Tuesday, June 22, 2021

වදනක අරුත - 01

 

කණමදයා

බීමත් පුද්ගලයින්ව හැදින්වීමට බොහෝ දෙනෙක් කණමදයා යන වදන භාවිතා කරනවා. “අදත් කණමදයා වගේ බීගෙන ආවා නේද?” කියනු ඇසී හෝ ඔබ කියා ඇති. මේ කණමදයා කියන්නේ කව්ද? සාමාන්‍යයෙන් කණා කියන්නේ එක් ඇහැක් පේන්නේ නැති පුද්ගලයාට. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ ඝාතන තැත වැලිවිට සරණංකර හාමුදුරුවන් දැනගෙනත් තමන්ට නොකීව නිසා සරණංකර හාමුදුරුවන්ට බනිනවා “වැලිවිට කණා සස්නේ වවනවා යැයි කියා ලෝක ශාසන දෙකම නසාපි” කියලා. මෙතනදී වැලිවිට කණා කිව්වේ වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ එක් ඇසක් නොපෙනුන නිසා. අද ව්‍යවහාරයේ තියෙන “කණා ෂොට් එකක් ගහනවා”, “කණාවට ලිව්වේ හරියයිද දන්නෑ” වගේ කියමන් වලත් කණා යන්න එන්නේ උක්ත තේරුමෙන්.

එතකොට කණමදයා කියන්නේ මද කිපුනු නමුත් එක් ඇසක් පේන්නේ නැති අලියාට. මද කිපුනු අලියා ගස් වැල් පෙරලගෙන යන්නේ. නමුත් කණමදයා එක ඇසක් පේන්නේ නැති නිසා ඌට හරියට කෙලින් යාගන්න බෑ. වැනෙනවා විතරක් නෙමේ අඩියෙන් අඩියට එහෙ මෙහේ හැප්පෙනවා. පමණට වඩා මධුවිත තොල ගාගෙන එන අයත් එහෙමනේ. කෙලින් යනවා කියලා හිතලා ඉන්නෙම ඇදේට.


කෙම්ගෙඩිය

“මොන කෙංගෙඩියක් කියවනවද මන්දා” යනුවෙන් වහරනවා ඔබ නොයෙක් වර අසා ඇතුවාට සැක නැත. නමුත් කුමක් ද කෙංගෙඩිය කියන්නේ? හරකුන්ට කුර ලෙඩ හැදුනහම ඒකට බෙහෙතක් හොයාගන්න ගමේ මිනිස්සු වෙදමහත්තයා ගාවටයි යන්නෙ. ඉතින් වෙද මහත්තයා බෙහෙත් පොට්ටනියක් හදලා දෙනවා බෙහෙත් ගන්න එන මිනිස්සුන්ට. මේ බෙහෙත් පොට්ටනියත් අරගෙන ගමේ මිනිස්සු කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව හරකගෙ බෙල්ලෙ බඳිනවා. කතා කරන්නේ නැතිව යන්නේ කෙමක් නිසා. මේ බෙහෙත් පොට්ටනියෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ වෙද මහත්තයා විතරයි. ඉතින් ගමේ මිනිස්සු මේ බෙහෙත් පොට්ටනියට කිව්වා කෙම්ගෙඩිය කියලා. පස්සෙ කෙංගෙඩිය උනේ ඔය කෙම්ගෙඩිය තමා. යමෙක් කතා කරන්නේ මොනවද කියලා නොදන්න වෙලාවට කෙංගෙඩිය කියන්නේ ඒ නිසා.


ඉටිගෙඩිය

කෙංගෙඩිය වාගේ ම ඉටිගෙඩියත් අපි එදිනෙදා නිතර වහරන වදනක්. ඉස්සර ගම් වල කුස්සියේ ඉටි ගෙඩියක් තියෙනවා අනිවාර්යයෙන් දැකගන්න පුලුවන්. ගමේ උදවිය ගෙදරට ගේන කොස් පොලොස් ආදියේ කොහොල්ලෑ කුස්සියේ බිත්තියේ අලවනවා. ඒ විතරක් නෙමේ මී, බමර මී ආදිය කඩාගෙන ආවම ඒවයේ වද කොටස් ද මේ කොහොල්ලෑ ගුලියට එකතු කරනවා.

කාලයක් යනකොට මේ කොහොල්ලෑ ගුලිය සෑහෙන ලොකු ගුලියක් වෙනවා. ඒකටයි ගමේ මිනිස්සු ඉටි ගෙඩිය කිව්වේ. ගෙදර හැලි වළඳක් එහෙම කැඩුනම අර ඉටි ගෙඩියෙන් කොටසක් රෙදි කැබැල්ලකට අරගෙන ලිපෙන් රත් කරගන්නවා. ඊට පස්සේ දියවෙන ඉටි වලින් අර කලින් කියාපු කැඩුනු වළං වලට අලවනවා.

 

දොඩමලු වීම

දොඩමලු වීම කියන වචනය අද වෙනකොට ගුවන් විදුලියේ, රූපවාහිනියේ වගේම පොත පතේ ද නිතර ඇහෙන කියවෙන වදනක්. නමුත් බොහෝ දෙනෙක් මේ දොඩමලු වීම යන වදන භාවිතා කරන්නේ නිවැරදි තේරුම නොදැන. දොඩමලු වීම යනුවෙන් අදහස් වෙන්නේ කිසිම වැදගත්කමක් නැති හිස් වචන කතා කිරීම. මේ දොඩමලු වීම වදන සම්බන්ධව ප්‍රකට සිදුවීමක් තියෙනවා.

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා දවසක් ගුවන්විදුලියේ වැඩසටහනකට සහභාගි වෙනවා. එතැන උන්නු නිවේදිකාව “අද අප සමග දොඩමලු වන්නේ වෛද්‍ය නන්දදාස කෝදාගොඩ මහතා” කියලා කියනවා.

ඒ කියලා අනිත් පැත්තට, “දොඩමලු වෙන්න මම පිස්සෙක් හරි බේබද්දෙක් හරි කියලා හිතුවද?” කියලා නිවේදිකාවට කිව්වා.


පුරාවට

වදන් වල තේරුම් කියන්න මේ සටහන් මම භාවිතා කරත් තේරුම් නැති නමුත් තේරුමක් ඇතැයි සිතන වදන් කිහිපයකුත් මේ සටහන් වලටම එකතු කල යුතු යැයි මට සිතුනා. ඒ වදන් අතුරින් බහුලව භාවිතා වන වදනක් පුරාවට. දවස පුරාවට, මුහුණ පුරාවට ආදී වදන් බොහෝ නිවේදකයෝ භාවිතා කරනවා. නමුත් පුරාවට යනුවෙන් වදනක් සිංහල භාෂාව තුල නැහැ. නිවැරදි වදන ‘පුරාම’.


බූවල්ලා, කෙලවල්ලා හා ඇටවල්ලා

මේ නම් තුනේම බැලූ බැල්මට සමානකම් දෙකක් තිබෙනවා. එකක් මේ ඉන්නේ ජලජ ජීවීන්. අනික, මේ නම් තුනම අවසන් වෙන්නේ ‘වල්ලා’ ලෙසින්. මේ වල්ලා වදනේ තේරුම හොයාගන්න නම් වල්ලා වදන සෑදෙන ආකාරය දැනගෙන ඉන්න ඕන. වල්ලා සෑදෙන්නේ වලු + ආ එකතු වීමෙන්.

එතකොට වල්ලා කියන වදනේ ප්‍රකෘතිය වලු. වලු කියන්නේ සමාන ගති පැවතුම් ඇති සමූහයට. එහෙමත් නැත්නම් එක නටුවක හටගත් ගෙඩි සමූහය. අපි පොල්වල්ල කියලත් කියනවනේ. ඒ එක නටුවක හටගත් පොල් ගෙඩි සමූහය කියන අර්ථයෙන්. මත්ස්‍යයින්ගේ නම් අගට වල්ලා කියන්නේ සමාන ගති පැවතුම් ඇති සමූහය යන අදහසින්.

කෙල යන පදයේ තේරුම බොහෝ. පන්සිය පනස් ජාතක පොතේ  ‘අසූ කෙලක් ධනය ඇති’ යන්නෙහි තේරුම ‘අසූ කෝටියක් ධනය ඇති’. එතනදි කෙල කියන්නෙ කෝටිය. කෝටිය කියන්නෙත් විශාල අගයක් නිසා පොදුවේ කෙල කියන්නේ බොහෝ ලෙසින් අර්ථ ගන්වන්න පුලුවන්. එතකොට කෙලවල්ලා වදන සෑදෙන්නේ සමාන ගති පැවතුම් ඇති විශාල මත්ස්‍ය සමූහය යන අදහසින්. මස් අඩු නමුත් ඇට (අස්ථි) වැඩි මත්ස්‍යයා ඇටවල්ලා ලෙසින් නම් කරනවා. අපි භාවිතයේ පහසුවට බූ කීවට එහි තේරුම බහු හෙවත් බොහෝ. බොහෝ පාද ඇති ජලජ ජීවියා බූවල්ලා ලෙසින් නම් කරනු ලබනවා.


නසරානි

යම්කිසි පුද්ගලයෙක්ගේ නොමනා හැසිරීම් නිසා ඒ පුද්ගලයා නසරානියා ලෙසින් ද එම නොමනා හැසිරීම නසරානි වැඩ යනුවෙන් ද අද සමාජයේ හදුන්වයි.  අද අප හදුන්වන නසරානි පදය පැමිණෙන්නේ අරාබි වදනක් වූ නස්රානි යන වදනින්. නස්රානින් ලෙස අරාබි ජාතිකයන් හැදින්වූයේ කිතුනුවන් ව. අරාබි නොවන විදේශිකයන්ව හැදින්වීමටත් නස්රානි පදය යොදාගත්තත් බහුතරයක් යොදාගත්තේ කිතුනුවන් හැදින්වීමට. ජේසුස්වහන්සේ ජීවත් වූයේ නාසරෙත් නම් ග්‍රාමයේ. ඒ හේතුවෙන් ජේසුස් හට නාසරෙත්හි ජේසුස් යැයි කියයි. නස්රානි හෙවත් නසරානි යන වදන බිහි වන්නේ එකී නාසරෙත් නම් ග්‍රාමය නිසා.

පෘතුගීසීන් ඉන්දියාවට පැමිණීමත් සමග ශාන්ත තෝමස් ඉන්දියාව තුල කිතු දහම පතුරවයි. මේ ශාන්ත තෝමස් ඉන්දියාව තුල පැතිරවූ කිතුනුවන් හැදින්වීමට ද නසරානි යන වදන භාවිතා විය. ශාන්ත තෝමස් ඉන්දියාවේ කිතුනු දේවස්ථාන නිර්මාණය කලේ හින්දු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. ලංකාවේ වුනත් සමහර දේවස්ථාන නිර්මාණය වී තිබෙන්නේ ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. කෙසේ නමුත් ශාන්ත තෝමස් ආගම ප්‍රචාරය කරන්න නොයෙකුත් අසම්මත ක්‍රම අනුගමනය කරා. මේ අසම්මත ක්‍රම නිසා ඉන්දියානුවන් තුල මේ කිතුනුවන් කෙරෙහි දැක්වූයේ පිළිකුලක්. කිතුනුවන් හැදින්වීමට නසරානි යන වදන ඉතා ඈත අතීතයේ සිටම භාවිතා වූවක්.

දොලොස්වන සියවසේ දී නසරානි ලෙස හැදින්වූයේ ‘ශුද්ධවන්ත මිනිසා’ යන අර්ථයෙන්. නමුත් කාලයත් සමග ශුද්ධවන්ත මිනිසෙක් ව හැදින්වීමට යොදාගත් නසරානි යන වදන නොමනා හැසිරීම් ඇත්තෙක් හැදින්වීමට අද භාවිතා කරයි.

නසරානි කී විට මට තවත් දෙයක් මතකයට නැගේ. ලංකාවේ බොහෝ දේවස්ථාන තුල භාවිතා කරන ගීතිකා පොත් හා යාච්ඥා පොත් වල මුල් පිටුවේ හෝ පිටකවරයේ එක්තරා විශේෂ කුරුසයක් දක්නට ලැබේ. එය හැදින්වෙන්නේ නෙස්ටෝරියින් කුරුසය ලෙසයි. පර්සියාව දෙසින් බිඳී ආ නෙස්ටෝරියන් නිකායෙන් නිර්මිත කුරුසියක් හේතුවෙනුයි එයට නෙස්ටෝරියන් කුරුසය ලෙස කියන්නේ. ලංකාවේ අනුරාධපුරයෙනුත් එවන් ආකාරයේ නෙස්ටෝරියන් කුරුසයක් සොයාගෙන තිබේ. එහි පුරාවිද්‍යාත්මක සාක්ෂි සාධක වල ඇත්ත නැත්ත සාකච්ඡා කිරීම මෙහි අරමුණ නොවන නිසා ඒ පිළිබඳ මෙහි දී කතා නොකර සිටින්නම්.

මේ නෙස්ටෝරියන් කුරුසය ඉන්දියාවේ දීත් හමුවේ. ඒ කුරුසය එහි උදවිය හදුන්වන්නේ නසරානි කුරුසය නමින්. මෙම නසරානි කුරුසයට ශාන්ත තෝමස්ගේ කුරුසය ලෙසත් හදුන්වනවා. මේ කුරුසයේ පා මුල නෙළුම් මලක් තිබෙනවා. එය මතයි කුරුසය තිබෙන්නේ. ‘බුදුන්ගේ දේශය තුල කිතුනු දහම ස්ථාපිත විය’ එහි තේරුම යි.

නසරානි කුරුසය



8 comments:

  1. හොයා ගිහින් සුල-මුල අපෙ වචනවල
    ලිව්වට ස්තුතියි වාසිතයේ මිතිල
    ලියන්නට තවත් ලිපි මේ වගෙ ප්‍රබල
    හැඟුමන් ඔබේ සිත තුළ වේවා පහළ!

    ReplyDelete
  2. ඔබේ ලිපි ෂෙයාර් කළ නොහැකි ලෙස ෆේස්බුක් විසින් බ්ලොක් කරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක වසරකට විතර උඩදි ෆේස්බුක් එකෙන් බ්ලොක් කරා. ඒක හදාගන්න උත්සහ කරත් හරිගියේ නැහැ. අවශ්‍ය නම් මුලු ලිපිය උපුටා ෆේස්බුක් එකේ දාන්න.

      Delete
  3. බොහොම අගෙයි. නොදැන භාවිතා කල වචන බොහොමයක තේරුම් දැණගත්තා.

    අසූ කෙලක් ධන(+) ඇති කෙළෙඹි පුත්‍රයෙක්, එහෙම කිව්වයි කියලා, අසූ පාරක් කෙල ගැහැව්වයි කියහංකො😂. දොඩමළු කිව්වාම මට මතක් වුනේ, දකුණේ "දොඩනවා" කියන එක.

    ReplyDelete
  4. අපූරු ලිපියක්.බස පිළිබඳ මෙවැනි ලිපි කියවන්ඩ හම්බ වෙන්නෙත් කළාතුරකින්.

    ReplyDelete
  5. ඔහේ කටට ආවට කියන වචන වල හරි තේරුම දැනගත්තා..ස්තූතියි

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...