Thursday, January 14, 2016

ඔක්තෝම්බර් විප්ලවය

සමාජ සංවර්ධනයේ පෙරළියක්‌ කළ
ශ්‍රේෂ්ඨ ඔක්‌තෝම්බර් සමාජවාදී විප්ලවය


1917 රුසියානු පෙබරවාරි විප්ලවයෙන් සාර් රජු බලයෙන් පහකර අගමැති කෙරේසි ප්‍රමුඛ ධනපති ආණ්‌ඩුවට බලය මාරු වුවද පෙබරවාරි විප්ලවයේ ජනතා ඉල්ලීම් ඉටු නොවීය. අප්‍රේල් 4 වෙනිදා බොල්ෂෙවික්‌වරුන්ගේ රැස්‌වීමක දී ලෙනින් විප්ලවීය නිර්ධන පංතියේ කර්තව්‍යයන් ගැන සිය සටහන් කියවිය. මේවා අප්‍රේල් සටහන් වශයෙන් ඉතිහාසගත වී ඇත. ඒ මගින් ලෙනින් ධනේශ්වර පංතියට බලය ලබා දුන්නා වූ 1917 පෙබරවාරි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවයේ සිට කම්කරු පංතියට හා දුප්පත් ගොවීන්ට බලය ලබා දෙන්නා වූ සමාජවාදී විප්ලවයට සංක්‍රාන්තවීම ක්‍රියාත්මක කිරීම සඳහා මූර්ත, නියත සැලැස්‌මක්‌ සකස්‌ කළේය.

අගමැති කෙරෙන්සිගේ තාවකාලික ආණ්‌ඩුව ධනපතියන්ගේ හා ඉඩම් හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවත් පළමුවන ලෝක යුද්ධය තවමත් රටවල් අල්ලා ගැනීම සඳහා කරන කොල්ලකාරී යුද්ධයක්‌ බවත් ලෙනින් පෙන්වා දුන්නේය. "තාවකාලික ආණ්‌ඩුවට සහයෝගය නොදෙමු" "සියලු බලතල සෝවියට්‌ සභාවලට" යන සටන් පාඨය ඔහු ඉදිරිපත් කළේය. ජාතියට සාමය - ගොවීන්ට ඉඩම් සහ සාගින්නෙන් පෙළෙන්නන්ට පාන් ලබාදිය හැක්‌කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සෝවියට්‌ සභාවල බලයට පමණකැයි ඔහු පැහැදිලි කළේය.

ලෙනින් "අප්‍රේල් සටහන්" වල සැලසුම් කර තිබූ පරිදි පක්‍ෂයේ වැඩපිළිවෙළ හා උපක්‍රම පැහැදිලි කර දුන්නේය. රුසියාව තවමත් සමාජවාදී විප්ලවයක්‌ සඳහා මෝරා නැතැයි යන මෙන්ෂේවික්‌ ප්‍රකාශනය පුනරුච්චාරණය කරමින් සිටි කාමෙනෙව්, රිකොව් හා ඔහුගේ අතලොස්‌සක්‌ අනුගාමිකයන් විසින් ගන්නා ලද ස්‌ථාවරය ඔහු හෙළා දැක්‌කේය. එසේම විප්ලවය පිළිබඳ ඔවුන්ගේ සංශෝධන ආකල්පය හා රුසියාවේ විප්ලවය ජයගත හැකිය යන අදහස ප්‍රතික්‍ෂේප කිරීම ඔහු දැඩි විවේචනයට ලක්‌ කළේය. පක්‍ෂය ලෙනින්ගේ නායකත්වය පිළිගත්තේය. අවස්‌ථාවාදීන්ට විරුද්ධ විය. සමාජවාදී විප්ලවය සඳහා වූ ඔහුගේ සටන් වැඩපිළිවෙළ අනුමත කොට එය සිය ප්‍රායෝගික කටයුතුවල පදනම කර ගත්හ.

ලෙනින්ගේ නායකත්වය යටතේ බොල්ෂෙවික්‌වරු පක්‍ෂයේ වැඩපිළිවෙළ කම්කරුවන්ට, යුදභටයන්ට සහ ගොවීන්ට පැහැදිලි කර දුන් අතර බහුජනතාවට දේශපාලන අධ්‍යාපනයක්‌ දීමේ සහ ඔවුන් සංවිධානය කිරීමේ කටයුතු කරගෙන ගියෝය.

ලෙනින් 1917 ජුලි මස පෙට්‍රොග්‍රෑඩ්හි දී පැවැත් වුණා පක්‍ෂයේ හයවෙනි සම්මේලනය මෙහෙය විය. ධනේශ්වර පංතිය බොල්ෂෙවික්‌වරුන්ට එරෙහිව ඔවුන්ගේ දඩයම උත්සන්න කර සමුළුව කඩාකප්පල් කිරීමට තර්ජනය කර තිබූ හෙයින් එය අර්ධ නීත්‍යානුකූල තත්ත්වයක්‌ යටතේ පැවැත්වීමට සිදු විය.

ළඟ එන සමාජවාදී විප්ලවය, ධනේශ්වර රාජ්‍ය කෙරෙහි පක්‍ෂයේ ආකල්පය හා නිර්ධන පංතිය බලයට පත්වූ පසු කුමන ආකාරයක රාජ්‍යයක්‌ ගොඩ නැගිය යුතු ද යන්න පිළිබඳ ප්‍රශ්නය තියුණු අවධානයට යොමු කෙරිණ. 1917 ශරත් සෘතුවේ ලෙනින් සැඟවි සිටියදී ඔහු විසින් ලියන ලද "රජය සහ විප්ලවය" නමැති ඔහුගේ ප්‍රසිද්ධ ග්‍රන්ථයෙන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇත. අවස්‌ථාවාදීන් විසින් විකෘති කරනු ලැබ තිබූ රාජ්‍යය සහ නිර්ධන පංති ආඥදායකත්වය ගැන මාක්‌ස්‌ සහ එංගල්ස්‌ගේ ඉගැන්වීම් ඔහු ආරක්‍ෂා කළ අතර එම ඉගැන්වීම් නව ඓතිහාසික තත්ත්වයට අදාළ කරමින් සංවර්ධනය කළේය.

"රජය සහ විප්ලවය" නැමැති සිය ග්‍රන්ථයෙන් ලෙනින් සමාජවාදී සමාජයේ සංවර්ධනයෙහි අදියර දෙකක්‌ වශයෙන් විස්‌තර කළේය. සමාජවාදය හා කොමියුනිස්‌ට්‌වාදය පැහැදිළි කර දීමට සෑහෙන අවධානයක්‌ යොමු කළේය. මාක්‌ස්‌ සහ එංගල්ස්‌ගේ අදහස්‌ සංවර්ධනය කරමින් සමාජවාදය නිරායාසයෙන්ම කොමියුනිස්‌ට්‌වාදය බවට විකාශය වන බව ඔහු පෙන්වා දුන්නේය.

1917 ඔක්‌තෝබර් 10 වෙනි දා පක්‍ෂ රැස්‌වීමක දී සන්නද්ධ නැගිටීම පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කෙරිණ. නිර්ධන පංතිය සහ දුප්පත් ගොවීන් විසින් බලය ඇල්ලීම සඳහා සුදුසු මොහොත උදාවී ඇතැයි පෙන්නුම් කරන වාර්තාවක්‌ ලෙනින් විසින් ඉදිරිපත් කරන ලදී. සන්නද්ධ නැගිටීම පිළිබඳ ලෙනින්ගේ ඓතිහාසික යෝජනාව මධ්‍යම කාරක සභාව විසින් සම්මත කරන ලදී. කාමෙනෙව් හා සිනොවියෙව් යෝජනාවට විරුද්ධ වූහ. පක්‍ෂය ලෙනින්ගේ ක්‍රියාමාර්ගය පිළිගත් අතර ලෙනින්ගේ යෝජනා එහි ප්‍රායෝගික වැඩකටයුතුවල මුල්ගල වශයෙන් සැලකීය. මෙම රැස්‌වීමේදී කැරැල්ලේ දේශපාලන නායකත්වය දැරීම සඳහා ලෙනින්ගේ නායකත්වයෙන් යුතු දේශපාලන මණ්‌ඩලයක්‌ තෝරා ගන්නා ලදී.

ඔක්‌තෝබර් 16 වෙනිදා ලෙනින් කම්කරු සංවිධානවල නියෝජිතයන් සමඟ ඒකාබද්ධ කොට පවත්වන ලද මධ්‍යම කාරක සභාවේ පුළුල් රැස්‌වීමක්‌ ඇමතිය. බලය අල්ලා ගැනීමේ කැරැල්ල වහාම ආරම්භ කළ යුතු යෑයි ඔහු අවධාරණය කළේය. රැස්‌වීමේ බහුතරය ලෙනින්ට සහයෝගය දැක්‌වූහ. මෙම රැස්‌වීමේදී කැරැල්ල මෙහෙය වීමට මධ්‍යම විප්ලවීය යුද මණ්‌ඩලයක්‌ තෝරා ගන්නා ලදී. මෙය ඒ. එස්‌. බුබිනොව්, එස්‌. ඊ. ජෙෂින්ස්‌කි, වයි. එම්. ස්‌වෙර්ද්ලොව්, ඡේ. වී. ස්‌ටාලින් සහ එම්. එස්‌. උරිට්‌ස්‌කි ගෙන් සමන්විත විය.

කැරැල්ල කල්දැමීමට ඉදිරිපත් කරන ලද සියලුම තර්ක ලෙනින් තරයේ ප්‍රතික්‍ෂේප කළේය. ධනේශ්aවර පංතිය මෙම ප්‍රමාදයේ වාසිය විප්ලවීය බලවේග විනාශකර දැමීමට ඉවහල්කර ගනු ඇතැයි ඔහු කීවේය. පක්‍ෂ ක්‍රියාකාරීන් හා හමුදා නායකයින් රහසිගතව මුණ ගැසුණු ඔහු, ළඟ එන සටන් සඳහා සුදානම් කිරීමේ කටයුතු පරික්‍ෂා කළේය. කැරැල්ල සඳහා හමුදා හා තාක්‍ෂණික සුදානම් කිරීම අධීක්‍ෂණය කළ ඔහු අවවාද හා උපදෙස්‌ දුනි.

පක්‍ෂ සංවිධානවලට සන්නද්ධ අරගල සඳහා සුදානම් වීමට ආධාර කිරීම් වස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභා නියෝජිතයින් ප්‍රදේශවලට පිටත් කර හරින ලදී. අති විශේෂ ශක්‌තියකින් හා විශ්වාසයකින් යුතුව, ලෙනින් පක්‍ෂ සාමාජිකයන් ඒකරාශි කොට ඔවුන් අවසාන සටන සඳහා සුදානම් කළේය. නිතරම බහුජනතාව මධ්‍යයේම සහ ඔවුන්ගේ අරගලයෙහි නායකත්වයෙහි සිටිමින් පක්‍ෂය දසලක්‍ෂ සංඛ්‍යාත කම්කරුවන් ගොවීන් සහ යුද භටයන් විප්ලවයේ එක්‌සත් හමුදාවට ඒකරාශි කිරීමට සමත් විය.

ට්‍රොට්‌ස්‌කි සන්නද්ධ නැගිටීම ගැන සෝවියට්‌ සභාවල දෙවන සමුළුව කැඳවන තෙක්‌ කල්දමන ලෙස කියා සිටියේය. ලෙනින් මෙම තත්ත්ත්වයට තරයේ විරුද්ධ විය. සෝවියට්‌ සභාවල සම්මේලනය තෙක්‌ බලා සිටීම පල් මෝඩකමක්‌ නැතිනම් හුදු පාවාදීමක්‌ යෑයි ලෙනින් සඳහන් කළේය.

සන්නද්ධ නැඟිටීම

සන්නද්ධ නැගිටීම 1917 ඔක්‌තෝබර් 25 වෙනි දාට යොදාගෙන තිබු සෝවියට්‌ සභාවල දෙවන සමුළුව ආරම්භවීමට පෙර පටන්ගත යුතුය යෑයිද එදිනට විප්ලවයට තීරණාත්මක ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැරසෙමින් සිටින, ප්‍රතිවිප්ලවවාදී බලවේගවලට ඉස්‌සර විය යුතු යෑයිද ලෙනින් අවධාරණයෙන් කියා සිටියේය. යුද්ධ මධ්‍යස්‌ථානයෙහි නියෝගය අනුව රතු හමුදාව හා යුදභටයෝ පුවත්පත් කාර්යාලය සිය ආරක්‍ෂාව යටතට ගත් අතර කැරැල්ලේ මූලස්‌ථානය පිහිටි ස්‌මෝල්නි ආයතනය මුර කිරීම සඳහා ඒ අවට භටයන් රැඳවූහ.

ආණ්‌ඩුව නේවා ගංගාව හරහා ඇති පාළම ඔසවා. එමගින් කම්කරුවන්ගේ විප්ලවීය බලවේග බෙදා ඔවුන් වෙන්කොට පහරදීමට අදහස්‌ කරන බව සැලවූ වහාම ලෙනින් ස්‌මොල්නියට යාමට තීරණය කළේය. ඔක්‌තෝබර් 24 වෙනි දා මහ රෑ සිය ජීවිතය පරදුවට තබමින් ධනපති ආණ්‌ඩුවේ කොසැක්‌ සහ කැඩෙට්‌ හමුදා විසින් මුර සංචාරයේ යෙදූන, පෙට්‍රොග්‍රෑඩ් නගරයේ පාළු විදී දිගේ ලෙනින් ස්‌මෝල්නියට ගියේය. එහි ගොස්‌ කෙළින්ම විප්ලවය මෙහෙයවීම බාරගත්තේය. "රතු භටයෝ කම්කරු නියෝජිතයෝ සහ හමුදා භටයෝ උපදෙස්‌ ලබා ගැනීමට සෑම පෙදෙසකින්ම පැමිණියෝය. කම්හල් සහ මෝල්වලටත් පක්‍ෂ ප්‍රාදේශීය සංවිධාන සහ හමුදා ඒකකවලටත් කැරැල්ල ආරම්භ කිරීමට නියෝග යවන ලදී. සැලසුමෙන් පිළියෙල කර තිබූ පරිදි රතුභට කණ්‌ඩායම් වැදගත් ස්‌ථාන හා නගරයට පිවිසෙන ස්‌ථාන අල්ලා ගැනීමට පටන් ගත්හ. නගරයට පිවිසෙන ස්‌ථාන බොල්ටික්‌ නාවික කණ්‌ඩායමේ නාවිකයන් හා විප්ලවීය ඒකක විසින්ද කම්හල් සහ මෝල් රතු භටයින් විසින් ද මුරකරන ලදී.

කැරැල්ල සම්පූර්ණයෙන්ම ලෙනින්ගේ උපදෙස්‌වලට අනුකූලව, සැබෑ යුදහමුදා නිශ්චිතතාවයකින් හා දක්‍ෂතාවයකින් යුතුව සිදු කෙරිණි. සටන් ඒකක උසස්‌ මට්‌ටමක සංවිධානයකින්, විනයකින් හා සම්බන්ධීකරණයකින් ක්‍රියා කළේය. රාත්‍රිය මුළුල්ලෙහිම ලෙනින් කැරැල්ලේ ප්‍රගතිය පිළිබඳ වාර්තා ලබාගනිමින් උපදෙස්‌ නිකුත් කළේය.

ඔක්‌තෝබර් 25 වෙනි දා පරණ ජුලියස්‌ සීසර් කැලැන්ඩරයට අනුව (නොවැ. 07) උදේ වන විට මධ්‍යම දුරකථන හුවමාරු මධ්‍යස්‌ථානය, විදුලි සංදේශ කාර්යාලය, ගුවන් විදුලි මධ්‍යස්‌ථානය, නේවා ගඟ හරහා තිබු පාලම්, දුම්රිය පොලවල් සහ අගනුවර පිහිටි සියලු වැදගත් රජයේ කාර්යාල කැරැලිකාර කම්කරුවන්, යුද භටයන් හා නාවිකයන් විසින් අල්ලා ගනු ලැබ තිබුණි.

එදින උදේ පෙට්‍රොග්‍රෑඩ් කම්කරු හා සොල්දාදු නියෝජිතයින්ගේ විප්ලවිය යුද්ධ කමිටුව වෙනුවෙන් ලෙනින් විසින් රුසියාවේ පුරවැසියන් වෙත ලියන ලද ඓතිහාසික ප්‍රකාශය නිකුත් කරන ලදී. තාවකාලික ආණ්‌ඩුව බලයෙන් පහකර ඇති බවත් රාජ්‍ය බලය සෝවියට්‌ සභා අතට පත්වී ඇති බවත් ජනතාව විසින් සටන් වැද දිනා ගැනීමට බලාපොරොත්තු වූ අභිප්‍රාය ජයග්‍රහණය කර ඇති බවත් එයින් දැනුම් දෙන ලදී. පස්‌වරු 2.30 ට පෙට්‍රොග්‍රෑඩ් සෝවියට්‌ සභාව එහි ඓතිහාසික රැස්‌වීම පැවැත්වීය. ශාලාව තුළට ලෙනින්ගේ පිවිසීම ඝෝෂාකාරී උද්යෝග දර්ශනයක්‌ ජනිත කළේය. සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය හා සෝවියට්‌ බලය ඉදිරියේ ඇති කර්තව්‍යයන් පිළිබඳ ඓතිහාසික කථාවක්‌ කළ ඔහු රුසියාවේ සමාජවාදය ජයග්‍රහණය කරන්නේ යෑයි සිය විශ්වාසය පළ කළේය. අද සිට රුසියන් ඉතිහාසයේ නව යුගයක්‌ පටන්ගනී. එසේම මෙය තුන්වෙනි රුසියන් විප්ලවය, අවසානයේදී සමාජවාදයේ ජයග්‍රහණය කරා ගමන් ගත යුතුය යි ඔහු කීය.

ඔක්‌තෝබර් 25 වෙනි දින රාත්‍රියේ තාවාකලික ආණ්‌ඩුවේ ඇමැතිවරුන් රැස්‌වී සිටි හිම මාලිගය වහාම අල්ලා ගන්නා ලෙස ලෙනින් නියෝග කළේය. අව්රෝරා නෞකාවෙන් නිකුත් වූ ඓතිහාසික වෙඩි ප්‍රහාරයෙන් හිම මාලිගයට පහරදීමේ සංඥව දෙන ලදී. විප්ලවීය හමුදා ඒකක ක්‍ෂණික දරුණු ප්‍රහාරයකින් හිම මාලිගාව අල්ලා ගත්හ. ධනේශ්වර ආණ්‌ඩුවේ අන්තිම ආරක්‍ෂක පවුරු බිඳ වැටුණි. ධනපති ආණ්‌ඩුවේ අගමැති කෙරෙන්සි කාන්තාවක්‌ මෙන් වෙස්‌ මාරු කරගෙන ගොස්‌ ඇමරිකානු තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගත්තේය.

ලෙනින්ගේ නායකත්වයෙන් බොල්ෂෙවික්‌ පක්‍ෂය රුසියාවේ ජනතාව ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය කරා මෙහෙයවිය. ඔක්‌තෝබර් ජයග්‍රහණය මාක්‌ස්‌ ලෙනින්වාදයේ ජයග්‍රහණය, විය. එය බොල්ෂෙවික්‌ ලෙනින්වාදීන් වසර ගණනාවක්‌ මුළුල්ලේ ගෙනගිය දුෂ්කර අප්‍රතිහත කාර්යභාරයේ විරෝදාර දැඩි අරගලයේ ප්‍රතිඵලය විය. විප්ලවීය මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌ විසින් මෙහෙයවනු ලැබු විට කම්කරු පංතිය සහ දුප්පත් ගොවීන් කොතරම් දැවැන්ත බලවේගයක්‌ද යන්න ඔක්‌තෝබර් සමාජවාදී විප්ලවය මුළුමහත් ලෝකයේම ජනතාවන්ට ප්‍රදර්ශනය කළේය.

එය සැබෑ ජනතා විප්ලවයක්‌ විය. එය රුසියාවේ ධනේශ්වර ක්‍රමය අවසන් කළේය. මිනිස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිර්ධන පංතියේ දේශපාලන ආධිපත්‍ය ස්‌ථාපිත කළේය. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ රාජ්‍යයක්‌ නිර්මාණය කළේය. ඔක්‌තෝබර් විප්ලවය හුදෙක්‌ම දේශපාලන බලය මාරුකිරීමක්‌ නොවේ. එය රුසියාවේ ජනතාවගේ ජීවිතයේ ගැඹුරු සමාජ ආර්ථික පෙරළියක්‌ ජනිත කළේය. එය රටෙහි විප්ලවීය පුනර් නිර්මාණයක ආරම්භය සහ නව සමාජවාදී සමාජයක්‌ ගොඩනැගීම සනිටුහන් කළේය.

ශ්‍රේෂ්ඨ ඔක්‌තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය මිනිස්‌ සංහතියේ ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරළීය. එය සාර් අධිරාජ්‍ය බිඳවැටීමේ හා සමාජවාදය ජයග්‍රහණය කිරීමේ නව යුගය ආරම්භ කළේය. ඔක්‌තෝබර් විප්ලවය විසින් ලෝකයේ යටත් විජිත ක්‍රමය බිඳ දැමීම හා ජාතීන්ගේ නිදහස ජාතික විමුක්‌ති අරගලයේ ජයග්‍රහණයන් සඳහා අතිවිශේෂ කාර්යභාරයක්‌ ඉටු කළේය.

ඔක්‌තෝබර් විප්ලවය විසින් පෘථිවි තලයෙන් හයෙන් එකක්‌ වන රටක කම්කරුවන් දුප්පත් ගොවියන්, සොල්දාදුවන් හා නිර්ධන පංතියේ බුද්ධිමතුන්ගේ පාලන බලය ස්‌ථාපති කරනු ලැබුවේය.

ඔක්‌තෝබර් විප්ලවයේ සිදුවීම් විස්‌තර කරමින් ලොව හෙල්ලු දස දවසක්‌" නමින් කෘතියක්‌ ලියූ ඇමරිකානු ප්‍රසිද්ධ ලේඛක ජෝන්රීඩ්ගේ එම කෘතියේ පෙරවදනෙහි මෙසේ සඳහන් කළේය.

ඔක්‌තෝබර් විප්ලවය පිළිබඳව මෙම සටහන් සමාප්ත කරන්න ඉතාමත් උචිතය. සෝවියට්‌ ආණ්‌ඩුවට සම්පූර්ණයෙන්ම අවුරුද්දක්‌ ගත වී ඇති මෙකල පවා බොල්ෂෙවික්‌ කැරැල්ල පිළිබඳව විවිධ අදහස්‌ පළ කෙරේ. හැබැයි එය මානව සංහතිය විසින් මෙතෙක්‌ දරන ලද විශිෂ්ටතම ප්‍රයත්නයයි.

තවද එය වැඩ කරන ජනතාවගේ පැතුම් සමුදාය මත්තෙහි සියල්ල පරදුවට තබා වැඩ කරන ජනතාව පෙරටු කරගෙන ඉතිහාසය තුළට කඩා වැදුණු ප්‍රයත්නයකි.

විශාල වතු, ගොවියන් අතර බෙදාදීමට ඒ වන විටත් ක්‍රියා කර තිබුණි. කම්කරුවන් කර්මාන්ත ශාලා පාලනය කිරීමට වෘත්තීය සමිති කම්හල් කොමිටු ගොඩ නඟා ඇත.

කෙනකු බොල්ෂෙවික්‌ වාදය සහ කොමියුනිස්‌ට්‌ වාදය ගැන කුමක්‌ සිතුවත් සමාජවාදී ඔක්‌තෝබර් විප්ලවය මානව ඉතිහාසයේ විශිෂ්ටතම සිද්ධීන්ගෙන් අති විශිෂ්ට එකක්‌ බව අවිවාදයෙන් පිළිගත යුතුය.

ඔක්‌තෝබර් සමාජවාදී විප්ලවයේ වැදගත්කම

ඔක්‌තෝබර් විප්ලවය මිනිස්‌ ඉතිහාසයේ සිදුවූ අනිකුත් විප්ලවවලට වඩා වෙනස්‌ වෙන්නේ එය කම්කරු පංතිය දුප්පත් ගොවීන් මගින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන බලය දිනාගත් බැවිනි. ඔවුන්ගේ දේශපාලනයේ ස්‌වරූපය වූයේ සෝවියට්‌ සභාවන්ය. එය දේශපාලන පක්‍ෂයක නිර්මාණයක්‌ නොව 1905 රුසියානු විප්ලවය සමයේදී කම්කරුවන් විසින් නිර්මාණය කර ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පාලන ක්‍රමයකි.

කම්කරු පංති දේශපාලන බලය පිහිටවීමේ මඟ ජාත්‍යන්තර නිර්ධන පංතියට පෙන්වූයේද ඔක්‌තෝබර් විප්ලවය විසිනි.

අධිරාජ්‍යවාදයෙන් හා යටත් විජිතවාදයෙන් පෑගී සිටි ලෝක ජනතාවට ජාතික හා සමාජ විමුක්‌තියට මග හා ජනතාව අතර සහෝදරත්වය පෙන්වා දුන්නේ ඔක්‌තෝබර් විප්ලවය විසිනි.

සැලසුම් සහගත ආර්ථික ක්‍රමය බිහිවූයේද ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසිම ජාතියකට වරප්‍රසාද දීමෙන් තොරව සියලුම ජාතීන්ට සමාන ලෙස සැලකීමත්.

වැඩකරන ජනතාවට පැය 8 වැඩ දිනයක්‌ ලබාදීම, ගැබිනි මව්වරුන්ට සති 16 ක නිවාඩුවක්‌ ලබාදීම, වැඩකිරීමට නොහැකි කම්කරුවන්ට පූර්ණ සමාජ සුරක්‌ෂිතභාවය ලබාදීම නිවාස පහසුකම්, නොමිලේ සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ප්‍රථම වතාවට ලබාදුන්නේ ඔක්‌තෝබර් විප්ලවයෙන් බිහි වූ සෝවියට්‌ පාලනය විසිනි.

එස්‌. සුදසිංහ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය

No comments:

Post a Comment

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...