Friday, September 23, 2016

හස්ති වලප - 2 කොටස

පලමු කොටස කියවන්න - මෙතනින්


   අතීතයේ රජ දවස අලි ඇතුන්ගෙන් සිදු වූයේ අමිල මෙහෙයකි. යුද්ධ සඳහා, කොටං ඇඳීම, කුඹුරු වැඩ සඳහා ( පෙර ලිපියේ කියූ පරිදි විල් අලියා ) , පෙරහැරවල් සඳහා ආදී කටයුතු සඳහා එදා යොදාගෙන ඇත.

  රාවණා රජුගේ ඇතාගේ නම ගර්ජන වන අතර දුටුගැමුණු රජුගේ ඇතාගේ නම කණ්ඩුල ය. එමෙන්ම එළාර රජුගේ ඇතාගේ නම මහා පර්වත වේ. අතීතයේ මරණ දණ්ඩන ක්‍රමයක් ලෙස ඇතුන් ලවා පෑගීම සිදු කොට ඇත. එමෙන්ම තම සතුරන්ව ඇතුන් ලවා මැරීමේ සිද්ධීන්ද ඉතිහාසයේ සදහන් වේ. එම ඝාතනය සම්බන්ධයෙන් නඩුවක් ඇසූ විට පහසුවෙන් එයින් ගැලවී යා හැකි බැවින් මෙය බොහෝ අවස්ථාවලදී සිදු කර ඇත.



  මෙහිදී පඹයෙක් සාදා පඹයාගේ හිසේ හකුරු මුලක් තබයි. එවිට අලියාට එම හකුරු මුල කෑමට පුරුදු කරවයි. එවිට එම අලියාට මිනිසෙක් දුටු විටද මතක් වන්නේ හකුරු මුලයි. එවිට එම අලියා මිනිසාගේ ඔලුව කා දමයි. මස් මාංශ අනුභව නොකරන අලියාව ඒ තත්වයට පත් කරන්නේ මිනිසාම ය.

  අලියා මිහිරි නාදයට ඉතාමත් කැමතියි. බටනලා වාදනයට උන් ඉතා කැමැත්තක් දක්වයි. අතීතයේදී අලි අල්ලාගෙන ඇත්තේ වස් දණ්ඩ වාදනය කිරීමෙන් බව පැවසේ. එමෙන්ම අලියා ලුණු කෑමටද ඉතාමත් ප්‍රිය කරයි. එනමුත් ඇත් ගොව්වන් මිනිසුන්ට අලියාට ලුණු කෑමට ඉඩ නොදෙයි. මන්ද එසේ වුවහොත් අලියා ඇත් ගොව්වට වඩා ලුණු දුන් පුද්ගලයාට ආදරය කිරීමට පෙළඹෙන බැවිනි.



සිවුපා සතුන් අතරින් ඉතා හොද මතකයක් හිමි සතෙක් ලෙස අලියා ඉහලින් සිටියි. එමෙන්ම අලියාට හොදක් හෝ නරකක් තරයේ සිතේ තබාගෙන සිටිය හැකිය. මෙයට හොද උදාහරණයක් දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් ලැබේ. දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වන නන්දිමිත්‍ර යෝධයා දිනක් කණ්ඩුල ඇතාට යම්කිසි අවමානයක් ( විහිලුවක් මෙන් ) සිදු කලේය. මෙය සිතේ තබාගත් කණ්ඩුල තරමක ගල් කැබැල්ලක් තම කටේ සඟවාගෙන සිටියේ ය. ඒ අවස්ථාවක් ලද විට නන්දිමිත්‍රට පහර දීමටය. මේ ගල් කැබැල්ල දිගු කාලයක් තබාගෙන සිටි බව පැවසෙයි. අනුරාධපුරයේ විජිතපුර බලකොටුව බිඳ දැමූ මොහොතේ බිත්තියක් කණ්ඩුල ඇතාගේ ඇඟට වැටුනේය. එවිට නන්දිමිත්‍ර යෝධයා එම බිත්තිය කණ්ඩුලගේ පිටින් අහක් කල විට කණ්ඩුලගේ කෝපය එතැනින් අහවර විය. එවෙලේම කණ්ඩුල ඇතා තම කටේ සඟවාගෙන සිටි ගල් කැබැල්ල බිම දැමූ බව කියැවේ.

අලි රංචුවක කුඩා අලි පැටවා සිට දැවැන්තයා දක්වා විහිදේ. අලි රංචුවක වැඩියෙන්ම සිටින්නේ ගැහැණු සතුන් ය. අලි පවුල මාතෲ මූලික ඒකකයකි. පිරිමි අලින් ගැහැණු අලින් සමඟ සිටින්නේ කාම ආශාව ඇති වූ විට පමණි ( සැමවිටම නොවේ ). අලි පැටවෙක් අලි රංචුවට ලැබුන විට එම අලි පැටවාව මඳුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අලි පැටවාගේ ඇඟේ මැටි ආලේප කරයි. එමෙන්ම අලි පැටවෙක් ඉපදුන විට රංචුවේ සියලුම ගැහැණු සතුන්ට කිරි එරෙයි. එමගින් අලි පැටවාට පෝෂණය නොඅඩුව ලැබේ.  

            
  අලි ඇතුන්ට තම පැටවුන් ආරක්ෂා කර ගැනීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවකි. මන්ද කුඩා කාලයේදී උන්ට වැලදෙන කෘමි රෝගයයි. මෙම පණු රෝගයෙන් ගැලවීමට අලි දෙනුන් විසින් කිරි මැටි වැනි ඖෂධ ගුණයෙන් යුත් මැටි වර්ගයක් ආහාරයට ලබා දේ. මෙමඟින් උන් කෘමි උවදුරෙන් ආරක්ෂා වේ. 

   අතීතයේ රාජ භාණ්ඩාගාරයේ ආදායම් වැඩිවීම සදහා ද, කර්මාන්තවල බර වැඩ සඳහාද රාජ සේවය පිණිසද අලි ඇතුන් ඇල්ලීමේ කාර්යභාරය පැවරී තිබුනේ ගජනාය ධූරයට යි.
සාමාන්‍යයෙන් ඇතින්නක් හෝ කෙනරක් ගැබ් ගැනීමේ කාලය මාස 18ක් පමණ වේ ( නියත වශයෙන්ම නොවේ. ) ඇතින්නක් හෝ කෙනරක් තම සහකරු වශයෙන් තෝරාගන්නේ ඉතාමත් ශක්තිමත් අලියෙක් හෝ ඇතෙකි. එවිට උන්ට ලැබෙන පැටවාද උපතින්ම ශක්තිමත් පැටවෙක් වේ. 


පලමුවන රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ ධජය හස්තියා මහා කොඩියයි. සීතාවක රජුට ප්‍රභල හස්ති සේනාංකයක් තිබීය. නිල් පැහැති පසුබිමක රන්වන් පැහැයෙන් හස්ති රුව සිත්තම් කර ඇති සීතාවක ධජය අප රටේ දේශීය අලි ඇතුන්ට එම යුගයේ තිබූ උසස් තැන පිලිඹිබු කරයි.  හිංදු බැතිමතෙක් වූ රාජසිංහ රජතුමා සිය ධජය සදා ඇති රුව යොදාගත්තේ රාධ ක්‍රිෂ්ණන් බ්‍රාහ්මණයාගේ කීමට යැයි පැවසේ. ඇත් මුහුණ යනු ගණ දෙවියන්ට සම්බන්ධ සංකේතයකි.  





මුද්දරයක්

 
  කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අලි ඇතුන් ඇල්ලීමේ ප්‍රධාන කාර්යංශය මාතර පිහිටි බැවින් මාතර දිසාවේගේ ධජයේ සලකුණ රුහුණු ගැටයා වීය. රුහුණු ගැටයා හෙවත් කුරු අලියා රෝහණ දේශයට සුවිශේෂී සත්වයෙකි. දුරුගැමුණු රජුගේ කණ්ඩුලා ඇතාත් රුහුණු ගැටයෙකි. කුරු ඇතාගේ රුව මධ්‍යයේ පිහිටා ඇති මෙම ධජයේ හිරු , සදු රූ සහ ලංසවල අත්වැසුම් දෙකක්ද ඇත. මෙම ලංස අත් වැසුම් හංසයෙකුගේ හොටය මෙන් කලාත්මකව සකසා ඇති අතර එහි සෙබළෙකුගේ හිසක්ද කැටයමට නගා ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම ධජය මහනුවර පෙරහැරටද යොදගෙන ඇත.

මාතර දිසාවේ කොඩිය

මාතරට අයත් තවත් කොඩියක්


  ඇත් පොරය ප්‍රදර්ශනය වන මහා කොඩිය ඒඳඩුවාවේ පණික්කි දිසාව සිය රාජකාරි ධජය ලෙස භාවිතා කර ඇත. තදරතු පැහැති පසුබිමකින් යුත් මෙම ධජයේ කහ පාටින් ඇත් රූ සිතුවම් කර ඇත. දළ ඇතුන් දෙදෙනෙක් පොරයට වැටී ඇති අයුරු දැක්වෙන මෙම ධජය දැන් ශ්‍රී දළදා මාළිගාවේ ධජයක් ලෙස භාවිතා කරයි.


පෘතුගීසි, ලංදේසි හා ඉංග්‍රීසින් අප රට තුල භාවිතා කල කොඩි තුලත් අලි ඇතුන් සිටියි.

පෘතුගීසි යුගයේ රාජ්‍ය ලාංචනය

ලන්දේසි යුගයේ රාජ්‍ය ලාංචනය

ඉංග්‍රීසි යුගයේ රාජ්‍ය ලාංචනය

         
 අලි ඇතුන් පිලිබද තවත් රසවත් තොරතුරු සමඟ ඊළඟ කොටහින් හමුවෙමු...

ලිපි පෙළ සඳහා මූලාශ්‍ර :

අලි ඇතුන්ගේ ඉතිහාසය ( ග්‍රන්ථය ) - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

නඩේ ගුරා සංසදයේ ලිපි

ලංකාදීප, සිළුමිණ , ලක්බිම, විජය, මව්බිම පුවත්පත්වල පලවූ ලිපි

අරුන රණවක, රොෂාන් බෝපිටිය, ශෂිකලන රත්වත්ත යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු

පින්තූර සැපයීමෙන් දායක වූ හසිත චාමිකර ගුණසිංහ මහත්මාට බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා.

කෝකිල සංදේශය, මයුර සංදේශය

පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

වනජීවී දෙපාර්තුමේන්තුව

16 comments:

  1. Replies
    1. ස්තූතියි කියෙව්වට ...

      Delete
  2. අදත් ආසාවෙන් කියෙව්වා. ලිපිය ලිවීමට දායක කර ගත් මූලාශ්‍ර දැක්වීමත් සහයවූවන්ට ස්තූතිය පිදීමත්, රචකයෙකුගේ හොද ගුණාංගයක්. දිගටම ඒ ගුණාංගය රඳවගන්න මල්ලි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ... ජයවේවා!!!

      Delete
  3. නියමයි.. ඊළඟ ලිපිය ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා... ස්තූතියි මේ වගේ දැනුමැති ලිපියක් පළකිරීම සම්බන්ධයෙන්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බුද්ධික සහෝ....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කුරු අලි පොඩි උනාට ශක්තිමත් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් Ano... කුරු අලි ඇඟෙන් පොඩි උනාට ඇඟ පත ලොකු සද්දන්ත අලින්ට උනත් භය නෑ... හොදම උදාහරණයක් තමා කණ්ඩුල...

      Delete
  6. හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Ano කියෙව්වට ...

      Delete
  7. අලින්ට මතක තියන කතාව කියද්දී මතක් වුනේ අලිපාර නවකතාව..හැබැයි පඹයන් ගේ ඔලුවේ හකුරු තියල අලින් මාංශ භක්ෂක කරන කතාවනම් විශ්වාස කරන්නඅමාරුයි...

    ReplyDelete
    Replies
    1. මේ කරුණ නම් හොයාගත්තේ මිරැන්ඩෝ ඔබේසේකරගේ පොතකින්... මේ දේ කියලා තියෙන්නේ ඇත් ගොව්වෙක්...

      Delete
    2. බොහොම ස්තූතියි කියෙව්වට ...

      Delete
  8. //..දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වන නන්දිමිත්‍ර යෝධයා දිනක් කණ්ඩුල ඇතාට යම්කිසි අවමානයක් ( විහිලුවක් මෙන් ) සිදු කලේය...//

    මේක විහිළුවක් නෙමේ. අනුරපුර මහ සටනට කලින් තමන්ගේ යෝධයන්ගේ ශක්තිය බලන්න රජතුමා පවත්වපු තරගයකදී රා පොවලා මත් කරපු කණ්ඩුල හස්තියාව මෙල්ල කරන්න නන්දිමිත්‍ර සමත් වෙනවා.

    //..මෙය සිතේ තබාගත් කණ්ඩුල තරමක ගල් කැබැල්ලක් තම කටේ සඟවාගෙන සිටියේ ය. ඒ අවස්ථාවක් ලද විට නන්දිමිත්‍රට පහර දීමටය. මේ ගල් කැබැල්ල දිගු කාලයක් තබාගෙන සිටි බව පැවසෙයි...//

    පොර පොල් ගෙඩියක් තියාගෙන හිටියා කියලා තමා මට මතක. මේ කථාව මහාවංසේ තියෙනවා මල්ලී කියවලා බලන්න

    //.අතීතයේ රාජ භාණ්ඩාගාරයේ ආදායම් වැඩිවීම සදහා ද, කර්මාන්තවල බර වැඩ සඳහාද රාජ සේවය පිණිසද අලි ඇතුන් ඇල්ලීමේ කාර්යභාරය පැවරී තිබුනේ ගජනායක මුදලි ධූරයට යි..//

    ගජනායක මුදලි කියනවාට වඩා ගජනායක හෝ ගජනායක නිළමේ කියන ව්‍යවහාරය තමා නිවැරදි. අලි ඇත්තු අල්ලනවා වගේම එයාගේ ප්‍රධාන කාර්යය තමා රාජකීය ඇත් හමුදාවේ නායකත්වය දරමින් ඒ කටයුතු සිදු කිරීම. ඊට අමතර කාර්යය තමා අනෙක්වා

    //..ල් පැහැති පසුබිමක රන්වන් පැහැයෙන් හස්ති රුව සිත්තම් කර ඇති සීතාවක ධජය අප රටේ දේශීය අලි ඇතුන්ට එම යුගයේ තිබූ උසස් තැන පිලිඹිබු කරයි. හිංදු බැතිමතෙක් වූ රාජසිංහ රජතුමා සිය ධජය සදා ඇති රුව යොදාගත්තේ රාධ ක්‍රිෂ්ණන් බ්‍රාහ්මණයාගේ කීමට යැයි පැවසේ...//

    සීතාවක කොඩිය කියලා හඳුනාගෙන තියෙන කොඩියේ ඉන්නේ ගජසිංහයා මල්ලී. පොඩ්ඩක් ඒ කොටස නිවැරදි වෙන්න ඕනේ මම හිතන්නේ. ඒ වගේමයි සීතාවක රාජසිංහ රජතුමා හින්දු භක්තිකයෙක් කියලා කිව්වට හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන පාර්ශව දෙකක් තියෙනවා. ශිව භක්තිකයෝ සහ විෂ්ණු භක්තිකයෝ කියලා. රජතුමා ශිව භක්තිකයෙක්. ඒ පදනම මත ඉදලා ගත්තොත් රජතුමා ගන්න ඕනේ ගව රූපේ. මොකද ශිව දෙවියන්ගේ වාහනේ ගවයා නිසා. අනෙක තමා රජතුමාගේ පුරෝහිතයා විදිහට කටයුතු කළේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කියන ආඬි ගුරා. රාධ ක්‍රිෂ්ණන් කියන බමුණෙක් ගැන නම් අහලා නැහැ.

    //..ඇත් රුව යනු ගණ දෙවියන්ට සම්බන්ධ සංකේතයකි...//

    ඇත් රුව ගණ දෙවියන්ට සම්බන්ධ සංකේතයක් කියනවාට වඩා නිවැරදි ඇත් මුහුණක් ගණ දෙවියන්ට තියෙන නිසා. ඇතා කියන්නෙත් විටෙක ගණ දෙවියන් නිරූපණය කරන්න ගන්නවා කියන එක.

    //..කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අලි ඇතුන් ඇල්ලීමේ ප්‍රධාන කාර්යංශය මාතර පිහිටි බැවින් මාතර දිසාවේගේ ධජයේ සලකුණ රුහුණු ගැටයා වීය. රුහුණු ගැටයා හෙවත් කුරු අලියා රෝහණ දේශයට සුවිශේෂී සත්වයෙකි. දුරුගැමුණු රජුගේ කණ්ඩුලා ඇතාත් රුහුණු ගැටයෙකි...//

    කීර්ති ශ්‍රී රාජසිංහ කාලේ මුහුදු බඩ පළාත් සියල්ලම වගේ ලන්දේසීන්ට යටත් වෙලා තිබුණේ. ඒ නිසා මේ මාතර තිබ්බා කියන කාර්යංශය ප්‍රශ්නයක්. අනෙක ඒකට භාවිත වුණු යෙදුම තමා "කුරුවේ බද්ද" කියන එක. කණ්ඩුල ඇතා කුරු අලියෙක් වුණේ කොහොමද ? ඒක නම් තව ටිකක් හොයලා බලන්න වෙනවා මල්ලි

    //..ඇත් පොරය ප්‍රදර්ශනය වන මහා කොඩිය ඒඳඩුවාවේ පණික්කි දිසාව සිය රාජකාරි ධජය ලෙස භාවිතා කර ඇත...//

    මම මුහුණුපොතෙත් සිහිපත් කළා පණික්කි දිසාවේවරු නැහැ. දිසාවක් භාරව දිසාවේවරු ඉන්නවා. ඒ වගේමයි ඒකෙන් සතර කෝරළේ ඇතුළු දිසා 4 ක දිසාවේවරු 'මහ දිසාවේ' කියලා හඳුන්වනවා.

    මල්ලිගේ උත්සහය අගය කරනවා. ඒත් තවත් මූලාශ්‍රය කියවලා මේ ලිපිය ලිව්වා නම් හොඳයි කියලා තමා මගේ අදහස. සූරිය ප්‍රකාශකයන්ගේ ප්‍රකාශයට පත් කරපු අලි ඇතුන් ගැන පොතක් තියෙනවා. මට ලේඛකයා මතක් වෙන්නේ නැහැ. හොඳ පොතක් කියවලා බලන්න පුලුවන් නම්.

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා අයියේ... මම ලිපිය නැවත හරිගස්සවන්නම්...

      Delete

මා කියවූ පොත් - බෞද්ධ මනෝචිකිත්සාව [එච්.එස්.එස්. නිශශංක]

"මිනිසාට විවිධ වූ මානසික රෝග වැලැදෙන්නේ කෙලෙස් නිසාය. කවර ආගමකට ජාතියකට අයත් වුවත් කෙලෙස්වල ස්වභාවය පොදුය. ඒ නිසා කවර යම් ජන කොටසකට අයත...