Monday, February 17, 2020

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය [8] කෙම්ගෙඩිය සහ මල් පූජාව


කමනි - සර් මට පොඩි දෙයක් අහන්න තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් කියන්න පුතේ.

කමනි - ඊයෙ අපේ ගෙදර ඉන්න හරකගෙ බෙල්ලෙ මොනාදෝ ගුලියක් එල්ලලා තියෙනවා දැක්කා. ඉතින් මම අපේ සීයගෙන් ඇහුවා මොකක්ද ඒ කියලා. සීයා මට මුකුත් කිව්වෙ නෑ. මුකුත් ඒ ගැන කතා කරන්න එපා කිව්වා. ඇත්තටම ඒ මොකක් ද?

ඉස්කෝලෙ මහත්තයා - සීයා එහෙම කියලා තියෙන්නේ ඒක කෙමක් නිසා. කෙමක් කරද්දි කතා කරන්නෙ නෑ.

කමනි - කෙමක්? ඒ කෙම මොකක් ද?

ඉස්කෝලෙ මහත්තයා - හරකුන්ට කුර ලෙඩ හැදුනහම ඒකට බෙහෙතක් හොයාගන්න ගමේ මිනිස්සු වෙදමහත්තයා ගාවටයි යන්නෙ. ඉතින් වෙද මහත්තයා බෙහෙත් පොට්ටනියක් හදලා දෙනවා. මේ බෙහෙත් පොට්ටනියත් අරගෙන ගමේ මිනිස්සු කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව හරකගෙ බෙල්ලෙ බඳිනවා. මේ බෙහෙත් පොට්ටනියෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ වෙද මහත්තයා විතරයි. ඉතින් ගමේ මිනිස්සු මේ බෙහෙත් පොට්ටනියට කිව්වා කෙම්ගෙඩිය කියලා. පස්සෙ කෙංගෙඩිය උනේ ඔය කෙම්ගෙඩිය තමා. හරි එහෙනන් ඊළඟ කවිය කියමු.

ප්‍රසන්න - පරසතු මලින් පුද
ලද මුනි සඳුට දියනද
වනපස මලින් පුද
කලැයි පවසනු කවර වරදද

ඉස්කෝලෙ මහත්තයා - හොදයි. ඔය කවිය කලින් කවි වගේම එන්නෙ වෑත්තෑවේ හිමි ලිව්ව ගුත්තිල කාව්‍යයෙන්. පරසතු කියන්නෙ දිව්‍යලෝකෙ හැදෙනවයි කියල විශ්වාස කරන මල් විශේෂයක්. මේ කවියෙන් වෑත්තෑවේ හිමි අහන්නේ බුදුන් වහන්සේට දිව්‍යලෝකයේ හැදෙන පරසතු මල් පිදුවත් කැලෑ මල් පිදුවත් මේ දෙකේ ඇති වෙනස මොකක්ද කියලා.

නිමාලි - ඇයි සර් අපි බුදුන් වහන්සේට මල් පූජා කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - බුදුන් වහන්සේ මල් පූජාවෙන් මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සහ කලේ ජීවිතයේ අනිත්‍ය බව. බුදුන්ට පුදපු මලක් වුනත් පරවෙනවා. ජීවිතයත් මේ වගේ. ස්ථිර නැහැ කියල පෙන්නන්නයි මල් පූජාවක් කරන්න කිව්වෙ.

සහන් - මම දවසක් දැක්කා ටී.වී. එකේ මල් දහදාහක පූජාවක්. ඒකෙන් ලැබෙන්නෙ මොනව ද?

ඉස්කෝලෙ මහත්තයා - මලක ලස්සන තියෙන්නෙ ඒක ගහේ තියෙනකොට මිසක් කැඩුවම නෙමේ. ජීවිතේ අනිත්‍යයි කියලා තේරුම්ගන්න මල් දහදාහක් පූජා කරන්න ඕන නෑ. මෙක තනිකරම ලෞකික දෙයක්. ඔයාලා දන්නවද බුදුන් වහන්සේ සිවුරක් තෝරගන්න කිව්වෙ කොහොමද කියල.

කමනි - කියන්නකො ඒක ගැනත්.

ඉස්කෝලෙ මහත්තයා - මැරුණු මනුස්සයෙක්ව වහපු රෙදි කඩක් අරගන්න කිව්වා. මොකද එහෙම රෙදි කඩක් කවුරුත් පාවිච්චි කරන්න කැමති නැති නිසා. ඊට පස්සෙ ඒ රෙදි කඩ කුඩා කොටස් වලට ඉරලා ආයෙ මහගෙන ඒක සිවුර විදිහට භාවිතයට ගන්නයි කිව්වෙ. මේ තරම් අල්පේච්චව ජීවත් වෙන්න උගන්නපු බුදුන්වහන්සේ මල් දහදාහක් පූජා කරන්න කියයි ද?



2 comments:

  1. සල්ලිකාරයෝ, බලපුළුවන්කාරයෝ එයාලා බැබළෙන්න ලොකු ලොකු පූජාවල් කරනවා. කරවනවා. දැන් ඔය ලොකු ලොකු උදවිය එයාලාගේ බූදල්වලින් ලොකු උන්නාන්සේලාට එක-එක වරදාන දෙන්නේ.

    බුද්ධ කාලේ නම් අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය හදන්න ජේත කුමාරයාගෙන් ඉඩම ගත්තේ එයාගේ පුද්ගලික ධනයෙන් (රන්කාසි ජේත උයනේ අතුරලාලු). ඒකටත් එක්ක දැන් ඉන්න අනාථයෝ!

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...