Monday, December 20, 2021

අපි වයසට යන්නේ ඇයි?


ඔබ වසර 10,000කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර තිහකට නොවැඩියි. ඔබ වසර 100කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 50කට නොවැඩියි. ඔබ මීට දශක කිහිපයකට පෙර ඉපදුනු අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 80ක් දක්වා යා හැකියි. 

තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ගේ ආයු අපේක්ෂාවත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුනා. කුඩා අවධියේ පටන් මැදි වියට එනතෙක් ම වයස්ගත වීම අපේ ශාරීරික වර්ධනයට බලපෑවා. වයසත් එක්ක ඇවිදින්න, දුවන්න වගේම නව ක්‍රියාකාරකම් රැසක් අපිට කිරීමට හැකියාව ලැබුනා. නමුත් අපගේ එක්තරා වයසක ඉඳන් මේ හැකියාවන් හීන වෙන්න පටන් ගන්නවා. අපි 'වයසට යනවා' කියලා කටවහරේ කියන්නේ ඒ කාලෙදි යි. නමුත් ඇයි අපි වයසට යන්නේ? තරුණ අවධියේ දී වයස්ගත වීම ශාරීරික වර්ධනයට හේතු වෙලා තවත් කාලයක දී වයස්ගත වීම ශරීරයේ දුබලතාවට හේතු වුනේ කොහොම ද? අපි අද සොයා බලමු ඒ ගැන. 

වයස්ගත වීම කියන්නේ රෝගයක් නෙමේ. දියවැඩියාව, ඇල්සයිමර් සහ ක්ෂයරෝගය ආදී දේවල් රෝග. වයස්ගත වීම මේ සමහර රෝග වලට හේතු වෙන්න පුලුවන් වුනත් වයස්ගත වීම රෝගයක් ලෙසින් සැලකෙන්නේ නැහැ. 

අපි වර්ධනය වෙන්නේ සෛල බෙදීමෙන්. එකෙන් දෙකක් දෙකෙන් හතරක් ආදී විදිහටත් තවත් ආකාර වලටත් අපේ ශරීරයේ සෛල බෙදෙනවා. මේ බෙදීමේ දී අපේ සෛල වල තියෙන වර්ණදේහත් ඒ එක්කම බෙදෙනවා. පාරම්පරික ලක්ෂණ ඉදිරි පරපුර අරගෙන යන්නේ මේ වර්ණදේහ තුලින්. මේ සෛල බෙදීම සම්බන්ධයෙන් හෙෆ්රික් නම් වූ විද්‍යාඥයෙක් විශේෂ සොයා ගැනීමක් සිදු කරනවා. ඔහු පවසනවා අපේ ශරීරයේ සෛල වලට බෙදීමට හැකියාවක් ලැබෙන්නේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා පමණයි කියලා.

වර්ණ දේහ වල කෙලවර සෑදී ඇත්තේ 'ටිලමියර්' නම් වූ ද්‍රව්‍යයකින්. මේ ටිලමියර් වර්ණ දේහ තුල තිබෙන්නේ වර්ණ දේහ වලට සිදුවන හානි වලින් ආරක්ෂා කරගන්න. නමුත් සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී මේ ටිලමියර් ටිකෙන් ටික කොට වෙනවා. ටිලමියර් කොට වෙලා කොට වෙලා අන්තිමේ දි නැති වුනාම යි සෛලයේ බෙදීම අවසන් වෙලා සෛලය මිය යන්නේ. අපි වයසට ගිහින් මිය යන්නෙත් මේ හේතුව නිසා.

ටිලමියර් කොට නොවෙන එක් සත්වයෙක් ඉන්නවා. ඒ තමා පොකිරිස්සා. පොකිරිස්සන්ගේ ශරීරයේ සෛල වර්ධනය වෙනකොට ඒවායේ ටිලමියර් කොට වෙන්නේ නැහැ. ඒ ටිලමොරේස් නම් එන්සයිමය නිසා. මේ නිසා පොකිරිස්සන් දිනෙන් දින ශක්තිමත් වෙනවා මිසක් මොන මොහොතකදිවත් වයසට යන්නේ නැහැ. ඒ සත්තු මිය යන්නේ මිනිස්සු වගේ තවත් සතෙක් උන්ව කෑවොත් විතරයි.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපිටත් පොකිරිස්සගේ වගේ ටිලමියර් කොට වෙන්නේ නැතිව තිබ්බනම් හොඳයිනේ කියලා. නමුත් ඒක හිතන තරම් හොඳ දෙයක් නම් නෙමේ. 

අපේ ශරීරයේ පිළිකා සෛලත් ක්‍රමක්‍රමයෙන් ගුණනය වෙනවා. මේවායේ වර්ණදේහ වල තියෙන ටිලමියර් කොට වෙන්නේ නැහැ. මේ නිසයි පිළිකාවක් පැතිරීම වළක්වන්න අපහසු. සාමාන්‍ය විදිහට සෛල බෙදිලා ටිලමියර් කොට වෙලා සෛල මිය යනවා නම් පිළිකා සෛලත් කාලයකින් අපේ ශරීරයෙන් තුරන් වෙන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ. 

මේ හේතුව නිසාමයි අපේ ශරීරයේ අනෙකුත් සෛල වල ටිලමියර් කොට වෙන්නේ. එහෙම නොවුනා නම් ඒවායේ රෝග කාරකයක් තිබුනොතින් ඒ රෝග කාරකයත් නොනවත්වා ගුණ වෙන්න තිබුනා. 

එහෙම බැලුවොත් අපේ වයසට යෑමත් එක්තරා ආකාරයක අපිව ආරක්ෂා කරගන්න ශරීරය යොදන උපක්‍රමයක්. 



Thursday, December 16, 2021

මළ පොතේ අකුර දැකලා තියෙනවා ද?


අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර දුටු පමණින් යනෙකුගේ මරණයක් හැඟවෙන බවත් මෙයට මළපොතේ අකුර යැයි කියැවෙන බවටත් කතාවක් මම අහලා තියෙනවා. සමාජ ජාලා තුල පමණක් නොව අන්තර්ජාලයේ ඔබ මෙම මළ පොතේ අකුර කුමක්දැ යි සෙව්වොත් පහත පින්තූරයේ දැක්වෙන අක්ෂරය පැමිණෙනවා.

නමුත් සැබවින් ම මේ මළපොතේ අකුර ද? මළ පොතේ අකුර මෙය යැයි කීවත් එය සනාථ කිරීමට කිසිදු සාධකයක් මට හමුවූයේ නැහැ. මළ පොතේ අකුර මෙය යැයි කියන කිසිවෙකුටවත් මේ මළ පොතේ අකුර යැයි සනාථ කල හැකි යැයි මම සිතන්නෙත් නැහැ.

එසේ නම් මළපොතේ අකුර කියන්නේ මොකක් ද?

මළ පොතේ 'අකුර' නමින් යෙදුමක් බහුලව භාවිතා වුනත් මළ පොතේ 'අකුරු' නමින් බහු වචන පදයකුයි ගැමියෝ භාවිතා කළේ. මාලනී බුලත්සිංහල මහත්මිය වුනත් කියන්නේ මළ පොතේ 'අකුරු' බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරේ මුල ඉඳන් අගට බලනවා මිසක් මළ පොතේ 'අකුර' බැරි මිනිහා එහෙම කරනවා කියලා නෙමෙයිනේ.

සමහරු ඉස්පිළි පාපිළි නැති නිසා 'ඉ' ස්වරයට මළ පොතේ අකුර යැයි හඳුන්වනවා. නමුත් ඉස්පිළි පාපිළි යෙදෙන්නේ නැති තවත් අක්ෂර තියෙන නිසා 'ඉ' අක්ෂරයට මළ පොතේ අකුර කීමත් පිළිගන්න අපහසුයි. 

ගැමි පුද්ගලයෙක් මියගියා ම අක්ෂරයක් අඩංගු තල්පතක් ගම වටා රැගෙන යන කතාවත් තරමක් පිළිගන්න අපහසුයි. එහෙම දෙයක් කිසිම ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අදහස පසු කාලීනව ඇතිවූ අදහසක් වෙන්න ඕන. ඇරත් ගැමියෙක් මැරුණම ඒක කටින් කියන්න බැරි ඇයි? කෙනෙක්ගේ මරණයක් වචනයෙන් පැවසීම අසුබ යැයි සඳහන් තැනකුත් නැහැ. මේ හේතු කාරණා නිසා අතීත ගැමියෙක් මිය ගියාම අක්ෂරයක් ලියූ තල්පතක් ගම වටේ රැගෙන යන කතාව අපිට බැහැර කරන්න වෙනවා.

ගැමි සංස්කෘතිය තුල සෑදෙන මිත්‍යාවක් පිටිපස්සේ සැඟවුනු සත්‍යයක් තියෙන්න පුලුවන්. මළ පොතේ අකුරු වල කතාවත් ඒ වගේ.

වර්තමානයේ දී නම් මළ ගෙදරක දී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඣායනා කරනවා. අතීතයේ දී සඡ්ඣායනා කල ජාතක කාව්‍යයක් තිබුනා.

ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය.

වෙස්සන්තර කාව්‍යයයේ (වෙසතුරු දා කව) දරුවන් දන් දෙනකොට මහ පොළොව කම්පා වුන විදිහ ඇහෙනකොට මළ ගෙදරක තියෙන ශෝකය තුනී වෙනවා කියලා අතීත ගැමියෝ විශ්වාස කළා. මේ නිසා හැම මළ ගෙදරක ම වෙස්සන්තර ජාතක කාව්‍යය සඡ්ඣායනා කළා.

අතීත ගැමියෝ මළ පොත කීවේ ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය ලියූ තල්පතට. මේ තල්පත කියවන්න පුලුවන් වෙන්නේ අකුරු සාස්තරේ දන්න අයට විතරයි. ගමේ බොහෝ දෙනෙක් අකුරු සාස්තරේ දන්නේ නැති නිසා මේ මළ පොත, එහෙමත් නැතිනම් වෙස්සන්තර ජාතක කාව්‍යය කියවන්න පුලුවන් වුනේ කිහිප දෙනෙක්ට විතරයි. 

ටික කාලයක් යනකොට මිනිස්සුන්ට මේ ජාතක කාව්‍යයේ කවි ටික ඇහිලා ඇහිලම කට පාඩම් වෙනවා. අකුරු සාස්තරේ නොදන්න කෙනෙක් වුනත් තල් පත අතේ තියාගෙන කටපාඩමින් කවි ටික කියන්න පුලුවන් වුනා. 

ඒත් සමහරු ජාතක කාව්‍යය නිතර ඇහිලත් කටපාඩම් කරගත්තේ නැහැ. මේ අයට තමා ගම්මු කීවේ 'මළ පොතේ අකුරුවත් බැරි මිනිහෙක්' කියලා.



Tuesday, December 14, 2021

දෙවියන් සහ මිනිස් මොළය

 යුරෝපයේ පුනරුද සමයේ සිටි කලාකරුවෝ තම කලා නිර්මාණ වල සියුම් තැන් පිළිබඳව ඉතා ඕනෑකමින් සොයා බැලුවා. එවන් ශිල්පීන් අතර මයිකල් ඇන්ජලෝ නම කලා ශිල්පියා ඉතා විශේෂ යි. ඔහු නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් දකුණු අතෙහි උඩ කොටසේ නහරයක් සමෙන් ඉලිප්පී පෙනෙයි. වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව නම් එම නහරය පිටතට පෙනෙන්නේ අපගේ අතේ සුළු ඇඟිල්ල ඉහලට එසෙව්වොත් පමණි. මයිකල් නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් තම සුළු ඇඟිල්ල ඉහලට ඔසවාගෙන සිටියි. 

අපගේ ගෙල ප්‍රදේශයේ ඇති කණ්ඩරික ශිරාව පිටතට පෙනෙන්නේ අප කලබලයෙන් තිගැස්සී සිටින විට යි. මයිකල් ඇන්ජලෝ නිපදවූ දාවිත්ගේ පිළිරුවේ ඉතා සියුම් ව එම ශිරාව පෙනෙයි. දාවිත්ගේ පිළිමයේ නිරූපණය වන්නේ ඔහු ගොලායත් නම් පිළිස්ති යෝධයාත් සමඟ සටනට මොහොතකට පෙර අවස්ථාවකි. එමනිසා එම මොහොතේ දාවිත් තිගැස්සී සිටි බව හොඳාකාරවම කිව හැකියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් මයිකල් ඇන්ජලෝගේ අවධියේ දී සිදු වූ දේවල් නොවේ. සමහර සොයා ගැනීම් මයිකල්ගෙන් වසර සියයකටත් පසු සොයාගත් ඒවා ය. එම නිසා එකල කලා ශිල්පීන්ට සිතුවම් ඇඳීමට අමතරව මළ සිරුරු විච්ඡේදනයෙන් ලත් විශාල දැනුමකුත් තිබුනු බව අප මතකයේ තබා ගත යුතුයි.

මයිකල් තමන්ගේ කලා නිර්මාණ වලට මෙවන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුලත් කල අවස්ථා වලට ඇත්තේ උක්ත සඳහන් කල ඒවා පමණක් ම නොවේ. එවන් ආකාරයේ සිතුවම් අතරින් මගේ ප්‍රියතම සිතුවමක් ඇත්තේ වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ ය. මයිකල්ට ස්වර්ගය හා දෙවියන් සම්බන්ධ කරමින් සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කිරීමට අවසර දෙන්නේ එකල සිටි පාප්වහන්සේ විසින්. මයිකල් එහි සිතුවම්කරණයේ නියැලෙන්නේ එම සිතුවම් එකල මෙන් ම වර්තමානයේ සිතුවම් වලට ද අභියෝගයක් එක් කරමින්.

ක්‍රිස්තියානි ආගමේ ලෙසට ලොව පලමු මිනිසා වන ‘ආදම්’ දෙවියන්වහන්සේ විසින් දූවිල්ලෙන් මවයි. මයිකල් ඇන්ජලෝ විසින් එම ආදම්ව මැවීම සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කරන්නේ සිවිලිමේ. මෙහි දී වම් ආදම් සිටින අතර දකුණු පස දෙවියන් සිටියි. මයිකල්ට පෙර දෙවියන් නිරූපණයට අලෝකයක් වැනි දේ යොදා ගත්තත් ඔහු දෙවියන්ව නිරූපණය කලේ වයෝවෘධ පුද්ගලයෙක් ලෙසින්. එය එකල සම්ප්‍රදායට පිටින් යෑමකි. දෙදෙනාගේ ඇඟිලි ගෑවී නොගෑවී තිබේ. දෙවියන් වටා කුඩා දරුවෝ ද දෙවියන් කරට අත දා සිටින තම ඉපදුනේ නැති පලමු කාන්තාව ලෙසින් හැඳින්වෙන 'ඒව' ද සිටින අතර සියලු දෙනා වටා රතු පැහැති රෙදි කඩක් තිබේ.

සාමාන්‍ය නරඹන්නෙක්ට නම් මෙය අලංකාර සිතුවමක් පමණයි. නමුත් 1990 වසරේ දී මෙම සිතුවම දුටු වෛද්‍ය ෆ්‍රෑන්ක් ලින්ක් මේ ගැන ඉදිරිපත් කළේ වෙනත් ම අදහසක්. ඔහු පැවසුවේ දෙවියන්ව නිරූපිත කොටස හුදෙක් සිතුවමක් පමණක් නොව එහි ඇත්තේ මිනිස් මොළයක හරස්කඩක් බවයි. දෙවියන්ගේ හැඩයෙන්, දරුවන්ගේ ගෙල හැරවී ඇති ආකාරයෙන්, කකුල් පිහිටලා තිබෙන ආකාරයෙන් මොළයේ කොටස් නිරූපණය වන බව කියා ෆ්‍රෑන්ක් පර්යේෂණ පත්‍රිකාවක් එම වසරේ ඉදිරිපත් කරා. මෙම සිතුවමේ මොළය සබ බෙල්ල සම්බන්ධ කරන නහරයකුත් කොල පැහැයෙන් මයිකල් සිතුවම් කර තිබෙනවා. මේවායේ ඉතා නිරවද්‍යතාව නිසා මෙම සිතුවම මොළයට සමාන වීම අහම්බයක් ලෙසින් කිසිසේත් ම හඳුන්වාදිය නොහැකියි.

මයිකල් ඇන්ජලෝ විසින් වසර ගනනාවක් වෙහෙස මහන්සි වී සිරුරු විච්ඡේදනය කිරීමෙන් ලත් වෛද්‍ය දැනුම තම සිතුවම් වලට භාවිතා කිරීම ගැන වසර පන්සීයකට පසු අදත් කතාබහට ලක් වීම ඉතා පුදුම දනවන සුළුයි. මයිකල් ඇන්ජලෝ විශේෂ වන්නේ ඒ නිසා පමණක් ම නොවේ. ආගමික පැලැන්තිය ඉතා බලවත්ව සිටි අවධියක දී දෙවියන් යනු මිනිස් මොළයේ නිර්මාණයක් බව අදටත් පාප්වහන්සේව තෝරාපත්කරගන්නා ස්ථානයේ සිතුවම් කිරීමට තරම් එඩිතර වූ පුද්ගලයා ද මයිකල් ඇන්ජලෝ වන නිසාය. 



Sunday, December 12, 2021

පරම්පරාව, චෙස් සහ රෝමියෝ ජුලියට්


මගේ නම අවසන් වෙන්නේ ‘ප්‍රනාන්දු’ යන නමෙන්. මට මේ නම ලැබුනේ මගේ පියාගෙන්. තුෂාර ප්‍රනාන්දු තාත්තාගෙ නම. අපේ සීයගේ නම ඇලන් ප්‍රනාන්දු. අපි නම් කිව්වේ පප්පා කියලා මිසක් සීයා කියලා නෙමේ. පප්පාගෙත් තාත්තාගේ නම පීටර් ප්‍රනාන්දු. මගේ අම්මාගේ නම මිහිරි පෙරේරා. අම්මාගේ තාත්තාගේ නම මර්වින් පෙරේරා. ඔයාලා දන්න ගායකයා නම් නෙමේ. සීයගේ සම්පූර්ණ නම මහරගේ ක්ලැරන්ස් මර්වින් පෙරේරා. ගායකයෝ දෙන්නෙක්ගෙම නම් තියෙනවා එතන. සීයගේ තාත්තගේ නම අන්තෝනියෝ පෙරේරා. 

මට මගේ පරම්පරාවේ සුළු හෝ කරුණක් දන්න උපරිමයට ම කියන්න පුලුවන් ඔච්චරයි. 

මම මගේ සහෘද පාඨකයන්ගෙන් අහන්න කැමතියි ඔයාලට ඔයාගේ පරම්පරාවේ සීයලා කී දෙනෙක් නම් කරන්න පුලුවන් ද කියලා. අඩුම තරමේ වලව් පෙළපතකින් පැවත එන කෙනෙක්ට වුනත් තමන්ගේ සීයලා අට දෙනෙක්ව ආපස්සට කියන්න බැහැ මතකයෙන්. අපේ මතකයේ තියෙන්නේ අපේ පරම්පරාවේ සුළු කොටසක් විතරයි. අපෙන් පස්සේ පරම්පරා තුලින් අපිව මතකයෙන් ගිලිහිලා යනවා මහ කාලයක් යන්න කලින්. 

එහෙම බලනකොට අපි මේ රකින්න උත්සහ කරන ‘ජාතිය’ කියන එක ගැනත් ඇත්තට ම අපි මොනව ද දන්නේ? මම ක්‍රිස්තියානි වුනාට මගේ පරම්පරාවේ ආදිතමයන් බෞද්ධ අය වෙන්න ඇති. ඒ බෞද්ධ අයගේ පරම්පරා වල ආදිතමයන් යක්ෂ නාග ගෝත්‍රිකයන් වෙන්න ඇති. ඔවුන්ගෙනුත් ආදිතමයන් හිරු සඳු අදහපු පූර්ව ඓතිහාසික යුගයේ අය වෙන්න ඇති. ඔහොම දිගින් දිගට ම යනකොට අද වෙන් වෙන්ව තියෙන හැම ජාතියක ම ආගමකම අයට පැවත එන්නේ එක ම කොට්ඨාශයකින් කියලා නිගමනයට එන්න පුලුවනි.

අපි ඉස්කෝලේ යන කාලයේ තිබුනා රෝමියෝ සහ ජුලියට් කියලා ශේක්ස්පියර්ගේ කතාවක්. මේ කතාවේ රෝමියෝ සහ ජුලියට් හිටපු පවුල් දෙක ජන්මාන්තර වෛරක්කාරයෝ. මේ වෛරය කොතරම් පරන ද කියනවා නම් පවුල් දෙක තුල වෛරය පටන් ගන්න හේතුවක් කතාවේ කියන්නේ නැහැ. ඒ ඇයි කියනවා නම් කතාවේ වර්තමානයේ ජීවත් වුනු එක චරිතයක්වත් ඒ වෛරයට හේතුව දැනගෙන හිටපු නැති නිසා.

අපිත් මේ වගේ තමා විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවෙනකොට අපිට පරම්පරාවෙන් දායාද වුනු දේවල් ඉදිරියට අරගෙන යනවා විතරයි ඒවා දායාද වුනේ කොහොමද කියලා හොයලා බලන්නේ නැහැ. පරම්පරා ගැන කියනකොට මට මතකෙට එන්නේ ‘චෙස්’ ක්‍රිඩාව.

චෙස් ක්‍රීඩාව සංස්කෘතීන් කිහිපයක එකතුවකින් සෑදුනු ක්‍රීඩාවක්. ඉන්දියාවේ රජ කෙනෙක්ට අවශ්‍ය වුනා වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. මොකද ඒ කාලයේ තිබුනු හැම ක්‍රීඩාවක් ම පාහේ කාසියක් දාදු කැටයක් උඩ දමා වාසනාව උරගා බැලුවා. ඒ අනුවයි චෙස් ක්‍රීඩාව උපත ලබන්නේ ඉන්දියාවේ. මේ ක්‍රීඩාවේ ඇත් අස් රිය පාබල කොටස් හතර ම තිබුනු නිසා ෂත්රන්ජ් නොහොත් චතුරංගනී කියලයි කිව්වේ. සිරසට හා තිරසට කොටු අට බැගින් තිබුනු ලෑල්ලකයි ක්‍රීඩාව කලේ. 

මේ ක්‍රීඩාවට පර්සියාවෙනුත් කොටස් එකතු වුනා. පර්සියාවේ රජතුමාට පොදුවේ කිව්වේ ‘ෂාහ්’ කියලා. ඒ රජතුමා මැරුණම කිව්වේ ‘ෂාහ් මාත්’ කියලයි. චෙස් ක්‍රීඩාවේ ‘චෙක් මේට්’ වදන හැදුනේ ‘ෂහ් මාත්’ වදනින්. චෙස් ක්‍රීඩාව කාලයත් එක්ක විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වුනා. 

වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් තමන්ගේ යටත් වැසියෙක්ට හදන්න පුලුවන්කම ලැබුන නිසා ඉන්දියාවේ රජතුමා හිටියේ බොහොම සතුටින්.

“මට හරිම සතුටු යි ඔබගේ මේ නිර්මාණය ගැන. ඔබ කැමති ත්‍යාගයක් ඉල්ලන්න, මම ඔබට ඒ දේ ලබා දෙන්නම්” රජතුමා කිව්වා.

“රජතුමනි මම හරි ම සරල පුද්ගලයෙක්, ඒ නිසා ඔබතුමා මේ ක්‍රීඩාවේ දී එක් කොටුවකට ඉත්තෙක් දැම්මොත් මට හාල් ඇටයක් දෙන්න. ඊලඟ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට දෙකක් දෙන්න. ඊටත් පස්සේ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට හතරක් දෙන්න.” යටත් වැසියා කිව්වා.

රජතුමා හිතුවා මේක හරිම සරල සුළු දෙයක්නේ කියලා. රජතුමා ක්‍රීඩාව කරන්න කලින් ගාල් මළුවක් අරගෙන එන්න කියලා රාජ පුරුෂයින්ට කිව්වා. ඒත් එක්ක ම රජතුමාගේ පුරෝහිත කෙනෙක් ගණන් හදලා බැලුවා ඇත්තට ම රජතුමා මේ යටත් වැසියාට කොතරම් හාල් ඇට ප්‍රමාණයක් දෙන්න ඉන්නවද කියලා.

පළමු කොටුවට එක හාල් ඇටයයි. දෙවන කොටුවට දෙකයි. තුන්වන කොටුවට හතරයි. හතරවන කොටුවට අටයි. පස්වන කොටුවට දහසයයි. හයවන කොටුවට තිස් දෙකයි. හත්වන කොටුවට හැට හතරයි. අටවන කොටුවට එකසිය විසි අටයි. අටවන කොටුවට දෙසිය පනස් හයයි. නමවන කොටුවට පන්සිය දොළහයි. දහවන කොටුවට එක්දාස් විසි හතරයි.

දහවන කොටුවෙ දි විතරක් සහල් ඇට දාහක් ලැබෙනවා මේ යටත් වැසියාට. ඒ විතරක් නෙමේ දහවන කොටුවට කලින් තිබුනු කොටුවල දි ලැබුනු සහල් ඇටත් මේ යටත් වැසියා ලඟ තියෙනවා.

“රජතුමනි, මේ යටත් වැසියා මොහොතකට කලින් ඔබතුමාගෙන් ඉල්ලුව සහල් ප්‍රමාණය පෘතුවියේ මෙතෙක් පැවති සහල් ප්‍රමාණයටත් වඩා වැඩියි” පුරෝහිත රජතුමාට කිව්වා.

අවසානයේ දී රජතුමා යටත් වැසියාගේ හිස ගසා මරා දැමුවා. බොහෝ කතා අවසන් වෙන්නේ එහෙමයි.

චෙස් ක්‍රීඩාවේ කොටු කිහිපයක් ඉදිරියට යනකොට මුළු ලෝකය ම මෙතෙක් පරිභෝජනය කල සහල් ප්‍රමාණය ලැබෙනවා වගේ තමා අපේ පරම්පරා ත්. අපි පරම්පරා කිහිපයක් ආපස්සට ගියාම අපි හැමෝම එකම තැනක දී එකතු වෙනවා.

අපි මේ සරල දේ දේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන්නේ පවුල් දෙකක හේතුවක් නොදන්නා වෛරයක් නිසා රෝමියෝ ජුලියට් මැරුණා වගේ ම මැරෙන්න.



Monday, November 15, 2021

රතු හැට්ටකාරියගේ නොදත් කතාව


දවසක් පිටිසර ගමක ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දුවට කියනවා කැලයේ මැදක රෝගාතුරව ඉන්න දුවගේ අත්තම්මාට කෑම ටිකක් ගිහින් දෙන්න කියලා. කේක් එකකුයි වයින් බෝතලයකුයි දුවගේ අතට දීලා කියනවා අත්තම්මාගේ ගෙදරට යන පාරෙන් ඉවතට යන්නේ නැතුව මගදි හමුවෙන කාත් එක්කවත් කතා කරන්නේ නැතුව කෙලින් ම අත්තමාගේ ගෙදරට යන්න කියලා. මේ දුව අවුරුදු හතක් වගේ වයස කුඩා දරුවෙක්. මේ පොඩි ළමයා කෑම ටිකත් අරගෙන අත්තම්මාව බලන්න කැලය මැද්දෙන් යනවා.

ඒ යන අතරතුර දී මේ කුඩා ළමයට හමුවෙනවා වෘකයෙක්ව. වෘකයා මේ දරුවත් එක්ක කතා කරනවා. වෘකයා ප්‍රශ්න අහනවා කොහේ ද යන්නේ? කෑම පෙට්ටියේ මොනවා ද තියෙන්නේ? කියලා. මේ අහිංසක ළමයත් හැම දේම කියනවා. අත්තම්මාගේ ගෙදරට යන පාරත් හරියට ම කියනවා. මේ වෘකයා තීරණය කරනවා ළමයාට කලින් අත්තමාගේ ගෙදරට යන්න.

“මේ කැලයේ තියෙනවා හරිම ලස්සන මල් විශාල ප්‍රමාණයක්. ගිහින් ඒවා බලන්න” වෘකයා ළමයාට කියනවා.

ළමයත් අත්තමාගේ ගෙදරට යන පාරෙන් ඉවතට ගිහින් මලක් අතට අරගන්නවා. ඊට පස්සේ දකිනවා ඊටත් වඩා ලස්සන තවත් මලක්. ළමයා මේ මල අරගන්නත් යනවා. ඔහොම ඔහොම ගිහින් ළමයා අත්තම්මාගේ ගෙදරට එනකොට හවස් වෙලා තිබුනේ. අත්තම්මා සාමාන්‍යයෙන් දොර වහලා තියෙන්නේ නිතරම. නමුත් දැන් දොර විවෘත වෙලා තියෙන්නේ. කුඩා ළමයා නිවසට ඇතුල් වෙලා අත්තමාගේ කාමරයට යනවා.

මේ වෙනකොට වෘකයා අත්තමාව ආහාරයට අරගෙන අත්තමාගේ ඇඳුම් ඇඳගෙන ඇඳට වෙලා හිටියේ ළමයවත් රවට්ටන්න. දුව ඇඳ ගාවට ගියාම දකිනවා අත්තම්මා වෙනදට වඩා සෑහෙන වෙනස් කියලා. 

“අත්තම්මේ ඔයාට විශාල කන් තියෙන්නේ ඇයි” කුඩා ළමයා ඇහුවා.

“ඒවා තියෙන්නේ ඔයා කියන දේවල් හොඳට අහන්න දරුවෝ” වෘකයා පිළිතුරු දුන්නා.

“අත්තම්මේ ඔයාට විශාල ඇස් තියෙන්නේ ඇයි?”

“ඒවා තියෙන්නේ ඔයාව හොඳට බලන්න දරුවෝ”

“අත්තම්මේ ඔයාට විශාල දත් තියෙන්නේ ඇයි?”

“ඒවා තියෙන්නේ ඔයාව කන්න දරුවෝ” කියනවාත් එක්කම මේ මහා නරක වෘකයා කුඩා ළමයව ගිලිනවා.

මේ අතරතුර දී අත්තම්මාගේ නිවස අසලින් දර කපන්නෙක් ගමන් කළා. මේ දර කපන්නා දැක්කා අත්තම්මාගේ නිවසේ දොර විවෘත වෙලා තියෙනවා. මේක අමුත්තක් නිසා දර කපන්නා අත්තමාගේ නිවස ඇතුලට ගියාම දැක්කේ විශාල වෘකයෙක්ව. සිදුවෙලා තියෙන දේ තේරුම්ගත්ත දර කපන්නා කතුරක් අරගෙන වෘකයාගේ බඩ කපලා කුඩා ළමයවයි අත්තම්මාවයි එළියට අරගෙන බේරගත්තා.

මේ කතාව ඔයාලා එක එක විදිහට අහලා ඇති. මම මුලින් ම මේ කතාව ඇහුවේ මගේ ආච්චිගෙන්. ඉස්සර ආච්චි අපිව නිදිකරවද්දී හැමදාම කියන්නේ මේ ‘රතු හැට්ටකාරි’ කතාව. වර්තමානයේ දී විවිධ මාධ්‍යයන්ගේ පලවෙන මේ කතාවේ ගලාගෙන යෑම එකම විදිහට තියෙන්නේ නැහැ.

අපිට හුරු පුරුදු මේ කථාන්දරය රචනා කරන්නේ ග්‍රීම් සොහොයුරෝ විසින්. ඒ 1856 වසරේ දී. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ කතාව සෑහෙන පරණයිනේ කියලා. ඇත්තට ම ගත්තොත් මේ කතාව ඔයාලා හිතනවට වඩා පරණයි. ග්‍රීම් සොහොයුරෝ මේ කතාව රචනා කරන්නේ ඔවුන්ටත් වසර දෙසීයකට වඩා පැරණි රචකයෙක් ලියූ කතාවක් පදනම් කරගෙන යි. ප්‍රංශ ජාතික චාල්ස් පෙරෝල්ට් 1697 වසරේ දී ‘රතු හැට්ටකාරි’ කතාව රචනා කරන්නේ පැරණි ජනකතා පදනම් කරගෙන. පෙරෝල්ගේ කතාව ග්‍රීම් සොහොයුරන්ගේ කතාවෙන් තරමක් වෙනස් වෙනවා.

පෙරෝල්ටේ කතාවේ රතු හැට්ටකාරියගේ අම්මා තමන්ගේ දුවට අත්තමාගේ නිවසට යන පාර හරියට කියන්නේ නැහැ. මේ දරුවා පාර හොයාගෙන යනකොට වෘකයාව දකිනවා. ග්‍රීම් සොහොයුරන්ගේ කතාවේ විදිහට ම වෘකයා ළමයාව රවට්ටනවා. ළමයා අත්තමාගේ නිවසට ගියාම ඇඳේ ඉන්න වෘකයාව ළමයට කියනවා ඇඳුම් ඉවත් කරන්න කියලා. ඊට පස්සේ සුප්‍රකට සංවාදය කරනවා. ළමයා වෘකයාගෙන් අහනවා විශාල කන් ඇස් සහ දත් තියෙන්නේ ඇයි කියලා. විදාල දත් තියෙන්නේ ඔයාව කන්න කියලා වෘකයා රතු හැට්ටකාරිව ආහාරයට ගන්නවා. කතාව එතනින් අවසන් වෙනවා පෙරෝල්ට්ගේ පොතේ හැටියට. අත්තම්මාව තියා රතු හැට්ටකාරියටවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මේ කතාව තරමක් දරුණු නිසා වෙන්න ඕන ග්‍රීම් සොහොයුරෝ කතාව වෙනස් කරලා නැවත රචනා කළේ. 

මීට සමාන තවත් කතාවක් චීනයේ කිං රාජවංශයෙන් අහන්න ලැබෙනවා. ඒ 17 වන සියවසේ දී. මේ කතාවේ වෘකයෙක් වෙනුවට ඉන්නේ කොටියෙක්.

රතු හැට්ටකාරිගේ කතාවේ ඉතිහාසට එතනින් නතර වෙන්නේ නැහැ. කලින් සඳහන් කල පෙරෝල්ට් තමන්ගේ කෘතියේ කියනවා තමන් මේ ලියන්නේ ජනකතා කියලා. රතු හැට්ටකාරිගේ කතාවට සමාන ජනකතාවක් ප්‍රංශයෙන් ක්‍රි.ව. 900 - 1000 අතර කාලයේ දී හමුවෙනවා. ඒ අදින් වසර දහසකට පෙර.

මේ ජනකතාවේ හැටියට වෘකයා අත්තම්මාව ආහාරයට අරගෙන අත්තමාගේ ශරීරයෙන් කොටස් කිහිපයක් කුස්සියෙන් තියෙනවා. අත්තමාගේ ලේ බෝතලයකට දාලා ඒත් එක්කම තියෙනවා. කුඩා ළමයා අත්තමාගේ ගෙදරට ආවම තමන් ගෙනාපු කෑම ටික කුස්සියෙන් තියලා කුස්සියේ තිබුනු අත්තම්මාගේ ශරීරයේ කොටස් ආහාරයට ගන්නවා ඒ තමන්ගේ අත්තම්මා කියලා නොදැන ! එක තැනක දී කුඩා ළමයා වෘකයාගෙන් අහනවා ඇයි මේ මාංශ හපන්න හරිම අමාරු කියලත්.

ඊට පස්සේ මේ වෘකයා ළමයට කියනවා එයා ඇඳන් ඉන්න ඇඳුම් එකින් එක ඉවත් කරන්න කියලා. ඊට පස්සේ තමන් එක්ක නිදාගන්න ඇඳට එන්න කියලා වෘකයා කියනවා. මෙන්න මෙතන දී නැවතත් සුප්‍රකට සංවාදය ඇතිවෙනවා. ළමයා අහනවා ඇයි විශාල කන් , ඇස් සහ දත් තියෙන්නේ කියලා. මේ සංවාදය අතරතුර දී ළමයා දකිනවා ඇඳෙන් එළියට ඇවිල්ලා තියෙන වෘකයාගේ වලිගය. මේ නිසා ළමයා ඇත්ත දැනගන්නවා. 

“මට දැන්ම ම ඇඳට එන්න බැහැ. මම ඉක්මනට මූණ කට හෝදගෙන එන්නම්” ළමයා වෘකයාට කියන්නේ එතනින් පැනලා යන අදහසින්.

වෘකයා ළමයා පසුපස ආවොත් තමන් කවුද කියලා දැනගන්නවා කියලා හිතුන නිසා වෘකයා ළමයට කියනවා ළණුවකින් තමන්ව බැඳගෙන අනික් කොන අතට දෙන්න කියලා. ළමයත් එහෙම කරලා නිවසින් එළියට යනවා හෝදගෙන එන්න කියලා. නිවසින් එළියට ගිය හැටියේ ළමයා ළණුව ගලවා අසල ගහක ගැටගහලා දුවගෙන යනවා. වෘකයා මේ බව දැනගෙන ළමයා පසුපස්සේ හඹාගෙන ගියත් ළමයව අල්ලගන්න ලැබෙන්නේ නැහැ. 



Thursday, October 21, 2021

නමසිය අනූවේ පැය තුනේ ගුවන් ගමන අද පැය හය වුණේ ඇයි?


වසරෙන් වසර විද්‍යාව හා තාක්ෂණය දියුණු වනවාත් සමඟ අප අවට ලෝකය වඩාත් සුවපහසු වඩාත් කාර්යක්ෂම පද්ධති වලින් යුත් එකක් වන බවට පෙනෙන්නට තිබේ. දශකයෙන් දශකය සමාජය පැවතුනු ස්වභාවය සැලකීමේ දී ඒ බව වඩාත් කැපී පෙනේ. උදාහරණයක් ලෙස අසූව අනූව දශක වල පැවති දුම්රිය වලට වඩා ලෝකයේ අද භාවිතා වන දුම්රිය අධිවේගයෙන් ගමන් කරයි. නමුත් සෑම කරුනක් සම්බන්ධයෙන් ම මෙවන් ප්‍රගතියක් නිරීක්ෂණය කළ හැකි ද? අසූව අනූව දශකයේ තිබූ ගුවන් යානා වලට සාපේක්ෂව අද දකින්නට ඇති ගුවන් යානා ගමන් කරන්නේ ඉතා මන්දගාමී ව බව සමහරවිට ඔබ අසා නැතුවා විය හැකියි. විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එය යි.

1996 වසරේ දී බ්‍රිටිෂ් එයාවේස් සමාගමට අයත් ගුවන් යානයක් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ සිට එංගලන්තයේ ලන්ඩන් නගරය දක්වා යෑමට ගතකලේ පැය දෙකයි මිනිත්තු පනස් තුනක කාලයකි. වර්තමානයේ දී මෙම නගර දෙක අතර ගුවන් ගමනාගමන සඳහා පැය හයකට ආසන්න කාලයක් ගත වේ. එය 1996 දී ගත වූ කාලය මෙන් ආසන්න වශයෙන් දෙගුණයකි. තාක්ෂණය අතින් දිනෙන් දින දියුණු වන ලෝකයක සෑම දෙයක් ම ඉක්මනින් සිදු කිරීමට තාක්ෂණ සොයා ගන්නා කාලයක මෙසේ ගුවන් ගමනාගමනයට එකලට සාපේක්ෂව වැඩි කාලයක් ගත වන්නේ ඇයි? මේ සටහන ඒ ගැන සොයා බැලීමට යි.


උත්ස්වනික වේගය

යම්කිසි වස්තුවක් වාතය තුලින් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කලහොත් එම වේගයන්ට උත්ස්වනික වේග (Supersonic speeds) යැයි කියනු ලැබේ. වාතය තුලින් ශබ්දයේ වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 1235ක් වැනි අගයක් ගනියි. 1970 අවධියේ දී මගී ප්‍රවාහනයට භාවිතා කල කොන්කෝර්ඩ් ගුවන් යානා වල වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 2000ක අගයක් ගත් අතර එය ශබ්දයේ වේගයට වඩා පැයට කිලෝමීටර් 800කට ආසන්න ප්‍රමාණයකින් වැඩිය. එමනිසා එකල මගී ගුවන් යානා ගමන් කලේ උත්ස්වනික වේගයකිනි.

උත්ස්වනික වේගයෙන් ගමන් කල පැරණි මගී ප්‍රවාහන කොන්කෝඩ් යානයක්


උත්ස්වනික වේගයේ ගැටලුව

වේගයෙන් ගමන් කලහොත් ඉතා ඉක්මනින් ගමනාන්තයට ළඟා විය හැකි බව සැබෑය. නමුත් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන විට යානය අවට වායු පීඩයේ ක්ෂණික ඉහළ හා පහළ යාම් ඇති වේ. මේ නිසා එම පෘෂ්ඨයේ පීඩන තරංගයක් (shock wave) ඇතිවේ. මෙම පීඩන තරංගය නිසා අධික ගිගිරුමක් වැනි ශබ්දයක් ඇසෙන අතර එම ගිගිරුම වැනි ශබ්දය උත්ස්වනික ගිගිරුම් (sonic boom) ලෙසින් හැඳින්වේ.

ගුවන් යානයේ අධික වේගය නිසා ඇතිවන පීඩන වෙනස හේතුවෙන් වාතයේ ජල අංශු ඝනීභවනයට ලක්වේ. මේ නිසා යානයේ පිටුපස මීදුමක් වැනි සුදු පැහැති ජල වාෂ්ප වලාවක් සකස් වේ. පොළොව මත සිටින්නෙකුට එය පැහැදිලිව දැකගත හැකියි. නමුත් මගී ගුවන්යානයක මෙම වේගය නිසා ඇතිවන ගැටලුව එය නොවේ. ගැටලුව එමගින් ඇතිවන අධික ගිගිරුම් ශබ්දය යි. මෙය පොළොව මත සිටින කෙනෙකුට වුවද ශ්‍රවණය කල හැකියි. 

මෙවන් වේගයකින් ගුවන් යානයක් ගමන් කරන විට පොළොව මත ගුවන් යානයේ සිට කිලෝමීටර් 80ක පරිධියකින් පහල සිටින මිනිසුන්ට මෙම ගිගිරුම් ශබ්දය ඇසීම නිසා ඔවුන් මහා පරිමාණයෙන් මේ ගැන පැමිණිලි කරන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් මුල දී එයට විසඳුමක් ලෙස ගුවන් යානා ගොඩබිම මතින් යෑම අවම කර සාගරය මතින් යෑමට යෝජනා වී එය ක්‍රියාත්මක විය. නමුත් එය සාර්ථක විසඳුමක් වූයේ නැත. අත්ලාන්තික් සාගරය හරහා එක් ගමනක් සඳහා වර්තමාන මුදලින් ඩොලර් 10,000කට ආසන්න මුදලක් වැය වූ නිසා එවන් ගමනක් මිල අධික විය. එමනිසා ගුවන් ගමනේ මාර්ගය වෙනස් වෙනස් කිරීම අසාර්ථක විසඳුමක් බවට පත් විය.

උත්ස්වනික වේගය නිසා යානය පිටුපස ඇතිවන ජල වාෂ්ප වලාව


ගුවන් යානයේ වේගය සහ ඉන්ධන

තාක්ෂණයේ දියුණුවත් සමඟ ගුවන්යානා වල එංජිමේ කාර්යක්ෂමතාවයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය. මෙය තවත් ලෙසකින් කිවහොත් වසරින් වසර ඉන්ධන ලීටරයකින් ගමන් කල හැකි දුර ප්‍රමාණය වැඩි විය. නමුත් මෙම කාර්යක්ෂමතාව අත්කරගත හැක්කේ ගුවන්යානයේ වේගය පැයට කිලෝමීටර් 900ක වේගයක් අත්කරගන්නා තෙක් පමණි. ගුවන්යානය ඊට වඩා වේගයක් අත්කරගතහොත් වාතයෙන් එන ප්‍රථිරෝධය වැඩි වීම නිසා ඉන්ධන පරිභෝජනය ද වැඩි වේ. 

අත්ලාන්තික් සාගරය හරහා යන ගමනකට සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 150,000ක් පමණ වැය වේ. ඉන්ධන වල පිරිවැය සමස්ථ ගුවන් යානා ගමනක පිරිවැයෙන් 20%කටත් වැඩි අගයකි. පැයට කිලෝ මීටර් 900ක වේගය ඉක්මවා ගමන් කලහොත් ඉන්ධන වැඩිපුර වැය වේ. ඉන්ධන වැඩිපුර වැය වීම නිසා ගුවන් ගමනක පිරිවැය වැඩි වේ. නැවතත් ගුවන් ටිකට් පතක මිල වැඩිවේ. මේ නිසා පැයට කිලෝමීටර් 2000කට ආසන්න වේගයෙන් ගමන් කල කොන්කෝඩ් යානා වලට 2003 වසරේ දී මගී ප්‍රවාහනයෙන් විශ්‍රාම ගැනීමට සිදු විය. එතැන් පටන් ක්‍රියාත්මක වූයේ ඊට වඩා අඩු වේගයකින් ගමන් කල ගුවන් යානා ය.


ඉන්ධන වල කාර්යක්ෂමතාව නැංවීමට යෝජනාවක්

වැඩියෙන් ඉන්ධන වැය නොකර ගුවන් යානා වේගයෙන් ගමන් කරවීමට ගුවන් යානයේ හැඩය වෙනස් කිරීමෙන් හැකි දැයි මුල් කාලයේ විද්‍යාඥයෝ සොයා බැලුවා. ගුවන් යානයේ තට්ට ගුවන් යානයේ බඳත් සමඟ තිබෙන ආනතිය වැඩි කිරීමෙන් වැඩි ඉන්ධන පිරිවැයක් නොමැතිව යානයේ වේගය වැඩි කල හැකි බවට සොයාගනු ලැබුවා.

නමුත් එසේ කිරීමට නම් ගුවන් යානයේ තට්ටේ දිග පෙරදීට වඩා වැඩි කල යුතුයි. මෙසේ දිග වැඩි කිරීමේ දී ගුවන් යානය නිපදවීමට වැයවන අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ. නැවතත් ගුවන් ගමනක පිරිවැය වැඩි වේ. මේ නිසා ගුවන් යානයක් නමසිය හැත්තෑව අසූව වැනි අවධි වල මෙන් අධික වේගයෙන් ගමන් කරවීම මූල්‍ය පිරිවැයත් සමඟ සසදන විට අසාර්ථක උත්සහයක් විය.


වර්තමානය

වර්තමානයේ දී ගුවන් හමුදා තුල අධික වේගයෙන් ගමන් කරන ගුවන් යානා භාවිතා වුව ද සාමාන්‍ය මගී ප්‍රවාහනයේ දී අධික වේගය, අධික වියදමක් හා අධික ශබ්දයක් ඇතිකරන නිසා එවන් වේගයකින් ගමන් කරන යානා භාවිතා වන්නේ නැහැ.

නමුත් මෑත කාලයේ දී සිදු කරන ලද පර්යේෂණ වලින් ශබ්දයේ වේගයට වඩා ගමන් කරන විට ඇතිවන ගිගිරුම් හඬ අවම කරගත හැකි බව සොයාගෙන තිබේ. ගුවන් යානයේ හැඩය වෙනස් කිරීමෙන් මෙය සිදු කල හැකියි. ගුවන් යානයේ මුහුණත උල් ස්වරූපයෙන් තැනීමෙන් වාතය කපාගෙන යා හැකි අතර එමගින් ඇතිවන උත්ස්වනික තරංග වල ප්‍රමාණය අඩු කරගත හැකියි. එවිට ශබ්දය අඩු වේ. එපමණක් නොව ගුවන් යානයකට තටු යුගලක් වෙනුවට යුගල් දෙකක් ම යොදා ගැනීමෙන් ඇතිවන උත්ස්වනික තරංග කපා හැරිය හැකි බව ද සොයාගෙන තිබේ.

කෙසේ නමුත් මෙම ක්‍රමයන්ගෙන් ගුවන් යානයේ හැඩය වෙනස් කරත් ඒත් සමඟම ගුවන් යානයේ අමුද්‍රව්‍ය සඳහා වන වියඳම වැඩි වන බැවින් ගුවන් ටිකට් පතක වියදම අවම කිරීමට එම නිර්දේශ සමත් නොවේ. මේ නිසා කල හැකි එකම සාර්ථක විසඳුම වන්නේ ගුවන් යානයේ වේගය අඩු කිරීම යි. ඒ නිසයි 1996 දී පැය තුනකින් ගිය ගුවන් ගමන යාමට අද පැය හයක් ගත වන්නේ.

[සැප්තැම්බර් මස 21 වන දින විදුසර සඟරාවට ලියූ ලිපියකි.]

අතිධ්වනි තරංග නිසා ඇතිවන ශබ්දය අවම කල හැකි ගුවන් යානා ආකෘති




Wednesday, October 6, 2021

විශ්වයේ ආරම්භය කියා දුන් පූජකයා

 මිනිස්සු දුරාතීතයේ සිටම ලෝකයේ ආරම්භය සිදු වුනේ කොහොමද කියලා හොයන්න වෙහෙසුනා. තමන් දකින නිරීක්ෂණ වලට පැහැදිලි හේතුවක් හොයාගන්න බැරි තැන ඔවුන් අලංකාර කතාවක් ගෙතුවා. ශිෂ්ටාචාරගත ජනයාත් ලෝකයේ ආරම්භය ගැන විවිධ කතා ගෙතුවා. වර්තමානයේ දී බොහෝ විද්‍යාඥයෝ ලෝකයේ ආරම්භය විදිහට පිළිගන්නේ පිපිරුමකින් ලෝකය ආරම්භ වුනා කියලා. ‘මහා පිපිරුම් වාදය’ කියන්නේ ඒකට. මහා පිපිරුම් වාදය ගැන ඔබ අහලා තිබුනත් මේ සංකල්පය ඉදිරිපත් කල විද්‍යාඥයා ගැන අහලා තියෙනව ද? ඔහු කතෝලික පූජකයෙක්. අද කතාව ඔහු ගැන.

ජෝර්ජ් හෙන්රි ලෙමෙත් නමින් වූ මේ බෙල්ජියම් පූජකයා ගැන බොහෝ දෙනෙක් අසා නැත්තේ සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ තවත් දිගුවක් විදිහටයි. කුඩා ලෙමෙත් ඉපදෙන්නේ කතෝලික පවුලකට. මේ දරුවාට වයස අවුරුදු නමය වෙද්දී ආශාවක් ඇති වෙනවා පූජකයෙක් වෙන්න. ඒ විතරක් නෙමේ විද්‍යාඥයෙක් වීමේ ආශාවකුත් ඔහුට ඒ කාලයේ දීම ඇතිවෙනවා. මේ නිසා පූජකයෙක් ලෙස කටයුතු කරමින් හිටපු අවධියේ දීම ලෙමෙත් විද්‍යාව ඉගෙනීමේ කටයුතු කරනවා. 


නමුත් දෙවන ලෝක යුද්ධ අවධියේ දී හිට්ලර් බෙල්ජියම ආක්‍රමණය කල නිසා ලෙමෙත්ට ඉගෙනීමේ කටයුතු අතරමග නතර කරන්න සිදු වෙනවා. මේ නිසා 1940 දී ලෙමෙත් බෙල්ජියම් හමුදාවට බැඳෙන්න සිදුවෙනවා. ඔහු හමුදාවෙන් ඉවත් වෙන්නේ යුධ වීර පදක්කමක් සහිතවයි. විශ්වය ආරම්භ වුනේ මොන විදිහකින් ද කියලා ලෙමෙත් හිතන්න ගන්නේ මේ කාලයේ දී. තමන් කතෝලික පූජකයෙක් වෙන නිසා තමන්ට උගන්වලා තියෙන ලෝකයේ ආරම්භ කතාව ගැන ජෝර්ජ් හිතන්න පටන් ගන්නවා. 


‘දෙවියන්වහන්සේ එළිය වේවයි කීසේක; එවිට එළිය විය’. 


බයිබලයේ උප්පත්ති පොතේ තමන් ඉගෙන ගත් මේ කතාවෙන් ලෙමෙත් සෑහීමකට පත් වුනේ නැහැ. තමන් රැකීමට බැඳුනු දෙයක අඩුවක් දකින්න පුලුවන් වෙන්නේ විරල මිනිස්සුන්ට විතරයි. මේ නිසා ලෙමෙත් දිගින් දිගටම ලෝකයේ ආරම්භය ගැන අධ්‍යනය කරන්න ගත්තා. මේ අතර එඩ්වින් හබල් නම් විද්‍යාඥයා තමන්ගේ දුරේක්ෂයෙන් හොයාගන්නවා අපි ඉන්න කිරි සයුර නම් මන්දාකිණියට අමතරව තවත් මන්දාකිණි විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා.


ඒ වගේම මේ මන්දාකිණි එක තැන ඉන්නේ නැතිව ගමන් කරනවා කියලත් හබල් කියනවා. තවත් විද්‍යාඥයෙක් වුනු වෙස්ටස් ස්ලයිෆර් හොයාගත්තා මේ මන්දාකිණි වලින් එකක් වන ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය නිල් පැහැතියි කියලා. අනෙක් චක්‍රාවාට රතු පැහැතියි. ඒ වගේම ඔහු තවදුරටත් කිව්වා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය අපේ චක්‍රාවාටය දෙසට පැමිණෙනවා කියලා. ඔහු මේ නිගමනයට එලබුනේ හරි අපූරු ක්‍රමයකින්. යම් කිසි වස්තුවකින් ආලෝක තරංගයක් ළඟ ඉඳන් නම් එන්නේ ඒ ආලෝක තරංග ඇකිලිලා නිල් පැහැයක් ගන්නවා. දුර ඉඳන් නම් ආලෝක තරංගය එන්නේ ඒ තරංගය ඇදිලා රතු පැහැයක් ගන්නවා. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ පැහැය ක්‍රමක්‍රමයෙන් නිල් පැහැය ගන්න නිසා ඒ චක්‍රාවාටය එන්නේ අපේ දිහාවට කියලා ස්ලයිෆර් කිව්වා. අනෙක්වා රතු පැහැයක් ගන්නේ ඒ චක්‍රාවාට අපෙන් ඉවතට යන නිසා.


අපගේ කතා නායකයා වුනු ලෙමෙත් පූජකතුමා මේ නිරීක්ෂණ වලින් නිගමය කලේ වෙනත් දෙයක්. ඔහු කිව්වා චක්‍රාවාට ගමන් කරන්නේ නැහැ. නමුත් විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා. චක්‍රාවාට තියෙන තැන වෙනස් වෙනවා කියලා අපට හිතෙන්නේ විශ්වය ප්‍රසාරණය වෙන නිසා කියලයි ඔහු කිව්වේ. 


ලෙමෙත් මෙම සංකල්පය ඉදිරිපත් කරාම ඒ කාලයේ ගොඩක් විද්‍යාඥයින් මේක විශ්වාස කලේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් පවා විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා විශ්වාස කලේ නැහැ. 1927 වසරේ දී ජෝර්ජ් ප්‍රංශ භාෂාවෙන් තමන්ගේ මෙම සොයාගැනීම් ගැන සඳහන් කරලා පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වුවා. නමුත් කවුරුත් ඒක ගණනකට ගත්තේ නැහැ. ප්‍රංශ භාෂාවෙන් ලිව්ව නිසා ගොඩ දෙනෙක් කියෙව්වෙත් නැහැ.


වසර දෙකකට පස්සේ එඩ්වින් හබල් පර්යේෂන පත්‍රිකාවක් නිකුත් කරනවා විශ්වයේ ප්‍රසාරණය සම්බන්ධව. මේ සොයාගැනීමට ලෝකයම කලබන්න හැකියාව ලැබෙනවා. අවසානයේ දී විශ්වයේ ප්‍රසාරණයට අදාල නියමය නම් කරන්නේ ‘හබල්ගේ නියමය’ කියලා.


හබල් තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව නිකුත් කරලා තවත් වසර දෙකකට පස්සේ ලෙමෙත් 1927 දී එළිදක්වපු තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉංග්‍රීසියෙන් එළිදක්වනවා. විශ්වයේ ප්‍රසාරණ සංකල්පය තමන් මුලින් හොයාගත්තත් ඒකට ගෞරව හබල්ට ලැබුන එක ගැන ලෙමෙත් දුක් වුනේ නැහැ. නඩු දාන්න ගියෙත් නැහැ. තමන්ගේ සගයෙක්ට ලැබුනු ගෞරවය ගැන ඔහු අවංකව සතුටු වුනා.


ලෙමෙත් එතනින් නතර වෙන්නේ නැතුව තමන්ගේ පර්යේෂන කටයුතු දිගටම කරගෙන ගියා. විශ්වය ප්‍රසාරණය වෙනවා නම් විශ්වයට ආරම්භයක් තියෙන්න ඕන කියලා ලෙමෙත් කල්පනා කරා. විශ්වය පටන් ගත්තේ අංශුවක ගැබ් වී තිබුනු ශක්තියක් පුපුරා යාම නිසා කියලා ඔහු කිව්වා. ඔහු මේ සංකල්පය නම් කලේ ආදි කල්පික පරමාණුව නමින්. මේ සංකල්පයටයි පසු කාලයේ මහා පිපිරුම් වාදය කිව්වේ.


මේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමන්ගේ මේ සොයාගැනීම් ගැන බොහෝ තැන්වලදී ලෙමෙත් පූජකතුමා දේශනා කරන්න පටන් ගන්නවා. මේ දේශනා අහපු අයින්ස්ටයින් “විශ්වයේ මැවීම ගැන මම මෙතෙක් අහලා තියෙන ලස්සනම සහ වඩාත් සතුටුදායකම පැහැදිලි කිරීම මෙයයි” කියලා කිව්වා.


ලෙමෙත් 1954 වසරේ දී විශ්වයේ ප්‍රසාරණය සොයාගැනීම නිසාත් 1956 වසරේ දී විශ්වයේ ආරම්භ සංකල්පය ඉදිරිපත් කිරීම නිසාත් නොබෙල් ත්‍යාගයට නම් කරනු ලැබුවත් එය දෙවතාවෙම හිමි වුනේ නැහැ. ලෙමෙත් මියයන්නේ 1966 වසරේ වයස අවු. 71 දී ලියුකේමියා රෝගය වැලදීම නිසා.


හබල් නියමය 2018 වසරේ දී වෙනස් කරනවා හබල් - ලෙමෙත් නියමය කියලා. ලෙමෙත් සමඟ කරට කර වැඩ කල විද්‍යාඥයින්ගේ නම් තරම් ලෙමෙත්ගේ නම ඇහෙන්නේ නැති තරම්. ඔහු තමන්ගේ සොයාගැනීම් ගැන සෙව්වා මිස ප්‍රසිද්ධිය පස්සේ නොයෑම ඒකට හේතුවක් වෙන්න පුලුවන්.


ලෙමෙත් මහා පිපිරුම් වදය ඉදිරිපත් කරාම ඒ කාලයේ පාප්වහන්සේ ඒ සංකල්පය දෙවියන් හා සම්බන්ධ කරන්න උත්සහ ගත්තා. තමන් පූජකයෙක් වුනත් තමන්ගේ මේ විද්‍යාත්මක සොයාගැනීම් ආගමික සංකල්ප සමඟ පටලවන්න එපා කියලා ලෙමෙත් පූජක විද්‍යාඥයා පාප්වහන්සේට කිව්වා.


ලෙමෙත් පාප්වහන්සේට මහා පිපිරුම් වාදය විස්තර කරමින්



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...