Wednesday, November 29, 2023

කේක් කෑල්ල කා දැවිල්ල නිසා තොවිලයක් නැටීම



ඔයාලා කනකොට දැවිල්ල දෙයක් කැවුනොත් ඒ දැවිල්ල ඉක්මනින් නැති කරගන්න කරන්නේ මොකක් ද?

මම නම් හොදවැයින් උණු වතුර එකක් බොනවා. බොහෝ දෙනෙක් ඔය ක්‍රමය යි අනුගමනය කරන්නේ. ඒ ක්‍රමය බැලූ බැල්මට සාර්ථක ක්‍රමයක් බවට සිතෙන්නේ නැති වෙන්න පුලුවන්. මොකද කියනවා නම් කටේ දැවිල්ල තියෙද්දී උණු වතුර බිව්වම ඒ දැවිල්ල තව වැඩි වෙන නිසා. 

නමුත් උණු වතුර එක බිව්වම එක සැරේ දැවිල්ල වැඩි වුනත් මුලු දැවිල්ල ඉතා ඉක්මනින් අඩු වෙනවා. මට පොඩි කාලේ මේක හරි ලොකු ප්‍රශ්නයක්. මේක වෙන හැටි දැනගන්න දැඩි උවමනාවක් තිබ්බා. ඒක හරි සරල සිද්ධාන්තයක්.

අපි දැවිල්ල දෙයක් කනකොට අපේ දිවට ඔරොත්තු දෙන්න පුලුවන් එවෙලෙට අපි කන දේ තියෙන දැවිල්ල විතරයි. ඒ මොහොතේ දී අපි කන දේ තමා උපරිම දැවිල්ල වෙන්නේ. ඒ නිසයි අපිට ඉන්න අපහසු. උණු වතුර බිව්වම අපේ දැවිල්ල තව වැඩිවෙනවා. එතකොට දිව දරාගන්න උපරිම දැවිල්ල කලින් මට්ටම නෙමේ. දැන් මට්ටම ඊට වඩා ඉහළින් තියෙන්නේ. උණු වතුර බිව්වම උණු වතුර නිසා දැනෙන රස්නය වැඩි වෙලා යන්න කලින් නැතිවෙනවා. නමුත් දැන් දිව දන්න දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසයි අපි කාපු කෑමේ දැවිල්ල අපිට දැනෙන්නේ නැත්තේ. දැවිල්ල කට ඇතුලේ තිබ්බත් අපිට ඒක දැනෙන්නේ නැහැ උණු වතුර බිව්වට පස්සේ දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වුන නිසා. ඒත් එක්කම උණු වතුර නිසා කටේ තියෙන මිරිස් වල සංඝටක හොඳින් ඉවත් වෙන නිසාත් දැවිල්ල ඉක්මනින් අඩු වෙනවා. 

ඔය වගේ ම තමා කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට. මම සාමාන්‍යයෙන් තේ එක්ක කේක් කෑල්ලක් පිළිගැන්වුවොත් කේක් කෑල්ල මුලින් කන්නේ නැහැ. කලින් කෑවොතින් පස්සේ බොන තේ එකේ සීනි අඩුයි වගේ තේරෙනවා. 

ඒක වෙන්නේ මෙහෙමයි. අපි කේක් කෑල්ල කනකොට අපේ දිවට ඒ මොහොතේ දැනෙන පැණි රසේ උපරිම මට්ටම වෙනස් වෙනවා. උපරිමය තමා කේක් කෑල්ලේ පැණි රස. නමුත් අපි බොන තේ එකේ තියෙන සීනි වල පැණි රස කේක් කෑල්ලේ පැණි රස තරම් නැහැ. මේ නිසා කේක් කෑල්ල ඇති කරපු පැණි රසේ උපරිම මට්ටමට තේ එකේ සීනි වලට යන්න බැහැ. ඒ හේතුවෙනුයි අපිට කේක් කෑල්ලක් කාලා තේ එකක් බොනකොට සීනි මදි වගේ තේරෙන්නේ. ඇත්තට ම සීනි මදි නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ.

ඉස්සර ගම් වල කාන්තාවකට එහෙම යකෙක් වැහුනම ගමේ තොවිලයක් තියෙනවා. තොවිල් විවිධ හේතු උදෙසා පවත්වනවා. දරුවන් නැති අම්මලාට දරුවන් ලැබෙන්න, ලෙඩ රෝග හොඳ කරගන්න සහ යක්කු වැහීම ආදී දේවල් වලට තොවිලය භාවිතා වෙනවා. 

යකෙක් වැහෙනවා කියන්නේ මානසික රෝගයක්. ඒ කාන්තාව බොහෝ විට යම්කිසි දෙයකට බය වෙලා ඉන්නේ. ඒ වගේ කාන්තාවක් සුව කරන තොවිලයේ මුලින් ම කරන්නේ කාන්තාව ඉස්සරහා තියාගෙන යක්කු විදිහට වෙස්මුහුණු දාගෙන ඇඳගත්තු මිනිස්සු ඇවිත් ඒ කාන්තාව තව තවත් බය කරන එක. දැන් මේ කාන්තාව බය වෙලා ඉන්නේ තමන් තොවිලයට එන්න හේතු කාරණා වුන දේ නිසා නෙමේ තොවිලයේ ම ඉන්න යක්කු විදිහට ඇඳගත්තු මිනිස්සුන්ට. 

දැන් රෝගී කාන්තාවට පැරණි බිය නැතිවෙලා අලුත් බියක් හටගෙන තියෙන්නේ. තොවිලය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ඇදෙද්දී තොවිලය තුලින් ම ඒ ඉන්න යක්කුන්ගේ බය ක්‍රමක්‍රමයෙන් අඩු කරලා නැති කරලා ම දානවා. දැන් කාන්තාවට අලුතින් හටගත් බියත් නැහැ. මෙතන දී ක්‍රියාත්මක වෙන්නෙත් කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට සහ දැවිල්ල දැනුනම උණු වතුර බොන සිද්ධාන්තයම තරමක් වෙනස් ස්වරූපයකින්. 

ලංකාවේ තොවිලය සහ ශාන්තිකර්ම සැඟවුනු විද්‍යාව ගැන මීට වඩා සොයා බැලිය යුතුයි. මේවා ගමේ ගොඩේ උන්දැලාගේ පලක් නැති දේවල් නම් වසර සිය ගණනක් තිස්සේ නොනැසී පවතීවි ද? 

Sunday, November 26, 2023

සදාචාර නියෝජිතයෝ (කෙටි කතාව)


ඇන්තනි මේසය මත තිබූ පත්තරය තම කබාය තුලට දමාගත්තේ කිසිවෙකුත් එය දැකීමට පෙර ය. පත්තරයේ පිටු අතර තමන් ඝාතනය කල යුතු පුද්ගලයාගේ තොරතුරු සඳහන්ව තිබුණි. 


“ඇන්තනි, ඔයාට හොඳටම විශ්වාස ද ඔයා සූදානම් කියලා?” ඔහුගේ මේසයේ ඔහුට පිටුපා සිටි ඇය ඇසීය. ඇගේ හඬ අවටින් ඇසෙන බිත්තර බැදෙන හඬටත් මිනිසුන්ගේ කතාබස් හඬටත් රූපවාහිනී හඬටත් වඩා අඩු සියුම් හඬක් විය. “අන්තිම වතාවේ සිද්ද්වෙච්ච දේ ඔයාගේ වරදක් නෙමේ.”


ඇය පැමිණීමට වරු දෙකකට පමණ පෙරාතුව ඇන්තනි පැමිණ අවන්හලේ ප්‍රධාන දොරට ඈතින් ම පිහිටි අසුනක් තෝරා ගත්තේ අවන්හලට පැමිණෙන සියලුම දෙනා ගැන හොඳින් ඇස් යොමා සිටීමට හැකි වන ලෙසටයි. අසුනක් තෝරා ගත් පසු ඔහු තම රිවෝල්වරය කබාය යට උකුලේ තබාගත්තා.


“ඔයා අපෙන් සෑහෙන්න කාලයක් ඈත් වෙලා හිටියා. ආපහු එන්න හිතුනේ ඇයි?” ඇය තම කෝපි කෝපයෙන් උගුරක් බොමින් ඇසුවා. 


“මට සල්ලි උවමනා කරලා තියෙනවා. නැත්නම් මම ආපහු එන්නේ නැහැ කවදාවත්”


ඇන්තනි පවසන්නේ ඇත්තක් බව ඇයට වැටහී ගියා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඇන්තනී කුඩා කුඩා රැකියා කලින් කලට කරමින් සිටියේ තමන්ගේ පෙර රැකියාවේ මිතුරන්ගේ උදව් ද ප්‍රතික්ෂේප කරමින්. මේ මොහොත වනතෙක් ඔහු කාමර මාරු කරමින් රැකියා මාරු කරමින් ගතකලේ සැඟවුනු ජීවිතයක්.

දැන් සියල්ල වෙනස්.


ඇය ඇයගේ අවධානය ඇන්තනී කෙරෙන් වෙන් කලේ නැත.  “ඇයි ඔයා අපෙන් ඈත් වෙලා හිටියේ ඇන්තනි? අපි ඔයාව නිතරමට හොඳින් බලාගත්තා නේ” ඇයගේ හඬෙහි හැඟීමක් තිබුනේ නැත. 


ආයතනය කොතරම් ඔහුත් සමඟ කොතරම් සම්බන්ධ වීමට උත්සහ කලත් ඒ සියල්ල මග හැරියා.  “ඔයාලා හොඳ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ. ඒත් අන්තිම වුන දෙයින්.....” ඔහු වාක්‍ය අවසන් කලේ නැත. අහිංසක පාසල් දැරියගේ ලේ වලින් පුරුණු සිරුර ඔහුගේ මතකයට නැගුනා. ඔහුට තවදුරටත් කතා කිරීමට ශක්තියක් නැතිව ගියා. ඔහුගේ අත් උකුල මත වෙව්ලන්නට පටන් ගත්තා. 


ඔහු තමන්ගේ පැත්තකින් තිබුනු රූපවාහිනී යන්ත්‍රය දෙස බැලුවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට සිතාගෙන. එහි පොඩි ළමුන්ගේ සංගීත වැඩසටහනක්. කොතරම් අහිංසක ජීවිත ද? ඔහුට සිතුනා. “දෙවියනේ ආපහු ඒක වෙන්න පටන් ගත්තා” ඔහු ඔහුටම කියාගත්තා. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙනවා දැනෙනවාත් සමඟ උකුල මත තිබූ වෙව්ලන දෑතින් තම මුහුණ වසාගත්තේ ඔහුගේ මනසෙහි මැවෙන රූප නැති කර ගැනීමට සිතාගෙනයි. පසුගිය මාස කිහිපය තිස්සේ ඇන්තනීට මෙසේ සිදුවුනු වාර නිමක් තිබුනේ නැත. සැනසිල්ලේ නිදාගත් රැයක් තිබුනේ නැත. “හුස්ම ගන්න, ඇන්තනි. හුස්ම ගන්න” මේ ඇසෙන්නේ ඔහුගේ මනස තුලින් ද නැතිනම් තමන් ඉදිරියේ සිටින කාන්තාවගෙන් දැයි ඔහුට වැටහීමක් තිබුනේ නැත.  ඔහු තම හිස මේසය මතට පහත් කලේ ආතතිය පහ වී යන බලාපොරොත්තුවෙනුයි.


එසැනින් ම කාන්තාව සේවකයෙක්ට කතා කර රූපවාහිනියේ වෙනත් යමක් දමන්නැයි කීවා. ඇය වහා ගොස් වතුර කෝප්පයක් රැගෙන ඇන්තනී වෙතට දුන්නා. ඔහු තම කබාය ඇතුලතින් බෙහෙත් පෙති කිහිපයක් රැගෙන එකවර ඒවා උගුරට දමාගෙන වතුර කෝප්පය එක හුස්මට බිව්වා. “සමාවෙන්න, දැන් ටික කාලයක් තිස්සේ මට මෙහෙම වෙනවා. මම බෙහෙත් අරගන්නවා. ඉක්මනට හොඳ වෙයි” ඇය ඔහුදෙස බලා හිස වැනුවා. තවමත් ඇයගේ අවධානය ඔහු වෙතයි. 


පුවත්පත තුල පිටු අතර පින්තූරයක් නමක් සහ ලිපිනයක් හැර වෙනත් යමක් තිබුනේ නැත. ආයතනයේ නීති වලට අනුව ඊට වඩා යම් තොරතුරක් ඔවුන්ට දිය නොහැකියි. නමුත් ඇන්තනීට ඊට වඩා දෙයක් දැන ගැනීමට උවමනා වුනා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඔහුට තවත් කෙනෙකු ඝාතනය කිරීමට කිසිදු කැමැත්තක් තිබුනේ නැහැ. එදායින් පසු තමන් අතින් සිදුවුනු වැරැද්ද ගැන ආයතනයෙන් කිසිදු ලියමනක් ඔහුට ලැබුනේ නැත. ඒ වෙනුවට ඔහුට ලැබුනේ තවත් කොන්ත්‍රාත් කිහිපයක් ගැන විස්තර පමණි. ඒ ලියුම් සියල්ල තමන්ගේ පැරණි නිවසට ලැබුනු අතර බැලූ බැල්මට ඔහුට සෑම සතියකට අවම එක් ලියමනක් ඔවුන්ගෙන් පැමිණ තිබුනි. ඇන්තනී ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමට සිතා සිටිනවා නම් ඔහුට තවත් විස්තර අවශ්‍යයි.


“ඇයි?”


ඇය ඔහු දෙස බලා සියුම් සුසුමක් හෙළුවා. ඇය මොහොතකට ඇන්තනී වෙතින් අවධානය පිටතට යවා රූපවාහිනිය දෙස බලාගෙන සිටියා. තවත් ගායනා තරඟයක්. සුළු මොහොතකින් ඇය ඇන්තනි දෙස බලා “ඔයා දන්නවනේ අපේ ආයතනයේ, සදාචාරයේ නියෝජිතනගේ තියෙන නීති මාලාව. ඒකේ හැටියට අපිට ඔයාට මීට වඩා දෙයක් කියන්න බැහැ. නැමුත් ඔයා අපේ විශ්වාසය දිනාගෙන සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් නිසා මම ඔයාට පොඩි විශේෂයක් කරන්නම්” කීය. ඇය සීතල වූ කෝපි කෝප්පයෙන් තවත් එක් උගුරක් බී නැවත් ඇන්තනි දෙස බැලුවා. “මේ මනුස්සයා මහ නරුමයෙක්. නරුමයෙන්ගෙත් නරුමයෙක්. මේ නරුමයා වැඩියෙන් ම කැමති ළමයි එක්ක ඉන්න.”


ඇන්තනි පත්තර පිටු අතර තිබූ පින්තූරය අධ්‍යනය කිරීමට පටන් ගත්තා. අහිංසක ඇස් තිබුනු මුහුණක් ඔහු දුටුවේ. මෙවන් අයෙක් ළමා අපචාරයේ යෙදෙයි කියා කවුරුවත් සිහිනෙකින්වත් සිතන්නේ නැහැ. ළමුන් වුනත් මේ පුද්ගලයාව විශ්වාස කරන්නේ මේ අහිංසක පාටින් පෙනෙන නිසා විය යුතු යැයි ඔහු සිතුවා. නීතියෙන් බේරී සිටින මෙවන් පුද්ගලයන්ට නිසි දඬුවම දීමයි සදාචාර නියෝජිතයෝ සිදු කරන්නේ. 


පත්තර තුල තුබූ දෙවෙනි පින්තූරය දෙස ඔහු බැලුවා. එහි සිටියේ මවක්. ඇයටයි මේ ඝාතනය සිදු කිරීමට උවමනා වී තිබෙන්නේ. ඇන්තනී නැවතත් කබාය තුලට අත දමා තම රිවෝල්වරය පරීක්ෂා කරා. මේසයෙන් නැගිට ඔහු කිසිවක් නොකියා පාර දිගේ ඉදිරියට ඇදුනේ පත්තර පිටු අතර තිබූ ලිපිනය මුමුණමින්. වීදිය දිගේ ඔහු තරමක් දුර ඇවිද ගිය පසු නිවාස පේළියක් ඔහු දුටුවා. එහි දෙවන නිවසෙයි ඔහු සිටින්නේ. ඇන්තනි නිවස තුලට යාමට පෙර එහි ඉදිරිපස ඇති ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක තිබූ බංකුවක් මත අසුන්ගෙන් වරුවක් පමණ නිවස දෙස බලා සිටියා. 


‘මොන හයියකින් ද ළමා අපචාරකයෙක් මෙච්චර ළමයි ගැවසෙන තැනක ජීවත්වෙන්නේ’ ඇන්තනී තමන්ටම කියා ගත්තේ ඔහුගේ කේන්තිය වැඩි කරමින්. තව දුරටත් ඔහුට ඉවසා සිටිය නොහැකියි. ඔහු නිවස ඉදිරිපසටගොස් දොර අසල සිටගත්තා. ඔහුට ජනෙල් වීදුරු තුලින් රූපවාහිනියක එළියක් පෙනුනා. වීදියේ එතරම් පිරිසක් සිටියේ නැහැ. ඔහු පිටුපස හැරී බැලුවා. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් අසල සිටි මවක් හා කුඩා දරුවෙක් දෙසට ඔහුගේ නෙත් යොමු වුනා. නැවත හැරීමක් නැහැ. 


ඔහු සිතට ධෛර්යය ගෙන දොරට එක් වරක් තට්ටු කරා. කිසිවෙකුගෙන්වත් පිළිතුරක් නිවස ඇතුලතින් පැමිණියේ නැහැ. ඔහු නැවත තුන් වතාවක් දොරට තට්ටු කරා. ඔහුගේ අතෙහි ඇති සෑම මාංෂපේෂියකටම රුධිරය වහනය වනවා ඔහුට දැනුනා. පඩිපෙළක් බැස යමෙක් ඇතුලෙන් පැමිණෙන සද්දය ඔහුට ඇසුනා. “ටිකක් ඉන්න මම එනවා” ඒ පිරිමි කෙනෙක්. ඇන්තනී තම අතෙහි තිබූ රිවෝල්වරය තද කරගත්තා. වෙඩි තැබීමට පෙර මේ හරිම කෙනා දැයි දැනගත යුතුයි. කිසිවක් මේ වතාවේ වරදින්න බැහැ. ඔහු තමන්ටම කියා ගත්තා. 


දොර නිවස තුලට විවෘත වුනා.


ඇන්තනීට කෑගසනවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඔහුගේ මුවින් වචන පිටුනේ නැහැ. මේ සිදුවන දෙය ඔහුට අදහාගත නොහැකියි. පිට්ටනියේ අයිස්ක්‍රීම් අතැතිව සිටි ළමයාගේ අතින් අයිස්ක්‍රීම් බිම වැටුනු අතර ඔහු මවගේ කකුල බදාගත්තා. වීදියේ බයිසිකල් පදිමින් සිටි අය වහා නිවස දෙස බැලුවා. ගත වූයේ මොහොතයි. නිවස සිට් පුද්ගලයාගේ ග්‍රහණයෙන් ගැලවීමට නොහැකිව සිටි ඇන්තනීව ඔහු නිවසට ඇදගෙන ගියා. 


ඇන්තනීගේ උදරයෙන් ලේ වහනය වුවත් ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ. සියල්ල සිදු වීමට ගත වූයේ මොහොතයි. ඔහුට නිවසේ දොර වසා අගුලු දමන සද්දයක් ඇසුනා. ඇන්තනී බිම දිගේ ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙනවා පෙනුනත් ඔහුට සියල්ල අපැහැහැදිලිවයි පෙනෙන්නේ.


ඇන්තනී බිම දිගේ ඇදි ඇදී පසුපසට යනවාත් සමඟ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “ඇයි?


ඇන්තනීට තම ජීවිතයේ අවසන් වතාවට ඇසුනේ ඔහු කී දෙයයි. “අපි සදාචාර නියෝජිතයෝ” 


Tuesday, March 1, 2022

සතියට දවස් හතක් ආවේ කොහොම ද?


කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා. අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය. මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද්‍රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය. දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය. නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද? දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි? ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක්. මේ සතියට දවස් හත ආවේ කොහොම ද? අද අපි හොයලා බලමු ඒ ගැන.

අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ. දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා. මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ. මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි. 

හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත්‍යයන් තුල තිබුනා. අද අපිට ඒවා සාහිත්‍යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා. බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක්. ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා. මරණීය පාප හතක්, සත්ගුණවත් ගුණාංග හතක්, සමුරායිවරු හත් දෙනෙක්, චීන සාහිත්‍යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව්‍යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා.

මර්කියුරි හත ව්‍යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ්‍යවකාශයානා අභ්‍යවකාශගත කිරීම උදෙසා. මේ ව්‍යාපෘතිය තුල යානා හතක් අභ්‍යවකාශගත කරනවා. හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන්. මේ ව්‍යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක්. මර්කියුරි ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ. නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව්‍යාපෘති හතක් දියත් කරනවා. 

ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග්‍රහවස්තූන්ගේ චලනයක් බලලා. මේ ජනයා හඳුනාගත් ග්‍රහවස්තු හතක් තිබුනා. හඳ, බුද, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති සහ සූර්යයා. මුල් කාලයේ මිනිස්සු හිතුවේ පෘතුවිය මධ්‍යයේ තියලා අනෙක් ග්‍රහවස්තු පෘතුවිය වටේ යනවා කියලයි. මේකට අපිට ඒ කාලයේ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. මොකද ඒ අය නිගමන වලට එලබුනේ තම තමන්ගේ දැනුම් තේරුමේ හැටියට දකින නිරීක්ෂණ මත. ඒකත් හරියට වසර දහස් ගණනකට පෙර මෙසපොතේමියාවේ මිනිස්සු තමන් දැනගෙන හිටපු ප්‍රදේශ බොහොමයක් යට වෙන්න ගංවතුර දාපු නිසා ලෝකය ම යට වුනු මහා ජල ගැල්මක් ඇති වුනා කිව්වා හා සමාන යි. මේ වගේ මිනිස්සු දැක්කා පෘතුවිය වටේ ග්‍රහවස්තු හතක් චලනය වෙනවා. මේ ග්‍රහවස්තු කාලය මැනීමට උචිතයි කියලා හිතාගෙන ඒවා භාවිතයට අරගත්තා.

ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වගේ ප්‍රදේශවල පැතිරිලා තිබුනු ශිෂ්ටාචාරවල මිනිස්සු විශ්වාස කරා එක් එක් ග්‍රහවස්තුවකට හිමිකම් කියූ දෙවි කෙනෙක් සිටිනවා කියලා. ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ දී ග්‍රීක ජෝතීර්වේදීන් කිව්වා ග්‍රහවස්තු හතට අරක්ගත් දෙවිවරු හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා. මේ නිසා සෙනසුරු ග්‍රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා. ඊට පස්සේ සඳු පාලනය කරනවා. ඔහොම පැය විසි හතරක් ගිය තැන ඊළඟ දවස පටන් ගන්නේ කලින් දවසේ පටන් ගත්ත ග්‍රහ වස්තුවෙන් (සෙනසුරු ග්‍රහයාගෙන්) නෙමේ. නැවත සෙනසුරු ග්‍රහයා දවසේ මුල් පැයට පැමිණෙන්නේ අටවෙනි දිනයේ. මේකට තමා සතිය කිව්වේ !

ඒ වගේ ම හැම දවසක ම මුල් පැය පාලනය කරන ග්‍රහවස්තුවේ නමින් එම දිනය නම් කරා. සෙනසුරු පාලනය කල දින සෙනසුරාදා, හිරු (ඉර) පාලනය කල දින ඉරිදා සහ සඳු පාලනය කල දිනය සඳුදා යනා දී වශයෙන්. සමහර ග්‍රහවස්තු වල නම් වලට කාලයත් සමඟ ලතින් භාෂාවෙන් වදන් භාවිතා වුනා. ඒ අනුව යි වර්තමාන සතියේ ඉංග්‍රීසි නම් හැදුනේ. 

යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරෙනවාත් එක්ක ඉරිදා දවස සබත් දවස කියලා ඔවුන් නම් කරා විතරක් නෙමේ වැඩ කරන පලමු දවස විදිහට සඳුදා තෝරාගත්තා.

ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක ම පාහේ සතියේ දින නම් කරන්න මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. එකිනෙකට මුණ නොගැසුනු ශිෂ්ටාචාර පවා. බොහෝ ශිෂ්ටාචාර සතියේ දින ග්‍රහවස්තූන්ට අදාළ දෙවිවරුන් භාවිතා කරලා නිමවාගත්තත් එයින් එපිට ට ගිහින් දින හතකින් සතියක් නිර්මාණය කල කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමා හෙබ්‍රෙව් ජනයා. අද දකින්න ලැබෙන ජුදෙව් වරුන්ගේ ආදිතමයෝ. 

මොවුන් සතියට දින හත යොදාගත්තේ තමන්ගේ ආගමික ග්‍රන්ථ වූ ටෝරාවේ සඳහන් දින හතේ මැවීමක් ගැන සඳහන් වන නිසා. ඒ ක්‍රි.පූ. පස්වන සියවස වගේ කාලයක දී. ග්‍රීකවරු ග්‍රහවස්තු ඔස්සේ සතියේ දින හත හදන්නත් කලින්. මම කලිනුත් කිව්වා වගේ මේ දින හතේ මැවීම එන්නේ ලෝකයේ පලමු ශිෂ්ටාචාරයෙන්. අතිශය පැරණි සංකල්පයක් මේක. මොවුන් දින හත නම් කලේ පලමු දිනය, දෙවන දිනය හා තෙවන දිනය යනා දී වශයෙන්. හත්වන දිනය ඔවුන් නම් කාඅ සබත් දිනය කියලා. වර්තමාන සබත් වචනයේ මූලය එන්නේ ශබාට්ටූ යන මෙසපොතේමියානුවන්ගේ උත්සවයෙන්. ඒ උත්සවයෙන් ඔවුන් සැමරුවේ පූර්ණ චන්ද්‍රයා පෙනීම නිමිත්තෙන් !

අපි අද මේ දකින චන්ද්‍රයා ම තමා ජේසුස්වහන්සේ බුදුන්වහන්සේ වගේ ම නියැන්ඩර්තාල් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයා පවා දැකලා තියෙන්නේ. දවස ගානේ පෙනිලා නැවතත් නොපෙනිලා යන මේ මහා වස්තුවේ හැඩය දවසින් දවස වෙනස් වෙලා නැවත මුල් පිහිටීමට එනවා කියලා වසර දහස් ගණනක ඉඳන් මිනිස්සු ඇස් දෙකෙන් ම දැක්කා. මේ නිසයි කාලය මැනීමේ පැරණිතම උපකරණය විදිහට චන්ද්‍රයා භාවිතා කළේ. 



පැරිස්ගේ තේරීම

පහත තියෙනවා විශේෂ ඡායාරූප තුනක්. එකක් මම අරගත්තේ ලන්ඩන් වල බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දී. අනෙක් දෙක ලන්ඩන් වලම National Gallery එකේ දී. මේ ඡායාරූප වල තියෙන දේවල් එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධය එන්නේ මම කැමතිම මාතෘකාවක් වන ග්‍රීක මිත්‍යා කතා තුලින්. 

මේ කතාව පටන් ගන්නේ තීටිස් සහ පේලියස් නම් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන්. මේ විවාහ උත්සවයට ඒරීස් හැර ඔලිම්පස්හි හැම දෙවි දේවතාවුන් කෙනෙක්ටම ආරාධානා කරලා තිබුනා. ඒරීස් කියන්නේ 'අසමගිය' ඇතිකරන දේවතාවිය. විවාහ උත්සවයකට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන එක හොඳ නැති නිසයි එයාට ආරාධනා නොකළේ.

හැමෝටම ආරාධනා කරපු විවාහ උත්සවයට තමන්ට ආරාධනා නොකරපු එක ගැන ඒරීස් තරහෙන් හිටියේ. මේ නිසා ඒරීස් මේ විවාහ උත්සවයට පැමිණියේ නැතත් උත්සව ශාලාවේ මේසයක් මත රත්තරන් ඇපල් ගෙඩියක් තියෙන්න සලස්වනවා. ඒ රත්තරන් ඇපල් ගෙඩියේ ලියලා තිබුනා 'ලෝකයේ පියකරු ම කාන්තාවට' කියලා.

මේ උත්සවයේ හිටපු කාන්තාවන් තුන් දෙනෙක්ට මේ ඇපල් ගෙඩිය ලබාගන්න ආශාවක් ඇති වුනා. එක් කෙනෙක් සියුස්ගේ බිරිඳ හේරා. අනෙක් කෙනා යුද්ධයට අධිපති දෙවඟන ඇතීනා. අවසාන වශයෙන් අලංකාරයට සහ ආදරයට අධිපති දෙවඟ වූ ඇෆ්‍රොඩයිට් හිටියා. මේ තුන් දෙනා අතරින් වඩාත් ම පියකරු කව් ද කියලා තෝරගන්න අපහසු නිසා එයාලා ගියා සියුස් ගාවට. 

දැන් සියුස් ඉන්නේ ලොකු ප්‍රශ්නයක. තමන්ගේ බිරිඳ සහ දුවලා අතරින් කෙනෙක්ව තෝරාගන්න අවශ්‍යයි. සියුස් කියන්නේ දෙවියන්ගේ දෙවි වුනාට මේ ප්‍රශ්නයේ දී සියුස්ට තීරණයක් දෙන්න නොහැකි වුනා. මේ නිසා තුන් දෙනා අතරින් වඩාත් පියකරු කව් ද කියලා තෝරන්න සියුස් පත් කරනවා සාමාන්‍ය මිනිසෙක්ව.

ඒ පුද්ගලයාගේ නම තමා 'පැරිස්' කියන්නේ. 

ක්‍රි.ව. දෙවන සියවසට අයත් පැරිස්ගේ පිළිරුවක්. 


හේරා පැරිස් ගාවට ගිහිල්ලා කියනවා "මම තමා සියුස්ගේ බිරිඳ හේරා. වඩාත් ප්‍රියමනාප කාන්තාව විදිහට මාව තෝරගත්තොත් මම ඔයාව ලෝකයේ ධනවත් ම රජතුමා බවට පත් කරන්නම්. ඔලිම්පස් වගේ අනර්ඝ මාළිගාවක් හදලා දෙන්නම්." කියලා.

ඒත් එක්කම ඇතීනා පැරිස් වෙතට ඇවිත්;

"මම තමා යුද්ධයට හා දැනුමට අධිපති දෙවඟන ඇතීනා. මෙතෙක් සිටි අනර්ඝතම සෙන්පතියා බවට මම ඔබව පත් කරන්නම්. මිනිසුන් දහස් ගණනක් මෙහෙයවා අධිරාජ්‍යයන් ඔබ යටතට ගන්න ඔබට හැකියාවක් ලබා දෙන්නම්" කියලා කිව්වා.

අවසාන වශයෙන් ඇෆ්‍රොඩයිට් පැරිස් වෙතට ආවා.

"මම ආදරයට හා අලංකාරයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිට්. මම ඔයාට මං වගේ ම පියකරු කාන්තාවක් ව විවාහ කරලා දෙන්නම්." 

වරයන් තුනක් තමා ඉදිරියෙන් තියෙද්දී පැරිස් තෝරගන්නේ ඇෆ්‍රොඩයිට් ව. නමුත් ඇෆ්‍රොඩයිට් මෙතන දී නොකීව දෙයක් තියෙනවා. ඒ තමා පැරිස් හට ලබා දෙන්නට පොරොන්දු වූ කාන්තාව මේ වෙනකොටත් විවාහ වෙලයි හිටියේ. ඒ ස්පාර්ටා වල මෙනලේයස් රජතුමා සමඟ. 

මේ කාන්තාවගේ නම තමා ට්‍රෝයි හි හෙලන්.

මෙනලේයස් රජතුමාගේ බිරිඳ වන හෙලන්ව පැරිස් පසුකාලීනව පැහැරගෙන යාම නිසා තමා ග්‍රීක සාහිත්‍යයේ ප්‍රකට ට්‍රොජන් යුද්ධය ඇති වුනේ.



පැරිස් විසින් ඇෆ්‍රොඩයිට් ,ඇතීනා සහ හේරා අතරින් අයෙක්ව තෝරාගන්නා අවස්ථාව. Peter Paul Rubens (1597)

පැරිස් විසින් ඇෆ්‍රොඩයිට්ව තෝරාගත් අවස්ථාව.

Saturday, December 25, 2021

දුටුගැමුණු හා නාගයෝ

 ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්වත් අඳුනන රජ කෙනෙක් තමා ‘දුටුගැමුණු’ කියන්නේ. මහාවංශ කතුවරයා මහාවංශයේ වීරයා කරන්නෙත් මේ දුටුගැමුණු රජතුමාව. දුටුගැමුණු ගැන මහාවංශය තුල පරිච්ඡේද කිහිපයකින් ම විස්තර කරලා තියෙනවා. හැම කුඩා සිද්ධියක් ගැන ම විස්තරයක් තියෙනවා. නමුත් එක දෙයක් හැර.

රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමාගේ ප්‍රකට නිර්මාණයක්. මේ නිර්මාණය කරන අතරතුර රජතුමා හදිසියේ අසනීප වෙනවා. අසනීප වෙලා රුවන්වැලි මහා සෑය හදලා ඉවර වෙන්න කලින් මිය යනවා. රජතුමා අසනීප වුන බවක් ලියලා තිබුනත් එහෙම අසනීප වෙන්න හේතුව මොකක් ද? ලෙඩේ මොකක් ද? බෙහෙත් කලේ කව් ද? කියලා කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. අච්චර ලොකුවට දුටුගැමුණුව විස්තර කරලා අන්තිමට මැරෙන්න හේතුව නොදාපු එක නම් ගැටලුවක්.

දුටුගැමුණුගේ මේ මරණය ගැන ජනකතාවක් නම් තියෙනවා. ඒ කතාව මේකයි. රුවන්වැලි මහා සෑය හදමින් ඉන්න අතරතුර මේ මහා සෑය වන්දනා කරන්න එනවා රූමත් නාග කන්‍යාවෝ කිහිප දෙනෙක්. ඔතනදි නාග කන්‍යාවෝ කියන්නේ ඉතින් රූපකයක්. නයි නෙමේ. නාග ගෝත්‍රයේ රූමත් මනුෂ්‍ය කාන්තාවෝ කියලා කියමුකෝ. මේ රූමත් කාන්තාවෝ මහා සෑය වඳින්න ආපු බව රාජපුරුෂයෝ රජතුමාව දැනුවත් කරනවා.

මේ තොරතුර දැනගත්තු රජතුමා වහාම යනවා මේ රූමත් කාන්තාවෝ බලන්න. බලලා නතර වෙන්නේ නැහැ. රජතුමා එක් කාන්තාවකගේ අතින් අල්ලලා යන්න දෙන්නේ නැතුව අල්ලගන්නවා.

“රජතුමනි, මාව අතාරින්න. මම නාග කන්‍යාවක්. මගේ ස්වාමිපුර්ෂයා නාග රාජයෙක්.” නාග කන්‍යාව රජතුමාට කිව්වා.

“නාග රාජයාට මම මොකටද බය වෙන්නේ, එනවා මෙහෙන්” කියලා රජතුමා මේ නාග කන්‍යාවව මාළිගාවට අරගෙන යනවා. ගිහින් මේ නාග කන්‍යාවත් එක්ක එකතුවෙනවා.

මේ එකතුවීමෙන් පස්සේ නාග කන්‍යාව රජතුමාට මෙහෙම කියනවා; “රජතුමනි මේ කිසිම දෙයක් කාටවත් දැනගන්න තියන්න එපා. මගේ ස්වාමිපුර්ෂයා දැනගත්තොත් මහා විනාශයක් වෙන්නේ.”

මෙහෙම කියලා මේ කාන්තාව යන්න කලින් කවදාවත් තිසා වැවට බහින්න එපා කියලා රජතුමාට එක් උපදෙසක් දෙනවා. මේ නාග කන්‍යාව ගෙදර ගියත් එයාගේ අමුතු හැසිරීම ගැන සැක හිතුනු නාග රාජයා දවසක් මේ ගැන ප්‍රශ්න කරනවා. එතනදී හැම දේම මේ නාග කන්‍යාව තමන්ගේ ස්වාමිපුර්ෂයාට කියනවා. මේ නිසා මේ නාග රාජයා දුටුගැමුණු රජතුමාත් එක්ක හිටියේ බොහොම කේන්තියෙන්.

මේ අතර රජතුමා මුලදි බය නැතුව කතා කරත් තිසා වැවේ නාන එක නතර කරනවා. නමුත් ටික කාලයකින් මේ අනතුරු ඇඟවීම ගැන රජතුමාට අමතක වෙලා තිසා වැවේ නාන්න යනවා. අවසානයේ මේ වැවේ හිටපු නයෙක් දෂ්ට කරලයි රජතුමා අසනීප වෙන්නේ.

ඒ තමා ජන කතාව.

නාග ගෝත්‍රිකයෝ මේ නාග කන්‍යාවගේ සිදුවීමට පෙර ඉඳන් ම දුටුගැමුණු රජතුමා සමඟ අමනාපයෙන් හිටියේ. ඒ තමන් වැඳපුදාගත් ධාතූන් වහන්සේලා රවට්ටලා අරගෙන රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරපු නිසා. මේ බව මහාවංශයේ තිස් එක්වෙනි පරිච්ඡේදයේ අපූරුවට තියෙනවා. රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට නාග රජ්ජුරුවන්ගෙන් ධාතූන් ඉල්ලපු සෝණුත්තර තෙරුන්වහන්සේට නාගරජ්ජුරුවෝ මෙහෙම කියනවා;

“භික්ෂුව, බලනු මැන. නොයෙක් ආකාරයෙන්, නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චේතියඝරය. තමුන්නාන්සේගේ ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ. මේ චේතියඝර ආදියේ ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද! ඒ නිසා භික්ෂුව, මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා යන මෙය තොපට ගැලපෙන දෙයක් නොවේ.”

නාගයෝ සහ දුටුගැමුණු රජ අතර තිබුණු අමනාපකම ඒ කාලයේ සමාජය දැනගෙන හිටියා. දුටුගැමුණු රජතුමාගේ මරණයට නාගයෝ සම්බන්ධ කතාවක් කාලයත් සමඟ පැටලුනේ ඒ නිසා විය යුතුයි.

[ඡායාරූපය - බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න]



Monday, December 20, 2021

අපි වයසට යන්නේ ඇයි?


ඔබ වසර 10,000කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර තිහකට නොවැඩියි. ඔබ වසර 100කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 50කට නොවැඩියි. ඔබ මීට දශක කිහිපයකට පෙර ඉපදුනු අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 80ක් දක්වා යා හැකියි. 

තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ගේ ආයු අපේක්ෂාවත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුනා. කුඩා අවධියේ පටන් මැදි වියට එනතෙක් ම වයස්ගත වීම අපේ ශාරීරික වර්ධනයට බලපෑවා. වයසත් එක්ක ඇවිදින්න, දුවන්න වගේම නව ක්‍රියාකාරකම් රැසක් අපිට කිරීමට හැකියාව ලැබුනා. නමුත් අපගේ එක්තරා වයසක ඉඳන් මේ හැකියාවන් හීන වෙන්න පටන් ගන්නවා. අපි 'වයසට යනවා' කියලා කටවහරේ කියන්නේ ඒ කාලෙදි යි. නමුත් ඇයි අපි වයසට යන්නේ? තරුණ අවධියේ දී වයස්ගත වීම ශාරීරික වර්ධනයට හේතු වෙලා තවත් කාලයක දී වයස්ගත වීම ශරීරයේ දුබලතාවට හේතු වුනේ කොහොම ද? අපි අද සොයා බලමු ඒ ගැන. 

වයස්ගත වීම කියන්නේ රෝගයක් නෙමේ. දියවැඩියාව, ඇල්සයිමර් සහ ක්ෂයරෝගය ආදී දේවල් රෝග. වයස්ගත වීම මේ සමහර රෝග වලට හේතු වෙන්න පුලුවන් වුනත් වයස්ගත වීම රෝගයක් ලෙසින් සැලකෙන්නේ නැහැ. 

අපි වර්ධනය වෙන්නේ සෛල බෙදීමෙන්. එකෙන් දෙකක් දෙකෙන් හතරක් ආදී විදිහටත් තවත් ආකාර වලටත් අපේ ශරීරයේ සෛල බෙදෙනවා. මේ බෙදීමේ දී අපේ සෛල වල තියෙන වර්ණදේහත් ඒ එක්කම බෙදෙනවා. පාරම්පරික ලක්ෂණ ඉදිරි පරපුර අරගෙන යන්නේ මේ වර්ණදේහ තුලින්. මේ සෛල බෙදීම සම්බන්ධයෙන් හෙෆ්රික් නම් වූ විද්‍යාඥයෙක් විශේෂ සොයා ගැනීමක් සිදු කරනවා. ඔහු පවසනවා අපේ ශරීරයේ සෛල වලට බෙදීමට හැකියාවක් ලැබෙන්නේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා පමණයි කියලා.

වර්ණ දේහ වල කෙලවර සෑදී ඇත්තේ 'ටිලමියර්' නම් වූ ද්‍රව්‍යයකින්. මේ ටිලමියර් වර්ණ දේහ තුල තිබෙන්නේ වර්ණ දේහ වලට සිදුවන හානි වලින් ආරක්ෂා කරගන්න. නමුත් සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී මේ ටිලමියර් ටිකෙන් ටික කොට වෙනවා. ටිලමියර් කොට වෙලා කොට වෙලා අන්තිමේ දි නැති වුනාම යි සෛලයේ බෙදීම අවසන් වෙලා සෛලය මිය යන්නේ. අපි වයසට ගිහින් මිය යන්නෙත් මේ හේතුව නිසා.

ටිලමියර් කොට නොවෙන එක් සත්වයෙක් ඉන්නවා. ඒ තමා පොකිරිස්සා. පොකිරිස්සන්ගේ ශරීරයේ සෛල වර්ධනය වෙනකොට ඒවායේ ටිලමියර් කොට වෙන්නේ නැහැ. ඒ ටිලමොරේස් නම් එන්සයිමය නිසා. මේ නිසා පොකිරිස්සන් දිනෙන් දින ශක්තිමත් වෙනවා මිසක් මොන මොහොතකදිවත් වයසට යන්නේ නැහැ. ඒ සත්තු මිය යන්නේ මිනිස්සු වගේ තවත් සතෙක් උන්ව කෑවොත් විතරයි.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපිටත් පොකිරිස්සගේ වගේ ටිලමියර් කොට වෙන්නේ නැතිව තිබ්බනම් හොඳයිනේ කියලා. නමුත් ඒක හිතන තරම් හොඳ දෙයක් නම් නෙමේ. 

අපේ ශරීරයේ පිළිකා සෛලත් ක්‍රමක්‍රමයෙන් ගුණනය වෙනවා. මේවායේ වර්ණදේහ වල තියෙන ටිලමියර් කොට වෙන්නේ නැහැ. මේ නිසයි පිළිකාවක් පැතිරීම වළක්වන්න අපහසු. සාමාන්‍ය විදිහට සෛල බෙදිලා ටිලමියර් කොට වෙලා සෛල මිය යනවා නම් පිළිකා සෛලත් කාලයකින් අපේ ශරීරයෙන් තුරන් වෙන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ. 

මේ හේතුව නිසාමයි අපේ ශරීරයේ අනෙකුත් සෛල වල ටිලමියර් කොට වෙන්නේ. එහෙම නොවුනා නම් ඒවායේ රෝග කාරකයක් තිබුනොතින් ඒ රෝග කාරකයත් නොනවත්වා ගුණ වෙන්න තිබුනා. 

එහෙම බැලුවොත් අපේ වයසට යෑමත් එක්තරා ආකාරයක අපිව ආරක්ෂා කරගන්න ශරීරය යොදන උපක්‍රමයක්. 



Thursday, December 16, 2021

මළ පොතේ අකුර දැකලා තියෙනවා ද?


අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර දුටු පමණින් යනෙකුගේ මරණයක් හැඟවෙන බවත් මෙයට මළපොතේ අකුර යැයි කියැවෙන බවටත් කතාවක් මම අහලා තියෙනවා. සමාජ ජාලා තුල පමණක් නොව අන්තර්ජාලයේ ඔබ මෙම මළ පොතේ අකුර කුමක්දැ යි සෙව්වොත් පහත පින්තූරයේ දැක්වෙන අක්ෂරය පැමිණෙනවා.

නමුත් සැබවින් ම මේ මළපොතේ අකුර ද? මළ පොතේ අකුර මෙය යැයි කීවත් එය සනාථ කිරීමට කිසිදු සාධකයක් මට හමුවූයේ නැහැ. මළ පොතේ අකුර මෙය යැයි කියන කිසිවෙකුටවත් මේ මළ පොතේ අකුර යැයි සනාථ කල හැකි යැයි මම සිතන්නෙත් නැහැ.

එසේ නම් මළපොතේ අකුර කියන්නේ මොකක් ද?

මළ පොතේ 'අකුර' නමින් යෙදුමක් බහුලව භාවිතා වුනත් මළ පොතේ 'අකුරු' නමින් බහු වචන පදයකුයි ගැමියෝ භාවිතා කළේ. මාලනී බුලත්සිංහල මහත්මිය වුනත් කියන්නේ මළ පොතේ 'අකුරු' බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරේ මුල ඉඳන් අගට බලනවා මිසක් මළ පොතේ 'අකුර' බැරි මිනිහා එහෙම කරනවා කියලා නෙමෙයිනේ.

සමහරු ඉස්පිළි පාපිළි නැති නිසා 'ඉ' ස්වරයට මළ පොතේ අකුර යැයි හඳුන්වනවා. නමුත් ඉස්පිළි පාපිළි යෙදෙන්නේ නැති තවත් අක්ෂර තියෙන නිසා 'ඉ' අක්ෂරයට මළ පොතේ අකුර කීමත් පිළිගන්න අපහසුයි. 

ගැමි පුද්ගලයෙක් මියගියා ම අක්ෂරයක් අඩංගු තල්පතක් ගම වටා රැගෙන යන කතාවත් තරමක් පිළිගන්න අපහසුයි. එහෙම දෙයක් කිසිම ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අදහස පසු කාලීනව ඇතිවූ අදහසක් වෙන්න ඕන. ඇරත් ගැමියෙක් මැරුණම ඒක කටින් කියන්න බැරි ඇයි? කෙනෙක්ගේ මරණයක් වචනයෙන් පැවසීම අසුබ යැයි සඳහන් තැනකුත් නැහැ. මේ හේතු කාරණා නිසා අතීත ගැමියෙක් මිය ගියාම අක්ෂරයක් ලියූ තල්පතක් ගම වටේ රැගෙන යන කතාව අපිට බැහැර කරන්න වෙනවා.

ගැමි සංස්කෘතිය තුල සෑදෙන මිත්‍යාවක් පිටිපස්සේ සැඟවුනු සත්‍යයක් තියෙන්න පුලුවන්. මළ පොතේ අකුරු වල කතාවත් ඒ වගේ.

වර්තමානයේ දී නම් මළ ගෙදරක දී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඣායනා කරනවා. අතීතයේ දී සඡ්ඣායනා කල ජාතක කාව්‍යයක් තිබුනා.

ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය.

වෙස්සන්තර කාව්‍යයයේ (වෙසතුරු දා කව) දරුවන් දන් දෙනකොට මහ පොළොව කම්පා වුන විදිහ ඇහෙනකොට මළ ගෙදරක තියෙන ශෝකය තුනී වෙනවා කියලා අතීත ගැමියෝ විශ්වාස කළා. මේ නිසා හැම මළ ගෙදරක ම වෙස්සන්තර ජාතක කාව්‍යය සඡ්ඣායනා කළා.

අතීත ගැමියෝ මළ පොත කීවේ ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය ලියූ තල්පතට. මේ තල්පත කියවන්න පුලුවන් වෙන්නේ අකුරු සාස්තරේ දන්න අයට විතරයි. ගමේ බොහෝ දෙනෙක් අකුරු සාස්තරේ දන්නේ නැති නිසා මේ මළ පොත, එහෙමත් නැතිනම් වෙස්සන්තර ජාතක කාව්‍යය කියවන්න පුලුවන් වුනේ කිහිප දෙනෙක්ට විතරයි. 

ටික කාලයක් යනකොට මිනිස්සුන්ට මේ ජාතක කාව්‍යයේ කවි ටික ඇහිලා ඇහිලම කට පාඩම් වෙනවා. අකුරු සාස්තරේ නොදන්න කෙනෙක් වුනත් තල් පත අතේ තියාගෙන කටපාඩමින් කවි ටික කියන්න පුලුවන් වුනා. 

ඒත් සමහරු ජාතක කාව්‍යය නිතර ඇහිලත් කටපාඩම් කරගත්තේ නැහැ. මේ අයට තමා ගම්මු කීවේ 'මළ පොතේ අකුරුවත් බැරි මිනිහෙක්' කියලා.



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...