Tuesday, May 23, 2017

රෝම නීතිය හා පැක්ස් රොමානා


 රෝමන්වරුන්ගේ දීර්ඝකාලීන දායාදයක් ලෙස ඔවුන්ගේ නීතිය දැකිය හැකියි. වර්තමානය වන විට ලෝකයේ ශිෂ්ට සම්පන්න ජාතීන් සියල්ලම පාහේ රෝම නීතිය උපයෝගීකරගත් බව කීම අතිශෝක්තියක් නොවේ. ප්‍රථම නීති පද්ධතිය බිහිවූයේ ක්‍රි.පු. 150 දී චක්‍ර 12ක් ලෙසිනි. ඒවා තඹ පලක 12ක කොටා තිබූ අතර කාගේත් දැනගැනීම සඳහා වෙළඳ මධ්‍යස්ථානවල ප්‍රදර්ශනය කර තිබුනි. පසුකාලීනව සිදු වූ රෝම අධිරාජ්‍යයේ සහ එහි වෙළඳකටයුතු වල වර්ධනය හේතුකොට ගෙන ඇතිවූ වෙනස්කම් විශේෂයෙන් රෝම අධිරාජ්‍ය තුල ජීවත්වූ විදේශිකයන්ගේ අයිතිවාසිකම් වැනි දෑ සැලකිල්ලට ගනිමින් එකී නීති පද්ධතියේ ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුවිය.

  රෝම ආණ්ඩුව විසින් ප්‍රේටර් තෙරේග්‍රින්ස් නමින් හදුන්වනු ලැබූ විශේෂ විනිසුරුවරයෙකු පත් කලේය. ඒ රෝම අධිරාජ්‍ය තුල ජීවත්වූ විදේශිකයන්ගේ අයිතිවාසිකම් ගැන සොයා බැලීමටය. විටින් විට පත් වූ මෙම විනිසුරුවරුන් රෝම අධිරාජ්‍යට පැමිණෙන විදේශිකයන්ගේ සිරිත් විරිත් හා ගති පැවතුම් සලකා බලා රෝම නීතිය වෙනස් කරමින් වර්ධනය කලේය. මෙම නීති පද්ධතිය ජූස් ජෙන්මියම් ලෙස හැදින්විණි.

 අනෙක් ක්ෂේත්‍රවල විනිසුරුවරුන්ගේ නීති හා මහේස්ත්‍රාත්වරුන්ගේ නීති ලිඛිත නොවූ නීති ලෙස පැවතුණි. රෝම නීතිය විග්‍රහ කොට පද්ධතිගත කිරීමට සියවස් කිහිපයක්ම ගත විය.
ක්‍රි.ව. 527 සිට 565 අතර කාලයේ ජීවත්වූ නැගෙනහිර රෝම අධිරාජ්‍ය ජස්ටීනියන් නම් ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයෙකු පාලනය කලේය. රෝම නීතිය පද්ධතිගත කිරීමේ භාරදූර කාර්යය සාර්ථකව සිදුකරන ලදි. මෙය කෘතියක් ලෙස එළිදැක්වූ අතර එය ජස්ටීනියන් නීති පද්ධතිය ලෙස හදුන්වනු ලැබුණි.

 රෝම නීතිය මානුෂිකත්වය හා සාධාරණත්වය පදනම් කරගනිමින් සැකසී ඇති බැවින් ශිෂ්ට සම්පන්න ජාතීන් සියල්ලම පාහේ මෙම නීතිය පිලිගෙන ඇත. චූදිතයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වූ විට, එම එල්ල වූ චෝදනාවෙන් ආරක්ෂා වීම සඳහා  කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිම රෝම නීතියේ අඩංගු විශේෂ ලක්ෂණයකි. කිසියම් පුද්ගලයෙක්ට විරුද්ධව එල්ල කරන චෝදනාවලට එම පුද්ගලයා වරදකරු ලෙස නීතිය ඉදිරියේ ඔප්පු කරන තුරු එම පුද්ගලයාට දඬුවම් ලබා දීම සපුරා තහනම් වේ. කවර විෂමතා පැවතියත් සෑම පුරවැසියෙකුම නීතිය ඉදිරියේ එක සමාන බව පිලිගැනීම රෝම නීති පද්ධතියේ අර්තර්ගත තවත් වැදහත් ලක්ෂණයකි.
 
 පැක්ස් රොමානා ලෙස අදහස් කලේ රෝම සාමයයි. රෝම අධිරාජ්‍ය විශාල අධිරාජ්‍යයක් විය. මෙහි දේශසීමා ගත් කල බ්‍රිතාන්‍ය හා මෙසපොතේමියාව ඇතුලුව මධ්‍යදරණී මුහුදේ සියලුම ප්‍රත්‍යන්ථ ප්‍රදේශ කරා විහිදී තිබුණි. මෙම විශාල භූමි භාගය තුල ජීවත් වූ සියලු ජන කොටස් වල සාමය හා සමාදානය ස්ථාපිත කිරීම සඳහා පළාත් පාලන ආණ්ඩුක්‍රම ප්‍රථිසංවිධානය කලහ. මෙම කටයුත්තේදී තම අධිරාජ්‍ය යටතට පත් විවිධවූ ප්‍රදේශ වල ආගම්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට හානි නොවන අන්දමින් ක්‍රියා කිරීමට ඔවුන්ට සිදු විය.

  යටත් වැසියන්ට රෝම අධිරාජ්‍ය කෙරෙහි පක්ෂපාතීත්වය ලබා ගැනීම සඳහා ඔවුන් සියලුම දෙනාට රෝම පුරවැසිභාවය ලබා දෙන ලදි. එමගින් ඔවුන් රෝමන්වරු හා සම විය. රෝමන්වරු භුක්ති විඳි නිදහස ඔවුන්ටද විඳිය හැකි විය. අධිරාජ්‍යයේ දේශසීමා වල ප්‍රාකාර ඉදි කර රෝම හමුදා නතර කලේ විවිධ ආක්‍රමණ වලින් ආරක්ෂා වීම සඳහාය.

  අධිරාජ්‍ය තුල සාධාරණ බදු ප්‍රථිපත්තියක් ක්‍රියාත්මක විය. අධිකරණ පද්ධතියද සාදාරණ එකක් වූ අතර දක්ෂ ආණ්ඩුකාරවරු පරිපාලනය සඳහා යොදවන ලදි. සොරකම් හා මංකොල්ලකෑම් නතර කල අතර බියෙන් හා සැකෙන් තොරව වෙළඳාම් කරගෙන යාමේ තත්වයක් උදා කරන ලදි. වෙළඳ හා වාණිජ කටයුතු සඳහා අධිරාජ්‍ය පුරා පොදු විනිමය ක්‍රමයක් ක්‍රියාත්මක කලේය. කල් ගතවන විට රෝම පාලක මණ්ඩලයට නියෝජිතයන් පත් කර එවීමේ අවස්ථාව අධිරාජ්‍ය පුරා පැවති ප්‍රාදේශීය ඒකක වලට ලැබුණි.

මූලාශ්‍ර:

1)ලෝක ඉතිහාසය - බී.වී.රාවෝ

2) https://en.m.wikipedia.org/wiki/Roman_law

3) https://en.m.wikipedia.org/wiki/Pax_Romana

4) http://www.ushistory.org/civ/6c.asp

හරි එහෙනන් මෙවටත් උත්තර දෙමු...

1)Three Course meal ක්‍රමය හදුන්වා දුන්නේ කව්ද?

2) ෆ්‍රිජ් එකක දොරවල් ඇරලා... ගෙදර දොර ජනෙල් සේරම වහලා  තිබුනොත් ගෙදර කූල් වෙයිද? [විහිළුවට අහපු එකක් නෙමෙ... :D]

3) By the rivers of babylon ගීතයේ මුල් ගායක කණ්ඩායම කවුරුන්ද?

19 comments:

  1. ප්‍රශ්ණ ටිකට උත්තරත් දෙනකන් බලන් ඉන්නේ.
    අර "ඔගී" කාටුන් එකේ නම් උගේ ශීතකරණය දවසක් වහන්න බැරිවෙලා ගේම අයි වෙන සිද්දියක් තිබ්බා. .:)!!

    හොඳ ලිපියක් අදත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගෙදරම අයිස් වෙන සිද්දියක් තිබ්බා. .:)!!

      Delete
  2. රෝමය ඒ අතින් බැලුවහම ගොඩක් දියුණු රාඡ්‍යයක් , මම හිතන්නෙ කූල් වෙන්නෑ, මොකද ෆ්‍රිඡ් එක ඔටෝ ඕෆ් වෙන නිසා

    ReplyDelete
  3. ජස්"ටී"නියන්

    රෝමය ගැන එන්ටර්ටේනින් විදිහට ඉගනගන්න Colleen McCullough ගේ Masters of Rome සීරිස් එක කියවන්න. නවකතා වුනාට ග්ලොසරි එක පිටු සීයක් විතර තියනවා. ටෝගා එක ඇඳගෙන යුරිනල් භාවිතාකරන්න පුලුවන්ද කියන එකත් ටෙස්ට් කරලා ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. ඒ සීරීස් එක කියවන්නම්... මම එඩිට් කරා... ස්තූතියි ප්‍රා.ජේ...

      Delete
  4. මේකත් බොහොම වටින ලිපියක්... ප්‍රශ්නෙට උත්තර දෙනනම් ඕක කරලම බලන්න වෙනෝ. දෙවෙනි එකට පිලිතුර Boney M

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න... :D BonyM උත්තරේ නන් වැරදියි...

      Delete
  5. Agana tawat vistharayak
    Song eka jameican film ekaka song ekakda; ane manda, mathakaya weradit athi

    ReplyDelete
    Replies
    1. මුල් කාලයේ ජැමැයිකා වල මේ ගීතය තහනම් වුනා... කවුරුත් උත්තරේ දුන්නැත්තන් හෙට උත්තරේ දාන්නන්...

      Delete
    2. නියමයි ප්‍රා.ජේ... උත්තරේ හරි... මේ සිංදුව ලියලා තියෙන්නේ Brent Dowe සහ Trevo McNaughton... බයිබලයේ ගීතාවලියේ 19 හා 197 පරිච්චේද අරගෙන තමා මේ ගීතය ලියලා තියෙන්නේ... මේක 1970 දී මෙලඩියන්ස් සංගීත කණ්ඩායම මේ ගීතය එළිදැක්වුවා... යුරෝපයේ මේක ප්‍රසිද්ධ කලේ බොනී එම් ලා... ගීතයට පසුබිම උනේ ඊශ්‍රායෙල් වරු බැබිලෝනියාවෙ විප්‍රවාසයට ගෙනිච්ච එක...

      Delete
  6. තවත් අගේ ඇති වියමනක්.

    ReplyDelete
  7. ෆ්‍රිජ් පැනයට පිලිතුර - කාමරය සිසිල් වේ යැයි අපේක්ෂා කළද සිදුවන්නේ එය නොවේ. සැබැවින්ම කාමරයේ උෂ්ණත්වය වැඩිවේ. සාමාන්‍යයෙන් ශීතකරණයක් සිදුකරන්නේ එතුළ ඇති වායු අංශු වලින් තාපය ඉවත් කර සිසිල් කිරීමයි. එම තාපය ශීතකරණය පිටුපස ඇති කුඩා ෆෑන් එක හරහා පිටතට මුදා හැරේ. දොර විවෘත කර ඇති විට කාමරයේ වාතයද ශීතකරණයට ඇතුළු වන නිසා එයින්ද තාපය ඉවත්කර යළිත් කාමරයටම මුදා හැරේ. එහෙත් ශීතකරණයක් ප්‍රායෝගිකව 100%ක් කාර්යක්ෂම නොවන නිසා එහි යම් තාප හානියක් සිදුවේ. දොර විවෘත කළද මෝටරය ඇතුළු එහි අනෙකුත් කොටස් ක්‍රියාත්මක වන නිසා ඒවාට සැපයෙන විද්‍යුත් ශක්තියෙන් කොටසක් තාප ශක්තිය ලෙසින් හානිවේ. මෙලෙස ජනනය වන අමතර තාපය නිසා කාමරය උණුසුම් වේ.

    ReplyDelete
  8. රෝමය කියන්නේ පරීක්ෂණාත්මක මට්ටමේ ශිෂ්ඨාචාරයක් නෙමෙයි... කොටින්ම කීවොත් ජාතියක් වශයෙන් උපරීමයට ළඟා වුණු කොට්ටාසයක්... රෝමයේ සාර්ථකත්වයට මුලිකම උනේ හමුදාව..ලීජන් බටයෝ..ලීජන් බටයෝ කියන්නේ වැඩි වත් පොහොසත් කම් නැති රෝමානු පන්තීය. පැට්‍රීෂියානු සමාජ රටාවට ළඟවෙන්න බැරි ඔවුන් වැඩ කිරීමට කැමැත්තක් දක්වපු මිනිස්සු නෙමෙයි..තමන්ට රෝමයේදි කරගන්න බැරිඋණ දේවල් කරගන්න බලාපොරොත්තුවෙන් හමුදාවට එක්වුනු ඔවුන් විශාල වශයෙන් රටවල් කොල්ලකෑවා.. උන් රෝමයේ විශාලත්වය වැඩි කලා වගේම තමන්ගේ නීති රීති වලට බදු වලට යටත් නොවුණු සියලුම ජාතීන් වහලුන් වශයෙන් රෝමයට සැපයුවා... එතකොට රෝමය ගොඩනැඟුවේ තනිකරම වහලුන්.. රෝමය වහලුන්ගෙන් උපරීම ප්‍රයෝජනය ගත්තා..කතා කළහැකි මෙවලම්ක් විදිහට තමයි වහලුන්ව හැඳින්වුවේ....

    ReplyDelete
  9. ලිපියත් හොඳයි,ප්‍රශ්නත් හොඳයි.ප්‍රශ්න වලින් තව දේවල් ඉගෙන ගන්න පුලුවන් . ස්තුතියි . පලමු ප්‍රශ්නයට උත්තර නෑනෙ . ඒකත් කියන්න

    ReplyDelete
  10. ලිපියත් හොඳයි,ප්‍රශ්නත් හොඳයි.ප්‍රශ්න වලින් තව දේවල් ඉගෙන ගන්න පුලුවන් . ස්තුතියි . පලමු ප්‍රශ්නයට උත්තර නෑනෙ . ඒකත් කියන්න

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...