Thursday, January 14, 2016

පත්තිනි දේව පූජා

පත්තිනි දේව පූජා

හැඳින්වීමසංස්කරණය

පතිවෘත්තාවට බලවත් පත්තිනි දේවිය ඇදහීම සාම්ප්‍රදායික ජන ජීවිතයේ ඉතාමත් දේවත්වයෙන් මෙන්ම ඉතාමත් ගෞරවණීයත්වයකින් සිදු වූවකි. බොහෝවිට යම් යම් ලෙඩ රෝග ව්‍යාධි ආදීන් දුරු කරගැනීම සඳහා දෙවියන්ට භාර වීමෙන් පසු එම පොරොන්දු ඉටු කිරීමත්, ගමේ සියලු දෙනාම එකතු වී ගමට සෙතක් ශාන්තියක් සලස්වා ගැනීමත්, ගමේ සාමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමත්, පත්තිනි දේව පූජා වලින් බලාපොරොත්තු විය. විශේෂයෙන්ම වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම පත්තිනි දේවිය ඇදහීම වැඩි වශයෙන් සිදුවන අතර එහිදී වඩා වැදගත් වන කිරි අම්මාවරුන්ගේ දානය, අං කෙළිය හා පොල් කෙළිය සම්බන්ධයෙන් විමසීමක් කෙරේ.

කිරි අම්මාවරුන්ගේ දානයසංස්කරණය

ඉතා පුරාණයේ සිටම ගම් වල පැවත එන චාරිත්‍රයකි කිරිඅම්මාවරුන්ගේ දානය. බොහෝ විට කාන්තාවකට දරු උපතක් සිදුවීමට පෙරාතුව හෝ පැපොල සරම්ප වැනි බෝවන රෝගයක් වැලඳුන විට හෝ කුඩා දරුවකුගේ කිසියම් අසනීප තත්වයක් නිසා හෝ එබඳුවූ අවස්ථාවක ඉක්මනින් නිරෝගී සුවය පතා කිරි අම්මාවරුන් සඳහා බාරයක් ගැට ගැසීම සිරිතකි.
බොහෝවිට බාරය සිදුවන්නේ බදාදා හෝ සෙනසුරාදා දිනකය. බාරය පිරිමහන්නේද එවැනිම වූ කෙම්මර දිනකදීය. මෙම බාරය සඳහා කිරි අම්මාවරු හත්දෙනෙක් යොදා ගැනීම වඩා ප්‍රකටය. කිරි අම්මාවරුන්ගේ දානයට අනිවාර්යෙන්ම සහභාගි කර ගනු ලබන්නේ දරුවන් වැදූ මව්වරුන් පමණය.
ආරාධනා ලැබූ කිරි අම්මාවරු උදෑසනම අදාල නිවසට පැමිණේ. ඔවුන්ට වාඩි වීම සඳහා බිම පැදුරු එලා ඊට උඩින් සුදු රෙදි පිරුවට අතුරා තබා තිබේ. වාඩි වූ පිරිසට කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි ආදිය එක් වර්ගයකින් තුනක් බැඟින් ලැබෙන ලෙස තුන්වරක් බෙදයි. බොහෝවිට එය කරන්නේ අදාල බාරයට හේතු වූ පුද්ගලයා විසිනි.එසේම කිරිපැණි භාජනය බැඟින්ද ඒ කිරි අම්මාවරුන්ට පූජා කෙරේ. තවද බුලත් කොලයක් පුවක් ඉරුවක් කාසි වලින් පඬුරක්ද මෙසේ දෙනු ලැබේ. මේ කටයුතු සිදු කිරීමට පෙර හඳුන්කූරු දුම්මල වැනි සුවඳ වර්ග හා බුද්ධ පින්තූරයක් සමඟ පොල්තෙල් පහනක්ද දල්වා අම්මාවරුන් සමීපයේ තබනු ලබයි. මෙසේ මූලික කටයුතු අවසන් වීමෙන් වූ පසු කිරි අම්මලා ගෙදර අයද සමඟ පන්සිල් සමාදන්ව බුදුන් වැඳීමක් කරනු ලැබේ. එයින් පසු තෙරුවන් වැඳ පත්තිනි දේවිය සිහිපත් කරමින් යාතිකාවක් පලපුරුදු කිරි අම්මා කෙනෙකු විසින් සිදුකරනු ලැබේ.
සෙත් පැතීම සඳහා යොදා ගන්නා කවියක්
  එර්දි වෙලා උඩු ගුවනේ වඩින්නේ
  එර්දි සලුව ගෙන පවන් සලන්නේ
  සුද්ද ඇතිව දෙන දන් පිලිගන්නේ
  සිද්ධ පතිනි දෙවි මේ පින් ගන්නේ

අං කෙළියසංස්කරණය

පත්තිනි දේවියට කෙරෙන උපහාරයක් හැටියට පැවැත්වෙන්නකි. ගම් දෙකක (උඩුපිල හා යටිපිල) දෙපිරිසක් එක්ව අන්දර කොවුලින් සකස් කරන ලද අං "අං රිකිල්ල" නම් තවත් ලොකු කඳක බැදගෙන අවුත් එකිනෙක ක්‍රමවත්ව පටලවා ගහක හා කඳක බැඳ රඳවා ඇද කඩා දැමීම එහි මූලික ක්‍රියාදාමයයි.
පත්තිනි දේවියගේ කතාවක එන සිද්ධියක් මෙම ක්‍රීඩාවට මුල් වූ සේ සලකනු ලැබේ. ඇය තම සැමියා වන පාලගයාර් සමඟ මල් නෙලන්නට ගියාය. පාලගයාර් ගසට නැග මල් කඩද්දී පත්තිනි බිම සිට මල් නෙළුවාය. ඒ අතර ඔවුන් මල් නෙළු කෙකි එකට පැටළිණි. එය ගලවා ගන්නට දෙදෙනාම නොකැමති වූහ. දෙදෙනා දෙපසට අදිද්දී පාලගයාර්ගේ කෙක්ක කැඩී ගියේය. අං කෙළිය පවත්වනු ලබන්නේ එම සිද්ධිය අනුස්මරණය කරන්නටය.
  පා ලඟ ගස උඩ ඉඳ මල් ඉත්තට කෙකි ලා
  ඊ ළඟ පත්තිනි මදවියගේ රන් කෙකි අවු ලා
  මෙ ලක්දිවේ හැම දෙවියෝ අදිති එක් වෙ ලා
  එදා පටන් මේ අං කෙළිය උපත ඇති වෙ ලා
මුළු ක්‍රීඩාව තුළම ඇත්තේ ආගමික මුහුණුවරකි. මල්පැල ඉදිකිරීම, පහන් දැල්වීම, සුවඳ දුම් ඇල්ලීම, කෙම්මර කිරීම ආදියෙන් ඒ වග පැහැදිලි වෙයි. එක් පිලක අඟ බිඳියාමෙන් ක්‍රීඩාව අවසන් වෙයි. එහෙත් ක්‍රීඩා වාරයක් අවසන් වීමට එක් අඟක් පිට පිට වාර තුනක් දිනිය යුතුය. එසේ තුන්වරක් දිනන ලද අඟ රිදී මුදුවක් පලඳවා ගමේ දේවාලයේ තැන්පත් කරනු ලැබේ.

පොල් කෙළියසංස්කරණය


මෙයද පත්තිනි දේවියට කෙරෙන පූජාවක් හැටියට සලකනු ලබන්නකි. අං කෙළියේදී මෙන්ම පොල් කෙළියේදීද පොල් මල්පැල වල තබා දුම්මල අල්ලා පේ කොට වත් පිළිවෙත් අනුව සිදු කරනු ලැබේ. මෙහිදීද උඩුපිල යටිපිල වශයෙන් දෙපිලක් එක්ව තරඟ කරනු ලැබේ. එක් පිලකින් එවනු ලබන පොල් ගෙඩිය අනෙක් පිලේ අයකු විසින් පොල් ගෙඩියකින්ම ගසා බිඳ දැමීම මෙහිදී කරනු ලබන ක්‍රියාවයි.
පහරදීම සඳහා පොල් එවන්නාද පහර දෙන්නාද යන දෙදෙනාම හොඳ පලපුරුදුකාරයන් වීම මෙහිදී අත්‍යවශ්‍යවෙයි. එමෙන්ම මෙම ක්‍රීඩාවද සිදු කරනු ලබන්නේ කෙම්මර දවස්වල පමණකි.
  සෙල්ලම් සිරිපද මෙ අප රකිනවා
  පුල්වන් දෙවිරජ වරම් ලැබෙනවා
  පුල් පියුමක් දෙවි සුරත දරනවා
  පොල් පූජාවට වරම් ලැබෙනවා

  පද කර කවි කීව්වේ ඔබෙ නාමෙට
  ලෙඩ රෝ දුක් දුරුවෙයි ඔබෙ නාමෙට
  සියළු රෝග දුරුවෙයි තෙද හළඹට
  තෙද වරමක් ලැබුණා පොල් කෙළියට

No comments:

Post a Comment

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සි...