Tuesday, February 13, 2018

කොන්ෆියුෂියස් ඉගැන්වීමක් කනපිට පෙරළූ චීනයේ එකම අධිරාජිනිය



කොන්ෆියුෂියානු ඉගැන්වීම් වලට අනුව කාන්තාවන්ට රාජ්‍ය පාලන තත්ත්වයකට ඒමට නොහැකි විය. කොන්ෆියුෂියස් පවසා සිටියේ "ගැහැණියකගේ රාජ්‍ය පාලනය, කුකුළෙකු උදේ පාන්දර කරන හැඬලීම කිකිළියකු කිරීමට උත්සහ කිරීම තරම් අස්වාභාවිකය" ලෙසයි.

එනමුත් මෙම ඉගැන්වීම බොරුවක් බව ඔප්පු කිරීමට ටෑංග් රාජවංශය තුලින් හැකිවිය. මෙම රාජවංශය පැවති කාලයේ පැරණි චීන කාලවල් වලට වඩා ස්ත්‍රීන්ට නිදහස හිමිව තිබුණි.

පෙරදී කාන්තාවන්ට 'කකුල් බැදීම' නම් කෲර ක්‍රියාවලියක් තිබුණි. කාන්තාවන්ගේ පාද සුමටව තබා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බව සලකන ලද පැරණි චීන සමාජය, ගැහැණු දරුවෙකු වයස අවුරුදු 6-7 වන විට ඇගේ පාදවල ඇගිලි බිඳ දමා ඒවා වෙළුම් පටි භාවිතයෙන් වෙළා තබයි. මෙසේ කරන්නේ ඒවායේ වැඩීම බාල කරන පිණිසයි. මෙසේ වෙළුම් පටි වසර දහයක පමණ කාලයක් වෙළා තබයි. වර්තමානය වන විටද බුරුමය හා තායිලන්තය වැනි රටවල්වල ගම්බද කාන්තාවන් බෙල්ල දිගු කර ගැනීම උදෙසා මෙවන් ක්‍රියාවලියක යෙදෙයි. ඒ සදහා ඔවුන් යොදාගන්නේ පිත්තල වලළු ය. ටෑංග් රාජවංශයේ දී පෙර කී 'කකුල් බැදීමේ' චාරිත්‍රය ප්‍රචලිත වී නොතිබුණු අතර කාන්තාවන්ට අධ්‍යාපන අයිතියද හිමිව තිබුණි.

ක්‍රි.ව. 624 වර්ෂයේ දී ෂාක්ෂි ප්‍රාන්තයේ ධනවත් පවුලකට සේෂාන් නමින් ගැහැණු දරුවෙකු උපත ලැබීය. එකල අන් ගැහැණු දරුවන් මෙන් අධ්‍යාපනයේ හිමිකම ප්‍රයෝජනයට ගත් ඇය වයස අවුරුදු 13 පමණ වන විට චීන සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනයට හැකියාව ඇති තත්ත්වයකට පත්ව සිටියාය.

ඇගේ රූ සොබාවත් ඥාණයත් නිසාවෙන් එකල සිටි ටයිසොංග් අධිරාජ්‍යයා ඇයව තම උප පතිනිය ලෙස රාජවාසල වෙත රැගෙන ගියේය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ නමවැනි පුත්‍රයා වූ ග්වේසොං මෙම සටහනේ කතා නායිකාව වූ සේෂාන් ව විවාහ කර ගත්තේය. එමගින් ඇය ග්වේසොං ගේ අගමෙහෙසිය බවට පත්විය.

ග්වේසොං රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් දක්ෂ නොවූ දුර්වල පාලකයෙක් බවට ඉතිහාසඥයින් පෙන්වා දෙයි. මේ හේතුවෙන් රාජ්‍ය පාලනය පිටුපස සිටියේ අගමෙහෙසිය වූ සේෂාන් ය. විවාහයෙන් වසර පහකට පසු ග්වේසොං හෘදයාබාධකින් මිය ගියේය. ඒ අනුව රාජ්‍ය පාලනය පැවරුණේ සේෂාන් වෙතයි. මෙහිදී ඇය විසින් රාජ්‍ය පාලනය පවරා ගත්තා යැයි සැලකීම වඩාත් නිවැරදි වේ. 644 දී ග්වේසොං ගේ මරණයෙන් පසු 645 වසරේදී කුමන්ත්‍රණ කිහිපයකින් ඇය ටෑංග් රාජවංශයේ අධිරාජිණිය බවට පත්විය.

චීන අධිරාජ්‍යයේ පලමුවන හා එකම අධිරාජිනිය බවට පත්වෙමින් ඇය කොන්ෆියුෂියස් ගේ කුකුළා හා කිකිළිගේ කියමන කනපිට හැරවීමට සමත් විය. ගැහැණිය පහත් කොට සැලකූ කොන්ෆියුෂියස් දහම රාජ්‍ය ආගම තත්ත්වයෙන් නෙරපූ අතර ඒ වෙනුවට රාජ්‍ය ආගම් ලෙස බුදු දහම හා ඩව් දහම පත් කළාය.

මැය ක්‍රමක්‍රමයෙන් උපායශීලීව සිහසුනට උරුමකම් කී අයව ඉවත් කලේය. අධිරාජ්‍යය මධ්‍යම ආසියාව තෙක් ව්‍යාප්ත කොට මොංගෝලියාව, කොරියාව හා වියට්නාමය ඇතුලු බොහෝ පෙදෙස් රාජ්‍යයට එක්කර ගත්තාය.

කෙසේ වෙතත් ඇය අනුකම්පා විරහිත පාලිකාවක් වූ අතර චර්යාව ද කීර්තිමත් එකක් නොවීය. ඇය තම පාලන කාලයේ දී ටෑංග් අධිරාජ්‍යය ජූහ් [Zhou] අධිරාජ්‍යය ලෙස නම් කලේය. එහෙත් මැය තම අධිරාජ්‍යය ස්ථාවර හා සෞභාග්‍යමත් අධිරාජ්‍යයක් බවට පත් කිරීමට සමත් විය.

ඇයගේ රාජ්‍ය කාලය තුල සිදු කෙරුණු ප්‍රතිසංස්කරණය ඉතා වැදගත් ඒවා විය. චීන කලා ශිල්ප ක්‍රමයේ ඉහළ ස්ථානයක් හිමිකරගත් ලොංමෙන් ගුහා සංකීර්ණය ඇයගේ පාලන කාලය තුල දී නිර්මාණය විණි. මෙය ගුහා 1400 කින් හා එක් එක් ප්‍රමාණයට ගලෙන් කොටන ලද බුද්ධ ප්‍රථිමා ලක්ෂයකින් පමණ සමන්විත වේ.

ක්‍රි.ව. 715 දී අසනීපයක් හේතුවෙන් සේෂාන් මිය ගියේය. ඇයගෙන් පසු ඇගේ මුණුබුරු ෆොන් සොංග් බලය තම අතට අරගත්තේය.


2 comments:

උපතේ පටන් වෙනස්කොට සැලකීම කාන්තා අයිතිවාසිකම් කඩ වීමේ මුල ද?

කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩ වීම අද ලංකාව පුරා බහුලව සිදු වන්නා වූ දෙයකි. මේවාට පිලියම් යෙදීමට උත්සහ කරත් ඒවා විසඳෙන බවක් නම් දක්නට නොලැබ...