Saturday, May 9, 2020

අවශ්‍යතාවක් සපුරා ගැනීමට ඝාතනය නිවැරදි ද?

මොහොතකට සිතන්න ඔබට ඔබගේ අවශ්‍යතාවයක් සපුරා ගැනීමට ඝාතනයක් කිරීමට සිදුවන අවස්ථාවක්. මෙම අවශ්‍යතාව සපුරා නොගතහොත් ඔබට මියයන්න සිදුවෙයි. එවිට ඔබ එම ඝාතනය සිදු කරනවා ද? එසේ වූ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වූ ආකාරය විස්තර කිරීමට මම මීට සියවසකට එහා සිදුවූ සිදුවීමක් ඔබ හමුවේ තබන්නම්. මෙම නඩුව ලොව පුරා ප්‍රකට වන්නේ QUEEN VS DUDLEY AND STEPHENS නඩුව ලෙසයි.

මෙහි දී කතාවන්නේ අවශ්‍යතාවයක් උදෙසා ඝාතනයක් සිදු කල හැකි ද? යන්නයි. 1884 වර්ෂයේ දී එක්තරා නැවක් එංගලන්තයේ සිට ඔස්ට්‍රේලියාව දක්වා ගමන් කරයි. අප්‍රිකාවේ සුබ පැතීමේ තුඩුව අසල දී මෙම නැව විනාශයට පත් වන අතර නැවේ සාමාජිකයන් හතර දෙනෙක් ආරක්ෂක බෝට්ටුවකින් එතැනින් ඉක්මනින් ඉවතට යයි. එහි සිටියේ ඩඩ්ලි (කැප්ටන්), ස්ටීවන්ස් (දෙවෙනියා), බෘක් (නාවිකයෙක්), පාකර් (Cabin boy) යන අයයි. හදිසියේ ආරක්ෂක නැවට ගොඩවූ නිසා ඔවුන් රැගන ආවේ ආහාර ටින් දෙකක් පමණයි. දින කිහිපයකින් පසු ඔවුන්ට මුහුදෙන් කැස්බෑවෙක් ද ආහාරය සදහා සොයාගත හැකි විය. නමුත් 19 වන දින විටත් ඔවුන්ට ගොඩබිමක් සොයාගත හැකි වූයේ නැත. මේ නිසා හතර දෙනා අතර ඉරටු කැබලි තෝරා කොටම කැබැල්ල ලැබන කෙනා ජීවිතක්ෂයට පත් කර ඔහුගේ ලේ හා මස් අනුභව කරමින් ඉතිරි තිදෙනා ජීවත් විය යුතු බව කැප්ටන් වූ ඩඩ්ලි යෝජනා කරයි. නමුත් මෙයට බෘක් කැමති වන්නේ නැහැ.

මේ වන විට පාකර් (Cabin boy) මුහුදු වතුර බීම නිසා බොහොම දුර්වල තත්ත්වයට පත්ව තිබුනි. ඔහු අනාථ නිවාසෙක හැදී වැඩුනු නිසා ඥාතියෙක් ද නැත. වයස 18ක් පමණ වන නිසා විවාහ වී නොතිබුනි. මේ සියල්ල නිසා ඔහුව මරා කෑමට ඩඩ්ලි යෝජනා කරයි. බෘක් මෙයට අකමැති වුවත් ඩඩ්ලි ඔහුගේ සහයක ස්ටීවන්ස් සමග එක්ව කුඩා පිහියක් අධාරයෙන් පාකර් ව මරයි. ඉන්පසු තිදෙනාම එක්ව පාකර්ගේ සිරුර ආහාරය ලෙස ගනියි. දින කිහිපයකට පසු නැවක් පැමිණ මොවුන්ව මුදවාගන්නා අතර එංගලන්තයේ අධිකරණය වෙත මොවුන්ව වහාම ගෙන යන ලදි. එංගලන්ත අධිකරණය නඩු තීන්දුව ලබා දීම සදහා කරුණු කාරණා සකස් කරගත් ආකාරය පහත සාකච්ඡා කරයි.

ඔබ ඉදිරියට තුවක්කුවක් රැගන යමෙන් පැමිණෙනවා සහ ඔබ අත පිහියක් ඇති බව සිතන්න. ඔහු ඔබව මරන්නට තැත් කරන විට ඔබ කෙසේ හෝ ඔහුව ඝාතනය කිරීමට සමත් වේ. මෙහි දී ඔබ ඝාතනය සිදු කරන්නේ ඔබගේ ආරක්ෂාව සලසා ගැනීමට යි. අපගේ සිදුවීමේ දී ඩඩ්ලි පාකර්ව මරණ විට පාකර් ඩඩ්ලිට තර්ජන කළේ නැහැ. එමනිසා එම සන්ධර්භයෙන් ඩඩ්ලි හා ස්ටීවන්ස් වැරදිකරුවන් වේ.

දැන් මෙසේ සිතන්න. කලින් ඔබට තුවක්කුවෙන් වෙඩි තැබීමට තර්ජනය කළ පුද්ගලයා ඔබට වෙඩි තබන්නේ තවත් අයෙක්ව ඔබ ඝාතනය නොකළහොත් පමණි. ඔබට ජීවත් විය හැක්කේ තව අයෙක්ව ඝාතනය කිරීමෙන්. මෙය අපගේ සිදුවීමට බොහෝ දුරට සමානයි. මිය යා යුතු පුද්ගලයා පාකර් වන අතර ඝාතනය කල යුතු පුද්ගලයා ඩඩ්ලි ලෙස ගත හැකියි. තුවක්කුවක් ගෙන ඝාතනය කිරීමට පවසන පුද්ගලයා බඩගින්නේ මියයමින් සිටින පුද්ගලයන්ගේ එම අවස්ථාව ලෙස ගත හැකියි. පාකර්ව ඝාතනය නොකලහොත් පරිසරය විසින් (බඩගින්න) ඩඩ්ලි ඇතුලු පිරිසව ඝාතනය කරයි. මෙම අවස්ථාවේ දී ඩඩ්ලි හට පාකර් ව ඝාතනය කල නොහැකි බව එංගලන්ත අධිකරණය පවසයි. පරිසරය විසින් ඝාතනය වීමෙන් වැලකීමට නම් තමන් සියදිවි නසා ගැනීම සිදු කල හැකිව තිබූ බව පවසයි. කිසි විටකත් අහිංසක පුද්ගලයෙක් ව මෙසේ ඝාතනය කල නොහැකි බව අධිකරණය තවදුරත් කියා සිටියි.

හොරකම සහ ඝාතනය ගත් විට වඩා බරපතල ඝාතනය බව අමුතුවෙන් කිව යුතු නැත. ඝාතනයකින් බේරීමට ඉතා බලවත් හේතුවක් අවශ්‍යයි. හොරකමින් ගැලවීමටත් හේතුවක් අවශ්‍යයි. නමුත් එය ඝාතනයෙන් ගැලවීමට තරම් බලවත් හේතුවක් විය යුතු නැත. එමනිසා යමෙක් හොරකම යන කරුණෙන් බේරීමට නොහැකි නම් ඝාතනය යන කරුණෙන් කිසි විටකත් බේරීමට නොහැකියි. යමෙක් ආහාර සහ ජලය යන අවශ්‍යතාව සදහා හොරකම් කරන්නේ නම් එය නීතියෙන් වරදක්. ඩඩ්ලි ඇතුලු පිරිසටත් අවශ්‍යව තිබුනේ ආහාර සහ ජලයයි. එමනිසා ඩඩ්ලි පාකර්ව මැරීම මොහොතකට අමතක කර ඔහු පාකර් සතුව තිබූ ආහාර සොරා ගත්තා යැයි සිතුවොත් එයත් නීතියෙන් වරදක්. මේ සියල්ල අවසන් වන්නේ ඩඩ්ලි හා ස්ටීවන්ස් හට මරණ දඩුවම හිමි වීමෙන්.

එමනිසා තම අවශ්‍යතාවයන් සදහා ඝාතනයක් සිදු කිරීම නීති ප්‍රාකාරව වරදක්.



7 comments:

  1. ඉරටු සෙල්ලමෙන් මැරුවනම් වරදක් කියලා සළකන එකාක් නෑ නේද? පූර්ව එකඟතාවය තියන නිසා.. හැබැයි ඒක ස්වභාවධරමයට විරුද්ධයි..

    ReplyDelete
    Replies
    1. ඉරටු සෙල්ලම කරානන් මියයන්න කැමැත්ත දීලනෙ... එතනින් ගැලවෙන්න පොඩි උදව්වක් ලැබෙන්න තිබ්බා..

      Delete
  2. නඩුව වැටුනේ කොහොමද?
    නාවිකයන්ට තිබුනේ කටවහගෙන ඉන්න.

    ReplyDelete
    Replies
    1. පොඩි බෝට්ටුවක මළ සිරුරක් තියෙනකොට ඕන කෙනෙක් සැක හිතනවනෙ...

      Delete
  3. නීති තියෙන්නේ දුබලයාව ආරක්ෂා කරන්නද, ප්‍රබලයාට බේරෙන්නද?

    ReplyDelete
    Replies
    1. නීතිය තිබෙන්නේ ඒකීය පුද්ගලයාගේ ජීවිතය දේපල අයිතිය රැකීමටයි.

      Delete
  4. එතකොට උතුරේ දෙමළාගේ නිජබිම අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයට උතුරේ ළමා ළපටින් කාන්තාවන්ද ඇතුළුව ජනතාව ඝාතනය කිරීම වරදක් නේද සර්?

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...