Tuesday, March 1, 2022

පැරිස්ගේ තේරීම

පහත තියෙනවා විශේෂ ඡායාරූප තුනක්. එකක් මම අරගත්තේ ලන්ඩන් වල බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දී. අනෙක් දෙක ලන්ඩන් වලම National Gallery එකේ දී. මේ ඡායාරූප වල තියෙන දේවල් එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධය එන්නේ මම කැමතිම මාතෘකාවක් වන ග්‍රීක මිත්‍යා කතා තුලින්. 

මේ කතාව පටන් ගන්නේ තීටිස් සහ පේලියස් නම් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන්. මේ විවාහ උත්සවයට ඒරීස් හැර ඔලිම්පස්හි හැම දෙවි දේවතාවුන් කෙනෙක්ටම ආරාධානා කරලා තිබුනා. ඒරීස් කියන්නේ 'අසමගිය' ඇතිකරන දේවතාවිය. විවාහ උත්සවයකට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන එක හොඳ නැති නිසයි එයාට ආරාධනා නොකළේ.

හැමෝටම ආරාධනා කරපු විවාහ උත්සවයට තමන්ට ආරාධනා නොකරපු එක ගැන ඒරීස් තරහෙන් හිටියේ. මේ නිසා ඒරීස් මේ විවාහ උත්සවයට පැමිණියේ නැතත් උත්සව ශාලාවේ මේසයක් මත රත්තරන් ඇපල් ගෙඩියක් තියෙන්න සලස්වනවා. ඒ රත්තරන් ඇපල් ගෙඩියේ ලියලා තිබුනා 'ලෝකයේ පියකරු ම කාන්තාවට' කියලා.

මේ උත්සවයේ හිටපු කාන්තාවන් තුන් දෙනෙක්ට මේ ඇපල් ගෙඩිය ලබාගන්න ආශාවක් ඇති වුනා. එක් කෙනෙක් සියුස්ගේ බිරිඳ හේරා. අනෙක් කෙනා යුද්ධයට අධිපති දෙවඟන ඇතීනා. අවසාන වශයෙන් අලංකාරයට සහ ආදරයට අධිපති දෙවඟ වූ ඇෆ්‍රොඩයිට් හිටියා. මේ තුන් දෙනා අතරින් වඩාත් ම පියකරු කව් ද කියලා තෝරගන්න අපහසු නිසා එයාලා ගියා සියුස් ගාවට. 

දැන් සියුස් ඉන්නේ ලොකු ප්‍රශ්නයක. තමන්ගේ බිරිඳ සහ දුවලා අතරින් කෙනෙක්ව තෝරාගන්න අවශ්‍යයි. සියුස් කියන්නේ දෙවියන්ගේ දෙවි වුනාට මේ ප්‍රශ්නයේ දී සියුස්ට තීරණයක් දෙන්න නොහැකි වුනා. මේ නිසා තුන් දෙනා අතරින් වඩාත් පියකරු කව් ද කියලා තෝරන්න සියුස් පත් කරනවා සාමාන්‍ය මිනිසෙක්ව.

ඒ පුද්ගලයාගේ නම තමා 'පැරිස්' කියන්නේ. 

ක්‍රි.ව. දෙවන සියවසට අයත් පැරිස්ගේ පිළිරුවක්. 


හේරා පැරිස් ගාවට ගිහිල්ලා කියනවා "මම තමා සියුස්ගේ බිරිඳ හේරා. වඩාත් ප්‍රියමනාප කාන්තාව විදිහට මාව තෝරගත්තොත් මම ඔයාව ලෝකයේ ධනවත් ම රජතුමා බවට පත් කරන්නම්. ඔලිම්පස් වගේ අනර්ඝ මාළිගාවක් හදලා දෙන්නම්." කියලා.

ඒත් එක්කම ඇතීනා පැරිස් වෙතට ඇවිත්;

"මම තමා යුද්ධයට හා දැනුමට අධිපති දෙවඟන ඇතීනා. මෙතෙක් සිටි අනර්ඝතම සෙන්පතියා බවට මම ඔබව පත් කරන්නම්. මිනිසුන් දහස් ගණනක් මෙහෙයවා අධිරාජ්‍යයන් ඔබ යටතට ගන්න ඔබට හැකියාවක් ලබා දෙන්නම්" කියලා කිව්වා.

අවසාන වශයෙන් ඇෆ්‍රොඩයිට් පැරිස් වෙතට ආවා.

"මම ආදරයට හා අලංකාරයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිට්. මම ඔයාට මං වගේ ම පියකරු කාන්තාවක් ව විවාහ කරලා දෙන්නම්." 

වරයන් තුනක් තමා ඉදිරියෙන් තියෙද්දී පැරිස් තෝරගන්නේ ඇෆ්‍රොඩයිට් ව. නමුත් ඇෆ්‍රොඩයිට් මෙතන දී නොකීව දෙයක් තියෙනවා. ඒ තමා පැරිස් හට ලබා දෙන්නට පොරොන්දු වූ කාන්තාව මේ වෙනකොටත් විවාහ වෙලයි හිටියේ. ඒ ස්පාර්ටා වල මෙනලේයස් රජතුමා සමඟ. 

මේ කාන්තාවගේ නම තමා ට්‍රෝයි හි හෙලන්.

මෙනලේයස් රජතුමාගේ බිරිඳ වන හෙලන්ව පැරිස් පසුකාලීනව පැහැරගෙන යාම නිසා තමා ග්‍රීක සාහිත්‍යයේ ප්‍රකට ට්‍රොජන් යුද්ධය ඇති වුනේ.



පැරිස් විසින් ඇෆ්‍රොඩයිට් ,ඇතීනා සහ හේරා අතරින් අයෙක්ව තෝරාගන්නා අවස්ථාව. Peter Paul Rubens (1597)

පැරිස් විසින් ඇෆ්‍රොඩයිට්ව තෝරාගත් අවස්ථාව.

1 comment:

  1. හ්ම්.. හුඟ දවසකින් පොස්ටුවක් දැක්කෙ
    බලං යද්දී දෙයියො තමා හැම යුද්ධයකටම වගේ වග කියන්ට ඕන...

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...