පන්සල් කේතුකාගාර බවට පත්කිරීමත් කල යුතුය.

    ReplyDelete
  5. මේ කථාවෙන් පස්සේ ජපනා හිතන විදිය පවා වෙනස් උනා කියලා මම අහලා තියෙනවා .ඔවුන්ගේ නුතන රාජ්‍ය ප්‍රතිපත්තියේ මුලික අඩිතාලම ඔවුන් දමා ගත්තේ ද මේ කතාවෙන් පස්සේ කියල අහලා තියෙනවා මම .

    ReplyDelete
  6. ජේ. ආර්. ජයවර්ධන ජනපතිතුමාගෙන් ජපානය අහලා තියෙනවා ඇඳන් කීයක් තිබෙන රෝහලකද ඕනේ කියලා. කිව්වාලු -ඇඳන් 1001 ක් තියෙන රෝහලක් තමයි ඕනේ. ඇඳන් 1000ක් රෝගීන්ට. 1 මට- කියලා.

    ඉසුරුගේ කියමනත් හරි. මා දන්නා තරමින් රූපවාහිනී සේවා සපයන විට ජපානයෙන්ම tv ගත යුතුයි වගේ කොන්දේසි තිබුණා.

    ජාතියක් වශයෙන් නම් ජපනුන් හරිම ආචාරශීලී, අභිමානවත් උදවිය. මං හිතන්නේ වෙනත් කිසිම ජන වර්ගයක් නැහැ, අවමානයක් දරාගන්නවාට වඩා කැමැත්තෙන් සියදිවි නසාගන්න (හරාකිරි කරගන්න) පෙළඹෙන. පෙනෙනවානේ අපේ උදවිය..... ජනාධිපති තනතුර දැරුවට පස්සෙත් මන්ත්‍රී වෙන්න හරි කී දෙනෙක් කැමතිද කියලා. රටේ පළමුවෙනි පුරවැස්සා වෙලා හිටියට පස්සේ නම්බුව තියාගෙන අහකට වෙලා නොඉඳ!

    ReplyDelete
    Replies
    1. ජපනා යනු ජාතියක්
      සිංහලයා යනු 1815න් පසු ජන වර්ගයක් ඒ දෙක සමාන කරන්න එපා.
      අපේ එකා කියලා අදහස් කලේ සිංහලයද? ශ්‍රී ලාංකිකයද?

      Delete
    2. හරාකිරි වලට අමතරව සමුරායිවරුන්ට විශේෂ වෙච්ච තව ක්‍රමයක් තියෙනවා සෙප්පුක්කු කියලා... සෙප්පුක්කු වලදී ස්වාමියාගෙන් අවසරය ගන්න ඕන... හරාකිරි වලදි අවශ්‍ය නැහැ... කොහොමත් දෙකෙන්ම කියන්නෙ ගෞරවාන්විත මරණයක් කියලනෙ...

      Delete
    3. ජපානයෙන් TV ගන්න ඕනෙ කියල ගිවිසුම් ගහන්න අවශ්‍යතාවයක් නෑ. ජපනගෙ විකාශන උපකරණය PAL ජාතියේ තරංග විකාශනය කලේ . ඇමෙරිකාව NTSC පාවිච්චි කලේ. එතකොට එයාලගෙ TV අපිට වැඩ නෑ. එංගලන්තයේ තිබුනත් ශබ්දය විකාශනය කලේ වෙන සංක්‍යාතයක. ඒ නිසා රූප විතරයි සද්දෙ නෑ. දැන් DVB එනකොට අමෙරිකාවේ ක්‍රමය හොඳ වුනත් බත්තරමුල්ලේ පාලම දීලා ජපානයේ උපකරන ගන්නවා කියල ගහපු ගිවිසුම නිසා අපිට තත්වය අඩු DVB, TV විකාශන තමා බලන්න වෙන්නේ

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...