Wednesday, May 12, 2021

සිරිසංඝ බෝධි මාලිගාවේ දී

 

ඉස්සර ආසාවෙන් අහන්න හුරු වෙලා හිටියා නිශ්ශංක දිද්දෙණිය මහතා ගායනා කරපු ‘සිරි සංඝබෝධි මාලිගාවේ දී’ ගීතය. මේ ගීතය එන්නේ ජෝන් ද සිල්වා මහතාගේ සිරි සංඝබෝ නාට්‍යයෙන්. පස්සේ BNS මේ සිංදුවේ ප්‍රථිනිර්මානයකුත් කරා. අද මේ කෙටි සටහන ඒ සිංදුවෙන් කියවෙන දේ ගැන.

අනුරාධපුර රාජධානි කාලයේ ලංකාවේ හිටියා විජය කියලා රජ කෙනෙක්. කුවේණිත් එක්ක හිටපු විජය නෙමේ මේ වෙන කෙනෙක්.  ඔය කාලයේ මිත්‍ර කුමාරවරු තුන්දෙනෙක් අනුරාධපුරයට එනවා. සංඝ තිස්ස , සංඝ බෝධි සහ ගෝඨාභය ඒ කුමාරවරු තුන්දෙනා. මේ තුන්දෙනා එන්නේ පැරණි මිණිපේ ජනපදයේ ඉදන්. මේ කුමාරවරුන්ට රජපවුලට සබදකමක් තියෙනවයි කියලා කිව්වට හරිහැටි සාක්ෂි සාධක නැහැ.

මේ කුමාරවරු තුන්දෙනා අනුරාධපුරයේ තිසා වැවේ ඇල මතින් ඒදණ්ඩකින් ගමන් කරනකොට ඒ කිට්ටුව පැලක හිටපු අන්ධ පුද්ගලයෙක් “මහ පොළොව බාරගන්න රජවරු තුන්දෙනෙක්” කියලා කියනවා. මේක ඇහුන ගෝඨාභය කුමාරයා තමන්ගේ මිත්‍ර අනෙක් කුමාරවරු දෙන්නට හොරෙන් අර අර්ධ පුද්ගලයා ගාවට ගිහින් අහනවා “අපි තුන්දෙනාගෙන් වැඩිම කාලයක් රජකම් කරන්නේ කව්ද?” කියලා. අන්ධ පුල්ගලයා “අන්තිමට රජකමට පත්වෙන පුද්ගලයා වැඩිම කාලයක් රජකම් කරනවා” කියලා කියනවා.

මේ කුමාරවරු තුන්දෙනා අනුරාධපුරයට ඇවිදින් රජවාසලේ ඉහළ තනතුරුවලින් විජය රජතුමාට සේවය කරන්න ගත්තා. මේ තුන්දෙනා අතරින් සංඝ තිස්ස කුමාරයා විජය රජතුමාට කලින් රජකම් කරපු සිරිනාග රජතුමාගේ වැඩිමහල් පුත්‍රයා කියලත් කියනවා. රජපවුලේ ඇතිවුන අර්බුධයකින් අනුරාධපුරය අතහැරලා මහියංගණයට ගියා කියලයි වංශකතාකරු කියන්නේ.

කොහොමහරි මේ සංඝතිස්ස කුමාරයා සේනාපති තනතුරේ ඉන්නකොට විජය රජතුමාව මරලා රාජ්‍ය පැහැරගන්නවා. ඉස්සර හැම රජකෙනෙක්ම රුවන්වැලිමහාසෑය ප්‍රතිසංස්කරණය කිරීම සිරිතක් කරගත්තා. මේ නිසා සංඝතිස්ස කුමාරයත් මහාසෑයේ ඡත්‍රයේ රන් ආලේප කරලා මහාසෑය අකුණු වලින් ආරක්ෂා වෙන්න මහාසෑයට වජ්‍රචුම්බට සවි කරා. වජ්‍රචුම්බට කියන්නේ අද අකුණු සන්නායක වගේ අකුණු ඇදගෙන ඒවා භූගත කරලා අකුණු වලින් ගොඩනැගිල්ල ආරක්ෂා කරන ක්‍රමෝපායක්. ලංකාවේ තිබුනු තාක්ෂණය සුළුපටු නැහැ. ලංකාවේ අතීත තාක්ෂණය ගැන කියනකොට මේවයි කතාකරන්න ඕන. එහෙම නැතුව ඇහැකට නොදැක්ක කොහෙවත් සදහනක් නැති අහස් යාත්‍රා වගේ හිතලු නෙමේ.

සංඝතිස්ස කුමාරයා ජම්බු කන්න හෙන රුසියා. අන්තප්පුරයත් එක්ක මාතොටිනුත් (මන්නාරමින්) එහාට යනවා ජම්බු කන්න. මේ නිසා ගම්වැසියන් කිහිප දෙනෙක් රජතුමාට ජම්බු වලට වස දාලා දීලා රජතුමාව මරවනවා. සංඝ තිස්ස රජතුමාගෙන් පස්සේ රජකමට පත්වෙන්නේ සංඝබෝධි කුමාරයා. සිරිසඟබෝ රජතුමා කියන්නේ මේ රජතුමාට.

සිරිසඟබෝ රජතුමා දැහැමි පාලකයෙක් විදිහට ප්‍රසිද්ධයි. මිනිස්සුත් මේ නිසා රජතුමාට පක්ෂපාතීව හිටියේ. සිරිසඟබෝ රජතුමා නියං කාලයේදී මහාසෑයේ මළුවේ ඉදගෙන සත්‍ය ක්‍රියා කරා කියලා අහලා තියෙනවා. හොරු කල්ලි අල්ලගෙන එයාලට කරුණු හොදහැටි පැහැදිලි කරලා දීලා සල්ලිත් දීලයි ඒ හොරුන්ව යවලා තියෙන්නේ. හොරුන්ට දඩුවම් දුන්නයි කියලා මිනිස්සුන්ට පෙන්නන්න ඕන නිසා මළමිනී පෙන්නුවලු.

සිරිසඟබෝ රජතුමාගේ කාලයේ රක්තාක්ෂයා කියලා යක්ෂයෙක් හිටියා කියලා සදහන් වෙනවා. මේ යක්ෂයා දිහා බලාගෙන හිටියොත් ඇස් රතු වෙනවලු. මේක දරුණු උණ රෝගයක් වෙන්න පුලුවන්. මිනිස්සුන්ට ඒ දේවල් තේරුම් බේරුම් කරගන්න බැරි නිසා ඒ වගේ නමක් දැම්මා වෙන්න පුලුවනි.

ගෝඨාභය කුමාරයා මේ කාලයේ සිරිසඟබෝ රජතුමාගේ භාණ්ඩාගාරික විදිහටයි කටයුතු කළේ. ගෝඨාභය කුමාරයාට උවමනාවක් තිබුනා සිරිසඟබෝ රජතුමාගෙන් රාජ්‍ය පැහැරගන්න. සිරිසඟබෝ නාට්‍යයේ ‘සිරි සංඝබෝධි මාලිගාවේ දී’ ගීතය ගායනා කරන්නේ ගෝඨාභය කුමාරයා. ඒ ගීතයෙන් කියන්නේ තමන් රට අල්ලගන්න සැලසුම් කරන විදිහ.

‘සිරි සංඝබෝධි මාලිගාවේ දී…

මා දැක ප්‍රාණේ හානි වෙන්ට බැට දෙම්…’

සිරි සංඝබෝධි රජතුමාව මාලිගාවේ දී අල්ලාගෙන ඔහු මරණයට පත්වෙන තුරු පහර දෙමි.

‘අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා’

ජනතාවගේ ආලය දිනාගත් රජතුමාව සැන්දෑ කාලයේ දී අල්ලාගෙන ඔහුගේ කොන්ද කඩා දමමි.

‘ධර්මේ සීලෙ රක්නා රාජා ලාමි දිවිනසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා’

ධර්මය හා ශීලය ආරක්ෂා කරන රජතුමාව මරා දමමි. මේ කරන දෙයින් කර්මය පලදෙන්නේ බොහෝ කලකට පසු නිසා ගැටලුවක් නැත.

‘කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලමි නෑර මාලිගා සොයා’

යුද්ධයක් ඇතිවීමට දැන් හොදම කාලයයි. තේජවන්ත, සීලවන්ත හා ධාර්මික සිරිසඟබෝ රජතුමාව මම නිසැකයෙන්ම මාලිගාවේ සොයා විනාශ විනාශ කරමි.

නමුත් සිරිසඟබෝ රජතුමාට රටේ ජනතාවගේ පක්ෂපාතීත්වය නිසා ඒක සුළුපටු දෙයක් නෙමේ කියලා ගෝඨාභය කුමාරයා දැනගෙන උන්නා. ගෝඨාභය කුමාරයාගේ ආශාව දැනගත්තු සිරිසඟබෝ රජතුමා තමන් රජකමට ලෝභ කෙනෙක් නොවන නිසා කැමති කෙනෙක්ට රාජ්‍ය කරන්න කියලා තවුස් වෙස් අරගෙන අනුරාධපුරයෙන් පිටමං වෙනවා.

මීට පස්සේ රජකමට පත්වෙන්නේ ගෝඨාභය කුමාරයා. මේ රජතුමා රජකමට පත්වෙලා එතනින් නවතින්නේ නැහැ. සිරිසඟබෝ රජතුමාගේ හිස අරගෙන එන කෙනෙක්ට මසුරන් ලබාදෙනවා කියලා අණබෙර යැව්වා. මේ හේතුවෙන් අහිංසක මිනිස්සු බොහෝ දෙනෙක්ගේ හිස කදෙන් වෙන්වුනා. මේ විනාශය බලාගෙන ඉන්න බැරිකමට තමන්ගේ හිස සිරිසඟබෝ රජතුමා දන් දුන්නා කියලයි මහාවංශය කියන්නේ. ලංකාවේ වෙනයම් රජකෙනෙක් මේ වගේ පරිත්‍යාගයක් කරා කියලා වෙන කිසිම තැනක සදහනක් නැහැ. සිරිසඟබෝ රජතුමාගේ මේ උතුම් ගුණය නිසා පසුවට පැමිණි රජවරු බොහෝ දෙනෙක් තමන්ගේ නමට ඉස්සරහින් ශ්‍රී සංඝබෝධි කියන ගෞරව නාමය භාවිතා කළා.

සිරිසඟබෝ නාට්‍ය රචනා කල ජෝන් ද සිල්වා මහතා 


12 comments:

  1. කොච්චර මේ සිංදුව අහල තිබ්බත්, තේරුම දැණන් උන්නෙ නෑ. මට ඔය BNS පේන්නෙම BNB (Bed And Breakfast) විදිහටයි😊
    වජ්‍රචුම්බට ගැන කී කතාව එක්ක එකඟයි.

    ReplyDelete
    Replies
    1. පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල, කොටස් දෙකම කියෙව්වා. නියමයි. දෙවන කොටසෙ, ජාති ආල ඇනෝ කෙනෙක් දෙනව ආතල් එකක්, රම්පෙට පොරි හැලෙන්න😂 ආයි එනවා ඉතුරු ලිපිත් කියවන්න, කව්දෑ දන්නෙ ආයෙ ආතල් ඇනොවෙක් සෙට් වෙයිද කියලා?

      Delete
    2. කුල ගැන ලිව්ව ලිපි වලට නම් හෙළ යක්ඛ ඇනෝ පැටව් සෑහෙන්න ආවා... ලිපි කියවනවට තුති..

      Delete
  2. අනගි විග්‍රහයක්....
    සිරිසගබෝ නාටකයේ තවත් ජනප්‍රිය ගීතයක් තියෙනවා ඔය කුමාරවරු අනුරාධපුරයට එන ගමනේදී කියන දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා... ගීතය එයත් රචනා කරලා තියෙන්නේ ජොන් ද සිල්වා මහත්මයා..

    ReplyDelete
    Replies
    1. දන්නෝ බුදුන්ගේ සින්දුව ඔපෙරා ටයිප් එකට කිව්වා කියලා කාලයක් සෑහෙන කතාවකුත් ගියානෙ...

      Delete
  3. ඔබේ සටහන් ආසාවෙන් කියවනවා ,රහයි.

    ReplyDelete
  4. මිතිල, ඔබට දෙවියන් දී ඇති රචනයේ හැකියාව මෙවැනි මිත්‍යා දෘෂ්ඨිකයන් ගැන ලියනු වෙනුවට කිතුනු දහම ප්‍රචාරය කරන්නේ නම් අගනේ බව සිතමි.

    ඇල්ෆ්‍රඩ් දී සිල්වා.
    dsilvaaf56@gmail.com

    ReplyDelete
  5. මිතිල, යූප ගල කියන්නෙත් වජ්‍රචුම්බට ද?

    ReplyDelete
    Replies
    1. නැහැ. යූප ගල කියන්නේ ස්තූපයේ කොටසක්. අනුරාධපුර වගේ මුල් කාලවල ස්තූපවල යූප ගල දකින්න හම්බෙනවා. ධාතු ගර්බයේ ඉදන් හතරැස් කොටුව මැද්දෙන් ආපු ගල් වලින් හදාපු ස්ථම්භයක්. ඔය යූපය වචනය මුල්ම භාවිතා කරලා තියෙන්නේ සතෙක් බිලි දෙනකොට බිල්ල බැදලා තියෙන කණුව හදුන්වන්න. බුදු දහමත් එක්ක ඒ සංස්කෘතික අංගයට අලුත් අර්ථයක් දීලා තියෙන්නේ.

      Delete
    2. අනුරපුර ගමනකදී (වෙහෙරේ නම මතක් වෙන්නේ නැ.) චෛත්‍යයක් ප්‍රතිසංස්කරණය කෙරෙමින් තිබුණා. එතකොටත් මේ දැවැන්ත යූප ස්ථම්භයක් නැවත ප්‍රතිස්ථාපනය කරලා තිබ්බේ නැහැ. (අභයගිරියේද කොහෙද.)
      වචනයේ නිරුක්තියත් දුන්නාට ගොඩක් ස්තුතියි, මිතිල!

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...