Wednesday, May 19, 2021

සුභ සහ යස

 

සයිමන් නවගත්තේගම මහත්තයාගේ නාට්‍යයක් තියෙනවා සුභ සහ යස කියලා. අර දොරටුපාල කෙනෙක් රජකමට පත්වෙන කතාව ඒ නාට්‍යයේ තියෙන්නේ. මේ කතාව අහපු කියවපු දැකපු කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා. අපි අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.

ලංකාවේ උන්නු ඉළනාග රජතුමා වසර 10ක් තමන්ගේ පාලනය ගෙනගියා. ඊට පස්සේ රජකමට පත්වුනේ චන්ද්‍රමුඛසිව නම් තමන්ගේ පුත්‍රයෙක්. ඔහු වසර 9ක් රාජ්‍ය පාලනය කරගෙන ගියා. ඔහුටත් පස්සේ රජකමට පසු රජකමට පත්වෙන්නේ ඔහුගේ සහෝදරයෙක් වුනු යසලාලක තිස්ස රජතුමා. සුබ සහ යස නාට්‍යයේ යස කියන්නේ මේ රජතුමාට.

මහාවංශයේ යසලාලක තිස්ස රජතුමාට රජකම අහිමිවීම ගැන අපූරු කතාවක් තියෙනවා. රජවාසලේ හිටියා සුභ කියලා දොරටුපාලකයෙක්. මේ දොරටුපාලකයා යසලාලක තිස්ස රජතුමාගේ රූපයට බොහෝ සෙයින් සමානයි. මේ නිසා දවසක් යසලාලක තිස්ස රජතුමා පොඩි විහිළුවක් කරනවා. දොරටුපාලකයාට රජ සළු පිළි අන්දවලා රජ පුටුවේ ඉන්දවනවා. තමන් දොරටුපාලකගේ ඇඳුම් ඇඳගෙන ඒ කිට්ටුවට වෙලා හිටියා. මිනිස්සු ඇවිදින් සුභ දොරටුපාල රජ කියලා හිතලා  දණ්ඩ නමස්කාරයේ යෙදෙනකොට දොරටුපාල විදිහට ඇඳගෙන උන්නු යසලාලක තිස්ස රජතුමාට හිනා යනවා. රජතුමා හිතපු නැති විදිහට සුභ දොරටුපාල රාජපුරුෂයන්ට අණ කරනවා දොරටුපාලකව තමන්ට හිනා වුනු නිසා ඝාතනය කරන්න කියලා. යසලාලක තිස්ස රජතුමා තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්න හැදුවත් එය අසාර්ථක වෙනවා. ඔහු මියයනවා.

වංශකතාකරුවා ඔය කියපු විදිහටම ඇත්තටම වෙලා තියෙනවද? කියන ප්‍රශ්නය ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවනි. විහිළුවකින් රජකෙනෙක් පත්වෙන්න පුලුවන්ද? නමුත් අපිට නම් ඒවා නුහුරු දේවල් නෙමේ නේ. සුභ දොරටුපාල රජකම් කරනවා වසර 7ක්. යම්කිසි ස්ථාවරත්වයක් නැතිව වසර හතක් පාලනය කරන්න අපහසුයි. අපි වසර පහක් ඉන්නෙත් බොහොම අමාරුවෙන්. මහාවංශ කතුවරයා යම්කිසි සිදුවීමක් ඓතිහාසිකව සාධක ඇතිව විස්තර කරන්න අපහසු අවස්ථා වලදී ඒවා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.

ඉළනාග රජතුමාගෙන් පසුව චන්ද්‍රමුඛසිව ට රජකම ලැබෙන්නේ ඔහු ඉළනාග රජතුමාගේ පුතා නිසා. මහාවංශය එය රචනා කරන්නේ සාක්ෂි සාධක ඇතිව. නමුත් යසලාලක තිස්ස රජතුමාගෙන් පසු සුභ රජවුනේ කෙසේද කියලා මහාවංශ කතුවරයා දැනගෙන ඉන්නේ නැහැ. සුභ ගේ පවුල් පරිසරය රජපවුලට සම්බන්ධ ද කියලා දැනගෙන ඉන්නේ නැහැ.

මේ නිසා වංශකතාවේ ගලාගෙන යෑම නොනැවතී සිදුවෙන්න අවශ්‍ය නිසා වංශකතාකරුවා නාට්‍යානුසාරයෙන් ඒ හිඩැස පුරවනවා. ගජබාහු රජතුමාගේ නීලමහා යෝධයා මුහුද දෙබෑ කරපු කතාවත් මහාවංශයට එකතු වෙන්නේ සාක්ෂි නැති වුනත් වංශකතාවේ ගලාගෙන යෑම හේතුකොටගෙන.

සුභ රජතුමා හිටියේ ක්‍රි.ව. පලමුවන සියවසේ. මහාවංශය රචනා වෙන්නේ ක්‍රි.ව. පස්වන සියවසේ. මහාවංශ කතුවරයාම කියනවා තමන් මහාවංශය රචනා කරද්දි ජනමතයන් භාවිතා කරා කියලා. ඒ කිව්වේ කාලයක් පුරාවට ජනතාව තුලින් එන කතන්දර හා කියමන් ආදිය. මෙතරම් කාලයක් ගොස් රචනා වූ නිසා සමහර නොවැදගත් රජවරු ගැන ජනමතයන් නැහැ. ඒ නිසා ගැලපෙන විදිහට කතාව ගොතන්න සිදුවෙනවා.

මහාවංශය සමහර රජවරු නම් කරලා තියෙනවා ජනමතයන් අනුව. කල්ලාඨනාග එක් රජ කෙනෙක්. පාලියෙන් තියෙන නිසා හොදා. ගරු ගාම්භීරව කියන්න පුලුවන්. නමුත් සිංහලෙන් නම් තට්ට නාග. දැක්කනේ ජනමතයන් මහාවංශයට එකතු වුනු විදිහ. ඒ නිසා ඉතිහාසය අධ්‍යනය කරනකොට ඒ ගැනත් හිතන්න.  



12 comments:

  1. මට පෙනිච්ච කාරණාවක් තමා, මේ රජවරුන්ගේ රාජ්‍ය කාලය බොහොම කෙටියි කියන එක. අවු, 7-8-10, බලාගෙන ගියාම ඒ කාලෙ රජකරන එකත් "පණ යන වැඩක් " වෙන්ටෑ? තමන්ගෙම පවුලේ අය, තමන්ගෙම රාජ්‍ය සභාව, පූජ්‍ය පක්ෂය මේ ඔක්කොම "දෙන්නම් බැස්ටිය" කියල කුරුමානං අල්ලන කොට, රජකං කරන එකත් "මරණ තුනක් ඇති මිනිහෙක්, පැණි කෑය" වගේ ඉන්ටරෙස්ටිං වෙන්ට ඇති නේද? අරුම පුදුම රටේ- මැරෙන්ට ක්‍රම හැටේ

    ReplyDelete
    Replies
    1. ඔය කාලේ රජවරු කෙටි කාලීනව හිටපු අය. එහෙමට කියලා රටට වැඩක් කරපු අයත් නෙමේ නේ. සුභගෙන් පස්සේ ආපු වසභ අවුරුදු 44ක් හිටියා. සුභගේ කාලේ ගත්තොත් පූජ්‍ය පක්ෂයේ අනුමැතියක් නැතුව රාජ්‍ය කරගෙන ගියා කියන්නත් බැහැ. එයාලගෙන් එන බලපෑමත් එක්ක කොහෙවත් හිටපු දොරටුපාල කෙනෙක්ට අවුරුදු හතක් රජකම් කරන්න දුන්නා කියලා හිතන්නත් බැහැ.

      Delete
    2. ඔය දොරටුපාල රජවෙච්චි කතාව බොරුවක්ම වෙන්නත් බෑ. ඈත අතිතයේ කොසේවෙතත් මෑත කාලයේදිත් පිනට අගමැතිකම් ජනාධිපතිකම් ලැබුනු දහනායකලා ඩිංගිරි බන්ඩලා හිටි එකේ ඔය කතාව මොකක්ද...

      Delete
    3. මතක හැටියට, ඔය රජවරු "සූර්‍ය වංශික" කියලා වෙනම කුලයක් හදාගෙන තිබුණා නේද? උඩරට රදළ කුලයටවත් රජවෙන්න ඉඩ තිබ්බෙ නෑ.රදළ කුලයෙ භාර්‍යාව "යකඩ දෝලිය", අන්තිමට ලංකාවෙ රජකමට ඉන්දියාවෙන් අපනයනය කලා. මිතිල මේ ගැන විස්තර දන්නව ඇති, ලිව්ව නං තමා හොඳ.

      තව දැණගන්න කැමති විස්තරයක් තමා, රාජ භෝජන. අඟුලුපත් බලන රාළ, ඔක්කොම රාජ භෝජන කටගාල( වහ දායි කියන බයට) බුදියනවලු. රාජ භෝජනේට වෑංජන 40 විතර තියනවලු. දියවඩන නිළමෙ, රජාගෙ අතහෝදවල රන් පිඟානට කෙහෙල් කොලයක් එලල, එක වෑංජනේකුයි බත් හැන්දකුයි බෙදනවලු. රජවරු රා පීප්ප වගේ හිටියෙත්, ආයුස අඩු වුනෙත් ඒකද මන්දා? ඔය ඉතිං අහල තියෙන කතා මිසක මූලාශ්‍ර නැත.

      Delete
    4. ඔය රාජවංශ ගැන නම් ලියන්න වටිනවා. මම මේ ටිකේ විස්තර එකතු කරනවා ලම්බකර්ණ රාජ වංශය ගැන. ඉස්සරහට ඒ ගැන ලියන්නම්.

      Delete
    5. ස්තූතියි. බොහොම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා😊

      Delete
  2. අපේ රටේ අඩුම කාලයක් රජකම් කරපු රජවරු කී දෙනෙක් හිටියාද? දවසක් වත් රජකම් නොකරපු රජතුමාලා අපේ රටේ ඉදලා තියේනවා. මේගැනත් ලිපියක් දාන්න.

    ReplyDelete
    Replies
    1. තනි දවසේ රජවරුත් ඉඳලා තියෙනවනේ. සමහර හිටපු අයව ලියලත් නැහැ. ඉස්සරහට ඒ ගැනත් ලියන්නම්.

      Delete
  3. සුදුසුකම් මොටදැ ආයේ රජ වෙන්ට
    වාසනාව තිබ්බම ඇති නොවැ ඊට
    ඕනෑ නං ගොඩක් කල් රජවී ඉන්ට
    වස්සෝ කරමු පුරවැස්සෝ ටික තිතට!

    ReplyDelete
    Replies
    1. දැන් මිනිස්සු සුදුසුකම් බලන්නේ නෑනේ. අනිත් අතට සුදුසකම් ඇති අය ඉස්සරහට එන්නෙත් නෑනෙ. හොදම යකාව තමා පත් කරන්න වෙන්නේ.

      Delete
  4. https://www.toptenz.net/10-peasants-who-became-rulers.php

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...