Tuesday, May 23, 2017

රෝම නීතිය හා පැක්ස් රොමානා


 රෝමන්වරුන්ගේ දීර්ඝකාලීන දායාදයක් ලෙස ඔවුන්ගේ නීතිය දැකිය හැකියි. වර්තමානය වන විට ලෝකයේ ශිෂ්ට සම්පන්න ජාතීන් සියල්ලම පාහේ රෝම නීතිය උපයෝගීකරගත් බව කීම අතිශෝක්තියක් නොවේ. ප්‍රථම නීති පද්ධතිය බිහිවූයේ ක්‍රි.පු. 150 දී චක්‍ර 12ක් ලෙසිනි. ඒවා තඹ පලක 12ක කොටා තිබූ අතර කාගේත් දැනගැනීම සඳහා වෙළඳ මධ්‍යස්ථානවල ප්‍රදර්ශනය කර තිබුනි. පසුකාලීනව සිදු වූ රෝම අධිරාජ්‍යයේ සහ එහි වෙළඳකටයුතු වල වර්ධනය හේතුකොට ගෙන ඇතිවූ වෙනස්කම් විශේෂයෙන් රෝම අධිරාජ්‍ය තුල ජීවත්වූ විදේශිකයන්ගේ අයිතිවාසිකම් වැනි දෑ සැලකිල්ලට ගනිමින් එකී නීති පද්ධතියේ ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුවිය.

  රෝම ආණ්ඩුව විසින් ප්‍රේටර් තෙරේග්‍රින්ස් නමින් හදුන්වනු ලැබූ විශේෂ විනිසුරුවරයෙකු පත් කලේය. ඒ රෝම අධිරාජ්‍ය තුල ජීවත්වූ විදේශිකයන්ගේ අයිතිවාසිකම් ගැන සොයා බැලීමටය. විටින් විට පත් වූ මෙම විනිසුරුවරුන් රෝම අධිරාජ්‍යට පැමිණෙන විදේශිකයන්ගේ සිරිත් විරිත් හා ගති පැවතුම් සලකා බලා රෝම නීතිය වෙනස් කරමින් වර්ධනය කලේය. මෙම නීති පද්ධතිය ජූස් ජෙන්මියම් ලෙස හැදින්විණි.

 අනෙක් ක්ෂේත්‍රවල විනිසුරුවරුන්ගේ නීති හා මහේස්ත්‍රාත්වරුන්ගේ නීති ලිඛිත නොවූ නීති ලෙස පැවතුණි. රෝම නීතිය විග්‍රහ කොට පද්ධතිගත කිරීමට සියවස් කිහිපයක්ම ගත විය.
ක්‍රි.ව. 527 සිට 565 අතර කාලයේ ජීවත්වූ නැගෙනහිර රෝම අධිරාජ්‍ය ජස්ටීනියන් නම් ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයෙකු පාලනය කලේය. රෝම නීතිය පද්ධතිගත කිරීමේ භාරදූර කාර්යය සාර්ථකව සිදුකරන ලදි. මෙය කෘතියක් ලෙස එළිදැක්වූ අතර එය ජස්ටීනියන් නීති පද්ධතිය ලෙස හදුන්වනු ලැබුණි.

 රෝම නීතිය මානුෂිකත්වය හා සාධාරණත්වය පදනම් කරගනිමින් සැකසී ඇති බැවින් ශිෂ්ට සම්පන්න ජාතීන් සියල්ලම පාහේ මෙම නීතිය පිලිගෙන ඇත. චූදිතයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වූ විට, එම එල්ල වූ චෝදනාවෙන් ආරක්ෂා වීම සඳහා  කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිම රෝම නීතියේ අඩංගු විශේෂ ලක්ෂණයකි. කිසියම් පුද්ගලයෙක්ට විරුද්ධව එල්ල කරන චෝදනාවලට එම පුද්ගලයා වරදකරු ලෙස නීතිය ඉදිරියේ ඔප්පු කරන තුරු එම පුද්ගලයාට දඬුවම් ලබා දීම සපුරා තහනම් වේ. කවර විෂමතා පැවතියත් සෑම පුරවැසියෙකුම නීතිය ඉදිරියේ එක සමාන බව පිලිගැනීම රෝම නීති පද්ධතියේ අර්තර්ගත තවත් වැදහත් ලක්ෂණයකි.
 
 පැක්ස් රොමානා ලෙස අදහස් කලේ රෝම සාමයයි. රෝම අධිරාජ්‍ය විශාල අධිරාජ්‍යයක් විය. මෙහි දේශසීමා ගත් කල බ්‍රිතාන්‍ය හා මෙසපොතේමියාව ඇතුලුව මධ්‍යදරණී මුහුදේ සියලුම ප්‍රත්‍යන්ථ ප්‍රදේශ කරා විහිදී තිබුණි. මෙම විශාල භූමි භාගය තුල ජීවත් වූ සියලු ජන කොටස් වල සාමය හා සමාදානය ස්ථාපිත කිරීම සඳහා පළාත් පාලන ආණ්ඩුක්‍රම ප්‍රථිසංවිධානය කලහ. මෙම කටයුත්තේදී තම අධිරාජ්‍ය යටතට පත් විවිධවූ ප්‍රදේශ වල ආගම්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට හානි නොවන අන්දමින් ක්‍රියා කිරීමට ඔවුන්ට සිදු විය.

  යටත් වැසියන්ට රෝම අධිරාජ්‍ය කෙරෙහි පක්ෂපාතීත්වය ලබා ගැනීම සඳහා ඔවුන් සියලුම දෙනාට රෝම පුරවැසිභාවය ලබා දෙන ලදි. එමගින් ඔවුන් රෝමන්වරු හා සම විය. රෝමන්වරු භුක්ති විඳි නිදහස ඔවුන්ටද විඳිය හැකි විය. අධිරාජ්‍යයේ දේශසීමා වල ප්‍රාකාර ඉදි කර රෝම හමුදා නතර කලේ විවිධ ආක්‍රමණ වලින් ආරක්ෂා වීම සඳහාය.

  අධිරාජ්‍ය තුල සාධාරණ බදු ප්‍රථිපත්තියක් ක්‍රියාත්මක විය. අධිකරණ පද්ධතියද සාදාරණ එකක් වූ අතර දක්ෂ ආණ්ඩුකාරවරු පරිපාලනය සඳහා යොදවන ලදි. සොරකම් හා මංකොල්ලකෑම් නතර කල අතර බියෙන් හා සැකෙන් තොරව වෙළඳාම් කරගෙන යාමේ තත්වයක් උදා කරන ලදි. වෙළඳ හා වාණිජ කටයුතු සඳහා අධිරාජ්‍ය පුරා පොදු විනිමය ක්‍රමයක් ක්‍රියාත්මක කලේය. කල් ගතවන විට රෝම පාලක මණ්ඩලයට නියෝජිතයන් පත් කර එවීමේ අවස්ථාව අධිරාජ්‍ය පුරා පැවති ප්‍රාදේශීය ඒකක වලට ලැබුණි.

මූලාශ්‍ර:

1)ලෝක ඉතිහාසය - බී.වී.රාවෝ

2) https://en.m.wikipedia.org/wiki/Roman_law

3) https://en.m.wikipedia.org/wiki/Pax_Romana

4) http://www.ushistory.org/civ/6c.asp

හරි එහෙනන් මෙවටත් උත්තර දෙමු...

1)Three Course meal ක්‍රමය හදුන්වා දුන්නේ කව්ද?

2) ෆ්‍රිජ් එකක දොරවල් ඇරලා... ගෙදර දොර ජනෙල් සේරම වහලා  තිබුනොත් ගෙදර කූල් වෙයිද? [විහිළුවට අහපු එකක් නෙමෙ... :D]

3) By the rivers of babylon ගීතයේ මුල් ගායක කණ්ඩායම කවුරුන්ද?

Sunday, May 21, 2017

මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා 


  එකම පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක් සිටිනා විට එක බිරිඳක් එම සියලුදෙනාම උදෙසා කැන්දාගෙන ඒමේ සිරිතක් එකල ලංකාවේ තිබුණි. මෙය එකගෙයි කෑම ලෙස හැදින්වූ අතර මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඉඩකඩම් හා දේපළ බෙදීයාම වැලැක්වීමයි.

 මෙම විවාහ ක්‍රමය බින්න බැහීම, කැන්දන් ඒම යන ක්‍රම දෙකටම අනුව සිදු කරයි. මෙම සිරිත අනුව මනාලිය කැන්දාගෙන එන්නේ පවුලේ වැඩිමහල් සොයුරාය. ඔහු බිරිඳගේ මුල් ස්වාමිපුර්ෂයාය. සෙසු සහෝදරවරු දෙවන ස්වාමිපුර්ෂයන් වේ. මෙහිදී ගෙදර ප්‍රධානිය වැඩිමහල් සොයුරාය. නිවසේ සිටින සියලු දෙනා ඔහුගේ වචනයට අවනත වේ.

 වැඩිමහල් සොයුරා එක් රැයක් බිරිඳ සමඟ ගත කරයි. ඒ ඊලඟ රැය ඊලඟට වැඩිමහල් සොයුරා සමඟ ගත කරයි. මේ ආකාරයට නිවසේ සිටින සෑම සොයුරෙක් සමඟම බිරිඳ මාරුවෙන් මාරුවට රැය ගත කරයි.


 සැමියෙකු බිරිඳ සමඟ කාමරයේ සිටින බව දැන්වීමට අමුඩ ලේන්සුවක් දොරේ එල්ලයි. මෙවිට අනෙක් සොයුරන් කාමරය තුලට නොයා තමන්ගේ වාරය එනතුරු බලා හිඳියි. කිසිම විටක අමුඩ ලේන්සු දෙකක් දොරේ එල්ලෙන තත්වයක් උදා නොවේ. දහවල් කාලයේදී ඕනෑම සහෝදරයෙකුට තම පොදු බිරිඳ සමඟ කාලය ගත කල හැක. කිසිදු සහෝදරයෙක්ට අකමැත්තක් පල කිරීමට එම බිරිඳට නොහැකිය. මන්ද ඒ සොයුරන් සියලු දෙනා තමාගේ ස්වාමිපුර්ෂයන් බැවිනි.

  බිරිඳට දරුවන් ලැබූ විට සොයුරන් සියලු දෙනා එම දරුවන්ගේ පියවරුන් වේ. මන්ද දරුවෙකුගේ සැබෑ පියා කව්ද යන වග බිරිඳවත් නිසැකයෙන් නොදන්නා නිසාය. වැඩිමහල් සොයුරා ලොකු තාත්තා ලෙසත් දෙවෙනියා මද්දුම තාත්තා ලෙසත් තෙවැනි සහෝදරයෙකු සිටී නම් ඔහු කුඩා තාත්තා ලෙසත් හදුන්වයි. තමන්ට ස්වාමිපුර්ෂයන් කිහිපදෙනෙකුම සිටීම සමහර බිරින්දෑවරු සතුටු වූ බව සමහර තැන් වල කියැවේ. මීට හේතුව සොයුරන් නොහොත් ස්වාමිපුර්ෂයන් සියලුම දෙනාගේ සැලකුම එකම බිරිඳකට හිමි වන බැවිනි.

 The Historic Tragedy Of Island Of Ceilao නම් පොතේ මෙසේ සඳහන් කර ඇත. පහත දැක්වෙන්නේ එයින් මා උපුටාගත් කොටසයි. [ ලංකාවේ ඓතිහාසික ඛේදවාචකය - කපිතාන් රෙබෙයිරෝ - 1685]

  "...තමාගේම කුලයට අයත් ස්වාමිපුර්ෂයෙකු සමඟ විවාහ වීමට තරුණියක් ගිවිස ගනියි. [කුලයෙන් පිට විවාහ වීමට ඇයට නොහැකියි] තමන් ඊට කැමති නම් ඇයගේ නෑදායන් භෝජන සංග්‍රහ පවත්වා විවාහය සිදු කරති. පසුදා සැමියාගේ සහෝදරයෙන් ඔහුගේ තැන ගනියි. සිය පුර්ෂයාට සොයුරන් සත් දෙනෙකු සිටිත් නම් ඇය මේ හත් දෙනාගේම බිරිඳ වන්නීය. ඇය ඔවුන් සමඟ මාරුවෙන් මාරුවර රාත්‍රිය ගත කරයි. තමාගේ සොයුරන්ට වඩා වැඩි අයිතියක් ස්වාමිපුර්ෂයාට නැත. දහවල් කාලයේදී කාමරය හිස්ව ඇත්නම් කාන්තාව සමඟ එයට පිවිසී කාලය ගත කිරීමට අයිතිය ඒ සෑම සොයුරෙකුටම ඇත. ඔහු කාමරය තුල සිටිනා විට අන් කිසිවෙකුට එයට ඇතුල් විය නොහැකිය. ඔවුන් කිසිවෙකු හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇයට අයිතියක් නැත. විවාහය සිදුවුයේ එක් සොයුරෙක් සමඟ වුවත් කාන්තාව සොයුරන් සියලුම දෙනාගේ බිරිඳ වන්නීය. එහෙත් විවාහය සිදුවී ඇත්තේ බාලම සොයුරා සමඟ නම් එම බිරිඳ කෙරෙහි අයිතිවාසිකම් පෑමේ අයිතිය සෙසු සොයුරන්ට නොමැත.

  එහෙත් ඔවුන් සියලු දෙනාගේම භාර්යාවන් වෙත කැමති විටෙක පිවිසීමේ අයිතිය මේ සොයුරා සතු වන්නේය. ස්වාමිපුර්ෂයාට සොයුරන් හත් දෙනෙකුට වැඩිය සිටිත් නම් ඒ අමතර සොයුරන්ට එම බිරිඳ කෙරෙහි අයිතියක් නැත. සොයුරන්ගේ සංඛ්‍යාව එකේ සිට පහ දක්වා නම් ඔවුහු එක ගැහැණියක් සමඟ සෑහීමකට පත් වෙති. සොයුරන් විශාල සංඛ්‍යාවක් සතු පුර්ෂයෙකු සමඟ විවාහ වන කාන්තාව වාසනාවන්තියක් ලෙස සලකනු ලබන්නීය. ඔවුන් සියලු දෙනාම ඇය වෙනුවෙන් වෙහෙස වී ගොවිතැන් කොට තමන්ගේ මුලු ආදායම ගෙදරට ගෙන එති. මෙසේ ගෞරවයට පාත්‍ර වන කාන්තාව වාසනාවන්ත දිවියක් ගත කරන අතර , ඇයගේ දූ දරුවන් ඒ සියලු සොහොයුරන් පියා ලෙස අමතයි. උසස් කුලයක කාන්තාවක් පහත් කුලයක පුර්ෂයෙකු සමඟ මෛථුනයෙහි යෙදුණු විට ඇයට මරණීය දණ්ඩනය හිමිවේ. ඇයගේම මව්පියවරු සහ සහෝදරයෝ ඇගේ චෝදනාකරුවෝ වෙති..."


 ඩේවි දුටු ලංකාව කෘතියේ පහත අයුරින් සටහන් වේ.

"... අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්‌ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක්‌ වෙති. ස්‌වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්‌ත්‍රියක්‌ ගැන ද මට අසන්නට ලැබිණි. මෙය අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක්‌ නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝය. වරක්‌ මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක්‌ භාර්යාවක්‌ පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩි මහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි..."

 සිංහලේ ආණ්ඩු ක්‍රමය - ජෝන් ඩොයිලි කෘතියේ මේ පිලිබඳව පහත අයුරින් සඳහන් වේ.

"... භාර්යාවන්ගේ හා ස්‌වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක්‌ නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාව තම ස්‌වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සියපවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ හැක. යෝජනා කරනු ලබන හවුල් සැමියා පළමු වන සැමියාගේ සොහොයුරෙක්‌ නොවේ නම් එබඳු හවුල් විවාහයක්‌ සඳහා පළමුව බිරිඳගේ පවුල් අනුමැතිය ලබා ගත යුතුය..."

 රොබට් නොක්ස් මෙසේ පවසයි ;

"ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැනියකට පුරුෂයන් දෙදෙනකු සිටීම ස්‌වාභාවිකය"

 මේ පිලිබඳව ඔබ දන්නා අමතර දෑ තිබෙනවානම් පහතින් සඳහන් කරන්න. ලිපිය පිලිබඳ කුඩා හෝ අදහසක් දක්වනවානම් කෘතඥ වෙමි.

 මූලාශ්‍ර :

1) පුරාණ ලංකාවේ ගම්දොර විත්ති - ජී. ඇම්. සේනාරත්න

2) එදා හෙළඳිව - රොබට් නොක්ස්

3) සිංහලේ ආණ්ඩු ක්‍රමය - ජෝන් ඩොයිලි [ සෝමරත්න , එච්. එම්. ඇල්ලෙපොල]

අද අහන්නේ හැමෝටම උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක්. පල්ලෙහා තියෙන පින්තූරවලින් පෙන්නන ස්ථාන හඳුනාගන්න.

1)


2)

3)





4)



මෑතකදි නිර්මාණය වූ එකගෙයි කෑම පිලිබඳ ගීතයක්...











Tuesday, May 16, 2017

ප්‍රශ්න තුන



 [ පහත දැක්වෙන්නේ ප්‍රකට ගත්කතුවරයෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1885 දී එළිදක්වනු ලැබූ කෙටිකතාවක මවිසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයයි.]

 සෑම දේම පටන්ගත යුතු නිවැරදි වෙලාව කුමක් ද? ඇහුම්කන් දිය යුතු හා ඇහුම්කන් නොදිය යුතු  පුද්ගලයන් කව් ද? කල යුතු වැදගත්ම කාර්යය කුමක් ද? යන ප්‍රශ්න තුනක් එක්තරා රටක රජකෙනෙකුට පැණ නැගුණි. ඒවාට පිලිතුරු දැන ගතහොත් සියලු දෙයින් ඔහුට ජය ගතහැකි බව ඔහු විශ්වාස කලේය.


  මෙම ප්‍රශ්න වලට පිලිතුරු දන්නා අයෙක් වෙතොත් රජතුමා හමුවට පැමිණෙන ලෙසත් නිවැරදි පිලිතුරු ලබා දුනහොත් රත්‍රන් විශාල ප්‍රමාණයක් ත්‍යාගය ලෙස ලබා දෙන බව රට පුරා ප්‍රචාරය කරන ලදි. රටේ උගතුන් විශාල ප්‍රමාණයක් රජතුමා හමුවට පැමිණි අතර ඔවුන් නොයෙකුත් පිලිතුරු ලබා දුනි.

  පලමු පැනයට  පිලිතුරු ලෙස සමහරු පැවසුවේ දින, සති හා මාස ඇතුලත් කර දින දර්ශනයක් සකසා එයට වැදගත් දින ඇතුලු කර ඒ අනුව ජීවත්විය යුතු බවයි. තවත් සමහරු පැවසුවේ යම් දෙයක් කිරීමට නියම වෙලාව වේලාසනින් පැවසිය නොහැකි බවයි. තවත් පිරිසකගේ අදහසක් වූයේ තනි පුද්ගලයෙක්ට යම් දෙයක් සිදු කිරීමට නිවැරදි වේලාව තෝරාගත නොහැකි බවත් ඒ සඳහා උගතුන් කිහිප දෙනෙකුගෙන්ම සෑම විටම උපදෙස් ලබාගත යුතු බවත්ය. ඒත් සමඟම සමහරු පැවසුවේ රජතුමා මායාකාරයන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවයි. මන්ද ඔවුන් පමණයි සිදු වීමට යන දෑ පිලිබද දන්නේ.

  දෙවෙනි පැනයටත් මේ ආකාරයෙන්ම විවිධාකාර වූ පිලිතුරු ලැබුණි. සමහරු රජතුමාට වැදගත්ම වන පුද්ගලයින් වන්නේ උපදේශකයන් බවත් සමහරු
 දේවගැතිවරුන් බවත් සමහරු වෛද්‍යවරු බවත් සමහරු සොල්දාදුවන් බවත් පැවසුවේය.

 තෙවන ප්‍රශ්නයට එනම් ලොව තිබෙන වැදගත්ම දෙය කුමක්ද? යන පැනයටත් ඉහත ආකාරයටම විවිධාකාර වූ පිලිතුරු ලැබුණි. විද්‍යාව , යුධ කලාව , ආගමික පූජා ආදිය බොහෝ දෙනාගේ පිලිතුරු අතර විය.

 සියලු දෙනාගේ පිලිතුරු විවිධාකාර විය. රජතුමා ඒ එකක්වත් සමඟ එකඟ වූයේ නැත. එමනිසා ත්‍යාගය කාහටවත් ලැබුනේ නැත. එනමුත් රජතුමාට තවමත් මෙම ප්‍රශ්න තුනට පිලිතුරු දැන ගැනීමට උවමනා විය. ඔහු හුදකලාව වෙසෙන තාපසයෙක් මෙන් පුද්ගලයෙක්ව මුණ ගැසීමට යාමට තීරණය කලේය. ඔහුගේ තියුණු බුද්ධිය නිසා ඔහු ජනතාව අතර මහත් ජනප්‍රියත්වයකට පත්ව සිටියේය.

 මෙම තාපසයා ජීවත්වූයේ කැලෑවකය. එමෙන්ම ඔහු කැලෑවෙන් පිටතට පැමිණියේ අතිශය කලාතුරකිනි. රජතුමා සාමාන්‍ය පුරවැසියෙක් මෙන් හැඳපැළඳ තම ශරීරාරක්ෂකයින්ව තාපසයාගේ නිවසින් බොහෝ පිටතට වෙන්නට සිටින්නට කියා තම අශ්වයාගෙන් බැස තනිවම තාපසයා හමුවට ගියේය.

  රජතුමා මෙම පුද්ගලයාව හමුවීමට ගිය විට ඔහු තම පැල්පත ඉදිරියේ පොලොව හාරමින් සිටියේය. ඔහු රජතුමා තම ඉදිරිපිට ඉන්නවා දැක රජතුමාට ආචාර කර නැවතත් තම කාර්යයේ නිරත විය. මොහු ශරීරයෙන් දුර්වල වූ අතර පොලොව කොටන සෑම වාරයක් පාසා විශාල හුස්මක් අරගනියි.

  රජතුමා ඔහු අසලට පැමිණ " මම  ඔබව මුණගැහෙන්න ආවේ ප්‍රශ්න තුනකට උත්තර දැනගන්න. හැම දෙයක්ම පටන් ගන්න ඕන හරි වෙලාව මොකක්ද? ඇහුම්කන් දියයුතු හා නොදියයුතු පුද්ගලයන් කව්ද? කල යුතු වැදගත්ම කාර්යය මොකක්ද?" යැයි ඇසුවේය.

  ඔහු රජතුමා කියූ දේට සවන් දී එයට කිසිදු ප්‍රථිචාරයක් නොදක්වා නැවත පොලොව හාරන්නට විය.

  " ඔබව මහන්සියි" රජතුමා පැවසීය. " ඕක මට දෙන්න මම පොලොව හාරන්නම්"

  "ස්තූතියි" යැයි ඔහු පවසා සවල රජතුමාට ලබා දී පොලොව මත වාඩි විය.

 රජතුමා පස් පිඩැලි කිහිපයක් කැපූ පසු නැවතත් ප්‍රශ්න තුන ඔහුගෙන් ඇසුවේය. එම පැනයට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඔහු රජතුමා දෙසට අත දිගු කර "ඔයා දැන් ටිකක් විවේක ගන්න, ඕක මට දෙන්න" යැයි පැවසීය.


  එනමුත් රජතුමා සවල ඔහුට නොදී දිගටම එම කාර්යයේ නිරත විය. පැයක් ගතවිය, තවත් පැයක් ගතවිය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. හිරු ගස් අතරින් සැඟවී යාමට පටන් ගත්තේය.

 " ඔයාට මේවට උත්තර දෙන්න පුලුවන්ද? බැරිනම් කියන්න, මට ගෙදර යන්න"

 රජතුමා පැත්තක් හැරී බලන විට රැවුලක් සහිත මිනිසෙක් කැලයේ සිට දුවගෙන එනවා දුටුවේය. ඔහු තම දෑතින් බඩ තදකරගෙන සිටි අතර එයින් පිටතට රුධිරය වෑස්සී තිබුණි. ඔහු රජතුමා අසලට පැමිණි විට බිම ඇදගෙන වැටුනේය. රජතුමා සහ මහළු තාපසයා ඔහුගේ ඇදුම් ඉතා ඉක්මනින් ඉරා දැමුවේය. විශාල තුවාලයක් ඔහුගේ සිරුරේ විය. රජතුමා හැකි ඉක්මනින් ඔහුව හෝදා තම අත්පිස්නාවෙන් හා මහළු මිනිසා ලඟ තිබූ වෙලුම්පටි වලින් එතුවේය. රුධිරය ගැලීම නතර නොවීය. වෙළුම් පටි රුධිරයෙන් තෙත් වීය. රජතුමා නැවත වෙළුම් පටි ගලවා, තුවාලය සෝදා නැවතත් වෙළුම් පටි වලින් තුවාලය එතුවේය. රුධිර වහනය නැවතුනු පසු තුවාලකරුවා බීමට යමක් ඉල්ලුවේය. රජතුමා නැවුම් ජලය ගෙන ඔහුට බීමට ලබාදුන්නේය. මේ වනවිට සවස් වී තිබුණි. රජතුමා මහළු තාපසයාගේත් උදව් ඇතිව තුවාලකරුවාව තාපසයාගේ පැල්පතට ගෙන ඇඳ මත තැබුවේය. ඔහු ඇඳ මතට ගිය විට හීන් ඇස් පියාගෙන නින්දට වැටුනේය. රජතුමාත් බොහෝ තෙහෙට්ටුවට පත් වූ බැවින් ඒ අසලම නින්දට ගියේය. මෙලෙස රජතුමා මුලු රැයම තාපසයගේ පැලෙහි නිදාගත්තේය.

    රැය ගතවිය උදය උදාවිය. රජතුමා නින්දෙන් නැගිටි පසු තමන් සිටින්නේ කොහිදැයි සිහියට ඒමට මද වෙලාවක් ගතවිය. ඒත් සමඟ රැවුලක් සහිත පිරිමි පුද්ගලයෙක් ඔහු දෙස දීප්තිමත් දෑසින් බලා සිටිනු දැක්කේය.

  "මට සමාවෙන්න" දුර්වල කටහඬින් ඔහු පැවසුවේය. ඒත් සමඟම රජතුමා සිටගෙන ඔහු දෙස බැලුවේය.

  "මම ඔයාව දන්නෙ නෑ. සමාවදෙන්න ඔයා මට වරදක් කරලා නෑ" රජතුමා පැවසීය.


  "ඔයා මාව දන්නෙ නෑ, ඒත් මම ඔයාව දන්නවා. මම ඔයාව මරන්න බලාගෙන හිටපු ඔයාගෙ හතුරෙක්. ඔයා මගේ සහෝදරයාගේ හිසගසා දාලා එයාගේ දේපල රාජසන්තක කලා. මම දැනගත්තා ඔයා මේ මහළු තාපසයාව මුණගැහෙන්න එනවා කියලා. මුණගැහිලා එන අතරමඟදී ඔයාව මරන්නයි මම උත්සහ කලේ. ඒත් දවසම ගෙවුනත් ඔයා ආපහු ආවෙ නෑ. ඒ නිසා මම ඔයාව හොයාගෙන ආවා. ඒ එන අතරතුර ඔයාගේ ආරක්ෂයන්ව මුණගැහුනා, එයාලා මාව අඳුනගෙන මට පහර දුන්නා. එතනින් බේරිලා එනකොට තමා ඔයාව මුණගැහුනේ. මම ඔයාව මරන්නයි හැදුවේ. ඒත් ඔයා මාව බේරුවා. ඒ නිසා මම ඔයාගේ විශ්වාසවන්තම සේවකයා වෙන්නම්. මගේ දරුවනුත් ඔයාට විශ්වාසවන්තව සේවය කරාවි. "

  රජතුමා ඔහුත් සමඟ සමාදාන වූ අතර, ඔහුව යහළුවෙක් කරගත්තේය. ඒත් සමඟම ඔහුට ප්‍රථිකාර කිරීමට රාජකීය වෛද්‍යවරයෙක් හා සහෝදරයාගේ දේපල නැවත ලබා දෙන්නට පොරොන්දු විය.

  රජතුමා තුවාල ලැබූ පුද්ගලයාගෙන් සමුගෙන නැවත මාලිගයට පිටත් වීමට පෙර මහළු මිනිසාව මුණගැසීමට ගියේය. ඒ ඔහුගේ පැන වලට පිලිතුරු ලබාගැනීම බලාපොරොත්තුවෙනි. මහළු මිනිසා පෙර දිනයේදී සකස් කල පොලොවෙහි පැල සිටවමින් සිටියේය.

 රජතුමා මහළු මිනිසා අසලට පැමිණ මෙසේ පැවසීය "මම අන්තිම වතාවට ආයාචනා කරලා ඉල්ලනවා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා"

  "ඔයාට දැනටමත් උත්තර ලැබිලා තියෙන්නේ" බිම සිටි මහළු මිනිසා රජතුමා දෙස බලා පැවසීය.

 "කව්ද උත්තර දුන්නෙ? ඔයා මොනාද මේ කියන්නේ? " රජතුමා පුදුමයෙන් පැවසුවේය.

 "ඔයා දැක්කෙ නැද්ද" මහළු මිනිසා පැවසීය. " ඔයා මගේ දුර්වලකම දැකලා පොලොව කෙටුවෙ නැත්තම් ඔයා යන අතරමඟ පහරකෑමට ලක්වෙන්න තිබ්බා. ඒ නිසා වඩා වැදගත්ම කාලය තමා ඔයා පොලොව කොටමින් සිටි වෙලාව. වඩාත්ම වැදගත් පුද්ගලයා තමා මම. වඩා වැදගත්ම කාර්යය තමා මට හොදක් කිරීම. ඊට පස්සෙ තුවාල ලැබූ පුද්ගලයෙන් දුවගෙන ආවා, වඩාත් වැදගත් වෙලාව තමා ඔයා ඒ පුද්ගලයා වෙත ගිය වෙලාව. ඔයා ඒ තුවාල ලැබූ පුද්ගලයාට උදව් කරේ නැත්නම් ඒ පුද්ගලයා ඔයත් එක්ක සාමාදාන වෙන්නෙ නැතුව මියයන්න ඉඩ තිබුණා. ඒ නිසා ඒ පුද්ගලයා තමා වඩා වැදගත් පුද්ගලයා, ඔයා එයාට කරපු දේ තමා වඩා වැදගත් කාර්යය. ඒ නිසා මතක තියාගන්න. වඩා වැදගත් කාලවල් එකයි තියෙන්නේ. ඒ තමා දැන්! මේක තමා වැදගත්ම වෙලාව මොකද මේ වෙලාවෙ තමා අපිට මොනා හරි බලයක් තියෙන්නේ. වඩා වැදගත්ම පුද්ගලයා තමා අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්න පුද්ගලයා. අපි දන්නෑ අපිට ඉස්සරහට කාත් එක්ක වැඩකටයුතු කරන්න සිද්දවෙයිද කියලා. වඩා වැදගත්ම කාර්යය තමා ඒ පුද්ගලයාට හොදක් කරන එක. මොකද ඒකෙන් තමා ඒ පුද්ගලයාට ජීවිතය ලැබෙන්නේ."
 


 
 
 

Wednesday, May 10, 2017

පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- [2 කොටස]


 පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස

 මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාකච්ඡා කරයි. පෙර කියූ පරිදි රොඩී ජනතාවගේ නායකයා රත්නවල්ලි ලෙසද හුලවාලියා ලෙසද හඳුන්වයි. මොවුන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ අතර මොවුන් සිදුකරන මන්ත්‍ර 'නීච කුල බන්ධන' හා 'මහා මාතාංග' යන නමින් හඳුන්වන ලදි. රොඩියන් කලක් අභිකුණ්ඨක ජීවිතයක් ගත කලේ ඔවුන්ට නිවාස තනා ගැනීමට අවසරයක් නොලද නිසාවෙනි. එනමුත් පසු කලෙක රජවරුන් මොවුන්ට වෙනමම ගම්මාන ලබා දුන් අතර ඒවා 'ගුබ්බෑයම්' ලෙස හදුන්වන ලදි.



 රොඩී කුලය ආරම්භය පිලිබඳව ජනප්‍රවාද කිහිපයක්ම පවතියි. ඉන් එකක් ලිපි මාලාවේ පලමු කොටසේ සදහන් කරන ලදි. වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන් පවසන පරිදි ඉන්දියාවේ පංචම කුල වලට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය පැවතගෙන එයි. ජනප්‍රවාද අතරින් වඩා ප්‍රමුඛ තැනක් උසුලන්නේ රොඩී ජනතාව පරාක්‍රමභාහු රජුගේ දියණියක් වන රත්නවල්ලිගෙන් පැවත එන බව කියන ජනප්‍රවාදයයි. යට මහලේ මිදුල අමදිමින් සිටි සේවකයෙකුගේ හිසට ඉහල මහලයේ සිටි රත්නවල්ලි කුමරියගේ කෙල පිඬක් නොදැනුවත්වම වැටුණි. මෙයට පලිගැනීමට යැයි සිතා එම සේවකයා මාලිගාවේ දොර අසල නිදාගනිමින් , රත්නවල්ලිව තමාට විවාහ කරනොදෙන්නේ නම් එතැනින් නැගිටින්නේ නැති බව පැවසීය. රජවාසලේදී පුද්ගලයෙක් නිරාහාරව මියයාව අවැඩක් බව සිතූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියව එම දාසයාට විවාහ කර දෙන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව එක් මතයකි. තවත් ජනප්‍රවාදයක එන්නේ රත්නවල්ලි කුමරිය දාසයෙක් සමඟ රහසින් පෙම් බැඳ එහි ප්‍රථිපලයක් වශයෙන් ඈ ගැබ්ගැනීමයි. මෙය ඇසූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියගේ උඩුකය නිරුවත් කොට කොණ්ඩය ඉහලට වෙන්න බැඳ දාසයාට පාවාදී රජමැදුරෙන් පිටමං කල බවයි. මෙයින් රොඩී ජනතාව පැවත එන බව කීම තවත් මතයකි.



 රත්නවල්ලි හා බැඳුණු තවත් ජනකතාවක් පවතියි. එය පෙරදි සදහන් කල රොබට් නොක්ස්ගේ එදා හෙළඳිව කෘතියෙහි සදහන් ජනප්‍රවාදයට යම් සමානකමක් දක්වයි. රත්නවල්ලි මිනීමස් අනුභව කිරීමට ඉතා ගිජු බවක් දක්වන ලදි. රජවාසල කරණවෑමියා මේ පිලිබඳව දැන සිටියේය. පොහොය දිනක රජුට සැපයීමට දඩමස් සොයාගැනීමට නොහැකි වූයෙන් කරණවෑමියා සොහොනකට ගොස් එහි දමාගිය මිනියක් දඩමස් ලෙස සකසා රජුට පිලිගන්වන ලදි. රජු මෙයට ඉතා කැමැත්තක් දැක්වූ අතර නැවතත් මෙම මස් වර්ගයම රැගෙන එන්නයි පැවසීය. රජුට දඩමස් කියා මිනීමස් පිලිගැන්වූ බව රත්නවල්ලි කුමරිය දැනගන්නා ලදි. එහෙත් ඇය මිනීමස්වලට ගිජු වී සිටි බැවින් මේ පිලිබඳව කිසිවක් රජුට නොපවසන ලදි. කෙසේ හෝ රජු මෙම කාරණාව ගැන දැනගත් පසු රත්නවල්ලි කුමරියව කරණවෑමියාට විවාහ කරදෙන ලදි. ඉන්පසු දින හතක් නගරයේ සිඟමන් යැදීමට ඔවුන්ට අණ කල අතර ඉන්පසු නගරයෙන් නෙරපන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව තවත් මතයකි.


  ඉංග්‍රීසි ජාතික එල්.ඩී.බර්නාඩ් මහතා විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සදහන් වේ. රත්නවල්ලි යනු සූර්ය වංශයෙන් පැවත එන මිනිස් දෙව්දුවකි. ඇයගේ වාසස්ථානය තෙලඹු ගසයි. අනුරාධපුරයේ තිබුනු මෙම තෙලඹු ගසට රොඩී ජනයා වන්දනාමාන කලහ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සෑදීමට තෝරාගත්තේ මෙම තෙලඹු ගස තිබූ ස්ථානයයි. රජතුමා රත්නවල්ලිට බිලි පූජා කර මෙම ස්ථානයේ ස්ථූපය සෑදීමට අවසර ගන්නා ලදි. රත්නවල්ලිගේ කැමැත්ත පරිදි මෙම ස්ථානයට රුවන්වැලිසෑය යන නම තබන ලදි.

 මෙහිදී සදහන් කල යුතු විශේෂ කරුණක් වන්නේ එල්.ඩී. බර්නාඩ් මහතා රත්නවල්ලි හා ස්වර්ණමාලි පටලවාගෙන ඇති බවයි. මේ සමඟම මට අමරදේවයන් ගායනා කරන මහගම සේකරයන් රචනා කල ගීතයක් මතකයට නැගේ.

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍ර චාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට හඩන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

  ඉංග්‍රීසි ජාතික හියු නෙවිල් මහතා 1887 දී ටැප්‍රොබේනියන් සඟරාවට රත්නවල්ලි කවි 13 ක් සොයා පලකරන ලදි. මෙම කවි ඔහු විසින් සොයාගෙන ඇත්තේ වන්නි ප්‍රදේශයෙනි. ඔහු සොයාගත් කවි වලින් පලමු කවි තුන නම් ;

 නිල්බර නිල් රුකට පිටදී උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන්වල පැහැපත් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්න වල්ලියේ

 ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

 සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ද ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

 උක්ත කවි වලින් රත්නවල්ලි යනු තලඹු ගසෙහි වැඩ සිටිනා දෙව්දුවක් බවත්, තවත් කවියකින් ඈ පරාක්‍රමභාහු රජුගේ දියණියක් බවත් පවසයි. රත්නවල්ලි කවි ලියූ සහිත්‍යකරුවා ඉතිහාසය හා කාලවකවානු ගැන සැලකිල්ලක් නොදක්වා ජනවහරේ ආ සිද්ධීන් මුල් කොටගෙන මෙම කවි ලියූ බව පැහැදිලිය. රත්නපුර දිස්ත්‍රික්කයේ තුලාපිටිය කුප්පායමෙන් සොයාගත් තවත් කවි කිහිපයක් පහත දැක්වේ.

 උඩුමාලෙන් බැහැපන් රත්න වල්ලියේ
සළු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
මුතු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
රොඩියට දෙන්ට බැහැපන් රත්න වල්ලියේ

අතමුල වළලු අතමුල සෙලෙවි සෙලවියේ
පාමුල ගිගිරි පාමුල සෙලෙවි සෙලෙවියේ
කරේ තියෙන මුතු දෙපොටත් නොසෙල්ලියේ
සබේ මැදට බහුකෝ රත්නවල්ලියේ

කොතනක සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
රුහුණේ සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
දෙපයේ ලාපු ගිගිරින් සෙල්ලි සෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ


  අතීත රොඩී ජන ජීවිතය ගැන පෙර ලිපියේ සාකච්ඡා නොකල කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරමු.  මංකොල්ලයක් , සොරකමක් ආදී වරදකට රොඩියෙකු චෝදනා ලැබුවහොත් හුලවාලියා (රොඩී නායකයා) මේ පිලිබඳව සිරගෙයි කංකානමට දැන්විය යුතු විය. ඉන්පසු සිරගෙයි කංකානම චෝදනා ලැබූ රොඩියාව තොටුපලට රැගෙන ඒමට දිනයක් නියම කරයි. මීට හේතුව වන්නේ රොඩියෙක්ව ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට අවසර නැති නිසාවෙනි. නඩුව විභාග කර දිනයේදී සිරගෙයි කංකානම ඔරුවක නැගී රොඩියා සිටින ඉසව්වට නෑවිත් නඬුව විසදයි. මෙය නැරඹීමට චෝදනා ලැබූ රොඩියාගේ නෑදෑ හිතවතුන්ද අනෙකුත් රොඩියන්ද පැමිණෙයි. වරද ඔප්පු වුවහොත් එරමිනියා හෝ කැප්පෙට්ටියා පොල්ලකින් රොඩියාට තලයි. මේ දඩුවම දීමට වෙනත් රොඩී ගමකින් පුද්ගලයෙක් ගෙන්වයි. 


 මොවුන් සිඟා කෑමට අමතරව රජුගේ භාණ්ඩාගාරයට කස සැපයීම, කොඩි ආදිය එල්ලීම සදහා ලණු සැපයීම , රජමාලිගයට මස් සැපයීම, කසල බැහැර කිරීම, මල සිරුරු බැහැර කිරීම සිදුකරන ලදි. මොවුන්ට අංගසම්පූර්ණ නිවසක් තනා ගැනීමට අවසර නොවීය.

 සමාජය විසින් සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර මොවුන්ට සිදු කිරීම තහනම් විය. උපත, වැසිවියට පැමිණීම, විවාහය හා මරණය ආදී විශේෂ අවස්ථාවලදී අනෙක් අය සිදු කරන්නාවූ චාරිත්‍ර කිසිවක් ඔවුන්ට කිරීමට අවසර නොවීය. එනමුත් රොඩියන් ඔවුන්ටම විශේෂිත වූ චාරිත්‍ර අනුගමනය කල බව සදහන් වේ. දරුවෙකු වැඩි වියට පත්වූ විට රොඩියන්ට රධා කුලයේ කාන්තාවකගේ (රෙදි නැන්දාගේ) සේවය නොලැබුණි. මන්ද රධා කුලයේ කාන්තාවන් තමන්ට වඩා පහත් කුලයක් වන රොඩියන්ට තම සේවය ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නැති නිසාවෙනි. මොවුන්ගේ ආගම බුධු දහම වුවද බුදු දහමේ එන්නාවූ චරිත්‍ර වාරිත්‍ර කිරීමට මොවුන්ට අවසර නොවීය.


 බටහිර ජාතීන් ලංකාවට පැමිණීමත් සමඟ රොඩියන්ට සිංහල සමාජය විසින් දමා තිබූ තහංචි බොහොමයක් ඉවත් කරන ලදි. සිඟාකෑම පමණක් කිරීමට තිබූ තහංචිය, කාන්තාවන්ගේ උඩුකය නිරාවරණය කර තබා ගැනීමට තිබූ තහංචිය, ආර්ථික වශයෙන් පනවා තිබූ තහංචි බටහිර ජාතීන් නැති කරන ලදි. එනමුත් සිංහල සමාජය මෙයට ඉතා අකමැත්තක් දැක්වූ බව සදහන් වේ. ක්‍රිස්තියානි මිෂනාරිවරුන් රොඩියන්ට ධර්මය දේශනා කල අතර ඔවුන් ඉතා ඉක්මනින් කිතුනු දහම වැලඳගත්තේය. මන්ද එකල සිටි බෞද්ධ සමාජය ඔවුන්ව කොන් කර තැබූ නිසාවෙනි. රොඩියන් කොටස් දෙකකට බෙදා වෙන් කල හැක. ඒ නාහල්ල හෙවත් උඩකටුව රොඩී හා නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී ලෙසය. උඩකටුව රොඩී කොටස් දෙකකට බෙදේ. ඒ තිරිංග රොඩී පෙලපත හා හල්පේ රොඩී පෙලපත ලෙසය.

  මොවුන්ගේ භාෂාව වැදි භාෂාවට යම් සමානකමක් දක්වන අතර මෙම භාෂාව ගාඬි බස ලෙස හදුන්වයි. පහත දැක්වෙන ඡායාරූප මගින් රොඩී ජන වහ්‍ර පිලිබඳ දැනගත හැකියි. ඡායාරූපය මත Click කල විට වඩා පැහැදිලි රූපයක් පෙනේවි.















ලිපි මාලාවට මූලාශ්‍ර;

1) එදා හෙළදිව - රොබට් නොක්ස්

2) ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - සුරනිමල තෙන්නකෝන්

3) ලංකාවේ කර්මාන්ත පුරාණය - ජී. එම්. සේනාරත්න

4) http://www.divaina.com/2010/07/04/siya09.html

5) http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/

6) https://si.m.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික

7) http://www.wikiwand.com/si/රොඩී

8) රත්නවල්ලිගේ දරුවෝ රොඩී ජන පුරාණය - එම්.ඩී. රාඝවන් ( පරිවර්තනය චන්ද්‍රශ්‍රී රණසිංහ)

9) https://pinthaliya.wordpress.com/2013/11/01/ස්වර්ණමාලි-හා-රත්නවල්ලි/


මේවටත් උත්තර දෙමු එහෙනන්...

1) මේකනන් හරි ලේසි ප්‍රශ්නයක්... මෙයා කව් ද?


2) සහරා කාන්තාරයට හිම වැටුනේ කවද්ද?


3) ලෝකයේ විශාලතම සොහොන තියෙන්නේ කොහේ ද?


Friday, May 5, 2017

පුරාණ - නූතන ලාංකීය ජන සමාජ ස්ථරයේ නොබිඳෙන බැම්ම - කුල - 1 කොටස


 වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය පිලිබඳ සාකච්ඡා කෙරේ.  මිනිසුන් කුල වලට බෙදුනේ වත් පොහොසත්කමින් නොවේ. ඔවුන් එසේ බෙදුනේ ලේ පරපුරෙනි. නොක්ස් පවසන අන්දමට ප්‍රධාන වශයෙන් මෙය කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම් කුලිනයෝ සහ කුල හීනයෝ ලෙසය. උසස් යැයි පිලිගත් කුල වල උදවිය පහත් යැයි පිලිගත් කුල වල උදවිය සමඟ කිසිදා එකට කෑම නොගත්තේය. උසස් කුල වල උදවිය උඩුකය ආවරණය කිරීමට කබායක් පැළදියද පහත් කුලවල උදවිය උඩුකය නිරාවරණය කරගෙන සිටිය යුතු විය. එමෙන්ම ඔවුන්ට උස් පුටු වල ඈඳිගැනීම තහනම් වීය. ඔවුන්ගේ ආසනය වූයේ මිටි පුටු සහ බිම එළන ලද පැදුරු ය.


 විවාහ ගැන සැලකීමේදී උසස් යැයි සම්මත කුල වල අය කිසිදා තමන්ට වඩා පහත් යැයි සම්මත කුල වල උදවිය සමඟ විවාහ නොවීය. විවාහ සිදුවූයේ එකම කුලයක අය සමඟය. එසේ නොමැතිව විවාහ වීම තමන්ට අගෞරවයක් බව එකල මිනිසුන් සලකන ලදි. දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන සාලිය කුමරු ආලයෙන් බැඳුනේ සැඩොල් ස්ත්‍රියක් වන අශෝකමාලා සමඟය. මේ හේතුවෙන් සාලිය කුමරුට රජකම පවා අහිමි වුන බව කියයි. අඩු කුලයක පුද්ගලයෙක් කෙතරම් ධනය ලබාදුන්නත් උසස් කුලයක පුද්ගලයෙක් ඔවුන් හා විවාහ නොවීය. උසස් කුලයක කාන්තාවක් පහත් කුලයක පිරිමියෙක් සමඟ සංවාසයේ යෙදුනහොත් ඇයට හිමිවන්නේ නිසැක මරණයයි. මෙම සමාජයේ කාන්තාවකගේ පතිවත තම ජීවිතයට වඩා වටිනා බව පිලිගන්නා ලදි.

 කාන්තාවගේ තත්වය එසේ වුවත් , උසස් කුලයක පිරිමියෙක් පහත් කුලයක කාන්තාවක් සමඟ සංවාසයේ යෙදීම පිළිකුලට කාරණාවක් නොවීය. එහෙත් ඔවුන් ඇයව තමන්ගේ බිරිඳ ලෙස පවරාගෙන නිවසට කැඳවාගෙන එන්නේද නැත. එසේ වුවහොත් "දහම් පසක්නා" නම් නිලධාරීවරයා විසින් ඔහුට නිසැකයෙන්ම දඩුවම් කරයි. මෙම දඩුවම දඩයක් හෝ බන්ධනාගාරගත කිරීමක් විය හැකිය. විටෙක මේ දඩුවම් දෙකම ලබා දිය හැකිය. දඩුවම මෙයින් අවසන් නොවේ. බොහෝවිට එම පිරිමියාව , කාන්තාවගේ රැහැට එලවා දමයි. විවාහක ස්ත්‍රියක් වෙනත් පුර්ෂයෙකු සමඟ සිට අසුවුවහොත් එම පුද්ගලයා කෙතරම් උසස් වංශවත් පුද්ගලයෙක් වුවත් නිසැක මරණය ඔහුට හිමි වේ. කාන්තාවටද එම දඩුවම එලෙසම ලැබේ.


 කුල ක්‍රමයේ තවත් අතීතයට ගිය විට අපට අටලොස් කුල, දේවතා කුල හමුවේ. කුවේණිය අතහැර දැමූ විජය තම බිසෝ තනතුරට මධුරා පුරයෙන් කාන්තාවක් හා පරිවාර කාන්තාවන් විශාල ප්‍රමාණයක් ගෙන්වා ගත්තේය. ඒ සමඟම අටළොස් කුලවලට අයත් ශිල්පීය සමූහවලින් දහසක් දෙනාද මේ සමඟම ලක්දිවට පැමිණ ඇත. එම අටළොස් කුල නම් ; සරස්කුල, කුලිංගකුල, කපු කුල, බලත්කුල, පෙනෙරකුල, කුඹල් කුල, මල්කරු කුල, ඔසද වටු කුල, සන්නාලි කුල, අරක්කැමි කුල, කුඹුරු කුල, බෙරවා කුල, ස්වර්ණකාර කුල, වඩු කුල, සිත්තර කුල, ලෝකුරු කුල, සත්කරු කුල සහ උයන් ගොවි කුල.

  ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ආවතේව කටයුතු සඳහා දේවතා කුල දහ අටක්ද ක්ෂත්‍රීය සිටු බ්‍රහ්මන, කුටුම්භික, වාණිජ , ධනුග්ගහ, තරච්ඡ, කුලිංග, බලත්ථ, පේසකාර, කුම්භකාර, මාලාකාර, සිබ්බක, සූදක, ගන්ධකාර, කම්මාර, ලෝහකාර, සුවණ්නකර, වඩ්ඩති, චිත්තකාර, අතොජ්ජවාදක, ජත්තකාර, උද්‍යානපාලක යන කාර්මික කුල වලින් අට දෙනා බැගින් ලංකාවට පැමිණි බව සදාන් වේ. මේ අය පොදුවේ හඳුන්වා ඇත්තේ බෝධාහාර කුල යනුවෙනි.

 සිංහල කුල ක්‍රමය ගත් විට ප්‍රධාන වශයෙන් කුල 15ක් දැකගත හැකියි. මීට අමතරව කුඩා අප්‍රසිද්ධ කුල තිබිය හැක. සිංහල කුල ක්‍රමයේ විශාලතම කුලය ගොවි කුලයයි. කරාව , සලාගම, දුරාව සහ හුණු කුල අයත් වන්නේ පහතරට කුල වලටය. මේවා බහුලව පහතරට ව්‍යාප්තව ඇත. ඉහල කුලවලට සේවය කිරීමට බැඳී සිටි කුල සේවා කුල ලෙස හැදින්වේ. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මෙයට අයත් වේ. ඉඩම් භුක්තිය උදෙසා සේවය කිරීමට මොවුන් බැඳී සිටියහ. මෙයින් වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ පෙන්වයි. එමෙන්ම තම ශිල්පීය දැනුම රැක ගැනීමටද මොවුන් බැඳී සිටියහ. කින්නර , ගහල සහ රොඩී කුල අයත් වන්නේ සමාජයෙන් කොන් වූ කුල යටතටය. මේ එක එකක් පිළිඹඳව සාකච්ඡා කිරීමට මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වේ.


 සමාජයෙන් කොන් වීමට ලක්වූ කුලයක් වන රොඩී කුලයට එසේ වීමට හේතුව සොයා බැලීම වටී. රොබට් නොක්ස් පවසන ආකාරයට එය මෙසේ සිදුවිය. අතීතයේ රොඩියන් යනු රජුට දඩමස් සැපයූ වැද්දෝය. දඩමස් නොලැබුනු එක්තරා දවසක මොවුන් රජුට මිනී මස් ගෙනැවිත් දුන්නේය. රජු මේ මිනී මස් බව නොදැන එය භුක්තිවිඳ එහි රසවැටී එම මස්ම නැවත ගෙන එන ලෙස රොඩියන්ට පැවසුවේය. එනමුත් රජුගේ කපුවාට මෙම මසෙහි රහස දැනගන්නට ලැබුණි. ඔහු එකෙනෙහිම මේ පිලිබදව රජතුමාට රහසින් කීවේය. මෙය ඇසූ රජතුමා මහත් කෝපයට පත්විය. " මරණ දණ්ඩනය වූ කලී වරද කරුවන්ට පමුණුවනු ලබන දණ්ඩනයයි. මොවුන් මට කල නින්දාවට එම දඩුවම ප්‍රමාණවත් නොවේ." යැයි කල්පනා කර රජු මෙසේ අණක් නිකුත් කලේය. " මස් වැදි ගනයට අයත් සෑම කෙනෙක්ම , ලොකු කුඩා හැම කෙනෙක්ම ගමෙන් බැහැරට ගොස් වාසය කල යුතුය. කිසිම මංගල උත්සවයකට හෝ කිසිදු උත්සවයකට නොපැමිණිය යුතුය. තවද ඔවුන්ගේ ජීවිකාව පිණිස ඔවුන් විසින් කිසිදු වැඩක් නොකල යුතුය. ජීවිකාව පිණිස සෑම කෙනෙක්ම ගෙයක් ගෙයක් පාසා සිඟා කෑ යුතුය. හැම රටවැසියෙකුගේම පිළිකුලට හා ජුගුප්සාවට පාත්‍ර විය යුතුය."


රොඩියන්

  මේ අනුව රාජ නියෝගය ලෙස මහජනතාව මොවුන්ව සමාජයෙන් එලවන ලදි. මොවුන්ට ලිඳකින් ජලය පානය කිරීමටවත් අවසර නොවීය. ඔවුන් ජලය පානය කල යුත්තේ ගඟකින් හෝ ජල වළකිනි. සාමාන්‍ය ජනතාව උසස් පැලැන්තියේ අයවලුන්ට ගෞරව බුහුමන් දක්වමින් සලකති. ආමන්ත්‍රණය කරති. රොඩියන් සාමාන්‍ය ජනතාවට ගෞරව කරන්නේ උක්ත කී ආකාරයටමය. රොඩියන්ගේ කාන්තා පාර්ෂවයටද සිඟා කෑම උරුම විය. මොවුන් සිඟා කෑමට ගමකට පැමිණ් විට. රොඩි පිරිමි බෙර ගසනා විට රොඩි කාන්තාවන් නටයි. විජ්ජා පෙන්වයි. බෝල නමයක් උඩදමා බෝල හතක් උඩ තිබෙන පරිදි ඉක්මනින් අල්ලති.

 මෙම රොඩී ජනතාව සාමාන්‍ය ජනතාවට හාමුදුරුවනේ, දෙයියන්නාන්සේ, තමුන්නාන්සේ යැයි ආමන්ත්‍රණය කරයි. මොවුන් හිඟමනේ යාම අනිවාර්යයෙන්ම සිදු කල යුතු විය. කෑමට බීමට ආහාර පාන හා මිල මුදල් තිබුනද හිඟමන් යැදිය යුතු විය. මොවුන් වාසය කරන්නේ ගමෙන් ඉතා ඈත පිහිටි පැල්පත්වල , මාර්ගවල හා ගස් යටය. රජ්ජුරුවන් විසින් මෙම හිඟන ජන කොටසට ජීවත්වීම සඳහා වෙනමම ඉඩම් කොටසක් වෙන් කර ඇති බව නොක්ස් වැඩිදුරටත් පවසයි. ඔහු පවසන අන්දමට රොඩියන්ට එහි වගා කල හැක. එමෙන්ම මොවුන්ගේ දරුවන් දෙමව්පියන් සමඟ ජීවත්වන්නේ නැත. ලේ නෑයන් එකට ජීවත්වීම මොවුන්ට නුපුරුදු කාර්යයකි.


 විවිධ අපරාධ උදෙසා දෙන දඩුවමකි රොඩී රැහැට පලවා හැරීම. පුද්ගලයෙක්ට දඬුවමක් ලෙස හිස ගසා දැමූ විට එම පුද්ගලයාගේ පවුලේ සියලු දෙනාවම රොඩී රැහැට පලවා හරියි. රොඩී රැහැට පලවා හරිනවාට වඩා මරණය සැපතක් බව එකල මිනිසුන් සිතුවේය. මේ සියලු දේට මුල පෙර කී කපුවා බැවින් රොඩියන් කපුවන්ගේ නිවෙස් වල පිහින කිසිදු ආහාරයක් අනුභව කරන්නේ නැති බව නොක්ස් පවසයි. 

 රොඩී රැහැක නායකයා රත්නවල්ලි ලෙස හදුන්වන අතර රත්නවල්ලි යනු පරාක්‍රමභාහු රජුගේ දියණියක් බව මත පල කර ඇත. මෙම කුලයේ පිරිමින්ට රැවුල වවන්නට අවසර තිබුනේ නැත. මහාචාර්ය විල්හෙල්ම් ස්මිත් මහතා පවසන පරිදි රොඩී භාෂාව වැදි භාෂාවට නෑකම් කියයි. එමගින් පෙර කී කතාවේ සත්‍යතාවයක් ඇති බව ගම්‍ය වේ. රත්නවල්ලි කවි පිලිබඳ කෙටියෙන් පැවසීම පාඨකයාට කරන අසාධාරණයක් වන බැවින් ඒ පිලිබඳව විස්තරයක් ඊලඟ කොටසෙහි ඇතුලත් කරන්නම්. 

මූලාශ්‍ර :

1) එදා හෙළදිව - රොබට් නොක්ස්

2) ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - සුරනිමල තෙන්නකෝන්

3) ලංකාවේ කර්මාන්ත පුරාණය - ජී. එම්. සේනාරත්න

4) http://www.divaina.com/2010/07/04/siya09.html

5) http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/

6) https://si.m.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික

මේවටත් උත්තර දෙමු එහෙනන්...

1) මේ පින්තූරෙ දිහා හොඳට බලලා කියන්න මේකෙ ඉන්න අය කව්ද කියලා...


2) අපි නිතරම භාවිතා කරන වචනයක් තමා කෙංගෙඩිය... හරි වචනය තමා කෙම්ගෙඩිය... මොකක්ද මේ කෙම්ගෙඩිය කියන්නේ...

3) යකඩ කිලෝ එකද වැඩියෙන් බර පුලුන් කිලෝ එකද වැඩියෙන් බර? [ ගොං ප්‍රශ්නයක් නෙමේ හොදේ... හොදට හිතන්න... ]

ප.ලි. : උඩින්ම තිබෙන ඡායාරූප අසභ්‍යයි, සංස්කෘතිය කෙලසීමක් ලෙස යමෙකු දුටුවහොත් වරද ඇත්තේ ඡායාරූපයේ නොව නරඹන්නාගේ මනස තුල බව වටහා ගන්න.


Sunday, April 30, 2017

පරංගියා කෝට්ටේ ගිහින් රජතුමාව මුණගැසුනාද?


   කුරුස යුද්ධ හේතුකොටගෙන මධ්‍යදරණී මුහුද හා රතු මුහුද ඔස්සේ යුරෝපා ජාතීන් පෙරදිගට ඒමට තිබූ මුහුදු මාර්ගය ඇහිරී ගිය නිසාවෙන් ඔවුන් පෙරදිගට ඒමට වෙනත් මාර්ග සොයාගැනීමට උනන්දු වූහ. කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කින් විසින් අල්ලා ගැනීම යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීමට වෙනත් මාර්ග සෙවූ ප්‍රධානතම කාරණය විය. මේ අනුව 1498 දී වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට සම්ප්‍රාප්ත විය. වස්කෝ ද ගාමාගේ මෙම ගමනෙන් ලද භාණ්ඩ වලින් විශාල ලාභයක් ඔවුන් ලැබූ හෙයින් පෘතුගීසීහු පෙරදිග වෙළදාම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූහ.

කුරුඳු තලන්නන්

  මෙකල ඉන්දියාවේ මුහුදු වෙළදාමේ ප්‍රධාන වශයෙන් නිරත වී සිටියේ මුස්ලිම්වරුන්ය. ඔවුන්ගෙන් මෙම වෙළදාම පැහැරගැනීමට 1505 වසරේ මාර්තු මාසයේදී විශාල නාවුක හමුදාවක් සමඟ ෆැන්සිස්කු ද අල්මේදා පෙරදිග පතිරාජයා ලෙස පත්කොට එවීය. මුහුදු වෙළද මාර්ගයේ වැදගත් මධ්‍යස්ථානයක පිහිටි ලංකාව ඔවුන් දැන සිටියේ "සිංහලයන්ගේ රට" යන අරුත ඇති සෙයිලන් නමිනි. ලංකාව එකල කුරුදු වලට ප්‍රසිද්ධියක් ඉසිලීය. වාණිජමය අතින් වැදගත් වූ මෙම දිවයින යටත් කරගන්නා ලෙස පෘතුගාලයේ අධිරාජ්‍යයා ෆ්‍රැන්සිස්කු ද අල්මේදාට පැවසුවද ඔහුට එම කාර්යය මඟහැරුණි. මේ අතරවාරයේ මුරුසි දිවයින අසලින් මුස්ලිම් වෙළඳ නැව් කිහිපයක් හඹාගිය ෆ්‍රැන්සිස්කු ද අල්මේදා ගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවකට අසුවී ගාලු වරායට සේන්දු විය.


  පෘතුගීසීන්ගේ මෙම ලංකා ගමන පෘතුගීසි ලේඛනයන්ගේ දක්වා ඇත්තේ අතිශෝක්තියද සහිතවය. ලොරෙන්සෝ ද අල්මේදා රටේ රජතුමාව මුණ ගැසීමට කැමැත්තක් දැක්වූ අතර පෘතුගීසි භාෂාව දත් මුස්ලිම් වෙළෙදුන් පිරිසක් මොවුනට සහය වීමට ඉදිරිපත් වී ඇත. රජතුමා මුණගැසීමට ගිය පෘතුගීසි කඹ්ඩායමේ මූලිකයා වූයේ පයෝ ද සූසා නැමැත්තෙකි. මෙම මුස්ලිම් වෙළෙදුන් දීර්ඝ මාර්ගයක් ඔස්සේ මොවුන්ව රට තුලට ගෙන ගිස් විශාල මන්දිරයක වෙසෙන රජු ලෙස පෙනී සිටින තේජවන්ත පුද්ගලයෙක්ව මුණගස්වා ඇත. තමන් මෙරටට පැමිණියේ කුරුදු වෙළදාමේ නිරත වීමට බවත් මෙරට සමඟ මිත්‍ර සම්බන්ධතා ගොඩනංවා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් පයෝ ද සූසා පැවසීය. මෙහිදී රජතුමා සතුටු වූ අතර කුරුදු වෙළදාමට අවසර ලබා දී කුරුදු තොගයක් ද ලබා දෙන ලදි. රජතුමා ලෙස පෙනී සිටි තැනැත්තා ගාලු වරායේ අධිපති විය හැකි බවත් ඔහු එතරම් කතා කිරීමට ප්‍රියතාවයක් නොදැක්වූ බවත් මුස්ලිම් වෙළෙදුන් තමන්ව මුලාවට ලක් කරන්නට ඇති බවත් පයෝ ද සූසා , ලොරෙන්සෝ  ද අල්මේදාට පවසන ලදි. මෙම ගමන සිහිවීමට පෘතුගීසි ලාංඡනය සහිත ස්ථම්භයක් පිහිටුවා කුරුදු යම් ප්‍රමාණයක් මිලට ගෙන ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවෙන් පිටත් විය. මෙය ඇසූ ෆ්‍රැන්සිස්කු ද අල්මේදා බොහෝ සතුටට පත්වූ බව සදහන්.

පෘතුගීසීන් විසින් ඉදිකල ස්මාරකය. ඉංග්‍රීසින් විසින් කොළඹ වරායේ දිය කඩනය ඉදි කිරීමේදී මෙම ස්මාරකය හමු විය. ඔවුන් මෙහි වටිනාකම දත් නිසාවෙන් මෙම කැටයම සහිත ටොන් විස්සක පමණ ගල් කුට්ටිය වෙන් කර 1912 දී පමණ කොළඹ ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කලේය. එනමුත් වර්තමානයේදී මෙම ගල් කුට්ටිය නැවතත් වරාය පරිශ්‍රයට ගෙන එන ලදි. මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්මාරකය සංරක්ෂණය කිරීම අදාල බලදාරීන් සිදු කරන්නේ මෙය විනාශ වූවායින් පසුව ද? 

රතු පාටින් රවුම් කර ඇත්තේ වර්තමානය වන විට මෙම ස්මාරකය වරායේ තිබෙන ස්ථානයයි


 ෆ්‍රැන්සිස්කු ද අල්මේදා මෙම සිද්ධිය කෙටියෙන් ලිපියකින් ලියා තම බෑනා වූ දියෝගු ද අල්මේදා අතේ පෘතුගාලයේ පතිරාජයා වෙත යැව්වේය.
දියෝගු ද අල්මේදා නම් තැනැත්තා ලොරෙන්සෝ ද අල්මේදා සමඟ ලංකාවට පැමිණි අයගෙන් කෙනෙකි. පෙර සදහන් කල ලිපියේ ලියා තිබුනේ තම පුතා වූ ලොරෙන්සෝ ද අල්මේදා සෙයිලාන් යටත් කරගත් බවයි. සෙයිලාන් යටත් කරගැනීමෙන් ලද ජයග්‍රහණය පිළිබඳ විස්තර දන්වා 1507 දී සැප්තැම්බර් මාසයේ පාප් වහන්සේට පෘතුගාල පතිරාජයා ලිපියක් යැවීය. එම ලිපියේ කෝට්ටේ රජතුමා ලොරෙන්සෝ ද අල්මේදාව ඉමහත් ගරුසරු ඇතිව පිළිගත් ආකාරය පිලිබඳ සදහන් කර ඇත. මෙය කියවූ පාප්වහන්සේ විශේෂ යාච්ඤා මෙහෙයක් පැවැත්වූ බව කියයි.

 පෘතුගීසි ලේඛන තුල ලොරෙන්සෝ ද අල්මේදාගේ ප්‍රථම ලංකා ගමන පිලිඹදව විස්තර පදනම් වී ඇත්තේ දියෝගු ද අල්මේදා විසින් වාචිකව පෘතුගාලයේ පතිරාජයාට පැවසූ තොරතුරු අනුවය. ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගෙන් පෙරදිග පතිරාජ පදවිය ඉවත් කර වෙනත් අයෙකු ඒ වෙනුවට පත් කිරීමට පෘතුගාල පතිරාජයා සිතා සිටියේය. එනමුත් සෙයිලාන් පිලිබද මෙම සිද්ධිය නිසාවෙන් ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගේ තනතුර රැකුණේය. තම තනතුර රැක ගැනීම උදෙසා සහ පෘතුගාල පතිරාජයාගේ සිත් දිනා ගැනීම උදෙසා  අතිශෝක්ති සහිත විස්තරයක් පෘතුගාල පතිරාජයාට පවසන ලෙස ෆ්‍රැන්සිස්කු තම බෑනට උපදෙස් දුන් බවට සැක නැත.


 මේ අනුව බලන කල ලොරෙන්සෝ ද අල්මේදාගේ ප්‍රථම ලංකා ගමන පිලිබඳ දැක්වෙන තොරතුරු  අතිශෝක්ති වශයෙන් පිලිගැනීමට සිදුවේ. ලොරෙන්සෝ කොළඹ වරායට ගොඩ බෑම, පෘතුගීසීන්ගේ හැසිරීමෙන්ද කාලතුවක්කු හඬට ද බියට පත් කොලොම්තොට වැසියන් මේ පිලිබද රජතුමාට සැල කිරීම, රජතුමා චරපුර්ෂයෙකුලවා පෘතුගීසීන්ගේ ශක්තිය පිලිඹද සොයා ගැලීම, කෝට්ටේට ගිය පෘතුගීස් ගමන, ලංකාවේරජු බියට පත්ව වාර්ෂිකව පෘතුගාල රජුට කුරුදු බහාර් 400 ක් දෙන බවට පෘතුගීසින් සමඟ ගිවිසුමකට එළඹීම යනාදී කරුණුබෙහෙවින් අසත්‍ය කරුණු ලෙස සලකන්නට සිදුවේ. මේ කතන්දර ෆ්‍රැන්සිස්කු විසින් පෘතුගාල පතිරාජයාගේ සිත් දිනා ගැනීමට ගොතන ලද ඒවා ය. කෙසේ වුවත් 1505 ඇතිවූ මෙම සිද්ධියෙන් පෘතුගීසීන් අප රට පිලිබදව ඉතා උනන්දුවක් දැක්වූ බව කිව යුතුය.

 මූලාශ්‍ර :

1) ශ්‍රී ලංකාවේ ඉතිහාසය - තුන්වන කොටස ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව )

2) ලංකා ඉතිහාසයෙන් කතා - පරිවර්තනය ලලිත් හීන්ගම

3) ඓතිහාසික යුග හතරක් - සුමනසිරි දසනායක

4) මහාවංශය

මේවටත් උත්තර දෙමු....

1) මේ ඉන්නෙ කව් ද? වැඩි විස්තර එහෙම දන්නවනන් කියන්න.


2) මෙයා කව් ද? විශේෂ වෙන්නේ ඇයි?


3) ඉටිගෙඩිය කියන්නේ මොකක් ද?

Monday, April 24, 2017

වර්ග සමීකරණයේ ජීවිත කතාව - 2 කොටස

වර්ගජ සමීකරණ වල ඊළඟ කතාව රඟ දක්වන්නේ ඉන්දියානු උප මහද්වීපය තුලය. ඉන්දියානු ගණිතඥයින්ට තිබූ විශේෂ දැනුමක් නම් ලොව පලමු වරට ඍණ සංඛ්‍යා හා 0 දැන සිටීමයි. බුද්ධාගමේ එන උපේක්ෂාව හා මැදුම් පිලිවෙත වැනි දර්ශනයන් ඔස්සේ 0 ලැබීම සිදුවූ අතර සංඛ්‍යා රේඛාවේ වටිනාම ස්ථානය එයට ලැබුණි. ඍණ හා 0 එක්වීමත් සමඟ වර්ග සමීකරණයට විසඳුම් දෙකක් ඇති බව ඉන්දියානු ගණිතඥයෝ සොයා ගත්තේය. ඉන්දියාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ගණිතඥයෙක් වන්නේ කි.ව. 598 දී උපත ලැබූ බ්‍රහ්ම ගුප්තය. අද භාවිතා කරන සුපුරුදු වර්ග සමීකරණ සූත්‍රය ප්‍රථමවරට එළිදැක්වූයේ බ්‍රහ්ම ගුප්තය.



  නමුත් වර්ගමූලයට + හෝ - අවස්ථා දෙකක් ඇති බව ඔහු දැන සිටියේ නැත. එබැවින් වර්ග සමීකරණයට එක් විසදුමක් පමණක් ඔහු ඉදිරිපත් කලේ ය. වර්ග සමීකරණය විසදුම් දෙකට ගණනය කිරීමේ ක්‍රමය ලොවට මුල්වරට ඉදිරිපත් කලේ 12 වන සියවසේ විසූ භාෂ්කර නැමැති ඉන්දියානු ගණිතඥයා විසිනි. අද අපි භාවිතා කරන ax^2 + bx + c = 0 වර්ග සමීකරණය ලොවට ප්‍රදානය කලේ ( 1596 - 1650) රෙනේ ඩෙකාට් කැමැති ශ්‍රේෂ්ඨ ගණිතඥයා විසිනි. මෙසේ ඊජිප්තුවේ ගෘහ නිර්මාණශිල්පීන්ගේ අවශ්‍යතාවයන් හරහා අවු. 4000 කට පෙර පමණ ලොවට පහල වූ වර්ග සමීකරණයේ සූත්‍ර 17 වන සියවස මුල් භාගය පමණ වන විට ලොවට බිහිවිය.

භාෂ්කර


 ඝනජ සමීකරණය පිලිඹද ජ්‍යාමිතික නිර්මාණය පලමු වරට ඉදිරිපත් කලේ ඔමාර් කයියාම් විසිනි. ax^3 + bx^2 +cx + d = 0 සාධාරණ ඝනජ සමීකරණය විසඳන්නට හැකි සූත්‍රයක් සොයමින් ගිය දහසක් ගණිතඥයන් අතර සොහොන් කොත් වල ගණිත කර්ම ලියූ ඉතාලි ජාතිකයෙන් 15 වන සියවසේ ජීවත්ව සිටියේය. ඉතා දිළින්දෙකු වූ ඔහු ටාග්ලියා නම් විය. එහි තේරුම ගොත ගසන්නා යනුයි. ටාග්ලියා ගොත ගසන්නෙකු වූයේ ඔහුට කුඩා කල වැදුණු කඩු පහරකිනි. ටාග්ලියා එවකට සිටි ෆියෝරේට ඝනජ සමීකරණ විසදීමේ තරඟයකට අභියෝග කලේ ය. 1533 දී පවත්වනු ලැබූ මෙම තරඟයෙන් ටාග්ලියා දිනන ලදි. ටාග්ලියා තම විසදුම තරඟ වලදී ප්‍රදර්ශනය කලද එය ලබාගත් ආකාරය රහසක්ව තබා ගත්තේ ය. කර්ඩානෝ නම් ගණිතඥයා ටාග්ලියා සමඟ කුළුපග වී මෙම රහස අසා දැන ගැනීමට මහත් ප්‍රයත්නයක් දැරීය. දිනක් ඉතාලි ප්‍රභූවරයෙකු හදුන්වා දෙන්නේ යැයි පොරොන්දුව මත රාත්‍රී භෝජනයකට ටාග්ලියාට ආරාධනා කිරීමට තරම් කර්ඩානෝ කාරුණික විය. එහෙත් මෙහි යටි අරමුණ වූයේ එම රහස එළිකර ගැනීමයි. අවසානයේදී කිසිවෙකුට නොකියන බවට පොරොන්දුව පිට ඝනජ සමීකරණය විසදීමේ රහස කර්ඩානෝට පැවසීය. කර්ඩානෝ ටාග්ලියාට හොරෙන් මෙම විසදුම් ක්‍රමය 1539 දී පොතකින් ලොවට හෙලි කරන ලදි. මෙය දුටු ටාග්ලියා ඉතා කෝපාවිශ්ඨ විය. මෙම ප්‍රශ්නය හරහාඔවුන් අමනාප විය. කර්ඩානෝගේ මෙම පොතෙහු චතුර් සමීකරණ විසඳුම් සදහා ක්‍රමයන්න්ලිවට ඉදිරිපත් කරන ලදි.


 1828 දී අබෙල් විසින් සාධාරඹව පංචම සමීකරණ පිලිඹද විස්තරකලේ ය. පංචම සමීකරණ වලට ප්‍රමේයයක් ලොවට  ඉදිරිපත් කලේ විප්ලවාදී අයෙකු ලෙස නම් දරා සිටි එවරිස්ටෝ ගලුවා විසිනි. ගලුවාගේ ජීවිත කතාව ඉතා විශ්මිත මෙන්ම ශෝකජනක විය. විශ්වවිද්‍යාලයේ සිටියදී රාජ්‍ය විරෝධී අදහස් දැක්වූ ගලුවා ඉහල බුද්ධිපත්බයෙකු විය. ගලුවා මෙම සූත්‍රය ඉදිරිපත් කලේ වයස අවු. 21 දී ය. ගලුවා මෙම ප්‍රමේයය එක් දිනක් රාත්‍රියකදී ලියුමක් මගින් තම යහලුවෙකුට යැව්වේය. එදා ඔහුට නිදි වර්ජිත රාත්‍රියක් විය. මන්දයත් ඊට පසුදා ඔහුටයම් ප්‍රේම සම්බන්ධතාවයක් උදෙසා ඇතිවූ ද්වන්ධ සටනක නියැලීමට යෙදී තිබුනේ ය ලියුම තැපැල් කල ගලුවා ද්වන්ධ සටනේදී මිය ගියේය. අවු. 21 වැනි වයසකදී ඔහු මෙතරම් දායාදයක් ලොවට ඉදිරිපත් කලේ නම් ඔහු මහලු විය තෙක් ජීවත් වී නම් කොපමණ දායාදයන් ගණිතයට කල හැකිව තිබුණිද?
Abel

ගලුවා වයස අවු. 15 දී ( සිතුවමක් )


වයස 21 දී ලොවට අග්‍රගන්‍ය ගණිත දායාදයක් ලබා දෙමින් අකාලයේ මිය ගිය ශ්‍රේෂ්ඨ ගණිතඥයෙකු වූ ගලුවා එවරිස්ටේ  සිහි කිරීමට ප්‍රංශ රජය විසින් මුද්දරයක් නිකුත් කරන ලදි.

පලමු කොටසට සබැඳිය -

වර්ග සමීකරණයේ ජීවිත අතාව - 1 කොටස

මූලාශ්‍ර :

1) https://en.m.wikipedia.org/wiki/Évariste_Galois

2) http://www.freepressjournal.in/mind-matters/bhaskaracharya-the-great-astronomer-and-mathmatician/642379

3) https://en.m.wikipedia.org/wiki/Field_(mathematics)

4) https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=http://www-history.mcs.st-and.ac.uk/HistTopics/Quadratic_etc_equations.html&ved=0ahUKEwjn5c71hb3TAhUBQI8KHWl9DyAQFggbMAE&usg=AFQjCNHsn9QY0BOrzgS6yGdALURn8yoYtQ&sig2=tyq7SNUHVckmtP4OejdBNg

5) https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=http://webspace.ship.edu/kgmcgi/m400/Presentations/Chpt10.ppt&ved=0ahUKEwjn5c71hb3TAhUBQI8KHWl9DyAQFghxMA4&usg=AFQjCNGMmiKy-HDxKem_H6jhoaxcWRTYpQ&sig2=MFKSz6WgJE-A6Yk8Wbr4BQ


මේවට උත්තර දෙමු එහෙනන්...

1) 18 වන සියවස අග භාගයේදී පමණ වහල් සේවය ඇමරිකාවෙන් ඉබේම තුරන් වන සෙයක් දක්නට ලැබුණි. එහෙත් මෙම තත්වය උඩුයටිකුරු කල සොයාගැනීම කුමක් ද?

2) මේ පින්තූරෙ මම දැක්කේ මුහුණු පොතෙන්. මේ පින්තූරෙ ඉන්න අය හදුනගන්න.


3) කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍ර, නියෝජිතයන් 2 යි, විෂ, අම්මාන් , ප්‍රති විෂ ඉල්ලීම , මොසාඩ් ඉහත උපකාරක පද උපයෝගී කරගනිමින් මොසාඩ් සංවිදානයට කෙලවුන මෙහෙයුම හදුනාගන්න.

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...