Tuesday, July 3, 2018

දෙවියන්ගේ මිනිස්සු - ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

අපට කුඩා කල උගන්වා ඇත්තේ මිනිසෙකු උපතින් ගැහැණු හෝ පිරිමි වන බවයි. එහෙත් සමහර පිරිමි දරුවන් කලක් ගත වන විට ගැහැණු ලක්ෂණ ද සමහර ගැහැණු දරුවන් පිරිමි ලක්ෂණ ද පෙන්වයි. මේවා ස්වභාවිකව සිදුවේ. මෙය 'වැරැද්දක්' නොවේ. සමහරු ලිංගික අවයව සැත්කමකින් වෙනස් කර ගනියි. මොවුන් පොදුවේ සංක්‍රාන්ති ලිංගිකයන් වශයෙන් හදුන්වති.

ඉන්දියාවේ සියවස් ගණනාවක් පටන් පැවත ආ සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන් සමන්විත ජනකොටසක් සිටියි. නැටුම් ආශ්‍රිතව තමන්ටම කියා සංස්කෘතියකට හිමිකම් කියන මොවුන් නමින් හිජ්‍රා වේ. ගාන්ධි මොවුන්ව හැදින්වූයේ 'දෙවියන්ගේ මිනිසුන්' කියාය. එසේ කීවේ මොවුන්ගේ සමාජ තත්වය උසස් කරලීමටයි. පසුගිය සියවසේ ලංකාව තුල වර්ධනය වී වර්තමානය වන විට ශේෂව යන මෙවැනි සංස්කෘතියක් පවතියි. ඔවුන් 'නච්චි' ලෙස හදුන්වති. ලංකාවේ මොවුන්ගේ මූලය ගැන විවිධ මත පවතින අතර ඉන් ප්‍රධාන වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි නර්තන කණ්ඩායම් ඇසුරෙන් හා ලිංගික වෘත්තියන් ඇසුරෙන් 'නච්චි' ජන කණ්ඩායම් ආරම්භ වූ බවයි. මොවුන්ටම කියා යම් යම් දෑ හැදින්වීමට වචන දෙතුන්සීයක පමණ කුඩා වාග්මාලාවක් පවතින අතර වෙනමම උප සංස්කෘතියකට හිමිකම් කියයි. වර්තමානය වන විටදී ද නච්චි ජන කණ්ඩායමේ වැසියන් සුළු වශයෙන් සිටියි.

ඉන්දියාව සහ පකිස්තාන වැනි රටවල් වල සමහර සංක්‍රාන්ති ලිංගිකයන් ඔවුන් ඒ තත්වයට පත් වූ විට නිවෙස් වලින් පිටවී වෙනම ම කණ්ඩායම් ලෙස ජීවත් වේ. ලංකාවේ ද කොළඹ අවට මේ තත්වය ඉතා සුළුවට පවතියි. එය ඉන්දියාවේ හා පකිස්තානයේ තරම් සැලකිය යුතු අයුරින් විශාල ප්‍රමාණයක් නොවේ.

යමෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් බවට පත්වන්නේ ස්වභාවිකවයි. මෙය කිසි විටෙක වැරැද්දක් නොවේ. නමුත් අද සමාජයේ සිටින බොහෝ දෙනා මෙය වැරැද්දක් ලෙස දැක ඔවුන්ට දෝෂාරෝපණය කරයි. මෙය ඒ ඒ අයගේ පවුල් තුලින් ද පැන නැගේ. හොදක් කියන්න කෙනෙක් නැත. උදේ හවා මෙසේ විවිධ කෙනෙහිලිකම් වලට ඔවුන් මුහුණ දෙන නිසා බොහෝ අය සියදිවි හානි කරගන්නට උත්සහ ගනියි. දෝෂාරෝපණ පමණක් නොව මිනිසුන් ඉදිරියේ කොන් කිරීම, ලැජ්ජාවට පත් කිරීම හා ලිංගික අතවර මොවුන් එදිනෙදා මුහුණපාන ගැටලු වේ.

රැකියා අවස්ථා ගැන කතාකරන විට මොවුන්ට සමාජයේ ඉහළ යැයි සම්මත රැකියා වලට යාමට ඇති අවස්ථා ඉතාමත් විරලය. අධ්‍යාපනික සුදුසුකම් තිබුන ද තමන් සංක්‍රාන්ති ලිංගිකයෙක් ලෙස දැනගත් විට බොහෝ අය රැකියා අවස්ථාවක් ලබා දීමට මැලි වේ. එමනිසා කුඩා කුඩා රැකියා වලින් යැපීමට ඔවුනට සිදුවේ. ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ වෘත්තීන්ට සමහර සංක්‍රාන්ති ලිංගිකයන් යොමු කරවන්නේ ද මේ හේතුවමයි.

ආගමික වශයෙන් ගත් විට අතීතයේ දී මොවුන්ව පීඩනයකට ලක් නොකල අතර වර්තමානයේ දී යම් යම් අවස්ථාවන් හිදී හැර මොවුන්ව පීඩාවට ලක් කරයි. සමහරු මෙම සංක්‍රාන්ති ලිංගිකයන්ව පීඩාවට පත් කිරීමට විවිධ ආගමික කරුණු හුවා දක්වයි. නමුත් ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ පසු කාලීනව එම කරුණු ඒ ඒ ආගම් වලට එකතු වූ ඒවා බවයි.

සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධව නීතිමය කරුණු දැන් සොයා බලමු. මොවුන් සම්බන්ධව නීති කරුණු කිහිපයක් පවතියි. ඉන් ප්‍රධාන එකක් වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය යටතේ එන වෙනත් අයෙකු ලෙස පෙනී සිටීමයි. සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව මෙම නීතිය බොහෝ අවස්ථා වලදී වැරදි ලෙස භාවිතා වේ. මෙම නීතියේ අන් අයෙකු ලෙස පෙනී සිටීම හරිහැටි විස්තර කර නොමැති නිසා සංක්‍රාන්ති ලිංගිකයන් මේ නිසා දඬුවම් විඳියි. එම නිසා මෙම නීතිය වෙනස් කර යමෙක් අනන්‍යතාව සඟවන්නේ කුමන චේතනාවෙන් ද යන වග සොයා බලා දඩුවම් කිරීම සිදුකල යුතුයි.

මෙවැනි තවත් නීතියක් නම් අයාලේ යාමේ ආඥා පනතයි. මේ සදහා ඉතා කුඩා දඩයක් පමණක් හිමි වුවත් මෙය යොදාගෙන පාරේ සිටින සංක්‍රාන්ති ලිංගිකයන්ට පොලීසිය විසින් දඩුවම් කරනු ලැබූ අවස්ථා එමටයි. පොලීසියට ඔවුන්ව ගෙනැවිත් ඔවුන්ගෙන් විනෝද වූ අවස්ථා ද එලෙසම තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තියේ සදහන් අස්වාභාවික ලිංගික හැසිරීම් සම්බන්ධ නීතිය ද මොවුන්ට විරුද්ධව බොහෝ විට යොදා ගනියි. මෙම නීතියේ ද අස්වාභාවික ලිංගික හැසිරීම  හරිහැටි හදුන්වා නැති අතර මෙය බ්‍රිතාන්‍යයන් විසින් තම යටත්විජිත වලට හදුන්වා දුන් නීතියකි. 1995 වන තෙක් මෙම නීතිය යටතේ දඬුවම් දුන්නේ පිරිමි පිරිමි අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් සදහා පමණි. නමුත් එම නීතිය ඉවත් කිරීමට පසුව යෝජනා වූ අතර එහි ප්‍රථිපලය වූයේ ගැහැණු ගැහැණු අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් සදහා ද මේ යටතේ දඩුවම් දීමට හැකියාව ලැබීමයි. මෙම නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් වලට දඩුවම් ලබා දේ.

අනන්‍යතාව ගැන කතාකරන විට අප සියලු දෙනාටම හැදුනුම්පතක් හා උප්පැන්න සහතිකයක් තිබේ. මානව හිමිකම් කොමිසමට අනුව පසුගිය වසරේ දී ලාංකික සංක්‍රාන්ති ලිංගිකයන්ට හැදුනුම්පතක් හා උප්පැන්න සහතිකයක් දීමට කටයුතු කරනු ලබයි. මේ සදහා ඔවුන් මනෝ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ලබාගත යුතු වන අතර ඉන් වසර එකහමාරකට පමණ අධ්‍යන කාලයකට පසු හැදුනුම්පත හිමිවේ. ලංකාවේ මෙවැනි අනන්‍යතාවයක් ලබා ගැනීම උදෙසා සංක්‍රාන්ති ලිංගිකයන් උද්ඝෝෂණ හෝ ඉල්ලීම් කලේ නැත. මන්ද එවිට තම අනන්‍යතාව සගවාගෙන සිටින සමහර සංක්‍රාන්ති ලිංගිකයන් මේ නිසා සමාජයේ දැඩි පීඩනයකට ලක්වන නිසාය. කෙසේ නමුත් මෙය ඔවුන්ගේ අයිතියකි.

මේ විසිඑක්වන සියවසයි. සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ගැඹුරින් කතා කල යුතු හා ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා කතා කල යුතු කාලයකි මේ. නමුත් ඊට පෙර මොවුන් පිලිබද අද ලාංකික සමාජයේ ඇති ආකල්ප ශෝධනයකට ලක් කල යුතු වේ. එවිට සංක්‍රාන්ති ලිංගිකයින්ට මිනිසුන් ලෙස සලකන කාලයක් උදා වේවි.

ප.ලි. - විශේෂ ස්තූතිය - දමිත් චන්දිමාල් මහතාට සහ අරුණ ශාන්ත නෝනිස් මහතාට


21 comments:

  1. සංක්‍රාන්ති ලිංගිකයින්ද අප සමාජයේම කොටසකි. ඔවුන්ටද සැමට පොදු හිමිකම් සමව හිමිවිය යුතුය. එසේ ඔවුන් කාගේවත් උපහාසයට ලක් විය යුතු පිරිසක්ද නොවේ. කවුරුන් හෝ එසේ කරන්නේ නම් ඒ සිනාසෙන්නේ තමාටම බව දත යුතුයි.

    ReplyDelete
  2. අගනා ලිපියක්

    ReplyDelete
  3. Very good effort. You have achieved it.

    ReplyDelete
  4. දෙවියන්ගේ මිනිස්සු=හරි ජන
    මේ කියන්නේ අඩුකුලේ අයට නේද?

    ReplyDelete
  5. https://www.advocate.com/religion/2016/9/06/19-lgbt-hindu-gods

    ReplyDelete
  6. https://en.wikipedia.org/wiki/Ardhanarishvara

    ReplyDelete
  7. ඔය පරණ සුද්දගේ නීති ඉවත් කරන්න කාලේ හරි

    ReplyDelete
    Replies
    1. මම නන් කියන්නේ ඉවත් කරනවට වඩා අවම වශයෙන් සංශෝදයක්වත් විය යුතුයි... උදාහරණයක් විදිහට වෙනත් අයෙකු ලෙස පෙනී සිටීමේ නීතියේ මූලික බලාපොරොත්තුව හොදයි... හැබැයි ඒක අර්ථගන්වලා තියෙන විදිහට සංක්‍රාන්ති ලිංගිකයන්ට අනිසි විදිහට බලපානවා... ඒවා සංශෝදනය වෙන්න ඕනෙ...

      Delete
  8. ජාතිය, ජන්මය, ලිංගිකත්වය සේරම උලුප්පලා පොරවල් වෙන්න හදන වැඩි දෙනා එහෙම කරන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ මොකාක් හරි ලොකූ අඩුවක් වහගන්න නේද?

    ReplyDelete
  9. ලංකාවේ ඉන්න බහුතරය ළිං මැඩියෝ දරන ගොබ්බ මත සමග සමග මෙවන් අදහස් සහ නීති වෙනස් වෙන්න තව අවුරුදු 1,000 ක් ගියත් පුදුමයක් නැහැ :(

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...