Friday, February 5, 2016

සීගිරි මහත්තයා

ලෝකයේ දැනුම රැගෙනවිත්
සිගිරි ලඳුන් සුවපත් කළ 'සිගිරි මහත්තයා'


ලුසියානේ මරාන්සි මෙතරම් ආදරණීය ලෙස අපේ මිනිසුන්ගේ ජීවිතවලට බද්ධ වන්නේ රටේ මුළු ජන සමාජයම කම්පා කරමින් එක්‌තරා නරුමයෙක්‌ සිදු කළ උරුම සංහාරයක්‌ මුල් කර ගනිමිනි. ඒ කාලකණ්‌ණි සිදුවීම වන්නේ වර්ෂ 1967 ඔක්‌තෝබර් මස 14 වැනිදාය. එදින රාත්‍රියේ එක්‌තරා මනෝ විකෘතික නරුමයන් පිරිසක්‌ සීගිරියේ චිත්‍ර සිතුවම් කළ මණ්‌ඩෝදක කුටි පරිශ්‍රයට ඇතුළු වන්නේය. සීගිරි පව්වේ කැටපත් පවුරට අඩි 44 ක්‌ ඉහළින් බටහිර පෙදෙසේ පිහිටි මහා නැම්මක්‌ නිසා බිහිව තිබුණු අඩි 60ක්‌ පමණ දිග මේ ලෙන් පරිශ්‍රයේ ඒ සහ බී ලෙස නම්කර තිබූ ලෙන් කුටි දෙකෙහි ආරක්‌ෂිතව ඉතිරි වූ සිතුවම් 19 න් සිතුවම් 17 ක කොළ පැහැති තීන්ත වර්ගයක්‌ තවරා මුළුමනින්ම විකෘති කරන්නේය. මෙසේ විකෘති කළ සිතුවම් දෙකකින් එකක හිස කොටස සූරා දමන්නේය. තවත් සිතුවමක ඉඟෙන් උඩ කොටස උල් ආයුධයකින් ඇන විනාශ කරන්නේය. මේ සිතුවම් දෙක සංරක්‌ෂණය කළ නොහැකි තරමේ විනාශයකට ලක්‌වන්නේය.

සීගිරි කුරුටු ගී වල සඳහන් ආකාරයට කාශ්‍යපයන් විසින් ක්‍රිස්‌තු වර්ෂ 477 ට ආසන්න කාලයේදී සීගිරිය විචිත්‍රවත් කරමින් කරවූ සිතුවම් ප්‍රමාණය පන්සිය එකොළහකි. වර්ෂ 1967 වන විට ඉන් ඉතිරිව පැවතියේ චිත්‍ර විසි දෙකක්‌ පමණය. අපේ චිරන්තන මහා චිත්‍ර කලා සම්ප්‍රදායේ ප්‍රෙෘඪත්වය ගැන ලෝකයට කිව හැකි උත්තුංග උරුම සම්පත වූයේ මේ සිතුවම් 22 ය. එදා ඒ අර්ධ මනුෂ්‍යයන් විසින් ඉන් සිතුවම් 19ක්‌ වනසා දමා තිබිණි.

මේ සිදුවීමෙන් රටම කැළඹී ගියේය. පුවත්පත් සැරසුණේ මේ අපරාධය පිළිබඳ වූ වාර්තා වලිනි. එකම විද්යුත් මාධ්‍යය වූ ගුවන්විදුලිය සීගිරි සිතුවම්වලට කළ අපරාධය ප්‍රචාරය කළේය.

එවකට මෙරට පාලනය කරනු ලැබුවේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයාය. සංස්‌කෘතික ඇමැතිවරයා වූයේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලය. මේ සිදු වීම =වන විට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටියේ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුරය. විනාශය පිළිබඳ දැනගත් වහාම එය විමසා බැලීමට ඔහු විසින් පවරනු ලබන්නේ ආචාර්ය රාජා ද සිල්වා වෙතය. මේ ක්‍රියාවලි අතරතුරම උක්‌ත සිදු වීම මුල්කරගෙන පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.

යතුරකින් දොර හැර කළ සිතුවම් විනාශය

ආචාර්ය රාජා ද සිල්වා විසින් තබන ලද මේ උරුම සංහාරය පිළිබඳ සටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන 1967-68 වාර්ෂික පාලන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

කලබල වූ ඕවර්සියර් කෙනෙකුන් විසින් හරියට තේරුම්ගත නුහුණු ටැලිෙෆාaන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා විසින් මට දන්වන ලදී.

ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ නැහැවීමේ කණ්‌ඩායමත් කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වන විට ඒ පළාතට වර්ෂා කාලය එළඹ තිබුණෝය. එහි ගිය අපට දැනගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව, දැන් කාලයේ ජනෙල් දොරවල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. පෙරදින පරීක්‌ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙක්‌ යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‌ෂා කරන ලදී.

පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුළු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

(පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ පාලන වාර්තාව 1967-68 ආචාර්ය ආර්.එච්. ද සිල්වා. පි 23)

ICCROM මැදිහත් වීම එවකට අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ස්‌ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළේ ඇම්. ඡේ. පෙරේරාය. ඔහු විසින් මේ විනාශකාරී ක්‍රියාව පරීක්‌ෂා කර සිය අමාත්‍යවරයාට වාර්තාවක්‌ සැපයුවේය. අමාත්‍ය ඊරියගොල්ලයන්ගේ නිර්දේශය වූයේ බිතුසිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි ලෝකයේ සිටින හොඳම විශේෂඥවරයාගේ සේවය ලබා ගැනීමය. සිය අවශ්‍යතාව දක්‌වමින් හෙතෙම කේබල් පණිවුඩයක්‌ මාර්ගයෙන් ඉතාලියේ රෝමයේ පිහිටි සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය (ICCROM) වෙතින් ඉල්ලීමක්‌ කළේය. ලුසියානෝ මරාන්සි නම් විශේෂඥ සිතුවම් සංරක්‌ෂකවරයා දෙසතියකට ලංකාවට එන්නේ එම ආයතනයේ මැදිහත් වීම සමගිනි. ඔහුගේ එම ශාස්‌ත්‍රීය කාර්යයට බරපැණ දරන්නේ ඇමරිකාවේ ස්‌මිත් සෝනියම් ආයතනය විසිනි.

වර්ෂ 1967 ඔක්‌තෝබර් මස 22 දා ලංකාවට පැමිණුන මරාන්සි මේ රටේ සංරක්‌ෂණ කණ්‌ඩායම සමග සාකච්ඡා කිරීම ඇරඹුවේය. පසුදිනම වැඩ ඇරඹිණි. මරාන්සි ඇතුළු දේශීය සංරක්‌ෂක කණ්‌ඩායම සීගිරිය බලා ගියෝය. මරාන්සිට තමා විසින්

ගෙනෙන ලද රසායනික ද්‍රව්‍ය හා ලංකාවෙන් ලබාගත හැකි ද්‍රව්‍ය යොදාගෙන තිබුණාටත් වඩා ඉක්‌මන් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ සකසා ගත හැකි විණි.

තිබුණාටත් වඩා හොඳයි

සීගිරි සිතුවම් මුලින්ම පිටපත් කර තිබුණේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ වන එච්. සී. පී. බෙල්ගේ කාලයේය. එම කටයුත්ත කරනු ලැබ තිබුණේ එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයා ද වූ මරේ නමැත්තෙකි. ඒ වර්ෂ 1899 දීය. අනතුරුව වර්ෂ 1894 දී මුහන්දිරම් පෙරේරා නමැත්තෙක්‌ මෙම චිත්‍ර පිටපත් කළේය.

මරේ විසින් සිතුවම් තලය මත ටිෂූ කඩදාසි අතුරා නැවත ඒවා ඉවත් කිරීමේදී චිත්‍ර කොටස්‌ අවට වර්ණ තට්‌ටු ගැලවී තිබිණි. එම කොටස්‌ සුදට දිස්‌වන විට ඒවා වර්ණ ගැන්වීමට බෙල් කටයුතු කළේය. අනර්ථකාරීන් විසින් සීගිරි සිතුවම් මත ගල්වන ලද වර්ණ ස්‌ථරත්, සිතුවම් අවට වූ දිලීරත්, මේ පසු සකස්‌ කිරීම් වලදී යොදාගත් නොගැලපෙන වර්ණත් මුළුමනින්ම ඉවත් කර තිබුණාටත් වඩා යහපත් චිත්‍රාවලියක්‌ මතුකරගන්නට මරාන්සි ඇතුළු කණ්‌ඩායමට හැකි විය. මෙහෙයුමෙන් පසු සීගිරි චිත්‍ර යළි පණ ලැබුවේය. සිය රාජකාරිය හමාර කළ මරාන්සි 1967 නොවැම්බර් මස 4 දා ආපසු සිය රටට ගොස්‌ යළිත් 1968 මාර්තු මස 4 වැනිදා ලංකාවට පැමිණ සියලු සංරක්‌ෂණ කටයුතු හමාර කළේය. මේ අසිරිමත් සංරක්‌ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1967-68 පාලන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

මරාන්සි මහතා මෙහි පැමිණ චිත්‍ර ගුහාවල ලඳුන් ඔවුන්ගේ ප්‍රකෘති ලක්‌ෂණ වලට පැමිණෙන සේ පණ ගන්වා වර්තමානයේත් අනාගතයේත් පරම්පරාවන්ගේ ආනන්දය පිණිස අප පුරාණ චිත්‍ර කලාවේ මේ නිදසුන් තබා පෙරළා සිය රටට ගියේය. ඔහුගේ සංරක්‌ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත් අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය.

වර්ෂ 1968 වෙසක්‌ මස 9 දින සීගිරි ගලෙන් බටහිර පැත්තෙන් ඇති පැරණි රාජසභා ශාලාවේ පවත්වන ලද විශේෂ උත්සවයකින් පසු අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සීගිරි සිතුවම් ගුහා යළි ජනතාව විෂයෙහි විවෘත කරන ලදී.

ලුසියානෝ මරාන්සි නමැති අපේ සීගිරි මහත්තයා මීට අවුරුදු දෙකකට පෙර ඉතාම අප්‍රකටව මිය ගියේය. ඔහු වැනි විද්වතුන් බලගන්වමින් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ලෝකය පුරා බෙදාගන්නා ක්‍රමවේදය තවමත් ජීවමානය. ලුසියානෝ මරාන්සි ගැනත්, ඔහු සීගිරි චිත්‍ර සංරක්‌ෂණයෙහි කළ වික්‍රමය ගැනත් සියලු දෙනා විසින් කතා කරනු ලැබුවත් එම විද්වතුන් හරහා ලෝක සංස්‌කෘතික උරුමය රැකගැනීමට දියත්ව ඇති ක්‍රමවේදය ගැන කවුරුත් කතා කරන්නේ නැත.

සීගිරි සිතුවම් විනාශය ගැන සැළවු මොහොතේ ලංකා රජය චිත්‍ර සංරක්‌ෂණය පිළිබඳ ඉහළම විද්වතා ලබාදෙන ලෙස ඉල්ලන්නේ ඉතාලියේ රෝමයේ පිහිටි සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය (ICCROM) වෙතිනි. මරාන්සි ලංකාවට එවන්නට මැදිහත් වන්නේ මේ අන්තර් රාජ්‍ය ආයතනය විසිනි. රටවල් 133 රාජ්‍ය නායකයන් විසින් අත්සන් කළ ප්‍රඥප්තියකට අනුව ඇතිකරගත් එක`ගතාව මත මේ ආයතනය ලෝකයේ නිශ්ඵල හා චංචල සංස්‌කෘතික උරුමය ආරක්‌ෂා කිරීමේ වැදගත්කම ගැන අවබෝධයක්‌ ලබාදීම, උරුම සංරක්‌ෂණ ක්‍රමවේදයන්හි ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා මැදිහත් වෙමින් සිටී.

කොරියානු රජයේ සංස්‌කෘතික උරුම හා පරිපාලන ආයතනය, සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය හා එක්‌ව ආසියානු කලාපයේ සංස්‌කෘතික උරුමය රැකගැනීම සඳහා වෘත්තීය දැනුම දියුණු කිරීමේ වැඩසටහනක්‌ දියත් කර තිබේ. මේ වසරේ එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ලංකාව තුළය. රටවල් දහයක නියෝජිතයන් විසි දෙදෙනෙක්‌ හා සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ජනරාල් ස්‌ටිෆානෝ ඩි කාරෝ ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මෙම වැඩමුළුව සඳහා සහභාගි වේ. ජාත්‍යන්තර කීර්තියට පත් සිම්බාබ්වේ ජාතික උරුම සංරක්‌ෂකයෙක්‌ වූ එබර් එන්දෝරෝ මෙම විශේෂ වැඩමුළුව සඳහා සහභාගි වීමට නියමිතය.

වැඩමුළුවේ පළමු අදියර හෙට (8 දා) උදේ 9 ට කොළඹ සිනමන් ලේක්‌ හෝටලයේ විද්වත් වෘත්තිකයන්ට විවෘත සැසියක්‌ සේ පැවැත්වේ. දෙවැනි අදියර පැවැත්වෙන්නේ 9, 10, 11, 12 දිනයන්හි හබරණ සිනමන් ලො- හෝටලයේය.

මේ සියල්ල දකිමින් දුකසේ ලියා තැබිය යුතු යථාර්ථයක්‌ තිබේ. ලෝකය තමන්ගේ මුදල් වියදම් කරමින් උරුම සංරක්‌ෂණයේ වෘත්තීය නිපුණතාව වැඩි කරදීම සඳහා අපේ රටට ඇවිත් ජාත්‍යන්තර වැඩමුළු තියන්නේය. ඒ විද්වත් හමුවලදී ලෝකයේ වෘත්තිකයෝ උරුම සංරක්‌ෂණය සඳහා සිය විශිෂ්ට දැනුම බෙදා දෙන්නට කටයුතු කරන්නෝය. එහෙත් අප දකින්නේ ඒ දැනුම සාගරයේ රළපතර වදිමින් ජාතික උරුමය සංරක්‌ෂණය කිරීම සඳහා ලබාගන්නා ගඩොලිනුත් වංචා කරනා පුරාවිද්‍යාඥයන්ය. පුරාවස්‌තු විනාශ කිරීමට ගල්කොරි කාරයන් සමග ඩීල් ගසනා ප්‍රාඥයන්ය. සංරක්‌ෂණය කරනා දාගැබ් වල ගර්භය කැණ මැණික්‌ හොරකම් කරනා විද්වත් වෘත්තිකයන්ය.

ලෝකය උරුම සංරක්‌ෂණය සඳහා වැඩමුළු පවත්වන්නේ මෙවැනි අශීලාචාර බාලයන් පිරිසක්‌ වෙනුවෙන්ය.

No comments:

Post a Comment

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සි...