Tuesday, June 29, 2021

ධනවත් භූමිදානයක්


අතීතයේ දී රජවරුන්ගේ සහ ඒ ඒ සමාජවල සිටි ප්‍රධානීන්ගේ සිරුරු සමග වස්තුව තැන්පත් කිරීම සිරිතක් විය. ඊජිප්තුවේ පිහිටි පිරමීඩ තුල ද පාරාවෝ වරුන්ගේ මමීකෘත සිරුරු සමග ඔවුන් භාවිතා කල වස්තුව ද තැන්පත් කළේ ය. ඒ වසර තුන් දහසක් හාර දහසක් වැනි අතීතයක යි. තවත් ඈත අතීතයට යන විට එවන් ආකාරයේ මහා පරිමාණ වස්තූන් තැන්පත් කල ආකාර සොයාගත හැක්කේ කලාතුරකිනි. 

ප්‍රාග් ඓතිහාසික හෝ පූර්ව ඓතිහාසික යුග වල දී ද සමාජයේ ප්‍රධානීන්ගේ සිරුරු සමග ඔවුන් සතුව තිබූ වස්තූන් සොහොනෙහි තැන්පත් කිරීම සිරිත විය. පබළු මාලයක් මුද්දක් වැනි සුළු දේවල් ඒ අතර තිබුනි.

නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මහා පරිමාණ වස්තුවක්, මියගිය සිරුරක් සමග තැන්පත් කිරීම් හමුවී තිබෙන්නේ ඉතාම කලාතුරකිනි.

රුසියාවේ සංගීර් ප්‍රදේශයෙන් මීට වසර 30,000ක් පැරණි සොහොනක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකිවිය. එහි වූ පනස් වියැති මිනිසෙක්ගේ ඇටසැකිල්ලක හිසෙහි නරි දත් වලින් අලංකාර කරන ලද හිස් වැස්මක් තිබුණි. ඔහුගේ සිරුර පුරා මැමත් දත් වලින් නිමවන ලද පළඳනා 25ක් ද විය. ඔහුගේ සිරුර පුරා මැමත් දත් වලින් නිමවූ පබළු 3000කට ආසන්න ප්‍රමාණයක් තිබුණි.

මැමත් සත්වයෙක් දඩයම් කිරීම ඉතා අපහසු කාරණයක් බව ඔබ හොදාකාරව ම දන්නවා ඇතැයි සිතමි. සතාගේ ප්‍රමාණයත් එකල ගල් ආයුධත් සමග මැමත් සත්වයෙක් දඩයම් කිරීමේ දී කණ්ඩායමේ කිහිප දෙනෙක්ට මියයාමට ද සිදුවේ. සංගීර් සිරුරේ තිබුනේ එසේ අතිශය වෙහෙසක් දරා දඩයම් කල මැමත් සතුන්ගේ දත් වලින් සැදි පබළු 3000ක්. 

මේ නිසා පුරාවිද්‍යාඥයන් නිගමනය කරන්නේ ඒ සිටි පුද්ගලයා එක් කණ්ඩායමක නායකයෙක් පමණක් නොව කණ්ඩායම් කිහිපයක ප්‍රධානියෙක් විය යුතු බවයි. මන් ද ඒ අසල සොයාගත් අනෙකුත් ඇටසැකිලි අසල තිබුනේ මැමත් දත් පබළු ඉතා ප්‍රමාණයකි. මේ නිසා ඒ පුද්ගලයා එකල සමාජයේ නායකයෙක් විය යුතුයි.



මීටත් වඩා පුදුම දනවන සොයාගැනීමක් ඒ ප්‍රදේශයෙන් ම පුරාවිද්‍යාඥයන්ට සොයාගැනීමට හැකියාව ලැබුණි. ඒ හිසට හිස රැදෙන ආකාරයට තබා තිබූ ළමුන් දෙදෙනෙක්ගේ ඇටසැකිලි දෙකකි. වයස දහතුනක් වන පිරිමි දරුවෙක් හා වයස නමයක් වූ ගැහැණු දරුවෙකි.

පිරිමි දරුවාගේ හිසෙහි පෙර කී මිනිසා මෙන් නරි දත් වලින් සැදි හිස් වැසුමක් විය. එම හිස් වැසුම නරි දත් 250කින් පමණ සමන්විත වූ අතර එය ලබා ගැනීමට නම් නරි 60ක්වත් අවම වශයෙන් දඩයම් කල යුතුයි. පිරිමි දරුවාගේ සිරුර වටා මැමත් දත් පබළු 5000කට ආසන්න ප්‍රමාණයක් තිබුනු අතර ගැහැණු දරුවාගේ සිරුර අසල මැමත් දත් 5250කට ආසන්න ප්‍රමාණයක් තිබුණි. එමෙන්ම ඔවුන්ගේ සිරුරු වටා මැමත් දළින් කල නිර්මාණ ද තිබුණි.



වර්තමානයේ සිටින ශිල්පියෙකුට එවන් මැමත් දත් පබළු 10,000ක් නිර්මාණය කිරීමට ආසන්න වශයෙන් එක දිගට වසර තුනක් වත් ගතවෙයි. එසේ නම් වසර 30,000කට පමණ ඉහත දී මේ සා විශාල පබළු ප්‍රමාණයක් නිර්මාණය කිරීමට විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වූ බව කිව හැකියි.

මෙම දරුවන් දෙදෙනා එකල සමාජයේ සිටි පාලකයන්ගේ දරුවන් විය හැකියි. එක්කෝ ඔවුන් එකල දෙවියන් මෙන් ඇදහූවා විය හැකියි. ඒ කෙසේ වූවත් වසර 30,000කට පෙර සංගීර් හි සිටි මිනිසුන්ට මෙම දරුවන් දෙදෙනා අති විශේෂ වූ බව නම් නිසැකයෙන් ම කිව හැකියි.



1 comment:

  1. වෙනසක් නැහැනෙ බැලුවම අද කියල වුණත්
    පාලක දරුවො විතරනෙ කාටත් වැදගත්
    රැකියාවක් නොකර; රොකටුත් උඩ යවලත්
    රටේ වියදමෙන් උන්නැහෙලා වැජඹෙත්!

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...