Friday, May 8, 2020

අතීත දේශපාලන වේදිකාවෙන් ඇසුනු කවි

දේශපාලන වේදිකාව තුල කවි හරඹ අද වන විට විටින් විට දක්නට ලැබේ. නමුත් අතීතයේ දී මෙම කවි හරඹ බහුලව දක්නට ලැබුනු බව අතීතය කියවිට විට පෙනී යයි. මෙම සටහනෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුනු රසවත් කවි කිහිපයක් ඔබ හමුවේ තබන්නට සූදානම්. ලෝකයේ පළමු අගමැතිනිය ලෙස පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව දේශපාලන වේදිකාවේ මෙවන් කවි සටන්පාඨ ඇසෙන්නට විය. ඔවුන් මේවා මුද්‍රණය කර බෙදා හරින ලද අවස්ථාද එමටයි.

සිරිම කිරිල්ලිට එන්ට කියා පිය

මේවට උත්තර දෙන්ට කියාපිය

“සිරිමක්කේ මේ අහන්න

රටම නොකා ගෙදර යන්න”

 

ඉතා උණුසුම් මැතිවරණයක් වූ 77 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පෙළපාලි ගියේ මෙසේ කියමින්;

සීනි නැතුව තේත් එපා

පිටිත් නැතුව පාන් එපා

මිරිස් නැතුව හොදිත් එපා

පොදු පෙරමුණ අපට එපා

 

චිං චිං නෝන මේ අහන්න

බඩගින්නේ අපට ඉන්න

තොපට හොඳට සැප විඳින්න

දැං පලයං ගෙදර යන්න

 

සිරිම කිරිල්ලිට එන්ට කියාපිය

මේවට උත්තර දෙන්ට කියාපිය

නොබැඳි මගුල් තව කන්න කියාපිය

රටට හාමතේ ඉන්න කියාපිය

 

මෙවන් කවි සටන් පාඨ ඇසෙන විට සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ සමගි පෙරමුණට බලන් සිටිය නොහැකියි. ඔවුන් තම පෙළපාලිවල ගියේ පිළිතුරු කවියක් කියමින්;

මැතිනි අපේ සීදේවී - රට ගොඩනගලා දේවී

අපේ මැතිනි අපට හොදා - අම්මා වගේ අපට හොදා

හාල් නැතුව බත් කනවෝ - සීනි නැතුව තේ බොනවෝ

අපේ මැතිනි කියනවනන් - පිදුරු වුනත් අපි කනවෝ

 

56 මැතිවරණ වේදිකාවෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට විරුද්ධ පක්ෂයෙන් ගෙතුවේ මෙවන් කවි.

 

සෙවල බණ්ඩා අපට එපා

ගමට එපා රටට එපා

හොරගොල්ලෙන් කොළඹ යන්ඩ

කොළඹ ගිහින් නැව් නගින්ඩ

 

සිව්වරක් ලංකාවේ අගමැති ධූරයට පත්වූ ඩඩ්ලි සේනානායක මහතා ගැන කියූ කවියක් පහත දැක්වේ. මෙහි දෙවන හා තෙවන කවි දක්නට ලැබුනේ දැදිගම ප්‍රදේශයෙන්. මෙකල ප්‍රාදේශීය පුවත්පත් බිහිවූ අතර ඒවායේ නොයෙක් ආකාරයේ කවි සංකල්පනා එළිදැක්වුණි. එමෙන්ම දේශපාලන කවි පොත් ද ප්‍රකාශකයට පත් වූ අවස්ථා තිබේ.

 

කෑම බීම දුන්නේ නොකරම අඩුව

අස්වැද්දුවා හැම ඉඩමක් තිබූ මුඩුව

ආගම දහම රට තුල හොඳ ලෙස වැඩුව

ඩඩ්ලියි අපේ පෙරදිග බබලන තරුව

 

රටටම හුරු

හොද ගුණ ගරු

බලයට හුරු

ඩඩ්ලි කුමරු

 

නැහැ කවදත් බොරු

රටටම කළෙ ගරු

ආවොත් රට සරු

අපි කාටත් මරු

 

එකල මඤ්ඤොක්කා සිටවීමට හා හාල් සේරු හයක් කැපීමට විරුද්ධව දේශපාලන වේදිකාවේ මෙවන් කවි ගායනා විය.

 

බඩු මිල ඉහළ ගොස් ඇත නොසිතුව ලෙසට

පඩියක් හය මසක ඕනෑ එක මසට

පවුලේ අඬ දබර කෑමට ගිය කලට

පොඩි දරුවෝ අඬයි මඤ්ඤොක්කා විසට

 

මල් වෙඩි මෙන් පැතිරී ගිය මෙම කවි කටපාඩමින් කිව හැකි උදවිය අදත් සිටියි. අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නිදහස් පක්ෂයෙන් කියූ කවි දෙකකින් මගේ සටහන අහවර කරන්නම්.

 

ණය වී ලොවට බඩුගෙනවිත් පිරෙව්ව ට

බඩවල් මහත්වන තුරු බත් කැවෙව්ව ට

අල්ලට සීනි අහුරක් ගෙන ලෙවෙව්ව ට

රට සරුවේද ණය ගනිමින් කැවෙව්ව ට

 

කන්නට අඳින්නට ඉන්නට නවා තැන

නිදහස් පක්ෂයයි දුන්නේ කව්ද වෙන

බේගල් දෙසා බෑවත් හැම තැනට පැන

මැතිනිය අපේ අම්මා නොවැ කව්ද වෙන


මූලාශ්‍ර:

ලංකාදීප, මව්බිම, සිළුමිණ පුවත්පත් 

ලංකාවේ අපේ දේශපාලඥයෝ - ධර්මරත්න තෙන්නකෝන් 




Sunday, May 3, 2020

නිර්මාපකයාට මරණය ගෙනදුන් පත්තිරිප්පුව

නුවර දළදා මාලිගාව වෙත යන ඕනෑම අයෙකුට විශේෂයෙන් ඇස ගැටෙන ස්ථානයකි පත්තිරිප්පුව. මෙය නිර්මාණය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අති දක්ෂ ඉංජිනේරුවෙක් වූ දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන් වලිනි. රජතුමාගේ පෞද්ගලික අවශ්‍යතා සදහා දෙහිගම දියවඩන නිළමේගේ අදහසකට අනුව අෂ්ටාස්‍රාකාරව පත්තිරිප්පුව සාදා ඇත.

මෙය සාදා ඇත්තේ පෙර දී එතැන තිබූ රාජකීය මුළුතැන්ගෙය කඩා දමා ය. මෙහි වහලය නිම වීමට තිබුනේ කේතු ආකාරයට යි. නමුත් දැව කණු විවිධ මිමිවලට කපා දැමීම හේතුවෙන් වහලය ආනත දෙකකට සෑදී වහලය කෙටි වන්නට විය. මේ සඳහා අවශ්‍ය නා, හල්මිල්ල හා තේක්ක වැනි දැව ගෙනත් තිබෙන්නේ මාතලේ නාවුල ප්‍රදේශයෙන්.

රජතුමාට මහජනයා ඉදිරියේ පෙනී සිටිමින් දළදා පෙරහැර නැරඹීමට, රජතුමාගේ විවේකාගාරය ලෙස, මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන් ආදී තරඟ නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමාව බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී නොයෙක් හේතු කාරණා මත පත්තිරිප්පුව නිර්මාණය විය. මේ නිසා මෙම නිර්මාණය දළදා මාළිගාවේ කොටසක් නොවන බවට ද මතයක් පවතියි. මෙය 1812 වසර වන විට නිමවා අවසන් කරන ලදි.

දේවේන්ද්‍ර මූලාචාරී පත්තිරිප්පුව පමණක් නොව මඟුල් මඩුව, මහනුවර වැව, ජය තිලක මණ්ඩපය, දිය අගල ආදී නිර්මාණ රැසක් කළ නිර්මාපකයෙකි. මේ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශිල්පියෙකුට ලබා දිය හැකි උසස්ම ගෞරවය වන රජුගේ නළල් පටිය දේවේන්ද්‍ර මූලාචාරී හට ලබා දී තිබේ. ඇතැම් ජනකතා වල ඔහුගේ මරණයට පත්තිරිප්පුව සම්බන්ද බව පවසයි. දිනක් නුවර වැසියන්ට දේවේන්ද්‍ර මූලාචාරී නුවර වැවේ ගිලී මැරී සිටිනු දකියි. සමහර ජනකතා වල කියැවෙන ආකාරයට දේවේන්ද්‍ර මූලාචාරීව මැරුවේ රජතුමායි. ඒ තවත් එවන් නිර්මාණ වෙන අයෙක් සදහා කරාවි යැයි තිබූ බිය නිසයි.

තවත් කතාවක තිබෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරී තමන්ගේ නිර්මාණ සදහා රජුගෙන් වරප්‍රසාද ලබා ගැනීමට සැරසෙන බව සිතූ ඇතැම් ඇමතිවරු පත්තිරිප්පුවේ කණු විවිධ මිමි වලට කැපීම ගැන රජුට කේලම් කීවා යැයි ඔහුට දැනගන්නට ලැබෙයි. එම වරද නිසා රජු තමන්ගේ ඇඟිලි කැපීමට නියෝගයක් ලබා දුන් බව දැනගෙන ආත්ම ගරුත්වය අන් කවර දේකටත් වැඩි යැයි සිතා තමන්ම නිර්මාණය කළ මහනුවර වැවට පැන සියදිවි නසාගත් බවත් පවසයි.

යටත් විජිත සමයේ දී පත්තිරිප්පුව මහනුවර කච්චේරිය ලෙස ද භාවිතා කොට ඇත. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් මෙය කාර්යාලයක් ලෙස භාවිතා කර ඇති අතර පසුකාලීනව සිරමැදිරියක් ලෙස ද භාවිතා විය. පත්තිරිප්පුව පුස්තකාලයක් ලෙසත් භාවිතා වූ අතර 1966 දී මෙය තඹ සන්නසක් මගින් ලංකා රජයට භාර දෙන ලදි.

පසුව පත්තිරිප්පුව හා එහි පුස්තකාලය ලෙස භාවිතා වූ කොටස නඩත්තු කටයුතු සඳහා විශේෂ කමිටුවකට භාර දී තිබේ. මෙම කමිටුව විසින් පත්තිරිප්පුවේ අයිතිය මල්වතු පාර්ෂවයට ලබා දී ඇති අතර එකල එහි කිසිදු තේවා කටයුත්තකට අස්ගිරි පාර්ෂවය සහභාගී වී නැත.

1989 දී එම කමිටුවේ අවසන් සාමාජිකයා වූ මල්වතු පාර්ෂවයේ සිරිමල්වත්තේ ආනන්ද නායක හිමියන් අපවත් වූ පසු හිටපු දියවඩන නිලමේ පත්තිරිප්පුව සහ එහි වූ පුස්තකාලයට අගුළු දමා සීල් කර කිසිවෙකුට ඇතුල් වීම තහනම් කර බෞද්ධ කොමසාරිස්වරයා ඇතුලු රාජ්‍ය නිළදාරීන්ට දන්වා පත්තිරිප්පුවේ තේවාවන් සදහා හිමිනමක් වැඩම කරවාගෙන ඇත. එදා පටන් දළදා මාළිගාවේ තේවාව භාර පාර්ෂවය පත්තිරිප්පුවේ තේවා කටයුතු සිදු කරයි.  

මූලාශ්‍ර:

  • මහනුවර යුගයේ අප්‍රකට විත්ති - චාමිකර පිළපිටිය
  • උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත - තිස්ස මාලගමුව
  • දිවයින, ලංකාදීප පුවත්පත්

ප.ලි. දේවේන්ද්‍ර මූලාචාරී පිලිබඳව ලිපියක් ඉදිරියේ දී….

දළදා මාළිගාව 1929 දී (periodpaper.com)


Saturday, May 2, 2020

කැප්පෙටිපොළගේ මරණය හා හිස්කබල

1818 කැරැල්ල ලාංකිකයන් පරාජය වීමත් සමග කැරලි නායකයන්ට එරෙහිව යුද්ධ නීතිය යටතේ දඬුවම් කිරීමට ඉංග්‍රීසි රජය කටයුතු කළේ ය. එහි දී කැප්පෙටිපොළ නිලමේ හට එල්ල වූ චෝදනා හතරකි.

  1. රාජද්‍රෝහියෙකු ලෙස රාජාඥාවකින් ප්‍රකාශයට පත් කළ කැප්පෙටිපොළ ආණ්ඩුවට විරුද්ධව යුධ වැදීම.
  2. මහනුවර රජකමට උරුම කමක් ඇතැයි කියූ ව්‍යාජ රජෙක් යටතේ අදිකාරම් පදවිය භාරගැනීම.
  3. කැරළිකරුවන් සමග එක් වී රාජ පාක්ෂික වැසියන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කිරීම.
  4. එංගලන්තයේ රජතුමාට විරුද්ධව කැරළි ගැසීම.

නඩුව විභාග කෙරුනු අතර මෙම චෝදනා සියල්ලටම මොනරවිල කැප්පෙටිපොළ වරදකරු විය. දඬුවම වශයෙන් කැප්පෙටිපොළ මහ නිළමේත් හා මඩුගල්ලේ දිසාවත් මහනුවර බෝගම්බර දී නොවැම්බර් 26 දින උදෑසන 8 ට මරණයට පත් කළ යුතු බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නියෝග කරයි.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට මහනුවර සියලුම ඉංග්‍රීසි සොල්දාදුවන් පැමිණිය යුතු බව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක් ද විය. දඬුවම ලබා දීමට නියමිත අවස්ථාවේ මහනුවර නගරයේ ආරක්ෂාව තර කර තිබුනු අතර දැඩි කලබලකාරී වාතාවරණයක් දක්නට ලැබුණි. වධක භූමියට යාමට මත්තෙන් මොවුන් දෙදෙනා දළදා සමිදු වැඳපුදා ගත්තෝ ය. දළදා සමිදුන් පිදීමට කිසිවක් තමන් අත නොවූ නිසා කැප්පෙටිපොළ නිලමේ තම තුප්පොට්ටිය ගලවා එය පූජා කළේ ය.

මඩුගල්ලේ දිසාවේ සිටියේ තරමක් නොසන්සුන් බවකිනි. ඔහු වැදුම් පිදුම් අවසන් වූ පසු නැවත හඳුන් කුටියට පැමිණ තමන්ට අභය දානය ලබා දෙන ලෙස කියමින් දළදා වහන්සේ යදින්නට විය. මේ දෙස කම්පාවෙන් බලාගෙන උන් කැප්පෙටිපොල “මඩුගල්ලේ, අඥාන වෙන්න එපා” යැයි කියා සිටියේ ය.

ඉන්පසු දෙදෙනාවම හිස ගසා දමන ස්ථානය රැගන ආවේ ය. වර්තමානයේ මෙම ස්ථානය ඇත්තේ මහනුවර කැප්පෙටිපොළ ශාලාව ආසන්නයේ පැරණි බෝධි වෘක්ෂය අසලයි. කැප්පෙටිපොළ නිලමේ දඬුවමට සූදානම් වීමට තම කෙටි වැටිය හිස මුදුනට කර බැඳ ගත්තේ ය. ඉන් ඔහු පසු ජල බදුනක් ගෙනෙන්නට පවසා මුහුන කට සෝදා ගනියි.

පසුව දළදා මැදුර දෙස බලමින් බිම දණ ගසාගෙන තම ඉනෙහි වූ ධම්මපදය අඩංගු පොතක් ගෙන ගාඨා කිහිපයක් කියවයි. ඔහු එම පොත වධක භූමිය භාර නිළදාරියා වෙත දී එය තම හිතවත් සෝවර්ස් මහතා වෙත ලබා දෙන්න යැයි පවසයී. දැන් දඬුවම ලබා දෙන වේලාවයි. කැප්පෙටිපොළ නිලමේ වධකයා අමතා තමන් අරහං බුදු ගුණය සිහි කල විට එක්වර හිස ගසා දමන ලෙස අණ කරයි.  

“සො භගවා ඉතිපි අරහං”

කී සැනින්ම වධකයාගේ කඩුව කැප්පෙටිපොළගේ බෙල්ලට එල්ල විය. නමුත් ඔහුගේ ගෙල එක පහරින් සිඳුනේ නැත. මෙසේ තිබිය දී කැප්පෙටිපොල තමා සිටි ඉරියව්වෙන්ම සිටීම අවට රැස්ව සිටි සැවොම පුදුම කරවන කරුණක් විය. දෙවෙනි වර ගෙලට එල්ල කල පහරින් හිස කඳෙන් වෙන් වූ අතර වධකයා එම හිස කැප්පෙටිපොළගේ පපුව මත තැබීය.

මෙම සිදුවීම නැරඹීමට හෙන්රි මාර්ෂල් වෛද්‍යවරයෙක් පැමිණ සිටියේ ය. කැප්පෙටිපොළගේ හිස් කබල එංගලන්තයට රැගෙන ගොස් පරීක්ෂා කිරීමට ඔහු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගෙන් අවසර ගත්තේ ය. ඒ අනුව එම හිස්කබල එංගලන්තය වෙත ගෙනයයි. මෙම හිස් කබල නැවත ලංකාවට ගෙන එන්නේ 1954 වසරේ ලංකා රජයේ ඉල්ලීමකට අනුවයි. ඉන්පසු ටික කලක් මෙම හිස් කබල ලාංකිකයන්ට නැරඹීම සඳහා ප්‍රදර්ශනය කළේ ය. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයකි.

මෙම හිස් කබල සංරක්ෂණය කර කෞතුකාගාරයක තැන්පත් කිරීම වෙනුවට එවකට රජය සිදු කළේ මෙය මහනුවර මහා මළුවේ ස්මාරකයක් ඉදි කර තැන්පත් කිරීමයි. ජාතික අභිමානය ඇතිවෙන්නේ එම ස්මාරකය දැකීමෙන් ද නැතහොත් හිස්කබල සියැසින්ම දැකීමෙන් දැයි ඔබම සිතා බලන්න.

මූලාශ්‍ර:

  • මහාවංශය
  • මහනුවර යුගයේ අප්‍රකට විත්ති -චාමිකර පිළපිටිය
  • A General description of the Island and Its Inhabitants – Henry Marshall


Monday, April 27, 2020

රජ පවුලේ උදවිය ඇල්ලීම තහනම්..!

යමෙක් කරදරයක වැටුනු විට උදව් උපකාර කිරීම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකුගේ ගති ලක්ෂණයක්. නමුත් එසේ උපකාර කිරීමට යාමෙන් තමන්ගේ ජීවිතය අහිමි වනවා නම් එම උපකාරය ඔබ සිදු කරනවා ද?

දහ නමවන සියවසේ මැද භාගයේ දී සියමේ (වර්තමාන තායිලන්තය) සිව්වන රාමා රජුගේ දියණියක් වන සුනන්දා කුමාරිරත්න උපදියි. තරුණ වියේදී ම ඇයව අනාගත රජු වෙත විවාපත් කර දෙයි. මොහු රජ කමට පත් වන්නේ පස්වන රාමා රජු ලෙසයි. ඔහුගේ බිසෝවරුන් අතරින් මුල්තැන හා ඔහුගෙන් වැඩි ඇල්මක් ලැබුනේ සුනන්දා කුමාරිරත්න බිසවටයි. මෙම රජ පවුලට ඍතුවෙන් ඍතුවට වෙන් වූ රජ මාළිගා තිබුනි. 1880 වසරේ ග්‍රීස්ම සමයක මාළිගාව වෙත සුනන්දා බිසව ගමන් කරමින් සිටියා ය. 19 වියෙහි වූ ඇයට අවුරුදු දෙකක් වයසැති දරුවෙක් සිටි අතර තවත් දරුවෙක් ලැබීමට නියමිතව තිබුනි.

මෙම මාළිගාව වෙත යාමට ගඟක් තරණය කළ යුතු විය. තරණය කරමින් සිටි විට බිසව හා ඇගේ ළමයා සිටි බෝට්ටුව එක් වරම පෙරලුනි. සුනන්දා බිසව තමන් සමග පැමිණි සේවක සේවිකාවන්ගෙන් උද්ව් ඉල්ලුව ද කිසිවෙක් ඔවුන්ට උදව් කළේ නැත. ගමේ මිනිසුන් ද බිසව හා ඇයගේ අවුරුදු දෙකක් වියැති ළඳරුවා දියේ ගිලෙන සැටි ගොඩබිමේ සිට බලන් සිටියා විනා කිසිවෙකු උදව්වට පැමිණියේ නැත.

මෙසේ කිසිවෙක් උදව්වට නොපැමිණියේ එරට තිබූ නීතියක් නිසාවෙන්. කිසිවෙකුට රජ පවුලේ අයෙක් ව ස්පර්ෂ කළ නොහැකි අතර එසේ කළහොත් හිමි වූ දඬුවම වූයේ මරණය යි. කුඩා උදව්වකින් ජීවිත තුනක් බේරාගැනීමට තිබූ අවස්ථාවේ රාජකීය නීතියක් නිසා අහිමි වූයේ ඒ අයුරින්. රජතුමා මෙම සිදුවීම ගැන බොහෝ කනස්සල්ලට පත් වූ අතර එරට රාජකීය බිසවක් සඳහා වූ විශාලතම අවමගල්‍ය උත්සවය පැවැත්වීමට මෙම රජු කටයුතු කරයි.

මෙවන් නීති ලංකා ඉතිහාසයේ දීත් දක්නට ලැබේ. රජතුමාව ස්පර්ෂ කිරීම දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් ලෙස එකල සළකන ලදි. හයවන විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ දී ඔහුගේ පුත්‍රයන් තිදෙනෙක් වන බුවනෙකබාහු, මායාදුන්නේ හා රයිගම් බණ්ඩාර එක්ව කුමන්ත්‍රණය කර රජතුමා මරා රජකම ලබා ගනියි. මුල දී ඔවුන්ට තම පිය රජුව මැරීමට අවශ්‍ය වූයේ නැත. නමුත් පිය රජතුමා ඔවුන්ව මැරීමට උත්සහ දැරීම නිසා එම තීරණයට එළබීමට ඔවුන්ට සිදු විය. මෙය විජයබා කොල්ලය ලෙස හැදින්වේ.[1] නමුත් රජුව මැරීම සදහා කෙනෙක් ව තෝරාගැනීමේ දී ඔවුන්ට පැනයක් නැගුනේ රාජකීය ලේ ඇති අයෙක් ඝාතනය කිරීම  දැඩි පිළිකුලට භාජනය වන නිසා කිසිවෙක් මේ සඳහා කැමති කරවා ගත නොහැකි වීමයි. නමුත් අවසානයේ දී සෙලම්බා නැමැති ආගන්තුකයෙක් විසින් රජුව ඔහුගේ කුටිය තුලදී ම ඝාතනය කරයි.

ජනප්‍රවාදයක මෙවන් කතාවක් ද තිබේ. දෙවන රාජසිංහ රජු දිනක් තම සේවකයන් පිරික්සීම උදෙසා ගඟේ පිහිනමින් සිටින විට තමන් ගඟේ ගිලෙන්නට යන ලෙසට හඟවන ලදි. ඉවුරේ සිටි එක් රාජපුරුෂයෙක් රජුව අතින් අල්ලාගෙන ගොඩට ආවේ ය. ඔහුගේ නිර්භීතකම හා රජුව බේරා ගැනීම නිසා ඔහුට බොහෝ තෑගි බෝග ලැබුණි. නමුත් රජතුමා ඔහුගේ අත අල්ලාගන්නා තෙක් නොසිට රජුගේ අත ඔහු අල්ලාගෙන ගොඩට ඒම නිසා චාරිත්‍රක් කඩ කිරීමට ඔහුට දඩුවම් හිමි විය.

පාද සටහන්

[1] විජයබා කොල්ලය

6 වන විජයබාහු රජතුමා රජකමට පත් වීමට පෙර [කෝට්ටේ රාජධානිය] පිරිමි දරුවන් සිව් දෙනෙක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටියේ ය. වැඩිමහල් පිරිමි දරුවා ලාබාල වියේදී ම මියයයි. අනෙක් පිරිමි ළමයින් තිදෙනා බුවනෙකබාහු, මායාදුනේ සහ රයිගම් බණ්ඩාර ලෙස හැදින්වේ. විජයබාහු රජතුමා රජ වීමට පෙර එක ගේ කෑම චාරිත්‍රයට අනුකූලව සිටි බවත් කියැවේ. රජකමට පත්වූ පසු ඔහු කීරවැල්ලේ පරපුරෙන් කුමාරිකාවක් හා විවාපත් වේ. ඇයගෙන් රජුට පිරිමි දරුවෙක් ලැබුනු අතර ඔහු දේව රාජ නම් වේ.

රජතුමා මෙම කුමාරයාට ඉතා ලෙන්ගතු වූ අතර අනාගතයේ දී තමන්ගෙන් පසු රජකම ඔහුට ලබාදීමට රජු සිතයි. රජතුමා තමන්ගේ මෙම අදහස තම ඇමතිවරුන් වන කදුරේ බණ්ඩාර හා ඒකනායක මුදලි යන අයට කියයි. මෙය අනෙක් සහෝදරයන් තිදෙනාට ආරංචි වේ. සාමාන්‍යයෙන් රජකම හිමිවිය යුත්තේ වැඩිමලාටයි. [නමුත් රජකම ලැබීමට එකම සුදුකම ජේෂ්ඨත්වය පමණක් නොවේ. කුමාරයන්ගේ ධෛර්‍යය, වීරත්වය, කැපවීම හා දස්කම් ආදිය ද සලකා බලයි]

රජතුමා දේවරාජ ට රජකම ලබා දීමට යන බව දැනගත් නිසා ඒ සඳහා කුමක් හෝ කල යුතු යැයි සිතාගෙන භික්ෂුවකගේ ආධාරයෙන් කුමාරවරු තිදෙනා නුවරින් පිටව යයි. ඉන්පසු මායාදුන්නේ උඩරට ට ගොස් එහි රජව සිටි වික්‍රමබාහු හමුවී සියල්ල විස්තර කර කෝට්ටේ රාජධානියේ රජකම ලබාගැනීමට උදව් ඉල්ලයි. ඔහුගේ සහයත් ඇතිව සහෝදරවරු තිදෙනා හමුදා සමග කැළණිය අවට කඳවුරු බැඳ ගනියි.

ඔවුන්ගේ පලමු ඉල්ලීම ලෙස තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කල ඇමතිවරු දෙදෙනා ඉල්ලා සිටි අතර එයින් එක් අයෙක් මරා දැමුනු අතර අනෙකා [ඒකනායක මුදලි] පලාගොස් භික්ෂූන්ගේ රැකවරණය යටතේ සිටියි. ඉන්පසු මාලිගාව වටලන ලදි. මාලිගාව වටේ හමුදාව රඳවා තබා සහෝදරවරු තිදෙනා පමණක් මාලිගාව තුලට යාමට අදහස් කරයි. මෙය දැනගත් විජයබාහු රජු මාලිගාවේ දොරටුවක් අසල දරුණු භටයින් හැට දෙනෙක් රඳවා තබන ලදි. දොරටුව අසලට පැමිණෙත්ම අහම්බෙන් ඔවුන්ට සත් හැවිරිදි දේවරාජ කුමාරයා හමුවේ. ඔවුන්ව මැරීමට සෙබලු සැඟවී සිටින බව මෙම කුඩා කුමාරයා පවසයි. එසැනින් කුමාරවරු තිදෙනා තම හමුදාවන් වෙත දිව යයි. පසුව ඔවුන් මාලිගයට තුලට විත් පිටස්තරයෙක් ලවා රජුව මරවයි.

මූලාශ්‍ර:

  • ලංකාව පෘතුගීසි යුගය - පෝල් ඊ. පීරිස්
  • මග දිගට ජනකතා - ඩී.පී. වික්‍රමසිංහ
  • The vintage news website
සුනන්දා කුමාරිරත්න (History.com)


Friday, April 24, 2020

විහාර මහා දේවියගේ දොළ දුක

මහාවංශයේ වීරයා ලෙස සැළකෙන දුටුගැමුණු රජතුමා විහාර මහා දේවියගේ කුසේ පිළිසිඳගෙන සිටි අවධියේ දී ඇයට අරුම පුදුම දොළ දුකක් හටගනියි. මෙය තුන් ආකාරයකි.

    1.    රියන් සියයක් දිග ඇති මී වද පටලයක් සමීපයෙහි හිස තබා සැතපී දොළොස් දහසක් සංඝයා වහන්සේලාට දී ඉතිරි මී තමන්ට කෑමට
    2.   අනුරාධපුරයේ රජ කරන එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සේදූ පැන් එම යෝධයාගේ හිස මත හිඳගෙන පානය කිරීමට
    3.  අනුරාධපුරයේ මල් කෙතෙන් මැළවී නොගිය මානෙල් මල් පළදින්නට හා තිසා වැවෙන් ගෙනා පැන් වලින් හිස සෝදා පැන් බොන්නට

මෙම අරුම පුදුම දොළ දුක ගැන මුලදී විහාර මහා දේවිය කාවන්තිස්ස රජු හට කීවේ නැත. මන්ද මෙය සන්සිඳවා ගත නොහැකි දොළ දුකක් යැයි ඇය සිතූ නිසා. නමුත් ඇයගේ යම් වෙනසක් දුටු නිසා දිනක් කාවන්තිස්ස රජු ඒ ගැන විමසයි. විහාර මහා දේවිය තමන්ගේ දොළ දුක රජතුමාට පවසයි.

රියන් සියයක මී වදයක් ගැන යමෙකු දැන්වුවහොත් බොහෝ වස්තු දෙන බව කියා අණ බෙර කරුවන් යවයි. මෙම සෙවීම සාර්ථක වූයේ මුනින් නවා තිබූ ඔරුවක මී වදයක් ඇති බව ගැමියෙක් විසින් රජතුමාට දැන්වීමෙන්. මෙමගින් විහාර මහා දේවියගේ පළමු දොළ දුක සන්සිදුවීමට රජතුමාට හැකි විය.

අනෙක් දොළ දුක් දෙක සංසිඳුවීමට කාවන්තිස්ස රජු කැඳවන්නේ වේළුසුමන යෝධයාවයි. එකල දඬුවම් ලැබූ අයෙක්ව සංඛේතවත් කිරීමට හිස අඩක් මුඩු කරයි. වේළුසුමන යෝධයාගේත් හිස අඩක් මුඩු කර අනුරාධපුරයේ එළාර රජු වෙත යවන්නේ කාවන්තිස්ස රජු ඔහුට දඬුවමක් ලබා දුන් බව පවසමින්. වේළුසුමන යෝධයා එළාර රජු සමීපයට ගොස් “දේවයන් වහන්ස, මම ඔබතුමා ඉතාම ධාර්මික, යුක්තුගරුක, සාධාරණ, එසේම ඉතා බලවත්ය යනුවෙන් ඔබ තුමන්ගේ ගුණ කාවන්තිස්ස රජු ඉදිරියේ කීවා. ඒ ඇසූ ඔහු මහත්සේ කිපී මිනිසුන් ලවා ගුටි බැට දෙවා, “තෝ තොගේ එළාර වෙත ම පළා යව” යි කියා මා රුහුණු රටින් එළවා දැමුවා” යැයි කීය.

මේ සියල්ල විශ්වාස කළ එළාර රජු ඔහු කුමන රැකියාවක යෙදී සිටියේ දැයි විමසා සිටියි. “දේවයන් වහන්ස මම අසුන් බලන්නට දනිමි. යුද්ධ කරන්නටත් දනිමි. ඔබවහන්සේට ඕනෑනම් කාවන්තිස්ස රජු බැඳ ගෙනැවිත් දෙන්නම්. ගඟෙන් එතෙර අද පටන් ඔබතුමාගේ යැයි සිතා ගනු මැනව” යැයි වේළුසුමන පැවසුවේ ය.

එළාර රජුත් මෙයින් රැවටී වේළුසුමන යෝධයාට අස්හලේ ප්‍රධානී තනතුර ලබාදෙයි. දිනක් ඔහු අස්හලෙ හොඳම අසු වන ‘රණ මද්දව’ නම් අසු තෝරාගෙන තිසාවැවෙන් පැන් කලයක් මල්වතු ඔය අසල සඟවයි. ඊට පසු දින “මම කාවන්තිස්ස රජුගේ වේළුසුමනයායි. හැකිනම් මා අල්වා ගන්න” යැයි කෑ ගසමින් රණ මද්දව නම් අසු පිටේ පැන් කළය හා මානෙල් මල් ගෙන වේගයෙන් ගොස් මිහින්තලය අසළ දී වේගය අඩු කළේ ය. එළාර හට මෙම පුවත දැනගන්නට ලැබී ‘මේල්දේව’ නම් තම ප්‍රධාන යෝධයාව කැඳවා වේළුසුමන යෝධයාව මරා අල්ලාගෙන එන්නැයි අණ කළේ ය. ඔහු තවත් යෝධයෙක් සමග වේළුසුමන යෝධයාව අල්ලාගන්නට පැමිණෙන විට වේළුසුමන සැඟවී සිට දෙදෙනාගේ ම හිස කඳින් වෙන් කරයි.

ඉන්පසු දෙදෙනාගේ කොණ්ඩා දෙක එකට ගැටගසා මහවැලි ගඟේ ‘වඩමන්’ නම් තොටුපළට ළඟාවිය. එහි සිටි එළාර රජුගේ සෙබළුන් වේළුසුමන සමඟ සටන් කරත් ඔවුන් සියල්ලට ම අත්වූයේ මරණය යි. වේළුසුමන කාවන්තිස්ස රජු වෙත පැමිණ විහාර මහා දේවියගේ දොළ දුක සදහා අවශ්‍ය සියල්ල ඔහු ඉදිරියේ තබයි. මෙයින් බොහෝ සතුටට පත් කාවන්තිස්ස රජු වේළුසුමන යෝධයාට බොහෝ වස්තු ලබා දෙයි.

ඉන්පසු රජතුමා රන් තැටියක් ගෙන්වා එයට කඩුව සේදූ ජලය දමා හිස් දෙක මත විහාර මහා දේවිය හිඳුවා තිසා වැවෙන් ගෙනා ජලයෙන් ඇයව නහවා රන් තැටියෙන් පැන් පොවා මානෙල් මල් හිසේ පැළඳවීය. මෙසේ විහාරමහා දේවියගේ අරුම පුදුම දොළ දුක සන්සිදුනි.

මූලාශ්‍ර:

  • මහාවංශය
  • රාජාවලිය - ඒ. වී. සුරවීර සංස්කරණය
  • සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරයා - ගණේගම සරණංකර නාහිමි
  • කෞතුකාගාර සඟරාව - ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුව 
විහාර මහා දේවිය 


Wednesday, April 22, 2020

සිංහල සාහිත්‍යයේ සුවිශේෂී සළකුණක් වූ බාරස කාව්‍ය ලියූ කරතොට හිමි

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලය ලංකා ඉතිහාසයේ මෙන්ම බුදු සසුනේ වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස සඳහන් කළ හැකියි. සරණංකර සංඝරාජ හිමිගේ මූලිකත්වයෙන් උපසම්පදාවේ සියමෙන් ගෙන්වූයේ මෙකල යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමග සරණංකර ස්වාමීන්ද්‍රයන් මෙන්ම කරතොට ශ්‍රී ධර්මාරාම හිමිත් එක්ව කටයුතු කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරතොට හිමිගේ සාහිත්‍ය ඥාණයට පැහැදුනු බව කියැවේ.

කරතොට ස්වාමින්වහන්සේ උපන්නේ 1734 වර්ෂයේ මාතර හි කරතොට ග්‍රාමයේ. පියා දාවිත් විජේසිංහ අප්පුහාමි වන අතර මව සමරකෝන් ලොකුහාමිනේ ය. කරතොර හිමි පැවිදි දිවියට ඇතුලු වන්නේ වේරගපිට විහාරයේ දී ය. එහි දී උන්වහන්සේගේ ගුරුවරයා වන්නේ මහකදුරුපොකුණේ ස්වර්ණජෝති තෙරුන් ය. ගුරුවරයා ජීවත්ව සිටි කාලයේ දී ම කරතොට හිමි මහනුවර මල්වත්තට ගොස් උපසම්පදා වෙයි. එහි දී වැඩිදුර අධ්‍යාපනය සදහා අත්තරගම රාජගුරු බණ්ඩාරගෙන් ගුරුහරුකම් ලබයි.

මෙහි දී අත්තරගම රාජගුරු බණ්ඩාර ගැනත් යමක් සඳහන් කළ යුතු යැයි හැඟේ. මොහු ශබ්දශාස්ත්‍ර උගත්තේ ගණනායක කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස සාමණේරයන් ගෙනි. [මෙකල උපසම්පදාව නොවූ නිසා සාමණේරයන් ලෙස හදුන්වා ඇත්තේ. සියමෙන් පැමිණි උපසම්පදාව රැගත් භික්ෂූන්ගෙන් දෙවනුව උපසම්පදා කර්මය ලැබුවේ උන්වහන්සේ යි. පළමුව උපසම්පදාව ලැබුවේ සියමෙන් පැමිණි සාමණේරයන් නමකි. එහෙයින් ලාංකිකයන් අතරින් මෙහි පලමුව උපසම්පදාව ලැබුවේ ගණනායක කොබ්බෑකඩුවේ හිමි ය.] අත්තරගම රාජගුරු බණ්ඩාර ධර්මවිනය ඉගෙන ගත්තේ සරණංකර හිමිගෙන් ය. ඉන්පසු උපාලි තෙරුන්ගෙන් පැවිදිකම් ලබයි. නමුත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඉල්ලීමකට ගිහි වෙයි. ගිහි වුවද ගිහි පැවිදි දෙපක්ෂයට ම ඉගැන්වීමේ කටයුතු කරගෙන යයි. මේ හේතු නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජු මොහුට රාජගුරු ගෞරව නාමය ප්‍රධානය කරයි. කාරක පුෂ්ප මඤ්ජරිය, සුධීර මුඛ මණ්ඩනය, ශබ්ද මාලාව සහ වෘත්තාවතාරය මොහු විසින් රචිත ග්‍රන්ථයෝ ය.

සංඛපාල විහාරයේ දොර පලුවක ලියූ බාරස කාව්‍ය (elearning.lk)

රාජගුරු බණ්ඩාරයන්ගෙන් උගෙන කරතොට හිමි මහනුවර ගිහි පැවිදි දෙපිරිසටම ඉගැන්වීමේ කටයුතු වල නියැලුණි. ශ්‍රී පාද්ස්ථානයේ නායක පදවිය මාලිම්බඩ ධර්මධර හිමිගෙන් පසුව හිමිවන්නේ කරතොට හිමි වෙතට යි. කරතොට හිමි ට විශාල සතුරු පාර්ෂවයක් ඇති වන්නේ මේ නිසයි. මෙම සතුරන් අතර සරණංකර සංඝරාජ ස්වාමීන්ගේ පස්වැනි සිසුවා වූ මොරතොට ධම්මක්ඛන්ධ මහනායක හිමියන් ද වෙයි. එසේ වූයේ පහතරට වැසියෙක් වූ කරතොට හිමි ට ශ්‍රී පාද්ස්ථානයේ නායක ධූරය ලැබූ නිසා. එකල සමහර භික්ෂූන් අතර උඩරට පහතරට භේදය පැවතුණි. ඒ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය සහ පහතරට නායක පදවිය යන තනතුරු වලට ලෝභී වූ නිසාවෙන්. මල්වතු පාර්ෂවයේ ම ස්වාමීන්වහන්සේලා අතර මෙම බේදය පැවති බව නොරහසක්.

කරතොට හිමියන්ගේ ශිෂ්‍යන් අතර බටහිර ජාතිකයන් ද විය. ඉංග්‍රීසීන්ට 1815 දී උඩරට අල්ලා ගැනීමට පාර කැපූ ජෝන් ඩොයිලි කරතොට හිමියන්ගේ ශිෂ්‍යයෙකි. කරතොට හිමි සංඛපාල විහාරයේ සිටි කාලයේ ලන්දේසීන් ද උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමට පැමිණ තිබේ. මෙයින් ප්‍රයෝජන ගත් උන්වහන්සේගේ සතුරන් කරතොට හිමි ලන්දේසීන් සමග එක්ව ක්‍රියා කරනවා යැයි රාජාධි රාජසිංහ රජු හට ඒත්තු ගන්වා රජු සහ කරතොට හිමි අතර බේදයක් ඇති කළේ ය. මෙය තව දුරටත් වර්ධනය වූයේ කරතොට හිමි ගජමන් නෝනා සමග සම්බන්ධයක් ඇති බවට රජු හමුවේ තැබූ මුසාවක් හේතුවෙන්. රජු හට මේ සියල්ල සැල කලේ මල්වතු පාර්ෂවයෙන්.

මේ නිසා කෝපයට පත් රජු කරතොට හිමියන් ව මහවැලි ගඟෙන් එගොඩ කටුගස්තොට ගෙයක සිර කරයි. රාජාධි රාජසිංහ රජු සාහිත්‍යට ඉතා ලැදි අයෙක්. මේ නිසා කිසිවෙක්ට තේරුම් ගත නොහැකි ආකාරයට කවියක් සම්පාදනය කරන ලෙස සිරගතව සිටි අවධියේ දී කරතොට හිමිගේ ගුරුවරයෙක් වූ අත්තරගම රාජගුරු බණ්ඩාර කියා සිටියි. කරතොට හිමි ත් ගුරුතුමා කියූ පරිදි කාව්‍ය නිර්මාණය කර රජු වෙත යවයි. රජතුමා ට මෙය තේරුම් ගැනීමට නොහැකි වූ විට අනෙක් නායක ස්වාමින්වහන්සේලා ට මෙන්ම ගිහි පැවිදි දෙපක්ෂයට ම මෙම කාව්‍ය පෙන්වා එහි අර්ථය විමසයි. නමුත් ඒ කිසිවෙක් එහි අර්ථය තේරුම් කර දීමට සමත් වූයේ නැත. මේ නිසා මෙම කාව්‍යයේ නිර්මාපකයා වූ කරතොට හිමිගෙන් ම එහි අර්ථය විමසීමට රජතුමා තීරණය කරයි.


මෙම අතිශය දුර්ලභ කාව්‍යයට ‘බාරස කාව්‍ය’ යැයි කියයි. බාරස යනු 12ට සමාන පදයකි. මෙහි විශාල සමචතුරස්‍රයක් තුල කුඩා සමචතුරස්‍ර තිබේ. සෑම කුඩා කොටුවක් තුලම එක් අකුරක් සටහන් වේ. කවි 12න් පලමු කවි 3 කියවීමට වමේ සිට දකුණට සටහන කියවිය යුතුයි. ඉන් පසු එයම දකුණේ සිට වමට කියවූ විට තවත් කවි 3ක් ලැබේ. මෙම සටහනේ උඩ සිට පහලට කියවූ විට කවි 3ක් ලැබෙන අතර එයම පහල සිට උඩට කියවූ විට තවත් කවි 3ක් ලැබේ. මෙම කවි වලින් කියැවෙන්නේ බුදුන්වහන්සේගේ ගුණයන් හා බුද්ධ දේශනාවන් සම්බන්ධව යි.


 සි සි සි සි දයල නිනි නිනි නිරජ ලල ල ල

සි රි ව ල දියන වසවමු සිනද කුස ක ල
සි දි බ ව ගිමණ රඟනඟමිණ පළුන ස ල
සි රි ගන නිරත නමදිමි නවණ නුවත ල

න ව රද නවස සිරි පතළ මණි මන ර ක
න ර මණ නතන වසුලව නමසු පස ස ක
න න සඳ දමන නල’සනි රුසිරු නද පි ක
න ව නුසනද පුරණ රසු නමදු විනය ක

ග ත යදි සතොස දඟනුන දවනි දම න ද
ග රු පිසු වදු වනර සන නව ගනත’ම ද
ගණ නද නකළණ පියසි හරන නප’ප ද
ග ග ගග නරති සස සස නජර දද ද ද

ලල’ලල ව්දසි කක ක කන’ ගන ද දද ද
ලක සත දුරම රස පිය බිදම් නම ප ද
ල ස නව සඳසෙ නසදන සවන, මත ප ද
ලකුළුණු නිදිසමපන විසිකරණ දන න ද

නිමුගමි දමන තව් නිසුදරිසි තණ යි ස
නිවන දිය දද පලසර දන තිනු සය ස
නිසගම ‘රහසිරි’සුල නවදු වගර’ පි ස
නිවරණ නිවද සිවනරනව සද න න ස

සිලවන ගණ නඳන දසතප නිදි සුද ග
සිවබග නපුන රමසනු වදුව ය’ පිණ ග
සිරි දිරි සරස වරන’වනද වතරුණ ග
සිසි සිසි නදන නන’ නන දුමිඳ’ ගග ග ග

දද’ ද’ද රජන සස සස කිරන ගග’ග ග
දප ‘පන නරහ සියපිණ ලකණදන න ග
දමතන ගවන නසරණ වඳුව සුපිරු ග
දනමද නිවද තනුගද සතොස දියත ග

කයන විදුමන සුරනර පුදන සනුව න
කපිදන රුසිරි නිසලන නම ද දසන න
කස සපසුමන වලසුවනතන න මර න
කරනම නිමල තපරිසි සවන දරව න

ලතවනු නවන මිදිමන තරණි නගරි සි
ලසනලු පණමි ගණ ගරණ මගිව බදි සි
ලකසකු දන සිමුව සවන යදි ලව රි සි
ලල ලල ජරණි නිනි නි නි ලයද සිසිසි සි

ගග ගග දමිදු නන නන නදන සිසිසි සි
ගන රුතවදන වනරව සර සරිදි රි සි
ගණපිය වදුව නුසමර නපුන ගබ ව සි
ගද සුදිනිපත සදනදන නගනවල සි

සණන ද සවන රණවසි දමනි නරව නි
සපිරග වදුව නලසුරිසි හරමග ස නි
සයස නුතිනද රසලපදද යදිනව නි
සසි නත සිරිද සුනි වතනමද මිගමු නි

දන නද නකස විනප මසදිනි නුලූ කු ල
දපත මනවස නදසන සෙද සවන ස ල
දපම නමද බියපි සරමරදු තස ක ල
දද දද නගණ කකක ක සිඳවි ලල ල ල

මෙම කාව්‍ය තේරුම් කර දීමත් සමග කරතොට හිමිගේ ඥාණය සම්බන්ධයෙන් රජු ඉතා පැහැදීමකට පත්වෙයි. උන්වහන්සේට තිබූ සියලු දඬුවම් ඉවත් කළ අතර සංඛපාල විහාරය ඇතුලු ගම් බිම් විශාල ප්‍රමාණයක් පූජා කරයි. එමෙන්ම පහතරට සංඝනායක ධූරයත් කරතොට හිමියන් ට ලබා දෙයි. සංඛපාල විහාරය පූජා කිරීම නිසා ඒ ගැන කවියක් කීමට රජතුමා කරතොට හිමියන්ට ආරාධනා කරයි. උන්වහන්සේ එසැනින් කවි දෙකක් නිර්මාණය කරයි.

සක වසිනෙක් දහස් සත්සිය දෙ සිව්වන
ලක සිරි රජදිරජ සිහ නිරිඳුට සවන
තික රජ ගුරු ගෝල දම්රම් යති රුවන
සක කළෙ මෙ බර කව් ගැබ නම් අමූතු වන

මෙනිරි ඳු මෙසක නරඹා සිය සකි නිඳුරා
නෙවිරි දු කිවිඳු කැළ ගෙල බන් පාස යූරා
පිරිසි දු මෙනෙන් පල්ලේබැද්ද ගම් වරා
මෙයති ඳුහට පිදී මිහි පවතිනා තුරා

බාරස කාව්‍ය සහ උක්ත කවි දෙක අදටත් සංඛපාල විහාරයේ දොර පලුවක ලියා තිබේ. සංඛපාල විහාරය පූජා කිරීමත් සමග රජතුමා පහත කාව්‍ය කියූ බවට ප්‍රසිද්ධ ය.

කරතොට දහම්රම් නායක යතිඳු හට

නරදෙට මෙමා බුහුමන් කරපු හැටියෙට

වරිගෙට ගෝල නමකට ඔහුගෙ යමෙකුට

වරදට යමක් නොකරනු මින් ඉදිරියට

 

කරතොට හිමියන්ට මෙන්ම උන්වහන්සේගන් පැවත එන ගිහි පැවිදි ගෝල පිරිසෙන් කිසිවෙක් වරදක් කලහොත් දඬුවම් ලබා නොදෙන ලෙස රජතුමා උක්ත කවියෙන් පවසයි. උඩරට පහතරට බේදය පැවතුනු නිසා ශ්‍රී පාදස්ථානයේ නායක පදවි ධූරය කරතොට හිමියන්ට අහිමි වේ. දිගින් දිගටම කරතොට හිමියන්ට වූ සතුරුකම් පැවතුනි. මේ නිසා නැවතත් උන්වහන්සේ ලන්දේසීන්ට පක්ෂව ක්‍රියා කරනවා යැයි චෝදනාවක් එල්ල වේ. මේ නිසා නැවත කරතොට හිමියන්ව අල්ලාගෙන එන ලෙස රජු නියෝග කරයි. රජතුමා මෙම නියෝගය කරන්නේ දොඩම්වල නිලමේට යි. මොහු කරතොට හිමිගේ හිතවතෙක් වූ නිසා ඔහු කල් ඇතිව මේ බව කරතොට හිමියන්ට පවසයි. ඉන්පසු මෙහිමියන් ලන්දේසීන් වෙත ආරක්ෂාව පතා යයි. ලන්දේසීන් ඔවුන් යටත පැවති පහතරට ප්‍රදේශවල නායක පදවිය පිරිනැමීමට කටයුතු කරයි. ලන්දේසි හමුදාව උන්වහන්සේට ආරක්ෂාව සැපයූ අතර සිව්පසය වෙනුවෙන් මාස්පතා රික්ස් ඩොලර් 25ක ගෙවීමක් ද සිදු කර ඇත.

 

ඉංග්‍රීසීන් යටතේ දීත් කරතොට හිමියන්ට පහතරට නායක පදවිය හිමි විය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ශ්‍රී පාදස්ථානයේ හා සබරගමු දිසා සංඝනායක ධූරය කරතොට හිමියන්ට පිරිනමයි. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් මාතර දිසාපතිට යැවූ ලිපියක “මාතර නගරයේ වැඩ සිටින උගතෙකු වූ කරතොට නායක හිමියන් විශේෂයෙන් ආශ්‍රය කළ යුතුය. උන්වහන්සේගේ සිත රිදෙන යමක් නොකළ යුතුවාක් මෙන්ම සිත දිනාගෙන රාජකාරි කළ යුතුය” සඳහන් වේ. 

සංඛපාල විහාරය 


 කරතොට හිමියන් අවසන් කාලයේ දී තම ගම්පළාතේ විසූ බව සදහන් වන අතර උන්වහන්සේගේ භෂ්මාවශේෂ වේරගම්පිට රජමහා විහාරයේ ස්ථූපයක තැන්පත් කර ඇත. උන්වහන්සේ අපවත් වූ දිනය පිලිබඳ පැහැදිලි සාක්ෂියක් නොමැති අතර එය 1822, 1826, 1827 හා 1832 ලෙස විවිධ මූලාශ්‍ර වල සදහන් වේ.

 

කරතොට හිමියන්ගේ ගිහි පැවිදි ශිෂ්‍ය සමාජය අදටත් පවතියි. මෙම දෙපිරිස අතර කරතොට හිමියන් අපවත් වී කලක් ගතවූ විට මත ගැටුමක් හටගනියි. රාජාධි රාජසිංහ රජු කරතොට හිමියන්ට පල්ලෙබැද්ද නින්දගම් පූජා කරයි. මෙය අක්කර 5000කට ආසන්න ඉඩම් ප්‍රමාණයකි. මෙම ඉඩම් නිසා ගිහි හා පැවිදි පිරිස බෙදී නඩු කියයි. ගිහි පිරිස පැවසුවේ රජතුමා විසින් මෙම ඉඩම් පෞද්ගලික ත්‍යාගයක් ලෙස කරතොට හිමියන් හට දුන් නිසා මෙම ඉඩම් ගිහියන් සතු විය යුතු බවයි. පැවිදි පාර්ෂවය පැවසුවේ රජු මෙම ඉඩම් සන්නසකින් පූජා කල බවත් 1818 ජනවාරි 03 දින කරතොට හිමියන් මෙම ඉඩම් ලියාපදිංචි ඔප්පුවකින් ධම්මජෝති හිමි ඇතුලු ගෝල පරම්පරාවට ප්‍රධානය කල නිසා මෙම ඉඩම් පැවිදි පක්ෂය සතු විය යුතු බවයි. අවසානයේ දි මුළු නින්දගම ම සංඛපාල විහාරයට සහ පැවිදි පරපුරට අයත් බවට නඩු තීන්දුව ලබා දෙයි. කෙසේ හෝ වර්තමාන බුදු සසුන අමරණීය කිරීමට කරතොට හිමිගෙන් වූයේ සුවිශේෂී සේවයක්.

 

මූලාශ්‍ර:

  • මාතර මානව වංශය - පී.ඩී.එස්. වීරසූරිය  
  • සංඝරාජ සාධුචරියාව
  • සරණංකර සංඝරාජ සමය - කොටගම වාචිස්සර හිමි
  • ලංකාදීම, සිළුමිණ, දිවයින පුවත්පත්


අද අපි සිටිනෙමු තානායමේ ගිණි මැලය ළඟින්


අත පෑමට කිසිවෙක් නැත මේ වීදියේ
සොයති නැවතුමට තැනක් අද දිනයේ
වැහි වළාවෝ එති උන් පසුපසිනේ
එකෙකුට වුව රිසි තැනක් දෙනු දෙවියනේ


නැගෙන සුළගෙන් කඩා හැලෙන කොළ අතු
වැදී අසයි මතු උපදින කුමරුගෙ තතු


අවැසිය සෙවණක් ඔහුගේ පවුලට
සොයමින් සිටියා වැහි පොදෙන් ගැලවෙන්නට
දකිති කරුවලේ එකදු එළියක් ඈතට වන්නට
යුවළක් දිළිඳු පැමිණෙති තානායම් දොරකඩට


තානායම් කරු ගේ මුහුණ අඳුරු වළාවක් වීය
අහසත් ඊට නොදෙවෙනි වීය
වැහි පොද හී සර මෙන් වීය
අඳුරු වීදියේ යුවළ යන්නට වීය


එළියට සිටි හඳත් දැන් අපගෙන් වෙන්ව ගොසින්
කෙළි වියේ අපේ අද දුටු අයත් අපගෙන් වෙන්ව ගොසින්
ඇසුවානම් මදකට උන් අදහස පැහැදි සිතින්
අපි අද සිටිනෙමු තානායමේ ගිණි මැලය ළඟින්


තානායම් කරු ගේ සිත සැලුණේ නැත උන් දෙදෙන හට
ගස් වැල් සැලෙයි උන් අස්වසන ලෙස
උගනිව් උගනිව් උගනිව් කුමරුනි මගේ පුත
එයයි විසඳුම ගැලවෙන්නට මේ මහ ඝන අදුර පිට



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...