Friday, May 14, 2021

කිත්සිරි රජුව මැරීමට කුමන්ත්‍රණයක්

 

වැලිවිට සරණංකර හිමි කියන්නේ ලංකාවේ බුදුසසුන අන්තෙටම පිරිහිලා තිබුන කාලයක බිහිවුනු යතිවරයෙක්. උන්වහන්සේගේ නොපසුබට උත්සහය නැත්නම් අද වෙනකොට ලංකාවේ බුදු දහමක් නැහැ. සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය ලබාදෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. සරණංකර හාමුදුරුවෝ සංඝරාජ ධූරයේ ඉන්නකොටම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා උන්වහන්සේව සිරගත කරනවා. මේ සිදුවීමට හේතුවුනු කතාව අද සටහනෙන්.

සරණංකර හාමුදුරුවන්ට සංඝරාජ ධූරය ලැබෙන්න තියෙනවා කියලා උන්වහන්සේට ඇමති කෙනෙක්ගෙන් ආරංචි වෙනවා. මේ තොරතුර දැනගත්තු උන්වහන්සේ පන්සලේ උළුවස්සේ ‘උඩඟු නොව මහණ, උඩඟු නොව මහණ, උඩඟු නොව මහණ’ කියලා තුන්වතාවක් ලියාගත්තා. මුලු ලංකාවේම භික්ෂූන් පාලනය කිරීමේ රාජ බලය හිමි වුනත් උන්වහන්සේ ඒකෙන් තමන්ට සුළු අභිමානයක්වත් ඇති වෙනවට කැමති වුනේ නැහැ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රජකමට පත් වුනාට පස්සේ බුදු දහම වැළදගත්තත් පැරණි හින්දු චාරිත්‍ර අතහැරියේ නැහැ. රාජ සභාවට එනකොට නළලේ අළු ගාගෙන ආවේ. මේ ගැන සමරක්කොඩි අදිකාරම් , මොලදණ්ඩේ ගජනායක නිලමේ වගේ මල්වතු විහාරයේ සමහර භික්ෂූන්වහන්සේලා කැමති වුනේ නැහැ.

ඒ හේතුව නිසා මේ පිරිස රජතුමාව මරන්න ක්‍රමන්ත්‍රණය කරනවා. රජතුමාව මරලා සියමෙන් ආපු භික්ෂූන්වහන්සේ කෙනෙක්ව සිවුරු හරවලා රජකමට පත්කරන්නයි සැලසුම වුනේ. සියමෙන් ආචාර්යවරයෙක් දහම් පොත් හතරක් සමග ලංකාවට ආවා කියලා මේ පිරිස ලංකාව පුරා ප්‍රසිද්ධ කරනවා. ඊට පස්සේ මේ ආචාර්යවරයාගේ ධර්මදේශනාවක් අහන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ආරාධනා කරනවා. පෝය ගෙයි ඇතුලේ උල් හිටවපු බොරු වළක් කපලා රජතුමාව වට්ටලා පස් දාලා වහන්නයි හිතාගෙන උන්නේ.

මේ කුමන්ත්‍රණය අස්ගිරි විහාරයේ යටවත්තේ නම් නායක හාමුදුරු නමකට ආරංචි වෙනවා. උන්වහන්සේ ගෝපාල මුදියන්සේ කියන රජවාසලේ සේවකයෙක්ට මේ බව දන්වනවා. ඒ පුද්ගලයා මේ තොරතුර රජතුමාට කියනවා. සමහර මූලාශ්‍ර වල නම් තියෙන්නේ පිළිමතලව්වේ නම් නිලමේ කෙනෙක් මේ බව රජතුමාට දැන්වුවා කියලා. කොහොමහරි රජතුමා මේ බව දැනගන්නවා.

තමන්ව පිරිසක් මරන්න ලෑස්ති වෙලා ඉන්න බව දැන දැනම රජතුමා ධර්ම දේශනාව අහන්න යනවා. ගිහින් බොරු වළ ගාව ධර්ම දේශනාව ඉවර වෙනකන්ම ඉන්නවා. තමන්ට ආපු ඔත්තුව ඇත්තද නැද්ද කියලා සැක හැර දැනගන්න රාජසිංහ රජතුමා බොරු වළට තමන්ගේ ජය කොන්තයෙන් අනිනවා. තමන්ව මරණයට පත් කරන්න හිටපු විදිහ ඇහැටම දැකපු නිසා කේන්තියෙන් රජවාසලට ගිහින් මල්වතු පාර්ශවයේ නායක ස්වාමින්වහන්සේලාවයි රදලවරුන්වයි වැලිවිට සරණංකර හිමියන්වයි රාජසභාවට කැඳවනවා.

රජතුමා සරණංකර හිමිගෙන් මේ අමුතු පිංකම ගැන තොරතුරු ඇහුවත් සරංණකර හිමි කිසිවක් කියන්නේ නැහැ.  ඒත් රජතුමා දිගින් දිගටම ප්‍රශ්න කරන්න ගත්තු නිසා සරණංකර හිමි පිළිගන්නවා තමන් රජතුමාගේ ඝාතන කුමන්ත්‍රණය දැනගෙන හිටියා කියලා.

“එහෙනම් මට ඒ ගැන නොදැන්නුවේ ඇයි?” කියලා රජතුමා කේන්තියෙන් අහනවා.

“රජතුමනි, මගේ මේ ඇඟිල්ලේ නියපිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි සිටින පණුවා මැරෙන හෙයින්. මම ඒ තරමටම පර පණ නැසීමට බිය ඇත්තෙමි. මම ඔබතුමාට මේ බව දැන්වුවානම් ජීවිත කීයක් වැනසෙන්නට තිබ්බාද?”

සරණංකර හාමුදුරුවෝ  උත්තර දීලා අනිත් පැත්තට රජතුමා අහනවා “එහෙනම් මම මැරුණොත් හොඳ ද?” කියලා.

“නොකී නිසා මට වරදක් නැහැ” සරණංකර හිමි පිළිතුරු දුන්නා.

“එහෙනම් තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳ ද?” කියලා රජතුමා අහනකොට සරණංකර හාමුදුරුවෝ පිළිතුරු දුන්නේ නැහැ.

මේ නිසා රජතුමා කේන්තිය නිසා සරණංකර හාමුදුරුවන්ට කියනවා “වැලිවිට කණා සස්නේ වවනවා යැ යි කියා ලෝක ශාසන දෙකම නසාපි” කියලා.

අවසානයේ සරණංකර හාමුදුරුවන්ව සිරගත කරලා කිහිප දෙනෙක්ට දඬුවම් විදිහට මරණ දඩුවම ලබාදෙනවා. සරණංකර හාමුදුරුවන්ට වැඩි කාලයක් සිරගත වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඉන්දියාවේ ඉදන් සන්නාසියෙක් මහනුවර ඇවිල්ලා රජතුමා ඉදිරියේ ගාථාවක් කියනවා. මේ ගාථාවේ තේරුම රජතුමා භික්ෂූන්වහන්සේලාගෙන් විමසුවත් ඒ ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. සරණංකර හිමියන්ට මේ ගාථාවේ තේරුම කියලා දෙන්න පුලුවන් කියලා දැනගත්තම රජතුමා සරණංකර හිමියන්ට සමාව දෙනවා.

සරණංකර හිමියන් මීට කලින් පිටුවහල් වෙලා හිටපු කාලෙකත් ඔය බමුණෙන් කියපු ගාථාවක තේරුම විස්තර කරපු නිසයි සරණංකර හාමුදුරුවන්ට ආයෙමත් මහනුවර එන්න පුලුවන්කම ලැබුනේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සරණංකර හිමිට සංඝරාජ පදවිය පිරිනැමීම 


7 comments:

  1. කලින් දැණ නොසිටි විස්තර දැණගත්තා. දෙවන කොටසක් තියෙනවද? අර චිත්‍රය බොහොම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සරණංකර හිමි ගැන නම් නොසෑහෙන්න දේවල් ලියන්න තරම් කරුණු තියෙනවා. මීට කලින් කිහිප වතාවකත් ලිව්වා.

      Delete
  2. පස්සෙ කොටහ විතරය අහලා තිබුණේ
    රහයි විත්ති, මේ වගෙ තව ලියපන්නේ
    කවුරු මළත් මගෙ පණ කඳ රැක දෙන්නේ
    කියන යතිඳුලයි දැන් කාලේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතිය නිදි... දැන් ඉන්න සමහර ස්වාමින්වහන්සේ ලා නම් ඉතින්...

      Delete
  3. හොද විස්තරයක් නොදන්නා දෙයක් දැනගත්තා... ස්තුතියි

    ReplyDelete
  4. අලුත් දෙයක් දැන ගත්තා..ස්තූතියි..තව ලියන්න ආසාවෙන් කියවනවා..

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...