Wednesday, April 15, 2020

ඇමරිකාව රතු ඉන්දියානු දරුවන් දහස් ගණනක් සොරාගත් ආකාරය

බ්‍රිතාන්‍ය වැසියන් ඇමරිකාවට පැමිණ ජනපද සාදා පසුව ඔවුන් බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට දැරූ ප්‍රයත්නය ‘ඇමරිකානු විප්ලවය’ ලෙස අපි හදුන්වමු. එම ප්‍රයත්නය සාර්ථක වූ පසු ජනපද සියල්ල එකතු වී ‘ඇමරිකා එක්සත් ජනපදය’ ලෙස රටක් සෑදුනු බවද අපි ඉතිහාසයේ දී ඉගෙන ගත්තෙමු. මෙම ජනපද සෑදිමට පටන් ගත් කාලයේ සිටම ඔවුන්ට ප්‍රධාන ගැටළුවකට මුහුණ දීමට සිදුවිය. එනම් ඒ වන විටත් එම භූමියේ වාසය කල ස්වදේශිකයන් සිටීමයි. ඔවුන්ව හදුන්වන්නේ රතු ඉන්දියානුවන් ලෙසයි. කොලොම්බස් ඇමරිකාවට පැමිණි පසු ඔහු සිතුවේ ඔහු පැමිණ සිටින්නේ ඉන්දියාවට බවයි. මේ හේතුවෙනුයි ඔහු එහි සිටි ස්වදේශියන්ට ‘රතු ඉන්දියානුවන්’ යන නාමය භාවිතා කලේ.

1776 සිට ඇමරිකානු ජනපද වැසියන් ක්‍රමක්‍රමයෙන් තමන්ට තර්ජනයක් වූ ස්වදේශිකයන් මරා දැමීමේ ක්‍රියා පිලිවෙත ආරම්භ කලේ ය. අතිශය දරුණු අන්දමින් මෙය ක්‍රියාත්මක වූ අතර මුලදී ඇමරිකාව පුරාවට විසිරී සිටි ස්වදේශිකයන් 1880 වන විට ඇමරිකාවේ දකුණු පෙදෙසේ ප්‍රදේශ කිහිපයකට කොටු කළේය. ස්වදේශිකයන්ව ප්‍රදේශ කිහිපයකට සීමා කල නමුත් ඔවුන්ගේ ජනගහණය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමට පටන්ගත්තේ ය. පරිපූර්ණ ඇමරිකානුවන්ගෙන් සුසැදි රටක් සෑදීම අරමුණු කරගත් ඇමකානු රජයට මෙය මහත් තර්ජනයක් විය. මේ හේතුවෙන් ඔවුන් නව ක්‍රමයක් තුලින් ස්වදේශිකයන්ව මර්ධනය කිරීමට පටන් ගත්තේ ය.

රතු ඉන්දියාන් ළමුන් (history.com)

මේ අලුත් ක්‍රමය ආරම්භ කලේ රිචඩ් හෙන්රි ප්‍රැට් නම් වූ හමුදාපතිවරයා විසින්. ඒ පරීක්ෂණයක් ලෙසින්. තම හමුදාව යටතේ සිටි ස්වදේශික සිරකරුවන්ට ඉංග්‍රීසි ලිවීමට කියවීමට උගන්වා ඇමරිකානු හමුදාවේ ඇදුම් අන්දවා තම සංස්කෘතිය උගන්වා ඒ සියලු දෙනාගේ හොරතුරු ඇමරිකානු රජය වෙත දැන්වූවා. ඇමරිකානුවන් සිතුවේ ස්වදේශිකයන් ශිෂ්ට සම්පන්න නොවන ලෙසයි. හෙන්රි ප්‍රැට් විසින් තම වාර්තාවෙන් ස්වදේශිකයන්ව ශිෂ්ට සම්පන්න මිනිසුන් කිරීමට හැකියාව ඇති බව කියා සිටියේ ය. 

1879 දී හෙන්රි හට මෙම ව්‍යාපෘතිය කරගෙන යාම සදහා මුදල් ප්‍රතිපාදන රජයෙන් ලැබුණි. ඒ අනුව රතු ඉන්දියානුවන් සදහා පලමු නේවාසික පාසල ආරම්භ කෙරුණි. “ඉන්දියානුවා මරා මිනිසා බේරාගන්න” යනු මෙහි ආදර්ශ පාඨයයි. මෙම පාසල සදහා ස්වදේශික ළමුන් ඇතුලත් කලේ බොහෝ විට බලහත්කාරයෙනි. එහිදී ළමුන්ගේ කොණ්ඩය කපා ඔවුන් ඇඳ සිටි ස්වදේශික ඇදුම් ආයිත්තම් වෙනුවට යුරෝපීය ඇදුම් ඇන්දුවේ ය. මෙම පාසල තුලදී ස්වදේශික භාෂා කතා කල නොහැකි අතර ඔවුන්ගේ නම් ද වෙනස් කළේ ය. ඔවුන් සෑම විටම උත්සහ කළේ හැකි සෑම අයුරකින්ම මෙම ළමුන්ගේ ස්වදේශික සංස්කෘතික හැදියාව නැති කර දැමීමට යි.

පාසල් තුල රතු ඉන්දියානු ළමුන්ට ඉංග්‍රීසි උගන්වන ආකාරය (history.com)

මෙම ව්‍යාපෘතියෙන් ඇමරිකානුවන් මූලිකත්වය දී කටයුතු කළේ ඉතාමත් සංවේදී අංශයක් වූ දරුවන්ට යි. මෙම පාසලෙන් ස්වදේශික ළමයින්ට රතු ඉන්දියානුවෙක් වීම ලැජ්ජාවට කරුණක් ලෙස ඉගැන්වූවා. මේ සියල්ල සිදු කළේ රතු ඉන්දියානුවන්ගෙන් ඔවුන්ගේ සංස්කෘතියට ආදරය කරන රැකගන්න ඊළග පරම්පරාවක් නැති කර දැමීමයි. වැඩි කාලයක් යාමට මත්තෙන් මෙය ඇමරිකානුවන් සිතූ ලෙසම සාර්ථක වුනා. කෙටි කාලයක් තුල ඇමරිකාව තුල ස්වදේශිකයන් සදහා වූ පාසල් 350කට අධික ප්‍රමාණයක් විවෘත වූයේ එහි ප්‍රථිපලයක් ලෙසයි.

1900 වන විට මෙම පාසල් තුල ස්වදේශික ළමුන් 20,000ක් පමණ සිටි අතර 1925 වන විට එම අගය තුන් ගුණයකටත් වඩා වැඩි විය. බලහත්කාරයෙන් ඇතුලත් කරගත් මේ ළමුන්ට පාසල් තුලදී දූෂණ, මරණ අත් වූ අවස්ථා ද තිබුණි. සමහරු මෙයින් පැන ගියහ. නමුත් සමහරු වාසනාවන්ත වූයේ නැත. එකල මෙවැනි පාසල් වටා ස්වදේශික රතු ඉන්දියානුවන් කූඩාරම් ගසාගෙන සිටියේ තමන්ට හැකි අයුරින් ළමුන්ට කිට්ටුව සිටීමටයි. ඔබ කුඩා කල දී “One little two little three little Indians” යන ළමා ගීය අසා ඇතැයි සිතමි. මෙය පළමුව ව්‍යවහාරයට එන්නේ ස්වදේශික රතු ඇමරිකානුවන්ගේ පාසල් තුලයි.

රතු ඉන්දියානුවන් පාසල් අවට කූඩාරම් ගසාගෙන සිටි ආකාරය (Wikipedia.org)

මේ අතර ස්වදේශිකයන්ගේ භූමිය සූරා කෑම ඇමරිකානුවන් නතර කළේ නැත. ඉතිරිව තිබූ කුඩා කොටසිනුත් තුනෙන් දෙකක කොටසක් ඇමරිකාව විසින් අත්පත් කරගත්තා. 1928 දී එළිදැක්වුනු වාර්තාවක් අනුව මෙම පාසල් වල සිදුවූ අකටයුතුකම් හේතුවෙන් බොහෝ පාසල් වසා දැමීමට කටයුතු කළා. 1960 අවධිය වන විට ඇමරිකාව තුල සෑදුනු රතු ඉන්දියානු සංගම් මෙම පාසල් වලට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත විය. 1970 අවධිය වන විට දීර්ඝ උද්ඝෝෂණ වල ප්‍රථිපලයක් ලෙස තවත් මෙවන් පාසල් වැසීමට පටන්ගත්තේ ය. නමුත් තවමත් එවන් සියලු පාසල් සියල්ල වැසී නැත.

1960 අවධිය වන විට මෙම පාසල් වලට ක්‍රමයෙන් සමාජයෙන් විරෝධය පැමිණීමට පටන් ගත් පසු ඇමරිකාව ස්වදේශිකයන් මර්ධනය තවත් ආකාරයකින් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. ස්වදේශික ළමුන් ඇමරිකානු පවුල් වලට දරුකමට හදාගැනීමට ලබා දීම එම ව්‍යාපෘතියයි. මෙය ඇරඹුනේ 1958 වසරේ දී. විවිධ මාධ්‍යයන් වල මෙම ස්වදේශික ළමුන්, අතහැර දැමූ ළමුන් ලෙස පවසා ඔවුන්ව හදාවඩා ගැනීමට පවුල් සෙවීමේ කටයුත්තේ නිරත වුනා. නමුත් එම ළමුන්ගෙන් බහුතරයක් දෙමව්පියන් විසින් අතහැර දැමූ ළමුන් නොවේ. පවුල් වලින් බලහත්කාරයෙන් රැගෙන ගිය ළමුන්. සමහර මාධ්‍ය වාර්තා වල දැක්වුනේ රතු ඉන්දියානු දෙමව්පියන් ඔවුන්ගේ ළමයින්ව හදාවඩා ගැනීමට සුදුසු නොවන බවයි. රතු ඉන්දියානු පවුලක සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටින නිසා එවන් පවුලක ළමයෙක්ට ජීවත් විය නොහැකි බවත් මෙම මාධ්‍යයන් වාර්තා කර තිබුනා. එමනිසා මාධ්‍යයන් පවසන දෑ එදත් අදත් පමණක් නොව මතුවටත් ප්‍රශ්න කළ යුතු බව මෙම ඉතිහාසයෙන් උගත හැකියි.

1977 දී රතු ඉන්දියානුවන් මුහුණ දුන් මෙම ගැටලුවට පිලිතුරක් ලෙස එරට රජය විසින් ICWA (Indian Child Welfare Act) නම් වූ පනත ගෙනෙනු ලබනවා. එමගින් සිතුමතේ රතු ඉන්දියානු ළමයින්ව තම පවුල් වලින් වෙන් කිරීමට නොහැකි වන ලෙස නීති සම්පාදනය කර ඇත. එමෙන්ම යම් ළමයෙක්ව පවුලෙන් ඈත් කළ යුතු නම් දරුවා හදාවඩා ගන්නා ඇමරිකානු පවුල තවත් රතු ඉන්දියානු පවුලක් සමග එක්ව දරුවා හදාවඩා ගත යුතුයි. රතු ඉන්දියානු ළමුන් වෙනුවෙන් ඇති එකම පනත මෙය වුවත් එය ප්‍රමාණවත් ද? යන පැනය ඇමරිකාව දෙසින් එන ප්‍රවෘත්ති කියා පානවා.

රතු ඉන්දියානු දරුවෙක් පාසලට පැමිණීමට පෙර හා පසු (pinterest.com)

මූලාශ්‍ර: 
  • History website
  • The Guardian website
  • Vox youtube channel
  • Ted ed youtube channel
  • nicwa.org
  • APM reports
  • Indian country today wedsite

12 comments:

  1. ඒ වගෙ තව අවස්ථාවක වයින් නිෂ්පාදනයට මුහුන් ලෙස යොදන්න රතු ඉන්දියානු දරුවන් පැහැර ගත් බව අහල තියෙනව. මොනවහරි දන්නවද ඒ ගැන?

    ReplyDelete
    Replies
    1. මතකෙට නම් එන්නේ නැහැ එහෙම එකක්... හොයලා බලන්නම්...

      Delete
  2. ලෝකයේ කොතන වුණත් පොහොසතුන් බිහිවෙන්නේ අසාධාරණය, යුක්තිය යොදාගෙන......

    ReplyDelete
    Replies
    1. බහුතරයක් පොහොසත් උදවිය බිහිවෙන්නේ එහෙම තමා...

      Delete
  3. දැන් තත්ත්වෙ කොහොමද ? දැන් ඇමරිකාවෙ රතු ඉන්දියානුවො නැද්ද?

    මුන් එදා ඉදන්ම කොල්ල කාපු එක තමා කරලා තියෙන්නෙ.. අද කියලත් ලොකු වෙනසක් නෑ, විවිධ මුහුණූවලින් කරන්නෙ ඒකම තමා..

    ReplyDelete
    Replies
    1. තවම රතු ඉන්දියානුවෝ ඉන්නවා. ගොඩක් අංශ වලින් කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ. මාලන් බ්‍රැන්ඩෝ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන්නත් එක හේතුවක් සිනමාව පැත්තෙන් එයාලට වෙන අසාධාරණ.

      2015 දි රෝගීව හිටපු ස්වදේශික ඇමරිකානු අම්මා කෙනෙක්ගෙන් බලහත්කාරයෙන් ළමයි පවරගත්තු අවස්ථාවක් තිබුනා. ඉතින් තවමත් මේ ප්‍රශ්න ඉවර උනා කියන්න බැහැ.

      Delete
  4. රතු ඉන්දියන් නාමයෙන් ඔවුන්ට ඒ දේ කරන්න බැරි ආැයි

    ReplyDelete
  5. ලංකාවේ දෙමළ ජාතිවාදීන්ගේ බලය වැඩි ප්‍රදේශවල සිටින වැදි ජනයා
    අඩු කුලයේ දෙමළු බවට පරිවර්තනය කරන වැඩ පිලිවෙලකුත් වෙනවා. ඇමරිකා ඔරුමත්තුනාඩුවේ රතු ඉන්දියානුවන්ට වන අසාධාරණ ගැන අපි දන්නවා වගේ මේ ගැනත් ලෝකය දැනුවත් විය යුතුයි.

    තව කරුණක් තමයි අදවනවිට ඇමරිකා ඔරුමත්තුනාඩුවේ ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ට අභියෝගයක් කරන්න රතු ඉන්දියානුවන්ට බැරි තරමට ඔවුන් දුර්වලයි.
    ඒ නිසාම මේ කාලයේ රතු ඉන්දියානු උරුමයන් ඉස්මතු කිරීම false flag එකක් වෙන්න පුළුවන්. ඒ මඟින් ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ට අභියෝගයක් කරන්න හැකි සංස්කෘතීන් දුර්වල කරනවා විය හැකියි.

    ලංකාවේදී නම් සිංහල බෞද්ධ විරෝධීන් (උදාහරණ: කතෝලිකයෝ) ලංකාවේ මුල් උරුම කරුවන් වැද්දන් බවත් සිංහල දෙමළ මුස්ලිම් හැමෝම පිටින් ආ උන් බවත් කියනවා දකින්න පුළුවන්.
    එහි අරමුණ සිංහලයන්ට හිමිතැන අහිමිකිරීමයි. හැබැයි මම මුලින් දක්වපු හේතුව මත දෙමළ ජාතිවාදයට පාඩුවන නිසා ඔවුන් වැඩිය වැද්දෝ ගැන කතාව දිගට අදින්නෙ නෑ.

    ReplyDelete
  6. අදවනවිට ඇමරිකා ඔරුමත්තුනාඩුවේ දෙවැනි සංස්කෘතිය වන්නේ හිස්පැනික් කතෝලික සංස්කෘතියයි. රතුඉන්දියානුවන්ට දෙවැනි තැන දීමෙන් වන්නේ සැබෑ දෙවැනියාට හිමිතැන අහිමි කිරීමක්.

    ReplyDelete
  7. 1. ඔවුන්ට ඇයි "රතු ඉන්දියානුවන්" කියන්නෙ?
    2. "බටහිර ඉන්දීය කොදෙව්" කියන්න හේතුව මොකක්ද?
    3. ඉන්දියාව මේ කොහෙ හරි ගෑවිලා තියනවද?

    ප්‍රශ්න තුනටම පිලිතුරු බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  8. මේ ගැටලුව කැනඩාවේ බොහෝ දුරට ඇදුණු රාජ්‍ය නායකයින් ස්වදෙශිකයින්ගෙන් සමාව ගත සිදුවීමක්.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...