Sunday, April 19, 2020

පෙළ පොතේ තිබෙන "පාන් නැත්නම් කේක් කාපල්ලා" කියමන නිවැරදි ද?

අද සිටින ලාංකික දරුවන් සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයේ ‘ප්‍රංශ විප්ලවය’ යන පාඩම ඉගෙනගන්නා විට ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන කියමනක් මාරි ඇන්ටොනෙට් යන බිසවක් කියූ බවට උගන්වයි. අප කුඩා කාලයේ දීත් මේ අයුරින්ම එම කාරණය ඉගෙනගෙන තිබේ. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයටත් එම කියමනෙන් පැන කිහිප වතාවක් ම පැමිණ තිබේ. නමුත් සැබවින් ම මාරි ඇන්ටොනෙට් බිසව මෙම ප්‍රකාශය සිදුකර තිබේ ද? එය සොයා බැලීමටයි මෙම සටහන.

18 වන සියවස වන විට ප්‍රංශයේ දී තිබුනේ වැඩවසම් සමාජ ක්‍රමයක්. එකල සිටි රජුන් හා රදළයන් සුඛෝපභෝගිව දිවි ගෙව්වද ජනතාව අධික පීඩා ඇතිව දිවි ගෙවීය. මෙකල ඇමරිකානු නිදහස් සටනට ප්‍රංශය මුදල් බොහෝ සෙයින් වියදම් කල නිසා ඒ වියදම පිරිමැහීමට රජය බදු අයකිරීම වැඩි කළේ ය. එයිනුත් පීඩා වින්දේ අති බහුතර සාමාන්‍ය ජනතාවයි. මේ නිසා ප්‍රංශයේ රදළයන්ට එරෙහිව සාමාන්‍ය ජනතාව නැගී සිටියි. මෙය අපි ප්‍රංශ විප්ලවය ලෙස හදුන්වමු. මේ ප්‍රංශ විප්ලවය පිලිබද සරල විග්‍රහයක්.

කුසට ආහාරයක් නොමැතිව මිනිසුන්ගේ විලාපය ඇසුණු මාරි ඇන්ටොනෙට් බිසව “පාන් කැත්තම් කේක් කාපල්ලා” යැයි ප්‍රකාශයක් කෙරූ බවට සමාජයේ ප්‍රකටයි. මේ නිසා අවසානයේ දී ඇයව ගිලටීනයෙන් හිස ගසා මරා දමයි. ප්‍රංශ බසින් ඇති “Qu’ils mangent de la brioche” යනක් යමන  ඉංග්‍රීසියෙන් “Let them eat cake” යන පරිවර්තනය වී ලොව පුරා ප්‍රචාරය වුවත් එය නිවැරදි නොවේ. ප්‍රංශ වැකියේ අර්ථය “එයාලට බ්‍රියෝෂ් කන්න කියන්න” යනුයි. බ්‍රියෝෂ් යනු කේක් වර්ගයක් නොවේ. එය පාන් වර්ගයකි.

මෙම ප්‍රංශ කියමන මුලින්ම සදහන් වන්නේ ජීන් ජැක් රූසෝ විසින් රචිත Confession (පාපෝච්චාරණය) නම් කෘතියේ (6 වන වෙළුමේ). එහි මෙම කියමන සදහන් වන්නේ පහත ආකාරයෙන්.

At length I remembered the last resort of a great princess who, when told that the peasants had no bread, replied: “Then let them eat brioches.”

[මට මතකයි ශ්‍රේෂ්ඨ කුමාරිකාවක් ගොවීන් පාන් නැතැයි පැවසූ විට “එහෙනම් එයාලට බ්‍රියෝෂ් කන්න කියන්න” යැයි පැවසුවා.]

රූසෝ මෙහිදී මෙම කුමාරිකාව කවරෙක් ද යන වග සදහන් කරන්නේ නැහැ. ඉතිහාසඥයින් පවසන්නේ එහි සදහන් වන්නේ 14 වන ලුවී රජුගේ බිසව වන මරි තෙරේස් නම් බිසව බවයි. මරි තෙරේස් බිසව සිටියේ 16 වන ලුවී රජුගේ බිසව වූ මාරි ඇන්ටොනෙට් බිසව සිටි කාලයකට ආසන්න වශයෙන් සියවසකට පමණ පෙර. රූසෝ මෙම කෘතිය ලියූ කාලයේ දී මාරි ඇන්ටොනෙට් බිසව දස හැවිරිදි කුමරියකි. ඇය පළමුවරට ප්‍රංශයට පැමිණෙන්නේ දහසය වන වියේ දී 16 වන ලුවී රජු හා විවාහ වීමටයි.

මෙම කියමන මාරි ඇන්ටොනෙට් බිසව හා සම්බන්ධ කරමින් ලියූ සටහනක් සොයාගත හැක්කේ ප්‍රංශ විප්ලවයෙන් වසර 50 කට පමණ පසු පළවූ කෘතියකිනි. එම කෘතියෙත් කතුවරයා ලියා ඇත්තේ ඔහු අසා තිබූ ‘කටකතාවක්’ ය. මාරි ඇන්ටොනෙට් බිසව ළමුන්ගේ අධ්‍යාපනය හා සාමාන්‍ය මිනිසුන්ගේ යහපත උදෙසා ක්‍රියා කල අයෙක් වූ අතර තමන් රජ පවුලේ සාමාජිකයෙක් බැවින් විප්ලවවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවටත් පත්විය. මේ හේතුවෙනුයි ඇය පිලිබද දුර්මත සමාජයේ සංසරණය වූයේ. මෙම කුඩා කියමනක් නිසා මෙතරම් වද විඳීමට අවශ්‍ය නැතැයි ඔබට සිතෙන්නට පුලුවනි. නමුත් අසත්‍යක් ලෙස තහවුරු වී ඇති කරුණක් සත්‍යක් ලෙස හුවා දක්වමින් පෙළ පොත් වලට ඇතුලත් කිරීම අධ්‍යාපනයේ දුර්වලකම පෙන්වීමකි.

බොහෝ දෙනා සිදු කරන පරිදි පෙලපොත කටපාඩම් නොකර එහි අඩංගු කරුණු හැකි අයුරින් සොයා බලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගෙන ඉතිහාස අධ්‍යනයක යෙදෙන ලෙස ඔබේ දරුවාට කියා දෙන්න. අන්තර්ජාල පහසුකම් ඇති බැවින් ඉතා පහසුවෙන් මෙවන් කරුණු සොයාගත හැකියි. පොත පත කියවා විචාරශීලීව ඉගෙනීමෙන් ඔබට මෙවන් වැරදි සහගත තැන් නිවැරදි කරමින් උගත හැකියි.

පහත දැක්වෙන්නේ වර්තමාන සාමාන්‍ය පෙළ ඉතිහාසය පෙළ පොතේ කොටසක්.


Thursday, April 16, 2020

ළමා ශ්‍රමිකයන්ට තිත තැබීමට සමත් වූ ඡායාරූප

කාර්මික විප්ලවයත් සමග අඩු වැටුපට සේවය ලබා ගත හැකි පිරිසක් කර්මාන්තශාලා හිමියන් සෙවීය. ඔවුන් ඒ සදහා යොමු වූයේ ළමුන් වෙතයි. දහ නමවන සියවසේ අගභාගයේ සිට විසිවන සියවසේ මුල් කාලයේ ඇමරිකාවේ කර්මාන්තශාලාවක් වෙත ගියහොත් එහි ළමුන් සේවය කරනු දැකීම සුලබ දසුනක්. 1900 වසර විට ඇමරිකාව තුල අවුරුදු 16 ට අඩු ළමුන් මිලියන 1.7 කට වැඩි ප්‍රමාණයක් යම්කිසි රැකියාවක නිරත වූ බව එරට දත්ත වාර්තා පවසයි. එය එකල ඇමරිකාවේ ළමුන්ගෙන් 1/5 ක් වැනි විශාල අගයක්.

කර්මාන්තශාලා හිමියන් දුප්පත් පවුල් ඉලක්ක කර ඔවුන්ගේ දරුවන් තම කම්හලේ රැකියාවට යොදවන්නේ සොච්චම් මුදලක් ගෙවමිනි. වැඩිහිටියන් මෙන් නොව කුඩා ළමුන් වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණ නොකිරීම නිසාත් ළමුන්ව සේවයේ අනුයුක්ත කිරීම ඔවුනට වාසිදායක විය.


මෙම ළමා ශ්‍රමිකයන් පිලිබඳ සොයා බලා කටයුතු කිරීමට 1904 දී ජාතික ළමා කම්කරු කමිටුව (National Child Labor Committee) පිහිටුවයි. මෙම කාලයේ දී ළමා ශ්‍රමිකයන් ගැන සමාජයේ කතාබහක් ඇතිවුවද බොහෝ අය මෙම ළමයින්ව දැක නොමැති නිසා ඊට විරුද්ධ වුනේ සුළු පිරිසකි. මේ නිසා ළමා ශ්‍රමිකයන්ගේ ඡායාරූප ගෙන වාර්තාවක් සකස් කිරීමට කමිටුවෙන් යෝජනා විය.

මේ සදහා ඔවුන් තෝරාගත්තේ ලුවිස් විස්ක් හයින් (1874 – 1940) වන අධ්‍යාපනවේදියෙක්ව. ලුවිස් ඇමරිකාව පුරා කර්මාන්තශාලා වලට ගොස් ඒවායේ සේවය කළ ළමුන්ගේ ඡායාරූප ගැනීම ආරම්භ කළේ ය. සමහර කර්මාන්තශාලා තුලට ඇතුලුවීමට ඔහුට ඉඩකඩ ලැබුනේ නැත. එමනිසා ඔහු ආහාර බෙදන්නෙක්, තැපැල් සේවකයෙක් ආදී ලෙසින් වෙස්වලාගෙන සේවයේ නියුතු ළමුන්ගේ ඡායාරූප ගැනීම සිදු කළේ ය. ඔහුට මේ නිසා ජීවිත තර්ජනත් එල්ල වුවත් තම කාර්යය අවසන් වන තුරු සිදු කළේ ය.

ලුවිස් හයින් (wikipedia.org)

ගල් අඟුරු පතල්, ඇඟලුම් කර්මාන්ත, ධීවර කර්මාන්ත, පුවත්පත් බෙදෑහැරීම්, ලියුම් බෙදාහැරීම්, කෘෂිකර්මාන්තය ආදී විවිධ අංශයන්හි සේවය කරමින් සිටි ළමුන්ව මුණගැසීමට ලුවිස්ට හැකිවුණා. සමහරු අවු. හතරක් වැනි කුඩා ළමුන්. ලුවිස් මොවුන් සමග කතා කරමින් හැකි තරම් තොරතුරු රැස් කළේ ය. ඔහු ලබාගත් සෑම පින්තූරයකටම සටහනක් තැබීමට අමතක කළේ නැත. මෙසේ ලබාගත් ඡායාරූප සංඛාව පන්දහසකට අධිකයි.

බොහෝ ඡායාරූපවල පිටුපසින් වැඩිහිටියෙක් සිටිනු දැකගත හැකියි. ඔවුන් සිටියේ ළමුන් හරි ආකාරව වැඩ කරනවාදැයි සොයා බැලීමටයි. කර්මාන්තශාල තුලට ඔහුව නොගත් අවස්ථාවල දී ඉන් පිටත සිට එයට යනෙන ළමුන්ගේ ඡායාරූප ගැනීමට ඔහු කටයුතු කරයි. බොහෝ විට කර්මාන්තශාලා රාත්‍රී වන තුරු ක්‍රියාත්මක විය. සමහර ළමුන් තමන්ට සිදුවූ අනතුරු ලුවිස් හට පෙන්වයි. කපු නිපදවන උපකරණයට අත හසුවී ඇඟිල්ල අහිමි වීම, උපකරණ වලට හසුවී කකුල් අහිමි වීම ආදී සිදුවීම් අසා දැනගැනීමට ලුවිස් හට හැකිවිය. එරට සමාජය මෙම තොරතුරු දැනගත්තේ මෙම ඡායාරූප මගින්.

15 හැවිරිදි දැරියක්. තහඩු කපන යන්ත්‍රයකට හසුවී ඇගිල්ල කැපී තිබේ. (boredpanda.com)

ජේකබ් රීස් නම් අයෙකුත් මෙකල ළමයින්ගේ ඡායාරූප ගැනීම සිදු කළේ ය. නමුත් ඔහුගේ ඡායාරූප බොහොමයක් සීමා වූයේ නිව් යෝර්ක් නගරයට පමණි. නමුත් ලුවිස්ගේ ඡායාරූප ඇමරිකාව පුරා ළමුන්ගෙන් සමින්විත වී තිබුනා පමණක් නොව ඔහුගේ ඡායාරූපකරණයේ තාක්ෂණයත් එම ඡායාරූප සමාජයේ පෙරළියක් කිරීමට සමත් වුනා. ඔහු තම ඡායාරූපවල වටපිටාවට වඩා ළමුන්ව කැපී පෙනෙන ආකාරයට සකස් කරයි. එය සිදු කරන්නේ ළමුන්ගේ පසුපස පරිසරය බොඳ කරමින්. බොහෝ ඡායාරූප වල සිටින ළමුන්ගේ ඇස් මට්ටම එය නරඹන්නන්ගේ ඇස් මට්ටමට සමපාත වන අයුරින් සකස් කර තිබුණි.

ලුවිස්ගේ මෙම ඡායාරූප ළමා කම්කරුවන් ගැන සාකච්ඡාව තීව්‍ර කළා පමණක් නොව රටේ නීතීන් වෙනස් කිරීමටත් සමත් වුනා. වයස අවු. 18ට අඩු ළමුන්ට රැකියාවක නිරත වීමට නොහැකි අයුරින් නීති සකස් විය. ළමුන්ව නැවත පාසල් වෙත ඇතුලත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක විය.

පුවත්පත් බෙදන ළමුන් (boredpanda.com)

ලුවිස් නිව් යෝර්ක් නගරයේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල නිර්මාණයේ දී භාවිතා කළ ළමා ශ්‍රමිකයන්ගේ ඡායාරූප ද ලබා ගත්තේ ය. එහිදී ත් ඔහු ළමා ශ්‍රමිකයා වෙත මූලිකත්වය දෙමින් ඡායාරූපකරණයේ නිරත විය. සමාජය පිළිබඳ වාර්තාකරණයට ඡායාරූප යොදා ගත් මුල්ම පුද්ගලයන්ගෙන් අයෙක් ලෙස ලුවිස් හැදින්විය හැකියි. අලංකරණයට පමණක් ඡායාරූප භාවිතා වූ කාලයක එහි වටිනාකම වැඩි කරමින් ඡායාරූපකරණයේ වෙනත් මාවතක් සකස් කිරීම නිසාත් ළමා ශ්‍රමිකයන් නැති කිරීමට දැක්වූ විශාල දායකත්වය නිසාත් ලුවිස් හට සැමගේම ගෞරවය හිමිවිය යුතුයි.

මූලාශ්‍ර: 

  • History.com website
  • Vox Youtube Channel
  • BBC Website
  • Time.com website
ඡායාරූප එකතුව 














Wednesday, April 15, 2020

ඇමරිකාව රතු ඉන්දියානු දරුවන් දහස් ගණනක් සොරාගත් ආකාරය

බ්‍රිතාන්‍ය වැසියන් ඇමරිකාවට පැමිණ ජනපද සාදා පසුව ඔවුන් බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට දැරූ ප්‍රයත්නය ‘ඇමරිකානු විප්ලවය’ ලෙස අපි හදුන්වමු. එම ප්‍රයත්නය සාර්ථක වූ පසු ජනපද සියල්ල එකතු වී ‘ඇමරිකා එක්සත් ජනපදය’ ලෙස රටක් සෑදුනු බවද අපි ඉතිහාසයේ දී ඉගෙන ගත්තෙමු. මෙම ජනපද සෑදිමට පටන් ගත් කාලයේ සිටම ඔවුන්ට ප්‍රධාන ගැටළුවකට මුහුණ දීමට සිදුවිය. එනම් ඒ වන විටත් එම භූමියේ වාසය කල ස්වදේශිකයන් සිටීමයි. ඔවුන්ව හදුන්වන්නේ රතු ඉන්දියානුවන් ලෙසයි. කොලොම්බස් ඇමරිකාවට පැමිණි පසු ඔහු සිතුවේ ඔහු පැමිණ සිටින්නේ ඉන්දියාවට බවයි. මේ හේතුවෙනුයි ඔහු එහි සිටි ස්වදේශියන්ට ‘රතු ඉන්දියානුවන්’ යන නාමය භාවිතා කලේ.

1776 සිට ඇමරිකානු ජනපද වැසියන් ක්‍රමක්‍රමයෙන් තමන්ට තර්ජනයක් වූ ස්වදේශිකයන් මරා දැමීමේ ක්‍රියා පිලිවෙත ආරම්භ කලේ ය. අතිශය දරුණු අන්දමින් මෙය ක්‍රියාත්මක වූ අතර මුලදී ඇමරිකාව පුරාවට විසිරී සිටි ස්වදේශිකයන් 1880 වන විට ඇමරිකාවේ දකුණු පෙදෙසේ ප්‍රදේශ කිහිපයකට කොටු කළේය. ස්වදේශිකයන්ව ප්‍රදේශ කිහිපයකට සීමා කල නමුත් ඔවුන්ගේ ජනගහණය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමට පටන්ගත්තේ ය. පරිපූර්ණ ඇමරිකානුවන්ගෙන් සුසැදි රටක් සෑදීම අරමුණු කරගත් ඇමකානු රජයට මෙය මහත් තර්ජනයක් විය. මේ හේතුවෙන් ඔවුන් නව ක්‍රමයක් තුලින් ස්වදේශිකයන්ව මර්ධනය කිරීමට පටන් ගත්තේ ය.

රතු ඉන්දියාන් ළමුන් (history.com)

මේ අලුත් ක්‍රමය ආරම්භ කලේ රිචඩ් හෙන්රි ප්‍රැට් නම් වූ හමුදාපතිවරයා විසින්. ඒ පරීක්ෂණයක් ලෙසින්. තම හමුදාව යටතේ සිටි ස්වදේශික සිරකරුවන්ට ඉංග්‍රීසි ලිවීමට කියවීමට උගන්වා ඇමරිකානු හමුදාවේ ඇදුම් අන්දවා තම සංස්කෘතිය උගන්වා ඒ සියලු දෙනාගේ හොරතුරු ඇමරිකානු රජය වෙත දැන්වූවා. ඇමරිකානුවන් සිතුවේ ස්වදේශිකයන් ශිෂ්ට සම්පන්න නොවන ලෙසයි. හෙන්රි ප්‍රැට් විසින් තම වාර්තාවෙන් ස්වදේශිකයන්ව ශිෂ්ට සම්පන්න මිනිසුන් කිරීමට හැකියාව ඇති බව කියා සිටියේ ය. 

1879 දී හෙන්රි හට මෙම ව්‍යාපෘතිය කරගෙන යාම සදහා මුදල් ප්‍රතිපාදන රජයෙන් ලැබුණි. ඒ අනුව රතු ඉන්දියානුවන් සදහා පලමු නේවාසික පාසල ආරම්භ කෙරුණි. “ඉන්දියානුවා මරා මිනිසා බේරාගන්න” යනු මෙහි ආදර්ශ පාඨයයි. මෙම පාසල සදහා ස්වදේශික ළමුන් ඇතුලත් කලේ බොහෝ විට බලහත්කාරයෙනි. එහිදී ළමුන්ගේ කොණ්ඩය කපා ඔවුන් ඇඳ සිටි ස්වදේශික ඇදුම් ආයිත්තම් වෙනුවට යුරෝපීය ඇදුම් ඇන්දුවේ ය. මෙම පාසල තුලදී ස්වදේශික භාෂා කතා කල නොහැකි අතර ඔවුන්ගේ නම් ද වෙනස් කළේ ය. ඔවුන් සෑම විටම උත්සහ කළේ හැකි සෑම අයුරකින්ම මෙම ළමුන්ගේ ස්වදේශික සංස්කෘතික හැදියාව නැති කර දැමීමට යි.

පාසල් තුල රතු ඉන්දියානු ළමුන්ට ඉංග්‍රීසි උගන්වන ආකාරය (history.com)

මෙම ව්‍යාපෘතියෙන් ඇමරිකානුවන් මූලිකත්වය දී කටයුතු කළේ ඉතාමත් සංවේදී අංශයක් වූ දරුවන්ට යි. මෙම පාසලෙන් ස්වදේශික ළමයින්ට රතු ඉන්දියානුවෙක් වීම ලැජ්ජාවට කරුණක් ලෙස ඉගැන්වූවා. මේ සියල්ල සිදු කළේ රතු ඉන්දියානුවන්ගෙන් ඔවුන්ගේ සංස්කෘතියට ආදරය කරන රැකගන්න ඊළග පරම්පරාවක් නැති කර දැමීමයි. වැඩි කාලයක් යාමට මත්තෙන් මෙය ඇමරිකානුවන් සිතූ ලෙසම සාර්ථක වුනා. කෙටි කාලයක් තුල ඇමරිකාව තුල ස්වදේශිකයන් සදහා වූ පාසල් 350කට අධික ප්‍රමාණයක් විවෘත වූයේ එහි ප්‍රථිපලයක් ලෙසයි.

1900 වන විට මෙම පාසල් තුල ස්වදේශික ළමුන් 20,000ක් පමණ සිටි අතර 1925 වන විට එම අගය තුන් ගුණයකටත් වඩා වැඩි විය. බලහත්කාරයෙන් ඇතුලත් කරගත් මේ ළමුන්ට පාසල් තුලදී දූෂණ, මරණ අත් වූ අවස්ථා ද තිබුණි. සමහරු මෙයින් පැන ගියහ. නමුත් සමහරු වාසනාවන්ත වූයේ නැත. එකල මෙවැනි පාසල් වටා ස්වදේශික රතු ඉන්දියානුවන් කූඩාරම් ගසාගෙන සිටියේ තමන්ට හැකි අයුරින් ළමුන්ට කිට්ටුව සිටීමටයි. ඔබ කුඩා කල දී “One little two little three little Indians” යන ළමා ගීය අසා ඇතැයි සිතමි. මෙය පළමුව ව්‍යවහාරයට එන්නේ ස්වදේශික රතු ඇමරිකානුවන්ගේ පාසල් තුලයි.

රතු ඉන්දියානුවන් පාසල් අවට කූඩාරම් ගසාගෙන සිටි ආකාරය (Wikipedia.org)

මේ අතර ස්වදේශිකයන්ගේ භූමිය සූරා කෑම ඇමරිකානුවන් නතර කළේ නැත. ඉතිරිව තිබූ කුඩා කොටසිනුත් තුනෙන් දෙකක කොටසක් ඇමරිකාව විසින් අත්පත් කරගත්තා. 1928 දී එළිදැක්වුනු වාර්තාවක් අනුව මෙම පාසල් වල සිදුවූ අකටයුතුකම් හේතුවෙන් බොහෝ පාසල් වසා දැමීමට කටයුතු කළා. 1960 අවධිය වන විට ඇමරිකාව තුල සෑදුනු රතු ඉන්දියානු සංගම් මෙම පාසල් වලට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත විය. 1970 අවධිය වන විට දීර්ඝ උද්ඝෝෂණ වල ප්‍රථිපලයක් ලෙස තවත් මෙවන් පාසල් වැසීමට පටන්ගත්තේ ය. නමුත් තවමත් එවන් සියලු පාසල් සියල්ල වැසී නැත.

1960 අවධිය වන විට මෙම පාසල් වලට ක්‍රමයෙන් සමාජයෙන් විරෝධය පැමිණීමට පටන් ගත් පසු ඇමරිකාව ස්වදේශිකයන් මර්ධනය තවත් ආකාරයකින් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. ස්වදේශික ළමුන් ඇමරිකානු පවුල් වලට දරුකමට හදාගැනීමට ලබා දීම එම ව්‍යාපෘතියයි. මෙය ඇරඹුනේ 1958 වසරේ දී. විවිධ මාධ්‍යයන් වල මෙම ස්වදේශික ළමුන්, අතහැර දැමූ ළමුන් ලෙස පවසා ඔවුන්ව හදාවඩා ගැනීමට පවුල් සෙවීමේ කටයුත්තේ නිරත වුනා. නමුත් එම ළමුන්ගෙන් බහුතරයක් දෙමව්පියන් විසින් අතහැර දැමූ ළමුන් නොවේ. පවුල් වලින් බලහත්කාරයෙන් රැගෙන ගිය ළමුන්. සමහර මාධ්‍ය වාර්තා වල දැක්වුනේ රතු ඉන්දියානු දෙමව්පියන් ඔවුන්ගේ ළමයින්ව හදාවඩා ගැනීමට සුදුසු නොවන බවයි. රතු ඉන්දියානු පවුලක සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටින නිසා එවන් පවුලක ළමයෙක්ට ජීවත් විය නොහැකි බවත් මෙම මාධ්‍යයන් වාර්තා කර තිබුනා. එමනිසා මාධ්‍යයන් පවසන දෑ එදත් අදත් පමණක් නොව මතුවටත් ප්‍රශ්න කළ යුතු බව මෙම ඉතිහාසයෙන් උගත හැකියි.

1977 දී රතු ඉන්දියානුවන් මුහුණ දුන් මෙම ගැටලුවට පිලිතුරක් ලෙස එරට රජය විසින් ICWA (Indian Child Welfare Act) නම් වූ පනත ගෙනෙනු ලබනවා. එමගින් සිතුමතේ රතු ඉන්දියානු ළමයින්ව තම පවුල් වලින් වෙන් කිරීමට නොහැකි වන ලෙස නීති සම්පාදනය කර ඇත. එමෙන්ම යම් ළමයෙක්ව පවුලෙන් ඈත් කළ යුතු නම් දරුවා හදාවඩා ගන්නා ඇමරිකානු පවුල තවත් රතු ඉන්දියානු පවුලක් සමග එක්ව දරුවා හදාවඩා ගත යුතුයි. රතු ඉන්දියානු ළමුන් වෙනුවෙන් ඇති එකම පනත මෙය වුවත් එය ප්‍රමාණවත් ද? යන පැනය ඇමරිකාව දෙසින් එන ප්‍රවෘත්ති කියා පානවා.

රතු ඉන්දියානු දරුවෙක් පාසලට පැමිණීමට පෙර හා පසු (pinterest.com)

මූලාශ්‍ර: 
  • History website
  • The Guardian website
  • Vox youtube channel
  • Ted ed youtube channel
  • nicwa.org
  • APM reports
  • Indian country today wedsite

Friday, April 10, 2020

දකුණු කොරියාව කොරෝනා වෛරසය පාලනය කලේ කෙසේ ද?

ඉතිහාසයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ වෙයි. මෙයත් එවන්ම කාරණාවක්. ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරසය නිසා පීඩා විදිමින් වසා දමා තිබෙන මේ දිනවල දකුණු කොරියානු වැසියන් ක්‍රමයෙන් මාර්ග කරා පැමිනෙන ආකාරය දැකගත හැකියි. පෙබරවාරි මස අවසන් දින කිහිපයේදී දකුණු කොරියාව කොරෝනා ආසාධිතයන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා කරමින් ලෝකයේ කොරෝනා වෛරස් ආසාධිතයන් වැඩිම රටවල් අතර සිටියා. කාලය ගතවන විට අනෙක් රටවල් වල ආසාධිතයන් ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ ගියත් දකුණු කොරියාවේ අසාධිතයන් ප්‍රමාණය ඉහළ නොයා නියතව පවත්වා ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ ඔවුන් මීට පෙර ලත් අත්දැකීම් නිසා කොරෝනා වෛරටසයට කල් ඇතිව මුහුණ දුන් නිසා.

2015 වසරේ මැයි මසදී කොරියානු ව්‍යාපාරිකයෙක් බහරේන් සිට දකුණු කොරියාවේ සියෝල් වෙත පැමිනෙයි. ක්‍රමයෙන් ඔහු රෝගී වූ නිසා ස්ථාන කිහිපයකින් ප්‍රථිකාර ගනියි. මේ අතර ඔහුට නිව්මෝනියා රෝගී තත්ත්වය ඇතිවේ. එහිදී කරනු ලැබූ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ මොහුට MERS [Middle East Respiratory Syndrome] නැමති වෛරසය ආසාධනය වී ඇති බවයි. මෙය කොරෝනා වෛරසයේ තවත් එක් කාණ්ඩයකි.


මෙම වෛරසය මාස දෙකකට කිට්ටු කාලයක් දකුණු කොරියාවේ පැවතුනු අතර 186 දෙනෙක් ආසාධනය වී ඉන් 36 දෙනෙක් මරණයට පත් වුනා. ඒ මැදපෙරදිග නොවන රටකින් වාර්තා වූ වැඩිම මරණ හා ආසාධිතයන් ප්‍රමාණය යි. 2015 වසරේ දී MERS වෛරටසය රටින් තුරන් කළ බව රජය කී අතර එම අත්දැකීමෙන් රෝගීන් පරීක්ෂාවේ වැදගත්කම ඔවුන් හදුනා ගත්තා.

2019 වසරේ දෙසැම්බර් 31 වන දින චීනය තම ප්‍රථම කොරෝනා වෛරස් ආසාධිතයා හමුවූ බව ප්‍රකාශයට පත් කලා. ඉදිරි සති කිහිපය තුල වෛරසය සීග්‍රයෙන් පැතිරෙන්නට පටන් ගත් අතර පෙබරවාරි මස 17 වන දිනට දකුණු කොරියාවේ සිටියේ ආසාධිතයන් 30 දෙනෙක් පමණයි. ඒ wවන ඉට චීනයේ ආසාධිතයන් 72436 දෙනෙක් වාර්තා වුනා. තමන්ගේ රටේ සිටින්නේ ආසාධිතයන් 30 දෙනෙක් වැනි කුඩා ප්‍රමානයක් වුවද එරට රජය අයෝ ටෙක් ආයතනත් සමග එකතු වී නව කොරෝනා වෛරසය [Covid-19] හදුනාගැනීමට අවශ්‍ය උපකරණ දහස් ගනනක් සාදා රටේ සියලුම රෝහල් වලට බෙදා හැරීමට කටයුතු කරයි. පෙබරවාරි මස 29 දිනය වන විට දකුණු කොරියාවේ ආසාධිතයන් ගණන 3150 ලෙස දැක්වූයේ ඔවුන්ව චීනය හැර වෙනත් රටකින් වාර්තා වූ වැඩිම ආසාධිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට ලෙස පත්වෙමින්.

ඩේගු නම් ප්‍රදේශයේ කාන්තාවක් රෝහල්ගත වන්නේ ඇයට උණ රෝගය වැළඳීම හේතුවෙන්. මේ වන විට දකුණු කොරියාවේ සියලුම රෝහල් වෙත කොරෝනා වෛරසය හඳුනාගන්නා උපකරණ ලබා දී තිබුනු බැවින් එම කාන්තාවට කොරෝනා වෛරසය වැළඳී ඇති බව සොයාගනු ලබනවා. ඇයව නම් කරන්නේ 31 වෙනි රෝගියා ලෙසට. මෙම 31 වෙනි රෝගියා රෝහලට පැමිණීමට ප්‍රථම සිය ගනනක් මිනිසුන් යනෙන පල්ලියක් වෙත ගොස් තිබුනු අතර මේ සදහා වෛද්‍යවරුන් වහාම ක්‍රියාත්මක විය. තමන් මුනගැසුනු සියලු දෙනා සොයා ඔවුන්ට රෝගී ලක්ෂණ තිබුනත් නැතත් ඒ සියලුම දෙනාව කොරෝනා වෛරසය සදහා පරීක්ෂා කළේ ය. ඉන් අනාවරණය වූයේ කිහිප දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවයි. ඔවුන්ව තම තමන්ගේ නිවෙස් තුලදීම හෝ රෝහලක් තුල අන් අයගෙන් වෙන් කොට තබා ප්‍රථිකාර කිරීමට කටයුතු කරයි. එපමනක් නොව ඒ ඒ පුද්ගලයන් මුනගැසුනු අයත් සොයා වෛරසය සදහා පරීක්ෂා කලේය. මෙයින් පසු කොරෝනා වෛරස හදුනාගැනීමේ පරීක්ෂාව මුලු රට තුලම ව්‍යාප්ත කල අතර ඒ සදහා රට පුරා ස්ථාන 600 කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කරන ලදි. එමගින් දිනකට මිනිසුන් 20,000 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට හැකියාව ලැබුනි.


නමුත් මේ සියල්ල මිනිසෙකුගෙන් තවත් මිනිසෙක්ට වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට ගත් පියවරවල් ය. වෛරසය වැළදුනු අයෙක් මාර්ගයේ ගමන් කරමින් සිටින විට මාර්ගයේ බොහෝ තැන් ස්පර්ෂ කරමින් යනවා විය හැකියි. එවන් තැනකින් ද වෛරසය තවත් මිනිසෙක්ට බෝ විය හැකියි. මෙය නැවැත්වීමටත් දකුණු කොරියාව පියවර ගත්තේ ය. ආසාධිත අයෙක් ආසාධනය වී සිටි කාලයේ ගමන් ගත් ස්ථාන, ගමන් කල ආකාරය ආදී සියලු තොරතුරු වෙබ් අඩවියකට ඇතුලු කර ප්‍රචාරය කළේය. එමෙන්ම තම ප්‍රදේශයේ අයෙක් රෝගී වුවහොත් එම රෝගියා ගමන් කල තැන් සියලු දේ පිලිබද විස්තරයක් එම ප්‍රදේශයේ වැසියන්ගේ දුරකථන වලට ලැබීමට සැලැස්වූයේ ය. වෙබ් අඩවි සහ මෘදුකාංග රැසක් මෙම තොරතුරු බෙදාහැරීම සදහා දායක විය. නමුත් සාමාන්‍ය නීති යටතේ රටේ යම් වැසියෙකුගේ මෙවන් තොරතුරු බෙදාහැරීම තහනම් නිසා දකුණු කොරියාව එම නීතිය පවා වෛරසය නිසා වෙනස් කලේ ය. එරට රජය පවසන්නේ දකුණු කොරියාව මෙවන් අවස්ථාවක මහජනයාගේ පෞද්ගලිකත්වයට වඩා මහජන සෞඛ්‍යය වඩාත් වැදගත් නිසා මෙවන් දෙයක් සිදු කල බවයි.

මේ සියලු දේ නිසා වෛරසය පැතිරුණු මුල් කාලයේ වෙනත් කිසිදු රටකට වඩා දකුණු කොරියාව පරසය හදුනාගැනීමේ පරීක්ෂාව සිදු කිරීමට සමත් විය. දකුණු කොරියාව පමණක් නොව ඒ අවට රටවල් වූ සිංගප්පූරුව, තායිවානය හා හොං කොං ආදී රටවල් ද වෛරසය හදුනාගැනීමේ පරීක්ෂා වැඩි වශයෙන් කිරීම නිසා මෙය ව්‍යාප්ත වීම අවම කර තබා ගැනීමට සමත් වී සිටිනවා.


Thursday, April 9, 2020

සිහින

බොහෝ කාලයක් ගතවී ගොස්.

මගේ සිහින අමතක වූ දා සිට.

නමුත් සැනකින්,

මගේ ඉදිරිපිට,

සූර්යයා මෙන් දිලිසෙමින්,

දුටුවා මගේ සිහිනය.

නමුත් සිහිනයත් මා අතර බාධකය,

නැග එයි හෙමිහිට,

හෙමිහිට,

අහස හමුවන තුරුම.

බාධකය, 

සෙවනැල්ල,

මම මුවා වී සිටින.

මා ඉදිරිපිට නැත මගේ හීනයේ ආලෝකය.

මා ඉදිරිපිට බාධකය පමණයි.

සෙවනැල්ල පමණයි.

මගේ අත්!

අහෝ මගේ අඳුරු අත්!

බාධයක බිඳ,

සොයාගත්තා මගේ හීනය!

උපකාර අවැසියි මට.

අඳුර බිඳින්නට.

සෙවනැල්ල බිඳින්නට.

දහසක් හිරු රැස් වලට,

දහසක් හීන වලට.



Wednesday, April 8, 2020

හිට්ලර්ට එරෙහිව හඬ නැගූ 'සුදු රෝස' ව්‍යාපාරය

ඒ 1943 වසරයි. නාසි ජර්මනිය හරහා ගුවන් යානා කිහිපයක් පියාසර කළේ පත්‍රිකා විශාල ප්‍රමාණයක් පහතට හෙළමින්. අඥාත ජර්මානු වැසියන් විසින් ලියූ එම ලිපි වලින් ඔවුන් කියා තිබුනේ හිට්ලර්ට විරුද්ධ වී අනාගතය පිලිඹද බලාපොරොත්තු දල්වාගෙන අධෛර්‍ය නොවී කටයුතු කරන ලෙසයි. මෙම පත්‍රිකා නිවෙස්, ව්‍යාපාර ස්ථාන පමණක් නොව සිරගෙවල් තුලට ද ව්‍යාප්ත විය. මෙම පත්‍රිකා බෙදාහැරි පුද්ගලයින් කවුරුන් ද? ඔවුන්ට සිදු වූයේ කුමක් ද? යන්න අනාවරණය වූයේ යුද්ධය අවසන් වී සුළු කාලයකට පසුවයි.

මීට වසර දහයකට පමණ පෙර හිට්ලර් බලයට පැමිණෙන විට හාන්ස් සහ සෝෆී ෂෝල් යන සහෝදරයා හා සහෝදරිය සිටියේ යෞවන අවධියේ. නාසි ජර්මනිය තරුණ තරුණියන් කෙරෙහි දැක්වූයේ වැඩි අවධානයක්. ඔවුන්ව තරුණ අවධියේ සිට නාසි මූලධර්ම උගන්වා ඔවුන්ගේ ආකල්ප සකස් කිරීම එහි පරමාර්ථයකි. මේ කාලයේ දී හාන්ස් ෂෝල් හිට්ලර්ගේ තරුණ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර සෝෆී ෂෝල් ජර්මන් කාන්තාවගේ ලීගයේ සාමාජිකාවක් වූවා ය.

හාන්ස් සහ සොෆී ෂෝල් 1940 දී 

හාන්ස්ව කාලයත් සමග තනතුරෙන් උසස් කළ අතර 1936 වසරේ දී නාසි රැලියක දී නාසි කොඩිය රැගෙන යාමටත් අවස්ථාව හිමි වුනා. නමුත් හාන්ස් අත්දකිනවා එස්.එස්. හමුදාව අතින් තරුණයන් ඝාතනය වන ආකාරය. තමන් ගත් තීරණය නිවැරදි ද යන්න ඔහු සිතා බලන්නේ මේ අත්දැකීමෙන් පසුව. ඔහුගේ සහෝදරියත් තමා ඉගෙන ගත් දේවල් නිවැරදි ද කියා තමන්ගෙන් ම ප්‍රශ්න කරමින් නාසි මූලධර්ම තම සිතින් ඉවත් කිරීමට කටයුතු කරනවා. මේ සියල්ලට ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබුනේ සුවිශාල සහයක්.

දෙවන ලෝක යුද්ධය පටන් ගත්තෙන් සොෆී හට රජයේ කාර්යාල වල රැකියාවක නිරත වීමට සිදුවූ අතර හාන්ස්ට මියුනික් හි වෛද්‍ය වරයෙක් වීමට ඉගෙන ගන්නා අතර සෙබළෙක් ලෙස ද කටයුතු කිරීමට සිදු විය. හාන්ස්ගේ ජීවිතයේ වෙනසක් කිරීමට සමත් වන ඔහුගේ සහෘදයන් වන ක්‍රිස්ටොෆ්, විලී ග්‍රාෆ් සහ ඇලෙක්සැන්ඩර් ෂ්මෝරෙල්ව මුණගැසෙන්නේ මියුනික්හි වෛද්‍ය ආයතනයේදී. දිනෙන් දින මොවුන් තුල වූ නාසි විරෝධී අදහස් වර්ධනය වන්නට විය. තමන්ගේ මෙම අදහස් සමාජය පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වුවත් විශ්වාස කල යුත්තේ කවුරුන්ද යන්න පිලිබද ඔවුන්ට තිබුනේ සැකයක්.

එමනිසා කිසිවෙකුගේ නම් භාවිතා නොකර අඥාතව මෙම අදහස් බෙදාහැරීමේ කටයුතු වල නියැලීමට ඔවුන් තීරණය කරනු ලැබුවා. 1942 වසරේදී මියුනික් නගරය පුරාවට නාසි විරෝධී අදහස් ඇති පත්‍රිකා සංසරණය වූ අතර ඒවා අත්සන් කර තිබුනේ ‘සුදු රෝස’ නමින්. මුල්ම පත්‍රිකාවේ හිට්ලර්ව විවේචනය කර තිබුනු අතර යුද්ධයට විරුද්ධ වන ලෙසත් ලියා තිබුනා. මෙම ලිපි බොහොමයක් ලීවේ හාන්ස් ෂෝල් විසින්.

1942 දී සොෆී ෂෝල් මියුනික් නගරය වෙත පැමිනෙන්නේ තම සහෝදරයාගේ මෙම ක්‍රියාකලාපය ගැන කිසිවක් නොදැනයි. දිනක් ඇය පාසලේ දී සිටිනා විටදී සුදු රෝස යනුවෙන් අත්සන් කළ පත්‍රිකාවක් හමුවෙයි. මෙම පත්‍රිකා ලියන්නේ තමන්ගේ සහෝදරයා යන වග සොයාගැනීමට ඇයට වැඩි කාලයක් ගත වූයේ නැත. මෙයින් සතුටට පත් ඇය තම සහෝදරයාගේ කණ්ඩායමට ඇතුලත් වෙයි. 1942 වසරේ ජූනි මාසයේ සිට 1943 වසරේ පෙබරවාරි මාසය දක්වා මෙම කණ්ඩායම හිට්ලර් විරෝධී ව්‍යපාරය පෙරට වඩා උද්යෝගයෙන් පවත්වාගෙන යයි. මේ අතර ගෙස්ටාපෝ රහස් පොලීසියත් ඔවුන්ගේ ආරක්ෂක විධි විධාන තර කිරීමට පියවර ගන්නේ මෙම පත්‍රිකා බෙදාහරින්නන් සොයා ගැනීමේ අදිටනින්.

සුදු රෝස ව්‍යාපාරය සිහිපත් කරමින් මියුනික් විශ්වවිද්‍යාලයේ ඇති සිහිවටනයක්. 

1942 වසරේ සීත ඍතුවේදී හාන්ස් චෙකොස්ලෝවැකියාව වෙත යයි. එහිදී ඔහු හිට්ලර් විරෝධී තවත් කණ්ඩායම් හමුවී තම අදහස් ඔවුන් සමග බෙදාගනියි. 1943 වසරේ පෙබරවාරි මාසයේදී සෝෆී සහ හාන්ස් මියුනික් හි විශ්ව විද්‍යාලය වෙත ගොස් තම පත්‍රිකා බෙදාහැරීම සිදු කරයි. අවාසනාවකට එහි සිටි අයෙක් ගෙස්ටාපෝ පොලීසියට ඒ පිලිබදව ඔත්තුවක් ලබා දුන් නිසා ඔවුන් දෙදෙනා අතඩංගුවට පත් වෙයි. එහිදී ඔවුන්ගෙන් මේ පිලිබඳ ප්‍රශ්න කළ නමුත් මෙම දෙදෙනා තමන්ට තිබෙන චෝදනා සියල්ල ප්‍රථික්ෂේප කරයි. තමන් සමග සිටි සහෘදයින් කිසිවෙක්ව පාවා නොදුන් මෙම දෙදෙනාට අවසානයේ අත්වූ දඬුවම වූයේ ගිලටීනයෙන් හිස ගසා මරණයට පත් කිරීමයි. තමන්ව ඝාතනය කිරීමට පෙරාතුව සෝෆී මෙවන් දෙයක් පවසයි.

“එක් එක් මිනිසා ධාර්මිකව සිටීමට උත්සහ ගන්නේ නැතිව ධාර්මික රටක් අපි බලාපොරොත්තු වන්නේ කෙසේද? හොදින් හිරු පායා ඇති අද වන් දිනක මට යන්නට සිදු වෙනවා. නමුත් මගේ මරණයෙන් මිනිසුන් දහස් ගණනක් අවධි වනු ඇත.”

රටක වෙනසක් බලාපොරොත්තු වනවා නම් පලමුව වෙනස් විය යුත්තේ එක් එක් පුද්ගලයාගේ ආකල්ප යි.

මූලාශ්‍ර:

  • Encyclopedia Britannica
  • History.com
  • BBC.com
  • Holocaust Encyclopedia
  • The German resistance memorial center website


කොරෝනා සටහන් -[3] ~වඳුරු රජා~

ඒ දවස්වල ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නේ කොටුවට ගිහින්. එක්කෝ එයාපෝර්ට් බස් එකක් හරි එහෙම නැත්තන් මීගමු සී.ටී.බී. බස් එකක තමා එන්නේ. බස් එකට නගින්න කලින් අනිවාර්යෙන් එතන පොඩි පෙට්ටි කඩේකින් මොනාහරි කනවා. සමහරු හිතයි “චිකේ මූ එහෙම කඩවල් වලිනුත් කනවද? ඕවට මොන ජරාවක් දානවද දන්නෑ” කියලා. කොහොම වෙතත් මෙතුවක් කාලෙකට එහෙම කාලා ලෙඩක් හැදිලා නන් නෑ. ඔය කොටුවේ හැම කඩේකින්ම කාලා තියෙනවා. ඒ අතරින් එයාර්පෝර්ට් බස් නවත්තන තැනට කිට්ටු කඩේකින් තමා වැඩිපුර කන්නේ. මම හැමදාම කන්නේ එකම දේවල් නිසා සමහර දවස්වලට මම ඕන දේ කියන්න කලින් කෑම එක හම්බෙනවා. මට තියෙන්නේ පුටුවේ ඉඳගන්න ටික විතරයි. අතේ සල්ලි මදි උන දාට අඬගහලා මට කන්න දීපු අවස්ථාත් තියෙනවා.

ඔය කිට්ටුවම තියෙනවා තව බීම කඩයක්. ලමීර් අංකල් ඒ කඩේ කරන්නේ. ඔය පැත්තේ පලවෙනියෙන්ම බීම කඩයක් දාපු කෙනා ඒ. කොටුවට යනකොට එයත් එක්කත් හරියට දේවල් කතා කරනවා. කාලෙකට පස්සේ කොටුවට ගියාම මම ගියා එයාව හම්බෙන්න. සරුවත් එකක් එහෙම බොන්න. මම එනකොටම ඈත තියලා අත වැනුවා. මං හිතුවා හැමෝම වගේ බිස්නස් එකට මේ අඬගහන්නේ, මෙයාට මාව මතක නැතුව ඇති කියලා. ඇවිල්ලා ඉඳගත්තම මගෙන් ඇහුවා “දැන් බැංකුවේ වැඩ කොහොමද?” කියලා. මම බැංකුවේ ඉන්ටර්වීව් එකට ගිහින් ගෙදර යනකොටත් මෙයාගෙන් බීම එකක් බීලයි ගියේ. ඒ ගොඩ කාලෙකට කලින්. එහෙම වෙලත් මතක තිබ්බ එකට මට ඇතිවුනේ ලොකු සතුටක්. මේ කොරෝනා කාලේ ඒ මිනිස්සු කරදරයක් නැතුව හොදින් ඇති කියලා හිතනවා.

මම නිතර චිත්‍රපටි බලන කෙනෙක්. කොයි තරම් වැඩ තිබ්බත් දවසක් හැර දවසක්වත් මොනාහරි චිත්‍රපටියක් බලනවා. මේ ළඟදී ආයෙම බලන්න ගත්තා චීන ජනප්‍රවාද වලින් එන කථා කිහිපයක්. කථාවේ ප්‍රධාන නළුවා වඳුරු රජෙක්. සමහරු නම් මේ වගේ සුරංගනා කතා බලන්න කැමති නෑ. ඒත් මම කැමතියි හැම දෙයක්ම විඳලා බලන්න. ඒත් එක්කම ඔයාලා කියවලා තියෙනවනම් ‘A journey to the west’ නවකතාව, වඳුරු රජතුමා ගැන පැහැදිලි අදහසක් තියෙයි. දහසය වෙනි සියවසේ ලියවුනු මේ නවකතාව සැලකෙන්නේ චීන සාහිත්‍යයේ හොදම නවකතා හතරෙන් එකක් විදිහට. ඒ නිසා කියවන්න වටින පොතක්. ලංකාවේ රාවණා ගැනම කියවලා මදි චීනෙ වඳුරු රජා ගැනත් හොයන් කියවන්න.

ලංකාවේ රජ කෙනෙක් ගැන කියවනකොටයි වෙන රටක රජ කෙනෙක් ගැන කියවනකොටයි මට ඇතිවෙන්නේ එකම ආසාව. මට ඒ දෙකේ වෙනසක් තේරෙන්නේ නැහැ. මෑතකදී ඒක දේශීය හූනු විශේෂ කිහිපයක් හොයාගෙන ඒවට ලංකාවේ වීරයන්ගේ නම් දාන්න ගියාම ප්‍රශ්නයක් ආවනේ. ඒ අර මම කිව්ව ආසාවේ වෙනස නිසා. පරිසරවේදියෙක්ට හූනත් එකයි අලියත් එකයි. ඉතින් අපි මේ දේවල් තේරුම් අරගෙන ජීවත් වුනොත් ප්‍රශ්න අවම කරගන්න පුලුවන් කියලයි මගේ අදහස.

කොහොමෙන් හරි මම උඩම කිව්ව වඳුරු රජා ගැන එක කතාවක මෙහෙම තියෙනවා. මේ වඳුරු රජතුමා දිර්ඝ නින්දක ඉන්නකොට ආත්ම එකතුකරන්නෙක් ඇවිදින් මේ රජාව අරගෙන යනවා අපායට. මෙහෙදී මේ වඳුරු රජා දකිනවා අපායෙදී ලැබෙන දඬුවම්. කටු වලින් පිරිච්ච කන්දක් , ලේ වලින් පිරිච්ච ගංගාවක්, රත් වෙන තෙල් වෛන් පිරුණු ගංගා මෙයා දකිනවා. ඒ අතරේ මරණයට අධිපතීන්ගේ මාලිගාවත් තව පැත්තකින් තියෙනවා. ඒ විතරක් නෙමේ දිග පාළමක් කෙරවලේ ගෑනු කෙනෙක් ඉන්නවා. මේ ගෑනු කෙනා ඊළග භවයට ආත්මයක් ලබා දෙන්නේ. ඒ ආත්මය ලබාගත්තම කලින් භවයේදී කරපු කියපුවා කිසි දෙයක් මතක නෑ.

අලුත් ආත්මයක් ලබා ගන්නවත් අපායේ දඬුවම් විඳින්නවත් මේ වඳුරු රජතුමා කැමති වුනේ නැහැ. ඉතින් මෙයා සටන් කරලා යනවා අපායේ මාළිගාවට. එහෙ ඉන්න දෙවිවරු මේ වඳුරු රජාව නවත්තන්න උත්සහ කරත් ඒ හැම උත්සහයක් ම අසාර්ථක වෙනවා. මේ මාළිගාවේ තියෙනවා හැම ජීවියෙක්ගේ ම මරණය සිදුවෙන දිනය ලියාපු ලැයිස්තුවක්. ඉතින් මේ දෙවිවරු ඒ ලියවිල්ලේ හෙව්වා මේ වඳුරු රජා මැරෙන්නේ කවද්ද කියලා. මොකද ආත්ම එකතුකරන්නන් වදුරු රජාව අපායට අරගෙන ආවේ මැරුණට පස්සේ නෙමේ දීර්ඝ නින්දක ඉන්නකොට නිසා.

කොහොමහරි වදුරු රජාම තමන්ගේ නම තියෙන තැන හොයාගන්නවා. එතනදි එයා දකිනවා තමන් මැරෙන්නේ වෙන කවදවත් නෙමේ අද රෑට කියලා. මේක දැකපු වඳුරු රජා දුක් වෙන්නේ නෑ. තමන්ගේ නම මේ ලැයිස්තුවෙන් ඉරලා දානවා. එතනින් නතර නොවී තමන්ගේ වඳුරු ගෝලයන්ගේ නම් පවා ලැයිස්තුවෙන් ඉවත් කරනවා. එතනින් එහාට වඳුරු රජා තමන්ගේ අනාගතේ තමන්ට අවශ්‍ය විදිහට හදාගන්නවා.

මේ වගේ තමා අපේ අනාගතේ තීරනේ කරන්නේ දෙවි කෙනෙක්වත් හඳහනක්වත් නෙමේ, අපිම යි. ඔයත් වඳුරු රජෙක් වෙන්න.



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...