Friday, December 15, 2017

ලංකාවේ එක් තැනක පමණක් පිහිටා ඇති මාර්ටෙලෝ බලකොටු


තංගල්ලෙහි පිහිටි බලකොටුවේ සිට මුහුදු වෙරළ අද්දරින් සැතපුම් 25ක් පමණ නැගෙනහිර දෙසින් දකුණු වෙරළ තීරයේ සුවිශේෂී වූ බලකොටුවක් දක්නට ලැබේ. ලංකාවේ කිසිදු ස්ථානයක මෙවන් බලකොටුවක් දක්නට නොලැබේ. හම්බන්තොටෙහි පිහිටි මෙම බලකොටුව ‘මාර්ටෙලෝ කුළුණ’ ක් ලෙස හදුනාගත හැක.

 මෙම මාර්ටෙලෝ කුළුණු සම්ප්‍රදාය නිර්මාණය කලේ බ්‍රිතාන්‍යයන් විසිනි. 1794 වසරේදී මාර්ටෙලෝ තුඩුවෙහි පිහිටි සිලින්ඩරාකාර ප්‍රංශ බලකොටුවකට බ්‍රිතාන්‍ය නාවික හමුදා ප්‍රහාර එල්ල කරන ලදි. එහෙත් අපේක්ෂිත අයුරින් එම බලකොටුවට අලාභ හානි සිදු කල නොහැකි විය. එම ප්‍රංශ බලකොටුවේ සිට බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කල ප්‍රංශ ජාතිකයන් බ්‍රිත්‍යාන්‍යන්ට අති විශාල අලාභ හානි අත්කර දීමට සමත් විය. බ්‍රිතාන්‍ය පාබල සේනා මෙම බලකොටුව අල්ලාගත් පසු එය දැඩි අධීක්ෂණයකට ලක් කලේය.


 බ්‍රිතාන්‍ය ජාතිකයන් මාර්ටෙලෝ හිදී අත්කරගත් අවාසිදායක තත්ත්වයෙන් පාඩමක් උගෙන එංගලන්තයේ ගිණිකොණ දිග වෙරළ තීරයේ එවැනි බලකොටු වැලක් ඉදිකර ගත්හ. එසේ සිදු කලේ නැපෝලියන්ගේ ආක්‍රමණයන්ගෙන් වැලකීමටයි. පසුව ඔවුන් ලන්දේසීන්ගෙන් අත්පත් කරගත් ප්‍රදේශ වල මෙවැනි බලකොටු තුනක් ඉදිකරන ලදි. ඉන් දෙකක් කේප් හිද එකක් ලංකාවෙ ද ඉදි කලේය. සිමන්ස් ටවුන් හි ඇති බලකොටුව හම්බන්තොට හි ඇති මාර්ටෙලෝ බලකොටුවෙ හි නිවුන් සහෝදරයෙක් වැන්න.

ලංකාවේ හම්බන්තොටෙහි ඉදිකල මෙම බලකොටුවෙහි වැදගත්ම කාර්යභාරය වූයේ ලුණු ලේවා වලටත්, දකුණු පළාතේ කුරුඳු වැවෙන වන ගහනයට පිවිසෙන මාර්ග වලට රැකවරණය සැලසීමත් ය.

මෙම බලකොටුව ඉදිවූයේ 1796 වසරට සුළු කලකට පසුවයි. ප්‍රතිප්‍රහාරක මුරපොළවල් වලින් සමන්විත බලකොටුවක ආරක්ෂාව නොලද එකම මුහුදු බොක්ක හම්බන්තොට වීම නිසා සතුරු සේනාවලට එම ස්ථානයට නිරුපද්‍රිතව ගොඩ බැසිය හැකි විය. මේ හේතුවෙන් සෑම දිශාවකටම කරකැවිය හැකි කාලතුවක්කු මුදුන් තලයෙහි අටවා මෙම හම්බන්තොට බලකොටුව ඉදි කරන ලදි. මෙම බලකොටුවෙහි රැඳවිය හැකි වූයේ තිස් දෙනෙකි. උපරිම පනස් දෙනෙකි. ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම (VOC) තමන්ට නැතිවූ බලය නැවත අත්පත් කරගැනීමට විනා නැවත ක්‍රියාත්මක වේ යැයි සිතූ නිසා මෙවැනි ආකාරයේ බලකොටු ඉන්දියාවට සහ ලංකාවට හිමි විය.

 මෙම කුළුණ අඩි 25 ක් පමණ උසකින්ද අඩි 40ක් පමණ විශ්කම්භයකින්ද යුක්ත වේ. මෙය දෙමහල් ය. බලකොටුව තුලට යාමට ඇති දොරටුව ඇත්තේ උඩු මහලේ ය. අවශ්‍ය වූ විටෙක ඉනිමගක් ඔස්සේ එයට ඇතුලු විය හැක. මෙය මෙම බලකොටුවේ සුවිශේෂී අංගයකි.

මෙහි පවුර වටා කාලතුවක්කු වලින් පහර දීමට කවුළු පිහිටා තිබේ. යට මහලේ කවුළු දෙකක් අතර පරතරය තුල උඩු මහලේ කවුළුව පිහිටා තිබෙන අතර උඩු මහලේ කවුළුව යට මහලේ කවුළුවට සාපේක්ෂව විශාල වේ. බිත්ති ශක්තිමත් ගලින් බැඳ තිබෙන අතර හුණු බදාමයකින් කපරාරු කර ඇති අතර එය ඍජුය.

මෙම බලකොටුව මැද ගලින් බැඳි ශක්තිමත් කණුවක් තිබේ. එය පිහිටා ඇත්තේ බිත්තිය මුදුනට හේත්තු වන දේ ගලින් බැඳි පියස්ස දරා සිටීමටයි. මහල් දෙක සම්බන්ධ කිරීම උදෙසා බිත්තියට වැද්දූ පියගැට පෙළක් තිබේ. ඇතුලට වාතාශ්‍රය අවම වීම හා තෙත් සහිත වීම මාර්ටෙලෝ බලකොටු වලට පොදු කරුණකි. දැවමය කොටස් පහසුවෙන් දිරා වැටෙන්නට වීම සාමාන්‍යයි. අවසානයේ කෙසේ හෝ 1803 වසරේදී සිංහල හමුදා මෙම හම්බන්තොට පිහිටි මාර්ටෙලෝ බලකොටුව වටලා අල්ලා ගත්හ.

4 comments:

  1. ජල පවිත්‍රාගාරයක් ඒකෙ තියනව වගේ මතකයි. මං ගියෙ හුඟක් ඉස්සර

    ReplyDelete
  2. මාතර තාරකා කොටුවට පසු මෙවැනි සුවිශේෂී ලක්ෂණ සහිතව මෙතරම් උසස් තත්වයෙන් සංරක්ෂණය වී ඇති බලකොටුවක් දැක ගැනීමට ලැබීමත් සතුටුදායක කරුණකි. බ්‍රිතනයන් විසින් බොහෝ විට භාවිතා කළේ පෘතුගිසි හා ඉංගිසි බලකොටු නිසා මෙය ඔවුන්ගේ හැකියාව පෙන්වන සුවිශේෂ සාධකයක්ය
    විචාරක දියණිය

    ReplyDelete
  3. දැනන් හිටියේ නැහැ අනේ... ස්තූතියි

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...