Tuesday, July 7, 2020

දරුවන් නොලද පියා

ඔයාලා රිච්මන්ඩ් මාළිගාව බලන්න ගිහින් නැත්නම් අනිවාර්යෙන්ම දවසක් වෙලාවක් වෙන් කරගෙන බලන්න යන්න. කොලඹ අවට ඉන්න කෙනෙක්ට නම් මහ දුරක් නැහැ. තියෙන්නේ කළුතර. කොලඹ ඉඳන් එන කෙනෙක්ට කළුතර බෝධිය පහු කරගෙන ගියාම හම්බවෙනවා ශාන්ත ජෝන් පල්ලිය. එතන ඉස්සරහා ලොකු ඔරලෝසු කණුවක් එක්ක වටරවුමක් තියෙනවා. එතනින් වමෙන් තියෙන ‘ගඟබඩ පාර’ දිගේ කෙලින්ම ගියාම හම්බවෙනවා පලාතොට - කෙත්හේන මාර්ගය. ඒ පාරේ කෙලින්ම ගිහින් භික්ෂු විවේකාරාමය පහු කරනවත් එක්කම හමුවෙනවා රිච්මන්ඩ් මාළිගාව.

රිච්මන්ඩ් කියන වචනය එන්නේ Rich man, එහෙමන් නැත්නම් පොහොසත් මිනිසා කියන වචනයෙන්. කළුතර දිසාව භාරව හිටපු යුරෝපයට ගිහින් ඉගෙන ගත්තු  මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා මේ මාළිගාව හදන්නේ විශේෂ හේතුවකට. ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා කසාදයක් බඳින්න පොහොසත් රූමත් තරුණියන්ගේ යෝජනා තියෙනකොට මේ තරුණයා මැටිල්ඩා සූරියබණ්ඩාර කියන කළුතර දිසා විනිශ්චකාරතුමාගේ දුවට කැමති වෙනවා.

නමුත් මේ තරුණියගේ පාර්ෂවයෙන් මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ යෝජනාව ගෙනාපු තරුණයගේ පොහොසත්කම මදි කියලා. ඔය අතරේ ආදර් සිල්වා තරුණයා යනවා ඉන්දියාවේ ව්‍යාපාර කටයුත්තකට. මෙයාලා වැඩිමනක් කරේ රේන්ද ව්‍යාපාර. ඉන්දියාවේ දී රාම්නාද් හි රාජා කෙනෙක්ගේ මාළිගාවක් දැකපු ආතර් සිල්වා තරුණයා රාජාගෙන් ඒ මාළිගාවේ සැලැස්ම ඉල්ලනවා හදන්න.

එච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා අවඥාවෙන් හිනා වුනා ඇරෙන්න සැලැස්ම දුන්නේ නැහැ. එවෙලේ ආතර් සිල්වා මේ රාජාත් එක්ක ඔට්ටුවක් අල්ලනවා මාළිගාව හදලා පෙන්නනවා කියලා. ඉතින් මේ තරුණයා ලංකාවට ඇවිදින් දක්ෂ බාස් උන්නැහේලා දෙන්නෙක්ව ඉන්දියාවට පිටත් කරලා කියනවා පිටතින් ඉඳලා මාළිගාව බලාගෙන එන්නෙයි කියලා. 

එහෙම බලාගෙන ඇවිත් තමා මේ බාස් උන්නැහේලා මේ හදන්නේ. මාළිගාව අක්කරයක්. ඉඩම අක්කර 42ක්. මේ මාළිගාව දැකපු කළුතර දිසා විනිශ්චකාරතුමා තමන්ගේ දුවව ආතර් සිල්වා තරුණයට කසාද බන්දලා දෙන්න කැමැත්ත පලකරනවා. නිවසට ගෙවදීවමයි විවාහයයි සිද්දවෙන්නේ එකම දවසක. ආතර් සිල්වා එතනින් නතර වෙන්නෙ නැහැ. බලකොටුව විවෘත කරන්න ආරාධනා කරන්නේ තමන්ට සැලැස්ම නොදුන්න රාම්නාද්හි රාජාට. පල්ලෙහා මම අමුණලා තියෙන්නේ ඒ රාජා බලකොටුව විවෘත කරන්න ආපු වෙලාව ගත්තු ඡායාරූපයක්.

මේ මාළිගාවේ ගෘහ නිර්මාණ ශිල්පය අති විශිෂ්ටයි. එක කාමරයක කතා කරන දෙයක් තව කාමරයකට ඇහෙන්නේ නැහැ, කළු ගඟෙන් එන හුලඟ නර්තනශාලාවට පොලොව යටින් එන්න සලස්වලා දුන්න ස්වභාවික වායුසමීකරණය, මැද මිදුලේ සිංහ රූප කටින් වතුර වෑස්සීම, වැසි ජලය ක්‍රමවත්ව බැහැර වීම ආදී නොයෙකුත් දේවල් වලින් මේ මාළිගාව සමන්විත වෙලා තියෙනවා.

මේ මාළිගාවේ කතාවට තියෙන්නේ ශෝකාන්තයක්. ආතර් තරුණයා විවාහ වෙනකොට වයස අවුරුදු 21යි. තරුණියට වයස 20යි. මේ දෙන්නා බලකොටුවේ ජීවත්වෙනවා අවුරුදු 30ක්. ආතර් තරුණයා ගොඩක් කැමැත්තෙන් හිටියා ළමයින්ට. නමුත් අවාසනාවකට මේ යුවළට ළමයි හිටියේ නැහැ.

මේ නිසා ආතර් සිල්වා තරුණයා මාළිගාව ඉදිරියෙන් ගැහැණු ළමුන් දෙන්නෙක්ගෙත් පිරිමි ළමයි දෙන්නෙක්ගෙත් පිලිම හතරක් හදන්න නියෝග කරනවා. පිරිමි ළමයි දෙන්නා මාළිගාවේ උඩු මහළ දිහා බලාගෙන ඉන්නේ. ගැහැණු ළමයි දෙන්නා බිම බලාගෙන ඉන්නේ. ඒකට හේතු වුනේ තරුණයා වැඩියෙන්ම කැමති පිරිමි ළමයින්ට නිසා. ළමයි නැති ශෝකය නිසා මේ තරුණයා කාන්තාවන්ගේ රූප අඹන්න නියෝග කරනවා. නමුත් එයාලා ඉන්නේ බලකොටුවෙන් පිටත බලාගෙන.

ජනප්‍රවාදයක තියෙනවා ආතර් සිල්වා තරුණයාගේ බිරිඳ සේවකයෙක් එක්ක පෙම් සබදතාවක් තිබුනා කියලා. ජනප්‍රවාදය කෙසේ වෙතත් මේ තරුණයා තමන්ගේ බිරිඳව නැවතත් ඇයගේ දෙමව්පියන්ට බාර දෙනවා. 

මාස්පතා එකල වටිනාකමින් රුපියල් 300කුත් පොල්ගෙඩි 250කුත් බිරිඳට දෙන්න කියලත් ඉතිරි දේපළ ළමයින්ගේ සුබසිද්ධිය සදහා යොදවන්න කියලත්  ආතර් සිල්වා තරුණයාගේ අන්තිම කැමති පත්‍රයේ සදහන් කරලා තමන්ගේ දේපළ මහා භාරකාර දෙපාර්තුමේන්තුවට පවරනවා. මේ නිසා ළමා නිවාසයක් රිච්මන්ඩ් බලකොටුවේ තියෙනවා. 

බිරිඳ කන්‍යාරාමයක දී මියයනවා. බිරිඳව මාළිගාවෙන් පිටත් කරපු හැටියේ බලකොටුවට සමු දුන් මේ තරුණයත් මහනුව ක්වීන්ස් හෝටලයේ 75 වෙනි කාමරයේ අවුරුදු 6ක් ගත කරලා ජීවිතයට සමුදෙනවා.

ප.ලි.

[ක්‍රිස්තියානි ආගම ගැන ඉතිරි ලිපි පබ්ලිෂ් කරන්න කලියෙන් කිහිප දෙනෙක්ට කියවන්න දුන්නා. ඉදිරියේ දී ඒවා පලකරන්නම්. මේ ටිකේ ලියන්න වෙලාවක් හොයාගන්නේ බොහෝම අමාරුවෙන්.]


15 comments:

  1. මිතිල, අවුරුදු තිස් ගණනකට කලින් මමත් ගියා රිච්මන්ඩ් කාසල් එකට. බලන්න නෙවෙයි, D. කුලතුංග යුවල ආරාධනා කල නිසා එයාලව හමුවී එන්න. ගියාමයි පුදුම හිතුනේ!

    කුලතුංග සර්ලා මගේ ජීවිතයේ ලොකු ඉඩකට දායක වුනා. ඒ විත්ති වරින්-වර මගේ බ්ලොගයේත් ලියවුණා, තව ලියන්නත් තියෙනවා. එයාලා එතකොට එහි තිබුණු ළමා නිවාසය පාලනය කළා. මහරගම හිටියෙත් පමුණුවේ පිරිමි ළමා නිවාසයේ පාලක හැටියට. (එහි හිටි ළමයෙක් මේ වතාවේ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරනවාත් එක්ක!)

    තවමත් කළුතරත් ළමා නිවාසය පවත්වාගෙන යනවද? මෙච්චර විස්තර ලිව්වේ යටි අරමුනකුත් තියාගෙන... කුලතුංග සර්ලා ගැන තොරතුරු දන්නා කෙනෙකුත් ඉදීවිද කියලා බලාගන්න.

    ReplyDelete
  2. වටින තොරතුරක් ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. මේ ලිපිය නිසා විස්තර හෙව්වා. පානදුරේ හිටලත් බලන්න බැරිවුනා, කරුමෙට කකුල් අටයි නෙව? කනගාටුදායක කතාවක්.
    මෙන්න පිංතූර:
    අනියම් සම්බන්ධයක සැකයෙන් සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය

    ReplyDelete
    Replies
    1. එක අතකට මාලිගාව නොබලපු එක හොඳා. මේ කතාව කියවල මෙච්චර අවුල් නං, බැලුව නං ඕක හිතේ පැසවනවා. මේ හා සමානම කතාවක් තමා සොයිසා කතාව. සොයිසා වාට්ටුව, පානදුරේ "කේතුමතිය" (දැන් මාතෲ රෝහලක්). ජනප්‍රවාදයෙ තියෙන්නෙ මහ සොයිසා බැතිමත් කතෝලිකයක්. බත්තරමුල්ලෙ හාමදුරුවන්ට "මුත්තර බල්ලා' කිව්වය කියලයි. මන්ත්‍ර සාත්තරේ හොදට දැනන් හිටිය හාමදුරුවො "හිටිං මම හොඳ බල්ලෙක් එවන්න" කියලා පිල්ලියක් එව්වා කියලයි. ඒ කෙසේ වෙතත්. සොයිසා ආර්‍යාව පිස්සු බල්ලෙක් කා මියගිය නිසා, ඈ සිහිවීමට සොයිසා වාට්ටුව තැනූ බව කියවෙනවා, අපේ ගම් පලාතෙත්, හතර වටෙත් තිබුණ "සොයිසා වතු" අයිති ඒ ධන කුවේර සොයිසා වංශයේ අභාවය පානදුර අවට අය දන්නවා.

      Delete
    2. සොයිසා ගැන කාලෙකට කලින් ලිව්වා බස්සා... ස්තූතියි මෙහාට ගොඩවැදුනට..

      Delete
  4. වටින තොරතුරු ටිකක් - ස්තුතියි මිතිලට වගේම බස්සාටත් අපූරු ලිපියක් බෙදා හදා ගත්තට
    කතාවෙ අන්තිම හරියට එද්දි මට මතක් උනේ එක්ටැම් ගේ සිනමා කතාව.
    මනුස්ස සිත් සතන් වැඩ කරන විදියත් එක්ක බැලුවම මොන මහා මන්දිරයක හිටියත් අනිත් නිමේශයේදි එක්ටැම් ගෙයක හිර වෙන අන්දම හිත් දෙදරවන්නක්

    ReplyDelete
    Replies
    1. රිච්මන්ඩ් කාසල් එකේ කතාව එතැන ඉඳන් අහගෙන ඉන්නකොට දැනෙන්නේ වෙනස්ම අත්දැකීමක් විදිහට. ස්තූතියි කෞශල්‍යා...

      Delete
  5. මේ තැන බලන්න යන්න ලොකු ආසාවක් ඇති වුණා. ඒත් මේ දිනවල ප්‍රවාහන පහසුකම් නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙලාවක මෙතැනට යන්න බලන්න. බලන්න වටින තැනක්...

      Delete
  6. මිතිල මම මෙතැනට ගිහින් තියෙනවා. කදිම විස්තරයක් .හරි ලස්සන තැනක් . හැබැයි දැන්නම් හරි නඩත්තුවක් නැහැ වගේ . කලක මේ කථාව රැජිණ පත්තරේට තිලක් සේනාසිංහ මහතා හෝ ඉන්දු පෙරේරා මහත්මිය ලිපි පෙළක් විදිහට ලියලා තිබුනා. සමහරවිට පොතක් මුද්‍රණය වෙලා ඇති . ඒකෙ ගොඩක් විස්තර තිබුණා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් නඩත්තුව හොදටම මදි. එතනදි අපිට විස්තර කියපු කෙනා 2010 දී මෙතන අරෙහෙම තිබ්බා මෙහෙම තිබ්බා කියලා පින්තූර පෙන්නද්දි මට හිතුනා අහන්න දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ කියලා.

      වැස්ස වෙලාවට සිංහයෙක්ගේ කටින් වතුර වැක්කෙරුනු තැනක් තියෙනවා. ඉස්සර වතුර එතනින් වෑස්සිලා ගියා කියනවට වඩා මිනිස්සුන්ට ඇස් දෙකෙන් පේන්න තිබුනොතින් තමා අගය වැඩි.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...