Wednesday, May 26, 2021

අපූරු ධාතු ගර්භයක්

 

මෑතක දී සියබලාන්ඩුවේ මානාභරණ ප්‍රදේශයේ කුඩා ස්ථූපයක් කැනීමකට ලක් කරනවා. නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් නොවුනු ස්ථූපයක් නිසා ධාතු ගර්භය ස්ථූපය නිර්මාණය කරද්දි තිබුනු ආකාරයටමයි කැණීමේ දී තිබුනේ.

මේ ධාතු ගර්භය තුලින් සොයාගත් දේවල් අතරින් විශේෂිතම දේ විදිහට සැලකුනේ 17 cm පමණ උසකින් යුතු ක්‍රි.ව. 800ට පමණ අයත් තාරාදේවියකගේ ප්‍රථිමාවක්. ලංකාවේ මෙතෙක් බෞද්ධ ස්තූපයකින් තාරා දේවියකගේ ප්‍රතිමාවක් සොයාගත් පලමු අවස්ථාව. මේ ප්‍රතිමාව විශේෂ වෙන්න තවත් කාරණයක් තියෙනවා. ඒ තමා මේ ප්‍රතිමාව නිමවලා තියෙන්නේ කිරිගරුඩෙන් වීම. මේ ප්‍රතිමාව හැර කිරිගරුඩෙන් සෑදූ තාරාදේවියගේ ප්‍රතිමාවක් සොයාගත්තේ සිතුල්පව්වෙන් පමණයි.

කැණීමකට ලක්කල මානාභරණ ප්‍රදේශයේ කුඩා ස්තූපය.


මේ සොයාගැනීමෙන් මගේ සිත්ගියේ ඒ ප්‍රතිමාවට නෙමේ. ධාතු ගර්භය හදලා තිබුනු ආකාරයට. ගල් පතුරු හතරක් පෙට්ටියක් ආකාරයෙන් තියලා තවත් ගල්පතුරකින් උඩ කොටස වහලා තිබුනේ. මේ ආකාරයට ලංකාවේ පැරණි සුසාන භූමි තිබිලා තියෙනවා. පූර්ව ඓතිහාසික යුගයට අයිති ඒ සුසාන භූමි වලට කියන්නේ මහා ශිලා සුසාන කියලා.

ලංකාවේ ප්‍රකටම මහා ශිලා සුසානය තියෙන්නේ ඉබ්බන්කටුවේ. කාල නිර්ණයට අනුව නම් ඒ සුසානය අයත් වෙන්නේ ක්‍රි.පූ. 450ට. ඒ කියන්නේ මිහිදු හාමුදුරුවන් ලංකාවට පැමිණෙන්න වසර දෙසීයකට පමණ උඩදී. මේ ඉබ්බන්කටුව සුසාන භූමියේ ගල් පතුරු හතර මැද්දේ මංජුසාවක අළු තැන්පත් කරලා තියෙනවා. ස්ථූප නොතිබුනු පූර්ව ඓතිහාසික යුගයට අයිති සුසාන භූමියක ආකෘතිය ධාතු ගර්භයකට ගියේ කොහොමද?

ඉබ්බන්කටුව මහා ශිලා සුසානය 


මේ දේ පැහැදිලි කරන්න තව උදාහරණයක් කියන්නම්. කරගහවෙලත් මේ ආකාරයේම සුසාන භූමියක් තියෙනවා. මේ සුසාන භූමියත් ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ සිට ක්‍රි.පූ. පස්වෙනි සියවසට අයත් විදිහටයි සැලකෙන්නේ. මේ සුසාන භූමියේ මැද්දේ තියෙනවා ස්තූපයක්. මේ හැම දේකින්ම අපිට දැකගන්න ලැබෙන්නේ බුදු දහම ලංකාවට පැමිණියාට පස්සේ බෞද්ධ සංස්කෘතිය ලංකාවේ අනෙක් ඇදහිලි අවශෝෂණය කරගත්තු ආකාරය.

බෞද්ධ සංස්කෘතිය ඉන්දියාවෙදිත් කාලානුරූපීව විකාශනය වුනා ලංකාවෙදිත් විකාශනය වුනා. ආගමික පොතපත සම්බන්ධයෙනුත් මේ කාරණය පොදුයි. සංස්කෘතියක් කියන්නේ හබරල කොළයක් උඩ තියෙන ජල බිංදුව වගේ නෙමේ. සංස්කෘතීන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න බැරි සංස්කෘතීන් මියයනවා. ඒ නිසා අද අපි දකින දේවල් කියවන දේවල් අදහන දේවල් ඒවයේ මුල් ස්වරූපයෙන්ම තිබුනු විදිහටම යි අපි අදහන්නේ කියලා හිතනවා නම් ඒ ගැන නැවත සිතා බැලිය යුතුයි.

ප.ලි. මම ඊයේ පලකරපු සටහන කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් ඒ සටහන කියවන්න මෙතනින්. 

9 comments:

  1. හොඳ ලිපියක්. ලිපියේ අග ඇති අදහස සමඟ එකඟයි.

    ReplyDelete
  2. කාලෝචිතයි මේ වැනි දේ පළ කෙරුම
    එතකොට හිතෙනවා නෙක දේවල් පුදුම
    කැමතියි ඔබෙ ලිපිත් කියවයි නං සැවොම
    ඉක්මන් වැඩිද සැමදා ලිපි පළ කෙරුම?

    අමනාපෙකට හෙම නෙවෙයි, කිව්වේ.
    වැස්ස- රටතොට තත්ත්ව- නිවාඩු වගේ දේවල් නිසා සමහරුන්ට මේ සයිට්ස්වලට දිනපතා එන්න ඉඩ නොලැබෙන්න පුළුවන් නේද, මිතිල.

    ReplyDelete
    Replies
    1. මං මේ ලිපි දාන වේගේ වැඩියි කියලා මටත් හිතුනා. මේකනේ දැන් ගෙදර නිසා දවසගානෙ ලියනවා. අදත් එකක් ලිව්වා. ඊළඟ එකේ ඉදන් පබ්ලිෂ් කරනකොට දිනය හදලා දාන්නම් ඒ ඒ දවස්වලට පලවෙන්න.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...