Tuesday, July 2, 2019

ආදම් සහ ඒවගේ දිනපොත - 2 කොටස (පරිවර්තනය)



පලමු කොටස කියවීමට පිවිසෙන්න මෙතනින් .

සඳුදා - 

මට සිතෙන ආකාරයට දිගු කොණ්ඩයක් ඇති සත්වයා ඉතා අනර්ඝ නිර්මාණයක්. ඌ සෑම විටම මා අසලින්ම සිටිමින් මා යන යන තැන පසුපසින් පැමිණෙයි. මම මෙයට කැමති නැත. මම කාත් සමගවත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට කැමැත්තක් නොදක්වමි. ඌ අනෙක් සත්වයින් සමග පමණක් සිට මා අසලට නොපැමින සිටීම වඩා යහපත් බවයි මා සිතන්නේ. අද වළාකුළු වලින් පිරුණු දිනයක් වාගේම බටහිර දෙසින් සුළඟත් හමයි. මා සිතනවා අද වහියි කියා. මට ඒ වචනය ලැබුනෙ කොහෙන්ද? දැන් මට මතකයි. අර අලුත් සත්වයා එය භාවිතා කරා මීට පෙරදී.

අඟහරුවාදා -

මහා දියඇල්ල නිරීක්ෂණය කරමින් සිටියෙමි. මම සිතන ආකාරයට එය මෙම පෙදෙසේ ඇති අග්‍රගන්‍යම දෙයයි. අලුත් සත්වයා නම් එයට පවසන්නේ නයගරා දියඇල්ල කියා. නමුත් එසේ කියන්නේ ඇයි කියා මම නම් දන්නේ නැහැ. හේතුව ලෙස පවසන්නේ එය නයගරා දියඇල්ල ලෙස පෙනෙනවා කියා. නමුත් එය හේතුවක් නොවේ. ලාමක ගතිගුණයක් එය. කිසිවක් නම් කිරීමට මට අවස්ථාවක් ලැබුනේ නැහැ. යමකට නමක් මම කීමටත් පෙර අලුත් සත්වයා ඒ සියල්ලටම නම් තබයි. හොද උදාහරණයක් ඩෝඩෝ පක්ෂියා. “ඩෝඩෝ පක්ෂියෙක් බවයි පෙනෙන්නේ” යැයි එම සත්වයා දුටු විටම පැවසූ විට එම සත්වයාට එම නම තබා ගැනීමට සිදු වෙනවා කිසිදු පැකිලීමක් නොමැතිව. නමුත් මට නම් එම සත්වයා ඩෝඩෝ පක්ෂියෙක් ලෙස පෙනෙන්නේ නැහැ.

බදාදා - 

වැස්සෙන් නොතෙමී සිටින්නට නිවහනක් සෑදුව මුත් එහිදී ද මට නිදහසේ සිටින්නට හැකියාවක් ලැබුනේ නැත. අලුත් සත්වයා සැම විටම එහි අනාරාධිතව පැමිණෙයි. මම ඌව නිවහනෙන් එළියට ඇද දමන විට ඌ සතුන් කලබලයට පත් වී කෑගසන්නාක් මෙන් කෑ ගසයි. මම සිතනවා ඌට කතා කිරීමට නොහැකි වූවානම් කියා. මන්ද ඌ සෑම විටම කරන්නේ කතා කිරීමයි. මට මීට පෙර මිනිස් කටහඬක් ඇසී නැහැ. එම ශබ්ධ නිහඬ බව හා හුදකලාව මකා දමනවා. මෙම අලුත් ශබ්ධය මට ඉතා ළඟින් තිබෙන දෙයක් බව මට හැඟෙනවා. විටෙක එය මගේ දකුණු උරපත්ත අසල, විටෙක දකුණු කන අසල, මුලදී එක් පැත්තක ඉන්පසු දෙපැත්තේම ඇති බව දැනෙයි. 


සිකුරාදා -

අලුත් සත්වයා විසින් සතුන් හා අනෙක් දෑ ඉතාමත් නොසැලකිලිමත් අයුරින් නම් කරමින් පවතියි. ඒ අතරතුර අප සිටිනා ප්‍රදේශයට මම ඉතා හොද නමක් සිතා බැලුවෙමි. ‘ඒදන් උයන’ ඒ නමයි. පෞද්ගලිකව මම මෙයට ඒ නම භාවිතා කරත් ප්‍රසිද්ධියේ ඒ නම භාවිතා කලේ නැහැ. නමුත් මම මෙයට ඒදන් උයන ලෙස නම් කල බව අලුත් සත්වයා දැනගත් විට ඌ පැවසුවේ මෙහි ඇත්තේ පර්වත, ලී හා විවිධ දර්ශනයන් පමණක් බවත් ඒ හේතුවෙන් උයනකට මෙහි කිසිදු සමානත්වයක් නැති බවයි. එසමගම පැවසුවේ මෙය අන් කිසිවක් නොව පිට්ටනියක් ම බවයි. මේ නිසාවෙන් මගෙන් කිසිදු විමසීමක් වත් කරන්නේ නැතිව ඌ මෙයට ‘නයගරා දිය ඇළි පිට්ටනිය’ ලෙස නම් කලේය. මට සිතෙන ආකාරයට මෙය අනවශ්‍ය කාරණයක්.එපමණක් නොව ඇය මෙහි විවිධ සංකේත පුවරු සිටවන්නට පටන් ගෙන තිබේ.

‘තණකොළ නොපාගනු’

මගේ ජීවිතයේ පෙර තිබූ සතුට දැන් නැත.

සෙනසුරාදා -

අලුත් සත්වයා වැඩිපුර පළතුරු කයි. ඒ කන ආකාරයට වැඩි කාලයක් යාමට මත්තෙන් අපිට පළතුරු හිඟයක් ඇතිවේ යයි මට සිතේ. මම මෙහි ‘අපි’ යන වදන භවිතා කලද මම එය මීට පෙර භාවිතා කල වදනක් නොවේ. අලුත් සත්වයා නිතර නිතර ‘අපි’ යන වදන භාවිතා කල නිසා මමත් දැන් එය භාවිතා කරන්නට පටන් ගෙන තිබේ. අද තිබුනේ ඝන මීදුම සහිත උදෑසනක්. එසේ මීදුම තිබෙන විට මමනම් එළියට යන්නේ නැහැ. නමුත් අලුත් සත්වයා නම් ඒ කිසිත් නොතකා හැම කාලගුණයකදීම එළියට යයි. එසේ ගොස් මඩ තැවරුණු කකුලෙන් ගස් කඳන් වලට ගසමින් කතා කරයි. මේ නිසා පෙරදී මෙහි තිබූ සාමකාමී කම නැතිවී ගොස් තිබේ.

ඉරිදා -

අද දිනය ගෙවා දැමීම තව තවත් අපහසු වෙමින් පවතියි. අද දිනය පසුගිය නොවැම්බර් මසදී නිවාඩු දිනයක් ලෙස යොදාගෙන තිබු දිනයක්. නමුත් මීට පෙර එවැනි දින සතියකට හය බැගින් මට හිමිව තිබුනා. අද උදෑසන අලුත් සත්වයා තහනම් කල ගසෙන් ඇපල් කඩා ගන්නවා දුටිමි.

සඳුදා -

අලුත් සත්වයා පවසන්නේ උගේ නම ඒව කියා. ඒකට කමක් නැහැ, මට නම් එහි කිසි විරුද්ධත්වයක් නැහැ. මට ඌව අවශ්‍ය වූ විට එම නම කියා කතා කරන්න යැයි පවසයි. නමුත් එය අනවශ්‍ය කාරණයක්. එවන් දෙයක් අවශ්‍ය නොවන බවයි මගේ අදහස. මම ඒ බව අලුත් සත්වයාට පැවසුවා. ඌ පවසන ආකාරයට ඌ, ඌ නොවන අතර, ඌ ඇයක් වේ. අලුත් සත්වයා පවසන්නේ ඌ සතෙක් නොව මනුෂ්‍යයෙක් නිසා ඌට, ඇය නමින් ආමන්ත්‍රණය කරන ලෙසයි. නමුත් මට නම් එහි කිසිදු වෙනසක් තේරෙන්නේ නැහැ. 

අඟහරුවාදා -

ඇය අප සිටින ප්‍රදේශය විවිධ පිලිකුල් සහගත නම් වලින් සහ සලකුණු වලින් අපවිත්‍ර කර තිබේ.

සැර දිය සුළු නැරඹීමට යන්නේ මෙතැනින්

එළුවන් සිටින දිවයිනට යන්නේ මෙතැනින්

සුළං තිබෙන ගුහාවට යන්නේ මෙතැනින්

ඇය පවසන ආකාරයට මෙම විවිධ සලකුණු වලින් මෙම උද්‍යානය කදිම වසන්ත කාල නිවාඩු නිකේතනයක් කරන බවයි. වසන්ත කාල නිවාඩු නිකේතන යන්නද ඇයගේම නිර්මාණයක්. ඒවා කිසිදු තේරුමක් නැති වදන් පමණයි. වසන්ත කාල නිවාඩු නිකේතනයක් කියන්නේ මොකක් ද? නමුත් මෙහි තේරුම ඇයගෙන් අසා නොසිටීම වඩා නුවණට හුරුයි. මන්ද එවිට ඇය ඉතා වියරුවෙන් මෙන් එය පැහැදිලි කිරීමට උත්සහ කරන බැවිනි. 

සිකුරාදා -

මම නිතර දිය ඇල්ල මතට යෑමට පුරුදුව සිටිමි. එසේ යන සෑම අවස්ථාවකදීම පාහේ එහි යන්න එපා කියා ඇය මගෙන් අයැද සිටියි. ඇය පවසන්නේ එමගින් ඇය භියට පත් වනවා කියා. නමුත් එසේ වන්නේ ඇයි? මම නිතර සිදුකරන දෙයක් එය. මම කැමතියි සීතලට, කුතුහලයට හා වේගයෙන් පහතට වැටීමට. මම සිතන ආකාරයට දිය ඇලි වල කාර්යය වන්නේ එයයි. මට පෙනෙන ආකාරයට නම් එහි වෙන ප්‍රයෝජනයක් නැහැ. ඕනම නිර්මාණයක කුමන හෝ කාර්යයක් තිබිය යුතුයි. ඇය පවසන්නේ ඒවා ඇත්තේ රයිනෝසිරස් හා මාස්ටඩොන් වැනි සත්වයන් මෙන් නැරඹීමට පමණක් බවයි.

මම බැරල් එකක් ආධාරයෙන් දිය ඇල්ලෙන් පහලට ගියෙමි. එහෙත් මෙමගින්ද ඇය තෘප්තිමත් වුයේ නැත. බෝට්ටුවක් ආධාරයෙන් ගියෙමි. එමගින්ද ය තෘප්තිමත් වුයේ නැත. සැර සහ වේගවත් දිය සුළි තුලින් පිහිනගෙන ගිය විට මට තරමක් තුවාල සිදු වුනි. මම කුමක් හෝ සිදු කිරීමට යද්දී ඒවාට නිතර බාධා පැමිණෙනවා. මට මේ තිබෙන දේවල් වලින් වෙනසක් අවශ්‍යයි.

සෙනසුරාදා -

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී මම නිවහනෙන් පලා ගොස් දින දෙකක් පුරාවට ඈතට ඇවිද ගියෙමි. ඒ හොදින් වැඩුණු පෙදෙසක නිවහනක් සාදා ගැනීම උදෙසායි. මම මගේ මං සළකුණු උපරිමයෙන් මකා දැමීමට උත්සහ කරත් ඇය වෘකයා නමින් හැදින්වූ සතෙක් මාර්ගයෙන් මාව සොයාගෙන ආවාය. එසේ පැමිණ ජලය තිබෙන තැන් වලට පනිමින් සුපුරුදු අනුකම්පා උපදවන ශබ්දය පිටකරයි. ඇය මට බල කරා නව නිවහන තිබෙන ස්ථානයෙන් ඉවත් වී ඇය සමග සුපුරුදු ස්ථානයට යන්න. මම ඇයත් සමග ගියත් ළඟදීම දවසක නැවත එතැනට යාමට බලාපොරොත්තුවනවා. ඇය නිතරම පාහේ සිදු කරන්නේ නිශ්ඵල දේවල්. ඇය මා සමග වරක් පැවසුවා සිංහයා හා ව්‍යාග්‍රයා යන නම් වලින් ඇය හැදින්වූ සතුන් ශාක සහ මල් ආහාරයට ගෙන ජීවත් වීම සිදු නොවිය යුතු දෙයක් කියා. ඇය එයින් කීමට අදහස් කලේ ඔවුන් පැළඳ සිටින දත් වලින් එකිනෙකා ආහාරයට ගත යුතු බවයි. මෙය නම් මෝඩ අදහසක්. එසේ වන්නට නම් එකිනෙකා මරාගත යුතුයි. එයින් නිර්මාණය වන්නේ ‘මරණය’. මරණය තවම උයනට පැමිණි දෙයක් නොවේ. ඇතැම් හේතූන් නිසා මරණය තවමත් උයනට පැමිණ නොතිබීම කණගාටුවට කරුණකි.

ඉරිදා -

දිනය ගෙවා දැමීමි.

සඳුදා -

සතිය ඇත්තේ කුමක් සදහාද කියා දැන් මම දන්නා බව මම විශ්වාස කරමි. එය ඇත්තේ ඉරිදා දවසේ වැඩකටයුතු නිසා වූ වෙහෙස නිවා ගැනීමටයි. මම  සිතන ආකාරයට එය හොද අදහසක්. ඇය නැවතත් ගස් මතට නැගීමට ආරම්භ කර තිබේ. ඇය බොහෝ විට නින්දට යන්නේ ගස් මතය. 

බ්‍රහස්පතින්දා - 

ඇය නිර්මාණය වී තිබෙන්නේ මගේ ශරීරයෙන් අරගත් ඉළ ඇටයකින් බව ඇය මා සමග පැවසුවා. නමුත් එය නම් කිසිසේත් විය නොහැකි දෙයක්. මගේ ශරීරයෙන් කිසිදු ඉළ ඇටයක් අඩුවී නැහැ. ඇය ගිජුලිහිණියා ගැන ද බොහෝ කනස්සල්ලෙන් පසුවූවා. මන්ද අනෙක් සතුන් මෙන් ඌ ශාක ආහාරයෙන් ජීවත් නොවන නිසා. ඌ ආහාරයට ගන්නේ දිරාපත් වූ මාංශ. ගිජුලිහිණියා ඌට සපයා ඇති දෙයින් සෑහීමකට පත් විය යුතුයි. ඌට උපකාර කිරීමට පමණක් අපට මේ සියලු දේවල් කනපිට හැරවීම කළ නොහැකි දෙයක්. 

සෙනසුරාදා -

ඊයේ දිනයේ දී පොකුණ තුලින් ඇය ඇයවම නරඹමින් සිටිනා විට එය තුළට වැටුනාය. එයට වැටුනු විට ඇය ඉතා අපහසුවෙන් සිටි බවක් මම දුටු අතර ඇය ගොඩට පැමිණි පසු කියා සිටියේ ඇගේ ගෙල මිරිකනවා වැන්නක් ඇයට දැනුනු බවයි. මෙම සිදුවීම මගින්, මාළුන් නමින් ඇය හැදින්වූ පොකුණේ සිටි සත්වයින් ගැන ඇයට අණුකම්පාවක් උපදින්නට විය. උන් ජලය තුල කෙතරම් අපහසුවෙන් ජීවත් වනවා ඇද්ද? ඇය උන්ව මාලුවා යැයි නම් කළ ද එයින් කිසි ඵලක් නැති බවයි මගේ හැඟීම. උන්ගේ නම කියා කතා කල විට උන් අප අසලට පැමිණෙන්නේ නැත. ඇය නම් එක් විදිහක මෝඩියක්.

මේ නිසා ඇය පෙරදින රාත්‍රියේ දී මාලුන් කිහිප දෙනෙක්ව ජලයෙන් ගොඩට ගෙන මගේ ඇඳ මත තැබුවාය. ඒ උන්ව උණුසුම්ව තැබිය යුතු නිසා. උන් දෙස දිගටම බලාගෙන සිටියත් උන් පෙරදී මෙන් සතුටින් සිටි බවක් මම නම් දැක්කේ නැත. දැන් ඔවුන් පෙරට වඩා නිශ්චලයි. රාත්‍රිය එළඹුනු විට උන්ව ඇදෙම් අයින් කරන්නට උවමනායි. මටනම් නැවත උන් සමග නිදාගන්නට බැහැ. උන්ගේ ඇලෙනසුළු ගතිය නිසා එය මට ඉතා අප්‍රසන්නයි.

ඉරිදා -

දිනට ගෙවා දැමීමි.

අඟහරුවාදා -

ඇය දැන් නිතරම පාහේ සිටින්නේ සර්පයාත් සමගයි. අනෙක් සතුන්ට නම් එය සුබ ආරංචියක්. මන්ද ඇය නිතර ඔවුන්ගෙන් පරීක්ෂණ කර ඔවුන්ට හිරිහැර කරන නිසා. සතුට පමණක් නොව මටත් එය සුබ ආරංචියක්. සර්පයා කතා කරන නිසා මට නිදහසේ සිටිය හැකියි.

සිකුරාදා -

අපට කෑමට තහනම් කර තිබෙන ගසේ පළතුරු කන්නට යැයි සර්පයා පැවසූ බව ඇය මට පැවසුවා. එමගින් ශ්‍රේෂ්ඨ හා සර්ව සම්පූර්ණ අධ්‍යාපනය ලැබෙන බවද ඇය තවදුරටත් පැවසුවා. මම ඇයට පැවසුවේ එමගින් තවත් ප්‍රථිපලයක් ඇතිවන බවයි - මරණය මේ ලෝකයට පැමිණේවි. මම මේ ගැන ඇයට නොපවසා සිටියා නම් වඩා හොද යැයි දැන් මට සිතේ. එම ගසේ පලතුරු කෑමෙන් මරණය නිපදවෙන නිසා එමගින් ආහාර නොමැතිව රෝගීව සිටින ගිජුලිහිණියාට හා කලකිරී සිටින සිංහයන් ට හා ව්‍යාග්‍රයන් ට එමගින් උපකාර කල හැකි යැයි ඇයට අදහස් උපදින්නට විය. මම ඇයට අවවාද කලේ නැවත එම ගස තිබෙන ස්ථානයට නොයන බවට. නැවත එහි යන්නේ නැති බව ඇය මට පැවසුවා. යම් කරදරයක් ඇතොත් මට එය දුර තියා දැනෙනවා. අපි ඉක්මනින් මෙහෙන් ඈතකට යා යුතුයි.

බදාදා -

පසුගිය දවස් කිහිපයේ තරමක වෙනස් විදිහේ කාලයක් ගෙවුනේ. එක් රාත්‍රියක මම මාගේ අශ්වයා මත නැග ඌට යා හැකි උපරිම වේගයෙන් උපරිම දුරකට යාමට තැත් කලෙමි. ඒ මෙම උයනෙන් හැකි තරම් ඈතට ගොස් මේ තිබෙන කරදර වලින් ඈත්ව සිටීමටයි. හිරු උදා වී පැයක් ගත වන විට මම අශ්වයා සමග යමින් සිටියේ මල් වලින් පිරුණු තැනිතලාවක් මතයි. එහි සිටි සතුන් සුපුරුදු පරිදි තණ කමින් හා සැතපෙමින් සිටියෝය. නමුත් එකෙනෙහිම උන් වියරු වී බිය ගන්නා සුළු ශබ්ද නගමින් තමන් අසල සිටි අනෙක් සතුන් ව විනාශ කරන්නට ගත්තෝය. මට වැටහී ගියා මෙයින් කුමක් අදහස් වන්නේ ද යන්න. ඒව අර පලතුර කන්න ඇති , ඒ නිසා දැන් මරණයයි මේ උයනට ඇතුලු වී තිබෙන්නේ. ව්‍යාග්‍රයින් මගේ අශ්වයාව කා දැමුවා. මම උන්ට නවතින්න යැයි අණ කරත් උන් මගේ කීම ගණනකට වත් ගත්තේ නැහැ. මම තව වේලා එතැන රැඳී සිටියානම් ව්‍යාග්‍රයා මාවත් කා දමනවා. ඒ නිසා මම වහාම එතැනින් පැන ගියෙමි. 

එතනින් පැන ගොස් මම ගියේ උයනෙන් පිටත පිහිටි දින කිහිපයකට පමණක් සරිලන ආකාරයට ද්‍රව්‍ය තිබෙන ස්ථානයකටයි. එතැනට ද ඇය මා සොයාගෙන පැමිණියා ය. ඇය එතැනට නම තැබුවේ ‘ටොනවන්ඩා’ කියාය. එසේ නම තැබුවේ ඇයි දැයි විමසූ විට ඇය පවසා සිටියේ එතැන ටොනවන්ඩා ලෙස පෙනෙන බවයි. පෙරදී ඇය මා හමුවට පැමිණීම ගැන මම කණස්සල්ලෙන් සිටිය ද මෙහිදී ඇය පැමිණීම ගැන මම දුක් වූයේ නැහැ. ඇය ඇපල් කිහිපයක් සහ අවශ්‍ය කලමනා ස්වල්පයල් රැගෙන විත් තිබුණි. එම ඇපල් කෑමට ඇය මට බල කරත් එය මගේ ප්‍රථිපත්තියට විරුද්ධ යි. නමුත් දැන් මට හොදටම බඩගිනි යි. නමුත් නිරාහාරව සිට ප්‍රථිපත්ති රැකීමෙන් ඇති ඵලය කුමක් ද? ඇය පැමිණෙන විට ශරීරය ආවරණය කර ගැනීමට අතු රිකිලි කිහිපයක් ද ගෙනා තිබුණි. ඒවා ගෙනාවේ ඇයි දැයි මම විමසූ විට, ඇය ඒවා අහුලා මා වෙත විසි කරමින් ලැජ්ජාවෙන් මුහුණ රතු කර හීන් හඬින් සිනාසෙන්නට විය. මම මීට පෙර කිසිවෙක් ලැජ්ජා වී සිනාසෙනවා දැක තිබුනේ නැති නිසා එය මට නම් පෙනුනේ මෝඩ ක්‍රියාවක් ලෙස යි. 

මම ඉතාමත් බඩගින්නේ පසුවූ නිසා බාගයක් කා තිබූ ඇපල් ගෙඩියක් අතට ගෙන කන්නට වූයෙමි. ඒ ගෙනා තිබූ ඇපල් ගෙඩි කිහිපයෙන් අනර්ඝම ඇපල් ගෙඩිය යි. ඉන්පසු ඇය ගෙනා තිබූ ඉවතලන අතු රිකිලි වලින් මම ශරීරය ආවරණය ලර ගත්තෙමි. ඇයත් මාත් සමගම ඇගේ ශරීරය ආවරණයකර ගත්තේය. කැලයේ සතුන් මරාගත් ස්ථානයට ගොස් උන්ගේ හම් ද අපි ලබාගත්තෙමු. ඒවා මූට්ටු කරමින් විශේෂ අවස්ථා වලට ඇඳීම සදහා ආවරණ සාදා ගත් අතර මේවා ඇඟට තරමක් අපහසු බව අප දෙදෙනාට ම වැටහී ගිය කරුණකි. නමුත් මෙම ආවරණ පැළඳීමේ අරමුණ ද එයයි. මීට පෙර දී නම් අපට ජීවත් වීමට අවශ්‍ය කලමනා සියල්ල උයන තුලම තිබුණි. දැන් අපට උයන අහිමි ඇති නිසා ජීවත් වීමට වෙහෙස වී වැඩ කල යුතු බව ඇය මට පැවසුවාය. ඒ නිසා එයට ඇය මගේ සහයට සිටීම මට සතුටට කරුණක්. 

දින දහයකට පසු -

මේ සිදුවූ විපත්තියට ය චෝදනා එල්ල කරන්නේ මටයි. තහනම් කල පළතුර චෙස්නට් මිස අපල නොවන බව ය නිශ්චිතවම කියා සිටියි. මම චෙස්නට් එකක්වත් මේ වනතුරු ආහාරයට නොගෙන ඇති බැවින් මෙයට මම අහිංසක බව ඇයට කියා සිටියෙමි. ‘චෙස්නට්' යනු පැරණි විහිළුවක් හගවිමට යොදාගත් රුපකයක් බව සර්පයා විසින් යට පැවසු බව ය පවසන්නීය. එය අස මම සුදුමැලි වීමි. මන්ද යත් අපහසු අවස්ථා මගහැර ගැනීම උදෙසා මම විහිලු බොහොමයක් කල නිසාත් එම විහිලු එම ආකාරය ගත් නිසාත් ය. අවංකවම මම සිත සිටියේ මම කල එම විහිලු අලුත් ඒවා බවයි.විනාශය අතරතුරදී එවැනි විහිළුවක් කලේද යන්න ය මගෙන් ප්‍රශ්න කලාය. ශබ්ද නාග නොකලත් මට පමණක් ඇසෙන පරිදි එසේ විහිළුවක් කල බවට පිළිගන්න ලෙස ය මට බලකර සිටියා ය.

මම දියඇලි ගැන සිතමින් සිටි වෙලාවක මම මටම මෙසේ කියා ගතිමි; “කඩ හැලෙන විශාල ජල කඳ කොතරම් අපුරුද?” එසැනින්ම මම තවත් නව අදහසක් සිතේ පන නැගුණි. “මෙවැනි විශාල ජාල කඳක් අඩ හැලෙනු දකිම කොතරම් විශ්මයජනකද?” යනුවෙන් මම මගේ මුවින් පිට කලෙමි. “එක තමා' ය ජයග්‍රාහී ලීලාවෙන් පැවසුවාය. “එක තමයි සර්පයා කියූ විහිලුව. එකටම තම පළමු වෙස්නට් එක කියලා කියන්නෙත්. එකට මැවීම තරම්ම වයසයි කියලත් සර්පයා කිව්වා.” මේ සිදුවී තිබෙන විනාශයට දොස් පවරාගත යුත්තේ මට නේද?

වසරකය පසු -

කායින් - ඒ අපි ඌට තැබූ නම. මම ඊරි විලෙහි උතුරු ඉවුරේ සිටිද්දී ය ඌව අල්ලාගෙන තිබෙනවා.ඇය ඌව අල්ලාගෙන තිබෙන්නේ අපගේ නිවසේ සිට සැතපුම් දෙකක් හෝ හතරක් අතිනි.(නමුත් අයව තවත් දුර පිළිබද හරිහැටි දැනුමක් නැහැ) ඌ අපිට තරමක් සමාන කමක් පෙන්වනවා. සමහර විට ඒ නෑකමක් වන්නට ඇති. මෙසේ සිතන්නේ මම නොවේ ඇය යි. මට එසේ සිතෙන්නේ නැහැ. ඌ ශරීර ප්‍රමාණයෙන් කුඩා නිසා මට සිතෙන හැටියට නම් ඒ වෙනත් සත්වයෙක්. මාළුවෙක් වන්නට ද පුලුවනි. ඒ මාළුවෙක් දැයි සැකහැර දැන ගැනීමට මම ඌව ජලය තුලට දැමූ විට ඌ ගිලුණි. එසේ දැමූ විට ම ඇය ඇවිත් ඌව ජලයෙන් ගොඩට ගත් නිසා මේ මාළුවෙක් දැයි නිශ්චිතව දැන ගැනීමට හැකි වූයේ නැහැ. මම තවමත් සිතන්නේ ඒ මාළුවෙ කියා. නමුත් මට මගේ සැකය දුරු කර ගැනීමට ඇය මට අවස්ථාවක් ලබා දෙන්නේ ම නැහැ. මට ඇයගේ මෙම හැසිරීම වැටහෙන්නේ නැහැ. මෙම අලුත් සත්වයා ඇයව සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. පෙර දී නම් ඇය සතුන්ව යොදා විවිධ වූ පර්යේෂණ සිදු කරත් මෙම අලුත් සත්වයාගෙන් කිසිදු පරීක්ෂණයක් නොකිරීම හෝ අඩුම තරමේ මටවත් සිදු කිරීමට අවස්ථාව නොදීම මට ගැටලු සහගත යි. 

විටෙක ඇය අලුත් සත්වයා කෑ ගැසීම නවත්වන තෙක් ඌව අතේ තබාගෙන සිටියි. එසේ තබාගෙන සිටියදී ද කෑ ගැසීම නවත්වන්නේ නැත්නම් ඇය අමුතු ශබ්ද නගා ඌව සනසයි. ඇය අනෙක් මාළුන් සමග මෙසේ හැසිරෙනවා මම මීට පෙර දැක නැහැ. එමනිසා එය මගේ ගැටළුව තවත් උග්‍ර කිරීමක්. අපිට උයන අහිමි වීමට කලින් ඇය කුඩා ව්‍යාග්‍රයින් සමග මෙසේ සෙල්ලම් කරත් මේ තරම් සෙල්ලම් කලේ නැහැ. 

ඉරිදා - 

ඇය ඉරිදාට වැඩකරන්නේ නැහැ, නමුත් මාළුව ව ඇඟ මත තබාගෙන දිනය පුරාවට බිම වැතිරී සිටියි. එසේ වැතිර සිටින විට දී ඇය අලුත් සත්වයාගේ අත් සපා කන්නට මෙන් මවා පෑ විට ඌ සිනාසෙයි. මම මීට පෙර මාළුන් සිනාසෙනවා දැක නැත. එමනිසා එයිනුත් මට උපන්නේ සැකයක්. සතියේ අනෙක් දවස් වල මහන්සි වී වැඩ කරන නිසා ඉරිදාවල් නිතර පැමිණෙනවා නම් මම කැමැත්තෙමි.

බදාදා - 

ඒ මාළුවෙක් නොවේ. ඒ කුමන වර්ගයේ සතෙක් ද කියා තවම මා තුල අදහසක් නැත. ඌ නොසතුටු විට අමුතු දඟකාර ශබ්ද නගයි. ඇවිදින්නේ නැති නිසා අපේ වර්ගයේ අයෙක් නොවේ, පියාඹන්නේ නැති නිසා කුරුල්ලෙක් නොවේ, පනින්නේ නැති නිසා ගෙම්බෙක් නොවේ, බඩගාන්නේ නැති නිසා නයෙක් ද නොවේ. ඌට පිහිනන්නට පුලුවන්ද බැරිද යන්න සොයා බැලීමට ඇයබ්මට ඉඩ ලබා නොදුන්නත් ඒ මාළුවෙක් නොවන බව දැන් මට වැටහේ. ඌ නිතරම කකුල් දෙක උඩ දමාගෙන බිම වැතිරී සිටියි. මම මීටපෙරවෙනත් කිසිදි සතෙක් එසේ කරනවා දැක නැහැ. මෙය මට ප්‍රහේලිකාවක් බව මම ඇයට පැවසූ විට ඇය එය අනුමත කරමින් හිස සැලුවා විනා මා කියූ දෙය එතරම් සැලකිල්ලකට ගත්තේ නැහැ. මට දැන් සිතෙන හැටියට නම් මේ යම් වර්ගයක කුරුමිණියෙක් හෝ දැනට නම් නොකෙරුණු සත්වයෙක්. මේ සත්වයා මැරුණහොත් මම ඌව ගෙන කොටස් වලට වෙන් කර, සෑදී ඇත්තේ මොනවායින් දැයි සොයා බලමි. මාව මෙතරම් ව්‍යාකූල කිරීමට සමත් දෙයක් මෙතෙක් තිබී නැහැ. 

මාස තුනකට පසු -

මේ පටලැවිල්ල ක්‍රමක්‍රමයෙන් වැඩි වීමක් මිසක් අඩු වීමක් පෙන්නුම් කලේ නැත. මම දැන් නිදාගන්නේ පෙරට වඩා අඩුවෙන්. අලුත් සත්වයා බිම වැතිරී සිටීම වෙනුවට දැන් කකුල් හතරෙන් ඇවිදියි. නමුත් කකුල් හතරෙන් ඇවිදින අනෙක් සතුන්ගේ මෙන් නොව උගේ ඉදිරි පාද දෙක කෙටියි. මෙම ඇවිදයන ආකාරයෙන් පැවසිය හැකියි මේ සත්වයා අපේ වර්ගයේ අයෙක් නොවන බව. කුඩා ඉදිරි පාද තිබෙන නිසා තවම වර්ගීකරණය වී නොමැති කැන්ගරු පවුලේ අයෙක් වන්නට ද පුලුවනි. මම සිතන ආකාරයට මම නිවැරදියි. ඌ තවම වර්ගීකරණය වී නොමැති නිසා මම ඌට කැන්ගරු පවුලට ගැලපෙන නමක් දැමුවෙමි. - කැන්ගරූරම් ඇඩමෙන්සිස්.

ඌ පැමිණි දා පටන් සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. කලින් සිටියාට වඩා ඌ මේ වන විට පස් ගුණයක් විශාල වී ඇත. නොසතුටු වූ විට කෑ ගැසීම දපෙරට වඩා හයියෙන් සිදු කරයි. මම එය බලෙම් නවත්වන්නට උත්සහ කිරීමෙන් ඇතිවන්නේ ඌ තව ත්වත් හයියෙන් කෑ ගැසීම පමණයි. ඇය නම් ඌට අවශ්‍ය ‍යම් යම් දේවල් ලබා දී උගේ විශ්වාසය දිනාගෙන ඌ සමග මිතුරු වේ. මම පෙර දී පැවසූ ආකාරයට ඌ මෙහි පැමිණෙන විට මම නිවසේ සිටියේ නැත. ඇය පැවසුවේ, ඇය ඌව වනයේ දී දැක රැගෙන ආ බවයි. මේ නිසා මෙවන් තවත් අයෙක් සොයා ගැනීමට මම වනයට ගියෙමි. ඒ මෙවන් තවත් අයෙක් සිටිනා විට ඌව හීලෑ කරගැනීම පහසුවේ යැයි මම සිතූ නිසාවෙනි. උගුල් බොහොමයක් ඇටවුවත් අවාසනාවකට මට තවත් අයෙක් හෝ උන්ගේ සලකුණක් වත් සොයා ගැනීමට හැකිවූයේ නැහැ. ඒ වෙනුවට හසුවූයේ වෙනත් කුඩා සතුන් ය. ඇය ඌව වනයෙන් රැගෙන ආවා නම් මග සලකුණු තිබිය යුතුයි. නමුත් මෙහි ඒ කිසිවක් ඇත්තේ නැහැ. මෙය මගේ ප්‍රහේලිකාවට තවත් ප්‍රශ්නයක් එක් කිරීමක්.

මාස තුනකට පසු -

කැන්ගරුවා දිනෙන් දින පටලැවිලි සහගත ලෙස අපව පුදුම කරමින් වර්ධනය වේ. කැන්ගරුවෙක් මෙවන් ආකාරයට වැඩෙනවා මම දැක නැහැ. උගේ හිස මත මයිල් තිබෙන අතර ඒවා කැන්ගරු මයිල් මෙන් නොවේ. ඒවා සමාන වන්නේ අපගේ කොණ්ඩයට යි. ඒවා අපේ කොණ්ඩයට වඩා සිනිදු වන අතර කළු පැහැය වෙනුවට එය රතු පැහැති යි. මේ හිතුවක්කාර, නිතර හිරිහැර කරන අමුතුම සත්වයා නිසා මගේ හිස මේ වන විට දැඩි වියවුලකට පත්ව තිබේ. මට මේ වගේ තව කෙනෙක් සොයා ගන්නට තිබුනා නම්… නමුත් දැනට මේ වර්ගයෙන් සිටින්නේ මේ සත්වයා පමණයි. මෙයයි අපට තිබෙන එකම නියැදිය. 

මේ සත්වයාට තමන් මෙන් කිසිදු අයෙක් නැති නිසා ඌට තනිකමක් දැනේවි කියා මට සිතුනි. එබැවින් මම දින ගණනක් වෙහෙසී කැන්ගරු පැටවෙක් සොයාගෙන ඌ සමග තැබුවෙමි. නමුත් මේ දෙදෙනාගේ චර්යාවන් එකිනෙකට වෙනස් වූ අතර ඇය හා ඌ අතර තිබෙන සබදකමතරම්වත් සබදකමක් මේ දෙදෙනා අතර ගොඩ නැගුනේ නැත. තමන්ගේ වර්ගයේ කිසිදු අයෙක් නැති නිසා කෙතරම් දුකක් තනිකමක් දැනෙනවා ඇද්ද? මට යම් සතෙක් ගැන මෙවැනි හැඟීමක් මීට පෙර දැනී නැහැ. මෙය මට අලුත් දෙයක්. මට මේ අසරණ සත්වයා ගැන ඇතිවෙන්නේ දුකක්. මෙයාව සතුටු කරන්න මට හැකියාවක් නැහැ. සතුටු කරන්න මම උත්සහ කරන හැම අවස්ථාවකදීම සිදු වන්නේ තත්වය තව තවත් දරුණු වීම පමණ යි. මම කැමතියි මේ අසරණයව නිදහස් කර යන්න හරින්න. නමුත් ඇය මගේ කීම අසන්නේ නැහැ. ඒ අතින් නම් ඇය ඉතා කෲර යි. මේ සත්වයාගේ තනිකම නැති කරන්න මට තවත් සත්වයෙක් සොයා ගන්නට හැකි වූවා නම්… ඒත් මම එවන් සත්වයෙක් සොයා ගන්නේ කොහොම ද?.

මාස පහකට පසු -

ඒ කැන්ගරුවෙක් නොවේ. ඌ ඇයගේ ඇඟිල්ලක් අල්ලාගෙන පසුපස කකුල් දෙකෙන් ඇවිද වැඩි දුරක් යාමට මත්තෙන් ඇද වැටෙයි. සමහරවිට මේ යම් වර්ගයක වළහෙක් වන්නට ද පුලුවනි. නමුත් ඌට තවම වල්ගයක් නෑ. එපමණක් නොව හිසේ හැරුණු විට අන් කිසො තැනක මයිල් නැහැ. මේ සත්වයා තවමත් වර්ධනය වනවා. වළස්සු නම් වර්ධනය වන්නට මෙතරම් කාලයක් ගන්නේ නැහැ. උයනට සිදුවූ හදිසි විපත්තිය දා පටන් වළස්සු ඉතා දරුණු වන්නට ගත්තා. මේ නිසා මට මේ සත්වයා ගැන දැන් බියක් ද ඇති වේ. මම ඇයට පැවසුවා ඇයට කැන්ගරුවෙක් ගෙනත් දුනහොත් මේ සත්වයාට යන්නට ඉඩ හරිනවද කියා. නමුත් ඇය එම යෝජනාවටකැමති වූයේ නැහැ. ඇය විසින් මේ කරනු ලබන මේ මෝඩ දෙයින් අප වැටෙන්නේ මහත් කරදරයකට. ඇයට සිදුවී තිබෙන්නේ කුමක් ද? කලින් මෙන් නොව දැන් ඇයගේ මනස විකෘති වී ඇති බවයි මට වැටහෙන්නේ.

එදිනම රාත්‍රියේ -

මම උගේ කට පරීක්ෂා කරනු ලැබුවෙමි. දැනට නම් එයින් අනතුරක් නැහැ. එහි තිබෙන්නේ එක් දතක් පමණයි. දැන් ඌ පෙරටත් වඩා ශබ්ද නගා කෑ ගසයි. එය වැඩියෙන් ම සිදු කරන්නේ රාත්‍රී කාලයේදී ය. ඒ නිසා ම මම රාත්‍රී කාලයේ දී එතැනින් පිටව සිටියි. උදෑසන ආහාරය සදහා නැවත පැමිණි විගස තවත් දත් පැමිණ ඇත්දැයි කියා මම උගේ කට පරීක්ෂා කර බලමි. ඒ කට පුරා දත් ආ විට උට මෙහෙන් පිටව යාමට කාලය පැමිණ තිබෙන නිසාවෙනි. වළසුන්ට රෝම තුනා හෝ නැතා දත් තිබුනහොත් උන් දරුණු වීම මීට හේතුවයි.

මාස හතරකට පසු -

පසුගිය මාසයපුරාවට මම ‘මී හරකා’ නමින් හැදින්වූ පෙදෙසේ මාළු අල්ලමින් හා දඩයමේ යමින් සිටියේ ය. මට තවම තේරෙන්නේ නැත්තේ එහි මී හරකුන් නැතත් ඇය එම නම දැමුවේ ඇයි ද යන වග. මේ අතරතුර අලුත් සත්වයා පසුපස කකුල් දෙකෙන් ඇවිදින්නට පටන් ගත් අතර ඌ “අම්මා” “තාත්තා” යන වචන පවසන්නට ද පටන් ගෙන තිබෙනවා. මේ වක්ජන නම් හිතාමතා කියූ දෙයක් වන්නට බැහැ. මේවාට කිසිදු තේරුමක් වත් නැහැ. නමුත් එසේ පැවසීම ඉතා අපූර්ව මෙන්ම අසාමාන්‍ය දෙයක්. වළසුන්ට එසේ කතා කිරීමට නොහැකි වීම ඊට හේතුවයි. මෙම සත්වයාට අනෙක් වළසුන් මෙන් මයිල් නැති නිසා ද වළසුන් මෙසේ කතා නොකරන නිසා ද මේ සිටින්නේ අලුත් ම වර්ගයක වළසෙක් විය යුතුයි. මෙම නව වළසා ගැන අධ්‍යනය කිරීම ඉතා සිත් ගන්නා සුළුයි. මගේ අදහසක් තිබෙනවා උතුරු පෙදෙසේ ඇති වනාන්තර වල සංචාරය කරන්න. එවිටවත් මෙම නව වර්ගයෙන් තව අයෙක් මට සොයා ගන්නට පුලුවන් වේවි.

මාස තුනකට පසු -

දඩයම් කිරීම නිසා මා දැන් ඉතා වෙහෙසට පත් වී තිබේ. කෙතරම් වෙහෙසුනත් කිසිදු දඩයමක් මෙතෙක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ. මේ අතරතුර අපහේ නිවස පිහිටි පෙදෙසින් මාව පුදුම කරවන තොරතුරක් දැනගන්නට ලැබුණි. ය තවත් අයෙක් අල්ලාගෙන! එවන් දෙයක් කිරීමට මට කිසිදු වාසනාවක් ඇත්තේ නැහැ. මම මෙම කැලයේ වසර සිය ගණනක් දඩයමේ ගියත් එවන් අයෙකු සොයා ගැනීමට හැකිවනු ඇති මම සිතන්නේ නැහැ.

ඊළඟ දිනය -

මම දැන් අලුත් එක සහ පරණ එක සංසන්දනය කරමින් සිටිමි. ඔවුන් දෙදෙනා බොහෝ දුරට සමාන වන අතර දෙදෙනාම එකම වර්ගයකට අයත් වේ. පරණ එක්කෙනා දැන් අලුත් එක්කෙනාට වැඩ හිලෑ වී තිබේ. දැන් ඌට ගිරවෙකුට මෙන් අනුකරණය කරමින් කතා කල හැකියි. එසේ ගිරවෙකු මෙන් කතා කරන විට මම පුදුම වුව ඌ වෙනත් වර්ගයක ගිරවෙක්ද කියා. නමුත් එය එසේ නොවේ. අලුත් එක්කෙනා පරණ කෙනා මුලදී මෙන් ප්‍රියමනාප නොවේ. ඇය ඌට ආබෙල් යැයි කියයි. 

වසර දහයකට පසු -

බොහෝ කාලයකට කලින් අපිට හමුවුණු ඒ දෙනෙනා පිරිමි ළමයින්. කුඩා කාලයේදී අක්‍රමවත්ව ඔවුන් සිටි නිසයි අපිට ඔවුන්ව හරිහැටි හදුනාගැනීමට නොහැකි වුයේ. දැන් ගැහැණු ළමයින් කිහිප දෙනෙකුත් අපට සිටිනවා. ආබෙල් හොද ළමයෙක්. නමුත් කායින් නම් එසේ නැහැ. වසර ගණනාවකට පසු මට දැන් වැටහෙනවා මුලදී මම එව ගැන සිත සිටියේ වැරදි ආකාරයට බව. උයන තුල ඇය නොමැතිව සිටිනවාට වඩා උයනෙන් පිට ඇයත් සමග සිටීමට මම ප්‍රිය කරමි. මුලදී මම, ඇය නිතර දෙවේලේ කතා කිරීම ගැන යට දොස් පැවරුවත් දැන් අයගේ කටහඩ අහන්නට නොමැති වීම නිසා මට මහා දුකක් ඇති වේ.

[ආදම්ගේ දිනපොතෙන් කොටසක් යන අවසාන කොටසින් හමුවෙමු]


Monday, July 1, 2019

ආදම් සහ ඒවගේ දිනපොත - 1 කොටස (පරිවර්තනය)



[කෙටි කතාව කියවීමට පෙර -

 මෙම කෙටි කතාවේ මුල් කර්තෘ ලෙස සැමුවෙල් ලැන්ග්හෝර්න් ක්ලෙමෙන්ස් මහතා හැදින්විය හැකියි. ඔහුව ලොව පුරා වෙසෙන පාඨකයන් හදුනාගන්නේ මාක් ට්වේන් යන නාමයෙනි. අදින් සියවසකට අදික කාලයකට පෙර එනම් 1905 වසරේදී එලිදැක්වුනු Eve's Diary යන කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි පහත ඔබට කියවීමට තිබෙන්නේ. මෙම කෙටි කතාව කොටස් තුනකින් යුක්තයි. ඒ ඒවගේ දිනපොත සහ ආදම්ගේ දිනපොත වශයෙනි. 

බයිබලයේ උප්පත්ති පොතේ සදහන් පලමු මිනිසුන් දෙදෙනා ලෙස ආදම් සහ ඒව දැක්විය හැකියි. මෙම කෙටි කතාව ආරම්භ වන්නේ ඒවගේ දිනපොතෙනි. ඇය දිනපොතක් ලිවීමට සිතන්නේ ඇයව මැවීමට පෙර සිදුවූ කිසිදු දෙයක් ඇයගේ මතකයේ නොවූ නිසාය. කුඩා දරුවෙකුට මෙන් ඇයට සෑම මොහොතක්ම නැවුම් මෙන්ම අලුත්. කෙටි කතාව කියවා ඔබගේ අදහස් පහතින් දක්වන්න. ] 

සෙනසුරාදා - 

මගේ වයස දැන් සම්පූර්ණ දිනයක්. මා පැමිණියේ පෙර දිනයි. මට පෙනෙන ලෙසට එය එසේ විය යුතුයි. ඊයේ දිනට කලින් දිනයක් තිබුනා නම් මා එදින නොසිටින්නට ඇති. සමහර විට මගේ මතකයෙන් එය ගිලිහී ගියා වන්නට ද පුලුවනි. එසේත් නොවේ නම් එදින සිදුවූ දේවල් මා එය එතරම් සැලකිල්ලකට නොගත්තා වන්නට ද පුලුවනි. කෙසේ හෝ මා දැන් හොද අවධානයෙන් සිටිය යුතුයි. ඊයෙ දිනයට පෙර දිනක් තිබුනා නම් දැන් මට එය මතක නැති බැවින් දැන් සිදුවන සියලු දේ වාර්තා කිරීම නුවණට හුරුයි. එවිට සියලුම දේ පැහැදිලියි. අනාගතයේ දී ඉතිහාසඥයින්ට මගේ වාර්තා උපකාරයක් වන්නට පුලුවනි.

 සමහර වේලාවන් වලට මම කුමන හෝ අත්හදාබැලීමක් දැයි සිතෙයි. කෙනෙකුට තමන් අත්හදාබැලීමක් ලෙස හැඟීම සිදු විය නොහැකි දෙයක් ලෙස සිතෙන්නට පුලුවන්. නමුත් මට මා අත්හදාබැලීමක් ලෙස හොදටම දැනෙනනවා. මා අත්හදාබැලීමකට වඩා වැඩි දෙයක් නොවේ.

මා එක්තරා ආකාරයක අත්හදාබැලිමක් නම් මම එහි සම්පූර්ණ කොටස ද? නැහැ, මම එසේ සිතන්නේ නැහැ. මට සිතෙන ආකාරයට මම හැර අනෙක් දේවල් ද මෙම අත්හදාබැලීමේ කොටසක්. මම එහි මූලික කොටස, නමුත් අනෙක් ඒවාටත් අයිතිවාසිකම් තිබෙනවා මේ සම්බන්ධව. එහෙම නැත්නම් මම මේ අවට දේවල් රැකබලා ගත යුතු ද? මා තුල තිබෙන සමහර ඉඟි කිරීම් මගින් පැවසෙන්නේ සදාකාලික සිහි බුද්ධියෙන් පසුවීම වඩා වැදගත් බවයි. [මා වැනි තරුණ අයෙක්ට එය හොද කියමනක්]

ඊයෙට වඩා අද දවස හොදයි. ඊයෙ දවස ඉක්මනින් අවසන් කිරීමට යාමේ ප්‍රථිපල විදිහට සමහර කඳු එතරම් හොද තත්වයෙන් නිමවන්න හැකියාවක් ලැබී නැහැ. සමහර තැනිතලා එතරම් ප්‍රියමනාපත් නැහැ. මේ අතර චෝදනාවට ලක් නොවිය යුතු අතිවිශිෂ්ට අලංකාර නිර්මාණ තිබෙනවා. මේ ශ්‍රේෂ්ඨ නව ලෝකය ඒ අතිවිශිෂ්ට නිර්මාණ වලින් එකක්. සමහර ස්ථාන වල තරු වැඩිපුර තිබෙනවා ඒත් සමහර ස්ථාන වල එහෙම නැහැ. කිසි සැකයක් නැහැ, ඒකට කුමක් හෝ ප්‍රථිකාරයක් කළ හැකියි. ඊයෙ රාත්‍රියේ හඳ ක්‍රමක්‍රමයෙන් පල්ලම් බැස පහළට වැටිලා නැතිවෙලා ගියා. ඒක විශාල පාඩුවක්, එය ගැන මතක් වන විටත් මට ඇතිවෙන්නෙ දුකක්.

එය කොතැනකට ගියාද කියා කිසිදු සටහනක් දක්නට ලැබුනේ නැහැ. නමුත් කවුරුන් හෝ එය ලබාගත්තා නම් අනිවාර්යයෙන්ම එය සඟවා ගනීවි. මා එය හොඳාකාරවම දන්නවා. මන්ද මට වුවත් එසේ අවස්ථාවක් ලැබුනහොත් මම සිදුකරන්නේත් එයමයි.

තරු ගැන කතා කළහොත් ඒවාත් ඒ වගේම හොදයි. ඒවායින් කිහිපයක් මගේ කොණ්ඩය මත තබාගන්න මම ආසාවකින් පසුවෙමි. නමුත් අවාසනාවකට මට එය කල නොහැකි වේවි. අපට එය ළඟින් තිබෙනවා යැයි පෙනුන ද එය කෙතරම් දුරින් තිබෙනවා ද යන්න දැනගතහොත් ඔබ පුදුම වනු නිසැකයි. පෙරදින රාත්‍රියේ ඒවා පලමු වරට දර්ශනය වුනු අවස්ථාවේ මම ඒවාට දඬු කැබැල්ලකින් ගසා ලබා ගන්නට උත්සහ කල නමුත් එකදු තරුවක්වත් ලබා ගැනීමට මට හැකියාව ලැබුනේ නැත. ඉන්පසු මම වළාකුළු වලට උත්සහ කරත් එයත් මට ලබා ගැනීමට නොහැකි විය. සමහරවිට එසේ වූයේ මා වමත් නිසා වෙන්නට පුලුවනි. අනික් කාරණය මට හොදහැටි විසිකිරීමේ හැකියාවකුත් නැහැ. මම එකකට එල්ලය රැගෙන දණ්ඩ විසි කරත් එය යන්නේ වෙනත් දිශාවකට. නමුත් මම සමහර ඒවාට ආසන්නයෙන් යැව්වා. හතලිස් හෝ පනස් වතාවක් වළාකුළකට දණ්ඩ විසි කළාට පසුව කුඩා සිදුරක් ඇතිවී තිබෙනවා මා දුටුවා. මා තව ටික වේලාවක් එසේ කරමින් සිටියානම් විටෙක මට වළාකුලකින් කොටසක් ලබා ගන්නට අවස්ථාවක්ද තිබුණි.

මේ නිසා මම ටිකක් ඇඬුවෙමි. මා සිතන අන්දමට මාගේ වයසේ අයෙකුට මෙය සාමාන්‍ය දෙයක්. ටික වේලාවක් විවේක ගත පසු මම කුඩයක් ගෙන නිමි වලල්ලේ ස්ථානයක් සෙවීමි. එය සෙවීමට හේතු වුයේ එවන් ස්ථානයක තරු පොළොවට ඉතා ලඟින් පිහිටි නිසාවෙන්. එවිට තරු වලට කිසිදු හානියක් නොකර ඒවා මට අල්ලා ගත හැකියි. කෙසේ නමුත් එය මා සිතනවාට වඩා අපහසුයි. මම එයට කිට්ටු වන විට එය තව තවත් ඈතට යයි. මේ නිසා අවසානයේ මගේ උත්සාහය ව්‍යාර්ථ විය. තවත් අඩියක්වත් ඉදිරියට යාමට නොහැකි වන ලෙසට මහා මහත් , මහන්සියක් දැනුනි. ඇරත් මගේ කකුලේ ඇතිවූ තුවාලය මට බොහෝ වේදනා දෙන්නක් විය.

එන්න එන්නම සීතල වීමට පටන් ගත් නිසාවෙන් හා නිවසින් බොහෝ දුරකට මා පැමිණ සිටි නිසා මට නැවත නිවසට යාමට නොහැකි විය. නමුත් මට ව්‍යාග්‍රයින් හා ඔවුන් සිටි ගුහාවක් සොයා ගැනීමට පුලුවන්කම ලැබුණි. එය ඉතාමත් සැපපහසු එකක් වූ අතර උන්ගේ හුස්ම ඉතාමත් මිහිරිය. මම මීට පෙර ව්‍යාග්‍රයෙක්ව දැක නොතිබුණි. නමුත් උන්ගේ සමේ තිබුණු පටි නිසාවෙන් උන්ව දුටු සැටියේම මම අඳුනගත්තෙමි. එම පටි වලින් එකක් මටත් තිබුනා නම් එයින් අලංකාර ගවුමක් සාදාගන්න තිබුණි. 

අද දින මම පෙරට වඩා දුරවල් පිලිබඳව වඩා හොද අදහසක් ලබා ගතිමි. මා ඉතාමත් කුතුහලයෙන් සිටින නිසාවෙන් දකින දකින සෑම අලංකාර දෙයක්ම අල්ලන්නට උත්සහ කරයි. සමහර ඒවා පෙනුමෙන් අඟල් හයක් පමණ ඈතින් තිබෙන බවට පෙනුනත් ඇත්තෙන්ම එය අඩියකට වඩා දුරින් පිහිටයි.

ඊයේ දින සවස මම තරමක් දුරින් සිට අනික් පරීක්ෂණය පැමිණ ඇත්තේ කුමක් සදහාදැයි සොයා බැලීමට ගියෙමි. නමුත් මට එය සොයා ගැනීමට හැකිවුනේ නැත. මා සිතන ආකාරයට ඒ පිරිමියෙක්. මම මීට පෙර පිරිමියෙක් දැක නොතිබුනු නමුත් ඒ පිරිමියෙක් බව මට හැඟෙයි. අනෙකුත් ක්ෂීරපායීන්ට වඩා ඌ පිලිබඳව වැඩි කුතුහලයක් මා තුල හටගත් බව කිව යුතුයි. ඌට උකුලක් නොතිබූ අතර සිරුර ක්‍රමක්‍රමයෙන් සිහින් වී යන කැරට් අලයක් මෙන් ය. ඌ සිටගත් විට අවයව විහිදී යන නිසා ද ඌ ක්ෂීරපායියෙක් ලෙස මම සිතමි. 

පලමුව මම ඌට බිය වුනෙමි. ඌ එහෙ මෙහෙ හැරෙන විට මම උගෙන් ඉවතට දිව ගියාය. ඌ කෙරෙහි මා තුල හටගත් බිය ක්‍රමයෙන් අඩු වූ විට මම පැය කිහිපයක් තිස්සේ ඌට යාර විස්සක් පිටුපසින් ඌව ලුහුබැන්දෙමි. එය මාව කැළඹූ අතර අසතුටු කලාය. ඉන්පසු මම ගසකට නැග තරමක් වේලා බලාගෙන සිට මෙම වැඩට අතහැර දමා නැවත නිවස වෙත පියමං කෙරුවෙමි.

අදත් සුපුරුදු පරිදි එය ම සිදුවිය. මම ගස උඩ අවදි වූයෙමි.


ඉරිදා -

විවේක ගනිමින් ඌ තවමත් එතැනය. නමුත් එය රැවටීමක්. ඉරිදා යනු විවේක ගන්නා දවස නොවේ. ඒ සඳහා නියම වී ඇත්තේ සෙනසුරාදා දිනටයි. මට පෙනෙන ආකාරයට මෙම සත්වයා අනෙක් සියලුම වැඩ වලට වඩා විවේකයට කැමැත්තක් දක්වයි. නමුත් මටනම් විවේක ගැනීම ඉතා වෙහෙසකරයි. එකතැන ඉඳගෙන ගසක් දෙස බලා හිඳීම මට වෙහෙසකරයි. ඌ කුමක් සදහා මෙහෙ පැමිණියාදැයි මට සිතාගන්නට අපහසුයි. ඌ කිසිවක් කරනවා මා මෙතෙක් දුටුවේ නැත. 

පෙරදින රාත්‍රියේ දි ඔවුන් නැවත චන්ද්‍රයා ලබාදුන්නේය. මම සිතන ආකාරයට ඔවුන් ඉතා කරුණාවන්තයි. නමුත් ඊයේ නැවත චන්ද්‍රයා ලිස්සී පහළට වැටුණ නමුත් මම එයින් වික්ෂිප්ත වූයේ නැත්තේ එය නැවත පැමිණේ යැයි බලාපොරොත්තුවක් මා තුල තිබූ නිසාවෙනි. චන්ද්‍රයා නැවත ගෙනා අයට මාගේ කෘතඥතාව පෙන්විය හැකිනම් කියා මට සිතෙනවා. අපට තරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා එයින් කිහිපයක් ඔවුන්ට යැවීමට මම කැමැත්තෙන් සිටිමි. අප කීවාට අප නොවේ මම. 

ඌගේ ආශාවල් ඉතා පහත් හා අකාරුණිකයි. මම ඊයේ ඌ සිටිනා තැනට ගිය විට ඌ වතුරේ සිටි තිත් සහිත මාළුන් ඇල්ලීමට වෙහෙසෙනවා දුටිමි. නමුට් ඒ කුමක් සඳහා ද? ඌට හදවතක් නැති ද? ඌ කිසිදු අනුකම්පාවක් දැනෙන්නේ නැති සත්වයෙක් ද? නමුත් ඌ වචන භාවිත කර කතා කරනවා මගේ කනට ඇසුනි. එයින් මා උද්ධාමයට පත් විය. මන්ද මා ඊට පෙර මම හැර වෙන අයෙකු කතා කරනවා අසා තිබුනේ නැති නිසාවෙනි. මට එම වදන් නොතේරුනත් එහි යම් අරුතක් තිබෙන බව හැඟෙනවා. 

ඌට කතා කල භැකි බව දැනගත් විට මට ඌ කෙරෙහි නව කැමැත්තක් ඇති විය. මම කතාකිරීමට දැඩි කැමැත්තක් ඇත්තෙමි. මුළු දවස පුරා කතා කිරීමට මම දක්වන්නේ දැඩි කුතුහලයක්. කතා කිරීමට තවත් අයෙක් සිටියහොත් එම කුතුහලය දෙගුණ වේවි. 

මෙම ක්ෂීරපායියා මිනිසෙක් නම් මම එම සත්වයාට ‘ඌ’ ලෙස ආමන්ත්‍රණය කිරීම වැරදියි. ව්‍යාකරණනානුකූලව නම් මම එම සත්වයාට ‘ඔහු’ ලෙස ආමන්ත්‍රණය කල යුතුයි. එමනිසා මෙම සත්වයා කවුරුදෝ යන්න නියත වශයෙන්ම සොයාගන්නා තෙක් ඔහු ලෙස ආමන්ත්‍රණය කිරීම හොද යැයි සිතේ. අඩමාන කරුණු විශාල වශයෙන් තබාගෙන සිටිනවාට වඩා එය පහසුයි. 

ඊළඟ සතියේ ඉරිදා - 

පසුගිය සතිය තුලම මම ඔහු සමග එකටම සිටිමින් ඔහුට මාව හදුන්වාදෙන්න උත්සහ කලෙමි. ඔහු තරමක් ලැජ්ජාශීලී අයෙක් වූයෙන් සම්පූර්ණ කතා කිරීම මට ම සිදු කිරීමට සිදුවිය. මම ඔහු සමග චාටු බස් දොඩන නිසාවෙන් මම ඔහු අසල සිටීම ඔහු ප්‍රිය කරන බව මට හැඟෙමි. 

බදාදා -

දැන් අප දෙදෙනා එකට ගත කරන කාලය වෙනදට වඩා වැඩි වන අතර අප ක්‍රමක්‍රමයෙන් හොදින් එකිනෙකා හදුනාගනිමින් පවතිනවා. පෙරදී මෙන් මම ඔහු අසල සිටීම ඔහු වළක්වන්නේ නැත. එය හොද සලකුණක්. එනම් ඔහු අසල මම සිටීම ගැන ඔහු කැමැත්තෙන් සිටිනවා. එය මට සතුටක්. ඔහුගෙන් පැසසුම ලැබීමට මම හැකි සෑම අයුරකින්ම ඔහුට උපකාර කලෙමි.

පසුගිය දින දෙක තුල සතුන් නම් කිරීමේ සම්පූර්ණ වගකීම මම බාරගතිමි. මෙය ඔහුට විශාල සහනයක් විය. සතුන් නම් කිරීම සම්බන්දයෙන් නම් ඔහුට තලෙන්තයක් නැත. සතෙක් දුටු විට ඌට සුදුසු නමක් ඔහුට කල්පනා වන්නේ නැති අවස්ථාවල දී මම ඔහුගේ ඒ අඩුපාඩුව ගැන දැනුවත් නැති බව ඔහුට හඟවමි. සතෙක් දිටු විට ඔහු ඌට නමක් කල්පනාකරමින් සිටින විට මම ඔවුන්ට නම් තමා ඔහු ලැජ්ජාවීමෙන් වළක්වා ගන්නෙමි. සතුන් නම් කිරීම සම්බන්දයෙන් නම් මට කිසිදු අඩුපාඩුවක් නැත. සතෙක් දුටු විටම උගේ හැඩයෙන් හා ක්‍රියාවෙන් ඌ කවුදැයි කියා කිසිදු පැකිලීමකින් තොරව මට පැවසිය හැකියි. 

ඩෝඩෝ පක්ෂියා පැමිණෙන විට ඔහු සිතුවේ ඒ කැලෑ පූසෙක් කියා. නමුත් මා ඔහුව බේරාගත්තා සිදුවීමට ගිය වැරැද්දෙන්. මම මේ දේවල් සිදු කළේ ඔහුගේ ගෞරවයට හානියක් නොවන ආකාරයටයි. නමුත් සත්වයෙක්ගේ නම මම දැනගෙන ඔහු නොදන්නා විට ඔහුට තරමක සිත් රිදවීමක් ඇති නොවනවා ද නොවේ. එසේ නම් තබන විට ඔහු මාව අගයද්දි එය හොදින්ම වැටහෙනවා. නිදාගන්නා අතරතුර ත් ඔහුගේ සිත මම රිදෙව්වා ද යන්න කල්පනා කළෙමි. මෙවැනි කුඩා දේවල් වලින් අපි අපිව සතුටු කරගන්නට හැකි නම් එය කෙතරම් වටිනවාද !


බ්‍රහස්පතින්දා -

මගේ පලමු දුක. ඊයේ ඔහු මා සමග කතා කිරීමෙන් වැලකී සිටියේය. මට එය විශ්වාස කල නොහැකි විය. කුමක් හෝ අත්වැරැද්දක් සිදුවී තිබේ. මම ඔහු සමග සිටීමට කැමතියි, ඔහු සමග කතා කිරීමට කැමතියි. මම කිසිවක් නොකර තිබියදී ඔහු මට මෙසේ අකාරුණික ලෙස සලකන්නේ ඇයි? අවසානයේ අප දෙදෙනා පලමුව හමුවූ එනම් අප දෙදෙනා නිර්මාණය කල ස්ථානයට මම ගොස් තනිවම එතැන හිඳගෙන සිටියෙමි. ඔහුට සිදුවී ඇත්තේ කුමක්දැයි කියා මට තේරෙන්නේ නැහැ. දැන් අවට පරිසරයම ශෝකාකූල ස්වරූපයක් උසුලන්නේ. මගේ හදවතත් දැඩි දුකකින් පෙළෙනවා. මට මීට පෙර මෙවැනි හැගීමක් දැනී නැහැ. එය හරිම අද්භූතයි වගේම මට එය දරා සිටීමට නොහැකියි. 

රාත්‍රිය පැමිණි විට මට තනිකම දරාගැනීමට නොහැකි වූ නිසා ඔහු නවාතැන් ගැනීමට සෑදූ නව ස්ථානය වෙත ගියෙමි. එසේ ගියේ මම කල වරද කුමක්දැයි අසා එය නිවැරදි කරගෙන ඔහුගෙන් නැවත කරුණාව මා වෙත ලබා ගැනීමටයි. නමුත් ඔහු මාව ඇතුලට නොගෙන වැස්සේ එලියට දැම්මේය. මෙය මාගේ පලමු දුකයි.


ඉරිදා -

නැවතත් ඉතාමත් පැහැබර දිනයක් සහ මම ඉන්නේ සතුටින්. නමුත් පසුගිය දින කිහිපය ඉතා අපහසුව ගෙවුණි. ගිය දේවල් වලට මට කිසිවක් කළ නොහැකි නිසා ඒ ගැන නොසිතා සිටිමි. 

මම ඔහුට ඇපල් කිහිපයක් අරන් දීමට උත්සහ කල නමුත් මට තවම කෙලින් විසි කිරීමට නොහැකි නිසා එය බැරිවිය. ඔහුව සතුටු කල හැකි හොද ක්‍රමයක් ඒ. ඒවා අපට තහනම් කර ඇති නිසා එයින් මට යම් හානියක් සිදුවේ යැයි ඔහු පවසයි. නමුත් මට හානියක් සිදුවන්නේ ඔහුව සතුටු කිරීමට ගොස් නම් මම මට සිදුවන හානිය ගැන සිතන්නේ ඇයි?


සඳුදා -

ඔහු කැමැත්තක් දක්වයි කියා සිතා මම අද උදෑසන ඔහුට මගේ නම පැවසුවෙමි. නමුත් ඔහු එය සැලකිල්ලකට ගත්තේ නැත. එය අමුතුයි. ඔහු මට ඔහුගේ නම පැවසුවා නම් මම ඒ ගැන සැලකිල්ලක් දක්වමි. මන්ද අනෙක් ශබ්ද වලට වඩා එය ඇසීම මගේ කනට මිහිරක් නිසා.

ඔහු කතා කරන්නේ අඩුවෙන්. සමහරවිට එසේ වන්නේ ඔහු එතරම් දක්ෂ අයෙක් නොවන නිසා වන්නට ද පුලුවනි. එමෙන්ම ඔහු එය සැඟවීමට උත්සහ කරනවා. නමුත් මම ඔහුට ඉගැන්විය යුතුයි වටිනාකම් තැන්පත් වී ඇත්තේ හදවතේ බව. ඔහුට ඒත්තු ගැන්විය යුතුයි හොද ආදරණීය හදවතක් තිබීම ම පොහොසත්කමක් කියා. එය නොමැති නම් බුද්ධිය ඵල රහිත දෙයක්. 

ඔහු අඩුවෙන් කතා කලද ඔහු සැලකිය යුතු තරම් හොද වාග් මාලාවක් භාවිතා කරයි. අද උදෑසන ඔහු ඉතා හොද වචනයක් භාවිතා කල අතර එම වදන ඔහු කිහිප වතාවක්ම භාවිතා කලේය. මෙය ඔහුට හිමිව ඇති ඉතා හොද කලාවක්. සැකයක් නොමැතිව මෙම බීජය වගා කලගොත් ඉතා හොඳින් වැඩෙනු නියතයි. 

ඔහුට එම වදන සොයාගත්තේ කොහෙන් ද? මම එම වදන භාවිත කල බවක් මට මතක නැත.

ඔහු මගේ නම ගැන කිසිදු උවමනාවක් දැක්වූයේ නැත. මම මගේ බලාපොරොත්තු සුන් වීම සැඟවීමට උත්සහ කලද එය සාර්ථක වූයේ ද නැත. එමනිසා මම පාසි බැඳුනු ඉවුරට ගොස් ජලය තුලට කකුල දමාගෙන සිටියෙමි. කාත් සමග හෝ කතා කිරීමට අවශ්‍ය වූ විට මා යන්නේ එතැනටයි. දැඩි තනිකමට වඩා ජලයේ ඇඳී ඇති සුදුපාට අලංකාර සිරුර වඩා වටිනවා. මම කතා කරන විට එයත් කතා කරනවා; මම දුකින් සිටින විට එයත් දුකින් සිටිනවා; එයාගේ අනුකම්පාවෙන් එයා මාව සනසනවා. “හිත් අධෛර්ය කරගන්න එපා යාලුවෙක් නැති අසරණ කෙල්ල; මම ඔයාගෙ යාලුවා වෙන්නම්.” ලෙස එයා පවසනවා. එයා හොද යාලුවෙක් මට, මගෙ එකම යාලුවා; එයා මගේ සහෝදරිය. 

පළමු වතාවට මට ඇයව උවමනා වෙලාවේ ය මාව අතරමං කලා. මා කිසි දිනක මෙය අමතක කරන්නේ නැහැ. “මට තිබුන එකම දේ එයා, දැන් එයත් මාව දාලා ගිහින්! මට තවත් මේක දරාගෙන ඉන්න බැහැ!” යැයි මම ශෝකයෙන් පවසා අත් දෙකෙන් මුහුණ වසා ගත්තෙමි. නමුත් මට එයින් සැනසිල්ලක් ලැබුනේ නැත. නමුත් ටික වේලාවක් ගතවූ විට ඇය සුදුවට දිලිසෙමින් නැවත පැමිණියා ය. එම සතුට දරාගත නොහැකිව මම ඇගේ අත් තුලට පැන්නෙමි.

මම මීට පෙර සතුට අත්දැක ඇතත් මෙවැනි සතුටක් අත්දැක්කේ නැත. එදායින් පසු මම ඇයව අවිශ්වාස නොකෙරුවෙමි. සමහර දාට ඇය මගෙන් පැයක් දෙකක් හෝ දවසක්ම ඈත්ව සිටියි. නමුත් මම ඇයව අවිශ්වාස නොකර ඇය එනතුරු බලාගෙන සිටියෙමි. “ඇය කාර්යබහුල වෙන්න ඇති. සමහරවිට ඇය කොහේ හෝ දුර ගමනක් යන්නට ඇති.” යැයි එවැනි වේලාවට මම මටම කියාගන්නේ ඇය නැවත එන බවට විශ්වාසය සමගයි. රාත්‍රියට ඇය පැමිණෙන්නේ නැත්තේ ඇය ලෙහෙසියෙන් බියට පත්වන අයෙක් නිසා වන්නට පුලුවනි. නමුත් චන්ද්‍රයා සිටියහොත් ඇය පැමිණෙයි. මම නම් අඳුරට භිය වන්නේ නැත. නමුත් ඇය මට වඩා බාලයි, ඇය ඉපදුනේ මට පසුවයි. මගේ ජීවිතයේ අමාරු අවස්ථා වලදී මට රැකවරණය දෙන්නේ ඇයයි.


බ්‍රහස්පතින්දා - 

සම්පූර්ණ උදයේම මම සිදු කරමින් සිටියේ මා සිටින පෙදෙස සකසාගැනීමයි. මම ඔහුගෙන් උවමනාවෙන්ම ඈත්ව සිටියේ ඔහුට තනිකම දැනී මා වෙතට එයි කියා සිතමිනුයි. නමුත් ඔහු පැමිණියේ නැත. 

දවල් වරුව වන විට මම කරමින් සිටි වැඩ නවතා දමා මී මැස්සන් හා සමනළයන් සමඟ විනෝද වන්නට පටන් ගත්තෙමි. මී මැස්සන් හා සමනළයන් අහසේ සිටින දෙවියන්ගේ සිනහව අල්ලාගෙන මල් වල ඒවා තැන්පත් කරයි. මම එම මල් එකතු කරමින් මල් මාලයක් සාදා මම එයින් සැරසීගෙන දිවා ආහාරය සදහා සූදානම් වුනෙමි. මා දිවා ආහාරය සදහා ගත්තේ ඇපල් ය. ඉන්පසු මම ගසක් යට හෙවනකට වී ඔහු එනතුරු බලා සිටිය ද ඔහු පැමිණියේ නැත. 

ඔහු මල් වලට කැමැත්තක් දක්වන්නේ නැත. ඔහු එවාට ජරාවක් කියා පවසයි.*** ඔහු මා ගැන තකන්නේ නැත, මල් ගැන තකන්නේ නැත, එපමණක් නොව අලංකාරව වර්ණ ගැන්වී ඇති අහස ගැන ද ඔහු තකන්නේ නැත. ඔහු තකන්නේ හොද පිරිසිදු වැස්සෙන් බේරීමට මඩුව සැකසීම, කොමඩු වලට තඩිබෑම සහ ග්‍රේප්ස් පරීක්ෂා කිරීම හා ගස්වල ඇති පලතුරු වලට එම ගුණාංග ලැබුනේ කෙසේදැයි සොයා බැලීමට ඒවාට ඇහිලි ගැසීම ගැන පමණි.

මම පොළොවේ වළක් හාරා වියළුනු දර කැබලි කිහිපයක් ගෙන එකමත එක ගොඩ ගැසූ විට ටික වේලාවකින් එම වල තුලින් නිල් පැහැති දැල්ලක් පැමිණෙනු මම දුටිමි. මෙය මීට පෙර සිදු නොවූ දෙයක් නිසා ත් මේ යම් කිසි ආත්මයක් යැයි මම සිතූ නිසා ත් ඊටත් වඩා මේ සිදු වූ දෙයින් මම බියට පත් වූ නිසා අත තිබූ දෑ සියල්ල විසි කර එතැනින් දිව ගියෙමි.

තරමක් දුරට දිව ගොස් පර්වතයක් පිටුපස සැඟවී, ආත්මය මගේ පසුපස ලුහුබැඳ පැමිණෙනවා දැයි බැලුවත් එසේ පැමිණෙන වගක් නොදුටු නිසා ඒ දෙසට හෙමිහිට ඇවිද ගියෙමි. දර ගොඩ තිබුණු ස්ථානයේ රෝස පැහැති කුඩ ස්පර්ෂ කල විට ම දරුණු වේදනාවක් දැනුණි. එවෙලේම ඇඟිල්ල කටට දමා ගෙන වේදනාව අඩු කර ගත් අතර ඉන්පසු මේ කුඩ කුමක්දැයි පරීක්ෂා කිරීමට සූදානම් විය.

ඒ රෝස පැහැති කුඩ කුමක්දැයි දැනගැනීමට මම ඉතා කුතුහලයකින් පසුවුනෙමි. ක්ෂණයෙන් එහි නම මගේ මතකයට පැමිණි අතර මම මීට පෙර එම නම අසා තිබුනේ නැත. ඒ ගින්දර! මට ඒ ගැන හොදටම විශ්වාසයි. එබැවින් කිසිදු පැකිලීමකින් තොරව මම එයට එම නම තැබුවෙමි. - ගින්දර.

මීට පෙර නොතිබූ දෙයක් මවිසින් නිර්මාණය කල අතර ලෝකයේ නොගිනිය හැකි දේවල් වලට නව නිර්මාණයක් එක් කලෙමි. මට මෙය දැනුනු විට මගේ ජයග්‍රහණය ගැන මට ආඩම්බරයක් ඇතිවිය. එසමගින්ම මම දිව ගියේ මේ ගැන ඔහුට පැවසීමටයි. ඒ ඔහු තුල මා පිලිබඳ හැගීම උසස් කිරීමට මෙම තොරතුරෙන් හැකිවන බව මම විශ්වාස කල නිසා. නමුත් ඔහු මෙය සැලකිල්ලට ගත්තේ නැත්නම්. මෙයින් කුමන ප්‍රයෝජනයක් ද යැයි ඔහු ඇසුවහොත් මම ලබාදෙන පිලිතුර කුමක් ද? මෙයින් කුමකටවත් ප්‍රයෝජනයක් නැතිනම් මෙහි ඇත්තේ අලංකාරය පමණක් නම්. 

එමනිසා මම ඒ ගැන කල්පනා කර අවසානයේ ඔහු හමුවට නොයාමට තීරණය කළෙමි. මෙයින් මඩුවක් තනන්නට බැහැ, කොමඩු ගෙඩි වර්ධනය කරන්න බැහැ, පලතුරු වැවීම වේගවත් කරන්න බැහැ; මේකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඔහු මාව පහත් කොට සලකා මෙය මාගේ මෝඩකමක් හා පුහු ආටෝපයක් ලෙස පවසාවි. ඒත් මටනම් මෙය පහත් දෙයක් නොවේ. “සුකොමළ රෝස පාට ගින්දර, මම ඔයාට ආදරෙයි, ඒ ඔයා ලස්සන නිසා. ඒ හොදටම ඇති!” යැයි මම මට ම කියාගත්තෙමි. ඒත් සමගම වාගේ මට තවත් දෙයක් සිහියට නැගුණි. මෙම නිර්මාණය වෙනත් අයෙකුගේ නිර්මාණයක් නම්? එය එසේ නම් මම සිදු කරන්නේ වෙන අයෙකුගේ නිර්මාණයක් මගේ නිර්මාණයක් සේ මවාපෑම නොවේද? 

මම කුඩා ලී කැබැල්ලක් ගෙන ගින්දර තරමක් ගෙන ඒවා වෙළුණු කොළ කැබලි කිහිපයක් මත තැබුවෙමි. මම සිත සිටියේ මෙම ගින්දර නිවාස වෙතට ගෙනවිත් සදාකාලිකව ඒවා මා සතුව තබාගෙන ඒවායෙන් සෙල්ලම් කිරීමටයි. නමුත් බලාපොරොත්තු නොවූ අන්දමින් එය පුළිගු පිට කරමින් මාව බියගන්වන්නට විය. එසැනින්ම මම ඒවා තිබු තැනම තබා එතනින් දිව ගියෙමි. මම පසුපස හැරී නිල් පැහැති ආත්මය දෙස බලන විට එය දිග ඇදෙමින් වළාකුළක් මෙන් පෙරලෙමින් ඉහළට ඇදී යන බව දුටිමි. එසැනින්ම මම එහි නම කුමක්දැයි කල්පනා කලෙමි. - ඒ දුමාරය! ඒ වචනය එකපාරට මගේ මතකයට පැමිණියාය. මම මීට පෙර දුමාරයක් පිලිබද අසා තිබුනේ නැත. 

එවෙලේම කහ සහ රතු පැහැති ආලෝකයක් දුමාරයෙන් පිටතට විද්දේය. මම එයටද එසැනින් නමක් දුන්නාය. ඒ ගිනිදැල්. මේ තමා මේ ලෝකයේ තිබුණු පලමුවෙනි ගිනිදැල්. ඒවා සිත්කලු ලෙස ආලෝකය විහිදුවමින්, විශාල වශයෙන් දුමාරය පිටකරමින් ගස් උඩ නගින්නට ගත්තේය. මම අත්පුඩි ගසමින්, සිනහ වෙමින් හා නටමින් මම මාගේ උද්‍යෝගය ප්‍රකාශ කළෙමි. එයා ඉතා අලුත් සහ පුදුම දනවන දෙයක් වූ අතර ඉතා අලංකාරයි!

ඔහු දුවගෙන විත්, නැවතී ඒ දෙස ඕනෑකමික් බලාගෙන සිටියේය. ඔහු මිනිත්තු කිහිපයක් නිහඬව සිට ඒ කුමක් දැයි අසා සිටියේය. එය ඍජු ප්‍රශ්නයක්. ඔහු මීට පෙර මගෙන් එවැනි ඍජු ප්‍රශ්නයක් අසා නැහැ. එමනිසා මම ද ඔහුට ඍජු පිලිතුරක් දිය යුතුයි. 

“ඒ ගින්දර” යන්න මගේ පිලිතුර විය. 

“ඒක ආවෙ කොහොමද?” 

නැවතත් ඍජු ප්‍රශ්නයක්. එයට ලැබිය යුත්තේ ද ඍජු පිලිතුරක්.

“ඒක හැදුවෙ මම”

ගින්දර තව තවත් ඈතට ගමන් කලේය. ඔහු ගිනිගත් පෙදෙසේ කොනකට ගොස් පහත බලා මෙසේ ඇසුවේය:

“මේ මොනවද?”

“ගල් අඟුරු”

ඔහු ඒවායින් එකක් අතට ගෙන නිරීක්ෂණය කරන්නට සිතුවත් පසුව ඔහු එය සිතෙන් ඉවත් කර ගල් අගුරු පහත දැම්මේය. ඉන්පසු ඔහු එතැනින් ඉවතට ඇවිදගෙන ගියේය. කිසිවකින් ඔහු ආශා වෙන්නෙ නැහැ.

නමුත් මම එයට කැමතියි. එතැන අළුවට හුරු පාටට සහ සිනිදුවට අළු තිබුණු අතර ඒවා දුටු විටම මම ඒවා අඳුනගතිමි. ඒත් එක්කම ගිණි අඟුරු; ඒවාත් දුටු විටම මම ඒවා හදුනාගත්තෙමි. මම මගේ ඇපල් සොයාගත්තා. එවෙලේ මට බඩගින්නක් ද තිබුණු බැවින් සූරා බැලූ විට දුටුවේ ඒවා වෙනස් වී ඇති බවයි. නමුත් වෙනස් වී ඇත්තේ හොද ආකාරයටයි. අමුවෙන් තිබෙනවාට වඩා මේවා වඩා හොදයි. ගින්දර කියන්නේ ඉතාමත් අලංකාර දෙයක්. මම සිතනවා කවරදාක හෝ ඒවා ප්‍රයෝජනවත් වේවි කියලා. 


සිකුරාදා -

පසුගිය සඳුදා රාත්‍රියේ දී ඔහුව නැවත වතාවක් දුටුවෙමි. නමුත් එක් මොහොතකට පමණි. මම මහන්සි වී අප සිටිනා පෙදෙස වර්ධනය කරන්නට වෙහෙසුනු නිසා ඔහු මාව අගය කරාවි යැයි සිතුනෙමි. නමුත් ඔහු එයින් සතුටු නොවී නැවත හැරී ගියේය. මම ඔහුට දිය ඇල්ල අසලට නොයන්න යයි අවවාද කල නිසාත් ඔහු මා සමග අමනාපයෙන් පසු වුනෙමි. ඒ වෙන කිසිවක් නිසා නොවේ; ගින්දර සොයා ගැනීම නිසා ආදරය සහ දුක යන හැඟීම් වලට අමතරව තවත් හැඟීමක් මට සොයාගැනීමට හැකි විමයි. ඒ බියයි. මම එය සොයා නොගත්තා නම් වඩා යහපත් කියා මට සිතෙනවා. එය මගේ සතුට නැතිකර දමනවා. ඔහු තවම බිය යනු කුමක්දැයි නොදන්නා නිසා ඔහුට මා කියන දෙය වැටහෙන්නේ නැහැ. 



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...