Thursday, February 15, 2018

ගීයක සැඟවුනු කතාව - By the rivers of babylon

බොහෝ රූපවාහිනී නාලිකා වල නත්තල් සමයට නිතර ඇසෙන ගීතයකි “ By the rivers of Babylon” ගීතය. එනමුත් මෙම ගීතය පිටුපස සැඟවුනු ඉතිහාස කතාව දන්නේ කීයෙන් කී දෙනාද? මෙම ඉතිහාස කතාව නොදන්නා අය උදෙසා හා දන්නා අයගේ දැනුම තව තවත් ඔපමට්ටම් කිරීම උදෙසා මෙම සටහන මෙසේ ලියා තබමි.

 මෙම කතාවේ මුල මැද අග හරිහැටි පැහැදිලි කර ගැනීම සදහා ක්‍රි.පූ. අටවන සියවස තරම් ඈත අතීතයට යාමට සිදුවේ. ඊශ්‍රායලය යනු ඉතා දැවැන්ත ඉතිහාසයක් ඇති රාජ්‍යයකි. මෙම රාජ්‍යයේ රජකම් කල සලමොන් නම් රජතුමා ඉතා වැදගත් රජ කෙනෙකි. එනමුත් මොහුගේ රාජ්‍ය කාලයෙන් පසු ඇතිවූ තත්ත්වය නිසා පෙරදී එක්සත්ව පැවති ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකඩ විය. මෙම රාජ්‍යය දෙකඩ වීමට සලමොන් රජුගේ හා ඔහුගේ පුත්‍රයා වූ රෙහෙබෝවම්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපෑවේය. සලමොන්ගේ රාජ්‍ය කාලයේ මිනිසුන්ට විවිධ කරදර කම්කටොළු ඇතිවූ අතර ඔහුගේ පුත්‍රයා එය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කලේය. මේ හේතුවෙන් රටේ විවිධ කැරලි ඇතිවූ අතර ජෙරුබෝවම් නැමැත්තෙක් එම කැරලි වලට නායකත්වය දරන ලදි.

 මෙම බෙදී ගිය රාජ්‍යයේ උතුර, ඊශ්‍රායලය නමින් හදුන්වනු ලැබූ අතර එහි පාලනය ජෙරුබෝවම් විසින් සිදු කරන ලදි. දකුණ රෙහෙබෝවම් විසින් පාලනය කල අතර එය ජුදා ලෙස හදුන්වන ලදි. උතුරේ අගනුවර සමාරිය වූ අතර දකුණේ අගනුවර ජෙරුසලම විය. මෙකල මිනිසුන්ගේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානය වූයේ ජෙරුසලම් දේවමාලිගයයි. එමනිසා වන්දනාමාන සදහා උතුරේ සිට දකුණට යන මිනිසුන් දකුණේ රැදෙනු ඇතැයි විශ්වාස කල ජෙරුබෝවම් , රන් වස්සන් දෙදෙනෙකු සාදා එකෙක් බෙතෙල්හි හා අනෙකා දාන්හි ද තබා ඒවාට වන්දනා කරන ලෙස මිනිසුන්ට අණ කරන ලදි.

 ක්‍රි.පූ. 721 දක්වා ඊශ්‍රායලය විවිධ රජවරුන් යටතේ පාලනය විය. ඒත් සමඟම මෙම රාජ්‍යයේ දේශපාලනික, ආර්ථික හා සමාජීය යන අංශ ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන් ගත්තේය. මෙම වකවානු වන විට අසිරියානු රාජ්‍යය බලවත් වෙමින් පැවතුණි. අසිරියානු පාලකයින් ක්‍රි.පූ. 721 දී ඊශ්‍රායලය ආක්‍රමණය කර එහි සිටි ඊශ්‍රායෙල්වරු විසි අටදහසකට ආසන්න ප්‍රමාණයක් අසිරියාවට වහලුන් ලෙස ගෙනයන ලදි. අසිරියාව , විදේශ රටවල්වලින් ගෙන සිරකරුවන්ව බලහත්කාරයෙන් ඊශ්‍රායලයේ පදිංචි කරවන ලදි. ඊශ්‍රායලයෙන් රැගෙන ගිය පිරිස නැවත පැමිණියේ නැත. ඊශරායලයේ දැන් ඉතිරිව සිටින ජනතාව සමාරිතයන් ලෙස හදුන්වන ලදි. අසිරියාවේ වහලුන් හා මිශ්‍ර වීම නිසා දකුණේ විසූ ජුදෙව් ජනතාව සමාරිතයන්ව සුළු කොට සලකන ලදි. එතැන් පටන් සමාරිතයන් හා ජුදෙව්වරු අතර කිසිදු සම්බන්ධතාවයක් නොවීය.

 ජේසුස්වහන්සේගේ කාලය වන විට මෙම බෙදීම ඉතා උග්‍රව පැවතුණි. ජුදෙව්වෙක් විසින් සමාරිතයෙක්ගෙන් උදව් ලබා ගැනීම එම ජුදෙව්වාට තරම් නොවන දෙයක් බව සලකන ලදි. කිසිදු ජුදෙව්වෙක් සමාරිය ගම මැදින් ගමන් කලේ නැත. වෙළඳපලට ගොස් නිවස වෙත පැමිණෙන ජුදෙව්වා නිවසට ඇතුලු වීමට පෙර ස්නානය කර පැමිණෙයි. එයට හේතුව වන්නේ වෙළදපොලේදී සමාරිතයෙක් නොදැනුවත්ව හෝ ඇඟේ වැදුනානම් එය අශුද්ධ දෙයක් ලෙස සලකනු ලැබූ බැවිනි. මේවාට එකල ආගම් උගන්වනු ලැබූ පිරිස් විසින් ද අනුබල දෙන ලදි.

 ක්‍රි.පූ. 596 දී නෙබුකද්නෙසර් විසින් සෙදෙකියා නැමැත්තෙක් ජුදා දේශයේ පාලකයා වශයෙන් පත් කරන ලදි. ඔහු බැබිලෝනියාවේ යටත් පාලකයෙක් ලෙස කටයුතු කල යුතු විය. එනමුත් සෙදෙකියා සැමවිටම උත්සහ කලේ බැබිලෝනියාවේ ග්‍රහනයෙන් මිදීම ලබා ගැනීමටය. මෙය තවදුරටත් වර්ධනය වෙමින් ඔහු විසින් ක්‍රි.පූ. 587 දී බැබිලෝනියාවට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කරන ලදි. මෙය සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක වූ අතර බැබිලෝනියන්වරු ඉතා දරුණු අන්දමින් ජෙරුසලමට පහර දෙන ලදි. මෙහිදී මහත් ජාතියකගේ ආඩම්භරයකට හේතු වූ ජෙරුසලම් දේවමාලිගාව සුනු විසුණු වූ අතර ජෙරුසලම් නගරය නටබුන් නගරයක් බවට පත්විය. ඉතා දුප්පත් දේශවාසීන් හැර අනෙක් සියලුම දෙනා බැබිලෝනියන්වරු විසින් තම මව් රටට ගෙනයන ලදි.

 ජුදෙව් ජනතාව මේ හේතුවෙන් ඉතා දුක්ඛිත තත්වයකට පත් විය. සදාකල් පවතී යැයි සැලකුණු දාවිත්ගේ වංශය එකවර නිමාව අත්දිටීම ඔවුන්ට සිතාගත නොහැකි විය. මෙසේ ජුදා දේශයෙන් බැබිලෝනියාවට රැගෙන ගිය අය ජුදෙව්වරු ලෙස හදුන්වන ලදි. බයිබලයේ විලාප ගී යන ග්‍රන්ථයේ ද ගීතාවලියේ 137 වන ගීතයේද මෙම ජනතාවගේ දුක් ගාවිනාව ඉදිරිපත් කරයි.

 බැබිලෝනියාවේ ජීවත්ව සිටියදී ඔවුන්ට සිතුවාට වඩා දුක් විදීමට සිදු වූයේ නැත. එකල සිටි ජුදෙව් පූජකවරු තම ආගමික සිරිත් විරිත් රැකගැනීමට බොහෝ යුහුසුළු වූහ. නිසි ලෙස වන්දනාමාන කිරීමට ජනතාව වෙත ඔවුන් නිරන්තරයෙන් උපදෙස් දුන්හ. විවිධ ස්ථානවල සිටි ජුදෙව්වරු ඒකරාශී කිරීම සදහා ඔවුන් සිනගෝග (ධර්මශාලා) නැමැති ගොඩනැගිලි ඉදිකරන ලදි. සිනගෝගයක් යනු බිත්ති තුනකින් වටවූ හා තනි වහලයකින් ආවරණය වූ කුඩා චාම් ගොඩනැගිල්ලකි. මෙය තරමක් අම්බලමකට සමානය.

 පවුල් දහයකට පමණ එක් සිනගෝගයක රැස්විය හැකි විය. සිනගෝග නමස්කාර සදහා බොහෝ ප්‍රචලිත විය. මෙතෙක් වාචිකව පැවති ආගමානුකූල නීති රීති හා උපදෙස් (මෙය මිෂ්නා ලෙස හදුන්වයි) ලිඛිත ග්‍රන්ථ වශයෙන් තබා ගැනීමේ අවශ්‍යතාව පැන නැගුනේ මේ කාල වකවානු තුලදීය. මෙකලදී ජුදෙව් සිරිත් විරිත් වලට බැබිලෝනියානු සංස්කෘතිය එක් වූවත් ජුදෙව්වරු තම ඒකදේව වාදය ආරක්ෂා කරගත්තේය.

 ක්‍රි.පූ. 538 දක්වා මේ ජුදෙව්වරු බැබිලෝනියාවේ වාසය කලහ.  ක්‍රි.පූ. 538 දී බැබිලෝනියාවේ බලය බිඳ වැටුණි. සයිරස් නම් රජ කෙනෙකුගේ නායකත්වය යටතේ පර්සියාව බබිලොන් නගරය අල්ලා ගන්නා ලදි. වැඩි කලක් යන්නට මත්තෙන් සයිරස් විසින් මුලු බැබිලෝනියාවම තමන්ගේ ග්‍රහනයට නතු කර ගත්තේය.
සයිරස්

 යටත් ජාතීන් පිලිබඳව සයිරස් රජතුමා දැක්වූයේ හාත්පසින්ම වෙනස් ආකල්පයකි. එනම් විප්‍රවාසීව සිටි ජුදෙව් ජනතාවට ඔවුන්ගේ මව් රටට එනම් පලස්තීන දේශයට නික්ම යාමට ඔහු අවසර දෙන ලදි. සයිරස් යන නමේ තේරුම එඩේරා යන්නයි. යෙසායා දිවැසිවරයාගේ පොතේ සයිරස් රජතුමාව යහපත් එඩේරෙක් ලෙස හදුන්වා ඇත්තේ ඔහුගේ මෙම යහපත් ක්‍රියාව නිසාවෙනි.

 සුප්‍රකට සයිරස් සිලින්ඩරයේ සයිරස් රජු කිසිම යුද්ධයක් නොකර බැබිලෝනියාව ජයගත් අන්දම ගැනත්, වහලුන්ට ආපසු තම තමන්ෆේ රටවල්වලට හැරී යාමටත් ඔවුන්ගේ දේවමාළිගා නැවත ගොඩනඟා ගැනීමට අවසර දීමේ ඔහුගේ ප්‍රථිපත්තිය ගැනත් විස්තර කෙරේ. සයිරස් රජු යාහ් වේ විසින් මෙහෙයවනු ලබන තැනැත්තෙකු බව බයිබලයේ යෙසායා දිවැසිවරයාගේ පොතේ පැවසෙන නමුත් ලෝකයේ පාලකයා වන පිණිස සයිරස් රජු තෝරා ගත්තේ මර්ඩුක් දෙවියා විසින් බවත් එයින් පසු මර්ඩුක් නියම මිත්‍රයෙකු මෙන් ඔහු සමඟ් ගිය බවත් මෙම ලේඛනයේ තව දුරටත් සඳහන් වේ.

 සයිරස් රජතුමා සියලුම ජුදෙව්වරුන්ට තම මව් රටට යාමට අවසර ලබා දුන් නමුත් ඔවුන් සියලු දෙනාම මව් රට බලා පිටත් නොවූහ. ආර්ථික අතින් යම් දියුණුවක් ලබා සිටි ජුදෙව්වරු තමන් වර්තමානයේ සිටින පලාත් අතහැර යෑමට මැලිබවක් දැක්වූ බව කියවේ. එනමුත් නැවත මව් රටට යාමට සෙරුබ්බාබෙල්, පූජක ජොෂ්‍ය්වා, හග්ගයි හා සෙකරියා යන අය නායකත්වය ගත්තේය.
සයිරස් සිලින්ඩරය 

 ක්‍රි.පූ. 521 දී පමණ පර්සියාවේ ඩේරියස් රජුගේ කාලයේදී ජෙරුසලම් දේවමාලිගාව නැවත ඉදි කිරීම අරඹන ලදි. මේ සදහා මුල් වූයේ පූජක සෙකරියා හා හග්ගයි යන දෙදෙනාය. මෙම දේව මාලිගාව දේව නමස්කාරයේ කේන්ද්‍රස්ථානය විය.

 නමස්කාරය සදහා බැබිලෝනියාවේදී සාදාගත් සිනගෝග ජුදා දේශයේද සෑම ගමකම සාදන ලදි. ආගමික වතාවත් අකුරටම ඔවුන් ඉටු කිරීමට වග බලාගත් අතර අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වීම තහනම් කරන ලදි. අන්‍ය ජාතික කාන්තාවන් විවාහ කරගෙන සිටි ජුදෙව්වරුන්ට එම කාන්තාවන් අතහරින ලෙස බලකලේය. ජේසුස්වහන්සේගේ කාලය වන විට මෙය උග්‍රව පැවතියේය.


 By the rivers of Babylon ගීතයේ සදහන් වන්නේ උක්ත ඉතිහාස කතාවෙන් කොටසකි. ජුදා දේශයේ වැසියන්ව වහල් කමට බැබිලෝනියාවට රැගෙන යාම මෙම ගීතය මගින් පවසයි. මෙම ගීතයේ බැබිලෝනියාවේ ගංගා ලෙස හදුන්වා ඇත්තේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් යන ගංඟා ය. මෙම ගීතයේ පද රචනයට ඉවහල් වී ඇත්තේ බයිබලයේ ගීතාවලිය පොතේ 137 වන ගීතයයි.

 ගීතාවලිය 137 වන ගීතය -

 " බබිලොන් හි ගං තෙරවල අපි හිඳගතිමු.
සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැළපෙමු.
එහි බට පඳුරුවල අපි වීණා එල්ලා තැබීමු.
අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කල බැවිනි.
අපට පීඩා කල අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
විදේශයක දී, සමිදුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?
එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මගේ දකුණත වියළී තියේවා!
මම තී සිහි නොකරමි නම්, මගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මගේ දිව ගොළු වේවා!
සමිදුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, බිඳ හෙලව් , බිඳ හෙලව් කියමින් ඒදොම් වැසියන් කල දේ ඔවුන්ට විරුද්ධව සිහි කල මැනව.
අහෝ බබිලෝනිය!
විනාශකාරී බබිලෝනිය!
තී අපට කලාක් මෙන් තීට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්තය.
තිගේ ළඳරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්තය."


 By the rivers of Babylon ගීතයේ පද මාලාව-

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

When the wicked
Carried us away in captivity
Required from us a song
Now how shall we sing the lord’s song in a strange land

When the wicked
Carried us away in captivity
Requiering of us a song
Now how shall we sing the lord’s song in a strange land

Yeah, yeah, yeah, yeah, yeah let the words of our mouth and the meditations of our heart
Be acceptable in thy sight here tonight

Let the words of our mouth and the meditation of our hearts
Be acceptable in thy sight here tonight

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon (dark tears of babylon)
There we sat down (you got to sing a song)
Ye-eah we wept, (sing a song of love)
When we remember zion. (yeah yeah yeah yeah yeah)

By the rivers of babylon (rough bits of babylon)
There we sat down (you hear the people cry)
Ye-eah we wept, (they need their god)
When we remember zion. (ooh, have the power)

 මෙම ගීතයේ මුල් ගායකයන් කව් ද? යන පැනය ඇසූ විට බොහෝ දෙනෙකුගේ පිලිතුර වන්නේ Boney M සංගීත් කණ්ඩයම කියාය. එනමුත් එය සත්‍ය නොවේ. මෙම ගීතය පද රචනය කර මුලින්ම ගායනා කර ඇත්තේ මෙලඩියන්ස් නම් සංගීත කණ්ඩායමේ  Brent Dowe සහ Trevor McNaughton යන සාමාජිකයන් ය. ඒ 1970 වසරේ දී ය. මෙම ගීතයේ ජාත්‍යන්තරයට පැමිණෙන්නේ 1972 වසරේ The Harder They Come නම් චිත්‍රපටයේ අඩංගු ගීතයක් වශයෙනි. මෙම ගීතය යුරෝපය පුරා ජනප්‍රිය කලේ Boney M සංගීත කණ්ඩායම විසිනි. ඔවුන් විසින් මෙම ගීතය නැවත පටිගත කලේ 1978 වර්ෂයේදී ය.
මෙලඩියන්ස් සංගීත කණ්ඩායම

 වර්තමානය වන විට මෙය කිතුණු දහමේ ගීතයක් ලෙස ප්‍රකට වුවත් මෙලඩියන්ස් සංගීත කණ්ඩායම මෙම ගීතය ගැයුවේ රස්තාෆාරියන් ගීයක් ලෙසයි. එයට හේතුව රස්තෆාරියන් ආගම හා කිතුනු දහම අතර යම් සමානකම් ඇති බැවිනි. එමනිසා රස්තෆාරියන් දහම පිලිබඳ යමක් පවසා මෙම සටහනට නැවතුම් තිත තැබීමට මම සිතමි.

 රස්තාෆාරියන් යැයි පැවසූ විට අපට එකෙනෙහිම මතකයට නැගෙන චරිතයක් වන්නේ බොබ් මාලේ ය. මන්ද ඔහුත් රස්තෆාරියන් දහම ඇදහූ අයෙක් බැවිනි. රස්තාෆාරියන් යනු ආබ්‍රහම්ගෙන් පැවත එනවායි කියන විශ්වාසයන්ගෙන් යුත් ආගම් වලින් එකකි. ( යුදෙව් , ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම්ද ආබ්‍රහම්ගෙන් පැවත එන විශ්වාසයන්ගෙන් සැදුම් ලත් ආගම් ලෙස පිලිගැනේ. ) 1930 දී ඉතියෝපියාවේ පාලකයා වුන Haile Selassie මෙම දහම වැඩි දියුණු කලේය. මොහුව ජේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම ලෙසත් දෙවියන් ලෙසත් එම බැතිමතුන් විශ්වාස කරයි.

 Marcus Garvey නම් පුද්ගලයා විසින් මෙම දහමේ පදනම සකස් කර ඇති බව පිලිගනියි. බයිබලයේ සදහන් ස්නාවක ජොහාන්ගේ දෙවෙනි පැමිණීම ලෙස මෙම පුදගලයාව , රස්තාෆාරි බැතිමතුන් විශ්වාස කරයි. මොහු මෙම රස්තාෆාරියන් දහමේ අඩංගු දෑ ඉදිරිපත් කලේ මෙම ආගම සදහාම නොවේ. කළු ජාතිකයන් එකල දැඩි පීඩා විදිමින් සිටි නිසා ඔවුන්ගේ ජීවන තත්වය හා ධෛර්යය වැඩි කිරීමට මෙම දර්ශනය මොහු විසින් ගෙනෙන ලදි. Marcus යනු selessie ට පෙර කාලයේ ජීවත් වූ පුද්ගලයෙක් වූ අතර පසු කාලයේදී selessie විසින් ඔහුගේ දර්ශනය රස්තාෆාරියන් දහමට ඇතුලත් කරන ලදි.

දැනට රස්තාෆාරි ආගමිකයන් මිලියනයක්ට වඩා සිටින බව ගනන් බලා ඇත. අප්‍රිකාව මුල් කරගෙන බිහිවූ මෙම ආගම දැන් ලෝකයේ දස අත පැතිරී ඇත. මෙම දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් කලේ බොබ් මාලේ විසිනි ( 1970s ). රස්තාෆාරියන් දහමට අනුව දෙවියන් විසින් තෝරාගත් ජනතාව වන්නේ කළු ජාතිකයන් ය. ( බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ජනතාව වන්නේ ඊශ්‍රායෙල් ජනතාව යි. )

රස්තාෆාරියන් බැතිමතුන් බයිබලයේ පැරණි ගිවිසුමේ අඩංගු නීති බොහොමයක් භාවිතා කරයි. එමෙන්ම මේ දහම ගැන පවසන විට ගංජා ගැන අනිවාර්යයෙන්ම කතා වන දෙයක්. රස්තාෆාරියන්  බැතිමතුන් ගංජා භාවිතා කිරීමෙන් දෙවියන්ට වඩා ලං විය හැකි බව විශ්වාස කරයි. බොබ් මාලේ ගංජා භාවිතා කලේ එම හේතුව නිසයි. එමෙන්ම මෙම බැතිමතුන් කිසි විටෙක තම ශරීරය කැපීමට ඉඩ නොදෙයි. බොබ් මාලේ මියයාමටද මෙය බෙහෙවින් බලපාන ලදි.

 මෙම දහමේ භාවිතා වන වර්ණ කිහිපයක් ඇත. එම වර්ණ නම් රතු, කොළ , රත්තරන් සහ කලු වේ. මෙම වර්ණයන් යොදාගෙන ඇත්තේ තේරුමක් ඇතිවයි.

රතු - ජැමැයිකානු ඉතිහාසයේ කලු ජාතිකයන් තමන්ගේ විමුක්තිය උදෙසා හැලූ ලේ සංඛේතවත් කිරීමට. කොළ - නිර්මාංශ බව පෙන්නුම් කිරීමටරත්තරන් - ඉතියෝපියාවේ ඇති ධනය පෙන්නුම් කිරීමටකලු - රස්තාෆාරි බැතිමතුන් වූ කලු ජාතිකයන්ගේ වර්ණය සිහි ගැන්වීමට

මෙම ආගම සමඟ කොණ්ඩා මෝස්තර , ඇදුම් පැලඳුම්, ආහාර පාන , විවිධ වූ විලාසිතා ඔවුන්ටම අනන්‍ය වී පවතියි. රස්තාෆාරි දහමේ ගංජා භාවිතා කිරීම තිබුනද සමහර රස්තාෆාරි බැතිමතුන් එය භාවිතා කරන්නේ නැත. මෙම දහමේ කොණ්ඩය කැපීම නොකල යුතු යැයි පවසන අතර ශරීරය දේවස්ථානයක් ලෙස තබාගත යුතු යැයි සදහන් වේ. එමනිසා මොවුන් ශරීර සෞඛ්‍ය ගැන බොහෝ විට සිතයි. එම හේතුම නිසාවෙන්ම බොහෝ රස්තාෆාරි බැතිමතුන් ගංජා භාවිතා නොකරයි.

මෙම බැතිමතුන් මෙය දහමක් ලෙස හදුන්වාදීමට අකමැතියි. මෙය දර්ශනයක් ලෙස හදුන්වාදීමට ඔවුන් උත්සහ කරයි. රස්තාෆාරි ආගමිකයන්ගේ සංඛෙතය වන්නේ සිංහයා ය. මොවුන්ගේ කොඩිය වන්නේ selessie ගේ පාලන සමයේ ඉතියෝපියාවේ භාවිතා වූ කොඩියයි.

12 comments:

  1. ඔබ මොනතරම් මහන්සි වෙනවාද ලිපියක් ලියන්න! ආන්න ඒ මහන්සියට උනන්දුවට උවමනාවට හිසනමා ආචාර කරමි!

    ReplyDelete
  2. සිංදුවනම් කොතෙක් අසා තිබුණත් මේ තොරතුරු නොදැන හිටි දෙයක්.

    ReplyDelete
  3. ++++++++++ Thank you. This was one of my fav songs in school days

    ReplyDelete
  4. බොහොම පැරණි රසවත් මතකයක් ගෙන ආවට තුති
    විචාරක දියණිය

    ReplyDelete

බැංකු ඒමටත් කලින් ණය දුන් බැංකු වෙළෙන්දෝ

"උඹනම් හෙට්ටියෙක්ම තමා" යැයි ලෝබ තැනැත්තන්ට කියනවා අපි නිතර අසා ඇත්තෙමු. කොළඹ 'හෙට්ටි වීදිය' ගැනත් අපි අසා ඇත්තෙමු. මේ හෙ...