Tuesday, June 15, 2021

පෘතුවියේ ජීවය නැති කර නැවත ඇති කළ ජීවියාගේ කතාව

 

මිනිස්සු වුන අපිට අද ජීවත්වෙන්න පුලුවන්කම ලැබිලා තියෙන්නේ ඔක්සිජන් නැමැති වායුව නිසා. වෙනත් ග්‍රහලෝකයකින් සොයාගත් දේවල් ගැන කියවනකොට අපි මුලින් ම දැනගන්න කැමති වෙන්නේ ඒ අදාල ග්‍රහලෝකයේ ඔක්සිජන් තිබෙනවා ද? නැද්ද? යන්න දැනගැනීම. මොකද ඔක්සිජන් තිබෙනවා නම් ජීවයක් පැවතිය හැකියි කියන මතයේ බොහෝ දෙනා ඉන්න නිසා. නමුත් ජීවයක් පැවතීමට ඔක්සිජන් පැවතීම අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. අපි අද ජීවත්වෙලා ඉන්න පෘතුවියේ මුල් කාලයේ ජීවීන් කිසිවක් ජීවත් වුනේ ඔක්සිජන් භාවිතයෙන් නෙමේ.

ඕනම දෙයක් ලෝකයට මුලින්ම හදුන්වා දෙනකොට අපි නොහිතන ප්‍රථිපල ළඟාකරන්න පුලුවන් ඒ හදුන්වාදීම තුලින්. අපි අද ජීවත් වෙන්නේ ඔක්සිජන් නිසා වුනත් වසර බිලියන ගණනාවකට උඩදී ලෝකයට ඔක්සිජන් නිරාවරණය වුන නිසා ඒ කාලයේ ලෝකයේ සිටි ආසන්න වශයෙන් සියලුම ජීවීන් වඳ වූවා කීවොත් ඔබ විශ්වාස කරනව ද?

මේ සියල්ලට ම හේතු වූයේ සයනොබැක්ටීරියා නම් ක්ෂුද්‍රජීවියෙක්. ජීවියෙකුගේ තැනුම් ඒකකය තමා සෛලය කියන්නේ. මේ ක්ෂුද්‍ර ජීවීන්ට තිබුනේ එක සෛලයක් පමණයි. එක සෛලයක් පමණක් තිබෙන ජීවීන්ට කියන්නේ ඒක සෛලික ජීවීන් කියලා. සෛල ගොඩක් තියෙනවා නම් බහු සෛලිකයි. මිනිසා බහු සෛලිකයි.

අදින් වසර බිලියන තුනහාමාරකට පමණ උඩදී වායුගෝලය අදට වඩා සෑහෙන වෙනස්. බහුතරයක් තිබුනේ නයිට්‍රිජන්, කාබන්ඩයොක්සයිඩ් සහ මෙතේන් වැනි වායූන්. ඔක්සිජන් තිබුනේ මුහුදු ජලය තුල. මේ මුහුදේ හිටියා ඒක සෛලික ක්ෂුද්‍රජීවීන්. ඒ කාලේ ඔය ඩයිනෝසරයෝ තියා මොනම සංකීර්ණ ජීවියෙක්වත් ගොඩබිම හිටියේ නැහැ. ඔය මුහුදේ හිටපු ඒක සෛලික ජීවින් ටික විතරයි. මේ ඒක සෛලික ජීවීන් ශක්තිය නිපදවාගත්තේ මුහුදු ජලයේ කලවම් වෙලා තිබුනු විවිධ සංඝටක භාවිතයෙන්. ශක්තිය නිපදවන්න ඔක්සිජන් වල අවශ්‍යතාවයක් උන්ට තිබුනේ නැහැ.

ඔය අතරේ මීට වසර බිලියන තුනහාමාරත් දෙකහමාරත් අතර කාලයේ හරි අපූරු සිදුවීමක් වුනා. ඔය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කොට්ඨාසයක් මුහුදු ජලයේ මතුපිට සංචරණය කරනකොට ඉර අව්ව ඇවිල්ලා ඇඟේ වැදුනා. ඉර එළිය කියන්නේ ශක්ති විශේෂයක්. මේ ක්ෂුද්‍රජීවීන් ඉර එළියත් වාතයේ තිබුන කාබන්ඩයොක්සයිඩ් එහෙමත් උරාගෙන ඔක්සිජන් සහ ග්ලූකෝස් නිපදවන්න ගත්තා. මේකට තමා අද අපි ප්‍රභාසංශ්ලේෂණය කියන්නේ. ඔය ගස්වලින් ගෙඩි හැදෙන්නේ මෙහෙම තමා.

දැන් ඔය ක්ෂුද්‍රජීවීන්ට ග්ලූකෝස් නිපදවාගන්න පුලුවන් වුනා කියන්නේ ඒ ජීවීන්ට තමන්ටම කියලා ශක්තිය නිපදවා ගන්න ක්‍රමයක් තිබුනා කියන එකයි. මේ වාසිය නිසා කාලයත් එක්ක මුහුදේ හිටපු මේ ක්ෂුද්‍රජීවීන් විශේෂය අනෙක්වට වඩා සෑහෙන්න වැඩි වෙන්න ගත්තා. මේ ක්ෂුද්‍ර ජීවීන් තමා වායුගෝලයට පලමුවෙන් ම ඔක්සිජන් එකතු කලේ. සයනොබැක්ටීටියා කියන ක්ෂුද්‍ර ජීවීන්ගේ ආදිතමයා තමා මේ.

මුලදි නම් සයනොබැක්ටීරියා මුදාහැරපු ඔක්සිජන් අවට පරිසරයෙන් අවශෝෂණය කරගත්තා. නමුත් මේ ක්ෂුද්‍රජීවීන් ඔක්සිජන් නිපදවන එක නැවැත්තුවේ නැහැ. දිගින් දිගටම නිපදවන්න ගත්තා. ඒ කාලය වෙනකොට පෘතුවියේ හිටපු අනෙක් ක්ෂුද්‍ර ජීවීන්ට මේ ඔක්සිජන් විෂ වායුවක්. ඒ නිසා මීට වසර බිලියන දෙකහමාරකට විතර උඩදී පෘතුවියේ සිටි සියලුම ජීවීන් පාහේ වඳවුනා.

ඔක්සිජන් කරලියට එන්න කලින් පෘතුවිය උණුසුම්ව තියාගත්තේ මෙතේන් වායුව. නමුත් දැන් තියෙන ඔක්සිජන්, මෙතෙන් එක්ක ප්‍රථික්‍රියා කරලා කාබන්ඩයොක්සයිඩ් නිපදවන්න ගත්තා. මෙතේන් වලට වඩා කාබන්ඩයොක්සයිඩ් වලින් ඒ හැටි වායුගෝලය උණුසුම්ව තියාගන්න බැහැ. මේකේ ප්‍රථිපලයක් විදිහට වසර මිලියන සිය ගණනාවක් පුරාවට පැවතුනු අයිස් යුගයක් පෘතුවියේ ඇරඹෙනවා. ඒ කාලේ මුලු පෘතුවියම හිම බෝලයක් වාගේ.

මේ කාලය ගෙවුනට පස්සේ නැවතත් පෘතුවිය උණුසුම් වෙනවා. දැන් පෘතුවියේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බහුතරයක් කලින් වගේ ඔක්සිජන් නිසා මියයන්නේ නැහැ. දැන් ඒ ජීවීන් ඔක්සිජන් උරාගන්නවා. ඔහොම ටිකෙන් ටික වාතයේ ඔක්සිජන් මට්ටම අඩු වෙලා අද තියෙන මට්ටමට ළඟා වුනා.

ක්ෂුද්‍ර ජීවීන්ට මේ ඔක්සිජන් උරා ගැනීමට හැකියාව ලැබීම නිසා තමයි කාලයත් එක්ක පරිණාමයෙන් උරගයින්, උභය ජීවීන්, මත්ස්‍යයින්, ශාක, ඩයිනෝසරයින් හා මිනිසුන් යනාදී සෑම ජීවී විශේෂයක් ම බිහි වුනේ.

මෙසේ ජීවීන් බිහි කිරීමට පෙර කී ජීවීන් පෘතුවියෙන් මුලිනුපුටා දැමීමට සමත් වුනු සයනොබැක්ටීරියා නම් ක්ෂුද්‍රජීවියත් හේතු වුනා. දවසක් මේ සයනොබැක්ටීරියා ක්ෂුද්‍රජීවියාව තවත් ක්ෂුද්‍ර ජීවියෙක් භක්ෂනය කරනවා. සයනොබැක්ටීරියා වලට ප්‍රභාසංශ්ලේෂණ හැකියාවක් තියෙන නිසා අර භක්ෂණය කරපු ක්ෂුද්‍රජීවියාටත් දැන් ප්‍රභාසංශ්ලේෂණය කරන්න පුලුවන්. මේ ක්ෂුද්‍රජීවියා තමා පසුව ශාක බවට පරිණාමය වුනේ. ඒ ක්ෂුද්‍ර ජීවියා තුල උන්නු සයනොබැක්ටීරියා හරිතලව විදිහට කාලයත් එක්ක පරිණාමය වුනා. මේ හරිතලව නිසා තමා ශාක කොළ පාට.

මේ සයනොබැක්ටීරියා අදටත් පෘතුවියේ තියෙනවා. සාගරයේ, මිරිදියේ, පස තුල ආදී සෑම පරිසර පද්ධතියක් තුලම ඉන්නවා. අදටත් මේ සයනොබැක්ටීරියා වාතයට ඔක්සිජන් සපයනවා. ඒත් එක්කම වාතයේ තිබෙන නයිට්‍රිජන් අවශෝෂණය කරලා පසට ලබාදෙනවා. පෘතුවියෙන් ජීවය තුරන් කිරීමට සමත් ජීවියා ම නැවත පෘතුවියට ජීවය ලබා දුන්නේ ඒ විදිහටයි.



10 comments:

  1. තවමත් ජිවත්වෙන ඇමිබා වැනි ප්‍රොටොසෝවා වංශයේ එක සේලීය සතුන් අනාගතයේදි වෙනස් වෙමින් අපිවත් මිහිතලයෙන් තුරන් කරලා දමයිද?

    ReplyDelete
    Replies
    1. Mass extinction එකක් වෙන්න පුලුවන් ගිනි කන්දක් පුපුරලා හරි. නමුත් අද හෙට නෙමේ.

      Delete
  2. සරලව කියා තියෙනව දිගු විස්තරයක්
    'අම්ලකර'ගෙ වටිනාකම නොමැත නිමක්
    ඔළුව ඉදිමුණට නැති ලොකුවට මොළයක්
    බූරු පුතුන්හට යවමුද මින් කොපියක්?

    ReplyDelete
  3. මටත් ඔය ජීවයක් පවතින්නනම් ඔක්සිජන් හ ජලය ඕනා කියන එක මහා පුරස්නයක් වෙලා තිබුනෙ. මොකද අනිත් දේවලට හැඩ ගැහුනු ජීවීන් මේ විශ්වයේ ඕන තරම් ඉන්න පුළුවන්..මම හිතන්නෙ ඕක පටලවගෙන තියෙන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් අලුත් ග්‍රහලෝකයක් හොයන එකත් එක්ක. එතකොට නම් ඉතින් ඔක්සිජන් සහ ජලය අනිවාර්‍ය සාධකයක්නෙ...

    ReplyDelete
    Replies
    1. දැන් අඟහරුවලත් වායුගෝලය ටිකෙන් ටික වෙනස් කරන්න හදනවනේ අපිට ඉන්න පහසුවෙන්න...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...