Friday, January 15, 2016

අලව් ඉසි සැබි හෙළ


 අපේ කොලු මොකදෑ කීවෙ? පැවිදි වෙන අදහස අත්හැරල නැති ද?”
දෙදරු මවක වූ කර්ලිනා ද අල්විස් මාතාව තම සැමියා වන වටුතන්ත්‍රිගේ අර්නෝලිස් ද අල්විස් මහතාගෙන් ඉතා ඕනෑකමින් විමසන්නට වූවාය.
“ඇස් දෙක වගේ උන්නු අපේ දරු දෙන්නගෙන් දරුවෙක් අපට නැතිවුණ හින්දා සවියෙල් පුතාගේ පැවිදි වෙන අදහස අපි ගැන හිතලා අත්හැරල බව මං දන්නවා. මගේ ව්‍යාපාර කොලුට පවරන්නට දැන් ම හිටන් පුරුදු පුහුණු කරවනවා.” “අනේ ඒක හොඳයි” මව සැනසුම් ස්වරයෙන් කීවාය.
පාණදුර මහවිල ගමේ මහතොග වෙළෙන්දා වූ හෙතෙම තමන්ගේ කුදු මහත් වෙළෙඳ ව්‍යාපාර සඳහා තම පුතු හැම විටම සමීප කරගත්තේ ය. ඇතැම් විට පුතු පියාගේ උපදෙස් මත මුහුදු ගමනින් ද ඉන්දීය දේශයට අයත් රටවලට ද වෙළෙඳ කටයුතු වෙනුවෙන් ගිය ද ඊට නම් මවගේ කොහෙත්ම කැමැත්තක් තිබුණේ ද නැත.
සිය පියාගේ වෙළෙඳාමේ තරාදිය අසලම පසුවෙමින් සිටි සවියෙල් තරුණයා දෙපසින් ඉහළ හා පහළට දිවෙන තරාදිය දෙසම බලා හුන්නේ ය. අවසන තීරණයකට එළැඹියේය. තරාදිය පසෙක ලන්නට වූ ඒ තීරණයට තාත්තාට එතරම් සතුටක් නුවූවද පොත පත පරිශීලනයෙහි ද බොහෝ දෑ උගැන්මේ නොතිත් ආශාවෙන් ද පෙළෙන්නකු බව දත් තාත්තා පුතුට හිත රිදෙන තරමේ කිසිත් නොකීවේය.
ගොරකානේ කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලද සවියෙල් පුතු එහිදී පහ වසර සමත්ව මොරටුවේ වේල්ස් කුමර විදුහලට පිවිසියේය. මේ අවධියේදී ම ගොරකාපොළ විද්‍යාරාජ පිරිවෙනට ඇතුළත් වූ හේ හෙළ, පෙළ සකු යන තෙබස මනාකොට ඉගෙනීමට යුහුසුලු වූයේය. මේ සිසුවා ප්‍රාචීන විභාගයෙන් ද සමත් වූයේය. ඒ 1935 දීය. අභිධර්මය සඳහා වූ රන් පදක්කමට ද හිමිකම් කියමින් බෞද්ධාචාර්ය පරීක්ෂණයෙන් ද ඉහළින්ම සමත් විය. බසෙහි ද දැනුමෙහි ද සාහිත්‍යයෙහි ද විද්වතකු විය.
ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට ආරාධිත අමුත්තකු ලෙස පැමිණියේ මුනිදාස කුමාරතුංග පඬිවරයාණන් ය. එහිදී එතුමා දැන හැඳිණු අපේ කතානායකයා තමන් මුල් වරට ලියන ලද ‘නීකත’ නමැති කවි පබැඳුම කුමරතුඟුවනට පිළිගැන්වීය. ‘මේ ඉරුදින ඔබ මා හමුවන්නට එන්න’ කුමරතුඟුවන් කළ ඉල්ලීමකට අනුව එහි ගිය සවියෙල් මහතාට ඔහු පිළිගැන්වූ කුලුදුල් කවි පොත පෙරළා ආපසු ලැබිණ. එහි බොහෝ තැන්වල රතු ඉරි සටහන් කොට තිබිණි.
රතු ඉරි ඇයිදැයි විමසු කල කෘතියේ සදොස් තැන් ඇති බව පවසමින් පුරා පැය දෙකක් ගතවී යනතුරු කුමරතුඟුවෝ සවියෙල්ට බොහෝ දේ කියා දුන්හ. එපමණක් නොව තෙදිනක් තමන්වෙත ඉගෙනීමට පැමිණෙන ලෙසට ද එතුමාගෙන් වරම් ලද්දේය. කුමරතුඟුවන්ගේ සමීප ඇසුරට වන් සවියෙල් ‘අලවු ඉසි සැබිහෙළ’ යනුවෙන් හෙළ ඌරුවට අනුව යමින් නාමය වෙනසකට බඳුන් කළේය.
ඔහු 1938 දී ගුරු පරීක්ෂණයෙන් ද සමත් ව සාහිත්‍යාචාර්ය උපාධිය ද ලැබ සකුපෙළ, වඟු යන බස හැදෑරීම පිණිස දඹදිව බලා ගියේය. ආර්ථික ගැටලු මත එක් වසරකින් පෙරළා ලංකාවට පැමිණි හේ ගුරුකමෙහි නියැළුණේය. 1942 දී ලුනාවේ ආනන්ද විදුහල අරඹමින් එහි විදුහල්පති ධූරයට පත්ව 1943 දී වඳුරඹ ඌරල විදුහලේ ඉගැන්වීය. පසුව ගොරකානට පැමිණි හෙතෙම එම විදුහලේ විදුහල්පතිව කටයුතු කළේය.
සැබිහෙළයෝ ග්‍රන්ථකරණයේ හසළයකුව එම්. ඩී. ගුණසේන සහ සමාගමේ ග්‍රන්ථ සංස්කරණයේ ද නිරතව පළ කළ යුතු ග්‍රන්ථ තේරීම ද කළහ. එහිදී ඔහුගේ නව නිර්මාණ රැසක් ද එම සමාගම හරහා එළිදැක්වූයේය. ව්‍යාකරණය පිළිබඳ මහත් ඕනෑකමකින්, ශික්ෂණයකින් යුතු වූ හේ පොත් ලියමින් පුවත්පත් සඳහා ශාස්ත්‍රීය කරුණු අළලා ලිපි මාලාවක් ද සම්පාදනය කළේය. එහිදී දිනමිණට ඔහු ලියු මේ වචන කොහොම ද? මැයෙන් පළ වූ සරණියෙන් අනතුරුව එදා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් තැනු පාරිභාෂික වචන වෙනුවට හෙළ වදන් ඉදිරිපත් කිරීමට ද වග බලා ගත්තේය.
කුමරතුඟුවන්ගේ සමීප ඇසුර සමඟ හෙළ හවුලේ නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වූ සැබිහෙළයෝ හෙළ හවුලෙන් පිරිනැමු ‘හෙළ බස් ඉසුරු’ සම්මානයෙන් ද හරසරට පාත්‍ර වූයේය. හෙළ ලිවි සැරියට සිදුකළ මෙහෙය උදෙසා ජාතික වීර දිනයේ කලාසූරී සම්මානයෙන් පිදුම් ලැබීය. සාහිත්‍ය සූරී සම්මානයෙන් ද පුදනු ලැබීය. සරසවි ඇදුරන් කීපදෙනකු එක්ව සිදු කැරෙන සංශෝධන හා විවරණ තනිව සම්පාදනයෙහි යෙදෙමින් ඔහු පෑ උගත්කමෙහි පරිචය මොනවට පැහැදිලි විය. “බස හරි හැටි උගත යුතුය. වියරණය වරදවා නොලිවිය යුතුය. හෙළ බස නඟා සිටුවහොත් හෙළ දිවත් හෙළ බසත් හෙළයාත් ආරක්ෂා වේ.” හෙතෙම හඬගා කීයේය.
පෙම් සබඳතාවයකින් විවාහ දිවියට පත් ඔහු ආදරයත් කරුණාවත්, වේදනාවත් සමුච්චියක් ලෙසින් ගෙන ස්වකීය පෙම්වතිය වෙනුවෙන් ‘නී කත’ කාව්‍ය සංග්‍රහය ලිවීය. ඇය ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල වූවාය. පාණදුර, මහවිල පදිංචි ඕ සරා පෙරේරා නම් ගුරු මෙනවියකි. එකිනෙකා අතර හුවමාරු වූ පෙම්පත් එකතුව පසුව ‘හෙළ කමළ’ නම් කාව්‍ය ග්‍රන්ථය ලියා පළ කළේය. හෙළ කවිමග ඔපලු සැබිහෙළයෝ නවකතා, පද්‍ය විචාර ද ලියූහ.
1956 දී සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කරවීමට අනුබල දෙමින් එහි සුදුසු බව කියා පාමින් තැන තැන දෙසුම් පැවැත්වූ හේ එකල රජය අනුගමනය කළ භාෂා ප්‍රතිපත්තියට විරුද්ධ වූයේය. ඔහුගේ ව්‍යක්ත සිත් ඇද බැඳගන්නා හරබර දෙසුම්වලින් ජනයා වඩාත් සමීප වීමේදී එය නොඉවසූ වාමාංශිකයන් හෙළ හවුලේ රැස්වීම් කඩා කප්පල් කර ඔහුට ද පීඩා කළහ.
ගොවිඳු ගීතය, මනුලෝ සිළුමිණි, ගෝතම ගීතය, කොවුල් සඳැස් විවරණ, සරසවි රැස, සකුරස ගඟුලැල්ල, සිංහලයට ඇද හැලේ විචාර ලිපි, ගද්‍යකරණය, ඇතුළු තවත් සාහිත්‍ය කෘති උදෙසා සම්මානයෙන් පුද ලද සැබිහෙළ ලියු දීර්ඝතම කාව්‍ය ග්‍රන්ථය රුවන්මග වේ. දෙව් ලොව මනාලිය, ලක්ලන්ද, හේළි මග, සුවඳ පොද, අම්මා, රන්දෙරණ, රත්තොටිල්ල, අමාදහර, දෙව්ලෝ හටන, වෙස් මාරුව, නව රජය, කුරුලු කැදැල්ල, හරි සොම්නස, යහළුකම, සුරඟන නැන්දා සිඟිති ගීය, හොඳ හිත, ගුරු ආදරය, දිවමන් බස්, සිංහල බෝධිවංශ විවරණය, සියබස්ලකර විවරුවද සඳ කිඳුරු දා සමර, සද්ධර්මරත්නාකර විවරණය, ගුත්තිල පහදනය, පරවි සඳෙස් පහදනය, ථූපවංශ විවරණය ආදි ඔහු අතින් ලියැවුණු ග්‍රන්ථ සංඛ්‍යාව එකසිය අටකි. ඉන් සියයකට වැඩි සංඛ්‍යාවක් ග්‍රන්ථාරූඪ විය.
සරල සිංහල බසින් රචිත පැදි 1765 කින් යුතු සර්ග තිහකින් සම්පාදනය වූ මහාකවක් ලෙසින් හෙළ සාහිත්‍යයේ මුදුන්ව පෙනෙන මනා වූ ‘බුදු සිරිත’ට අන් සැම ග්‍රන්ථයකටම වඩා තම හිත ඇදී ගියේ යැයි ලබුගම ලංකානන්ද හිමියෝ සඳහන් කොට ඇත්තාහ.
සිංහල ශබ්දකෝෂයේ උප කර්තෘවරයකු ලෙසින් ද හෙතෙම කටයුතු කළේය. අතරතුරදී තමන් විසින් තනන්නට වෙහෙසුණු පෞද්ගලික ශබ්ද කෝෂයෙහි වැඩ කටයුතු වෙනුවෙන් වසර විස්සක් පුරා වෙහෙසව එය අවසන් කළේය. එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වූ හෙළ යෙදුම් හා ඒවායේ තැනුම් විධි ආදිය ද දක්වමින් නිමවන ලද එම ශබ්දකෝෂය කාණ්ඩ 13 කින් සමන්විත විය. පිටු හයදහසක යෝධ නිමැවුමක් වූ එම කෘතිය පිළිබඳ බොහෝ කල්පනා ඔහුගේ මනසේ තිබු නමුදු එය මුද්‍රණය කරගැනීමට තරම් හැකියාවක් නොවූයේ ඊට අනුග්‍රාහකයකු සොයා ගැනීමට සිදු වූ අපහසුතාවෙනි.
යුනෙස්කෝ සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය සම්මාන, මහා සාහිත්‍ය සම්මාන තිළිණ රැසකින් පිදුම් ලද ඔහු ගිල්බාදු ගුණරුවන් නමැති ගායන ශිල්පියකු ගැයු ගීත කිහිපයක් ද ප්‍රබන්ධ කළේය. හඳපානේ... නම් ඔහු රචිත ගීතය සුනිල් සාන්තයනට විකුණ දැමීමෙන් එහි කර්තෘත්වය හිමි වූයේ සුනිල් සාන්තයන්ටය.
සිය දෙස බස රැස පිළිබඳ නිරවුල් නිවැරැදි චින්තනයකින් හෙබි ගුරුවරයකු, උගත් ලේඛකයකු, පරිවර්තකයකු, කවියකු, වියත් කථිකයකු වූ අලවු ඉසි සැබිහෙළ විද්වතාණන් ලාංකේය සාහිත්‍ය උදෙසා ඉටුකළ විපුල අගනා මෙහෙවර අනාගතය පුරාවට ද කියැවෙනු ඇත.
දියණියන් තිදෙනකුට හා එක් පුතකුට ස්නේහවන්ත පියකු වූ අපේ කතා නායකයාගේ ලොකු දුව වනුයේ හේලි මාලා අලව් ඉසි නැතහොත් අල්විස් ය. වත්මන ඈ හේලි මාලා අතුකෝරළ ය. පුරා විද්‍යාව හැදැරූ දෙවන දියණිය ඈ මාලතී මාලා ය. ප්‍රකට ගුරුවරයකු වූ පුතු දෙව්රුවන් වූ අතර සුපුන්සරා නම් වූයේ බාල දියණියය.
දෙවියකු කී දෙයක්වත් කරුණු නැතිව නොඅදහනු යැයි හැම විට හැම තැන පැවසු සැබිහෙළයාණන්ගේ තීක්ෂණ විමංසන ඥානය ඔහුගේ අගනා කෘතීන් අතුරින් ඉස්මතු වී පෙනේ. හෙළ බසට රැසට දෙසට මහත් සේවාවක නියැළුණු හෙළ බස් රුසියකු වූ එතුමාණෝ හදිසියේ වැලඳුණු හෘදයාබාධයකින් පෙළෙන්නට වී අවුරුදු හැත්තෑ අටක් පමණ ආයු වින්දනය කරමින් සියල්ලනගෙන් වෙන්ව නොඑනා ගමන් යන්නට ම ගියහ.

No comments:

Post a Comment

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...